Thursday 23 October 2014

උඩවලව චාරිකාව-2007 (අවසාන කොටස)

පළමු කොටස මෙතනින් කියවන්න

දෙවන කොටස මෙතනින් කියවන්න

පසුදින උදෑසනින් අවදි වී ලකලෑස්ති වීමේ කටයුත්ත ආරම්භ කළෙමු. ඒ අතරතුරේදී ඊයේ මා කතා කළ කැබ් රථය සෆාරි බංගලාව කරා පැමිණියේය. හීල් ආහාරය පාර්සල් ලෙස ඔතාගෙන නව රියදුරු හා වනෝද්‍යානය බලා ගමන් ඇරඹුවෙමු. උද්‍යාන පිවිසුමේදී අප එනතුරු බලාසිටි චන්දන සමග ගොස් ගොස් ටිකට්පත් මිළදීගත් අප පමාවකින් තොරව ගමන ආරම්භ කළෙමු. පෙරදා රාත්‍රියේ ඇද වැටුණු වැස්ස මහා වැස්සක් බව දැක ගන්නට ලැබුණේ උද්‍යානය තුළට ඇතුල් වූ පසුය. එදිනද වැසිබර ගතියේ අඩුවක් නොවන බව පෙන්වන්නට මෙන් පොද වැස්සක් ඇද වැටෙමින් පැවතුනේය.

තරමක් දුරට යත්ම මාර්ගයේ තත්ත්වය ඉතා අවධානම් සහගත තත්ත්වයකට පත්විය. බණ්ඩක්කා මෙන් ලිස්සන මාර්ගයේ වාහන ධාවනය අවධානම් වුවද එය එක්තරා අන්දමක විනෝදජනක අත්දැකීමක් බවටද පත් වුවේය. වාහන වලට පාරේ කෙළින් යාමට නොහැක. පාර ලිස්සන අත අනුව ඒවා එහා මෙහා ලිස්සා යමින් ඉදිරියට යමින් පැවතුනේය.

ලිස්සන පාර...
අප ගමන්ගත් රථය ෆෝ වීල් වර්ගයේ එකක් නොවුනද එහි දමා තිබු ටයර අළුත් ඒවාය, එමෙන්ම එහි වූ කට්ට රටාව ලිස්සීම සීමා කරන වර්ගයේ ඒවා බැවින් එතරම් කරදරයකින් තොරව ගමනේ යෙදීමට අපට හැකි විය. අනෙත් කාරණය වූයේ අප නඩය දාහතර දෙනෙකුගෙන් සමන්විත බරසාර එකක් වීමය.  රියදුරු සහ නියාමක සමග දාසය දෙනෙකි. අපගේ කැබ් රථය ලිස්සා නොයාමට එහි වූ අධික බරද හේතුව වන්නට ඇත.
තල්ලුවට පෙර සුදානම...
පැත්තකට වී බලාගෙන සිටින්නේ කැබ් එකේ ආ වැඩිහිටි දෙදෙනාය

අපට ඉදිරියෙන් ගමන්ගත් කැබ් රථය එක වරම ලිස්සා ගොස් කාණුවට දෙසට ඇදී ගියේය. එහි ඉදිරිපස කොටස කාණුවට වැටී තිබුණේය. පසුපසට රිය ධාවනය කරමින් එය ගොඩ ගැනීමට රියදුරු මහතා සිදුකල උත්සාහය සාර්ථක වුයේ නැත. රෝද එක තැන කරකැවුනා මිස එය මදක් හෝ පසුපසට ආවේ නැත. අප එහි ගොස් බලන විට එහි වූ ටයර තරමක් ගෙවී ගිය ඒවා බව දැකගත හැකි විය. ඉතිරිව ඇති කට්ට ප්‍රමාණය ලිස්සා යාම පාලනය කිරීමට අසමත් වුවා විය හැක. වනෝද්‍යාන ඉදිරිපිට නතරකර ඇති ජීප් රථ හෝ කැබ් රථ මෙවැනි ගමනක් සඳහා තෝරා ගැනීමේදී ඒවායේ ටයර ගැන සැළකිලිමත් වීම වාසියක් මිස පාඩුවක් නොවනු ඇත.
අප රථයේ රියදුරු මහතා සහ කාණුවට වැටුන රථයේ රියදුරු මහතා රාජකාරි මිතුරන් විය. ඒ නිසා ඔහු එම රථය ගොඩ ගැනීමට සහය දීමට ඉදිරිපත් වීම සාමාන්‍ය දෙයක්විය. මිතුරන් නොවුනද වනෝද්‍යානයකදී කරදරයකට පත්වූ කෙනෙකුට පිහිට වීමට මිතුරුකම අනිවාර්යය අංගයක් නොවන නිසාත් අපද එයට උර දීමට ඉදිරිපත් වූයෙමු.
ගොඩ ගනිමින්...

