Tuesday 5 June 2012

විදියබණ්ඩාර කුමරාගේ ඔටුන්නේ ඉතුරු ටික කෝ....

ලංකාවට ආවට පස්සේ මට එක පෝස්ට් එකක්වත් දාන්න බැරි උනා. ඒකට හේතුව උනේ වෙලාවක් නැතිකමම නෙමෙයි. හිතේ එකලාසයක් නැති කම කියලයි මට හිතෙන්නේ. රට ඉන්න කාලේ මේ තරම් නිදහසක් නැති කාලෙදිත් බ්ලොග් එකට පෝස්ට් එකක් දෙකක් කොහොමහරි දානවා. ඒත් ලංකාවට ඇවිත් රස්සාවක්  නොකර ගෙදරට වෙලා හිටපු කාලේ දැන් මාසෙකට වඩා දවස් කීපයක් වෙනවා. ඒත් මේ කාලයේදී මට එක පෝස්ට් එකක්වත් දාන්න බැරි වෙච්ච එකට මගේ කම්මැලිකමත් ලොකු හේතුවක් උනා කියල මට හිතෙනවා.

මම ආපහු පරණ පුරුදු පුරුදු නිධන් කතාවකින්ම වැඩ අල්ලන්නයි මගේ කල්පනාව. මේ කතාව අපේ ගෙදර ඉඳලා කිලෝමීටර 2 ක් වගේ දුරකින් තියෙන තැනක වෙච්ච ඇත්ත සිද්ධියක්. ඊයේ දවල් වෙච්ච කතාවක් නිසා මට එක පාරටම මේ කතාව පෝස්ට් එකකට දාන්න ඕනේ කියල හිතුනා.
ඊයේ දවල් අපේ ගෙදරට ආපු ලොකු මාමා ටික වෙලාවක් මාත් එක්ක කතා බහ කරකර හිටියා. එයා කලා අංශයෙන් ගුරු උපදේශක වරයෙක්. අපේ ගම්පලාත ගැන ලියවෙච්ච පොතක තිබුණ යම් කරුණක් ගැන තමයි ලොකු මාමා මාත් එක්ක කතාබහ කලේ. ඒ පොතේ හැටියට විදියබණ්ඩාර කුමාරයාගේ ඔටුන්නේ කොටසක් කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බවක් ලියවිලා තිබුණු බවක් ලොකු මාමා මා හට පැවසිය.
එක පාරටම මට මතක් උනේ ගිය සතියේ වෙච්ච සිද්ධියක්. ගෙදරට වෙලා නිකන් ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇවිදින්න ගියපු වෙලාවක මම මේ ඔටුන්න ලැබුණ බව කියන  ඉඩමේ දාල තියෙන තීන්ත කඩේට ගොඩ උනේ පොඩි වැඩක් කරගන්න. ඒ කඩේ ඉන්නේ ඉඩමේ හිමිකරුගේ පුතා. කඩේට ගොඩවෙලා මගේ වැඩේ කෙරෙනකල් ඔහුත් සමග ඒ පරණ සිද්ධිය ගැන පොඩ්ඩක් කතාබහ කරන්න මට හිතුනේ අහම්බෙන් වගේ. ඔටුන්න හම්බ වෙච්ච සිද්ධියට දැන් අවුරුදු හය හතක් විතර වෙනවා මට මතක විදිහට.

ලොකු මාමා මට කියපු විදිහට දැන් කෞතුකාගාරයේ තියෙන්නේ ඔටුන්නේ කොටසක් විතරයි. මේක ඇහුවම මට පුදුම හිතුනේ ඇයි මේ එක කොටසක් විතරක් කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙන්නේ කියලයි.
මේ සිද්ධිය සිද්ධවෙච්ච කාලේ විතරක් නෙමෙයි ඊයේ පෙරේදා අහම්බෙන් වගේ දැන ගත්තු විදිහටත් විදියබණ්ඩාර කුමාරයාගේ ඔටුන්නේ කොටසක් විතරක් නෙමෙයි සම්පුර්ණ ඔටුන්නම කෞතුකාගාරයේ තියෙන්න ඕනේ.


දැනට අවුරුදු හයකට විතර කලින් වෙච්ච මේ සිද්ධිය මම අප දැනගත්තේ මෙන්න මේ විදිහට.
අදාළ ඉඩම තරමක කඳු ගැටයක් සහිත ඉඩමකි. එහි හිමිකරුගේ අනුමැතිය ඇතිව වෙනත් පාර්ශවයක් පස් කැපීමේ නිරතවී සිට ඇත. එම පස් යම් කිසි ඉඩමක් ගොඩ කිරීමේ කටයුත්තක් සඳහා ට්‍රැක්ටරයක් ආධාරයෙන් ප්‍රවාහනය කරමින් සිට ඇත. පස් කැපීමට යොදාගත් යකඩ ඉන්නක ඇනුන අමුතු යමක හඬ ඇසුණු පිරිස කල විපරමේදී මැටි මුට්ටියක් තුළ තිබූ එම රන් ඔටුන්න ලැබුණු බවය. නමුත් එය බෙදා ගැනීමට යාමේදී ප්‍රශ්නයක් ඇතිවූ බවක් එදවස කියැවුනි. එනම් ඉඩමේ හිමිකරු එහි සම්පුර්ණ අයිතිය ඔහු සතු බවත්, පස් කැපු අය එහි සම්පුර්ණ අයිතිය ලබා ගැනීමට තැත්කළ බවත්ය. කෙසේ හෝ එය කොටස් වලට කඩා බෙදා හදා ගැනීමට මොවුන් ක්‍රියා කර ඇති බවක්ද කියැවුනි. ඉන් අනතුරුව මෙම සිද්ධිය කෙසේ හෝ පොලිසියට ආරංචි වී ඇති බවත් එය පොලිසියෙන් රැගෙන ගොස් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් බවත් එදවස අප ඇසු කතාව විය.

ගිය සතියේ ඉඩම් හිමි කරුගේ පුතා හමුවී මා අසාගත් කතාව මෙසේය.
ඔවුන්ට අයත් ඉඩමේ පස් කැපීමේ යෙදුනු පිරිස එම කාර්යය කරගෙන ගොස් ඇත්තේ යන්ත්‍ර සුත්‍ර ආධාරයෙන් නොව මිනිසුන් කිහිප දෙනෙකුගේ ශ්‍රමයෙන් වන අතර, කන්දිය කැඩීමෙන් පසු වැටෙන පස් කෙළින්ම ට්‍රැක්ටරය තුළට වැටෙන සේ තබා තම කාර්යය කරගෙන ගොස් ඇත. එහිදී යකඩ ඉන්නක වැදී මැටි මුට්ටිය තුළ වූ රන් ඔටුන්න කොටස් හයකට කැඩී ට්‍රැක්ටරය තුළට වැටුණු බවත් එහි සිටි හය දෙනා එම රන් කොටස් 6 බෙදාගත් බවත්ය. ඉන් එක් අයෙකු තමාට ලැබුන කොටස උකස්‌ කිරීමට රජයේ බැංකුවකට ගොස් ඇති බවත් බැංකුව හරහා ලැබුණු තොරතුරු හරහා ඔටුන්නේ කොටස් සියල්ලම පොලිසිය භාරයට ගත්බවත් ඉන් සතියකට පමණ පසුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට එම කොටස් ලබා දුන් බවත් ඔහු පැවසීය.

(රන් ඔටුන්න කොටස් හයකට කැඩී එහි සිටි හය දෙනා එම කොටස් හය  බෙදාගත් බව කියූ කියමන පමණක් මා විශ්වාස නොකළේ, එය ඉබේ කැඩුණු බවක් මා විශ්වාස නොකරන නිසාය)


මා ඇසු මෙම කතා දෙකෙන්ම කියවෙන පරිදි එම ඔටුන්නේ සියළුම කොටස් පොලිසිය වෙත ලබා දී ඇති බව කියවිණි. පොලිසිය හරහා එම කොටස් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට බාර දුන් බවද කියවිණි. නමුත් පොතේ ඇති පරිදි කෞතුකාගාරයේ ඇත්තේ එක කොටසක්ලු.
ඉතිරි කොටස් කිහිපය නතර වුයේ කොහිදැයි සිතීම ඔබට බාරය.

Friday 13 April 2012

ජොකා පිටින් වහල උඩ....

උපුටා ගැනීම http://www.flickr.com/photos/menik/3432802547/
ඔබ සැමට කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා.....!

..........................................................................................................................................................


ජීවිතයේ කිසිම බරක් පතළක් නැති අවධියක් ගෙවෙමින් පැවතුනි. උසස් පෙළ ප්‍රතිපල නිකුත් වී කැම්පස් පටන් ගැනීමට සැළකිය යුතු කාලයක් තිබුණු බැවින් අයාලේ යමින් ගතකල කාලයකි. ගෙදරට තරමක් දුරින් පිහිටි ටවුම අපේයයි සළකාගෙන ක්‍රියා කල එම අවධියේ උදේ පාන්දර ගෙදරින් යමක් බඩට දාගෙන පිටත් වන මා නැවත ගෙදරට පැමිණෙන්නේ බොහෝ විට රාත්‍රී ආහාරවේල ගැනීම පිණිසය.

අප ප්‍රදේශයට තරමක් දුරින් ජලවිදුලි බලාගාරයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වීමත් සමගම බස් රථයක් යනවිට කාණුවට බැස ඉඩදිය යුතු මට්ටමට තිබූ මහපාර තිබුනාට වඩා තුන්ගුණයක් පමණ පළල් කිරීමේ කටයුතු ආරම්භ විය. ඒත් මම කැමතිම ඒ පරණ පාරටය. ඒ සමගම එහි කටයුතු සඳහා පැමිණෙන තරුණ පිරිස් අප නිවසට තරමක් එහායින් පිහිටි පාර අද්දර කුළියට ගතහැකි මට්ටමේ නිවාස වල ලැගුම් ගැනීමට පටන් ගැනීමත් සමගම අපගේ දින චරියාවේ සැළකිය යුතු වෙනසක් සිදුවිය.
වෙනදා ටවුමේ මහරෑ වෙනතුරු රස්තියාදු ගසනවා වෙනුවට හවස් වීමට පෙර නිවසට පැමිණ හවස් ජාමේ පාර දිහාටත් හිස් ඉඩමක පිහිටුවා ගත් වොලිබෝල් පිටියට යාමටත් ගමේ කොල්ලෝ කුරුට්ටෝ පමණක් නොව සමහර කෙල්ලන්ද පුරුද්දක් කොට ගත්තේය.
සමහර දින වල කණ්ඩායම් 8 ක් පමණ මාරුවෙන් මාරුවට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට වොලිබෝල් ගසනු දැකගැනීමට එදවස හැකියාව තිබුණි. මේ සඳහා අපගේ වැඩිහිටියන්ගේද කිසිම අකමැත්තක් නොවීම ඉතා සතුටුදායක තත්ත්වයක් විය. වොලිබෝල් ගැසීමෙන් පසුව බොහොමයක් කොල්ලන් සහ සියළුම කෙල්ලන් ගෙවල් බලා ගියද රස්තියාදුව ජීවිතය කරගත් අප වන්නන් කිහිප දෙනෙක් තව දුරටත් අපගේ සමාගමය මිතුරන් වෙත ලබා දෙමින් එහි රැඳී සිටියෙමු.


ගමේ අයකුගේ නිවසක් කුළියට ගෙන සිටි ලංකාවේ ප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක සේවකයන් පිරිසක් නවාතැන්ගෙන සිටි නවාතැන් පොළ අපගේ තිප්පොල වීමට වැඩි කාලයක් ගත නොවීය. එහි නිවැසියන් ඔවුනට අයත්ව තිබූ වෙනත් ගෙදරක පදිංචි වී එම නිවස අදාළ ආයතනයට කුළියට දී තිබුණි.
කාලයාගේ අවෑමෙන් වොලිබෝල් ක්‍රීඩාවෙන් පසු කැරම් ගැසීමටත්, එතනින් පසු කවුරුත් දන්නා පරිදි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවෙන බහුලව පවතින මධුවිත සාදයන්ද පැවැත්වෙන්නට විය.
පාසලෙන් අස්වන තුරුම මා මධුවිත රස බලා ඇත්තේ එකවරක් පමණි, (එයද ටියුෂන් සරලාගේ වරදිනි, ඒ කතා පසුවටය) පාසලෙන් අස්වූ පසුව ඇතිවූ නිදහස් කාල පරාසයේදී එහි වැඩිවීමක් දැකගන්නට හැකි විය.
වෙනදා රෑ 10 ට 11 ටවත් ගෙදර ගිය මා හට මින්පසුව උදා වූ බොහෝ දිනවල මධ්‍යම රාත්‍රියට පෙර ගෙදර යාමට හැකිවුයේ එහෙමත් දිනයකදී පමණි.
කීයට ගෙදර ආවත් මා එනතුරු සාලේ පුටු සැටියේ ඉඳගෙන නින්දත් නොනින්දත් අතරේ ඉන්නා අම්මා නින්දට යන්නේ මාගේ පැමිණීමත් සමගය. මා එනතුරු ඇය නිදිවරාගෙන සිටිනු දකින මසිතේ වරදකාරී හැඟීමක් ඇතිවුවද මාගේ කල්කිරියාව වෙනස් කර ගැනීමට මා හට උවමනාවක් නොවිණි. මටද රස්තියාදුවේ යන්නට එපායයි ඇය බලකර කීවේද නැත. එලෙස කීවද මාගේ මුරණ්ඩු බව අඩුවෙතැයි සිතීමද උගහටය.

මාගේ මෙම නව ජීවන රටාවත් සමග අම්මාගේ රවුම් ගෙරවුම් වලින් ගැලවී මහ රෑට ගේ ඇතුලට යාමේ මගක් කල්පනා කරමින් සිටි මා හට ඉස්සරහ දොරේ අමතර යතුරක් අලමාරියේ ඇති බව සිහි වී සොයා බලන්නට සිත්විය. වාසනාව මා අතේ විය. සොයන්නාට සම්බ වේ. දැන් යතුර මා අතේය. එදින පටන් ගෙදරින් එළියට බසින සෑම විටකම පාහේ අමතර යතුර පසුම්බියේ ඇත්දැයි පරීක්ෂා කර බැලීම මාගේ පුරුද්ද විය.

අපේ ගෙදර ඇති වර්ගයේ දොර අගුලක් අමතර යතුරක් භාවිතයෙන් එළියේ සිට ඇරීමද එක්තරා කලාවකි. විශේෂයෙන් ගෙදර ඇතුලේ සිටින අයගේ මද සහයෝගය හමුවේ එය සිදු කිරීම ලේසි පහසු කරුණක් නොවේ.
ගේ ඇතුලේ සිටින කෙනෙක් දොර ලොක් කිරීමෙන් පසුව යතුර සිදුරේ තිබෙන්නට හැරීම සාමාන්‍ය සිරිත වේ. නමුත් මෙම සාමාන්‍ය සිරිත සිටින්නේ මාගේ පරහටය. ගේ ඇතුලෙන් යතුරක් දොරේ හිලට දමා ඇතිවිට පිටතින් යතුරක් දමා දොර ඇරීමට නොහැකි බව මෙම වර්ගයේ දොර අගුළු භාවිතා කර පළපුරුදු ඇත්තෝ දනිති. කෙසේ නමුත් රස්තියාදුවේ යාමේ නොතිත් ආසාව හමුවේ ඒ අභියෝගය ජයගැනීමට මගක් මා විසින්ම නිර්මාණය කරගන්නට යෙදුනි.
යතුරු කඳේ මහතට වඩා මදක් විශාල (යතුරේ බඳ බටය තුලට දැමිය හැකි පමණ එකක්) ප්ලාස්ටික් බට කැබැල්ලක් කපා පසුම්බියේ දමා ගැනීමෙන් පසුව එම අවහිරයෙන්ද මා නිදහස් විය. එම බට කැබැල්ල යතුරු හිල දිගේ ඇතුලට ඔබා ගෙයි ඇතුළු පැත්තේ ඇති යතුර එම බටය ආධාරයෙන් කරකවා, ඉන්පසුව දෙන පුංචි තල්ලුවකින් ගේ ඇතුළට වැට්ටවීමේ ක්‍රමයක් මා සොයා ගත්තේය. ඉන්පසුව නිදහස් යතුරු කටට දමන අමතර යතුර මාර්ගයෙන් දොර ඇරගෙන ගේ ඇතුළට යාම කජු කන්නාක් වැනි පහසු වැඩකි.



