Saturday, 31 December 2011

පාසල් විත්ති 06 - අක්ක බබාගේ බෝඩිමේ තවත් කතා

ඇත්තටම අක්කගේ මේ අමුතු හැසිරීම මට විශේෂයක් උනේ නැහැ. එයා ටිකක් අමුතු කෙනෙක් කියල මට හිතුන මිසක්, එයා අඩ නිරුවතින් හිටපු එක ගැන මම ගෙදරට කිව්වෙත් නැහැ. මට මුලින් දැක්ක දවසේ ලොකු පුදුමයක් උනා සහ මාව ටිකක් බය උනා විතරයි. හැමදාම මාව බලන්න එන්නේ තාත්ත නිසා මම තාත්තට ඕව කියන්න ගියෙත් නැහැ.
ඒ වයස වෙද්දී මම ගෑනු පිරිමි අතරේ තියෙන ලිංගික ක්‍රියාකාරකම් වගේ දේවල් ගැන මම දන්නෙ නැහැ. කලින් ඉස්කෝලෙදි සිංහල භාෂාවේ තියෙන කුණුහරප ඔක්කොම වගේ ඉගෙනගෙන හිටියට ඒවායේ තේරුම දැනගෙන හිටියෙත් නැහැ නොවැ.
(හැබැයි දැන් කාලේ 6 වසරේ ඉන්න පොඩි එව්වොනම් මේවා ගැන අපිටත් වඩා දන්නවා ඇති මගේ හිතේ)


මේ විදිහට මම ටික කාලයක් මේ ගෙදර නතර වෙලා ඉස්කෝලේ ගියා. කිසි විශේෂයක් තිබුනේ නැහැ. ඒත් එක දවසක අක්ක මට කිව්වා දහම් පාසල් යන්න ලෑස්ති වෙන්න කියලා. මම ඉස්සර ඉඳලම ඔය වැඩේට ටිකක් කම්මැලියි. ඒත් ඉතින් බැහැ කියන්නත් බැහැ. මොනවා කරන්නද දැන් ඉතින් ඉරිදට පස්ස පැත්තට ඉර පායනකල් නිදා ගත්තු නින්දත් ඉවරයි. තාත්ත ආපු වෙලාවට තාත්තට කියලා ගෙදර තිබුන ජාතික ඇඳුම ගෙන්න ගත්තා. ඉස්කෝලෙට ඇඳපු සුදු කොට කලිසමට උඩින් සුදු සරම හරි අමාරුවෙන් පටලවාගෙන පටියකින් ගැටගහගෙන දහම් පාසල් ගමනත් පටන් ගත්තා. මාව දහම් පාසල් එක්කගෙන යන වැඩේ බාර දුන්නේ උඩහ ගෙදර හිටපු මගේ වයසේම වගේ ගෑනු ළමයෙකුට. එයා ඉස්සරහින් යනවා. මම එයාට වඩා අඩි පහළොවක් විස්සක් වගේ පිටිපස්සෙන් යනවා. මෙහෙම ගිහින් ටික වෙලාවකින් එයාට තව යාළුවෙකුත් එකතු උනා. ඒ යාළුවා එක පාරටම පිටි පස්ස හැරිලා. "Hey boy, What is your name" කියලා ඇහුවේ නැතෑ. මාව එක පාරටම කරකවල අතඇරියා වගේ උනත් මගේ නම යන්තමට කියා ගන්න පුළුවන්කම මට ලැබුනා. මගේ වෙලාවටද මන්ද ආපහු කිසි කතාබහක් සිද්ධ උනේ නැහැ අපි අතරේ. මේ විදිහට මම යාන්තම් දවස් දෙකක් දහම් පාසල් ගියත් දහම් පාසල් ගමන ඒ දවස් දෙකෙන්ම නතර උනා. නතර වෙන්න හේතුවනම් මට මතක නැහැ. මට මතක විදිහට ඒ දහම් පාසල තිබුනේ පිටකෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙද කොහෙද.
කරුණා නැන්දා ඉස්සර මැදපෙරදිග ගෙදරක වැඩ කරපු කෙනෙක්. එයාගේ වැඩ වලත් පිළිවෙලක් තිබ්බා. එයා ඒ දවස්වල කියනවා අරාබි ගෙදර හිටිද්දී එයාල හරියට කුකුල් මස් කනවා කියලා. එක්කෙනෙක් තනියම කුකුලෙක් කනවා කියලත් කිව්වා. ඒත් එයාට ඒ තම්බපු කුකුල් මස් කන්න අප්පිරියයි කියලත් කිව්වා. කියපු කතා අහලා කටට කෙල ඉනුවත් මමනම් ඒවා සත පහකට විස්වාස කලේ නැහැ.
කබ්සා බත් එකක්
බ්‍රෝස්ටඩ්
(ඒත් දැන් තමයි මටත් තේරෙන්නේ මෙයා කියල තියෙන්නේ ඇත්ත තමයි කියලා)
මෙහෙම ටික කාලයක් හිටපු කරුණා ආපහු රට යන්න ඕනේ කියල අස්වෙලා ගෙදර යන්න ගියා. එයා ගියාට පස්සේ එයාගේ දුවව එහේ ගෙදර වැඩට එක්කගෙන එන්නම් කියල තමයි එයා කිව්වේ. සතියකට විතර පස්සේ අපි ඉස්කෝලේ ඇරිලා ගෙදර යද්දී කළු කොට තරුණ වයසේ කෙල්ලෙක් කරුණා නැන්දත් එක්ක එහේ ඇවිත් හිටියා, ඒ එයාගේ දුවලු. එයාට අපි හැමෝවම අඳුන්වල දීලා එහෙම කරුණ නැන්දා ගෙදර ගියා.  ලබන සතියේ රට යනවා කියල තමයි එයා කිව්වේ.  කරුණා නැන්දා හිටපු විදිහටම දැන් රෝහිණි නිදා ගන්නෙත් මගේ කාමරේමයි. රෝහිණි කරුණා නැන්දා තරම් වැඩපලට දක්ෂ නැහැ. ඒ වගේම තමයි එයාගේ කට ඒ තරම් හොඳ නැහැ.  ගෙදර අය එක්කත් එකටඑක කියාගෙන එන වෙලාවල් තියෙනවා. පිරිසිදු කමත් ටිකක් අඩුයි වගේ.
නමුත් අක්කයි රෝහිණියි දෙන්නම මට ටිකක් විතර ආදරෙන් හිටියා.
කොහොමත් මම පිට ගෙදරක ගිහින් හිටියොත් ඒ ගෙවල්වල මිනිස්සු මට කැමති වෙනවා. මොකද මම බොහොම නිෂ්ශබ්ද කාටවත් කරදරයක් නැති, වැඩපල වලට උදව් කරන ළමයෙක්නේ....


වතාවක් මම යාලුවෙක්ගෙ ගෙදර දවස් 3 ක් නතර වෙලා හිටියා ට්‍රේනින් එකකට යන්න. මම එයාට කලින් ගෙදර එනවා. ඒ ගෙදර වතුර බහින බට එහෙම හිර වෙලා, වතුර එන බට ලීක් වේවි තමයි තිබුනේ. මම ඒ ටික එක දවසක හවස හදල දැම්මා. මගේ යාළුවගේ ඇඳුම් හෝදන්නේ, මදින්නෙත් ඒ ගෙදර අය. මගේ ඇඳුනුත් ඉල්ලුවා හෝදන්නයි මදින්නයි. මම දුන්නේ නැහැ. මේ වෙද්දී අපේ වයස අවුරුදු 22 ක් වගේ ඇති. අන්තිමට මට ආපහු දුර පළාතකට යන්න වෙච්ච නිසා එහෙන් යන්න උනා. මම ගියාට පස්සේ අරූගේ අම්ම හැමදාම ඌට බනින්නේ  මගේ හොඳ කිය කියාලු. ඉතින් මගේ යාළුවා මට කිව්වේ "තෝ ආපහු අපේ ගෙවල් පැත්ත පළාතේ එන්න එපා, මට ගෙදරිනුත් යන්න වෙලා තමයි නතර වෙන්නේ" කියල තමයි.


මෙහෙම ගිහින් සිංහල අවුරුදු නිවාඩුව ලැබුනා. පුදුම ආසාවෙන් තමයි මම එදා ගෙදර ආවේ. හැමදාම වගේ අපිව එක්කගෙන යන්න ආවේ තාත්තා. මුලින්ම මාව අරගෙන ඊට පස්සේ අක්කගේ ඉස්කෝලෙට ගිහින් එයාවත් එක්කගෙන තමයි අපි ගෙදර යන්න පිටත් උනේ. අපේ ගෙදර ඉස්සර තිබුන හැමෝම ඒකට එකතුවෙලා සමරපු ලස්සන අවුරුදු කාලයන් වලින් එකක් ඒ විදිහට ගෙවිලා ගියා. හැමදාම වෙනවා වගේ ඒ නිවාඩුවත් හිතපු නැති තරම් ඉක්මනට ගෙවිලා ගිහින් ආපහු බෝඩිමට යන දවසත් ආවා. චුටි අක්කනම් හැමදාම වගේ ගෙදර ආවහම ආපහු යන්නේ අඬලා තමයි. මම ඇඬුවේ නැති උනාට ලොකු දුකකින් තමයි ගෙදරින් යන්නේ.
අපි එනගමන් ගෙදර හදපු කැවිලි ටිකකුත් අරගෙන ආව සර්ලගෙ ගෙදර අයට දෙන්න. තාත්ත ගියාට පස්සේ මම ඒ ටික අක්කට දුන්නා. එයා ඒක අරගෙන හිනාවක්‌ දාලා ""ආ...."" කියල කිව්වා, එච්චරයි.


මේ විදිහට ආපහු ඉස්කෝලේ ගමන පටන් ගත්තා. මට මේ දවස් වෙද්දී ඉංග්‍රීසි විෂය තරමක් අමාරුවෙලා තිබුනේ. අක්ක ඒකට දීපු පිළියම තමයි මට දෙන ගෙදර වැඩ එයා කියල දෙන එක. කියල දෙනවා කියන්නේ එයා කටින් කියද්දී මම පොතේ ලියනවා. මට තේරුනේ නැහැ මේ වැඩෙන් වෙන්නේ මාව අමුම අමු මැට්ටෙක් වෙනඑක බව. මගේ ඉස්කෝලේ වැඩ ටික කෙරෙන නිසා මමත් හරි සතුටින් එයා කියන විදිහට කලා.


එක දවසක් අපි ඉස්කෝලේ යද්දී ඉස්කෝලේ එතන ලොකු කලබලයක්. අපේ ඉස්කෝලෙන් එළියට යන පුංචි ගේට්ටුවක් තියෙනවා. ඒ ගේට්ටුව ගාව හැමදාම දෙමළ මිනිස්සු දෙතුන් දෙනෙක් ලස්සන තරු ස්ටිකර් එහෙම ගෙනත් විකුනනවා. ඒ අය විකුණන ස්ටිකර් වල මොනවද මත්ද්‍රව්‍ය වර්ගයක් දාල විකුනනවා කියල අහුවෙලා. පොලිසියෙනුත් ඇවිත් තිබුනා. එදා හවස සර් මට ඒ ස්ටිකර් දෙක තුනක් පෙන්නුවා. ඒවායේ කිසිම වෙනසක් නැහැ, සාමාන්‍යය තරු ස්ටිකර් වගේමයි. එයා ඒවා පෙන්නලා මගෙන් ඇහුවා මමත් ඒවා සල්ලි දීලා ගත්තද කියලා. වෙලාවට මම පැණිරස කනවා මිසක් ඔව්ව ගන්න ගියේ නැත්තේ.


මෙහෙම ටික දවසක් ගිහින් අගෝස්තු වාර අවසාන විභාගෙත් කිට්ටු උනා. ඒ අස්සේ සර්ලගෙ ගෙදරත් ලොකු කලබලයක්. එයාල කතරගම යන්න ලෑස්ති වෙනවා. ට්‍රිප් එක යන්න හදන දවස් තුනේම මට වාර විභාගේ තියෙනවා. දැන් අක්කයි සර්රුයි අතරේ කතාවක් යනවා මට මොකද කරන්නේ කියලා. මාව වෙන ගෙදරක නතර කරලා යන්න මුලින් කතා උනත් පස්සේ මම එහේ ඉඳල ඉස්කෝලෙට යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ නිසා ඒකත් යටගියා. අන්තිමට මේක වාර අවසාන විභාගේ නෙමෙයිනේ, මම ඒක පන්තිභාර ටීචර් එක්ක බලාගන්නම් කියලා මාවත් ට්‍රිප් එක එක්කගෙන යන්න සර් තීරණය කලා. මටත් මාර සතුටුයි, විභාගෙනම් හැමදාම තියෙනවනේ, ඒ වගේද ට්‍රිප් එකක් කියන්නේ. අපේ ගෙදරින් ඇහුවොත් කියන්න කිව්වා, මට ඒ වෙනුවෙන් විභාගේ වෙනම තියනවා කියල වෙන දවසක.


අන්තිමට සර්ගේ පරණ ගෝලයෝ කියල කියාපු තරුණ පිරිසකුයි, තව කවුද සර්ගේ යාලුවෝ කීප දෙනෙකුයි, ඉස්සර සර්ලගෙ ගෙදර නතරවෙලා ඉස්කෝලේ ගියා කියපු ලොකු අක්ක කෙනෙකුයි එයා බඳින්න ඉන්න අයියයි, සර්ලගෙ ගෙදර හිටපු අපි ඔක්කොමයි මේ ගමන ගියා. අපි ට්‍රිප් එක ගියේ පොඩි රෝසා බස් එකක. අර AC බස් සයිස් එකක, හැබැයි AC නැහැ.
සර් එයාගේ පරණ ගෝලයෝ ටිකත් එක්ක බස් එකේ පිටිපස්සේ සීට් එකේ වාඩිවෙලා බෝතලයක තිබ්බ මොනවදෝ අක්කට හොරෙන් බොන හැටිත් මම ඇස් කොනකින් වගේ දැක්කා. සර්ගේ පරණ ගෝලයෝ ටිකයි, අර අනිත් අයයි හරි සුහදශිලියි. මාත් එක්ක හොඳට කතාබහ කලා. මේ ට්‍රිප් එක මට ලොකු සතුටක් ගෙන දීපු එකක් බව කියන්නම ඕනේ.
උපුටා ගැනීම http://beautyofyala.blogspot.com/
සර්ලගෙ ගෙදර අය කතරගම දේවාලේ මොකක්දෝ මන්ද ලොකු පුජාවක් තියන්න බාර වෙලාලු හිටියේ. ඒකට තමයි මේ ගමන ඇවිත් තිබුනේ. අපි කතරගමට ඇවිත් නාල, කාල එහෙම ඉවර වෙලා දේවාලෙට ගියා. එදා මොකක් හරි පෙරහරක් වගේ එකක් තිබුනා. අර අන්කල් එතන ගිහින් ආවේශ වෙලා වගේ කාවාඩි නැටුවා. ටික වෙලාවක් ගිහින් මෙන්න අක්කත් නටන්න ගත්තා පිස්සු හැදිලා වගේ. මමත් හරි බයෙන් හිටියේ මාවත් ආවේශ වෙලා නැටවෙන්න පටන් ගනීවිද කියලා. වාසනාවකට වගේ එහෙම උනේ නැහැ. පස්සේ දවසේ රෑ අපි කිරිවෙහෙරේ පෙරහැරත් බැලුවා. අක්ක මගේ අතේ ගැටගහගන්න කියලා පාට පාට නුලකුත් අරගෙන දුන්නා.
අපි එන දවසේ යාල එහෙමත් ගියා. බස් එක පිරෙන්න සින්දු හඬ රැව් දුන්නා  සර්ගේ ගෝල පිරිසගෙන්. එයාල කිව්වේ බොහොම ලස්සන පරණ සින්දු.


