Friday, 25 November 2011

වැරදීමකින් ගිය කුමන චාරිකාව 03



..........................................................................................................................
අපි කරක් ගහපු වැව් පිටි වලදී සංචාරක කුරුල්ලන් වර්ග කීපයක් දකින්නත් පුළුවන් උනා.

සමහර සංචාරක කුරුළු වර්ග දිවා රෑ කියල බලන්නේ නැතුව සැතපුම් දහස් ගණන් එක දිගට පියාසර කරනවා තමන්ගේ ගමනාන්තය තෙක්ම. අපේ රටට කුරුල්ලන් එන මාර්ගය තියෙන්නේ ඉන්දියාව හරහා. ඉතින් මෙහෙම එන කොටසක් ඉන්දියාවේ නතර වෙනවා. තවත් කොටසක් තවත් ඉදිරියට පියාඹගෙන ඇවිත් අපේ පුංචි රටට එනවා. ඒ එන්නේ එයාලගේ රටේ සීත කාලය තුල අපේ රටේ උණුහුම විඳගෙන කාල බීල තර වෙලා යන්න මිසක් වෙන දේකට නෙමෙයි. හැබැයි මේ සමහර කුරුළුවර්ග වල උපවිශේෂ කීපයකුත් දකින්න ලැබෙනවා. එහෙම සමහර උපවිශේෂ ලංකාව තුල කූඩු හදල බිත්තර දාල තමන්ගේ පරපුර ඉදිරියට ගෙනියන්නත් කටයුතු කරනවලු.
ඒ වගේම මෑතකදී වාර්තා උනා බොහෝම අපුරු සිදු වීමක්. Blue-tailed Bee-eater (නිල්පෙඳ බින්ගුහරයා) කියන කුරුල්ලා අපේ රටේ පදිංචි කාරයෙක් නෙමෙයි. ඒත් මෑතකදී යාල කැලයෙන් වාර්තා උනා මේ කුරුල්ලෝ රංචුවක් කූඩු හදාගෙන එහේ පදිංචි වෙලා ඉන්නවා කියලා. මෙයාලගේ පදිංචිය වෙන්නේ ගිනිකොණදිග ආසියාව. සමහර විට තමන් හිටපු රටවල් වල ජීවත්වෙන්න තියෙන හැකියාව අඩු වීම නිසා ලංකාවේ නතර උනා වෙන්න පුළුවන්.


පුංචි මාල ඔලෙවියා - Little Ringed Plover
රත් ගල් පෙරලියා - Ruddy Turnstone
(ෆොටෝ එකේ වම්පැත්තේ ඉන්න තද පාටට පේන ලොකු කුරුල්ලෝ දෙන්නා)

අනිත් දෙන්නව මට අඳුන ගන්න අමාරුයි Bird Guide එකක් නැතුව.
පොදු සිලිබිල්ලා - Common Sandpiper
මේ දෙන්න ලංකාවේදී නිවැසියන් විදිහට දකින්න පුළුවන් අය.

සැවුල්පෙඳ දියසෑනා - Pheasant-tailed Jacana
පුංචි මුහුදුලිහිණියා - Little Turn
මෙයාගෙත් උපවර්ගයක් ඉන්නවා ලංකාවට පර්යටනය කරන
ඒත් ඒ දෙන්නව වෙන්කරලා අඳුනගන්න බැරි නිසා මම එයාව අපේ රටේ නිවසි ගනයටම දැම්මා
කුරූ කියන යාලුවට කුරුල්ලෝ, සමනල්ලු, මල් වර්ග, ගස් වර්ග ගැන හොඳ දැනුමක් තියෙනවා. එහෙමෙහෙ යනඑන ගමන් සහ කෑම්ප් එකේ ඉන්න ගමන් අපි ගොඩක් වෙලාවට එක එක දේවල් සාකච්ජා කරනවා. එකඑක කතා කියනවා, විහිලු කරගන්නවා. කට්ටිය වැඩියෙන් ඉන්නවනම් මොනවා හරි විනෝද වැඩහටහන් එහෙමත් තියෙනවා. හැබැයි ඒවා කරන්නේනම් කෑම්ප් ඉන්නකොට නෙමෙයි. ගොඩනැගිල්ලක් ඇතුලේ ඉන්නවනම් විතරයි. සාමාන්‍යයෙන් කැලේකදී අපේ දවස ගෙවෙන්නේ ඒ විදිහට තමයි.
අපේ ගයිඩ් මල්ලි කලින් වැඩ කරලා තියෙන්නේ දැන් කුරු වැඩ කරන දෙපාර්තමේන්තුවේමයි. ඊට පස්සේ තමයි වනජීවී දෙපාර්තමේන්තුවට බැඳිලා තියෙන්නේ. ඉතින් දෙන්න එක්ක ආපු වෙලාවේ ඉඳලා බරටම කතාව. මල්ලිත් දන්නේ නැති දේවල් කුරූගෙන අහ ගන්නවා, දෙන්න වැඩිපුර හිටියේ වෙනම ලෝකෙක.
ඒ මලයටත් සමහර ගයිඩ්ලට වැඩිය කුරුල්ලෝ, ශාක වර්ග ගැන තරමක දැනුමක් සහ ඉගෙනගන්න උනන්දුවක් තිබුනා.
සමහර ගයිඩ් ලා වැඩි දැනුමක් නැතුව තමන් එක්ක යන අයට බොරුත් කියනවා, ඒ අතින් මේ ගයිඩ් මලයා ගොඩක් හොඳයි. 

අපි ඉතින් එදා හවස් වෙද්දී කෑම්ප් එකට ඇවිත් ගිමන් හැරලා රෑ කෑම හදන්න පටන් ගත්තා. කට්ටියක් ගිනිමැලේ පත්තු කරන්න දරකොට හොයන්න ගියා. ඊට පස්සෙ උයන වැඩේටත් ඒ තරම් වෙලාවක් ගියේ නැහැ. රෑට බත් එහෙම කාල වෙනදා වගේ වැඩිය කතාබහ කර කර හිටියේ නැහැ. මහන්සිය වැඩි නිසා ඉක්මනටම නිදා ගන්න ගියා. එක පාරටම මහ රෑ මට ඇහැරුනා වතුර පාරක සීතලට. බලද්දී හෝ ගාල වහිනවා, ටෙන්ට් එක ඇතුලටත් වතුර ගලනවා. ටක් ගාල නැගිටලා බැලුවා ඇතුලේ වටිනා කියන තෙමෙන්න හොඳ නැති දේවල් මුකුත් තියෙනවද කියලා. තිබ්බ බෑග් ටිකත් එහෙට මෙහෙට කරලා වතුර ගලාගෙන යන්නේ නැති තැන් වලින් තිබ්බා. ඊට පස්සෙ ටෙන්ට් රෙද්දට යටින් තියෙන වැල්ල තලලා වතුර පාර හැමතැනම විසිරිලා නොයන විදිහට පොඩ්ඩක් හදා ගත්තා.
අපි හිටපු ටෙන්ට් එක ඇතුලෙමයි අපේ යාළුවා හිටියෙත්. ඌනම් කිසි කරදරයක් නැතුව වතුර ගොඩේම නිදාගෙන හිටියා. ඒ වෙද්දී ඌ එක පාරක් නැගිටලා රෑ මුර සේවයේ යෙදිලා තද නිදි මතේලු ඉඳල තියෙන්නේ.
ආ.....මට කියන්න අමතක උනානේ, අපෙන් දෙන්නෙක් සැරින් සැරේ නැගිටලා ගිනිමැලේ නිවෙන්න නොදී පත්තු කරන රාජකාරියත් කලා. සමහර වෙලාවට අපි මේ කෑම්ප් කරපු තැනින් අලි වතුරට බහින්න  එනවලු. ඉතින් අපේ ආරක්ෂාවට එහෙම කරන්න සිද්ධ වෙනවා.
තාමත් පොඩි වතුර පාරක් අපි ඉන්න හරියට එන නිසා මමයි හාමිනෙයි ළඟ තිබ්බ පොරෝනා දෙකත් නමලා වතුර පාර බ්ලොක් කළා. ඊට පස්සෙ පොඩි පොඩි වතුර පාරවල් ඇඟට ආවත් ගණන් ගන්නේ නැතුව නිදා ගත්තා.

මම කලින්ම කට්ටියට කියල තිබුනේ කැමරා, ෆෝන් ඔක්කොම වාහනේම තියන්න කියලා. ඒකෙන් කැමරා ඔක්කොම බේරුනා.
සාමාන්‍යයෙන් අපි කොහේ හරි කැලේක ගමනක් යද්දී අර කුණු දාන්න තියෙන කළු පාට ලොකු ඉටි බෑග් හරි ඒ වගේ මොනවා හරි ලොකු ඉටිබෑග් අරගෙන තමයි යන්නේ. එහෙම අරගෙන යන්නේ කුණු දාන්නම නෙමෙයි, හදිස්සියෙවත් වැස්සොත් කැමරා බඩු ටික පරිස්සම් කර ගන්න. ඔයගොල්ලොත් කොහේ හරි ට්‍රිප් එකක් යනවනම් තමතමන්ගේ කැමරා, ෆෝන් පරිස්සම් කර ගන්න මේ වගේ බෑග් මොනවා හරි අරගෙන යන්න අමතක කරන්න එපා.
පහුවෙනිදා උදේ මුලින්ම කරන්න උනේ අපේ තෙමිච්ච බෑග්, ඇඳුම් එහෙම අස්පස් කරන එක. ඒ වෙද්දීත් අව්ව පායලා තිබුනේ නැහැ. එහෙමයි කියල බැහැනෙ, තෙමිච්ච ඇඳුම් පැළඳුම් ටික පොඩ්ඩක් අහල පහල වනලා දැම්මා. ඊට පස්සේ තෙතබරියන් වෙච්ච ටෙන්ට් දෙක අකුලලා, වැලියි මඩයි යන්න හොඳට හෝදලා නවල කරලා වාහනේට දාගත්තා, පස්සේ වේලන්න පුළුවන්නේ කියන බලාපොරොත්තුවෙන්. ඉතුරු බඩු මුට්ටු ටිකත් අකුලලා අස්පස් කරලා ගන්න සෑහෙන වෙලාවක් ගියා. කුණු මල්ලත් ජීප් එකට දාගන්න අමතක කලේ නැහැ.
ඊට පස්සෙ ඉතුරු වෙලා තිබ්බ බිස්කට් චොකලට් වගේ දේවල් ටිකක් උදේ කෑමවේල විදිහට කනගමන් අපි ආපහු ගමන ඇරඹුවා උදේ 9:00 ට විතර වගේ. ඒ එන ගමන එන්න තියෙන්නෙත් පාර්ක්‌ එක හරහා නිසා අවට පරිසරයේ ලස්සන බලන්නත් අමතක කලේ නැහැ.
ලතුවැකියා - Painted Stroke
කපටි රජා නම්ලද "හිවලා"
හීන්-බහුරු මානාවා - Lesser Adjutant
පාදිලි මානාවා - Woolly-Necked Stork
මෙයා අපිව දැකලා එක පාරටම කැලේ කඩාගෙන දුවගෙන ගියා,
අපිට හිතා ගන්න බැරි උනා පොරට මොකද උනේ කියලා
අතරමගදී අපි කුඹුක්කන් ඔය මුහුදට වැටෙන මෝයටත් ගියා. එතනට යන්නත් ලොකු වතුර වලවල් බොහෝමයක් තියෙන බොහෝම අබලන් පාරක යන්න උනා. එතනත් හරිම අපුරුයි. එතනත් කෑම්ප් කරන්න සකස් කරපු බිමකඩක් තියෙනවා. අපි ඒ වගේ තැනක නතර වුනානම් දවසේ වැඩි හරියක් කුමන ඇතුලේ ඇවිදින්න තිබුනා කියල අපිට පස්සෙ හිතුනා. ඒත් මේ දවස් කීපයේ අපි ගත්තු අත්දැකීම් වල වටිනාකමත් කියල නිමකරන්න බැහැ. මෙන්න මෙයා පොඩි ගොදුරක් අල්ලගෙන ඉන්නවා දැක්කේ එතන මුහුදු වෙරළේදී.





ඊට පස්සේ දවල් 1:00 ට විතර වගේ අපි කාර්යාලය තියෙන ඉසව්වට ලඟා උනා. ගයිඩ් මල්ලිට සමු දෙන්න කලින් අපි එතනත් ටික වෙලාවක් ගතකළා. කොච්චර බලකරලා පෙරැත්ත කලත් ඒ ළමයා අපෙන් සල්ලි ගත්තේ නැහැ. බලෙන් වගේ සල්ලි සාක්කුවට දාල ආවත් ආපහු අපි යන්න පිටත් වෙද්දී ඇවිත් ජීප් එකට සල්ලි ටික දාල ගියා. එහෙම දාන ගමන් කියල ගියා "මම මහත්තයලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා, මට මහතයලගෙන් සල්ලි ගන්න බැහැ" කියලා. හරි පුදුම කොල්ලෙක්. දැන් කාලේ මේ වගේ සුන්දර මිනිස්සු හම්බ වෙන්නේ කොයි තරම් කලාතුරකින්ද. නගරෙදිනම් හම්බ වෙන්නේ නැතිතරම්. ගම්වල මිනිස්සු ගාව මනුස්සකම තාම තියෙනවා කියල ගයිඩ් මලය අපිට මතක කරලා දුන්නා.

එමින් ගමන් පොතුවිල් හන්දියේ මුස්ලිම් කඩේකින් අමතක නොවෙන කෑම වේලකුත් කාල කොළඹ බලා ගමන පිටත් වුණා. මුස්ලිම් කඩේකින් එච්චර අපිරිසිදු ජරා කෑම එකක් කෑවමද කොහෙද.
පොතුවිල් ඉඳලා  වැල්ලවායට එනකම් කුරූ ජීප් එක අරගෙන ආවා. මම පොඩ්ඩක් නිදාගෙන ඇවිත් වැල්ලවායේ ඉඳලා ආපහු එන ගමනේ බර කරට ගත්තා.
අපේ යාළුවගේ පිස්සු වැඩ තිබ්බට මම දන්නවා ඌ හොඳ කොල්ලෙක් කියලා, මම තරහකින් නෙමෙයි ඌ කරපු පිස්සු වැඩ ලිව්වේ. මේ වගේ ගමනක් යද්දී ඔයගොල්ලන්ටත් යම් ප්‍රයෝජනයක් අත් වෙයි කියලා හිතුන නිසා.
මගෙත් එක්ක මේ ගමන් ගිහින් දුක සැප බෙදා හදා ගත්තු මගේ හාමිනේටත්, කුරූ, අලයා, අපේ යාළුවා සහ අපේ ගයිඩ් මල්ලිටත් මගේ ආදර ගෞරවය මෙයින් පුදකර සිටිනවා
ඒ වගේම අපිත් එක්ක දවස් තුනක කුමන සවාරියේ යෙදිච්ච ඔයාල හැම දෙනාටමත් බොහෝම ස්තුතියි.


