Wednesday, 26 October 2011

රස්සාව....


කවුරැ හරි කැමතිද සතියකට දවස් හතරක් විතරක් වැඩ තියෙන රස්සාවක් කරන්න
වෙනද ගන්න පඩියට අමතරව තවත් ලොකු ගානක් අතටත් ලැබෙනවලු
ඒක ලංකාවේදී මම ගත්තු පඩියටත් වැඩිය ලොකු ගානක්
ඉතින් අකමැති වෙන කවුරුවත් ඉන්න එකක් නැහැ
ඒත් ඇයි එහෙම අඩු දවස් ගානක් වැඩ කරන්න වැඩි ගානක් දෙන්නේ කියන එක ගැනත් හිතන්න වෙනවා නේද 
කොහොම උනත් යම් යම් මුල්‍යමය හේතු නිසාත් නොගිහින් බැරි නිසාත් මමත් රෑ වැඩ මුරේට යන්න කැමති උනා
සෙනසුරාද හවස 5:00 ට ඔෆිස් බස් එක එනවා මාව ගන්න, ඊට පස්සේ 05:50 වෙද්දී වැඩපොළේ. පහුවෙනිදා උදේ 7:00 ට තමයි ඔෆ් වෙන්නේ
මුලින්ම කරන්න තියෙන්නේ දවල් ෂිෆ්ට් එක වැඩ කරපු අයත් එක්ක කතා කරලා දැනට තියෙන ප්‍රශ්න ටිකයි, මොනවද හදිසි වැඩයි කියල දැන ගන්න එක
ඒ ටික කරලා ඉවර වෙද්දී 06:10 වත් වෙනවා
ඔන්න දැන් තේ වෙලාව, කොහොමටත් ඉන්නේ දොයි මතේ නිසා මේ වෙලාවට කෝපි එකක් බොන එක ඇඟට ගුණයි
ඔන්න 06:30 වෙද්දී රාජකාරි, මුලින්ම කරන්නේ කොම්පීතරේ ඔන් කරලා ඇවිත් තියෙන අලුත් මේල් බලන එක
වරදවා තේරුම් ගන්න එපා, මට තියෙන්නේ රාජකාරි මේල් එකක් විතරයි
ඒක හරහා බොහෝ දුරට එන්නේ නඩු හබ වගේ දේවල්ම තමයි
ඒ මදිවට තව චැට් කරන්නත් කොමියුනිකෙටර් කියල එකකුත් තියෙනවා
මමනම් ගොඩක් වෙලාවට ඒක හිමීට ඕෆ් කරලා දානවා, නැත්නම් ඉතින් බඩුම තමයි
මොකා කතා කරලා මොනවා අහයිද දන්නේ නැහැනේ 
ඒ වගේම මට ඉන්ටර්නෙට් නැහැ, තියෙන්නේ ඉන්ට්‍රානෙට් එකක් විතරයි, ඒකෙ ඉතින් තියෙන්නේ රාජකාරියට අදාළ දේවල් විතරමයි
එක දවසක් මෙහෙම හවසක වැඩට යද්දී මගේ මෙසේ ගාව අලුත්ම core I7 වර්ගයේ පරිඝනකයක් කවුදෝ තියල ගිහිල්ල
බලද්දී ඒක මටලු ගෙනත් දීල තියෙන්නේ, ඉතින් මමම ඒක හයි කර ගත්තා
මොන දේ තිබුනත් වැඩක් නෑනේ, මට ඕක ගාව ඉන්න වෙලාවක් තියෙන්න එපයි
හිටියත් මොනවා කියල කරන්නද 
වාඩි වෙලා විනාඩි 5 ක් යන්න හම්බ වෙන්නේ නැහැ, ඔන්න අපේ කොල්ලෙක්(අපේ කිව්වට ඉන්දියන්) එනවා මාව ඇදගෙන යන්න 
ඌ ගෙනාපු සාම්පල් එකක් චෙක් කරන්නලු, ඉතින් ඒක පටන් ගන්නවා
