Tuesday 24 February 2015

නකල්ස් කඳු මුදුන බලා Knuckles Hike - අවසාන කොටස


කෙසේ නමුත් දැන් තිබෙන තත්ත්වය අනුව මීමුරේ දෙසට බැස ගැනීමට නොහැකි බව පැහැදිළිය. සම්පුර්ණ දිනක්ම අපතේ ගියේ නකල්ස් හරහා මීමුරේ යාමට පාරක් සොයා ගැනීමටය. එසේ පාරක් ඇති බව අප පැහැදිළිවම දැනගෙන උන්නේය. ජාතික රූපවාහිනියේ විකාශය වූ “සැරිසර” වැඩසටහනේ පිරිසක්ද එසේ ගමන් කර තිබු බවක් මිතුරකු කියූ බවක් මා මතකයේ ඇත. එසේ යා හැකි මාර්ගය දන්නා බව විශ්වාසයෙන් යුතුව කී ශිවා නිසා අප දැන් අමාරුවේ වැටි හමාරය. නමුත් කිසිවෙකු හෝ ඒ සම්බන්ධව ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ගියේ නැත. සමහර විට ඔහු එම මාර්ගය ඇත්තටම නොදැන සිටියා වීමටද ඉඩ ඇත.
අප පත්ව සිටි තත්ත්වය සහ ගමනේ ඊළඟ අදියර සම්පුර්ණ කර ගැනීමට නොහැකි වීම සම්බන්ධව සිතට දුකක් ඇති වුවද දැන් ආපසු හැරෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බව පසක්වී හමාරය. අප මේ මොහොත වනවිට සිටින්නේ ගමනේ හරි මැද ලක්ෂයකය. මෙවැනි මොහොතකදී අපේක්ෂා භංගත්වයක් ඇති වීම ස්වභාවිකය.

කෙසේ නමුත් එතැන් සිට වැඩි අපහසුවකින් සහ දිශාව නොවැරදි කළින් දින කඳවුරු ගැසූ ස්ථානය වෙත ළඟා වීමට අප සම්ත්විමු. මේ වනවිට වේලාව සවස 04:30 හෝ 05:00 ආසන්න වී තිබුණි. කළින් දින රාත්‍රියේ විඳි අපහසුතා සිහිපත් වූ විට නැවත එහි රැයක් ගත කිරීමට කිසිවෙකුගේ කැමැත්තක් තිබුනේ නැත. කළහැකි එකම දේ වුයේ ආපසු බඹරැල්ල බලා ආපසු යාමය. ඒ සඳහා ඉතිරිව තිබු කාලය ප්‍රමාණවත් නොවන බවද ඉතා පැහැදිළිය. එසේ වුවත් සියල්ලෝම එකාවන්ව ආපසු ගමන ආරම්භ කර හමාරය. මෙවිටද අපගේ පිහිටට ශිවා අයියා පැමිණියේය. අප පැමිණි මගට වඩා පහසු සහ කෙටි මගකින් පහළට බැසිය හැකි බව ඔහු පවසා සිටියේය.
පහසු මගක්යැයි කීවද එහි වූ මගක් නොවිය. ඉතාමත් කෙටි ගස් සහිත ප්‍රදේශයක් හරහා අප පල්ලම බසිමින් උන්නහ. එහි වූ දිරා ගිය සහ කැඩුණු කෝටු කැබලි අපගේ කකුල් වල සම හුරා දමන්නටද විය.

එම දුෂ්කර පෙදෙස පසුකර පැමිණි අප දොළ පහරක් කරා ළඟා වීමු. දොළ පහර තරමක ගල් ගෙඩි වලින්ද දිය පිරුණු වළවල් වලින්ද සමන්විත විය. දොළට බසින්නේ නැතිව වියළි ස්ථානයන් ඔස්සේ අප ගමන් ගන්නට පටන් ගත්තෙමු. ගල්ගෙඩි දෙකක් අස්සේ කකුලක් ගිය චුටි බබාගේ කකුල ඇමැට්ටි වී ගියේ මේ අතරේදිය. ඔහුගේ බර පොදිය කවුරුන් හෝ කරට ගත් අතර එළුවා සහ තවත් කවුරුන්ගේ හෝ සහයෙන් ඔහු ගමන් කළේය. ඉදිරියෙන් ගිය පිරිසගේ දසුනට හසු නොවී දරණ ගසා පනින්නට සුදානමින් සිටි කුණකටුවකු එවේලේ පසුපසින් පැමිණි අප හට දැකගැනීමට හැකිවිය. දැන් දැන් වියළි පෙදෙස් හරහා යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ශිවාගේ මග පෙන්වීම අනුව අප දැන් ගමන් කළයුතු වන්නේ දිය ඇළ ඔස්සේය. සමහර විටෙක ඉඟටිය දක්වා වතුරේ ගිලෙන අවස්ථා ද විය.

පසුව ශිවා සමග කතා කරමින් ඉදිරියෙන් ගිය මා හට ගමන්මග සම්බන්ධව, ඔහු තුළද යම් අවිනිශ්චිතභාවයක් ඇතිබව පෙනෙන්නට විය.  ඔහු මෙවරද කර ඇත්තේ අනුමාන කිරීමකි. කන්ද නැගීමේදී ට්‍රැක්ටර් එකක් යා හැකි මගින් හැරී කුඩා අඩි පාරකින් ගමන්ගත් බව පැවසු බව මතක ඇතැයි සිතමි. එහිදී කියන්නට අමතක් වූ කරුණක් ඇත. එම අඩිපාර තරමක දොළ පහරක් හරහා වැටි තිබුනේය. ඔහු මේ අප කැටුව යන්නේ එම මංසන්ධිය හමුවන තෙක් බව ඔහු මා හා ප්‍රකාශ කළේය.

අප ඉදිරියෙන් ගමන් ගන්නා වේගය වැඩි බව පවසා දොස් පවරමින් තරිඳු අප සිටි දෙසට තරමක වේගයෙන් පැමිණියේ මේ අවස්ථාවේදිය. එය තරමක් විශාල ගල් තලාවක් වූ අතර හොඳින් දිය සෙවෙල්ද බැඳී තිබුණකි. අප ඉදිරියට පැමිණි ඔහු හරියටම ඉදිරියෙන් සිටි අප කිහිප දෙනාගේ පා පාමුළ ලිස්සා ඇදගෙන වැටුනේය.  දැන් ඉර අවරට යාමට ආසන්නය. අප ඉක්මණින් යන්නේ කළුවර වැටුණු පසු අඩිපාර දිය පහර හරහා යන ස්ථානය අඳුරේ සොයාගත නොහැකි වුවහොත් නිසා බව පහදා දුන්නෙමි. එය මාගේ මිතුරන් තේරුම් ගත්තාදැයි මා හට අදහසක් නැත.

දැන් හිරු අවරට ගොසින් හමාරය. වටපිටාවේ ඇත්තේ ගොම්මන් ආලෝකයක් පමණකි. ලෝකයේ කොහේ ගියත් ටෝච් එකක් නොමැතිව ගමනක් නොයන මා සතුව එදවස හැටියට පෙන්ටෝච් බැටරි කෑලි හතරක් යොදන අමුතු හැඩයේ සහ හොඳ එළියක් ලබාදෙන විදුළි පන්දමක් තිබුණි. කැලෑවේ දිවි ගෙවන්නෙකු වූ ශිවා අතද විදුළි පන්දමක් තිබුනේය. ශිවාගේ විදුලි පන්දම පසුපසින් එන පිරිසට ලබාදී අප තරමක් ඉදිරියෙන් ගමන් කළෙමු.
මෙහිදී සිතේ ඇතිවූ සිතුවිලි වසර එකොළහක් ගතවූ පසු නිවැරදිවම මතක නැතත් සිතුවිළි වල වූ අන්තර්ගතය මෙසේය.