විශේෂ:
කවදාවත් කැලේක යද්දී කිසි හේතුවක් නැතුව ගස් වල අතු, කොල කඩන එක, මල් පැළ ගලවාගෙන එනවා වගේ වැඩ කරන්න එපා. ඒ වගේම තමයි සත්තුන්ට, කුරුල්ලන්ට එයාලගේ නිදහස බුක්ති විඳින්නත් ඉඩ දෙන්න.
ඔයාල කැලේට ගෙනියන හැම දෙයක්ම ආපහු රැගෙන එන්න අමතක කරන්නත් එපා. විශේෂයෙන් ප්ලාස්ටික් සහ පොලිතින්. ඒ වගේම කන බොන පලතුරු වල ඇට පවා එළියට විසිකරන්න එපා. ඒකෙන් ඒ පරිසරයට අදාළ නැති ගස් වර්ගයක් වැවෙනවා කියන්නෙත් පරිසරයට කරන හානියක්.
මේ ලඟකදී යාල කැලේ හිටපු ලස්සන කොටි පැටික්කියක් යාල බලන්න ආපු සංචාරක පිරිසක් ගිය වාහනේක හැපිලා අවසන් ගමන් ගිහින් තිබුනා. විල්පත්තු වනෝද්‍යානය  ආසන්නයේදී වලහෙකුටත් ඒ ඉරණමම අත් වෙලා තිබුනා කියල මම දැක්කා.
ඒ වගේ වැරදි සිදු නොවෙන්න වගබලා ගන්න පුලුවන්නම් කොයි තරම් හොඳද.

Tuesday, 22 November 2011

වැරදීමකින් ගිය කුමන චාරිකාව 02



බෝවත්තගල ගල් ගුහා, බඹරගස්තලාව ගල සහ බඹරගස්තලාව සුප්‍රසිද්ධ බුද්ධ ප්‍රතිමාව සහිත ගල් ගුහාව බලන්න ගියපු තැන ඉඳල අද කියවමු.

.....................................................................................................
මගේ අතේ තිබුනේ "Tele-Lens" වර්ගයේ දිග ලෙන්ස් එකක් අමුණපු කැමරාවක් නිසා ඒක වරින් වර පොඩි ලෙන්ස් එකක් එක්ක මාරු කරකර ෆොටෝ ගහන්න ඇති වෙච්ච කම්මැලිකම නිසා මේ තැන් වල මම ෆොටෝ වැඩිය ගත්තේ නැහැ. ඒත් දැන් අපරාදේ කියල හිතෙනවා.  ගමනේ තියෙන අපහසුව බැලුවහම කවදා ආපහු "කුමන" යයිද කියල කියන්නත් බැහැනෙ.
මේ කිසිම කැමරා උපකරණයක් මගේ නෙමෙයි, යාළුවෙක්ගේ. හැබැයි රට යන්න කලින් මේ ඔක්කොම මගේම වෙලා මගේ අතේම රැඳිලා හිටියා මගේ හෙවනැල්ල වගේ.

බෝවත්තගල ගල් ගුහා සංකීර්ණයේ ඉස්සර කාලේ හාමුදුරුවරු වැඩ වාසය කලා බවට කදිම තොරතුරු රැසක් දකින්න පුළුවන්.

මේ තියෙන්නේ ගල් ගුහාව ඇතුලේ ඉඳල ගත්තු ජායාරුපයක්
බෝවත්තගල ගල් ගුහා
කටාරම්
මෙහි දක්නට ඇති ගල් ගුහාවල කටාරම් සහ ඒ ආසන්නයේම කෙටු යම් යම් අක්ෂර(බ්‍රාහ්මීය විය හැක) වලින්ද සමන්විතයි. කටාරම් කෙටීම මගින් සහ අක්ෂර මගින් මෙම ස්ථානය යම් වැදගත් ස්ථානයක්ව තිබෙන්නට ඇති බව අනුමාන කලහැක. බිමද සමතලා ගල් පතුරු දමා සකස් කොට තිබී ඇත.


1925 දී කවුරුන් හෝ අඳි නව ගුහා චිත්‍ර
මේ ගලේ බොහෝම ඈත කලෙක ඒ කියන්නෙ 1925 වගේ කාලෙක ලියවුනු සහ ඇඳපු රූ සටහන් වගයකුත් තිබුනා. රූ සටහනේනම් ඉන්නේ මොකෙක් හරි භූතයෙක් හරි යකෙක් හරි වගේ එකෙක්. හැබැයි ඒවා කිසි දෙයක් කුණුහරප නෙමෙයි, සභ්‍ය වචන සහ රූප. මෑතකදී ගිය කවුරුවත් එවැනි දේවල්වත් කරලා නැහැ. ඒක ගොඩක් හොඳ දෙයක් විදිහට මම දකිනවා. සමහර විට පහුගිය කාලේ තිබුන ත්‍රස්තවාදී තර්ජන නිසා මිනිස්සු එහෙට නොගිය නිසා එහෙම උනාද දන්නෙත් නැහැ.

මේ අවට පරිසරය පුදුම විදිහට ලස්සනයි, ඒ වගේම හරිම සිත් ගන්නා බවකුත් නිස්කලංක බවකුත් තිබුනා. අපිත් සෑහෙන වෙලාවක් වටපිට බලමින් එතනට වෙලා හිටියා.
බලාපොරොත්තු
පාවීම...
අපි මේ අවට සෑහෙන වෙලාවක් ගත කළා පැරණි නටබුන් බලන්න. ඒ අතරේ අපේ අවට එහා මෙහා ඉගිලිච්ච ලිහිණින් කිහිප දෙනාගේ පින්තුරයක් ගන්න මමත් උපරිම උත්සාහයක යෙදුනා. ඒත් සාර්ථක උනේ නැහැ.
මෙතනින් පස්සේ අපේ අරමුණ වුනේ බඹරගස්තලාව. අපි දැන් බොහොම අබලන් මාර්ගයක් ඔස්සේ ඉදිරියට ඇදෙනවා. සමහර තැන් වලදී පාර හොයා ගන්න බැහැ, ඒ තරමට කැලෑව වැවිලා. ඒ වෙලාවට ගයිඩ් මල්ලි කියන දිහාවට යනවා, ආපහු පාර හම්බ වෙනකම්. බොහෝ තැන් වල "කුකුල් කටු" නමින් හඳුන්වන විශාල කටු සහිත කුඩා ශාකපඳුරු වැවිලා පාර පුරාම. අපේ ගයිඩ් මල්ලියි තව එකෙකුයි බැහැලා ඒවා කප කපා තමයි ඉස්සරහට යන්නේ. එයින් එකක් ටයර් එකේ ඇනුනොත් අපි ආපහු ගිහින් ඉවරයි.
ඒක තැනකදී ගයිඩ් මල්ලි යන්න හරිම අමාරු පාරක් දිගේ යමු කියල කිව්වා, ඉතින් මමත් ගියා. ඒ පාර ගිහින් වැටෙන්නේ කැඩීබිඳී ගිය වැව් කන්ඩියකට. ඒ පාර යන්තමට ජීප් එකේ රෝද පළලට තියෙන පාරක්, ටික දුරක් ගියාට පස්සෙ එක පාරට පල්ලමකට බැහැලා වැව හරහා යන්න ඕනේ. අඩි තිහක විතර දුරක් වතුර දිගේ. මේ වගේ දේවල් ඕනෙතරම් TV වල එහෙම දැකල තිබුනට කවදාවත් කරලා තියෙන එකක්යැ. පොඩ්ඩක් බයෙන් බයෙන් වගේ වතුර පාර හරහා එගොඩ වුණා.  එතන වතුර පාරනම් ජීප් එකේ බොනට් එකට උඩිනුත් ආවා.
මේ ට්‍රිප් එක ගියේ ජීප් එකේ අමතර රෝදයක් නැතුව කියල කිව්වොත් පිළිගන්න පුළුවන්ද. ඒක නිසාම තමයි හැමතිස්සෙම වගේ මගේ පපුව බිත්තර තම්බන ගානට රත්වෙලා තිබුනේ.

සමහර තැන් වල මහා අතු කඩන් වැටිලා පාරට. ඒ වගේ තැන් වලදීත් පිහි වලින් ඒවා කපලා දාල පාර එලි පෙහෙළි කරගෙන අලුත්ම ලෝකෙකට යනවා වගේ ගමනක් තමයි අපි ගියේ. මම හිතන්නේ මේ කාලෙට වැඩිය කවුරුවත් මේ පැත්තට යන්නේ නැතුව වෙන්න ඇති.



බඹරගස්තලාව ගල
බඹරගස්තලාව කෙම
බැලුම්ගල
බඹරගස්තලාව කෙම ගාව තියෙන ගල උඩට නැග්ගට පස්සේ වටපිටාව හොඳට බලා ගන්න පුළුවන්. ඒකෙ උඩ ඉඳල බැලුවහම "බැලුම්ගල" නම් ස්ථානයේ දකින්න පුළුවන් චෛත්‍යක නටබුන් තමයි මේ ඈතින් පේන්නෙ. අපිට එතනටනම් යන්න බැරි වුණා.
බඹරගස්තලාවට ආපු ගමන් අපි කලේ ගෙනාපු බත් ටික කන්න ගත්තු එක, මේ වෙද්දී අපි ගෙනාපු වතුරත් ඉවර වේගෙන වගේ ආපු නිසා බොහොම පරිස්සමින් තමයි වතුර පාවිච්චි කලේ. අපේ යාළුවා මේ වෙලාවෙත් පොඩ්ඩක් පිස්සු නැටුවා. බෝතලේ වතුර බීල ඉවර වෙලා හිමීට ඒකෙන්ම අතත් හෝදගත්තා, තව පිඟානත් හෝදන්නයි කල්පනාව. ඉතුරු අයනම් අර ගල් කෙමේ තියෙන වතුර තමයි අත හෝදන්න පාවිච්චි කලේ. පිඟන් ඔක්කොම බෑග් එකකට දා ගත්ත කෑම්ප් එකට ගිහින් හෝදන්න.

කැලේක ගමනක් යද්දී මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. විශේෂයෙන් කෑම්ප් කරන ගමනක් වුනාම සම්පත් බොහෝම සීමිතයි. ඒ නිසා අරපරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. ඒවා කැලේට ගියාට පස්සෙ කියල දෙන්න පුළුවන් දේවල් නෙමෙයි. තමතමන් හිතලම කරන්න ඕනේ දේවල්. මොකද යාළුකම නිසා වැරදි කියන්නත් බැහැනෙ.

බත් කෑවට පස්සේ අපි ගල්කෙම ගාව උඩහ තියෙන හෙවනක පොඩ්ඩක් ගිමන්හැරියා. ගිමන්ඇරිය කිව්වට "කුරූ"යි, "අලයයි"යි ගොරව ගොරවා නිදා ගත්තත් එක්ක.

අව්ව පොඩ්ඩක් අඩු වුනාට පස්සේ ඒ අවට තිබ්බ පොලු කෑලි කිහිපයක් අතට අරගත්තු අපේ ඊළඟ අරමුණ උනේ  බඹරගස්තලාව බුදු පිළිමය තියෙන ගල් කුලට නැගීම. මෙහෙම ආරක්ෂාව ඇතුව යන්නේ ඒ අවට බොහෝ වෙලාවට වලස්සු ගැවසෙන නිසා. කොයි තරම් අමාරු පාරක් වුනත් මේ ඊයේ පෙරේද දවසක අලියෙක් ඒ කිට්ටුවටම ඇවිත් ගිය බවට සලකුණු තිබුනා කඳුගැටේ උඩ හරියෙත්.

අන්තිමේදී අපි බුදු පිළිමය තියෙන ගල්කුල ලඟට ලඟා වුනා. එතන හරිම ආකර්ශනීය තැනක්. කටාරම් කෙටුව ගල් ගුහාවේ විශාල සැතපෙන පිළිමයක් තිබුනා. ගඩොල් සහ මැටියෙන් සාදා තිබුණු පිළිමය නිධාන හොරුන් හෝ පුරාවස්තු විනාශ කරන්නන්ගේ අතවරයට ලක් වූ බවට සාධක එමටයි. ඉස්සෙල්ලාම කියපු හේතුව නිසා මට බුදුපිළිමයේ ජායාරුප ගන්නත් බැරි වුණා.



බඹරගස්තලාව  බඹරවද
මෙම ජායාරූපයේ දක්වා ඇති බඹරවදය තිබුනේද බුදු පිළිමය ආසන්නයේ. මෙවැනි තැනක ශබ්ධ නගා කතා කිරීම බොහොම අවධානම්. අවාසනාවකට හෝ බඹරුන් ඇවිස්සුනොත් මෙන්න මේ උපදෙස පිළිපදින්න. දුවන්න එපා, එකතැන වාඩි වී නිසොල්මනේ ඉන්න. මුණට අනියි කියල බයක් තියෙනවනම් මුණ කකුල් දෙක අතරේ ගහගෙන හංගගෙන ඉන්න. උන් පහර දෙන්නේ චලනය වන වස්තු වලට පමණයි.
වඩාත් වටින්නේ බඹරුන්ගෙන් බේරෙන ක්‍රම සහ විධි හොයන එක නෙමේ, බඹරුන්ව අවුස්සගන්නේ නැතුව ඉන්න එකයි.


මේ තියෙන්නේ  බඹරගස්තලාව බුදු පිළිමය තියෙන ගල් ගුහාවේ කපල තියෙන කටාරම් වල සමීප ජායාරුපයක්. මේ කටාරම කපල තියෙන දිශාවටම පේනවා නේද ඉරි ඉර වගේ. මේක සාමාන්‍ය ගල් කටුවකින් කලානම් මේකේ මේ වගේ ඉරි පාරක් ඉන්නේ නැහැ. එහෙනම් මේකේ වදින්නේ කටුවේ උල වැදිච්ච පොඩි පොඩි වලවල් වගේ පාරවල්. මේ ඉරි පාර දැක්කහම මට මෙන්න මේ වගේ අදහසක් ආවා. ඒ කාලෙ මොනවා හරි කැරකෙන රෝදයක් වගේ දෙයක් පාවිච්චි කරලා තියෙනවා මේ වගේ කැපුම් යොදන්න. හරියට දැන් කාලේ ග්‍රයින්ඩර් වලින් ගල් කපනවා වගේ. මේක තව ටිකක් ලොකු කරලා බලුවනම් මම මේ කියන එක පැහැදිලිවම පෙනේවි ඔයගොල්ලන්ටත්. (මේක මගේ පුංචි මොලේට ආපු අහිංසක අදහසක් විතරයි)


බඹරගස්තලාව යන එන අතරමගදී අපි නොයෙකුත් සත්තු සහ කුරුල්ලෝ එහෙමත් දැක්කා. දකින්න ලොකු ආසාවක් වෙලා තිබුන කොටි හපුවෙක්නම් දකින්න ලැබුනේ නැහැ. අපි හවස 6 ට විතර වගේ ආපහු අපේ කෑම්ප් එක දිහාවට එන්න පිටත් වුනා.
එන්න කලින් වැව්පිටි කිහිපයක කරක්ගහන්නත් අපි අමතක කලේ නැහැ. සමහර පාරවල් වල යද්දී ආපහු ජීප් එකේ ඇතුලටත් වතුර ආවා. ඒ තරමට වතුර වැඩි කාලයක්.


