Saturday, 28 April 2018

ඩයලොග් හිඟන්නෝ...


අවුරුදු දෙකකට ආසන්න කාලයක් අකර්මණ්‍ය වී තිබුන බ්ලොගය නැවත පණ ගැන්වූ ඩයලොග් හිඟන්නා හට ඔක්කෝටම කලින් ස්තුති කළ යුතුය...

මට මතක විදිහට මා ඩයලොග් හිඟන්නා ගේ සේවය ස්ථාවරව ලබා ගත්තේ 2008 වසරේදී පමණ විය යුතුය. මාගේ නමට පසු ගෙවුම් පැකේජ තුනක් සහ වහිනවා කියන වචනය ඇසෙන විට පවා නැතිවෙන ඩයලොග් හිඟන TV පැකේජ එකක් සහ මගේ නමට නැතත් මම බිල ගෙවන තවත් ඩයලොග් හිඟන TV පැකේජයක්ද ඇත.
ඉන් එක පසු ගෙවීමේ පැකේජයක් අද දින එනම් 2018.04.28 වන දින අවලංගු කර දැම්මේ හිඟන්නට වුවද දන් දීමේ සීමාවක් තිබිය යුතු නිසාය...

සාමාන්‍යයෙන් මාගේ දත්ත පැකේජයේ දත්ත යාවත්කාලින වනුයේ සෑම මසකම 15 වැනි දිනටය. මා භාවිතා කරන 9GB (10% ක අමතර ඩේටා ප්‍රමාණයක්ද ඔවුන් දෙනු ලැබේ) පැකේජයේ දත්ත සෑම මසකම පාහේ මා හට ප්‍රමාණවත් වන අතර ගිය මස පමණක් එහි වෙනසක් සිදු විය. එනම් 2018.04.10 වැනි දින වන විට පැකේජයට අදාළ දහවල් කාලයේ 5.5GB භාවිතා වී තිබු අතර රාත්‍රී කාලයේ භාවිතා කිරීමට ඉඩ ලබා දී ඇති 4.4GB දත්ත ප්‍රමාණයෙන් 75% ට ආසන්න ප්‍රමාණයක් ඉතිරිව පැවතුනි.

ඉන් පසුව ඔබ ආයතනයෙන් ලද කෙටි පණිවුඩයක් හරහා දුන් උපදෙස් පරිදි රුපියල් 349/- ට (50% ට වඩා වැඩි ටැක්ස් ප්‍රමාණයක් පසුව එකතු වේ) ලබා දෙන දිවා කාලයේ 4.4GB සහ රාත්‍රී කාලයේ ලබා දෙන 2.2GB වන පැකේජයක් දිගුවක් ලෙස 2018.04.10 වැනි දින ලබා ගත්තෙමි. එම දත්ත ප්‍රමාණය 2018.05.10 දින දක්වා වලංගු බවටද ඔවුන් ගේ දත්ත සටහෙන් දක්වා තිබුණි.
එය ලබා ගත් පසු මාගේ සාමාන්‍ය පැකේජයේ ඉතිරිව තිබු 2018.04.15 දින ආරම්භ වනතෙක් වලංගු ව තිබු රාත්‍රී කාලයේ දත්ත 75% ක් පමණ බහිරවයා විසින් ගිල දමා තිබුණ අතර ඉන් කනස්සල්ලට පත් නොවී සිටියේ 15 වැනි දින වනවිට එම ගැටලුව විසඳේ යයි සිතාය. ඩයලොග් ආයතනය යනු හිඟන්නෙක් බව එම සිද්ධිය නිසා නොසිතුන අතර මම එය උපේක්ෂාවෙන් බැහැර කර දැමුවෙමි.

මේ වන විට 2018.04.10 වැනි දින මා විසින් දිගු කරගත් පැකේජයේ දිවා කාලයේ දත්ත වලින් පාවිච්චි වී ඇත්තේ 7% ක් වන අතර රාත්‍රී කාලයේ දත්ත සම්පුර්ණයෙන්ම භාවිතා වී තිබුණි. 

ඉන් අනතුරුව 2018.04.15 දින සුපුරුදු පරිදි මා භාවිතා කරන දත්ත පැකේජයේ දත්ත සියල්ල නැවතත් සක්‍රීය වී තිබුණි.
ඩයලොග් ආයතනය කැළණි හිඟන්නන්ටත් අන්ත බව වැටහෙන්නට පටන් ගත්තේ එවිටය.

2018.05.10 වැනි දින දක්වා වලංගු වන කළින් මාසයට අදාලව දිගු කරගත් දත්ත 93% එලෙසම තිබියදී  මා සාමාන්‍යයෙන් භාවිතා කරන 2018.05.15 දින දක්වා වලංගු  පැකේජයේ දත්ත පමණක් භාවිතා කරවන සෙල්ලම ඇරඹෙන්නේ එවිටය. අදාළ Screen shots මේ සමග අමුණා ඇත.

2018.05.10 දින කල් ඉකුත්වීමට නියමිත කළින් මස දිගු කරගත් දත්ත...

2018.05.15 කල් ඉකුත් වීමට නියමිත මාගේ සාමාන්‍ය පැකේජයේ දත්ත සටහන...

