Friday, 28 October 2011

කැටපෝලය සහ බට්ටිච්චා



ඔන්න ඉතින් මටත් ඒ කාලේ වැද්දෙක් වගේ වෙන්න උවමනා වුනා, ඒකට ඉතින් මහලොකු දේවල් නෙවෙයි ඕනේ කලේ. දුන්නක්  ඊතල ටිකක් එහෙම නැත්නම් කැටපෝලයක් තමයි ඕනේ කරන භාණ්ඩ ටික.


ඒ වගේම මම හොඳ දක්ෂ ගල් විසි කරන්නෙක් වෙලා හිටපු කාලෙකුත් තිබ්බ. ඒ කියන්නේ නිවැරදිව ඉලක්කයකට ගලකින් ගහන එක

දුවන ඉලක්කයක් උනත් මට මහලොකු දෙයක් නෙමෙයි, අපේ ගෙදරට හොරා කන්න එන බල්ලෝ බළල්ලු මගෙන් ගුටි කාල යන වෙලාවල් ඕනේ තරම්.


දුනු ඊතල නිර්මාණයේදී මම ඒ තරම් දක්ෂතා පෙන්නුවේ නැහැ

ඉතින් මම ඒ වගේ දුනු ඊතල කරුමාන්තේ අසාර්ථක වෙච්චි නිසා ලේසියෙන් හදන්න පුළුවන් කැටපොලේට බැස්ස

කොච්චර හොඳ කරු හොයාගෙන කොච්චර හොඳ රබර් පටි හොයාගෙන කැටපෝල හැදුවත් වැඩක් නැහැ

ටික දවසයි තියෙන්නේ, පටිය කැඩිලා යනවා. හේතුව ඒකට දාල විදින ගල් වලටම පටිය කැපිල යන එක 
රබර් පටියේ මැදට සතෙක්ගේ හං කෑල්ලක් දාල හදා ගත්තනම් හරි කියන එක දැනගෙන හිටියත් කොහෙන්ද හං කෑල්ලක් හොයා ගන්නේ.

දැන් මොකද කරන්නේ,


ඔන්න ඔහොම ඉන්නකොට එක දවසක් අපේ ගෙදරට වරින් වර එන අපේ ගමේ කොල්ලෙක් ඉන්නවා රතු මහත්තය කියලා, මේකා ආව අපේ ගෙදර. මිනිහට අපි කිව්වේ රත්තා කියලා

මට වැඩිය අවුරුද්දක් බාල වෙච්චි රත්තා ඕනේ දේකට ඔට්ටු කොල්ලෙක්

අපේ ගෙදර ආවහම ගෙදර තියෙන පොල් ටිකත් කඩලා දීල එහෙම තමයි ඌ යන්නේ

එදත් ඇවිල්ල පොල් එහෙම කඩලා දීල අම්මත් ගෙදර නැති නිසා කුරුම්බා ගෙඩි දෙකකුත් කඩාගෙන බීල එහෙම තමයි අපි හිටියේ 

මේ කියන දවස් වල මමත් 8 හෝ 9 වසරේ  වගේ ඇති

අපි ඉතින් මේ දවස් වල අපිට තියෙන එක එක ප්‍රශ්න එහෙමත් සාකච්ජා කරන අතරේ මම මගේ ප්‍රශ්නෙත් රත්තට කියල දැම්ම 

මේකා එක පාරටම කිව්වේ නැතෑ, ඕනෙනම් අපේ ගෙදර තියෙන එළු හමෙන් පොඩි කෑල්ලක් කපල දෙන්නම් කියල

මටත් ඉතින් ඉහේ මලක් පිපුන ගානයි


ඒ වෙලාවේම ගත්තා මගේ රේසින් කරත්තේ අතට,  ගියා රත්තලගේ ගෙදර

(මේ කරත්තෙට තිබුනේ සැකිල්ලක් විතරයි. මේක ඕනේ තැනක ඇදගෙන යන්න පුළුවන්, හරියට දැන් කාලේ තියෙන මඩේ රේස් පදින ජීප් වගේ තමයි, රෝද ටිකයි ඒවා හයි වෙන ලී කෑලි දෙක තුනක් විතරයි)

ඒක මැටි ගහපු පුංචි ගෙදරක්


මම පොඩි කාලේ ඉඳල අදටත් මේ වගේ මැටියෙන් හදපු හොඳට බිම ගොම-මැටි ගාපු, පොඩි ඉස්තෝප්පුවක් එහෙමත් තියෙන, ඉස්තෝප්පුවේ බුරු ඇදකුත් තියල තියෙන, ගෙවල් වලට පිස්සුවෙන් වගේ ආසයි. ඒවායේ තියෙන සිසිල, වතුර කලගෙඩියේ වතුර වල තියෙන දිව්‍යලෝක රස...

රත්තගේ අම්මල තාත්තල එහෙම අපිට හරි ආදරෙයි

මගකදී දැක්කත් අහන්නේ "කොහෙද රත්තරනේ යන්නේ" කියල.... හරි ආදරණීය වචන

ඒක අදටත් එහෙමයි

මම ගමේ කමට ගමේ මිනිස්සුන්ට ආදරේ මෙන්න මේ වගේ අව්‍යාජ මිනිස්සු නිසා තමයි

ඔන්න දැන් රත්තා හං කෑල්ලක් කපනවා, මම බලාගෙන ඉන්නවා.... ඒක කපන්නත් ලේසි නැහැ

කොහොමින් කොහොම හරි එළු හං කෑල්ලත් අරගෙන මම ගෙදර ආව


මේ දවස් වල මගේ ගාව තිබුන මගේ චොපර් බයික් එකකින් අහක් කරපු රතු පාට හොඳට ඇදෙන ටියුබ් එකකින් බොහොම පරිස්සමින් කපා ගත්තු පටි කෑලි කීපයක්

මලයට වුනත් මම ඒකෙන් කෑල්ලක් දෙන්නේ බොහොම දුරට හිතල බලල වැඩකට නැති වගේ එකක් තමයි

එච්චරටම මට වටිනවා ඒක

ඒ වගේම දිවි කදුරු ගහකින් කපා ගත්තු හොඳම හැඩයේ කරුවකුත් තිබුනා මගේ ගාව

ඔන්න එදා හවස් වෙන්න කලින් ලස්සනට නියමාකාරව හදා ගත්තු කැටපෝලයක් මගේ අතේ

හවස් වරුවම ගත කලේ එක එක තැන් වලට ගල් විද විද, මගේ අලුත් නිර්මාණයෙන් උපරිම සතුටක් ගත්ත එදා හවස 


ඔය අතරේ ඉතින් මලයත් එනවා මගෙත් එක්ක මෙව්වට සහයෝගයට 

මේ දවස් වල මම අලුත් ගෙදරක් හදාගෙන තිබුනේ අඹ ගහ උඩ, ඒකට වෙලා කාලය ගත කරන එකත් අපි දෙන්නගේ දවසේ රාජකාරියේ කොටසක්

ඒකට යන පාරවල් දෙකක් තිබුනා, එකක් අඹ ගහ දිගේ, එහෙම නැත්නම පේර ගහ දිගේ නැගල, අඹ ගහට මාරු වෙලා
මම අඹ ගහ දිගේ යනවනම් මලය පේර ගහ දිගේ එනවා, ඌ අඹ ගහ දිහේ නගිනවානම් මම එනවා පේර ගහ දිගේ 

ඔය කොයිකෙන් ගියත් අපිට ඒ දවස් වල ඒක කජු කනවා වගේ ලේසි වැඩක් 


ඒත් දැන්නම් ඔය කාරිය කොරන්ට බැහැ, මම මේ මෑතකදී ඒ අඹ ගහට නැග්ග අඹ ටිකක් කඩන්න. නිකන් නෙමෙයි මුල හරියට ඉනිමගකුත් තියලා.

