Saturday, 19 December 2015

නල්ලමලේ වෙනස...

Google image
අද උදේ සිංහ FM එකේ “තුමනි උත්තර බඳින්න” නම්වූ වැඩසටහන අසන්නට හැකි වුයේ ප්‍රමාද වී සේවයට වාර්තා කල බැවිනි.
එහිදී මොකෙක්දෝ මන්දා සේවක සංගම් වල එක්තරා නිලධාරියෙක් (මාගේ මොලය එවැනි දත්ත ගබඩා කර ගැනීම ප්‍රතික්ෂේප කරන බැවින් ඔහුගේ නම හෝ දරන තනතුර මතකයේ නැත, ) කියා සිටියේ ඔවුන් වැඩ වර්ජනය නතර කලේ ඉල්ලීම් 12 න් 11 ක්ම දිනා ගත් බැවින් වර්ජනය නොකළ බවයි.
ඔවුන් දිනා ගත්තා යැයි කියන ඉල්ලීම් සියල්ල මා දන්නේ නැත, ඌ කිව්වේද නැත. එකක් හෝ දෙකක් කියූ නිසා සහ ඇසුන නිසා මෙසේ ලියා තබමි. එනම් රුපියල් 5,000/- ට වැඩි කරන්නට හැදු දුම් සහතිකය රුපියල් 1,500/- ට අඩු කර ගැනීම ඔවුන්ගේ ජයග්‍රහණයකි. මෙය තනිකර වංචාවකි. නොදන්නා උන් මෙයින් පසුවත් දැන ගනිත්වා.
රුපියල් 25,000/- ට වැඩි කරන්නට හැදු තක්සේරු ගාස්තුව රුපියල් 5,000/- ට අඩු කර ගැනීමට හැකි වීමද ඔවුන්ගේ ජයග්‍රහණයකි. මට මතක එපමණය.
ගැටලුව එය නොවේ.
මේ මන්දබුද්ධිකයින් ඇතුළු බහුතර පිරිසක් අපට අමතක කරවන්නට උත්සාහ කරන වැදගත්ම කාරණය හරිම අපුරුය. මිනිසුන් හට කලින් දුම් වාර්තාව වෙනුවෙන් වැය කල මුදලම ඉදිරියටත් වැය කරන්නට සිදුවන අතර මේ රුපියල් 1,500/- අමතර ගාස්තුවක් වශයෙන් ආදායම් බලපත්‍රය ලබා ගන්නා විට ගෙවන්නට සිදු වේ. එය දුම් පරීක්ෂාව හරහා අය කර ගැනීමට දැරූ තැත අදාළ ආයතන දෙක ප්‍රතික්ෂේප කර ඇත. ඉන් පසුව එය රජය මගින් කෙලින්ම අය කර ගන්නට තීරණය වී ඇත.
කලින් තිබුනාට වඩා අමතරව ගෙවන්නට සිදු වන රුපියල් 1,500/- ඌගේ ජයග්‍රහණයක් බව ඇසීමද සතුටකි.
කලින් රුපියල් 2,500/- ක උපරිමයකට වාගේ ගත හැකිව තිබු තක්සේරු වාර්තාව රුපියල් 5,000/-  ක් එනම් 100% ක් දක්වා වැඩි කර ගැනීමට හැකි වීමද උන්ගේ ජයග්‍රහණයකි.

වෙනස මගින් ලද තවත් ජයග්‍රහණයන් දෙකක් මෙසේ වාර්තා කර තබමි...

Thursday, 3 December 2015

අයවැය සහ වෙනත් දෑ හරහා උදාවී ඇති අපමණ අගය සහ වෙනස...

