Thursday, 26 April 2012

සමු ගන්න අවසරයි....!

ජීවිතය ගලා ගියේ මට උවමනා ආකාරයට නොවේ. සෙමින් ගලායන ජීවිතයකට වඩා ඉක්මන් බවක් මා බලාපොරොත්තු වීම එම හැඟීමට හේතු වූවා විය හැක. කෙසේ නමුත් 2009 වසර අවසානය වන විට තීරණයක් ගතයුතු බවට මූලික සංඥා මතුවෙමින් තිබුණි. ජිවිතයේ යම්කිසි අඩුවක්, එසේත් නැතිනම් කිසියම් කඩා වැටීමක් සිදුවී ඇතිබව මා හට දැනෙමින් පැවතුනි. ස්ථාවර බවක් පිලිබඳ කිසිදු හැඟීමක් දැනුනේ නැත.


හරියටම අදින් වසර දෙකකට මදක් වැඩි කාලයකට පෙර දිනෙක එනම් 2010 ජනවාරි මස 27 වැනිදා ආදරණීයන්ගේ කඳුළු මැදින් ලක්මවට සමුදී නිරුදක කතරක් බලා ඒමට හිත හදා ගැනීමට මා හට සිදු විය.
ඒ අවස්ථාවේ මා දුටු අවසන් තුරුම්පුව එය විය. මා එය දමා ගැසුවෙමි.
නව රැකියා ස්ථානයේ අප හට තිබූ තත්ත්වය සහ පිළිගැනීම ලංකාවේදී මෙන් නොව, අහස පොළව මෙන් දුරස්ථ විය. මුල් කාලයේදී හිතට දැනුණු දුක සහ වේදනාව නිසා රැකියාව හැරදමා ආපසු ලංකාවට ඒමට කීප වරක්ම සිතුනද ආපසු හැරීමට නොහැකි මාවතක මා සිර වී ඇතිබව වටහා ගැනීමෙන් පසු එම කටුක ජිවිතයට මුහුණ දීමට හිත හදා ගැනීමට හැකි වීම එක්තරා අතකින් වාසනාවක් විය.


හැමදාමත් බලාපොරොත්තු නොවන තරම් වේගයෙන් ගෙවී යන නිවාඩුවක් අවසානයේ ලංකාවෙන් පිටත්ව ඒමේදී හිතට දැනුණු කාලකන්ණි හැඟීමත්, රාජකාරි ස්ථානයේ මා දුටු අප්‍රසන්න භාවයත් නිසා නැවත පැමිණීමේදී හිතට ඇතිවූ හැඟීම කෙබඳුදැයි විස්තර කිරීමට වචන මා හට නොමැත. තමන්ගේ උන්ගෙන් සමුගෙන රටින් පිටව ඒමේදී හිතට දැනෙන හැඟීම කෙබඳුදැයි බොහෝ දෙනෙකුට අත්දැකීම් ඇතුවාට සැක නැත.



ජිවිතයේ කඩඉම් එකින් එක බොහෝ සෙමින් ජය ගන්නා අතරතුරේදීම  මෙයින් මිදී පළායාමේ නිශ්චිත මගක් ඉක්මනින් පාදාගැනීම මාගේ ඊළඟ අරමුණ විය.
දැනට මාස කීපයකට පෙර එම පියවරද සාර්ථකව ඉදිරියට තැබීමට හැකි වීම මාගේ මෙන්ම මාගේ බිරින්දෑගේද වාසනාවක්ම විය. මෙහි ගෙවූ ජීවිතය කෙරේ සිතතුළ ඇතිව තිබූ අකමැත්ත එම මග පහසු කලාක් වැන්න.