පහළ බැලුවහම පොඩ්ඩක් කැරකෙනවා වගේ ගතියක් ආව නොව, ඒත් ඉතින් හිත හයි කොරගෙන අඹ ටිකත් කඩලම තමයි ගහෙන් බැස්සේ



පස්සේ පස්සේ මම අලුත් සෙල්ලමක් හොයා ගත්ත

මේක කොරන්නේනම් ඉතින් ගොඩක් වෙලාවට ඉස්කෝලේ ඇරිලා එහෙම ආවට පස්සේ 

අපේ ඉඩමේ ගෙට උඩහා කොටසේ තියෙන්නේ තේ වගාවක්, ඒකේ තේ ගස් අතරේ බිම ගෝනි පඩංගු දෙකක් විතර එලාගෙන තේ ගස් අතරින් එහෙ මෙහෙ පනින කුරුල්ලෝ දිහා බලාගෙන ඉන්නවා

තේ ගස් යට බිම ලෝකය හරිම අපුරුයි, පුදුම සනීපයක් දැනුනේ ඒ දවස් වල


ඔයාලට කියන්න මොකද මම මේ දේස දීපන්කරේ එන්ට කලින් සති අන්තයක ගෙදර ගියාමත් එහෙම තමයි ඕන්

තේ ගස් අතරේ නිදාගෙන හිටපු දවස් නැතුවම නෙමෙයි, ඒ ලෝකය පුංචි උනාට පුදුම අපුරුවක් තියෙන්නේ


ඔන්න ඔහොම අපි දෙන්නත් එක්ක ගොඩක් වෙලා ඉන්නවා, මට වගේ නෙමෙයි මලයට එහෙම ඉන්න තරම් හිතේ එක්කාසුවක් නැහැ, ඌ පොඩි එකා නොව ටික වෙලාවකින් ඌ යන්න යනවා, 

මෙහෙම පැය ගණන් ඉන්නකොට එතන ඉන්න දෙමලිච්චන්ටත් අපි ගැන වගේ වගක් නැති වෙලා යනවා, උන් නිදහසේ පැන පැන කොළ රොඩු අවුස්ස අවුස්සා කෑම හොයනවා 


ඔන්න ඔහොම මම තනි වෙච්චි වෙලාවක මගේ හිතේ මහා කාලකන්නි හැගීමක් ඇති වෙලා අතට ගත්තු කැටපෝලෙන් ගල් කීපයක් විද්ද එතන හිටිය දෙමලිච්චන්ට 

රූන්  ගාල ලඟින් පියඹල ගියා ගල් කීපය අතුරින් එකම එක ගලක් එක දෙමලිච්චේකුගේ ඇඟේ වැදුනා


කිසිම සද්දයක් බද්දයක් නැතුව ඌ නිශ්චල වෙලා, මමත් එක පාරටම ටිකක් බය වුනා.

මේ වෙලාවේ මගේ හිතේ ඇති වෙච්ච කාලකන්නි කම කියන්නේ මම තව පාරක් ඒ වැරැද්දම කලා

මම ගැන විශ්වාස කරපු දෙමලිච්චෝ ඒ වෙලාවෙවත් මං ගැන සැක කලේ නැහැ, උන් දිගටම කෑම අහුල අහුලා ඉස්සරහට ගියා

නැති වෙච්ච සගයෝ දෙන්න එක පාරටම කිසි සද්දයක් බද්දයක් කලේ නැති නිසා එයාලට මුකුත් සැකයක් ඇති නොවෙන්නත් ඇති 

එක දවසක අහිංසක කුරුල්ලෝ දෙන්නෙක්ම.....


ඔහොම කාලයක් යද්දී මම කැටපෝල සෙල්ලමේ හොඳ ඉලක්ක කරුවෙක් උනා, කටපොලේට ටීක් බෝල දාල විදින්න, නම දන්නේ නැති කොළ පාට පොඩි ගෙඩි වර්ගයක්  කඩාගෙන ඇවිත් ඒවා දාල දුර විදින්න, මේ වගේ නොයෙකුත් වැඩ කළා...
පස්සේ පස්සේ ඔය සිද්ධිය මට අමතක වෙලා ගියා,

ඊට අවුරුද්දකට වගේ පස්සේ දවසක හවස් වරුවක අපි බට්ටිච්චෝ කියල කියන පුංචිම පුංචි කුරුල්ලෝ කීප දෙනෙක් පහළ තියෙන පොඩි දෙහි ගහක එහෙට මෙහෙට පැන පැන සින්දු කියනවා මම බලාගෙන හිටියා 
ඒ දෙහි ගහට අපුරුවට රාස්සිගේ අව රැල්ලක් වැටිලා තිබුනේ.
හරිම ලස්සන හැන්දෑවක්


අනේ... මේ වෙලාවෙත් මගේ ඇඟ ඇතුලේ ඉන්න යක්ෂයා එළියට ඇවිත්

කීප වතාවක්ම උත්සාහ කලත් උන් පුංචි වැඩි නිසා මට හරියට ඉලක්කෙට විදින්න බැරි උනා.

ඒත් මගේ කරුමෙට අන්තිමට විදපු ගලක් ඒ පුංචි කුරුල්ලෙකුට වැදුනා.
මට ඒ වෙලාවෙත් අර එදා දැනුනු හැගීමම දැනුනා, ටික වෙලාවක් බලන් ඉඳලා..

පස්සේ කාටවත් පේන්නේ නැතුව හොරෙන්ම පහළට බැහැල ගිහින් ඒ පුංචි කුරුල්ලව අතට අරගෙන බැලුවා

ඌට කිසි තුවාලයක් වෙලා නැහැ, ඒත් මුළු ඇඟම ගල් ගැහිලා පුංචි කකුල් දෙක ගල් වෙලා මගේ අත උඩ ඌ හිටියේ...


මට පුදුම දුකක් ඇති උන මම කරපු කාලකන්ණි වැඩේ ගැන, මේක ලියද්දිත් මගේ කාමරේ එකට ඉන්න යාලුවට පෙන්නේ නැති වෙන්න කී පාරක්නම් මම කඳුළු පිහිදාන්න ඇත්ද...
එතනින් පස්සේ මම ආයේ කවදාවත් කැටපෝල විද්දේ නැහැ. ඊට ගොඩ දවසකට පස්සේ මම දැක්ක මම අච්චර ආදරය කල කැටපෝලය අව්වට වැස්සට තෙමි තෙමි එළු හම දිය වෙලා ගිහින් ජරාජීර්ණ වෙලා තිබුනා


අන්තිමට දෛවයේ සරදමක් කියල කියන්න පුළුවන් විශේෂ දෙයක් සිද්ද උනා මගේ ජීවිතයට 
නමුත් ඒක සිද්ධ උනේ මට වයස 25 ක් වගේ වෙද්දී, 
හදිස්සියේ දවසක මම ගෙදර යන්න යන ගමන්, ගෙදර නොගිහින් වෙන ගමනක් යන්න මට සිද්ධ වුනා. ඒ ගමන ගියේ යාළුවන්ගේ බල කිරීමට වගේ. ඒක දවස් 3 ක චාරිකාවක්. සාමාන්‍ය ට්‍රිප් එකක් නෙමෙයි, වැදගත් අරමුණකින් ගිය පාරිසරික ගවේෂණයක් ඒක.

