Monday, 1 September 2014

ඔන්න මම ආපහු ආවා......

ලංකාවට ආවට පස්සේ බ්ලොග් එකේ වැඩ කටයුතු එන්න එන්නම මග ඇරිලා ගියා, අතරින් පතර මේල් එකක් එහෙම දාලා මොකද උනේකියල අපේ බ්ලොග් යාළුවො කීප දෙනෙක්ම අහලත් තිබුනා, සමහර එව්වට උත්තර යැව්වත් සමහර මේල් වලට උත්තර දෙන්නත් බැරි උනා. ඒ ගැන සමාව බජනය කරලා ඉන්න වෙනවා ඔක්කොටම කළින්. කලින් වැඩ කරපු කම්පැණි එකේම පරණ පුරුදු රස්සාවත් මට ලැබුනා, ඒ ගියාට පස්සේ නිදහස කියන එක ගොඩක් සීමා උනා, උදේ පාන්දර 7 වෙද්දී රස්සාවට යනවා, රෑ 8:00, 9:00 වෙලා ගෙදර එනවා. ගොඩ  වෙලාවට සති අන්ත වලත් වැඩ. ඒ විතරක්නම් මදෑ රට ඉන්න කාලේ තනිකඩව නිදහසේ හිටිද්දී බ්ලොග් එක ලියන්න වෙලාව තිබුණට දැන් ඒ නිදහස අඩුයි. එහේදී ජොබ් එක වෙනුවෙන් ගත කරපු කාලය උනත් සාපේක්ෂව අඩුයි. ඒ වගේම දවසේ ඉතුරු කාලය තනිකරම හිටියෙ බෝඩිමට වෙලා නිසා ලියන්න නිදහස තිබුනා.

රට යන්න කලින් තිබ්බ කැමරා ලෙන්ස් එහෙම විකුණපු නිසා ආපහු කැමරා, ලෙන්ස් එහෙම අළුතින් ගන්න සිද්ධ උනා. මම හිටපු රටේ කැමරා බඩු ගණන් වැඩි නිසා මගේ යාළුවො දෙන්නෙක් හරහා කැමරා එකකුයි ලෙන්ස් එකකුයි ගෙන්න ගන්න ප්ලෑන් කලේ එහෙන් එන්නත් කළින්. හැබැයි ඉතින් ඒවා මට ලැබෙන්නේ එයාල හරි එයාලගේ වෙන යාළුවෙක් හරි ලංකාවට එන වෙලාවක කියන එකත් මම දැනගෙන හිටියේ. ලංකාවට ඇවිත් මාසයක් හරි ඊටත් වඩා පොඩ්ඩක් වැඩි කාලයක් බලාගෙන ඉන්න උනා කැමරා එකයි ලෙන්ස් එකයි ලැබෙනකල්. ලෙන්ස් එක අරගෙන ආපු යාළුවගේ බෑග් එක අතරමගදී වැරදි ප්ලේන් එකකට පටවලා ඒවා මට හම්බ උනේ සෑහෙන පරක්කු වෙලා.

එව්වා මට ලැබෙන්න කලින් ට්‍රිප් කීපයක්ම ගියා. සමහර වෙලාවට කණ්ඩායමක් එක්ක, සමහර වෙලාවට මමයි නෝනයි විතරයි. ඒවාට කවුරු හරි යාළුවෙක්ගේ කැමරා තමයි ඉල්ලගෙන ගියේ. අළුත් කැමරාව ලැබුනට පස්සේ හරි හැටි ගමනක් බිමනක් යන්න උනේම නැහැ, ඉස්සර මම වැඩිපුරම ෆොටෝ ගහන්නේ අපේ මහගෙදර ගියාම. ඒත් පස්සේ පස්සේ ගෙදර ගියත් ෆොටෝ ගහන්න හරි හැටි පුළුවන් කමක් ලැබුනේ නැහැ. හැමදාම වහින්න වගේ අඳුරු වෙලා කුරුල්ලෙක් සතෙක් දකින්නවත් නැහැ.