කතරගම ගමන ගිහින් ආවට පස්සේ සර් මගෙන් ප්‍රගති වාර්තා පොත ඉල්ල ගත්තා. දවස් දෙක තුනකට පස්සේ මට ඒක ආපහු ලැබුනා. පුදුම විදිහේ ප්‍රතිපලයක් එක්කම. මම ලියපු විෂයන් වලට තරමක් අඩු ලකුණු.  ඉංගිරිසි වලට තිබුනේ ලකුණු 30 ගානක්.  මම ලියපු නැති විෂයන් තුනට හොඳට ලකුණු තිබුනා.  කොහොම හරි මම පන්තියේ 12 වෙනියා හරි ඒ වගේ සැළකිය යුතු තැනක ඉන්න විදිහට පොතේ ලකුණු කරලත් තිබුනා. අපේ පන්තිබාර ටීචර්ගේ අත්සනත් දාල තිබුන මගේ ප්‍රගති වාර්තාවේ.
මේ ගමනින් පස්සේ දවස් කීපයකට පස්සේ ආපහු ඉස්කෝලේ නිවාඩු දුන්නා. මමත් සුපුරුදු සතුටෙන්ම ගෙදර බලා ඉගිල්ලිලා ගියා තාත්තගේ අතේ එල්ලිලා. අපි යන ගමන් චුටි අක්කලාගේ හොස්ටල් එකටත් ගිහින් එයාවත් එක්කගෙනම තමයි ගෙදර ගියේ. තවත් ලස්සන නිවාඩු කාලයක් මේ විදිහට ආරම්භ උනා.


ප.ලි.
මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් අක්ක රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම එයාට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ.

Wednesday, 28 December 2011

පාසල් විත්ති 05 - සර්ගේ ගෙදර බෝඩිම සහ බබා අක්කාගේ හුරතලේ...

ගිය පාර මම නතර කලේ මම කොළඹ ලොකු ඉස්කෝලෙකට ගිහින් නතර වෙන්න තැනක් නැති නිසා සුනිල්රත්න ඉස්කෝලේ මහත්තයාගේ ගෙදර නතර වෙච්ච තැනින්නේ. අද එතැන් සිට....



මේ විදිහට මම ඒ ගෙදර නතරවෙලා ඉස්කෝලේ යන්න පටන් ගත්තා. අර දවස දෙකකින් ආපහු එනවා කියල කියපු ගෙදර වැඩට හිටපු ගෑනු කෙනා ටික දවසකින් ආපහු ආවා. එයාගේ නම කරුණා. අවුරුදු 45 ක වගේ වයසක උන්නු ගමක හැදිච්ච ගෑනු කෙනෙක්.
එදා මට නතර වෙන්න දීපු කාමරේම තව බුරු ඇඳකුත් තිබුනත් මම එක ඒ තරම් ගණන් ගත්තේ නැහැ. කරුණා නැන්දා ආවට  පස්සේ එයා නතර උනෙත් මම හිටපු කාමරේමයි. කරුණා නැන්දා එහෙම නැත්නම් ඒ ගෙදර වැඩකාරි එක්ක එක කාමරේ නිදා ගන්න දෙන එකගැන විරුද්ධ වෙන්න හරි ඒ ගැන හිතන්න හරි තරමේ තේරුමක් මට තිබුනේ නැහැ.  අපේ ගෙදරත් ඒ වෙද්දී අපිටම කියල තනි තනි කාමර තිබුනේ නැහැ. මම නිදා ගත්තේ  අපේ අක්කල එක්ක එකම කාමරේ.
ඒ නිසා මේ ගෙදරදී එහෙම කරපු එකේ වැරද්දක් තියෙනවා කියල මට හිතුනෙත් නැහැ.


මේ ගෙදර හිටපු මිනිස්සු ටිකක් අමුතුයි. අර සර්ගේ නෝනා වගේ ගෑනු අයව මීට කලින් මම දැකල තිබුනේ නැහැ. එයා හරිම අමුතුයි. සර් එයාට කතා කලේ "බබා" කියලා. සර් විතරක් නෙමෙයි අර වයසක උන්දලා දෙන්නත් එහෙමයි. එයාට කතා කලේ බබා කියලා. ඒ මදිවට එයත් පොඩි එකෙක් වගේ තොඳොල් වෙනවා හුරතල් වෙනවා.
ඒ මනුස්සයට "අක්ක" කියල කතා කරන්න කියල මට සර් උපදෙස් දුන්නා. ඉතින් මමත් එදා ඉඳල එයාට කතා කලේ අක්ක කියලා.
අක්කගේ අම්මයි තාත්තයි තමයි මේ ගෙදර හිටපු අනිත් වයසක දෙන්න. එයාගේ අම්මට "ඇන්ටි" කියල කතා කරන්නත් කිව්වා, එයාගේ තාත්තට "අංකල්" කියල කියන්නත් කිව්වා. ඒ ඇන්ටිගේ ඇස්දෙක පේන්නේ නැහැ. අක්ක සමහර වෙලාවට ඒ මනුස්සයට සලකන්නේ ඒ තරම් කැමැත්තෙන් නෙමෙයිද කියලත් මට හිතුනා. අර අංකල්නම් ටිකක් වසයි, එයාට කොයි වෙලාවෙත් කේන්ති යනවා.


මම මේ ගෙදර නතරවෙලා සුපුරුදු විදිහට ඉස්කෝලේ ගියා. මම හැමදාම යන්නේ සර් එක්ක එයාගේ පරණ මෝටර්බයික් එකේ. ආපහු එන්නෙත් එයා එක්කමයි. අපි හැමදාම යන්නේ එන්නේ විජයකුමාරතුංග මහත්තයාගේ පිළිරුව තියෙන තැනින්. ඒ ඇරෙන්න අපි ඉස්කෝලේ ගියේ මොන පාරෙන්ද කියලවත් මට මතකයක් නැහැ. මේ සර් ඉස්කෝලේ ගිහින් මොනවා උගන්නනවද කියල මම දැනගෙන හිටියේ නැහැ. හැබැයි ගොඩක් දවස්වලට ඉස්කෝලේ ඇරිලා තවත් පැයක් දෙකක් එයා එනකල් ඉස්කෝලේ පාළු මුසල මුළු වලට වෙලා බලන් ඉන්න මට සිද්ධ උනා.
මම ඉස්කෝලේ යද්දී හැමදාම උදේට දවල්ට කන්න කියලා පාන් පෙති දෙක තුනක් මගේ පුංචි කෑම පෙට්ටියට දාල දෙනවා. ඒක කෑවට හවස 3, 4 වගේ වෙද්දී හොඳටම බඩගිනියි. ඒත් ඉතින් සර් ගෙදර යනකල් මටත් ගෙදර යන්න විදිහක් නැහැනේ.


අපේ පන්තියේ මම වගේ ශිෂ්‍යත්වෙන් ආපු ළමයි හිටියේ හතර පස් දෙනෙක් විතරයි. මට මෙතනින් නම් විදිහට මතක දෙන්නෙක්ව විතරයි. එක්කෙනෙක් ලක්මාල්, අනිත් කෙනා චරිත්, ගෙවල් මීගොඩ කියල කියපු ළමයට අපි ඒ දවස්වල කිව්වේ "මීයා" කියලා. ඒ ළමයාගේ ඇත්ත නම මට මතක නැහැ. චරිත්ගේ ගෙවල් කැලණියේ, ලක්මාල් අවිස්සාවේල්ලේ.
අපේ පන්තිබාර ගුරුතුමියගේ නම මානෙල් වගේ තමයි මතක. පන්ති නායකයා විදිහට හිටියේ රශ්මි කියල ළමයෙක්, එයා මුස්ලිම්ද කොහෙද. එයාව මට හොඳට මතක හිටියේ එයාගේ උපන් දිනේට මුළු පන්තියටම කේක් ගෙනත් බෙදපු නිසා. අපේ ඉස්කෝල වල මීට කලින් කවදාවත් එහෙම කරලා තිබුනේ නැහැ කවුරුවත්.
ඒ ළමයි ඉන්ට්‍රවල් එකේදී රගර් ගහනවා. පිට ඉස්කෝල වල ඉඳල ආපු අපි වගේ ළමයි දන්නේ ඔට්ටු සෙල්ලම්, හැංගි මුත්තං වගේ සෙල්ලම්. ඒ නිසා අපි කවදාවත් එයාල එක්ක සෙල්ලම් කලේ නැහැ. අප හතර පස් දෙනා දන්නා කියන පොඩි පොඩි සෙල්ලම් කරගෙන හිටියා. ඉස්කෝලේඅපි හිටපු පැත්තට වෙන්න මහා විශාල කෝන් ගහක් තිබුනා. ලොකු ඉස්කෝලයක් කියල නැහැ, ළමයි ඒකට ගල් ගහනවා කෝන් ගෙඩි කඩා ගන්න. අපි අලුත් නිසා කෝන් ගෙඩි කඩන්න ගියේ නැහැ. අපේ පාඩුවේ හිටියා.


මේ දවස්වල අපිට ඉස්කෝලේ එන දවස් ගාන අනුව කාර්ඩ් එකක් ලකුණු කරලා දවසකට රුපියල් 3 ක්ද කොහෙද දෙන ක්‍රමයක් තිබුනා මතකද. අන්න ඒ කාර්ඩ් එක මට නිකන් දෙයියෝ වගේ ඒ දවස්වල. ඒක ලැබිච්ච ගමන් මම කරන්නේ ඉස්කෝලේ තියෙන සමුපකාරෙන් මොනවා හරි පැණිරස කෑමක් අරගෙන කනඑක. මම ගොඩක් වෙලාවට ටොෆි, චොකලට්, මිල්ක්මේඩ් වගේ දේවල් තමයි ගන්නේ. මම පොඩි කාලේ ඉඳලම පැණිරස කන්න හරි පෙරේතයි.
හැම සති අන්තෙකම වගේ තාත්ත එනවා මාව බලන්න. මාව බලන්න කලින් තාත්ත ගිහින් චුටි අක්කව බලල එනවා. ඒ එන ගමන් මම ඉන්න ගෙදරටත් මොනවා හරි අරගෙන මටත් මොනවහරි අරගෙන තමයි හැමදාම එන්නේ. එදාට මට හරිම සතුටු දවසක්. තාත්ත ආපහු යද්දී මට රුපියල් 30 ක් 40 ක් දීල යන්නත් අමතක කරන්නේ නැහැ. ඒ සල්ලි වලින් තමයි මම දත් බෙහෙත්, සබන් එහෙම ගන්නේ. ඒ ගෙදර අයගේ කිසිම දෙයක් මම පාවිච්චි කලේ නැහැ. ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවට පස්සේ නාන්න කලින් හැමදාම මම ඇඳපු ඇඳුම් ටික මම හෝදලා දානවා.


සමහර දවස්වලට අක්ක දෙන කෑම එක මදි වගේ දැනුනොත් කැන්ටින් එකෙන් මොනවා හරි අරගෙන කන්නෙත් ඒ සල්ලි වලින්. අතේ සල්ලි ඉතුරු උනොත් චොකලට් එකක් කන දවසුත් නැතුවම නෙමෙයි.
මේ ගෙදර මිනිස්සු ටිකක් අමුතු අය බව මම කලින්ම කිව්වනේ. මේ ගෙදර ගේ ඇතුලෙම බුදු මැදුරක් වගේ කාමරයක් තිබුනා. ඒක බුදු මැදුරක්ද කෝවිලක්ද කියල කියන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි බුදු පිළිමයකුත් තිබුනා.  ඇන්ටි හැමදාම බුදුන් වඳින්න යනකොට මටත් කතා කරනවා. ඒ ගෙදර සමහර දවස්වලට අමුතු පුජාවක් වගේ දෙයකුත් කරනවා. එදාට ඒ ගෙදර පුජා වට්ටි සහ සෙනග ගොඩකුත් ඉන්නවා. අන්කල් කපුවෙක් වගේ ඇඳගෙන ආවේෂ වෙලා වගේ නටනවත් එක්ක.
මේ අය මාසෙකට වතාවක් පිටකෝට්ටේ රජමහා විහාරෙත් ලොකු පුජාවක් තියනවා. මාවත් මේ හැමදේකටම සහභාගී කර ගන්නවා. මල් කඩන්න අහල පහල ගෙවල් වලට යවන්නෙ මාව.


හැමදාම වගේ ගෙදර එක එක වැඩ වලට කඩේ යන්නෙත් මම. හැබැයි හැමදාම උදේට පාන් ගෙන්න කඩේ යන්නේ අන්කල්.
අක්කයි, කරුණයි දෙන්න එක්ක මිදුල නෙළුවත්, මල් පාත්ති හැදුවත් මටත් කතා කරනවා ඇවිත් වැඩ වලට උදව් කරන්න කියලා. සමහර දවස්වලට සර්ගේ බයික් එක හෝදන්නත් කියනවා. මම මේ කිසිම දෙයක් බැහැයි කියන්නේ නැතුව කළා. අපි ගෙදරදීත් ගෙදර වැඩ කරලා දීල අම්මලට උදව්කරන නිසා මේ දේවල් අමුතු උනේ නැහැ මට.
සුනිල්රත්න සර්ලට ළමයි හිටියේ නැහැ.
සර්රුයි අක්කයි එක දවසක්  මාව ගෝල්ෆේස් එක බලන්න එක්කගෙනත් ගියා, තව දවසක් එයාලගේ නෑදෑ ගෙදරක තිබ්බ දානේ ගෙදරකටත් මාව එක්කරගෙන ගියා.


මේ මොනවා උනත් සර්ගේ මුණේතිබුනේ මහා කපටි පෙනුමක් කියලයි මට හැමදාම හිතුනේ. ඒ වගේම මේ ගෙදරදී මම ජීවිතේට නොදැකපු දේවල් ගොඩක් දකින්න ලැබුනා.
අක්ක සමහර දවස්වලට සර් එක්ක තරහවෙච්ච දවසට ගෙදර ඉන්නේ අඩ නිරුවතින්. ඒ කියන්නේ යට කලිසමත් තනපටත් විතරක් ඇඳගෙන. මම ඉන්නවා කියල ගානක්වත් නැතුව එයා සර්ගේ අවධානය ගන්න එකඑක විකාර කරකර ගේ පුරා ඇවිදිනවත් එක්ක. 
එයා එහෙම බාගෙට හෙළුවෙන් ඉන්නවා දැකපු පළවෙනි වතාවේ මට එක පාරට හිතාගන්න බැරි උනා මම බය වෙන්න ඕනෙද, ලජ්ජා වෙන්න ඕනෙද කියලවත්.
සර්රුත් ඒවා දැකල හිනා වේවි ඉන්නවා මිසක් එයාට මුකුත් කියන්නෙත් නැහැ.

Saturday, 24 December 2011

පාසල් විත්ති 04 - ලොකු ඉස්කෝලේ

මම හතර වසරේ ඉන්න කාලේ අපේ ඉස්කෝලෙට අලුත් ටීචර්ලා තුන් දෙනෙක් වා. දෙන්නෙකුට ශිෂ්‍යත්ව පන්ති බාර දුන්නා. අනිත් ටීචර් ටිකක් ලොකු පන්ති වලට ඉංග්‍රීසි උගන්වනවා. මේ ටීචර්ලා දෙන්නගෙන් එක ටීචර් කෙනෙක් අපේ අක්කලාගේ පන්තියට ඉගැන්නුවා. කවදාවත් එකම ළමයෙක්වත් ශිෂ්‍යත්වේ පාස් නොවෙච්ච අපේ ඉස්කෝලෙන් මුලින්ම ශිෂ්‍යත්වේ පාස් උනේ අපේ චුටි අක්කයි, තව දෙන්නෙකුයි. චුටි අක්ක ශිෂ්‍යත්වේ පාස්වෙලා කොළඹ ඉස්කෝලෙකට යන්න ඕනේ කියපු නිසා අම්මලා එයාව කොළඹ ලොකු ඉස්කෝලෙකට දැම්මා.