කිහිප වතාවක්ම අප අතරමං වුයේ ශිවා හරිහැටි මග නොදත් නිසාය. හදිසියේවත් අප මේ බසින්නේ අඩිපාර හරහා ගිය දොළපහර දිගේ නොවුනහොත්... අප නිවැරදි දොළපහරේ පැමිණියත් දිවා කල මෙන් නොව රාත්‍රියේදී නියමිත ස්ථානය හඳුනා ගත නොහැකි වුවහොත් අප වැටෙන්නේ කෙබඳු අපහසුතාවකටද... විසකුරු පර්පයකුගේ ප්‍රහාරයට ලක් වුවහොත්...

රාත්‍රී අට, අටහමාර පමණ වනවිට දොළ පහරේ අදාළ මංකඩ අසළට පැමිණීමට අපට හැකිවිය. සියල්ලෝම පාහේ සැනසුම් සුසුමක් හෙළු අතර ඉන් ඔබ්බට ගමන ඉතා සෙමෙන් සිදු විය. ඒ එන අතරමගදී කඳවුරක් ගැසීම සම්බන්ධව කතාබහක නියැලෙමින් පැමිණියෙමු. මේ මොහොතේ එය කෙතරම් අපහසුවක්දැයි අමුතුවෙන් කිවයුතු නැත. අප සියල්ලෝම පාහේ උන්නේ බාගෙට පණ ගොසින්ය. අවසාන ඩෙක්‍රෝස් කිහිපය ගිල දැමුවේ කුමන මොහොතකදැයි මතකයේවත් තිබුනේ නොමැත.

මෙසේ පැමිණි අප ශිවාගේ කටුමැටි ගැසූ කුඩා නිවස අසළට පැමිණියෙමු. අප පත්ව සිටි අපහසුතාවය තේරුම් ගෙන සිටි ඔහු අප හටද හැකි අයුරින් ඔහුගේ නිවසේ නවාතැන් ගන්නා ලෙස ආරාධනයක්ද කළේය. කටුමැටි ගැසූ නොබෙදූ තනි කාමරයක් වැනි එම කුඩා නිවසේ ඔහු සහ ඔහුගේ බිරියද සිටියදී තවත් 11 දෙනෙක් කෙසේනම් නතර වන්නද. ඔහු තුළ වූ මනුස්සකම ඔහු නිසා අප ලැබූ අමිහිරි සිදුවීම් යටපත් කරලන්නට සමත්විය. ඔහුගේ විදුලි පන්දම ඉල්ලා ගත් අප පල්ලම් බසින්නට පටන් ගත්තෙමු. මුදල් සහ විදුලි පන්දම  ලබා ගැනීමට පසුදින උදෑසන පැමිණෙන බව කියූ ඔහු අපට සමු දුන්නේය.

අපගේ දෛවය අප විසින්ම විසඳා ගත යුතුව ඇත. කොර ගසමින් ගාටමින් මෙන් ඉතිරි දුර ගෙවා දමන විට රාත්‍රී 10 පමණ වන්නට ඇත. විදුළි පන්දම් දෙකේ ආලෝකයෙන් මුලින්ම කලේ සපත්තු තුල ඇති අපගේ දෙපා පිරික්සා බැලීමය. ඒවා දෙස බැලීමටවත් නොහැක. ලෙයින් පිරි, ලේ බී බෝල මෙන් ඉදිමුණු කූඩැල්ලන්ගෙන් පිරුණු සපත්තු සහ මේස් සියල්ල ගලවා පාරෙන් ඉවත වූ කුණු ගොඩකට ගොඩ ගැසුවේ පසුව ගිනි තබන අදහසිනි. අසලින් ගලායන ජල පහරින් දෙපා සෝදා දමා අපුල බව තරමක් දුරස් කර දම්මෙමු. කූඩැල්ලන්ගෙන් බේරී කුඩාරම් ඇටවිය හැක්කේ තාර ගැලවීගිය පාරේ පමණකි. අප රැගෙන ගිය පැරණි පන්නයේ කුඩාරම් වල කණු හොඳින් බිම සිටවා මිස සවිකළ නොහැකි වර්ගයේ ඒවා වූ බැවින් නැවතත් අප දුර්මුඛ විය.

අප නතර වී සිටියේ පෙරදින ඇඳුම් මාරු කල ස්ථානයේය. ඒ ආසන්නයේ අත්හැර දැමු තට්ටු දෙකක පාළු තේ ෆැක්ටරියක්ද තිබුනේය. එතනට වී යනඑන මං නොමැතිව සිටි අපහට සින්දුවක් කියමින් වෙරි මතේ පැමිණෙන පුද්ගලයකුගේ දසුනක් දැක ගැනීමට හැකිවිය. ඔහු හා කල කතාවෙන් පැවසුනේ ඔහු එම වත්තේ මුරකරු බවය.
ඔහු පැවසුවේ වත්තේ බංගලාවක් මීටර කිහිපයක් දුරින් ඇති බවත් එහි ගොස් අවසර ලබා ගතහොත් පාළු ෆැක්ටරියේ නතර විය හැකි බවත්ය. අප පිරිසෙන් කිහිප දෙනෙකු ඔහු පැවසු ඉසව්ව බලා ගමන් කලේ ඒ අවසරය ලබා ගැනීමටය. ඔවුන් ආපසු පැමිණීයේ දවසේ ලද එකම සුභ ආරංචිය සමගිනි. අපට හොල්මන් බංගලාවේ නතර වීමට අවසරය ලැබී ඇත.
හොල්මන් මන්දිරය
ඒ අතරතුර  අපගේ විස්තර අසන්නටද ඔහු අමතක කලේ නැත. අප සියල්ලෝම පාහේ අපගේ විස්තර කියුවද අපගේ ගම් පලාතවල් ගැන ඔහු දැන සිටියේ නැත. දහම්ගේ ගම මරදාන යයි පැවසු විට ඔහු එය දැන සිටියේය. “අපි කවදහරි මරදානේ ආවම මල්ලිල අපිලට නවශින්න දෙන බව අෆි දන්නවා, නකල්ෂ් ආවම අපි මල්ලිලට නෂර වෙන්න නොදී කෝමද” කියා කිවේය.
එය තනිකර යකඩින් සෑදු ගොඩනැගිල්ලකි. සපත්තු තුළ වතුර සහ ලේ සමග තිබී තැම්බූණු නිරුවත් පා තබා එහි ඇවිදීම දැඩි දඬුවමක් වැනිය. ඒ තරමට යකඩ බිම සීතල වී තිබුණි. කුඩාරම් දෙක බිම එලා ඒ උඩ නිදා ගැනීමට හැකි අයුරු සකසා දැමු අපගේ ඊළඟ කතිකාව වුයේ රාත්‍රී ආහාරය සම්බන්ධවය. බල්ලා පවසා සිටියේ ඔහුට උණ සෑදීගෙන එන බවත් කෑම නොකාම නින්දට පිවිසෙන බවත්ය. පාදයේ අබාධය නිසා චුටි බබාද, තෙහෙට්ටුව නිසා තරිඳුද උන්නේ අඩපණවය. කපුටාට ඇඳීමට ඇඳුමක් තිබුනේද නැත. ඔහු සිටියේ “බෙඩ් ෂීට්” එකක් ඇඳගෙනය. අපද සිටියේ මදක් හෝ තෙමුණු ඇඳුම් ඇඳගෙනය.