මේ දිනවල මාගේ ප්‍රවාහන මාධ්‍ය වුයේ මඩපුවරු කිසිවක් නැති සාමාන්‍ය පාපැදියකි. රේස් පැදීමට ඒ දිනවල ඇතිවී තිබූ ආසාවක් නිසා බයිසිකලය එසේ සකසා ගත්තේ පන්ති යාමේදී අතට දෙන මුදල් එකතු කිරීමෙනි. වැස්ස දිනවල කටේ කනේ තැවරෙන මඩ පාරවල් හමුවේ පවා බයිසිකලයට මඩ්ගාඩ් දෙකක් සවිකර නොගත්තේ එහි පෙනුමට තිබු ආසාව නිසාමය.
සමහර දින වල වොලිබෝල් ක්‍රීඩාවෙන් අනතුරුව සාදයන් පැවැත්වෙන අතර අදාළ නවාතන්පොළේ පිහිටෙන් නෑමේ කටයුතුද කරගන්නේ ගෙදර ගියහොත් ආපසු පැමිණීමට අවසරයක් කිසි විටෙකත් නොලැබෙන නිසාය. සාදයන්ගෙන් අනතුරුව රාත්‍රී අහාරවේලද එයින්ම ලබාගෙන ගෙදර යන දිනයන්ද ඉඳහිට විය.


මා මේ කියන්නට යන විශේෂ දිනය එවැනි දිනයකි. මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් පැවති සාදයෙන් අනතුරුව රාත්‍රී අහාරයද ගෙන ගෙදර බලා පිටත් වුයේ මධ්‍යම රාත්‍රී 01:00 ට පමණය.
කරුමයක මහත....
හැමදාම බොහෝ කලපනාවෙන් පසුම්බියේ රුවා ගන්නා ගෙදර ඉදිරි දොරේ යතුර අද අමතක වී ඇත. කළින් දින දොර හැරීමෙන් පසුව එය මේසය උඩ තැබූ බවට මගේ විශිෂ්ට මතකය එවෙලේම සාක්ෂි දැරීය.
උගේ සාක්ෂියෙන් මට දැන් වැඩක් නැත. යතුර පසුම්බියට යලිත් දා ගත්තේ නැති බව මතක් නොකළ මතකයෙන් දැන් කුමන පලයක්ද. ගේ ඇතුළට යාමට මගක් සොයා ගත යුතුව ඇත.


වහළට  ගොඩවී ගේ ඇතුළට පැන ගැනීමේ අති විශිෂ්ට අදහසක් මෙවේලේ මගේ ඔළුවට පැමිණියේ ඇයිදැයි මා හට අදටත් නොතේරේ. අදහස පැමිණි සැනෙකින් එය ක්‍රියාවට නැගුණි. එදින මා ටවුමට ගොස් එන අතරමගදී සාදයට එක්වූ අතර, මා ඇඳගෙන සිටියේ දිගු කලිසමක් සහ කමිසයකි. එය පිටින් වහළයට ගොඩ වීම ලේසි පහසු නොවන වැඩකි. ඒ මදිවාට මා පැමිණියේ මධු සාදයකට සහභාගී වීමෙන් අනතුරුවය. ගේ දොරකඩ බයිසිකලය නතර කර කමිසය සහ කලිසම ගලවා බයිසිකලය උඩින් තබා ජොකා පිටින් පෝර්ටිකොව උඩට ගොඩ වීමට විනාඩියක්වත් ගත නොවිණි. එය පොළෝ මට්ටමෙන් අඩි 9 ක් පමණ උසකින් ඇති කොන්ක්‍රීට් වහලයක් ඇති පැරණි පන්නයේ පෝටිකෝවකි.


වහලේ උළු කැට දෙකක් ඉවත් කර බිත්තිය උඩට බැස ගැනීමට තවත් විනාඩි 5 ක්වත් ගතවන්නට ඇත. කිසිම එළියක්‌ නැති පට්ටපල් අඳුරේ හරියටම බිත්තියට උඩින් ඇති උළුකැට දෙකක් ඉවත් කර ගැනීමට එවේලේ හැකිවීම කොතරම් දෙයක්දැයි වැටහෙන්නේ දැන්ය.  උළු කැට දෙක ඉවත් කර බිත්තිය උඩට ගොඩ වූ මා නැවත උළු කැට දෙක වහළට සවි කිරීමට ක්‍රමයක් කල්පනා කරනවිට එකවරම මුහුණට විදුලි පන්දම් එළියක්‌ එල්ලවිය. 
"බහින්නයි කිව්වේ බිමට" යන විධානයද ඒ සමගම නිකුත් විය.
තත්පරයක හෝ පමාවක් නැත, වහලේ උළුකැට දෙක නියමිත පරිදි සවිකළ මා (ජොකා පිටින්ම) වහලේ සිට කෙලින්ම බිමට පැන්නෙමි. මා එනතුරු බලා සිටීමටවත් උනන්දු නොවූ අම්මා කෙළින්ම ගොස් කාමරයට වැදී නිදන්නට විය. පාන්දර ජාමේ වෙනතුරු රසබැලු මධුවිත සැර කොහේ ගියාදැයි නැත. වෙනදාටත් වඩා හොඳින් සියල්ල සිදු වූ බවට හැඟීමක් සිත තුළ ඇතිවුයේ මන්දැයි මා නොදනී. ඇඟපත සෝදාගත් මා නින්දට යනවිට පාන්දර 02:00 පසු වන්නට ඇත.


පහුවෙනිදා තරමක් ප්‍රමාද වී අවදි වූ මා එදිනත් කොහේ හෝ යාමට ලක ලෑස්ති වී අම්මාගේ දෙපා වැඳීමට වැඩපොළට ගිය විට එහි සිටි සියළුම කෙල්ලන් සහ ගැහැණුන් "හිකි හිකි" ගා සිනාසෙන විට එතන පොළවේ විවරයක් තිබුනේනම් කියන සිතුවිල්ල මා සිතේ ඇති වීමට වැඩි වෙලාවක් ගියේ නැත.
ජොකා පිටින් වහලේ උඩ සිටි ලොකු පුතාගේ අවාසනාවන්ත කතාව අම්මා විසින් ඔවුනට පැවසුවේ මොන සිතකින්දැයි අසන්නට හැකියාවක් මා හටද නොවුනි.


ජිවිත කාලයටම හරියන්නට පාඩමක් ඉගෙනගත් මා ඉන්පසුව යතුර නැතිව ගෙයින් එළියට නොබසින්නට තරයේ සිතාගත් අතර කාලයක් යනතුරු වැඩපොළ පළාතේ පස් පාගන්නට ගියේද නැත.
දරුණු ඝනයේ රස්තියාදු ගැසීම් කාලයත් සමග අඩුවී ලොකු පුතා හොඳ ළමයෙන් වන්නට තවත් සෑහෙන කාලයක් ගත විය.


ප.ලි.
(වැඩපොළ යනු අපේ ගෙදර මම ඉපදෙන්නටත් පෙර සිට පවත්වාගෙන යනු ලබන සුළු පරිමාණයේ කර්මාන්ත ශාලාවකි. ඒ සම්බන්ධ විස්තර කෙටියෙන් කීමට නොහැකි නිසා පසුවට කල් දමමි.)

Wednesday 4 April 2012

කුරුළු ගෙදර කරදරයක්....

මම වනජීවී ජායාරූප ගහන්න පටන් ගත්තට පස්සේ වැඩිම ජායාරූප ප්‍රමාණයක් ගහල තියෙන්නේ කොහේදී වෙන්න ඇතිද.
ඒ ලංකාව පුරා ප්‍රසිද්ධ වනෝද්‍යානයකදී එහෙම නෙමෙයි. අපේ ගේ අවට පරිසරය තමයි මට ගොඩක් වෙලාවට ෆොටෝ ගහන්න ඕනේ කරන කරුණු කාරණා සපයලා දෙන්නේ. මම ගෙදරින් පිට බෝඩිම් වල නතරවෙලා හිටියත් ගොඩක් දුරට සති අන්තේ ගෙදර යනවා.
ගෙදර යද්දී වෙන මොනවා නැතත් කිලෝ ගාණක් බර කැමරා බඩු ටික උස්සගෙන යන්නනම් අමතක කරන්නේ නැහැ.
එහෙම ගිය වෙලාවල් වල ගත්තු තරමක් විශේෂ ජායාරූප කිහිපයක් තමයි මම අද පෝස්ට් එකට දාන්න කල්පනා කලේ.
මේ පහළ ෆොටෝ එකේ ඉන්නේ අපේ ගෙවල් අහල පහළ නිතරම වගේ දකින්න පුළුවන් ගොඩක් ලස්සන පුංචි කුරුල්ලෙක්. දකින්න නැති උනත් අඩු ගානේ එයාගේ ලස්සන හඬ හරි අහන්න ලැබෙනවා නිතර දෙවේලේම වගේ.


මෙයාගේ සිංහල නම තමයි "රත්ළය නිල් මැසිමාරා", ඉංග්‍රීසි නම Tickell's Blue Flycatcher. වැඩිදුර විස්තර ඕනේ කෙනෙකුට ඉංග්‍රීසි නමින් දාල තියෙන දිගුවෙන් ගිහින් බලාගන්න පුළුවන්.
මේ පහළ දාල තියෙන ෆොටෝ එකේ තියෙන්නේ මේ වර්ගයේ කුරුළු ජෝඩුවක්‌ අපේ ගේ පිටිපස්සේ තියෙන කණ්ඩියේ පොඩි ගුළක හදපු පුංචි කූඩුවක්. මේ අය අපේ ගේ අවට මේ වෙද්දී හතර වතාවක් කූඩු හදල තියෙනවා. එක වතාවක් අපේ ගෙදර තිබුන දෙහි ගහේ. අනිත් තුන් වතාවෙම මේ පුංචි සිදුරේ. මෙතනට කිසි කරදරයක් නැතුව ගැරඬියෙකුට, පූසෙකුට කිට්ටු වෙන්න පුළුවන්. මේ වගේ තැන්වල මෙයාලා කූඩු හදනවා ගොඩක් අඩු උනාට මීට කලින් එතන කිසි කරදරයක් උනේ නැති නිසා  මෙයාල ඒ තැනට කැමති උනා වෙන්න ඇති. මේ තියෙන්නේ තුන්වෙනි වතාවේ මම එයාලගේ කූඩුවක් ඇතුලේ පුංචි බිත්තර දෙකක් දාල තියෙනවා දැකල ගත්තු ෆොටෝ එකක්.


එදායින් පස්සේ මමත් ගෙදර ආපු ගමන් කරන්නේ මේ පුංචි කුරුළු පවුල හොඳින් ඉන්නවද කියල හොයල බලන එක. සමහර දවස් වලට අපේ අම්මට කෝල් එහෙමත් දීල අහල බලනවා මේ අයගේ සැපදුක්.


සති අන්තේ ඉවරවෙලා වැඩට ගියත් නිතරම වගේ අම්මට කෝල් එකක් දීල මේ අයගේ සැපදුක් අහන වැඩේ මම අතපසු කලේ නැහැ. එක දවසක් අපේ අම්ම මට කිව්වා දැන් බිත්තර පුපුරලා පුංචි කුරුළු පැටව් දෙන්නෙක් කුඩුවේ ඉන්නවා කියලා. මම ගොඩක් නොඉවසිල්ලෙන් හිටියේ සති අන්තේ උදා වෙනකල්.  ඒත් එක දවසක් අම්මට කෝල් කලාම අම්මා කිව්වා දැන් එතන කුරුළු පැටව් දෙන්නෙක් නැහැ, එක්කෙනයි ඉන්නේ කියලා. මොකෙක් හරි සතෙක්වත් කන්න ඇති කියල තමයි අම්ම කිව්වේ.
ඒ ආරංචිය ආවට පස්සේ දවසේ මම ගෙදර ආවා, ආපු ගමන් ගිහින් කුරුළු කූඩුව ගාවට තමයි ගියේ. මෙන්න ඒ වෙනකොට ඒ කුඩුවේ ඉතුරුවෙලා හිටපු කුරුළු පැටියා. එතන බිම පුංචිම පුංචි කුරුළු පැටියෙක්ගෙ පිහාටු කෑලි කීපයක් සහ පොඩි පොඩි සුන්බුන් ටිකක් තියෙනවා කියලත් මම දැක්කා. සමහර විට කුරුළු පැටියව කුඩුවෙන් වැටිලා ඉන්නවා දැකපු පුසෙක්වත් කන්න ඇති. එහෙම නැතුව ඌ කූඩුව ඇතුළට පැනලා මේ විනාසය කලානම් එක පැටියෙක් ඉතුරු වෙන්න විදිහක් නැහැ කියල තමයි මට හිතුනේ. එහෙමත් නැත්නම් කුරුළු පැටියා වෙන හේතුවක් නිසා මැරුණට පස්සේ කුරුළු මව්පියෝ එයාව කුඩුවෙන් එළියට දැම්මා වෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්.
එදා දවස පුරාවට ඉතුරු වෙච්ච පැටියට කෑම කවන කුරුළු අම්මවයි තාත්තවයි මට දැක ගන්න ලැබුනා බොහොම ලඟට. මේ ඉන්නේ කුරුළු පැටියාගේ අම්ම.


මම මේ කුඩුවේ ඉන්න කුරුළු පැටියාගේ ෆොටෝ එක ගැහුවේ 2008-05-11 වෙනිදා උදේ 07:30 ට. මෙන්න එදාම උදේ 11:01 ට මම දැකපු දේ. 






මේ ඉන්නෙනම් එයාගේ නැති වෙච්ච සහෝදරයා හරි සහෝදරිය හරි නෙමෙයි. ඒත් මේ උකුස්සාගේ (Crested Serpent Eagle- සිළු සර්ප උකුස්සා) කටේ ඉන්නේ පුංචිම පුංචි කුරුළු පැටියෙක්. ස්වභාවධර්මය කියන්නේ මිනිසා විසින් පාලනය කලයුතු ධර්මතාවයක් නෙමෙයි කියන මතයේ මම ඉන්න නිසා මට මෙයා ගැන කිසිම කහටක් ඇති උනේ නැහැ. එයාගේ වැඩේ එයාට කරගන්න දීලා මම ෆොටෝ දෙක තුනක් ගහපු එක තමයි කලේ.

කොහොම නමුත් මේ සිද්ධියෙන් පස්සෙත් ඒ කුරුළු පවුල එතනම කූඩුව හදලා පුංචි බිත්තර දෙකක් දාල තිබුනා. මොකක්දෝ අහේතුවකට ඒ බිත්තර පුපුරලා පැටව් එළියට ආවේ නැහැ. එදායින් පස්සේ ඒ කුරුළු ජෝඩුව අපේ කණ්ඩියේ කූඩු හදන එක නතර කරලා දැම්මා.
ඒත් අපේ ගේ අවට හැමදාම වගේ එයාලගේ සද්දේ ඇහෙන්න තියෙනවා වගේම ගොඩක් වෙලාවට මට එයාලව දකින්නත් ලැබෙනවා.
මේ ඔක්කොම ෆොටෝ අපේ ගෙදර වට පිටාවේදී ගත්තු ඒවා. මෙච්චර ලස්සන පරිසරයක තියෙන මගේ ගෙදර, ගම ගැන මම මෙච්චර ආදරේ ඇයි කියල දැන් තේරෙනවා නේද.




ප.ලි.
මම බ්ලොග් එකක් ලියනවා කියල මම මගේ නෝනට මේ වෙනකල් කියල තිබුනේ නැහැ. පෝස්ට් කීපයක් දැම්මට පස්සේ බ්ලොග් එක ගැන එයාට කියන්න තමයි මම හිතාගෙන හිටියේ. මම එහෙම හිතුවේ ඒකෙන් එයාව පුදුම කරවන්න හිතාගෙන. ඒත් ඒ දවස එන්න එන්නම පහු උනා, අන්තිමට අද තමයි එයාට බ්ලොග් එක ගැන කිව්වේ. කලින් කිව්වේ නැහැ කියල පොඩි පහේ දෝස් මුරයක් අහන්න උනාට එයා ඒ ගැන ගොඩක් සතුටු උනා. ඒ වගේම කලින් පෝස්ට් එක බලලා ඇනෝ කමෙන්ට් එකකුත් දාල ගිහින් තිබුනා.... :)

Friday 2 March 2012

පුංචි කාලේ කඩේ ගිය හැටි...

