Monday, 1 December 2014

අපේ කෙළි සහ මගේ මැරකම්...

වයස අවුරුදු පහ හය වීමටත් මත්තෙන් සුන්බුන් මතින් අහුළා ගත් පරණ සෙරප්පු දෙකකින් කපා ගත් රෝද දමා සෑදු කුඩා කරත්තයක් හෝ ඉවත දැමුණු මෝටර් බයිසිකල් ටයරයක් මාගේ ප්‍රධාන ක්‍රීඩා භාණ්ඩයන් විය. මුල් කාලයේදී වතුරානේ අයියා විසින් මා හට අවැසි කරත්ත සාදා දුන් අතර පසුව මා විසින්ම ඒවා තනාගත හැකි මට්ටමකට පත්විය. සමහර දින වලදී මාරි පෙට්ටි වැනි ඝණකම වැඩි කාඩ්බෝඩ් වලින් හැඩ කපා තට්ටුව ගසා බර පටවාගෙන යා හැකි ලෙස සෑදූ ලොරි හෝ බස් රථයක සාඩම්බර හිමි කරුවකු බවටද අප පත් වේ. එම කාඩ්බෝඩ් කැබලි වල ඇති සිදුරු තුළට රබර් කිරි දමා සවිවෙන්නට ඉඩහැර ඒවා වෙරගැන්වීමේ ක්‍රමයක්ද අප සොයාගෙන තිබුණි. තවත් කලක් යද්දී ගරාජයකින් හෝ වින්කලයකින් අහුලාගත් ස්ප්‍රින් කොටස් “ෂොක් ඇබ්සෝබර” වශයෙන් යොදා සාදාගත් වාහන කිහිපයකම හිමිකරුවෙකු වීමට මා හට හැකිවිය. එවැනි එක් වාහනයක් කන්ටේනර රැගෙන යන වර්ගයේ අනුරු රථයකි. එය එහි නියම වාහනයේ පරිදිම ඉදිරිපස කොටස වෙනම පැදවිය හැකි වාහනයකි. මා සෑදු බොහෝ වාහන සුක්කානමක් යෙදු ඒවා නොවීය. ඉදිරිපස රෝද දෙක දෙපසින් යෙදු ඇණ වල ගැටගැසූ සවිමත් නුලක් මගින් ඇදගෙන යාමට හැකි මෙන්ම, රෝද හැරවිය හැකි වර්ගයේ ඒවාය.
පින්තුරය: httpwww.ucetk.orgmeet-the-children

ඊට අමතරව රණ බටනමින් අප විසින් හඳුන්වනු ලැබූ බට වර්ගයෙන් සෑදුණු බට තුවක්කුවක් අතේ දරමින් එය සැබෑ තුවක්කුවක ස්වරූපය ඇතිව හැඩ වැඩ කරවීමට දැක්වූ ආයාසයද මාගේ ඉමහත් තෘප්තියට හේතු විය. ඒවාට අප උණ්ඩ ලෙස දැමුවේ බලුදං නමින් අප හැඳින්වූ ගෙඩි වර්ගයයි. ගෙඩි පොකුරක් ලෙස හැදෙන එය වෙනත් ප්‍රදේශ වල වෙනත් නමකින් හඳුන්වනවාද යන්න නොදනී. කෙසේ වෙතත් ඉන් වදින පහරකින් තද වේදනාවක් ඇතිවේ.


පහත ලින්කුවෙන් බලුදං සම්බන්ධ වැඩි විස්තර දැනගත හැක.

මෙම සරළ සහ අප විසින්ම සාදා ගන්නා ක්‍රීඩා භාණ්ඩ මගින් අප ලද තෘප්තිය මුදල් දී ලබා ගන්නා අරුමෝසම් ක්‍රීඩා භාණ්ඩ මගින් ලබා ගත නොහැකිය යන මාගේ අදහසට බොහෝ දෙනා එකඟ නොවනවා වන්නට පුළුවන. එහෙත් අදටත් මගේ අදහස එයම වේ. ඒවා සෑදීමට සහ අමුද්‍රව්‍ය සොයා ගැනීමට අප ගත් උත්සාහයට සරිළන පරිදිම අපි ඒවාට ආදරය කළෙමු. හොඳින් රැක බලා ගත්තෙමු. ගෙවීමට පෙර පටියක් කැඩුණත් සෙරෙප්පු දෙකක් විසි කරන පුරුද්දක් එදවස මිනිසුන් අතර නොවීය. කම්බියක් ගැටගසා හෝ එය තව දුරටත් පාවිච්චියට ගැනීමට උත්සාහ කිරීම කාගේත් උත්සාහය විය. එනිසාවෙන් රෝද කැපීමට සුදුසු හොඳ මට්ටමේ රබර් සෙරෙප්පු සොයා ගැනීමට සිදුවූ වෙහෙස අපමණය.

මා හත වසරේ පමණ ඉගෙන ගනිමින් සිටියදී පැරණි චොපර් බයිසිකලයක සාඩම්බර හිමිකරුවකු වීමට මා හට අවස්ථාව ලැබුණි. කවුරුන් හෝ පාවිච්චි කර ඉවත දැමු පැරණි බයිසිකලයක් තාත්තා රැගෙන ආ ඒ දිනය මට හොඳින් මතකය. එහි යකඩ රාමුව පවා දිරාගොස් තැන් දෙකකින් කැඩී ගොස් තිබුණි. එය වෙල්ඩින් කර පැදීමට හැකිවන පරිදි ඉතිරි අළුත්වැඩියා කටයුතු සිදු කර ගත්තේ පියදාස මාමාගේ වින්කලයෙනි. එසේ කලත් බොහෝ දිනවලදී එහි කිසියම් හෝ වෙනත් දෝෂයක් ඇතිවේ. බයිසිකලයේ අළුත්වැඩියා කටයුතු කිරීම සඳහා පියදාස මාමාගේ වින්කලයට යනවාට වඩා මා වැඩි කැමැත්තක් දැක්වුයේ චුටි මාමාගේ වින්කලයට යාමටය. මේ චුටි මාමා කළින් කතාවේ සඳහන් වූ අපේ අම්මගේ මල්ලී නොව වෙනත් අයෙකි. එමෙන්ම ඔහුද අපේ නෑදෑයෙකි.

පාසල් ඇරී ගෙදර පැමිණි පසු හෝ නිවාඩු දිනවල බයිසිකලයේ අළුත්වැඩියා කටයුතු සඳහා අම්මාගෙන් රුපියල් දහයක් හෝ විස්සක් රැගෙන මා පිටත්ව යන්නෙමි. වින්කලය ඉදිරිපස තිබු බැංකුවේ බොහෝවිට එහි පැමිණි පාරිභෝගිකයෙකු හෝ අසළ ජීවත් වු අපගේ නෑදැයින් අතරේ වූ ඉහ නිකට පැසුණු වැඩිහිටි කවුරුන් හෝ පැමිණි සිටිනු දැකගත හැක. වැඩිපුරම පාහේ එහි පැමිණෙන කරුණාදාස ආතා හැමවිටම පාහේ පවසන්නේ වික්ටෝරියා රාජිණියගේ පුරාජේරුවය. වයසින් පොඩි එකෙකු වුවත් කුමන හෝ පෙර ජන්මයක පුරුද්දක් නිසාවෙන්දෝ මට මේ කාලකණ්නි පවුලේ උන් පෙන්නන්නට බැරිය. උන් දකින විටද ඇඟේ මාළු නටන බවක් දැනේ. ආතාගේ කතා අතරේ වූ පැරණි කතා ඇසීමට ආසා නිසාවෙන්ම ඔහු කියන සියල්ලක් නිහඬව අසා සිටීම මාගේ පුරුද්දක් විය. යම් කිසිවක් විස්තර ඇතිව අසා ගැනීමට ඇවැසිනම් පමණක් අපි ඔහුට බාධා කරන්නෙමු. වරක් ඔහු රැජිණගේ අහවල් හමුදාව මෙහි සිටි කාලයේ වූ කතාවක් කියන්නේය. ජපනුන් බෝම්බ දමන සමයේ පැරෂුට් එකකින් බිමට බට හමුදා භටයකුගේ පැරචුට් එකක් කෑලි වලට කපා කමිස මැසූ කතාවක්ද ඒ අතර විය. මොහු පැරණි කතා රස කරමින් කියන්නෙක් වුවද  හොඳ බේගල් කාරයෙක් බවද අප දැන් සිටියෙමු. ඔහු කියන සමහර කතා අසන චුටි මාමා, ආතා අහක බලනතුරු සිට මා දෙස බලා ඔලෙක්කුවට සිනාසෙයි. කෙසේ වෙතත් කියූ කතා අතර සත්‍ය කරුණු ස්වල්පයක් හෝ ගැබ් වන්නට ඇත.

තවත් දිනෙක ඔහු කියා සිටියේ ලංගම ට්‍රයල් ගිය අවස්ථාවේදී සිදුවීමකි. ට්‍රයලය යන අතරතුරේ හැටට හැටේ පාගා යනලෙස පවසා ඇත්තේ ඉන්ස්පෙක්ටර තැනය. එකවරම බසය ඉදිරියට මිනිසෙකු පනින ආකාරයට පඹයකු විසි කරන බවත් එහිදී ක්‍රියා කරන ආකාරය අනුව රියදුරු පදවිය ලබනවාද නැද්ද යන්න තීරණය කළ බවත්ය. බස් එක අනතුරුදායක ලෙස එහෙමෙහෙ කිරීම රැකියාව නොලැබීමට හේතුවන බවත්, පඹයා හැපුනාට තව ඉදිරියට ගොස් බ්රේක් කර බසය නතර කර ගැනීම අවුලක් නැති බවත්, පඹයා බසයේ හැප්පීමට පෙර බසය නතර කර ගැනීම හොඳටම හොඳ බවත්ය.

එමෙන්ම මාගේ බයිසිකලය සහ වින්කලයේ අළුත්වැඩියා සඳහා රඳවා ඇති අනෙකුත් බයිසිකල් පෙන්වා “මේව මොනවද, එංගලන්තේ හදපු හම්බර්, බීඑස්ඒ, රැලේ බයිසිකල්නේ බයිසිකල්” කියමින් ඔහු සුද්දන්ට ආවඩයි. මේවා මට වහකදුරු මෙනි. සුද්දන් සෑදු භාණ්ඩ වල ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්නයක් නැත. මට ඇත්තේ උන් සමග කේන්තියකි. එය අදටත් යම් පමණකට මාතුළ පවතී.
මොහුගේ කතා ඇසීම නිසා අප විඳි ලොකුම ගැටළුවක්ද විය.  කතා කරන අතරතුරේ ළඟ සිටින කෙනාට වැළමිටෙන් අනින අමණ පුරුද්දක් ඔහු සතුවිය. එය මළ කරුමයකි. ඔහුගේ කැහැටු වැළමිට ඇඟේ ඇනෙන විට කතා එපා වී තරු විසිවේ. නමුත් පරණ කතා ඇසීම නතර කිරීමටද නොහැක. මෙවැනි අපුරු සිද්ධීන් මගින් මා කුඩාකළ පෝෂණය විය.

මීට අමතරව බාල වියේදී මා අවට පරිසරයෙන් සෑහෙන දෑ උකහා ගන්නට සමත්විය. ඒ අත්දැකීම් අතර මහා ප්‍රමාණයේ මැරෑටි කියාවන් කිහිපයක් ඇත. ඒවා යළියළිත් සිහියට ඒම විටෙක වධයක් වුවත් ඒවාට මා මුහුණ දිය යුතුය. මා හට හොඳින් මතක තිබෙන අතීත කතා අතුරින් එම සිද්ධීන්ද අමතක නොවී තිබීම වරෙක අපහසුවකි. කෙසේ වුවත් ඒවාද යම් ආකාරයක අත්දැකීම්ය.

මම කුඩාකළදී වන ජීවීනට සහ අනෙකුත් නිවැසි සතුනට හිතකර නොවන බොහෝ දෑ කළ අයෙක්මි. කුරුල්ලන් විද මැරීම, ගැඩවිළුන් අල්ලා ඇද දෙකට කැඩීම, කූඩැල්ලන් අල්ලා නොපිට හැරවීම, දිය කූඩැල්ලන් අසු වූ විට බිම දමා පිහියෙන් කපා දැමීම, මාළුන් ඇල්ලීම, මදුරුවන් පණපිටින් අල්ලාගෙන එක පිහාටුවක් කැඩීම, බත්කුරන් අල්ලා නැට්ටේ නූලක් ගැටගසා යන්නට හැරීම, ගැරඬින් අහර කුක්කන් ඇස් ගුල්ලන් හැර දකින සියළුම විසකුරු බවක් පෙනෙන සර්පයින් මරා දැමීම (නයින් හැර; උන්ට මා බියක් දැක්වීය. නමුත් 2000 වසරේදී ගෙට ඇතුළුවීමට උත්සාහ දරු එකෙකු මරා දැමීමට සිදුවිය.), හොර බල්ලන් බළලුන් හට දැඩි දඬුවම් දීම වැනි නොයෙකුත් ක්‍රියාවන් ඒ අතර විය.

ඒවා එසේ තිබියදීත් මා පරිසරය දෙසට නිරතුරුවම පාහේ ඇස ගසාගෙන සිටීම මගින් මා ලද හොඳ ඇත්දැකීම්ද බොහෝය. විටෙක අප තෙල් කුහුඹින් යන මගකට කෑම කැබලි දමා උන් දෙස බලා සිටින්නෝය. උදේ පටන් ගන්නා මේ කාර්යය නතර කරන්නේ අපගේ ආහාර වේල් ලබා ගැනීමට පමණි. තෙල් කුහුඹින් අතර විශාල ප්‍රමාණයේ උන්ද ගමන් කරති. ඒ උන්ගේ නායකයින් හෝ රැජිණන් වියහැක. ඒ ගැන මා නොදනී. අප දිගු කරන කුඩා ඉරටු කැබලි වැනි දෑ වල එල්ලී ඒවා විකා දැමීමට උත්සාහ කරන බැවින් අපි සිතුවේ උන් නායකයන් වියයුතු බවය. පේලියේ ගමන් කරන විශාල කුහුඹින් “මු මගේ... මූ මගේ...” කියමින් මම හෝ මල්ලී උන්ගේ අයිතිය සතුකර ගනී. එවිට උගේ ගමන්මග නිරීක්ෂණය කිරීම අයිතිකාරයාගේ වැඩකි. රෑනේ ගමන්කර උන් නොපෙනී ගියපසු වෙන එකෙකු සොයා ගැනීම සිදුවේ. වරෙක අපි උන්ගේ මග හරස් කරමින් කුඩා ගල් කැටයක් හෝ එවැනි යමක් දමන්නෙමු. එවිට උන් මාර්ගය වෙනස් කර යාමට හෝ ඒ මතින් නැග ගමන් කරති. කුඹි පේළිය ගමන්කර හමාර වූ පසු එහි ඉතිරි වන්නේ සාපේක්ෂව ගැඹුරු කාණුවකි. උන් මෙලෙස පේළි ගැසී කොහි යනවාදැයි අපට සිතාගත හැකි නොවීය.

වයසින් වැඩෙද්දී මා අතට කැටපෝලයක් ලැබීම අවාසනාවන්ත සිදුවීමක් ලෙස මට දැන් හැඟෙන්නේය. ලැබීම කියා කීවාට මා හට ඒ කිසිවක් කවුරුවත් සාදා දුන්නේ හෝ ගෙනත් දුන්නේද නැත ඒවා මා විසින්ම සාදා ගන්නා ලද ඒවාය. කැටපෝල සෑදීමේදී මට තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ ඒවායේ පටි ගල් වලට තුවාළ වී ඉක්මනට කැඩී යාමය. කළින් වතාවක් කියූ පරිදි මා හට රත්තා නම් මිතුරා විසින් ලබා දුන් එළුසම් කැබැල්ලක් අධාරයෙන් එම ගැටළුව විසඳා ගැනීමට හැකි විය. කැටපෝලය නිසා කුඩා කුරුල්ලන් කිහිප දෙනෙකු මරු දැකීම මා අතින් සිදු වූ ලොකු වරදකි. ඒ ගැන මා කළින්ද කියා ඇත.
අනතුරුව යම් යම් අවස්ථා වලදී සතුනට හිරිහැර වන දෑ මා අතින් සිදු වූයේ එළෙස නොකරම බැරි වූ අවස්ථා වලදී පමණකි. ගෙට රිංගා ගත් හොර බළලුන් බල්ලන් සර්පයන් මීයන් වැනි සතුන් ඉන් අනතුරුව මාගේ ප්‍රහාරයට පාත්‍ර විය. නමුත් කාලයාගේ ඇවෑමෙන් එයද හීන වී ගියේ ගෙදර සිටින කාල පරාසය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යාම නිසාය.