අළු වඳුරා

තිත්මුවා
මෙන්න මේ මුව පොව්වාගේ ෆොටෝ එක ගත්තු හරිදීත් හරි අපුරු වැඩක් සිද්ධ වුණා, මේ හැරියේ පාරක සලකුණක්වත් නැහැ, ඉතින් අපි ගස්, කටු පඳුරු මග හැර හැර තමයි ඉස්සරහට ගියේ. එක හරියක හොඳට පොලව වේලිලා තිබ්බ තැනක ජීප් එක පොඩ්ඩක් එරුණා වගේ වුණා. පස්සෙ මම 4x4 දාල වාහනේ ඉස්සරහට ගන්න හැදුවා, ගන්න බැහැ. පස්සට ගන්න හැදුවා, ඒත් බැහැ. දැන් කට්ටිය බැහැල ජීප් එක තල්ලු කරන්නයි කතාව. මම කිව්වනේ මම  4x4 වාහන පළපුරුදු කාරයෙක් නෙමේ කියලා. ඒ නිසා මම 4x4 දැම්මේ ෆස්ට් එකේ. ඒ නිසා රෝද හතර හරිම හිමීට එක තැනම කැරකෙනවා මිසක් මඩ වලෙන් එළියට ආවේ නැහැ. ඒත් පස්සෙ සෙකන්ඩ් එකට දාපු ගමන් ජීප් එක ටක් ගාල ගොඩ ආවා.


මේ ඉන්නේ අතරමගදී හම්බ උණු තවත් දෙන්නෙක්.

කුළු හරකා


කිඹුලා
එදා හවස් වෙද්දී අපි අර සුපුරුදු මඩපාර දිගේ බොහෝම අමාරුවෙන් සහ බොහෝම තෙහෙට්ටුවෙන් අපේ කඳවුර බලා ගමන් ඇරඹුවා.

..........................................................................................................................................................
එදා රෑ කුමන ගත කල හැටි සහ අවසාන දවස ඊලඟ කොටසින්.....

Sunday, 20 November 2011

වැරදීමකින් ගිය කුමන චාරිකාව 01



2011 අවුරුද්දේ මගේ නිවාඩුවෙන් කොටසක් සිංහල අවුරුදු සමයේ ගන්න ඕනේ කියල මට හිතුනා. ඉතින් ඔක්කොම කටයුතු ලැස්ති කරගත්තු මම අප්‍රේල් පළවෙනිදා හරියටම ලංකාවට ගොඩ බැස්සා. (මේක බොරුවක් එහෙම  නෙමෙයි, හොඳද.) මගේ එක පුරුද්දක් තමයි ලංකාවට නිවාඩු ආවට පස්සේ කොහේ හරි කැලෑවක ට්‍රිප් එකක් යන එක. ඉතින් මේ පාරත් ඒ පුරුද්දටම මම නිවාඩු එන්න මාස ගානකට කලින්ම දන්න කියන යාළුවෙකුට කිව්වා මේ පාර කොහේ හරි කෑම්ප් කරමු කියලා. මට යන්න පුළුවන් දවස් ටිකත් කලින්ම ඌට කියල තිබුනේ.





යාල කෑම්ප් කරන්න දෙනවනම් කෑම්ප් සයිට් එකක් බුක් කරන්න කියලත් කිව්වා. මොකද යාල කියන්නෙ මම කැමතිම තැනක්. යාල කෑම්පින් යමු කියපු ගමන් මේකාගේ ඔලුවට වැටිලා තියෙන්නේ යාල වනෝද්‍යානයේම කොටසක් වන "කුමන" ගැන. මුත් සමහර වෙලාවට නෙමෙයි ගොඩ වෙලාවට අප්ෂට් වැඩ කරන ජොකියෙක්.

ඔන්න මම ලංකාවට ඇවිත් බලද්දී මේකා කුමන "ඇදකුඹුක" කියන කෑම්ප් සයිට් එක රාත්‍රී දෙකකට බුක් කරලත් ඉවරයි.
මුගෙන් ඒ ගැන ඇහුවහම කිව්වේ "ඇයි xxxx අයියේ කුමනත් ඉතින් යාලම කොටසක්නේ, ඉතින් මම බුක් කළා" කියලා. ඉතින් කාට කියන්නද මේවා
සමහර විට මේකාගේ හිතේ ලොකු කැමැත්තක් තිබුනද දන්නෙත් නැහැ කුමනම යන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම ලංකාවට එද්දී කුමන යන ගමන ස්ථීර වෙලා තමයි තිබුනේ.

ඉතින්  ඕනේ වෙඩිමක් කියලා හිත හදාගෙන අපිත් මේ ගමන යන්න හිත හදා ගත්තා. නැත්නම් ඉතින් මට මේ නිවාඩුවේ කොහෙවත් යන්න වෙන්නෙත් නැහැනේ. අනික මීට කලින් මමත් කුමන ගිහින් නැහැනේ. 
කුමන යන්න මගේ එච්චර කැමැත්තක් තිබුනේ නැත්තේ ගමනේ දුර වැඩිකම සහ දුෂ්කර බව ගැන දැනගෙන හිටපු නිසා මිසක් කුමනට ඇති වෙන අකමැත්තක් හින්ද නෙමෙයි ඕං...


මෙන්න මේ නිසා තමයි මම මේ ගමනට "වැරදීමකින් ගිය කුමන චාරිකාව" කියලා නම දැම්මේ.


මම ලංකාවට ආවේ අප්‍රේල් 1 කියල කලින්ම කිව්වනේ, ඉතින් මේ ගමන යන්න කලින් වාහනේ පොඩි පොඩි අඩුපාඩු(හොඳ පොඩි) ටිකක් හදා ගන්නයි, අමතර සීට් එකක් ගහ ගන්නයි මට දවස් ගානක්ම කට්ට කන්න උනා. අපි ට්‍රිප් එක යන්න දවස් වෙන් කරගෙන තිබුනේ අප්‍රේල් 9,10,11 දවස් තුන.
ලංකාවට ඇවිත් අනිත් මිනිස්සුනම් ගෙවල් දොරවල් වලට වෙලා බොහොම සාමයෙන් සමාදානයෙන් හිටියත් මටනම් මේ දවස් වලට දවල්ට කන්නත් නැහැ, සමහර දවස් වලට ගැරේජ් වල මිනිස්සු උයල දෙන බත් කාපු දවසුත් තිබුනා.
අපේ එක සිරිතක් තමයි අපි ගමනක් යන්න පිටත් වෙන්නේ මහා රෑ. එහෙමත් නැත්නම් ඊට කලින් දවසේ හවස. එතකොට කිසි කරදරයක් නැතුව අදාළ ස්ථානයට යන්න පුළුවන් පාන්දර වෙද්දී.

ඔන්න ඔහොම ගිහින් යාන්තම් 8 වෙනිදා හවස 02:30 වෙද්දී වැඩ ටික ඉවර කර ගත්තා. ගමනට අවශ්‍ය අඩුම කුඩුම ටික උදේ ගෙදරින් එද්දිම වාහනේට පටවලාමයි තිබුනේ, ඔන්න මම දැන් කෙලින්ම කොළඹ දිහාවට පිටත් වෙන්න ගත්තා. මේ කියන දවසෙත් මගේ මායියා වැඩ, ඉතින් කොළඹට ගිහින් එයාවත් කුදලාගෙන ඊට පස්සේ එයත් එක්ක තව ඇඳුම් කැඩුම් ගන්න ප්‍රසිද්ධ කඩේකටත් යන්න එක්ක තමයි මම එදා ටිකක් කලින් ගියේ. කොහොමටත් කුමන යන්න මම කොළඹ දිහාවට යනවා කියන්නෙ පරංගියා කෝට්ටේ ගියා වගේ ගමනක්. කිලෝමීටර 80 ක් කොළඹට බඩගාල ඊට පස්සේ ආපහු යන්නත් එපායැ. ඒත් ඉතින් කට්ටිය එක්කාසු කර ගන්න කොහොමටත් කොළඹ එන්න එපායැ.
මේ දවස් වෙද්දී ඔය බම්බලපිටිය හරියේ තියෙන ඔය රෙදි කඩේ ඉන්න සෙනග සහ ඒකෙ වාහන පාර්ක්‌ එකට වාහනයක් දාන්න තියෙන අමාරුව කොච්චරද කියල ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ. අන්තිමට ක්ලච් එක පාගලම මගේ කකුල හොඳටම රිදෙනවා. ඒත් ඉතින් මොනවා කරන්නද හාමිනේ එක්ක අවුරුද්දට රෙදි ගන්න එනවා කියල පොරොන්දු උනානේ.
අන්තිමට එතනත් පැය 3, 4 ක් විතර කට්ට කාල රෙදිත් අරගෙන රෑ 09:30 ට විතර මගේ නෝනාගේ නවාතැනට ගියා. එහෙන් පොඩි වොෂ් එකක් එහෙමත් දාගෙන දෙන්නත් එක්ක එයාගේ බඩු මුට්ටුත් වාහනේට පටවාගෙන ගමනට අවශ්‍ය ඉතුරු ආහාරපාන ටික ගන්න Food City එකකට ගියා, දැන් ඒකත් හරි. ඊට පස්සේ කඩේකට ගිහින් අපි දෙන්නා පොඩ්ඩක් සප්පායම් වුනා.
මේ වෙද්දී අපිත් එක්ක ගමන යන්න ඉන්න අනිත් එව්වෝ දෙන්න හෝ ගාල කෝල් කරන්නත් පටන් අරගෙන තිබුනේ.
කොහොමින් කොහොම හරි අපි අපේ පළවෙනි සාමාජිකයා විදිහට වාහනේට පටවගත්තේ අර කියපු ජොකියව තමයි, ඒ බොරැල්ලෙන්. මිනිහගේ නම "xxx", මට වැඩිය අවුරුදු 4 ක් විතර බාල බුවෙක්. පොරට මම කලින්ම කියල තිබුනේ අර ලාෆ්ස් එකේ තියෙන පොඩි ගෑස් ටැංකිය එක්කම තියෙන ලිපකුත් අරගන්න කියලා,
මු පටලවගන්නේ නැතුව ඒ වැඩේනම් ගානට කරලා තිබුනා. මුගේ මාන්දම් වැඩ කියන්නෙ මුවයි මුගේ බඩු ටිකයි වාහනේට පටවගත්තට පස්සේ ඌ කියනවා බෝඩිමේ යතුර කාටද මන්ද අයිය කෙනෙකුට දෙන්න ඕනේ ආපහු පෑලියගොඩ යන්න ඕනේ කියලා.
@%&&*# වගේ වචන ගොඩක් හිතෙන් කියා කියා මමත් ඉතින් පෑලියගොඩ ගියා, ගිහින් උගේ වැඩේ ඉවරයක්‌ කලා.
ඊට පස්සේ අංක දෙක. උගේ නම "අලයා", ඌව ගන්න අපිට මල්වානේ යන්න වුනා, එහේ යන්න හේතුව උනේ මල්වානේ ගෙවල් තියෙන "කුරූ" කියන යාළුවගේ ගෙදරින් තමයි අපි ටෙන්ට් ටික අරගෙන යන්න තීරණය කලේ. ඒ දවස් වල ඌ වැඩ කලේ වැල්ලවායේ,
ඉතින් උන්ගේ ගෙදරට යද්දී වෙලාව රෑ 12:30 ට වගේ ඇති. ලොකු කට්ටක් කාල ඔය ගමනත් ගිහින් එතන තිබුන බඩුමුට්ටු ටිකත් පටවාගෙන අපේ ට්‍රිප් එක නීත්‍යානුකුලවම යන්න පිටත් වුනා. දැන් අපේ අන්තිම සාමාජිකයා ඒ කියන්නෙ කුරූ ඉන්නේ වැල්ලවායේ.
එදා හවස 02:30 ට පටන් ගත්තු ගමන මම එක දිගටම තනියම ඩ්‍රයිව් කලේ, මට දැන් මාර මහන්සියිත් එක්ක. අර උගුඩුවො දෙන්නට ලයිෂනුත් නැහැ.(අතින් සල්ලි දාල හරි මුන්ට ලයිෂන් අරන් දෙන්න වටිනවා කියල හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට) ඉතින් මොකද කරන්නේ තනියම තරමක් හිමීට ගමන ගියා.


අපේ ගමන් මාර්ගය විදිහට අපි තෝරාගෙන තිබුනේ
කොළඹ > රත්නපුරය > තණමල්විල(උඩවලවේ හරහා) > වැල්ලවාය > බුත්තල > මොණරාගල > සියඹලාණ්ඩුව > පොතුවිල් > පානම > ඔකඳ හරහා කුමන.


අපි රත්නපුරේ හරහා යන ගමනක් යනවනම් කවදාවත් කොළඹ ඉඳල වතුර අරගෙන යන්නේ නැහැ. රත්නපුරේ පහු වෙලා ටික දුරක් යද්දී කහවත්ත හරියේ දකුණු අත පැත්තේ තියෙනවා හොඳ වතුර උල්පතකින් එන වතුර ගන්න පුළුවන් තැනක්. වතුර එකතු වෙන්න ටැංකි එහෙම බැඳලා ටැප් හයි කරලා තියෙන්නේ. ගොඩක් වාහන මෙතන නතර කරලා නොමිලේ එන පිරිසිදු වතුර පුරවා ගන්නවා භාජන වලට.
අපිත් ඉතින් වෙනදා වගේම මෙතනින් වතුරත් පුරවා ගත්තා අපි ගාව තිබ්බ ලොකු බැරල් එකට, මුණ කටත් හෝදගත්තා නිදිමත යන්නත් එක්ක.
තව අතරමග තැනකදී වාහනේ නතර කරලා තේ එහෙමත් බිව්වා.
මේ විදිහට මුළු රෑ පුරාම ගමනේ යෙදුනු අපි වැල්ලවාය හරියට සේන්දු වෙද්දී උදේ 05:30 වගේ වෙලා තිබුනා. (ඉන්නම බැරි වෙච්ච වෙලාවක ජීප් එක මග නතර කරගෙන පැය බාගෙක වගේ නින්දකුත් දැම්මද කොහෙද) මේ වෙද්දී මට පුදුම මහන්සියක් දැනිල තිබුනේ. එකම එක වතාවක් පාරේ දකුණු පැත්තට වාහනේ ඇදිල ගියා වගේත් මතකයි. ඒත් ඒ හරියේ පාර හරි කෙලින් නිසා කරදරයක් උනේ නැහැ, අනික මේ මලපාන්දර වෙන වාහන මුකුත් පාරේ ආවේ නැහැ, වාසනාවට.
ඇයි අප්පා එක දිගටම පැය 17 ක් 18 ක් වාහනයක් එලෙව්වහම කොච්චර සනීපද. කවදාවත් මෙච්චර වෙලා එක දිගට වාහනයක් එළවලා තිබුනේ නැහැ මම.
වැල්ලවායේදී අර යාළුවගේ ඔෆිස් එකට ගිහින් හොඳ නින්දක් දැම්මා ඇඟේපතේ අමාරුව නිසාම. ආපහු ඇහැරෙනකොට උදේ 09:00 යි. ආ... කියන්න අමතක වුනා.  මුගේ ඔෆිස් එකේම තමයි මුන් නිදා ගන්නෙත් උයාගෙන කන්නෙත්.
මම ඇහැරෙද්දි අපේ යාළුවා සරමයි ටී ෂර්ට් එකයි ඇඳගෙන ඔෆිස් එකේ වැඩ වගයක් කරනවා මම ඇහැරෙනකන්. අපි මලපෙරෙතයෝ වගේ කොට කලිසන් කෑලි ටී ෂර්ට් එහෙම ඇඳගෙන නිදිමත පෙරී පෙරී ඉන්න අතරේ ඒ ඔෆිස් එකේ මිනිස්සු රාජකාරියේත් යෙදෙනවා. ඒකනම් පුදුම ඔෆිසියක් තමයි. ඒ වෙද්දී යාළුවගේ ඔෆිස් බෝයි තේ එහෙම හදල තිබුනා අපිට බොන්න, ඒවා බීපු අපි උදේට කන්න දෙයක් හොයාගෙන පිටත් වුණා. කුරූ ගොඩක් දවස් වලට කන තැනක් කියල කියපු නිසා වැල්ලවාය කිට්ටුවම කඩේක නතර කලා.
පාන්, ඉඳිආප්ප, බත් සමග හොදි සැපයෙන අතරේ මම දැකල පුරුදු මුණක් දෙකක් එහෙමෙහෙ වෙනවා දැක්කා. බලනකොට ඒ අපේ ගමේ හිටපු අයියා කෙනෙක්, අපේ අක්කගේ පන්ති සගයෙක්. එයාලා මෙහේ ඇවිත් පවුල පිටින්ම නතර වෙලා කඩයක් කරගෙන ඉන්නවලු. ඉතින් ආගිය කතා කතා කොරලා කාල බීල එහෙම එතනින් චුත වුනා.
අර රෙදි ගන්න ගිය වෙලාවේ ක්ලච් එක බාගෙට පාගලමද කොහෙද ක්ලච් එකේ පොඩි හිර ගතියක් ඇවිල්ල තිබුනා මේ වෙද්දී. ගියර් දාන්න යද්දී පොඩ්ඩක් දඟලන්න වෙනවා. ඉතින් ඒකත් වැල්ලවායෙන්ම හදාගෙන යමු කියල අපි කතා වුනා. සියල්ලම නැතත් සියල්ලටම ආසන්න ප්‍රමාණයක් දත් බාස් උන්නැහේ කෙනෙක් තමයි ඒ ගැරේජ් එකේ අයිතිකාරයා. එක එක කතන්දර කියලා, "ක්ලච් එකට හුළං ඇදලද කොහෙද" කියල මොන මොනවද කරලා අඩු වෙලා තිබ්බ ඔයිල් ටිකකුත් දැම්මා. උදේ පාන්දරනේ මල්ලි, රු.600/- ක් දෙන්න කියලා සල්ලිත් ගත්තා, චෝයි අයියා.... මොනවා වුනත් වැඩේ ගොඩනේ, ඒ ඇති.
අන්තිමට ඔන්න ඔහොම ගිහින් පොතුවිල් වලට සේන්දු උනා. එතනින් මාළු එහෙමත් අරගෙන තව අවශ්‍යකරන අඩුම කුඩුම ටිකකුත් අර ගත්තා. ආ... තව ඩීසල්, ඒවත් ෆුල්ම ගහගත්තා. වෙනදට වාහනේක යද්දී මගදිගට වංහුං බල බල යන මට එදානම් වැඩිය දෙයක් බලා කියා ගන්න බැරි වුනා. ඒත් ආරුගම්බේ හරියේදී පොඩ්ඩක් වාහනේ වේගේ අඩු කරලා පොඩ්ඩක් වටපිට බැලුවා, ගිනිගහන අව්ව ඇරෙන්න වෙන කිසි දෙයක් නැහැ. බැහැල නාමුද කියලා අපේ යාළුවගෙන් යෝජනාවක්, සහ අනිත් අයගෙන් සරදම් සිනා.....

