Showing posts with label අමතක නොවන මතක.... Show all posts
Showing posts with label අමතක නොවන මතක.... Show all posts

Sunday, 28 February 2016

කුරුපොඩි ඇල්ල මැද නිධානය...

2013 අවුරුද්දේ වෙසක් පෝය යෙදිලා තිබුනේ 23 වෙනි සිකුරාදා. දවස් තුනේ නිවාඩුව අල්ලලා කොහේ හරි යන්න හිතාගෙන හිටිපු නිසා වාහනේ හදන්න තිබ්බ ගොඩක් අඩුපාඩු හදන්නය කියල මම ඒ දවස්වල “හැමදාම වගේ”යන ගරාජ් එකක් වෙච්ච හුණුපිටියේ තියෙන එරංගගේ ගරාජ් එකට වාහනේ දැම්මේ 23 වෙනිදා පාන්දරින්. වාහනේ හදන්න දාල මම ආපහු වැඩට ආවේ හවස් අතේ අපේ රියදුරු මහත්තැන් කෙනෙක් යවලා වාහනේ ගෙන්න ගන්න බලාපොරොත්තුවෙන්.
හවස 04:00 විතර වෙද්දී වැඩ ඉවර බවත්, වාහනේ ගෙනියන්න එවන්න කියල මට කෝල් එකක් ආවා. අපේ රියදුරු සහ ඔපරේටර් වෙච්ච කරූව තමයි වාහනේ ගේන්න පිටත් කලේ. මිනිහට JCB, Excavator, Tower crane, Crawler crane, mobile crane, Light vehicle, Heavy vehicle, ගල් රෝල්, බොබ් කැට් ආදී එකී නොකී හැම දෙයක්ම ඔපරේට් කරන්නත් ඕනෙම වාහනයක් එළවන්නත් පුළුවන්. ඔන්න ඉතින් මිනිහ ගිහින් ගෙවන්න තිබ්බ බරපතල බිලත් ගෙවල ඉවරයක් වෙලා වාහනේ අරගෙන ඇවිත් තිබ්බා. වාහනේ සයිට් එකට ගේද්දී ඕනෙනම් වෙලාව හවස 05:30 ට වගේ ඇති.

හදල ගෙනාව කිව්වට මම ඉතින් ආයේ ඕක බලන්න ගියේ නැහැ, සුපුරුදු පරිදි රෑ 07:00 ට ඕෆ් වෙලා ගෙදර යන්න පිටත් උනා. අපේ සයිට් එකේ ඉඳලා ගෙදරට යන්න තියෙන්නේ කිලෝමීටර 6 ක් වගේ දුරක්. එදා පාරේ වාහන සෑහෙන වැඩි දවසක්. ගෙදරට යන කිලෝමීටර 6 න් ඕනෙනම් 4 ක් යන්න ඇති. චටස් පටස් වගේ අමුත් සද්ද බද්ද ටිකක් ඇහෙන්න ගත්තා එන්ජිම දිහාවෙන්. තව ටික වෙලාවකින් මොකක් හරි යකඩයක් එකට ඇතිල්ලෙන සද්දයක්.
මේ එක්කම වාහනේ බ්රේක් නැති උනා, පවර් ස්ටියරින් නැති උනා, ඔය වගේ වෙන්න ඕනේ දේවල් ගොඩක් සිද්ධ උනා. ඒ වෙලාවේ මම ආවේ කොළඹ තියෙන අතුරු පාරක, ටිකක් ඉඩ තියෙන තැනකට එනකල් මුළු ඇඟේ හයියෙන් එහෙට මෙහෙට කපකපා මුළු බරම දාල බ්රේක් ගහගෙන ඇවිත් ඉඩ තියෙන තැනක වාහනේ නතර කරගෙන ගරාජ් එකට කෝල් කලා. ඌ කිව්ව විදිහට මට කරදරයක් නැතුව ගෙදරට යා ගන්න පුළුවන්ලු. ඒත් බ්‍රේක් පවර් ස්ටියරින් වැඩ කරන්නේ නැති වාහනේක ඉතුරු කිලෝමීටර් දෙකට ආසන්න දුර යන එක ගැන කොළඹ ට්‍රැෆික් ගැන දන්න කෙනෙකුට තේරෙයි. ආසිරි හොපිටල් එක හරහා නාවලට යන පාරේ ඒ වගේ වෙලාවට යන එක මොන තරම් ලේසි පහසු වැඩක්ද කියලා හිතා ගන්නකො.
මේ තියෙන්නේ ඒ ගමන ගිය වාහනේ, දැන් මගේ ළඟ නැහැ. මට සෑහෙන උදව් වගේම කරදර දීපු වාහනයක්.
හැබැයි දැන් ජපන් වාහන පදිද්දී තියෙනවා මේ වාහනේ පදිද්දී තිබ්බ පහසුව ඒවයේ නැහැනේ කියලා
කොහොමහරි හෙණ ගේමක් දීගෙන ගෙදරට ගිහින් ආපහු ගරාජ් එකේ එරංගට කෝල් කලා, දැන් මුකුත් කරන්න බැරි බවත් හෙට මොනවා හරි කරමු කියන උත්තරේ එක්ක අපි දෙන්නගේ ගමේ යන සිහිනය බොඳ උනා. ඒ වෙද්දී අපේ පොඩි එකා හම්බ වෙන්න තව මාසයක් වගේ තිබ්බ නිසා ගොඩක් දුර යන්න මගෙනම් ඒ තරම් කැමැත්තක් තිබුනේ නැහැ.
පහුවෙනිදා උදේ 08:00 ට විතර එරංග ආවා මිනිහගේ හොඳ ගෝලයෙක් එක්ක, මම කිව්ව විස්තර වලට මිනිහ දැනගෙන තියෙනවා කුඩු උනේ මොනවද කියන එක. එදා අළුත් බඩු ගන්න තැනක් නැති නිසා ගරාජ් එකට දාපු වාහනේක ඩ්‍රයිව් බෙල්ට් එකයි, බෙල්ට් ඇජෙස්ටර් එකයි එරංග ගලවගෙනම ඇවිත් තිබුනා. කලින් දවසේ හවස මිනිහගෙන්ම දාපු බෙල්ට් එක කැඩිලා එතනින් වෙච්ච හානියක් නිසා එතැනින්ම දාපු අළුත්ම බෙල්ට් ඇජෙස්ටර් එකත් කුඩු වෙලා. එක්කෝ ඒකෙ අනිත් පැත්ත. පැයක් හමාරක් විතර යද්දී වැඩේ ඉවර උනා. එරංග ආපහු සල්ලි ගත්තේ නැහැ, ගෝලයට කීයක් හරි දෙන්න කිව්වා එච්චරයි.
අපේ ගමන් බිමන් කැන්සල්, පරක්කු වෙච්ච නිසා එයාට ගමේ යන්න එන්න බැහැ කිව්වා. හාමිනේව එක්කගෙන ගිහින් එයාලගේ ගෙදර නතර කරලා මම තනිවම් පිටත් උනා ගමේ යන්න. ඒ වෙද්දී අපේ කොළුවා හම්බ වෙන්න තව තිබ්බේ මාසයක් වගේ, ඒ නිසා කොළඹින් පිට යනවට වඩා එයා කොළඹ ඉන්න එක හොඳ බව තමයි කොහොමත් මගේ අදහස වෙලා තිබුනේ.

කොහොමහරි එදා ගමට යද්දී දවල් දෙක වගේ වෙලා තිබුනා, ගමේ යාළුවා වෙච්ච එරංගල ගෙ නැතිවෙච්ච නංගිව සිහි කරලා හැම අවුරුද්දෙම දෙන බෙලි මල් දන්සල එදත් තිබුනා. මම යද්දී  අන්තිම හරිය උනාට ගමේ යාළුවො ඔක්කොම වගේ එතන. එතනදී මාත් එක්ක කතා කරපු නිලන්ත කිව්වා මචං අපි මාකෙළිය දිහාවේ කැලේ ඇතුළේ ගස් වගයක් පෙරලනවා JCB එකෙන්. ඒ ඉඩම තියෙන්නේ ගඟ අයිනෙම, මරු ඉඩම. ලොකු ගස් ගැලෙව්වට පස්සේ ඒ ඉඩම් ගොඩක් අඩුවට ගන්න පුළුවන්, ඕනෙනම් අක්කරයක් රුපියක් පණස් දාහකට වගේ ගන්න පුළුවන් වෙයි. හෙට යමුද බලන්න කියල ඇහුවා. ඔන්න දැන් වැඩේ ස්ථිරයි.
ඉතින් පහුවෙනිදා උදේ මම නිලන්ත, එරංග , පොඩි ජනක හතර දෙනාත් එක්ක වාහනේට ගොඩවෙලා මේ කියන දිහාව බලන්න යන්න පිටත් උනා. මාකෙලි ඇල්ල පහුකරගෙන ගිහින්, ඔය කුකුලේ ජල විදුලි බලාගාරයේ කේබල් රුම් එක තියෙන තැන පහු කරනකොටම වගේ වම් අත පැත්තට තියෙනවා උඩහට පාරක්. ඒ පාර පටන් ගැන්මේ ඉඳලම දුෂ්කරයි. අනාදිමත් කාලෙක දාපු තාර ගැලවිලා ගිහින්.

ඔහොම ටිකක් දුර ගියාම පොඩි පල්ලමක් එක්ක පාර දෙපැත්තකට බෙදෙනවා. එතනින් අපි යන්න ඕනේ දකුණු පැත්තට කියල කිව්වේ නිලන්ත. ඒ පැත්තට හරවන්න යද්දී දඩ බඩ ගාල වාහනේ යට වැදුනා. ඒත් පසුබට නොවී තව ඕනෙනම් මීටර සීයක් ඉස්සරහට යන්න ඇති යට වැදී වැදී. දැන් පාරේ තණකොළ වැවිච්ච අයින ඇරෙන්න පාර හරියටම වාහනේ පළලට වඩා බොහොම පොඩ්ඩයි තියෙන්නේ. පාරේ ඉස්සරහ කොටස පොඩි පල්ලමක්, ඒ පල්ලමේ වාහනයක් යන්න හිතන්නවත් බැහැ. අපි බැස්සත් අපෙන් බාගයක් වැහෙන තරම් ලොකු කාණුවක් පාර පුරා. දැන් කට්ටියගෙන් නිලන්තට බැනුම් පුරෝලා, තෝ කිව්වේ එතනටම යන්න පුළුවන් කියලනේ, දැන් බලපන් මේකේ යන්නේ කොහොමද කියලා.
එතන ඉඳල හෙණ ගේමක් දීගෙන වාහනේ විසි තිස් වතාවක් එක තැන කප කප හරව ගත්තා, ආපු පාරේ හැටියට රිවස් කරන්නත් බැහැ. එහෙම ගිහින් පාරෙන් ටිකක් ඇතුළකට වෙන්න තිබ්බ ගෙදරක මිදුලකට වාහනේ දාල ඒකෙ තිබ්බ අඩුම කුඩුම ටික අතින් පයින් එල්ලගෙන ගමන පිටත් උනා. යනවා යනවා ඉවරයක් නැහැ. ඉස්සරහට යන හැම අඩියක් ගානෙම අපි නිලන්තව පතුරු ගහනවා. ඔහොම ගිහින් දොළ පාරකින් එගොඩ උනා. මේ පහලින් තියෙන්නේ ඒක. 

මේ තියෙන්නේ ඊළඟට එගොඩ වෙච්ච දොළ පාර. 