අද පෝස්ටුවක් දැමීමට හිතාගෙන හිටි දවසක් නොවේය. මෙන්ඩා සහ තවත් උන් කිහිප දෙනෙක් පෝස්ටු නොදමන්නට හේතු මාගෙන් විමසු අතර ඒ ඒ අවස්ථා වලදී හේතු දැක්වීම් සිදු කලෙමි.  මෙම පෝස්ටුව පෝස්ට්ටුවක් දමන මෙන් සිදු කල ඉල්ලීම් වල ප්‍රතිපලයක් නොවන බව කියන්නට වන්නේ කණගාටුවෙනි. එයට හේතුව මෙය මාගේ අවංක වූ හර්දය වස්තුව කැකෑරීම හේතුකොට ගෙන ලියවෙන්නක් බැවිනි.

වැඩියමක් ලියන්නට අදහසක් මාගේ නැත. ලංකාවේ පසුගිය වකවානුවේ එනම් 2015 මුල භාගයේ පටන් අද දක්වාම විශාල වෙනස්කම් කිහිපයක් සිදු වූ බව නොදන්නා කෙනෙක් මෙරට වසන්නට හැකියාවක් ඇතැයි මා නොසිතමි. සිටින්නේනම් ඒ අපගේ කොළු පැටියා වැනි වූ කුඩා දරුවන්ය. එම වෙනසෙන් මා වැන්නවුන් ලද එක් ප්‍රථිපලයක් (අපමණ අගයක්) මත මුලිකව පිහිටා මෙම පෝස්ටුව ලියවෙන බැව් දන්වා සිටින්නේ සතුටිනි.

මෙම වෙනසට අමතරව කලකට ඉහත කමියා විසින් පළකරන්නට යෙදුනු පෝස්ටුවක කියූ පරිදි පඩිපතට සහ බෝනස් එකටද හෙනහුරා වැදුණු බව යළි යළිත් සිහිපත් කරන්නේද හදපුරා නැගෙන සතුටිනි. එයට අමතරව අප ලබමින් සිටි ප්‍රවාහන පහසුකම්ද කප්පාදු වුයේ පාරිතෝෂික දීමනාවක් වශයෙනි.

ඉන්පසුව පැමිණියේ මෙම අයවැයයි. ඒ සම්බන්ධව රවී තුමාට පළු යනකල් බැන වැදුණු පෝස්ට් මම බුකියේ දැක ඇත්තෙමි. මට තේරුම් ගන්නට බැරිද එයයි. අයවැය සම්බන්ධ අප්‍රසාදයන් රටේ ජනපති හෝ අගමැති වෙත යොමු නොවී රවී තුමාට පමණක් එල්ල වන්නේ මන්දැයි තේරුම් ගැනීම බස්සීගේ සමහර පෝස්ට් තේරුම් ගන්නවාක් මෙන්ම අපහසුය.

අවන්ත ආටිගලයන්ගේ කාටුනය බුකියෙන් උපුටා ගන්නා ලදී...
රවී තුමාගේ අයවැය වැඩි ජන්ද කොච්චරකින්දෝ සම්මත වී ඇති බව ඇසුනේ අද දින ප්‍රමාද වී සේවයට වාර්තා කරන අතරේදීය. එය සම්මත වීමටත් පෙර එයට ඡන්දය දීමට බාර් හිමියෝ අත උස්සා ඇති බව මා දැන ගත්තේ ගිය සතියේය. පහලින් දැක්වෙන්නේ එයට සාක්ෂිය. ඊටත් යටින් ඇත්තේ හරියටම ගිය වසරේ අවසාන දිනයේ තිබු තත්ත්වයයි. මාගේ හර්දය වස්තුව කැකෑරුනේ වැඩිමනත්ම මෙයටය.

මෙය 2015.12.02 වැනි දිනදී සිදුකළ මිළදී ගැනීමකින් උපුටා ගත් කොටසකි...

මෙය 2014.12.31 වැනි දිනදී සිදුකළ මිළදී ගැනීමකින් උපුටා ගත් කොටසකි...