ඒ වුනාට ඒකෙන් පස්සේ මම ගොඩක් වෙනස් මනුස්සයෙක් වුනා 
කුරුල්ලන්ට සතා සීපාවට අසීමිතව ආදරය කරන්න පුළුවන් කමක්, උන් ගැන දැනගන්න, අධ්‍යනය කරන්න ආසාවක් ඇති වුනා.
ඉස්සර ඉඳල මගේ ඇඟේ හැංගිලා තිබුණු පරිසරය විඳීමේ ආසාව නැවත වර්ධනය කර ගන්නත් මට පුළුවන් වුනා
ඒකෙන් පස්සේ මම ජායාරුපකරණය පැත්තටත් වැඩිපුර යොමු වුනා,  2008 වසරේ වනජීවී අංශයෙන් මම ඉදිරිපත් කරපු ජායාරුපයකට තෙවන ස්ථානය හිමි වුනා.  ඒකෙ හිටියේ ලස්සනම ලස්සන පුංචි කුරුල්ලෙක්.
2009 වසරේ මගේ ජායාරූපයකට පළමු ස්ථානයත් හිමි වුණා. මේ තියෙන්නේ ඒ ෆොටෝ දෙක.


2010 වසරේ මම ගත්තු ජායාරුප කිහිපයක් ලංකාවේ රජයේ දුරකථන සමාගමේ කැලැන්ඩර් එකේ පිටු කිහිපයකුත් සැරසුවා.
පස්සේ පස්සේ මම පිස්සුවෙන් වගේ තමයි වනජීවිතයට ආදරේ කලේ.
දැනට වනජීවින් සම්බන්ධව පරිවර්තනය කර ඇති පොත් පත් සියල්ලම වගේ මගේ ගාව තියෙනවා, ඊට අමතරව අපේ රටේ ලේඛකයෝ ලියපු ඒවත් 

මේ කිසි දෙකින් මම කරපු වැරදි වහගන්න ලැබෙන්නේ නැහැ කියල මම දන්නවා. මොනවා කරන්නද.

2010  දී  මගේ සියලුම කැමරා ආම්පන්න විකුණා දමා අලුත් රස්සාවක් හොයාගෙන මම විදේශගත වුනා. අදටත් මම ලංකාවට ගියහම කොහේ හරි කැලයකට ගිහින් දවස් ගානක් ගත කරලා තමයි එන්නේ.


අනේ පුංචි කුරුල්ලනේ මට සමා වෙන්න. මේක බලන ඔයාලත් මට සමා වෙන්න මෙච්චර නරක වැඩක් කලාට.
මේක හැමදාම හිතේ දරාගෙන ඉන්න බැරි නිසයි මෙහෙම පාපොච්චාරණය කලේ 





Wednesday, 26 October 2011

රස්සාව....