ඔය විදිහට අපි කඳු නැගගෙන පල්ලම් බැහැගෙන නිලන්ත පස්සෙන් යනවා. එක හරියක් පහු කරද්දී ගමේ මිනිස්සු එකතුවෙලා ශ්‍රමදානයක් දාගෙන පාර අයිනේ කැලේ එළි කරලා කාණු ගොඩ දානවා. තව හරියක් පහු කරද්දී මිනිස්සු කීප දෙනෙක් තේ වවන්න ඉඩමක් හදනවා. ඔහොම ඔහොම ගිහින් අපි කිලෝමීටර හතරක් හෝ පහක් වෙන්න යන්න ඇති. අන්තිමට අපි සේන්දු උනා පාර ඉවරයි වගේ පේන හරියකට. ඒ කෙළවරේ කටුමැටි ගහපු පොඩි ගෙයක් තියෙන බව ඈතට උනත් පේනවා. අපි ඉස්සරහට එනවා තරුණ ජෝඩුවක් සහ තරමක වයසක මනුස්සයෙක්. තරුණ ජෝඩුව එක්ක ආගිය කතා කරපු නිලන්ත යන්නේ කොහෙද කින්ද මන්ද කියල ඇහුවම අර මනුස්සයාගේ උත්තරේ උනේ මතුගං යන්න කියල යන ගමන් කියල කිව්වා. අපි ආපු කාරණේ කිව්වම යන්න ගියපු ගමන පැත්තක දාල ඒ ජෝඩුව ආපහු හැරුනා. අර මැටි ගෙදර තමයි ඒ තරුණ ජෝඩුවගේ ගෙදර. අපි ඒ ගෙදරට ගිහින් වතුර ටිකක් කාරිය බීලා, බුලත් විටක් එහෙම කාල වටපිටාව බලබල ඉන්න ගමන් තමයි දැක්කේ අර ජෝඩුව එක්ක මගදී මුලිච්චි වෙලා ගමනක් යන්න ගිය වයසක උන්දැත් ගමන පැත්තක දාල එහෙම්මම නතර වෙලාය කියල. මේ ගමේ නම ගෙඳගල. ගොඩක් පුරාණ ගම්මානයක්. ඒ වැඩිහිටියා ගමේ පුරාණය ගැන කතන්දර කීපයක් එහෙමත් කිව්වා. සුද්දන්ට බයේ ඇවිත් හැංගිච්ච මිනිස්සුන්ගෙන් මේ ගම ආරම්භ වෙච්ච බවකුත් කියවුනා වගේ තමයි මතක.

අර කියපු ඉඩම ගැන විස්තර ඇහුවම, ඒ මිනිස්සු කියනවා, ඒ අයිතිකාරයි මෙහෙ නෙමෙයි ඉන්නේ ගවරගිරියටත් එහානේ. ආපහු කියනවා නෑ නෑ එයා නොවෙයි අයිති කාරයා, අරයා කියලා. ඕකෙන් මේකෙන් අපිට තේරුණා මේ වැඩේ හරි යන්නේ නැහැ. නිලන්ත මේ ගමන ලැස්ති කරගෙන තියෙන්නේ එදා වේල ශේප් කර ගන්නය කියන එක අපිට පැහැදිලි උනා. මොකද ඌ හැමදාම හංදියේ බාර් එක ගාව ඉඳගෙන අතේ සතේ නැතුවත් හොඳට පදම් වෙන්න දන්න එකා වෙච්චි. දැන් ඉතින් ආපු එකේ කොයිකටත් කියල ඉඩමත් පොඩ්ඩක් බලාකියාගෙන ගෙනාපු බෝතල් දෙකත් හිස් කරලා දාල යමුය කියලා හිතාගෙන ඉඩම තියෙන දිහාට යන්න පිටත් උනා.
ඒ ගෙදර ඉස්සරහ තිබුනා මහ විශාල වල්ලපට්ට ගහක්. එදා තමයි මම ඒ ගහ වල්ලපට්ටය කියල අඳුර ගත්තේ. හැබැයි අදටත් මට ඕක අඳුර ගන්න බැහැ, ටැපලෙනවා. මේ කියන කාලේ වල්ලපට්ට උන්මාදේ මහා විශාලෙට පැතිරීගෙන ගිහින් නැති අවධියක් නිසාද කොහෙද ඒ ගහ ඉතුරුවෙලා තිබුනා.

නිලන්තගේ යාළුවට කියලා වීදුරු දෙකකුත් ඉල්ලගෙන, යාළුවත් එක්කම පල්ලම් බහින්න පටන් ගත්තා. අර වයසක උන්දැත් දැන් ඔන්න අපේ පස්සේ. නිලන්ත JCB එකෙන් ගස් පෙරළන්න ගියා කියපු කැලේ මැද්දෙන් කපපු අලුත් පාරක් වගේ එකක් දිගේ තමයි දැන් අපි යන්නේ. ඒකෙ JCB එකක් කොහොම ගියාද කියල හිතා ගන්න බැහැ, අපි ගියෙත් බඩ ගාගෙන වගේ. JCB එක ඉස්සරහ බකට් එක බිම තියාගෙන පස්සේ බකට් එකෙන් ඇද ඇද ලු පහළට බැස්සේ. අළුත කපපු ගස් වල පොතු පට්ට බිම තියෙන නිසා හොඳට ලිස්සනවා, පයින් යන එක ගොඩක් අමාරු උනා. ටික වෙලාවකින් ඈතින් දිය ඇල්ලක් පේන්න ගත්තා. මේ හරියේ කූඩැල්ලෝ ගමකට. 

ඔහොම ගිනින් නිලන්තලා ගස් පෙරලද්දී හිටපු වාඩියට අපි ගොඩ උනා. පොලෝ මට්ටමෙන් අඟල් හයක් හතක් උඩින් තිබ්බත් වැස්ස නිසා වාඩියේ බිම විදිහට තිබ්බ ලෑලි තෙත් ගැහිලා. ඒ මදිවට එතනත් කූඩැල්ලෝ. එතනින් පොඩ්ඩක් එහායින් තමයි අර දිය ඇල්ල වැටෙන්නේ. ඒක වැටෙන්නේ ගඟකට. මට මැප් එකකවත් ඒ හරිය කොහෙද තියෙන්නේ කියල තාම හිතා ගන්න බැහැ. ඒ ගඟ කුකුළේ ගඟ කියල තමයි මට මතක. නමුත් කුකුළේ ගඟට වැටෙන අතු ගංගාවක් වෙන්නත් බැරි නැහැ. දිය අල්ලේ නම කුරුපොඩි ඇල්ල. එදාමයි මම ඒ වගේ දිය ඇල්ලක් ගැන ඇහුවේ. මේ තියෙන්නේ කුරුපොඩි ඇල්ල තරමක් ළඟ ඉඳල ගත්තු එකක්. මේ තැන පුදුම ලස්සනක් තියෙන්නේ. මේ ඔක්කොම ෆොටෝ ගත්තේ නොකියා E71 ෆෝන් එකකින්, ඒ නිසා තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. 
මෙතන උස අඩුයි වගේ පෙනුනට මේ දිය ඇල්ල සැළකිය යුතු උසක් තියෙන එකක්...
මේ ගමන වගේම නිලන්ත එක්ක ගියපු වෙලාවක අමුතු නමක් තියෙන තවත් දිය ඇල්ලක් හම්බ වෙලා තියෙනවා, ඒ කහබත් ඇල්ල. ඒකෙනම් ෆොටෝ තියෙනවද කියලත් ෂුවර් නැහැ.
අන්තිමට අපි තීරණය කලා වාඩියේ ඉන්නේ නැතුව ගඟ මැද්දේ තියෙන ගල් තලාවකට ගොඩ වෙන්න. නිලන්තගේ යාළුවා ගෙදරින් එන ගමන් එයාගේ නෝනා මහත්තයට කතා කරලා “අර ඊයේ රෑ වියපු ඉත්තෑ මස් ඉතුරු තිබ්බා නේද, අන්න ඒ ටික අපිට දෙන්න” කියලා ඒකත් අරගෙන ගියේ කටගැස්ම විදිහට. ගඟේ වතුර වලින් කලවම් වෙන ඕල්ඩ් කෙග් එකකින් බාගයක් විතර ඉවර වෙද්දී අපි එක්කම ගඟේ බැහැල උන්නු අර අංකල් ට අපි කතා කරා පොඩ්ඩක් ගන්න එන්න කියලා, එක පාරෙන් වීදුරුව පුරෝලා කාලකට වග කිව්වා.

නාන්න ලැස්ති වෙලා ආවේ නැති උනාට මේ වතුර ටික දැක්කම නාන්නේ නැතුව ඉන්න අපිට බැරි උනා. නාන ගමන් ගල් තලාවට ගොඩ වෙලා පොඩ්ඩක් සප්පායම් වෙන ගමන් අර අන්කලුයි, නිලන්තගේ යාළුවයි එක එක කතන්දර කියන්න ගත්තා. වෙසක් පෝය දවසේ ඉත්තෑ මස් කොයින්ද ඇහුවම ඒකගේ උත්තරේ උනේ කලින් තිබ්බ උගුලකට අහුවෙලා ඉඳලා මන්ද තියපු එකා අරගෙන ඇවිත් තිබුනා. පෝය කියල නිකං හිටියොත් මස් නරක් වෙන නිසා එදාම සුද්ද කරලා ගමේ මිනිස්සු අතරේ බෙදා ගත්තාය කියලා.
ඒ අස්සේ කොහෙද මන්ද ඉඳල අන්කල් කාරයාගේ යාළුවෙක් මතු උනා. හැබැයි මිනිහ මතු උනේ නිකං නෙමෙයි මෙගා බෝතලයක් පුරෝලා කිතුල් රාත් අරගෙන. මිනිහත් ඇවිත් දැන් අපිට එක්කාසු වෙලා අපිට අර රා ටික බොන්න කියලා ඕල්ඩ් කෙග් එකට කෙලින්න පටන් ගත්තා. ඔය අලුත් බාපු රා තියෙනවනේ, අපි ඕවට ඒ තරම් මනාප නැහැ, ඒකට හේතුව නිකං බඩ පිරෙනවා මිසක් වැඩක් නැති වීම නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි.
කොහොමහරි මේ වයසක උන්දලා දෙන්න පදමට ආවට පස්සේ අර කුරුපොඩි ඇල්ලේ අතරමැද තියෙන නිධානයක් ගැන කියවන්න ගත්තා. එතන දුරට පේන මොකක්ද සළකුණක් තියෙනවා කියල කිව්වම එහෙම මොකක්ද එකක් තියෙන බව අපිත් දැක්කා. හැබැයි එතන තියෙන්නේ මොනවද කියල කියපු ඒවා ගැන මට දැන් මතක නැහැ. ඒ වගේම ඒ ලිස්සන ගල දිගේ නැගල ලඟට ගිහින් ඒක බලන්න ගිහින් බෙල්ල කඩා ගැනීමේ උවමනාවක් අපි කාටවත් ඒ වෙලාවේ ආවේ නැත්තේ හොඳ වෙලාවට. බෝතල් දෙකයි රා ටිකයි බීල ඉවර වෙද්දී හැමෝම වගේ හිටියේ හොඳ පදමක. විශේෂයෙන් අර මුල ඉඳලම අපි එක්ක ඉඳපු අංකල්.

අත පත ගාගෙන ආපහු අර බණ්ඩක්ක වගේ ලිස්සන පාර දිගේ ඇවිත් නිලන්තගේ යාළුවගේ ගෙවල් ගාවට ආවට පස්සේ එහෙන් බත් ඩිංගක් කාල යමු කියල ලොකු පෙරැත්තයක් ආව. ඒ වෙද්දී වෙලාව දවල් 01:00 පහු වෙලාද කොහෙද තිබ්බේ. කොහොම හරි අපි එන්න පරක්කු වෙද්දී නිලන්තගේ මිත්‍රයාගේ හාමිනේ බත් හදල ඉවරයි. ආයේ පෙරැත්ත කරන්න දෙයක් නැහැ ඒ වෙලාවේ තිබ්බ බඩගින්නේ හැටියට.
ලොකු දේවල් හදල තිබුනේ නැහැ, ඒ වෙලාවෙම කඩා ගත්තු කොච්චි දාලා පොල් සම්බලයක් විතරයි හදල තිබුනේ බත් කන්න. හැමෝම බත් පිඟන් දෙක ගානේ වග කිව්වා හායි හූයි ගගා. ඒ තරම් රහයි.

බත් කාල අපහු බුලත් විටක් එහෙම කාල, මිත්‍රයගෙන් සමු අරගෙන වාහනේ නතර කරලා තිබ්බ තැනට එද්දී ආපහු දාඩියෙන් පෙඟිලා ඉවරයි. ඉඩමක් බලන්න ගිහින් නිධානයක් හංගගෙන ඉන්න දිය ඇල්ලක් බලාගෙන ආපු ගමන හවස තුනහමාර හතර වගේ වෙද්දී අපේ ගමට ආවට පස්සේ නිමා උනා.

Saturday, 30 January 2016

කළු කොටියාගෙන් මාදෙයියාවට...