කිසිවකු හෝ රාත්‍රී ආහාරයක් සඳහා උනන්දුවක් දැක්වුයේද නැත. දැඩි බඩගින්නත්, තෙහෙට්ටුවත් නිසා කුසගින්නේ නිදාගත නොහැකි බැවින් භාජනයක් රැගත් මම සහ දෙමළා දිය පහර වෙත ගොස් වතුර රැගෙන ආවෙමු.
මුරකරු සිටින කුඩා මඩුවේ ළපටි ගිනි සිලකින් යුතුව දැල්වෙන ලිපක වතුර භාජනයක් තබා තිබුණි. ඔහුගෙන් විමසා එම ලිප අපගේ ආහාරය සකස් කිරීම සඳහා භාවිතයට ගැනුනි. ඒ වනවිට ඉතිරි පිරිසෙන් කිහිප දෙනෙක්ද පැමිණ අප වටා රොක් වෙමින් උන්හ.
අප රැගෙන ගිය ද්‍රව්‍ය අතරේ වූ මැගී නුඩ්ල්ස් පැකට් කිහිපයක් කඩා උතුරණ වතුරට දමා තම්බා ගැනීමට අප සමත් විය.
රත් කරගත් නුඩ්ල්ස් බඳුන හොල්මන් මැදුරට ගෙන ආ පසු.
සැමන් ටින් එකක් කඩන්නේ දෙමළා විසිනි.
කකුල් වල ඇති සුදු පති කඩදාසි කොළ කැබලි කියා පාන්නේ කූඩළු ප්‍රහාරයන්හි නටඹුන්ය.
මුහුණ නොපෙනුණත් මේ කෑම ගිල දමන්නේ කපුටා විසිනි.
ඔහු ඇඳ සිටින "බෙඩ් ෂීට්" එකෙන් ඔහු හඳුනාගත හැකිය
කලින් දින දිවා ආහාරය ලෙස තම්බා තෙල් දැමු කඩල ආහාරයෙන් පසුව රාත්‍රී ආහාරය, මෙදින උදෑසන ආහාරය, දිවා ආහාරය ලෙසින් අප කෑවේ පාන් සමග රට ළුෑනු, මාජරින්, ජෑම් වලින් සමන්විත ආහාරය. එක දිගටම ශීතල නිසා වියළී ගිය පාන් ආහාරයට ගැනීම කෙබඳු අත්දැකීමක්ද.
ඒ සියලු කෑම වේල් වලින් පසුව දැන් තැම්බූ නුඩ්ල්ස් වේලක් කෑමට අවස්ථාව උදා වී ඇත. කෑම තිබුනාට ඒවා කෑමට පිඟන් තිබුනේ නැත. ඇති පදම් සිලි සිලි බෑග් තිබු බැවින් ඒවා මතට නුඩ්ල්ස් බෙදා උණු උණුවේ පිච්චෙමින් අමු සැමන් සමග ආහාරයට ගත්තෙමු. අප කෑම කමින් සිටි අතරතුරේ උණ සෑදීගෙන එතැයි කී බල්ලාද පැමිණ භාජනයේ ඉතිරිව තිබු නුඩ්ල්ස් කොටසට වග කීමට පටන් ගත්තේ උණ රෝගියකුගේ ලක්ෂණ නොව කැහැපත රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරමිනි.
කෑම දුටු පසු උණ හොඳ වූ බල්ලා.
රෝගී ලක්ෂණ පැහැදිළිව පෙනේ.
කෑමෙන් අනතුරුව ඇළට ගොස් භාජන සෝදා දමා පැමිණ නින්දට වැටුණත් එදිනද සැප නින්දක් ලබා ගැනීම සිහිනයක් බව තේරුණේ මද වෙලාවකින් පසුවය. යකඩ පොළවේ සීතල ටෙන්ට් රෙද්ද හරහා ඇඟට කා වදින්නට මාන බලයි. හොල්මන් මන්දිර වල මෙන් කිරි කිරි හඬ නැගෙන ශබ්ධද, සුළඟට ජනෙල් ඇරෙමින් වැසෙමින් එන හඬද නින්දට දැඩි බාධාවකි. ඒවා ස්ථිරව වසා දැමීමට ජනෙල් කොකු හෝ එවැනි ක්‍රමවේදයක්ද නැත. සීතල සුළඟ ඒවා හරහා පැමිණ අපගේ නින්දට බාධා කරන්නේ අප හා සතුරු වූ විටෙක මෙනි. වරෙක විශාල ශබ්ධයක් ඇසී විදුලි පන්දම දල්වා බැලු විට පහත මහලේ අත්හැර දැමු පැරණි යන්ත්‍ර සුත්‍ර තොගයක් මකුළු දැල් බැඳී බියජනක අයුරින් දිස් විය. ශබ්ධය පැමිණි හේතුවක් සොයා ගැනීමට නොහැකි විය.
නින්දට පෙර
සුව නැතත් නින්ද ලබමින්...
පසුදින පාන්දරින් අවදි වී ඇළට ගොස් මුහුණකට සෝදා අනෙකුත් අවශ්‍යතාවයන්ද ඒ අවට වන ලැහැබේ පිහිටෙන් ඉටුකර ගත්තෙමු. ටෙන්ට් දෙකඩ අකුළා බෑග් වලට අසුරාගෙන අපගේ ඉතිරි බඩුමුට්ටුද අසුරා ගත්තෙමු,. ඒ වනවිට ශිවා අප හමුවීමට පැමිණ උන්නේය. නකල්ස් හරහා අපව මීමුරේ රැගෙන යාමට ඔහු පොරොන්දු වුයේ රුපියල් 800 ටය. එය එතරම් විශාල මුදලක් නොවුනා මෙන්ම අප අතද වැඩිපුර මුදල් ගැවසුණු වකවානුවක් නොවන බැවින් එය සාධාරණ මුදලක් සේ අප සැළකුවෙමු. අපගේ අරමුණ ඉටුකරගත නොහැකි වුවත් පොරොන්දු වූ මුදල සහ ඔහුගේ විදුළි පන්දම ඔහුට ලබා දුන්නෙමු. ඊට අමතරව අප සතුව ඉතිරිව තිබු සියළුම ආහාර ද්‍රව්‍යයන්ද ඔහුට ලබා දුන්නෙමු. අප අවදි වනවිටත් මුරකරු එතැනින් පිටව ගොස් හමාරය. ශිවා ගෙන් සමුගන්නා අතරේ අපහට උදව් කල මුරකරුටද ස්තුති කරන ලෙස පවසා එතනින් පිටත් වී බසය හරවන තැන පිහිටි කුඩා කඩය දක්වා පැමිණියෙමු.
උදෑසනින් අවදි වී මිතුරන් අවදි වන තෙක් බලා සිටින එළුවා සහ දහමා
හේතුව මතක නැතත් ඒ වනවිට මාගේ සෙරෙප්පු දෙකද මා හට අහිමි වී ගොස් තිබුණි. ගල් බොරළු මතින් බොහෝ අපහසුවෙන් ගමනේ ඉතිරිය ගෙවා දැමීමට සිදුවුයේ බඹරැල්ලේ කඩයේ සෙරෙප්පු නොමැති නිසාය.
කඩය වෙත පැමිණි අප උදෑසන ආහාරයක් සහ තේ වේලක් එතැනින් ලබා ගෙන පළමු බසයෙන්ම ආපසු ගමන් ආරම්භ කළෙමු. බසයේදී හමුවූ ගම්මුන් අප සමග කතා කිරීමට දැඩි උනන්දුවක් දැක්වුයේ අපගේ බාහිර ස්වරුපය දුටු විට ඇතිවූ කුතුහලය නිසාද වන්නට ඇත. ඉන් කෙනෙකු ඔහුගේ දුරකථන අංකය අපහට දී පැවසුවේ නැවත එනවිට ඔහුට පවසන ලෙසත් අපව මීමුරේ දක්වා රැගෙන යාමට ඔහුට හැකි බවත්ය. රූපවාහිනී වැඩසටහන සඳහාද මගපෙන්වූයේ ඔහු බවද අප සමග පැවසුවේය. අතරමගදී බසයෙන් බැසගත් ඔවුන්ගෙන් සමුගත් අප වත්තේගම දක්වා පැමිණි එතනින් නුවර බලා යන බසයක නැගී පිටත් වීමු.  මා හට අළුත් සෙරෙප්පු දෙකක් මිළදී ගැනීමට හැකිවුයේ නුවරට පැමිණීමෙන්ද පසුවය.
කොළඹ බලා පැමිණෙමින්...