අන්තිමට මාවත් මේ කියපු අලුත් ටීචර් කෙනෙක්ගේ පන්තියකට වැටුනා. ඒ ටීචර්ගේ නම "විජිතා" ටීචර්. අක්ක ශිෂ්‍යත්වේ පාස් වෙච්ච නිසා මට ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ගොඩක් තර්ජන එල්ල වෙන්න අරගෙන මගේ ජිවිතේ එපා වේගෙන ආපු කාලයක් තමයි මේ. තර්ජනේ තමයි "ඔහොම ගියොත් නම් අක්ක වගේ ශිෂ්‍යත්වේ පාස් වෙන්න වෙන්නේ නැහැ" කියන වචන ටික. ඉතින් මං කියල මක් කරන්නද. මේක මහා කන්දොස්කිරියාවක්. මේ වැඩ නිසා අපිට හොරා පොලිස් සෙල්ලමවත්, ඔට්ටු සෙල්ලමවත් කරන්න විදිහක් නැහැ.
ඒ මදිවට මම කවදාවත් පන්තියේ මුල් දහදෙනා අතරටවත් ආපු කෙනෙක් නෙමෙයි. මේක ඉස්කෝලෙන් අස්වෙනකම්ම එහෙමමයි.
මම ඕ ලෙවල් පන්තියේ හිටිද්දී අපේ පන්තියේ ළමයි 51 ක් හිටියා. මම ඕකේ හොඳම තැනකට ඇවිත් තියෙන්නේ 22 වෙනියට, 49 වෙනියා වෙලත් තියෙනවා.
මම ඉතින් ඉස්සර ඉඳලම ඔය තරඟවලට නැති අහිංසක මනුස්සයනේ....:)
හැබැයි ඒ වගේම මගේ ප්‍රගති වාර්තා බලල කවදාවත් අපේ ගෙදරින් මට සද්ද බද්ද දැම්මෙත් නැහැ.


එහෙව් මම පහේ පන්තියේ හිටිද්දී කියල කිසි වෙනසක් නැහැ, අනිත් ළමයි කරන විදිහටම අපේ පන්ති භාරව හිටපු විජිතා ටීචර්ගේ යටතේ මමත් සතර පොතේ හිස්තැන් පිරෙව්වා. මිස් දෙන ගණනුත් එහෙං මෙහෙන් හැදුවා. හිත අස්සේ ලොකු ඉස්කෝලෙකට යන්න ආසාවකුත් නොතිබුනාම නෙමෙයි. මේ කාලවකවානුව වෙද්දී අපිට හවස පන්ති එහෙමත් දාල ඉස්කෝලෙම උගන්නන්න පටන් අරගෙන තිබ්බ නිසා අමතර පන්ති වලට යන්න කිසි උවමනාවක් ඇති උනේ නැහැ.


මෙහෙම ගිහින් අන්තිමට ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිඵල ආවට පස්සේ බලද්දී 11 දෙනෙක් විභාගේ පාස් වෙලා තිබුනා. මෙන්න බොලේ මගේ නමත් තියෙනවා ඒ අතරේ.
ඉතින් ඔන්න මටත් දැන් සතුටුයි ටිකක් නෙමෙයි ගොඩක්ම. දැන් ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන්නේ. ගෙදර ගිහින් මේ ආරංචිය කියනකං ඉවසුමක්‌ තිබ්බේ නැහැ එදා.
ගෙදර ගිහින් මේක කියද්දී අම්ම කිව්වේ "මම දන්නවා මගේ දරුවන්ට වරදින්නේ නැහැ" කියලා. ඒ වගේම සංවේදී වෙන ඕනෙම වෙලාවකම අම්මගේ අස් දෙකේ දිදුලන කඳුළු කැට මම පැහැදිළිවම දැක්කා. ඒ කඳුළු බින්දු අපේ ජීවිතවලට හැමදාම හයියක් උනා.
මම වගේ ළමයෙක් ශිෂ්‍යත්වේ පාස් උනාට අපේ පන්තියේ හිටපු මට වඩා දක්ෂතා පෙන්නපු ළමයි, ගුරුවරුන්ගේ දරුවෝ ගොඩ දෙනෙක් පාස්වෙලා තිබුනේ නැහැ.


අපේ තාත්ත මම පුංචි කාලේ ඉඳලම කලේ පොඩි ව්‍යාපාරයක්. අපේ ගෙදරම තමයි ඒක කරගෙන ගියේ. තාත්ත තමයි ඒකේ ලොක්කා. අම්ම තමයි පරිපාලන කටයුතු සහ නිෂ්පාදන කටයුතු. තාත්ත කොළඹ ගිහින් බඩුමුට්ටු (අමුද්‍රව්‍ය) ගේන එක, හදන බඩුමුට්ටු කඩවලට දාල විකුණන එක සහ සියලුම මුදල් පාලන කටයුතුත් කලා.
මේක මහාලොකු ව්‍යාපාරයක් නෙමෙයි, අපේ ගෙදර වියදම හොයාගන්නත් අපි පස් දෙනාගේ ඉගෙනීම කටයුතු ටික කර ගන්නත් ප්‍රමාණවත් මට්ටමකින් තමයි ඒ කාලේ තිබුනේ. හැබැයි කිසිම අඩුපාඩුවක් නොවෙන්න අපේ ජිවිත ගෙනියන්න තාත්ත කරපු ඒ ව්‍යාපාරය හොඳටම ප්‍රමාණවත් උනා.


දැන් චුටි අක්කත් කොළඹ ඉස්කෝලෙක ගිහින් නතරවෙලා ඉගෙන ගන්න නිසා මටත් කොළඹ යන්න ඕනෙ උනා(තියෙන මෝඩකමට) කොළඹ තියෙන ලොකුම ඉස්කෝල තුනටම යන්න මට ලකුණු මදි. ඊට තරමක් පහළින් තියෙන ඉස්කෝලයක් තමයි මට ලැබුනේ, මම හිතන්නේ ඒ ඉස්කෝලේ අයිතිඋනේ තුන්වන පෙළ පාසල් ඝනයට. ඒවායේ අධ්‍යාපන කටයුතු වල තත්ත්වය ගැන හොයල බලන්න තරම් දැනුමක් මගේ අම්මට තාත්තට ඒ දවස්වල තිබුනේ නැහැ. ඇත්තටම ඒ ඉස්කෝලේ ක්‍රීඩා වලට ගොඩක් ප්‍රසිද්ධ එකක්. ඒ වගේම තමයි පස්සේ කාලේදැනගත්තු විදිහට ඒක මැරවැඩ වලට ප්‍රසිද්ධ ඉස්කෝලයක්.


මම අවුරුදු පහක් ඉගෙන ගත්තු ගමේ ඉස්කෝලෙට සමු දෙන්න ගිය වෙලාවේ අපි ඉස්කෝලෙන් අස්වෙන එකට ඉස්කෝලේ මුල් ගුරුතුමා ඒ තරම් කැමැත්තක් දැක්වුවෙත් නැහැ. කොහොම නමුත් මගේ පුංචි කාලේ දඟවැඩ ඔක්කොම මතක සටහන් තියෙන ගමේ ඉස්කෝලේ දාල යන්න මම හිත හදාගෙන උන්නේ. ඒ නිසාම සහ අම්මල තාත්තල උනත් මම කොළඹ ගිහින් හොඳට ඉගෙන ගන්නවට තියෙන කැමැත්ත නිසා මාව අස්කරගෙනම යන්න ඕනේ කියන මතයේම හිටියා. ඉතින් ඒ විදිහට මම මගේ පළමු ඉස්කෝලෙට වැඩි දුකකින් තොරවම සමු දුන්නා.


මෙන්න මේ විදිහට ගිහින් ඒ ඉස්කෝලෙට මාව බාර දෙන්න යන දවස උදා උනා.
උදේ පාන්දට 3 ට විතර නැගිටලා කුප්පි ලාම්පු එළියෙන් ගිහින් මුණකට හෝදගෙන අපි ලකලෑස්ති උනා. ඕනෙම ගමනක් යන්න කලින් අදටත් ඕනෙම පාන්දරක නැගිටලා කන්න පුළුවන්කම තියෙන හීල්බත් කටක් දෙකකුත් බඩට දා ගන්නත් මම අමතක කලේ නැහැ. ඊට පස්සේ තාත්තයි අම්මයි මමයි තුන්දෙනා කිලෝමීටර 2 ක් විතර දුරින් තියෙන හන්දියට ගියා තාත්තගේ මෝටර්බයික් එකේ.
මෙහෙම ගිහං අපි කොළඹට එද්දී වෙලාව උදේ 7 කිට්ටු වෙන්න ඇති මගේ හිතේ. අපිත් දන්නා කියන අයගෙන් පාරවල් අහගෙන අර කියපු ලොකු ඉස්කෝලේ හොයාගෙන ගියා.


ඇත්තටම ඒක ලොකු ඉස්කෝලයක්. ටික වෙලාවකින් මොනමොනවද ලියකියවිලි වැඩ එහෙම කරලා අපිව පන්ති වලට දැම්මා. මාව වැටුනේ 6-4 පන්තියට. වාසනාවකට වගේ ගමෙන් ආපු මම වගේ ළමයි කීප දෙනෙක් ඒ පන්තියේ හිටියා. අන්තිමට මම ඉස්කෝලේ ඇරිලා මම එනකල් බලාගෙන හිටපු අම්මයි තාත්තයි ගාවට ගියා. මේ ඉස්කෝලේ නතරවෙන්න හොස්ටල් එකක් නැතිබව අම්මල කලින් දැනගෙන හිටියද නැද්ද කියල මම දන්නේ නැහැ. ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ මේ ඉස්කෝලේ හොස්ටල් නැහැ කියලා. මම බලාගෙන හිටියේ චුටි අක්ක ඉන්න විදිහට ඉස්කෝලේ හොස්ටල් එකේම නතරවෙලා ඉස්කෝලේ එන්න.


දැන් ඉතින් කොහෙද නතර වෙන්නේ.
අම්මයි තාත්තයි ඉස්කෝලේ ඇරෙන වෙලාව වෙද්දී ඒකටත් පිළියමක් ගුරුවරයෙක් හරහාම හොයාගෙන තිබුනා. සමහර ගුරුවරු අපි වගේ දුරින් ආපු ළමයින්ව තමන්ගේ ගෙවල්වල නතර කර ගන්නවලු. මාවත් එහෙම ගුරුවරයෙක්ගේ ගෙදරක නතරකරවන්න අම්මල මේ වෙද්දී කතා කරගෙන තිබුනේ.

ඒ ගුරුවරයගේ නම "සුනිල්රත්න", මේ ඇත්තම නම. (මම බ්ලොග් එකේ ගොඩක් වෙලාවට දාන්නේ මගේ ජිවිතයේ හම්බ වෙච්ච මිනිස්සුන්ගේ ඇත්ත නම්, ඒකට හේතුව මම දාන්නේ අනුන්ගේ කතාවක් නෙමෙයි මගේම ජිවිතයේ කතාව නිසා) ඒ සර්ගේ ගෙවල් තිබුනේ පිටකෝට්ටේ රජමහා විහාරය ගාවමයි. අපි තුන් දෙනා එක්ක බස්එකේ ඒ සර්ගේ ගෙවල් හොයාගෙන යද්දී එයා එයාගේ මෝටර් සයිකලෙන් ගෙදරත් ඇවිත්. ඒ දවස්වල බැද්දගාන පිටකෝට්ටේ බස් විදිහට තිබ්බේ පොඩි පොඩි වෑන් බස්. ඒවායේ යද්දී ලොකු මිනිස්සු ඔළු නමාගෙන යන්නේ. ඒ මදිවට පුදුම සෙනගක්, මම මේ කියන්නේ 1991 කාලේ.
ඒ ගෙදර හිටියේ සර්, එයාගේ තරුණ බිරිඳ සහ සර්ගේ නැන්දම්මා සහ මාමණ්ඩිය විතරයි. ගෙදර වැඩට ගෑනු කෙනෙක් හිටපු බවත් එයා ගමේ ගිහින් තව දවස් දෙකකින් ආපහු එන බවකුත් තමයි දැනගන්න ලැබුනේ.
හැමදාම උදේට සර් එක්ක ඉස්කෝලේ යන්න පුළුවන් බවත් තුන් වේලටම කෑම ඒ ගෙදරින් දෙන බවත් එයාල කියල තිබ්බා. මාසෙකට ගාණ රුපියල් 1300 ක් ලු. මෙච්චර ලොකු ගාණක් මගේ අම්මයි තාත්තයි දෙන්න එක්ක ගෙව්වේ කොයි තරම් අමාරුවෙන්ද කියල හිතන්නේ බලන්නේ නැතුව කොළඹ ඉස්කෝලේ යන්න ඕනේ කියපු එකගැන මට අදටත් දුකයි. 


ඒ මදිවට මේ කාලේ වෙද්දී අපේ ලොකු අක්කත් විද්‍යා අංශයෙන් උසස්පෙළ කරන්න පටන් අරගෙන කොළඹ පන්ති එනවා. මේ කාලේ වෙද්දි අපේ ආසන්න නගර වලත් විද්‍යා විෂයන් වලට පන්ති තිබිලා නැහැ. චුටි අක්කත් කොළඹ ඉස්කෝලෙක නතරවෙලා ඉගෙන ගන්නවා. දෙවෙනි අක්කත් සාමාන්‍යපෙළ විභාගේ කරන කාලේ. අම්මටයි තාත්තටයි මේ තරම් වියදමක් දරා ගන්න පුලුවන්ද කියල හිතල බලන්න තරම් දැනුමක් මට ඒ කාලේ තිබ්බේ නැහැ.


අන්තිමට දඩිබිඩියේ මාව එහේ නතරකරපු අම්මයි තාත්තයි දෙන්න ගෙදර එන්න රෑ වෙන නිසා ඉක්මනට යන්න පිටත් උනා. ජිවිතේ පළවෙනි වතාවට තට්ටතනියම නොදන්නා ගෙදරක නතර වෙච්ච පළවෙනි දවස තමයි ඒ. මට පුදුම තනිකමක් පාළුවක් දැනුනා. ඒ වගේම කවදාවත් විදුළි එළියක්‌ ඇති ගෙදරක ජිවත් නොවිච්ච මට ඒ වෙනසත් තදින්ම දැනුනා. ඒ මදිවට මදුරුවෝ. අපේ ගෙවල්වල කවදාවත් මදුරුවෝ නැහැ. ඉතින් මුළු ලෝකෙමවත් ඒ තරම් මදුරුවෝ තොගයක් ඉන්නවා ඇති කියල මට විස්වාස කරන්නත් බැරි තරම්. ඒ මදිවට මට ලැබිච්ච කාමරේත් පුදුම රස්නයක් තිබුනේ. ඒ ගෙදර වහලට දාල තිබුනේ ඇස්බැස්ටෝස් ෂීට්. අහලපහළ තිබුණු ගස් කීපය නිසාවත් කිසිම සහනයක් තිබුනේ නැහැ.
ඒ මදිවට අදටත් කමිසයක් උඩට ඇඳගෙන ගෙදර ඉන්න පුරුද්දක් නැති මට කමිසෙකුත් ඇඳගෙනයි මේ ගෙදර ඉන්න වෙලා තිබුනේ.


එදා රෑ මට කවදාවත් හුරු නැති විදිහට මේසෙට බත් බෙදලා ඇවිත් කන්න කිව්වා. වෙනදට කුස්සියට වෙලා අම්මගේ අතින්ම බෙදල අතට දෙන රසම බත් එකේ රස මතක් කරගෙන කිසි රසක් නැති බත් වේලක පළමු බත්කට කෑවා.
අන්තිමට නිදාගන්න ගිහින් කාමරේ දොරත් අඩවල් කරලා ඇඳ උඩට නැගලා අපේ ගේ පැත්ත තියෙනවා කියල හිතින් හිතා ගත්තු පැත්තට හැරිලා වෙනද අම්මගෙයි තාත්තගෙයි කකුල් දෙක ගාව ඉඳගෙන කියන ගාථා දෙක මතුරලා නිදා ගන්න ඇඳට ගියා.