කරන්නට හරි හමන් වැඩක් නැතුව ඉපිසියට වෙලා හිටපු දවස් ටිකේ කලෙත් අනිත් බ්ලොග් වලට කමෙන්ට් කොටපු එක. එහෙම නැත්නම් මුණු පොතේ ලැගගෙන ඉඳපු එක. පස්සෙන් පහු දැඩි තීරණයක් ගත්තා හැමදාම නෙට් යද්දී ඉබේම ඕපන් වෙන මුණු පොතේ ලින්ක් එක අහක් කරලා දානවා කියලා. ඒත් කොහෙද, සැරින් සැරේ ගිහින් එබිලා බලලා එන්න හිතෙනවා.
කරුමෙට කකුල් හතරයි කියන්නැහේ එක පාරටම අම්මබානක බිසී වෙන්නත් සිද්ධ වෙච්ච නිසා බාගයක් තියලා තිබ්බ මේ පෝස්ට් එකේ ඉතුරු ටික ලියන එක එන්න එන්නම කල් දාන්න සිද්ධ උනා. ආපහු ඉඩවරක් ලැබෙන විනාඩි දහයෙන් පහළවෙන් තමයි පෝස්ට් එක ටිකෙන් ටික ලියලා එකලාසයක් කර ගන්න සිද්ධ වෙන්නේ. වෙලාව තිබුනත් හැම තිස්සෙම මගේ මෙසේ ගාව කැරකෙන සහ මාව මුණ ගැහෙන්න එන එව්වෝ එන්නේ මම ඉන්න තැනට පිටිපස්සෙන් නිසා මගේ මොනිටරේට රබර් ඇස් වදිනවා වැඩියි. ඒ නිසා නිදහස් වෙලාවක් තිබුනත් කවුරුවත් මගේ මොනිටරේ අහලක නැති වෙලාවට තමයි මට මොනවා හරි ලියන්න සිද්ධ වෙන්නේ. හරි දැන් ඉතින් කතාවට යමු.

ඔන්න ඉතින් මම කලින් හිතාගෙන හිටපු විදිහටම සහ කලින් කළු කොටියා ගැන කියපු පෝස්ට් එකේ කියපු විදිහටම 2014 අගෝස්තු මාසේ තිබ්බ මහ මැතිවරණ  නිවාඩුවට ගමේ ගියා, කලින් වතාවේ වගේම වයිෆ්ට ඡන්දේ තිබුනේ කොළඹ. මට ගමේ. ඒ නිසා මම ගියේ තනියම. ඒ දවස් වල ළඟ තිබ්බ වාහනෙත් විකුණලා නිසා බස් වල, ටැක්සි වල තමයි ගමන බිමන. එදා හවස් වරුවේ බස් වල යන්න බැරි මට්ටමට සෙනග වැඩි බවක් තේරිච්ච නිසා බජට් ටැක්සි එකක යන්න හිතාගෙන හිටියත් ඒ ගැටළුවට හොඳ විසඳුමක් ලැබුණා. අපේ කමියා ගාල්ලේ යනවා කියපු නිසා මමත් ඌ එක්ක එල්ලිලා ගමේ යන්න කියල පිටත් උනා. හයිවේ එකට දාල ටික දුර යද්දී තමයි මතක් උනේ දොඩම්ගොඩින් එළියට බැහැල කමිය මාව හැලුවට පස්සේ ඉතුරු ටික යන්න වෙන්නේ බස් එකේ නේද කියලා. කොළඹින් බස් එකේ සෙනග වැඩියි වගේම ඒ හරියෙදිත් බස් වල සෙනගනේ. ඒ නිසා ගමේ යාළුවෙකුට වහාම මාව අරගෙන යන්න එන්න කියලා පණිවිඩේ දුන්නා. ඒත් කමි මට කිව්වේ කමක් නැහැ මාව ගෙදරටම දාල එන්නම් කියලා. ඒ ගමන දුර වැඩියි. මාව දාන්න ගියොත් කමියට ගෙදර යන්න වෙන්නේ යක්කු ගස් නගින ජාමේ. ආගිය කතා කතා කර කර ගිහින් වැඩි වෙලාවක් යන්න කලින් අපි දෙන්නා දොඩම්ගොඩ එක්සිට් එකෙන් එළියටත් ආවා. මාව එතනින් හලපු කමියා ආපහු හයිවේ එකට එන්ටර් වෙලා ගාල්ලේ යන්න පිටත් උනා. ඒ වෙද්දී මාව එක්ක යන්න ආපු ත්‍රිවිල් මිත්‍රයත් ඇවිත් උන්නේ.

ඔන්න අපි දෙන්න දැන් ගම්පියස බලා පිටත් වෙනවා. ගෙදර කිව්වට ගෙදර යන්න කලින් යන්න තියෙන ගමන් කීපයක් ගිහින්ම ගෙදර යන්නයි මම හිතාගෙන හිටියේ. මම එදා ගමේ එන බව ආරංචිය අහපු මගේ රථාචාරියෝ දෙන්න මම එනකල් මග බලාගෙන ඉන්නවා කියන පණිවිඩේ මම කොළඹින් පිටත් වෙන්න කලින්ම මට දැනුම් දීලයි තිබුනේ. මගේ ප්‍රමාදය නිසා දෙන්නත් එක්ක ලත්පඳුර හන්දියේ බාර් එකට ගිහින් පොඩ්ඩක් අනුමත වෙලා තිබුනා. මම යන්නත් කලින් දෙන්නගෙන් එකෙකුට ටිකක් වැඩිවෙලා බස් එකක නැගලා ගෙදර ගිහින් තිබුනා. අනිකා තමයි උගේ වාහනෙත් පාක් කරන්න අරගෙන ගිහින් තිබුනේ. ගෙදර ගිහින් තිබුනේ අජිත්, මම එනකල් බලාගෙන හිටියේ චානක. චානක එක්ක පොඩි චැටක් දාගෙන ඉඳලා වාහනේ හදන්න තියෙන ඒවා හොයල බලලා ඌවත් වාහනේ එක්කම පිටත් කරලා, හන්දියේ ඉන්න යාළු මිත්‍රයෝ එහෙමත් මුණ ගැහිලා ගෙදර යනකොට ටිකක් රෑ උනා. ඒ අතරේ වෙච්ච දේවල් කියන්න දෙයක් නැහැනේ. ඔව් ඔව් එහෙම තමයි උනේ. ගමේ ගියාම ගමේ යාළුවො ආස්සරය කරන්නත් එපැයි.

පහුවෙනිදා පස්ස පැත්තට අව්ව වැටෙනකල් හිතේ හැටියට නිදා ගත්තා. ගමේ ගිහින් මගේ පරණ ඇඳේ හිතේ හැටියට නිදා ගන්න එකෙන් දැනෙන්නේ පුදුම සනීපයක්. කොළඹ ඉන්නවා වගේ නෙමෙයි හොඳ සනීපෙට  නින්ද යනවා. කොළඹදී නින්ද කැඩිලා මගදී ඇහැරුනොත් එහෙම ආපහු නින්ද යනවා බොරු. එහෙදි එහෙම නැහැ, මළා වගේ තමා පුදුම වෙනසක් තියෙන්නේ.
එදා දවසෙම වගේ හිටියේ ගෙදර, හවස් අතේ පොඩ්ඩක් පාර දිහාට ගියත් වැඩිය කළුවර වැටෙන්න කලියෙන් ගෙදර ආවා. ඒ එන්න කලින් ගමේ යාළුවෙක්ව කතා කර ගත්තා පහුවෙනිදා සෝමේ මාමලාගේ දිහා යන්න, උගේ බයිසි මොටෝ එකෙන්. ගමනක් යන්න තියෙනවා කියල බැලුවේ නැහැ පහුවෙනිදා උදේත් මම ඇහැරුනේ අටත් පහුවෙලා. මුලින්ම කලේ මිත්තරයට කෝල් එකක් දීපු එක, මගේ කෝල් එකට තමයි දෙයියනේ කියල ඌත් ඇහැරුනේ.

උදේට හීල් බත් පිඟානක් ඇදලා ඇරලා කලිසමකුයි, ටී කමිසෙකුයි දාගෙන බලාගෙන හිටියා යාළුවා ඒ කියන්නේ එරංගය එනකල්. වැඩිවෙලාවක් බලන් ඉන්න උනේ නැහැ විනාඩි දහයකින් පහළොහකින් වගේ ඌ අපේ ගෙදරට ආවා. දෙන්නත් එක්ක ගමන යන්න පිටත් වෙද්දී වෙලාව උදේ 09:00 ට වගේ ඇති. බයික් එකේ නැගගත්තු අපි දෙන්න බදුරලිය හන්දිය දිහාට යද්දී අතරමගදී හන්දිය පැත්තේ ඉඳල උදේ රැයින්ම වැඩ අල්ලන්න බලාගෙන (ඔව් ඔව් අපිත් ඇතුළුවම තමයි) ඌරු මස් වගයකුත් අරගෙන මගේ යාළු මිත්‍රයෝ දෙන්නෙක් වෙච්ච රුවනයි, නිලන්තයයි ගෙවල් පැත්ත බලා ඇදෙනවා. උන් දෙන්න අපිව දැකල බයික් එක නතර කලා.

“කොහෙද බං යන්නේ” කියල අහපු රුවනට එරංගය කිව්වේ “මෙන්න මුගේ වැඩකට ගරාජ් එකකට යනවා බං” කියලා. මේ එදා දවසේ මතක තියෙන විදිහට ඌ කියපු පළවෙනි බොරුව.
මටත් කම්මැලියි බං, දැන් උඹල නැතුව දැන් මේ වැඩේ පටන් ගන්න වෙන්නෙත් නැහැනේ. එහෙම කිව්ව රුවනා බයික් එක හරව ගත්තා. බයික් එකේ පිටිපස්සේ මස් ටික කවරෙක දාගෙන එල්ලගෙන හිටපු නිලන්තය උඩබිම බලනවා. උඹව බදුරලිය හන්දියට ගෙනිහින් දාන්නම්, බස් එකේ නැගලා ගෙදර ගිහින් අපි එද්දී මස් ටික හදල තියපන් කියන උපදෙසත් දීලා අපි තුන් දෙනා ගමන පිටත් වෙන්නයි ලෑස්තිය.

හන්දියේ ඉන්දිකයගේ කඩෙන් “පැයකින් දෙන පොරොන්දුව” පිට උගේ කසිකබල් හෙල්මට් එකත් ඉල්ල ගත්තා. ඒ දවසේ දෙවෙනි බොරුව. ඒකෙ අමුණන ගැජට් එක කැඩිලා, බයික් එක හැප්පුනොත් මට කලින් හෙල්මට් එක විසි වෙනවා. ඒ තියා බයික් එක ටිකක් හයියෙන් යද්දී වදින හුලන් පාරටත් ඒක විසික්ක වෙන්න හදනවා.
කලවාන පාර දිගේ ගිහින් අත්වැල්තොට හන්දියෙන් දෙනිහේන කියන ගමට හැරෙන පාරෙ තමයි අපි යන්න ඕනේ. අත්වැල්තොට කඩේකින් සිගරැට් 20 පැකට් එකක් ගත්තා සෝමේ මාමට. බුලත් විට හෙව්වට හම්බ උනේ නැහැ. අපි හන්දියට යද්දී පොලිසියේ කීප දෙනෙක් සහ සිවිල් මිනිස්සු කීප දෙනෙක් බොහොම අපහසුවෙන් බිත්ති වල ඇලිල උන්නු ඡන්ද අපේක්ෂකයින්ගේ මුණු ගලවනවා.