මේ අතරේ මම කලින් වතාවක කියපු අපේ ව්‍යාපාරය තව ටිකක් දියුණු කලා. ටික දවසක් ගිහින් මගේ තිබ්බ පරණ ජීප් එකත් විකුණුවා. තිබ්බ එකට වඩා තරමක් අළුත් වාහනෙකුත් ගත්තා. ඔය විදිහට බැලුවම තරමක් භයානක වේගෙකින් මම වැඩ කලාද කියල දැන් මට හිතෙනවා. මේ ඔක්කොම කලේ ලීසිං සහ ණය පහසුකම් හරහා. ඒ නිසා ඒ වෙනුවෙන් මට ගන්න වෙච්ච අවධානම ගොඩක් වැඩි උනා. ඒ වගේම හිතේ කිසිම නිදහසක් ඇත්තෙත් නැහැ. ඔළුව නිකන් යකාගේ කම්මල වගේ වෙලා තමයි තිබුනේ, හැම තිස්සෙම වගේ ඉන්නේ බඩ පපුව දැවිල්ල හැදිච්ච ගමන්. ඒ ප්‍රශ්නත් එක්ක බ්ලොග් එක විතරක්නම් මදෑ, ඉස්සර ඉඳල ගොඩක් ආසාවෙන් කරගෙන ආපු ෆොටෝ ගැහිල්ලත් සම්පුර්ණයෙන්ම වගේ නතර වෙලා ගියා.

අළුත් කැමරා සෙට් එක මගේ ගාව මාස හයක් විතර තිබුණා, ඒත් ෆොටෝ ගහල තිබුනේ 500 ක් විතර වගේ. ඒ එක්කම මුදල් අතිනුත් තරමක අමාරුකම් දැනෙන්න ගත්තා. ෆොටෝ ගහන්නේ නැතුව කැමරා එක නිකන් ළඟ තියාගෙන ඉන්න එක තේරුමක් නැහැ කියල මට හිතෙන්න ගත්තා. මුදල් අවශ්‍යතාවය වැඩි වෙච්ච වෙලාවක මම ඒ ඔක්කොම වගේ විකුණලා දැම්මා. පස්සේ කාලෙක පුළුවන් උනොත් ආපහු කැමරා එකක් ගන්න ඕනේ, ඒත් ඒ වගේ විනෝදාංශයක යෙදෙන්න මානසික නිදහසක් තියෙන්න ඕනේ. ඉස්සර මම ලංකාවෙන් පිට ඉඳගෙන ගම් පළාතේ සුන්දරත්වය ගැන, කවදද ගමේ යන්නේ කියල හීන මැව්වා. දැන් කොළඹ ඉඳගෙන කරන්නෙත් ඒ දේමයි. ඒ මදිවට කිසි මානසික නිදහසක්, සහනයක් නැතුව.

වාහන වෙනුවෙන් වියදම් කරපු මුදලෙන් භාගයක්වත් ඒ වාහන මේ මොහොතේ විකුණලා ගන්න බැහැ. එහෙම තියෙද්දිත් එක පාරටම හිතෙනවා මේ මොන මගුලක්ද, පාඩුවට හරි මේ අටමගල් ටික විකුණලා දාලා හිත නිදහස් කරගන්න ඕනේ කියලා. හැම මාසෙකම මුල් සතිය වෙද්දී බැංකු වලට අච්චර දාන්න ඕනේ,මෙච්චර දාන්න ඕනේ කියල මතක් වෙනකොට පුදුම සනීපයක් දැනෙන්නේ.

හැබැයි මේ බොහොම මෑතක ඉඳලා මම අළුත් දෙයක් ප්‍රගුණ කරන්න ඉගෙන ගනිමින් ඉන්නවා. ප්‍රශ්න ගැන වැඩිය හිතන්නේ නැතුව හිත නිදහස් කරගෙන ඉන්න මම දැන් ක්‍රම ක්‍රමයෙන් පුරුදු වීගෙන එනවා. ඒ වගේම මේ තියෙන ප්‍රශ්න වලින් ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් සැකසීගෙන යනවා මේ දවස් වල. ඒක හරි ගියොත් මේ ප්‍රශ්න ගොඩක් දුරට අඩුවෙලා යයි.

ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක පුළුවන් වෙලාවට ටික ටික හරි ලියන්න පටන් ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඒ නිසා ආරම්භයක් විදිහට තමයි මේ පෝස්ට් එක දාන්නේ. ඒ වගේම මම කලින් ලියල තියෙන පෝස්ට් වගයකුත් තියෙනවා. පරණ කතන්දර, ඒවත් පුළු පුළුවන් වෙලාවට දාන්නම්.

අළුතෙන් අරගෙන ඉක්මනටම විකුණලා දාපු කැමරා එකෙන් ගත්තු ෆොටෝ ටිකකුත් මේ එක්කම දාන්න කියල මට හිතුනා.



ඔන්න එහෙනම් මම ආයෙමත් ආවා........