රෝද මගින් එතරම් සහයක් නොදුන් කැබ් රථය තල්ලු දැමීමෙන් පමණක් ගොඩ ගැනීම සිදුකල හැකි නොවීය. කාණුවට වැටුණු කැබ් රථයේ එය ඇදීමට සහය කොට ගතහැකි නයිලෝන් වර්ගයේ කඹයක් තිබුණි. එය අප ගමන්ගත් කැබ් රථයට ගැට ගසා එයින් අදින මොහොතේදීම ලබා දෙන තල්ලුවෙන් එය ගොඩ ගැනීම අපගේ අභිලාශය විය. එම රථයේ පැමිණ තිබුනේ වැඩුණු පිරිමින් සහ ගැහැණුන් කිහිප දෙනෙක්ද, ළමුන් කිහිප දෙනෙකි. එහි උන් වැඩිහිටි පිරිමින් දෙදෙනෙකු බිමට බැස වාහනය ගොඩ ගැනීමට අප ගන්නා උත්සාහය නිරීක්ෂණය කරමින් උන්නේය. එය තමන් පැමිණි වාහනය බවට ඔවුන් අමතක කර දමා තිබුන සෙයකි.
එම කැබ්රිය ගොඩගත් පසු නැවතත් අපගේ චාරිකාව ආරම්භ විය. එසේ යාමට හැකි වුයේ මීටර කිහිපයක දුරකි. නැවතත් එය ලිස්සා ගොස් කාණුවට ඇදී ගියේය. නැවතත් පෙර පරිදිම සහ ඊටත් වඩා ඇඟේ පතේ මඩ ගා ගනිමින් කල උත්සාහයකින් අනතුරුව එය ගොඩ ගැනීමට අප සමත් විය. පෙර සේම එම නඩයේ වූ වැඩිහිටියන් නිරීක්ෂනයෙන් පමණක් අපට සහය විය. වාහනය ගොඩ ගන්නට උදව් වූ අපට එය සිදු කළයුතු ආකාරය සම්බන්ධ උපදෙස් නොදී නිකම්ම බලා සිටීම සම්බන්ධව ඔවුන් දෙදෙනාට මාගේ පැසසුම. කිසිඳු මැසිවිල්ලක් හෝ නොනගා එම රිය තල්ලු කර ගොඩ ගැනීමට අපගේ දායකත්වය දුන්නේ ඉන් අපද විනෝදයක් ලද නිසාය.

කැබ් රථය කාණුවට වැටෙන සෑම වරකදීම එයට තල්ලු දැමීම ප්‍රායෝගිකව සිදු කිරීමට අපහසු තත්ත්වයක් බවට විය. වරින් වර වනෝද්‍යානයකදී බිමට බැසීමට සිදුවීම අපහට දැරීමට සිදුවන අනවශ්‍ය අවධානමකි. වනෝද්‍යානයක් තුළදී වාහනයකින් බිමට බැසීම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැකි වරදකි. මේ කිසිවක් නොව මා සිත පෙලූ ප්‍රශ්නයේ වුයේ එය අපගේ නිරීක්ෂණ කටයුතු සහ ජායාරූප ගැනීමේ කටයුතු වලට බාධාවක් බව ඇස් පනාපිටම ඔප්පු වෙමින් පැවතීමය.