(මා තැබූ පියවර කෙබන්දක්දැයි සහ මා දයාබර බිරින්දෑ මට දුන් සහය ගැන කළින් පෝස්ටුවකදී මා සඳහන් කර ඇත)
ඇත්ත වශයෙන්ම එය මහා පියවරක් නොව, කුඩා පියවරක් වුවද සිතට ගෙන දුන්නේ මහා හයියකි. එය නොමැතිව වුවද මේ කාලය වනවිට ලංකාවට යායුතු බවට මා තීරණය කර තිබූ බව ඔබට මතක ඇතුවාට සැකයක් නැත.
ලංකාවට ගොස් නැවත රැකියාවක් සොයාගැනීමට නොහැකි වෙතැයි යන දෙගිඩියාව නිසා මෙවැනි රටවල සිරවී සිටින මිනිසුන් මා ඇති පදම් දැක ඇත්තෙමි. සමහරුන් පවුලේ වගකීම් නිසාද සමහරුන් ගෙවල් ඉඩකඩම් වෙනුවෙන්ද මෙහි සිරවී සිටින බව මා දුටුවෙමි. ඒ ඇරෙන්නට මෙහි ජීවත් වීම සැපතක් ලෙස දකින ඉතාම සුළුතරයක්ද දැක ගැනීමට හැකිවිය. (මම මෙහිදී කතා කරන්නේ ශ්‍රී ලාංකිකයින් ගැන පමණි)
මෙහි පැමිණි පළමු දින පටන් මා සිත තුළ ඇතිවූ නොපහන් හැඟීම නිසාම ඕනෑම වෙලාවක මින් පිටවී යාහැකි වන පරිදි මා නිදහස්ව සිටිය යුතුය යන අදහස මා සිතේ මුල්බැස ගත්තේය. මෙම රැකියාවෙන් පිටවී යාමට නොහැකි වනසේ බන්ධනයන් ඇතිකර ගැනීම නුවණට හුරු නැත. කෙළින්ම කියන්නේනම් ණය නොවී ජිවිතයට ශක්තිමත් අඩිතාලමක් දමාගැනීම මගේ මූලික අරමුණ විය. බිරිඳගේ සහයෝගය සමගින් අපගේ ඉලක්කය කරා ලඟාවීමට මීට ටික දිනකට පෙර හැකි විය.
බලාපොරොත්තුව සඵල වූ පසුව තව දුරටත් මෙහි රැඳී සිටීමෙන් පලක් නැත. ඒ මට සිතෙන හැටිය. ජීවිතයේ පංගුකාරයින් සොයා මා යළි ගමන්කළ යුතුව ඇත.

ඔව් ඔබ සිතුවා නිවැරදිය. මේ මොහොත වන විට ආදරණිය මතකයන් සොයා මව්බිම බලා මා පළා යමින් සිටින්නෙමි....

හෙට සිට මතකයේ රැඳුනු තැන් සමගින් ලංකාවේදී හමු වෙමු....!



ප.ලි.
කුමන කරදර අපහසුතා මැද වුවත් අපේ ජීවිත වලට ආලෝකයක් ලබා ගැනීමට උදව් වූ ආයතනයටත් (නම කීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි), මා හා සේවය කල සියළු දෙනාටත් මා හට මෙම රැකියා අවස්ථාව ලබා ගැනීමට උදව් උපකාර කල මිතුරු කැලටත්, මා හට රැකියාවක් කිරීමට අවස්ථාව සළසා දුන් මේ රටටත් අවංක ස්තුතිය පුද කර සිටිමි.....

Friday, 13 April 2012

ජොකා පිටින් වහල උඩ....

උපුටා ගැනීම http://www.flickr.com/photos/menik/3432802547/
ඔබ සැමට කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා.....!

..........................................................................................................................................................


ජීවිතයේ කිසිම බරක් පතළක් නැති අවධියක් ගෙවෙමින් පැවතුනි. උසස් පෙළ ප්‍රතිපල නිකුත් වී කැම්පස් පටන් ගැනීමට සැළකිය යුතු කාලයක් තිබුණු බැවින් අයාලේ යමින් ගතකල කාලයකි. ගෙදරට තරමක් දුරින් පිහිටි ටවුම අපේයයි සළකාගෙන ක්‍රියා කල එම අවධියේ උදේ පාන්දර ගෙදරින් යමක් බඩට දාගෙන පිටත් වන මා නැවත ගෙදරට පැමිණෙන්නේ බොහෝ විට රාත්‍රී ආහාරවේල ගැනීම පිණිසය.