පෙරදී සඳහන් කල සිද්ධි කිහිපය සිදු වූ කාල වකවානුව වන විටත් කුරුල්ලන් හෝ වෙනයම් සතුන් දෙස බලා උන් ගැන සොයා බැලීම කුඩා කල පටන්ම මාගේ එක් පුරුද්දක් වී තිබුණි. එමෙන්ම කාලයාගේ ඇවෑමෙන් සතුන් සහ පරිසරයේ විවිධත්වය සම්බන්ධ විවිධ දෑ ග්‍රහණය කර ගැනීමට මා තුළ තිබූ උනන්දුව වර්ධනය විය.
Tickell’s Blue Flycatcher

White Browed Fantail
මිදුලේ හෝ අඹ ගසේ අත්තක ලැග සිටිමින් පෙඳය නටවන කුරුල්ලාද (White Browed Fantail-බැමසුදු පවන්පෙන්දා),  මිහිරි නදින් ගී ගයන කුරුල්ලාද (Tickell’s Blue Flycatcher -රත්ළය නිල් මැසිමාරා) වශයෙන් ප්‍රධාන වශයෙන් අප පවුලේ උදවියගේ අවධානය දිනා ගත් විශේෂ වූ කුරුළු දෙවර්ගයකි. මොවුන් දෙදෙනාම නොයෙකුත් අයුරින් අප සැමගේ මතක පොත් සැරසීමට වග බලා ගත්හ. සෑම දිනකම පාහේ අප අවධි වන්නේ උන්ගේ නද අසමිණි. මෙම දෙවර්ගයම අප නිවස ආසන්නයේ කැදළි තනා ගත් අයවළුන් විය. එසේම හොඳ ගායකයින් වීම නිසාවෙන් ඔවුන් අපගේ සිත් ගත්තා වීමටද ඉඩ ඇත. මීට අමතරව සාමාන්‍යයෙන් දැකගත හැකි සියළුම කුරුල්ලන් ගේ දසුනින් අප නිවස අවට පෝෂණය වී තිබීම වාසනාවක් විය. පසු කාලීනව මා කල ගණනයන් අනුව අප නිවස සීමාවේදී කුරුල්ලන් වර්ග 90 කට වඩා වැඩි ප්‍රමාණයක් නැරඹිය හැකි බව සොයා ගතිමි. එයින් අදහස් කරන්නේ වසරේ ඕනෑම දිනක එම අවස්ථාව උදාවන බවක් නොවේ. එම දත්තයන් මා වසර ගණනාවකදී දුටු දෑහි සංක්ෂිප්තයයි.

කුරුල්ලන් නැරඹීමෙන් සහ ඡායාරූප ගැනීමෙන් ලද හැකි උසස් වින්දයක් මා විසින් ග්‍රහණය කරගන්නා ලද්දේ විශ්ව විද්‍යාලයට පා තැබීමෙන් අනතුරුවය. අප සගයන් කිහිප දෙනෙකුගේ උනන්දුව මත ගොඩනැගුණු පාරිසරික සංගමයේ ක්‍රියාකාරකම් මුළදී මා ඇතුළු බහුතර පිරිසගේ විහිළුවට ලක් විය. නමුත් අහම්බයකින් මෙන් ඔවුන් සමග යන්නට යෙදුනු පාරිසරික චාරිකාවකින් අනතුරුව මාද එම සංගමයේ සාමාජිකයෙක් විය. එය නිට්ටාවටම උමතුවක් බවට පරිවර්ථනය වීම ඉතාම ඉක්මනින් සිදු විය. ඊට පෙරදීද කුරුල්ලන්ගේ හැසිරීම් රටාවන් වෙත මාගේ අවධානය යොමු වූවද ඒවා යම් මට්ටමකින් ඉහළට ඔසවා තැබීමට අප විසින් පසුව යෙදුනු චාරිකාවන් සහ යම් යම් ක්‍රියාකාරකම්ද හේතු විය.

කුඩා කළ ලද අත්දැකීම් සහ පසුකාලීනව පරිසරය වෙනස් ආකාරයකට දැකීමට හැකිවූ වටපිටාවක විසීමට ලැබීම  නිසාත් මා පරිසරයට දැක්වූ ඇල්ම කෙමෙන් වැඩුනි.
එමෙන්ම සතුන්ට හානිවන දෑ කිරීම බොහෝ දුරට අඩු වී ගියේය. ඒ වෙනුවට ජයාරූප හරහා උන් වෙත ළඟාවීමට ඇතිවූ හැකියාව නිසා පැහැදිළි වෙනසක් ඇතිවිය. නමුත් වරින්වර එහි වෙනස්කම් ඇති නොවන්නේ නොවේ.
දැන් මා පරිසරයට හා සතුනට දැඩි ලෙස ආදරය කරන සියළු සතුන්ගේ ජීවිත වෙනුවෙන් ඇපකැප වුවෙකු ලෙස වරදවා වටහා නොගත යුතුය. මම පරිසරය විඳින්නෙක් පමණකි. එමෙන්ම ඒවාට අනවශ්‍ය පරිදි අත පෙවීමට පමණක් විරුද්ධ වන්නෙමි.

අපේ ගෙදර මිදුලේ ඉඳල ගත්තු ෆොටෝ එකක්.
ගිය මාසේ ගෙදර ගිහින් බලද්දී පහල ගෙදර මිනිස්සු මේ කොස් ගහ කපලා.

පරිසරය සම්බන්ධ කුතුහලයෙන් පිරුණු මාහට පහත දැක්වෙන අන්දමේ අත්දැකීම් ලබා ගැනීමට මා උපත ලද සුන්දර ගම්පියස බොහෝ උපකාරී වූ බව නොකිව මනාය.
.......................................................................
දින වකවානු පැහැදිළිව පැවසිය හැකි නොවෙන මෙම සිදුවීම වරක් දෙවරක් නොව කිහිප වරක්ම දුටු අපුරු දසුනකි.  මාගේ වයස අවුරුදු අටේ නාමයේ පමණ සිට ඉදිරියට වසර කිහිපයක් පුරා වරින් වර මෙම සිද්ධිය දුටු බවට මා මතකයේ ඇත. කුඩා අවධියේ පටන්ම කෑ ගසමින් අහසේ කැරකැවෙන උකුස්සන් අපගේ ඉමහත් තෘප්තිය වැඩවූ කුරුල්ලන් වර්ගයකි. උන්ගේ හඬ ඇසුණු සැනින් එම හඬ අනුකරණය කරමින් කෑ ගැසීම අපගේ ප්‍රධාන විනෝදාංශයක් විය. පසු කාලිනව වයස අවුරුදු හතර පහක වයසක වූ පොඩි මල්ලිද මෙවැනි කාරියකදී මා හට සහය දුන්නේය. උඩ කැරකෙන උකුස්සා අපගේ හඬ ඇසී පහතට පියඹා ඒම අපගේ පරිශ්‍රමයේ කූඨප්‍රාප්තියයි. බොහෝ උන් ඉතා ඉහළ අහසේ සිට පැමිණ අපගේ ශබ්ධය එන දිශාව සොයමින් පොල් ගස් මුදුන් දක්වා පමණ උසකට කරකැවෙමින් පහතට බසී.

තවත් සමහර දින වල උකුස්සන් පසු පස හඹා යන කපුටන් දිහා අප දෑස් දල්වා බලා සිටින්නේ එහි අවසානය ඉතා මනරම් එකක් බව දන්නා බැවිනි. රවුමට කැරකි කැරකී උණුසුම් වා ධාරා දමග ඉහළට පියඹා යන උකුස්සා සමග වෙර වීරියෙන් යුතු කපුටෙක් හෝ දෙදෙනෙකු ඉහළටම පියඹා යයි. උකුස්සන් මෙන් නොව කපුටන් ඉගිළෙන ක්‍රමය අනුව උන්ට ඉහළ අහසේ වැඩි වෙලාවක් කරක් ගැසීමට නොහැක. තරමක වේලාවකින් පසුව කපුටන් වෙහෙසට පත්වේ. කපුටන් පසුපස පැමිණියත් උකුස්සා සෑම විටම පාහේ සිටින්නේ ආරක්ෂාකාරී දුරකිනි. විඩාව සහ උඩු සුළඟට ඔරොත්තු දීගත නොහැකිව එක් වරම උත්සාහය අත හරින කපුටන්ට සිදුවන දේ  බලා ගැනීමටනම් හොඳ ඉවසීමක් තිබිය යුතුය. 
අවසානයේ පරාජිත කපුටා ගලක් පහළට වැටෙන්නාක් මෙන් පහළට වැටේ. ඉක්මනින් පහතට පැමිණීම සඳහා ඌ මුළු ශරීරයම ගුලියක් ආකාරයට පත්කර ගන්නවා වියහැක. එහෙත් පොළව ආසන්නයට වත්ම නැවතත් පියාපත් දිගහැර පියඹා යාමට ඌ සමත්වන බව මා සෑම වරකදීම දැක ඇත. ඇත්තෙන්ම එය කපුටාගේ දස්කමක් ලෙස හැඳින්වුවද වරදක් නැත. මෙය කියවන ඔබ අතරින් එම සිද්ධි දාමය දූටු අයෙකු වේනම් ඒ ඉතා කලාතුරකින් බව මාගේ අනුමානයයි. මෑත අවුරුදු පහළොවක විස්සක පමණ කාලයේදී මා එවැනි දසුනක් දුටු බවට සිහිකළ නොහැක. අප ප්‍රදේශයේ සිටි ගම් කපුටන්ගේ පැහැදිළි අඩු වීමක් පසුගිය කාලයේ සිදුවී ඇත.  එමෙන්ම මා ගෙදර යන්නේ කළාතුරකින් වීමත්, අහඹු සිදුවීමක් මා යන දිනකම සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවද සැළකිල්ලට ගතයුතුය.
.......................................................................
මේ තවත් සිදුවීමකි.
ඒ 1995 වසරේ දිනකි. මා සයිකලයක නැගී හන්දියට යන අවස්ථාවකදී එකවර පාර මැදට පැමිණි හාවෙක් සහ උකුස්සකු නිසා ගමන මදකට නවතා උන්ගේ හමුව රස විඳි අයුරු මට මතකය. එකවර පහත් වූ උකුස්සා හාවාගේ පිට මත නැගී ඌට යාමට නොහැකි වන පරිදි මස තූළට කා වදින සේ නියපොතු ගසාගෙන පියාපත් විදාගෙන සිටියේය. ඉතාමත් අපූරු දසුනක් වූ එය අතහැර දමා යාමට මාගේ කිසිදු මනාපයක් නොවීය. මා උන්ගේ ජීවිත වලට බාධා කරන්නෙක්  නොවන බැවින් උකුස්සාට කිසිදු බාධාවක් නොකළෙමි. මාගේ වාසනාවට විනාඩි කිහිපයක් යනතුරුත් කිසිවෙකු පැමිණියේ නැත. තරමක වේලාවක් ගත වෙද්දී පාරේ දෙපසින්ම පැමිණි මිනිසුන් නිසා (මාද ඇතුළුව) බියපත් උකුස්සා ගොදුරත් රැගෙන පළා යාමට තැත් කළේය.
තරමක විශාල ප්‍රමාණයෙන් යුතු වූ හාවා ඔසවා ගැනීමට ඌ අසමත් විය. ඉන් සිදු වූයේ අසරණ හාවාගේ සමෙන් භාගයක් පමණ ගැළවී යාමයි. එසේ තිබියදීත් පවනට බඳු වේගයෙන් දිව ගොස් පඳුරක් අස්සේ සැඟව ගැනීමට හාවා සමත් විය. උකුස්සා ඒ අසළම තිබු ලයිට් කණුවකට පියඹා ගියේය. එතැනින් පිටව ඒමේදී හාවා රිංගු පඳුර දෙස විමසිල්ලෙන් බලා සිටි උකුස්සා මාගේ දෑස් කොණට හසු විය. මෙවන් සිදු වීම් අදටත් සමහර දිනෙක මා අත්දකින අතර එහිදී ගොදුර හෝ ඝාතකයා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතියක් මා හට නොමැති බව මාගේ අදහසයි. ඒ ඔවුන්ගේ ජීවිතයයි. එය වෙනස් කරන්නට  සාධාරණ අයිතියක් මා සතුව නොමැත.
.......................................................................
මේ තවත් අත්දැකීමක්,
එය සිදුවුයේ 1999 වසරේදීය. උසස්පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ වකවානුවයි. පාසල් පටන් ගන්නේ උදෑසන 07:00 උවත් මා පාසල් යාමට බසයට ගොඩ වන්නේ උදේ 08:20 ටය. කලින් පෝස්ටුවක විස්තර කර ඇති පරිදි කිලෝමීටර දෙකකට මදක් වැඩි දුරක්  බයිසිකලයෙන් ගොස් මා බසයට ගොඩ වන්නේ ලත්පඳුර හන්දියෙනි.

පාසැල් යාමට සැරසී පැමිණි මා බස් රථයක් එන තුරු සිටි මොහොතකි ඒ. අඩි 10 ක් පමණ දිගින් යුතු පිඹුරකු විසින් කබරගොයකු සිර කර මරා දැමීමට කරන ලද උත්සාහයක් මාගේ දෑසින්ම දැක ගැනීමට භාග්‍යය එවේලේ මා ලදිමි. උන් දෙදෙනා පොර අල්ලමින් සෑහෙන වේලාවක් සටන් කළෝය. වැඩි වාසිය තිබුනේ පිඹුරා අතය. එසේ කීමට හේතුව කබරයාගේ ගෙළ පෙදෙස පිඹුරා විසින් තදින් වෙලාගෙන තිබීමත් කබරයා සිදුකළ පහර දීම් ඌ හට නොවදින සීමාවේ ඌ සිටි නිසාත්ය. කෙසේ නමුත් ඌ කබරයාව අල්ලා සිරකර මරන්නට යන්නේ කුමක් සඳහාද යන්න මා හට ගැටළුවක් විය. සමහර විට ඌ කබරයාව කෑමට සිතුවා විය යුතුය. මා එම දර්ශනය බලමින් සිටින විට එහි පැමිණි මෝඩ මිනිසකු මාගේ කීම සහ විරෝධතාවද නොතකා ගැසූ පොළු පහර කිහිපයකින් පිඹුරාගේ ග්‍රහණය පමණක් නොව අවසන් හුස්ම පොදද ළිහිල් වී ගිය බව මට අද මෙන්ම මතකයේ ඇත.

ඒ මිනිසාට පිඹුරාගෙන් හෝ කබරයාගෙන් ඇති වාසියක් හෝ අවාසියක් නොමැති වුවත් ඔහු ඒ අපරාධය සිදු කළේ කුමන අරමුණක් සඳහා දැයි මා හට නම් නොතේරේ.

එය උන්ගේ ලෝකයයි. අප උන්ගේ ලෝකය සම්පුර්ණයෙන්ම පාහේ ආක්‍රමණය කර ඇත. කාණුවක් පල්ලේ හෝ කුඩා කැලෑ රොදක හෝ රැඳෙමින් උන් ජීවිතය ගෙන යයි. එහිදීද අපගේ මිනිස් නරුමයන් උන් ජීවත් විය යුත්තේද අපගේ නරුම ක්‍රමවේදය අනුව බව තමාම තීරණය කර විනිශ්චය ලබා දීමට උත්සුක වෙයි. අඩු ගණනේ උන්ට හිමි වියයුතු නිදහසේ ජීවත්වීමේ අයිතියවත් උන්ට දිය යුතු බව අප තේරුම් ගන්නේ කවදාද...?

Thursday, 6 November 2014

අතීත මතක - ඇළහැර ගමන

ඒ 1991 වරසයි. අම්මාගේ බාල සහෝදරයා එනම් අපේ චුටි මාමා එවකට පොළොන්නරු උසාවියේ ලිපිකරුවෙකු ලෙස සේවය කරමින් සිටියේය. උසාවියේ ලිපිකරු රැකියාව ලබාගත් කතාවද අපුරු එකකි. එය මා ඉදිරියට ලියාගෙන යාමට සිතා සිටින “අපේ කතාවේ” ඇතුළත් වනු ඇත.
එහිදී දැන හඳුනාගත් සුමනාවතී නම්වූ ගැමි තරුණියක් හා විවාහ වීමට ඔහු තීරණය කර තිබුණි. විවාහය ස්ථීර කර ගැනීමට පෙර නෑ ගමනක් පැමිණිය යුතු බව දන්වා චුටි මාමා ලිපියක් එවු බව අම්මා කියනවා මා දෙසවනටද වැකුණි. මේ සම්බන්ධව යම්යම් සංවාද අම්මා හා තාත්තා අතර ඇති වුවද අවසාන තීරණය මා හට දැනගැනීමට ලැබුනේ ගමන පිටත් වීමට යොදාගෙන තිබු 1991 අප්‍රේල් මස 25 දිනට බොහෝ ආසන්න දිනකදීය. මේ වනවිට මා ඉගෙන ගත්තේ කොළඹ ලොකු ඉස්කෝලේ ය. ඒ සිංහල අවුරුදු නිවාඩුව ලැබූ මා ගමේ පැමිණ සිටි කාලයයි.