දසමාසේ උරේකත්වා
පෝසේසි වුද්ධිකාරණං
ආයු දීඝං වස්වසතන්
මාතුපාදන් නමා මහං


උද්ධිකාරෝ ආලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකන්
රාජමජ්ජන් සුපටිත්තන් 
පීතුපාදන් නමා මහං


හරි අමාරුවෙන් මව්පියන්ට වඳින ගාථා මතක් කරගන්න ඕනේවෙන තරමට දැන් අපි එයින් බැහැරවෙලා. විපාක අපිටම ලැබෙයි....හ්ම්ම්.
ගාථාවල වරදක් තියෙනවනම් කරුණාකරලා පෙන්නලා දෙන්න   :(

Saturday, 17 December 2011

පාසල් විත්ති 03 - දඟකාරකම්

මේ කියන සිද්ධිය උනේ මම හතර වසර ඉන්න කාලේ. මේ කාලේ වෙද්දී මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ අක්කල කවුරුවත් නැතුව අනිත් යාළුවො එක්ක බව දැන් හැමෝම වගේ දන්නවනේ.
අපි පුංචි කාලේ තියා මම සාමාන්‍ය පෙළ කරන කාලේ පවා අපේ ගෙදරට විදුලිය තිබුනේ නැහැ. දවස්වල අපිට තිබ්බ ලොකුම පිහිට තමයි ගෙදර තිබ්බ චිමිනි ලාම්පුව. මේ චිමිණි ලාම්පු එළියෙන් හැදෙන හෙවනැලි වලින් අපි එක එක සත්තුන්ගේ රූප මැව්වා. අපි ඒවාකලේ කොහෙන්වත් දැකලවත් ඉගෙනගෙන නෙමෙයි, අපිට කොහෙන්ද ඒ කාලේ ටීවී. කොහොම උනත් අපි ඒ හෙවනැලි එක්ක සෙල්ලම් කරපු මතකය හරි සුන්දරයි.

මෙන්න මෙහෙම එන දවස්වල අපි කරපු ලොකු දඟවැඩක් තිබුනා. ඒක දඟවැඩක් කියල කිව්වට ඇත්තටම විදුලිය ගැන දන්නේ නැතිකමට කරපු ලොකුම ලොකු මෝඩ වැඩක් කියල තේරුනේ පස්සේ.

අර මං කලින් වතාවක කිව්වා පිණිජම්බු ගහ තිබ්බ ගෙදර මතකයි නේද. අන්න ඒ ගේ පහු කරගෙන පොඩි දුරක් ආවට පස්සේ තිබ්බ ලයිට් කණුවක් එක්ක තමයි මේ පාර අපේ ගණුදෙනුව. ඔයගොල්ලන්ට මතක ඇති නේද ඔය ලයිට්කණු වලට සමහර විට එක පැත්තකිනුත් සමහර එව්වට දෙපැත්තෙන්මත් පොලවට ඇදලා වගේ හයිකරලා තියෙන කම්බි. මේවා හයි කරන්නේ කණුව ස්ථායිව පවත්වා ගන්නත්, කණුව එක්පසෙකට ඇදීයාම වළක්වන්නත් කියල තමයි මම පස්සේ කාලෙක දැනගත්තේ. මෙන්න මේ කම්බියක් එක්ක ඔට්ටුවෙන්න ඒ දවස්වල අපි විතරක් නෙමෙයි අපේ ඉස්කෝලේ ආපු ගොඩක් පොඩි එව්වෝ පුරුදු වෙලා හිටියා.

ඒ කම්බිය අතින් අල්ලල හයියෙන් හෙල්ලුවට පස්සේ ඒක ගිහින් උඩ තියෙන කරන්ට් වයර් දෙකක ගෑවෙනවා. ඒ ගෑවෙද්දී ගිනි පුලිඟු විසිවෙනවා බලන්න තමයි අපි මේක කලේ. අපේ හොඳ වෙලාවට තමයි විදුලිබලය සම්බන්ධ පර්යේෂණ කරලා ලෝකෙට හඳුන්වා දීපු උදවිය මොළේ කල්පනා කරලා ඒ කම්බිය හරහා විදුලිය කාන්දු නොවෙන විදිහට සෙරමික් වලින් හදපු බාධකයක් යොදල තියෙන්නේ. එහෙම නැත්නම් මේක මුලින්ම කරපු එකා සෙත්තපෝච්චි වෙනවා එතනම. හැබැයි ඒ මමනම් නෙමෙයි. මොකද මම මැරෑටි වැඩ කලාට කවදාවත් පළවෙනිය විදිහට ඒවා කරන්නේ නැහැ. කීප දෙනෙක් කළොත් තමයි මමත් කරන්නේ.

පුංචි දවස්වල අපේ එක විනෝදාංශයක් තමයි කියත් කුඩු එකතු කරලා චිමිණි ලාම්පුවට උඩින් හරි ගිනි ගොඩකට උඩින් හරි ඉහින එක. එහෙම ඉස්සට පස්සේ ඒ කියත් කුඩුටික ගිනිගන්නවා හරියට මල් වෙඩිල්ලක් වගේ. මේක දන්න නිසාම තමයි තාත්ත කියතක් පීරී ගාද්දී එකට යටින් පත්තර කොලයක් තියලා ඒ පීරී ගෑවෙන යකඩ කුඩු ටික අපිට එකතු කරලා දෙන්නේ. පුංචිකාලේ ඉඳලම අපි මේ වැඩේට හරි ආසයි, ඒකෙන් පාටපාට ලස්සන ගිනිදැල්ලක් විහිදෙනවා. ඒත් හරි පුංචි වෙලාවක් විතරයි ඒක තියෙන්නේ. ආපහු ඉතින් කියත් කුඩු එකතු කරන්න සමහරවිට මාසගානක් බලං ඉන්න සිද්ධ වෙනවා. මොකද කියත් කියන ඒවා හැමදාම පීරිගාන්නේ නැහැනේ. තාත්තම තමයි අපිට පුංචි කාලේ මේක කරන හැටි කියල දුන්නේ. මේ පින්තුරේ එච්චර පැහැදිලි නැති උනාට ඒවා ගිනි ගනිද්දී මෙන්න මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ. හැබැයි මිට වැඩිය ලස්සනට පාට පාටට තමයි ගිනි ගන්නේ.
ඒ නිසාම වෙන්න ඇති ඊටත් වඩා ලොකු එළියක්‌ විහිදෙන ඕනේ වෙලාවක අපිටම කරන්න පුළුවන් ලයිට් කම්බියේ "ගිනිකෙළි" සෙල්ලමට අපි ආස උනේ.

අනිත් අයත් කරන නිසා සහ බයවෙන්න දේකුත් නැති නිසා මමත් එකම එක දවසක් මේ වයර්එක හොල්ලන වැඩේ කරන්න ඉදිරිපත් උනා. ඒ ලයිට් කණුව තිබ්බේ අපි ඉස්කෝලේ ඇරිලා එද්දී පාරේ දකුණුඅත පැත්තේ. මාත් එක්ක ආපු අනිත් ළමයි කීපදෙනා පාරේ වම් පැත්තට ගිහින් ගිනිකෙළි සංදර්ශනේ බලන්න සුදානම් උනා.
මමත් වෙරදාල වයර් එක හෙල්ලුවා, ලොකු එළියක්‌ වටේටම විහිදුනා. ඒ එක්කම මොකක්දෝ මන්ද අමුතු දෙයක් සිද්ධ උනා. දඩස් ගාල සද්දෙකින් අර උඩින් එල්ලිලා තිබ්බ විදුලි රැහැනක් මගේ කකුල් දෙක මුලටම ඇදගෙන වැටුනා. මම අල්ලාගෙන හිටපු එක නෙමෙයි, උඩ තිබ්බ විදුලිය ගමන්කරන කම්බියක් තමයි කඩාගෙන වැටුනේ. ඒ එක්කම පාරේ බයිසිකලයක් පැදගෙන ගිය මනුස්සයෙක් නතර කරලා "ඒයි ඒයි" ගාල මහා හයියෙන් කෑ ගැහුවා.

මගේ අතින් වයර් එකක් කැඩුණු එකටයි මේ මනුස්සය කෑ ගහපු එකටයි බය වෙච්ච මම අනිත් අයත් එක්කම පණ එපෝ කියල දුවන්න පටන් ගත්තා.
ඒ කාලේ විදුලියෙන් වෙන්න පුළුවන් හානි ගැන මම දැනගෙන හිටියේ නැහැ. මම බය උනේ මගේ අතින් වයර් එකක් කැඩිච්ච නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි, ඇත්තටම බලද්දී මගේ වාසනාවට තමයි ඒ වයර් එක මගේ ඇඟට වැටුනේ නැත්තේ කියලා තේරුණේ ටිකක් ලොකු උනාට පස්සේ.

Friday, 16 December 2011

පාසල් විත්ති 02

අපේ චුටි අක්ක බාලාංසේ පන්තියේ ඉඳල තිබුනේ "සුදු ටීචර්ගෙ" පන්තියේ. ඒත් මාව වැටුනේ "පුෂ්පා ටීචර්ගෙ" පන්තියට, එහෙමත් නැත්නම් "කළු ටීචර්ගේ" පන්තියට. පුංචි කාලේ ඉඳලම මම ටිකක් කුලෑටි ළමයෙක්.
මෙන්න මේ පන්තියේ මම පොඩි කාලේ ඉඳලම දන්නා කියන කීප දෙනෙකුත් හිටියා. ඒ අතරින් ගොඩ දෙනෙක් මගේ නෑදෑයොත් වෙනවා. අමිල, සුපුන්, කුමාරි.... එහෙම.


මම අර "පාසල් විත්ති 01" කියන කතාවේදී කියපු අමිල කියන කොල්ලා පොඩි කාලේ ඉඳලම මහා වසවර්තියා. මට ඌ ගැන තියෙන මුල්ම මතකෙනම් හරිම අපුරු එකක්. මට ඒක අදවගේ මතකයි. ඒ වෙලාවේ අපේ ගුරුතුමී පන්තියේ හිටියේ නැහැ. මෙන්න ඒ අතරේ පන්තියේ පිටිපස්සේ හරියේ හිටපු අමිලයි, කුමාරියි දෙන්නා ඒ දෙන්නගේ ලිංගබේදයේ වංහුං හොයනවා. අමිල හිටියේ කලිසම පාත් කරගෙන. කුමාරිත්  ඒ ගැන බොහොම උනන්දුවෙන් එබිලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ කුමාරිගේ වාරය. දැන් අමිල එබීගෙන බලනවා. ඔන්න ඔහොමයි අමිල ගැන මගේ මුල්ම මතකය.
අමිල වගේම තමයි මිනිහගේ තාත්තත් ටිකක් නහරයෙක්, හැබැයි මට හරි ආදරෙයි ඒ කාලේ ඉඳලම. ඇත්තටම එයාගේ තිබුනේ නහරවැඩ වලට වැඩිය "කතාව" තමයි. ඒ කියන්නේ ලොකු "කියුම් කාරයෙක්". කියුම් කාරයෙක් කිව්වේ කියවනවා මිසක් කවදාවත් කරපු වැඩක් නැති නිසා. මිනිහගේ   නම "බෝම්බ රංජි". ඉස්සර කාත් එක්කද රණ්ඩු වෙච්ච වෙලාවක "උඹලට මම බෝම්බ ගහනවා" කියලා කියපු සිද්ධියක් නිසා තමයි එයාට ඒ නම වැටිලා තියෙන්නේ.
මම කලින් කියපු සුපුන්ලගේ ගෙවල් තිබුනේ අමිලගේ ගෙදරට උඩහින්. අමිලට මාවයි සුපුන්වයි පේන්න බැහැ. ඒකට හේතුව අපි දෙන්න සාපේක්ෂව ඌට වැඩිය ඉගෙන ගන්න දක්ෂ වෙච්ච නිසා වෙන්නත් ඇති. ඒ වගේම පුංචි කාලේ ඉඳලම සුපුන් මාත් එක්ක ටිකක් හිතවත්. ඊටත් වඩා හැමදාම අපි අලුත් පන්තියකට ගියාම ඒ එන හැම ටීචර් කෙනෙක්ම වගේ මාව දන්නවා. මගේ අක්කල තුන් දෙනාම ඒ ඉස්කෝලේ ඒ ගුරුවරුන්ගෙන්ම ඉගෙනගෙන තිබ්බ නිසා වෙන්නත් ඇති එයාල මාව දන්නේ.


මොන හේතුවක් නිසාද දන්නේ නැහැ හැමදාම අමිල හැමදාම වගේ අපිත් එක්ක පාරදිගේ එන්නේ මාත් එක්කයි, සුපුන් එක්කයි රණ්ඩු අල්ල අල්ල. මම පුංචි කාලේ බොහෝම අහිංසක දුර්වල ළමයෙක්, ඒ වගේම මට වැඩිය ගහගන්නත් බැහැ. පුංචි කාලේ මාව දෙපාරක්ම අසනීප වෙලා මැරෙන්නම ගිහිනුත් තියෙනවලු. ගම අවට හිටපු ළමයි ගොඩදෙනෙක් මට හැදිච්ච බඩේ අමරුවම(පාචනේ වගේම භයානක එකක්) හැදිලා නැතිඋනා කියල අම්ම මාත් එක්ක කියල තියෙනවා. ඒ ලෙඩේ හැදිච්ච ළමයින්ගෙන් ඉතුරු උනේ මමයි තව එක ළමයෙකුයි විතරලු. ඇවිදින්න පටන් ගත්තු වයසේදී අසනීප වෙච්ච මම ඊට පස්සෙ ආපහු දණගාන්න පටන් ගත්තලු. ඉතින් මේ කියන කාලෙදිත් මම බොහෝම දුර්වල ළමයෙක්.


ඔන්න ඉතින් ඉස්කෝලේ ඇරිලා පාරේ එනගමන් සමහර වෙලාවට අමිල මාත් එක්ක රණ්ඩු අල්ලන්න පටන් ගන්නවා. අපි දෙන්න අතරේ මේ වගේ රණ්ඩුවක් උනාම මම ගුටිකන එක අහන්නත් දෙයක්ද. මෙහෙම වෙච්ච එක දවසක මම අඬඅඬා ගෙදර ආවා. මේ එද්දී තාත්ත ඉන්නවා ගෙදර. සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ ඇරිලා එන වෙලාවට තාත්ත ගෙදර ඉන්නේ බොහොම කළාතුරකින්. එදා අමිල මගේ මුණයි බෙල්ලයි  ගොඩක් හුරලා ලේ එනවත් එක්ක. මේක දැකපු ගමන් ඕනෙම තාත්ත කෙනෙකුට වෙනවා වගේම මගේ තාත්තටත් යක්ෂයා ආරුඩ උනා. මාවත්  ඇදගෙන තාත්ත පාරට ආවා. ඒ වෙද්දීත් අමිල ගෙදර ගිහින් නැහැ. ඉතුරු අයත් එක්ක අපේ ගෙවල් පහළ තියෙන කාණුවේ බැහැගෙන මාළු අල්ලන්න හදනවා. අපේ තාත්ත අමිලට සැරෙන් කතා කළා. ඌ "ඇයි xxx මාමේ" කියල අහගෙන අපේ තාත්ත ලඟට ආවා.
හැමදාම අමිල කරන මේ වැඩේ නිසා කේන්ති ගිහින් හිටපු තාත්තා අමිලගේ කන්කෙටියෙන් අල්ල ගත්තා. අල්ලගෙන ඇදගෙන ගියා උන්ගේ ගෙදරට යනකම්ම. අපේ ගෙවල් ගාව ඉඳලා අමිලගේ ගෙදරට මීටර 300 ක් වගේ දුරක් තියෙනවා. මේ මුළු දුරම අමිල ගියේ ඔළුව පැත්තක් උස්සගෙන කණෙන් එල්ලීගෙන. උන්ගේ ගෙදරටම ගිහින් රංජි මාමටත් මේ සිද්ධිය කියලා තාත්තා හොඳටම බැන්නා, මගේ මුණේ තියෙන තුවාලත් පෙන්න පෙන්නා. ඒ වෙලාවේම ගහකින් කඩා ගත්තු කෝටුවකින් රංජි මාමා අමිලට සැළකුවා ආයේ මදි නොකියන්න. එදායින් පස්සේ ඌ ආපහු මට කරදර කරන්න ආවේ නැහැ. ඊට ටික දවසකට පස්සේ ශිෂ්‍යත්වේ පාස් වෙච්ච මම ගමේ ඉස්කෝලේ දාල කොළඹ ඉස්කෝලෙකට ගිය නිසා ගමේ යාළුවන්ව ලඟින් ආශ්‍රය කරන්න ලැබුනේ නැහැ. ඒත් අවුරුද්දකට පස්සේ මම ආපහු ගමේම ඉස්කෝලෙට නොවුනත් ගෙදර ඉඳල යන්න පුළුවන් දුරක තිබ්බ ඉස්කෝලෙකට ආපහු ආවා. ඒ නිසා ආපහු මේ යාළුවන්ව ආශ්‍රය කරන්නත් ගමේ දුවපැන ඇවිදින්නත් වාසනාව ලැබුනා.


අමිලගේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඉස්කෝලෙන් අස්වෙලා කාලයක් ගමේ රස්තියාදු ගහපු කාලේ වෙද්දී ඌ මගේ හොඳ යාළුවෙක් වෙලා හිටියා. අපි එකට සෙල්ලම් කළා, ගඟේ නාන්න යනවා, හොරෙන් කුරුම්බා කඩල බොනවා, තව තව වැඩ ගොඩයි. මේ විදිහටම ඉස්සර අමිලගේ තත්තයි අපේ තාත්තලයි කොළුකාලේ එකට පිස්සු නටල තියෙනවලු. අපිත් ඒ විදිහට බොහොම කෙළිදෙලෙන් ගතකලා කාලයක් තිස්සේ.


මෙහෙම ගිහින් ආපහු මට ගම අතහැරලා දාල ආපහු කොළඹ යන්න සිද්ධ උනා ඉගෙනීම කටයුතු වලට. ඊට පස්සේ මම ගමේ ආවේ සතියකට දෙකකට වතාවක්. මේ ආවහම ඉස්සර වගේ වැඩිය ගමේ ඇවිදින්න යන්න වෙන්නේ නැහැ. ගමේ යාළුවෝ ආස්සරයත් ටිකක් විතර අඩුඋනා. ටික කාලෙකට පස්සේ පාරේදී මාව හම්බ වෙච්ච රංජි මාම කිව්වා අමිල කසාද බැඳලා ගමෙන් ගියා කියල. මේ සන්ධිය වෙද්දී අමිලගේ අම්මගේ මරණයත් සිද්ධ වෙලා ඉවරයි. රංජි මාමත් ගමේ තැන තැන රස්තියාදු ගගහා බොහොම සෙල්ලක්කාර ජිවිතයක් ගත කරපු කාලයක්. සමහර දවස් වලට පුතාගේ යාළුවෝ කියල නැහැ, නෑදෑ කමට ටිකක් දුරින් හරි මාම කෙනෙක් වෙනවා කියලත් නැහැ. අර බෝතල් වල තියෙන කහට පාට ජාතියත් බිව්වා අපිත් එක්කත්. හැබැයි එහෙම දවසක් එන්නේ සිංහල අවුරුදු කාලෙට වගේ තමයි.


මේ කියන කාලේ මම රස්සාව කලේ කොළඹ, නතරවෙලා හිටියෙත් ඒ කිට්ටුවමයි. එක දවසක් මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. බලනකොට අමිලගෙන්. මම ඒ දවස්වල වැඩකලේ බත්තරමුල්ල කිට්ටුව. මිනිහ මට කෝල් කරලා කිව්වා මාව හම්බවෙන්න එනවා කියලා. එහෙම ඇවිත් අපි දෙන්න ටික වෙලාවක් කතා කරකර හිටියා. මේ වෙද්දී අමිල කරකර ඉඳල තිබුණු රියදුරු රස්සාවෙන් අහක්වෙලා. එතන හරියට පඩි ගෙව්වෙත් නැහැල්ලු. මගෙන් ඇහුවා මම වැඩකරන ආයතනයේ රියදුරු රස්සාවක් අරගෙන දෙන්න පුලුවන්ද කියලා.


මමත් ඉතින් නෑ බෑ කියන්න ගියේ නැහැ, මොනවා උනත් වැලිකෙලියේ ඉඳල තියෙන යාළුකම, දුරින්හරි තියෙන නෑදෑකම, අනික කරදරේ වැටිලා ඉන්න වෙලාව. මමත් එදාම මම අඳුනන කළමනාකාර මහත්තැන් කෙනෙකුට කතා කරලා අමිලව එතනට යැව්වා. මෙහෙම ගිහින් ආපහු ටික දවසක් යද්දී ආපහු අමිලගෙන් කෝල් එකක්. බලනකොට තාම ඒ අලුත් ව්‍යාපෘතිය පටන් අරගෙන නැහැ කියලාමෙයාව රස්සාවට අරගෙන නැහැ. පස්සේ මගේ වෙන්න හාමිනේ (ඒ දවස්වල) හරහා මට ආරංචි උනා අපේ ප්‍රධාන කාර්යාලය එහෙමත් නැත්නම් "ඔළු කන්තෝරුව"ට අලුතෙන් රියදුරු බඳවා ගැනීමක් කරනවා කියලා. මම මිනිහව ඒකට පන්ගාර්තු කලා. මටත් වැඩිය ඒ ගැන මහන්සි වෙලා කටයුතු කලේ මගේ වෙන්න හාමිනේ. මේ අතරවාරයේ මමත් රස්සාවෙන් අස්වෙලා රට ආවා.


මෙහෙම ටිකකාලයක් ගිහින් එක දවසක් මගේ නෝනා මට කතා කරලා කියනවා "අර ඔයාගේ ගමේ යාළුවා හරි ඇණයක් වෙලානේ තියෙන්නේ" කියලා. අනිත් ඩ්‍රයිවර්ලා එක්ක පම්පෝරි ගහනවලු ඇඳුනුම්කං කියකියා. ඒ මදිවට මගෙත් එක්ක තියෙන යාළුකම නිසා මගේ නෝනටත් කාර්යාලයේ කියල බලන්නේ නැතුව කෙලින්ම එයාගේ නම විතරක් කියල කතා කරන්නත් පටන් අරගෙන.
අපේ රටේ තාමත් යුරෝපයේ වගේ නොවෙන නිසා කාර්යාල වල මේ වගේ දේවල් ප්‍රශ්න.

ඊටත් පස්සේ ඩ්‍රයිවර්ලා සම්බන්ධව එන්න තියෙන හොඳම ආරංචියත් ආවා. මුට වැඩකරන්න දීලා තියෙන්නේ "මරුති" කාර් එකක්. මුගේ තියෙන ගොන්කමට ඒ පුංචි කාර් එකෙන් පෙට්රෝල් හොරෙන් ඇදලා විකුණලා, ඒ විතරක් නෙමෙයි විකුණද්දී මාට්ටු වෙලත් එක්ක.
අන්තිමට ආයතනයේ මානව සංවර්ධන අංශයේ ලොක්ක මගේ හාමිනේට කතා කරලා මේ විස්තරේ කියල "දැන් අපි මොකද කරන්නේ" කියල අහලා. හාමිනෙත් නිකංඉඳල නැහැ, ගාණට ඇඟ බේරගෙන උත්තර දීලා තිබුනා.
මගේ මහත්තයාගේ ගමේ ඇඳුනුම්කමට තමයි මම මේ මනුස්සයට රස්සාව අරගෙන දුන්නේ. එයා වැරද්දක් කලානම් එයා ගැන තීරණයක්‌ ඔයගොල්ලෝ ගන්න කියලා. (ඊට පස්සේ මම මගේ යාළුවෝ ගැන හාමිනේගෙන් අහගත්තු දේවල් මෙතන කියන්න ඕනේ නැහැනේ)

අන්තිමට මිනිහට ආයතනයෙන් කැමැත්තෙන් අස්වෙලා යන විදිහට ලියුමක්ක් දීලා අස්වෙලා යන්න කියල HR ලොක්ක කියල තිබුනා. ඒක ඒ විදිහටම සිද්ධවෙලා තිබුනා.


ඊට පස්සේ මම කීපවතාවක් නිවාඩු ගියත් ගමේදී ඌව දැක්කේ නැහැ, ඒත් රංජි මාමනම් වෙනද විදිහටම ගිය සිංහල අවුරුද්දෙත් අපි එක්ක ඇපල් රස තියෙන සුදු පාට වතුර බෝතලයක් බිලා ඉවර කලා. මිනිහා දැන් ඉස්සර වගේ නෙමෙයි, කොල්ලවගේ. බොහොම සතුටින් කුරුල්ලෙක් වගේ ඉන්නවා ගමවටේ රවුම් ගහගහ. ඒ මදිවට වෙන කසාදෙකුත් කරගෙනය කියන්නේ.
මම අමිලගේ සිද්ධි එයාඑක්ක කතාකරන්න ගියේ නැහැ. ආතල් එකේ ඉන්න මිනිහගේ ආතල් කඩන්නේ මොකටද කියල හිතලා.
ඔන්න ඔහොමත් උනාලු අපිට.....

Saturday, 10 December 2011

පාසල් විත්ති 01

මම පුංචි කාලේ ගියේ ගමේ ඉස්කෝලෙට. මගේ අක්කල තුන් දෙනාත් ඉස්කෝලේ යන හින්ද මාව ඉස්කෝලෙට එක්කගෙන යන්න පළවෙනි දවසේ ඇරෙන්න අනිත් දවස් වල අම්මල තාත්තල ගොඩ වෙලාවට ආවේ නැහැ. ඒත් සමහර දවස් වලට ඉස්කෝලේ ඇරෙන වෙලාවට තාත්ත මෝටර් බයිසිකල් එකේ එනවා අපිව එක්කරගෙන යන්න. අපිව කියල කිව්වේ මාවයි, චුටි අක්කවයි. එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් පන්තියේ හිටියේ.

අපේ ගෙදර ඉඳල ඉස්කෝලෙට කිලෝමීටර 3 ක් විතර තියෙනවා, අපි උදේට පයින් ඉස්කෝලෙට යද්දී සුදු අක්කා (වැඩිමල් අක්කා) හරි පොඩි අක්කා(දෙවෙනියා) හරි මගේ පොත් බෑග් එක අරගෙන යන වෙලාවලුත් තියෙනවා. මම බොහෝම අකමැත්තෙන් තමයි උදේට ලැස්ති වෙලා ඉස්කෝලේ යන්නේ. ඉතින් මම බෑගිරි ගගා අක්කලාගේ පස්සෙන් යනකොට තමයි සුදු අක්ක හරි පොඩි අක්ක හරි මගේ බෑග් එක අරගෙන යන්නේ.
ඒ දවස් වල අපි සුදු ඇඳුම් නෙමෙයි, පාට ඇඳුම් තමයි ඇන්දේ ඉස්කෝලේ යන්න. සමහර දවස් වල මට තිබිච්ච හොඳම ඇඳුම වෙච්ච "පොලිස් සුට්‌" එක ඇඳගෙනත් ඉස්කෝලේ යනවා. අපේ ගෙදර තාමත් ඇති මම ඒ ඇඳුම ඇඳගෙන ඉන්න ෆොටෝ එකක්. එක වසරේ පොඩි එකෙක් වෙච්ච මට අක්කල එක්ක හරිහරියට පයින් යන එක ටිකක් අමාරුයි. ඒත් ඉතින් අක්කලට පරක්කු වෙලා ඉස්කෝලේ ගියොත් බැනුම් කෝටියයිනෙ. ඒ නිසා එයාල පුළුවන් තරම් වේගෙන් තමයි යන්නේ.

ඒ දවස් වල ඉස්කෝල ඇරුනේ දවල් 11:30 ට වගේ තමයි මට මතක.  තාත්ත අපිව එක්කගෙන යන්න ආවේ නැති දවස් වලට මමයි චුටි අක්කයි පයින්ම ගෙදර එනවා. 1 වසර සහ 2 වසර පන්ති දෙකම ඇරෙන්නේ මේ වෙලාවටද කොහෙද. ඉතින් අපේ පාරේ අපේ ගෙවල් පැත්තට එන ළමයි රොත්තක් හිටියා අපේ තනි නොතනියට. තනියම උනත් ඒ දුර පයින් එන්න අපේ කිසි බයක් තිබුනෙත් නැහැ.
ඒ පයින් එන ගමන අපිට පුදුම සතුටක් ගෙනදුන්නා. අපි ඒ දවස් වල වතුර ගෙනියන්නේ බෙල්ලේ එල්ලගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් වල. ආපහු එන වෙලාවට ඒවායේ වතුර නැහැ, ඉවරයි. බීල ඉවර වෙනවද එහෙම නැත්නම් නාල ඉවර වෙනවද කියල මතක නැහැ.

තාරපාර දිගේ එන කිලෝමීටරයක වගේ දුර අපි වැඩි කලබලයක් නැතුව තමයි එන්නේ. ඊට පස්සෙ අපේ ගෙවල් වලට හැරෙන ගුරු පාරට හැරිච්ච ගමන්ම වගේ තියෙන්නේ  දං කැලෑව. ඒක අපි දන්නා කාලේ ඉඳලා තාමත් ඒ විදිහටම තියෙනවා. දැනට අවුරුදු 26ක් තිස්සේ වෙලා තියෙන එකම වෙනස තමයි එකම එක මුල්ලක පොඩි ගේ පොඩ්ඩක් එක්ක ලෑලි තට්ටුවක් තියෙන පොඩි කඩයක් දාල තියෙන එක විතරයි.


අපේ රාජකාරිය පටන් ගන්නේ එතනින්. ඇති වෙන්න දං, බෝවිටියා කඩාගෙන කාල ඊට පස්සෙ තමයි කැලයෙන් එළියට එන්නේ. මේ වෙද්දී අපිට හොඳටම වතුර තිබහයිත් එක්ක. අපි හැමදාම වතුර බිව්වේ එකම ගෙදරකින්, ඒ ගෙදර නම කලන්සුරිය ඇන්ටිලාගේ ගෙදර. ඒක තිබුනෙත් මේ දං කැලයට බොහෝම කිට්ටුවෙන්. ඒ ගෙදර හිටපු අක්කල කවුරුහරි සුදු පාට එනමල් ජෝග්ගුවකින් තමයි අපිට බොන්න වතුර ගෙනත් දෙන්නේ. මෙහෙම දීල පිරිමහන්න බැරිවෙච්ච වෙලාවට ගෙනත් ලිඳෙන් වතුර ඇදලා අපේ අතට වත්කරනවා බොන්න. ඊට පස්සෙ අපේ බෝතල් වලටත් වතුර පුරවලා දෙනවා. ඒ අක්කල ටික අපිට වතුර බොන්න දීලම ලොකු පිනක් අත්කරගන්න ඇති මගේ හිතේ.