මෙම කාරණය ඇතුළු අප හට නරකට බල පවත්නා සියලු කරුණු අප රටේ පොදු ජහමනයා වෙත බලපාන අයුරින් හෝ ඊටත් වැඩියෙන් (ඉදි කිරීම් ක්‍ෂේත්‍රයද අපමණ අගයක් ලබා ඇති නිසා)  මටද බලපෑවද මෙම වෙනස සහ අපමණ අගය ලබා ගැනීමට මා දායකයෙක් නොවූ බව සිතා සතුටු වීමේ හැකියාව දැනට මා සතුව ඇත.

අයවැය හා ඒ සම්බන්ධ උක්ත කරුණ පෙන්වා දක්වන අතරතුරේ අයවැයේ අන්තර්ගත කරුණු කීපයක් සම්බන්ධව සුළු අදහසක් දැක්වීමටද අදහස් කලෙමි.
අයවැයේ හොඳ කාරණයක් ලෙස පෙනෙන පෞද්ගලික අංශයේ සේවකයින්ද සතියේ දින පහක් පමණක් වැඩ කළයුතු ලෙස වූ යෝජනාවට කුමක් වුවාදැයි නොදනී. එය සම්මත වුවා නම් වඩා කැමතිය. ඒ කුමකටවත් නොවේය, පෞද්ගලික අංශයේ සේවය කරන අනෙකුත් මිනිසුන් ගැන සිතාය.  උන් වැඩට නොඑන විට අපට වැඩට එන්නට සහ යන්නට පහසුවන තවත් දිනක් සතියකට උදා වන නිසාය.

අප හට සතියේ දින හෝ සති අන්ත දින කියා වෙන වෙනම වර්ග දෙකක් කලින් තිබුනේ නැති අතර ඉදිරියටත් නොතිබෙනු ඇත. සතියකට දින හතක් ඇති බව කුඩා කාලයේදී අප ඉගෙනගෙන ඇති අතර එම දින හතම සතියේ දින බව අප හට සහතික කොට කියාදී ඇත්තේ අප වැඩ කරන ක්ෂේත්‍රය සහ ආයතනය මගින්ය. එවිට අප උදේ 07:00 සිට රෑ 07:00 දක්වා එම සතියේ දින හත තුළ වැඩ කලයුතු වන්නාහුය. එයින් පසු මාසයටම එක්වරක් පමණක් ලැබෙන දින දෙක හමාරක හෝ තුනක දීර්ඝ නිවාඩු කාලය (මෙය සිංහලෙන් “ෂඩ්ඩවුන්නෙක” ලෙසින්ද හැඳින්වේ) ගම්බිම් බලා ගොස් අඹුදරුවන් දැකබලා ගැනීමට යෙදවෙන්නාහුය.

ලොකු පුතා මෙයින් මදක් අපගමණය වී ඇති අතර මසකට එක ඉරිදාවක් හෝ දෙකක් සේවයට වාර්තා නොකරන අතර සඳුදා සිට සෙනසුරාදා දක්වා උදේ 07:00 සිට රෑ 07:00 හෝ සමහර දිනවල ඊටත් වඩා වැඩියෙන් රාජකාරිය සඳහා අදාළ රැකියා ස්ථානයේ රැඳී සිටීමට වැයකරයි.
එම යෝජනාවෙන්ද අප වැන්නවුන්ට පලක් නමැති බව වටහා ගන්නට දැන් අපහසු නොවනු ඇත.