අපේ ගෙදරට හැරෙන පුංචි හන්දියේ එකම එක කඩයක් තිබ්බා. ඒ තමයි "අප්පුහාමි ආතාගේ" කඩේ. අපි වගේ ගමේ මිනිස්සුන්ට ඕනේ කරන හැමදෙයක්ම වගේ ඒ කඩේ තිබුනා. හාල් තුනපහ වර්ග, එළවලු, අල, පරිප්පු වගේ හැම දෙයක්මත්, සබන් කැටේ, දත් බෙහෙත් මේ හැම දෙයක්ම වගේ එතන තිබුනා. කඩේ ඉස්සරහ ලී මැස්සක එළවළු එහෙමත් තිබුනා. ගොඩක් වෙලාවට ගමේ එළවලු එහෙම තමයි තිබුනේ.
අප්පුහාමි ආතත් ඒ ආච්චිත් දෙන්න තමයි මුල් කාලේ ඒ කඩේ පටන් අරගෙන  තිබුනේ. ඒත් මට මතක කාලෙකදී අප්පුහාමි ආතා කඩේ  වැඩකලේ නැහැ. එයා ඉඳල හිටලා කඩේට ඇවිත් ගියාට මම මේ කියන කාලේ වෙද්දී කඩේ වැඩකටයුතු බලාකියා ගත්තේ ඒ ආච්චිත් එයාලගේ පුතෙක් සහ දුවල දෙන්න. නෑදෑකමට නැන්දලා මාමලා උනත් අපි ඒගොල්ලන්ට කතාකලේ අයියේ, අක්කේ කියලා.


අපිත් සතියකට දවසක් දෙකක් මේ කඩේට යනවා ගෙදරට ඕනේ කරන බඩුමුට්ටු ටික අරගෙන එන්න. මුලදී මේ විදිහට කඩේයන වැඩේ කලේ මමයි චුටි අක්කයි. අපිට කඩේ යද්දී අරගෙන යන්න රෙදි බෑග් කීපයක් අම්ම මහල දීලා තිබුනා. අම්ම ඒවා මහන්නේ තාත්තගේ පරණ කලිසම් වලින්. ඒ නිසා අපිට කවදාවත් ෂොපින් බෑග් කියල දැන්කාලේ අපි කියන ප්ලාස්ටික් බෑග් කඩෙන් ගන්න උවමනා උනේ නැහැ.
ඒ වගේම තමයි මේ රෙදි මල්ල එල්ලගෙන කඩේ යන එක අපිට ලැජ්ජාවක් උනෙත් නැහැ. ඒකෙන් අපේ ගෙදරට වාසියක් මිසක් අවාසියක් උනේ නැහැ. ෂොපින් බෑග් ගන්න යන වියදම ඉතුරු වෙනවා කියන්නෙත් ලොකු දෙයක්නේ. ඒ වගේම තමයි ඒක පරිසරයටත් බොහොම හිතකාමීයි.


මෙන්න මෙහෙම මමයි චුටි අක්කයි දෙන්න එක්ක කඩේ යද්දී අපි‍ට සමහර වෙලාවට පාරේ ඉන්න බල්ලන්ගේ බිරුම් වලට ලක්වෙන දවසුත් තියෙනවා. ඒත් ඉතින් දෙන්නෙක් ඉන්න නිසා බයවෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ගල් ගෙඩියක් අතට අරගෙන බය කලාම උන් දුවනවා.
මෙහෙම ගිහින් අපි හැමදාම වගේ අපේ ගෙදරට ඕනේ කරන හාල්, පරිප්පු, අල, ලාම්පු තෙල්(භූමි තෙල්) එහෙමත් අරගෙන එනවා. අපේ ගෙදරට කරන්ට් එක තිබ්බේ නැතිනිසා සතියකට ලාම්පු බෝතලයක් හමාරක් විතර යනවා චිමිණි ලාම්පු පත්තු කරන්නයි, කුප්පි ලාම්පු පත්තු කරන්නයි. ඒ දවස්වල ගෙනාපු බඩුමුට්ටු වලින් මට හොඳට මතකයි හාල් වල ගාන. මම ගාන අඩුවෙන්ම හාල් ගෙනත් තියෙන්නේ කිලෝ එක රුපියල් 4.50 ට. අනිත් බඩු වලනම් ගණන් මට ඒ තරමට මතක නැහැ.


අපිට ඒ කාලේ කුඹුරක් තිබ්බේ නැති නිසා හාල් ගේන්න උනේ හැමදාම කඩෙන්. හැබැයි කවදාවත් සුදු හාල් ගේන්න අපිට අවසර තිබුනේ නැහැ. අම්ම කියන්නේ හැමදාම රතු කැකුළු හාල් ගෙන්න කියලා. කඩෙන් ගේන හාල් කියල කිව්වට මේ කඩේ තිබුණු හාල් ගොඩක් හොඳ තත්ත්වයේ තිබ්බ ගමේම කුඹුරුවල හාල්.
බොහොම කලාතුරකින් අල්ලපු ගෙදරින් අතමාරුවකට සුදු හාල් ටිකක් ඉල්ල ගත්තු දවසක ඇරෙන්න අපිට සුදු බත් ටිකක් කන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. පස්සේ කාලෙක අපිටම කියල කුඹුරක් තිබුනත් කවදාවත් ඒකෙ සුදු හාල් වර්ග වැපිරුවේ නැහැ. ඒ පුරුද්ද සහ නොලියවුණු නීතිය අදටත් එහෙම්මමයි.
මේ තියෙන්නේ අපේ කුඹුර. මතක ඇති කාලෙක කුඹුරට බැස්සේ නැති උනත් මම හරි ආසයි කුඹුරු වැඩ කරනකොට කුඹුරට යන්න.
ඒත් කාලෙකින් ඒකටවත් වෙලාවක් ලැබුනේ නැහැ. 
ඒ වගේම තමයි අපි කවදාවත් ගේන්න ඕනේ කරන බඩු ලිස්ට් එක තුන්ඩුවක ලියාගෙන යන්නෙත් නැහැ. අම්ම ගේන්න කියන බඩුටික අමතක කරන්නේ නැතුව හැමදාම වගේ අපි ගේනවා. හැබැයි ගේන්න තියෙන බඩු ප්‍රමාණය වැඩිනම් අපේ අතට පොඩි කොල කෑල්ලක් ලියල දෙන්න අම්ම අමතක කරන්නෙත් නැහැ.
හැබැයි ඉතින් අපේ මලයටනම් කොලේක ලියල දුන්නේ නැත්නම් ගේන්න කියපු දේවල් වලින් බාගයක්වත් ගේන්නේ බොහොම කලාතුරකින්. එයා කඩේ ගිය දාට කඩේ ගිහින් ආපු පරක්කුවෙන්ම ආපහු කඩේ දුවන හැටි අපිට බලාගන්න පුළුවන්.


අපි මේ විදිහට කඩේ යද්දී සෙරෙප්පු එහෙමවත් දාගෙන යන්නේ නැහැ, නිකම්ම තමයි යන්නේ. අපේ ගෙදර ඉඳල කඩේට යන පාර වැලි පාරක්. ඒ වගේම හැමතැනම මඩවලවල් තියෙන නිසා ඒවායේ බැහැ බැහැ යන්න අමාරුයිනේ සෙරෙප්පුත් එක්ක. කොහොම උනත් මේ විදිහට මඩවලවල් වල බැහැගෙන ගියාට කඩේ ගාවම තියෙන කාණුවෙන් මඩටික හෝදගෙන තමයි අපි කඩේට යන්නේ. නැත්නම් කඩේ ඉන්න මිනිස්සු අපි දිහා බලන්නේ නිකන් සත්තු ටිකක් දිහා බලන විදිහටනේ.
පාර දෙපැත්තේ මේ තරම් කැලේ නැති උනාට මෙන්න මේ වගේ පාරක් තමයි අපේ පාර
අපි කඩේට යද්දී ඒ කාලේ ගමේ හිටපු සල්ලි තියෙන ගෙදරක හිටපු ළමයෙක් කඩේට එන්නේ රතුපාට පොඩි චොපර් බයිසිකල් එකක. මටත් ඒක දැක්කට පස්සේ ඒ ගැන ලොකු ආසාවක් ඇති උනා. ඒත් මම කවදාවත් තාත්තාගෙන් චොපර් බයික් එකක් ඉල්ලුවේ නැහැ. ඒක මගේ හිතේ තිබ්බ හීනයක්‌ විතරයි. ඒ ආපු ළමය පස්සේ මම ගමෙන් ටිකක් දුර ඉස්කෝලෙට යන කාලේදී මගේ යාළුවෙක් උනත් එක්ක. අපි එයාට කිව්වේ "පාන්බඩා" කියලා.
ටිකක් ලොකු උනාට පස්සේ මම කඩේ ගියේ තනියම, ඒ කාලේදී සමහර වෙලාවට කිලෝ අටේ, දහයේ බරවල් උස්සගෙන මීටර 500 ක විතර දුරින් තියෙන අපේ ගෙදරට අරගෙන එන දවසුත් තිබුනා. තව ටික කාලයක් ගියාම මගේ සහායක ඩැනී උනේ අපේ මලයා. අපි දෙන්නා එක්ක අපේ සෙල්ලම් කරත්තත් ඇදගෙන මඩවලවල් වල බැහැගෙන කඩේ ගිය හැටි මට අද වගේ මතකයි.


අන්තිමට එක දවසක මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු වෙලාවක පොඩි චොපර් බයික් එකක් අපේ ගෙදර තියෙනවා දැකලා මට ගොඩක් පුදුම හිතුනා. බලද්දී අපේ තාත්තා මටත් බයික් එකක් අරගෙන ඇවිත්. කවුරු හරි කෙනෙක් කාලයක් යනකම් පැදලා තරමක් අබලන් වෙලා තිබ්බට ඒකට මං ගොඩක් ආස උනා. ඒකේ ඉස්සරහ රෝදේ පොඩියි, පිටිපස්සේ රෝදේ ලොකුයි. එකේ ගියර් එහෙමත් තිබුනා. එක එක විදිහට සද්දේ එන පොඩි නලාවකුත් තිබුනා. පිටිපස්සේ රෝදේ හයිවෙන පොඩි යකඩ කුරු දෙකෙන් එකක් පුපුරලා. ටයර් දෙකත් ගෙවිලා හිල්වෙලා  එහෙම තමයි තිබුනේ. ඒක හංදියට ගෙනිහින් වෙල්ඩින් කරලා, අළුත් ටයර් දාලා ගෙනත් දෙන්නම් කියල තාත්ත කිව්වා. මට මේක ලැබුනේ මම ඉල්ලලා නෙමෙයි, ඒ නිසා මට ගොඩක්ම සතුටු හිතුනා.
මෙන්න මේ වගේම තමයි මගේ බයික් එක
තාත්ත කියපු විදිහටම ඒක හදල ගෙනත් දුන්නා. ඊට පස්සේ මොනවහරි අඩු පාඩුවක් උනොත් මමම ගිහිං චුටි මාමගේ වින්කලේට ගිහින් හදාගෙන එන්න පුරුදු උනා. හැබැයි අර වෙල්ඩින් කරපු බට දෙකනම් සරින් සැරේ කැඩිලා මට හරියට කරදර කලා ඒ දවස්වල. ඒත් කොහොමහරි එක වෙල්ඩින් කරගෙන හදාගෙන ඇවිත් මම ඒ බයික් එක ගොඩ කාලයක් පැද්දා.
මම අපේ ගෙදරට කරන්න පුළුවන් ලොකු වැඩ ගොඩක් කරලා දුන්නාමේ බයික් එකෙන්. අපේ තාත්තට අයිති අපේ ගෙදරට ටිකක් දුරින් තියෙන පුංචි ඉඩමක තේ වවල තිබුනා. මම හැමදාම ඉරිදා උදේට කඩේ ගිහින් පාන් ගෙනත් ඊට පස්සේ තේ වතුරයි හොදි එකකුයි අරගෙන කිලෝමීටර 3 ක් විතර දුරින් තියෙන එ ඉඩමට අරගෙන යනවා. එතන හැමදාම දෙමළ මිනිස්සු දෙන්නෙක් ඇවිත් දළු කඩනවා. මම යන්නේ එයාලට කෑම අරගෙන. ඊට පස්සේ එයාල කඩලා තියෙන කිලෝ 20 ක් 25 ක් බර දළු මල්ල මගේ පුංචි බයිසිකලේ ඉස්සරහ තියාගෙන ගොඩක් අමාරුවෙන් පැදගෙන එනවා ගෙදරට.
ඒ වගේම තමයි කියන පරක්කුවෙන් කඩේ ගිහිං අම්මට ඕනේ කරන බඩු ගෙනත් දෙන එකත් කලා මේ බයික් එකෙන්. පස්සේ කාලෙක මේ බයික් එක අපේ මලයාගේ වෙලාත් තිබුනා බොහොම සුළු කාලයක්. මට වගේ නෙමෙයි මිනිහට බයික් එකක් නෙමෙයි මොන දේ දුන්නත් හරියකට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. ටික දවසකින් ඒ හැමදේම බොහොම අබලන් තත්ත්වෙට පත්වෙලා නැති නාස්තිවෙලා යනවා. මම මේ බයික් එක අන්තිමට දැක්කේ පස්සේ කාලෙක කොහේදෝ මන්දා අස්සක තිබිලා පරණ යකඩ බඩු එකතු කරන්න ආපු මනුස්සයෙකුට විකුනන්න යන වේලාවකදී.
කොච්චර අබලන් වෙලා තිබ්බත් මගෙත් එක්ක ගොඩ කාලයක් එකට හිටපු මිතුරෙක්ගේ වෙන්ව යාමකදී සිද්ධ වෙන හිත බරවෙන ගතිය මට ඒ වෙලාවේදී දැනුනා.

Monday 20 February 2012

පුවක් බිළේ බකමූණෙක්....

අපේ ගෙදරට පහළ ගෙදරක ඉන්නවා පොඩි කොලු ගැටයෙක්. මේකාගේ නමනම් මට හරියට මතක නැහැ, ඒත් ගෙදරට කියන්නේ "බණ්ඩාර" කියලා. ගමේ කොල්ලෝ ඌට කියන්නේ බණ්ඩා කියලා. පොඩි එකා කාලේ ඉඳලම මේකා ටිකක් වසවර්තියා. පස්සේ කාලෙක හමුදාවටත් බැඳිලා හිටියා යුද්ධේ දවස්වල. ඒත් අන්තිමට එහෙනුත් පැනල ඇවිත් ගමේගොඩේ ඉබාගාතේ යන්න පටන් අරගෙන තිබුනා. හමුදාවට බැඳුනත් බණ්ඩා කියන්නේ ශරීර ප්‍රමාණයෙන් බොහොම පුංචි කොල්ලෙක්. කවුරුහරි බණ්ඩාව දැන් දැක්කත් හිතේවි තාම ඉස්කෝලේ යන කොළු ගැටයෙක් කියලා.


අපේ ගෙදර තියෙන්නේ තරමක කඳු ගැටයක් උඩ. එක දවසක් මම පහළ බලනකොට දැක්කා මේකා දිරච්ච පුවක් ගහකට ගල් කැට විසිකරනවා. ගෙදර ගියාම මට තියෙන පුරුද්දක් තමයි ගේ අවට හැමතැනකම වගේ කැමරා එකත් කරගහගෙන ගිහින් ෆොටෝ ගහන එක. මමත් කැමරා එකත් අරගෙන ගියා පහළට. බැලින්නම් මේකා ගල්කැට විසික්කා කොරල තියෙන්නේ පුවක් ගහේ තිබ්බ බිළයක් දිහාවට. ඒ බිළයේ බකමුනෝ ඉන්නවා කියලා බණ්ඩා මට කිව්වා. මේ දිරච්ච පුවක් ගහ තියෙන්නේ උන්ගේ ගෙදරට යන පාර අයිනේ. ඇත්තටම කිව්වොත් ඒකලාගේ ඉඩමේ තමයි මේ ගහ තියෙන්නේ. මේකාට කවුදෝ මන්ද එහා ගමේ මනුස්සයෙක් කිව්වලු බකමුනෙක් අල්ලලා ගෙනත් දුන්නොත් රු1000 ක් දෙන්නම් කියලා. බකමුනෙක් අල්ල ගන්න හිතාගෙන තමයි මු මේ දඟලන්නේ. 