ඒකත් බලා කියාගෙන මමයි එරංගයි ගමන පටන් ගත්තත් රුවන එතැනදී මුණ ගැහිච්ච කාත් එක්කද කදයක් දාගෙන හිටියා. අපි ඩබල් දාගෙන ගියපු නිසා තමයි ඉක්මණට පිටත් උනේ. කිලෝ මීටර තුනක් හතරක් ගියත් රෝසා පේන්න නැති නිසා මගදී හම්බ වෙච්ච ඕනේ දෙයක් ගන්න තියෙන වර්ගයේ ගමේ කඩයක් ගාව අපි දෙන්න නතර උනා. විනාඩි පහක් දහයක් වගේ යද්දී ඌ ආවේ තොපි දෙන්න මාව මරන්න අරගෙන යනවද, “මේ කැලේ මැද්දේ කොහෙන්ද ගැරාජ්” කියාගෙන. යන දිහාව වැඩක් නැහැනේ යමං කියලා ඌව තවත් ටිකක් බයිට් කරලා තුන් දෙනාගෙන හෙල්මට් ගලවලා කඩේ හිටපු මුදලාලි මල්ලිට බාර දීලා ගමන පිටත් උනා.
හෙල්මට් ගැලෙව්වේ නැත්නම් අපි වලවල් වල වැටෙනකොට, ගල් ගෙඩි උඩින් යනකොට උඩ විසික්කා වෙන හෙල්මට් එක ඔළුවේ වැදිලා ඔළු කටුව තැලෙන එක ෂුවර්. දැන් ඔන්න ගමන ටිකක් පහසුයි, ඒත් ඉතින් අශ්වයෙක් පිටේ යනකොට වගේ උඩ විසි වේවි යද්දී මට හිතුනේ මේ ගමනට වඩා ත්‍රිවිල් එකක නැගලා යන එක ටිකක් හරි හොඳයි කියලා.  ඇයි ඉතිං බයික් එකක් තරම් හයියෙන් යන්න බැරි නිසා මේ තරම් උඩ විසි වෙන්නේ නැති වෙන්න හිමීටනේ යන්නේ. අනික අපි දෙන්නගේ බරට පාත්වෙලා තිබ්බ බයික් එකේ යට තියෙන මොනවද මන්ද උපාංග  හත් අට වතාවක්ම පාරේ තියෙන ගල්ගෙඩි වල වැදුනත් එක්ක.
වැඩිදුරක් යන්න ලැබුනේ නැහැ, අපිට ඉස්සරහින් හොන්ඩා CRV එකකුයි, තව ෆෝ වීල් වෑන් එකකුයි ඉබි ගමනින් ඉස්සරහට යනවා. ඒ හැම වාහනයක් ඉස්සරහම පයින් යන මනුස්සයෙක් වාහනේ යට වදිනවද නැද්ද කියල බලබල තමයි යන්නේ. කවුදෝ මන්දා දුරින් ආපු සෙට් එකක් වාහන වලින් ඇළක නාන්න යනවා වගේ. ඉබි ගමනින් යන උන්දැලා ඉඩ තියෙන තැනකදී අපිට යන්න ඉඩ දුන්නා.

සෑහෙන කට්ටක් කාල සෝමේ මාමලාගේ ගෙදරට ගොඩවෙලා බලද්දී සෝමේ මාමා ගෙදර නැහැ. නැන්දා අපිට කිව්වේ ග්‍රාමසේවක මහත්තයා ඇවිල්ල සෝමේ මාමව එක්කගෙන ගියාලු ඡන්ද මධ්‍යස්තානේ හදන තැනට. ඒ අවට ඡන්ද 50 ක් විතර තියෙනවලු. ඉස්සර ඡන්ද මධ්‍යස්තානේ දාන්නේ ගමේ තිබුන ඉස්කෝලෙලු. දැන් ඉස්කෝලෙ නැහැ, ඒක ගරා වැටිලා බිමට සමතලා වෙලා. ඒ හරියේ ළමයින්ට යන්න වෙන්නේ බදුරලිය පැත්තේ තියෙන ඉස්කෝල වලටලු. දවස ගානේ යන්න බැරි නිසා සමහරු ඒ කිට්ටුව ගෙවල් කුළියට අරගෙන ළමයි ඉස්කෝලේ යවනවලු.
දැන් අපේ මිෂන් එක සෝමේ මාමව හොයන එක. ආපහු හති දාගෙන කන්ද නැගලා සෝමේ මාමගේ ගෙදර ඉඳන් පාරට ඇවිත් බයික් දෙකේ නැගලා තව ටිකක් කැලේ පැත්තට යද්දී සෝමේ මාම ඉස්සරහට එනවා. මාදෙයියාව බලන්න යන්න ආපු බව කිව්වම සෝමේ මාමගේ උත්තරේ උනේ “දැන් යන්න වෙලා මදිනේ” කියලා. එතකොට වෙලාව 11:00 ට වගේ තියෙන්න ඇති. මම මිනිහගෙන් ඇහුවේ පාරේ ඉඳල කිලෝමීටර එකක් එකහමාරක් වගේ දුරක් නම් තියෙන්නේ වෙලා මදි වෙන්නේ කොහොමද කියලා.

සෝමේ මාමවත් බයික් එකේ දාගෙන ආපහු ඇවිත් රෝසාව යවල පිහියකුයි කූඩළු කෝටුවයි ගෙන්න ගත්තා. කූඩළු කෝටුව හදා ගන්නේ මෙහෙමයි. ලුනු දුම්කොළ එකට කොටලා අඩි දෙකක් විතර දිග කොටුවක අගිස්සක පොට්ටනියක් වගේ වෙන්න රෙදි කෑල්ලකින් ගැට ගහ ගන්නවා. කූඩැල්ලෝ ඇඟේ එල්ලුනාම අර පොට්ටනිය පොඩ්ඩක් උන්ගේ ඇඟේ ගාපු ගමන් උන්ව වැටෙනවා. සෝමේ මාමලාගේ ගෙදරට කලින් තමයි මාදෙයියාවට හැරෙන්න තියෙන්නේ. කැලෑව මැද්දෙන් තියෙන පොඩි අඩි පාරක් දිගේ යන්න තියෙන්නේ. බයික් දෙකේ තරමක් දුර යන්න පුළුවන් වගේ පෙනිච්ච නිසා දිගටම ගියා. පාර අයිනේ තිබ්බ කෝටු වලට වැටකෙයියා කටු වලට හුරගෙන ඕනෙනම් මීටර 200 ක් යන්න ඇති. එතනින් එහාට යන්න බැහැ. දැන් අඩිපාර උනාට ඉස්සර මේ පාරවල් වල ලී මුදලාලිලාගේ කාර් පවා ගියා කියල සෝමේ මාම කිව්වේ. ඒ මැතිනිගේ කාලේ සිංහරාජේ ගස් කපලා තුනී ලෑලි හදන්න ගන්න ගෙනියන්න ක්‍රියා කරපු කාලේ.

මේ දොළ පාර දිගේ තමයි අපි ගියේ. දොළක් කිව්වට ඇත්තටම මේක මගුර ගඟේ ආරම්භය. මේකත් ගිහින් මාදෙයියාවට වැටෙනවා.

බයික් දෙක මග නතර කරලා පයින් ගමන පටන් ගත්තා. ගමන පටන් අරගෙන ටික වෙලාවකින් යෝජනා උනේ ගඟ දිගේ බැහැලා යමු කියලා. එහෙම ටිකක් දුර ගියාට පස්සේ ගමන අමාරු නිසා මම යෝජනා කළා ආපහු ගොඩින් යමු කියලා. මමයි සෝමේ මාමයි එරංගයි ආපහු ඉවුරට ගොඩ උනා. ඒ වෙද්දී මට හොඳට තේරුම් ගිහින් තිබ්බේ මගේ ඇඳුම් පැළඳුම වල තියෙන නොගැළපෙන ගතිය. ඒ කිව්වේ කලිසමේ නිෂ්පාදන දෝෂයක් නිසා කකුල ගොඩක් උස්සලා ගලකට එහෙම නගින්න අමාරුයි, දාගෙන ගියපු සෙරෙප්පු දෙකේ වතුර ටිකක් ගෑවිච්ච ගමන් කකුල සෙරෙප්පු දෙකෙන් ලිස්සනවා. රුවනා තනියම ගඟ දිගේ ඇවිත් සෑහෙන දුරකට පස්සේ තමයි ආපහු ගොඩට ආවේ. ඒ අතරමගදී ඌව ගඟට වැටිලා. ෆෝන් එකට වතුර ගිහින්. ඌ අපිව දැක්ක ගමන් එරංගයට කනුකුනු ගාන්න ගත්තා “තෝ එක්ක ගමනක් ගියොත් මගේ ෆෝන් එකට කෙළවෙනවා” කියලා. ඊට කලින් සතියේ ඉරිදා උන් දෙන්නත් එක්ක එරංගගේ නෑ ගෙදරක බොන්න ගිහින් ආපහු එද්දී පොඩි ඒ දණ්ඩක් වගේ පටු පාලමකින් එන්න තියෙන තැනකදී රුවනව බයික් එකත් එක්කම ඇළට වැටිලා. එදත් ෆෝන් එකකට කෙළ උනාලු.
මේ තියෙන්නේ ගමන පටන් ගත්තු මුළ හරියේදී දැකපු කොකුම් ගහක්, ඒක කවුරු හරි ටිකක් පලුදු කරලා තිබුනා. කොකුම් වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. මේවා අරගෙන යන්නේ සබන් වගේ දේවල් හදන්න කියල තමයි මම අහල තියෙන්නේ. 

ටික දුරක් ගියාම කොළරොඩු ගොඩක් අස්සේ ඉඳල මතු වෙච්ච කුණකටුවෙක් දැකලා සෝමේ මාමයි එරංගයි, රෝසයි තුන් දෙනාම බයවෙලා මට කතා කළා. ඒ වෙද්දී මාව මහන්සියට හැක්වෙලා ඉවරයි. මම ආවේ ටිකක් පහුවෙලා. කෝටුවක් අරගෙන ඌව අපි යන පාරෙන් එහාට අරගෙන දැම්මා. ෆොටෝ එකක් ගහ ගන්න උනේ නැහැ මහන්සියටම අමතක වෙච්ච නිසා. ඒ මදිවට මගේ ඇඳුම් ඔක්කොම සම්පුර්ණයෙන්ම දාඩියෙන් පෙඟිලා. ෆොටෝ ගහන්න තිබ්බ එකම උපකරණය වෙච්ච ෆෝන් එක අන්ලොක් කරගන්න බැහැ ඇඟිලි තෙත් ගැහිලා තියෙන නිසාද කොහෙද ටච් ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැති නිසා.

කොහොමින් කොහොම හරි දණගාගෙන බඩගාගෙන මාදෙයියාවට යද්දී වෙලාව දවල් 01:00 ත් පහු උනා. එතනට ගියාට පස්සේ තමයි මම කල්පනා කලේ සෝමේ මාමගේ කිලෝමීටරේ කොච්චරක් දුරයිද කියන එක ගැන. අඩු ගානේ කිලෝමීටර හයක හතක වත් දුරක් වගේ තමයි මට දැනුනේ. මාදෙයියාව ගාවදි ෆොටෝ දෙක තුනක් අල්ල ගන්න පුළුවන් උනා. සෝමේ මාමලා කියපු තරම් මාදෙයියාව විශාල නැහැ. නමුත් ගැඹුරු බවනම් හොඳට පේනවා. වලේ හැම තැනම වගේ සුළි කැරකෙනවා. තුන් පැත්තකින් වලට වැටෙන දොළ පාරවල් තුනක් තනි සහ ලොකු දොළ පාරක් වෙලා පහලට ගලාගෙන යනවා. සුළි වැඩි වෙන්න හේතුව ඒක. වලේ වපසරිය ඕනෙනම් අක්කර කාලත් හෝ ඊට පොඩ්ඩක් වැඩි ඇති. එකපාරට උඩට මතුවෙලා නොපෙනී ගියපු ලොකු මාළුවෙක් දැකපු අපිට සෝමේ මාම කලින් වතාවක කියපු “අපි තරම් ලොකු මාළු” ඔය වලේ ඉන්නවා කියල කියපු කතාවනම් ඇත්තක් වෙන්න පුළුවන් කියල හිතුනා.
මේ මාදෙයියාව, දොළවල් දෙකක් වැටෙනවා පේනවා, අනිත් එක වම් පැත්තෙන් වැටෙන්නේ. ඇඟට පණ තිබුනනම් පොඩ්ඩක් පහළට බැහැල ඒකත් අහුවෙන්න ෆොටෝ එකක් ගන්න තිබුනා.

මෙතනින් තමයි උඩ ෆොටෝ එකේ නොපෙනෙන දොළ ගලාගෙන එන්නේ.




මාදෙයියාවට උඩින් තියෙන ගල් තලාවේ ටික දොහකට කළින් කවුරුහරි වාඩියක් ගහගෙන නතරවෙලා තිබුනා. බොහෝ දුරට වල්ලපට්ට කාරයෝ වෙන්න ඇති.