අපහු ඉතින් තේ එකක් බොන්න යන්නේ රෑ 10:00 ට, එතකන් එක දිගට හිටගෙනම තමා වැඩ 
නිකන් නෙමෙයි, සෙල්සියස් අංශක 280 ක් රත් වෙච්ච ගිනි උඳුනක් ගාව, ඒක අරිනවා වහනවා ඉවරයක් නැහැ 
ඒකට දාන දේවල් උණු උණුවෙම එළියට අරගෙන වතුරේ දාල නිවල පිහිදාල එහෙම අරගෙන විශේෂ කොම්පීතර් එකකට දාල ස්කෑන් කරලා බලනවා
හරි නැත්නම් දීපියකෝ adjustment එකක්, අනේ එකක් හරි වැරදුනොත් කීයක්ද පාඩුව
රුපියල් වලින්නම් ගාන අඩුම එක ගත්තොත් ලක්ෂ  තිහක් වගේ, මට මතකයි එක පාරක් ඔහොම ලක්ෂ 75 ක් වටිනා බැච් එකක් බේර ගත්තු මනුස්සයෙකුට ආයතනයෙන් රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා මුදල් තෑග්ගක් දුන්නා 
ඒ වගේ එව්වා ඉතින් මේ ලොකු පුතා අතින් වැරදිලා නැතුවමත් නෙමෙයි, ඒත් ඉතින් මොනවා හරි යටි මඩි වැඩ වලින් ඒවා ගොඩ දාල යවනවා
රෑ 10:00 ට තේ බොන්න ගිහින් විනාඩි 15 කින් එනවා, ඒ ආවට පස්සේ පොඩ්ඩක්වත් වාඩි වෙන්න කියලද
නැහැ නැහැ එහෙම කොහොමද, ඔන්න මාර සේනාව වගේ ඉන්න කොල්ලෝ ටික අරව ගේනවා මේවා ගේනවා
මම චෙක් කරනවා... ඔහොම ගිහින් රෑ 12:00 වෙනවා නේද, ඔන්න වෙලාව
මාර සේනාව දැන් කන්න යන වෙලාව, ඒත් ඉතින් මම යන්න කියලය
මුන් කන්න යන්න කලින් ගෙනත් දාපු සාම්පල් චෙක් කරන්න වෙන කවුරුවත් නැහැනේ
ඒ ටික කරලා ඉවර වෙද්දී අඩු ගානේ 12:30 හරි 12:45 හරි වෙනවා
ඒ වෙද්දී අර මාර සේනාව කාල බීල බිම වැටිලා බුදි
අපි කන්න ගිහින් කාල බීල පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න කියල හිතාගෙන එනවා පාන්දර 01:15 වගේ වෙද්දී
මොන වාඩි වීමක්ද, මොන නින්දක්ද, ඒ වෙද්දීත් කලින් ඇහැරිච්ච එකෙක් ඉන්නවා මම එනකන් සාම්පල් එකකුත් අතේ තියාගෙන
ආපහු සුපුරුදු රටාව එක දිගටම පාන්දර 5:00 වෙනකන්
5:00 කියන්නේ අපේ තේ වෙලාව, ඒ වෙලාවටනම් මොන මළ යකා ආවත් පැය බාගයක් තේ බොන්න ගත කරලා තමයි එන්නේ
ඊට පස්සේ ඉතින් උදේ 06:50 වෙද්දී දවල් දවසේ වැඩ බාර ගන්න කට්ටිය එනවා
උන්ට තියෙන මාගල් ටික බාර දීල කාර්ඩ් එකත් ගහල බස් එකට යනවා දොයි ගන්න