මෙම ගමන යාමට තීරණය කර තිබුනේ අම්මා, ආච්චී අම්මා (අම්මාගේ මව), ලොකු මාමා, පුංචි අම්මාගේ පුතා (විජිත් අයියා) සහ තනිව රඳවා යෑමට නොහැකි නිසාවෙන් රැගෙන යාමට තීරණය වී තිබුනු මාගේ මළනුවනුත් ය. තාත්තාගේ වෙළඳාම් කටයුතු නිසා තාත්තාට එහි යාමට නොහැකි බවක්ද කියවිණි. මේ ගමන සඳහා මා රැගෙන යන බවට කිසි කතාවක් නැත. ඇළහැර ගමන මා රැගෙන යන ලෙස කොතරම් ඇවිටිලි කලද ඉන් පලක් වුයේ නැත. (පසු කලෙකදී අම්මා කිවේ කෙල්ලෝ තුන් දෙනෙකුට පසුව උපන් කොල්ලෙකු වූ මා හට නොයෙකුත් වර කරදර උපද්‍රව සිදු වූ නිසා වැඩිපුර පරිස්සම් කිරීමට සෑම විටම පාහේ කටයුතු කළ බවය)

ගමන යාමට ප්‍රථම සිදු වූ කතා බහ අනුසාරයෙන් මා හට හැඟී ගියේ එම ගමන යාම සම්බන්ධව අම්මා සහ ලොකු මාමා ඇතුළු වැඩිහිටි පිරිස එතරම් කැමැත්තක් නොදක්වන බවය. එයට හේතුව වී තිබුනේ වන අලින් නොමැති නිස්කලංක පෙදෙසක ජීවත් වන අපගේ වැඩිහිටි පිරිස වන අලින්ට දැක්වු අධික බියයි. ඉඳහිට ගමට පැමිණෙන චූටි මාමා ගමේ පැමිණි විට රස කරමින් සිදු කරන කතා බහේ ප්‍රධාන මාතෘකාවක් වන්නේ වන අලින් විසින් ඇළහැර ප්‍රදේශයේ සිදු කරනු ලැබූ දරුණු ක්‍රියාවන්ය. එයට නිවාස කඩා බිඳ දැමීම, මිනිස් ඝාතන, වගා විනාශයන් සහ නොයෙකුත් විහිළු සහගත සිදුවීම්ද ඇතුළත් විය. මීට අමතරව අනිකුත් වන සතුන්ගේ අතවරයනුත්, වෙනත් රසවත් දෑද කතාවෙහි දක්ෂයෙකු වූ ඔහු විසින් අපට ලූනු ඇඹුල්ද ඇතිව පවසා තිබුණි. එමෙන්ම හැකි සෑම විටම ඇළහැර ප්‍රදේශය ගැනත්, ජීවන තොරතුරු සම්බන්ධවත් නිරතුරුව ලියුම් මාර්ගයෙන් මා හා පවසන පුරුද්දක්ද ඔහු සතු විය. මාද හැකි සෑම අවස්ථාවකදීම ලියුම් මගින් අපේගේ තොරතුරු ඔහුට ලියා යැවීම සිදු කළෙමි. එම හේතූන් නිසාම ඇළහැර යන සුරපුරය දැකබලා ගැනීමේ දැඩි ආශාවක් මා සිතේ ඇති වී තිබුණි.

ඇළහැර බලා යන පිරිස සීමා වන්නට එම වකවානුවේ අප හට තිබූ වත්කම සෘජුවම බලපාන්නට ඇත. අප නිවසේ එකම සහ ප්‍රධානම අදායම් මාර්ගය වුයේ තාත්තා සිදුකළ වෙළඳාමය. ඉන් අප නිවසේ නඩත්තු කිරීමට තිබු කටවල් ගණන ඔහුත් ඇතුළුව හතකි. හතර දෙනෙකු පාසල් යන වයසේය. මීට අමතරව වක්‍රාකාරව නඩත්තු කලයුතු වූ කටවල් ගණන පහකට වඩා වැඩි විය. ඒ ආච්චි අම්මලාගේ ගෙදර උන් පිරිසය. මේ වනවිට ලොකු මාමා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරමින් උන්නේය. විජිත් අයියාට වයස අවුරුදු 16 ක් පමණ විය. පාසල් ගමන නතරකර උන් ඔහු ගෙදරට කෙසේ වෙතත් තමාගේ වියහියදම් කොටසක් හෝ යහළුවන් සමග පොළේ යාමෙන් උපයා ගැනීමට සමත්විය. ආච්චි උඩහ වත්තේ දළු කැඩීමට යන ගමන නතරකර දමා උන් හෙයින් ඇය පසුවූයේ දුවා දරුවන්ගෙන් යැපෙන මට්ටමකය. එහෙයින් යම්කිසි කරුණකදී වැඩි බරක් දැරීමට සිදු වන්නේ අපගේ මව්පියන්ටය.

මෙම කාල වකවානුව වන විටද අප ප්‍රදේශයේ ඇසට පෙනෙන මානයේ කිසිම නිවසකට විදුලි බලය සැපයී තිබුනේ නැත. ප්‍රධාන මාර්ගය දෙපස තිබු නිවෙස් කීපයක් පමණක් විදුලි බලය ලබාගෙන තිබුණි. කඳු වැටියක මැද කොටසේ වූ අපගේ නිවස කඳු වළල්ලකින් වටවී ඇති නිසා විදුලි බල්බ දැල්වූ එම නිවෙස් අපහට නොපෙනුණි.

විදුලි බලය මෙළොව පවතින බවට අපට දැකගත් හැකි වූ එකම සාක්ෂිය වූයේ නිවසට ඉදිරිපසින් තිබෙන කඳු වැටියේ ගොඩනගා තිබු රජයට අයත් රබර් ෆැක්ටරියන් දිස්වූ එළියයි. එය ඩැල්කිට් නම් වූ වතු යායට අයත් වුවක් විය. එම කඳු වැටිය පවා අප හැඳින්වුයේ ඩැල්කිට් කන්ද යන නමින්මය. රබර් ෆැක්ටරිය පිහිටා තිබුනේ අප නිවසේ සිට හරි කෙළින් බැලුවිට කිලෝමීටර දෙකකට මදක් වැඩි දුරකිනි. එහි සවිකර තිබු විශාල ප්‍රමාණයේ බල්බයකින් වැටෙන එළිය අප නිවසේ බිත්ති වලට පවා ළාවට වැටී සෙවනැළි ඇතිවී තිබුණේය. ඒ එළියේ අමුත්තක් අපහට නොදැනුනේ දන්නා කියන කාලයේ පටන් එය අපගේ දෑස් මානයේ දිස්වූ නිසා වියයුතුය. 89 වසරේ එක් රාත්‍රියක ෆැක්ටරිය දෙසින් විශාල ආලෝකයක් නැගී ආවේය. නිවෙස්වල පහන් දැල්වීම තහනම් වූ යුගයක් නිසා කාටත් නොපෙනී මිදුලට බැසගත් අප සියල්ලෝම පාහේ  ඒ ආලෝකය දෙස දෑස් දල්වා බලා සිටියෙමු. එහා ගෙදර සෝම අන්ටිලාගේ ගෙදර උදවියද අපේ මිදුලට රොක් වී සිටියහ. පහනක් නිවෙද්දී එක වරම පහන් දැල්ල වැඩි වී නිවී යනවාක් මෙන්ම රබර් ෆැක්ටරියද අවසන් දිනයේදී විශාල ආලෝකයක් එකවර ලබා දුන්නේය. එදින පටන් අපදෑසට හුරුවී තිබු එම දසුන තව දුරටත් අප ඉදිරියේ දක්නට නොවීය. එය අප නොදැකිය යුතු සහ අවට පරිසරයට නොගැලපෙන දෙයක් සේ JVP සාමාජිකයින් සැළකුවා වියහැක.

එයින් පසුව තවත් වසර අටක් පමණ වනතුරුත් අප අවට පරිසරයේ විදුළි එළියක් දැකීමට අපට හැකි නොවීය. 1997 වසර වනතුරුත් සෑම නිවසකම පාහේ කටයුතු සිදු කෙරුනේ කුප්පි ලාම්පු සහ චිමිණි ලාම්පු එළියෙනි. අපේ ගෙදර තරමක් අබලන් පැට්‍රොල් මැක්ස් ලාම්පුවක් තිබුනද ඒවා දැල්වීම වියදම් අධික වීම නිසා එය දල්වුයේද ඉතාම කලාතුරකිනි. භාවිතයක් නොමැති නිසාම දිරාගිය එය පසු කලෙක පරණ යකඩ සමග විකිණී ගියේය.
නැවත මාතෘකාවට පිවිසෙමු......

සුපුරුදු පරිදි වේලාසනින් කෑම කා නින්දට වැටුන අප අතුරෙන් සුවදායී නින්දක් අහිමි වූයේ මා හට පමණක් වන්නට ඇත. මෙම ගමන යාමට මා කොතරම් ඇවිටිලි කළද අම්මා කිසිම බුරුලක් නොදැක්වීම එදින රාත්‍රී නින්ද මා කෙරෙන් දුරස් කරන්නට හේතු විය. කෙසේ හෝ මෙම ගමන මා යා යුතුය යන දැඩි හැඟීමක් මා සිතේ පැළපදියම් වූයේ මෙම ගමන ගැන ආරංචිය කණ වැකූණු මොහොතේදීමය. චුටි මාමාගේ කතා, ලියුම් හරහා මා මනසින් මවාගත් ඇළහැර බැලීමට මා යා යුතුමය.

            පාන්දර 3:30 ට පමණ අම්මා අවදිවන හඬ සිහිනෙන් මෙන් ඇසී මමද අවදි වීමි. ඉන් අනතුරුව එළඹියේ මාගේ හෝරාවයි, දෙතුන් වරක් කණ්කෙඳිරි ගෑ පසුව මාගේ අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩකඩ ලබාදීම ජීවිතයේ මා ලද ලොකුම වාසනාවකි.
            අම්මා නැගිට දර ලිපේ වතුර කේතලය තබන මොහොතේ පටන් මා ඇය වටා දැවටෙමින් සිටියෙමි. රත් වූ වතුරින් පිටි හදන ලොකු ලොකු බෙලෙක් කෝප්පයට ලක්ස්ප්‍රේ කිරි සාදා මට ටිකකුත් මල්ලීට ටිකකුත් දී ඉතිරිය අම්මා බීවාය. කළින් දින හොඳින් සප්පායම් වී සිටි තාත්තා ඒ වනවිටද සිටියේ හොඳ නින්දේය. අඩු ගණනේ අක්කලා පවා ඇහැරී සිටියේ නැත. කිරි බීමෙන් පසු තවත් ප්‍රමාද නොවී දතකට මැදගැනීම සඳහා එළියේ තිබු නාන කාමරය දෙසට පිය මැන්නේ කුප්පි ලාම්පුවක්ද අතැතිවය. තනිවම දත් මැද මුහුණකට සෝදා ගත් මා ගෙට ගොඩවන අතරේ අම්මා පොඩ්ඩාගේ මුහුණ සෝදමින් සිටියාය.

ඇළහැර යාම සඳහා මා සහභාගී කරවා ගැනීමට අම්මා එකඟ වුවත් පෙර සූදානමක් නොතිබූ මා හට සැළකිය යුතු අපහසුතාවයකට මුහුණ දීමට සිදු විය. ඇඳුම් පැළඳුම් සකසා නොතිබීම ප්‍රධානම අවහිරය විය. ඒ දිනවල ගමනක් ඇඳගෙන යා හැකි මට්ටමේ ඇඳුම් පැළඳුම් අප හට තිබුනේ අල්ප වශයෙනි. තිබු ඇඳුම පවා පොල්කටු අඟුරු ඉස්තිරික්කයෙන් මැද ගැනීම හදිස්සියේ කළහැකි දෙයක් නොවේ. ඒ සඳහා සැළකිය යුතු කාලයක් ගතවේ. පොල්කටු ඉස්තිරික්කයෙන් ඇඳුම් මැදීම පුරුදු පුහුණු වන අයෙකුට ජීවිතයේ සංයමයකින් සහ එකමුතුව වැඩකිරීම පිළිබඳ හොඳ පාඩමක් උගත හැකිබව මගේ හැඟීමයි. ගෙදර කවුරුන් හෝ එකෙකු පොල්කටු දමා ඉස්තිරික්කය රත්කරගත් පසු පිළිවෙලින් අනිත් උන් හටද එහි රස්නයෙන් රෙදි මදගත හැකි වේ. මගදී රස්නය අඩු වුවහොත් පාවිච්චියට ගැනීම සඳහා තවත් අඟුරු ලෑස්ති කර ගැනීම පසුවට එන අයගේ රාජකාරියකි.
අල්මාරිය තුළ තිබූ හොඳටම පොඩි වූ ගමනක් යනවිට ඇඳිය හැකි හොඳ මට්ටමේ ඇඳුමක් එළියට ගත් අම්මා එය දෙපාරක් පමණ ගසා ඇඳ ගන්නා මෙන් කීවාය. ඉන්පසු ඈ කළින් දින රාත්‍රියේ ඉස්තිරික්ක කොට තැබූ පොඩි නොවූ හොඳ ඇඳුමක් පොඩ්ඩාට අන්දවන්නට වුවාය. පොඩි වු ඇඳුමින් සන්නද්ධ වුවද “මම ඇළහැර යනවා” යන සිතුවිල්ල සිතේ ඇති වූ මා හට දැනුන සතුට කියා නිම කිරීමට නොහැකි විය. එම සතුට අදද මාගේ මනසට විඳ ගත හැකිය. එයින්ම එය කොතරම් ගැඹුරු සතුටක්දැයි වටහාගත හැකි වනු ඇත.

අප ලැස්ති වී හමාර වනවිටම වාගේ ආච්චි, ලොකු මාමා සහ විජිත් අයියා පැමිණ ගේ ඉදිරිපසින් කතා කරන හඬ ඇසුණි. ඔවුන් පැමිණ තිබුනේ පොල්අතු පන්දමක එළියේ ආධාරයෙනි. ඒ වනවිට එයද අවසානය කරා ලඟා වෙමින් තිබුණි. හැකි උපරිම ඉක්මනින් හන්දිය කරා පිටත් විය යුතුය. විජිත් අයියා මිදුලේ තිබූ ගස්ලබු ගසකින් අත්තක් කඩාගෙන ලාම්පුතෙල් දමා පන්දමක් සාදා ගැනීමට උත්සාහ කලද එය සාර්ථක නොවීය. හොඳ පුරුද්දක් නොමැතිව එවැන්නක් කඩිමුඩියේ කළ නොහැක. පාන්දර 4:30 ට කොළඹ බලා දිවෙන බසය අල්ලා ගැනීම සඳහා බදුරලිය හන්දියට යා යුතු වූ කිලෝමීරට දෙකක පමණ දුර පයින් යාම හැර වෙන විකල්පයක් අප සතු නොවීය. තාත්තාට අයත් පැරණි මෝටර් සයිකලයෙන් උපරිම යා හැක්කේ ඔහු හැරෙන්නට තවත් දෙදෙනෙකුට පමණි. එකම විකල්පය පා ගමනින් යාමය. සාමාන්‍යයෙන් එම දුර යාමට අප හට ගත වන්නේ උපරිම වශයෙන් විනාඩි විස්සක විසිපහක පමණ කාලයකි.

අප සතුව එදවස විදුලි පන්දමක් තිබුනද සෑම දිනම පාහේ එහි යම්කිසි දෝෂයක්ය. එක්කෝ එහි බල්බය පිච්චිලාය, එසේ නැතිනම් බැටරි අඩපණ වී ඇත. ගෙදර තිබු ඉටිපන්දම් කොට කිහිපයක් සහ පොල් කටුවක් ගෙන ගමන ආරම්භ කලෙමු. විජිත් අයියාගේ එමින් ගමන් සාක්කුවේ ගිනි පෙට්ටියක් දමාගෙන පැමිණ සිටියේය. ඒ වනවිට අවදි වී සිටි සුදු අක්කාට දොර වසා ගන්නා ලෙස පවසා හන්දිය දක්වා වූ පා ගමන ඇරඹුවෙමු. පාන්දර ජාමයේ හැමූ දැඩි සුළඟක් නිසා ඉටිපන්දම කිහිප පතාවක් නිවී යාම සහ ඒ වෙනුවෙන් යම් කාලයක් නතරවී බලා සිට්න්නට සිදුවීම මහත් කරදරයක් විය. විජිත් අයියා නැවත නැවතත් උත්සාහ කර එය පත්තු කර ගන්නට සමත් විය. අවසාන වර ඉටිපන්දම නිවී ගියේ හන්දියට මීටර දෙසීයක් පමණ තිබියදීය. පොල් කට්ට සහ ඉතුරු ඉටිපන්දම් කොටය විසිකර දමා හැකි ඉක්මනින් යායුතු බව දැන්වූයේ ලොකු මාමය. බසය මගහැරුනොත් සිදු වන්නේ වස වැරැද්දකි. ඒ වනවිට බසයේ මගීන් කිහිප දෙනෙක් සිටි අතර අප හය දෙනාටම අසුන් ගැනීමට හොඳහැටි ඉඩකඩ තිබුණි. බසය තුළ දල්වා තිබු විදුලි බුබුළකින් කණාමැදිරි එළියක් වන්වූ කහ පැහැති එළියක් විහිදුනි. මීට අමතරව එළියක් දක්නට ලැබුනේ ජරා හෝටලය නමින් හැඳින්වූ හෝටලයෙනි. එහි චිමිණි ලාම්පුවක් දල්වා තිබුණි. ඉදිරිපස සිගරැට් පත්තු කර ගැනීම සඳහා කුඩා ලාම්පුතෙල් පහනක් දැල්වෙමින් පැවතුනි. එහි හිමිකරු තාත්තාගේ ගජ මිතුරෙකි.