වල්ලපට්ටා වලට මේ තරම් ලොකු ඉල්ලුමක් එන්න හේතුව විදිහට පොදුවේ අපි දන්නේ මිළ අධික සුවඳ විලවුන් වර්ගයක් හදන්න ඒවා පාවිච්චි කරන බවක්. නමුත් ළඟදි මේ ගැන අහන්න ලැබිච්ච අමුතු මාදිලියේ කතාවකුත් මෙතන ලියන්න හිතුනා. අපේ රටෙන් පිටතට වල්ලපට්ට වැඩිපුර යවන්නේ අරාබිකරයේ රටවල් වලටලු. අර ප්‍රසිද්ධ කාරණයට අමතරව වල්ලපට්ටා පාවිච්චි කරනවලු අරාබියේ ඉන්න සල්ලි කාරයෝ තමනුගේ බිරින්දෑ වරුන්ට දුම් අල්ලන්න. බලන්න මොන තරම් ආදරයක්ද කියල තියෙන්නේ. ඔය දුම් වැදුනම වැඩිපුර පාවිච්චිය එක්ක හරි ස්වාභාවිකවම හරි ලිහිල් වෙලා තියෙන උන්දලාගේ ඇකිලෙන්න ඕනේ තැන් ඇකිලෙනවලු. හෝ ගාලා අපේ රටේ තියෙන වල්ලපට්ට ගස් වලට කෙළවෙන්න හේතුව වෙන්නේ අරාබි ගෑණුන්ගේ අහවල් එකට දුම් අල්ලන්නය කියල අහපු ගමන් මට හිනාත් ගියා. මේ කතාව අපේ ලොකු මාමට කියල තිබුනේ මුස්ලිම් මනුස්සයෙක්, ඒකෙ ඇත්ත නැත්ත ගැන මට සහතිකයක් නැහැ. නමුත් මේ වගේ දේවල් වලට ඔය මිනිස්සු දක්වන උනන්දුව එක්ක මේක ඇත්තක් වෙන්නත් ඉඩ තියෙනවා. හරි හරි, දැන් ඉතින් ඔය අහල තියෙන ඉතුරු වෙච්ච වල්ල පට්ට ගස් ටික කපල ගෙදර ගෙනියන්න හදනවා එහෙම නෙමෙයි.

එතන අපි පැය බාගයක් හරි ඊට වඩා ටිකක් වෙලා ඉන්න ඇති. මට දාඩිය දාපු දැමිල්ලේ හැටියට මාව ඩීහයිඩ්‍රෙඩ් නොවී බේරුනේ ගඟේ වතුර නොකඩවා බීපු හින්ද වෙන්න ඕනේ.
ආපහු ගමන පටන් ගත්තට මට අනිත් තුන්දෙනා යන වේගෙන් යන්න බැරි මට්ටමට මට මහන්සියි. සෝමේ මාමත් බැරි බැරි ගාතෙන් තමයි ආපහු ආවේ. ආපහු ගඟ දිගේ යන්න බැහැ කියල හිතිච්ච අපි හම්බ වෙච්ච අඩි පාරක් දිගේ ගමන පටන් ගත්තා. ටික දුරක් ගියාම අඩි පාර කන්දක් දිගේ ගිහින් වාඩියක් තියෙන ඉසව්වකට ආවා. හැර ගහපු කිතුල් ගස් කීපයක් තිබුනත් ඒවා පරණ ඒවා බවක් තමයි පේන්න තිබුනේ. වාඩියට වෙලා පොඩි විවේකයක් එහෙම අරගෙන ආපහු ගමන පටන් අරගෙන ටික දුරක් යද්දී මමයි සෝමේ මාමයි ගොඩක් පහු වෙලා. අරුන් දෙන්න සෑහෙන ඉස්සරහට ගිහින් තිබ්බා.
හීං පොද වැස්සක් පටන් අරගෙන තිබ්බ නිසා පය ඉක්මන් කරන්න හැදුවත් කකුල් දෙකයි ශරිරෙයි ඒකට ඉඩ දුන්නෙම නැහැ. පොද වැස්ස මහා වැස්සක් බවට පත්වෙලා අපි හොඳටම තෙත බරියං උනත් ෆෝන්, පර්ස් වගේ දේවල් ගැන හිතන්න වෙලාවක් නෙමෙයි ඒක. බයික් නතර කරපු තැනදී යාළුවො දෙන්න ඉන්නවා, රුවනා අතේ පැළ පොල් ගෙඩියක්. මගදී දැකල අරගෙන ආවලු සෝමේ මාමට දෙන්න.

ගෙදර ගිහින් බත් ටිකක් කාල යමු කියල සෝමේ මාම කිව්වත් අපි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කලේ මහන්සි වැඩි කමටමයි. රුවනා ගිහින් සෝමේ මාමව ගෙදරට ගිහින් දාල එනකල් අපි දෙන්න ටික ටික ඉස්සරහට ගියා. හෙල්මට් තියල ආපු කඩේ හරියට එද්දී වැස්ස පොඩ්ඩක් අඩුවෙලා, ඒත් කඩේ ගාවට යන්න කලින් මම දැක්ක එතන පොලිසියෙන් ඉන්නවා කියලා. මුලින්ම කලේ එරංගට ඉන්න කියලා කඩේට ගිහින් හෙල්මට් ටික අරගෙන එන එක. ඒ ඇවිත් කඩේ ගාව නතර කරලා තිබහ වැඩි කමට බීම බෝතලයක් බීලා පොඩි සිලි කවර කීපයක් ඉල්ලා ගත්තේ ෆෝන් සහ පර්ස් තව දුරටත් තෙමෙන එකෙන් බේර ගන්න...

තුන්දෙනා එක්ක ගෙවල් තියෙන ඉසව්වට යද්දී හවස තුනහමාර පහුවෙලා. අපේ පැත්තට වැහි පොදක් වැටිලා නැහැ, හෙණ ගහන්න අව්ව පායලා. එරංගගේ අයියලාගේ ගෙදර එදා කවුරුවත් නැහැ, එහෙට ගිහින් උගේ සරමක් ඇඳගෙන තෙත ඇඳුම් වේලෙන්න දාල රුවනව යැව්වා දවසේ ඉතුරු හරිය කරන්න ඕනේ අඩුම කුඩුම ගේන්න. දවල්ට කෑවේ නැති උනත් එදා ගෙදර යද්දී රෑ දහය පහුවෙලා තිබුන කියලනම් හොඳටම ෂුවර්...

Wednesday, 20 May 2015

වෙහෙරගල ලුණුගම්වෙහෙර 02 - අලුත් කුරුල්ලෙක්, කණේ හිලා සමග ගංජා හේන්...

පළවෙනි කොටස බැලුවේ නැත්නම් මෙන්න පාර...
කලින් පෝස්ට් එකේදී දෙවෙනි කොටස ඉක්මණට දාන්න පොරොන්දු උනාට ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වීම සම්බන්ධව සමාව භජනය කරනවා මුලින්ම. රාජකාරි කටුයුතු සඳහා ඔපිසියෙන් පිට යන්න සිද්ධ වෙච්ච නිසාත් අසනීප තත්ත්වයක් නිසා ඇති වෙච්ච ගැටළු නිසාත් වැඩේ පහු උනා. දැනුත් ඔපීසියේ ඉන්නේ කොන්දේ පත්තුවක් ගැට ගහගෙන. හරියට මෝල් ගහක් ගිල්ලා වගේ. ඒකෙන් මේකෙන් වැඩක් නැහැ, ඔන්න දෙවෙනි කොටහ.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

ඔන්න එක පාරටම පාර මැද්දේ විසාල බාධකයක්. මුවාල ලොකු රංචුවක් පාර මැද්දේ. හරියට අර ධර්ගා ටවුන් එකේ... එක්කෝ ඕනේ නැහැ. පාරෙන් අහක් වෙන්න කිසිම උවමනාවක් නැති උන් සෙට් එක අපි දිහා කන්න වගේ බලන් ඉන්නවා. අපිත් උන් “දැන් අහක් වෙයි” “දැන් අහක් වෙයි” කියල බලාගෙන ඉන්නවා. හෝන් ගැහුවේ නැත්තේ ඒක වනෝද්‍යානයක් ඇතුලෙදි සිද්ධ නොකළ යුතු දෙයක් නිසා. ටික වෙලාවක් අපි දෙගොල්ලෝ මුණට මුණ බලාගෙන හිටියා. ඔන්න එක පාරටම හිතට දිරි අර ගත්තු එක මුවිච්චියෙක් උපරිම වේගයෙන් දුවගෙන එන්න පටන් ගත්තා කැබ් එක ඉස්සරහට. හරියට “දෙන්නම් වැඩක්” කියන්න වගේ. හුසේන් බෝල්ට්ගේ නගා වගේ දුවගෙන ආපු මුවී නතර කරලා තිබ්බ කැබ් එකේ දඩාං ගාල හැප්පුනා. හරියට අර රෙස්ලින් කරන උන් දුවගෙන ගිහිං අනිත් එකාගේ ඇඟට පනින්නේ, අන්න ඒ වගේ. අපිව උඩ විසික්ක උනා වගේ උනා. කැබ් එකට පැනපු මුවී බිමට වැටෙනවා වගේ දැක්කත් ඒ සැනින්ම වගේ නැගිටලා ආපහු හැරිලා කැලේ පැත්තට දිව්වා.


ඒ එක්කම වගේ අපිත් කැබ් එකේ හෙඩ් ලයිට් එක ඒ කිව්වේ ඔළු ආලෝකය නිවල දැම්මා. ආන් එතකොටම වගේ කැලේ කඩාගෙන දුවන සද්දයක් එහෙම අහගන්නත් අපිට පුළුවන් උනා. ඒ එක්කම වගේ ලයිට් එක දාල බැලුවත් පළාතකවත් එක මුවෙක්වත් පේන්න හිටියේ නැහැ. මුව රංචුවම මිසින්.
දැන් ඔන්න අපේ වාරේ, අනතුරු සමාලෝචනය සහ අදහස් ප්‍රකාශය. අර මුව දඩල්ලා කැබ් එකේ හැප්පිච්ච හැප්පිල්ලට මොනවා වෙලාද දන්නෙත් නැහැ. ඌ හරියටම හැප්පුනේ වාහනේ මැද හරියට වගේ වෙන්න නිසා ලයිට් මුකුත් කුඩු නොවෙච්ච බව ෂුවර්. ඒ මදිවට ලයිට් දෙකම පත්තු වෙනවත් එක්කනේ. කැලේ කොලේය මහ රෑය කියල බලල බැහැ, මෙව්වා ආණ්ඩුවේ වාහන. ඒ මදිවට කවුරුවත් පිළිගන්න එකක් නැහැ මුවෙක් ස්වකැමැත්තෙන් ඉදිරිපත් වෙලා දුවගෙන ඇවිත් අපි ගිය වාහනේට පැනලා වාහනේ තැලුනා කියන එක. හැමෝම කියාවි මුන් රේස් ගිහින් අසරණ මුවෙක් හප්පලා දාලය කියලා. කුරූගේ වාහන එළවිල්ල ගැනත් ඉතින් ආයේ කියන්න දේකුත් නැහැනේ.

දැන් ඔන්න වෙච්ච හානිය බලන්න වාහනෙන් බහින්නයි අපේ කල්පනාව. කලින් අර අලි ගඳ එද්දී හද්ද කළුවරේ වාහනෙන් බැහැල හිටපු එකේ මේක මොකක්ද. කැබ් එකේ ලයිට් පත්තු කරලම තියලා බැහැල බැලුවා. එක ලයිට් එකක පොඩි ඉරක් ගිහින්, සෙල් එකේ උඩම හරියේ තැනක මුව ලොම් රොත්තක් ලේ ටිකකින් ඇලිලා තිබ්බා. හෙඩ් ලයිට් එක ප්ලාස්ටික් වර්ගයකින් හදල තිබ්බ නිසා වෙන්න ඕනේ කුඩු නොවී බේරිලා තියෙන්නේ. ඌත් කිසි අවුලක් නැතුව ආපහු දුවගෙන ගියපු නිසා දෙපාර්ශවයම ගොඩ. වෙලාවට මුවී කෙනෙක් පැන්නේ, හදිස්සියෙවත් අන් තට්ටුවක් තියෙන මුව කොල්ලෙක් පැන්නනම් තමයි වැඩේ...
ආපහු වාහනේට ගොඩ වෙච්ච අපි ආපහු අපේ ගමන පටන් ගත්තා. ඔන්න එක පාරටම කුරූ ගේ මීටරේ වැඩ කරන්න ගත්තා. ටික දොහකට කළින් දෙහිවල සත්තු වත්තේ හිටපු මුවාල රංචුවේ මුවාල වැඩියි කියල ගෙනත් අත ඇරලා තියෙන්නේ ඔය කිට්ටුව ඉසව්වටලු. එකත් එකටම මේ ඒ රංචුව වෙන්න ඇති කියලයි ඌ අනුමාන කලේ.

