Tuesday, 5 June 2012

විදියබණ්ඩාර කුමරාගේ ඔටුන්නේ ඉතුරු ටික කෝ....

ලංකාවට ආවට පස්සේ මට එක පෝස්ට් එකක්වත් දාන්න බැරි උනා. ඒකට හේතුව උනේ වෙලාවක් නැතිකමම නෙමෙයි. හිතේ එකලාසයක් නැති කම කියලයි මට හිතෙන්නේ. රට ඉන්න කාලේ මේ තරම් නිදහසක් නැති කාලෙදිත් බ්ලොග් එකට පෝස්ට් එකක් දෙකක් කොහොමහරි දානවා. ඒත් ලංකාවට ඇවිත් රස්සාවක්  නොකර ගෙදරට වෙලා හිටපු කාලේ දැන් මාසෙකට වඩා දවස් කීපයක් වෙනවා. ඒත් මේ කාලයේදී මට එක පෝස්ට් එකක්වත් දාන්න බැරි වෙච්ච එකට මගේ කම්මැලිකමත් ලොකු හේතුවක් උනා කියල මට හිතෙනවා.


මම ආපහු පරණ පුරුදු පුරුදු නිධන් කතාවකින්ම වැඩ අල්ලන්නයි මගේ කල්පනාව. මේ කතාව අපේ ගෙදර ඉඳලා කිලෝමීටර 2 ක් වගේ දුරකින් තියෙන තැනක වෙච්ච ඇත්ත සිද්ධියක්. ඊයේ දවල් වෙච්ච කතාවක් නිසා මට එක පාරටම මේ කතාව පෝස්ට් එකකට දාන්න ඕනේ කියල හිතුනා.
ඊයේ දවල් අපේ ගෙදරට ආපු ලොකු මාමා ටික වෙලාවක් මාත් එක්ක කතා බහ කරකර හිටියා. එයා කලා අංශයෙන් ගුරු උපදේශක වරයෙක්. අපේ ගම්පලාත ගැන ලියවෙච්ච පොතක තිබුණ යම් කරුණක් ගැන තමයි ලොකු මාමා මාත් එක්ක කතාබහ කලේ. ඒ පොතේ හැටියට විදියබණ්ඩාර කුමාරයාගේ ඔටුන්නේ කොටසක් කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බවක් ලියවිලා තිබුණු බවක් ලොකු මාමා මා හට පැවසිය.
එක පාරටම මට මතක් උනේ ගිය සතියේ වෙච්ච සිද්ධියක්. ගෙදරට වෙලා නිකන් ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇවිදින්න ගියපු වෙලාවක මම මේ ඔටුන්න ලැබුණ බව කියන  ඉඩමේ දාල තියෙන තීන්ත කඩේට ගොඩ උනේ පොඩි වැඩක් කරගන්න. ඒ කඩේ ඉන්නේ ඉඩමේ හිමිකරුගේ පුතා. කඩේට ගොඩවෙලා මගේ වැඩේ කෙරෙනකල් ඔහුත් සමග ඒ පරණ සිද්ධිය ගැන පොඩ්ඩක් කතාබහ කරන්න මට හිතුනේ අහම්බෙන් වගේ. ඔටුන්න හම්බ වෙච්ච සිද්ධියට දැන් අවුරුදු හය හතක් විතර වෙනවා මට මතක විදිහට.


ලොකු මාමා මට කියපු විදිහට දැන් කෞතුකාගාරයේ තියෙන්නේ ඔටුන්නේ කොටසක් විතරයි. මේක ඇහුවම මට පුදුම හිතුනේ ඇයි මේ එක කොටසක් විතරක් කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙන්නේ කියලයි.
මේ සිද්ධිය සිද්ධවෙච්ච කාලේ විතරක් නෙමෙයි ඊයේ පෙරේදා අහම්බෙන් වගේ දැන ගත්තු විදිහටත් විදියබණ්ඩාර කුමාරයාගේ ඔටුන්නේ කොටසක් විතරක් නෙමෙයි සම්පුර්ණ ඔටුන්නම කෞතුකාගාරයේ තියෙන්න ඕනේ.