ඊට පස්සේ දෙයියනේ කියලා යන්තම් කුමන ඇතුල්වීමේ ගේට්ටුව දැක්කට පස්සෙ තමයි පොඩි සහනයක් දැනුනේ. එතනම තිබ්බා හමුදාවේ කෑම්ප් එකක් සහ හමුදාවෙන් පවත්වාගෙන යන වෙළඳසැලකුත්.

අපි යද්දී ආසන්න පාසලක ළමයි පිරිසකුත් කුමන නරඹන්න ඇවිත් හිටියා, එයාල පාර්ක්‌ එක ඇතුලට ගියේ කුලියට ගත් ජීප් වල. ඒගොල්ලෝ එදාම ආපහු යනවලු. නමුත් අපේ සුදානම අපේ ජීප් රියෙන්ම මේ ගමන යන්න. නැත්නම් දවස් තුනක ගමනට කීයක්නම් කියල ගෙවන්න වෙයිද ජීප් එකකට.
(දැනට පාර්ක්‌ එකක් ඇතුලේ දවසක ට්‍රිප් එකක් යන්න රු.7000/- ක් හෝ ආසන්න ගානක් ගන්නවා ජීප් එකක්, රෑ නතර වෙන්න ගාන තවත් වැඩිද දන්නේ නැහැ)
අපිත් එක්ක පාර්ක්‌ එක ඇතුලට යන්න ආවේ බොහොම තරුණ මාර්ගෝපදේශකතුමෙක්. නමින් අජිත් වගේ තමයි මට මතක. ඔහුගේ දුරකථන අංක කිසිවක් දැන් මගේ අතේ නැහැ.
දැන් ජීප් එක ඇතුලේ මම, මගේ හාමිනේ, කුරූ, අලයා, අපේ යාළුවා සහ ගයිඩ්. අපි 6 දෙනයි. අපේ ජීප් එක කොට වර්ගයේ එකක්, ඉතින් 6 දෙනෙක් කියන්නෙ කට්ටිය ටිකක් හොඳට පැක් වෙලා. බඩුමුට්ටු තොගේකුත් තියෙනවනේ.
අපි ඔන්න දැන් ඇද කුඹුක බලා හිමීට ඇදෙනවා. අතරමග මාර්ගයනම් ගන්නම දෙයක් නැහැ. ඒත් ඉතින් රෝද හතරෙන්ම බලගැන්වෙන ජීප් එකකටනම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.





මෙන්න පාරේ හැටි, ඇත්තටම මේ ගොඩක් හොඳ හරියක්
මෙහෙම හිමීට හිමීට සෑහෙන දුරක් ගියා. එකපාරටම වංගුවක් හරියකදී අපි දැක්කා අපේ ඉස්සරහ සරම්, කොටකලිසං එහෙම ඇඳලා T56 එහෙමත් අතේ තියා ගත්තු කට්ටියක්. ඒත් එක්කම ඉස්සරහට පැනපු කීප දෙනෙක් පාරත් අවහිර කලා. ඊට පස්සේ එතන හිටපු කෙනෙක් හරි අමුතු විදිහට බයවෙලා වගේ ඇහුවා "මේ පැත්තට ගිය දෙන්නෙක්ව දැක්කද" කියලා. මේ කැලේ මොන මිනිස්සුද, අපි කිව්වා "නැහැ" කියලා. පස්සේ එයාලගේ ලොක්කෙක් වගේ පෙනුන කෙනෙක් ඇවිත් එයාව අඳුන්වල දුන්නා. බලනකොට වෙලා තියෙන්නේ මේකයි. සිංහල අවුරුද්දට ගෙදර යන්න නිවාඩු නැති නිසා හමුදා ට්‍රේනින් හිටපු අලුත් කොල්ලෝ දෙන්නෙක් තුවක්කුත් අරගෙන මහ කැලේ හරහා පැනල ගිහින්. අපිට මුලින්ම කතා කරලා තියෙන්නේ අලුත් කොල්ලෙක්. ඌත් බය වෙලාද කොහෙද ඉඳල තියෙන්නේ.


අපේ හිත් වලටත් දැන් පොඩි බයක් වගේ ආවා, දැන් ඉතින් අපිට ඉන්න වෙන්නේ තුවක්කුත් අරගෙන පැනල ගිය එව්වෝ දෙන්නෙක් ඉන්න කැලෑවක නේද කියලා. අඩු ගානේ මේ පලාතකවත් ෆෝන් වලට සිග්නල් නැහැ කරදරයක් උනත් කාටවත් දැනුම් දෙන්නවත්.  කොහොමින් කොහොම හරි අපි තවත් ඉස්සරහටම ගියා.
ඇද කුඹුක කිට්ටුවම වගේ තිබුන මහා මඩවලවල් කිහිපය සහ ඇළ මාර්ගය තරණය කරද්දිනම් මගේ බඩ පපුවත් පිච්චිලා යන ගතියක් දැනුනා. මහ වැස්සට කලින් වාහන ගිහින් හැදිච්ච කානු දෙකක් වගේ තියෙන පාරක් දිගේ අපි දැන් ඉස්සරහට ඇදෙනවා. සමහර තැන් වල නියම පාරේ යන්න බැරි නිසා කැලේ ඇතුලෙන් හදාගත්තු අලුත් පාරවල් වල තමයි යන්න වෙන්නේ. ඒ පාරවල් හරියකට හදපු ඒවා නෙමෙයි, පොඩි පොඩි ගස් කපා දාපු ඒවායේ උල් කොට කෑලි එහෙමත් තියෙනවා. එව්වයින් එකක් කොයි වෙලාවේ ටයර් එකක් හිල් කරයිද කියන බය හැමතිස්සෙම මගේ හිතේ හොල්මන් කරනවා.
පහුගිය දවස් ටිකේ වැහැලා මේ දවස් වෙද්දී නතර වෙලා කියල තමයි අපිට ගයිඩ් කිව්වේ. ඒත් ඉතින් හැමතැනම වතුර පිරිච්ච ලොකුම ලොකු මඩ වලවල්.

කොහොමින් කොහොම හරි ඇද කුඹුකට ගියාට පස්සේ තමයි හිතට සහ ගතට පුදුම සනීපයක් දැනුනේ. ගියපු ගමන් මුලින්ම කලේ දවල් කෑම හදන එක. කුඹුක්කන් ඔයේ වතුරෙන් හාල් එහෙම හෝදලා දුන්නේ කුරූ. මම මාළු කපලා මාළු හොද්ද හැදුවා. අල ටිකක් තම්බලා බැදුමක් හදන එක මගේ හාමිනේ. මේ වැඩ ටිකට ඕනෙනං වැඩිම උනොත් පැයක් යන්න ඇති.
අපි බත්, හොදි ටික හදනකම් අලයා, අපේ යාළුවා, කුරූ, ගයිඩ් මල්ලිත් එක්ක එකතු වෙලා ටෙන්ට් දෙකක් ගහල ඉවර කලා. එකක් සම්පුර්ණයෙන්ම ගහල ඉවර කලා, අනිත් එකේ උඩින් දාන රෙද්ද(ඒකෙ නම Fly Over එක වගේ තමයි මතක) දැම්මේ නැහැ. ඒක අරගෙන බිම එලාගෙන අපේ විවේක ගන්න ස්ථානය හදා ගත්තා.

ඊට පස්සේ බත් කන්න කලින් ඔයේ බැහැල පොඩ්ඩක් නා ගන්නත් කට්ටිය අමතක කලේ නැහැ.   

බත් එක කන්න ගියාට පස්සේ තමයි අපිට තරු පෙනුනේ. බත් එකේ බත් වලට වැඩිය අහුවෙන්නේ වැලි. අරූ හාල් හෝදද්දී හාල් භාජනේ කෙලින්ම ඔයේ ඔබල තමයි හෝදලා තියෙන්නේ. ඒ හරියේ වතුර පාරේ සැරට වතුරත් එක්ක වැලි ගහගෙන යනවා. එහෙම ආපු වැලි හාල් එක්ක කලවම් වෙලා. දැන් කාපංකෝ වැලි.
දවල්ට බත් සහ වැලි එහෙම කාලා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න වෙලාවේ "අපේ යාළුවා" මගෙන් අහනවා "එහෙනම් අපි හවස් වෙලා පොඩ්ඩක් ඇවිදින්න යමු" නේද කියලා. මේ වෙද්දී මට වාහන පැදිල්ල එපා වෙලා තිබුනේ, ඒ මදිවට අපි ඉන්න තැන ඉඳලා ආපහු යන්න තියෙන අමාරුව. මේ කියන තැන තියෙන්නේ පාර්ක්‌ එකේ කෙළවරේම. සත්තු බලන්න හරි වෙන වැඩකට හරි පාර්ක්‌ එකට යනවනම් යන්න එන්න වෙන්නේ මේ භයානක පාර දිගේමයි. ඇත්තටම කිව්වොත් ඒක පාරක් නෙමෙයි කානුවක්. ඉතින් ඔය පාර දිගේ ආපහු කොහෙවත් යන්න බෑ කියල ඒ වෙලාවේ මට හිතුනා. ඉතින් එදා දවස කොහෙවත් නොගිහින් විවේක ගන්න අපි එකඟ වුනා.

හවස් වෙද්දී හතර අතේ ඇවිදලා ගිනි මැලයක් ගහන්න ඕනේ කරන දර කොටන් හොයාගෙන ඇවිත් ලොකු ගිනි මැලේකුත් ගැහුවා.
ඊට පස්සේ ටිකක් කලින්ම වගේ රාත්‍රී භෝජනය සුදානම කලා, රෑටනම් අර දවල් වෙච්ච වැරැද්ද වෙන්න ඉඩ තිබ්බේ නැහැ, අපි ගෙනිච්ච බේසමකට වතුර අරගෙන ඒවායින් හාල් ටික හෝදලා අරගෙන බත උයලා කරදරයක් නැතුව කෑවා.
ඊට පස්සේ ඉතින් ගිනි මැලයේ සහ ලන්තෑරුම් එළියෙන් ආගිය කතා සත්තු ගැන කතා සහ නොයෙකුත් වල්පල් කතා කර කර හිටියා නිදිමත එනකම්ම.
අන්තිමට මමයි, හාමිනෙයි, අලයයි, අපේ යාළුවයි එක ටෙන්ට් එකකත්, ගයිඩ් මල්ලි වාහනේත්, කුරූ අර එළියේ එළපු ටෙන්ට් රෙද්දෙත් නිදා ගත්තා. ඉතුරු ටෙන්ට් එකට බෑග් ටික එහෙම දාල තිබ්බා.



මෙන්න අපේ ඇදකුඹුක කෑම්ප් එක
පහුවෙනිදා උදේ පාන්දරින්ම නැගිටලා බතක් එහෙම ඉව්වා දවල්ටත් එක්කම. උදේ වේල කාල ඉතුරු බත් සහ හොදි ටික හට්ටි මුට්ටි පිටින්ම ජීප් එකට පටවාගෙන ගමන පිටත් වුනා. ටෙන්ට් එකෙත් කිසිම වටිනා කියන දෙයක් තිබ්බේ නැහැ ඔක්කොම දා ගත්තා ජීප් එකට. කැලේ කියල නැහැ හොර හතුරෝ එන්නත් පුළුවන්නේ. අර පැනපු එවුන් දෙන්න උනත් එන්න බැරි නැහැනේ. ඒ මදිවට රිලව් එහෙම පැනලා බඩු මුට්ටු සීසීකඩ දාන වෙලාවලුත් තියෙනවා.


ඊට පස්සේ වාහනේ ස්ටාර්ට් කරන්න කලින් වතුර එහෙම අඩුපාඩු තියෙනවද බලන්න බොනට් එක ඇරියා. මෙන්න බොලේ වැඩක්, අර ක්ලච් එක හදපු මකබාස් මාර වැඩක්නේ කරලා තිබුනේ. ඌ මොනව හරි ඇණයක් තද කරන්න ගත්තු 20 යතුරක් බැටරි එක උඩ අමතක කරලා. හදිස්සියෙවත් වැල්ලවායේ ඉඳලා ඇදකුඹුකට ආපු ගමනේදී බැටරිය ෂෝර්ට් උනානම් අපිට මහකැලේ කොච්චර ලොකු චාටර් එකක්ද කන්න වෙන්නේ. ගමනේ මුල් හරියේ ආපු වේගෙටත්, පස්සේ පස්සේ ආපු පාරේ තිබ්බ වලගොඩැලි වල හැටියටත් එහෙම දෙයක් උනේ නැහැ කියන එකත් මාර පුදුමයක්. බාස් අයියට හිතින් බැනබැන වතුර ඔයිල් එහෙම බලලා ගමන පටන් ගත්තා.