ඒක හරි වෙන්න ඕනේ, කැලේ දිගටම හිටපු සත්තු වාහන පවා හොඳට අඳුරනවා. මුන් ඉතින් සත්තු වත්තේ තිබ්බ මුව වලේම ඉපදිලා ලොකු මහත් වෙච්ච සත්තු වෙන්න ඇති. වාහනේකට කියල දකින්න ඇත්තේ කෑමට කොල ටික ගෙනත් දාන ට්‍රැක්ටර් කබල විතරක් වෙන්න ඇති. ඒකත් ඉතින් දකින්නේ දවල්ටනේ. ලයිට් දාගෙන යන වාහනයක් ජීවිත කාලෙටම දැකල නැතුව ඇති.
දුවගෙන ඇවිත් අපිව හප්පපු මුවා වාහනේ ලයිට් එළිය නිසා ලොකු වැරදි වැටහීමක් ගන්න ඇති කියලයි අපි හිතුවේ. ඌ හිතන්න ඇති ඌ කළුවර කුඩුවක හිරවෙලා ඉන්නවාය, ඒ අව් අස්සේ ගොර ගොර සද්දයකුත් එනවය. එළියට පැනලා බේරිලා දුවන්න හිතාගෙන වාහනේ එළිය දිහාට පැන්නාය කියල අපිම හිතල, අපිම තීරණය කරලා අපේ ගමන යන්න පිටත් උනා.

එතනින් පස්සේ වෙන අවුලක් උනේ නැහැ. රෑ දහය වගේ වෙද්දී අපි බංගලාවට ගියා. එතනින් පස්සේ එදා එහෙ හිටපු කවුරුහරි රත් කරලා තිබ්බ බතක් හොද්දක් කොටා බාල ඇඟපත හෝදගෙන නිදා ගන්න ගියා. ඔන්න ඒ විදිහට කටු වලින්ම ගෙවුණු එදා දවස ඉවර උනා.

මම ඔහාට ගියාම ගොඩ වෙලාවට නිදා ගන්නේ උඩ තට්ටුවේ. එතන තියෙන මෙට්ටයක් කාරිය එළියට ඇදලා අරගෙන හොඳට ඉඩපාඩු තියෙන ඉස්තෝප්පුව වගේ කොටසේ තමයි නිදා ගන්නේ. උදේ වෙද්දී පුදුම සීතලක් තියෙන්නේ. සමහර දවස්වල අපි දවල්ටත් ඔතන මෙට්ට එළාගෙන නැප් එකක් දාගෙන ඉන්නවා. එතන පොඩි අවුලකට කියල තියෙන්නේ හුළඟ තමයි. නිදාගෙන ඉඳල නැගිටින පමාවට මෙට්ටේ ගහගෙන යන තරමට හුළඟ සැරයි. ඔව් ඔව්... උන්ට දීල තිබ්බේ ස්පොන්ජ් ෂීට් වගේ බරෙන් අඩු සැහැල්ලු ලාභ මෙට්ට වර්ගයක් තමයි.

ඔන්න එක දවසක් මට මරු වැඩක් උනා. උදේ පාන්දර 6 ට විතර වගේ මට ඇහැරුනා පොඩි පහේ ශරීර කෘත්‍යයක් කරන්න ඕනේ වෙලා. මේ බිල්ඩිමේ උඩ තට්ටුවට නගින්න පඩිපෙළ තියෙන්නේ එළියෙන්. මම ඔය පඩිපෙළ බැහැගෙන ගිහින් මිදුලට බැස්සා විතරයි මෙන්න අලි පතයෙක් නගුට කෙලින් කරගෙන හොඬවැල රවුම් කරගෙන මගේ ඉස්සරහට දුවගෙන එනවා. නිකං නෙමෙයි ඌ එන්නේ බල්ලෙක් පස්සේ. බලලත් හුරේ කියල දුවනවා. ඊළඟට මගේ වාරේ. චු බර පැත්තකින් තියපු මමත් ආපහු පඩිපෙළ දිගේ උඩට දිව්වා. බල්ලත් අලියගෙන් තරමක් ඈතට දුවගෙන ගිහින් ආපහු අලියට බුරනවා. මේක හරියන වැඩක් නෙමෙයි කියල තේරුම් ගත්තු අලියා වැඩේ අතඇරලා දාල මාරුවෙලා යන්න ගියා. අලියා ටිකක් ඈතට යනකල් බලන් ඉඳල ආපහු පහළට ගොහින් තමයි මගේ වැඩේ අහවරයක් කර ගත්තේ.

පහුවෙනිදා උදෙන්ම කුමාර අයියල හදපු බත් ටිකක් කොටා බාපු අපි දෙන්න එක්ක කැබ් එකත් අරගෙන ලුණුගම්වෙහෙර හතර අතේ ඇවිද්දා. ඒ ගමනේ එක අරමුණක් වෙලා තිබ්බේ විශේෂ කුරුල්ලෙක් ගැන හොයා බලන එක. වතාවක් දෙකක් ඌව දැක්කත් හොඳ ෆොටෝ එකක් ගහගන්න බැරි උනා. මද්දහන වෙද්දී කුරුල්ලොයි වෙනත් සත්තුයි වැඩිය එළියට බහින්නේ නැති නිසා වාහනේ හරවගත්තු අපි දෙන්නා නවාතැන් ඔපිසියට මංගැච්චුවා. නවාතැනට ඇවිත් දවල්ට කාල එහෙම උඩ තට්ටුවට වෙලා සුපුරුදු පරිදි නැප් එකක් දැම්මා.
ආපහු හවස්වරුවේ ගමන තරමක් කළින් යන්න පිටත් උනේ පොඩි වැහි අඳුරක් එන ගතියක් පේන්න තිබ්බ නිසා. වැදගත් සිද්ධි මුකුත් දකින්නේ නැතුව සෑහෙන වෙලාවක් ගියා. උදේ වරුවේ බැරි උනාට හවස් වරුවේ අර කුරුල්ලාගේ තරමක් හොඳ ෆොටෝ ටිකක් ගහගන්න මට පුළුවන් උනා. උගේ ඉංග්‍රීසි නම European Bee-Eater, සිංහලෙන් නම් යුරෝපියානු බිඟුහරයා. මම ඌව දැක්කේ පළවෙනි වතාවට. මේ ඉන්නේ ඌ...

එදා ගමනේදී මම ගත්තු ෆොටෝ වලින් කීපයක් කලින් වතාවේ "වෙහෙරගල" ගැන ලියවුන පෝස්ට් එකෙත් මම දාල තියෙනවා. ඉතුරු ෆොටෝ වලින් කොටසක් මම පෝස්ට් එකේ තැනින් තැන දාන්නම්.
ලුණුගම්වෙහෙර අලි ගැනත් මේ එක්ක යමක් කියන්න ඕනේ, මම දැකපු කැහැටුම අලි ඉන්නේ ඒ පැති වල. බහුතරයක් උන් එහෙමයි. මේ ෆොටෝ වලින් ඒ බව තේරුම් ගන්න ඇහැකියි. ඒ අතරේ අපි කීප වතාවක්ම දැකපු ටිකක් විශේෂ අලි හපුවෙකුත් හිටියා. විශේෂ කියල කියන්න හේතුව ඌ මරණාසන්න අත්දැකීමක් ලබපු එකෙක්ය කියල මට හිතිච්ච  නිසා. “ඒ බව දැන ගත්තෙ කොහොමද, අලියා ඒක උඹට කිව්වද”, ඔන්න ඔය වගේ පුරස්නනම් මගෙන් අහන්න එන්න එපා. මමත් ඒක කලින් දැනගෙන උන්නේ නැහැ, පස්සේ කාලෙක ෆොටෝ බලද්දී තමයි මමත් ඒක දැන ගත්තේ. මමම ඌට නමක් දැම්මා කණේ හිලා කියලා. මෙන්න සාක්කි... 
නුලෙන් තමයි මේ බුලට් එක මිස්වෙලා තියෙන්නේ. බොහෝ දුරට T56 උණ්ඩයක් වෙන්න ඇති කියලයි මට හිතුනේ. දැන් ඉතින් ඒ වෙච්ච දේ මතක් වෙන්නත් එක්ක ඕනෙනම් මෙයැයිට කරාබුවක් දාන්න බැරි කමකුත් නැහැ.

පහුවෙනිදා උදේ මමයි කුරූයි දෙන්න එක්ක පයින්ම ගියා මැණික් ගං ඉවුරට. අර කළින් වෙහෙරගල පෝස්ට් එකේ එතනදී ගත්තු ෆොටෝ කීපයක් මම දාල ඇති. කුරූ පාලමේ අයිනක වාඩිවෙලා ඉන්න අතරේ මම තව පොඩ්ඩක් එහාට ගියා. කොළ කකා ආපු මී මින්නෙක් කැලෙන් එළියට ආවේ ඒ අතරේ. එළිය මදි නිසා හොඳ ෆොටෝ එකක් ගහ ගන්න බැරි උනාට ඌව දැක්ක බව මතක හිටින්න ඇති තරමේ ෆොටෝ කීපයක් ගහගන්න ඇහැක් උනා.
ටික වෙලාවක් එතන ඉඳලා ආපහු ඔෆිස් නවාතැනට ඇවිත් බත් ටිකක් එහෙම කොටා බාල ආපහු කොළඹ යන්න පිටත් වෙන්නයි මගේ කල්පනාව. බඩුමුට්ටු ටික පැක් කරගෙන කැබ් එකේ නැගලා මමයි, කුරූයි, කුමාර අයියයි තුන්දෙනා කැලේ මැද්දෙන් එද්දී එක පාරට ආමි එකේ මහත්තැන් කෙනෙක් කැලේ මැද්දෙන් පාරට දිහාට පැන්නා. පැනලා ඇවිත් කැබ් එක නතර කරන්න සංඥා කලා. අපි කැබ් එක නතර කලේ ටිකක් ඉස්සරහට ගිහින්. එතකොට අපිට පේනවා කැලේ අස්සෙන් මතු වෙච්ච තව නිලධාරියෙක් සරොම් එහෙම ඇඳ ගත්තු මිනිස්සු දෙන්නෙක්වත් අරගෙන කැබ් එක දිහාට එන්න පටන් ගත්තාය කියල. ඒක දැකපු ගමන් කුමාර අයියා අපේ කුරූ ට කියනවා “මහත්තයෝ අපි මේ කැලේ මැද්දේ දිගටම ඉන්න ඕනේ, ගමේ උන් දැනගත්තොත් අපිත් මේ වැඩේට උදව් කලා කියලා අපිට මේකේ වසන්න හම්බ වෙන එකක් නැහැ. මුන් අපිත් එක්ක යන්න ඇහුවොත් බැහැ කියන්න” කියල කිව්වා.

කුමාර කිව්වා වගේම අපි ගාවට ආපු ආමි නිලධාරින් එයාලව පාරට එක්කගෙන යන්න පුළුවන්ද කියල අපෙන් ඇහුවා. පොඩි පොඩි මුණු බලා ගැනීමකින් පස්සේ අපේ උත්තරේ උනේ මහ පාරට යනකල්ම එක්කගෙන යන්න බැහැ, පාර පේන්න පටන් ගන්නකොටම අපි ඔයාලව බස්සනවා, ඒ වගේම කැබ් එකේ පිටිපස්සේ තමයි යන්න වෙන්නේ කියලා. එයාල බොහොම කැමැත්තෙන් අපේ ඉල්ලීමට එකඟ වුනා. කැලේ අස්සෙන් තවත් හමුදා නිලධාරින් පිරිසක් එක්ක අත්අඩංගුවට ගත්තු මිනිස්සු කීප දෙනෙකුත් පාර දිහාට එන බවක් මම ඇස් කොණින් වගේ දැක්කා. ඒ අව්අස්සේ එක නිලධාරියෙක්ගේ අතේ ළපටිම ළපටි, ළාවට මල් පොහොට්ටු හැදිච්ච ළා කොල පාට දළු මිටියක් තිබුනා. වෙලාව උදේ දහය පහුවෙලා ටික වෙලාවක් ඇති, ඒ වෙද්දීත් ඒවා හේබා ගිහිල්ලයි තිබ්බේ.