අප ප්‍රදේශයට තරමක් දුරින් ජලවිදුලි බලාගාරයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වීමත් සමගම බස් රථයක් යනවිට කාණුවට බැස ඉඩදිය යුතු මට්ටමට තිබූ මහපාර තිබුනාට වඩා තුන්ගුණයක් පමණ පළල් කිරීමේ කටයුතු ආරම්භ විය. ඒත් මම කැමතිම ඒ පරණ පාරටය. ඒ සමගම එහි කටයුතු සඳහා පැමිණෙන තරුණ පිරිස් අප නිවසට තරමක් එහායින් පිහිටි පාර අද්දර කුළියට ගතහැකි මට්ටමේ නිවාස වල ලැගුම් ගැනීමට පටන් ගැනීමත් සමගම අපගේ දින චරියාවේ සැළකිය යුතු වෙනසක් සිදුවිය.
වෙනදා ටවුමේ මහරෑ වෙනතුරු රස්තියාදු ගසනවා වෙනුවට හවස් වීමට පෙර නිවසට පැමිණ හවස් ජාමේ පාර දිහාටත් හිස් ඉඩමක පිහිටුවා ගත් වොලිබෝල් පිටියට යාමටත් ගමේ කොල්ලෝ කුරුට්ටෝ පමණක් නොව සමහර කෙල්ලන්ද පුරුද්දක් කොට ගත්තේය.
සමහර දින වල කණ්ඩායම් 8 ක් පමණ මාරුවෙන් මාරුවට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට වොලිබෝල් ගසනු දැකගැනීමට එදවස හැකියාව තිබුණි. මේ සඳහා අපගේ වැඩිහිටියන්ගේද කිසිම අකමැත්තක් නොවීම ඉතා සතුටුදායක තත්ත්වයක් විය. වොලිබෝල් ගැසීමෙන් පසුව බොහොමයක් කොල්ලන් සහ සියළුම කෙල්ලන් ගෙවල් බලා ගියද රස්තියාදුව ජීවිතය කරගත් අප වන්නන් කිහිප දෙනෙක් තව දුරටත් අපගේ සමාගමය මිතුරන් වෙත ලබා දෙමින් එහි රැඳී සිටියෙමු.


ගමේ අයකුගේ නිවසක් කුළියට ගෙන සිටි ලංකාවේ ප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක සේවකයන් පිරිසක් නවාතැන්ගෙන සිටි නවාතැන් පොළ අපගේ තිප්පොල වීමට වැඩි කාලයක් ගත නොවීය. එහි නිවැසියන් ඔවුනට අයත්ව තිබූ වෙනත් ගෙදරක පදිංචි වී එම නිවස අදාළ ආයතනයට කුළියට දී තිබුණි.
කාලයාගේ අවෑමෙන් වොලිබෝල් ක්‍රීඩාවෙන් පසු කැරම් ගැසීමටත්, එතනින් පසු කවුරුත් දන්නා පරිදි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවෙන බහුලව පවතින මධුවිත සාදයන්ද පැවැත්වෙන්නට විය.
පාසලෙන් අස්වන තුරුම මා මධුවිත රස බලා ඇත්තේ එකවරක් පමණි, (එයද ටියුෂන් සරලාගේ වරදිනි, ඒ කතා පසුවටය) පාසලෙන් අස්වූ පසුව ඇතිවූ නිදහස් කාල පරාසයේදී එහි වැඩිවීමක් දැකගන්නට හැකි විය.
වෙනදා රෑ 10 ට 11 ටවත් ගෙදර ගිය මා හට මින්පසුව උදා වූ බොහෝ දිනවල මධ්‍යම රාත්‍රියට පෙර ගෙදර යාමට හැකිවුයේ එහෙමත් දිනයකදී පමණි.
කීයට ගෙදර ආවත් මා එනතුරු සාලේ පුටු සැටියේ ඉඳගෙන නින්දත් නොනින්දත් අතරේ ඉන්නා අම්මා නින්දට යන්නේ මාගේ පැමිණීමත් සමගය. මා එනතුරු ඇය නිදිවරාගෙන සිටිනු දකින මසිතේ වරදකාරී හැඟීමක් ඇතිවුවද මාගේ කල්කිරියාව වෙනස් කර ගැනීමට මා හට උවමනාවක් නොවිණි. මටද රස්තියාදුවේ යන්නට එපායයි ඇය බලකර කීවේද නැත. එලෙස කීවද මාගේ මුරණ්ඩු බව අඩුවෙතැයි සිතීමද උගහටය.