එවිට ඔවුන්ට මා කලින් මුදල් ගෙවා ලබාගත් පැකේජයේ දත්ත භාවිතා කිරීමට බලහත්කාරයෙන් ඉඩ නොදී ඒවා අපතේ යැවීමට හැකි වන අතර මා හට සේවාවක් ලබා නොදී මා ගෙවූ මුදලෙන් අයුතු ලාභයක්  ලබා ගැනීමටද හැකිය.
එමෙන්ම මාගේ සාමාන්‍ය පැකේජයේ දත්ත ප්‍රමාණය ඉක්මනින් අවසන් වුවහොත් නැවත එවැනිම මගඩියක් කර ගාණක් කඩා ගැනීමටද හැකිය.

කෙලින්ම කියන්න තියෙන්නේ ඕවා තුට්ටු දෙකේ වැඩ බවත් හිඟන්නන් පවා ඔයිට වඩා නම්බුකාර ලෙස තමන්ගේ බඩවියත රැක ගැනීමට කටයුතු කරන බවත්ය. නම්බුවක් ඇති ආයතනයක්නම් කළ යුතුව තිබුනේ මා කලින් මසට අදාලව මුදල් දී දිගුවක් ලෙස ලබාගත් 2018.05.10 දින දක්වා වලංගු පැකේජයේ දත්ත අවසන් වූ පසු නව මාසයට අදාළ දත්ත පරිභෝජනය ආරම්භ කිරීමය.

මෙම ලියවිල්ලෙන් මහලොකු දෙයක් බලාපොරොත්තු වන්නේ නැති අතර ඔබ ආයතනයේ  හිඟනකම සහ නිරුවත සැමට පෙන්වීම මාගේ අරමුණ බවටත් සඳහන් කරමි. කරුණු පැහැදිලිව දක්වා ඇති නිසාත් ඔබ ආයතනය විසින් සිදු කරනු ලබන මෙම මගඩිය සම්බන්ධව ඔබ ආයතනය දැනුවත් නොවී සිටීමට කිසිඳු හේතුවක් නැති නිසාත් මා හට ඇමතුම් ලබා දී නිකරුණේ කාලය කා දමන්නට උත්සාහ නොකරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ ආයතනයේ පාරිභෝගික සැළකිල්ලේ හොඳකම නිසා මුළින්ම දත්ත පැකේජය වෙනත් ග්‍රාහකයෙක් හරහා ලබා ගැනීමට කටයුතු කරන බවටද, ඉන් පසුව හැකි අයුරින් අනෙක්වා ගැනද හෙමි හෙමිහිට කටයුතු කරන්නට අදිටන් කරගත් බවටද සතුටින් දන්වා සිටිමි...
එමෙන්ම මෙය Facebook සහ බ්ලොග් හරහා මෙම පහත ක්‍රියාව මෙවැනි අසාධාරණයන්ට ලක්වන ඔබගේ අනෙකුත් පාරිභෝගිකයින්ගේ දැනගැනීම සඳහා ප්‍රචාරය කරන බවද දන්වා සිටිමි...

ස්තුතියි...

මෙම ලිපියේ කොපියක් ඩයලොග් ආයතනයේ විද්‍යුත් තැපෑලට මාගේ දුරකථන අංකද සහිතව යොමු කරන ලදී...

Friday, 26 August 2016

අයිස් කඳු බිඳ දමමින් මා සිත්ගත් ගී ජය ගනී...

පෙබරවාරි මාසෙන් පස්සේ පෝස්ට් එකක් දාන්න උනේ නැහැ නොයෙකුත් වැඩ රාජකාරි කටයුතු නිසා. හැබැයි පුළු පුළුවන් විදිහට බ්ලොග් කියවීම වගේම කමෙන්ට් දාන එකත් නොකඩවා කරගෙන ගියා...
ඊයේ පෙරේදා දවසක ඉයන් තුමා ලියපු බ්ලොග් පෝස්ට් එක කියෙව්වා වගේම එතන කමෙන්ට් එකකුත් දැම්මා, ඊට පස්සේ කලණ ගේ පෝස්ට් එක කියවලත් කමෙන්ට් දැම්මා. නමුත් මම කැමති සිංදු දාල පෝස්ට් එකක් ලියන්න ඒ වෙලාවේ හිතුනේ නැහැ වෙලාව කළමනාකරණය කර ගැනීමේ ගැටළු නිසා...

