Tuesday, 27 March 2012

වෙනකෙකුට දුන් මුල්ම පඩිපත...

මගේ බ්ලොග් එකේ ආගිය කතා පරණ විස්තර ලිව්වට මගේ ගැන වැඩිපුර ලියවිලා නැහැ. නමුත් කලින් පෝස්ට් එකක මම දැනට කරන රස්සාව මොකක්ද මම එතන කරන්නේ මොකක්ද කියන එක ගැන පොඩි පැහැදිළි කිරීමක් කලා. එතැනදී මම කිව්වා මම මේ අවුරුද්දේ සිංහල අවුරුදු කන්න ලංකාවට එනවා කියලා. ඒ ඇවිත් දිගටම ලංකාවේ නතරවෙනවා කියලත් මම කිව්වා. ඒත් මගේ සිහිනය දවස් 20 කින් විතර පස්සට දාන්න සිද්ධ උනා පොඩි නිවාඩු ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ මම ලංකාවට එන්නේ සිංහල අවුරුද්දෙන් පස්සේ.


ඒ පෝස්ට් එකේ අපේ යාළුවො අහපු සමහර ප්‍රශ්න වලට මම උත්තර දීල තිබුනා මම ලංකාවට ඇවිත් පොඩි ව්‍යාපාර කටයුත්තක් රැකියාවකට සමගාමිව කරගෙන යන්න හිතාගෙන ඉන්නවා කියලා. ඒත් දැනට මාස කීපෙකට කලින් මට එක පාරටම හිතුනා මම මෙහේ ඉන්න ගමන්ම ඒ වැඩේ පටන් ගත්තොත් මොකද කියලා.  මට මතක විදිහට ඒ නොවැම්බර් මාසේ වගේ හරියක වෙන්න ඕනේ. ඔන්න ඉතින් මගේ අදහස හාමිනේට කිව්වා. පස්සේ  එයා මට කිව්වා එහෙනම් අපි පොඩ්ඩක් කේන්දර එහෙම බලලා මේ කාලේ ඒ වැඩේට හොඳද කියලා බලමුද කියල ඇහුවා, එයාලගේ ගෙදර අය දන්න හොඳ තැනකුත් තියෙනවා කිව්වා. ඉතින් ඔන්න එක දවසක මෙයා නිවාඩුත් දාගෙන ගෙදර ගිහින් පාන්දර 05:00 ට විතර අදාළ තැනට ගියාලු. යන්න කලින් එයාල එනවා කියල අදාළ පුද්ගලයට දැනුම් දීලලු ගියේ.


එතනට ගිහින් බැලුවට පස්සේ ඒ මනුස්සයා නැතිලු. එදා උදෙන්ම මට මේල් එකක් එනවා මේ විස්තරේ කියලා. ආපහු දවසක එහේ යන්න වෙනවා කියලා තමයි හාමිනේ කිව්වේ.  ඔන්න ඉතින් මගේ යක්ෂයා පොඩ්ඩක් ඔළුවට ගහලා ඊට පස්සේ මම කිව්වා කාගෙන්වත් වෙලාවල් බලන්න යන්න දෙයක් නැහැ, මම කියන විදිහට වැඩ ටික කරන්න කියලා. ඔන්න දැන් ඉතින් වෙලාවල් බැලීම් මුකුත් නැතුව අපේ වැඩේ මුල් පියවරවල් සඳහා ටික ටික සුදානම් උනා. 
මට තියෙන්නේ ඕනේ කරන සල්ලි ටික සහ උපදෙස් දෙන එක තමයි. ඔක්කොම වැඩ ටික කලේ මගේ හාමිනේ.


