ඔන්න ඉතින් මටත් ඒ කාලේ වැද්දෙක් වගේ වෙන්න උවමනා වුනා, ඒකට ඉතින් මහලොකු දේවල් නෙවෙයි ඕනේ කලේ. දුන්නක් ඊතල ටිකක් එහෙම නැත්නම් කැටපෝලයක් තමයි ඕනේ කරන භාණ්ඩ ටික.
ඒ වගේම මම හොඳ දක්ෂ ගල් විසි කරන්නෙක් වෙලා හිටපු කාලෙකුත් තිබ්බ. ඒ කියන්නේ නිවැරදිව ඉලක්කයකට ගලකින් ගහන එක
දුවන ඉලක්කයක් උනත් මට මහලොකු දෙයක් නෙමෙයි, අපේ ගෙදරට හොරා කන්න එන බල්ලෝ බළල්ලු මගෙන් ගුටි කාල යන වෙලාවල් ඕනේ තරම්.
දුනු ඊතල නිර්මාණයේදී මම ඒ තරම් දක්ෂතා පෙන්නුවේ නැහැ
ඉතින් මම ඒ වගේ දුනු ඊතල කරුමාන්තේ අසාර්ථක වෙච්චි නිසා ලේසියෙන් හදන්න පුළුවන් කැටපොලේට බැස්ස
කොච්චර හොඳ කරු හොයාගෙන කොච්චර හොඳ රබර් පටි හොයාගෙන කැටපෝල හැදුවත් වැඩක් නැහැ
ටික දවසයි තියෙන්නේ, පටිය කැඩිලා යනවා. හේතුව ඒකට දාල විදින ගල් වලටම පටිය කැපිල යන එක
රබර් පටියේ මැදට සතෙක්ගේ හං කෑල්ලක් දාල හදා ගත්තනම් හරි කියන එක දැනගෙන හිටියත් කොහෙන්ද හං කෑල්ලක් හොයා ගන්නේ.
දැන් මොකද කරන්නේ,
ඔන්න ඔහොම ඉන්නකොට එක දවසක් අපේ ගෙදරට වරින් වර එන අපේ ගමේ කොල්ලෙක් ඉන්නවා රතු මහත්තය කියලා, මේකා ආව අපේ ගෙදර. මිනිහට අපි කිව්වේ රත්තා කියලා
මට වැඩිය අවුරුද්දක් බාල වෙච්චි රත්තා ඕනේ දේකට ඔට්ටු කොල්ලෙක්
අපේ ගෙදර ආවහම ගෙදර තියෙන පොල් ටිකත් කඩලා දීල එහෙම තමයි ඌ යන්නේ
එදත් ඇවිල්ල පොල් එහෙම කඩලා දීල අම්මත් ගෙදර නැති නිසා කුරුම්බා ගෙඩි දෙකකුත් කඩාගෙන බීල එහෙම තමයි අපි හිටියේ
මේ කියන දවස් වල මමත් 8 හෝ 9 වසරේ වගේ ඇති
අපි ඉතින් මේ දවස් වල අපිට තියෙන එක එක ප්‍රශ්න එහෙමත් සාකච්ජා කරන අතරේ මම මගේ ප්‍රශ්නෙත් රත්තට කියල දැම්ම
මේකා එක පාරටම කිව්වේ නැතෑ, ඕනෙනම් අපේ ගෙදර තියෙන එළු හමෙන් පොඩි කෑල්ලක් කපල දෙන්නම් කියල
මටත් ඉතින් ඉහේ මලක් පිපුන ගානයි
ඒ වෙලාවේම ගත්තා මගේ රේසින් කරත්තේ අතට, ගියා රත්තලගේ ගෙදර
(මේ කරත්තෙට තිබුනේ සැකිල්ලක් විතරයි. මේක ඕනේ තැනක ඇදගෙන යන්න පුළුවන්, හරියට දැන් කාලේ තියෙන මඩේ රේස් පදින ජීප් වගේ තමයි, රෝද ටිකයි ඒවා හයි වෙන ලී කෑලි දෙක තුනක් විතරයි)
ඒක මැටි ගහපු පුංචි ගෙදරක්
මම පොඩි කාලේ ඉඳල අදටත් මේ වගේ මැටියෙන් හදපු හොඳට බිම ගොම-මැටි ගාපු, පොඩි ඉස්තෝප්පුවක් එහෙමත් තියෙන, ඉස්තෝප්පුවේ බුරු ඇදකුත් තියල තියෙන, ගෙවල් වලට පිස්සුවෙන් වගේ ආසයි. ඒවායේ තියෙන සිසිල, වතුර කලගෙඩියේ වතුර වල තියෙන දිව්‍යලෝක රස...