මෙන්න එදා දවසේ ගත්තු මුල්ම ජායාරූප ටික
ලතුවැකියා - Painted Stroke
අලියා - Elephas maximus maximus 
ලතුවැකියා - Painted Stroke



අළු කොකා - Grey Heron
මෙතනින් පස්සේ අපි බෝවත්තගල ගල් ගුහා, බඹරගස්තලාව ගල සහ බඹරගස්තලාව සුප්‍රසිද්ධ බුද්ධ ප්‍රතිමාව සහිත ගල් ගුහාව වගේ තැනුත් බලන්න ගියා.
...........................................................................................................
ඒ කතාව ඉතිරි කොටසින් කියවමු

Wednesday, 16 November 2011

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සහ මිතුරු තොමෝ -02

පළමු කොටසින්

"අපි ආපහු ඔය වැඩ වලට නැහැ බං" කියල අපි දෙන්න ආපහු හැරිලා යන්න හදද්දී ඌ අපිව නවත්ත ගන්න සෑහෙන්න ට්‍රයි කළා. ඒත් අපි දෙන්නගේ හිත් හොඳටම කලකිරිලා ඉවරයි ඒ වෙද්දී. මේ වෙනකොට වෙලාව රෑ 10:00 ත් පහු වෙලාද කොහෙද. සියාතුලගේ ගෙදර ඒ අහල පහලම තිබුනට අපිට එහෙ යන්න හිතක් තිබුනේ නැහැ.


----------------------------------------------------------------------------------



ඉතින් අපි දෙන්නත් එක්ක ගියා ඒ කිට්ටුවම තිබ්බ අපේ හොඳ යාළුවෙක් වෙච්ච "කස්ස"ලගේ ගෙවල් පැත්තට. ඌ ඒ කාලේ වෙද්දී ප්‍රධාන ශිෂ්‍ය නායකයා වගේම, විජය නිවාසයේ නායකයා. උන්ගේ ගෙදරට ගියාම අපේ උන් කවුරුවත් එහේ නැහැ. කස්සලගේ අම්මා කිව්වා එයාල "මේරා" ලගේ ගෙදර ගිහින් බැජ් හදනවා කියලා.
එහෙට යන්නත් කිලෝමීටර 6 ක් 7 ක් යන්න ඕනේ. ඒ මදිවට කිසිම ලයිට් එළියක්‌ නැති පාරක මහා කළුවරේ.
අපි දෙන්න අස්පය නැති වෙච්ච කව්බෝයි ඩබලක් වගේ ටවුම දිහාට ගෑටුවා. ඒ දවස් වල අපිටත් ටවුන් එකේ ලොකු ලොකු අයියල එක්ක යාළු වෙන්න අඳුන ගන්න එහෙම උණක් තිබ්බ කාලේ. ටවුන් එකේ පැය ගනන් කට්ට කාල එහෙම අය කීප දෙනෙක්ව අඳුනගෙනත් හිටියේ.
ඔය අතරේ එක අයිය කෙනෙක් හිටියා, ඌ වලිවලට එහෙම වැඩිය නැති මගේ යාලුවෙක්ගෙ අයිය කෙනෙක් වෙච්ච එකෙක්. නම "කුලේ". කුලේ ගාව තමයි ටවුන් එකේ යතුර තියෙන්නේ, එහෙමයි ඒ දවස් වල හැමෝම වගේ කිව්වේ. ඒ කියන්නේ ටවුන් එක අරින්නේ වහන්නේ ඌ, මොකද උදේ පාන්දරම ටවුන් එකට ඇවිත් අන්තිමටම වගේ ටවුන් එකෙන් යන බුවෙක්. දිනපතා ටවුමේ සිද්ධ වෙන විශේෂ සිද්ධි හැම දෙයක්ම වගේ ඌ දන්නවා. ඉතින් ඌට එහෙම කියන එකෙත් වැරද්දක් නැහැ වගේ.
අපි දෙන්න මහා රෑ ටවුන් එකේ කැරකෙනකොට කුලේව හම්බ උනා. හිතේ දුකටත් එක්ක අපි ඌට සිද්ධිය කිව්වා. කතාව අහගෙන ඉඳලා ඊට පස්සේ ඌ ඒ වෙලාවේ කාගෙන මන්ද පුෂ් බයික් එකක් අපි දෙන්නට හොයල දුන්න යන දිහාවක පලයල්ලා කියලා.
වෙලාවේ හැටියට ඒකත් ලොකු දෙයක්නේ. ඉතින් අපි දෙන්න කලුවරේම අර තුන්කාලේ බයික් එකේ නැගල දැන් යනවා මේරලගේ ගෙවල් දිහාවට. අතරමගදී පාලුම පාළු හරියේදී දෙන්නට ටිකක් බය හිතුනත් එක්ක, ඒත් ඒ වෙලාවේ හිතේ ඇති වෙලා තිබ්බ කළකිරීම නිසා ඔව්ව මුකුත් ගානක් නැහැ.
මෙහෙම ගිහින් අපි දෙන්න එක්ක අර කියන ගෙදරට ගිහින් කතා කලා. මේරා ඇවිත් අපිත් එක්ක කතා කලා, කස්සත් එළියට ආව. ඒත් එක පාරටම තව කීප දෙනෙක් පොඩ්ඩක් වටපිට බලන්න ගත්ත අපි එක්ක තව කවුරු හරි ඇවිත් ඉන්නවද කියලා උන්ගේ ඔත්තු බලන්න.
ඒ මදිවට අපි දෙන්නව ගේ ඇතුලට ගත්තෙත් නැහැ, ඒත් අපිට උන් ඉන්න තත්ත්වය තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් තිබුනා.
පස්සේ එළියට පුටු දෙකක් ගෙනත් දීල තේ දෙකකුත් ගෙනාවා, ඒක බීල ඊට පස්සේ අපි දෙන්න එන්න පිටත් වුනා. වෙච්ච සිද්ධිය හරියටම කිව්වේ කස්සට විතරයි, ඒත් එහේ අපිට එදා රෑ නතර වෙන්න කියන්න උන්ටත් බැහැ.


දැන් ඉතින් අපහු රෑ 12:30 ට විතර ආපහු ටවුන් එකට ආවා. ඉතුරු කාලය ගත කරන්නේ කොහෙද කියන එක තමයි ප්‍රශ්නේ. මෙච්චර රෑ වෙලා නැත්නම් කස්සලගේ ගෙදරට ගිහින් හරි නිදා ගන්න තිබ්බ. මොකද ඌ ගෙදර නැහැ කියල නැහැ, උන්ගේ අම්මා අපිටත් අම්මා කෙනෙක් වගේ, ඒ ගෙදරට වද්ද ගන්නවා ඕනෙම වෙලාවක.
වෙනදා සංගීතයක් බැලුවත්, වෙන කොහේ හරි ගියත් කට්ටියම ඇවිත් රෑ නිදා ගන්න ඉස්කෝලෙට ගිහින් නිදා ගන්න දෙන්නගෙම හිත්වල කැමැත්තකුත් නැහැ. ලඟින් හිටපු එවුන් එකතු වෙලා හිත බින්දට පස්සේ ඒකෙ තියෙන වේදනාව ඔය හැමෝම වගේ දන්නවා ඇතිනේ. ඔක්කොම හරි, තිබ්බ කරදර මදිවට දැන් බයික් එකකුත් පරිස්සම් කරන්න වෙලා.

අන්තිමට දෙන්න එක්ක ඉස්කෝලේ ටිකක් පේන මානේ තියෙන බස් හෝල්ට් එකක රෑ ගත කරන්න තීරණය කලා. ඒකෙ තිබුණු සිමෙන්ති බංකුවෙ අපි දෙන්නට නිදා ගන්න යන්තමට වගේ ඉඩ තියෙනවා. වෙලාවට බයික් එකේ ලොක් එකක් තිබුනා, ඒක ලොක් කරලා යතුර සාක්කුවක දාගෙන අපි නිදා ගත්තා. අපිට ඇහැරිලා බලනකොට හොඳටම එළිය වැටිලා. වැඩට යන්න ආපු අක්කල දෙන්නෙක් සැරින් සැරේ අපි දිහා හැරි හැරී බලනවා. අපිට ඒකෙ වගක් නැහැ.  බයිසිකලෙත් හොරු අරගෙන නැහැ ඉතින් හිතටත් සතුටුයි.




එහෙනම් අපි දෙන්න යමු කියල යන්න හදනකොට තමයි මට තරු පැන්නේ. මගේ අලුත්ම සෙරෙප්පු දෙක හොරු අරගෙන. ඒ මදිවට බයිසිකලෙත් හුලන් ඇරලා.
හොඳ වෙලාවට මම පරණ සෙරෙප්පු දෙක විසි කලේ නැත්තේ. ආපහු කස්සලගේ ගෙදරට ගිහින් පරණ සෙරෙප්පු දෙකත් දාගෙන හොඳටම බිඳුණු හිතත් අරගෙන  ගෙදර යන්න බස් එකට නැග්ගා.
සියාතුවා අර බයික් එකට හුළං ගහලා අයිතිකාරයට බාර දීලම ගෙදර යන්නම් කිව්වා. මොකද උගේ ගෙදරට ගොඩක් ලඟයි ටවුමේ ඉඳලා.


එතනින් පස්සේ අර යාළුවො ඇවිත් එක එක කතා කියල සියාතුවගෙන් සමාව ඉල්ලලා තිබුනා. "උඹට නෙමෙයි බං අපි එහෙම කිව්වේ අරූ(මම) හිටපු නිසයි එහෙම කිව්වේ" කියලා. ඒත් සියාතුව නියම යාළුවෙක් වගේ මගේ පැත්ත අරගෙන ඉඳල තිබුනා. මොකද ඌ දන්නවා උන් ටික මගේ ගාවට ඇවිත් ආපහු කියන්නෙත් ඕකම කියලා. "සියාතු හිටපු නිසයි එහෙම කිව්වේ" කියලා.




පස්සේ ක්‍රීඩා උත්සවයට අපි පොඩියට වගේ උදව් කලා, වගේම අපේ නිවාසය පළමුවෙනි ස්ථානයත් ගත්තා. ඒත් ඒ කිසි දේකින් හිතේ සතුටක් ඇති වුනේ නැහැ.
එතනින් පස්සේ ඒ සෙට් එකත් එක්ක දැක්කහම කතා කලාට ලොකු හිතවත්කමක් ඇති උනේ නැහැ කවදාවත්. ඒක අදටත් එහෙමයි.


ඒත් සියාතුවා, කස්සා, කුඩ්ඩා එහෙම අදටත් මගේ හොඳ යාලුවෝ....

ගිය පාර නිවාඩු ගියහමත් මට මුන් දෙන්න හම්බ වුනා, නියම යාළුවන්ව සොයා ගන්න උදව් කරපු අර "වහල උඩ හිටපු මොහොත" මගේ ජීවිතයට හරි වටිනවා. මේ වගේ මොහොතවල් කොච්චර වටිනවද කියල මේ වගේ දේකට මුණ දීපු අය දන්නවා ඇති.

මම යාළුවෙක්ව ආශ්‍රය කරන්නේ බොක්කෙන්. බොරුවට යාළුකම් මගේ ගාව නැහැ, මට හිතට අල්ලන්නේ නැත්නම් මම කාටවත් ලං වෙන්නෙත් නැහැ.
කොහොම උනත් මේ විදිහට මගේ ජීවිතේට නොයෙකුත් අත්දැකීම් එකතු කරලා මගේ ජීවිතේට පන්නරයක් ලබා දීපු හැම දෙනාටම අද මම ස්තුතිවන්ත වෙනවා.

Monday, 14 November 2011

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සහ මිතුරු තොමෝ -01



අපිට ඉස්කෝලේ කාලේදී තිබුන බොහොම සුන්දරම කාලේ තමයි නිවාසාන්තර ක්‍රීඩා උත්සවය තියෙන කාලේ. අපේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවය තිබුනේ පෙබරවාරි අග එහෙමත් නැත්නම් මාර්තු මුල වගේ කාලෙක. මේ කාලෙට තමයි හොඳට පායන්නේ මේ වගේ උත්සව තියන්න පුළුවන් වෙන විදිහට. ඒ ගැනත් හිතල වෙන්න ඇති මේ කාලය ඒ වෙනුවෙන් වෙන් කරන්නේ.  අපේ ඉස්කෝලේ විතරක් නෙමෙයි මේ කාලෙට අපේ පැත්තේ හැම ඉස්කොලේකම වගේ ක්‍රීඩා උත්සව. හැබැයි එකකට එකක් අවහිරයක් නොවෙන විදිහට තමයි මේ උත්සව වලට දින වෙන් කරගෙන තිබුනේ. ඉතින් ළමයින්ට කරදරයක් නැතුව අනිත් ඉස්කෝල වල ක්‍රීඩා උත්සවයටත් සහභාගී වෙන්න පුළුවන් කම තිබුනා.
අපේ ඉස්කෝලේ නිවාස හතරකට බෙදල තිබුනා, ඒවායේ නම් උනේ පරාක්‍රම, ගැමුණු, විජය සහ තිස්ස. 
මේ ක්‍රීඩා උළලේ ප්‍රධාන අරමුණ ක්‍රීඩා විතරක්ම නොවීම බොහොම වැදගත්, ඒ කියන්නේ හොඳම බැජ් එක, හොඳම නිවාසය කියලත් ගොඩක් වැඩි ලකුණු දෙන අංග මේකේ තිබුනා.
ඉතින් සති ගානක ඉඳලා පුවක් ගස්, උන ගස්, පොල් අතු, පුවක් අතු, පිදුරු, ලී කුඩු, දහයියා පොත්තේ සිට සැරසිළි සඳහා ගන්න පුළුවන් මඩු අතු, පොල් හනසු, කැකිල්ල, ලොක්කන් නට්ටන්, බඩල් හනස්ස වගේ අවශ්‍ය කරන හැම දෙයක්ම එකතු කරනවා.
හැම නිවාසෙකට අදාලව ළමුන් වගේම ගුරුවරුත් කණ්ඩායම් බෙදනවා. ඉතින් නිවාස රැස්වීමක් තියලා එදාට ඒ නිවාසයේ හැමෝම එකතුවෙලා මේ වසරේ නිවාස නායකයා, නායිකාව, ක්‍රීඩා නායක, නායිකා, භාණ්ඩාගාරික, සහ නොයෙකුත් කටයුතු සඳහා නිල මඩුල්ල පත් කර ගන්නවා. අපි ඉස්කෝලේ ඉන්න කාලේ එක නිවාසෙකට ළමයි හත් අට සීයක් හිටියා. මේ කටයුත්තට ළමයින්ගේ නම් ලිස්ට් එකක් හදලා හැමෝගෙන්ම රුපියල් 20/- හෝ 25/- වගේ ගානක් එකතු කරනවා. හැබැයි ඉතින් ලොකු පන්ති වල හිටපු කොල්ලොනම් මේ සල්ලි නොදී ඉන්නම තමයි හදන්නේ. ඒ සල්ලි වලින් තමයි මේ හැම වැඩක්ම වගේ කරන්නේ. නිවාසාන්තර උත්සවේ දවසට ළමයින්ට කෑම වේලක් සහ බොන්න දෙන බීම සහ ක්‍රීඩකයින්ට දෙන ග්ලුකෝස් එක පවා ගන්නේ මේ සල්ලි වලින්. තව නිවාස සැරසිළි, බැජ් හදන්න යන වියදම මේ හැම දෙයක්ම.
මේ කාලේ වෙද්දී ඉස්කෝලේ ඉගැන්වීමේ කටයුතු ගොඩක්ම අඩාල වුනත් කාටවත් ඒ ගැන වගේ වගක් තිබුනේ නැහැ. මුළු ඉස්කෝලෙම අමුතු සිරියාවකින් මත් වෙන කාලයක් ඒක.
කෙල්ලෝ කොල්ලෝ එකට ඉඳගෙන මේ වගේ වැඩ කරනවා කියන්නේ වෙනදාටත් වඩා එකට මුහු වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩියි.  ඉතින් මේ කාලේදී කෙල්ලෝ කොල්ලෝ ගොඩදෙනෙක් "ගොඩ යන" කාලයක්.