කවුරැ හරි කැමතිද සතියකට දවස් හතරක් විතරක් වැඩ තියෙන රස්සාවක් කරන්න
වෙනද ගන්න පඩියට අමතරව තවත් ලොකු ගානක් අතටත් ලැබෙනවලු
ඒක ලංකාවේදී මම ගත්තු පඩියටත් වැඩිය ලොකු ගානක්
ඉතින් අකමැති වෙන කවුරුවත් ඉන්න එකක් නැහැ
ඒත් ඇයි එහෙම අඩු දවස් ගානක් වැඩ කරන්න වැඩි ගානක් දෙන්නේ කියන එක ගැනත් හිතන්න වෙනවා නේද 
කොහොම උනත් යම් යම් මුල්‍යමය හේතු නිසාත් නොගිහින් බැරි නිසාත් මමත් රෑ වැඩ මුරේට යන්න කැමති උනා
සෙනසුරාද හවස 5:00 ට ඔෆිස් බස් එක එනවා මාව ගන්න, ඊට පස්සේ 05:50 වෙද්දී වැඩපොළේ. පහුවෙනිදා උදේ 7:00 ට තමයි ඔෆ් වෙන්නේ
මුලින්ම කරන්න තියෙන්නේ දවල් ෂිෆ්ට් එක වැඩ කරපු අයත් එක්ක කතා කරලා දැනට තියෙන ප්‍රශ්න ටිකයි, මොනවද හදිසි වැඩයි කියල දැන ගන්න එක
ඒ ටික කරලා ඉවර වෙද්දී 06:10 වත් වෙනවා
ඔන්න දැන් තේ වෙලාව, කොහොමටත් ඉන්නේ දොයි මතේ නිසා මේ වෙලාවට කෝපි එකක් බොන එක ඇඟට ගුණයි
ඔන්න 06:30 වෙද්දී රාජකාරි, මුලින්ම කරන්නේ කොම්පීතරේ ඔන් කරලා ඇවිත් තියෙන අලුත් මේල් බලන එක
වරදවා තේරුම් ගන්න එපා, මට තියෙන්නේ රාජකාරි මේල් එකක් විතරයි
ඒක හරහා බොහෝ දුරට එන්නේ නඩු හබ වගේ දේවල්ම තමයි
ඒ මදිවට තව චැට් කරන්නත් කොමියුනිකෙටර් කියල එකකුත් තියෙනවා
මමනම් ගොඩක් වෙලාවට ඒක හිමීට ඕෆ් කරලා දානවා, නැත්නම් ඉතින් බඩුම තමයි
මොකා කතා කරලා මොනවා අහයිද දන්නේ නැහැනේ 
ඒ වගේම මට ඉන්ටර්නෙට් නැහැ, තියෙන්නේ ඉන්ට්‍රානෙට් එකක් විතරයි, ඒකෙ ඉතින් තියෙන්නේ රාජකාරියට අදාළ දේවල් විතරමයි
එක දවසක් මෙහෙම හවසක වැඩට යද්දී මගේ මෙසේ ගාව අලුත්ම core I7 වර්ගයේ පරිඝනකයක් කවුදෝ තියල ගිහිල්ල
බලද්දී ඒක මටලු ගෙනත් දීල තියෙන්නේ, ඉතින් මමම ඒක හයි කර ගත්තා
මොන දේ තිබුනත් වැඩක් නෑනේ, මට ඕක ගාව ඉන්න වෙලාවක් තියෙන්න එපයි
හිටියත් මොනවා කියල කරන්නද 
වාඩි වෙලා විනාඩි 5 ක් යන්න හම්බ වෙන්නේ නැහැ, ඔන්න අපේ කොල්ලෙක්(අපේ කිව්වට ඉන්දියන්) එනවා මාව ඇදගෙන යන්න 
ඌ ගෙනාපු සාම්පල් එකක් චෙක් කරන්නලු, ඉතින් ඒක පටන් ගන්නවා
අපහු ඉතින් තේ එකක් බොන්න යන්නේ රෑ 10:00 ට, එතකන් එක දිගට හිටගෙනම තමා වැඩ 
නිකන් නෙමෙයි, සෙල්සියස් අංශක 280 ක් රත් වෙච්ච ගිනි උඳුනක් ගාව, ඒක අරිනවා වහනවා ඉවරයක් නැහැ 
ඒකට දාන දේවල් උණු උණුවෙම එළියට අරගෙන වතුරේ දාල නිවල පිහිදාල එහෙම අරගෙන විශේෂ කොම්පීතර් එකකට දාල ස්කෑන් කරලා බලනවා
හරි නැත්නම් දීපියකෝ adjustment එකක්, අනේ එකක් හරි වැරදුනොත් කීයක්ද පාඩුව
රුපියල් වලින්නම් ගාන අඩුම එක ගත්තොත් ලක්ෂ  තිහක් වගේ, මට මතකයි එක පාරක් ඔහොම ලක්ෂ 75 ක් වටිනා බැච් එකක් බේර ගත්තු මනුස්සයෙකුට ආයතනයෙන් රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා මුදල් තෑග්ගක් දුන්නා 
ඒ වගේ එව්වා ඉතින් මේ ලොකු පුතා අතින් වැරදිලා නැතුවමත් නෙමෙයි, ඒත් ඉතින් මොනවා හරි යටි මඩි වැඩ වලින් ඒවා ගොඩ දාල යවනවා
රෑ 10:00 ට තේ බොන්න ගිහින් විනාඩි 15 කින් එනවා, ඒ ආවට පස්සේ පොඩ්ඩක්වත් වාඩි වෙන්න කියලද
නැහැ නැහැ එහෙම කොහොමද, ඔන්න මාර සේනාව වගේ ඉන්න කොල්ලෝ ටික අරව ගේනවා මේවා ගේනවා
මම චෙක් කරනවා... ඔහොම ගිහින් රෑ 12:00 වෙනවා නේද, ඔන්න වෙලාව
මාර සේනාව දැන් කන්න යන වෙලාව, ඒත් ඉතින් මම යන්න කියලය
මුන් කන්න යන්න කලින් ගෙනත් දාපු සාම්පල් චෙක් කරන්න වෙන කවුරුවත් නැහැනේ
ඒ ටික කරලා ඉවර වෙද්දී අඩු ගානේ 12:30 හරි 12:45 හරි වෙනවා
ඒ වෙද්දී අර මාර සේනාව කාල බීල බිම වැටිලා බුදි
අපි කන්න ගිහින් කාල බීල පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න කියල හිතාගෙන එනවා පාන්දර 01:15 වගේ වෙද්දී
මොන වාඩි වීමක්ද, මොන නින්දක්ද, ඒ වෙද්දීත් කලින් ඇහැරිච්ච එකෙක් ඉන්නවා මම එනකන් සාම්පල් එකකුත් අතේ තියාගෙන
ආපහු සුපුරුදු රටාව එක දිගටම පාන්දර 5:00 වෙනකන්
5:00 කියන්නේ අපේ තේ වෙලාව, ඒ වෙලාවටනම් මොන මළ යකා ආවත් පැය බාගයක් තේ බොන්න ගත කරලා තමයි එන්නේ
ඊට පස්සේ ඉතින් උදේ 06:50 වෙද්දී දවල් දවසේ වැඩ බාර ගන්න කට්ටිය එනවා
උන්ට තියෙන මාගල් ටික බාර දීල කාර්ඩ් එකත් ගහල බස් එකට යනවා දොයි ගන්න
මොන නින්දක්ද, අර නිකන් නෙමෙයි කියන්නේ දෙමළු පඩි ගත්ත වගේ කියලා
මෙහෙ ඉන්න ඉන්දියන් කාරයෝ ළතෝනි ගහන්නේ පඩි දකින්නෙවත් නැතුව 
ඉතින් ඔහොම කරලා උදේ 8:00 ට විතර බෝඩිමට එනවා
ඇවිත් යන්තම් මොනවා හරි දෙයක් හදාගෙන කාල, මේල් එහෙමත් බලල, බ්ලොග් එකටත් ටක් ගාල ගොඩ වැදිලා, පුළුවන් කමක් තියෙනවනම් රිප්ලයි එහෙමත් දාල දොයි ගන්න යද්දී වෙලාව අඩුම ගානේ 09:30 වෙනවා
ඔන්න දැන් තමයි නියම වෙලාව, මම දැනන් උන්නේ නැහැනේ මට දවල්ට නිදා ගන්න බැරි කමක් තියෙනවා කියලා
ඒ මදිවට පහල පාර හදනවා එක එක ජාතියේ යන්තර ගොඩක් ඇවිත්, උන් පාර කපනවා, එහෙට අදිනවා මෙහෙට අදිනවා, කපනවා කොටනවා පටවනවා, වැඩ කෝටියයි
එහෙට මෙහෙට පෙරලි පෙරලි ටික වෙලාවක් යද්දී හොඳට නින්ද යාගෙන වගේ එද්දී එක පාරටම දොර අරින සද්දෙටයි ලියිට් එකේ එළියටයි ඇහැරෙනවා
මගේ කාමර සගයා එනවා එයාගේ දවල් කෑම පැය දෙකේ ආතල් එක ගන්න, ඌ මම වගේ කට්ට කන්නේ නැහැ
වාසනාවන්ත කොල්ලෙක් 
හැබැයි ඉතින් ඒ මොන කරදර තිබුනත් මු මම උගන්නපු එක දේක ගුණේ තියනවා
මම නිදාගෙන ඉඳිද්දී මට දවල්ට කන්නයි රැට ගෙනියන්නයි කෑම හදල තියල තමයි මු යන්නේ
කඩෙන් චාටර් බත් කකා හිටපු මුන්ව බලෙන් වගේ උයන්න පුරුදු කරලා ගත්තේ මම 
ඔන්න ඉතින් මම හවස 4:00 ට නැගිටලා ටක් ගාල බත් ටිකක් කාල ලක ලැස්ති වෙලා ආපහු අර ගමනම යනවා
ඔය ගමන ඉවර වෙන්නේ බදාදා උදෙන් තමයි
ඒත් ඉතින් දවල්ට නින්ද යන්නේ නැති මම ඒ දවස් හතර ගත කරන්නේ කොච්චර අමාරුවෙන්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ 
ඒත් ඉතින් ආපහු තව වැඩිපුර ගානක් හොයන්න බ්‍රහස්පතින්දා අතිකාල කරන්නත් යන්න ඕනිනේ 
මුලින්ම මෙහෙට ආපු දවස් වල මට මගේ ගැනම දුක හිතිලා බස් එකේ එද්දී කාටවත් පෙන්නේ නැතුව අඩපු දවස් එහෙමත් නැතුවමත් නෙමෙයි 
මොනවා කරන්නද දුක තමයි රංජනී කියල හිත හදා ගන්නවා
තව බොහොම ටික කාලයයි, මම එනවා ලංකාවට
එන්නේ හිස් අතින් නෙමෙයි හැමතිස්සෙම හිටගෙන ඉඳලා හදා ගත්තු දනිස් අමාරුවක් සහ කොන්දේ අමාරුවකුත් එක්ක 
ඔන්න ජීවිතේ...

Saturday, 22 October 2011

කවුරු හරි මේවා අඳුරනවද...