දැනට අවුරුදු හයකට විතර කලින් වෙච්ච මේ සිද්ධිය මම අප දැනගත්තේ මෙන්න මේ විදිහට.
අදාළ ඉඩම තරමක කඳු ගැටයක් සහිත ඉඩමකි. එහි හිමිකරුගේ අනුමැතිය ඇතිව වෙනත් පාර්ශවයක් පස් කැපීමේ නිරතවී සිට ඇත. එම පස් යම් කිසි ඉඩමක් ගොඩ කිරීමේ කටයුත්තක් සඳහා ට්‍රැක්ටරයක් ආධාරයෙන් ප්‍රවාහනය කරමින් සිට ඇත. පස් කැපීමට යොදාගත් යකඩ ඉන්නක ඇනුන අමුතු යමක හඬ ඇසුණු පිරිස කල විපරමේදී මැටි මුට්ටියක් තුළ තිබූ එම රන් ඔටුන්න ලැබුණු බවය. නමුත් එය බෙදා ගැනීමට යාමේදී ප්‍රශ්නයක් ඇතිවූ බවක් එදවස කියැවුනි. එනම් ඉඩමේ හිමිකරු එහි සම්පුර්ණ අයිතිය ඔහු සතු බවත්, පස් කැපු අය එහි සම්පුර්ණ අයිතිය ලබා ගැනීමට තැත්කළ බවත්ය. කෙසේ හෝ එය කොටස් වලට කඩා බෙදා හදා ගැනීමට මොවුන් ක්‍රියා කර ඇති බවක්ද කියැවුනි. ඉන් අනතුරුව මෙම සිද්ධිය කෙසේ හෝ පොලිසියට ආරංචි වී ඇති බවත් එය පොලිසියෙන් රැගෙන ගොස් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් බවත් එදවස අප ඇසු කතාව විය.


ගිය සතියේ ඉඩම් හිමි කරුගේ පුතා හමුවී මා අසාගත් කතාව මෙසේය.
ඔවුන්ට අයත් ඉඩමේ පස් කැපීමේ යෙදුනු පිරිස එම කාර්යය කරගෙන ගොස් ඇත්තේ යන්ත්‍ර සුත්‍ර ආධාරයෙන් නොව මිනිසුන් කිහිප දෙනෙකුගේ ශ්‍රමයෙන් වන අතර, කන්දිය කැඩීමෙන් පසු වැටෙන පස් කෙළින්ම ට්‍රැක්ටරය තුළට වැටෙන සේ තබා තම කාර්යය කරගෙන ගොස් ඇත. එහිදී යකඩ ඉන්නක වැදී මැටි මුට්ටිය තුළ වූ රන් ඔටුන්න කොටස් හයකට කැඩී ට්‍රැක්ටරය තුළට වැටුණු බවත් එහි සිටි හය දෙනා එම රන් කොටස් 6 බෙදාගත් බවත්ය. ඉන් එක් අයෙකු තමාට ලැබුන කොටස උකස්‌ කිරීමට රජයේ බැංකුවකට ගොස් ඇති බවත් බැංකුව හරහා ලැබුණු තොරතුරු හරහා ඔටුන්නේ කොටස් සියල්ලම පොලිසිය භාරයට ගත්බවත් ඉන් සතියකට පමණ පසුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට එම කොටස් ලබා දුන් බවත් ඔහු පැවසීය.