මාගේ මෙම නව ජීවන රටාවත් සමග අම්මාගේ රවුම් ගෙරවුම් වලින් ගැලවී මහ රෑට ගේ ඇතුලට යාමේ මගක් කල්පනා කරමින් සිටි මා හට ඉස්සරහ දොරේ අමතර යතුරක් අලමාරියේ ඇති බව සිහි වී සොයා බලන්නට සිත්විය. වාසනාව මා අතේ විය. සොයන්නාට සම්බ වේ. දැන් යතුර මා අතේය. එදින පටන් ගෙදරින් එළියට බසින සෑම විටකම පාහේ අමතර යතුර පසුම්බියේ ඇත්දැයි පරීක්ෂා කර බැලීම මාගේ පුරුද්ද විය.

අපේ ගෙදර ඇති වර්ගයේ දොර අගුලක් අමතර යතුරක් භාවිතයෙන් එළියේ සිට ඇරීමද එක්තරා කලාවකි. විශේෂයෙන් ගෙදර ඇතුලේ සිටින අයගේ මද සහයෝගය හමුවේ එය සිදු කිරීම ලේසි පහසු කරුණක් නොවේ.
ගේ ඇතුලේ සිටින කෙනෙක් දොර ලොක් කිරීමෙන් පසුව යතුර සිදුරේ තිබෙන්නට හැරීම සාමාන්‍ය සිරිත වේ. නමුත් මෙම සාමාන්‍ය සිරිත සිටින්නේ මාගේ පරහටය. ගේ ඇතුලෙන් යතුරක් දොරේ හිලට දමා ඇතිවිට පිටතින් යතුරක් දමා දොර ඇරීමට නොහැකි බව මෙම වර්ගයේ දොර අගුළු භාවිතා කර පළපුරුදු ඇත්තෝ දනිති. කෙසේ නමුත් රස්තියාදුවේ යාමේ නොතිත් ආසාව හමුවේ ඒ අභියෝගය ජයගැනීමට මගක් මා විසින්ම නිර්මාණය කරගන්නට යෙදුනි.
යතුරු කඳේ මහතට වඩා මදක් විශාල (යතුරේ බඳ බටය තුලට දැමිය හැකි පමණ එකක්) ප්ලාස්ටික් බට කැබැල්ලක් කපා පසුම්බියේ දමා ගැනීමෙන් පසුව එම අවහිරයෙන්ද මා නිදහස් විය. එම බට කැබැල්ල යතුරු හිල දිගේ ඇතුලට ඔබා ගෙයි ඇතුළු පැත්තේ ඇති යතුර එම බටය ආධාරයෙන් කරකවා, ඉන්පසුව දෙන පුංචි තල්ලුවකින් ගේ ඇතුළට වැට්ටවීමේ ක්‍රමයක් මා සොයා ගත්තේය. ඉන්පසුව නිදහස් යතුරු කටට දමන අමතර යතුර මාර්ගයෙන් දොර ඇරගෙන ගේ ඇතුළට යාම කජු කන්නාක් වැනි පහසු වැඩකි.