ඒ වෙනුවෙන් මුලිකව ගෙවන්න ඕනේ කරන සම්පුර්ණ මුදල් ප්‍රමාණය මගේ අතේ තිබුනේ නැහැ. ඒ හින්ද මම කලේ මගේ ක්‍රෙඩිට් කාර්ඩ් වලින් රත්තරන් බිස්කට් දෙකක් අරගෙන යාළුවෝ දෙන්නෙක් අතේ ලංකාවට එවපු එක. අපිට වාහනේට අදාළ පළමු මුදල් බැඳීම කරන්න තිබුනේ දෙසැම්බර් මාසයේ මැද.
පළවෙනි බිස්කට් එක ගෙනියපු යාළුවට හදිසි වැඩ වගයක් නිසා ඒක මගේ වයිෆ්ගේ අතට ගෙනිහින් දෙන්න වෙන්නේ නැහැ කිව්වා. මගේ නෝනටත් ඒ දවස් වල විභාගයක්. මම ඒ වෙලාවේ මාත් එක්ක එක කැම්පස් එකේ, එක බෝඩිමේ, එක හොස්ටල් එකේ එකට කාගෙන බීගෙන  හිටපු සහ ඊට පස්සෙත් දෙන්නට දෙන්නා ගොඩක් උදව් පදව් කර ගත්තු බැචෙක්ගෙන් උදව් ඉල්ලුවා.
ඌ වැඩ කරන තැන ඉඳලා මගේ නෝනා වැඩ කරන තැනට තියෙන්නේ මීටර් 500 ක වගේ, ඒ වගේම ඌ වැඩ කරන්නේ විකිණුම් අංශයේ නිසා ඕනේ වෙලාවක එළියට යන්නත් පුළුවන් කියල තමයි අපිට කියල තිබුනේ.
ඌ රට ඉඳල ආපු යාළුවව හම්බ වෙන්න කොහොමත් යන බව කළින්ම කියල තිබුනා. ඒ ගිය වෙලාවේ ඌ බිස්කට් එක අරගෙන තිබුනත් මගේ වයිෆ්ට ඒක දෙන්න තව සති තුනකට වැඩිය කල් ගියා. එක එක හේතු නිසා බිස්කට් එක දෙන්න පරක්කු උනා කිව්වා. ඒ හේතුව නිසා අපි දෙන්න අතරේ පොඩි හිත් නොහොඳකුත් ඇති උනා. දැන්නම් ඒක හරි...
(ඒ ඔක්කොම වල්පල් අත ඇරලා දාමු)
කොහොම හරි පළවෙනියට එවපු උවමනාම කරන බිස්කට් එක තමයි මේ විදිහට පරක්කු උනේ.
දෙවෙනි බිස්කට් එක ගෙනාවේ සව්දියට ආවට පස්සේ  මම අඳුන ගත්තු යාළුවෙක්, ඌනම් මගේ වයිෆ්ව හම්බ වෙලාම බිස්කට් එක දීලා තිබුනා දවස් දෙකක් ඇතුළත. ඔන්න වෙනස.......


අන්තිමට ඒකෙන් මට වෙච්ච පාඩු තමයි මේ.
01. අදාළ කාලය ඇතුළත මුදල් බඳින්න බැරි වෙච්ච නිසා අපිට ඒ වාරයේ වාහනය ගැනීමේ අවස්ථාව නැති වී යාම.
02. වාහනයේ මිල රුපියල් ලක්ෂ දෙකකින් වැඩි වීම.
03. රු.2690/- ට තිබු ලීසිං වාරිකය 2846/- දක්වා වැඩි වීම(ලක්ෂයක් සඳහා වසර 4 කට)
04. කැරට් 24 රන් පවුමක මිළ රු. තුන් දහසකින් පමණ අඩු වී තිබීම.