නුවරදී DTB ගෙන් සමුගත් අප නුවර සිට කොළඹ බලා යන බසයක නැගුනෙමු. බසයේ අවසන් අසුන් පෙළ කිහිපයේ අසුන්ගෙන සිටි අප අව් රශ්මිය වළකා ගැනීමට ඇඳ ඇතිරිල්ලක් එල්ලා ගත්තෙමු. ඉන්පසුව  බසයට ගොඩවන මගීන් අපදෙස බැලුවේ අමුතු සතුන් රංචුවක් දෙස බලනා අයුරිනි. ගමන් මහන්සිය තිබියදීත් අනෙකුත් මගීන්ට අවහිර නොවන පරිදි ගී ගැයූ අපහට අතරමගින් ගොඩවූ තවත් තරුණයින් කිහිප දෙනෙකුගේ සහයෝගයද ලැබුණි. කොළඹට පැමිණි අප කොටසක් කෙළින්ම නිවෙස් බලාද ඉතිරිය කටුබැද්ද බෝඩිම් වෙත ගොස් ඒ හරහා නිවෙස් බලා පිය මැනීමෙන් අපගේ චාරිකාවේ නිමාව සටහන් විය.

පසුව එළඹුණු සතියේ වුයේ චාරිකාවේ අයවැය ලේඛණය සැකසීමයි. පොරොන්දු වූ පරිදි 500 ට අඩු වියදමකින් චාරිකාව රැගෙන යාමට නොහැකි වුවහොත් සංවිධායක වශයෙන් මා හට ටොකු පුජාවක් ලබා දීමට මිතුරන් ඉතසිතින් සුදානම් වී සිටියහ. (ඒ අපේ උන්ගේ හැටිය, සමහර විට වයසේ වැරැද්ද වන්නට ඇත)

කළින් දින මා සියළු බිල්පත් සහ බස් ටිකට් පිරික්සා අයවැය ලේඛණය සකස් කරගෙන හමාර කර තිබුණි. චාරිකාවට වැයවී තිබුනේ රුපියල් 500 ට අඩු මුදලකි. එනම් රුපියල් 495 ක් හෝ 496 කි. ඉතිරි වූ රුපියල් කිහිපයෙන් අයිස් පළම් හෝ එවැනි කුඩා දෙයක් කැන්ටිමෙන් මිළදීගෙන බෙදා දුන් බවත් අද මෙන් මතකය.

මා හට ටොකු ඇනීමට පුනපුනා බලාසිටි DTB, කපුටා, බඩා, දහමා සහ බල්ලා ගේ බලාපොරොත්තු සුන් කරමින් මා අයවැය ජය ගත්තේ එලෙසය.
අවහිරතා බාධක මැද සිදුවු, ප්‍රධාන අරමුණ සම්පුර්ණයෙන් සාර්ථක නොවූ සංචාරයක් වූවද එය මාගේ ජිවිතයේ කිසිදා අමතක නොවන මතක සටහනක් සනිටුහන් කළේය. එපමණක් නොව සංචාරක දිවියට සෑහෙන වටිනා අත්දැකීම් රාශියක්ද දායාද කර දුන්නේය.

නිමි.....!


මා සමග බ්ලොගයේ සැරිසරමින් නකල්ස් සවාරියේ යෙදුනු ඔබ සැමට මගේ තුති....

කළින් දින ගත් ජයාරූප කිහිපයක්...





Monday 23 February 2015

නකල්ස් කඳු මුදුන බලා Knuckles Hike -කොටස 02


මේ වගේ ගම්පලාතක ඉන්න මිනිස්සු ගැන අමුතුවෙන් කියන්නේ දෙයක් නැහැනේ.  අපිත් එක්ක හොඳට කතාබහ කරලා “පුතාල කොහෙද යන්නේ” කියල විස්තර එහෙම අහලා අපිට ගයිඩ් කෙනෙක් විදිහට එක්කගෙන යන්න පුළුවන් කෙනෙක් ඉන්න තැනක් ගැන හොදුවාවත් දුන්නා. එතන ඉඳලා කිලෝමීටරයක් විතර ඉස්සරහට ගියාට පස්සේ අපිට ඒ කියපු දෙමළ මනුස්සයාව මුන ගැහුණා. මට හරියටම ඒ මනුස්සයගේ නම මතක නැහැ, ඒත් ශිවා කියල වගේ මතකයක් තියෙනවා. ඒ නිසා මෙතන ඉඳල එයාව ශිවා කියල හඳුන්වන්නම්.

වැඩි වෙලාවක් යන්න කලින් ශිවා අඩුම කුඩුම ටික බෑග් එකකට දාගෙන අපිත් එක්ක යන්න ලෑස්ති වුනා. ශිවා විශේෂයෙන් අතට ගත්තු දෙයක් තමයි හොඳට කැපෙන වක් පිහියක්. දැන් මිනිහා ඉස්සර වෙලා යනවා අපි කට්ටිය පස්සෙන් යනවා. අපි දැන් යන හරිය වැස්සට හේදිලා ගිය තරමක බෑවුමක් තියෙන ගුරු පාරක්. මේ පාරේ ට්‍රැක්ටරයක් වගේ වාහනයක් යන්න පුළුවන් උනාට වෙන වාහනයක්නම් යන්න පුළුවන් කමක් නැහැ. පාරක් උනාට මේ හරියෙදිත් කූඩැල්ලන්ගෙන් කිසිම අඩුවක් තිබුනේ නැහැ.

මට කළින් කියන්න අමතක වෙච්චි දෙයක් තියෙනවා. අපි මේ ගමන පිටත් වෙද්දී හැමෝම කඳු නගින්න සුදුසු මට්ටමේ පරණ සපත්තු එහෙමත් අරගෙනම තමයි ආවේ. පහළ කඩේ කිට්ටුව තිබ්බ පාළම ගාවදි සෙරෙප්පු ගලවලා සපත්තු දා ගත්තා. බඩා නම් සෙරෙප්පු දෙක දිගටම දාගෙන යනවා කියල තමයි කිව්වේ. සපත්තු දා ගත්තු උදවියසපත්තුව පුරා නිල් සබන් කැටේ උලා ගත්තේ කූඩැල්ලෝ එල්ලෙන එක නතර කරවන්න හිතාගෙන. ඇඳුම් මාරු කරගන්න ඕනේ උදවිය ඇඳුම් එහෙමත් මාරු කරගෙන තමයි කන්ද නගින්න පටන් ගත්තේ.
පාළම උඩ සහ යට කඩල කමින්.
ටික වෙලාවකින් ඇඳි නැති කොන්ක්‍රීට් පාළමක් තියෙන ඉසව්වකට අපි සේන්දු වුනා. කූඩැල්ලන්ගේ කරදරෙන් බේරිලා දවල් කෑම කන්න පුළුවන් හින්ද එතන නතර වෙලා ගිමන් නිවාගෙන කලුවලගේ ගෙදරින් එන ගමන් අරගෙන ආපු තම්බපු කඩල පාර්සල් ටික ලිහාගෙන කෑවා. ශිවා අයිය ගෙදරින් කෑම කාල ආව කියල අපි දීපු කෑම එක එපා කිව්වා. කඩල කාල වතුර එහෙමත් බීලා ආපහු ගමන්. ටික වෙලාවකින් අපි ආපු පාරෙන් දකුණු අත පැත්තට තිබුන පුංචි අඩි පාරකින් හැරිලා කැලේ ඇතුළට යන්න පටන් ගත්තා. දැන් තමයි අමාරු හරිය. මුල්ම හරියේ යම්කිසි කාලෙක කැලේ කොටසක් කවුරුහරි ගිනි තියපු බවක් හිතන්න පුළුවන් සාධක ඉතුරු වෙලා තිබුනා. මේ විදිහට කැලේ මැද්දෙන් ගිය අපි තරමක් උසකින් තියෙන ලොකු ගල් ගෙඩියකට නැග්ගේ ගිමන් නිවා ගන්න විතරක් නෙමෙයි ඇඟේ එල්ලිලා ඉන්න කූඩැල්ලන්ව ගලවලා දාන්නත් එක්ක. නිල් සබන් ගෑවට පඳුරු අස්සෙන් යද්දී ඒවායේ ඉන්න කූඩැල්ලෝ ඇඳුම් වල හරි ඇඟේ කොහේහරි එල්ලෙනවා. මේ කාලේ වෙද්දී “කූඩැළු මේස්” ගැන අපි අහලවත් තිබුනේ නැහැ.