මේ දිනවල මාගේ ප්‍රවාහන මාධ්‍ය වුයේ මඩපුවරු කිසිවක් නැති සාමාන්‍ය පාපැදියකි. රේස් පැදීමට ඒ දිනවල ඇතිවී තිබූ ආසාවක් නිසා බයිසිකලය එසේ සකසා ගත්තේ පන්ති යාමේදී අතට දෙන මුදල් එකතු කිරීමෙනි. වැස්ස දිනවල කටේ කනේ තැවරෙන මඩ පාරවල් හමුවේ පවා බයිසිකලයට මඩ්ගාඩ් දෙකක් සවිකර නොගත්තේ එහි පෙනුමට තිබු ආසාව නිසාමය.
සමහර දින වල වොලිබෝල් ක්‍රීඩාවෙන් අනතුරුව සාදයන් පැවැත්වෙන අතර අදාළ නවාතන්පොළේ පිහිටෙන් නෑමේ කටයුතුද කරගන්නේ ගෙදර ගියහොත් ආපසු පැමිණීමට අවසරයක් කිසි විටෙකත් නොලැබෙන නිසාය. සාදයන්ගෙන් අනතුරුව රාත්‍රී අහාරවේලද එයින්ම ලබාගෙන ගෙදර යන දිනයන්ද ඉඳහිට විය.


මා මේ කියන්නට යන විශේෂ දිනය එවැනි දිනයකි. මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් පැවති සාදයෙන් අනතුරුව රාත්‍රී අහාරයද ගෙන ගෙදර බලා පිටත් වුයේ මධ්‍යම රාත්‍රී 01:00 ට පමණය.
කරුමයක මහත....
හැමදාම බොහෝ කලපනාවෙන් පසුම්බියේ රුවා ගන්නා ගෙදර ඉදිරි දොරේ යතුර අද අමතක වී ඇත. කළින් දින දොර හැරීමෙන් පසුව එය මේසය උඩ තැබූ බවට මගේ විශිෂ්ට මතකය එවෙලේම සාක්ෂි දැරීය.
උගේ සාක්ෂියෙන් මට දැන් වැඩක් නැත. යතුර පසුම්බියට යලිත් දා ගත්තේ නැති බව මතක් නොකළ මතකයෙන් දැන් කුමන පලයක්ද. ගේ ඇතුළට යාමට මගක් සොයා ගත යුතුව ඇත.


වහළට  ගොඩවී ගේ ඇතුළට පැන ගැනීමේ අති විශිෂ්ට අදහසක් මෙවේලේ මගේ ඔළුවට පැමිණියේ ඇයිදැයි මා හට අදටත් නොතේරේ. අදහස පැමිණි සැනෙකින් එය ක්‍රියාවට නැගුණි. එදින මා ටවුමට ගොස් එන අතරමගදී සාදයට එක්වූ අතර, මා ඇඳගෙන සිටියේ දිගු කලිසමක් සහ කමිසයකි. එය පිටින් වහළයට ගොඩ වීම ලේසි පහසු නොවන වැඩකි. ඒ මදිවාට මා පැමිණියේ මධු සාදයකට සහභාගී වීමෙන් අනතුරුවය. ගේ දොරකඩ බයිසිකලය නතර කර කමිසය සහ කලිසම ගලවා බයිසිකලය උඩින් තබා ජොකා පිටින් පෝර්ටිකොව උඩට ගොඩ වීමට විනාඩියක්වත් ගත නොවිණි. එය පොළෝ මට්ටමෙන් අඩි 9 ක් පමණ උසකින් ඇති කොන්ක්‍රීට් වහලයක් ඇති පැරණි පන්නයේ පෝටිකෝවකි.