ඒ කාලය ඇතුලත රුපියලේ සිදු වෙච්ච වෙනස් වීම් නිසා ආපහු වාහනයේ මිළ අඩු උනා, ඒ නිසා අපිට සිද්ධ වෙච්ච ශුද්ධ පාඩුව ලක්ෂ දෙකකට වගේ බැස්සා.
(ආ... මට කියන්න අමතක උනානේ මම පළවෙනි බිස්කට් එකත් එක්ක  Nokia N8  ෆෝන් එකකුත් යැව්වා. අන්තිමට මගේ නෝනගේ අතට බඩු පාර්සලේ ලැබෙද්දී ඒකෙ ඩිස්ප්ලේ එක කුඩු වෙලාලු. ඒ බෝනස් එකක්)



ඒ ඔක්කොමත් සතුටු සිතින් අමතක කරලා දාන්න මටයි මගේ නෝනටයි පුළුවන්කම තිබුනා. ඒකට හේතුව මීට වඩා අමාරුකම් වලට අපහසුතා වලට මුණ දීපු පළපුරුද්ද නිසා වෙන්න ඇති.
හැම කරදරයක් අස්සෙම අරුම පුදුම දේවලුත් සිද්ධ වෙනවා. මේ පාර අපේ ආයතනයේ තිබුණ වාර්ෂික උත්සවයේදී මට අඟල් 32, Sony 3D TV එකක් තෑගී විදිහට ලැබුනා. ඒක ලැබුනේ හරියටම පෙබරවාරි 29 වෙනිදා.



කොහොමින් කොහොම හරි බිස්කට් දෙක අතට ලැබිලා ඒවා විකුණලා සල්ලි කරගෙන මාස දෙකක වගේ තවත් හොඳ කට්ටක් කාල හරියටම පෙබරවාරි මාසේ මැද වෙද්දී අපේ සිහිනය සැබෑ උනා.
අපි කලේ ලොරියක් අරගෙන හයර් එකට දාපු එක. ඒ වාහනේ ගන්න ගියපු තැන හිටපු අවුරුදු 40 ක 45 ක වගේ දෙමළ මනුස්සයෙක් අපේ වැඩේට ගොඩක් උදව් කලා. එතනින් අපිට ඕනේ කරන වාහනේ ගන්නනම් අඩුම ගානේ මාස 7 ක් 8 ක් බලාගෙන ඉන්න ඕනේ. ඒත් මේ මනුස්සයා අපිට අවශ්‍ය වාහනේ මාසයක් දෙකක් ඇතුළත අරගන්න ගොඩක් උදව් කලා. වාහනේ අරගෙන ඉවර උනාට පස්සේ එයාට තෑග්ගක් යවන්නත් අපි කටයුතු කලා.



හැබැයි ටික දවසක් යද්දී එයා කරපු උදව් කණපිට ගහගෙන එන ගතියක් තමයි මට පේන්න තිබුනේ. එයා අපිට උදව් කරලා තියෙන්නේ මනුස්ස කමටම නෙමෙයි, තව තව දේවල් හිත ඇතුළේ තියාගෙන. අපි වාහනේ අරගෙන ටික දවසක් ගියාට පස්සේ මේකා මගේ හාමිනේට කෝල් කරකර SMS කරකර ලව් කරන්න හදනවලු. කෝල් කලාම ආන්සර් නොකර ඉඳල සහ  SMS වලට ප්‍රතිචාර නොදැක්වීමෙන් පසුව ඒ කරදරය තරමක් සමනය උනා කියල තමයි දැනගන්න තියෙන්නේ.
ඒත් අපේ වෙලාව කියන්නේ අපිට ඒ මනුස්සයව ඉස්සරහටත් ඕනේ වෙනවා වාහනේ ගැරන්ටි කාලේ ඇතුලත තියෙන වැඩ වලට. ඉතින් අන්තිමට මේ මිනිහා උණු හින්ද බොන්නත් බැරි කැඳ හින්ද නොබීත් බැරි වගේ කේස් එකක් උනා.
මොනවා උනත් මේ වෙලාවේ ඒ මිනිහව තරහ කරගෙනත් බැහැ.


ආ.... මට කියන්න බැරි උනානේ අපි මේ වාහනේ ගත්තේ මගේ නෝනගේ නමට. 