ඒ අදහස ඔළුවට ආවේ හරියටම ගිය සෙනසුරාදා උදේ පාන්දර, හරියටම කිව්වොත් පාන්දර තුනයි තිහට විතර. හදිස්සියේ ඇහැරුනාට පස්සේ නින්ද ගියේ නැහැ. කරන්න තියෙන වැඩ කන්දරාවක් ඔළුව ඇතුලේ හොල්මන් කරන අතරේ ඒකෙන් මිදෙන්නත් එක්ක ෆෝන් එකෙන් සිංදුවක් ඇහුවා...
ඊට පස්සේ මම කැමති සිංදු කීපයක් මතක් කර කර ෆෝන් එකේ නෝට් එකක් දා ගත්තා සිංග්ලිෂ් වලින්. ඊට පස්සේ තමයි ඉතුරු හරිය, සෙනසුරාදා පෝස්ට් එක දාල ඉවර කරනවා කියල හිතුවට කරන්න උනේ නැහැ, දැන් සතියකට කිට්ටුයි. අද කොහොමහරි ඉවරයක් කරනවා කියල හිතාගෙන පටන් ගත්තා...
හැබැයි මට මේ සිංදු ගැන වැඩි විස්තරයක් දාන්න වෙලාවක් නැහැ. පුළුවන් කොටසකට විතරක් දාන්නම්. සිංදු ලිස්ට් දාපු හැමෝගෙම වගේ පෝස්ට් බැලුව. ඒවායේ තියෙනවා මම හොඳටම කැමති සිංදු. ඒත් මම හිතුවා ඒවයේ නොතිබ්බ මට හොඳයි කියල හිතෙන සිංදු වලින් ලිස්ට් එකක් හදා ගන්න. ඒත් 16 පනිනවා. තෝර ගත්තු ලස්සන සිංදු ටික කපන්න හිතෙන්නෙත් නැහැ...
(සමහර විට ඒවායේ තියෙන සිංදු මෙතන ඩුප්ලිකේට් වෙන්න බැරි කමකුත් නැහැ මගේ මතක බැරි කමකින්. එහෙම වෙලා තිබ්බොත් ඒ ගැන සමාව භාජනයක දාල දෙන්නය කියා ඉල්ලා සිටිනවාය.)

මම සාමාන්‍යයෙන් සිංදුවක් අහන්නේ ලොකුවට සද්දෙට දාගෙන නෙමෙයි, හෙඩ් සෙට් එකක් දාගෙන අහන එක තමයි මගේ ත්‍රිල් එක. වාහනේ යන ගමන් සිංදු අහන එකත් මම කැමති දෙයක්...

ඔන්න එහෙනම් මගේ සින්දු ලිස්ට් එක. කැමති අනුපිළිවෙලකට නෙමෙයි මෙතන තියෙන්නේ...

01. දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි... (භද්‍රජී ජයතිලක සහ සමිතා මුදුන්කොටුව)
නෙට් එකේ දාල තියෙන්නේ සහය ගායිකාව සමිතා මුදුන්කොටුව කියලා. ඒත් මට ඒක ඒ තරම් විශ්වාස නැහැ...
මේ සිංදුවට මම පොඩි කාලේ ඉඳලම ආසයි. ඉස්සර ගොඩ දවස් වලට මේ සිංදුව උදේට රේඩියෝ එකේ යනවා. ඒ අතීතකාමය නිසාද දන්නේ නැහැ මම මේ සිංදුවට කැමති...
පසු කාලීනව මේ සිංදුව අහන්න ලැබුනේ නැතත් අහම්බෙන් රේඩියෝ චැනල් එකක යනවා ඇහිලා ඩවුන්ලෝඩ් කරගෙන අහන්න ගත්තා...



02. රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ... (මාලිනි බුලත්සිංහල)
ඉතාම සංවේදී සිංදුවක්. මේවා හුදකලාව ඉඳගෙන අහන්න වටිනා සිංදු...



03. සිහින හතක් දුටුවෙමි මම... (වික්ටර් රත්නායක)



04. මා එක්කලා අමනාපව වී දබර, දුගේ තාත්තා එන්නේ නැහැ ගෙදර... (මාලිනි බුලත්සිංහල)



05. තාත්තා වුනත් මා බත සරි කරන... (W.D. අමරදේව)



06. කොළොම්තොට නැත මහලු වී... (W.D. අමරදේව)



07. රනින් මාල මගේ ඇඹේනියගේ ගෙලේ නෑ... (ග්‍රේෂන් ආනන්ද)


08. අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ... (ග්‍රේෂන් ආනන්ද)


09. ඉපදී ලොවේ නවාතැන්පොලේ... (ග්‍රේෂන් ආනන්ද)

10. තරිඳු නැගෙන යාමේ... (මිල්ටන් මල්ලවාරච්චි)

11. සිරීපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා... (නිරංජලා සරෝජිනී)



12. ඇරඹුමම කඳුලක් වෙලා... (කසුන් කල්හාර)


13. බිරිඳ මගේ ඔබ, නෑ මා ඔබගේ බිරිඳ නොවේ... (ගුණදාස කපුගේ සහ නන්දා මාලිනි)


14. හන්තානේ කඳු දන ඇන නමදින සිරි දළදා හාමුරුවනේ... (ගුණදාස කපුගේ)


 15. සීත පිනි බින්දු කඳුළු සලනා, මළානික තරු වැළපෙනා, පාලු මාවත තනිවෙලා...
     නැගනියේ නුඹ කා පතාදෝ මග බලා ඉන්නේ... (ගුණදාස කපුගේ)
සමාජයේ නොයෙකුත් රැකියා පරාස සහ මිනිසුන් වෙනුවෙන් ලියවුනු ගී ගැයූ කපුගේ...