රත්තගේ අම්මල තාත්තල එහෙම අපිට හරි ආදරෙයි
මගකදී දැක්කත් අහන්නේ "කොහෙද රත්තරනේ යන්නේ" කියල.... හරි ආදරණීය වචන
ඒක අදටත් එහෙමයි
මම ගමේ කමට ගමේ මිනිස්සුන්ට ආදරේ මෙන්න මේ වගේ අව්‍යාජ මිනිස්සු නිසා තමයි
ඔන්න දැන් රත්තා හං කෑල්ලක් කපනවා, මම බලාගෙන ඉන්නවා.... ඒක කපන්නත් ලේසි නැහැ
කොහොමින් කොහොම හරි එළු හං කෑල්ලත් අරගෙන මම ගෙදර ආව
මේ දවස් වල මගේ ගාව තිබුන මගේ චොපර් බයික් එකකින් අහක් කරපු රතු පාට හොඳට ඇදෙන ටියුබ් එකකින් බොහොම පරිස්සමින් කපා ගත්තු පටි කෑලි කීපයක්
මලයට වුනත් මම ඒකෙන් කෑල්ලක් දෙන්නේ බොහොම දුරට හිතල බලල වැඩකට නැති වගේ එකක් තමයි
එච්චරටම මට වටිනවා ඒක
ඒ වගේම දිවි කදුරු ගහකින් කපා ගත්තු හොඳම හැඩයේ කරුවකුත් තිබුනා මගේ ගාව
ඔන්න එදා හවස් වෙන්න කලින් ලස්සනට නියමාකාරව හදා ගත්තු කැටපෝලයක් මගේ අතේ
හවස් වරුවම ගත කලේ එක එක තැන් වලට ගල් විද විද, මගේ අලුත් නිර්මාණයෙන් උපරිම සතුටක් ගත්ත එදා හවස
ඔය අතරේ ඉතින් මලයත් එනවා මගෙත් එක්ක මෙව්වට සහයෝගයට
මේ දවස් වල මම අලුත් ගෙදරක් හදාගෙන තිබුනේ අඹ ගහ උඩ, ඒකට වෙලා කාලය ගත කරන එකත් අපි දෙන්නගේ දවසේ රාජකාරියේ කොටසක්
ඒකට යන පාරවල් දෙකක් තිබුනා, එකක් අඹ ගහ දිගේ, එහෙම නැත්නම පේර ගහ දිගේ නැගල, අඹ ගහට මාරු වෙලා
මම අඹ ගහ දිගේ යනවනම් මලය පේර ගහ දිගේ එනවා, ඌ අඹ ගහ දිහේ නගිනවානම් මම එනවා පේර ගහ දිගේ
ඔය කොයිකෙන් ගියත් අපිට ඒ දවස් වල ඒක කජු කනවා වගේ ලේසි වැඩක්
ඒත් දැන්නම් ඔය කාරිය කොරන්ට බැහැ, මම මේ මෑතකදී ඒ අඹ ගහට නැග්ග අඹ ටිකක් කඩන්න. නිකන් නෙමෙයි මුල හරියට ඉනිමගකුත් තියලා.