ඒ වගේම තමයි රක්ෂණ අංශයේ වැඩ කරන මම දැකලවත් නැති වයිෆ්ගේ යාළුවෙක් අපිට සැහෙන්න උදව් කලා. එයා නිසා තමයි ගොඩක් අඩු පඩියක් ගන්න මගේ නෝනගේ නමට ලීසිං එක ගන්න පුළුවන්කම ලැබුනේ.

අපි වාහනේට නම දැම්මෙත් අර පුන්‍යසිරියි කමලාවතියි නම දාපු විදිහටම තමයි. හැබැයි අපි දෙන්නගේ ඇත්ත නම්වල අකුරු නෙමෙයි ඒ. අපි දෙන්න ආදරේට කතා කරන පෙට් නේම් ගොඩක් අතුරින් අපි කැමතිම දෙකේ මුල් අකුරු තමයි වාහනේට දැම්මේ.
                                     ෴ I&M Transport ෴

වාහනේ අදාළ ආයතනයේ හයර් එකට දැම්මේ පෙබරවාරි මාසයේ අන්තිම සතියේ වගේ. ගිය සතිය වෙද්දී අපිට ඒ දවස් 7 ට අදාළ ගෙවීම ලැබුනා. මම කලින් අපේ රියදුරු මහතාට පොරොන්දු උනේ අපිට ලැබෙන බිලෙන් 20% ක ප්‍රතිශතයක් එයාගේ පඩිය විදිහට ගෙවනවා කියලා. එයා ඉස්සර අපේ තාත්ත යටතේ වැඩ කරපු කෙනෙක්. ඒ වගේම තරමක් දුරින් අපේ නෑදෑයෝ වෙන විස්වාසවන්ත කෙනෙක්.


පොරොන්දුවේ හැටියට දැනට දවස් තුනකට කලින් අපි එයාට අදාළ ගෙවීම කලා. එයාගේ පඩිය උනේ 13,250/-ක්. ඒත් ඒ ගාණ දැකපු ගමන් එයා ගොඩක් බයවෙලා, මගේ නෝනට කියල තිබුනා "අනේ දුවේ මට තව කීයක්‌ හරි වැඩිපුර දෙන්න, කෑමටයි බීමටයි ගියාම ගෙදරටත් දෙන්න ගාණක් තියෙන්න ඕනිනේ" කිව්වලු. එයා හිතල තිබුනේ අපි එයාට ගෙව්වේ සම්පුර්ණ මාසෙක පඩිය කියලා. එයාට ගෙව්වේ සතියක පඩිය කියල තේරුම් කරලා දුන්නට පස්සේ තමයි එයාගේ බය නැතිවෙලා තියෙන්නේ.
ඇත්තටම මාසෙක පඩිය විදිහට එයාට ලැබෙන මුදල මම ලංකාවේ රස්සාව කරද්දී මට ලැබුණු පඩියටත් වඩා වැඩි මුදලක්. දැනටත් මගේ නෝනට ලැබෙන්නේ එයාගේ පඩියෙන් බාගයක් වගේ ගාණක්.
එයාට වගේ නෙමෙයි අපිට ලැබෙන 80% කොටසෙන් තමයි අපිට වාහනේ නඩත්තු කටයුතු ඔක්කොම කරන්න වෙන්නේ, ඒ වගේම මේ විදිහට හැමදාම වැඩ තියෙන්නෙත් නැහැ. එහෙම බැලුවහම පොඩි අවධානමක් නැත්තෙත් නැහැ. ඒත් මේක පාඩු ලැබෙන වැඩකුත් නෙමෙයි. කොහොම නමුත් අභියෝගයක්  නැති ජීවිතෙන් වැඩකුත් නැහැ කියනවනේ.