එදා මම ගෙදර ගිය වෙලාවෙත් අපේ අම්ම මට කිව්වා පහළ ගෙදර පුවක් ගහක තියෙන බිළේක බකමුනෙක් ඉන්නවා කියල පහළ ගෙදර නැන්දා කිව්වා කියලා. ගමේ ගියාම අපේ අම්මයි අහල පහල අයයි මට ඒ වගේ පණිවිඩ දෙනවා. හවස්වෙලා ඒ පැත්තේ යන්න හිතාගෙන හිටපු වෙලාවක තමයි මම අහම්බෙන් වගේ මේ සිද්ධිය දැක්කේ. වෙලාව හවස 4:30 ට වගේ ඇති මම හිතන්නේ. කළුවර වැටිලත් නැති වෙලාවේ ඒ පොඩි බිලයෙන් මුළු  ඇඟම වගේ එලියට දාගෙන ඉන්න මෙන්න මෙයාව මට දකින්න ලැබුණා. හරියටම කියනවනම් දවස 2008-03-03 වෙනිදා. 






මෙයා ඇත්තටම බකමුනෙක් නෙමෙයි බස්සෙක්. හරියටම කියනවනම් එයාගේ නම පෙරදිගු කන්බස්සා (Oriental Scope Owl - Otus Sunia). මෙතන තියෙන අන්තිම ෆොටෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් පුවක් ගහේ කඳට සාපේක්ෂව  බස්සාගේ ශරීර ප්‍රමාණය කොයි තරම්ද කියලා.


මම මුලින්ම  බණ්ඩාට කිව්වා ආපහු මේ සත්තුන්ට කරදර කරන්න එපා කියලා. මොන අහේතුවකටද දන්නේ නැහැ මේකා මම කියපු දේ පිළි අරගෙන පැත්තකට උනා. ඊට පස්සේ බණ්ඩා තවත් බස්සෙක් ඉන්න තැනක් ගැන හෝඩුවාවකුත් දුන්නා. අපේ ගෙවල් අහල පහළ කොහොමටත් කුරුළු වර්ග සෑහෙන්න ප්‍රමාණයක් දකින්න පුළුවන්.
ගණන් මිනුම් වශයෙන් කිව්වොත් මම අපේ ගෙවල් සීමාවේ විතරක් දැකල තියෙනවා කුරුළු වර්ග 90ක් පමණ. ඒ වගේම ගමට ආසන්න ගමවල් වලිනුත් එක්ක මම දැකල තියෙනවා මේ වෙනකොට කුරුළු වර්ග 118 ක්. මම දැකපු මේ ගොඩක් කුරුළු වර්ග සියල්ලේම වගේ ජායාරූප මා ගාව තියෙනවා. සමහර කුරුළු වර්ග බොහොම දුර්ලභ ඝනයේ අය.


ඊට දවස් කීපෙකට පස්සේ සති අන්තයේ මම ආපහු ගෙදර ගියා. එදා මම යමින් ගමනුත් පුවක් ගහ දිහාට පොඩ්ඩක් ඇහැ දාගෙනමයි ගියේ. ඒත් අර බිළය ඇතුලේ කිසි සතෙක් ඉන්න පාටක් පෙන්න තිබුනේ නැහැ. ටිකක් හවස් උනාටත් පස්සේ මම කීප වතාවක්ම ඇවිත් බැලුවා බස්සා ඉන්නවද කියලා. ම්හ්හ්... ඌ පේන්න නැහැ. මට හිතුනා මම නැති අතරේ බණ්ඩා බස්සාව අල්ලාගෙන විකුණලාද කියලත්. මේකා එහෙව් පුතයා. ඒ සැකය පිටින්ම මම එදා රෑ නිදාගන්න ගියා, මහ රෑ මට ඇහුනා බස්සන්ගේ සද්දේ. ඒත් හරියටම කියන්න බැහැනේ ඒ කෑ ගැහුවේ බිළේ හිටපු බස්සමද කියලා.
පහුවෙනිදා ඒ කියන්නේ 2008-03-08 වෙනිදා පාන්දර ඇහැරිච්ච ගමන්ම මම කලේ ආපහු අර පුවක් ගහ ගාවට ගිහින් බලපු එක. හැමතිස්සෙම සුදානම් පිට තියෙන මගේ කැමරා ආම්පන්න ටිකත් අරගෙන තමයි මම පල්ලම් බැස්සේ. මෙන්න ඒ වෙලාවේ මම දැකපු දේ.



මෙයාව දැක්ක වෙලාවේ මට ගොඩක් සතුටු හිතුනා. කලින් දවසේ දැකපු ලොකු බස්සා නෙමෙයි එතන හිටියේ. එයාගේ පැටියෙක්. ඌ හරි පුංචි එකෙක්. මෙයාල මෙළොව එළිය දැකලා සති තුන හතරකින් පියඹා යනවා. ඉතින් එදා මම ආපහු ආව දවසේ මේ අය සමහර විට බිළය ඇතුලේ තමයි ඉන්න ඇත්තේ. සමහර විට මෙයා මෙතන ඉඳගෙන හිටියේ දොරට වැඩුමෙන් පස්සෙද දන්නෙත් නැහැ.

මට තවත් සතුටු හිතුනේ මම ආපහු කොළඹ යනකල් ඉඳල බණ්ඩා මේ කුරුළු පවුලට කරදර කරපු නැති එක ගැනයි. ඊට ටික දවසකට පස්සේ මේ පුවක් ගහ මහ වැස්සකට කඩාගෙන වැටිලා තිබුනා. ඒත් ඒ වෙද්දී බකුසු පවුල කැදැල්ලෙන් පිටවෙලා ගිහින් තිබුණු බව දැනගෙන හිටපු නිසා හිතට ලොකු සහනයක් දැනුනා.

Saturday 18 February 2012

රුපියල් 5 ටියුෂන් පන්තිය

මේ කියන්න හදන්නේ මම 4 වසරේ හරි 5 වසරේ වගේ හිටපු කාලේ ගැන කතාවක්. මේ වෙද්දී මාලා අක්කගේ ඉංග්‍රීසි පන්තිය නතරවෙලා තරමක් කල්. ඒ කාලේ අපේ අක්කලට ආරංචි වෙලා තිබුනා අපේ ගමේ තරමක් ඇතුලට වෙන්න හිටපු පැන්ෂන් ගිය චන්ද්‍රසේකර ඉස්කෝල මහත්තයාගේ පුතෙක් වෙන මහානාම කියන අයියා ඉංගිරිස් පන්තියක් පටන් ගන්න යනවා කියල. අක්කල හතර දෙනෙක් හරි පස් දෙනෙක් හරි හිටපු පවුලක බාලම සහ එකම පිරිමි දරුවා තමයි එයා.

ගමේ ආරංචි වෙච්ච විදිහට එයා පේරාදෙණිය කැම්පස් එකේ පශුවෛද්‍යය උපාධිය හමාර කරලා තමයි හිටියේ. ඒත් ඉතින් ඒ වගේ උපාධියක් හමාර කරපු කෙනෙක් පුංචි ගමක ටියුෂන් පන්තියක් කරන්නේ අහවල් එකටද කියල හිතන්න තරම් දැනුමක් මට ඒ දවස්වල තිබුනේ නැහැ. ගමේ අයටත් එහෙම හිතෙන්න නැතුව ඇති. ඒත් දැන්නම් මගේ හිතේ පොඩි කුකුසක් වගේ තියෙනවා ඒ සම්බන්ධව.
පන්තිය ගැන ඉටි රෙදි කෑලිවල ලියපු පොඩි පොඩි දැන්වීම් එහෙමත් හන්දියේ තැන තැන ගහල තිබුනා කියල මම දැක්කේ ටික කාලෙකට පස්සේ.
කොහොමහරි මමයි චුටි අක්කයිත් එයාගේ පන්තියට යවන්න ඕනේ කියලා අපේ අම්මල තීරණය කලා. මේ වෙද්දී මාලා අක්කගේ පන්තියත් නතරවෙලානේ තිබුනේ. මට මතක විදිහට අපේ පන්තිය තිබුනේ සඳුදා හවස් වරුවේ. ඉස්කෝලේ ඇරිලා අපි දෙන්න එක්ක හන්දියේ ටියුෂන් පන්ති තියන තරමක ප්‍රසිද්ධ තැනක් වෙච්චි පොඩි ටකරන් මඩුවක තිබුණ පන්තියට මුලින්ම ගියා. පන්තියේ ළමයි දහ දෙළොස් දෙනෙක් වගේ ඉන්න ඇති පළවෙනි දවසේ. පන්තියට යන්න කළින්ම අපිට ආරංචිවෙලා තිබුනේ පන්ති ගාස්තුව කීයද කියන එක. එයා අමුතු විදිහකට පන්ති ගාස්තු එකතු කලේ. දවසක පන්ති ගාස්තුව රුපියල් පහයි.

පළවෙනි දවසේ අපේ ඉංගිරිස් දැනුම කොහොමද කියල හොයල බලලා ඒ ඒ ළමයින්ට වෙන වෙනම එක එක වැඩ දුන්නා කරන්න. සමහර ළමයින්ට ඉංග්‍රීසි හෝඩියවත් බැහැ. සමහර ළමයි ඊට වඩා ටිකක් දියුණුයි.
කොහොමහරි පළවෙනි දවස මේ විදිහට ඉවරවෙලා මමයි චුටි අක්කයි අපේ ගුරුපාර දිගේ ගෙදර එන්න පිටත් උනා. පන්තිය තිබුනේ පැය එකහමාරක් හරි දෙකක් හරි වගේ කාලයක්. ටික දුරක් අපි පයින් එද්දී මෝටර් බයික් එකක් ඇවිත් අපි ගාව නතර කලා. ඒ ඇවිත් තිබුනේ අපේ සර්. රතු පාර තැපැල් නයින්ටි (MD90) කියන හොන්ඩා වර්ගයේ පරණ බයිසිකලයක් ඒක. හොඳටම පරණ වෙච්ච හෙල්මට් එකක් තමයි එයා දාගෙන හිටියේ.
එදා අපි දෙන්න එක්ක තවත් ළමයෙක හිටියා. සර් අපිට කතා කලා බයික් එකේ යමු කියලා. ගෙදරට යන්න තියෙන කිලෝමීටර දෙකක වගේ දුර පයින් යනවට වැඩිය බයික් එකක යන්න තියෙනවනම් කොයිතරම් දෙයක්ද. අපි තුන් දෙනාත් කියන පරක්කුවෙන් බයික් එකේ වාඩි උනා. ඒ බයික් ගැන දන්න අය දන්නවා ඒකෙ තියෙන ලොකුම ලොකු ලගේජ් එක නිසා ලොකු අය තුන් දෙනෙකුට උනත් ඒකෙ වාඩිවෙලා යන්න පුළුවන් බව. මම මේ බයික් ජාතිය ගැන හොඳට දන්නේ ඒ කාලේ අපේ තාත්ත ගාවත් තිබුනේ මේ ජාතියේ බයික් එකක් නිසා.

අපෙන් "හරිද" එහෙම කියල අහලා සර් බයික් එක පදින්න ගත්තා. ඒත් මට තේරුණා එයා යන්නේ නිකන් ගැරඬියෙක් යන විදිහට පාර පුරාම කියලා. අපේ තාත්ත බයික් එකක් පදිද්දී කවදාවත් එහෙම ගිහින් නැහැ. අන්තිමට අඩි දහයක් පහළොවක් යන්න ලැබුනේ නැහැ. අපි ඔක්කොම එක්ක බයික් එක කාණුවට ගියා. කාටවත් මුකුත් උනේ නැති නිසා මේ වෙච්ච දෙයින් අපි බය උනේ නැහැ. ඊට පස්සේ බයික් එක කාණුවෙන් ඇදලා ගන්න සර්ට උදව් කරලා ආපහු බයික් එකේ නැගලා ගෙදර එන්න පිටත් උනා.
ඊට පස්සෙනම් වැඩි කරදරයක් නැතුව හිමීට හිමීට ගමන පටන් ගත්තා. ඒත් පාර පුරා යන ගතියනම් ටිකක් විතර තිබුනා. හොඳ වෙලාවට ඒ පාරේ වැඩිය වාහන යන්නේ නැහැ. වැඩිම උනොත් ඒකෙ එන්නේ මොකක් හරි බයිසිකලයක් වගේ දෙයක් තමයි. අපි බයික් එකේ යන ගමන් සර් කිව්වේ එයාට බයික් පදින්න වැඩිය හුරු නැහැයි කියලා. මට පුදුම හිතුනා. එයා මම වගේ පොඩි කොල්ලෙකුත් නෙමෙයි. ඇයි එයාට අපේ තාත්තට වගේ හොඳට බයික් පදින්න බැරි කියලා.


මේ විදිහට මම එයාගේ පන්තියට යන්න ලැබුනේ බොහොම ටික කාලයයි. මම ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ  ගිය නිසා රුපියල් පහේ ඉංග්‍රීසි පන්තියට ආපහු යන්න ලැබුනේ නැහැ. 
ඒත් ඉතින් මම කොළඹ හිටියේ හරියටම අවුරුද්දනේ, ආපහු ගමේ ඉස්කෝලෙකට යන්න ගත්තට පස්සේ අපේ අම්ම මට කිව්වා ඉංග්‍රීසි පන්තියක් හොයා ගන්න කියලා. මමත් ඉතින් යන්න පුළුවන් පන්ති ගැන ආරංචි කරලා බැලුවා. අන්තිමට මට ආරංචි උනා මම කලින් පන්ති ගිය සර් දැන් මම ඉස්කෝලේ යන නගරයේම පන්ති කරනවා කියලා. පන්ති තියෙන්නේ ඉරිදා දවල් 1:00 ට.
ඔන්න ඉතින් මමත් ගෙදර තියෙන වැඩ ඔක්කොටම වගේ උදව් කරලා ඉවරවෙලා හවස් වරුවේ පන්ති යන්න පටන් ගත්තා. හැබැයි එතකොටනම් පන්තියේ ගාන රුපියල් 5 නෙමෙයි. දවසට රුපියල් 10ක් විතර උනාද කොහෙද.

Sunday 12 February 2012

මගේ මුල්ම ඉංගිරිස් පන්තිය

මේ කියන කාලේ මම හිටියේ 3 වසරේ වගේ. මේ කාලේ වෙද්දී අපේ පැත්තේ ටියුෂන් පන්ති ඒ තරම් ජනප්‍රිය වෙලා තිබුනේ නැහැ. හැබැයි ඉතින් කවුරු හරි කෙනෙක් බොහොම සුළු මුදලක් අරගෙන උගන්නන පොඩි පොඩි පන්ති එහෙම තිබුනා.
අපේ ගෙදරට එහා ගෙදරට එහා ගෙදර හිටපු මාලා අක්කත් මේ වගේ පුංචි ඉංග්‍රීසි පන්තියක් දාල තිබුනා. එයා අපෙන් ගත්තේ මාසෙකට රුපියල් 10ක් හෝ 15ක් වගේ ගානක් කියල තමයි මට මතක. ඒ පන්තිය තිබුනේ එයාලගේ ගෙදරට පහළින් තිබුන රබර් ඉඩමේ මැදකට වෙන්න හදල තිබ්බ පුංචි මඩුවක. මේ රබර් වත්ත තිබුනේ බෑවුමක.
අපේ පන්තිය තිබුන තැන විතරක් පොඩ්ඩක් සමතලා කරලා තිබුනේ. වත්ත පුරාම කොඩි වැල් වැවිලා තිබ්බ ලස්සන රබර් වත්තක් ඒක. කොඩි වැල් කියන්නේ රබර් වතුවල පස් සංරක්ෂණයට වවන රනිල කුලයට අයත් ශාක වර්ගයක්. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ Mucuna bracteata කියලා. සෝයා සහ බෝංචි වැනි ධාන්‍යය වර්ග අයත් වෙන්නෙත් මේ කුලයටමයි. ඒ කියන්නේ විපක්ෂ නායක තුමාගේ(රනිල) කුළයේ.
ජායාරුපය ගත්තේ මෙතනින්
අපි ඉගෙන ගත්තේ ලෑලි පටි ගහල හදල තිබුනේ පුංචි මේස සහ බැංකු වල. මේ පන්තියේ මේ වගේ ඩෙස් පේළි තුනක් තැබුණා. ඒ වගේම ළමයි දහ දොළොස් දෙනෙකුත් හිටියා. එකම පන්තියේ වාඩි වෙලා හිටියට මාලා අක්කා ඒ ඒ ළමයගේ පන්තිය අනුව තමයි උගන්වන එක කරන්නේ. අපිටත් පොඩි පොඩි පාඩම් වැඩ දුන්නා කරන්න.
මමයි චුටි අක්කයි ඇරෙන්න මේ පන්තියේ හිටපු අයගෙන් මට මතක අපේ පන්තියේ හිටපු රොෂාන්වයි, චුටි අක්කලාගේ වයසේ හිටපු උරේෂා අක්කවයි, මෙලානි අක්කවයි විතරයි.
අපි මේ පන්තියේ ආසම කරන වෙලාව තමයි විවේක කාලය. අපිට විනාඩි හතළිස් පහක හරි පැයක හරි වගේ "පුංචි" විවේක කාලයක් තමයි මේ පන්තියේදී ලැබුනේ. ඒ විතරක්යැ මාලා අක්ක ගෙදරට ගිහිං අපිට තේ එහෙමත් හදල අරගෙන එනව හැමදාම වගේ. සමහර වෙලාවට එයාලගේ ගෙදර හදන කිතුල් හකුරු එක්ක කහට. සමහර දවස් වලට මොනවහරි කැවිල්ලක් එක්ක තේ.
ඊට පස්සේ තමයි විවේක කාලයේ තියෙන හොඳම හරිය. අපි මේ රබර් වත්තේ කොඩි වැල් ගාලේ ඔට්ටු සෙල්ලම් තියනවා. දුවන සෙල්ලම් කරනවා. බෑවුම් ඉඩමක් උනත් අපිව වැටුනට ගානක්වත් නැහැ අර කොඩි වැල් ගාල නිසාත් බිම පුරා තට්ටු පිටින් ගොඩ ගැහිලා තියෙන වේලිච්ච රබර් කොළ නිසාත්.
සමහර වෙලාවට අපි පොරබදනවා කොඩි වැල් ගොඩේ පෙරළිගෙන. ඒ වගේම කන්ද පහළට පෙරළිගෙන යනවත් එක්ක. අපි පුදුම සතුටක් ලැබුවේ මේ විවේක කාලයේදී.
වගේම අපි ඒ රබර් වත්තේ තැනතැන වවල තිබුන මඤ්ඤොක්කා ගස් වල ටිකක් ළපටි හරිය කඩාගෙන කෝටු කෑල්ලක් ඒවායේ ඇතුළට දාල තද කරලා ඇතුලේ තියෙන සුදු පාට බඩේ ගලවල ගන්නවා. අපි මේවා ගලවගන්නේ ගෙදර අරගෙන යන්න. මඤ්ඤොක්කා බඩ පුංචි පුංචි කෑලි වලට කපලා කුකුල් සායම් වල දාල එක එක පාට කරගෙන ලස්සන මෝස්‌තර අලවනවා පොත් වල. එහෙමත් නැත්නම් කොස් කොළ ඔටුනු,  මඤ්ඤොක්කා කොළ වලින් හදා ගන්න මාල දාගෙන කෝටු කෑලි වලින් කඩු හරඹ කරනවා.