මේ ගෙවල් පැත්තේ කලෙකදී ගත්තු එකක්

මේත් ගෙවල් කිට්ටුව

මේ සත්තු වත්තේදී


සත්තු වත්ත

ගෙදරදී

ගෙවල් කිට්ටුව තියෙන කැලෑවකදී

සත්තු වත්තේදී, හැබැයි නිදහසේ හිටපු කෙනෙක්

15 comments:

  1. හපොච්චියේ- මෙච්චර විනම්බෑසියක් වුණා කියල දන්නේ නෑනේ
    මාත් මේ ප්‍රස්නම තමා ජීවිතේ කියල හිතන කාලෙක ඉන්නෙ
    ප්‍රස්න වලින් මිරිකෙන තරමට තමා දත් බේත් ටියුබ් එකේ වාගේ ජීවිතේ එළියට එන්නේ කියල හිතනව
    කැමරා බඩු ටිකක් ගමු! බල්ලොත් නොකන සල්ලි
    මෙච්චර ලස්සන පින්තූර ගන්න පුලුවන් දක්සකමක් නාස්ති කරගන්න අපරාදේ
    මට මෙහෙම පින්තූර ගන්න සංයමයක් ඇහැක් නෑ - එනිසා බඩු ටික හෙමින් හෙමින් ගමු

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්වීමට ස්තුතියි තිස්ස අයියේ...
      කැමරාවක් පස්සේ ගන්න ඕනේ කොහොමටත්.

      අපි ජීවිතේ ගැන හිතන විදිහේ අවුලක් තියෙනවා කියල මට හිතෙනවා
      ජීවිතේ කියන්නේ සල්ලි නෙමෙයි, ඒත් සල්ලි නැතුවත් බැහැ
      මොන කට්ට කෑවත් පස්සේ කාලයක් එනවා කාපු කටු වල රස හොඳයි කියල හිතෙන
      එතකන් ඉවසමු.....
      මම සතුටින් ලං කරගෙන දැන් කන්කෙඳිරි ගාන ප්‍රශ්න ඇත්තටම ප්‍රශ්න නෙමෙයි තිස්ස අයියේ
      මිනිස්සුන්ට ඔයිට වඩා කොච්චර ප්‍රශ්න තියෙනවද
      අපි ඕව ගැන හිතන එක තමයි තියෙන අවුල

      Delete
    2. "මිනිස්සුන්ට ඔයිට වඩා කොච්චර ප්‍රශ්න තියෙනවද" - මෙහෙම හිතන කෙනෙක් හිතන විදිහේ අවුලක් නම් ඇත්තේම නෑ :-)

      Delete
    3. ඒකෙ ඇත්තක් නැත්තෙත් නැහැ තමයි, ඒ උනත් සමහර වෙලාවට සීමාව සම්බන්ධ ගැටළු මතු වෙනවනේ.
      අන්න ඒ වෙලාවට හිතන පතන විදිහ ගැන තමයි ප්‍රශ්න මතු වෙන්නේ
      ඒකත් කොන්ට්‍රෝල් කර ගන්න බලනවා

      Delete
  2. මක්ක කරන්නද? මොන මගුලක් කරන්නවත් කෝ වෙලාවක්, අම්මප අපි වෙලාව පටලගෙනද නැත්තන් වෙලාව අපිව පටලවලද, පොටෝ ගහන්න හොඳ කැමරාවක් ගන්න එක නම් ඉතින් මට නම් ඉතින් (මට හීනයක් වගේ), හැබැයි ඒ හීනෙට මන් ආසයි.

    "එළියට බහින්න
    අහස පොඩ්ඩක් බලන්න
    මතක් කරන්න
    අන්තිමටම අහස
    ඕන කමින්
    බැලුවෙ කවද්ද
    කියලා
    අපි අපිත්
    නොදැනම යන්ත්‍ර
    වෙලා නෙ
    ඉර නගිනවා
    ඉර බහිනවා
    මල් පිපෙනවා
    සමනල්ලු පියාඹනව
    මේව බලන්න
    කෝ අපිට
    වෙලාවක්
    අයියෝ ඕව බැලුව
    කියල
    අපිට ඇත් ඵලේ
    මොකක්ද?
    පොඩ්ඩක් හිතන්න
    මේ අපේ හිතමද
    කියල
    හ්ම්.......
    ඇත්ත නේද
    ඒත් ඒක
    හිතන්නත්
    වෙලාවක්
    කොහෙද?
    අපි අපිත්
    නොදැනම
    ලොකු මිනිස්සු
    වෙලා නෙ
    අපිට අහිමි වුණු
    අපේම කියල
    කාලයක්
    තිබුනද වත්
    මතක නෑනෙ
    ඒ කාලෙ
    කොච්චර ලස්සනද
    කොච්චර සුන්දරද
    ආයෙත් ඒ කාලෙට
    යන්න පුලුවන්නම්
    කොච්චර නිදහසක්
    තිබුනද
    හිතේ මෙලෝ බරක් නෑ
    හිතෙනකොට නිකම්ම
    සුසුමක් මුවින්
    පිටාවෙනව නේද
    ඒ අපේම
    ජීවිතේ නිසයි......"