කොහොම නමුත් දැන් තමයි මගෙත් බය ටිකක් හරි නැති උනේ. දැන් අප්‍රේල් අන්තිම වෙද්දී බයක් සැකක් නැතුව ලංකාවට ගොඩ බැහැලා ටික දවසක් නිවී හැනහිල්ලේ ඉඳලා වැඩි කරදරයක් නැති තැනක රස්සාවක් හොයාගෙන ජිවිතේ අළුතෙන් පටන් ගන්න ඕනේ.
මම ලංකාවට යන්න කලින් වෙනත් රටවල් දෙකක ඉන්න යාළුවෝ හරහා මිළදී ගත්තු කැමරා උපකරණ ටිකත් මම ලංකාවට ගියාට පස්සේ මගේ අතට ලැබේවි. ඒ කියන්නේ ආපහු ඔයාලව කැලයක් පැත්තේ එක්කගෙන යන්න මට පුළුවන් වේවි.


මොනවා උනත් මේ හැම දෙයක්ම මේ විදිහට කරගෙන යන්න පුළුවන් උනේ මගේ හාමිනේගේ සහයෝගය නිසා. ඇය මගේ ජිවිතයට ලොකු හයියක් උනා හැම වෙලාවකදීම. විශේෂයෙන්ම අගහිඟකම් තිබුණ කාල වලදී ඇය මගේ ලඟින් ඉඳගෙන උපරිම සහයෝගය දුන්නා. මම දන්නවා ඉස්සරහටත් එහෙමම තමයි කියලා.

Friday, 2 March 2012

පුංචි කාලේ කඩේ ගිය හැටි...

අපේ ගෙදරට හැරෙන පුංචි හන්දියේ එකම එක කඩයක් තිබ්බා. ඒ තමයි "අප්පුහාමි ආතාගේ" කඩේ. අපි වගේ ගමේ මිනිස්සුන්ට ඕනේ කරන හැමදෙයක්ම වගේ ඒ කඩේ තිබුනා. හාල් තුනපහ වර්ග, එළවලු, අල, පරිප්පු වගේ හැම දෙයක්මත්, සබන් කැටේ, දත් බෙහෙත් මේ හැම දෙයක්ම වගේ එතන තිබුනා. කඩේ ඉස්සරහ ලී මැස්සක එළවළු එහෙමත් තිබුනා. ගොඩක් වෙලාවට ගමේ එළවලු එහෙම තමයි තිබුනේ.
අප්පුහාමි ආතත් ඒ ආච්චිත් දෙන්න තමයි මුල් කාලේ ඒ කඩේ පටන් අරගෙන  තිබුනේ. ඒත් මට මතක කාලෙකදී අප්පුහාමි ආතා කඩේ  වැඩකලේ නැහැ. එයා ඉඳල හිටලා කඩේට ඇවිත් ගියාට මම මේ කියන කාලේ වෙද්දී කඩේ වැඩකටයුතු බලාකියා ගත්තේ ඒ ආච්චිත් එයාලගේ පුතෙක් සහ දුවල දෙන්න. නෑදෑකමට නැන්දලා මාමලා උනත් අපි ඒගොල්ලන්ට කතාකලේ අයියේ, අක්කේ කියලා.


අපිත් සතියකට දවසක් දෙකක් මේ කඩේට යනවා ගෙදරට ඕනේ කරන බඩුමුට්ටු ටික අරගෙන එන්න. මුලදී මේ විදිහට කඩේයන වැඩේ කලේ මමයි චුටි අක්කයි. අපිට කඩේ යද්දී අරගෙන යන්න රෙදි බෑග් කීපයක් අම්ම මහල දීලා තිබුනා. අම්ම ඒවා මහන්නේ තාත්තගේ පරණ කලිසම් වලින්. ඒ නිසා අපිට කවදාවත් ෂොපින් බෑග් කියල දැන්කාලේ අපි කියන ප්ලාස්ටික් බෑග් කඩෙන් ගන්න උවමනා උනේ නැහැ.
ඒ වගේම තමයි මේ රෙදි මල්ල එල්ලගෙන කඩේ යන එක අපිට ලැජ්ජාවක් උනෙත් නැහැ. ඒකෙන් අපේ ගෙදරට වාසියක් මිසක් අවාසියක් උනේ නැහැ. ෂොපින් බෑග් ගන්න යන වියදම ඉතුරු වෙනවා කියන්නෙත් ලොකු දෙයක්නේ. ඒ වගේම තමයි ඒක පරිසරයටත් බොහොම හිතකාමීයි.