කුරුළු නිරීක්ෂණය සඳහා බොහෝ උචිත අතුරු මාර්ගයක් ඔස්සේ යාම වඩා සුදුසු බව චන්දන යෝජනා කලේ මේ අතරේදීය. සමහර විට මේ ප්‍රශ්ණයෙන් අපව මුදවා ගැනීම ඔහුගේ අභිප්‍රාය වන්නට ඇත.  යාමට තීරණය කල අතුරු මාර්ගයේ ටයර ගෙවුණු කැබ් රථයට කෙසේවත් යා නොහැකි තරමට මඩවි ඇති බවක්ද කියැවිණි. එබැවින් ඔවුන් ප්‍රධාන මාර්ගය ඔස්සේ යාමට තීරණය කිරීමෙන් පසු “තල්ලු කිරීමේ පප්‍රශ්ණය” අපගෙන් දුරස් විය. ඉන්පසුව ඔවුන් වෙන කාගේ හෝ සහයක් පතන්නට ඇත. එදින ඇති පදම් සංචාරකයින් පැමිණි බැවින් ඔවුනට සහය දෙන්නට කවුරුන් හෝ ඉදිරිපත් වුවාට සැක නැත.
මෙය අපගේ ආත්මාර්ථය ලෙස කෙනෙකුට පෙනෙන්නට පුළුවන. නමුත් සැබෑ කරුණනම් කැබ් රථ රියදුරා හෝ හිමිකරුවා දැනදැනම එම නඩයේ වූ පිරිස අමාරුවේ දැමීමකි. හදිස්සියකට උදව්වක් කිරීම වෙනකකි. මෙය වෙනමම කාරනාවකි.
වරෙක අප විල්පත්තුවේදී පණගන්වා ගැනීමට නොහැකිව නතර වී තිබු පැරණි වර්ගයේ ලෑන්ඩ් රෝවර් රථයක් ඇදගෙන කිලෝමීටර හතළිහකට ආසන්න දුරක් පැමිණියේය. ඒ කතාව වෙනම පැවසිය යුත්තකි.

කාණුවේ...

ප්‍රධාන මාර්ගය ඔස්සේ ආ අවස්ථාවේ අප ඉදිරියට පැමිණි යමුදාවේ බෆල් රථ දෙකක්ද අපට ඉඩ දීමට පාර අයිනට අයින් කිරීමේදී කාණුවට ඇද වැටුණි. රෝද හතරෙන්ම බල ගැන්වුණු ඒවා පවා ඉන් ගොඩ ආවේ ඉතා අපහසුවෙනි. මේ වන විටත් බොහෝ දෙනෙකුට අමතක වෙමින් පවතින යුධ සමයේ ඒවා යොදවා තිබුනේ උද්‍යාන ආරක්ෂක කටයුතු සඳහාය. නමුත් ඔවුන් දැකීමෙන් අප සිටින්නේ අනාරක්ෂිත ස්ථානයකදෝ යන දෙගිඩියාව සිතේ ඇතිවී නැතිව ගියේය.

මෙවැනි ලිස්සන මඩ සහිත පාරක රිය පැදවීමේ අවස්ථාව මා හට කිහිප වතාවක්ම අත්විඳින්නට හැකි වුයේ මෑත කාලයේ වීරවිල බලා ගිය ගමන් වලදීය. එහි ඇති පසද මඩ වන්නේ මේ ලෙසින්මය. රෝද හතරින්ම බල ගැන්වුණු වාහනය පවා එම පාරවල් වලදී යන්නේ පාරට ඕනෑ හැටියට මිස අපට උවමනා ලෙසින් නොවේ. වරක් මා එලෙස මඩවු මාර්ගයක මෝටර් බයිසිකලයක ඩබල් දමාගෙන ගොස් බෙල්ල කඩා නොගෙන බේරුණේ ඉතා අපහසුවෙනි. නමුත් එහි සිටින මිතුරන් කිසි අපහසුවකින් තොරව මඩ ගොහොරේ හොඳින් බයිසිකල් පැදගෙන යති.
කුඹුක් හෙවණේ....