පහළ බැලුවහම පොඩ්ඩක් කැරකෙනවා වගේ ගතියක් ආව නොව, ඒත් ඉතින් හිත හයි කොරගෙන අඹ ටිකත් කඩලම තමයි ගහෙන් බැස්සේ
පස්සේ පස්සේ මම අලුත් සෙල්ලමක් හොයා ගත්ත
මේක කොරන්නේනම් ඉතින් ගොඩක් වෙලාවට ඉස්කෝලේ ඇරිලා එහෙම ආවට පස්සේ
අපේ ඉඩමේ ගෙට උඩහා කොටසේ තියෙන්නේ තේ වගාවක්, ඒකේ තේ ගස් අතරේ බිම ගෝනි පඩංගු දෙකක් විතර එලාගෙන තේ ගස් අතරින් එහෙ මෙහෙ පනින කුරුල්ලෝ දිහා බලාගෙන ඉන්නවා
තේ ගස් යට බිම ලෝකය හරිම අපුරුයි, පුදුම සනීපයක් දැනුනේ ඒ දවස් වල
ඔයාලට කියන්න මොකද මම මේ දේස දීපන්කරේ එන්ට කලින් සති අන්තයක ගෙදර ගියාමත් එහෙම තමයි ඕන්
තේ ගස් අතරේ නිදාගෙන හිටපු දවස් නැතුවම නෙමෙයි, ඒ ලෝකය පුංචි උනාට පුදුම අපුරුවක් තියෙන්නේ
ඔන්න ඔහොම අපි දෙන්නත් එක්ක ගොඩක් වෙලා ඉන්නවා, මට වගේ නෙමෙයි මලයට එහෙම ඉන්න තරම් හිතේ එක්කාසුවක් නැහැ, ඌ පොඩි එකා නොව ටික වෙලාවකින් ඌ යන්න යනවා,
මෙහෙම පැය ගණන් ඉන්නකොට එතන ඉන්න දෙමලිච්චන්ටත් අපි ගැන වගේ වගක් නැති වෙලා යනවා, උන් නිදහසේ පැන පැන කොළ රොඩු අවුස්ස අවුස්සා කෑම හොයනවා
ඔන්න ඔහොම මම තනි වෙච්චි වෙලාවක මගේ හිතේ මහා කාලකන්නි හැගීමක් ඇති වෙලා අතට ගත්තු කැටපෝලෙන් ගල් කීපයක් විද්ද එතන හිටිය දෙමලිච්චන්ට
රූන් ගාල ලඟින් පියඹල ගියා ගල් කීපය අතුරින් එකම එක ගලක් එක දෙමලිච්චේකුගේ ඇඟේ වැදුනා
කිසිම සද්දයක් බද්දයක් නැතුව ඌ නිශ්චල වෙලා, මමත් එක පාරටම ටිකක් බය වුනා.
මේ වෙලාවේ මගේ හිතේ ඇති වෙච්ච කාලකන්නි කම කියන්නේ මම තව පාරක් ඒ වැරැද්දම කලා
මම ගැන විශ්වාස කරපු දෙමලිච්චෝ ඒ වෙලාවෙවත් මං ගැන සැක කලේ නැහැ, උන් දිගටම කෑම අහුල අහුලා ඉස්සරහට ගියා
නැති වෙච්ච සගයෝ දෙන්න එක පාරටම කිසි සද්දයක් බද්දයක් කලේ නැති නිසා එයාලට මුකුත් සැකයක් ඇති නොවෙන්නත් ඇති
එක දවසක අහිංසක කුරුල්ලෝ දෙන්නෙක්ම.....
ඔහොම කාලයක් යද්දී මම කැටපෝල සෙල්ලමේ හොඳ ඉලක්ක කරුවෙක් උනා, කටපොලේට ටීක් බෝල දාල විදින්න, නම දන්නේ නැති කොළ පාට පොඩි ගෙඩි වර්ගයක් කඩාගෙන ඇවිත් ඒවා දාල දුර විදින්න, මේ වගේ නොයෙකුත් වැඩ කළා...
පස්සේ පස්සේ ඔය සිද්ධිය මට අමතක වෙලා ගියා,
ඊට අවුරුද්දකට වගේ පස්සේ දවසක හවස් වරුවක අපි බට්ටිච්චෝ කියල කියන පුංචිම පුංචි කුරුල්ලෝ කීප දෙනෙක් පහළ තියෙන පොඩි දෙහි ගහක එහෙට මෙහෙට පැන පැන සින්දු කියනවා මම බලාගෙන හිටියා
ඒ දෙහි ගහට අපුරුවට රාස්සිගේ අව රැල්ලක් වැටිලා තිබුනේ.
හරිම ලස්සන හැන්දෑවක්
අනේ... මේ වෙලාවෙත් මගේ ඇඟ ඇතුලේ ඉන්න යක්ෂයා එළියට ඇවිත්
කීප වතාවක්ම උත්සාහ කලත් උන් පුංචි වැඩි නිසා මට හරියට ඉලක්කෙට විදින්න බැරි උනා.
ඒත් මගේ කරුමෙට අන්තිමට විදපු ගලක් ඒ පුංචි කුරුල්ලෙකුට වැදුනා.
මට ඒ වෙලාවෙත් අර එදා දැනුනු හැගීමම දැනුනා, ටික වෙලාවක් බලන් ඉඳලා..