මෙන්න මෙහෙම මමයි චුටි අක්කයි දෙන්න එක්ක කඩේ යද්දී අපි‍ට සමහර වෙලාවට පාරේ ඉන්න බල්ලන්ගේ බිරුම් වලට ලක්වෙන දවසුත් තියෙනවා. ඒත් ඉතින් දෙන්නෙක් ඉන්න නිසා බයවෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ගල් ගෙඩියක් අතට අරගෙන බය කලාම උන් දුවනවා.
මෙහෙම ගිහින් අපි හැමදාම වගේ අපේ ගෙදරට ඕනේ කරන හාල්, පරිප්පු, අල, ලාම්පු තෙල්(භූමි තෙල්) එහෙමත් අරගෙන එනවා. අපේ ගෙදරට කරන්ට් එක තිබ්බේ නැතිනිසා සතියකට ලාම්පු බෝතලයක් හමාරක් විතර යනවා චිමිණි ලාම්පු පත්තු කරන්නයි, කුප්පි ලාම්පු පත්තු කරන්නයි. ඒ දවස්වල ගෙනාපු බඩුමුට්ටු වලින් මට හොඳට මතකයි හාල් වල ගාන. මම ගාන අඩුවෙන්ම හාල් ගෙනත් තියෙන්නේ කිලෝ එක රුපියල් 4.50 ට. අනිත් බඩු වලනම් ගණන් මට ඒ තරමට මතක නැහැ.


අපිට ඒ කාලේ කුඹුරක් තිබ්බේ නැති නිසා හාල් ගේන්න උනේ හැමදාම කඩෙන්. හැබැයි කවදාවත් සුදු හාල් ගේන්න අපිට අවසර තිබුනේ නැහැ. අම්ම කියන්නේ හැමදාම රතු කැකුළු හාල් ගෙන්න කියලා. කඩෙන් ගේන හාල් කියල කිව්වට මේ කඩේ තිබුණු හාල් ගොඩක් හොඳ තත්ත්වයේ තිබ්බ ගමේම කුඹුරුවල හාල්.
බොහොම කලාතුරකින් අල්ලපු ගෙදරින් අතමාරුවකට සුදු හාල් ටිකක් ඉල්ල ගත්තු දවසක ඇරෙන්න අපිට සුදු බත් ටිකක් කන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. පස්සේ කාලෙක අපිටම කියල කුඹුරක් තිබුනත් කවදාවත් ඒකෙ සුදු හාල් වර්ග වැපිරුවේ නැහැ. ඒ පුරුද්ද සහ නොලියවුණු නීතිය අදටත් එහෙම්මමයි.
මේ තියෙන්නේ අපේ කුඹුර. මතක ඇති කාලෙක කුඹුරට බැස්සේ නැති උනත් මම හරි ආසයි කුඹුරු වැඩ කරනකොට කුඹුරට යන්න.
ඒත් කාලෙකින් ඒකටවත් වෙලාවක් ලැබුනේ නැහැ. 
ඒ වගේම තමයි අපි කවදාවත් ගේන්න ඕනේ කරන බඩු ලිස්ට් එක තුන්ඩුවක ලියාගෙන යන්නෙත් නැහැ. අම්ම ගේන්න කියන බඩුටික අමතක කරන්නේ නැතුව හැමදාම වගේ අපි ගේනවා. හැබැයි ගේන්න තියෙන බඩු ප්‍රමාණය වැඩිනම් අපේ අතට පොඩි කොල කෑල්ලක් ලියල දෙන්න අම්ම අමතක කරන්නෙත් නැහැ.
හැබැයි ඉතින් අපේ මලයටනම් කොලේක ලියල දුන්නේ නැත්නම් ගේන්න කියපු දේවල් වලින් බාගයක්වත් ගේන්නේ බොහොම කලාතුරකින්. එයා කඩේ ගිය දාට කඩේ ගිහින් ආපු පරක්කුවෙන්ම ආපහු කඩේ දුවන හැටි අපිට බලාගන්න පුළුවන්.