මේ විදිහට ඕනෙනං අපි මාස පහ හයක් මාලා අක්කගේ පන්තියට යන්න ඇති. හදිස්සියේම මාලා අක්කට ලැබුණු ගුරු පත්වීමක් නිසා අපේ පුංචි පන්තිය නවත්වන්න සිද්ධ උනා. අපිට එදානම් ගොඩක් දුක හිතුනා.
මම ගිහිං තියෙන මුල්ම සහ හොඳම ටියුෂන් පන්තිය හදිස්සියේම නවත්වන්න උනා මෙන්න මේ විදිහට.

Wednesday 8 February 2012

නිධන් හැරීමේ අවසානය

මේ නිධාන සම්බන්ධ කතාපෙලේ අවසාන කොටසයි. මුල කොටස් නොබැලු අය මීට පෙර ලියු කොටස් තුන මෙතනින් බලන්න
පළමු කොටස
දෙවන කොටස
තුන්වන කොටස


දිනක් ඔහු හා සම්බන්ධ වී නිධන් මංකොල්ලයේ යෙදුනු පිරිසේ කෙනෙක් මෑතකදී ගොඩ ගන්නා ලද නිධානයක කොටස් බෙදා ගැනීමට එහි එන ලෙස පවසා ඔහුට දුරකථන ඇමතුමක් ලබා දුන්නේලු. කටහඬ සහ දුරකථන අංකය ඔහු දන්නා පුද්ගලයාගේ වුවද මොහු හට යම් සැකයක් ඇති වූ නිසා ඔහු එම ආරාධනාව අනුව අගනුවර බලා නොගොස් සිටියේලු.
පසුව දැනගත් පරිදි එවර ඔහු හට ඇතිවූ සැකය නිසා ඔහු පොලිසියට අසු නොවූ බවත්, එම ඇමතුම ලබාදුන් පුද්ගලයා එය  ලබා දී ඇත්තේ පොලිසියට අසු වූ පසුව බවත් ඔහු මා සමග කිවේය. කෙසේ හෝ මොහුගේ සහයක් නැතිව සිදුකල අවසන් නිධන් මංකොල්ලයකින් අනතුරුව කණ්ඩායමේ සියල්ලෝම පාහේ සිර භාරයට ගත්බවත් පසුව මොහුට ආරංචි වී ඇත. මොහුට සැකයක් මතු වී තිබුනේ ඔහු සහභාගී නොවූ නිධන් හැරීමක් සඳහා කොටස් බෙදා දීමට කතා කල නිසා බවද ඔහු කිවේය.
කෙසේ නමුත් එම කණ්ඩායම තුළ කම්කරුවකු මට්ටමින් වැඩ කටයුතු කල මොහු ගැන පොලිසියෙන් පැන්නීමක් සිදු කර නොමැත. ගමෙන් පිට වී පතල් රස්සාව සඳහා ඔහු යොමුවී ඇත්තේ මින් අනතුරුවය.


තවත් දිනෙක නොදන්නා පුද්ගලයෙකු විසින් විකිණීමට කියා රැගෙන ආ ඉතා කුඩා බුදු පිළිමයක් ගැන හෝඩුවාවක් මා හට ලැබුණි. එය දැක ගැනීමට මා හට අවස්ථාවක් නොලැබුණේ එවකට මා අගනගරයේ රැකියාවක් කරමින් සිටි බැවිනි. ගම ආ විගස එහි ජායාරූපයක් මිතුරකු මාර්ගයෙන් දැකගැනීමට ලැබුනද එය කොහෙන් පැමිණ කොහේ ගියාදැයි සොයා ගැනීමට නොලැබී ගිය ඝනයට අයත් එකක් විය. එම ජායාරූපය ඉතාමත් අපහසුවෙන් කම්පියුටර කුණු කන්දල් ගොඩේ තිබී සෑහෙන පරිශ්‍රමයක් දරා සොයා ගැනීමට හැකි විය. මෙහි පල කරන්නේ ඒ නියම ජායාරූපයයි. එය රැගෙන ආ පුද්ගලයා පවසා ඇති පරිදි එය රත්‍රන් මිශ්‍ර එකකි. නමුත් බැලූ බැල්මට එසේ කිව නොහැකි උවත් එය ඉපැරණි බුදු පිළිම වහන්සේ නමක් බවනම් ඉඳුරාම කිව හැක. තැනින් තැන ඇති රන් පැහැයද දැක ගැනීමටද හැකිය.
මේ තවත් සිද්ධියකි. එය ආරංචි වුයේ මෑතකදී මා ලංකාවට මා නිවාඩු ගිය මොහොතකදීය. මෙය ලංකාවේ ප්‍රසිද්ධ පුවත් පත සියල්ලේම පාහේ ප්‍රධාන පුවතක් බවට පත් වුවක් බැවින් ඔබගේද මතකයේ ඇතුවාට සැකනැත. සොයා ගත් දිහාව පැහැදිලි නැතත් කිලෝ ගණනක් බර රත්‍රන් බුදු පිළිමයක් විකිණීමට ගිය පිරිසක් අත්අඩංගුවට ගත්බව කියවෙන පුවතකි ඒ. එහි ප්‍රධාන උප ප්‍රධාන චරිත කිහිපයක් මා දන්නා අයවල්ලු වීමෙන් මා පුදුමයට පත්විය. කෙසේ හෝ මොවුන්ගේ උත්සාහය වැරදී පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. මුලින් කියවුනේ එය රත්‍රන් බුදු පිළිමයක් බවය. පුවත්පත් වල පවා වර්ණ ජායාරුප මගින් එය ප්‍රදර්ශනය කර තිබු අතර එය රන් පැහැයෙන් දිදුළමින් තිබිණි. දින කිහිපයකට පසුව පුවත්පත් වල සහ උසාවියේදී කියවෙන්නේ අළුත් කතාවකි. එය ව්‍යාජ බුදු පිළිමයක් බවත් ව්‍යාජ පිළිමයක් විකිණීමට තැත් කිරීම එනම් වංචාවක් සිදු කිරීමට තැත් කිරීම යටතේ ඔවුන් දඬුවම් ලැබීමට යන බවත්ය.

නමුත් ඔවුන් විකුණන්නට ගොස් තිබුනේ කොහේ හෝ නිධානයකින් සොරා ගත් නියම රත්‍රන් බුදු පිළිමයක් බව පසුව කල විපරමකදී මා හට දැන ගන්නට ලැබුණි.
එසේනම් ඇත්ත බුදු පිළිමය නීතියේ රැකවල්ලු විසින් කොහේ හෝ සඟවාගෙන ව්‍යාජ බුදු පිළිමයක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරන්නට ඇත. සැකකරුවන් හටද එයට විරුද්ධ වීමට නොහැකි බව පැහැදිළිය. සැකකරුවන් සත්‍යය ප්‍රකාශ කළහොත් ඔවුන්ගේ දඬුවම් කාලය දික් වීමෙන් සහ ගෙවීමට සිදුවන දඩය විශාල වීමෙන් ඔවුන්ද අමාරුවේ වැටෙන නිසා ඔවුන් කට පියාගෙන සිටිනා බව සහතිකය. මෙහිදී සිදු වී ඇත්තේ හොරුන්ගේ හොර බඩු නීතිය විසින් මංකොල්ල කෑමකි.


මා හට මේ තොරතුරු වලින් බහුතරයක් සැපයු  ඉහතකී පුද්ගලයා ගමේ  ඉබාගාතේ ඇවිදිමින් හොර මැරකම් සහ මංකොල්ලකෑම් වැනි සමාජ විරෝධී ක්‍රියා නිසා හිරේ විලංගුවේ වැටෙමින් ජීවිකාව ගෙනයන්නෙකි. නිධන් මංකොල්ලය උදෙසාද ඔහු පසු කලෙක අත්අඩංගුවට ගනු ලැබූ බවක් මට දැනගන්නට ලැබුණි. තම බිරිඳගේ දරු ප්‍රසුතිය සඳහා ඉස්පිරිතාලේ යාමට පැමිණි ඔහු හට වෙනත් පිරිසකගේ දරුණු ප්‍රහාරයකට ලක් වීමට සිදු වූ බව පසු කලෙකදී මම දැනගත්තෙමි. එම ප්‍රහාරයෙන් ඔහුගේ අතක් සහ කකුල් දෙකම කොටස් වලට බිඳී යාමට ලක් වූ බවද දැනගන්නට ලැබුණි. 
මාස ගණනක අවෑමෙන් සුව වූ ඔහු තමාට අපරාධය සිදුකල අයගෙන් පළිගැනීමට ගොස් එය වැරදී හිරේ විලංගුවේ වැටීමටද ලක් වී ඇත. පසුව සිදුකල තවත් මංකොල්ලයක් අසුවී නැවතත් හිරේ විලංගුවේ වැටී සිටඇති ඔහු මෑතකදී නැවතත් නිදහස් වී ගම පැමිණ සිටිනු දැනගන්නට හැකි විය. බොහෝ වර හිරේ විලංගුවේ වැටෙමින් පොලිසියත් උසාවියත් ගෙදරත් අතර දිවිගෙවන මොවුන්ගේ ජිවිත වලට කවදා සතුටක් ලඟා වේද.
නිධන් හාරන්නකුගේ (හා/හෝ සමාජ විරෝධී කටයුතු වල යෙදෙන අයකුගේ) ජිවිතයේ ඇතුළාන්තය ගැන මීටත් වඩා කරුණු ඔබට කීමට අවශ්‍ය නැතැයි සිතමි. නිධන් වලින් ලැබෙන මුදලේ පැවැත්මක් නැති බවත් එය යස ඉසුරින් පිරුණක් නොවන බවත් කීමටයි මා හට උවමනා වුයේ.


පසුගිය නිවාඩු කාලයේදී ලංකාවට පැමිණි මාහට මොහුව පාරේදී හමු විය. සුපුරුදු ලෙසින්ම ඔහු හා කතාබහ කර සැපදුක් විමසා යාමට මම අමතක නොකලෙමි.  ඒ මගේ හැටිය. කෙනෙකුට එය වැරදි ලෙස පෙනෙන්නට පුළුවන් බවද මම දනිමි. 
ඔහු කුඩා කල මාගේ සෙල්ලම් සගයෙකි. අප සමග ගඩාගෙඩි කඩමින්, ගඟේ නෑමට යාමෙන්ද, නොයෙකුත් සෙල්ලම් කරමින්ද බොහෝ සමීපව කාලය ගතකල කුඩා කොල්ලෙකි.  මගේ හිතේ සිටිනා කුඩා සෙල්ලම් සගයා මරා දැමීමට මා හට නොහැකිය. එබැවින් දුටු තැනකදී වචනයක් දෙකක් ඔහු හා දෙඩීමට මම මැලි නොවෙමි.

කාලයත් සමග ඔහු සමාජ විරෝධී කටයුතු වල යෙදෙන්නෙක් බවට පත්වී ඇත. ඔහු කල වැරදි සඳහා නීතියෙන් සහ ස්වභාවධර්මයෙන් නිසි දඬුවම් ඔහුට ලැබී ඇත. එහෙයින් ඔහු හට තවත් දඬුවම් ලබාදීමට මා හට අයිතියක් නැති බව ඔබට වැටහෙනු ඇත.


නිධන් කතා පෙළ මින් අවසන් වනු ඇත. මා සමග රැඳී සිටි ඔබ සැමට තුති.....!!

Friday 3 February 2012

තුන්වන නිධන් කොල්ලයෙන් පසුව ජිවත් වීමේ වාසනාව ලදිමි

ඉන් පසුව මොවුන්ගේ අවධානයට ලක් වී තිබුනේ මහ වනයේ ඇතුලක තිබු ඉපැරණි දාගැබකි. එය පාදම දක්වාම ගරා වැටී තිබු එකක් බව කීවද එය මුසාවක් වීමටද පුළුවන. එවැනි දේ නිසා මා ඔහුට බැනවැදුණු අවස්ථා ඇති නිසා ඔහු කරුණු වෙනස්කර කීවා වන්නටද හැක. වනයක් මැද ඇතැයි පැවසුණු එය මිනිස් ඇසෙන් බොහෝ දුරක තිබු එකක් බව පැවසු කතාව ඇත්තක් වන්නට ඇත. මිනිස් ඇසට කිට්ටුවෙන් ඇති තැනක එවැන්නක් කිරීම තරමක් අපහසුය. එහි මැද වූ හතරැස් හැඩයේ ලිඳක් වැනි කොටසේ පතුලේ නිධානය ඇති බවක් වදුලේ ලියවී තිබුණේලු. මේ ලිඳ වැනි කොටස මනාව ඇතිරූ ගඩොල් සහ එකල භාවිතා කල සිමෙන්තියක් වැනි වූ මැටි මිශ්‍රණයෙන් මනාව පුරවා වසා තිබී ඇත. මෙවැනි නිධානයක් ගොඩ ගැනීම පහසු දෙයකැයි සිතු පිරිස බොහෝ සතුටින් වැඩට බැස ඇත. එයට හේතුව ගල් කැඩීමට බෝර දැමිය යුතු නොවීමය. නමුත් සති ගණනක් තිස්සේ ගඩොල් සහ බදාම මිශ්‍රණය ඉවත් කරමින් අඩි 30 ක් පමණ යටට හෑරුවත් අවසානයක් දැකිය නොහැකි වූ නිසා එය අත්හැර දැමු බව ඔහු පැවසීය.
නිධන් හොරු විසින් විනාශ කරනු ලැබූ මහ වනයක් මැද පිහිටි දාගැබක් නැවත ගොඩනැගෙමින් පවතින අතරතුර....
නැවත ගොඩනැගීමේ  කටයුත්ත වෙනුවෙන් තම කාලය හා ශ්‍රමය  වැයකර තිබුනේ මාගේ හොඳම මිතුරෙකි.
වියදම ලැබී තිබුණේ රජයේ යම් ව්‍යාපෘතියකින් ඉතුරු වූ මුදල්ය.
ඒ සඳහා වෙහෙසවූ මා මිතුර ඔබට සහ ඔ‍බගේ කණ්ඩායමට මාගේ ප්‍රණාමය
දාගැබක් තුළ තිබූ නිධන් ගලක්
නමුත් මෙවැනි ස්ථාන වල ඇත්තේ නිධන් වස්තු නමින් හඳුන්වනු ලබන ධාතුන් වහන්සේලා වැනි දෑ
මිසක් රන් මුතු මැණික් නොවන බව බොහෝ දෙනෙක් නොදනී.
වරක් මොවුනට මුහුණ දීමට සිදු වූ සිද්ධියක් නිසා යම් වැදගත් තොරතුරක් මා හට දැනගන්නට ලැබුණි. එනම් මැණික් නිධාන සම්බන්ධවයි. මොවුනගේ කණ්ඩායමට වරක් කොහේදෝ තිබු නිධානයකින් මැණික් පිරවූ මුට්ටියක් ලැබී ඇත. නමුත් එහි තිබු මැණික් සියල්ල අජීවී වී එනම් මැරී තිබී ඇත. එයට හේතුව ලෙස මේ කරුණ මා හට දැනගන්නට ලැබිණි.