16. ආදරේ මහා සුන්දරයි කියා, පේළි පේළි ගෑණු ළමයි මා දිහා බලා...
පාට පාට හීන ගානේ පා වෙලා ගියා... (රුක්මන් අසිත)
මේ සිංදුව දවසක් ගෙදර උන්ද එක්ක වාහනේ යද්දී හදිස්සියේ ඇහිලා අමුතු ගතියක් දැනුන නිසා උනන්දුවෙන් ඇහුවා. මම මේකට කැමති වෙච්ච බව දැනිච්ච හාමිනේ මගේ දිහා බැලුවේ නිකං නක්කලේට වගේ...


මීට අමතරව මම කැමති සඳු අටෝරාසියක් තියෙනවා...
ඒකට කාරී නැහැ, මාස ගානකින් පෝස්ට් එකක් දාන්න පාර සළසලා දීපු පිනෙන් ඉයන් තුමාව අඹ සම්මානයෙන් පිදුම් ලබන්න ඕනේ කියල ප්‍රාර්ථනා කරනවා...

ඉතාම හදිස්සියේ ලියුවක් බැවින් අඩුපාඩු සහිත විය හැකි බව කල් තියාම දැනුම් දෙමින් ඔළුව බේරා ගැනීමටද කල්පනා කලෙමි...
ඔබ සැමට ජය වේවා...!

සියළුම ගී සබැඳියන් www.youtube.com අඩවියෙන් උපුටා ගන්නා ලදී...

Sunday, 28 February 2016

කුරුපොඩි ඇල්ල මැද නිධානය...

2013 අවුරුද්දේ වෙසක් පෝය යෙදිලා තිබුනේ 23 වෙනි සිකුරාදා. දවස් තුනේ නිවාඩුව අල්ලලා කොහේ හරි යන්න හිතාගෙන හිටිපු නිසා වාහනේ හදන්න තිබ්බ ගොඩක් අඩුපාඩු හදන්නය කියල මම ඒ දවස්වල “හැමදාම වගේ”යන ගරාජ් එකක් වෙච්ච හුණුපිටියේ තියෙන එරංගගේ ගරාජ් එකට වාහනේ දැම්මේ 23 වෙනිදා පාන්දරින්. වාහනේ හදන්න දාල මම ආපහු වැඩට ආවේ හවස් අතේ අපේ රියදුරු මහත්තැන් කෙනෙක් යවලා වාහනේ ගෙන්න ගන්න බලාපොරොත්තුවෙන්.
හවස 04:00 විතර වෙද්දී වැඩ ඉවර බවත්, වාහනේ ගෙනියන්න එවන්න කියල මට කෝල් එකක් ආවා. අපේ රියදුරු සහ ඔපරේටර් වෙච්ච කරූව තමයි වාහනේ ගේන්න පිටත් කලේ. මිනිහට JCB, Excavator, Tower crane, Crawler crane, mobile crane, Light vehicle, Heavy vehicle, ගල් රෝල්, බොබ් කැට් ආදී එකී නොකී හැම දෙයක්ම ඔපරේට් කරන්නත් ඕනෙම වාහනයක් එළවන්නත් පුළුවන්. ඔන්න ඉතින් මිනිහ ගිහින් ගෙවන්න තිබ්බ බරපතල බිලත් ගෙවල ඉවරයක් වෙලා වාහනේ අරගෙන ඇවිත් තිබ්බා. වාහනේ සයිට් එකට ගේද්දී ඕනෙනම් වෙලාව හවස 05:30 ට වගේ ඇති.