මොන නින්දක්ද, අර නිකන් නෙමෙයි කියන්නේ දෙමළු පඩි ගත්ත වගේ කියලා
මෙහෙ ඉන්න ඉන්දියන් කාරයෝ ළතෝනි ගහන්නේ පඩි දකින්නෙවත් නැතුව 
ඉතින් ඔහොම කරලා උදේ 8:00 ට විතර බෝඩිමට එනවා
ඇවිත් යන්තම් මොනවා හරි දෙයක් හදාගෙන කාල, මේල් එහෙමත් බලල, බ්ලොග් එකටත් ටක් ගාල ගොඩ වැදිලා, පුළුවන් කමක් තියෙනවනම් රිප්ලයි එහෙමත් දාල දොයි ගන්න යද්දී වෙලාව අඩුම ගානේ 09:30 වෙනවා
ඔන්න දැන් තමයි නියම වෙලාව, මම දැනන් උන්නේ නැහැනේ මට දවල්ට නිදා ගන්න බැරි කමක් තියෙනවා කියලා
ඒ මදිවට පහල පාර හදනවා එක එක ජාතියේ යන්තර ගොඩක් ඇවිත්, උන් පාර කපනවා, එහෙට අදිනවා මෙහෙට අදිනවා, කපනවා කොටනවා පටවනවා, වැඩ කෝටියයි
එහෙට මෙහෙට පෙරලි පෙරලි ටික වෙලාවක් යද්දී හොඳට නින්ද යාගෙන වගේ එද්දී එක පාරටම දොර අරින සද්දෙටයි ලියිට් එකේ එළියටයි ඇහැරෙනවා
මගේ කාමර සගයා එනවා එයාගේ දවල් කෑම පැය දෙකේ ආතල් එක ගන්න, ඌ මම වගේ කට්ට කන්නේ නැහැ
වාසනාවන්ත කොල්ලෙක් 
හැබැයි ඉතින් ඒ මොන කරදර තිබුනත් මු මම උගන්නපු එක දේක ගුණේ තියනවා
මම නිදාගෙන ඉඳිද්දී මට දවල්ට කන්නයි රැට ගෙනියන්නයි කෑම හදල තියල තමයි මු යන්නේ
කඩෙන් චාටර් බත් කකා හිටපු මුන්ව බලෙන් වගේ උයන්න පුරුදු කරලා ගත්තේ මම 
ඔන්න ඉතින් මම හවස 4:00 ට නැගිටලා ටක් ගාල බත් ටිකක් කාල ලක ලැස්ති වෙලා ආපහු අර ගමනම යනවා
ඔය ගමන ඉවර වෙන්නේ බදාදා උදෙන් තමයි
ඒත් ඉතින් දවල්ට නින්ද යන්නේ නැති මම ඒ දවස් හතර ගත කරන්නේ කොච්චර අමාරුවෙන්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ 
ඒත් ඉතින් ආපහු තව වැඩිපුර ගානක් හොයන්න බ්‍රහස්පතින්දා අතිකාල කරන්නත් යන්න ඕනිනේ 
මුලින්ම මෙහෙට ආපු දවස් වල මට මගේ ගැනම දුක හිතිලා බස් එකේ එද්දී කාටවත් පෙන්නේ නැතුව අඩපු දවස් එහෙමත් නැතුවමත් නෙමෙයි 
මොනවා කරන්නද දුක තමයි රංජනී කියල හිත හදා ගන්නවා
තව බොහොම ටික කාලයයි, මම එනවා ලංකාවට
එන්නේ හිස් අතින් නෙමෙයි හැමතිස්සෙම හිටගෙන ඉඳලා හදා ගත්තු දනිස් අමාරුවක් සහ කොන්දේ අමාරුවකුත් එක්ක 
ඔන්න ජීවිතේ...