දන් ආපහු ගමනේ යා.... අපේ ගෙදරට යන මේ පාර ගුරුපාරක්, ඊට පස්සෙ පාරේ තියෙන එක මඩවලක්වත් මග ඇරෙන්න දෙන්නේ නැහැ අපි. ඒ හැම එකකටම බැහැ බැහැ තමයි අපි පාරේ යන්නේ. වතුර කානුවක් උනත් අතඅරින්නේ නැහැ.
මේ හරියේ පාර එක දිගට මීටර පන්සීයක්‌ වගේ දුර පේන කෙලින් හරියක් තියෙනවා. සමහර දවස් වලට අපි මෙහෙම කැරකි කැරකි යද්දී දකිනවා ඈතින් ලොකු ළමයි ඉස්කෝලේ ඇරිලා එන හැටි. ඒක දැක්කමනම් අපි තවත්නම් පරක්කු වෙන්නේ නැහැ. බෑග්මලු කරේ එල්ලගෙන දුවන්න පටන් ගන්නවා.

එහෙම හදිස්සියක් ආපු නැති දවස්වල අපේ ඊළඟ නවාතැන තමයි "ලොවිගහ යට ගෙදර", ඒ ගෙදරින් අහල අපි ගොඩක් දවස් වලට ලොවි කඩාගෙන කනවා. එතනින් පස්සෙනම් ආපහු පලතුරු ගස් වැඩිය නැහැ. ඒත් බෝවිටිය ගස්නම් හැමතැනම වගේ තියෙනවනේ. ඒවා අත අරින්නෙත් නැහැ අපි. සමහර බෝවිටියා ගෙඩි හොඳටම ඉදිලා පිපිරිලා ගිහිනුත් තියෙනවා, ඒත් අපි ඒවා කන්නේ නැහැ. කවුරු හරි කියල තිබුනා එහෙම ඇරිලා තියෙන්නේ නයි කාපු ගෙඩි කියලා. අපි කන්නේ හොඳටම ඉදිච්ච, පොත්ත පිපිරුණු නැති ගෙඩි. (අර කතාව පට්ට බොරුවක් වග ටිකක් ලොකු උනාට පස්සේ දැනගත්තා)

ඔන්න ඔහොම ගිහින් මට මතක විදිහට චුටි අක්ක 4 වසරට ගියාට පස්සෙද කොහෙද එයාටත් හවස් වෙනකන් ඉස්කෝලේ ඉන්න උනා. ඒ කියන්නෙ මට තනියම තමයි පයින් ගෙදර එන්න උනේ. මෙහෙම එන දවස් වලට අපි එකඑක දඟවැඩ කරනවා. ඒවා නවත්තන්න අක්කලත් නැහැනේ. මාත් එක්ක හැමදාම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන යාලුවෝ ටිකක් හිටියා. අමිල, රොෂාන්, සුපුන්(කෙල්ලෙක්) සහ තවත් ගොඩ දෙනෙක් හිටියා නම් මතක නැති. මේ හැම දෙනාගේම ගෙවල් තිබුනේ අපේ ගෙදරට ටිකක් එහායින්. ඒ කියන්නෙ මම තමයි මුලින්ම ගෙදර යන්නේ.
අපි එන අතරමග හරියේ මැටිගහපු ගෙයක් තියෙනවා. ඒ ගෙදර තියෙනවා ලොකු "පිණිජම්බු" ගහක්, ඒ උනාට ඒ ගෙදර හිටපු ආච්චි කවදාවත් ඒවා අපිට කඩාගන්න අවසර දුන්නේ නැහැ. අපිත් ඉතින් ඔය ගහේ තියෙන පිණිජම්බු දිහා බලබල කෙළ පෙරපෙර තමයි හැමදාම වගේ ඉස්කෝලේ ඇරිලා එන්නෙ. එක දවසක් අපි එද්දී දැක්ක අර ආච්චිලගේ ගෙදර දොරවල් වහල තියෙනවා. අපිට පුදුම සතුටක් දැනුනෙ. ආච්චි එනවද කියල බලාගන්න එක අපිට පවරලා රොෂාන් පිනිජම්බු ගහට නැග්ගා. මේ කියන ගෙදර තියෙන්නේ පොලිසිය කිට්ටු හරියේ. අක්කල එක්ක එන දවස් වල අපි මේ හරියේදී දඟවැඩ කරන්නෙ නැහැ. ඒත් දැන් අපි තනියම එන ලොකු ළමයිනේ. දැන් ඉතින් කවුරුත් නැහැ තහංචි දාන්න. රොෂාන් ගහේ ඉඳල ගෙඩි කඩකඩ පහලට දානවා. අපි ඒවා අහුලා අහුලා බෑග් වලට දා ගන්නවා. (බෑග් කියල කිව්වට ඒ ජාතියේ බෑග් දැන්කාලේ ළමයි ඉස්කෝලේ අරගෙන යන්නේ නැහැ. බොහොම තුනී කැන්වස් රෙද්දකින් මහල තිබුණු වැඩි සවි ශක්තියක් නැති බෑග් ජාතියක් ඒවා)


ඔන්න ඔය අතරේ අර ආච්චි ගේ ඇතුලේ ඉඳල දොරත් අරගෙන ආවෙ නැතෑ එළියට. ඒ මදිවට කොහේදෝ ගිහින් හිටපු ඒ ගෙදර අයිතිකාර සීයත් ඒ වෙලාවේම බයිසිකලයක් පැදගෙන ගෙදරටම ආවා. ආපු ගමන් ගහේ ඉඳල හිමීට බහින්න හදන රොෂාන්ව අල්ල ගත්තා. අපිත් බය වැඩි කමටමද මන්ද පැනල දුවන්න ගියේ නැහැ. අර දෙන්න එක්ක ප්‍රශ්න වැලක් අපි දිහාවට එල්ල කරනවා. අපේ නම් අහගෙන, අම්ම තාත්තගේ නම් එහෙමත් අහගෙන, ඊට පස්සෙ පන්ති වල විස්තරත් අහගෙන ඉස්කෝලෙට ඇවිත් මේ ගැන පැමිණිලි කරනවා කියල අපිව හොඳටම බය කලා. 

ඒ දවස් වල අපේ ඉස්කෝලේ හිටියේ "පෙරේරා" කියල ප්‍රින්සිපල් කෙනෙක්, එයා ගුරුවරයෙක් නෙමෙයි යකෙක්. හදිස්සියෙවත් ළමයෙක් පන්ති වෙලාවේ චු බරක් හැදිලා හරි චු කරන්න යනවා දැක්කොත් ගෑනු ළමයෙක්ද, පිරිමි ළමයෙක්ද කියල බලන්නේ නැතුව අතේ තියෙන වේවැලෙන් ගහනවා පුදුම අමානුෂික විදිහට. එක දවසක් මම බලාගෙන ඉඳිද්දී අපිට වඩා පන්ති තුනක් විතර උඩ පන්තියක හිටපු "බටකොළ ආච්චි" කියන ගෑනු ළමයට මේ විදිහට ගැහුවා. අන්තිමට ඒ ළමයට එතනම චු ගියා. ඒ දවස් වල අපේ ඉස්කෝලේ තිබ්බේ මේ වගේ කැලෑ නීතියක්. මේ කියන කාලේ රටේ තිබ්බේ භීෂණ යුගයක්. ඉස්කෝලේ ලොකු අයියල උනත් මේ මිනිහට විරුද්ධව කටක් අරින්න යන්නේ නැහැ.
ඒ දවස් වල මට ඒවායේ ලොකු තේරුමක් තිබ්බේ නැහැ. මම හිතන්නේ මිනිහ පොලිසිය හමුදාව එක්ක එකතු වෙලා කෑ ගහන අයව මෙල්ල කරන්න ඇති ඒ දවස් වල. සුදු අක්ක ගෙදර ඇවිත් කියනවා සමහර ගුරුවරු එයාලගේ පන්තිවල හිටපු කොල්ලන්ට තර්ජනය කරලා තියෙනවා කියල හමුදාවට අල්ලලා දෙනවා කියලා.

ඉතින් මේ වගේ මිනිහෙක් ගාවට අපිව අරගෙන යනවා කියල කිව්වහම කාටද බය හිතෙන්නේ නැත්තේ. මෙහෙම විස්තර අහද්දී අපි කාගේ හරි තාත්ත කෙනෙක්ව අඳුනන බවක් අර වයසක උන්දැගේ කතාවෙන් තේරුණා. කොහොමින් කොහොමහරි අපිව හොඳටම බයකරලා ඉවරවෙලා අර නාකි උන්දලා දෙන්න අපිට යන්න දුන්නා. නිකන් නෙමෙයි "උඹලට අදට සමාව දෙනවා, ආපහු එහෙම අහු උනොත් කිසි සමාවක් නැහැ" කියල තමයි අපිව නිදහස් කලේ. එදායින් පස්සෙ අපි කවදාවත් ඒ පිණිජම්බු ගහ දිහා ඇහැක්වත් ඇරලා බැලුවේ නැහැ.
ඒ ගෙදර කවදාවත් පොඩි ළමයි ඉන්නවා අපි දැකල නැහැ, අපිට කවදාවත් පිණි ජම්බු ටිකක් කඩා ගන්න දුන්නේ නැත්තේ මොකද කියල මට හිතාගන්න බැහැ. දැන් ඒ ගෙදරත් නැහැ, පිණි ජම්බු ගහත් නැහැ. අර නාකි උන්දලා දෙන්න අපේ පුංචි හිත් තලපු එක විතරක් මගේ මතකේ ඉතුරුවෙලා.

Tuesday, 6 December 2011

දණගාද්දී ඇවිදින්නට මට අත දුන්න...

මේ සින්දුව මම පුංචි කාලේ රේඩියෝ එකේ යද්දී හරිම ආසාවෙන් අහන් හිටිය විශේෂ සින්දුවක්.
ඊට පස්සේ කාලයාගේ අවෑමෙන් මට ඒ සින්දුව අමතක වෙලා ගිහින් තිබුනේ.
නොවැම්බර් 12 වෙනිදා "මකර සහෝදරයා" මගේ බ්ලොග් එකේ දාල ගිය කමෙන්ට් එකකින් ආපහු ඒ සින්දුව අහන්න වාසනාව පෑදුනා.


ඒකේ 11 වෙනි සින්දුව තමයි "දණගාද්දී ඇවිදින්නට මට අත දුන්න...." කියන ළමා ගීතය.
(තරහ නැතුව ඔය ලින්ක් එකේ පහල තියෙන සින්දු ලිස්ට් එකේ 11 වෙනි සින්දුව හොයා ගන්න)

ඉතුරු සින්දු ටිකත් හරිම අපුරුයි. මේ සින්දුව විතරක් හොයල මෙතන ලින්ක් එක දාන්න හෙව්වට මට හම්බ උනේ නැහැ. යු ටියුබ් එකේ තිබුණු සින්දුව පස්සේ කාලෙක කරපු එකක්, ඒක මේ තරම් හිතට වදින්නේ නැහැ.
සින්දුව අහන්න ගත්තු මාව පාවෙලා වගේ මගේ අතීතයට ඇදිල ගියා.... නොවැම්බර් 12 වෙනිදා ඉඳල අද වෙනකම් මම මේ සින්දුව සිය වතාවකට වැඩිය අහන්න ඇති. පෝස්ට් එක ලියන්න ගත්තෙත් ලියල ඉවර කලෙත් මේ සින්දුව නැවත නැවතත් අහන ගමන්,
------------------------------------------------------------------------------------------------

දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //

ලෙඩක් දුකක් හැදුනාමත් ලඟම දැවටෙන...
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන...
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා...
මම තරුණෙකි කවදා හෝ එය ඉටු වෙන දා...
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා...
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවර දා...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //
------------------------------------------------------------------------------------------------
දැනට අවුරුදු හතකට කලින් මුසල දවසක මේ සින්දුව මගේ ජීවිතයෙන් නොපෙනෙනා ඈතකට තල්ලු වෙලා ගියා.....
ඔබ වෙනුවෙන් මේ යුතුකම් එකක්වත් කරන්න මට පුළුවන් උනේ නැහැ. අපේ ජීවිතවලට එළියක්‌ දෙන්න ඔබ නොකළ දෙයක් නැහැ. ජිවිතේ අන්තම අන්ත පහළ අඩියේ හිටපු ඔබ අඟලෙන් අඟල උඩට නැග්ගේ අපි වෙනුවෙන් බව මම දන්නවා. 
අපිව දාල යන්න ටික දවසකට කලින් මගේ ඔලුව අතගාල "මට ලොකු පුතා ගැනනම් දැන් බයවෙන්න දෙයක් නැහැ" කියල කියපු හැටි මට අදවගේ මතකයි. ඔව්, ඒ වෙද්දී ඔබ මා වෙනුවෙන් කරන්න ඕනේ යුතුකම් කොටස බොහෝදුරට  ඉටුකරලා තිබුනේ. ඒත්......

ඔබ වෙනුවෙන් මට කරන්න පුළුවන් උනේ  අම්මා කෑගහන සද්දේ ඇහිලා දුවගෙන එද්දී පුටුව උඩ පණනැතුව වගේ වැටිලා හිටිය ඔබව  හරියටම විනාඩි පහකින් වගේ ඉස්පිරිතාලෙට එක්කරගෙන ගිය එකයි "දැන් වැඩක් නැහැ, පරක්කුයි" කියල ඔබව ඉස්පිරිතාලේ ඇතුළටවත් ගත්තේ නැති අළුත් දොස්තර මහත්තයා කියපු වචන ටික ඇහිච්ච වෙලාවේ ඉඳල ඉස්පිරිතාලේ බිම වාඩිවෙලා පිස්සෙක් වගේ අඬපු එකයි විතරයි....
වාහනේ ගෙනියන එක මල්ලිට බාරදීල කෘතීම ස්වසනය(ඒ වෙද්දී දැනගෙන හිටියෙ නැති උනත්) දෙන එක මම කලානම් කියන සිතුවිල්ල හැමදාම මගේ හිතට වදදෙනවා.

මට තාමත් හිතෙනවා ඔබට ප්‍රථමාධාරයක් දෙන්න පුළුවන් තරම් දැනුමක් එදා මට තිබුනනම් අදත් ඔබ අපි එක්ක ඉන්නවා කියලා.  එක පාරක් වෙච්ච වැරැද්ද ආපහු කවදාවත් වෙන්න දෙන්න බැරි නිසා පස්සේ කාලෙක ජීවිතාරක්ෂක ක්‍රම (Life Saving Course) සම්බන්ධවත් මම ඉගෙන ගත්තා.
ඒ මොනවා කලත් ඔබ ආපහු එන්නේ නැතිබවත්, මගෙන් ඔබට කෙරෙන්න ඕනේ යුතුකම් කොටස ඉටු කරන්න අවස්ථාවක්  කවදාවත් ලැබෙන්නේ නැති බවත් මම දන්නවා. හැමදාම වගේ ඔබව මතක වෙද්දී වැටෙන කඳුළු බින්දු වලට ඒ ණය ගෙවන්න බැරි බවත් මම දන්නවා.
ඔබට ඕනෙම වෙලාවේ අතදෙන්න බැරිවෙච්ච ලොකු පුතාට සමාවෙන්න තාත්තේ....

Sunday, 4 December 2011

අඩුකුලේ මිනිස්සු....

මම ඉස්සෙල්ල පෝස්ට් එකේ කියපු විදිහට මේ පෝස්ට් එකෙන් කතා කරන්න හිතාගෙන ඉන්නේ අපේ ගමේ සහ ඒ අවට ගම්වල හිටපු අඩුකුලේ කියල හඳුන්වපු මිනිස්සු ගැන.
මඩුපොල කිට්ටුව තියෙන ගම්වලනම් මේ වගේ අඩුකුල වලට අයිති මිනිස්සු ගොඩදෙනෙක් පදිංචි වෙලා හිටිය කියල මම දන්නවා. ඒත් ඒ මිනිස්සු සම්බන්ධව මට ලොකු අත්දැකීමක් නැහැ. ඒ මිනිස්සු ගොඩ දෙනෙක් "බඩහැල" සහ "බෙරව" කුලයට අයිති අය. රජකාලයේ පටන් එයාලට අයිති රස්සාව වෙච්ච කුඹල් කර්මාන්තය සහ නැටුම්ශිල්ප බෙර ශිල්ප වල අදටත් යම්ප්‍රමාණයක එයාල යෙදෙනවා කියන එක විතරයි මම දන්නේ.