පෙර කල නිධන්ගත කරන සියලුම මැණික් නිධාන වලට ජලය සැපයෙන මගක් සකසා තිබෙන බව ඔහු කිවේය. එම ජල සැපයුම නතර වී බොහෝ කලක් ගියහොත් මැණික් මැරෙන බවද ඔහු පැවසීය. එය ඇත්තක් හෝ බොරුවක් හෝ වියහැකි වුවද මැණික් සහිත නිධානයන් ජල සැපයුම් සහිත ස්ථාන වල පිහිටා ඇති බවනම් ඇත්තකි.
නිධන් හාරන්නන් කැමතිම නිධන් වර්ගය ලෙස ඔවුන් නම් කරන්නේ මැණික් සහිත නිධානය. එයට හේතුව ඒවා කිසි කරදරයකින් තොරව මේ දැන් පොළවෙන් ලැබුනා සේ විකුණා ගැනීමට ඇති හැකියාවයි.


මැණික් සහිත එවැනි නිධානයක් ඇති තැනක් සම්බන්ධ හෝඩුවාවක් බොහෝ මෑතකදී මා හට දැනගන්නට ලැබුණි. ජලපහරක ඇතැයි කියවෙන එම නිධානය මා අසා ඇති විශේෂිතම නිධානයකි. ඉදිබුවෙකුගේ හැඩයට කොටා ඇතැයි කියවෙන ගලක් තුළ මැණික් පුරවා ඇති බව කියවේ. එම ස්ථානය සහ කියූ සලකුණු සත්‍යය බව මා හට පසුව තහවරු කර ගැනීමට හැකියාව ලැබුණි. අතේ කැමරාවක් නොතිබූ නිසාත් අධික ලෙස වැඩකටයුතු බහුල වූ නිසාත් ගියවර නිවාඩුවේදී එය බැලීමට යන ගමන කල් දැමීමට මා හට සිදු විය. මා නැවත ලංකාවට යනතෙක් එය සුරකී තිබුණහොත් එම ස්ථානය නරඹා ජායාරුප කිහිපයක් මතු කාලයේදී පළකිරීමට කටයුතු කරන්නෙමි. එය පිහිටි ස්ථානය වැනි අනවශ්‍ය කරුණු මගෙන් නොඅසනවානම් මැනවි.

එලෙසින්ම ඔවුන් රත්‍රන් බුදු පිළිම වැනි දෑ ලැබෙනවාට ඒ තරම් මනාපයක් නොදක්වයි. එයට හේතුව ඒවා එලෙසම විකුණා ගැනීමට ඇති අපහසුවත් උණුකර(මකවා) රත්‍රන් කුට්ටි ලෙස විකිණීමෙන් ඇති වියහැකි අනිසි ප්‍රථිපල වලට ඇති බියත් නිසාය. නමුත් එලෙස සිදු කරන උදවියද ඉන්නා බව සැබෑය. කෙසේ හෝ නිධන් ගැනීමෙන් පසුව වාසනාව නොව අවාසනාව ලඟා කරගත් මිනිසුන් බොහෝ ඇත්තේය.


දිනක් මා මිතුරකු අප නිවසට පැමිණියේ මළදුගල කන්ද තරණය කිරීමටත් කුරුල්ලන් සහ වටපිටාව ජායාරූප ගැනීමටත් සිතාගෙනය. දිනය 2007 ජනවාරු 14 වැනිදායි. ගමන ආරම්භයේ පටන්ම නොයෙක් කුරුළු, සමනල වර්ග දැකබලාගත් අප තිදෙන (මම, මිතුරා සහ අක්කාගේ පුතා) මුලින්ම කන්දේ පන්සල නැරඹීමට ගියෙමු. සෑම වසරකම කන්ද මුදුනේ පිරිතක් කියන සිරිතක් ගමේ පැවතෙන්නේය. නමුත් මෑතකදී පිරිත කඳු මුදුනේ කීම අපහසු නිසා පන්සල පිහිටි මට්ටමේ තරමක් දුරින් ඒ සඳහා වෙනම ස්ථිර පිරිත් මඩුවක් තනා ඇත.
කන්දේ පැත්තක පිහිටි ස්ථිර පිරිත් මඩුව
එම ස්ථානයද නැරඹු අපගේ ඊළඟ අරමුණ වුයේ කඳු මුදුනය. කන්දට කිහිප වරක් ගොස් ඇති මා හට කන්දේ සියලුම ස්ථාන හොඳින් මතකයේ තිබීම නිසා සහ හොඳින් එම පෙදෙස දන්නා නිසා බිය වන්නට කිසිම හේතුවක් නැත. සුපුරුදු පරිදි කඳු මුදුනටත් අප බොහෝ ප්‍රිය කරන උමග සහිත ගල්ගුහාව ඇති ස්ථානය දක්වාත් ගමන් ඇරඹුවෙමු. මෙහි පිවිසෙන සෑම විටම පාහේ හොඳින් එලිය ඇති විදුලි පන්දමක් රැගෙන යාම මාගේ සිරිත වේ. කැලෑවක හෝ වෙනත් ගමනක් වේවා කුමන හෝ ගමනක් යද්දී අධිබල විදුලි පන්දමක් රැගෙන යාමේ මාගේ පුරුද්ද අදටත් එසේමය.
කෙසේ හෝ දාඩිය මුගුරු පෙරාගෙන ගල් ගුහාව අසලට පිවිසි අපහට ගල් දෙබොක්කාව හරහා එන සිසිල සුළං රැල්ල මහත් සහනයක් විය. මද වෙලාවක් එහි ගිමන් හල පසු ගල් ගුහාවට බැසීමට සුදානම් වුනෙමු. එහි ඇත්තේ දැඩි අඳුරකි. වෙනදා පුරුද්දට ගලෙන් පහලට රූටා බැසීමට සුදානමින් පහලට කකුල් දෙක දමා විදුලි පන්දම දැල්වීමි.
වෙනදා උඩ ඇති ගලෙන් අඩි හතරක් පමණ පහලින් ඇති පොළව එදා තිබුනේ නැත. පොළව ඇත්තේ එතැන සිට අඩි විස්සක් විසි පහක් පමණ පහලිනි. වෙනදා පුරුද්දට පහළට පැන්නේනම් මගේ කකුල් දෙකෙන් ආපසු ඇවිදීමට ලැබේදැයි පවා සිතීමට නොහැක.
මෙම ජායාරුපයෙන් එහි හාරා ඇති විශාල වල යන්තමින් දැකගත හැකිවනු ඇත.
මෙය ගනු ලැබුවේ ගල් ගුහාව වෙත වෙනත් පසකින් පිවිසීමෙන් පසුවය.
පසුව වෙනත් මගක් ඔස්සේ ගියද අප හට වෙනදා මෙන් ගල් ගුහාවේ උමග ආසන්නයට යා නොහැකි විය. ඒ පැත්තටද සිදු වී තිබුනේ එයමය.
වෙනදා එතරම් අවහිර වලින් තොර මාර්ගය අද වෙද්දී ගල් ගුහාවේ පොළවෙන් ගොඩගෙන විසිකරනු ලැබූ විශාල ගල්වලින් අවහිර වී ඇති අයුරු. නිධන් කොල්ලයට පෙර මෙම විශාල ගල් වලින් බිත්ති සේ බැඳ ගුහාවේ කොටස් ආවරණය කර තිබුණි.
නිධන් හෑරීම් සිදු වූ බව දැනගෙන තිබුනද ඉන්පසුව මා මෙහි පැමිණියේ මුල් වතාවටය. මෙම සිද්ධිය දුටු පසු සහ ඇතිවූ තිගැස්ම නිසා එතන වැඩි වෙලාවක් රැඳී සිටීමට සිතක් අප හට තිබුණේ නැත. මාව වලට වැටුනේනම් සිදුවන දෑ හිතා ගැනීමටත් නොහැක. මා හොඳින් එළිය ඇති විදුලි පන්දමක් ගෙන ආවේ සහ පහළට බැසීමට පෙර එය දල්වා බැලුවේ වාසනාවටමය.
කන්දේ අනිත් පස බැලීමද පසෙක තබා අප තිදෙනා පල්ලම් බැසීමට තීරණය කළෙමු.


සති කීපයක අවෑමෙන් මා හට ගමේ මිතුරා දැක ගැනීමට අවස්ථාවක් ලැබුනේ අහම්බයකින් මෙනි. මේ වනවිට ඔහු ගමෙන් පිට පතලක රැකියාව කරමින් සිට ඇති අතර අහම්බයකින් මෙන් ගම ආ මොහොතක මා හට මුණගැසිනි.
අප මලදුගල කන්ද නැග්ග බවත් නිධන් ගොඩගෙන ඉතුරු වූ වලේ නොවැටී ජිවිතේ බේරාගත්තේ නුලෙන් බවත් ඔහුට පවසා හොඳට දෙහි කැපුවෙමි. වලේ ගැඹුර අඩි 20 ක් පමණ වූ බව මම කියූ විට ඔහුගේ මුහුණින් අමුතු හැඟීමක් දැක ගන්නට හැකි විය.


"එහෙනම් මට ආරංචි වෙච්ච දේ හරි" යයි පැවසු ඔහු තවත් කතාවක් මගේ කණේ තැබුවේය. ඔවුන් නිධන් හෑරූ අවස්ථාවේ එතරම් ගැඹුරකට හෑරුවේ නැති බවත් ඔවුනට පසුව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් එම ස්ථානයේම නැවතත් නිධන් හෑරූ බවක් ඔවුනට ආරංචි වූ බවද ඔහු කියා සිටියේය. එසේනම් ඔවුන් විසින් එතරම් ගැඹුරට වල හාරා ඇති බවක් ඔහු අනුමාන කළේය. 
එය ඇත්තක් බව මම නැවත වෙනත් මාර්ග වලින්ද තහවරු කරගත් අතර ඔවුන් විසින් ගොඩ ගත්තේ කුමන අන්දමේ දේවල් දැයි දැනගැනීමට මා උනන්දු වුයේ නැත. උවමනාවක් තිබුණිනම් ඒ ගැන සොයා ගැනීමට බැරි කමක්ද නොතිබුණි.
කෙසේනමුත් එකම ස්ථානයකින් නිධන් දෙකක්ම ගොඩගෙන ඇති බව පමණක් සක්සුදක් සේ පැහැදිළිය.


තවත් කොටසක් ළඟදීම....

Monday 30 January 2012

මළදුගල කන්දේ දෙවන නිධානයත් ගොඩ ගනියි...

මේ කියන්නේ යන්නේ තවත් නිධන් කතාවක්,
මේ සාමාන්‍ය පෙළ ප්‍රථිපල බලාපොරොත්තුව සිටි අවධියයි. අප නිවසට පැමිණි තවත් මිතුරන් දෙදෙනෙකු සමග මළදුගල කන්දට නැගීම මාගේ අභිප්‍රාය විය. මළදුගල කන්දට නගින දෙවන අවස්ථාවයි මේ. එහි ගිය අපහට ගල් ගුහාවේ එක් විවරයක් අසල ගසක දරණ ගැසී සිටි පළා පොළඟකු දැක ගන්නට ලැබුණි. පහළට බැසීමටනම් එම ගසේ එල්ලී යා යුතු විය. එනිසා එමගින් ඇතුළු නොවී සුපුරුදු ස්ථානයෙන් ඇතුලට පිවිසීම සඳහා අනෙක් පසින් යාමට අප තීරණය කලෙමු.
පළා පොළඟා විෂ සහිත සර්පයෙකු බව එදවස අපගේ මතය විය. නමුත් පසුව දැන ඉගෙන ගත් පරිදි පළාපොළඟා යනු මදවිෂ සහිත සර්පයෙකු බව දැනගන්නට ලැබුණි. එමෙන්ම ඌගේ සපා කෑමෙන් කිසිදු මරණයක් අප රටෙන් වාර්තා වී නොමැත. පසු කලෙකදී උන් අල්ලා අතට ගැනීමට පවා මා බිය නොවුනෙමි.
එදින ආපසු ගමනේදී මල්සරා නමින් හැඳින්වෙන අලංකාර සර්පයකු දැකගනිමටද වාසනාව අප හට ලැබිණි.
මා පෙර කී පරිදිම මෙහි ඇති ගල් ගුහාවේ විශේෂයනම් ගුහාවට නිකම්ම ඇතුළු වීමට නොහැකි අතර වලකට බසිනවාක් මෙන් බැස යා යුතු වීමය.


ගුහාවට බැසීම සඳහා අනෙත් පසට එනම් බැලුම්ගල අසළට ගිය අප හට අමුතු දසුනක් දැක ගැනීමට ලැබුණි. එනම් කිසිවක් පිරවූ මල්ලක් සහ ලෑලි පටි ගැටගසා සාදන ලද කුඩා බංකුවකුත්ය. දුම් වැදී කළුවී ගිය පරණ දුම් කබලක්ද ඒ අසල තනි රකිමින් සිටියේය. සිතට එකවරම ඇතිවූ චකිතය නිසා හොඳින් වටපිට සෝදිසි කර බැලු අතර කිසිවෙකු ඉන්නා බවක් නොපෙනීම මහත් සහනයක් විය. එකෙකු ඔත්තු බලන අතරේ මමත් එක් මිතුරෙකුත් ගොස් මල්ල ලිහා බැලුවෙමු. පොල් තෙල්, හඳුන් කූරු, කපුරු සහ තවත් නොයෙකුත් දෑ මල්ල තුල විය. පළමු කොටසේදී කන්දේ පිහිටීම පැහැදිලි කළා ඔබට මතක ඇතැයි සිතමි. අප ඉන්නා තැන සිට පහළ බැලු විට ඇත්තේ පුංචි ලෝකාන්තයක් බඳු වූ පාතාලයයි.


මල්ල සහ බඩුමුට්ටු ටික පාතාලය කරා ගමන් කරනා අයුරු ඊළඟ මොහොතේ දිස් වන්නට විය. මේ සිද්ධිය නිසා හිත තරමක් ගැස්සුනද වටපිට කවුරුන් හෝ දැකීමට නැති නිසාත් කිසි සද්දයක් බද්දයක් අසුනේ නැති නිසාත් චකිතය තරමක් තුනී වන්නට විය. මල්ල විසිකර දැමීමේ අරමුණ වුයේ නිධන් හොරුන්ට බාධා කිරීම වුවත් නැවතත් පැමිණ ඔවුනගේ කාරිය කරගෙන යාමට එයින් මහලොකු බාධාවක් නැති බව අප නොදැන සිටියා නොවේ. පොලීසියට දැන්වීමට සිත්වූයේ නැත්තේ මන්දැයි කීමට මතකයක් නැතත් දැන්වීමෙන් පළක් වේදෝ යන්න සැක සහිතය.
මෙම අවධිය වන විට රුපවාහිනී කුළුනේ මුවාවෙන් ගත් නිධානයද ගොඩ ගෙන නොතිබුණි. ස්ථීරවම එසේ කීමට හැක්කේ ඒ වන විටත් කුළුනේ වැඩකටයුතු සෙමින් සෙමින් සිදු වෙමින් පැවතුනු නිසාය. කුළුනේ වැඩ සඳහා සිමෙන්ට් උරයක් කන්දට ගෙනගොස් දෙනවාට සිමෙන්ට් උරයේ මිළට වඩා වැඩි මිළක් ගෙවූ බව මිනිසුන් කතා වෙනවා මට මතකය. ගමේ සිටි සවි ශක්තිය ඇති මිනිසුන් කිහිප දෙනෙක් ඒ සඳහා සහය වූ බවද දකින්නට ලැබුණි. මෙසේ කඩින් කඩ හෝ කුළුනේ ඉදිකිරීම් කටයුතු සිදුවන අතරවාරයේදී කවුරුන් හෝ මෙම ස්ථානයේ ඇති නිධානයටද බැල්ම දාගෙන සිට ඇත. ඒ එකම පිරිසක් වන්නට ඇති හැකියාව බොහෝ ඉහළය.