17 comments:

  1. අනේ මන්දා හැමෝම ඔහොම තමා. ලංකාවේ හිටිය කියලා වෙනසක් නෑ. මමත් උදේ 4ට නැගිට්ටට පස්සේ 10 වෙනකල් නන්ස්ටොප් වැඩ. එහෙමයි කියලා මොනවා කරන්නද?

    ReplyDelete
  2. ජීවිතේ ඔහොම තමයි... දිරි ගනින් මල්ලියේ.... ඔය විදියටම නොවුනට අපි හැමෝම එක එක විදියට දුක් විඳිනවා....

    ReplyDelete
  3. උඹටනම් මචං වැඩ කරලා හරි සල්ලි හම්බු වෙනවා . ඒත් මට මම වැඩ දවස් පහක්ම උදේ 8 ඉඳලා හවස 5.30 සමහර දාට 6.30 විතර වෙනකම් . මගේ වැඩේ උගන්වන එක . මට නිවාඩු බදාදා විතරයි .ඒත් මට ලැබෙන්නේ අතේ ඇඟිලි ගානට සමාන මුදලක් .

    ජීවිතේ කියන්නේ දුකක් බං . මගේ පඩිය දවස් හතරෙන් වියදම් වෙලා ඉවරයි මම ඊට පස්සේ යැපෙන්නේ ගෙදරින් ..

    උඹ සල්ලි ගොඩක් හම්බු කරගෙන ලංකාවට අවිල්ලා තන්ගෙම වැඩක් පටන්ගනිං නිදහසේ ඉඳපන් ඊටපස්සේ ..

    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  4. @batti
    මම මේ ඔයාගේ ජීවිත කතාව කියවගෙන යන ගමන්,

    මට මම ගැන දුක හිතුනේ වෙන දෙයක් නිසා නෙමෙයි බට්ටියේ
    මම කවුද කියල මම දන්නා නිසා සහ මගේ තියෙන අධිමාන්නයත් දුකට හේතුවක් වෙන්න ඇති
    ඒත් ලෝකයාට සාපේක්ෂව මට වැරදිලා නැහැ, පොදු මතයට අනුව මම ඉන්නේ උපරිම හොඳ තැනක
    ඒත් මම මගේ ජීවිතේ ගොඩනගා ගන්න යන මේ ගමනේදී යම් දෙකට ලඟා වෙන්න මට තියෙන සහයෝගය ගොඩක් අඩුයි
    වැඩ කරන තැන උනත් මම අලුත් නිසා අනිත් අයට වැඩිය දෙගුණයක වැඩ මගේ ඇඟට පටවල පරණ උන් ආතල් එකේ ඉන්නවා
    ගොඩක් හිතට දුක උන්ගෙන් ගොඩ දෙනෙක් ලංකාවේ උන් වෙච්ච එක ගැනයි
    ඒ නිසා වෙන්න ඇති මේ ගමනේ දුෂ්කරතාව එන්න එන්නම වැඩි වෙනවා වගේ තේරෙන්නේ
    එකම එක සතුටකට කියල තියෙන්නේ තව මාස 5 යි නේද මම මේ ඔක්කොම කටු කන්නේ කියල හිතෙනකොට

    ReplyDelete
  5. @මියුරු අක්කා,
    හිතේ තියෙන දුකට සහ නින්ද යන්නේ නැති කමටයි මෙහෙම ලියවුනේ, මෙහෙ ආවට පස්සේ මම ලෙඩෙක් උනා නේද කියල හිතෙද්දීත් දුකයි
    ඇස් දෙකේ කඳුළු නැහැ කියල ඒකටත් හැමතිස්සෙම කෘතීම කඳුළු දානවා මම, ඒකට හේතුව හැමතිස්සෙම අර ගිනිගහන රස්නෙත් එක්ක වැඩ කරන එක වෙන්න ඇති
    (ඒත් ඉතින් ගොඩක් බ්ලොග් කියවද්දී නිකම්ම කඳුළු එනවා, ඒත් මගේ ඇස් දෙකේ සාමාන්‍ය තෙතමනයට අවශ්‍ය කඳුළු නැති එකලු ප්‍රශ්නේ)
    ඒ මදිවට මම කරන රස්සාවේ හැටියට එක එක භයානක රසායන ද්‍රව්‍යත් හුස්ම ගනිද්දී ඇඟ ඇතුලට යනවා
    සමහර වෙලාවට නහයෙන් ලේත් එනවා
    ආරක්ෂක ක්‍රම තිබුනට ඒවයෙත් අඩුපාඩු තියෙනවා, ඒ වගේම අපෙත් නොසැලකිල්ලක් නැතුවමත් නෙමෙයි
    ඒත් ආපහු රට නොයන්න ඕනේ කියල හිතෙන නිසාත්, අඩු ගානේ ටික දවසක්වත් මෙහෙ ඉඳල කීයක් හරි හොයා ගන්න ඕනේ කියල හිතිච්ච නිසාත්, තමයි මම තාම මෙතන ඉන්නේ
    එහෙම නැත්නම් නිවාඩු ආපු වෙලාවක මට ලංකාවේ නතර වෙන්න තිබුනා