අපි මේ විදිහට කඩේ යද්දී සෙරෙප්පු එහෙමවත් දාගෙන යන්නේ නැහැ, නිකම්ම තමයි යන්නේ. අපේ ගෙදර ඉඳල කඩේට යන පාර වැලි පාරක්. ඒ වගේම හැමතැනම මඩවලවල් තියෙන නිසා ඒවායේ බැහැ බැහැ යන්න අමාරුයිනේ සෙරෙප්පුත් එක්ක. කොහොම උනත් මේ විදිහට මඩවලවල් වල බැහැගෙන ගියාට කඩේ ගාවම තියෙන කාණුවෙන් මඩටික හෝදගෙන තමයි අපි කඩේට යන්නේ. නැත්නම් කඩේ ඉන්න මිනිස්සු අපි දිහා බලන්නේ නිකන් සත්තු ටිකක් දිහා බලන විදිහටනේ.
පාර දෙපැත්තේ මේ තරම් කැලේ නැති උනාට මෙන්න මේ වගේ පාරක් තමයි අපේ පාර
අපි කඩේට යද්දී ඒ කාලේ ගමේ හිටපු සල්ලි තියෙන ගෙදරක හිටපු ළමයෙක් කඩේට එන්නේ රතුපාට පොඩි චොපර් බයිසිකල් එකක. මටත් ඒක දැක්කට පස්සේ ඒ ගැන ලොකු ආසාවක් ඇති උනා. ඒත් මම කවදාවත් තාත්තාගෙන් චොපර් බයික් එකක් ඉල්ලුවේ නැහැ. ඒක මගේ හිතේ තිබ්බ හීනයක්‌ විතරයි. ඒ ආපු ළමය පස්සේ මම ගමෙන් ටිකක් දුර ඉස්කෝලෙට යන කාලේදී මගේ යාළුවෙක් උනත් එක්ක. අපි එයාට කිව්වේ "පාන්බඩා" කියලා.
ටිකක් ලොකු උනාට පස්සේ මම කඩේ ගියේ තනියම, ඒ කාලේදී සමහර වෙලාවට කිලෝ අටේ, දහයේ බරවල් උස්සගෙන මීටර 500 ක විතර දුරින් තියෙන අපේ ගෙදරට අරගෙන එන දවසුත් තිබුනා. තව ටික කාලයක් ගියාම මගේ සහායක ඩැනී උනේ අපේ මලයා. අපි දෙන්නා එක්ක අපේ සෙල්ලම් කරත්තත් ඇදගෙන මඩවලවල් වල බැහැගෙන කඩේ ගිය හැටි මට අද වගේ මතකයි.