වහලේ උළු කැට දෙකක් ඉවත් කර බිත්තිය උඩට බැස ගැනීමට තවත් විනාඩි 5 ක්වත් ගතවන්නට ඇත. කිසිම එළියක්‌ නැති පට්ටපල් අඳුරේ හරියටම බිත්තියට උඩින් ඇති උළුකැට දෙකක් ඉවත් කර ගැනීමට එවේලේ හැකිවීම කොතරම් දෙයක්දැයි වැටහෙන්නේ දැන්ය.  උළු කැට දෙක ඉවත් කර බිත්තිය උඩට ගොඩ වූ මා නැවත උළු කැට දෙක වහළට සවි කිරීමට ක්‍රමයක් කල්පනා කරනවිට එකවරම මුහුණට විදුලි පන්දම් එළියක්‌ එල්ලවිය. 
"බහින්නයි කිව්වේ බිමට" යන විධානයද ඒ සමගම නිකුත් විය.
තත්පරයක හෝ පමාවක් නැත, වහලේ උළුකැට දෙක නියමිත පරිදි සවිකළ මා (ජොකා පිටින්ම) වහලේ සිට කෙලින්ම බිමට පැන්නෙමි. මා එනතුරු බලා සිටීමටවත් උනන්දු නොවූ අම්මා කෙළින්ම ගොස් කාමරයට වැදී නිදන්නට විය. පාන්දර ජාමේ වෙනතුරු රසබැලු මධුවිත සැර කොහේ ගියාදැයි නැත. වෙනදාටත් වඩා හොඳින් සියල්ල සිදු වූ බවට හැඟීමක් සිත තුළ ඇතිවුයේ මන්දැයි මා නොදනී. ඇඟපත සෝදාගත් මා නින්දට යනවිට පාන්දර 02:00 පසු වන්නට ඇත.


පහුවෙනිදා තරමක් ප්‍රමාද වී අවදි වූ මා එදිනත් කොහේ හෝ යාමට ලක ලෑස්ති වී අම්මාගේ දෙපා වැඳීමට වැඩපොළට ගිය විට එහි සිටි සියළුම කෙල්ලන් සහ ගැහැණුන් "හිකි හිකි" ගා සිනාසෙන විට එතන පොළවේ විවරයක් තිබුනේනම් කියන සිතුවිල්ල මා සිතේ ඇති වීමට වැඩි වෙලාවක් ගියේ නැත.
ජොකා පිටින් වහලේ උඩ සිටි ලොකු පුතාගේ අවාසනාවන්ත කතාව අම්මා විසින් ඔවුනට පැවසුවේ මොන සිතකින්දැයි අසන්නට හැකියාවක් මා හටද නොවුනි.


ජිවිත කාලයටම හරියන්නට පාඩමක් ඉගෙනගත් මා ඉන්පසුව යතුර නැතිව ගෙයින් එළියට නොබසින්නට තරයේ සිතාගත් අතර කාලයක් යනතුරු වැඩපොළ පළාතේ පස් පාගන්නට ගියේද නැත.
දරුණු ඝනයේ රස්තියාදු ගැසීම් කාලයත් සමග අඩුවී ලොකු පුතා හොඳ ළමයෙන් වන්නට තවත් සෑහෙන කාලයක් ගත විය.


ප.ලි.
(වැඩපොළ යනු අපේ ගෙදර මම ඉපදෙන්නටත් පෙර සිට පවත්වාගෙන යනු ලබන සුළු පරිමාණයේ කර්මාන්ත ශාලාවකි. ඒ සම්බන්ධ විස්තර කෙටියෙන් කීමට නොහැකි නිසා පසුවට කල් දමමි.)

Wednesday, 4 April 2012

කුරුළු ගෙදර කරදරයක්....

මම වනජීවී ජායාරූප ගහන්න පටන් ගත්තට පස්සේ වැඩිම ජායාරූප ප්‍රමාණයක් ගහල තියෙන්නේ කොහේදී වෙන්න ඇතිද.
ඒ ලංකාව පුරා ප්‍රසිද්ධ වනෝද්‍යානයකදී එහෙම නෙමෙයි. අපේ ගේ අවට පරිසරය තමයි මට ගොඩක් වෙලාවට ෆොටෝ ගහන්න ඕනේ කරන කරුණු කාරණා සපයලා දෙන්නේ. මම ගෙදරින් පිට බෝඩිම් වල නතරවෙලා හිටියත් ගොඩක් දුරට සති අන්තේ ගෙදර යනවා.
ගෙදර යද්දී වෙන මොනවා නැතත් කිලෝ ගාණක් බර කැමරා බඩු ටික උස්සගෙන යන්නනම් අමතක කරන්නේ නැහැ.
එහෙම ගිය වෙලාවල් වල ගත්තු තරමක් විශේෂ ජායාරූප කිහිපයක් තමයි මම අද පෝස්ට් එකට දාන්න කල්පනා කලේ.
මේ පහළ ෆොටෝ එකේ ඉන්නේ අපේ ගෙවල් අහල පහළ නිතරම වගේ දකින්න පුළුවන් ගොඩක් ලස්සන පුංචි කුරුල්ලෙක්. දකින්න නැති උනත් අඩු ගානේ එයාගේ ලස්සන හඬ හරි අහන්න ලැබෙනවා නිතර දෙවේලේම වගේ.