මෙන්න මගෙන් පොඩි ප්‍රශ්නයක්... කවුරු හරි මේවා අඳුරනවද...
මමත් මේ වගේ දෙයක් දැක්කේ ජීවිතේටම එක පාරයි... මොකද මමත් එහෙට ගිහින් තියෙන්නේ තාම එක පාරයි.
මෙව්වයේ සාමාන්‍යය මල් වර්ග මම විතරක් නෙමෙයි ඔයාලගෙන් ගොඩ දෙනෙකුත් දැකල ඇති...
ඒත් මේක ඒ අතුරින් විශේෂයි කියල මම දන්නවා...
පුදුම ලස්සන පරිසරයක, පුදුම විදිහට හිත නිමා ගන්න පුළුවන් තැනකදී මම මේක ජායාරුපගත කලේ
මම දැන්ම කියන්නේ නැහැ මම මේවා දැක්කේ කොහෙන්ද කියලා
බලන්න යන්න කැමතිනම් තියෙන තැන මම කියන්නම්
හැබැයි ඊට කලින් ඔයාලගේ අදහස් දැන ගන්න ඕනේ...

Thursday, 20 October 2011

පොඩ්ඩා...



මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන මගේ මලයා වැඩිපුර ජාලය පාවිච්චි කරන්නේ නැහැ, පාවිච්චි කලත් එයා ඔය බ්ලොග් ගැන එහෙම වැඩිය දන්නෙත් නැහැ කියන එකත් මට හොඳටම ෂුවර්. ඒක නිසා බයක් හැකක් නැතුව මේ කතාව ලියන්න පටන් ගත්ත. මොකද මේ කතාව එයා දකිනවට මගේ හිතේ මොකක්දෝ මන්ද කියන්න නොතේරෙන අකමැත්තක් තියෙනවා.

අපි ඉතින් පවුලේ බඩපිස්ස වෙච්චි මලයට කිව්වේ "පොඩ්ඩා" එහෙම නැත්නම් "පොඩි මල්ලි" කියලා. මට ඉන්න එකම මලය මු වෙච්චි. එහෙව් එකේ මමත් අක්කල කියන විදිහටම මෙයාට කිව්වේ "පොඩි මල්ලි" කියල තමයි.

හැබැයි මේකා පොඩ්ඩක් එක විදිහක් වගේ කියල තමයි මට ඒ දවස් වල තේරුනේ. මිනිහට පිළිවෙලකට වැඩක් පලක් කොරගන්ට බැහැ. සමහර වැඩ අර යකා දත් හිටෙව්වා වගේ තමයි. අපේ අම්ම මෙයා පුංචි කාලේ වස වැරද්දක් කරලා තිබුනා. මලය වම් අතින් වැඩපල කරන්න හුරු වෙනවා කියල දැකපු ගමන් අම්ම මොකද දන්නවද කොරල තියෙන්නේ, ඒකාව බලෙන්ම වගේ දකුණු අතට හුරු කොරල තිබුනා. එහෙම කරන්ට හොඳ නැහැ කියල අපේ අම්ම දැනගෙන ඉඳල නැහැ නොවැ.

ඔක්කොටම වැඩිය අමාරු දේ තමයි මෙයා පිහියකින් එහෙම මොකක් හරි කපද්දී ඒක බලන් ඉන්න තියෙන අමාරු කම. කොයි වෙලාවේ අත කපා ගනීද කියන්න බැරි ගානට තමයි වැඩේ සිද්ධ වෙන්නේ.

අපි පුංචි කාලේ අපේ ගෙදර ඉඳල පහලට එන්න තියෙන පාරට අවුරුද්දකට වතාවක් දෙකක් පස් දාල ලස්සනට හදනවා. මේක කරන්නේ වෙනින් කවුරුවත් නෙමෙයි ගමේ උදවියම තමා. ඒ වගේ දවස් වලට අපිටත් රජ මගුල්. පස් ගොඩේ දඟලන්න, කරත්ත පද්දන්න, ටයර් පද්දන්න. මේ වගේ නොයෙකුත් වැඩ රාජකාරි.

මට වැඩිය අවුරුදු 5 ක් බල වෙච්චි මගේ මලයා ඒ දවස් වල ඉතින් මගේ පස්සෙන්ම තමා. මම හිතන්නේ එයාගේ ලෝකේ වීරයා මම වෙන්න ඇති. මටත් ඉතින් මේ කාලේ හිටපු හොඳම සහයක ඩැනී මෙයා තමයි. මිනිහ පොඩි එකා උනාට මම කොරන දේම එයාටත් කොරන්ට ඕනේ. මම කරත්තයක් හදනවනම් එයාත් බැරි පුළුවන් ගාතේ කරත්තයක් හදනවා. මම බට තුවක්කුවක් හදනවනම් ඒත් එහෙමයි.
හැබැයි ඉතින් මෙයා මොන සෙල්ලම් බඩුව හැදුවත් ඒවායේ එච්චර ලකයක් මට පෙනුනේ නැහැ. කරත්තයක් හැදුවොත් ඒක අටපට්ටම්. තුවක්කුවක් හැදුවොත් ඒකෙන් වෙඩි තියන්න බැහැ. ඉතින් මටම තමයි ඒක අඩු පාඩු හදල දෙන්න වෙන්නේ. කැටපෝලයක් හැදුවොත් ඒකෙන් ගල් එකක් දෙකක් විදපු ගමන් එක්කෝ පටිය ලිහිල යනවා, නැත්නම් කැඩිලා යනවා.

මේ මොන දේ වුනත් පුංචි කමට හරි මිනිහත් කිසිම ගේමක් අත ඇරියේ නැහැ.
ඒත් ඉතින් දැන් මට හිතෙන්නේ අපි දෙන්නගේ වයස පරතරය නිසා වෙන්න ඇති මම එච්චරටම අඩු පාඩු දැක්කේ කියල තමයි. ඒත් ඉතින් ඒ කාලේ මම හිතාගෙන හිටියේ මෙයා තමයි මට ඉන්න ලොකුම තරඟකාරය කියලනේ. මොකද මෙයා නිසානේ එක පාරටම හොඳට හිටපු මාව ලොකු පුතා කෙනෙක් උනෙත්. ඉතින් එහෙව් තරඟකාරයෙකුට උදව් පදව් කොරල මේ කොරන සෙල්ලම් වලින් මට පරදින්නත් බැහැනේ.
අපේ ගෙදරට උඩහින් තියෙනවා ලොකු කන්දක්. ඕකේ උඩම හරියට වෙන්න තියෙන්නේ කැලා වදුලකුයි කැකිල්ල ගාලකුයි. මේ හරිය ටිකක් අඳුරුයිත් එක්ක, ඒ මදිවට වල් උරෝ, ඉත්තෑවෝ එහෙමත් හිටිය හරියට. හිටිය විතරක් නෙමෙයි තාමත් ඉන්නවා.