කුළුනේ වැඩ කටයුතු අතරමග නතර කර දැමුවේ 2000 මුල් අවධියේදීය. ඒ වනවිට කුළුන ආසන්නයේ නිධානය ගොඩ ගෙන අහවර වන්නට ඇතැයි සිතිය හැකිය. ලොකු හාමුදුරුවන් අපවත් වූ වර්ෂය මාගේ මතකයේ නැතත් එම නිධානය ගොඩ ගන්නට ඇත්තේ උන් වහන්සේ ජිවිතයේ අවසාන භාගය හෝ ජිවිතයෙන් සමුගත් මුල් අවධියේදී හෝ වන්නට ඇත.


මේ මම උසස් අධ්‍යාපනය ලබන අවධියයි. ආසන්න වශයෙන් වසර 2003 හෝ 2004 දී පමණ වන්නට ඇත. ලොකු හාමුදුරුවෝ අපවත් වී තරමක කාලයකි.
කුඩා අවධියේ මගේ සෙල්ලම් සගයෙකු වූ මට වඩා වසර තුනක් බාල ගමේ කොල්ලෙකු නිධන් හාරන්නන් පිරිසක් හා සම්බන්ධ වී කටයුතු කරමින් සිට ඇත. (ගමේ සිදුවූ සුළු සුළු හොරකම් සම්බන්ධයෙන්ද සැකය ඔහුවෙත යොමු වූ බවක් මා අසා තිබුණි) රටේ සෑම දෙසින්ම වාගේ එක් වූ පිරිසක් නිධන් මංකොල්ලය සඳහා දායක වී සිටි බව ඔහු කීවේය. රාජගිරියේ පන්සලක හිමිනමක් යැයි කියනා පුද්ගලයෙකුද මේ අතර සිට ඇත. නිධානය ගැනීමේදී කට්ටඩියෙකු වශයෙන් සිදු කරනා කටයුතු කර ඇත්තේ ඔහු විසිනි. සම්පුර්ණ පිරිස 10 දෙනෙක් පමණ වූ බව ඔහු පැවසීය. 


මෙම පිරිස ටික දිනකට පෙර මළදුගල කන්දේ උමං මගේ ඇති නිධානයක් ගැනීමට ගිය බවත් එය සාර්ථක වූ බවත් ඔහු මා හට පැවසීය. මෙයින් මාගේ කුතුහලය ඇවිස්සුනි. එනම් කුළුනේ මුවාවෙන් නිධානයක් ගත්බව කියවෙන කතාව බොරුවක්ද. ඔහුගේ පැහැදිළි කිරීමෙන් පසුව මොවුන් ගොඩගෙන ඇත්තේ ගල්ගුහාව තුළ තිබු වෙනම නිධානයක් බව දැනගන්නට ලැබුණි. කුළුණ ආසන්නයේ තිබු නිධානය පිහිටි ගලක් හාරා නිධන් කල එකක් බව කියවේ. නමුත් මොවුන් ගොඩගෙන ඇති නිධානය තිබී ඇත්තේ අපි හැමදාම වාගේ ගොස් නරඹන ගල්ගුහාව තුළය. එහි පොළව මැටි සහිත පසක් වූ අතර එතරම් මහන්සියකින් තොරව හැරීමට හැකි ස්ථානයකි. කෙසේ නමුත් හාමුදුරුවන් විසින් විශාල ගල් දම්මවා බඳින ලද බාධකය නිසා නිධානය ගොඩ ගැනීම පහසු වී නොමැත.


ඔවුනට මෙයින් ලැබී තිබුනේ ග්රෑම් 250 ක පමණ බරකින් යුතු වූ රන් පළඟානක් සහ හතරැස් සෙල් ඵලකයක ලියවුනු සෙල් ලිපියකි. එය ප්‍රමාණයෙන් අඩි එකහමාරක් පමණ දිගැති අඩි භාගයක් පමණ පළලැති අඟල් 3 ක් හෝ 4 ක් පමණ ඝනකම ගල් පුවරුවක් බව ඔහු පැවසීය.
මෙම සිද්ධියෙන් පසු ඇතිවූ සංක්‍රාන්තික සමයකදී ඔහු යම් කලක් ගමට වී කල්ගත කළේය. එහිදී මා මුණගැසුණු මොහොතක මේ කතාව මට දැනගන්නට ලැබිණි.


රන් තැටිය විකුණා මුදල් බෙදා ගත් බවත් සෙල් ලිපිය සහිත  ඵලකය රාජගිරියේ විසු හාමුදුරුවන් රැගෙන ගිය බවත් මට දැනගන්නට ලැබිණි.
ග්රෑම් 250 ක පමණ රන් තැටිය විකිණීමෙන් ඔහුට ලැබී තිබුන කොටස රුපියල් 20,000/- ක පමණ මුදලකි. එයින් එම කණ්ඩායම තුළ ඔහුගේ මට්ටම උපකල්පනය කරගත හැකිවනු ඇත.

රන් තැටියෙන් හෝ නිධන් වලින් මට වැඩක් නැත. නමුත් කුමක් හෝ වැදගත් ලියවිල්ලක් වන්නට ඇතැයි සැලකිය හැකි සෙල් ඵලකය සොයා ගැනීමට හෝ අඩුම වශයෙන් එහි ජායාරූපයක් හෝ ලබා ගැනීම මගේ අරමුණ විය. පිහිටි ගලේ කොටා ඇති සෙල්ලිපි ගැන දැන උන්නද මෙවැනි සෙල් ඵලකයක කෙටු සෙල් ලිපි දුලබ දෙයකි. මෙවැන්නක් ගැන මා මීට පෙර අසා තිබුනේද නැත. කෙසේ නමුත් මෙය වැදගත් ලියවිල්ලක් බවනම් සහතිකය. මාස කීපයක් වෙහෙසුනද මාගේ උත්සාහය සාර්ථක වුයේ නැත. කණ්ඩායමේ බිම් මට්ටමේ සාමාජිකයෙක් වූ ඔහුටද මා හට උදව් කල හැකි මට්ටම සීමාසහිත විය. කෙසේ හෝ විදියබණ්ඩාර යුගයේ තවත් වැදගත් කරුණක් එසේ කොහේ හෝ නොදන්නා තැනක සැඟව ගියේය. මේ ගැන මම තව දුරටත් සොයා බලන්නට සිතා ගත්තද කාලය සහ ඉගෙනීම  නිසා අවස්ථාවක් ලැබුනේ නැත. ඉන් පසුව පළමු රැකියාවට හිර වීමෙන් පසුව ඒ වෙනුවෙන් වෙහෙසීමට පවා සිතීමටවත් කාලයක් තිබුනේ නැත. නමුත් තවමත් මම උත්සාහය අතහැර නැත්තෙමි.

පසු කලෙක  මෙම කණ්ඩායම රජරට ප්‍රදේශයේ මහ කැලෑවක ගල් කුළක් බිඳ අඩි තුනක් පමණ දිග වටිනා රන් කඩුවක් සහ මැණික් සහිත නිධානයක් ගොඩගත් බවත් කඩුව විකිනීමට නොහැකි නිසා එහි තුඩින් කොටසක් කපා විකිණු බවද මට දැනගන්නට ලැබුණි. එය ඇසු විට මා හට දැඩි කණගාටුවක් ඇති විය. හිතට ඇති වූ කෝපය නිසා මා ඔහුට බැන වැදුනද එයින් ඇතිවන සෙතක් නැත. අප මේ වනසන්නේ අපගේ පැරණි ශ්‍රී විභූතිය නොවේද.
තවත් නිධානයක් සම්බන්ධ අපුරු කතාවක් ඔහු මා හා පැවසීය. එය තිබී ඇත්තේ රජරට පෙදෙසේය. මෙයට සම්බන්ධ වී ඇති කපුවා වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙකි.  ඔහු සතුව හසල යන්ත්‍ර මන්ත්‍ර දැනුමක් තිබී ඇත. එමගින් වශී කරගත් අවුරුදු 20 ක පමණ යුවතියක් ඔහු හා මෙම දුෂ්කර පෙදෙසේ කටුමැටි ගැසූ නිවසේ ඔහු හා පදිංචිව සිට ඇත. නිධන් හැරීමට ගිය පිරිසද නතර වී ඇත්තේ ඒ නිවසේමය. ගෙය පිහිටි ඉඩමේ සිට තරමක් ඈතින් වූ ස්ථානයක නිධානය ඇති බවට වදුලකින් බලා සහතික කරගෙන ඇති කපුවා ඇතුළු පිරිස නිධානය හැරීමේ කටයුතු දිවා රෑ නොබලා සිදු කරගෙන ගොස් ඇත. පස් හැරීමෙන් සහ ඇදීමෙන් මහන්සි වන මොහු සහ තවත් අයෙකු වරින් වර විඩානිවා ගැනීමට හෝ වතුර ගෙන යාමට කියා අර නිවස කරා පැමිණ ඇති අතර ඔවුන්ගේ විඩා නිවා දීමට අර තරුණියද පැකිලී නොමැත.
අවසානයේ පිරිස අතර ඇති වූ හිත් නොහොඳ සහ අඩි 20 ක් පමණ යටට හැරීමෙන් පසුව මතු වූ ගල් දොරක් කැඩීමට මගක් නොවූ නිසාද එම නිධානය අත්හැර දැමීමට සිදු වූ බව ඔහු පැවසීය. ආසන්නයේ ගම්මාන ඇති නිසා බෝර දැමීමටද මගක්ද තිබී නැත.
එයට එකම විසඳුම ගල් දිය කර දමනා බෙහෙතක් හෝ ලේසර් කැපුම් යන්ත්‍රයක් බව ඔහු කිවේය. නමුත් ඔවුනට එවැනි දේ සොයා ගත නොහැකි වීලු. එවැනි යන්ත්‍ර සුත්‍ර හෝ තාක්ෂනයන් මේ සඳහා යෙදවෙන බව නිකමට හෝ සිතිය හැකිද. එලෙස තමන්ටම කියා එවැනි ලේසර් කැපුම් යන්ත්‍ර තබාගෙන නිධන් හැරීමේ යෙදී සිටින පුද්ගලයින් ලංකාවේ සිටින බවද ඔහු කීවේය. එයින්ම මේ ජාවාරමේ තරම ඔබට සිතා ගත හැකිය.


ඔත්තු සපයන්නා තවමත් නිදල්ලේය. තවත් නිධන් කතා සමගින් යළිත් ඔබ සොයා එන්නෙමි.

Thursday 26 January 2012

වීදියබණ්ඩාර කුමාරයා සහ මළදුගල කන්දේ නිධන් කතා -01

විදියබණ්ඩාර කුමාරයා ගැන අපේ රටේ ජීවත්වෙන බොහෝ දෙනෙක් අහල ඇති. එතුමා බොහොම දක්ෂ රණවිරුවෙක් බව තමයි කියවෙන්නේ. වගේම කෝට්ටේ රාජධානියේ හිටපු සේනාධිනායකයෙක්. මට මතක විදිහට පෘතුග්‍රීසින් යටතේ පඹයෙක් ලෙස ඔටුණු පළඳින ධර්මපාල කුමාරයා කියන්නේ ඔහුගේත් සමුද්‍රා දේවියගේත් වැඩිමහල් පුත් කුමාරයා. සමුද්‍රා දේවිය කියන්නේ හත් වැනි බුවනෙකබාහු රජුගේ දියණි කෙනෙක්. ඇය ඉතාම රූපශ්‍රීයෙන් යුතු වූ කාන්තාවක් බවයි පැවසෙන්නේ.
ධර්මපාල කුමාරයාගේ රාජාභිෂේකයට මොහු විරුද්ධ වීමත් සමග රාජද්‍රෝහියෙකු වශයෙන් පෘතුග්‍රීසීන් අතින් සැළකුම් ලබනවා. එනිසා මොහු කෝට්ටෙන් පලා ගොස් බොහොම අප්‍රසිද්ධියේ පස් දුන් කෝරලයේ පැලැන් නුවර සැඟවී ගන්නවා. එසේ සැඟවීගෙන සේනා සංවිධානය කරගෙන ගොස් පෘතුග්‍රීසීන් හා සටන් වදිනවා. යුධ වැදීම  සඳහා මොහු ඉතා විශාල ප්‍රමාණයේ දිගු කඩුවක් භාවිතා කල බවද සඳහන් වෙනවා. එමෙන්ම මොහු හා මුහුණට මුහුණ සටන් කොට කිසිවෙකුට ජය නොගත හැකි රණවිරුවෙක් ලෙසින්ද මොහු හැඳින්වෙනවා.

අවසානයේ පැවති යුද්ධයකදී මෙම අභීත රණවිරුවා සතුරන්ට කොටු වී ඇති අතර විශාල සියඹලා ගසකට පිටුපා ඉදිරියෙන් පැමිණෙන සියළුම සතුරන් මරුමුවට පත් කිරීමට තරම් මොහු දක්ෂයෙකු වීලු.

මොහු යටත් කර ගැනීම ඉතා අපහසු බව දැනගත් සතුරු සේනාවෙන් දෙදෙනෙක් සියඹලා ගසට පිටුපසින් ගොඩ වී විදියබණ්ඩාර විරුවා සිටින දෙසට ඉහළින් පැමිණ ඔහුගේ හිසට කඩුවෙන් කොටා ඔහු මරුමුවට පත් කරපු බවක් තමයි මම අහල තියෙන්නේ.

මම මේ ෆොටෝ එක ගත්තේ විකියෙන්  මේක දාල තිබ්බේ කැප්පෙට්ටිපොළ මහදිසාවේගේ පින්තුරයක් විදිහට
වීදියබණ්ඩාර කුමාරයා කියන්නේ මම කැමතිම හෙළ රණවිරුවෙක්.  මට ඇත්තටම ඕනේ උනේ එතුමා ගැන සඳහනක් කරන්නම විතරක් නෙමෙයි. ඔහු වටා ගෙතී ඇති කතා සහ ස්ථාන නාම සම්බන්ධව කතා කරන්නයි මගේ මේ වෑයම.

වරක් මෙතුමා යුද්ධයකට යාමට පෙර තම දියණිය ඇතුළු පිරිවර කඳු මුදුනක සුරක්ෂිතව රැඳී සිටින මෙන් පවසා යුද්ධයට පිටත් වී ගොස් ඇත. යුද්ධය දිනුවොත් රතු කොඩියක් ඔසවා ජය ප්‍රකාශ කරන බවටද, පරාජය සුදු කොඩියකින් ප්‍රකාශ කරන බවට කලින් දැනුම් දීමක් සිදු වී ඇත. කෙසේ හෝ යුද්ධය ජය ගැනීමට මොහු සමත් වූවත්  සංඥාකරු අත්වැරැද්දකින් සුදු කොඩියක් ඔසවා වැරදි සංඥාවක් දී තිබුණේලු. වැරැද්ද නිවැරදි කරගන්නා විට බොහෝ පමා වී තැබුණි. ඒ වන විටත් දියණිය ගල් ප්‍රපාතයෙන් පහළට පැන දිවි තොරකරගෙන තිබු බවක් කියවේ. එදා පටන් මේ කන්ද හැඳින්වුයේ "දූ මළ ගල" යන නමින්ලු. කාලයත් සමග භාවිතයේ පහසුවට වෙනස් වූ එය දැන් හැඳින්වෙන්නේ "මළදුගල" නමිනි. කෙසේ නමුත් දෙයාකාරයෙන්ම දෙන අර්ථය එකමය.