මෙයාගේ සිංහල නම තමයි "රත්ළය නිල් මැසිමාරා", ඉංග්‍රීසි නම Tickell's Blue Flycatcher. වැඩිදුර විස්තර ඕනේ කෙනෙකුට ඉංග්‍රීසි නමින් දාල තියෙන දිගුවෙන් ගිහින් බලාගන්න පුළුවන්.
මේ පහළ දාල තියෙන ෆොටෝ එකේ තියෙන්නේ මේ වර්ගයේ කුරුළු ජෝඩුවක්‌ අපේ ගේ පිටිපස්සේ තියෙන කණ්ඩියේ පොඩි ගුළක හදපු පුංචි කූඩුවක්. මේ අය අපේ ගේ අවට මේ වෙද්දී හතර වතාවක් කූඩු හදල තියෙනවා. එක වතාවක් අපේ ගෙදර තිබුන දෙහි ගහේ. අනිත් තුන් වතාවෙම මේ පුංචි සිදුරේ. මෙතනට කිසි කරදරයක් නැතුව ගැරඬියෙකුට, පූසෙකුට කිට්ටු වෙන්න පුළුවන්. මේ වගේ තැන්වල මෙයාලා කූඩු හදනවා ගොඩක් අඩු උනාට මීට කලින් එතන කිසි කරදරයක් උනේ නැති නිසා  මෙයාල ඒ තැනට කැමති උනා වෙන්න ඇති. මේ තියෙන්නේ තුන්වෙනි වතාවේ මම එයාලගේ කූඩුවක් ඇතුලේ පුංචි බිත්තර දෙකක් දාල තියෙනවා දැකල ගත්තු ෆොටෝ එකක්.


එදායින් පස්සේ මමත් ගෙදර ආපු ගමන් කරන්නේ මේ පුංචි කුරුළු පවුල හොඳින් ඉන්නවද කියල හොයල බලන එක. සමහර දවස් වලට අපේ අම්මට කෝල් එහෙමත් දීල අහල බලනවා මේ අයගේ සැපදුක්.


සති අන්තේ ඉවරවෙලා වැඩට ගියත් නිතරම වගේ අම්මට කෝල් එකක් දීල මේ අයගේ සැපදුක් අහන වැඩේ මම අතපසු කලේ නැහැ. එක දවසක් අපේ අම්ම මට කිව්වා දැන් බිත්තර පුපුරලා පුංචි කුරුළු පැටව් දෙන්නෙක් කුඩුවේ ඉන්නවා කියලා. මම ගොඩක් නොඉවසිල්ලෙන් හිටියේ සති අන්තේ උදා වෙනකල්.  ඒත් එක දවසක් අම්මට කෝල් කලාම අම්මා කිව්වා දැන් එතන කුරුළු පැටව් දෙන්නෙක් නැහැ, එක්කෙනයි ඉන්නේ කියලා. මොකෙක් හරි සතෙක්වත් කන්න ඇති කියල තමයි අම්ම කිව්වේ.
ඒ ආරංචිය ආවට පස්සේ දවසේ මම ගෙදර ආවා, ආපු ගමන් ගිහින් කුරුළු කූඩුව ගාවට තමයි ගියේ. මෙන්න ඒ වෙනකොට ඒ කුඩුවේ ඉතුරුවෙලා හිටපු කුරුළු පැටියා. එතන බිම පුංචිම පුංචි කුරුළු පැටියෙක්ගෙ පිහාටු කෑලි කීපයක් සහ පොඩි පොඩි සුන්බුන් ටිකක් තියෙනවා කියලත් මම දැක්කා. සමහර විට කුරුළු පැටියව කුඩුවෙන් වැටිලා ඉන්නවා දැකපු පුසෙක්වත් කන්න ඇති. එහෙම නැතුව ඌ කූඩුව ඇතුළට පැනලා මේ විනාසය කලානම් එක පැටියෙක් ඉතුරු වෙන්න විදිහක් නැහැ කියල තමයි මට හිතුනේ. එහෙමත් නැත්නම් කුරුළු පැටියා වෙන හේතුවක් නිසා මැරුණට පස්සේ කුරුළු මව්පියෝ එයාව කුඩුවෙන් එළියට දැම්මා වෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්.
එදා දවස පුරාවට ඉතුරු වෙච්ච පැටියට කෑම කවන කුරුළු අම්මවයි තාත්තවයි මට දැක ගන්න ලැබුනා බොහොම ලඟට. මේ ඉන්නේ කුරුළු පැටියාගේ අම්ම.