(රන් ඔටුන්න කොටස් හයකට කැඩී එහි සිටි හය දෙනා එම කොටස් හය  බෙදාගත් බව කියූ කියමන පමණක් මා විශ්වාස නොකළේ, එය ඉබේ කැඩුණු බවක් මා විශ්වාස නොකරන නිසාය)



මා ඇසු මෙම කතා දෙකෙන්ම කියවෙන පරිදි එම ඔටුන්නේ සියළුම කොටස් පොලිසිය වෙත ලබා දී ඇති බව කියවිණි. පොලිසිය හරහා එම කොටස් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට බාර දුන් බවද කියවිණි. නමුත් පොතේ ඇති පරිදි කෞතුකාගාරයේ ඇත්තේ එක කොටසක්ලු.
ඉතිරි කොටස් කිහිපය නතර වුයේ කොහිදැයි සිතීම ඔබට බාරය.

Thursday, 26 April 2012

සමු ගන්න අවසරයි....!

ජීවිතය ගලා ගියේ මට උවමනා ආකාරයට නොවේ. සෙමින් ගලායන ජීවිතයකට වඩා ඉක්මන් බවක් මා බලාපොරොත්තු වීම එම හැඟීමට හේතු වූවා විය හැක. කෙසේ නමුත් 2009 වසර අවසානය වන විට තීරණයක් ගතයුතු බවට මූලික සංඥා මතුවෙමින් තිබුණි. ජිවිතයේ යම්කිසි අඩුවක්, එසේත් නැතිනම් කිසියම් කඩා වැටීමක් සිදුවී ඇතිබව මා හට දැනෙමින් පැවතුනි. ස්ථාවර බවක් පිලිබඳ කිසිදු හැඟීමක් දැනුනේ නැත.


හරියටම අදින් වසර දෙකකට මදක් වැඩි කාලයකට පෙර දිනෙක එනම් 2010 ජනවාරි මස 27 වැනිදා ආදරණීයන්ගේ කඳුළු මැදින් ලක්මවට සමුදී නිරුදක කතරක් බලා ඒමට හිත හදා ගැනීමට මා හට සිදු විය.
ඒ අවස්ථාවේ මා දුටු අවසන් තුරුම්පුව එය විය. මා එය දමා ගැසුවෙමි.
නව රැකියා ස්ථානයේ අප හට තිබූ තත්ත්වය සහ පිළිගැනීම ලංකාවේදී මෙන් නොව, අහස පොළව මෙන් දුරස්ථ විය. මුල් කාලයේදී හිතට දැනුණු දුක සහ වේදනාව නිසා රැකියාව හැරදමා ආපසු ලංකාවට ඒමට කීප වරක්ම සිතුනද ආපසු හැරීමට නොහැකි මාවතක මා සිර වී ඇතිබව වටහා ගැනීමෙන් පසු එම කටුක ජිවිතයට මුහුණ දීමට හිත හදා ගැනීමට හැකි වීම එක්තරා අතකින් වාසනාවක් විය.


හැමදාමත් බලාපොරොත්තු නොවන තරම් වේගයෙන් ගෙවී යන නිවාඩුවක් අවසානයේ ලංකාවෙන් පිටත්ව ඒමේදී හිතට දැනුණු කාලකන්ණි හැඟීමත්, රාජකාරි ස්ථානයේ මා දුටු අප්‍රසන්න භාවයත් නිසා නැවත පැමිණීමේදී හිතට ඇතිවූ හැඟීම කෙබඳුදැයි විස්තර කිරීමට වචන මා හට නොමැත. තමන්ගේ උන්ගෙන් සමුගෙන රටින් පිටව ඒමේදී හිතට දැනෙන හැඟීම කෙබඳුදැයි බොහෝ දෙනෙකුට අත්දැකීම් ඇතුවාට සැක නැත.



ජිවිතයේ කඩඉම් එකින් එක බොහෝ සෙමින් ජය ගන්නා අතරතුරේදීම  මෙයින් මිදී පළායාමේ නිශ්චිත මගක් ඉක්මනින් පාදාගැනීම මාගේ ඊළඟ අරමුණ විය.
දැනට මාස කීපයකට පෙර එම පියවරද සාර්ථකව ඉදිරියට තැබීමට හැකි වීම මාගේ මෙන්ම මාගේ බිරින්දෑගේද වාසනාවක්ම විය. මෙහි ගෙවූ ජීවිතය කෙරේ සිතතුළ ඇතිව තිබූ අකමැත්ත එම මග පහසු කලාක් වැන්න.