බසය ධාවනය ඇරඹීමට තවත් විනාඩි කිහිපයක් ඉතිරිව තිබුණි. ඒ අවසරයෙන් බසයෙන් බැසගත් ලොකු මාමා ජරා හෝටලය වෙත පිය නැගුවේ කෑමට යමක් මිළදී ගැනීමට විය යුතුය. බෝතලයක දමා තිබු මොනවාදෝ ඔහු මිළදී ගන්නා අයුරු වීදුරුවෙන් ඔළුව එළියට දමාගෙන සිටි මා දුටිමි. ඔහු රැගෙනවිත් තිබුනේ නයිස් නම්වූ බිස්කට් වර්ගයයි. එම කවරය අම්මාගේ අතේ තැබූ ඔහු අප ඉදිරිපස වූ අසුනේ අසුන් ගත්තේය. අප සිටි අසුනේ සිටියේ අම්මා, මම සහ පොඩි මල්ලීය. කවරයෙන් ගත් නයිස් බිස්කට් එකක් කටේ දමාගත් පසු එයින් පැහැදිළිව ලාම්පුතෙල් රැසක් දැනෙන බව මා හට තේරුම් ගියේය. කළහැකි යමක් නැත, අපහසුවෙන් හෝ බිස්කට් කිහිපයක් රස බැලුවේ කුසගින්නත් කලකින් ලැබෙන රස අහර විසි කිරීමේ පුරුද්දක් අප සතුව නොතිබූ නිසාත්ය. අපහසුවෙන් හෝ ගිල දැමු බිස්කට් කිහිපයෙන් අනතුරුව අම්මා දුන් වතුර බෝතලයෙන් ටිකක් කටට හලා ගෙන නිදි සුවයට පිවිසුනෙමි. නැවත ඇහැරී බලන විට බසය කටුකුරුන්ද ආසන්නයට පැමිණ තිබුණි. ඒ වනවිට මද ආලෝකයක් පැතිරෙමින් තිබුණි. දිගු අංතට්ටු සහිත සුදු පැහැති ගොනුන් දෙදෙනෙකු විසින් ඇදගෙන යන පොල්අතු පිරවූ බක්කි කරත්ත කිහිපයක් සෙමින් සෙමින් අප යන දිශාවටම ඇදෙමින් පැවතුනි. ගාළු පාර දිගේද එවැනි කරත්ත කිහිපයක් ගිය බව මතකය. එවැනි දර්ශන වරින් වර දකිමින් නිදිසුව විඳීමටද මා හට හැකිවිය.

අප කොළඹට ලඟා වනවිට උදෑසන හය පමණ විය. අප දැන් එතනින් මාතලේ බලා යන බසයකට ගොඩවිය යුතුය. අප ආ යුතු මාර්ගය චුටි මාමා පැහැදිළිව කියා ඒවා තිබුණි. කොළඹ කොටුවේ තිබු කඩයකින් පාන් සමග අල කිරිහොදි ටිකක් ගිල දැමීමට ඉස්පාසුවක් උදාවිය. උදෑසන අවදි වීමෙන් අනතුරුව පානය කල කිරි වීදුරුව හැරෙන්නට වෙනත් ආහාරයක් නොගත් නිසාවෙන්දෝ දැනුන බඩගින්න නිවා ගැනීමට බිස්කට් අනුභව කල මා හට එහි ඵල විපාකය දැනුනේ එයින් ලද අප්‍රසන්න රසය මාගේ දිවේ දිගටම මෙන් රැඳී ඇති බව දැනුන විටය. තරමක් අපහසුවෙන් පාන් කෑල්ලක් ගිල දමා වතුර ටිකක් බී මාතලේ බලා යන බසයක නැග ගැනීමට පිටත් වීමු.

කොළඹට ළඟා වන තුරුම පාහේ නිදමින් හෝ නිදි කිරමින් ගිය මා හට වට පිට හොඳින් බලමින් ගමන් කිරීමට හැකියාව ලැබුනේ මාතලේ බලා දිවෙන බස් රථයට ගොඩවූ පසුවය. ඒ වනවිට නිදිමත පහවී ප්‍රකෘති තත්ත්වයකට මා පත්වී සිටියේය. මාතලේ බසය ගමන ආරම්භ කළේය. මා වාඩිවී උන්නේ ආච්චී සමගය. නුවර පාරේ ටික දුරක් යනවිට කුඹුරු වල විශාල වලවල් කපමින් සිටි මිනිසුන් දැක ගැනීමට හැකි විය. ඔවුන් එක තැනක යම් නිශ්චිත දුරකින් වලවල් හතරක් කපා දමා තිබුණි. එසේ කැපු සමහර වලවල් වලින් උඩට මතුවූ කොන්ක්‍රීට් කණු දැක ගැනීමටද හැකිවිය. ඒ මොනවාද කියා මා ඇසු පැනයට ලොකු මාමාගේ පිළිතුර වුයේ “ඒ ලොකු ලයිට් කණු වගයක් ඉඳන්න කපන වලවල්” කියාය. මා එම දර්ශනය දුටුවේ කඩවත ආසන්නයේ ඇති කුඹුරු සහිත ප්‍රදේශයේදී විය යුතුය. එසේ සාදමින් සිට ඇත්තේ විශාල කණු සිටවීමට ඉදිකරනා පාදමයි. බසයක ජනේලයක් අසළ වාඩි වී වටපිටාවේ සිරි නරඹමින් යාම මා කැමති දෙයකි. වටපිටාවේ දැක ගත හැකි සියළු දෑ ග්‍රහණය කරගැනීම මාගේ එක් පුරුද්දකි. දැන් එම අවස්ථාව ලැබෙන්නේ නැති තරම්ය.

බසය නුවරට ආසන්නව ඇති වංගු සහිත කඳු කිහිපය පසු කරත්ම වමනය යාමට එන බවක් මට දැනුණි. සමහර විට ඒ උදෑසන අනුභව කල ලාම්පුතෙල් රසැති බිස්කට් නිසා ඇති වූ අපුල නිසාද විය හැක. වමනයට ඒම නතර කර ගැනීමට ආච්චී උපදෙසක් ලබා දුන්නාය. ඈ දුන් කුඩා බුලත් කොළ කැබැල්ල සපා කෙළ ගිලින අතරතුරේ හිතින් සිංදුවක් කීමට හෝ නැතිනම් එක දිගටම ගණන් කිරීම ඈ දුන් උපදෙස විය. සිත වෙන අරමුණකට යොමු කරවීම මගින් වමනය පාලනය කිරීම ඉන් සිදු වනවා විය හැක. කෙසේ හෝ වමනය නොයෑම විශාල සහනයක් විය.

මාතලේ නගරයට සම්ප්‍රාප්ත වනවිට දහවල් එකොළහ පමණ ආසන්න වී තිබුණි. දහවල් ආහාරය අළුත් නැන්දලාගේ ගෙදරින් ලබා දීමට නියමිත බැවින් හැකි ඉක්මනින් ඇළහැර බලා යාහැකි බසයක නැගී පිටත් වීම අපගේ අරමුණ විය. බසය නවතා තිබු ආසන්නයේම සිටි නාරං වෙළෙන්දකුගෙන් නාරං මිළදී ගන්නා අදහසක් මෙවේලේ පහළ විය. එම නාරං බෑගය සිදු කල බලාපොරොත්තු කඩකිරීම අදටත් මා මතකයේ රැඳී ඇත්තේය. මිළදී ගැනීමට පෙර වෙළෙන්දා විසින් රස බැලීමට දුන් නාරං බික් කිහිපයේ රසයෙන් කුලමත් වී සිටි අප හට ඔහු බෑගයට දමා දී තිබුනේ ඇඹුල රසැති සිදලන් වැනි ගෙඩි කිහිපයකි. එය අප දැනගත්තේ බසයට ගොඩවීමෙන් පසුව ඒවා අනුභවයට සුදානම් වූ මොහොතේය.
අප ගිය මාර්ගය දෙපස දක්නට ලැබුනු විශාල ප්‍රමාණයේ ගස් වර්ග එතෙක් මා දැක තිබූ විශාලතම ගස් වූ අතර ඒවා විශාල යෝධයන් මෙන් මාගේ මතකයට එක් විය. ඒවා “පාරේ මාර” බව මා දැනගන්නේ තව කලකට පසුවය. මග දෙපස දුටු සෑම දෙයක්ම පාහේ අලූත් දේ වූ අතර සෑම දේම විශාල සහ යෝධ දේ ලෙසට මතකයට එක් වීම අපුරුවකි.

දහවල් දොළහ අවට වේලාවකදී ඇළහැර හන්දියට ළඟා වීමට හැකි විය. කඩමණ්ඩියේ තිබු කඩයකින් නෑදෑ ගෙදරට ගෙනයාමට යමක් මිළදීගත් අතර අදාළ නිවස සොයා ගැනීමටද කිසිම අපහසුවක් නොවීය. කඩමණ්ඩියෙන් විමසූ වහාම ඒ ආසන්නයේම පිහිටි එම නිවස අපහට පෙන්වනු ලැබීය. එහි වුයේ චුටි මාමා කරකාර බැඳීමට අදහස් කර සිටින නැන්දාගේ අක්කලාගේ ගෙදරයි. එහි ඉදිරිපස තැපැල් කන්තෝරුව සඳහා බදු දී තිබුණි. තැපැල් කන්තෝරුව කියා කීවාට එහි වුයේ තනි කාමරයකි.

ගමන් මහන්සිය නිවාගත් අප දිවා ආහාරයට පෙර ඇඟපත සෝදා ගැනීමට කැමැත්ත පළ කළෙමු. චුටි මාමා කළින් කියා තිබු පරිදි යෝධ ඇළ ගලා යන්නේ ගේ පිටුපසිනි.  මුල්ම වරට යෝධ ඇළෙන් දිය නා ගැනීමට අප සියල්ලන්ටම අවස්ථාව සැළසුනි. අමතර ජලය ඇළට මුදා හැරීම නිසා අධික ධාරිතාවයකින් යුතුව ඇළ ගලා ගියාය. පිහිණිමට එතරම් අසමත් මාහට දිය නෑමට සිදු වූයේ ඉවුර අසළටම වීගෙනය. ඉන් මාගේ සතුට යම් පමණකට අඩු විය. ඒ අස්සේ කකුල් දෙකට කොටන මාළුන් නිසා අප සිටියේ උඩ පනිමිනි. විජිත් අයියා ඇළ මැදටම පීනාගොස් පැමිණි අතර මෙතරම් වතුර තිබියදී පවා අලින් මෙගොඩ බලා පීනා විත් ගම්වදින බව පැවසුවේ චුටි මාමා විසිනි. එය කුඩා මා හට පමණක් නොව අප සමග ගිය වැඩිහිටියන්ගේ පවා විස්මයට හේතු විය. ඉන්පසුව ඇළෙන් එගොඩ ඉවුර දෙස බලමින් කොයි වේලාවක හෝ අලියෙක් මතුවේදැයි  බලන්නට වුයේ අම්මා සහ ලොකු මාමාය. අලි ගැන අපගේ දැනුම එපරිදි විය. ජලය පිටාර ගලමින් ගලා ගිය ඇළහැර ඇළ මෙහි වෙසෙන ජනතාවගේ සියළුම ජල අවශ්‍යතාවයන් සපුරා දීමට පසුබට නොවුන බැව් සිහිකැඳවිය යුතුය.
දිවා ආහාරය ඉතාම රසවත් රජරට සුදු කැකුළු සම්බා සහල් වර්ගයකින් පිසුණු බතකින්ද හොදි වර්ග කිහිපයකින්ද සමන්විත වූ අතර එහි රසයට අගුල් තැබීමට හැකි ආහාර වේලක් මා ලද්දේනම් ඒ ඉතා අල්පයක් විය යුතුය. පසුව මා එහි ගිය වෙනත් ගමන් කිහිපයකදීම ඒ බව තවතවත් සනාථ විය.

අපේ අළුත් නෑදෑයින්ට අනුව අප කොළඹින් පැමිණි උදවිය විය. අප ජීවත් වූ ගම්මානය පිහිටා ඇත්තේ කොළඹ සිට කිලෝමීටර 80 ක පමණ දුරකිනි. එහෙත් පසුකාලීනව පවා ඔවුන් අප හැඳින්වුයේ එලෙසින්මය. එහි සිටි නෑදැයින් මෙන් හිතවත් ලෙන්ගතු මිනිසුන් මා හට හමුවී ඇත්තේ බොහෝ අල්ප වශයෙනි. චුටි මාමා කරකාර බැඳීමට නියමිත වූ නැන්දා බොහෝ ආදරබර හදවතක් ඇති අව්‍යාජ ගැමි කතක් බව පසුකාලීනව අපහට පසක් විය.
කෑමෙන් අනතුරුව එළඹි කාලය නොයෙකුත් ආගිය කතා බහෙන් ගෙවී ගියේය. සවස් ජාමයේ මම, ලොකු මාමා සහ විජිත් අයියා චුටි මාමා සමග ගොස් ඇළහැරෙන තැන නැරඹීමට ගියෙමු. එතැන ජල පහර බොහෝ රුදුරු විය. පෙණපිඩු නගමින් හැරවෙන ඇළ මාර්ගය සිතේ ඇති කරන්නේ බියමුසු හැඟීමකි. තරමක වේලා එතැන රැඳුනු අප ආපසු යාමට හැරුනෙමු.

අප වහි යනවිට අප වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් සුදානම් කොට තිබුනේය. එය භුක්ති විඳීමෙන් පසුව තරමක වෙලාවක් නිවසට වී ගතකළෙමු. අඳුර දැඩි වීමට පෙර නැවතත් ඇඟපත සෝදා ගැනීමට ගිය අප වැඩි පරිස්සමට බාල්දියෙන් ගත් ජලයෙන් ඇඟපත සෝදා ගත්තේ කළුවරේ කිඹුලෙකු පැමිණියහොත් නොපෙනෙන්නට ඉඩ ඇති බව කවුරුන් හෝ කී නිසාය. ඉන් පසුව එළඹියේ රසවත් වූ ගැමි කතා වලට සවන්දෙන හෝරාවයි. අප නිවෙස් වල මෙන්ම මෙහිද විදුලි බලය නොතිබූ අතර චිමිණි ලාම්පු, කුප්පි ලාම්පු සහ එදින විශේෂ දිනයක් බැවින් පැට්‍රෝල් මැක්ස් ලාම්පුවකින් එළිය සැපයී තිබුණි. එක දිගට පැය ගණනාවක්ම එහි උන් අපේ අළුත් නෑදැයින් නොයෙකුත් වනගත කතා කියමින් අප කුල්මත් කෙරුණි. නියම ගැමි ගතිය විදහා පාමින් මොවුන් අව්‍යාජත්වයෙන් යුතුව කතා කීමට සමත් වුවන් බව මොනවට පසක් විය.

මා ඇසූ එම කතා පසුව මා කියැවූ බොහෝ පොත්පත් වල තිබූ වනගත ගම්මානයක මිනිසුන් මුහුණ දෙන දෑම විය. බොහොමයක් දෑ ත්‍රාසජනක අත්දැකීම් විය. ඒ අතරේ තිබු සමහර කතා විනෝදජනක ඒවා විය. ඔවුනට එවැනි අත්දැකීම් විඳීමට හැකිවීම වාසනාවක් ලෙස මා සැළකීය. නමුදු ඒවා ඔවුනට විඳීමට සිදුව තිබු ගැහැට බව මා තේරුම් ගත්තේ පසුවය. කෙසේ නමුත් වනයකදී හෝ වනගත ගමකදී විඳින්නට සිදුවන මාරාන්තික නොවන නමුදු දුෂ්කර අත්දැකීම් පවා සුන්දර අත්දැකීමක් ලෙස සැළකීමට හැක්කේ කීයෙන් කී දෙනාටද.
ඇළේ ගැඹුර නොතකා එය තරණය කරන අලින් ගෙවතු වල ඇති වගාවන් මෙන්ම නිවෙස් තුළ ඇති වී, ලූනු වැනි දේද පැහැර ගන්නා අතරම මිනිස් ජීවිත කිහිපයක් බිළි ගත් කතාවන්ද එහි රැස් වී සිටි මිනිසුන් විසින් කීවේ අප බිය කරවන අටියෙන් නොවන බව මා හට විශ්වාසය. ගේ තුළ ඇති වී හොඬවැල දමා උරා බොන බව කියූ කතාව මාගේ මවිතයට හේතුවිය. මීට අමතරව වලසුන් සහ දිවියන් සම්බන්ධ කතා වලින්ද අපගේ මතකය පිරවීමට ඔවුන් පසුබට නොවුනි. ඒ අතුරින් මා මතකයේ තදින් රැඳුනු එක් කතාවකි මේ.