මේ හරියේදී මරු සීන් එකක් උනා. අපි අපේ අරුණගේ කාඩ් එක තමයි “දෙමළා”. ඌ පෙරාපු සිංහල උනාට අපි ඉදිරිපිටදීම කවුරුහරි මේ ළමයා දෙමළද කියල අහපු නිසා තමයි ඌට ඒ කාඩ් එක වැටුනේ. අපි ඌට මොකක්හරි කියන්නේ “දෙමලෝ” කියල කතා කළාම ශිවා දෙතුන් පාරක්ම හැරිලා අපි දිහා බැලුවා. මේ වැඩේ හරි යන්නේ නැති නිසා අපි ශිවාටත් කතන්දරේ තේරුම් කරලා දීලා, මේ ගමනේදී අපේ දෙමළට දෙමළා කියන්නේ නැතුව “ටැමිලා” කියල කියන්න එකඟතාවයක් ඇති කර ගත්තා. ඒත් සමහර වෙලාවට කාට හරි වැරදිලා පරණ නම කියවෙන එකත් ඉඳල හිටලා සිද්ධ නොවුනාම නෙමෙයි. ඒ ගමන ගිහින් ඇවිත් මේ වෙද්දී අවුරුදු 15 ක් ගත උනත් අදටත් ඌට  දෙමළා සහ ටැමිලා යන නම් දෙකම පාවිච්චි කරනවා.
ගලක් උඩ විවේකයෙන්. (දළසේයාපට කැමරා වල පැමිණිය හැකි ගැටළුවක්)
එතන ටික වෙලාවක් ඉඳල ආපහු ගමන පටන් ගත්තා. දැන් දිගටම වගේ තියෙන්නේ තද නැග්මක්. ටික වෙලාවකට පස්සෙ දහම මැරෙන්න වගේ හති අරින්න පටන් ගත්තා. අපි ඒ වෙලාවෙ තමයි දන්නේ ඌට හතිය තියෙනවා කියලා. ඌ තමයි එකක් ටෙන්ට් එකක් උස්සගෙන ආවේ. ඔක්කොටම කළින් මගේ සයිඩ් පොකට් එකේ තැන්පත් කරගෙන හිටපු ඩෙක්‍රෝස් එකක් කඩලා ඌට බොන්න දුන්නා. ඊට පස්සේ ඌට බර අඩු බෑග් එකක් දෙන්න ගියාම තමා අපිට තේරුණේ දහම් උස්සගෙන ආපු ටෙන්ට් එක දාලා තිබුන බෑග් එක කොයි තරම් බරද කියන එක. මම මගෙ බෑග් එක කපුටටද කොහෙද දීලා දහම් ගාව තිබ්බ බෑග් එක කරේ එල්ල ගත්තා.

මේ ටෙන්ට් එක දාපු බෑග් එකේ බර මදිවට ටෙන්ට් එක හයි කරන්න ඕනෙ කරන යකඩ බට වගයකුත් තිබුනා. ඒ ටික මිටියක් විදිහට ගැටගහලයි තිබ්බේ. මුලින් අපේ අදහස උනේ ඒ බට මිටිය එක එක්කෙනා සැරින් සැරේ ගෙනියමු කියලා. ඒත් තමන්ගෙ වාරය ආවහම ඒක බාර ගන්න හැමෝම වගේ අදිමදි කරා. ඒක හරි කරදරයක් නිසා පස්සෙ බට ටික එක ගානේ හැමෝටම බෙදල දුන්නා. ඒත් බට කීපයක් ඉතුරු උනා. ඒවත් බෑග් වල පිටිපස්සෙන් එල්ල ගත්තම තිබ්බ කරදර ඔක්කොම ඉවර වෙලා ගියා විතරක් නෙමේ අතේ තිබ්බ බට කඳු නගිද්දී ආධාරකයක් විදිහටත් ප්‍රයෝජනවත් වුනා.

බෑග් එහෙ මෙහෙ මාරු වෙද්දී තමයි දැනගත්තේ බල්ලාගේ බෑග් එක ලොකුවට පෙනිලා තියෙන්නේ හිස් බැරල් එක නිසා කියලා. ඒ නිසා අපේ බෑග් වල තිබ්බ සැමන් ටින් වගේ බර දේවල් තොගයක්ම උගේ බෑග් එකට පටවලා දැම්මා.
මහා බෑවුම් තරණය
කන්දෙ අන්තිම හරිය නගිද්දි පිටිපස්සෙන් එන කෙනාගෙ තල්ලූවක් පවා වුවමනා වෙන තරමටම බෑවුම වැඩියි. ටෙන්ට් බෑග් එක නිසා මාව පස්සට ඇදිලා යන ගතියක් දැනුනා ඒ හරියේදී. කන්දෙ නැග්ම අංශක 80ක්වත් වෙන්න ඇති කියලයි මට හිතූනෙ. ඊට පස්සේ තිබුණ කොටසේ බෑවුම අඩුයි. ශිවා කියපු විදිහට අන්තිමටම තියෙනවා කියපු දිය උල්පත ගාවට ගිහින් ඇතිවෙන්න වතුර බිව්වා. බෝතල් වලටත් පුරව ගත්තා. බැරල් එකට වතුර පුරවා ගන්න එක පසුවට කල් දැම්මේ මේ තියෙන බරත් එක්ක තවත් උස්සගෙන යන්න බැරි නිසා. ආපහු ඇවිත් බැරල් එකට වතුර ගෙනියමු කියලා තීරණය උනා.
කඳු මුදුන බලා පැමිණි පසු

කඳු මුදුනේ.