අපිට ඒ පැතිවල යන්න එපා කියල තමයි ඉස්සර අපේ අම්මල තාත්තල කිව්වේ. ඇත්තටම ඒ මිනිස්සු අතරේ ගොඩක් දරුණුකම් තිබුනා මේ කියන කාලේ වෙනකොට. කොහොම හරි මමත් අර දේවාලයෙන් එහාට ගිහින් තියෙන්නේ එකම එක වතාවක් විතරයි.
නමුත් මම ඉස්සෙල්ල පෝස්ට් එකේදිත් මතක් කරපු අල්ලිස් මාමා, රෙදි නැන්දා, කම්මලේ ගෙදර සුටන් සහ ඒ ගෙදර ළමයි ගැන තමයි මේ පෝස්ට් එකේ වැඩිදුර කතා කරන්න හදන්නේ.
මේ මිනිස්සු ඒ දවස් වල සමාජයේ තිබුණු තත්ත්වය නිසා යම්ප්‍රමාණයක පීඩනයකට ලක්වෙලා තමයි ජීවත් උනේ.


මෙතනින් මම කතා කරන "අල්ලිස් මාමා" සහ "රෙදි නැන්දා" යන දෙන්න අයිති වෙන්නේ "රජක"(රදා හෝ රදව යනුවෙන්ද අප ප්‍රදේශයේ වහරයි) කුලයේ...

ඉස්සෙල්ලත් කිව්වා වගේම අල්ලිස් මාම ගැන මට තියෙන ලොකුම මතකේ තමයි එයා මඩුපොලේ වැඩකටයුතු වලට බොහොම මහන්සියෙන් උරදීල වැඩ කරන එක. පන්දම් ඔතන එකේ පටන්, පාවඩ සැපයීමෙන්, දුම්මලකබල අල්ලන එකෙන් සහ තවත් නොයෙකුත් ආවතේව කරන එකෙන් එයාගේ සේවය දේවාලෙට ලබා දුන්නා. ඒ වගේම ගමේ මළගෙයක් උනොත් නැතුවම බැරි චරිතයක් තමයි මේ මනුස්සයා. නෑදෑයින්ට පණිවිඩේ යවන්න කලින් ගමේ රෙදි මාම වෙච්ච අල්ලිස් මාමට පණිවිඩේ යවනවා.  කොහේ හරි තොවිල් ගෙයක් තිබුනොත් එතනට සේවය සපයන එකත් අල්ලිස් මාමගේ අනිවාර්ය සිරිතක්.


හදිස්සියේ අල්ලිස් මාම පාරකදී තොටකදී දැක්කත් බොහෝම බයපක්ෂපාතව පාරේ අයින් වෙලා අහිංසක විදිහට හිනා වෙන මනුස්සයෙක් තමයි අල්ලිස් මාමා. ඒකට ලොකු පොඩි කියල කිසිම භේදයක් තිබුනේ නැහැ. ඔලුවේ තියෙන රෙදි පොට්ටනිය අත් දෙකෙන් අල්ලාගෙන පාරේ අයිනේ තියෙන තණකොළ ගොන්නටම ගිහින් අහිංසක විදිහට හිනාවෙන මේ මනුස්සයාගේ අහිංසකකම අදටත් මට මැවිලා පේනවා. අල්ලිස් මාමට ටිකක් ලොකුවට වවපු උඩු රැවුලක් තිබුනා. මම දන්නා කියන කාලේ ඉඳලම ඒ රැවුල සුදු පාටයි. කවදාවත් මේ මනුස්සය උඩුකයට කමිසයක් ඇන්දේ නැහැ. කොහේ ගියත් ඇන්දේ මේස්බැනියම විතරයි.
අල්ලිස් මාමගේ හාමිනේ ගැන කිසිම දෙයක් මම දන්නේ නැහැ. බොහෝ දුරට මම ඉපදෙන්නත් කලින් ඒ මනුස්සය මියපරලොව ගිහින් වෙන්න ඇති. ගමේ සොහොනට බොහොම කිට්ටුවෙන් තිබ්බ පුංචි ගෙදරක හිටපු අල්ලිස් මාමාගේ ගෙදර හිටියේ එයාගේ දෝනියන්දයි, ඒ දුවගේ පුතෙක් වෙන ළමයෙකුයි. මේ මිනිස්සු කිසි කෙනෙක් ගමේ අය එක්ක වැඩි බජනෙට යන ගතියක් ඒ දවස්වල තිබුනේ නැහැ.


ගමේ රෙදි මාම වෙච්ච අල්ලිස් මාම අපේ ගමේ හැම ගෙදරකටම සේවය සැපයුවේ නැහැ. එයා යන ගෙවල් ටිකක් එයාට වෙනම වෙන්වෙලා තිබුනේ මේ විදිහටම සේවය සපයන තවත් රෙදි නැන්දා කෙනෙක් අපේ ගමට හිටපු නිසා. ඒ උනත් එයා අපේ ගමේ ඕනෙම කෙනෙකුගේ මරණෙකට, මගුලකට ඕනේ කරන උදව්පදව් ටිකනම් එයාගේ සේවාදායකයෙක්ද නැද්ද කියල බලන්නේ නැතුව කිසිම අඩුපාඩුවක් නැතුව කළා.


මම ඉස්සර ඉඳලම ගමේ හිටපු මේ වගේ විශේෂ මිනිස්සු ගැන උනන්දුයි. ඒ නිසා එයාල ගැන විස්තර හොයල බලන ගතියක් මගේ තිබුනා. ඒ විතරක් නෙමෙයි ගමේ ගියපු ගමන් ගමේ ඕපාදුප ටික ඔක්කොම අම්මගෙන් අහල දැනගන්න පුරුද්දක් මට තියෙනවා. මේ පුරුද්ද නිසා දැනට අවුරුදු තුන හතරකට කලින් මම ගෙදර ගියපු වෙලාවක අල්ලිස් මාම ගැන අම්මගෙන් අහල බැලුවා. ඒ මනුස්සය මැරිලා දැන් ටික දවසක් වෙනවා කියල අම්ම මගෙත් එක්ක කිව්වා.
ගම්වල මිනිස්සුන්ගේ හරිහැටි සැලකිල්ලක් ලබන්නේ නැතුව නිහඬ සේවයක් කරපු ඒ වගේ මිනිස්සු කී දෙන්නම් මේ විදිහට හොර රහසේම එයාල කරපු සේවයට කිසි ඇගයීමක් ලැබෙන්නේ නැතුවම මැරිලා යන්න ඇත්ද.

අපේ ගෙදරට හැමදාම ආවේ ගියේ මම මේ විස්තර කරන්න යන රෙදි නැන්දා තමයි. මට මතකයි අපේ ඉස්කෝලේ ඇඳුම වල යවන්න බැරි අඹ කහට, කජු කිරි පැල්ලම්, මජං, එහෙමත් නැත්නම් මලකඩ පැල්ලම් වගේ තිබුණ ඇඳුම් ඔක්කොම රෙදි නැන්දට දානවා හෝදන්න. රෙදි නැන්දට දාපු කමිස කලිසම් වල එක එක ගෙදරට අදාලව එයා මොකක්දෝ මන්ද කොච්චර හෙදුවත් යන්නේ නැති තීන්ත වර්ගයකින් පොඩි පොඩි සලකුණු වගයක් දාල තිබුනා. ඒ සලකුණු වලින් තමයි එයා අදාළ රෙදි මාරු නොවී අයිතිකාරයින්ටම බාර දෙන්නේ.
රෙදි නැන්දට දාපු රෙදි බොහොම ඉක්මනට දිරල යන බව අපේ අම්ම හැමදාම වගේ කියනවා.  මම හිතන්නේ එයා කහට පැල්ලම් යවන්න "පරමාණු" කියන නමින් කඩවල විකුනන්න තියෙන ක්ලෝරීන් පාවිච්චි කරනවා වෙන්න ඕනේ.

ඒත් සතියකට හරි දෙකකට හරි වතාවක් අපේ ගෙදරට ගොඩවෙන රෙදි නැන්දව අම්ම කවදාවත් හිස්අතින් ආපහු යැව්වේ නැහැ.  එයාට හෝදන්න දෙන්න තරම් කිලිටි වෙච්ච ඇඳුම් නැති දවසක උනත් අම්ම මොනවා හරි ඇඳුමක් දෙකක් රෙදි නැන්දට දෙනවා හෝදන්න අරගෙන යන්න. ගෙදර බත් තියෙනවනම් බත් එහෙම කන්න දීල බත් නැති වෙලාව්කනම් තේ එකක් එහෙමත් බොන්න දීල හෝදන්න බාර දෙන රෙදි වලට සල්ලිත් දීල තමයි එයාව යවන්නේ.
අම්ම එහෙම කරන්න හේතුවත් අපි එක්ක කියල තියෙනවා, "ඒ මිනිස්සු ජීවත් වෙන්නේ මේකෙන්, හැමදාම එන ගෙවල් වලින් මොනවා හරි දෙයක් හෝදන්න දුන්නේ නැත්නම් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද" කියලා.
මේ රෙදි නැන්ද අපේ ගෙදර ආවහම අම්මත් එක්ක ටික වෙලාවක් කතා කරකර ඉඳල යන සිරිතක් තිබුනා. එහෙම කතා කරද්දී එයාගේ ජිවිතේ ගැන ගොඩක් දේවල් අම්ම එක්ක කියනවා.


ඒ වගේම තමයි ඒ මිනිස්සු වැඩක් නොකර කුලියක් ගන්නෙත් නැහැ. රෙදි නැන්දගේ තවත් ප්‍රධාන වගකීමක් තමයි ගමේ ගෑනු ළමයෙක් වැඩිවියට පත් උනාට පස්සෙ ඒ ගෙවල් වලට ගිහින් එයාගේ යුතුකම් කොටස ඉටුකරන එක. පස්සෙ පස්සෙ රෙදි නැන්දගේ ළමයි ලොකුවෙලා රස්සාවල් කරද්දී එයාල කැමතිවෙලා නැහැ එයාලගේ අම්ම මේ රස්සාව කරනවට. ඒත් ඒ මනුස්සයා ඒ රස්සාව අත්අරින්න කිසිම කැමැත්තක් තිබුනේ නැහැ. අපේ ගෙදර ආවහම අම්ම එක්ක කියනවා මට ඇහිලා තියෙනවා "දුලා කැමති නැහැ මම මේ රස්සාව කරනවට, මම උන්ට කන්න බොන්න දීලා ඉගැන්නුවේ මේ රස්සාව කරලා, මම මැරෙනකම්ම මේක කරනවා" කියපු හැටි මට අදටත් මතකයි. උන්දෑ කිව්ව වගේම මැරෙනකම්ම ඒ රස්සාව කලා.
මම ගෙදර ගියපු වෙලාවක රෙදි නැන්දගේ මරණෙ ගැන හෝඩුවාවත් මගේ කණේ තිබ්බේ අපේ අම්මා.



ඊට පස්සෙ කම්මලේ ගෙදර.
මේ ගෙදර හිටියේ සුටන් කියල මනුස්සයෙකුයි, එයාගේ පවුලයි, අපේ වයසේ වගේ කොල්ලෙ දෙන්නෙකුයි (ජයන්ත, නිලන්ත), තව පොඩි කොල්ලෙක්(සුජන්ත) සහ පොඩි කෙල්ලෙක්(සුජානි).  මෙතනින් සුටන් මාම අයිති උනේ රජක කුලයට නෙමෙයි, එයා "නවන්දන්න" කුළයට අයත් කෙනෙක් වෙන්න ඕනේ. පරණ කුළක්‍රමයට අනුවනම් කර්මාන්තකරුවන් සියල්ලම වගේ අයිති වෙන්නේ මේ කුළයට.


කම්මලේ ගෙදර කියල නම වැටෙන්න හේතුව එයාල එයාල පාරම්පරික කම්මල් කරුවන් වීමම වෙන්න ඇති. මම ගොඩක් පුංචි කාලේ සුටන් මාම කම්මලක් කළා කියල අපේ අම්ම කියල තියෙනවා. නමුත් මම දන්නා කියන කාලෙක එයා කම්මල් වැඩ කලේ නැහැ.
කම්මල කියන්නේ මම හරිම ආස තැනක්, වරු ගණන් කම්මල් වල යකඩ තලන හැටි මම බලාගෙන ඉඳල තියෙනවා.
කම්මලේ ගෙදර ළමයිනුත් කවදාවත් ගමේ කිසිම ළමයෙක් එක්ක රණ්ඩු සරුවල් වෙන්නේ නැහැ. එයාලගේ පාඩුවේ එයාල ඉන්නවා. වැඩිය බජනයක් නැහැ. ඒ වගේම තමයි ඒ කාලේ මේ ළමයි අපිටත් කවදාවත් නම කියල කතා කරල නැහැ. සුටන් කියන්නෙ ඒ කාලේ ඉඳල අදටත් කිසිම ස්ථීර රස්සාවක් කරපු මනුස්සයෙක් නෙමෙයි. කුලී වැඩ, එහෙමත් නැත්නම් වීමෝලේ ගෙදර වී කොටන්න උදව් කරන එක, එහෙමත් නැත්නම් ඒ ගෙදර මොනවා හරි වැඩක් කරන එක තමයි එයා කලේ. අදටත් එහෙමයි. ගොඩ වෙලාවට පාරෙම තමයි ජීවිතේ. අඩුකුලේක කියල හංවඩු ගැහිලා තිබුනට මේ මනුස්සයා අනිත් මිනිස්සු වගේ පහත් ගණයට අයිති රස්සාවල් මුකුත් කලේ නැහැ.


ඒ වගේම තමයි ඒ මනුස්සයගේ මුනේ හිනා පොදක් තියෙනවා මම දැකල තියෙන්නේ බොහොමත් කලාතුරකින් දවසක තමයි. මුනේ තියෙන්නේ මහා අමුතු ගුප්ත පෙනුමක්. සමහර දවස් වලට කොහෙන් හරි හොයා ගත්තු දේකින් අනුමත වෙලා ඉන්න බවක් පේන්න තිබුනත් කවදාවත් කාටවත් වචනයකින්වත් හිරිහැරයක් කරපු මනුස්සයෙක් නෙමෙයි. ඒත් ඒ මුණේ සමහර දාට පුදුමවිදිහේ කුරිරු බැල්මක් තියෙනවා මම දැකල තියෙනවා. ඒ මුණ හරියට රතු ඉන්දියන් කාරයෙක්ගේ වගේ. එයාගේ බිරින්දෑ ඉස්සර වතු වැඩ වලට ගියා.

මේ හැමදෙනාගෙම තිබ්බ පොදු ලක්ෂණයක් තමයි එයාල ගමේ ඕනෙම වැඩිහිටි ගෑනු කෙනෙකුට "හාමිනේ" කියල කතා කරන එක. පිරිමියෙකුටනම් "බාසුන්නැහේ, අප්පුහාමි, රාලහාමි, මහත්තයා, මුදලාලි" වගේ මොකක් හරි එයාගේ තරාතිරම අනුව කොටසක් නම අගට ඈඳලා තමයි කතාකරන්නේ. කවදාවත් නෑදෑකම් කියල කතා කරන්නේ නැහැ.
ගෙදරදී අපට ලැබුණු අභාෂයක් මත ඒ අයව හඳුන්වද්දී ඒ හැමෝටම "මාමා" හෝ "නැන්දා" කියා අමතන්නට පුරුදුවෙලා හිටියත් ගමේ බොහෝදෙනෙක් ඒ අයට වැඩිහිටිබව නොසලකා කෙලින්ම නම කියලා තමයි කතා කරන්නේ.
(ගම්වල බොහෝවිට එකිනෙකාට කතා කරන්නේ බොහෝවිට නෑදෑකමකින් අමතමිණි)
කවදාවත් මේ මිනිස්සු ගෙදරකට ඉස්සරහ පැත්තෙන් එන්නෙ නැහැ. උස පුටුවල වාඩි වෙන්නේ නැහැ. කවුරුවත් දෙන දෙයක් කෙලින්ම අතින් ගන්නෙ නැහැ. මේසයක් උඩින් හරි තියන්න කියල තමයි දෙන දෙයක් උනත් ගත්තෙ.