එක් පුද්ගලයෙක් කණාමැදිරි ආලෝකයක් විහිදූ යතුරු පැදියකින් රාත්‍රියේ නිවසට යමින් සිට ඇත. එම එළියෙන් අඩි කිහිපයකට වඩා එපිට කිසිවක් පැහැදිළිව දැකගැනීමට නොහැකි වී ඇත. එසේ ගිය ඔහු නොදැනුවත්වම පාරේ ඔහු යන දෙසටම යමින් සිටි වන අලියකුගේ දෙකකුල් අතරටම බයිසිකලය පදවාගෙන ගොස් ඇත. ඒ සමගම බියට පත් ඔහු බයිසිකලය සමගම පෙරළී ගොස් ඇත. අධික බියටපත් මිනිසා වහාම නැගිට දුව ගොස් ඇති අතර ඇති වූ කලබලයෙන් සහ රත් වූ සයිලන්සරය ගෑවී පිළිස්සුනු අලියාද වෙනතක දිවයාමෙන් මිනිසාට හෝ බයිසිකලයට කිසිඳු අනතුරක් සිදු වී නොමැත.
තව කතාවක් වුයේ ගේ ඇතුළට වහලයේ පොල්අතු තුළින් හොඬවැල දැමු අලියෙකු රත්වූ තෙල් තාච්චියකින් පුච්චා එළවා දැමු කතාවකි. වලහකුගෙන් මී පැණි සොරකම් කල කතාවක්ද එහිදී කියවිණි.
මෙවැනි හාස්‍යය උපදවන කථා මෙන්ම ලොමු ඩැහැ ගැන්වෙන කතාවෙන්ද දවස ගෙවීම මාගේ කුඩා මනසට මහත් සතුටක් විය. මෙම කතාවන් නිසා මා ලද තෘප්තිය හා මාගේ යටි හිතේ තැන්පත් වූ දෑ පසු කලෙක වනජීවිතයට ඇති ඇල්ම වැඩිවීමට හේතු වන්නට ඇත. විශේෂයෙන්ම චුටි මාමා මා හට එවූ ලිපි තුළවූ අන්තර්ගතය ඒ සඳහා මහත් පිටිවහලක් වුවා වියහැක.

මේ සියල්ලම කතා කලේ එම නිවසේ වූ ඉස්තෝප්පුවේ ඉඳගෙනය. කතාවෙන් කතාවෙන් රෑ බෝ වූ පසු රාත්‍රී ආහාරය සුදානම් බව දැන්විය. රතු කැකුළු ඉඳිආප්ප, අල හොද්දක් සහ කොච්චි දැමු පොල් සම්බලයක් එහි විය. අනුභවයෙන් පසු වැඩි වෙලාවක් නොගොස් නිදිමත දැනෙන්නට විය. අප වෙනුවෙන් සුදානම් කරතිබූ කාමරයකට අප රැගෙන ගිය  අම්මා අප සමගම නින්දට ගියාය.
පසු කලෙක ඇය පැවසු පරිදි ඇගේ එකම අභිලාෂය වී තිබී ඇත්තේ හැකි ඉක්මණින් කොල්ලෝ දෙන්නාගේ පණ බේරාගෙන ඇළහැරින් පිටත්ව ඒමය. රාත්‍රියේ අලියෙකු පැමිණ අප සිටි ගෙයි බිත්ති පෙරළා දමා අපවද සමතලා කරදමනු ඇතැයි ඇය බිය වී සිටි බවද ඇය පැවසුවාය. ඒ අම්මලාගේ හැටිය.

පසු දින උදෑසන මුහුණකට සෝදා ලක ලැස්ති වූ අපහට අළුත් රෝස කැකුළු සහලින් පිසූ බතක් සමග සම්බලයක් සහ තවත් මොනවාදෝ සමගින් දිව්‍යලෝක රසැති බත් වේලක්  සාදා අපවෙත පිළිගැන්වුයේ චුටි මාමගේ අනාගත බිරින්දෑගේ නෑදෑ පාර්ශවයයි. බත් කා අහවර වී මද වෙලාවකින් අළුත් නෑදැයින්ගෙන් සමුගත් අප ආපසු ගමන් ඇරඹීමු. ඔවුන්ගෙන් සමුගෙන පිටත්ව එද්දී හැකි ඉක්මනින් ආපසු එහි යුතුයැයි සිතා ගත්තෙමි. ඇළහැර හන්දියේදී අප ගොඩවූ බස් රථය කෙලින්ම කොළඹ බලා එන එකකි. එහි පසුපස අසුනේ සිටි ගැහැනුන් සහ මිනිසුන් කිහිප දෙනෙක් අප දෙස බලා කොළඹ යන බව අසා ඔවුන් ආසන්න දුරකදී බසින බව පවසා අපහට වාඩිවීමට ඉඩ ලබා දුන්හ. ආපසු ගමනේදී වෙනත් විශේෂ යමක් සිදු නොවු අතර නිවසට ළඟා වූයේ තරමක් රාත්‍රී වූ පසුවය. අප ආපසු එනවිට නිවසේ මද ආලෝකයක් ගෙනදුන් චිමිණි ලාම්පුවක් පත්තු කර තිබු අතර අප එනතුරු අක්කලා තුන්දෙනා මග බලාගෙන උන්නෝය.

ටික කලකට පසු ඇළහැර නැන්දලාගේ නෑදෑ පිරිසක් අප නිවෙස් බලා පැමිණි අතර විවාහ උත්සවයකින් තොරවම ඔවුනගේ විවාහය සිදුවිය. එයට හේතුව අනවශ්‍ය කටයුතු සඳහා වියදම් කිරීමට දෙපාර්ශ්වයටම මුදල් නොමැති කමය. ඔවුන් වෙනුවෙන් එවැනි උදව්වක් කිරීමට ප්‍රමාණවත් ආර්ථික අතිරික්තයක් අප පවුලටද නොතිබූ බව අම්මා මා සමග පසු කලෙක පැවසුවාය.

ආපසු එහි යායුතු බව එදින සිතා ගත්තද එදවස උදා වූයේ වසර පහකට පමණ  පසුව බව සිහි කරන්නේ දුක්බර වූ සිතකිනි. එයද කොහෝ හෝ චාරිකාවක් යන අතරතුරකදී පැය කිහිපයක කාලයකට පමණි. පාර දෙපස තිබු මහගස් බොහොමයක් කපා දමමින් පැවතුනි. ඒ වනවිට මා උන්නේ තරුණ මදය ඔලුවට ගසන ආකල්පමය වෙනසක් ඇතිවන වයසකය. අඩු තරමේ ගෙදර උදවිය සමග ට්‍රිප් එකක් පවා යාම නොරුස්සන අවධියකය. මුලින් ගිය ඇළහැර ගමන හෝ දැන් එහි ඇති වෙනසක් සසඳා බැලීමට තරම් ඉස්පාසුවක් එවෙලේ මාහට තිබෙන්නට නැත.

යළිත් මා හට එහි යාමට ලැබුණේ 2007 දීය. ඒ වසර 16 කට පමණ පසුය. වටපිටාව බැලීමේ ඉස්පාසුවක්ද තරමක සන්සුන් මනසක්ද ඒ වනවිට මා සතුවිය. ගත වී ඇති වසර 16ක  කාලය හමුවේ එම ප්‍රදේශයද දියුණුවේ හස්තයට යම් පමණකට හසු වී තිබුණි. පරිසරය පමණක් නොව මිනිසුන් පවා යම් පමණකට හෝ අව්‍යාජ බවින් මිදී ඇති බවක් මාහට හැඟුනි. එසේ වී තිබීම මාගේ තෘප්තියට හේතු නොවීය. එහි ජීවත්වන මිනිසුන්ගේ පැත්තෙන් බැලුවිට එය අසාධාරණ වුවත් අප කැමති දෙයක් නැතිවී යද්දී හිතට දුකක් ඇතිවීම ස්වභාවිකය. අනෙක් විශේෂම කරුණ වුයේ අප එහි ගියේ වැසි සමයේදී වීමය, මා වියළි කලාපයට වහින විට මා අකමැතිය. එයද මා සිතේ කහටක් ඇති කරන්නට ඇත. කෙසේ හෝ එම ගමනින් පසු පැරණි මතකය යළි ඉස්මතු වී මෙවැනි සටහනක් ලිවීම සඳහා මා දිරිමත් කළේය.

වසර 16 කට පසු එනම් 2007 දී එහි ගිය පසු මුලින්ම ඇළහැර ගිය ගමන සම්බන්ධ සටහනක් ලිවීම ඇරඹුවෙමු. නමුත් මෙම සටහන යම් පමණකට හෝ  ලියා හමාර කළහැකි වුයේ 2011-06-19 දින වන විටය, ඒ වසර 20 ට වැඩි කාලයකට පසුය. සම්පුර්ණ සටහනක් ලෙස බ්ලොගයට දැමීම සඳහා තවත් කරුණු මතක් කරමින් සංස්කරණය කර හමාර කිරීමට හැකිවුයේ වසර 23 කට පමණ පසුවය. ඒ 2014 නොවැම්බර් මස මස හය වැනි දිනය.

Thursday, 23 October 2014

උඩවලව චාරිකාව-2007 (අවසාන කොටස)

පළමු කොටස මෙතනින් කියවන්න

දෙවන කොටස මෙතනින් කියවන්න

පසුදින උදෑසනින් අවදි වී ලකලෑස්ති වීමේ කටයුත්ත ආරම්භ කළෙමු. ඒ අතරතුරේදී ඊයේ මා කතා කළ කැබ් රථය සෆාරි බංගලාව කරා පැමිණියේය. හීල් ආහාරය පාර්සල් ලෙස ඔතාගෙන නව රියදුරු හා වනෝද්‍යානය බලා ගමන් ඇරඹුවෙමු. උද්‍යාන පිවිසුමේදී අප එනතුරු බලාසිටි චන්දන සමග ගොස් ගොස් ටිකට්පත් මිළදීගත් අප පමාවකින් තොරව ගමන ආරම්භ කළෙමු. පෙරදා රාත්‍රියේ ඇද වැටුණු වැස්ස මහා වැස්සක් බව දැක ගන්නට ලැබුණේ උද්‍යානය තුළට ඇතුල් වූ පසුය. එදිනද වැසිබර ගතියේ අඩුවක් නොවන බව පෙන්වන්නට මෙන් පොද වැස්සක් ඇද වැටෙමින් පැවතුනේය.

තරමක් දුරට යත්ම මාර්ගයේ තත්ත්වය ඉතා අවධානම් සහගත තත්ත්වයකට පත්විය. බණ්ඩක්කා මෙන් ලිස්සන මාර්ගයේ වාහන ධාවනය අවධානම් වුවද එය එක්තරා අන්දමක විනෝදජනක අත්දැකීමක් බවටද පත් වුවේය. වාහන වලට පාරේ කෙළින් යාමට නොහැක. පාර ලිස්සන අත අනුව ඒවා එහා මෙහා ලිස්සා යමින් ඉදිරියට යමින් පැවතුනේය.

ලිස්සන පාර...
අප ගමන්ගත් රථය ෆෝ වීල් වර්ගයේ එකක් නොවුනද එහි දමා තිබු ටයර අළුත් ඒවාය, එමෙන්ම එහි වූ කට්ට රටාව ලිස්සීම සීමා කරන වර්ගයේ ඒවා බැවින් එතරම් කරදරයකින් තොරව ගමනේ යෙදීමට අපට හැකි විය. අනෙත් කාරණය වූයේ අප නඩය දාහතර දෙනෙකුගෙන් සමන්විත බරසාර එකක් වීමය.  රියදුරු සහ නියාමක සමග දාසය දෙනෙකි. අපගේ කැබ් රථය ලිස්සා නොයාමට එහි වූ අධික බරද හේතුව වන්නට ඇත.
තල්ලුවට පෙර සුදානම...
පැත්තකට වී බලාගෙන සිටින්නේ කැබ් එකේ ආ වැඩිහිටි දෙදෙනාය

අපට ඉදිරියෙන් ගමන්ගත් කැබ් රථය එක වරම ලිස්සා ගොස් කාණුවට දෙසට ඇදී ගියේය. එහි ඉදිරිපස කොටස කාණුවට වැටී තිබුණේය. පසුපසට රිය ධාවනය කරමින් එය ගොඩ ගැනීමට රියදුරු මහතා සිදුකල උත්සාහය සාර්ථක වුයේ නැත. රෝද එක තැන කරකැවුනා මිස එය මදක් හෝ පසුපසට ආවේ නැත. අප එහි ගොස් බලන විට එහි වූ ටයර තරමක් ගෙවී ගිය ඒවා බව දැකගත හැකි විය. ඉතිරිව ඇති කට්ට ප්‍රමාණය ලිස්සා යාම පාලනය කිරීමට අසමත් වුවා විය හැක. වනෝද්‍යාන ඉදිරිපිට නතරකර ඇති ජීප් රථ හෝ කැබ් රථ මෙවැනි ගමනක් සඳහා තෝරා ගැනීමේදී ඒවායේ ටයර ගැන සැළකිලිමත් වීම වාසියක් මිස පාඩුවක් නොවනු ඇත.
අප රථයේ රියදුරු මහතා සහ කාණුවට වැටුන රථයේ රියදුරු මහතා රාජකාරි මිතුරන් විය. ඒ නිසා ඔහු එම රථය ගොඩ ගැනීමට සහය දීමට ඉදිරිපත් වීම සාමාන්‍ය දෙයක්විය. මිතුරන් නොවුනද වනෝද්‍යානයකදී කරදරයකට පත්වූ කෙනෙකුට පිහිට වීමට මිතුරුකම අනිවාර්යය අංගයක් නොවන නිසාත් අපද එයට උර දීමට ඉදිරිපත් වූයෙමු.
ගොඩ ගනිමින්...

රෝද මගින් එතරම් සහයක් නොදුන් කැබ් රථය තල්ලු දැමීමෙන් පමණක් ගොඩ ගැනීම සිදුකල හැකි නොවීය. කාණුවට වැටුණු කැබ් රථයේ එය ඇදීමට සහය කොට ගතහැකි නයිලෝන් වර්ගයේ කඹයක් තිබුණි. එය අප ගමන්ගත් කැබ් රථයට ගැට ගසා එයින් අදින මොහොතේදීම ලබා දෙන තල්ලුවෙන් එය ගොඩ ගැනීම අපගේ අභිලාශය විය. එම රථයේ පැමිණ තිබුනේ වැඩුණු පිරිමින් සහ ගැහැණුන් කිහිප දෙනෙක්ද, ළමුන් කිහිප දෙනෙකි. එහි උන් වැඩිහිටි පිරිමින් දෙදෙනෙකු බිමට බැස වාහනය ගොඩ ගැනීමට අප ගන්නා උත්සාහය නිරීක්ෂණය කරමින් උන්නේය. එය තමන් පැමිණි වාහනය බවට ඔවුන් අමතක කර දමා තිබුන සෙයකි.
එම කැබ්රිය ගොඩගත් පසු නැවතත් අපගේ චාරිකාව ආරම්භ විය. එසේ යාමට හැකි වුයේ මීටර කිහිපයක දුරකි. නැවතත් එය ලිස්සා ගොස් කාණුවට ඇදී ගියේය. නැවතත් පෙර පරිදිම සහ ඊටත් වඩා ඇඟේ පතේ මඩ ගා ගනිමින් කල උත්සාහයකින් අනතුරුව එය ගොඩ ගැනීමට අප සමත් විය. පෙර සේම එම නඩයේ වූ වැඩිහිටියන් නිරීක්ෂනයෙන් පමණක් අපට සහය විය. වාහනය ගොඩ ගන්නට උදව් වූ අපට එය සිදු කළයුතු ආකාරය සම්බන්ධ උපදෙස් නොදී නිකම්ම බලා සිටීම සම්බන්ධව ඔවුන් දෙදෙනාට මාගේ පැසසුම. කිසිඳු මැසිවිල්ලක් හෝ නොනගා එම රිය තල්ලු කර ගොඩ ගැනීමට අපගේ දායකත්වය දුන්නේ ඉන් අපද විනෝදයක් ලද නිසාය.

කැබ් රථය කාණුවට වැටෙන සෑම වරකදීම එයට තල්ලු දැමීම ප්‍රායෝගිකව සිදු කිරීමට අපහසු තත්ත්වයක් බවට විය. වරින් වර වනෝද්‍යානයකදී බිමට බැසීමට සිදුවීම අපහට දැරීමට සිදුවන අනවශ්‍ය අවධානමකි. වනෝද්‍යානයක් තුළදී වාහනයකින් බිමට බැසීම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැකි වරදකි. මේ කිසිවක් නොව මා සිත පෙලූ ප්‍රශ්නයේ වුයේ එය අපගේ නිරීක්ෂණ කටයුතු සහ ජායාරූප ගැනීමේ කටයුතු වලට බාධාවක් බව ඇස් පනාපිටම ඔප්පු වෙමින් පැවතීමය.