හදල ගෙනාව කිව්වට මම ඉතින් ආයේ ඕක බලන්න ගියේ නැහැ, සුපුරුදු පරිදි රෑ 07:00 ට ඕෆ් වෙලා ගෙදර යන්න පිටත් උනා. අපේ සයිට් එකේ ඉඳලා ගෙදරට යන්න තියෙන්නේ කිලෝමීටර 6 ක් වගේ දුරක්. එදා පාරේ වාහන සෑහෙන වැඩි දවසක්. ගෙදරට යන කිලෝමීටර 6 න් ඕනෙනම් 4 ක් යන්න ඇති. චටස් පටස් වගේ අමුත් සද්ද බද්ද ටිකක් ඇහෙන්න ගත්තා එන්ජිම දිහාවෙන්. තව ටික වෙලාවකින් මොකක් හරි යකඩයක් එකට ඇතිල්ලෙන සද්දයක්.
මේ එක්කම වාහනේ බ්රේක් නැති උනා, පවර් ස්ටියරින් නැති උනා, ඔය වගේ වෙන්න ඕනේ දේවල් ගොඩක් සිද්ධ උනා. ඒ වෙලාවේ මම ආවේ කොළඹ තියෙන අතුරු පාරක, ටිකක් ඉඩ තියෙන තැනකට එනකල් මුළු ඇඟේ හයියෙන් එහෙට මෙහෙට කපකපා මුළු බරම දාල බ්රේක් ගහගෙන ඇවිත් ඉඩ තියෙන තැනක වාහනේ නතර කරගෙන ගරාජ් එකට කෝල් කලා. ඌ කිව්ව විදිහට මට කරදරයක් නැතුව ගෙදරට යා ගන්න පුළුවන්ලු. ඒත් බ්‍රේක් පවර් ස්ටියරින් වැඩ කරන්නේ නැති වාහනේක ඉතුරු කිලෝමීටර් දෙකට ආසන්න දුර යන එක ගැන කොළඹ ට්‍රැෆික් ගැන දන්න කෙනෙකුට තේරෙයි. ආසිරි හොපිටල් එක හරහා නාවලට යන පාරේ ඒ වගේ වෙලාවට යන එක මොන තරම් ලේසි පහසු වැඩක්ද කියලා හිතා ගන්නකො.
මේ තියෙන්නේ ඒ ගමන ගිය වාහනේ, දැන් මගේ ළඟ නැහැ. මට සෑහෙන උදව් වගේම කරදර දීපු වාහනයක්.
හැබැයි දැන් ජපන් වාහන පදිද්දී තියෙනවා මේ වාහනේ පදිද්දී තිබ්බ පහසුව ඒවයේ නැහැනේ කියලා
කොහොමහරි හෙණ ගේමක් දීගෙන ගෙදරට ගිහින් ආපහු ගරාජ් එකේ එරංගට කෝල් කලා, දැන් මුකුත් කරන්න බැරි බවත් හෙට මොනවා හරි කරමු කියන උත්තරේ එක්ක අපි දෙන්නගේ ගමේ යන සිහිනය බොඳ උනා. ඒ වෙද්දී අපේ පොඩි එකා හම්බ වෙන්න තව මාසයක් වගේ තිබ්බ නිසා ගොඩක් දුර යන්න මගෙනම් ඒ තරම් කැමැත්තක් තිබුනේ නැහැ.
පහුවෙනිදා උදේ 08:00 ට විතර එරංග ආවා මිනිහගේ හොඳ ගෝලයෙක් එක්ක, මම කිව්ව විස්තර වලට මිනිහ දැනගෙන තියෙනවා කුඩු උනේ මොනවද කියන එක. එදා අළුත් බඩු ගන්න තැනක් නැති නිසා ගරාජ් එකට දාපු වාහනේක ඩ්‍රයිව් බෙල්ට් එකයි, බෙල්ට් ඇජෙස්ටර් එකයි එරංග ගලවගෙනම ඇවිත් තිබුනා. කලින් දවසේ හවස මිනිහගෙන්ම දාපු බෙල්ට් එක කැඩිලා එතනින් වෙච්ච හානියක් නිසා එතැනින්ම දාපු අළුත්ම බෙල්ට් ඇජෙස්ටර් එකත් කුඩු වෙලා. එක්කෝ ඒකෙ අනිත් පැත්ත. පැයක් හමාරක් විතර යද්දී වැඩේ ඉවර උනා. එරංග ආපහු සල්ලි ගත්තේ නැහැ, ගෝලයට කීයක් හරි දෙන්න කිව්වා එච්චරයි.
අපේ ගමන් බිමන් කැන්සල්, පරක්කු වෙච්ච නිසා එයාට ගමේ යන්න එන්න බැහැ කිව්වා. හාමිනේව එක්කගෙන ගිහින් එයාලගේ ගෙදර නතර කරලා මම තනිවම් පිටත් උනා ගමේ යන්න. ඒ වෙද්දී අපේ කොළුවා හම්බ වෙන්න තව තිබ්බේ මාසයක් වගේ, ඒ නිසා කොළඹින් පිට යනවට වඩා එයා කොළඹ ඉන්න එක හොඳ බව තමයි කොහොමත් මගේ අදහස වෙලා තිබුනේ.

කොහොමහරි එදා ගමට යද්දී දවල් දෙක වගේ වෙලා තිබුනා, ගමේ යාළුවා වෙච්ච එරංගල ගෙ නැතිවෙච්ච නංගිව සිහි කරලා හැම අවුරුද්දෙම දෙන බෙලි මල් දන්සල එදත් තිබුනා. මම යද්දී  අන්තිම හරිය උනාට ගමේ යාළුවො ඔක්කොම වගේ එතන. එතනදී මාත් එක්ක කතා කරපු නිලන්ත කිව්වා මචං අපි මාකෙළිය දිහාවේ කැලේ ඇතුළේ ගස් වගයක් පෙරලනවා JCB එකෙන්. ඒ ඉඩම තියෙන්නේ ගඟ අයිනෙම, මරු ඉඩම. ලොකු ගස් ගැලෙව්වට පස්සේ ඒ ඉඩම් ගොඩක් අඩුවට ගන්න පුළුවන්, ඕනෙනම් අක්කරයක් රුපියක් පණස් දාහකට වගේ ගන්න පුළුවන් වෙයි. හෙට යමුද බලන්න කියල ඇහුවා. ඔන්න දැන් වැඩේ ස්ථිරයි.
ඉතින් පහුවෙනිදා උදේ මම නිලන්ත, එරංග , පොඩි ජනක හතර දෙනාත් එක්ක වාහනේට ගොඩවෙලා මේ කියන දිහාව බලන්න යන්න පිටත් උනා. මාකෙලි ඇල්ල පහුකරගෙන ගිහින්, ඔය කුකුලේ ජල විදුලි බලාගාරයේ කේබල් රුම් එක තියෙන තැන පහු කරනකොටම වගේ වම් අත පැත්තට තියෙනවා උඩහට පාරක්. ඒ පාර පටන් ගැන්මේ ඉඳලම දුෂ්කරයි. අනාදිමත් කාලෙක දාපු තාර ගැලවිලා ගිහින්.