මටත් ඉතින් ඔය දිහාවේ හරි හරියට වැඩ රාජකාරි, කරත්ත හදන්න ලී කපන්න, තුවක්කු හදන්න එහෙමත් නැත්නම් වෙසක් කුඩු හදන්න බට කපන්න, ඊට පස්සේ තුවක්කු වලට දාන්න උණ්ඩ හොයන්න යන්න. ඒ කියන්නේ වෙන මොකුත් නෙමෙයි "බලුදන්" හොයන්න යන්න. එහෙමත් නැත්නම් අන්නාසි ගලේ අන්නාසි ඉදිලද බලන්න යන්න. මෙන්න මේ වගේ වැඩ වලට කොච්චරවත් එහෙ යන්න වෙනවා. ඉතින් එහෙම යද්දී තවත් කවුරු හරි ඉන්න එක කොයිකටත් හොඳයිනේ. තනියම යන්න බයකට එහෙම නෙමෙයි ඕන්.
ඔය කොහේ ගියත් මගේ තනියට අඬගහන පරක්කුවෙන් මේකා මගෙත් එක්ක ඇති. අනේ ඉතින් එකට ගිහින් බලුදන් කඩාගෙන ආවත් ඒකෙන් වෙඩි තියන්නෙත් ඒකටමනේ. මොකද මට වඩා අවුරුදු 5 ක් බාල වෙච්චි ඌට මගෙත් එක්ක හැප්පිලා දිනන්න බැහැනේ.

මට මතක විදිහට එදා අපි පාර දිහාවට කරත්ත සවාරියක් ගෙහුං එමින් ගමන් උන්නේ. අපි දෙන්න දැක්ක තරමක් වේලිච්ච "හා බෙටි" ගොඩක්.
ඔයගොල්ලෝ ඒවා දන්නවනේ, අර ලස්සනට හුරුබුහුටියට බෝල බෝල තියෙන්නේ. අන්න ඒවා...
ඉතින් ඕක දැක්ක ගමන් මලය මගෙන් අහපි "අයියේ මේ මොනවද" කියලා.
මමත් ගත කටටම කිව්වේ නැතා "ආ මේ වේලිච්ච දන් ගෙඩි ටිකක්නේ" කියලා.
මෙයත් ඉතින් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ටක් ගාල එයින් ටිකක් අහුලාගෙන කටේ දා ගත්තේ නැතැයි.
ටික වෙලාවකට පස්සේ මම ඇත්ත කිව්වා විතරයි මේකා "තුහ් තුහ්" ගාල ඒ ටික විසික්ක කොලා....
එච්චරයි, ආයේ ඉතින් "ඊක් මීක් ගෑවිලි" "වමනේ දාන්න හැදිලි" එව්වා මොකුත් නැහැ...
මම මේ නරුම වැඩේ කලාට ඌට ඒක එච්චර ගානක් නැහැ, ඉතින් ගෙදර ගියාට පස්සේ මමම මේක අම්මලට (අක්කලාද ඇතුලත්ව) කිව්වා. ඔන්න එයාලනම් "පව් පොඩි එකා" කියල අනන් මනං කිව්වා මිසක් මටත් ලොකුවට දොස් කිව්වේ නැහැ.
පස්සේ කාලෙක මේක මතක් කලාම උනත් ඌ කිව්වේ "ආපහුනම් උඹ කියන එව්වා විස්වාස කරන්නේ නැහැ" කියල විතරයි.

ඒ දවස් වල මගේ තවත් එක නරුම වැඩක් තිබුනා.. ඒ තමයි අතට අහු වෙන ලනු කෑලි, රෙදි පටි කෑලි වගේ දේවල් වලින් මලයව එක්කෝ ගහකට තියල එහෙම නැත්නම් නිකම්ම හරි තදට ගැට ගහන එක. එයාට තියෙන්නේ කොහොම හරි ඒකෙන් නිදහස් වෙන එක. මිනිහ එකට එච්චර අකමැත්තක් පෙන්නුවෙත් නැහැ. ඉතින් මේ වැඩේ දවස් කීපයක්ම සිද්ධ උනා අම්ම දකිනකම්ම.
ඒ දැකපු වෙලාවේ අම්ම මට ටිකක් ආදරයෙන් සැළකුවද කොහෙද...

කොහොම හරි ඒ දවස් වල මට උගේ පොඩි කම පෙනුනේ නැහැ, මම ගොඩක් වෙලාවට ඌට මගේ ලොකු කම පෙන්නුවා කියලයි දන් මට හිතෙන්නේ.

ඒත් මම ඌව තුරුලට අරගෙන හුරතල් කරපු දවස් නැතුවමත් නෙමෙයි. සමහර වෙලාවට මම උගේ කන් පෙත්ත කටේ දාගෙන සුප්පු කරනවා ආදරේට.
කොහොම උනත් මම ඌට දීපු වධ වලට කෑ ගගහ ඇඩුවේ බොහොම කලාතුරකින්.
මේක ලියාගෙන යද්දී මම ඌට කොච්චර වධ දුන්නද කියල මතක් වෙලා යතුරු පුවරුව බොඳ වෙච්ච වාර ගාන මතකත් නැහැ.

මට ඌට මීට වඩා හොඳින් ඉන්න තිබුන නේද කියල මට දැන් හිතෙනවා.
ලබන ආත්මෙත් උඹ මගේ මල්ලි වෙලා ඉපදියන්. එතකොට මම මගේ වැරදි හදාගෙන උඹට හැමතිස්සෙම ආදරෙන් ඉන්නම්.

මීට,
අයියා.

Monday, 17 October 2011

පිහිය

මගේ මේ කතාව කියවගෙන යද්දී ඔයාලට මම ගැන මොනවා හිතෙයිද දන්නේ නැහැ. මුනම් වැද්දෙක්ම තමයි කියල නොහිතුනොත් තමයි පුදුමේ. මොකද අපේ ගෙදර අයටනම් ඒ කාලේ එහෙම හිතිලා තිබුන විතරක් නෙමෙයි පස්සේ පස්සේ මට ඒක මුනටම කිව්වත් එක්ක.
මගේ අතට පිහියක් හුරු උනේ අවුරුදු 3 ක් වෙන්නත් කලින්. ඒ කාලේ මගේ අතින් ඒක අහක් කරන්න කාටවත් බැහැ. එච්චරට ඒ පිහියට මම කැමතියි. අපේ මිදුලේ කොනක වැවිල තිබුන රබර් ගහට පිහියෙන් කොටන එක මගේ දවසේ ලොකු රාජකාරියක් වුනා.
ඒ වගේම මේකෙන් පොලව හාරන්නත් පුළුවන්. එහෙම හාරද්දී හම්බ වෙන ගැඩවිලි පනුවෝ එහෙම මම හුරතල් කරනවත් එක්ක. පණුවෙක් අතින් අල්ලනවා කියන්නේ මටනම් අදටත් හිරිකිතයක් දැනෙන දෙයක් නෙමෙයි ඕන්.
දවසක මෙන්න මේ වගේ නරක වැඩක් උනා මට. මම රබර් ගහට තියලා කෝටුවක් කපන්න හැදුවා මගේ පිහියෙන්. එක පාරටම පිහිය දුවගෙන ඇවිත් මගේ ඇත හැපුවා. අත කිව්වට එයා හැපුවේ මගේ වම් අතේ දබරගිල්ල. දැන් මගේ පුංචි ඇඟිල්ල හෝ ගාල අඩනවා.