අපි එක්ක යන්න ආවේ එක හමුදා නිලධාරියෙකුයි, අත්අඩංගුවට පත් වෙච්චි මිනිස්සු දෙන්නෙකුයි විතරයි. පාර කිට්ටුවට ආවට පස්සේ ඒ තුන් දෙනාව කැබ් එකෙන් බස්සලා අපි අපේ ගමන යන්න පිටත් වුනා.
එයාලව බැස්සුවට පස්සේ කුමාරගේ කට කතුර වගේ වැඩ කරන්න ගත්තා. ඌ කියවනවා කියවනවා ඉවරයක් නැහැ. අපි ලුණුගම්වෙහෙර වාරිමාර්ගේ ඔපිසියට ගොඩ වුනා. එතනින් මෙලෝ රහකට නැති තේ එකක් එහෙම බීලා කුරුයි මමයි තණමල්විල යන්න පිටත් වුනා. කුමාර ඔපීසියේ නතර උනා. යන ගමන් අපි දෙන්නට හිතුනේ කුමාරත් අර වැඩේට මොකක්හරි සම්බන්ධයක් තියෙනවවත්ද කියලයි. ඒ මිනිස්සුන්ව කැබ් එකේ ගෙනියන්න හදපු එකට විරුද්ධ වීමේ සිට උන් ටික බැහැල ගියාට පස්සේ කුමාරගේ ප්‍රතිචාර අපිව එහෙම හිතන්න පෙළඹුවා. බොහෝ දුරට ඒ ගමේ කමට හිතේ ඇති වෙච්ච ආවේගයක් වෙන්නත් ඇති.

මේ වගේ ගංජා හේන් ඒ අවට ඕනේ තරම් තියෙනවා. නිකමට වගේ ගුගුල් මැප් එකේ බැලුවොත් පවා පේන මට්ටමේ හේන් යාල, ලුණුගම්වෙහෙර කැලේ ඇතුළේ තියෙනවා. එදා ඒ අල්ලගෙන ගියපු මිනිස්සු දෙන්නව දැක්කම දුක හිතනවා ඇරෙන්න කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ මිනිස්සු මහකැලේ මැද්දේ වතුර ඇදලා ඔව්වා වවලා රැක බලා ගත්තට හම්බ වෙන සල්ලියෙන් සැපක් විඳින්නේ නැති බව තමයි නියම ඇත්ත. සැප විඳිනවා නම් විඳින්නේ ඔය කැලෑ අස්සේ කටු කන එවුන් නෙමෙයි, අහක ඉන්න එවුන්.
ඔය ගංජා සහ බිම්කොහොඹ තහනම ලංකාවට ආපු හැටි දන්නවද. දන්නේ නැත්නම් මම ඒක පෝස්ට් එකක් විදිහටම දාන්නම්. අපුරු කතාවක්...
දැන්නම් ගුගුල් මැප් එකේ බලපු ගමන් ලොකුවට පේන්නේ ගංජා හේන් නෙමෙයි අර කාළකණ්නියා විල්පත්තු කැලේ කප කප කොළණි හදන හැටි.

කැබ් එකෙන් බැහැ ගත්තු මම කුරූගෙනුයි කුමාර අයියගෙනුයි සමු අරගෙන ආපහු කොළඹ බලා එන ගමන පිටත් වුනා. සුපුරුදු පරිදි වාඩිවෙන්න ඉඩ තිබුනේ නැහැ. කොහොම උනත් කොළඹට එන්න කළින් සීට් එකක් හම්බ වෙච්ච එක ලොකු සැනසීමක් වුනා. මම යද්දී ගියපු පාරේම ගිහින් හවස් ජාමේ වෙද්දී බෝඩිමට යා ගන්න පුළුවන් වුනා. පහුවෙනිදා නියමිත පරිදි රස්සාවෙන් අස්වෙන්න බලාගෙන වැඩට ගියා.එදා දවසේ මම සයිට් එකේ හැමෝගෙන්ම වගේ සමු ගත්තා.

ඔන්න ඔය අතරේ එදා දවසේ විශේෂ සිදුවීමක් දැක බලා ගන්න පුළුවන් උනා. පැහැදිළි නැතත් ෆොටෝ කීපයක් ගහගන්නත් පුළුවන් වුනා. උදේ වරුවේ 11:20 ට වගේ පටන් ගත්තු සුර්යග්‍රහණයක් දවල් 02:00 විතර වගේ වෙනකල් බලන්න අපිට පුළුවන් වුනා. මේ තියෙන්නේ මට ලැබිච්ච ඒ අමුතු සමු ගැනීම...


මෙන්න ඒ ගමනේදී ගත්තු තව ෆොටෝ වලින් කොටහක්...
White Bellied Sea Eagle - කුස ඇළි සයුරුකුස්සා
Orange-breasted Green Pigeon - ළයරන් බටගොයා 


Eurasian Hoopoe - පොරෝළුවා 
Plum-headed Parakeet - පඬු ගිරවා 
Paddy field Pipit - කෙත් වැරටිච්චා
Blue-tailed Bee-eater - නිල්පෙඳ බිඟුහැරයා 
Long-billed Sunbird - ලෝටන් සුටික්කා 
මේ අලියව දැක්කම මට මතක් වෙන්නේ සමනළයෙක්...
මොණර රැඟුම්...
වෙහෙරගල ජලාශයේ මියැදෙමින් පවතින ගස්...
පසු කලෙකදී කුඩා ගස් දිරාගොස් විශාල ගස් කඳන් සුළු ප්‍රමාණයක් පමණක් ඉතිරි වූ ලස්සන ජලාශයක් බවට මෙය පත්වෙනු ඇත...


දෙබර වදයක්.

Thursday, 14 May 2015

වෙහෙරගල ලුණුගම්වෙහෙර 01 - කටු සමග කැලෑ බළල්ලු

මේ කියන්න යන්නෙත් කැලෑ කතාවක් උනාට වෙනදට වඩා වෙනස් කතාවක්, කතාවක් කියල කිව්වට කතා කීපයක්, සිදුවීම් කීපයක්. කොයිකටත් කියල කියවලම බලන්නකෝ.
මම රස්සාවෙන් අස්වෙලා රට යන්න හිතාගෙන හිටියේ 2010 පෙබරවාරි 17 වෙනිදා. ඊට කලින් රටේ තොටේ ඇවිදින්න යන්න හිතාගෙන ටිකක් කළින් කරකර හිටපු රස්සාවෙන් අස්වෙන්න මම තීරණය කලා. මට අස්වෙන්න තිබුනේ ජනවාරි 15 වෙනිදා.
එහෙම තිබුණත් ඊට කලින් ඉඳලම මම ඇවිදින වැඩේ පටන් අරගෙන තිබ්බේ. රස්සාවෙන්  අස්වෙන්න ලියුම දුන්නට පස්සේ මම වැඩිය වැඩට ගිහිල්ලම නැහැ කියල තේරෙන්නේ මගේ ෆොටෝ කලෙක්ෂන් එක බැලුවම.
දෙසැම්බර් මාසේ අපිට ෂට් ඩවුන් තිබුනේ 13, 14, 15 සති අන්තයේ. ගෙදර ගිහින් ඇවිත් 16 වෙනිදා මම අස්වීමේ ලියුම දුන්නා. එතනින් පස්සේ 25, 26, 27 මම නුවරඑළියේ. ආපහු ජනවාරි 06, 07, 08 මම ඉඳල තියෙන්නේ ගෙදර. ඊට පස්සේ 12, 13, 14 මම ඉඳල තියෙන්නේ වෙහෙරගල. ඒ දවස් ටිකත් ෂට් ඩවුන් එකක්. ඔහොම වෙලා ජනවාරි 15 ආපහු ඇවිත් රස්සාවෙන් අස්වුණා.

මම මේ දින වකවානු කියන්න හේතුව වුනේ වැඩබිමක වැඩ කරන උදවිය දන්නවනේ මෙව්වයේ එහෙම ලේසියෙන් නිවාඩු ගන්න හැකියාවක් නැති විත්තිය. ගොඩ වෙලාවට නිවාඩු දෙන්නේ මාසෙකට වතාවයි. ඒකට කියන්නේ ෂට් ඩවුන් එක කියලා.
හැබැයි මම කවදාවත් ඒ නිවාඩුව විතරක් අරගෙන අත පිහිදාගෙන හිටපු මනුස්සයෙක් නෙමෙයි. එහෙම කරන්නත් සාධාරණ හේතු තියෙනවා. සමහර දවස්වල නයිට් එහෙම ගහල එක දිගට කටු කාගෙන වැඩ කරලා තියෙන නිසා ඒ වගේ චෑන්ස් ගන්න පුළුවන් කම මට තිබුනා.

ඔන්න ඔහොම කොහොමින් හරි මම ජනවාරි 12 වෙනිදා උදේ කුරූ ට කෝල් එකක් දාල කිව්වා මම අද එනවා හවස මාව ගන්න වරෙන්ය කියලා. ඌ මාව ගන්න තණමල්විලට එන්නම් කිව්වා. එදා සයිට් එකේ පඩි දවස. උදේ 10 ට විතර ඕෆ් වෙලා කැමරා ආම්පන්න ටික දාපු බෑග් එකත් පිටේ එල්ලගෙන පොඩි බෑග් එකකට රෙදි කඩමාලු ටිකකුත් දමාගෙන වෙහෙරගල යන්න පිටත් වුනා. බත්තරමුල්ලේ බෝඩිමෙන් පිටත් වෙච්ච මම මුලින්ම ගියේ කඩුවෙලට. පරක්කු වෙන නිසා මම දවල්ට කන්න නතර උනෙත් නැහැ. කඩුවෙලින් කෙටි කෑම ටිකක් බඩට දාගෙන තේ එකක් බිව්වා. පොඩි වතුර බෝතලේකුත් අරගෙන බස් එකක් එනකල් කල්මරන්න පටන් ගත්තා. ඒ අව්අස්සේ පොඩි පහේ චු බරක් හැදිච්ච නිසා කඩයක් පිටිපස්සේ තියෙන ටොයිලට් එකක් හොයාගෙන ගියේ  ඒ බරෙන් නිදහස් වෙන්නය කියල හිතාගෙන. මම එතනට යද්දී ගිනි මද්දහනේ කියල බලන්නේ නැතුව හොඳට ඇඳ පැළඳ ගත්තු බුවාස්ලා දෙන්නෙක් මුල්ලකට වෙලා අමුවෙන්ම කාලක් ක්‍රියා කරනවා. කාලක් කිව්වට කාලක්ම නෙමෙයි කාලවල් දෙකක්, ඒ කිව්වේ බාගයක් විතර.

එදා දවසේ මොකක්හරි විශේෂත්වයක් තිබුනා, එක්කෝ පහුවෙනිදා මොකක් හරි ජන්දයක් හරි වෙන මොකක් හරි අහවල් එකක් නිසා හරි බස් වල යන්න සෑහෙන සෙනග හිටපු දවසක්. ඒ මදිවට බසුත් ටිකක් අඩුයි. ටික වෙලාවක් එතන ඉන්නකොට අර බුවාලා දෙන්නත් හිමීට බෑග් මලු දෙකකුත් අරගෙන බස් නතර කරන තැනට ආවා. විනාඩි හතළිස් පහක් විතර එතන හිටගෙන හිටියට පස්සෙයි ඕන් බස් එකක් ආවේ. ඒකෙත් හොඳටම සෙනග. අමාරුවෙන් බෑග් දෙකත් එල්ලගෙන බස් එකට නැග ගත්තා. බෑග් දෙක ඩ්‍රයිවර් මහත්තයා ඉන්න කිට්ටුව ඉස්සරහින්ම තියලා, මමත් ඒ කිට්ටුවම අයිනක හිටගෙන තණමල්විල බලා යන මගේ ගමන පටන් ගත්තා. කැමරා එක නිසා බෑග් දෙක එතන තියෙන්න ඇරලා පිටිපස්සට යන්නත් බැහැ. බස් එක යනවා යනවා ඉවරයක් නැහැ. හිටගෙන ඉඳල මට එපාවෙලා තිබුනේ. එදා දවසේ හොඳකම කියන්නේ තණමල්විලෙන් බහිනකල් මට වාඩිවෙන්න තියා හේත්තු වෙන්න සීට් මුල්ලක්වත් හම්බ වුනේ නැහැ.

තණමල්විල කිට්ටු වෙද්දී මම මුලින්ම කලේ කුරූට මගේ පැමිණීම දන්වලා කෝල් එකක් දීපු එක. උගෙත් හොඳකම කියන්නේ මම තණමල්විල බහිද්දීත් ඌ ඇවිත් හිටියේ නැහැ. ඌ එන්න තව විනාඩි පහළොහක් විස්සක් යනවා කියපු නිසා ළඟ තිබ්බ කඩේකට ගිහින් තේ එකක් කාරිය බීලා එළියට ඇවිත් ටික වෙලාවක් ඉන්නකොට මෙන්න මු එනවා වෙනද වගේ කබල් ජීප් එකෙන් නැතුව ටිකක් ඉතර අලුත් කැබ් එකක නැගගෙන.
මෙන්න අපි වෙනද යන වාහනේ. මු කැලේ ඇතුලේ මේ දරහැව වගේ වාහනේ නැගගෙන වල ගොඩැලි බලන්නේවත් නැතුව හුරේ කියල යනවා. ඒකෙ පිටිපස්සේ වැඩිවෙලා යන උන්ට සොරිම තමයි.