මේ හැම දෙයක් අතරින් නිවාස වල වැඩ ඉදිරියට ඇදීගෙන යනවා. කට්ටියක් ක්‍රීඩා පුහුණු වෙනවා, ඒ වගේම අවසාන දිනයට කලින් බොහොමයක් තරඟ වල මුලික තෝරා ගැනීම් හමාර කරනවා. තව කට්ටියක් නිවාසේ ආකෘති හදන්න, බැජ් එක හදන්න (චිත්‍ර දන්නා අය) සැළසුම් කරනවා, වැඩ ගොඩයි.
හැබැයි මේ නිවාසයේ සැළසුම සහ බැජ් එකේ සැළසුම කියන්නේ බොහොම රහසිගත වැඩක්. ඒක අනිත් නිවාස වල කාටවත් හෙළි වෙන්නේ නැති වෙන්න තමයි කරන්නේ.
අනිත් එක තමයි අපේ ඉස්කෝලේ තිබුන විදිහට ඇතුලත් වීම් අංකය හතරෙන් බෙදල තමයි ළමයින්ව නිවාස වලට බෙදන්නේ. ඉතින්  හැම ළමයම ඉස්කෝලෙන් අස් වෙලා යනකල්ම ඉන්නේ එකම නිවාසයේ, ඉතින් බොක්කෙන්ම වගේ තමන්ගේ නිවාසෙ පළමුවැනි ස්ථානෙට පත් කරන්න තමයි හැමෝම දත කන්නේ, ගුරුවරු පවා ඒ කාලෙට තමන්ගේ නිවාසේ වෙනුවෙන් බැහැල වැඩ.


(මම ටිකක් මතකයන් පසු පස හඹා යන්නෙක් නිසා මේ හැම අවුරුද්දෙම වගේ එකතු කර ගත්තු නිවාස හතරෙම බැජ් අදටත් මා ගාව තියෙනවා, ඒත් මේ වෙලාවේ මගේ ගාව ඒවා නැහැ ෆොටෝ එකක්වත් දාන්න)


බැජ් එක සෑදීම



මෙන්න මේ වගේ මොකක් හරි තෝරගත්තු අලුත්ම නිර්මාණයක් අපිට හොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය වලින් ලස්සනට නිර්මාණය කිරීම තමයි අපි ඒ දවස් වල කලේ. කඩදාසි, කාඩ්බෝඩ්, තීන්ත, තණකොළ ඇට, වී ඇට හෝ වෙනත් එවැනි ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන මෙම නිර්මාණය කරනු ලැබේ. කෘතීම ද්‍රව්‍ය වැඩි වූ පමණට ලකුණු වලද අඩු වීමක් සිදු වේ.


නිවාසය සෑදීම




*මෙම ජායාරූපය ඉබ්බාගමුව මධ්‍ය මහා විදුහල් වෙබ් අඩවියේ තිබී උපුටා ගත් ජායාරුපයකි.

සම්පුර්ණයෙන්ම පාහේ ලී දඬු, පුවක් කොට, උන බට යොදා සාදා ගන්නා සැකිල්ල යම්කිසි වැදගත් ස්ථානයක අනුරුවක් වශයෙන් අදාල නිවාසයේ අනන්‍යතාවයද හෙළිවන අයුරින් නිර්මාණය කරනු ලැබේ. වෙනස්ම ආකාරයේ නිර්මාණ පවා කිරීමට කිසිම බාධාවක් නොතිබුණි. පසුව එය නොයෙකුත් ආකාරයෙන් සරසා ලස්සන කරනු ලැබීය. පසු කාලීනව කුලියට ගත් "ටෙන්ට්" එකක් වටකර සැරසිලි කර නිවාසය සෑදීම සිදු කලේ වැයවන කාලය ඉතුරු කර ගැනීමට විය හැක.


මම හිටියේ පරාක්‍රම නිවාසයේ. හැමදාම නිවාසයක නායකත්වය දෙන්නේ 12 වසරේ අයට. මොකද 13 කට්ටිය මේ වෙද්දී උසස්පෙළ විභාගේ වෙනුවෙන් මහන්සි වෙන නිසා. ඒ විතරක් නෙමේ 13 වසරේ උන් ඉස්කෝලේ එන්නෙත් නැහැ.
ඔන්න මේ කියන කාලේ මමත් හිටියේ 12 වසරේ, අපේ වාරයේදී නිවාස නායකයා උනේ කළා අංශයේ හිටපු "දිගා". මමත් නිකමට වගේ උප ක්‍රීඩා නායකයා වෙලා හිටියා. මීට අමතරව, කුඩ්ඩා, අමිල බඩා සහ නම් අමතක ගොඩක් යාළුවො එදා අපේ හවුස් එකේ හිටියා.
මේ විදිහට නිවාස වලට බෙදිලා හිටියට සමහර වෙලාවට ෆිට් එක වැඩි කමට වෙනත් නිවාස වල උනුත් තමන්ගේ නිවාසේ අතහැරලා ඇවිත් යාළුවො වැඩියෙන්ම ඉන්න නිවාසෙට වැඩ කරන වෙලාවලුත් තියෙනවා.
මේ කාලේ අපේ ඉස්කෝලේ පොඩි නෙමෙයි ලොකු වසංගතයක් පැතිරිච්ච කාලයක්. ඒ කියන්නේ ගොඩ දෙනෙක් දන්නා "ටොපි" වසංගතේ. අපේ ඉස්කෝලෙට නමකුත් හැදිලා තිබුනා "ගුලි xxxxx" කියලා.
කාර්ඩ් එකෙන් සියාතු කියන මගේ යාළුවා කළා අංශයේ. ඌ ලස්සනට කොන්ඩේ වවාගෙන හිටියේ හරියට "අජේ දේව්ගන්" වගේ. ඒ වගේම ඌ හිටියේ විජය නිවාසේද කොහෙද. ඒත් මේ කියන ක්‍රීඩා උත්සවය කාලේ වෙද්දී ඌ වැඩිපුර හිටියේ අපිත් එක්ක. මමත් මැත කලාට හිටියේ ආර්ට් කොමස් උන් එක්කම තමයි. ඒ වගේම තමයි මු හැමදාම ඉස්කෝලේ එන්න කලින් අර කියන ජාතියෙ ටොපි 5 ක් හෝ 6 ක් ඉස්කෝලේ අරගෙන එනවා. පන්තියේ ඉන්න වෙලාවෙත් එකක් ඉවර වෙන්න එකක් විදිහට උඩු තල්ලේ මෙයින් එකක් අලවාගෙන ඉන්න තමයි ඌ පුරුදු වෙලා තිබුනේ.
මමත් දවසක් දෙකක් මෙයා එක්ක මේ කියන ටොපි කාල බැලුවා, එකක් වැඩක් නැති තැන දෙකක් වැඩක් වෙයිද බැලුවා, ම්හ්..... ඒත් නැහැ.
මේක මට වැඩ කරන්නේ නැද්ද කොහෙද. ඊට පස්සේ මම ඕව කන්න ගියේ නැහැ.
ඔහොම ගිහින් මේ උත්සවේ දවස් කිට්ටු වෙද්දී මම මුට කරුණු කාරණා පහදලා දීල ඌව මේ පුරුද්දෙන් මුදවගන්නත් සමත් උනා.
එදා ඉඳල අපි දෙන්න ගොඩක් ළඟ මිත්තරයෝ වුනා.


ඔහොම ගිහින් එක දවසක අපි නිවාසය හදන්න කලින් දවසේ පෙර සුදානම් කිහිපයකට රෑක ඉස්කෝලෙට එන්න කතා වුනා.  එදා හවස මම සියාතු එක්කම ටවුන් එකට ගිහින් අලුත් සෙරෙප්පු දෙකක් ගත්තා. මගේ තිබුණු සෙරෙප්පු දෙකේ එකක පටියක් පොඩ්ඩක් කැඩිලා තිබුනේ. ඒ කාලේදී ටිකක් ජනප්‍රිය වෙච්ච පටි පටි තියෙන සෙරෙප්පු දෙකක් තමයි මම ගත්තේ..  මුලින්ම කලේ අලුත් සෙරෙප්පු දෙකත් අරගෙන ටවුන් එක කිට්ටුවම තිබ්බ කස්සලගේ ගෙදරට ගියා, එතන තමයි අපේ තිප්පොල උනේ ඒ දවස් වල. පරණ සෙරෙප්පු දෙක විසි කරන්නේ නැතුව කවරෙක දාල උගේ ඇඳ යටට දාල අලුත් දෙකත් දාගෙන පිටත් වුනා. එක පටියක් අබලන් උනාට ඒක හදාගෙන පාවිච්චි කරන්න බැරි කමක් තිබුනෙත් නැහැ. ඊට පස්සේ ටවුන් එකට ගිහින් කඩේකින් කොත්තු දෙකකුත් කෑවා.
මේ ඔක්කොම ඉවර වෙලා අපි දෙන්න ඉස්කෝලේ ගාවට එද්දී වෙලාව රෑ 08:30 ට වගේ ඇති. ඒ වෙද්දී ගේට්ටුව ගාව හිටියේ කුඩ්ඩා විතරයි. අපි උගෙන් ඇහුව අනිත් උන් ගැන. ඌ කිව්වා උන් මොනවද බඩු වගයක් ගේන්න ළඟකට ගියා කියලා.
අපිත් ඉතින් මේ වෙලාවේ පොඩි විහිළුවක් කරන්න හිතාගෙන කුඩ්ඩටත් විස්තරේ පහදලා දීලා එතනම තිබුණු සිකුරුටි කුටියේ වහල උඩට අඹ ගහ දිගේ නැගල හැංගුනා. ඒ අඹ ගහ හින්ද කාටවත් අපිව පේන්නේ නැහැ.
ඔහොම ටික වෙලාවක් ඉන්නකොට අපේ යාළුවො ටික  ඈත එනවා පෙනුනා පාරේ තියෙන ලයිට් එළියෙන්. ඒ වෙද්දී ඕ ලෙවල් විභාගෙන් පස්සේ පාසල් ජීවිතයට සමු දීල ටවුමේ රස්තියාදු ගගහා හිටපු "ඩෙකා" කියන අපේ හිටපු යාළුවෙකුත් මේ එක්ක හිටියා. ඌ අස් වෙන්න කලින් හිටියේ අපේ හවුස් එකේ.
ඌ බෝතලයක් කටේ තියාගෙන පාර දිගේ බිබී තමයි ආවේ. අනිත් උනුත් බිව්වද නැද්ද කියල කියන්න මම දැක්කේ නැහැ, ඒත් එක පාරටම කොහේද මන්ද ඉඳල අපේ ක්‍රීඩාභාර ගුරුතුමා මතු වුනා. කට්ටියව දැකපු ගමන් "ආ ඩෙxxx මොකද මේ පැත්තේ" කියලා ඇහුවා. අපිට හොඳටම ෂුවර් මු බොන එක දැකල තමයි සර් මේක ඇහුවේ කියලා.
"මේගොල්ලන්ට උදව් කරන්න ආව සර්" කියලා මුත් වැනි වැනිම උත්තර දුන්නා. ඒ මදිවට ඇඟ පිටිපස්සේ බෝතලේ හංගගන්න කරන අසාර්ථක උන්ත්සාහයකත් ඌ දීලයි හිටියේ.
මේ සර් බොහොම තරුණ වයසේ හිටපු හොඳ ඉවසීමක් තියෙන මනුස්සයා. හරිම හිත හොඳයි. ඉතින් එතැනින්ම මේක අමතක කරලා දාන්න ඇති. ඒ මදිවට එයානේ මේ දවස් වල ඉස්කෝලේ ඉන්න වැඩ රාජකාරි අධිකම මනුස්සයා.




ඊට පස්සේ කට්ටිය කුඩ්ඩා ඉන්න තැනට ඇවිත් අපි දෙන්න ගැන විපරම් කළා.  කුඩ්ඩා ලස්සනට උගේ වැඩ කොටස කළා, "මුන් දෙන්න තාම ආවේ නැහැනේ බං" කියලා ඌ කිව්වේ පොඩි නොරිස්සුම් හඬකුත් මවාගෙන.

ටික වෙලාවක් ගියේ නැහැ අපේ යාළු මිත්තරයෝ ටික අපි දෙන්නගේ ගුණ දොස් වර්ණනාවක් කරනවා අපිට අහන් ඉන්න බැරි තරම් ලස්සනට. "මටනම් මුන්ව විස්වාස නැහැ, අපේ රහස් මුන් එලියට දායිද දන්නේ නැහැ, මුන් සත පහකට වැඩක් ඇති එවුන් නෙමෙයි" වගේ අහං ඉන්න ආස හිතෙන කතා ගොඩයි.
මම වගේ නෙමෙයි සියාතුවා, ඌට මේ වගේ වෙලාවට මළ පනිනවා. මු ගහෙන් බැහැල මුන් ගාවට යන්නම හදනවා. (මු මේ දවස් වල වළි වලටත් හරි ප්‍රසිද්ධයි) මම හරි අමාරුවෙන් ඌව නවත්තගෙන හිටියේ.
පැය භාගයක් වගේ එතන කියව කියව ඉඳලා උන් ටික පිට්ටනියේ එහා කෙලවරට ගියාම අපි වහලෙන් බැස්සා, අපි එද්දිම වගේ  කුඩ්ඩත් එතනට ආව, ඇත්තටම මේ සිද්ධිය හරියටම දන්නේ ඌ විතරනේ. ඒ වෙලාවේ ඌ හරියට අපහසුතාවයට පත් වෙලා.

"අපි ආපහු ඔය වැඩ වලට නැහැ බං" කියල අපි දෙන්න ආපහු හැරිලා යන්න හදද්දී ඌ අපිව නවත්ත ගන්න සෑහෙන්න ට්‍රයි කළා. ඒත් අපි දෙන්නගේ හිත් හොඳටම කළකිරිලා ඉවරයි ඒ වෙද්දී. මේ වෙනකොට වෙලාව රෑ 10:00 ත් පහු වෙලාද කොහෙද. සියාතුලගේ ගෙදර ඒ අහල පහලම තිබුනට අපිට එහෙ යන්න හිතක් තිබුනේ නැහැ.


පොස්ට් එක ටිකක් දිග වැඩි වේගෙන එන නිසා "අපි ගියේ කොහෙද" කියලා දෙවන කොටසින් පළ කරන්නම්.......