    ReplyDelete
  6. @සඳරු,
    උඹ කියපු එක ඇත්ත, මම දැන් හිතාගෙන ඉන්නේ එහෙම මොනවා හරි ව්‍යාපාර කටයුත්තක් පටන් ගන්න තමයි
    හැබැයි ඉතින් රස්සාවකුත් කරන අතරෙම
    දැනටම ඒකට අවශ්‍ය දේවල් ටිකක් කරගෙන යනවා
    ඒකයි මම මේ දවස් වල ටිකක් කටු කාගෙන වැඩිපුර වැඩ කරන්නෙත්....

    ReplyDelete
  7. කියක් හරි ඉතුරුකරන් වරේන්....ඇවිත් බේකරියක් හරි දාගනින්...පිට එකාලට කඹුරන්නැතිව....හැබැ පුතො..අර අපේ වෙදමහත්තය ( මහ වෙදනා) කියල තියෙන අවවාදේත් ඔලුවට ගනින්....සල්ලිම නේමේ බොලං ජීවිතේ...නමුත් සල්ලි ටිකක් හොයන් එන එක වැදගත්

    ReplyDelete
  8. @ සඳරු...
    මචො උබට තියෙන හැකියාවෙන් ප්‍රයොජන ගනින්.... දැන් ඇති එක එකාලට කැඹුරුව....තනියෙන් පටං ගනින්....පුලුවං සපොට් එකක් අපිත් දෙන්නං .( ඇත්ත කියන්ඩ ලේසි තමා නමුත් පටංගනින්)

    ReplyDelete
  9. ඒ කියන්නෙ ලොකු පුතා දැනට ලංකාවේ නෙමේ ඉන්නේ...

    ජීවිතේ කියන්නෙ කොහොමත් කට්ටනෙ...කට්ට කාපු තරමට ජීවිතේ රස...අනික ඉතින් ලංකාවේ උපන්න් අපි උඹලා වගේ අයට ලේසියෙන් හැමදේම ලැබෙන්නෙ නෑනෙ කොල්ලො...ලංකාව දාලා එන්නෙත් ආසාවට නෙමේනෙ...

    උඹ ඉන්නෙ මොන රටේද කියන්න මම දන්නෙ නෑ...මම රටවල් කීපයකට ගිහින් තියෙන කෙනෙක්...ඩුබායි...අබුඩාබි..කටාර් ..යෙමන්....ඉතාලි..සිංගපූර්..ජර්මන්....ඔය හැම තැනකම ඉන්න අපේ එවුන් කට්ට කන හැටි මම දැකලා තියෙනවා....මගේ ඇස් දෙකෙන්....

    ඉන්න කාලේ කට්ට කාපන්...දුක උහුලපන්..හිතට හයිය ගනින් කොල්ලෝ...උඹට වරදින්නෙ නෑ...කීයක් හරි ඉතුරු කරගෙන දෙයියනේ කියලා ලංකාවට වරෙන්...නිදහසේ හුස්ම ගන්න...අපේ ජීවිතේ රැඳෙන්න ඕනෙ මේ මහ පොළොවේ....