කුරුළු නිරීක්ෂණය සඳහා බොහෝ උචිත අතුරු මාර්ගයක් ඔස්සේ යාම වඩා සුදුසු බව චන්දන යෝජනා කලේ මේ අතරේදීය. සමහර විට මේ ප්‍රශ්ණයෙන් අපව මුදවා ගැනීම ඔහුගේ අභිප්‍රාය වන්නට ඇත.  යාමට තීරණය කල අතුරු මාර්ගයේ ටයර ගෙවුණු කැබ් රථයට කෙසේවත් යා නොහැකි තරමට මඩවි ඇති බවක්ද කියැවිණි. එබැවින් ඔවුන් ප්‍රධාන මාර්ගය ඔස්සේ යාමට තීරණය කිරීමෙන් පසු “තල්ලු කිරීමේ පප්‍රශ්ණය” අපගෙන් දුරස් විය. ඉන්පසුව ඔවුන් වෙන කාගේ හෝ සහයක් පතන්නට ඇත. එදින ඇති පදම් සංචාරකයින් පැමිණි බැවින් ඔවුනට සහය දෙන්නට කවුරුන් හෝ ඉදිරිපත් වුවාට සැක නැත.
මෙය අපගේ ආත්මාර්ථය ලෙස කෙනෙකුට පෙනෙන්නට පුළුවන. නමුත් සැබෑ කරුණනම් කැබ් රථ රියදුරා හෝ හිමිකරුවා දැනදැනම එම නඩයේ වූ පිරිස අමාරුවේ දැමීමකි. හදිස්සියකට උදව්වක් කිරීම වෙනකකි. මෙය වෙනමම කාරනාවකි.
වරෙක අප විල්පත්තුවේදී පණගන්වා ගැනීමට නොහැකිව නතර වී තිබු පැරණි වර්ගයේ ලෑන්ඩ් රෝවර් රථයක් ඇදගෙන කිලෝමීටර හතළිහකට ආසන්න දුරක් පැමිණියේය. ඒ කතාව වෙනම පැවසිය යුත්තකි.

කාණුවේ...

ප්‍රධාන මාර්ගය ඔස්සේ ආ අවස්ථාවේ අප ඉදිරියට පැමිණි යමුදාවේ බෆල් රථ දෙකක්ද අපට ඉඩ දීමට පාර අයිනට අයින් කිරීමේදී කාණුවට ඇද වැටුණි. රෝද හතරෙන්ම බල ගැන්වුණු ඒවා පවා ඉන් ගොඩ ආවේ ඉතා අපහසුවෙනි. මේ වන විටත් බොහෝ දෙනෙකුට අමතක වෙමින් පවතින යුධ සමයේ ඒවා යොදවා තිබුනේ උද්‍යාන ආරක්ෂක කටයුතු සඳහාය. නමුත් ඔවුන් දැකීමෙන් අප සිටින්නේ අනාරක්ෂිත ස්ථානයකදෝ යන දෙගිඩියාව සිතේ ඇතිවී නැතිව ගියේය.

මෙවැනි ලිස්සන මඩ සහිත පාරක රිය පැදවීමේ අවස්ථාව මා හට කිහිප වතාවක්ම අත්විඳින්නට හැකි වුයේ මෑත කාලයේ වීරවිල බලා ගිය ගමන් වලදීය. එහි ඇති පසද මඩ වන්නේ මේ ලෙසින්මය. රෝද හතරින්ම බල ගැන්වුණු වාහනය පවා එම පාරවල් වලදී යන්නේ පාරට ඕනෑ හැටියට මිස අපට උවමනා ලෙසින් නොවේ. වරක් මා එලෙස මඩවු මාර්ගයක මෝටර් බයිසිකලයක ඩබල් දමාගෙන ගොස් බෙල්ල කඩා නොගෙන බේරුණේ ඉතා අපහසුවෙනි. නමුත් එහි සිටින මිතුරන් කිසි අපහසුවකින් තොරව මඩ ගොහොරේ හොඳින් බයිසිකල් පැදගෙන යති.
කුඹුක් හෙවණේ....

මෙසේ ගමන්ගත් අප නොයෙකුත් දෑ බලමින් විහිළු තහළු කරමින් ගමන් ගත්තෙමු. වැස්ස නිසා කුරුල්ලන් සහ අනෙකුත් සතුන්ගේ පැහැදිළි අඩු වීමක් දැකගන්නට ලැබුණි. උඩවලවේ ජලාශයට දියවර සපයන ප්‍රධාන සැපයුම් මගක් වූ වේලි ඔය කරා අපි සේන්දු වී සිටියෙමු. මා මෙතෙක් සිතා සිටියේ එම ජල මාර්ගය හඳුන්වන්නේද වළවේ ගඟ කියාය. මෙලෙස ගමන්ගත් අප වේලි ඔය ඉවුරේ වූ කුඹුක් ගස් හෙවනක ඇති විවේකස්ථානයකට ලඟා විය. එහිදී උදේ ආහාරය ගත් අප සුළු මොහොතක් වටපිටාවේ අසිරිය විඳිමින් සහ කතා බහ කරමින් කල් ගත කළෙමු. එහි වුයේ සැබෑ නිස්කලංක භාවයකි. ඉවුරේ වූ රොන්මඩ තට්ටුවේ අප එතනට යාමට පෙර එහි ආගිය සතුන්ගේ අඩි සටහන් දක්නට විය. එහි රිළවුන්ගේ, මොණරුන්ගේ සහ තවත් හැඳිනිය නොහැකි කුරුළු වර්ග වල අඩි සළකුණු සටහන් වී තිබිණි. කුඹුක් සෙවනේ වූ මනබඳින සිසිල් පරිසරයෙන් මිදී නැවතත් වාහනයට ගොඩ වුයේ චාරිකාවේ ඉතිරිය සම්පුර්ණ කිරීමටයි.
අපි මඩවූ පාරේ යන ගමන්...
වැස්ස තරමක් තුරල් වූ පසු අප බොහෝ දෙනෙකුගේ මනාපය වූ කුරුළු වර්ග කිහිපයක් දැක ගැනීමට හැකිවිය. පොද වැස්සෙන් සිදු වූ බාධාව නිසා ජායාරුප ගැනීමට නොහැකි වීම විශාල අඩුපාඩුවකි. එමෙන්ම වාහනය නතර කරන ලෙස ඉල්ලු සමහර අවස්ථා වලදී රුවන් මෙන් ක්ෂණිකව ක්‍රියා නොකළ නව රියදුරු මහතා නිසා නිරීක්ෂණ කිහිපයක්ද, ජායාරූප ගැනීමේ අවස්ථාවන් කිහිපයක්ද මගහැරී ගියේය. වනෝද්‍යානයක් තුළට මෙවැනි වර්ගයේ රියදුරන් අප වැන්නන්ට ගැලපෙන්නේ නැත.

මේ කාලය වනවිට මා පාවිච්චි කලේ කැනොන් 400D වර්ගයේ කැමරාවකි. එය මිළදී ගත්තේ පත්තරේ දමා තිබු දැන්වීමක් හරහාය. මදක් පාවිච්චි කල බව දන්වා තිබු එහි දැකගත හැකි අඩුපාඩුවක් නොවූ නිසාත් ඔහු කියූ මිළ සාධාරණ නිසාත් මම එය මිළදී ගතිමි. මිළදී ගැනීමට පෙර ජායාරූප කිහිපයක් ගසා බලා එහි නිරවද්‍යතාවයද මට පෙනෙන අයුරින් පරීක්ෂා කර බැලුවෙමි. ටික දිනක් එය පරිහරණය කිරීමෙන් පසු එහි නාභිගත වීමේ ඉතා සුළු අඩුපාඩුවක් පවතින බව මා හට ප්‍රත්‍යක්ෂ විය. මා සිතුවේ එය ලෙන්සයේ වරදක් කියාය. මිලදීගත් නව ලෙන්සය හමුවේ වුවද අඩුපාඩුව එලෙසම විය. කලයුතු එකම දේ මා සිදු කලේය. කැමරාව විකුණා දමා කැනොන් 40D වර්ගයේ නව කැමරාවක් මිතුරකු මාර්ගයෙන් ගෙන්වා ගැනීමෙන් පසු ප්‍රශ්නය විසඳුනි. නව කැමරාවෙන් ගත් ජායාරුප දුටුපසු පැරණි කැමරාවෙන් ගත් ජායාරුප සියල්ල මකා දැමීමට සිත්වුයේ ඒවායේ වූ අඩුපාඩු වැඩි වැඩියෙන් පෙනෙන්නට වීම නිසාය. නමුත් පැරණි කැමරාවෙන් ගත් සාමාන්‍ය ජායාරූප (මිනිසුන්ගේ හෝ දර්ශනයන්හි) වල වෙනසක් ඇති බවක් නොපෙනේ.


පෙරදා රාත්‍රියේදී කැබ් රථයේ හිමිකරු සමග කතා කල අවස්ථාවේ වරුවට අය කරන බව කියූ රුපියල් තුන්දහස් පන්සීයේ මුදලට උද්‍යානය තුළ වරුව සම්පුර්ණ වනතෙක්, එනම් දහවල් දොළහ වනතුරු අප ගතකරන බව දැන්වූ පසු ඒ සඳහා ඔහුගේ එකඟතාවය ලැබුණි. හරියටම දොළහ පමණ වනවිට ආපසු යායුතු බව කියූ රියදුරු මහතාට තව ස්වල්ප වේලාවක් ගත කිරීමට සිදුවුයේ අතරමගදී දුටු යම්යම් දෑ නිසාවෙන් නතර කරන මෙන් අප දන්වා සිටි නිසාය.


එවන් අවස්ථා වලදී ඔහු වාහනය නතර කලේ තරමක අකමැත්තෙනි. එම රියදුරු මහතාගේ නම මා හට අමතකය, එයට හේතුව ඔහු මතකයේ පවතින විශේෂ යමක් අප වෙනුවෙන් ඉටු නොකළ බවක් සිතට නැගුනු නිසා වන්නටද ඇත. ආපසු ගමනේදී පවා කුරුල්ලන් සහ සතුන්ගේ පැහැදිළි අඩුවක් දැකගැනීමට හැකි විය. නිකරුණේ කාලය ගත කරනවාට වඩා ආපසු ඒම වඩා සුදුසු විය. දහවල් එක පමණ වනවිට උද්‍යාන දොරටුව අසළට පැමිණීමට අපට හැකිවිය. එහිදී අපගෙන් සමුගත් චන්දන මා ඔහු අත තැබූ තුටුපඬුරු ලබා ගත්තේ තරමක් අදිමදි කිරීමෙන් පසුවය. එයට හේතුව එදින ඔහු අප වෙනුවෙන් යමක් කලේ නැත යන සිතුවිල්ල ඔහු තුළ ඇතිවූ නිසා විය හැකිය.
කඩිමුඩියේ ආපසු ගමනට සුදානම් වෙමින්...

දහවල් එක ආසන්න වනවිට නවාතැනට අපව ඇරලවූ ඔහු හැකි ඉක්මනින් පොරොන්දු වූ මුදල්ද රැගෙන හන්දියට බලා පිටත් වුයේ සවස් වරුවේ තවත් නඩයක් රැගෙන වනෝද්‍යානය තුළට යා හැකිදැයි පරීක්ෂා කිරීම සඳහා විය යුතුය. දිවා ආහාරය කඩෙන් කෑම සඳහා කළින්ම තීරණය කරගෙන උන් බැවින් කුමාර අයියා ආහාර පිළියෙළ කර තිබුනේ නැත. මුහුණකට සෝදාගෙන පැමිණි පසු කුමාර අයියා තේපැන් වත්කරගෙන පැමිණ සිටියේ අපගේ මුහුණු වලින් දිස්වූ ගමන් විඩාව දුටුනිසා විය යුතුය. තේ බොමින් විහිළු තහළුවෙන් ඇඳුම් කැඩුම් සුදානම් කරනා අතරතුරේදී නවාතැන් ගාස්තුව පිළියෙළ කිරීමට කුමාර අයියා පිටත්ව ගියේය. ගමන්මළු සහ අප දැන් ආපසු ගමනට සුදානම්ය. බිල සාදාගෙන එනතුරු බලාසිටි ඉඩවරයේදී වන්නී සහ පඟරා පුටු දෙකක වාඩිවී ඈනුම් හරිමින් නිදි කිරමින් පසු උනහ.  ගැනීමට යෝජනා වූ බැවින් ඉතිරිව තිබු බඩුමුට්ටු කොටස කුමාර අයියා වෙත තබා ඒමටද තීරණය විය.

දින දෙකක නවාතැන් ගාස්තුව රුපියල් 8000 ක් විය. දිනකට කෑම පිසීම සඳහා රුපියල් 1500 කි. සම්පුර්ණ මුදල රුපියල් 11,000 කි. කලින් අත්තිකාරම් ලෙස 3000 ක් ගෙවා තිබු නිසා ඉතිරිය වූ 8,000 ගෙවා දමා කුමාර අයියාගෙන් සමු ගත්තෙමු. කැම පිසීමට ගෙන ආ බඩුමුට්ටු සහ ඉතිරිව ඇති සියලුම දෑ  කුමාර අයියා වෙත පවරා දමා සාම මාවත බලා ගමන් ඇරඹුවෙමු.

ඒ වනවිට වෙලාව හරියටම දහවල් එකයි තිහ විය. වැඩි ප්‍රමාදයකින් තොරව සාම මාවතේ බසය නතර කරන කුඩා කඩය අසළට පැමිණියෙමු. බසයක් පැමිණෙන තෙක් පැය භාගයකට ආසන්න වේලාවක් බල සිටීමට සිදු වීම අපරාධයකි. අනතුරුව එහි පැමිණි බසය ප්‍රමාදයකින් තොරව හරවාගෙන යන්නට වුයේ එහි සිටි මගීන් දාහතරදෙනා වූ අප එහි නැග ගැනීමෙන් පසුවය. R.E.T. හන්දිය බලා යාමට විනාඩි පහළොවක් විස්සක් පමණ ගතවන්නට ඇත. එහිදී බසයෙන් බැසගත් පසු කවුරුන්ගේ හෝ සිතක ක්ෂණිකව ඇතිවූ අදහසක් අනුව ඇත්අතුරු සෙවණ බලා යාමට පා ගමනින්ම පිටත් වූයෙමු. සවස තුනට පමණ අලි පැටවුන්ට කිරි ලබා දෙන දර්ශණය නැරඹිය හැකි බවට කවුරුන් හෝ පැවසීය. ඒ යන අතරතුරේදී පාර අයිනේ තිබු ගඳපාන මල් පොකුරක වැසූ සමනලයකුගේ ජායාරුප ගැනීමට උත්සාහ දැරුවත් එය එතරම් සාර්ථක උත්සාහයක් වූයේ නැත.

ඇත්අතුරු සෙවණ බලා ගොස් වැඩි වේලාවක් බලා සිටීමට අපහට සිදු වුයේ නැත. සවස තුනට විනාඩි කිහිපයකට පමණ පෙර අලි පැටවුන්ට ලබා දෙන කිරිවේල ලබා ගැනීම සඳහා අලි පැටවුන් පැමිණෙමින් සිටියහ. පිම්මේ දිවඑන පුංචි අලි බබාලා සහ තරමක් වැඩුණු පැටවුන් රොත්තක් එහිදී දැකගන්නට හැකිවිය. තරමක් වැඩුණු අලි පැටවුන් කියා කීවාට ඒ අලි පැටවුන් බොහෝ දෙනෙක් වයස අවුරුදු පහටත් අඩු උන් විය යුතුය.
කිරි වේල ලැබෙනකල්...
එහි සිටි පුංචිම අලි පැටවුන් පොරකමින් උදුර උදුරා මෙන් කිරි බොන දර්ශනය ඉතා සානුකම්පිතය. ප්‍රමාණයෙන් විශාල ලෙස සාපේක්ෂව සිතිය හැකි වුවත් සමහර පැටවුන්ගේ වයස මාසයක් හෝ දෙකක් විය හැකිය. ඒ මදිවාට ඔවුන් මව්වරු සහ මව්කිරි අහිමිව ගොස් අනාථ වූ කිරි සප්පයෝය. අම්මලා සමග සිටියේනම් උවමනා සෑම විටම කිරි බොන්නට ඔවුනට බාධාවක් ඇති නොවේ. ඔවුන් අනාථ වී ඇත්තේ අලින්ගේ සමාජ ක්‍රමයේ දුර්වලතාවයක් හෝ අලි මව හිතාමතා පොඩි පැටවුන් හැරයාම නිසා නොවීම ඛේදවාචකයකි. පොඩි වයසේදීම ඔවුන් අනාථ වී ඇත්තේ ඔබ අප වැනිවූ දෙපා සතුන් නිසාය. අනාථ කර ඇති ඔවුන්ගේ ආහාර ගැනීමේ අයිතිය පවා පාලනය වන්නේ මිනිසුන්ට රිසි පරිදිය. එහි සිටි කුඩාම පැටවුන් දෙදෙනාට බෝතලයෙන් කිරි බීමේ කිසිඳු පළපුරුද්දක් නොවීය. බීමට දුන් කිරි වලින් බාගයකට වඩා හැලුනේ බිමටය. එය උන්ගේ අවශ්‍යතාවය හා ගැලපේදැයි විමසා බලන්නට හැකි ක්‍රමයක් ඇත්තේද නැත.
පුංචිම පුංචි අලි පැටියෙක්....
එම දර්ශණය වැඩි වෙලා පැවතුනේ නැත. එය හමාර වු වහාම ඇත්අතුරු සෙවණෙන් පිටව ආ අප පා ගමනින්ම R.E.T. හන්දියට පැමිණියේ කෑමට යමක් සොයා ගැනීමටය. එහි වූ කඩ කිහිපයක් පිරික්සූ පසු ඉන් එකක බත් තිබෙන බව සොයා ගැනීමට හැකිවිය. මිරිසට පිස තිබු වැව් මාළු සහ තවත් හොදි වර්ග කිහිපයක් සමග සීතල වූ බතක් එහිදී අනුභව කෙළෙමු. කෑමෙන් අනතුරුව කොළඹ බලා යන දෙළොස් දෙනා ඇඹිලිපිටිය බලා යන බසයකද අනෙක් දෙදෙනා තණමල්විල බලා යන බසයකද නැගී පිටත් වුයේ එකිනෙකාගෙන් සමු ගැනීමෙන් අනතුරුවය. දීර්ඝ සති අන්තයක් නිමා වන ඉරිදා දිනවල බොහෝ නගර වල සිට කොළඹ බලා යන බසයක අසුන් ලබා ගැනීම පහසු කාරියක් නොවේ. කොළඹ බලා යායුතු වූ අපගේ පිරිස දෙළොස් දෙනෙකුගෙන් සමන්විත වීම නිසා එහි වූ අපහසුව තවත් වැඩි වී ඇත. ඇඹිලිපිටිය බලා යාමට හේතු වුයේ එයින් පටන් ගන්නා බසයක නැගීමෙන් එම ගැටළුවෙන් මිදිය හැකි වෙතැයි අනුමාන කල නිසාය.