Friday, 11 November 2011

හතරෙ පන්තිය

මේ කියන සන්ධියේදී මම උන්නේ 4 වසරේ. අපේ පන්තිය තිබුනේ ටකරන් හෝල් එකේ. ඒ කියන්නේ ලොකු ඩොන්ග ගහකිනුයි ලොකුම ලොකු අඹ ගහකිනුයි හෙවන වැටිච්ච බිමට සිමෙන්ති නොදාපු දිග හෝල් එකක්. මේකෙ 3 වසර සහ 4 වසරේ පන්ති ටික තිබුන කියල තමයි මට මතක. මේකෙ ඉගෙන ගන්නවා කියන්නේ කකුල් දෙකේ හැමතැනම දුවිලි ගෑවෙන එකේ ඉවරයක්‌ නැහැ. මොකද මේ වයසේදී අපිටත් එක විදිහකට ඉන්න බැහැනේ. ඒත් ඒක හරි අපුරු ගොඩනැගිල්ලක්.
එක දවසක් අපිට පන්තිභාර ගුරුතුමී කිව්වා ලබන සතියේ ඉඳල ඔයගොල්ලෝ ඉස්කෝලේ එන්න ඕනේ හවස් වරුවේ කියලා. ඉස්කෝලෙන් අපි හිටපු ටකරන් හෝල් එක ගලවලා අහක් කරලා අලුතින් හෝල් එකක් හදන්න පටන් ගන්නලු යන්නේ.




දැන් ඉතින් අපි වෙනද වෙලාවට නෙමෙයි දවල් 12:00 ට ඉස්කෝලේ එන්න පටන් ගත්තා.
මේ දවස් වල අපේ ඉස්කෝලෙට අලුත් තරුණ ගුරුතුමීලා දෙන්නෙක් ඇවිත් තිබුනා. මම හිතන්නේ අර දුෂ්කර සේවා වලට දාපු දෙන්නෙක්ද කොහෙද. ඒ දෙන්නගෙන් එක්කෙනෙකුට තමයි අපේ පන්තිය බාර වෙලා තිබුනේ.
මම හිටියේ "චිත්‍රා" ටීචර්ගේ පන්තියේ, එක දවසක් මම මොකක් හරි ගෙදර වැඩක් කරගෙන ආවේ නැහැ කියලද කොහෙද මාව ගෑනු ළමයි දෙන්නෙක්ගේ මැද්දෙන් වාඩි කරවලත් තිබ්බ මේ මිස්. අපි ඉතින් මේ දවස් වල තනිකරම වගේ කලේ සතර පොත. මේ මිස්ල දෙන්න ආවට පස්සේ අපේ ඉස්කෝලේ ලොකු වෙනසක් උනා. මීට කලින් කවදාවත් ළමයෙක් අපේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වේ පාස් වෙලා තිබුනේ නැහැ. මේ මිස්ල දෙන්නගේ කැපවීම නිසා අපේ ඉස්කෝලෙන් ළමයි තුන් දෙනෙක් ඉස්-ඉස්සෙල්ලම ශිෂ්‍යත්වේ පාස් උනා. ඒ මගේ චුටි අක්ක සහ තවත් ළමයි දෙන්නෙක්.
ඊට පස්සේ අවුරුද්දේ අපි එකොලොස් දෙනෙක් පාස් උනා. පස්සේ මම ගමේ ඉස්කෝලෙන් අස්වෙලා ටිකක් ලොකු ඉස්කෝලෙකට ගියා. මම ඉස්කෝලෙන් අස් වෙන්න කලින් ඒ මිස්ල දෙන්න අපේ ගෙදරත් ඇවිත් ගියා. ඒ ආපු දවසේ මම පුටුවක් උඩ නැගල අපේ මිදුලේ තිබුන පොඩි තැඹිලි ගහෙන් ගෙඩි දෙකක් කඩලා මිස්ලට බොන්න දුන්න කියලත් මට මතකයි.
අද ඒ තැඹිලි ගහේ උසත් එක්ක කාලය අපිව අතහැරලා කොච්චර පියාඹල ගිහිල්ලද කියලා තේරෙනවා.
අර මිස්ල දෙන්න එයාලගේ දුෂ්කර කාල සීමාව ඉවර වෙලා ටික කාලෙකට පස්සේ ඉස්කෝලෙන් අස් වෙලා යන්න ගියා කියලත් මට පස්සේ කාලෙක ආරංචි උනා.


එක දවසක් මම මේ විදිහට දවල් වෙලා ඉස්කෝලේ එන්න හදන දවසක අම්මා හොඳටෝම උන ගැනිලා නිදාගෙන හිටියා. අක්කල උදේ ඉස්කෝලේ යන හින්ද ගෙදරත් වෙන කවුරුවත් නැහැ. දැන් ඉතින් මම දවල්ට කන්න ගෙනියන්නේ මොනවද කියන ප්‍රශ්නේ මගේ හිතේ බලපෑවා. ඒ දවස් වල හැමදාම වගේ මගේ ගාව තිබ්බ දුඹුරු පාට පුංචි ප්ලාස්ටික් පෙට්ටියේ බත් එකක් අරගෙන යනවා ඉස්කෝලේ යද්දී. කඩෙන් කන පුරුද්දක් අපිට තිබුනේ නැහැ. අනිත් එක අපේ අම්මා ඒ දවස් වල හරිම අරපිරිමැස්මෙන් තමයි අපිව හැදුවේ සහ ගෙදරදොර වියහියදම් කටයුතු කලේ. කඩේ ගෙනියන්න පවා තාත්තගේ පරණ කලිසම් කපලා බෑග්මලු මහල තිබ්බා. නැත්නම් ෂොපින් බෑග් ගන්න සල්ලි නිකරුනේ යන නිසා.
ඉතින් මේ කියන දවසේ අම්මට නැගිට ගන්නවත් බැහැ, මම අම්මගෙන් ඇහුවා මෙන්න මෙහෙම.

මම : මං බත් ටිකක් උයන්නද අම්මේ
අම්මා : ඔයාට පුළුවනැයි පුතේ උයන්න
මම : මම දැකල තියෙනවනේ අම්මල උයන හැටි, මට පුළුවන් වෙයි

අම්මා : හොඳයි එහෙනම් හාල් හුන්ඩු දෙකක් වී එහෙම අහුලලා හෝදලා කරලා ගන්නකෝ, මම ටික ටික කියල දෙන්නම් උයාගෙන යද්දී.

මමත් ඉතින් වී එහෙම අහුලලා, හාල් ටික හොඳට හෝදලා මුට්ටියකට දාල ගත්තා. දැන් වතුර තියන එක තමයි ප්‍රශ්නේ. අම්මගෙන් ඇහුවහම අම්මා කිව්වා අතේ ඇඟිලි පුරුක් දෙකකට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න වතුර දාල මුට්ටිය අම්මගේ ඇඳ ගාවට අරගෙන එන්නකෝ කියලා.
ඉතින් මමත් එහෙම කලා. දාල තිබුන වතුර ප්‍රමාණය අම්මත් අනුමත කලා. මේ කාලේදී අපේ ගෙදර ගෑස් ලිප්, විදුලි බලය කිසි දෙයක් නැහැ.
ඉතින් දර ලිපට දර ටිකක් දාල භූමිතෙල් ටිකකුත් දාල ලිප පත්තු කරලා ගත්තා. බත් එක ලිපේ තිබ්බ, ටික වෙලාවකින් අම්මගේ උපදෙස් පිට අල හොද්දක් හදන්නත් පටන් ගත්තා. අලගෙඩි දෙක තුනක් අරගෙන සුද්ද කරලා, පෙති කැපුවා. ඊට පස්සේ රටළුණු(B ළුණු) ගෙඩියකුත් කපල ගත්තා. මිරිස් තුන පහ අම්මා කියපු ගානට හැඳි ප්‍රමාණයත් දැම්ම, ලුනුත් එහෙමයි.
මේ වෙද්දී බත් එකේ පෙණ දාගෙන උතුරනවා. ඉතින් ඒකෙ පියන ඇරලා (අම්මා කියන විදිහටනම් "වහුං ඇරලා") ගින්දරත් ටිකක් අඩු කලා. මේ ඔක්කොම කරන්නේ අම්මගේ උපදෙස් පි‍ට.
ඊට පස්සේ බත් එක ඉදෙනකන් වෙන වැඩ මුකුත් කරන්න ගියේ නැහැ. පොල්කටු හැන්දක කූර පැත්තෙන් බත පොඩ්ඩක් කුරු ගාල අඩියේ වතුර එහෙම තියෙනවද කියලත් බැලුවා. පස්සේ බත් ඇට අමු නැහැ කියල තේරුනාට පස්සේ බත් එක ලිපෙන් බෑවා.
දැන් ඉතින් හොද්දේ ඉතුරු කොටස. කලින් දවසේ බිඳපු පොල් ගෙඩියක බෑයක් තිබිලා ඒක ගාල එහෙම ගත්තා. ඒකටත් අපේ ගෙදර තිබුනේ අර වාඩි වෙලා පොල් ගාන ජාතියේ හිරමණයක්. මම පොල් ගානකොට ඒක පිටිපස්සෙන් උඩ යනවත් එක්ක. ඉස්සර අක්කල එහෙම පොල් ගාද්දී අපි ඒ බංකු හිරමණේ පිටිපස්සේ වාඩි වෙලා ඉන්නවා ඒක එහේ මෙහේ නොයන්න. කොහොම හරි මිටි කිරි ටිකක් වෙනම මිරිකලා ඊට පස්සේ ගත්තු දියකිරි වලින් අල හොද්ද ලිපේ තිබ්බා. මේ වෙනකං කිසිම කරදරයක් උනේ නැහැ. පස්සේ අල තැම්බිලාද කියල බලන විදිහත් අම්මා කියපු විදිහටම කලා. පස්සේ මිටිකිරි ටික එහෙම දාල එක පාරක් උතුරාගෙන එද්දී හැඳිගාලා පොඩ්ඩක් බලාගෙන හිටියා. ඊට පස්සේ ආපහු උතුරාගෙන එද්දී හැඳි ගාල හොද්ද බෑවා.
බතුයි හොදියි ඔක්කොම හදල ඉවර වෙලා අම්මගෙන් බත් බෙදල දෙන්නද කියලා ඇහුවහම අම්මා "එපා" කිව්වා. අක්කල තව පොඩ්ඩකින් එන නිසා එයාල ආවහම කන්නම් කියල කියපු නිසා මම නිකන් හිටියා. පස්සේ මේ බත් වලින් ටිකක් මගේ ප්ලාස්ටික් පෙට්ටියට දාගෙන රටළුණු දාපු අල හොද්දත් එක්ක ඉස්කෝලෙත් අරගෙන ගියා.

මෙන්න මගේ පළමු අරක්කැමි අත්දැකීම, සෙල්ලම් නැහැ හතරවසරේදී.


මට මේ කතාව එක පාරටම මතක් උනේ අද දවල්ට සහ රෑට දෙකටම මම කෑවේ මේ වගේම කෑම වේලක් නිසා වෙන්න ඕනේ.
පොඩි වෙනසකට තිබ්බේ එදා රතු කැකුළු බත් වෙනුවට අද සුදු බතුත්, එදා අල සහ ළුණු වෙනුවට අද අල, ළුණු සහ කරවල කෑලි දෙක තුනක් එකම හොද්දට එකතු වීම පමණයි.
හැමදේම එක වගේ, ඒත් අවුරුදු 22 කට පස්සෙත් ඒ විදිහටම ජීවිතේ විඳලා සතුටු වෙන්න පුළුවන් කම තියෙන එක ගැන මට ලොකු සතුටක් ඇති උනා.

Monday, 7 November 2011

නෑම...

ඔහොම ගිහිං මම කොහොමින් කොහොම හරි 11 වසර පන්තියේ ඉන්න කාලේ. ඒ දවස්‌ වල ඉස්කෝලේ ඇරෙන්නේ 01:30 ට. ඒත් සමහර දවස් වලට අපි කොහොම හරි කලින්ම එළියට පනින දවසුත් තිබ්බා.
වෙන මොකකටවත් නෙමෙයි එළියට යන්නේ නාන්න. අපේ ඉස්කෝලේ පිටිපස්සේ පොඩි පහේ ඇළ පාරක් තිබුනා.




අඩුම ගානේ සතියකට දවස්‌ 5 ක්වත්  මේ ඇලේ නෑවෙ නැත්නම් අපිට නිකන් මොකක්ද වගේ. සමහර දවස්‌ වලට විද්‍යා පන්තිය කට් කරගෙන සෙනසුරාදාටත් නාන්න යනවා.
පිටිපස්සේ කියල කිව්වට ළඟින්මත් නෙමෙයි මේක තිබුනේ. කිලෝමීටරයක් දෙකක් පයින් ගාටන්නත් ඕනේ.
නිකන්මත් නෙමෙයි ගොඩක් දුර යන්න තියෙන්නේ නියරක් දිගේ. 
කොහොමටත් අපි ඔතනට යන්න කලින් කඩෙන් ෂොපින් බෑග් කීපෙකුත් අරගෙනම තමයි යන්නේ අපේ ඇඳුම් කැඩුම් ටික දාල තියන්න.
මීට අමතරව අපිට  තියෙන ලොකුම කරදරේ තමයි රොබින් හුඩ් පවුලෙන් අපිට එල්ල වෙලා තිබ්බ තර්ජනේ. මේ කියන රොබින් හුඩ් නෙමෙයි ඇත්තටම සැර. මැරියන් නෝනා. මේ වෙන කවුරුවත් නෙමෙයි අපේම යාලුවෙක් වෙච්ච ලසාගේ අම්මයි තාත්තයි. අපි මොන පාරෙන්  ඇළට ගියත් මෙයාලගේ ගේ ගාවින් යන්නම වෙනවා. එහෙම අපි යනවා දැක්කොත් ඉතින් බැනුම් තමයි.මොකද මැරියන් දන්නවා අපි මේ යන්නේ හොඳ ගමනක් නෙමෙයි කියලා අනික ඉස්කොලෙනුත් පැනලා. ඒ මදිවට අනිත් ළමයි ඕ ලෙවල් විභාගේ ගැන මහන්සි වෙන කාලේ. අපරාදේ කියන්න බැහැ අපේ රොබින් මහත්තයානම් කිසි කරදරයක් නැති මනුස්සයා.
කවදාවත් අපිට තියා ලසාටවත් මුකුත් කියන්නේ නැහැ ලේසියෙන්.
මැරියන් නෝනා තමයි අපේ පන්තියට රසම රස බත් එක එවන්නේ. මම ඉතින් සමහර දවස්‌ වලට එහෙ ගිහිං දවල්ටත් කාල එන දවස්‌ තිබුනා.
එක දවසක් ලසත් ආව අපිත් එක්ක නාන්න යන්න. අන්න එදානම් මැරියන් නෝනට අහු නොවෙන්න කවදාවත් මනුස්සයෙක් පය නොගහපු හෙන දන් කැලෑවක් මැද්දෙනුත් යන්න උනා.
කොහොමින් කොහොම හරි මේ බාධකේ පහු කර ගත්තට පස්සේ තියෙන්නේ කුඹුර. ඒක තමයි අනිත් කරදරේ.  ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ මේ තෙත් කලාපේ ගැන. හැමදාම වගේ වැහැලා වැහැලා සමහර දවස්‌ වලට නියරවල් හොඳට මඩ වෙච්ච දවසුත් තියෙනවා. 
මුලින්ම කරන්නේ නියරේ මඩ වගේ තියෙනවනම් සපත්තු දෙක ගලවලා ගන්නවා අතට. ඊට පස්සේ කලිසමත් නමා ගන්නවා උපරිම උඩට. දැන් ගමනේ යා.