කැබ් එක ඇතුලේ පිටිපස්සේ සීට් එකේ තව කවුද බුවෙකුත් හිටියා. මිනිහගේ නම කුමාර වගේ තමයි මට මතක. බුවා කුරූල එක්ක වැඩ කරන සේවක මහත්තැන් කෙනෙක්. මම දැන් කැබ් එකේ ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා බෑග් මළු ටික පිටිපස්සේ සීට් එක උඩට පැටෙව්වා. ඔන්න අපි දැන් ගමනේ. බස් එකේ හිටගෙන ආපු අමාරුවත් එක්ක මේ වෙද්දී මට හොඳට මහන්සිත් එක්ක. අපි එදා වෙහෙරගල යන්න ඇතුල් වුනේ ලුණුගම්වෙහෙර පැත්තෙන්. ලුණුගම්වෙහෙරට ඇතුල්වෙන ගේට්ටුව ගාව තිබුණ විදුලි වැටේ අනිත් තැන්වලට වඩා පොඩි පිළිවෙල ගතියක් තිබුනා. විදුලි වැට ඒ කොටසේදී හදල තිබුනේ කම්බි කොයිල් එකක් වගේ එකකින්. අතින් අල්ලන්න හොඳ ප්ලාස්ටික් හැන්ඩ්ල් එකකුත් තිබුනා. ඒ හැන්ඩ්ල් එක ඇතුලෙන් යන කම්බිය අගිස්සේ කොක්කක් තියෙනවා විදුලි වැටේ තියෙන මුද්දක අමුණන්න. වාහනයක් ඇතුළට හරි එළියට හරි යද්දී ඒක ගලවල අහක් කරලා ඊට පස්සේ ඒ කොක්ක වගේ කොටස අමුණලා දානවා. අපි එතනට ගියාට පස්සේ ඒ වැඩ කොටස කලේ කුමාර අයියා. වාහනේ ඇතුළට ගන්නකල් ඉඳලා කොක්ක අමුණල දාපු කුමාර අයියා ඇවිත් කැබ් එකට නැග ගත්තා.

වාරිමාර්ගේ වාහන නිසා ගේට්ටුවෙන් ඇතුල් වෙද්දී අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙ නැහැ. ඒ වගේම තමයි උන් ඇවිත් විදුලි ගේට්ටුව අරින්නෙත් නැහැ, වහන්නෙත් නැහැ. නිකං යන්න දීලා තියෙන එකේ ගේට්ටු එහෙම ඇරගෙන කොකු ගලෝගෙනම පලයල්ලා කියල වගේ තමයි එතන හිටපු සික්ක අයියලා ටික ඉන්නේ. අපේ අමතර වාහනයක් ගියොත් තමයි පොඩ්ඩක් ඇවිත් හෝදිසි කරලා බලන්නේ “මේ වාහනේ කොහෙද යන්නේ” කියලා. ඒකත් ඉතින් වාරිමාර්ගේ වාහනයක් කියල කිව්වට පස්සේ වැඩි කතාවක් නැතුව අපි ඔක්කොම ඇතුළේ.

ඔන්න අපි දැන් ඉස්සරහට යනවා. මේ වෙද්දී බිම්කළුවර වැටිලත් අහවරයි. අපි දැන් ටික ටික කැලේ ඇතුළට යනවා. මෙහෙම ගියාම එක හරියක් තියෙනවා පාර හරහා සපත්තු පාළමක් දාල තියෙන. අන්න ඒ හරියේදී අපි එක පාරට දැක්කා මොකෙක්හරි තරමක සතෙක් උඩ පනිනවා, ආපහු වැටෙනවා. ආපහු උඩ පනිනවා කියලා.
වාහනේ හිමීට කිට්ටු කරලා බලද්දී පත වල් බළල් තඩියෙක්. පොඩි පොඩි කෘමි සත්තු අල්ල ගන්න පොදි කනවා. පොඩියි කිව්වට පළගැටියෝ වගේ සත්තුන්වද කොහෙද ඌ අල්ලගෙන කෑවේ.

මේ වගේ චෑන්ස් එකක් ලේසියෙන් එන්නේ නැති නිසා කුරූට මම කිව්වා කැබ් එක නතර කරපිය කියලා. කුමාර අයියට කියල කැමරා බෑග් එක අරගෙන කැමරා එක එළියට ගත්තා. හදිස්සියේ ආපු නිසාද කොහෙද එදා මම ටෝච් එක අමතක වෙලා ඇවිත් තිබ්බේ. ඒ නිසා කැමරා එක ෆෝකස් වෙන්න ගහන්නවත් එළියක් තිබ්බේ නැහැ. බළල් හාමිට එළිය වදින විදිහට කැබ් එක පොඩ්ඩක් කැලේ පැත්තට හරවන්න කියල කිව්වේ ඒ අඩුව පිරිමහ ගන්න. ඒ එළියේ පිහිටෙන් යාන්තමට ෆොටෝ කෑලි දෙක තුනක් කොටා ගත්තා. ඒත් හොඳම මට්ටමේ ෆොටෝ එකක්වත් එතන තිබුනේ නැහැ. පූස් නාට්ටව දැක්ක කියල කියන්න ඇති වෙන්න ෆොටෝ දෙකක් තුනක්නම් තිබුනා.

දැන් ඉතින් කියන්න එපා මු ගෙවල් වල ඇති කරන පුසෙක් වගේ කියලා. පෙනුම එහෙම උනාට මේකා කැලෑවේ ඉන්න පුස් වර්ගයක්. සිංහලෙන් නම කිව්වොත් Jungle Cat වගේ තමයි මතක. මෙයාට සාමාන්‍ය වහර අනුව වල්බළලා එහෙමත් නැතිනම් වල්බාවා කියලත් කියනවා.

ඔන්න දැන් ඌ ටික ටික ඉස්සරහට යන්න තිබා ගත්තා. ඒ පැත්තට යන්න කියල කිව්වට කුරූ යන්න හදනවා, ඒත් වාහනේ යැවෙන්නේ නැහැ. පුෂා ගැන හිතන එක පැත්තක දාලා එන්ජිම සැර දාල අල්ලන්න කිව්වා. ම්හු... වැඩේ හරි යන්නේ නැහැ. රෝද එක තැන කරකැවෙනවා විතරයි.

ඔන්න අපි තේරුම් ගත්තා දෙයියනේ කියල අපේ කැබ් එක එරිලය, තල්ලුවක් නැතුව යා ගන්න බැරි විදිහට හිරවෙලාය කියලා. රජයේ වාහනයක් නිසා හතරගාතේ “ඒ කිව්වේ ෆෝ වීල් එක” ගලවලලු තියෙන්නේ වියදම අඩු කර ගන්නය කියල හිතාගෙන. ඒ අපේ මෝඩ මිනිස්සුන්ගේ තියෙන පිස්සු මරගාත වැඩ. ඒ වගේ වාහනේක හතරගාතේ ගැලෙව්වා කියල ලැබෙන මහලොකු සෙතක් නැහැ. තියෙන එකම සෙතේ තමයි මේ වගේ වෙලාවක බඩු හම්බ වෙන එක. මේ වෙද්දී වෙලාව රෑ හතත් පහු වෙලා. හොඳටම කළුවර වැටිලා.

කරුමෙට කකුල් හතරයි කියල කියනවනේ. අන්න ඒ වගේ එදා මගේ ගාව ටෝච් එකක් තිබ්බෙත් නැහැ. කැබ් එකෙත් හෙඩ් ලයිට් ඇරෙන්න වෙන එළියකුත් නැහැ.
සීන් එකටම ගැලපෙන විදිහට හීනියට පොද වැස්සකුත් පටන් ගත්තා. මගේ අතේ තිබ්බ ෆෝන් එකේ බැටරිය ගොඩක් බැහැල තිබ්බේ නැහැ. ඒකේ සහන් එළියෙන් බැලුවම තේරුනේ කැබ් එකේ පැත්තක් පාර අයිනේ වැලිවලින් ගොඩවෙලා තණකොළ වැවිල වැහිලා තිබ්බ කණුවකට දෙරි ගහල කියලා.

ආණ්ඩුවේ වාහනයක් කියල නැහැ. මේකේ දෙයියනේ කියල ජැක් එකක්නම් තිබ්බා, කාපට් දෙක තුනකුත් තිබ්බා, අමතර රෝදය ඒ කිව්වේ සිංහලෙන්නම් ස්පෙයාර් වීල් එකත් තිබ්බා. ඔන්න අපිට දැන් කැබ් එක ගොඩ දා ගන්න තිබ්බ බඩු මුට්ටු ටික. ඊට අමතරව අපි තුන් දෙනෙක් හිටියා.
මුලින්ම කලේ ජැක් එක ගහලා එරිල තියෙන පිටිපස්සේ රෝදේ පොඩ්ඩක් උස්ස ගත්තා. ඊට පස්සේ එතන යට තිබ්බ වැලි අත් වලින්ම අහක් කලා. මම කලා වගේ කිව්වට ඇත්තටම මේ වැඩ වලින් වැඩි හරියක් කලේ කුරූගේ කම්කරු නිලධාරි මහත්තැන් කෙනෙක් වෙච්ච අපේ කුමාර අයියා. ඊට පස්සේ ස්පෙයාර් වීල් එක අර වලට එබුවා. ඊට උඩින් අර බෝල බෝල හිලවල් තියෙන කාපට් තියෙන්නේ, ආන් එයින් එකක් දාලා ජැක් එකේ බර අහක් කරලා දැම්මා. මේ වැඩ යන අතරේ සරින් සැරේ අලි කුයිලේ එනවා යනවා කියන එකත් අපිට නොතේරුනා නෙමෙයි. එක පැත්තකින් කරන්ට් වැට තිබ්බ නිසා ඒ පැත්තෙන් අලින්ට එන්න බැහැ. අපේ වාහනේ පාරෙන් වැඩිපුර බරවෙලා තිබ්බේ ඒ පැත්තට. අලි ආවත් කරන්න දෙයක් නැහැ, ඌ එන්න කලින් වාහනේ ඇතුළට පැනගන්න එක ඇරෙන්න වෙන විසඳුමක් නැහැ.

දැන් ඔන්න අනිත් රෝදෙටත් කාපට් එකක් රින්ගෙව්වා. ඒ පැත්තේ වැලි අහක් කරන්න ඕනේ උනේ නැහැ. ඊට පස්සේ රිය පැදවීමේ වාරය මගේ. මම දෙතුන් පාරක් විතර ට්‍රයි කරලා සැර දැම්මට පස්සේ කැබ් එක යාන්තං පාර දිහාට ආවා. දැන්නම් මාර සැටිස්. හැබැයි එකසිය ගාණට බඩගිනියි. වෙලාව රෑ නමයත් පහුවෙලා. පැය දෙකකට වඩා අපි එතන කට්ට කාල තිබ්බා. පොළවේ වාලපු ස්පෙයාර් වීල් එක ගොඩ අරගෙන, කාපට් ටිකයි, ජැක් එකයි ඔක්කොම කැබ් එකේ පිටිපස්සට පැටෙව්වා. ඒවා කැබ් එක ඇතුළට ගන්න බැරි තරමට වැලි වලින් වැහිලා. අපිත් ඊට දෙවෙනි නැහැ, චුරු චුරු පොද වැස්සේ තෙමිලා අපිත් තෙමිච්ච කුකුල්ලු වගේ. ඒකත් කමක් නැහැ කියමුකෝ.දැන් ඔන්න කුරූ අපිවත් කැබ් එකේ දාගෙන උන්ගේ ඔෆිසිය, නවාතැන හරි මොකක්ද මන්ද මම අර කළිනුත් පෝස්ට් එකක කියල තිබ්බේ, අන්න ඒක බලා ගමනේ යෙදෙනවා.


එහෙම ගමන පටන් ගත්තට අපිට අපේ ගමනාන්තෙට ඒ කිව්වේ අපේ නවාතැනට නිදහසේ යන්න බැරි උනා. කොරේ පිටට මරේ කියල කියන වර්ගයේ වැඩක් සිද්ධ වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ, ඒ  සිද්ධිය ඊළඟ කොටසින්ම බලමු.