ඔහොම ටිකක් දුර ගියාම පොඩි පල්ලමක් එක්ක පාර දෙපැත්තකට බෙදෙනවා. එතනින් අපි යන්න ඕනේ දකුණු පැත්තට කියල කිව්වේ නිලන්ත. ඒ පැත්තට හරවන්න යද්දී දඩ බඩ ගාල වාහනේ යට වැදුනා. ඒත් පසුබට නොවී තව ඕනෙනම් මීටර සීයක් ඉස්සරහට යන්න ඇති යට වැදී වැදී. දැන් පාරේ තණකොළ වැවිච්ච අයින ඇරෙන්න පාර හරියටම වාහනේ පළලට වඩා බොහොම පොඩ්ඩයි තියෙන්නේ. පාරේ ඉස්සරහ කොටස පොඩි පල්ලමක්, ඒ පල්ලමේ වාහනයක් යන්න හිතන්නවත් බැහැ. අපි බැස්සත් අපෙන් බාගයක් වැහෙන තරම් ලොකු කාණුවක් පාර පුරා. දැන් කට්ටියගෙන් නිලන්තට බැනුම් පුරෝලා, තෝ කිව්වේ එතනටම යන්න පුළුවන් කියලනේ, දැන් බලපන් මේකේ යන්නේ කොහොමද කියලා.
එතන ඉඳල හෙණ ගේමක් දීගෙන වාහනේ විසි තිස් වතාවක් එක තැන කප කප හරව ගත්තා, ආපු පාරේ හැටියට රිවස් කරන්නත් බැහැ. එහෙම ගිහින් පාරෙන් ටිකක් ඇතුළකට වෙන්න තිබ්බ ගෙදරක මිදුලකට වාහනේ දාල ඒකෙ තිබ්බ අඩුම කුඩුම ටික අතින් පයින් එල්ලගෙන ගමන පිටත් උනා. යනවා යනවා ඉවරයක් නැහැ. ඉස්සරහට යන හැම අඩියක් ගානෙම අපි නිලන්තව පතුරු ගහනවා. ඔහොම ගිහින් දොළ පාරකින් එගොඩ උනා. මේ පහලින් තියෙන්නේ ඒක. 

මේ තියෙන්නේ ඊළඟට එගොඩ වෙච්ච දොළ පාර. 

ඔය විදිහට අපි කඳු නැගගෙන පල්ලම් බැහැගෙන නිලන්ත පස්සෙන් යනවා. එක හරියක් පහු කරද්දී ගමේ මිනිස්සු එකතුවෙලා ශ්‍රමදානයක් දාගෙන පාර අයිනේ කැලේ එළි කරලා කාණු ගොඩ දානවා. තව හරියක් පහු කරද්දී මිනිස්සු කීප දෙනෙක් තේ වවන්න ඉඩමක් හදනවා. ඔහොම ඔහොම ගිහින් අපි කිලෝමීටර හතරක් හෝ පහක් වෙන්න යන්න ඇති. අන්තිමට අපි සේන්දු උනා පාර ඉවරයි වගේ පේන හරියකට. ඒ කෙළවරේ කටුමැටි ගහපු පොඩි ගෙයක් තියෙන බව ඈතට උනත් පේනවා. අපි ඉස්සරහට එනවා තරුණ ජෝඩුවක් සහ තරමක වයසක මනුස්සයෙක්. තරුණ ජෝඩුව එක්ක ආගිය කතා කරපු නිලන්ත යන්නේ කොහෙද කින්ද මන්ද කියල ඇහුවම අර මනුස්සයාගේ උත්තරේ උනේ මතුගං යන්න කියල යන ගමන් කියල කිව්වා. අපි ආපු කාරණේ කිව්වම යන්න ගියපු ගමන පැත්තක දාල ඒ ජෝඩුව ආපහු හැරුනා. අර මැටි ගෙදර තමයි ඒ තරුණ ජෝඩුවගේ ගෙදර. අපි ඒ ගෙදරට ගිහින් වතුර ටිකක් කාරිය බීලා, බුලත් විටක් එහෙම කාල වටපිටාව බලබල ඉන්න ගමන් තමයි දැක්කේ අර ජෝඩුව එක්ක මගදී මුලිච්චි වෙලා ගමනක් යන්න ගිය වයසක උන්දැත් ගමන පැත්තක දාල එහෙම්මම නතර වෙලාය කියල. මේ ගමේ නම ගෙඳගල. ගොඩක් පුරාණ ගම්මානයක්. ඒ වැඩිහිටියා ගමේ පුරාණය ගැන කතන්දර කීපයක් එහෙමත් කිව්වා. සුද්දන්ට බයේ ඇවිත් හැංගිච්ච මිනිස්සුන්ගෙන් මේ ගම ආරම්භ වෙච්ච බවකුත් කියවුනා වගේ තමයි මතක.