රවුම ඇතුළේ ඉන්නේ එහා කඳු මුදුන තරණය කරන අපේ මිතුරන්ය

කඳු වැටිය ඔස්සේ යමින්...
මේ සියළුම බාධක අතරේ හවස 4:30ට විතර කන්ද මුදුනට නැග ගන්න පුළුවන් වුනා. වට පිටාවෙ ඉන්න කූඩැල්ලො මොන වගේ විපතක් අපිට කරයිද කියල හිතා ගන්නවත් බැහැ. ඒ තරමට කූඩැල්ලෝ ගොඩක් මම සිංහරාජෙදිවත් දැකලා තිබුනේ නැහැ. කොහොම කොහොම හරි දෙමළයි බඩායි තව කීප දෙනෙකුයි ටෙන්ට් එක අටවන අතරෙ අපි හතර පස් දෙනෙක් ගියා දර හොයන්න. ස්කෝල කාලෙදි කැඩෙට් කලා කියලා කළින් පම්පෝරි ගහපු අපේ අයියල ටෙන්ට් එක ගහන්න ගිහින් දහ අතේ කැරකෙනවා කියලනම් අපිට තේරුණා.
කඳවුරු භුමිය අවට. සවස 5 ට පමණ
කඳවුරු ගසමින්...
මෙහේ තියෙන දර වලට දර කියලා කිව්වට ඒවට දර කියල කියනවට අපිට කියක් හරි දෙන්න ඕනේ. කඳු මුදුනේ හැම තැනම තියෙන්නෙ කුරු ශාක වර්ග නිසා ඒවයේ දරත් ඒ වගේම පුංචියි. ඒ මදිවට හොඳටම තෙත් බැහැලා, දර අහුලන අතරේ මට හිතුනේ මේවා කොහොම පත්තු කර ගන්නද කියලා. ඒ මදිවට පත්තු කරන්න තරම් ලොකු දර කෑල්ලක් හොයා ගන්න එක හරියට කළුනික හොයනවා වගේ අමාරු වැඩක්.
ගිනිමැලය සකසමින්.
හොයා ගත්තු දර කෑලි ටික තෙතෙබරිත වෙලා තිබුන තණකොළ අඩු හරියක ඒ ටික ගොඩ ගහල පත්තු කරන භාරදූර කටයුත්ත ඊළඟට. ඒකෙත් ජය අපිට වුනාට කෑමක් රත් කරගෙන කන එක හීනයක් කියල තමා අපිට පෙනුනෙ. ඒ වගේම අපි කල්පනා කරල හරි නොදැනුවත්වම හරි වැඩිපුරම කන්න කියලා ගෙනත් තිබුනෙ පාන් නිසා ඒ තරම් නෙමේ කෑම ගැන ලොකුවට මහන්සි වෙන්න වුවමනා වුනේ නැහැ.
මේ අතරේ අපෙන් දෙතුන් දෙනෙක් ගිහින් බැරල් එකටයි හිස් වෙච්ච බෝතල් කීපෙකටයි වතුර පුරවගෙන ආවා.

අමතක කරන්නෙ නැතුව කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි අරගෙන ගිය ඩෙක්‍රෝස් ගැන. ඒවා අපි හැමෝටමත් වඩා වැඩිපුර දහමට ප්‍රයෝජනවත් වුනා. අපි හැමෝටමත් පාන් කියා ගන්න බැරි මට්ටමට ආපු හැම වෙලාවේම වගේ ඩෙක්‍රෝස් වලින් ඇඟට සැළකිය යුතු පණක් ලැබුනා.
කඳවුරු භුමිය.



අපි දර හොයගෙන එනකොට ටෙන්ට් දෙක නම් අටවලා තිබුනා. රෑ හීතල යන්නත් එක්ක ලොකු ගිනි මැළයක් ගහමු කියලා හිතුවට දර නැතිකම නිසා සහ සැරින් සැරේ එළියට ගිහින් ඒක නිවෙන්න නොදී තියා ගන්න බැරිකම නිසා ගිනිමැලේ කතන්දරේ පොඩ්ඩක් අවුල් සහගත මට්ටමක තිබුනේ. අමාරුවෙන් ගහගත්තු ගිනිමැලේ වටේ ටික වෙලාවක් හිටගෙන සහ වාඩිවෙලා පොඩ්ඩක් උණුසුම් වෙන්න හැමෝටම පුළුවන් වුනා. ගිනිගොඩ ළඟටම කකුල් දෙක දික් කරගෙන හිටපු කපුටාගේ එක සපත්තුවක් ගිනි ගන්න හදනවා කියල කවුරුහරි දැක්කේ මේ වෙලාවේ. ඒකෙන් හොඳටම දුම් දානවා. එන්න එන්නම හුළඟ ගොඩක් වැඩි වෙනවා, ගිනිගොඩ තිබ්බට සීතල අඩු වෙන්නෙත් නැහැ. ඒ නිසා ටෙන්ට් ඇතුළට ගාල් වෙන එක හොඳයි කියල අපි තීරණය කලා.

ඒ උනාට ඒකත් අවුලක්. කවුරුහරි ගිනිමැලේ බලන්න සහ වෙනත් අවශ්‍යතාවන්ට එළියට ගිහින් එන්නේ කූඩැල්ලො දහ පහළොස් දෙනෙක් ඇඟේ එල්ලගෙන. ඊට පස්සෙ අපි තීරණය කලා ගින්න නිවිලා ගියත් කමක් නැහැ. වැඩිපුර එළියට යන්නෙ නැතුව ඉන්න එක ඇඟට ගුණයි කියලා. ඒත් ස්වභාවික අවශ්‍යතාවයකට එළියට ගිහින් ආපු කපුටා කූඩැල්ලො කීප දෙනෙක් අරගෙන ඇවිත් තිබුනා. එකෙක් හිටියෙ කපුටගෙ ඛෙල්ලෙ එල්ලිලා. ඉක්මණටම රෑ කෑම අරගෙන නිසා ගැනීම සුදුසුයි කියල තීරණය උනා.

පාන්, මාජරින් සහ රට ළුෑනු ඛෙදලා දුන්නා. තුන් දෙනෙකුට එක පාන් ගෙඩියක්, රට ළුෑනු ගෙඩි බාගයක් ගාණෙ ඛෙදලා දුන්නා. ඒ අපි කැලේදි කාපු පළවෙනි කෑම වේල නිසා ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නැහැ. හැබැයි කට්ටියගෙ මූණු වලින් නම් පෙනුනේ කෑවා මදි වගේ පෙනුමක්.

අපි හිටපු ටෙන්ට් එක ඇතුළෙ මම, තරිඳු, දෙමළා, එළුවා, කපුටා හිටියා, අනිත් එකේ දහම්, බඩා, බල්ලා, චූටි බබා කළුවා සහ ශිවා හිටියා. අපි එක එක කතා කිය කිය නිදිමත එනකල් කල් මැරුවා. එහා පැත්තෙ ටෙන්ට් එකේ ගියපාර කැම්පස් එකේ අපේ බැච් එකෙන් කරපු කලා මංගල්‍යයක් ගැන මොකක් හරි කතාවක් ඇදිලා ඇවිත් දහම් සෑහෙන්න හිත නරක් කරගෙන තිබුනා. DTB දහමට කියලා තියෙනවා උඹ ඒකෙන් “සල්ලි හොරකම් කලා” වගේ තේරුම එන ප්‍රකාශයක්. DTB කියන මනුස්සයා මොන වගේ කෙනෙක්ද කියන එක අපිට තේරෙන්නෙ නැත්තෙ මෙන්න මේ වගේ දේවල් නිසා තමයි. එහෙම දෙයක් වුනා හෝ නොවුනා හෝ ඒ වගේ දෙයක් කතා කරගන්න ඒ මෝඩයට මේ කන්ද උඩටම එන්න ඔනෙ වුන එක තමා පුදුම.

කොහේ හරි සංචාරයකදි කරන්න නරකම දේ තමා ඒ යන කණ්ඩායම තුළ ඇති වෙන හිත් නොහොඳකම්. එදා ඇති වුන ප්‍රශ්නෙනම් හැමෝටම වගේ රෑ එළි වෙනකොටම අමතක වෙලා ගියා. ඒත් දහම ඊට පස්සෙ කිසිම යූනියන් වැඩකට සහභාගී වුනේ නැහැ.