පස්සේ කාටවත් පේන්නේ නැතුව හොරෙන්ම පහළට බැහැල ගිහින් ඒ පුංචි කුරුල්ලව අතට අරගෙන බැලුවා
ඌට කිසි තුවාලයක් වෙලා නැහැ, ඒත් මුළු ඇඟම ගල් ගැහිලා පුංචි කකුල් දෙක ගල් වෙලා මගේ අත උඩ ඌ හිටියේ...
මට පුදුම දුකක් ඇති උන මම කරපු කාලකන්ණි වැඩේ ගැන, මේක ලියද්දිත් මගේ කාමරේ එකට ඉන්න යාලුවට පෙන්නේ නැති වෙන්න කී පාරක්නම් මම කඳුළු පිහිදාන්න ඇත්ද...
එතනින් පස්සේ මම ආයේ කවදාවත් කැටපෝල විද්දේ නැහැ. ඊට ගොඩ දවසකට පස්සේ මම දැක්ක මම අච්චර ආදරය කල කැටපෝලය අව්වට වැස්සට තෙමි තෙමි එළු හම දිය වෙලා ගිහින් ජරාජීර්ණ වෙලා තිබුනා
නමුත් ඒක සිද්ධ උනේ මට වයස 25 ක් වගේ වෙද්දී,
හදිස්සියේ දවසක මම ගෙදර යන්න යන ගමන්, ගෙදර නොගිහින් වෙන ගමනක් යන්න මට සිද්ධ වුනා. ඒ ගමන ගියේ යාළුවන්ගේ බල කිරීමට වගේ. ඒක දවස් 3 ක චාරිකාවක්. සාමාන්‍ය ට්‍රිප් එකක් නෙමෙයි, වැදගත් අරමුණකින් ගිය පාරිසරික ගවේෂණයක් ඒක.
ඒ වුනාට ඒකෙන් පස්සේ මම ගොඩක් වෙනස් මනුස්සයෙක් වුනා
කුරුල්ලන්ට සතා සීපාවට අසීමිතව ආදරය කරන්න පුළුවන් කමක්, උන් ගැන දැනගන්න, අධ්‍යනය කරන්න ආසාවක් ඇති වුනා.
ඉස්සර ඉඳල මගේ ඇඟේ හැංගිලා තිබුණු පරිසරය විඳීමේ ආසාව නැවත වර්ධනය කර ගන්නත් මට පුළුවන් වුනා
ඒකෙන් පස්සේ මම ජායාරුපකරණය පැත්තටත් වැඩිපුර යොමු වුනා, 2008 වසරේ වනජීවී අංශයෙන් මම ඉදිරිපත් කරපු ජායාරුපයකට තෙවන ස්ථානය හිමි වුනා. ඒකෙ හිටියේ ලස්සනම ලස්සන පුංචි කුරුල්ලෙක්.
2009 වසරේ මගේ ජායාරූපයකට පළමු ස්ථානයත් හිමි වුණා. මේ තියෙන්නේ ඒ ෆොටෝ දෙක.
2010 වසරේ මම ගත්තු ජායාරුප කිහිපයක් ලංකාවේ රජයේ දුරකථන සමාගමේ කැලැන්ඩර් එකේ පිටු කිහිපයකුත් සැරසුවා.
පස්සේ පස්සේ මම පිස්සුවෙන් වගේ තමයි වනජීවිතයට ආදරේ කලේ.
දැනට වනජීවින් සම්බන්ධව පරිවර්තනය කර ඇති පොත් පත් සියල්ලම වගේ මගේ ගාව තියෙනවා, ඊට අමතරව අපේ රටේ ලේඛකයෝ ලියපු ඒවත්
මේ කිසි දෙකින් මම කරපු වැරදි වහගන්න ලැබෙන්නේ නැහැ කියල මම දන්නවා. මොනවා කරන්නද.
2010 දී මගේ සියලුම කැමරා ආම්පන්න විකුණා දමා අලුත් රස්සාවක් හොයාගෙන මම විදේශගත වුනා. අදටත් මම ලංකාවට ගියහම කොහේ හරි කැලයකට ගිහින් දවස් ගානක් ගත කරලා තමයි එන්නේ.
අනේ පුංචි කුරුල්ලනේ මට සමා වෙන්න. මේක බලන ඔයාලත් මට සමා වෙන්න මෙච්චර නරක වැඩක් කලාට.
මේක හැමදාම හිතේ දරාගෙන ඉන්න බැරි නිසයි මෙහෙම පාපොච්චාරණය කලේ