අර කියපු ඉඩම ගැන විස්තර ඇහුවම, ඒ මිනිස්සු කියනවා, ඒ අයිතිකාරයි මෙහෙ නෙමෙයි ඉන්නේ ගවරගිරියටත් එහානේ. ආපහු කියනවා නෑ නෑ එයා නොවෙයි අයිති කාරයා, අරයා කියලා. ඕකෙන් මේකෙන් අපිට තේරුණා මේ වැඩේ හරි යන්නේ නැහැ. නිලන්ත මේ ගමන ලැස්ති කරගෙන තියෙන්නේ එදා වේල ශේප් කර ගන්නය කියන එක අපිට පැහැදිලි උනා. මොකද ඌ හැමදාම හංදියේ බාර් එක ගාව ඉඳගෙන අතේ සතේ නැතුවත් හොඳට පදම් වෙන්න දන්න එකා වෙච්චි. දැන් ඉතින් ආපු එකේ කොයිකටත් කියල ඉඩමත් පොඩ්ඩක් බලාකියාගෙන ගෙනාපු බෝතල් දෙකත් හිස් කරලා දාල යමුය කියලා හිතාගෙන ඉඩම තියෙන දිහාට යන්න පිටත් උනා.
ඒ ගෙදර ඉස්සරහ තිබුනා මහ විශාල වල්ලපට්ට ගහක්. එදා තමයි මම ඒ ගහ වල්ලපට්ටය කියල අඳුර ගත්තේ. හැබැයි අදටත් මට ඕක අඳුර ගන්න බැහැ, ටැපලෙනවා. මේ කියන කාලේ වල්ලපට්ට උන්මාදේ මහා විශාලෙට පැතිරීගෙන ගිහින් නැති අවධියක් නිසාද කොහෙද ඒ ගහ ඉතුරුවෙලා තිබුනා.

නිලන්තගේ යාළුවට කියලා වීදුරු දෙකකුත් ඉල්ලගෙන, යාළුවත් එක්කම පල්ලම් බහින්න පටන් ගත්තා. අර වයසක උන්දැත් දැන් ඔන්න අපේ පස්සේ. නිලන්ත JCB එකෙන් ගස් පෙරළන්න ගියා කියපු කැලේ මැද්දෙන් කපපු අලුත් පාරක් වගේ එකක් දිගේ තමයි දැන් අපි යන්නේ. ඒකෙ JCB එකක් කොහොම ගියාද කියල හිතා ගන්න බැහැ, අපි ගියෙත් බඩ ගාගෙන වගේ. JCB එක ඉස්සරහ බකට් එක බිම තියාගෙන පස්සේ බකට් එකෙන් ඇද ඇද ලු පහළට බැස්සේ. අළුත කපපු ගස් වල පොතු පට්ට බිම තියෙන නිසා හොඳට ලිස්සනවා, පයින් යන එක ගොඩක් අමාරු උනා. ටික වෙලාවකින් ඈතින් දිය ඇල්ලක් පේන්න ගත්තා. මේ හරියේ කූඩැල්ලෝ ගමකට. 

ඔහොම ගිනින් නිලන්තලා ගස් පෙරලද්දී හිටපු වාඩියට අපි ගොඩ උනා. පොලෝ මට්ටමෙන් අඟල් හයක් හතක් උඩින් තිබ්බත් වැස්ස නිසා වාඩියේ බිම විදිහට තිබ්බ ලෑලි තෙත් ගැහිලා. ඒ මදිවට එතනත් කූඩැල්ලෝ. එතනින් පොඩ්ඩක් එහායින් තමයි අර දිය ඇල්ල වැටෙන්නේ. ඒක වැටෙන්නේ ගඟකට. මට මැප් එකකවත් ඒ හරිය කොහෙද තියෙන්නේ කියල තාම හිතා ගන්න බැහැ. ඒ ගඟ කුකුළේ ගඟ කියල තමයි මට මතක. නමුත් කුකුළේ ගඟට වැටෙන අතු ගංගාවක් වෙන්නත් බැරි නැහැ. දිය අල්ලේ නම කුරුපොඩි ඇල්ල. එදාමයි මම ඒ වගේ දිය ඇල්ලක් ගැන ඇහුවේ. මේ තියෙන්නේ කුරුපොඩි ඇල්ල තරමක් ළඟ ඉඳල ගත්තු එකක්. මේ තැන පුදුම ලස්සනක් තියෙන්නේ. මේ ඔක්කොම ෆොටෝ ගත්තේ නොකියා E71 ෆෝන් එකකින්, ඒ නිසා තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. 
මෙතන උස අඩුයි වගේ පෙනුනට මේ දිය ඇල්ල සැළකිය යුතු උසක් තියෙන එකක්...
මේ ගමන වගේම නිලන්ත එක්ක ගියපු වෙලාවක අමුතු නමක් තියෙන තවත් දිය ඇල්ලක් හම්බ වෙලා තියෙනවා, ඒ කහබත් ඇල්ල. ඒකෙනම් ෆොටෝ තියෙනවද කියලත් ෂුවර් නැහැ.
අන්තිමට අපි තීරණය කලා වාඩියේ ඉන්නේ නැතුව ගඟ මැද්දේ තියෙන ගල් තලාවකට ගොඩ වෙන්න. නිලන්තගේ යාළුවා ගෙදරින් එන ගමන් එයාගේ නෝනා මහත්තයට කතා කරලා “අර ඊයේ රෑ වියපු ඉත්තෑ මස් ඉතුරු තිබ්බා නේද, අන්න ඒ ටික අපිට දෙන්න” කියලා ඒකත් අරගෙන ගියේ කටගැස්ම විදිහට. ගඟේ වතුර වලින් කලවම් වෙන ඕල්ඩ් කෙග් එකකින් බාගයක් විතර ඉවර වෙද්දී අපි එක්කම ගඟේ බැහැල උන්නු අර අංකල් ට අපි කතා කරා පොඩ්ඩක් ගන්න එන්න කියලා, එක පාරෙන් වීදුරුව පුරෝලා කාලකට වග කිව්වා.