ආපහු එන්න වෙන්නෙත් ඉතින් මේ පාරෙමනේ, එතකොට නාපු හරියෙන් වැඩක් නැහැ. ඒත් අපි සැලෙයි ඕවට.
මේ වැඩේට හැමදාම වගේ යන සෙට් එකකුත් හිටියා. මම, හසියා, නීනා, මේරා, තරා, මීට අමතරව ඉඳල හිටලා එන එව්වෝ උනේ බෝපයා, අබිලින්, ජූසා, නරිය, ලසා, අන්ජනය. (තව කවුද ආවේ කියල දැන් හරියටම මතක නැහැ. ඒත් මීට වඩා කට්ටියනම් හිටියා)
සමහර දවස් වලට පාන් ගෙඩියක් දෙකක්, බිස්කට් ටිකක් එහෙමත් අරගෙන යනවා ඇළ ගාවට. ඒත් කවදාවත් මත්පැන් වගේ දේවල්නම් අරගෙන ගියේ නැහැ. ඒ කාලේ අනිත් පන්ති වල ඉන්න ළමයි ඔව්ව පාවිච්චි කලාට අපි එහෙම කලේ නැහැ. අපි පොඩ්ඩක් උඩින් තමයි හිටියේ ශිෂ්‍යත්ව පන්තියක හිටපු නිසා. ඒ මදිවට කොහේ හරි මොකක් හරි බලන්න ගියත් අපි පෝලිම පනින්නේ නැතුව පිළිවෙලකට ඉන්නත් ට්‍රයි එකක් දුන්න.
ඒ නිසා අපි ඕවට නැහැ.
ඔන්න ඔහොම යන්තම් මේ කියන ඇළ ගාවට ගිහිං ඔක්කොම ඇඳුම් උනා දාල යට කලිසම(ජොකා) පිටින් තමයි අපි නාන්නේ. නානවා කිව්වට මේක නෑමක්ම නෙමෙයි. පීනන්න බැරි එවුන් පීනන්න පුරුදු වෙනවා.
කට්ටියක් වතුරේ සම්බෝල කඩනවා. ඒ කියන්නේ අර ගොඩ ඉඳං කරන එකම තමා. බෝලේ අතට අහු වෙච්ච එකා ළඟ ඉන්න එකෙකුට කෙළින එක තමා සෙල්ලම. තව උඩ ඉඳලා වතුරට පනින එක, වතුරේ ඔට්ටු සෙල්ලං, වැඩිම වෙලාවක් දිය යට සිටීම....  මේ වගේ නොයෙකුත් සෙල්ලං.




ඔන්න එක දවසක් මේ අබිලින් ගොයියා වතුරේ බැහැල ඉන්නකොට කවුරු හරි මේකව මුලාවේ දාලා. ඒ කියන්නේ අපිට වඩා අඩි දෙකක් විතර ගැඹුරු තැනක් "වැඩිය ගැඹුරු නැහැ" කියල මුට කියලා. මේකත් ඉතින් හොයන්නේ බලන්නේ නැතුව පැන්නා එතනට. මේ වෙලාවේ මමත් ඔය කිට්ටුවම තමයි හිටියේ.
පීනන්න දන්නේ නැති උන්ගේ තියෙන එක දෙයක්නේ කොච්චර පීනන්න බැරි උනත් උඩ ඉඳල පනින එකනම් පනිනවා ඇලේ වතුර හිඳෙන ගානටම.
මුත් ඉතින් අන්න එහෙම පැනිල්ලක් තමයි පැන්නේ. ඒත් ටික වෙලාවකින් මට තේරුනා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒ කියන්නේ කාගේ හරි අත් දෙකක් ඉහල පහල යනවා වගේ මම දැක්කා.
මමත් ඉතින් බලබල හිටියේ නැහැ, ටක් ගාල පීනුවා එතනට.
මම ගිය පරක්කුවෙන් මු එල්ලුනේ නැද්ද මගේ ඇඟේ, දැන් ඌ විතරක් නෙමෙයි මමත් යට.
මට ඒ දවස්‌ වල තරමක් හොඳට පීනන්න පුළුවන්. හැබැයි මගේ කකුලේ කෙන්ඩ පෙරළෙනවා නිතරම වගේ. එහෙම වෙච්ච කෙනෙක් ඉන්නවනම් දන්නවා ඒකෙ තියෙන සනීපේ. ඒත් මම පස්සේ පස්සේ ඒකට හුරු උනා විතරක් නෙමෙයි කෙන්ඩ පෙරළුනාට පස්සේ අත් දෙක විතරක් ගහල පීනන්නත් හුරු උනා.
ඔන්න තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා අපි දෙන්නම තාම වතුර යට නේද ඉන්නේ කියලා. මමත් ඉතින් දැන් වතුර යට ඉන්න ගමන බොහොම අමාරුවෙන් මුටත් දෙකක් ඇනලද කොහෙද බේරුනා.
බේරිලා නිකන් හිටියෙත් නැහැ. වතුර යටට ගිහිං මේකව කකුල් දෙකෙන් උස්සල ටිකක් එහාට විසි කළා. වතුරේදී බර දැනෙන්නේ නැති නිසා එහෙම කරන්න පුළුවන්. අපි සෙල්ලමක් විදිහටත් ඒ වැඩේ කරනවා සමහර වෙලාවට. 
මේ වෙලාවේ අහල පහල හිටපු අනිත් යාළුවො ටික අම්බිලියව ඇදලා අර ගත්තා. මමත් යන්තම් ගොඩට ආව. එදායින් පස්සේ අම්බිලියා ආපහු නාන්න ආවේ නැහැ.




ආ... තව දවසක් තවත් අපුරු වැඩක් උනා. ඒකනම් ඉතින් පව් වැඩක්. අපි දවසක් හැමදාම නාන තැන නැතුව අලුත් තැනකට ගියා. ඔන්න එදා හැමෝටම කලින් වතුරට පැන්නේ හසියා. ඌ පැන්නෙත් ඇලේ තිබුන ඒ දණ්ඩක් උඩ ඉඳලා. වතුර යටට ගිය මු ටික වෙලාවකින් ආවා බෙරිහන් දීගෙන. බලනකොට මු පැනපු පාරට මූව ගොඩක් යට ගිහිං නහය ගල් පොලවේ ඉලිලා නහය ටිකක් ගෙවිලා. ඒ විතරක්නම් මදෑ, රතු පාටට මොනවද එනවත් එක්ක. අපිත් ඉතින් දන්නා කියන බෙහෙත් කොළ කඩ කඩ නහයට තියල තමයි ඒ රතු පාටට එන එව්වා නවත්ත ගත්තේ. ඊට පස්සේ මු ගෙදර ගිහිං අපේ සිංහල ටීචර් වෙච්ච උගේ අම්මගෙන් හොඳට අහගෙන තිබුනා.
නාල ඉවර උනාට පස්සේ තමයි හොඳම හරිය තියෙන්නේ. ඒ කියන්නේ අපහු නියර දිගේ ඇවිත් කොහෙන් හරි මඩ හෝදගෙන සපත්තු දා ගන්න එක. ඒ මදිවට තව ප්‍රශ්නයක්. ජොකා තෙතයිනේ. මේකට ඔප්ෂන් දෙකක් තිබුනා. ඒක හොඳට මිරිකලා බාගෙට තෙත පිටින්ම අඳින එක එකක්, එහෙම නැත්නම් එයාව සාක්කුවේ දාගෙන යන එක තමයි අනිත් ක්‍රමේ. මේ කොයි විදිහට ගියත් කමිසේ උඩින් දාගෙන තමයි බස් එකේ ගෙදර යන්නේ. නැත්නම් කොහෙද.
මොකද අපි මේ නාල එහෙම ලක ලෑස්ති වෙලා ටවුන් එකට එන්නේ නිකම්ම නෙමෙයිනේ, අපිට වඩා අවුරුද්දක් පහළ ළමයින්ට පන්ති ඇරෙන වෙලාවත් බලලානේ.
මෙව්වා කොහොම උනත් අපි හැමෝම වගේ ඕ ලෙවල් පාස් වෙලා ඒ ලෙවලුත් කළා.

Saturday, 5 November 2011

බල්ලොත් එක්ක බෑ(ද)




ඔන්න මම මේ කියන්න යන්නේ මටම සිද්ධ වෙච්ච කතාවක්,

මුලින්ම කියල ඉන්නම්කො අපේ ගෙදර ඉඳල මම ගිය ඉස්කෝලෙට තියෙන දුර සහ මම ඉස්කෝලේ ගිය විදිහ 



ක්‍රමය 01

2.5 Km බයිසිකලයකින්ද, ඉතිරි 16 Km බස් එකකින්ද ඉතිරි 1 Km පා ගමනින්ද ගොස් 

ක්‍රමය 02

0.5 Km පමණ බයිසිකලයකින් හෝ පා ගමනින්ද ඉතිරි කිලෝමීටර 18 බස් රථයකින්ද ගොස් පෙර ලෙසම ඉතිරිය පා ගමනින්ද ගොස් 

ක්‍රමය 03

1.5 Km බයිසිකලයකින්ද, බසයෙන් 20 Km ගොස් පෙර සේම පා ගමනින් ගොස් ගේ පාසලට ලඟා විය හැක



මේ අංක 03 විදිහට යනවා කියන්නේ වෙනමම පාරක් සහ යනවනම් යන්න පහසුම විදිහ. බස් එහෙමත් ගොඩක් පටන් ගන්නේ එතනින්. ඒත් මම එහෙන් යන්න කැමතිම  නැහැ.
මම වැඩිපුරම යන්න කැමති උනේ අංක දෙක ක්‍රමයට.
මොකද මගේ යාළුවෝ ඔක්කොම වගේ ඉන්නේ පැත්තේ......


(තව තව හේතු තියෙනව, ඒවත් පස්සේ දැන ගන්න බැරියැ)



ඔන්න ඔහොමයි මම ඉස්කෝලේ ගියේ

සමහර දවස් වල මම පාන්දර 05:30 බස් ඒකෙ ඉස්කෝලේ ගිය කාලෙකුත් තිබුනා. යන්නේ වෙන මොකකටවත් නෙමෙයි ඉස්කෝලේ පටන් ගන්න කලින් ගිහින් ක්‍රිකට් ගහන්න.

පිට්ටනියට එන පිළිවෙලට තමයි බැට් කරන්න හම්බ වෙන්නේ. ඉතින් පාන්දරින් නොයා ඉන්නත් බැහැනේ.



ඒත් දවස් වල මම පාන්දර ඉස්කෝලේ යනවට ගොඩාක් තරහ බල්ලෝ දෙන්නෙක් හිටියා.

එකෙක් ටිකක් ඇඟ පත තියෙන ලොකු එකෙක්. අනිත් එක්කෙනා ටිකක් කැහැටු එක්කෙනෙක්.
දෙන්න ඉන්නේ එකට නෙමෙයි කිලෝමීටරයක වගේ පරතරයකින් තමයි මේ දෙන්න රැකලා ඉන්නේ.


හැමතැනම වෙනවා වගේ මුලින් ඉන්නේ ලොකු එකා.

ඔන්න මම කරුවලේ සයිකලේ පැදගෙන එද්දී මේ ලොකු එකා පස්සෙන් පන්නනවා හුරේ තියලා.

මේ කාලේ වෙද්දී අපේ පාරේ එළියක් තියෙන වෙලාවක යනවා කියන්නෙත් ලොකු ගේමක්, හැමතැනම අලි නාවන්න පුළුවන් සයිස් එකේ මඩ වලවල්.


දැනටත් වගේ එව්වා ටිකක් ඉතුරු වෙලා තියෙනවා.

වගේම තමයි මට මේ පාරේ තියෙන හැම මඩ වලක්ම වගේ මතකයි, ඉතින් නිසා කවදාවත් ටෝර්ච් එකක් අරගෙන ගියෙත් නැහැ.

අනික ටෝර්ච් එකක් ඉස්කෝලෙට අරගෙන ගියොත් එහෙම ඉතින් ඕක දකින එව්වන්ගෙන් අහන්න වෙන කතා.... :)




ඉතින් පාන්දර 5:30 විතර ඔය පාරේ යනවා කියන්නේ, කුමන කතාද. නිකනුත් නෙමෙයි කළුවරේ බල්ලෙකුත් පස්සෙන් පන්නද්දී. හොඳකට කියල තියෙන්නේ ගෙවල් වල ලයිට් එලිය පොඩ්ඩ පොඩ්ඩ පාර දිහාවට වැටිලා තියෙන එක තමයි.
මමත් ඉතින් දන්නා වේගෙන් පදිනවා, ඒත් මු හැමදාම මගේ කකුල ගාවින්ම වගේ එනවා. කොයි වෙලාවේ කකුල හපයිද කියල කියන්න බැහැ.


මටයි කියල හැමදාම මේක බලාගෙන නිකන් ඉන්න බැහැනේ, බැරි පුළුවන් ගාතේ අර බව්වට පයින් එකකුත් ගහන්න හදනවා, බයිසිකලේ පදින ගමන්ම. ඒත් කවදාවත් ඌට වැදුනේනම් නැහැ.
මෙහෙම බල්ලොත් එක්ක ඔට්ටු වෙවී ඔස්කොලේ යන අතරේ එක දවසක් මම අර කවුදෝ කළා වගේ අලුත්ම සොයා ගැනීමක් කළා

ඒක මම කළා නෙමෙයි "ඉබේටම වගේ සිද්ධ උනා".....

මුකුත් නෙමෙයි වුනේ. එක පාරටම මම බයික් එකේ බ්රේක් ගැහුවා.


බ්රාස්..... ගාල.


දැන් බයික් එක නතර වුනා. මම එහෙම කලේ මුට මාව හපා කාල පැනල යන්න දෙනවට වඩා ඌත්  එක්ක ෆේස් ටු ෆේස් ගේමක් දෙන එක හොඳයි කියල හිතාගෙන.

මෙන්න බොලේ වැඩක්,
මගේ කකුල හපන්න ඔන්න මෙන්න වගේ ආපු බල්ලා වෙන ගමනක් යන්න ආපු එකෙක් වගේ හිමීට හැරිලා යන්න යනවා. 

මෙයාට දැන් පොඩ්ඩකට කලින් කරපු සහ කරන්න හදපු හැමදේම මේ ඩිංගට අමතක වෙලා වගේ.... හික් 

මගෙත් මොකද, මමත් ඉතින් ආපහු මගේ ගමන ගියා...





ඉතින් ඊට පස්සේ මම ඔය පස්සෙන් පන්නන බල්ලන්ටනම් බය වුනේ නැහැ ඕන්. එක තැන නතර වෙන්න ගහන බ්රේක් පාරක් විතරයි ඕනේ කරන්නේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කැමති කෙනෙකුට කරලා බලන්නත් පුළුවන්.

කලාට පස්සේ මටත් කියන්න මොකද වුනේ කියලා.. හොඳද



.ලි.
මෙම ක්‍රමය මම කරපු විදිහටම අනුගමනය නොකර බව්වන් ලවා කවා ගත්තාට වග කියනු නොලැබේ