මම මේ කුඩුවේ ඉන්න කුරුළු පැටියාගේ ෆොටෝ එක ගැහුවේ 2008-05-11 වෙනිදා උදේ 07:30 ට. මෙන්න එදාම උදේ 11:01 ට මම දැකපු දේ. 






මේ ඉන්නෙනම් එයාගේ නැති වෙච්ච සහෝදරයා හරි සහෝදරිය හරි නෙමෙයි. ඒත් මේ උකුස්සාගේ (Crested Serpent Eagle- සිළු සර්ප උකුස්සා) කටේ ඉන්නේ පුංචිම පුංචි කුරුළු පැටියෙක්. ස්වභාවධර්මය කියන්නේ මිනිසා විසින් පාලනය කලයුතු ධර්මතාවයක් නෙමෙයි කියන මතයේ මම ඉන්න නිසා මට මෙයා ගැන කිසිම කහටක් ඇති උනේ නැහැ. එයාගේ වැඩේ එයාට කරගන්න දීලා මම ෆොටෝ දෙක තුනක් ගහපු එක තමයි කලේ.

කොහොම නමුත් මේ සිද්ධියෙන් පස්සෙත් ඒ කුරුළු පවුල එතනම කූඩුව හදලා පුංචි බිත්තර දෙකක් දාල තිබුනා. මොකක්දෝ අහේතුවකට ඒ බිත්තර පුපුරලා පැටව් එළියට ආවේ නැහැ. එදායින් පස්සේ ඒ කුරුළු ජෝඩුව අපේ කණ්ඩියේ කූඩු හදන එක නතර කරලා දැම්මා.
ඒත් අපේ ගේ අවට හැමදාම වගේ එයාලගේ සද්දේ ඇහෙන්න තියෙනවා වගේම ගොඩක් වෙලාවට මට එයාලව දකින්නත් ලැබෙනවා.
මේ ඔක්කොම ෆොටෝ අපේ ගෙදර වට පිටාවේදී ගත්තු ඒවා. මෙච්චර ලස්සන පරිසරයක තියෙන මගේ ගෙදර, ගම ගැන මම මෙච්චර ආදරේ ඇයි කියල දැන් තේරෙනවා නේද.




ප.ලි.
මම බ්ලොග් එකක් ලියනවා කියල මම මගේ නෝනට මේ වෙනකල් කියල තිබුනේ නැහැ. පෝස්ට් කීපයක් දැම්මට පස්සේ බ්ලොග් එක ගැන එයාට කියන්න තමයි මම හිතාගෙන හිටියේ. මම එහෙම හිතුවේ ඒකෙන් එයාව පුදුම කරවන්න හිතාගෙන. ඒත් ඒ දවස එන්න එන්නම පහු උනා, අන්තිමට අද තමයි එයාට බ්ලොග් එක ගැන කිව්වේ. කලින් කිව්වේ නැහැ කියල පොඩි පහේ දෝස් මුරයක් අහන්න උනාට එයා ඒ ගැන ගොඩක් සතුටු උනා. ඒ වගේම කලින් පෝස්ට් එක බලලා ඇනෝ කමෙන්ට් එකකුත් දාල ගිහින් තිබුනා.... :)