අන්තිමට එක දවසක මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු වෙලාවක පොඩි චොපර් බයික් එකක් අපේ ගෙදර තියෙනවා දැකලා මට ගොඩක් පුදුම හිතුනා. බලද්දී අපේ තාත්තා මටත් බයික් එකක් අරගෙන ඇවිත්. කවුරු හරි කෙනෙක් කාලයක් යනකම් පැදලා තරමක් අබලන් වෙලා තිබ්බට ඒකට මං ගොඩක් ආස උනා. ඒකේ ඉස්සරහ රෝදේ පොඩියි, පිටිපස්සේ රෝදේ ලොකුයි. එකේ ගියර් එහෙමත් තිබුනා. එක එක විදිහට සද්දේ එන පොඩි නලාවකුත් තිබුනා. පිටිපස්සේ රෝදේ හයිවෙන පොඩි යකඩ කුරු දෙකෙන් එකක් පුපුරලා. ටයර් දෙකත් ගෙවිලා හිල්වෙලා  එහෙම තමයි තිබුනේ. ඒක හංදියට ගෙනිහින් වෙල්ඩින් කරලා, අළුත් ටයර් දාලා ගෙනත් දෙන්නම් කියල තාත්ත කිව්වා. මට මේක ලැබුනේ මම ඉල්ලලා නෙමෙයි, ඒ නිසා මට ගොඩක්ම සතුටු හිතුනා.
මෙන්න මේ වගේම තමයි මගේ බයික් එක
තාත්ත කියපු විදිහටම ඒක හදල ගෙනත් දුන්නා. ඊට පස්සේ මොනවහරි අඩු පාඩුවක් උනොත් මමම ගිහිං චුටි මාමගේ වින්කලේට ගිහින් හදාගෙන එන්න පුරුදු උනා. හැබැයි අර වෙල්ඩින් කරපු බට දෙකනම් සරින් සැරේ කැඩිලා මට හරියට කරදර කලා ඒ දවස්වල. ඒත් කොහොමහරි එක වෙල්ඩින් කරගෙන හදාගෙන ඇවිත් මම ඒ බයික් එක ගොඩ කාලයක් පැද්දා.
මම අපේ ගෙදරට කරන්න පුළුවන් ලොකු වැඩ ගොඩක් කරලා දුන්නාමේ බයික් එකෙන්. අපේ තාත්තට අයිති අපේ ගෙදරට ටිකක් දුරින් තියෙන පුංචි ඉඩමක තේ වවල තිබුනා. මම හැමදාම ඉරිදා උදේට කඩේ ගිහින් පාන් ගෙනත් ඊට පස්සේ තේ වතුරයි හොදි එකකුයි අරගෙන කිලෝමීටර 3 ක් විතර දුරින් තියෙන එ ඉඩමට අරගෙන යනවා. එතන හැමදාම දෙමළ මිනිස්සු දෙන්නෙක් ඇවිත් දළු කඩනවා. මම යන්නේ එයාලට කෑම අරගෙන. ඊට පස්සේ එයාල කඩලා තියෙන කිලෝ 20 ක් 25 ක් බර දළු මල්ල මගේ පුංචි බයිසිකලේ ඉස්සරහ තියාගෙන ගොඩක් අමාරුවෙන් පැදගෙන එනවා ගෙදරට.
ඒ වගේම තමයි කියන පරක්කුවෙන් කඩේ ගිහිං අම්මට ඕනේ කරන බඩු ගෙනත් දෙන එකත් කලා මේ බයික් එකෙන්. පස්සේ කාලෙක මේ බයික් එක අපේ මලයාගේ වෙලාත් තිබුනා බොහොම සුළු කාලයක්. මට වගේ නෙමෙයි මිනිහට බයික් එකක් නෙමෙයි මොන දේ දුන්නත් හරියකට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. ටික දවසකින් ඒ හැමදේම බොහොම අබලන් තත්ත්වෙට පත්වෙලා නැති නාස්තිවෙලා යනවා. මම මේ බයික් එක අන්තිමට දැක්කේ පස්සේ කාලෙක කොහේදෝ මන්දා අස්සක තිබිලා පරණ යකඩ බඩු එකතු කරන්න ආපු මනුස්සයෙකුට විකුනන්න යන වේලාවකදී.
කොච්චර අබලන් වෙලා තිබ්බත් මගෙත් එක්ක ගොඩ කාලයක් එකට හිටපු මිතුරෙක්ගේ වෙන්ව යාමකදී සිද්ධ වෙන හිත බරවෙන ගතිය මට ඒ වෙලාවේදී දැනුනා.