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ගොඩක් ස්තුතියි සොමියා.
      මටනම් හිතෙන්නේ තාම ඒ ජීවිතය අපේම ජීවිතේ කියල හිතෙන නිසා තමයි මෙහෙම හිතට අවුලක් හිතෙන්නේ
      තාමත් මමනම් පුළුවන් වෙලාවට අහස පොළව වටපිටාව දිහා ඇහැ ගහල බලනවා
      ඒ නිසා ගොඩක් දේවල් දකිනවා
      එහෙම බලන්න වෙලාව නැති උනාම තමයි ජීවිතේ හිස් බවක් දැනෙන්නේ

      කැමරාවක් ගැන උඹේ හීනේ ඉක්මනට ඉටු වෙයි
      ජය....!

      Delete
  3. අනේ උඹ දැක්ක එක කොච්චර දෙයක්ද ලොකු පුතා.

    උඹේ ප්‍රශ්ණ ඉක්මනින්ම මග ඇරිලා ගිහින් සිතේ සතුට සැනසිල්ල නැවත ලැබේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. පිළිගැනීමට ගොඩක් ස්තුතියි අයියේ....
      හිතේ සතුට ඉක්මනට ලැබෙයි කියල ලොකු විශ්වාසයක් තියෙනවා, බලමු

      මම ලිව්වේ නැති උනාට සමහර වෙලාවට උඹලගේ බ්ලොග් වලට එහෙම ඔළුව දාල ගියා
      හැබැයි කමෙන්ට් කරන්න උනේ නැහැ.

      Delete
  4. හෆ්ෆේ දැක්ක කල්...සංතෝසයි සංතෝසයි..

    ඔය ප්‍රශ්ණ ඉක්මනට විසැහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ෆොටෝ ටිකනම් මරු අයියේ.. පළවෙනි එක සුපිරි..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං, මටත් සතුටුයි ආපහු උඹල අතරට එන්න ලැබුන එකට
      ෆොටෝ ගැන තියෙන පැසසුමට ස්තුතියි
      ප්‍රශ්න ඉක්මනට විසඳෙයි කියල මමත් හිතනවා. ඒවා ගැන හිතන එක තමයි ලොකුම ප්‍රශ්නේ.

      Delete
  5. හම්මෝ කාලෙකින් දක්කම පරණ නෑයෙක් දැක්කා වගේ. හරිම සතුටුයි. ඉස්සරහටත් නිතර බ්ලොග් පැත්තේ එයි කියල හිතනවා. ෆොටෝ ටිකනම් පංකාදුයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමෙන්ටුවට....
      කාලෙකින් හම්බ නොවුනට අපි ඉතින් පරණ නෑයෝ තමයි
      ආපහු දිගටම වගේ බ්ලොග් යාළුවො බලන්න එන්න තමයි හිතාගෙන ඉන්නේ.

      Delete
  6. හාමිනේ27 September 2014 at 12:55

    මට පුදුම සතුටක් දැනෙන්නේ ඔයා බ්ලොග් එක ලියන්න ගත්තු එක.
    අද ජීවිතේ මොන තරම් ප්‍රශ්න තිබ්බත් ඉස්සරහට අපි නොදැනුවත්වම ඒවා විසදේවි.
    තනිකඩව, සැහැල්ලුවෙන් හිටපු කාලේ වාගේ හිතුන දේවල් කරන්න බැරි උනාට ඔයා ජීවිතේ ගොඩක් අයට විදින්න බැරි උන අත්දැකීම් විඳලා තියනවා. ඒක ගැන හිතලා අපි සතුටු වෙමු.
    පරණ සැහැල්ලු ජීවිතේ අපි අපහු පටන් ගන්න ඕනි.
    තව දෙයක් ඔයාට ජීවිතේ ලැබිච්ච වටිනාම වස්තුව ගැන Blog හිත මිතුරන්ට කියන්න අමතක උනාද????

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම වෙයි කියල තමයි මම හිතන්නේ. කොහොමටත් තව වැඩි කාලයක් යන එකක් නැහැ මේ ප්‍රශ්න අඩු වෙන්න.
      ඔයා වටිනාම වස්තුව කියල කිව්වේ අපේ "පණුවා" ගැනද.... හික්....

      Delete
  7. හාමිනේ1 October 2014 at 11:50

    නැතුව "අපේ පණුවා ගැන තමා"

    ReplyDelete