එදා රැය ගෙවා ගන්න එක තමා අපිට තිබ්බ අභියෝගය වුනේ. මේ වගේ හීතල තෙතබරිත කැලේක ටෙන්ට් එකක් ඇතුළෙ ගුළි වෙලා ඉන්න එක ලේසි පහසු වැඩක් නෙමේ. අපි ටෙන්ට් එක ගැහුවේ තණබිස්සක. ඒ තණකොළ ගුටි ගුටි වගේ හැදිලා තියෙන්නේ ඒවා හරිම තදයි. හරියටම මගේ කොන්ද යට එයින් ගුලියක් තිබුනා. ඒ මදිවට මම හිටියෙ ටෙන්ට් එකේ අයිනක නිසා මගෙ ඇඟේ එක පැත්තක් හොඳටම හීතල වෙලා. මුළු රෑ පුරාම වගේ මම කලේ එළි වෙන්නෙ කීයටද කිය කියා වෙලාව බලපු එක විතරයි. මගෙ තනියට තරිඳුත් ඇහැරිලා “වෙලාව කීයද බං” කියකියා හිටියා. මේ වෙද්දී අපි “ස්ලීපින් බෑග්” ගැන අහලවත් තිබුනේ නැහැ. එහෙම උනානම් ටිකක් හරි මේ දුකෙන් මිදෙන්න තිබුනා.

උදේ නැගිට්ටට පස්සේ තමා අපිට මේ ගමනේ අපහසුතා වලින් හොඳම හරියට මූණ දෙන්න සිද්ධ වුනේ. ශරීර කෘත්‍යය කරගෙන හෝද ගන්න වුනෙත් අර බෝතල් කීපයෙ තියෙන වතුර වලින්. ඒ වෙනුවෙන් වෙනම වතුර බෝතල් කීපයක් වෙන් කරලා  වතුර ඛෙදලා දුන්නෙත් සළාක ක්‍රමයට. එක මෙගා සයිස් බෝතලයක් දුන්නා තුන් දෙනෙකුට හෝද ගන්න. මීට අමතරව ඔළුව කල්පනා කරල අරගෙන ගිය සර්වියේට් පේපර් ටිකත් සෑහෙන්න ප්‍රයෝජනවත් වුනා හැමෝටම වගේ. ඒ ක්‍රියා කලාපයෙන් පස්සේ සමහර තැන් මිනිස්සුන්ට යන්න බැරි තහනම් කළාප විදිහට හඳුන්වන්නත් සිද්ධ වුනා. කෙනෙක් ගිය තැනකට ආපහු තව කෙනෙකුට යන්න බැරි වෙන තරමට වැඩ සිද්ධ වෙලා තිබුණා. මීට අමතරව හැමෝටම වගේ විඳින්න වුන කරදයක් තමා මේ කර්තව්‍යය අතර වාරයෙදි එල්ලෙන්න හදන කූඩැල්ලන්ගෙන් බේරෙන එක යාන්තම් උදේ 7 විතර වෙද්ද ඒ අපහසුතාවයන් ටික ඉවර වුනා.
ගමනට සුදානම්ව.
වැඩි වෙලා යන්න කලින් අපි ලෑස්ති වෙලා, ටෙන්ට් දෙකත් අකුලගෙන උදේ කෑම පසුවට කල් දාල ගමන පටන් ගත්තා. අද දවසේ අපේ අරමුණ උනේ මීමුරේ ට බැහැගන්න එක. කූඩැල්ලන්ගෙන් බේරෙන්න අරගෙන ගිය නිල් සබන් කැට දෙකෙන් මේ වෙනකොට ඉතුරු වෙලා තිබුනෙ බොහොම ටිකයි. මේ තරම් කූඩැල්ලන්ගෙන් කරදර වෙයි කියලා මට නිකමටවත් හිතිල තිබුනෙ නැහැ. හැබැයි මේ වගේ ගමන් වලින් මම හොඳ පන්නරයක් ලැබුවා ගමනක් යද්දි ගෙනියන්න ඕනෙ මොනවද නැත්තෙ මොනවද කියන එක ගැන.

ලිවීමේ රටාව කිසියම් නොදන්නා හේතුවක් නිසා මෙතනින් ඉදිරියට වෙනස් වී ඇති බව කරුණාවෙන් සළකන්න.

ගමන පටන් අරන් වැඩි දුරක් යන්න ලැබුනේ නැහැ. ඉදිරයෙන් ගිය පිරිස යම්කිසි දෙයක් දැක නතර වූ නිසා අපද එම ස්ථානයට වහා ළඟා විය එහි වූයේ ටික දොහකට ඉහතදී මිය ගිය ගෝනකුගේ සුන් බුන් ගොඩකි. එය කෙසේ සිදු වූවාද යන්න සිතීම පසුවට කල් දැමූ අප නැවතත් ගමන ආරම්භ කළෙමු. නමුත් එම දර්ශනය අපගේ සිත් තිගැස්වීමට සමත් වුවද කිසිවෙකු හෝ එය හෙළි කලේ නොමැත.
ටික දුරකදී මගපෙන්වන්නා විසින් යොමු කරන ලද  දිය පහරක් හරහා යාමට අප හට සිදු විය. දිය පහර දිගේ තරමක් දුර ගමන් ගත් අප සැමගේ අදහස වූයේ දැන්වත් විඩා නිවා ගතයුතු බවය. දිය පහර අයිනේ ඇති ගල් ගෙඩි කිහිපයක් මත හිඳ ගමන් වෙහෙස නිවා ගනිමින් ද ආහාර පාන ගැනීමකින්ද සන්තර්පණය වීමු. එම ගල් ගෙඩි කිහිපය උඩ නතර වී සිටියත් කූඩළු ප්‍රහාරයෙන් ගැළවී ගැනීමට නොහැකි විය.
විවේකයක් සහ කූඩැල්ලන් ගලවමින්.
නැවත ගමන් ඇරඹීමේදී කූඩැල්ලන් ඇඟේ එල්ලීමේ වේගය වැඩි විය. කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීම සඳහා ගැල්වූ සියළු ආලේපන ජල පහරේ දිය වී ගොසින් ඇත. සපත්තු තුළට අනවසරයෙන් ඇතුල් වූ කූඩැල්ලන් ඇද දැමීමද කළනොහැක. ඒවා තුළ ඇති වතුර නිසාවෙනුත් සපත්තු ගළවා උන් ඇද දැමීමට ගියහොත් තව තවත් උන්ගේ ප්‍රහාරයට ගොදුරු වියහැකි බැවිනුත් රිසි සේ ලේ දන් දෙමින් ගමන් කළෙමු. එහිදී දැනුනු අපහසුව අදටත් මා හට සිතින් විඳිය හැක. ලේ බී තරවූ කුඩැල්ලන්ගේ තර බව යටිපතුළට දැනෙද්දී එය නොතකා ගමන් කිරීම කෙතරම් අපහසුවක්ද යන්න තේරුම් ගත්තේ එදාය.