අප හට වැඩ කිරීමට සිදුවී ඇති ආකාරය කීමට මීට වැඩිමනත් කරුණක් එකවර සිහියට නැගුන නිසා එයද ලියා තැබීමට සිත්විය. 2013 වසරේ මැයි 01 දා මා සිටියේ වැඩ බිමේය. අධික සුළඟක් පැවති දිනයකි. වැඩබිමේ ඉදිරිපස වූ දැවැන්ත ගේට්ටුව එකවර මාර්ගය දෙසට පෙරළි ගිය බව දැන ගන්නට ලැබුනේ ආරක්ෂක අංශය හරහාය. මා හට එතරම්ම අදාළ කරුණක් නොවුනත් එය සීයට සීයක්ම ආරක්ෂිතව පිළිසකර කිරීමේ කාරිය සඳහා මා පිටත් විය. ඊට කලින් එයට යම් යම් ප්‍රතිකර්ම යෙදුවද සාර්ථක නොවී වැඩබිම් සේවක මහතුන් දෙදෙනෙකුගේ ඔළු පැලීමට එය සමත් වී තිබුණි.
එම වැඩය සඳහා අවැසි උපදෙස් අපගේ සේවක මහතුන් වෙත ලබා දී එය අධීක්ෂණය සඳහා ආරක්‍ෂිත හෙල්මටයද දමාගෙන මාර්ගය අයිනේ සිටගෙන සිටියේ අදාළ කාර්යය මා බලාපොරොත්තු වන පරිදිම සිදුකර ගතයුතු නිසාය.

අප එම වැඩය ආරම්භ කරද්දීම වාගේ රතු පැහැති මැයි පෙළපාලියක් ගාළු පාරේ ඉදිරියට ඇදී එන බව පෙනෙන්නට තිබුනත් අප අපගේ කාර්යය දිගටම සිදුකරගෙන ගියෙමු. පෙළපාලියේ මුල කොටස අපව පසු කරගෙන ගිය අතර මා සිටියේ ඔවුනට පිටුපා අපගේ කටයුත්ත දෙස ඇස යොමාගෙනය. එකවර මාගේ ඔළුව කම්පනයට පත්වුයේ පෙළපාලියේ ගමන් ගත් කෙනෙකු ඔහු අත්වූ තරමක කෝටුවකින් වැරෙන් පහරක් මාගේ හෙල්මටය වෙත එල්ල කල බැවිනි. මැයි පෙළපාලියේ යමින් ගමන් කමින් බොමින් ප්‍රීති වෙන ඔහු එදින වැඩ කරන්නට සිදුව ඇති අප සම්බන්ධව ඇති කරගත්තේ අනුකම්පාවක් නොව කෝපයක් වීම පුදුම සහගතය. අනෙක ඔහු පහර දුන්නේ සුදු හෙල්මටයක් දමාගෙන වැඩය සඳහා උපදෙස් දෙමින් සිටි මා හට මිසක් කහ පැහැති හෙල්මටය දමාගෙන සිටි සේවක මහතෙකු වෙත නොවේ. 

පුද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් දෙන්නට අදහස් කරන යෝජනාව සම්බන්ධ මගේ අදහස “අනේ එපා” කියාය. ඔය විශ්‍රාම වැටුප නම්වූ වෙනසෙන් අපිට දැනට ලැබෙන EPF, ETF එකට කෙළ වෙන ආකාරය හා ප්‍රමාණය නොදන්නා නිසා ඒක කොහෙත්ම එපාය.
දැනට මසක පඩියෙන්  20% ක් EPF සඳහාද, 3% ක් ETF සඳහාද තැන්පත් වීමත් එයට ස්ථීර තැන්පතු සඳහා ගෙවන පොළියටත් වඩා වැඩි පොළියක් ලැබීම මටනම් ඉහටත් උඩින්ය.  මේ දැන් තහවරු කරගත් පරිදි 2014 වර්ෂය සඳහා පොළිය 10.5%ක් ගෙවූ බවද, 2013 දී පොළිය 13% බවද දන ගන්නට ලැබුණි. අවුරුදු 55 වෙනකල් ජීවත්ව සිටියොත් එකවර ලබා ගැනීමට හැකි එම මුදල තව තවත් මැන්ටල් වූ පසු මසකට වරක් ලැබෙන විශ්‍රාම වැටුපකට වඩා මටනම් අගේය.
නමුත් මෙම ආර්ථික ඔස්තාර්ලා මෙම පොළිය අඩු කරන්නට ක්‍රියා කරන්නටද ඉඩකඩ ඇති බව කල්තබාම සිහියේ සිහිතබා ගැනීම හෘදයාබාධ වලින් වැළකීමට හොඳ පිළියමක් වනු නොඅනුමානය.