එහි ගියත් බස් ප්‍රශ්නයට විසඳුමක් නොවිය. තිබුණු බසයේ වාඩි වීමට ඉඩක් නැත. තව බසයක් පැමිණෙන බවක් පෙනෙන්නටද නැත. ටික වෙලාවකින් කොළඹ සිට AC බසයක් පැමිණියේය. යම් හේතුවක් නිසා ඔවුනටද කොළඹ බලා ඉක්මණින් ආපසු යාමේ අවශ්‍යතාවයක් ඇති බව පෙනෙන්නට විය. වැඩි දෙනෙකු එයට ගොඩවන පාටක්ද නැත. එහි කොන්දොස්තර මහතා සමග කතාකර සාමාන්‍ය බසයේ ගාස්තුව හා ආසන්න වු එනම් රුපියල් දෙසීයක මුදලක් ටිකට්පතක් වෙනුවෙන් අයකර ගන්නා පොරොන්දුව පිට අප දෙළොස් දෙනා එහි නැගුණෙමු. අපට පසුව එහි නැගුනු අන් මගීන්ගෙන් ඔහු අයකළේ කිනම් මුදලක්දැයි අප විමසිලිමත් වුයේ නැත. එය අප හට අදාළ කාරියක්ද නොවේ. කෙසේ හෝ රාත්‍රී නමයහමාර පමණ වනවිට අප රැගත් බසය කොළඹට ලඟා වුවේය.
එතැනදී වෙන්වූ අප තම තමන්ගේ නවාතැන් බලා පිටත්ව යාමෙන් ඉතා සුන්දර වූ තවත් එක් චාරිකාවක නිමාව එසේ සිදුවිය.

පසුවදන:
චාරිකාවේ අයවැය විස්තරය අන්තිම සතය දක්වාම අදටත් මා සතුය. එය මෙහි දැමීම අවශ්‍යය නැතැයි සිතේ. නමුත් යම්කිසි අදහසක් ඇතිකර ගැනීම සඳහා මුලික විස්තර යම් ප්‍රමාණයක් පළකිරීමට අවසර.
රාත්‍රී දෙකක් නවාතැන් සපයා, සියළුම වේල් සඳහා කෑමබීම, උද්‍යානය තුළ යාමට කැබ් රථ, ටිකට්පත්, බස් වියදම් යන සියළුම දේ සපයා දීමට එක් අයෙකුගෙන් අය කල මුදල් ප්‍රමාණ මෙසේය.
රැකියා කළ අයෙකුගෙන්(11 දෙනෙක්) අය කළ මුදල වුයේ රුපියල් 3000 කි. ඉතාම මෑතකදී රැකියාවට ගිය කුරූගෙන් රුපියල් 1000 ක්ද, ඒ වනවිට ඉගෙනුම හමාර කර නොතිබු අලයා සහ ගෝනාගෙන් කිසිදු මුදලක් අය කලේ නැත.
තරමක විශාල කණ්ඩායමක් සමග බසයක හෝ කෝච්චියක නැගී සරළ ලෙස යා හැකි සංචාරක ස්ථාන ලංකාවේ ඇතිපදම් ඇත. එවැනි ගමනකට වැයවන වියදම බොහෝ අඩුවන අතර ඉන් බොහෝ විනෝදයක්ද ලබාගත හැකිවනු ඇත.


උඩවලව චාරිකාව සඳහා අප සමග එක්වූ ඔබ සැමට මාගේ හදපිරි ප්‍රණාමය....!

මෙයාව මම ෆොටෝ ගැහුවේ වෙන තැනකදී, අළුත් කැමරාවෙන්. කැමරා දෙකේ වෙනස පෙන්නන්න තමයි මේක මෙතනට දැම්මේ...

Monday, 20 October 2014

උඩවලව වන චාරිකාව -2007 (දෙවන කොටස)

පළවෙනි කොටස බලපු නැති අයට....


කළින්දින කතිකා කර ගත් ටාටා වර්ගයේ කැබ් රිය පසුදින පාන්දර පහයි හතළිස් පහ පමණ වන විට නවාතැන්පල කරා පැමිණියේය. මාගේ අරමුණ වූයේ පාන්දර හය හෝ ඊටත් පෙර උද්‍යාන ගේට්ටුව කරා යාමය. වනෝද්‍යානයක් කරා උදෑසනින් යාමෙන් අත්වන වාසි කිහිපයකි. අපහසුවකින් තොරව මග පෙන්වන්නකු සොයාගත හැකිවීම, වැඩිපුර සතුන් දැකගැනීමේ හැකියාව සහ චාරිකාවේ උපරිම පළ නෙලා ගැනීමට ඇති හැකියාව ඒ අතර වේ. කැබ් රිය පැමිණියද ඒ වන විටත් අප පිරිස සම්පුර්ණයෙන් සුදානම් වී නොසිටියහ. කෑම බීම පිළියෙල කිරීමේද ප්‍රමාදයක් දක්නට ලැබුණි. උදෑසන ආහාරය පාර්සල් ලෙස සකසාදෙන මෙන් කුමාර අයියාට කල්තියාම දැනුම් දී තිබුණි. මෙම ප්‍රමාදයන් නිසාවෙන් උද්‍යාන දොරටුව වෙත ලඟා වනවිට වේලාව උදෑසන හයයි තිහ පසු වී තිබුණි. ඒ වන විටත් ටිකට් පත් නිකුත් කරන කාර්යාල පරිශ්‍රයේ විශාල පිරිසක් රැස්ව සිටියහ. මේ දීර්ඝ සති අන්තයක ආරම්භය වීම එයට හේතුවයි. අප එහි යනවිටත් සියළුම මාර්ගෝපදේශක මහතුන් කළින් ආ කණ්ඩායම් සමග උද්‍යානය බලා පිටත්ව ගොස් තිබුනේය. මාර්ගෝපදේශක මහතකු පැමිණෙන තෙක් ටිකට්පත් මිළදී ගන්නා කවුන්ටරය අසළට වී රැක උන්නෙමු. මෙසේ රැඳී සිටියේ අප පමණක් නොවේ. තවත් කණ්ඩායම් කිහිපයක් අප මෙන්ම එහි රැඳී සිටියේය. ටික වේලාවක් ගතවූ පසු කැබ්රථයේ රියදුරු රුවන්ගේද සහායෙන් මාර්ගෝපදේශක මහතකුගේ සහය ලබා ගැනීමට අපහට හැකි විය. ඔහු චන්දන නම් විය.

සම්පුර්ණ දිනයක චාරිකාවක් සඳහා එක්වීමට සමහර මාර්ගෝපදේශක මහතුන්ගේ අකමැත්තක් ඇත. එයට හේතුව දිනකට කීප වරක් නඩ කිහිපයක් සමගින් උද්‍යානය තුළට යාමෙන් ලබා ගත හැකි ආර්ථික වාසිය මෙවැනි එක් චාරිකාවකින් ලැබෙන මුදලට වඩා වැඩි නිසාය. නමුත් එලෙස මුදල් පසුපස නොයන මාර්ගෝපදේශක මහත්වරුන් අනන්තවත් මා හට මුණගැසී ඇත. මොහුද එවැන්නෙක් බව සිතීමට කිසිඳු මැසිවිල්ලක් නොනගා අප හා යෑමට එකඟ වීමෙන්ම තේරුම් ගත හැකිය.

ටිකට්පත් ලබා ගැනීමෙන් පසු අපගේ චාරිකාව නියමාකාරයෙන් ආරම්භ විය. එදින වැසිබර අඳුරු කාලගූණයක් පැවතීම අපගේ නොසතුටට හේතු විය. කැන්වසය ඉවත් කළ කැබ් රථයේ සිටි අපව තෙමා දමමින් නොනවතින පොද වැස්සක් ඇද වැටෙමින් පැවතුනේය. ජායාරුප ගැනීමේ අපහසුව, කැමරා වැස්සෙන් බේරා ගැනීමට අමතර මහන්සියක් දැරීමට සිදුවීම වැස්සේ ප්‍රතිවිපාක විය. ඊට අමතරව දිගටම වැටුණු වැසි හේතුවෙන් මාර්ගය ලිස්සනසුළු තත්ත්වයට වීම තවත් අවාසියකි.

ගමන ආරම්භ කර ඉදිරියට යත්ම අප ඉදිරියට තනි අලියෙක් පැමිණියේ අප පිළිගැනීමට මෙනි. මද කිපීමේ මුලික ලක්ෂණ ඌ වෙතින් දිස් වුවද කිසි කරදරයකින් තොරව අපව පසුකරගෙන ගියේය. ඒ ගමනේ සාර්ථකත්වය හඟවන සුභ ලකුණකි.
මුලින්ම මුණ ගැහුණු කෙනා

තවත් ඉදිරියට යද්දී හතර දෙනෙකුගෙන් පමණ සමන්විත කුඩා අලි රංචුවක් දැක ගැනීමට අපට හැකි විය. මාර්ගය හරහා ගමන්ගත් අලි අසලටම රිය පැදවූ රුවන් වාහනයේ එංජිම නවතා ගත්තේ චන්දනගේ උපදෙස් පරිදිය. කීප වතාවක්ම වාහනය දෙසට පහර දෙන්නට මෙන් දිව ආ එක අලියෙකු අපගෙන් අනතුරක් නැති බව වටහාගෙන මෙන් සන්සුන් වුයේ ටික වෙලාවක් ගතවූ පසුය. වටපිටාවේ ඇති දෑ කමින් තරමක වෙලාවක් ගතකළ උන් සෙමින් සෙමින් අපගෙන් ඈතට පියමන් කළහ. මේ ආකාරයට වනයේ තැනතැන කරක් ගැසූ අපහට, නොයෙකුත් වර්ගවල කුරුල්ලන්, දළ ඇතෙක් සහ අලි බොහෝ ගණනක්ද, ගෝන්නු සහ මුව රංචු කිහිපයක් ආදී සතුන් බොහෝ දෙනෙක් දැක ගැනීමට හැකිවිය.
අපිත් එක්ක ගේම ඉල්ලපු අලි නාම්බා

මෙයාට දළ තිබුනට ටිකක් පොඩි ඇතෙක්, පඳුරු අස්සේ ඉන්න නිසා දළ දෙක පේන්න ලං කරලා ගත්තු ෆොටෝ එකක්


ස්ථාන නාමයන් හරිහැටි මතකයේ නැතත් වනෝද්‍යානය පුරාම පාහේ අපි සංචාරය කලෙමු. බොහෝ වනෝද්‍යාන වල ඇති කුඩා වැව් හෝ එවැනි විශේෂ ලක්ෂණ අළලා ස්ථාන නාමයන් ඇතත් මා හට ඒවා මතක සිටින්නේ කළාතුරකිනි. මේ වනවිට පොද වැස්ස තරමක් තුරල් වී තිබුණි. මේ වනවිට අප මව් ආර ජලාශයේ බැම්ම උඩින් ගමන් කරමින් සිටියෙමු. සිය ගණනක දිය කාවුන් රංචුවක් මාළු අහිනක් වට කරමින් අල්ලා ගැනීමට වෙර දරණ මනරම් දර්ශනයක් අප ඉදිරියේ දර්ශනය විය. දිය කාවුන් සමග සමහර අවස්ථා වලදී පෙලිකන් කුරුල්ලන් සහ මුහුදු ලිහිණින් එක්ව මෙයාකාරයෙන් මාළු දඩයමේ යෙදෙන අවස්ථාවක් පසු කලෙකදී පලටුපානේදී දැක ගැනීමට හැකිවිය.

බැම්ම පසුකර මදක් ඉදිරියට ගිය පසු වැව් පිටියේදී වාහනයෙන් බැසීමට හැකි බව චන්දන කියා සිටියේය. උදෑසන බිව් තේ එකෙන් පසුව බර ආහාරයක් බඩට වැටුනේ නැත. මේ වනවිට බඩගිනි දැනෙමින් පැවතුන බැවින් ආහාර ගැනීමට හැකි තැනක් විපරම් කරමින් පැමිණි අපට චන්දනගේ වචනය මහත් අස්වැසිල්ලක් විය.
මව් ආර ජලාශයේ බැස උන් මී හරක්

මව් ආර ජලාශයේ හොඳින් ජලය පිරී තිබුණි. එහි බැස වටපිටාව විපරම් කරද්දී ඉතා සුන්දර දර්ශන කීපයක්ම දැක ගන්නට හැකි විය. අඩක් කුළු මී හරක් ගති ලක්ෂණ විදහා දැක්වූ මී හරක් රංචුවක් දියේ බැසගෙන සිටියේය. මෙසේ කැලයේ කාලයක් ගතකරන උන් සමහර විට කුළු හරකුන් සමග මිශ්‍ර වී ඒ ගතිගුණ දක්වන අවස්ථා ඇති බව සුලභ කරුණකි.
අපි දෙස විමසිල්ලෙන් බලමින්

මව් ආර ජලාශය

කුමාර අයියා ලවා තරමක් විශාල බත් පාර්සල් කිහිපයක් බැඳ ගත්තේ එක පාර්සලයක් දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට සෑහෙන පරිදිය. ඒවා දිග ඇරගෙන අනුභව කිරීම සිදු කලේද එහිදීය. කැබ් රථයේ සීට් මත සහ තැන තැන තබාගත් බත්මුල් කිහිපය හවුලේ අනුභව කිරීම අතීතය යළි කැඳවීමක් මෙන් හැඟුනි.
අනුභවයෙන් පසු ඒ අවට ඇවිදිමින් සිදු කල නිරීක්ෂණ වලදී සමනළ වර්ග කීපයක්, බත් කුරන් සහ කුරුළු වර්ග කීපයක්ද දැක ගැනීමට හැකිවිය. එහිදී අළුත මිලදී ගත්  ට්‍රයිපොඩයෙන් ඉතා සුළු ප්‍රයෝජනයක් ගැනීමටද ඉඩ සැළසුනේය.

උඩවලව චාරිකාවෙන් මද කලකට පසු විශාල පාඩුවක් සහිතව එය හුවමාරු කලේ, ට්‍රයිපොඩ භාවිතය ප්‍රායෝගිකව මා හට කරදරකාරී බවක් දැනුණු බැවිනි. අදටත් ට්‍රයිපොඩ යනු ජායාරුප කලාවේදී මා හට හුරු වීමට ඉතා අපහසු අංගයක් බවට පත්වී ඇත. ඒවා මාගේ සෙලවිමේ සහ චලනය වීමේ නිදහස සිමා කරන උපකරණයක් ලෙස මට හැඟේ. එමෙන්ම ඒවා නිසා සමහර අවස්ථා මගහැරී යාමද සිදුවේ. නමුත් ට්‍රයිපොඩ භාවිතයෙන් ගන්නා ජායාරූප වල තත්ත්වය උසස් බව පිළිගත යුතුය.