නාන්න ලැස්ති වෙලා ආවේ නැති උනාට මේ වතුර ටික දැක්කම නාන්නේ නැතුව ඉන්න අපිට බැරි උනා. නාන ගමන් ගල් තලාවට ගොඩ වෙලා පොඩ්ඩක් සප්පායම් වෙන ගමන් අර අන්කලුයි, නිලන්තගේ යාළුවයි එක එක කතන්දර කියන්න ගත්තා. වෙසක් පෝය දවසේ ඉත්තෑ මස් කොයින්ද ඇහුවම ඒකගේ උත්තරේ උනේ කලින් තිබ්බ උගුලකට අහුවෙලා ඉඳලා මන්ද තියපු එකා අරගෙන ඇවිත් තිබුනා. පෝය කියල නිකං හිටියොත් මස් නරක් වෙන නිසා එදාම සුද්ද කරලා ගමේ මිනිස්සු අතරේ බෙදා ගත්තාය කියලා.
ඒ අස්සේ කොහෙද මන්ද ඉඳල අන්කල් කාරයාගේ යාළුවෙක් මතු උනා. හැබැයි මිනිහ මතු උනේ නිකං නෙමෙයි මෙගා බෝතලයක් පුරෝලා කිතුල් රාත් අරගෙන. මිනිහත් ඇවිත් දැන් අපිට එක්කාසු වෙලා අපිට අර රා ටික බොන්න කියලා ඕල්ඩ් කෙග් එකට කෙලින්න පටන් ගත්තා. ඔය අලුත් බාපු රා තියෙනවනේ, අපි ඕවට ඒ තරම් මනාප නැහැ, ඒකට හේතුව නිකං බඩ පිරෙනවා මිසක් වැඩක් නැති වීම නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි.
කොහොමහරි මේ වයසක උන්දලා දෙන්න පදමට ආවට පස්සේ අර කුරුපොඩි ඇල්ලේ අතරමැද තියෙන නිධානයක් ගැන කියවන්න ගත්තා. එතන දුරට පේන මොකක්ද සළකුණක් තියෙනවා කියල කිව්වම එහෙම මොකක්ද එකක් තියෙන බව අපිත් දැක්කා. හැබැයි එතන තියෙන්නේ මොනවද කියල කියපු ඒවා ගැන මට දැන් මතක නැහැ. ඒ වගේම ඒ ලිස්සන ගල දිගේ නැගල ලඟට ගිහින් ඒක බලන්න ගිහින් බෙල්ල කඩා ගැනීමේ උවමනාවක් අපි කාටවත් ඒ වෙලාවේ ආවේ නැත්තේ හොඳ වෙලාවට. බෝතල් දෙකයි රා ටිකයි බීල ඉවර වෙද්දී හැමෝම වගේ හිටියේ හොඳ පදමක. විශේෂයෙන් අර මුල ඉඳලම අපි එක්ක ඉඳපු අංකල්.

අත පත ගාගෙන ආපහු අර බණ්ඩක්ක වගේ ලිස්සන පාර දිගේ ඇවිත් නිලන්තගේ යාළුවගේ ගෙවල් ගාවට ආවට පස්සේ එහෙන් බත් ඩිංගක් කාල යමු කියල ලොකු පෙරැත්තයක් ආව. ඒ වෙද්දී වෙලාව දවල් 01:00 පහු වෙලාද කොහෙද තිබ්බේ. කොහොම හරි අපි එන්න පරක්කු වෙද්දී නිලන්තගේ මිත්‍රයාගේ හාමිනේ බත් හදල ඉවරයි. ආයේ පෙරැත්ත කරන්න දෙයක් නැහැ ඒ වෙලාවේ තිබ්බ බඩගින්නේ හැටියට.
ලොකු දේවල් හදල තිබුනේ නැහැ, ඒ වෙලාවෙම කඩා ගත්තු කොච්චි දාලා පොල් සම්බලයක් විතරයි හදල තිබුනේ බත් කන්න. හැමෝම බත් පිඟන් දෙක ගානේ වග කිව්වා හායි හූයි ගගා. ඒ තරම් රහයි.

බත් කාල අපහු බුලත් විටක් එහෙම කාල, මිත්‍රයගෙන් සමු අරගෙන වාහනේ නතර කරලා තිබ්බ තැනට එද්දී ආපහු දාඩියෙන් පෙඟිලා ඉවරයි. ඉඩමක් බලන්න ගිහින් නිධානයක් හංගගෙන ඉන්න දිය ඇල්ලක් බලාගෙන ආපු ගමන හවස තුනහමාර හතර වගේ වෙද්දී අපේ ගමට ආවට පස්සේ නිමා උනා.