ආහාර හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධව අයවැයෙන් සිද්ධ වුයේ කුමක්දැයි යන්න ගැන ලොකු අදහසක් මා තුළ නැත. කවදාවත් ඔය මෑතකාලින බඩු මිලවල් මගේ මතකයේ රැඳෙන්නේ නැත. මට මතක පොඩි කාලේ කඩේ ගිහින් රුපියල් පහට (5/-) හාල් ගෙන ආ හැටිය. සත දහයේ ලොසින්ජර කාපු හැටිය. නයිස් නමින් හැඳින්වූ මොකක්දෝ මන්දා ලොකු රවුම් රසකැවිල්ලක් ඉස්කෝලේ අයිනේ සිටි ආච්චිගෙන් සහ 10 ට එක බැගින් මිළදී ගත් හැටිය. ඩීසල් රුපියල් 13/- ට තිබු කාලය සහ පෙට්‍රල් රුපියල් හතළිස් ගණන් වලට තිබු කාලයයි. යෙන් එක සත 23 ට කාලයක් තිබු බවද අමතක නැත.
මා ඒ ගැන වද වෙන්නට නොයන්නේ බඩුමිල අඩු උනත් වැඩි උනත් සතියකට තුන් හතර වතාවක් වැඩ ඇරී ගෙදර යන ගමන් ගොඩ වෙන්නට ඇති තැනකින් සුදු කවර වලට පුරවා ගෙදරට බඩු ගෙන යායුතු නිසාය. නමුත් සුදු මලු වල පැමිණි කොටසක් ටික දිනකට පසුව වැඩට යාමට පිටත් වන මා අතටම කළු කවර වල බහා අවසන් ගමන් යැවීම පිණිස ගෙනයාමට සිදුවීම අපරාධයකි. සුදු කවර පැමිණීම මෙන්ම කළු කවර පිටව යාමද නොකඩවා සිදුවන කරුණකි.

ඒ සම්බන්ධව විරුද්ධ වීමට යාම ජීවිතයටද තර්ජනයක් වීමට ඉඩ ඇති බැවින් නොදොඩා සිටීම යහපතිය. වැඩිදුර නොදොඩා සිටීමට ඉහත අමුණා ඇති වර්ගයේ බිල්පත් සමග ඒ ඒ වර්ගයේ සුදු කවරද ගෙදරට පැමිණීම හේතුවක් වන බවද නොකිවමනාය.

කෙසේ නමුත් මේ සියල්ල බෙල්ල දක්වා හිරවෙන මට්ටමක් ඇතිවන දිනක් පැමිණියහොත් ඉහත සඳහන් බිල්පත් වලට අදාළ සුදු කවර ප්‍රමාණය අවම කිරීම හෝ බැරිම උනොත් නතර කිරීම මගින් හෝ ගැටළුව නිරාකරණය කරගත හැකිවනු ඇති බව මාගේ විශ්වාසය වේ. රාජ් ද එවැනි වූ අදහසක සිටින බව කියූ පෝස්ටුව ඔබ හට මතක ඇතැයි සිතමි. 

අයවැය සම්බන්ධව කිසිවක් ලියන්නට අදහසක් තිබුනේ නැති අතර වසරක් ඉක්ම යාමට පෙර වැඩි වී ඇති 78.50% ක අපමණ වැඩිවීම් අගයක් ලබා ඇති ඉහත අමුණා ඇති බිල්පත් යුගලයේ නව බිල්පත ඒ වෙත මා යොමු කල බවද පවසා සිටිමි.

දැනට මේ හොඳටම ඇතිය...