එතනින් පිටත් වූ අප නැවතත් වන චාරිකාව ඇරඹුවෙමු. මෙසේ පරිසරය විඳිමින් වනය තුළ සැරිසැරූ අපහට කාලය ගතවී යනවා දැනුනේද නැත, දිවා ආහාරය සඳහා වෙලාව ආසන්න වී ඇති බව හැඟුනේ බඩෙන් ලද සංඥා නිසාය. මේ වන විට අප ගෙන ආ වතුර බෝතල්, බිස්කට් ආදියෙන් සෑහෙන ප්‍රමාණයක් අවසන් වෙමින් පැවතුනි. කළින් ගිවිසගත් පරිදි දිවා ආහාරය රැගෙන ඒම සඳහා පිවිසුම් දොරටුව බලා යා යුතුය. පිවිසුම් දොරටුව අසලට බත් පාර්සල් රැගෙන පැමිණෙන බවට කුමාර අයියා පොරොන්දු වී සිටියේය. ඒ අනුව අප පිවිසුම් දොරටුව බලා යන ගමන ආරම්භ කලෙමු.
ඒ වනවිට අප හා ඉතා කුළුපඟ වී සිටි ගයිඩ් මල්ලි චන්දන ඉල්ලීමකින් තොරවම ඉතා වටිනා උදව්වක් සිදු කල හැකි බව කියා සිටියේය. ඔහු කියා සිටියේ වනෝද්‍යානය තුළට කෑම පාර්සල් රැගෙන ඒම අනවශ්‍ය බවත්, අප නවාතැන් ගත් ස්ථානයට ගොස් ආහාර වේල බුක්ති විඳ ආපසු ඒමට හැකි බවත්ය. එවේලේ හැටියට එය මහගු පිළිසරණකි. එකළ පැවති නීතිය අනුව එය කල නොහැකි ක්‍රියාවකි.

සාමාන්‍යයෙන් ක්‍රමය වී තිබුනේ වනෝද්‍යානයක් තුළට ඇතුල්වී ආපසු එළියට ගොස් නැවත පැමිණේනම්, "නැවතත් ටිකට්පත් මිළදී ගත යුතුය" යන ක්‍රමයයි. නමුත් තරමක් මෑතක සිට එම ක්‍රමයේ වෙනසක් සිදු කර ඇත. දවස පුරා වනයේ කරක් ගසන අපවැනි සංචාරකයන් උදෙසා සාමාන්‍ය ටිකට් පතේ මිළට වඩා තරමක් වැඩි සාධාරණ මිළ වැඩි කිරීමකට යටත්ව කිහිප වරක් ඇතුල් විය හැකි ටිකට් ක්‍රමයක් හඳුන්වා දී ඇත. එය විශාල පහසුවකි. සතුන් වැඩිපුර නොගැවසෙන දහවල් කාලයේදී නවාතැනට ගොස් කා බී විවේක ගෙන ආපසු පැමිණිය හැකිය.

අතරමගදීම ඇමතුමක් ලබාදී කෑම ගැනීමට අප පැමිණෙන පණිවුඩය කුමාර අයියාට පැවසීමට උත්සාහ ගත්තත් ඔහුගේ දුරකථනයෙන් ප්‍රතිචාර ලැබුණේ නැත. කීප වතාවක් උත්සාහ කල පසු ඔහු දුරකථනය ඇමතුවේය. කඩිමුඩියේ කෑම පිළියෙළ කරමින් සිටි ඔහු දුරකථනය නාදය නොසළකා සිටින්නට ඇත. කෑම රැගෙන පිවිසුම වෙත ඒම අනවශ්‍ය බවත්, අහාර ගැනීම සඳහා නවාතැන බලා පැමිණෙන බවත් ඔහුට දැනුම් දී නවාතැන බලා යන ගමන ඇරඹීමු.

අප සමග දිවා ආහාරය ගැනීම සඳහා එන ලෙස කල ආරාධනාව පිළිගත් චන්දනද අප සමග ආවේය.  සෆාරි බංගලාව කරා යන අමතර දුරද අප ආවේ රුවන්ගේ වාහනයෙනි. අමතර දුරක් බැවින් එය ඔහුට ප්‍රතික්ෂේප කරන්නට හැකියාව තිබුනද ඔහු අප කැටුව එහි ආවේය. කෑම මේසය සුදානම් වන අතරතුරේ වාහනයේ යම් වැඩක් කලයුතු බව සහ ඉක්මනින් පැමිණෙන බව කියා රුවන් පිටවී ගියේය. අප සියල්ලෝම කෑම කා අවසන් වන විටද ඔහු පැමිණියේ නැත. දුන් දුරකථන ඇමතුමකට ඔහුගේ පිළිතුර වූයේ “මේ දැන් එන” බවය. අප කෑම කා විවේක ගන්නා අතරතුරේ ඔහු පැමිණියේය. ගෙදර ගොස් බත් කා පැමිණි බව කියූ ඔහු අපගේ දිවා ආහාරය ප්‍රතික්ෂේප කලේය. සුළු විවේකයකින් පසුව නැවතත් උද්‍යානය බලා යාමට ගමන් අරඹන විට වේලාව දහවල් දෙකයි තිහ පමණ විය. කළින් නොගිය මං ඔස්සේ රිය පැදවූ රුවන් සවස් ජාමයේ දැකගත් හැකි දසුන් කිහිපයක් දැක ගැනීමට අවස්ථාව ලබා දුන්නේය.
 
තල්ලු දමමින්...

මාර්ගයේ වූ අපහසු තැනක් පරීක්ෂා කොට පැමිණෙන රුවන්


කැබ් රථයේ රියදුරු රුවන් උද්‍යානය තුළ වාහනය හැසිරවීමේදී එහි උන් පළපුරුදු රියදුරන් පවා පැරදවිය හැකි සමතෙක් බවට කිහිප වතාවක්ම ඔප්පු කර පෙන්නුවේය. අප ගිය රථය දෙවරක් පමණ තල්ලූ දමා අපහසු තැන් වලින් එගොඩ කරවීමට සිදු වුවත් ඒ පාරෙන් පිට පැනීම් වලදී නොව මාර්ගයේ වූ දැඩි විෂම ස්ථාන හරහා යාමකදීය. ඒවා බොහෝ දුරට ෆෝ වීල් වර්ගයේ වාහන වලට පමණක් යා හැකි තැන්ය. එම ස්ථාන වලදී අප හට සිතුණු නමුත් ප්‍රකාශ නොකළ දේනම් මොහු හැරෙන්නට වෙනත් අයෙකු මෙතරම් පිරිසක් දැමූ රථයක් මෙවන් වූ දුෂ්කර මාර්ගයක රැගෙන නොයන බවය.

සම්පූර්ණ දිනයම උද්‍යානයේ ගත කිරීම සඳහා කැබ් රථයට ගෙවීමට නියමිත මුදල වුයේ රුපියල් පන් දහසකි. අදාළ රිය හිමියා පෙර දිනයේදී දුරකථන මාර්ගයෙන් සම්පුර්ණ දිනයක් සඳහා එම මුදල ගෙවිය යුතු බව දන්වා සිටියේය. එය ඉතා  සාධාරණ ගණනක් බව කිව යුතුය. සම්පූර්ණ දිනය තුළදී යා යුතු සෑම තැනකම පාහේ යමින් කුරුල්ලන් වර්ග 78 ක් දැක ගැනීමට අවස්ථාව අපහට උදා විය. එම කුරුල්ලන් අතරින් පස් දෙනෙකු මුල්ම වරට මා දැක ගත්තේ එම චාරිකාවේදිය. අපගේ නිරීක්ෂණ කටයුතු සඳහා රුවන්ගේ සහ චන්දනගේ මනා සහයෝගයත් සහ විශේෂයෙන් රුවන්ගේ ඉවසීමත් බොහෝ උපකාරී විය.

අද දිනයේ එනම් දෙසැම්බර් 22 වැනි දින විෂේශත්වයක් වූ බව සවස් වන විට අප කඩයේ කාට හෝ හදිසියේ මතකයට නැගුනේය. එය මාගේ උපන් දිනයයි. පිරිසේ සැමගේම සුභ පැතුම් මා වෙත පිදුණි. මට සුභ පැතුම් එක් කරමින් “කුරූ” පැවසුවේ “Happy B’day to us” කියාය. එදින කුරුල්ලාගේද උපන් දිනය බව අප දැන ගත්තේ එවෙලේය. අපට වඩා වසරකින් බාල කණ්ඩායමේ සිටි ඔහුගේ උපන් දිනය ඒ වනවිට අප දැන සිටියේ නැත. ඉන්පසු සියල්ලෝම කුරූ වෙත උපන්දින සුභ පැතුම් එක් කලෝය. එය අපුරු සිද්ධියකි.

උද්‍යානයෙන් පිටතට පැමිණීමට පෙර කැබ් රථයේ දුනු කොළයක් කැඩී යාමෙන් යම් අබලතාවයක් ඇති වුවද ඉන් පසුබට නොවී ගමනේ ඉතිරි කොටසද අප හට සහයෝගය ලබා දෙමින් රුවන් කල මෙහෙය පැසසිය යුතුමය.
ආපසු එන අතරමගදී උඩවලවේදී සාමාන්‍යයෙන් දැකීමට නොහැකි මට්ටමේ තරමක් විශාල තනි අලියෙක් පාර දිගේ අප දිශාවට එන අයුරු දැකගැනීමට හැකි විය. කැබ් රිය පාරේ අයින් කර නතරකර ගත්තේ ඌට ඉඩ දීමටත් හොඳ ජායාරුප කිහිපයක් ගැනීමටත් සිතාය. මා ගත් ජායාරුපයේ ඌගේ තේජස සහ විශාලත්වය පැහැදිළිව පෙනෙන්නේ නැත. එයට හේතුව අප ඉහළක සිට ජායාරුප ගත කිරීම නිසා වන්නට ඇත.
අන්තිමට දැක්කේ මෙයාව
උද්‍යානයෙන් පිටතට පැමිණි වහාම එහි ඉදිරිපස වු කඩමණ්ඩියෙන් මිළදීගත් අයිස් ක්‍රීම් වලින් සංග්‍රහයක් පැවැත්වුයේ උපන්දිනය උදෙසාය. ඊට අමතරව බිස්කට්, බීම වැනි දෑ මිළට ගැනීමත් රාත්‍රියේ ගිනි මැලයක් ගසා පුළුස්සා කෑමට බඩ ඉරිඟුද මිළදී ගතිමු. රාත්‍රී අඳුරත් සමගම අප නවාතැන්පළ වෙත පැමිණියෙමු. වාහනය සඳහා පොරොන්දු වූ මුදල රුපියල් පන් දහසක් වුවද වැඩිපුර රුපියල් දහසක් ලබා දුන්නේ රුවන් අප වෙනුවෙන් කල සේවය වෙනුවෙනි. ගයිඩ් මල්ලී චන්දන හටද රුපියල් දහසක් දුන්නේ ඔහු අප හට තම සේවය ඉතා හොඳින් සැපයු නිසාය. ඔවුන් දෙදෙනාගේම දුරකථන අංක අපට ලබා දුන්නද කාලයාගේ ඇවෑමෙන් දැන් ඒවා මා සතුව නොමැත. මතකය පමණක් ඉතිරිවී ඇත.
අප ඔවුනට ලබා දුන් මුදල අද වනවිට මහලොකු ගණනක් නොවුවද අදින් වසර හතකට පෙර අප ලද පඩිපත් හා සසඳද්දී සැළකිය යුතු මුදලකි.

රුවන්ගේ වාහනය හෙට දිනට පෙර සාදාගත නොහැකි බව පැවසු වෙනත් රථයක් කැඳවා ගත යුතුය. එය කුමාර අයියාට පැවරුවේ කළහැකි යමක් නැති නිසාය. ඔහු සපයා දුන් අංකයකට ඇමතීමෙන් පසු උදේ හතට ආරම්භ කොට උදෑසන දහය එකොළහ පමණ වනතෙක් යෙදෙන චාරිකාව සඳහා රුපියල් 3,500/- ක් ඒ අදාළ රථ හිමියා ඉල්ලා සිටියේය. ඔවුන් මෙවැනි දීර්ඝ සති අන්ත වලදී වරුවක් සඳහා අයකරන  මුදල ඉතා අධිකය. කළයුතු යමක් නැත. ඇමතුම විසන්දි කර දැමුවේ උදෑසන හය  පමණ වනවිට අපගේ නවාතැනට පැමිණෙන ලෙස ඔහු හට දැන්වීමෙන් අනතුරුවය.

රාත්‍රී ආහාරය වෙනුවෙන් සුදානම් කළයුතු දෑ කුමාර අයියාට දැනුම් දී ගිනිමැලය ගැසීමට අවැසි දර එකතු කිරීමට අපි කිහිප දෙනෙක් පිටත් වූයෙමු. ගිනිමැලය ගැසීමට වෙන්කර ඇති ස්ථානයේ කළින් දිනෙක භාවිතයෙන් පසු ඉතිරි වූ දර කැබලි කිහිපයක්ද විය. විදුලි පන්දම් එළියෙන් දර කැබලි කිහිපයක් ගෙන ආ අප ඒවාද පැරණි දර ගොඩටම දමා පිටත් වුයේ ස්නානය සඳහාය. නෑමෙන් අනතුරුව වල්පල් දොඩමින් එහි වූ ඉස්තෝප්පු කොටසේ වාඩිවී සිටියේ රාත්‍රී ආහාරය සුදානම් වනතුරුය. වැඩි වේලාවක් යන්නට පෙර බඩගිනි දැනෙන්නට වුයේ ගමන් මහන්සිය නිසා විය හැකිය. රෑ හත හමාර පමණ වනවිට කෑම පිස අවසන් වූ බවත් මේසය සුදානම් බවටත් නිවේදනය ලැබුණි. මේසය මත සුදානම් කර තිබු නුඩ්ලස්, බිත්තර කිරි හොද්දක් සහ සීනි සම්බල වාෂ්ප වී යාමට ගතවුයේ නිමේෂයකි. තෘප්තිමත් වූ ආහාර වේලකින් පසුව ඊළඟ ක්‍රියාකාරකම වූ ගිනිමැලය ගැසීමේ කටයුත්ත සඳහා සියල්ලන්ටම ආරාධනා කලෙමු. කාබී විවේකයෙන් වාඩිවී සිටි මිතුරු පිරිස එතනින් සෙලවීම තරමක් අපහසු කාරියක් විය.
අපේ ගිනිමැලය

කලින් රැස් කරගත් දර නිසි පරිදි අසුරා කුමාර අයියාගෙන් ඉල්ලා ගත් භූමිතෙල් වත්කිරිමෙන් අනතුරුවත් ගිනිමැලය දල්වා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය. තෙතබරිතව තිබු දර අපගේ කාරිය අපහසු කලේය. දර වලට ගින්න ඇල්ලු පසු ඒ වෙනුවෙන් විශේෂ මහන්සියක් දැරීමට අවශ්‍ය නොවීය. මේ වනවිට එකා දෙන්නා බැගින් පැමිණ සියල්ලෝම පාහේ ගිනිමැලය අසළට පැමිණ තිබුනේය.
මම නැතුව ඉතුරු දහතුන් දෙනා

ගෙම්බා බඩඉරිඟු පුච්චමින්

ගිනිමැලය ආසන්නයේම වාඩිවී සිටීමට හැකි කොන්ක්‍රීට් වලින් තැනු බැංකු කිහිපයකුත්, මේසයක්ද තබා තිබුණි. තරමක වෙලාවක් එතනට වී එක එක මාතෘකා ඔස්සේ අපගේ කතාබහ ඇදෙමින් පැවතුනේය. රාත්‍රී දහය පමණ වනවිට ඊළඟ කටයුත්ත වු බඩඉරිඟු පිළිස්සීමේ කටයුත්ත ඇරඹඹීමු. ඒ සඳහා පෙර අත්දැකීම් ඇති කවුරුන් හෝ අප සමග සිටියේ නැත. පළමු වතාවට බඩඉරිඟු කරල් කිහිපයක් දිදුළන ගිනි අඟුරු වලට යටකර දැම්මේය. වරින්වර ඒවා කොටුවකින් එහාමෙහා කරමින් බැලුවේ බඩඉරිඟු කරලේ පිට පොත්ත කළු පැහැයට හැරී ඇත්දැයි කියාය. කුමාර අයියාගේ කුස්සියෙන් ඉල්ලාගෙන ආ ලුණු කැට සමග පිළිස්සුනු බඩඉරිඟු කරල් ආහාරයට ගැනීම ඒ වනවිට ඇරඹි හමාරය. පුළුස්සා ගත් බඩඉරිඟු කරල් වලින් තම්බාගත් ඒවායෙන් මෙන් හොඳ රසයක් දැනුනේ නැත. රසයේ අඩුවට හේතු වන්නට ඇත්තේ අප ගෙනා ඉරිඟු මේරූ ඒවා නිසා වන්නටද ඇත. මේ වනවිට බොහෝ දෙනෙකුගේ මුහුණින් නිදිමත බේරෙන බවක් පෙනෙන්නට තිබුනි. ආපසු හෙට දිනයේද උදසනින් අවදි විය යුතු බැවින් ජෝගුවකට ගෙන ආ වතුර ගසා දමා ගිනිමැලය නිවා දැම්මේ නින්දට යාමේ සුදානමෙනි.

අවසාන දිනය ඊළඟට....

මගදී දුටු දසුන්....