ඔන්න ඉතින් මම රිදිච්ච නිසයි කේන්තිය නිසයි ලතෝනි තියන්න පටන් ගත්තා. ඒ මදිවට මම ආදරෙන් ළඟ තියා ගත්තු පිහියත් එහා වත්තට විසික්ක කරලා දැම්මා. ඒ ඉඩමේ තිබුනේ පරණ වෙච්ච ලොකු රබර් ගස් ටිකක්. එකේ පොඩ්ඩක් කැලාව වැවිලා තිබුන. අන්න ඒකට තමයි මම පිහිය විසික්ක කලේ. වම් අතේ දබරැඟිල්ල හොඳටම කැපිලා, කැපිච්ච කෑල්ල වෙන් වෙන්න ඔන්න මෙන්න ගානට එල්ලී එල්ලී තියෙනවා.

ඉතින් හැමදාම වගේ මේ වෙලාවට තාත්තත් ගෙදර නැනේ. එහා ගෙදර ඉන්න අයිය කෙනෙකුටද කොහෙද කතා කරලා පුස් බයිසි එකක නග්ගලා මාව බෙයි දාන්න එක්කගෙන ගියා. ඒක අපේ ගමේ තිබුන පුංචි ඩිස්පෙන්සරියක්. ඒ දොස්තර මහත්තය ඔය වගේ මැහුම් ගෙතුම් වැඩ වලට දක්ෂයෙක්. එයා මගේ ඇඟිල්ලට පුංචියි කියල බලන්නේ නැතුව මැහුම් 4 ක්ම දැම්මා. ඒත් මම නෙමෙයි කට හෙල්ලුවේ. සද්ද නොකර හිටිය. බයකට එහෙම නෙමෙයි වෙන්න ඕනේ මම එහෙම හිටියේ.
ඔප්පොම වැඩ ඉවර උනාට පස්සේ දොස්තර මහත්තය මට "හොඳ බබෙක්නේ" කියලත් කිව්වා ඔලුව අත ගාල.

ඔය වැඩ ටික ඉවර වෙලා අපහු ගෙදර ආවට පස්සේ මට ආපහු මගේ යාළුවව මතක් උනා. ඉතින් මම එයා ගැන ගෙදර අයගෙන් ඇහුවා. එයාල කිව්වා එයාලට මගේ යාළුවව හොයා ගන්න බැරි උනා කියලා. ඉතින් මමත් ඕක හොයල බලන්න එපාය. බැරි පුළුවන් ගායේ මමත් ඒ කැලාව පැත්තට ගිහින් මගේ යාළුවව හෙව්වා. ඒත් එයා හිටියේ නැහැ එතන. ඒ වගේම තමයි මටත් මතක නැහැනේ හදිස්සියට එයාව කොහාටද දැම්මේ කියලා. ඔන්න මම එයාව විසිකලේනම් නැහැ. හිමීට කැලේ පැත්තට දාල ගියා විතරයිනේ.
කොහොම උනත් මට එයාව ආපහු හම්බ උනේ නැහැ. ගෙදර අයත් මට උදව්නම් උනා තමයි ඒක හොයන්න. ඒත් මට දැන් හිතෙනවා මාව පොඩි කුමන්ත්‍රණයකට අහු උනාදෝ කියලා.
අපේ ගෙදර උදවිය මාව මගේ යාලුවගෙන් වෙන් කරවන්න හිතාගෙන යාලුවට මොනා හරි කළා වෙන්න ඕනේ. මොකද ඒ කැලේ ගොඩක්ම ලොකු කැලයක් නෙමෙයිනේ. ඒක ඒ දවස් වලත් මගේ දනිස්ස ගාවට වගේ තමයි වැවිල තිබුනේ.

දැන්කාලේ ළමයින්ට එයාලගේ දෙමව්පියෝ නිදහසේ නටන්න ඉඩ දුන්නේ නැති උනාට මටනම් එහෙම තහංචියක් තිබුනේ නැහැ. මේ වගේ පොඩි පොඩි අකරතැබ්බ සිද්ධ උනාට එහෙම ඉඩ දීපු එකනම් ලොකු දෙයක්. නැත්නම් මට වයසට ගිහින් මතක් කරන්නවත් දෙයක් නැති වෙනවනේ.

පස්සේ දවසක මේ වගේම බයිසිකලේක රෝදයක් පැනල මගේ කකුල හපා කෑවා. ඒ වෙලාවෙත් මාව එක්කගෙන ගියේ මේ දොස්තර මහත්තයා ගාවටම තමයි. එතකොට මම පොඩි ළමයෙක් නෙවෙයි. වයස අවුරුදු 8 ක විතර ලොකු ළමයෙක්. අන්න ඒ වෙලාවේ දොස්තර මහත්තය කකුලට ආපහු කටුවකින් ඇන ඇන මැහුම් 7 ක් දාද්දීනම් මට කට පියාගෙන ඉන්නම බැරි උනා. මගේ කටින් නරක වචනෙකුත් පිට උනා.
මම හිතන්නේ කුනුහබ්බයක්ද කොහෙද ඒක.

ඒ වචනේ මෙතන දාන එක හොඳද මන්ද, ඒත් ඉතින් ඔයාල දැන් ලොකු ළමයිනේ. ඒක නිසා මම දාන්නම්.
මම එයාට කෑ ගැහුවේ මෙන්න මෙහෙම කියලා......
"රිදෙනවා බල්ලෝ"..... කියල
ඒත් දොස්තර මහත්තය හිනා වේවි එයාගේ මැහුම් ගෙතුම් පන්තිය දිගටම කරගෙන ගියා නෙව.

Saturday, 15 October 2011

හීන කාර් එක


මා පුංචි වයසේදී මහා නපුරෙක් බව මාගේ ඥාතින් අදටත් පවසන්නේ සිනහා මුසු මුහුනින්ය.නපුරුයි පවසන්නට මම මහා ලොකු නපුරු කමක් කල බව මා හටනම් මතක නැත.

පවුලේ හතර වැන්නා ලෙස උපත ලද මා අප පවුලේ සිටි එකම පිරිමි දරුවාද වීමෙන් මා හට සියල්ලන්ගේම අවධානය සහ ආදරය ලැබීමට මග පෑදීමක් විය. නමුත් මම ටිකක් වෙනස් දරුවෙක් වන්නට ඇත. අපේ පවුලේ උදවියගේ අතින් වෙන කෙනෙකු අතට මාරු වන්නට සිදු වුවහොත් මාගේ සුපුරුදු පැවතුම් වෙනස් වී යයි.

මාගේ ගැලවීම සඳහා කුඩා ප්‍රමාණයේ ආරක්ෂා සංවිධාන යොදා ගැනීමට සිදු විය. වඩාගත් කෙනාගේ මුහුණට කෙල ගැසීම, අතට අහුවන ඕනෑම තැනක් හීරීම, මෙම ආරක්ෂක ක්‍රමවේදයන් වලට අයත් විය. මාගේ මෙම අහිංසක වැඩ නිසාවෙන්ද මොවුන් මා හට නපුරායයි කිවේ.

බොහෝ පුංචි වයසේදී සිදු වූ සහ සිදු කල දෑ අදටත් මාගේ මතකයේ රැදී ඇත්තේ වාසනාවට විය යුතුය.