අපේ ගෙදරත් ඒ අයට වතුර දෙන්න, තේ දෙන්න, කෑම දෙන්න වෙනම භාජන අපේ අම්මත් වෙන් කරලා තියාගෙන හිටියා. ඒ වගේම මේ ගෙවල් වලට යන්න එපා එයාල දෙන කිසි දෙයක් කන්න එපා කියන උපදේසය අපි පොඩි කාලේ අපිට ලැබිල තියෙනවා. මේ මිනිස්සු ගාව නොයෙකුත් වශී ගුරුකම් වර්ග තියෙනවා කියන එක ගම්වල ප්‍රසිද්ධ කාරණයක් නිසා තමයි අම්මල එහෙම කියන්න ඇත්තේ.


ඒත් අලුත් පරම්පරාවේ කොල්ලෝ කෙල්ලෝ රස්සාවල් එහෙම කරගෙන අනිත් මිනිස්සු වගේම ටිකක් දියුණු වෙලා ආවට පස්සෙ මේ කුලභේදය අපේ ගමෙන්නම් දැන් නැත්තටම නැතිවෙලා ගිහින්. දැන් ගමේ කොල්ලෝ කුලමළ මුකුත් නැතුව කාගෙන, බීගෙන එකට ඉන්නවා. අපේ ගෙදරත් අර වෙනම පිඟන් කෝප්ප කතා මුකුත් නැහැ දැන්, මල්ලිගේ යාලුවෝ වෙච්ච අර ළමයි දැන් අපේ ගෙදර ඇවිත් ඉස්සරහ පුටුසෙටියේ වාඩිවෙලා ඉඳල අපේ ගෙදරින් කාල බීලත් යනවා.


ඒ මදිවට මගේ පුංචි අම්මගේ පුතා අර කම්මලේ ගෙදරට නෑදෑ වෙන කෙල්ලෙක්ව කසාද බැඳ ගත්තත් එක්ක. මුලින් මුලින් පුංචි අම්ම ටිකක් බරබර ගාල තිබුනා. ඒත් පස්සෙ කෙල්ලව ගෙදරට එක්කගෙන එනවට කැමැත්ත දීලා. අන්තිමට අර කෙල්ලගේ ගතිගුණ හොඳයි කියල දැක්කට පස්සෙ අර අමනාපකම් ඉවරෙටම ඉවර වුනා.

Thursday, 1 December 2011

මඩුපොලේ කතා

අපේ පැත්තේ බොහෝම පැරණි ප්‍රසිද්ධ සමන් දේවාලයක් තියෙනවා. ඒකෙ වාර්ෂිකව තියෙන උත්සවයට තමයි අපි "මඩු නටනවා" කියල කියන්නෙ.  මේ මඩුපොල කියන්නෙ බොහෝම අපුරු තැනක්. මේක හැමදාම තියන්නේ දෙසැම්බර් මාසේ විසිගණන් වල වගේ. "මඩු" කියන නම කොහොම හැදුනද කියලනම් මට හරි අදහසක් නැහැ. සමහර විට මේකේ කෙරෙන හැම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ තාවකාලික මඩු වල නිසාද දන්නේ නැහැ මේ නම ලැබුනෙ. (ඒ මගේ පෞද්ගලික අදහසක් පමණයි) මේ දේවාලේ කොච්චර පැරණි සහ ප්‍රසිද්ධ එකක් උනත් මේකට මිනිස්සු යන්නෙ අවුරුද්දේ මේ කියන දවස් දෙක තුනේ විතරයි. මේ දවස් කිට්ටු කරලා ඒ හරියේ ඉන්න ගමේ මිනිස්සු එකතු වෙලා දේවාලෙට යන පාර එළි පෙහෙළි කරලා, දේවාල වත්තත් උදළු ගාල දානවා. මේ උත්සව දවස් වලට මිනිස්සු ගැවසුනාට අනිත් දවස්වල මේ දේවාලේ කපුවෙක් ඉන්නවද කියන එකත් මටනම් සැකයි.


දෙවොල් මඩුවේ මහ රෑ පටන් ගන්න නැටුම් පහුවෙනිදා එළිවෙනකම්ම තියෙනවා. එක එක විදිහට වෙස් බැඳලා හරියට තොවිලයක වගේ සන්නි නැටුම් නටන එක මෙතනදිත් සිද්ධ වුනා. දෙවොල් නැටීමේ ප්‍රධාන අරමුණ වුනේ පළාතට සෞභාග්‍යය උදා කරලීම. රෑ එළිවෙනකං දෙවොල් නැට්ටුවෝ නටල ඊටත් පස්සෙ පාන්දර ජාමෙට අලියෙක් පිටේ "දේව පිළිමය" වඩම්මවල බොහෝම උජාරුවට ගත්තු උත්සවයක් තමයි මේක.
උදේ පාන්දර පහමාර වගේ වෙද්දී මේ කියන නැටුම් අවසන් වෙනවා. ඊට පස්සෙ ගමේ හැමෝම වගේ දේවාලෙට පඬුරු දාල ඉවර වෙලා පිරිත් නුල් එහෙමත් බඳිනවා. ඒ වගේම මෙතන කවි මඩුවකුත් තියෙනවා. කවුරු හරි ආධාරයක් කලාම එකට සෙත් පතල කවිත් කියනවා. පඬුරු දැම්මට පස්සෙ තමයි එතන තියෙන පොඩි පොඩි කඩවලින් බඩු ගන්න මිනිස්සු යන්නේ. පඬුරු දාන්න කලින් කවුරුවත් බඩු මුට්ටු ගන්නේ නැහැ. ඒත් තරුණ උදවියනම් මේ සිරිත් විරිත් වලට පිටින් වැඩ කරන වෙලාවල් නැත්තෙත් නැහැ. එදා උදේ ඉඳල හවස් වෙනකම්ම මේ කියපු පොඩි පොඩි මඩු වල එක එක ජාතියේ සෙල්ලම් බඩු, හට්ටි මුට්ටි සහ නොයෙකුත් තොරොම්බල් බඩු සහ රසකැවිලි විකුණන එක තමයි කෙරෙන්නේ.

අපි පුංචි සන්ධියේ මේ දෙවොල් මඩු බලන්න යන්න කලින් දවසේ අපේ ගෙදර ලොකු වතාවත් ටිකක් සිද්ධ වෙනවා. කහ කොල, කොහොඹ කොල වගේ ඖෂදීය කොල වර්ග දාල තම්බපු වතුර වලින් අම්ම අපිව නාවනවා. ඊටත් පස්සෙ පඬුරු දාන්න ගන්න මාරු කාසි ටිකටත් මේ විදිහටම කහවතුර සාත්තුව ලැබෙනවා. ඔය විදිහට පේ වෙලා තමයි අපි දේවාලේ යන්න ලැස්ති උනේ. ඊට පස්සෙ පාන්දර ජාමේ නැගිටලා අපි ඔක්කොම හුළු අතු එළියෙන් හරි ඉටි පන්දමක් පොල් කට්ටකට තියාගෙන හරි පයින්ම ගමන පටන් ගන්නවා මඩු බලන්න යන්න. සමහර වෙලාවට ගස්ලබු බටේකට භූමිතෙල් පුරවලා ඒකට රෙදි වලින් තිරයක් දාල පත්තු කරගෙන යන දවසුත් තිබුනා. එතනට අපේ ගෙදර ඉඳල දුර කිලෝමීටර පහක් වගේ තියෙනවා. ලොකු පොඩි හැමෝම සුදු පාට හරි ඒ වගේ ළා පාටක ඇඳුමක් ඇඳලා තමයි දේවාලේ යන්නෙ. පුංචි සන්ධියේ අපි පුදුම ආසාවකින් ගියපු ගමනක් තමයි මේ.
එදාට තමයි අපිට මොකක්හරි සෙල්ලම් බඩුවක් ගන්න ලැබෙන එකම අවස්ථාව. අවුරුද්දකට එක පාරක් ලැබෙන මේ වගේ අවස්ථාවකට ආස නොවී තියේවිද ඕනෙම පොඩි එකෙක්.

ඔතනින් මට ලැබිල තිබුන සෙල්ලම් බඩු අතරේ අතපය මුකුත් හොල්ලන්න බැරි විදිහට ඇඟටම ඇලිච්ච තද නිල් පාට බෝනික්කා, හුවෑ නළා, බිම උළල උලලා අත ඇරියම ගොඩක් දුර බිම දිගේ යන පුංචි අහස් යන්තරේ, පනින අස්සයා, පද්දනකොට තටු ගහන සමනල කරත්තේ. මේ වගේ සෙල්ලම් බඩු ගොඩාක් තිබුනා. අර කියපු බෝනික්ක මගේ ගාව තිබුනේ මම ඉස්කෝලේ යන්නත් ගොඩාක් කලින්, චුටි අක්කට බෝනික්කෙක් ඕනේ කිව්වහම මමත් එකක් ඉල්ලලා තිබුනා. ඉතින් ඔන්න ඔහොමයි මමත් පොඩි කාලේ බෝනික්කෝ නැලෙව්වේ. මමයි චුටි අක්කයි එකතු වෙලා ඒ බෝනික්කෝ දෙන්නට පරණ පොත් වලින් කඩා ගත්තු කොල කෑලි වලින් ඇඳුම් කපල අලවනවා. දැන් කාලේ පොඩි එකෙක්නම් ඒ වගේ සෙල්ලම් බඩුවක් දිහා හැරිලවත් බලන එකක්වත් නැහැ. ඒත් අපිට ඒවා කොච්චර වටිනා වස්තූන් වෙලා තිබුනද.
මගේ ගාව හිටපු කෙනාට් වැඩිය මෙයා ගොඩක් හැඩයි, ඒත් මට ඒ ජාතියේම රුපයක් හොයාගන්න බැරි උනා.
ඔය හුවෑ නළාව ගැනත් අපුරු කතන්දරයක්  කියන්න තියෙනවා. ඒක හදල තිබුනේ හීනි බටේක (අර වෙසක් කූඩු හදන්න ගන්න ජාතියම තමා) අගිස්සට බැලුමක් හයි කරලා. බැලුම හයි කරපු පැත්තේම නලාවක් විදිහට හදල තියෙනවා, ඒත් ඒක පිටට පේන්නෙ නැහැ. අනිත් කෙළවරට කට තියල පිඹල ඒ කෙලවර අපි කටින් අහක් කරනවා. ඊට පස්සෙ අර බැලුම ඇතුලේ තියෙන හුළං ටික බටේ හරහා එළියට යන්නෙ අර නලාවෙන් ලොකු සද්දෙකුත් පිට කරගෙන. ඒ සද්දේ හරියටම "හුවෑ" ගාන සද්දයක්. ඒ නිසා තමයි අපි ඕවට "හුවෑ නළා" කියල කිව්වේ. එදා ඉඳල දවස් කීපයක් යනකම්ම අපේ ගමේ හැමතැනම වගේ මේ හුවෑ නලාවල සද්දේ ඇහෙනවා.

අපේ අම්ම මඩුපොලේ යන්නෙ අම්මට ගන්න ඕනෙකරන හට්ටි, මුට්ටි, වලන්, ඇතිලි එහෙම ගන්න. අම්ම ගන්න මේ මැටි භාජන කරගහගෙන ගෙදර ගේන එක අපි ඔක්කොම අතින් තමයි සිද්ධ උනේ. ඒ වගේම හැමදාම අමතක නොකර අපේ ගෙදරට ගේන තව විශේෂ දෙයක් තමයි "ඈපා" ලිත. මේ විදිහට ගෙනාපු ලිත් ඔක්කොම පොඩි ලී පටියක අලවලා බිත්තියේ එල්ලනවා. 1971 ඉඳල එකම ලී පටියේ අලවපු ලිත් ඔක්කොම තාමත් අපේ ගෙදර තියෙනවා. අපි මේ ලිත ගන්නේ අවුරුදු නැකත් ටික බලාගන්න.

මඩු උත්සවය තියන්න මාසෙකට දෙකකට කලින් වගේ සංවිධායක මණ්ඩලය ගෙයින් ගෙට ගිහින් ආධාර එකතු කරනවා. ඊටත් පස්සෙ අපේ ගමේ රෙදි මාමා වෙච්ච අල්ලිස් මාමා ඇවිත් ගෙවල් වලින් දේවාලෙට එකතු කරපු හාල් අරගෙන යනවා. ඒ ගමන්ම දේවාලෙට බාර කරපු පොල් ගස් එහෙමත් තියෙනවනම් ඒවයෙත් පොල් අරගෙන යනවලු. ඒවා ගන්නේ කාගේ පරිභෝජනටද කියලනම් මට අදහසක් නැහැ. අපේ ගෙදරත් ඉස්සර ඉඳල තිබ්බ සිරිතක් තමයි හැමදාම බත් උයන්න කලින් හාල්වල තියෙන ගල්, වී අහුලල ඉවර උනාට පස්සෙ හාල් මිටක් දානවා මුට්ටියකට. එහෙම එකතුවෙන හාල් තමයි අර විදිහට අවුරුද්දකට වතාවක් එන අල්ලිස් මාමට දෙන්නේ. ඒ එක්කම සල්ලි කීයක්‌ හරිත් එයාට දෙනවා. එයා දේවාලේ කටයුතු වෙනුවෙන් සහ ගමට කරන සේවය නිසා තමයි හැම ගෙදරකින්ම මේ සැළකුම ලබන්නේ.


අල්ලිස් මාමා ගැන කියනවනම්, ඒ මනුස්සය "රදා කුලේ" කෙනෙක්, ඒ කියන්නෙ ඒ කාලේ කියන විදිහටනම් "අඩු කුලේ". ඒ මනුස්සයාගේ නම අල්විස්. මම පුංචි කාලේ අපේ ගම්වලත් කුලබේදය තරමක් දුරට තිබුනා. මට මතකයි අල්ලිස් මාමා, රෙදි නැන්දා, කම්මලේ ගෙදර සුටන් සහ ඒ ළමයි, එයාල ඔක්කොම අඩුකුලේ කියල පොඩි කොන්කිරීමක් ගමේ තිබ්බ වගක්.
(ඒ අය ගැන වෙනමම පෝස්ට් එකකින් කතා කරන්න මම හිතාගෙන ඉන්නවා)
අපි පුංචි කාලේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගියපු මඩුපොලේ ගමන පස්සෙ පස්සෙ අපි තරුණ වයසට ආවට පස්සෙ ගියේ ඒ වගේ ශ්‍රද්ධාවකින්නම් නෙමෙයි. අම්මල එක්ක නැතුව කොල්ලෝ කට්ටියත් එක්ක එහෙම යන්නෙ රස්තියාදු ගහන්න මිසක් වෙනදේකට නෙමෙයි. අන්තිමට රස්සාව කරන්න ගත්තට පස්සෙ එහෙමහරි මඩුපොලේ ගිය ගමන නිකම්ම වගේ මගඇරිල ගියා. හදිස්සියෙම මතකෙට ආපු සුන්දර මතකයක් නිසා පෝස්ට් එක ලියන්න ගත්තට පස්සෙ ආපහු මඩුපොලේ යන්නත් මට ලොකු ආසාවක් ඇති උනා.
(2012 බැරිවෙන එකක් නැහැ)