    ReplyDelete
  10. @Raj
    දැනටත් මම එක වැඩක් පටන් ගන්න ලෑස්ති කරලා ඉවරයි මචන්
    මගේ ආදරණීය බිරින්දෑ ඒ වැඩ ටික බලාගෙන යනවා

    ReplyDelete
  11. @දිල්
    ඔයා කියන එක ඇත්ත, අපේ උන් ගොඩක් තැන වල කටු කනවා තමයි
    මම ඉන්නේ ඔයා නොගිය රටක, KSA
    මම වැඩ කරන කම්පැණි එක නරකම නැහැ
    දැනට අවුරුද්දකට දෙපාරක් නිවාඩු (හැබැයි දැනට ටිකට් එකයි දෙන්නේ, එකක් අතින්), නවාතැන් ගාස්තු, වෛද්‍ය පහසුකම්, ඉන්සුරන්ස් හැම දෙයක්ම මෙයාල මට දෙනවා, එක එක රටවල් වලට ට්‍රේනින් එහෙමත් යවනවා
    තව අවුරුද්දක් හිටියොත් මට මගේ බිරිඳවත් මෙහෙට ගේන්න සියළු පහසුකම් දෙනවා (දැනුත් එයාව එක්කගෙන එන්න පුළුවන්,,,, එහෙම උනොත් ඔක්කොම වියදං අතින් තමයි )
    ළමයි ඉන්නවනම් එයාලව ඉස්කෝල වලට දාන්න, පොත් ගන්න, ස්කුල් බස් වලට, ගෙවල් වලට යන වියදං හැම දෙයක්මත් දෙනවා

    ඒත් මට ඒ එකක්වත් වැඩක් නැහැ කියල හිතිලා ඉවරයි දැන්
    ඒ නිසා 2012 සිංහල අවුරුද්ද වෙද්දී මම ලංකාවේ ඇති
    තව මාස 5 යි :)

    ReplyDelete
  12. ඔයාගෙ අසනීප තත්වය අනුව නම් ගත්ත තීරනය හරියටම හරි.... නැත්නම් දුක් විඳලා හම්බ කරපු සල්ලි ටික ඉවරවෙනකම් ලංකාවට ගිහින් බෙහෙත් කරන්නයි වෙන්නෙ.... හිත හදාගෙන ඉතුරු ටික කාලෙත් ගත කරලා කීයක් හරි ඉතුරු කරගෙන දෙයියනේ කියලා ලංකාවට යන්න මල්ලියේ....

    ReplyDelete
  13. ලොකු පුතා ඉන්නෙ අපි වගෙම වෙන රටක කියලා දන්නෙ දැන්. හිතට දිරි ගනින් ලොකු පුතා. කට්ට කාගෙන ඉමු. අපිටත් පල්ලමක් හම්බවෙයි. ජය.
    henryblogwalker the Dude

    ReplyDelete
  14. @ Dude
    බොහොම ස්තුතියි සහෝදරයා...

    ReplyDelete
  15. අපි හැමෝම රටින් පිටවෙලා හිටියට හැමවෙලේම හිතන්නේ මේ කතරින් ඉක්මනින් ආයෙ ලංකාවට වෙන්න.
    ඉන්න කාලෙ මොන කට්ටක් කාගෙන හරි දරාගෙන ඉන්නේ ලංකාවෙ ඉන්න අපේ දුවා දරුවො වෙනුවෙන්.
    ඔය චුට්ට කාලෙත් කාගෙන හිටහං ලොකු පුතා.

    ReplyDelete
  16. @ readmyeye
    ඔව් සහෝදරයා ඒක ඇත්ත.

    ReplyDelete
  17. ලංකාව දාහෙන් සම්පතක් උනත් අපේ නරක කාලෙට මේ ලංකාවත් අපිට දාල යන්න වෙනවා..

    ReplyDelete