ආ ඔයාලට කියන්න අමතක උනානේ මම අවුරුදු එකහමාර වෙද්දී මගේ අම්මගෙන් ඈත් වෙලා මගේ ලොකු අක්ක වෙච්ච සුදු අක්ක එක්ක තමයි රෑට දොයි ගත්තේ. ඒකට හේතුවක් කියන්නනම් මම දන්නේ නැහැ. අම්ම අදටත් දුකෙන් වගේ එක මතක් කරන්නේ. ඒ දවස් වලම මම අම්මගෙන් කිරි බොන එකත් නතර කලාලු.

ඔන්න ඔය වගේ දවසක මම ලස්සන හීනයක් දැක්කා. මේ වෙද්දී මට වයස අවුරුදු දෙකක් දෙකහමාරක් කියල තමයි ගෙදර ය කියන්නේ.

මම අපේ මිදුලේ තිබුනේ සුදු වැලිගොඩේ ලස්සනම ලස්සන කාර් එකක් ඇන්දා. ඒක කොච්චර ලස්සනද කියනවානම් ඒක තමයි මම ඒ වෙනකොට දැකලා තිබුන ලස්සනම කාර් ඒක.
හැබැයි මේ කාලේ වෙද්දී අපේ ගෙවල් වල TV තියා විදුලියවත් තිබුන කාලයක් නෙමෙයි.
ඒ වගේම අපේ ගමේ කොහෙවත් මම ඒ දැකපු වගේ ලස්සන කාර් තිබුනෙත් නැහැ. කාර් එකක් දෙකක් තිබුනත් ඒවා ඔක්කොම අර ඉබ්බෝ වගේ කළු පාට කැත කාර්.

ඔයාල අහන්න එපා ඉතින් මම කොහොමද ලස්සන කාර් එකක් දැක්කේ කියලා. කොහොම හරි මම හීනෙන් ඇන්දේ මම දන්න ලස්සනම කාර් ඒක තමයි.

ඒ කාර් එක රතු පාටයි, ඒකෙ දොරවල් අරින්න වහන්නත් පුළුවන්. මිදුලේ ඇඳපු කාර් ඒක රතු පාටට ඇන්දේ කොහොමද කියල මගෙන් අහන්න එපා....
ඒක මම දන්නේ නැහැ, පොඩි කාලේ මට ගොඩක් දේවල් පුළුවන්. ඒක නිසා වෙන්න ඇති මිදුලේ එච්චර ලස්සන දොරවල් අරින්න වහන්න පුළුවන් කාර් එකක් පුංචි මම තනියම ඇන්දේ.

ඒත් ටික වෙලාවකින් කවුදෝ මන්ද ඒක මකල දාලා. ඉතින් මට හරි දුකයි. ඒක ආපහු ඇඳලා දෙන්න කියල කෑ ගගහ තමයි මම හීනෙන් නැගිට්ටේ.

මට මතකයි ගෙදර හැමෝම වගේ ලස්සනට හඳ පායලා තිබුන ඒ මහ රෑ මාත් එක්ක මිදුලට බැහැපු හැටි.
අක්කලා එක එක විදිහට මිදුලේ කාර් අඳිනවා. ඒත් ඒ එකක්වත් මම හීනෙන් ඇඳපු කාර් ඒක තරම් ලස්සන නැහැ.
මම හීනෙන් ඇඳපු කාර් ඒක කොච්චර ලස්සනද කියල එයාල දන්නා එකක්යැ.

මමත් අඬ අඬ කෑ ගහනවා ඇදපාන් ඇදපාන් කියලා...
අන්තිමට කොහොම හරි අඬල අඬලා මහන්සි වෙලා නින්ද ගිය මාවත් කරපින්නාගෙන එයාල ගෙට ගිහින් තිබුනා...

ඒ ටික මට මතක නැහැ ඉතින්, මොකද මට දොයිය ගිහින්නේ තිබුනේ...
ඔන්න ඔය විදිහට මම දැකපු ලස්සනම කාර් එක මට නැති වෙලා ගියා


ඔබේ අදහස් මා ඉතා ගරු කොට සලකමි....!!

මතක සුවඳ.....

මතක සුවඳ ඔස්සේ නිරතුරුවම හමා යනු ඇත්තේ මතකයන්ය, ඒවා අලුත් හෝ පරණ හෝ වේවා කුමන අකාරයේ හෝ මතකයන් වනවාට සැක නැත.

මගේ බ්ලොගය පටන් ගැනීමට පෙර කලක් මම සිංහල බ්ලොග් කරණයේ යෙදෙන බොහෝ දෙනෙකුගේ බ්ලොගයන් බලමින් ගත කලෙමි. ඇනෝ කෙනෙකු වශයෙන් බ්ලෝග කීපයක කමෙන්ටු ද දැමුවෙමි. ඇනෝවකු වී සිටීම මදිපුංචි කමක් දෝ හැඟෙන අවස්ථාද බොහෝ විය. නමගිය බ්ලොග් කරුවන් ඇනෝ ප්‍රතිචාර(හොඳ ඒවා පවා) නොසලකා හරින අයුරුද දුටුවෙමි.

එක වරම මාගේ සිතේ "මමත් බ්ලොග් එකක් පටන් ගත්තොත් මොකද" යන සිතුවිල්ල ඇදී ගියේය.
එයට හේතු වුයේ මේ මදිපුංචි කම් නොවන බව කිව යුතුමය. ප්‍රධාන හේතුව වුයේ මා සතුව කීමට දෑ තිබීමය.
how to start a blog ලෙසින් අන්තර්ජාලයේ සෙවීමෙන් මෙය අටවා ගැනීමේ මග පහල විය.
මම මහා කතන්දර කාරයෙක් නොවෙමි, නමුත් මා හට කීමට තරම් සුන්දර ළමා කාලයක්, අතීතයක් උරුම වී තිබිණි. මා දිවි ගෙවූ සුන්දර ගම් පියසේ සුවඳ අදටත් මා සිතේ දැවටෙමින් ඇත්තේ මා ඉන් දුරක වෙසෙන නිසා විය හැක.

දිනකට අන්තර්ජාලයේ සැරිසරන පැය 4 ක් හෝ 5 ක් ද මා සතුව ඇත. (මගේ රැකියා ස්ථානයේ මා හට අන්තර්ජාලය නොමැති බව කරුණාවෙන් සලකන්න)
20mb/sec උපරිම වේගයක් සහිත අන්තර්ජාල පහසුකමක්ද හොඳට හෝ නරකට මා සතුව ඇත.

අවසානයේ මහා ලොකු පැනයක් ඇති වුයේ බ්ලොගයට නමක් දැමීමට ගිය අවස්ථාවේදීය. අලුත උපන් බබෙකුට නමක් තේරීමේදී ඇති වන ගැටලුවට සමාන මට්ටමේ ගැටළු මා සිත තුළ තෙරපින.
අවසාන සිත් ගත් නමක් සපයා ගැනීමට කිහිප වතාවක්ම නියපොතු හැපීමටද සිදු විය.
ඉතින් අදින් පහුව මමත් ඔබ හා කතා කරන්නම්. බොහෝ දුරට මුල් කාලයේදී තනිව කතා කරන්නටද සිදු වේවි, එහෙත් තනිකම මා හට අරුමයක් නොවේ. විටෙක එය මා කරා සැනසීම රැගෙන එන්නේය.

නමුත් මාගේ නව බ්ලොගය හා ඔබ සම්බන්ධ වෙන්නේනම් එය මාගේ සතුටට හේතු වනවා නොඅනුමානය.
මීට
ලොකු පුතා