අපගේ මග පෙන්වන්නා සම්බන්ධව සැකයක් ඇති වූයේ මෙන්න මේ අවස්ථාවේදීය. මීමුරේ යාමට පාර දන්නා ලෙසට ගමන් ඇරඹු ඔහු ලකේගල ඇති දිශාව බලා මී මුරේ සොයා යෑමට දැරූ උත්සාහයද නිරර්තක වෙමින් පැවතුනි. වරින් වර ඇද හැලෙන මී දුම ඔහුගේ අදහස මුදුන් පමුණවා ගැනීමට ඉඩ නොදෙන්නට තීරණය කළාක් වැන්න. අප තුළ පැවති අධික උද්යොගයත් අභියෝග සඳහා මුහුණ දීමට ඇති ආශාවත් හෝ එසේත් නොමැතිනම් වෙනත් කිසියම්ම හේතුවක් නිසා හෝ ඔහු අනුව යාමට කිසිදු පසුබෑමක් අප තුළද නොවීය. වරින් වර මීදුමෙන් වැසි වැසී නොපෙනී යන ලකේගල අපගේ ඉළක්කය ලෙස තබා ගැනීම කොතරම් අපහසුවක් දැයි අප හටද තේරුම් යමින් පැවතුණි. කැලෑව තරමක් උසට වැඩී ඇති විටෙක ලකේගල දැක ගැනීමේ හැකියාවක්ද නොවීය.
මහා බෑවුම්...
අප බැසිය යුතු දිශාව සම්බන්ධව පැහැදිළි අවබෝධයක් මේ වන විට ඇති වී තිබුනද සොබාදහම විසින් කළ යුත්තේ කුමක්ද යන්න මුළ සිටම තීරණය කර අවසන් කර තිබුණි. වරෙක අපි බොහෝ සාර්ථක ලෙස පල්ලම බැසගෙන ගිය අතර මිහිදුමට ආවරණය වූ විශාල ගල් පර්වතයක් ඇස් අභියසම දිස් වූයේ අප විශ්මයට පත් කරවමිනි. එවන් විශ්මිත දෑ බොහෝ ඈ සතු විය. බැසගෙන යා හැකි යැයි සිතෙනා මාර්ගයක් ඔස්සේ බැසගෙන ගිය විට හමු වූයේද විශාල පල්ලම් පමණි. මෙම අවස්ථාවේ පසුපසින්ම පැමිණියේ කපුටාය. මම පැමිණියේ ඔහුට ඉදිරියෙනි. එවනි අවස්ථා කිහිපයකදී අවසානයට පැමිණි කපුටාගේ සහ මාගේ පාදයන් වැදී ගල් කිහිපයක් ගැලවී ගිය අවස්ථා කිහිපයකදී ඉදිරියෙන් සිටි පිරිස දැඩි අවධානමකටද ලක් විය. එවැනි විටෙක හොඳ සිංහල බසින් අප ඇමතීමට ඔවුන් අමතක කලේ නැත. එහෙත් එසේ වීමට හේතුව ඉදිරියෙන් ගමන් ගත් ඔවුන්ගේ පාදයන් නිසා බුරුල් වූ ගල් බැව් අමතක නොකළ යුතුය.

වරෙක අප ඉතා සාර්ථක ලෙස පහළට බැසගෙන ගියෙමු. කන්දේ ආනතිය අංශක 70 කට වඩා වැඩි මිස අඩු නැත. පහළින් දිය ඇල්ලක් වැටෙන ශබ්ධයක් ඇසෙන්නට පටන් ගත්තේ අප සෑහෙන දුරක් පහළට බැස ගැනීමෙන් පසුවය. මෙතැනින් පහළට බැස යා හැකි වෙතැයි දැඩි විශ්වාසයක් අප තුළ ඇති වී තිබුණු අවස්ථාවක් වූ එහිදීද අපගේ බලාපොරොත්තු කඩ වී ගියේය. එහිදී දහම් පැවසූවේ අප විසින් කඹ කිහිපයක් හෝ රැගෙන ආ යුතුව තිබූ බවයි. එසේනම් මෙම පල්ලම බැසගැනීමට හැකිවනු ඇත යන්න ඔහුගේ අදහස විය. එහි වුයේ අවම වශයෙන් සියයකට වඩා වැඩි බෑවුමකි. කඹ වලින් බැසීමේ කිසිදු පළපුරුද්දක් නැති අප එවැනි උත්සාහයක් දරුවේනම් අපගේ කතාව මීට වඩා බොහෝ වෙනස් එකක් වන්නට ඉඩ තිබුණි.

නැවතත් ආ පාරෙන්ම ඉහළට නැග කඳු වැටිය දිගේ ගමන් ඇරඹුවෙමු. එවර අප ඉදිරියේ වූයේ තවත් බාධකයකි. අප පැමිණි මගේ වූ පැහැදිළි බව අවසන් වී ඇත. එක් වරම වදුලූ ස්වරූපයක් ගත් කැලයකි ඉදිරියෙන් දිස් වූයේ. යාමට ඇති එකම මගනම් ඌරන් වැනි සතුන් ගමන් කරනා උමගක් වැනි මගක් පමණි. එහි ඇති අනතුර හඳුනා ගත් බැවින්දෝ මගපෙන්වන්නා වූ ශිවා ඉදිරියෙන් ගමන් කිරීම ප්‍රතික්ෂේප කලේය. කවුරුත් මුහුණට මුහුණ බලමින් සුළු වේලාවක් ගත කළ අතර ඔහු අත වූ පිහිය ඉල්ලාගත් මා ඉදිරියෙන් යාමට ඉදිරිපත් වීමෙන් ගැටළුව නිමාවිය. එහෙත් කරදරවල නිමාවක්නම් නොවීය. යා යුත්තේ දණ ගාගෙනය. ඉදිරයෙන් ඇති අවහිරතාද ඉවත් කල යුතුය. වැල් වල පැටලෙන බර පොදි නිදහස් කර ගැනීමද දණ ගාමින්ම සිදු කල යුතුය. ඉදිරියෙන් වල් ඌරෙකු හෝ වෙනත් සතෙකු පැමිණියේනම් කළහැකි දෙයක් නොමැත.
එළිමහන් බිමක විවේකයෙන්...
කෙසේ හෝ එම අවහිරය නිමා කරමින් යම් දුරකට අකුල් වලින් තොර බිමකට පැමිණීමට හැකි වීම මහත් සහනයක් විය. එහෙත් ඒ වන විට අප පිරිස කායිකව සහ මානසිකව බොහෝ දුරට වෙහෙස වී සිටියාට සැකනැත. “දෙයියන්ටවත් කියමුයන ශිවාගේ හඬත් සමගම සැමගේ සිත් තුළ බියක් ඇති වූ බව මුහුණු වලින් මොනවට දිස්විය. ශිවා අයියා අනුව යමින් අප සියල්ලෝම කඩා ගත් අතු රිකිළි ගසක අත්තක එල්ලා පිහිට යැද්දේ කිසිදු පැකිලීමකින් තොරවය. එහිදී එකිනෙකාගේ ඉල්ලීම් අනෙකෙකුට නොඇසීම වඩා හොඳය.

පසුව ලද අවසරයෙන් සියල්ලෝම පාහේ ඩෙක්‍රෝස් වේලකින් සප්පායම් වීමු. යළිත් ගමන් ඇරඹුවද යන්නේ කොහිද යන්න ගැන කා හටවත් ප්‍රශ්නයක් හෝ අරමුණක් නොවීය. එක් වරම අප ඉදිරියෙන් වඩා එළිමහන් බිමක් දිස් වීම අපගේ බලාපොරොත්තු ඉහළ නැංවීය. එහිදී යමක් බඩට දමා ගැනීම හොඳ බව කාගේත් මකය විය. ඒ අතරවාරයේ දෙතුන් දෙනෙකු මදක් එහාට ගොස් ගසකට නැගී හෝ ලකේගල දිස් වන්නේදැයි බැලීමට කල අවසන් උත්සාහයද මීදුම නිසා මගහැරී ගියේය. පාන් සමග මොන මොනවාදෝ ගිල දැමීමෙන් පසුව තවත් ඉදිරියට යෑමේ අදහස අත්හැර දැමීමට අප තීරණය කලේ වෙන කළහැකි යමක් නැති බැවිනි. අප පැමිණි මගේම ආපසු ගියහොත් අවම වශයෙන් කලින් දින කඳවුරු ගැසූ බිම වෙත රෑ බෝ වන්නට පෙර යා නොහැකි වනු ඇත.

නමුත් මෙහිදී එක් වරම මීදුම පහ වී යාමෙන් පසු පෙරදා රැයේ අප කූඩාරම් ගැසු කඳුගැට පෙළ තරමක් ආසන්නයෙන් දිස් විය. කෙළින් බැලු විට එය උපරිම කිලෝමීටර දෙකකට වඩා වැඩි නොවන්නට ඇත. දවස පුරා ඇවිද්දත් අප සිදු කර ඇත්තේ බොහෝ දුරට වටේ කැරකීමක් බව එයින් ඔප්පු විය.

යළි කඳවුරු භුමිය වෙත ලඟාවීම සහ චාරිකාවේ අවසානය ඉතිරි කොටසින්....