(මා තැබූ පියවර කෙබන්දක්දැයි සහ මා දයාබර බිරින්දෑ මට දුන් සහය ගැන කළින් පෝස්ටුවකදී මා සඳහන් කර ඇත)
ඇත්ත වශයෙන්ම එය මහා පියවරක් නොව, කුඩා පියවරක් වුවද සිතට ගෙන දුන්නේ මහා හයියකි. එය නොමැතිව වුවද මේ කාලය වනවිට ලංකාවට යායුතු බවට මා තීරණය කර තිබූ බව ඔබට මතක ඇතුවාට සැකයක් නැත.
ලංකාවට ගොස් නැවත රැකියාවක් සොයාගැනීමට නොහැකි වෙතැයි යන දෙගිඩියාව නිසා මෙවැනි රටවල සිරවී සිටින මිනිසුන් මා ඇති පදම් දැක ඇත්තෙමි. සමහරුන් පවුලේ වගකීම් නිසාද සමහරුන් ගෙවල් ඉඩකඩම් වෙනුවෙන්ද මෙහි සිරවී සිටින බව මා දුටුවෙමි. ඒ ඇරෙන්නට මෙහි ජීවත් වීම සැපතක් ලෙස දකින ඉතාම සුළුතරයක්ද දැක ගැනීමට හැකිවිය. (මම මෙහිදී කතා කරන්නේ ශ්‍රී ලාංකිකයින් ගැන පමණි)
මෙහි පැමිණි පළමු දින පටන් මා සිත තුළ ඇතිවූ නොපහන් හැඟීම නිසාම ඕනෑම වෙලාවක මින් පිටවී යාහැකි වන පරිදි මා නිදහස්ව සිටිය යුතුය යන අදහස මා සිතේ මුල්බැස ගත්තේය. මෙම රැකියාවෙන් පිටවී යාමට නොහැකි වනසේ බන්ධනයන් ඇතිකර ගැනීම නුවණට හුරු නැත. කෙළින්ම කියන්නේනම් ණය නොවී ජිවිතයට ශක්තිමත් අඩිතාලමක් දමාගැනීම මගේ මූලික අරමුණ විය. බිරිඳගේ සහයෝගය සමගින් අපගේ ඉලක්කය කරා ලඟාවීමට මීට ටික දිනකට පෙර හැකි විය.
බලාපොරොත්තුව සඵල වූ පසුව තව දුරටත් මෙහි රැඳී සිටීමෙන් පලක් නැත. ඒ මට සිතෙන හැටිය. ජීවිතයේ පංගුකාරයින් සොයා මා යළි ගමන්කළ යුතුව ඇත.


ඔව් ඔබ සිතුවා නිවැරදිය. මේ මොහොත වන විට ආදරණිය මතකයන් සොයා මව්බිම බලා මා පළා යමින් සිටින්නෙමි....


හෙට සිට මතකයේ රැඳුනු තැන් සමගින් ලංකාවේදී හමු වෙමු....!



ප.ලි.
කුමන කරදර අපහසුතා මැද වුවත් අපේ ජීවිත වලට ආලෝකයක් ලබා ගැනීමට උදව් වූ ආයතනයටත් (නම කීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි), මා හා සේවය කල සියළු දෙනාටත් මා හට මෙම රැකියා අවස්ථාව ලබා ගැනීමට උදව් උපකාර කල මිතුරු කැලටත්, මා හට රැකියාවක් කිරීමට අවස්ථාව සළසා දුන් මේ රටටත් අවංක ස්තුතිය පුද කර සිටිමි.....