මළදුගල කන්ද කියල නම වැටිලා තියෙන කන්ද කිලෝමීටරයක හමාරක පමණ දිගකින් යුක්තව තනි කන්දක් ලෙසින් විහිදී ඇති කන්දක්. කන්දේ  උස සම්බන්ධව පැහැදිළි අදහසක් මට නැතත් ගුගුල් මැප් ආධාරයෙන් බැලුවහම අඩි 810 ක පමණ උපරිම උස ඇති ස්ථානයක් දැක ගන්න පුළුවන්. බැලූ බැල්මට එය ප්‍රදේශයේ පිහිටි උසම කන්දක් කියලනම් කියන්න පුළුවන්. මේ කන්ද අධික බෑවුම් සහිත වන අතර එක පැත්තක පුංචි ලෝකන්තයක් මෙන් තනි කෙලින් වූ බෑවුමක් පහළින් වූ තැනිතලා භුමිය දක්වාම විහිදිලා තියෙනවා. මේ කැලය රක්ෂිතයක් වශයෙන් නම් කරලද කියල මම හරියටම දන්නේ නැහැ, නමුත් කන්ද ආශ්‍රිත වනය මිනිස් ක්‍රියාකාරකම් වලින් තරමක් බැහැරව තරමක් සන්සුන්ව තියෙනවා දකින්න පුළුවන්. ඒකට හේතුව අධික බෑවුමත් කන්දේ මායිම් රජයේ වතු යායකට මායිම් වී ඇති නිසාත් වෙන්න ඕනේ. කඳු මායිම පුද්ගලික ඉඩම් වලට ආසන්නව තිබුනානම් මිනිස්සුන්ගේ ඇවිදින වැටවල් නිසා කන්දේ වපසරිය දවස ගානෙම අඩුවෙන්න ඉඩ තිබුනා. අපි පුංචි කාලේ ආණ්ඩුවේ වතු යායෙන් කැලේට ගිහිං තිබ්බ ඉඩම් කොටසක් කියලා හඳුන්වලා මේ කැලයෙන් ලොකු බිම් ප්‍රමාණයක් එළි පෙහෙළි කරලා රබර් වගාවක් දැම්මා. ඒ කාලෙදිම මිනිස්සුත් පදිංචි වෙන්න පුළුවන් මට්ටමේ ඉඩකඩම් ලොකු ප්‍රමාණයක් බලෙන් එළි කරලා අල්ල ගත්තා. මේ වෙද්දීනම් ඒ ඉඩම් අල්ල ගත්තු මිනිස්සු ඒ ඉඩම් වල නැති උනත් ඒ ඉඩම් වලට බලපත්‍ර හදා ගන්න ඔවුන් සමත්වුණා කියල තමයි මම දන්නේ.
කොහොම උනත් කන්දේ වැඩි බෑවුමක් තියෙන කොටස මිනිස් අතපෙවිමකින් තොරව අදටත් බේරිලා තියෙනවා දකින්න පුළුවන්.


මළදුගල කන්ද ගැන අපි පුංචි කාලේ අපූරු කතාවක් තිබුනා. ඒකෙ පළතුරු වලින් පිරිච්ච පළතුරු වත්තක් තියෙනවලු. ඒකට යන අයට ඕනේ තරම් ගෙඩි කඩාගෙන කෑවත් එකක්වත් අරගෙන එන්න බැරිලු. ඒ වගේම වතාවක් ඔය කන්දේ නැගපු මනුස්සයෙක් ශරීර කෘත්‍ය කරලා තියෙනවා කඳු මුදුනේ. ඊට පස්සේ ආපහු එන්න පිටත් උනාට හැමතිස්සෙම මග වැරදිලා අර අසුචි ගොඩ ගාවටමලු එවෙන්නේ. අන්තිමට මේ මනුස්සයට තේරිලා මේ කරපු වැඩේ නිසා තමයි පාර වරදින්නේ කියලා, අන්තිමට කැලෑ කොළ ටිකක් කඩාගෙන අසුචි ගොඩත් අරගෙන ගෙදර එන්න පිටත් උනාට පස්සෙලු ආපහු එන පාර හොයා ගන්න ලැබිල තියෙන්නේ.


මෙන්න මේ වගේ කතා නිසා මම ගොඩක් ආසාවෙන් හිටියේ මළදුගල කන්ද නගින්න.
වතාවක් අපේ ලොකු මාම එයාගේ කැම්පස් එකේ යාළුවො ටිකක් එක්ක කන්ද නගින්න ආවා, ඒ 1990 දී විතර වගේ. එදා මමත් යන්න හැදුවට මාව යවන්න අම්ම කැමති උනේ නැහැ. ලොකු මාමනම් කැමති උනා මාව එක්කන් යන්න. අන්තිමට උනේ මගේ හීනේ කල්දාන්න මට සිද්ධ වෙච්ච එක තමයි.

මම මුලින්ම මළදුගල කන්ද නැග්ගේ 1993 අවුරුද්දේ. ඒ අපේ ලොකු මාමාත් එයා උගන්වපු ඉස්කෝලෙ ගුරුවරු කීප දෙනෙක් ඇතුළු පිරිසක් එක්ක. එදා මම දැකපු අහඹු සිදුවීමක් අදටත් මගේ මතකයේ රැඳිලා තියෙනවා. ඒ රැහැයියෙක් සම්බන්ධ අමුතු සිද්ධියක්. කන්දේ තියෙන අධික බෑවුම හින්දා ගොඩක් තැන් වලදී පල්ලෙහා තියෙන ගස්වල මුදුන් තියෙන්නේ අපේ මුහුණු මට්ටමේ. අන්න ඒ වගේ වෙලාවක ගහක කොලයක් උඩ ඉන්න පුංචි සතෙක්ව මම දැක්කා. ඌ කෑගහන්න ගත්තම තමයි මම දැනගත්තේ ඒ රැහැයියෙක් කියලා. ඌ කටුක නාදයක් නිකුත් කරන ගමන් උගේ ඇඟ වගේ දහගුණයක් විතර දිගට සිහින් වතුර පාරක් විදිනවා. මේක ඌ නොකඩවාම කලා සැලකිය යුතු වෙලාවක්. ඒ වෙලාවේ එතන හිටපු අයට කතා කරලා මම ඒ සිද්ධිය එයාලටත් පෙන්නුවා.
පස්සේ කාලෙක මම මේ ගැන පරිසරය ගැන හොඳින් දන්නා කියන විශේෂඥයින් කීප දෙනෙකුගෙන්ම අහල බැලුවා. ඒත් ඒ අය මේක පැහැදිළි කරලා දෙන්න සමත් උනේ නැහැ.


ඊට පස්සේ කීප වතාවක්ම මම මළදුගල කන්දට ගිහිං තියෙනවා යාළුවොත් එක්ක. නමුත් අර වගේ දෙයක් දකින්න ලැබුනේ නැහැ. අනිත් එක එදා අහම්බෙන් දැකපු දේ මට මෑතක් වෙනකල් අමතක වෙලා තිබුනේ. ඒ නිසා ඒ ගැන උනන්දුවෙන් හොයල බැලුවෙත් නැහැ. අනිත් එක ඉස්සර අපි කඳු නගින්නේ විනෝදයක් විදිහට මිසක් පරිසරය අධ්‍යනය කරන්න නෙමෙයිනේ. පස්සේ පස්සේ ෆොටෝ උණත් එක්ක එක පාරම කැලෑ උණත් හැදුනට පස්සේ තමයි ඔය සතා සරුපයා ගහ කොළ ගාව ටිකක් නතරවෙලා බලන්න කරන්න ෆොටෝ ගහන්න පටන් ගත්තේ.
ඒ වගේම තමයි මම එදා දැකපු විදිහේ රැහැයියෙක්ව ආපහු වෙන කොහේදී හරි කැලේකදී දකින්න හම්බ උනෙත් නැහැ.
මේ කන්දේ ඉතා වටිනා ජෛව විවිධත්වයක් දකින්න පුළුවන්. සිංහරාජයේ දකින්න පුළුවන් ශාක වර්ග වලින් වැඩි ප්‍රමාණයක් මේ කන්දෙදිත් දකින්න පුළුවන්. මේ තියෙන්නේ ඒ කන්දේ යම් යම් ස්ථාන වලදී මම ගත්තු ජායාරූප කිහිපයක්.







මේ කන්දේ ගල් ගුහාව තියෙන හරියේ ලොකු හුළං කපොල්ලකුත් තියෙනවා. ගල් ගුහාවට බහින්න පාරවල් තුනක් තිබුනත් එක පාරක් තමයි ගොඩක් ලේසි. ඒ පාරට යන්නනම්  මේ කපොල්ල හරහා යන්න ඕනේ. මේ තියෙන්නේ එතන.
මේ කැලේ කොහොල්ල ලාවළු කියල අපි කියන රස පලතුරු ගසුත්, ඇටිකෙසෙල් ගස් එහෙමත් තියෙනවා. අපි ගිය දවස් වලදී නම් ඒවා ඉදිලා තිබුනේ නැහැ. නැත්නම් ඇටිකෙහෙල් කාපු උගුඩුවන්ට වෙච්ච දේම තමයි අපිටත් වෙන්නේ.
මේ කැලේ ලංකාවට අවේනික කළු වඳුරු රංචුවක්, රිළව් රංචුවක්, වල්ඌරෝ, වල් බාවා, කබල්ලෑවා, හඳුන් දිවියා සහ කුරුළු සහ සමනල් වර්ග බොහෝමයකුත් දකින්න පුළුවන්. කබල්ලෑවා, හඳුන් දිවිය වගේ සත්තුන්ව ලේසියෙන් දකින්න බැහැ.
මෙහේ ඉන්න වඳුරෝ, රිළව් එහෙම කවදාවත් ගම්වලට ඇවිත් බවභෝග විනාශ කරලා යන්නේ නැහැ. ඒකට හේතුව කැලේ ඇතුලේ උන්ට උවමනා කරන ආහාර පාන වර්ග තිබීම වෙන්න ඕනේ.


මේ කැලේ මහා විශාල පුස්වැලක් තිබුනා. ඒත් ඒ කාලේ අපි ඒ තරම් ඒ ගැන සැළකුවේ නැහැ. ඊට අවුරුදු ගානකට පස්සේ වතාවක් මම සිංහරාජ වනාන්තරේ බලන්න ගිය වෙලාවක "සිංහරාජයේ යෝධ පුස්වැල" බලන්නත් ගියා. ඊට පස්සේ තමයි මට හිතුනේ මළදුගල කන්දේ තියෙන පුස්වැලේ කඳ සිංහරාජේදී දැකපු යෝධ පුස්වැලේ කඳටත් වැඩිය ලොකුයි නේද කියලා. මම මේ පුස්වැල දැක්කේ 1997 වගේ කාලෙකදී.


කරුමෙක මහත කියන්නේ සිංහරාජයේ යෝධ පුස්වැල වගේම මළදුගල කන්දේ තිබ්බ යෝධ පුස්වලත් දැන් නැහැ. ඒ පුස්වැල් දෙකම මියගොහින්. සිංහරාජයේ පුස්වැල විනාශ උනේ ඒක බලන්න යන මිනිස්සු ඒක උඩ නැගලා, වැලේ නැගල පද්දලා එකඑක අනවශ්‍ය දේවල් කල නිසා කියල තමයි සමහර උදවිය කියන්නේ.  තවත් කට්ටිය කියනවා කාලයාගේ අවෑමෙන් පුස්වැල මැරිලා ගියා කියලා.
නමුත් මළදුගල කන්දේ පුස්වැල විනාශ උනේ නොමිනිස් ක්‍රියාවක අතුරුපලයක්‌‌ නිසා බව මම හොඳටම දන්නවා. පුස්වැල ළඟ තිබ්බ මහ ගහක් කපපු දැවහොරු තමයි ඒකට වග කියන්න ඕනේ. ගහ කැපුවට පස්සේ එක්කෝ වැලත් කඩාගෙන ඒ ගහ පහළට වැටිලා තියෙනවා. එහෙම නැත්නම් ඒ වැල උඩ රැඳිලා තියෙන්න ඇත්තේ ඒ ගහේ. කොහොම හරි අවුරුදු කීපයක් ඇතුලත ඒ යෝධ පුස්වැල හිමීට මියයන හැටි මගේ ඇස්දෙකෙන්ම දැකගන්න තරම් මට අවාසනාව තිබුනා.
මම අන්තිමට කන්දට නැග්ගේ 2007 අවුරුද්දේ, ඒ වෙද්දී පුස්වැල අන්තිම ගමන ගිහිං ඉවරයි.


මේ කන්ද ආශ්‍රිත කැලේ ප්‍රාථමික වනයක් කියල මට හිතෙනවා, නමුත් ඒ ආශ්‍රිතව තාම කිසිම පර්යේෂණයක් සිදු වෙලා නැහැ.
90 දශකයේ අග භාගයේදී මේ කන්දේ රූපවාහිනී සංඥා කුළුණක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ උනා. ඒ හරියටම විදියබණ්ඩාර කතාවේ එන කුමරිය පැන්නායයි කියන ස්ථානය කිට්ටුව. ඒකෙ වැඩකටයුතු බොහෝ මන්දගාමිව තමයි කෙරීගෙන ගියේ. කණුවේ වැඩ ඉවර උනත් අන්තිමට විදුලි බලය ගන්න විදිහක් නැහැ කියලා වැඩේ කල් දදා තමයි තිබුනේ. දැන් අවුරුදු 15 ටත් වඩා වැඩි කාලයක් ගියත් ඒ කණුව අදටත් ඒ විදිහටම තියෙනවා.


බළලා මල්ලෙන් එළියට පැන්නේ කණුවේ වැඩකටයුතු ඉවරවෙලත් ටික කාලයක් ගියාට පස්සේ. මෙතන තිබ්බ නිධානයක් ගන්න ඕනේ කරන වැඩකටයුතු ටික කුළුණ හදන මුවාවෙන් කලා කියල තමයි  ගමේමිනිස්සුන්ගේ කටින් කට කියවුනේ. අන්තිමට කිසිම වැඩකට නැති කුළුණක් ඒ කන්ද මුදුනේ ඉතුරු වෙච්ච එක විතරයි උනේ.
මේ කන්දේ සහ ඒ ආශ්‍රිතව එක නිධානයක් විතරක් නෙමෙයි නිධන් කිහිපයක් තියෙන බව මම අහල තියෙනවා විතරක් නෙමෙයි සැලකිය යුතු ප්‍රමාණයක් කරුණුත් දන්නවා.


කන්දේ පන්සලේ වැඩවාසය කරපු වයසක ලොකු හාමුදුරුවෝ මේ කන්දේ තියෙන නිධන් ටික හොරුන්ගෙන් රැකගන්න ලොකු වෙහෙසක් අරගෙන තිබුනා. ගල්ගුහාව ඇතුලේ තියෙන උමං මගේ දිගේ ඇතුලට යන්න බැරිවෙන්න ගල් සහ මැටි වලින් හොඳට අහුරලා වහල දාල තිබුනා මට මතකයි.  මේ කියන උමං මග විදියබණ්ඩාර කුමාරයා භාවිතකල බවක් තමයි කියවෙන්නේ.
ඒ හාමුදුරුවෝ මේ මහා මුකලානේ තිබ්බ පරණ පන්සලේ දශක ගණනාවක් වැඩ වාසය කරලා කලේ ලොකු සේවයක්.
නමුත් උන්වහන්සේගේ ජිවිතයේ අවසාන භාගයේ හෝ එතුමා ජිවිතයෙන් සමුගත් අළුතම වගේ උන් වහන්සේ විසින් හොරුන්ගෙන් ප්‍රවේසම් කරගත් එක් නිධානයක් මෙසේ මංකොල්ල කා ගත්තා.


මම සාමාන්‍යයෙන් පන්සල් යන්න කැමති නැහැ, ඒත් කන්දේ පන්සල් යන්න මම පුංචි කාලේ ඉඳලා හරිම කැමතියි. කිසිම මනුස්ස පරාණයක් දකින්න නැති බොහොම අල්පේච්ච බවක් පේන කැලෑවෙන් වටවෙලා තියෙන ඒ පන්සලට ගිහින් ලබන්න පුළුවන් සුවය මොන තරමක්ද කියල වචන වලින් කියන්න බැහැ. මිනිස්සුන්ගෙන් පිරිච්ච සද්ද බද්ද වැඩි ලොකු පන්සලකින් ඒ සුවය කවදාවත් විඳින්න බැහැ. අදටත් ඒ පන්සලේ හාමුදුරු නමක් නැහැ. ගමේ මනුස්සයෙක් පන්සල බලාකියා ගන්නවා. නමුත් මම අදත් යන්න කැමතිම පන්සල තමයි ඒ.


මළදුගල කන්ද හා ඒ ආශ්‍රිත තවත් නිධන් කතා සමගින් නැවත හමුවෙමු....



අපේ අසරණයා කියල තිබුණනේ ඇටි කෙසෙල් සහ වල්බාවා කියන සතාව දන්නේ නැහැ කියලා. බ්ලොගර් මහත්තයාගේ නොපෙනත්කම මගඅරවාගෙන වෙන විදිහකට හරි අමාරුවෙන් තමයි මේ ෆොටෝ දෙක දැම්මේ.
ඇටි කෙසෙල්
වල්බාවා / වල් බළලා - Jungle Cat