මෙසේ ගමන්ගත් අප නොයෙකුත් දෑ බලමින් විහිළු තහළු කරමින් ගමන් ගත්තෙමු. වැස්ස නිසා කුරුල්ලන් සහ අනෙකුත් සතුන්ගේ පැහැදිළි අඩු වීමක් දැකගන්නට ලැබුණි. උඩවලවේ ජලාශයට දියවර සපයන ප්‍රධාන සැපයුම් මගක් වූ වේලි ඔය කරා අපි සේන්දු වී සිටියෙමු. මා මෙතෙක් සිතා සිටියේ එම ජල මාර්ගය හඳුන්වන්නේද වළවේ ගඟ කියාය. මෙලෙස ගමන්ගත් අප වේලි ඔය ඉවුරේ වූ කුඹුක් ගස් හෙවනක ඇති විවේකස්ථානයකට ලඟා විය. එහිදී උදේ ආහාරය ගත් අප සුළු මොහොතක් වටපිටාවේ අසිරිය විඳිමින් සහ කතා බහ කරමින් කල් ගත කළෙමු. එහි වුයේ සැබෑ නිස්කලංක භාවයකි. ඉවුරේ වූ රොන්මඩ තට්ටුවේ අප එතනට යාමට පෙර එහි ආගිය සතුන්ගේ අඩි සටහන් දක්නට විය. එහි රිළවුන්ගේ, මොණරුන්ගේ සහ තවත් හැඳිනිය නොහැකි කුරුළු වර්ග වල අඩි සළකුණු සටහන් වී තිබිණි. කුඹුක් සෙවනේ වූ මනබඳින සිසිල් පරිසරයෙන් මිදී නැවතත් වාහනයට ගොඩ වුයේ චාරිකාවේ ඉතිරිය සම්පුර්ණ කිරීමටයි.
අපි මඩවූ පාරේ යන ගමන්...
වැස්ස තරමක් තුරල් වූ පසු අප බොහෝ දෙනෙකුගේ මනාපය වූ කුරුළු වර්ග කිහිපයක් දැක ගැනීමට හැකිවිය. පොද වැස්සෙන් සිදු වූ බාධාව නිසා ජායාරුප ගැනීමට නොහැකි වීම විශාල අඩුපාඩුවකි. එමෙන්ම වාහනය නතර කරන ලෙස ඉල්ලු සමහර අවස්ථා වලදී රුවන් මෙන් ක්ෂණිකව ක්‍රියා නොකළ නව රියදුරු මහතා නිසා නිරීක්ෂණ කිහිපයක්ද, ජායාරූප ගැනීමේ අවස්ථාවන් කිහිපයක්ද මගහැරී ගියේය. වනෝද්‍යානයක් තුළට මෙවැනි වර්ගයේ රියදුරන් අප වැන්නන්ට ගැලපෙන්නේ නැත.

මේ කාලය වනවිට මා පාවිච්චි කලේ කැනොන් 400D වර්ගයේ කැමරාවකි. එය මිළදී ගත්තේ පත්තරේ දමා තිබු දැන්වීමක් හරහාය. මදක් පාවිච්චි කල බව දන්වා තිබු එහි දැකගත හැකි අඩුපාඩුවක් නොවූ නිසාත් ඔහු කියූ මිළ සාධාරණ නිසාත් මම එය මිළදී ගතිමි. මිළදී ගැනීමට පෙර ජායාරූප කිහිපයක් ගසා බලා එහි නිරවද්‍යතාවයද මට පෙනෙන අයුරින් පරීක්ෂා කර බැලුවෙමි. ටික දිනක් එය පරිහරණය කිරීමෙන් පසු එහි නාභිගත වීමේ ඉතා සුළු අඩුපාඩුවක් පවතින බව මා හට ප්‍රත්‍යක්ෂ විය. මා සිතුවේ එය ලෙන්සයේ වරදක් කියාය. මිලදීගත් නව ලෙන්සය හමුවේ වුවද අඩුපාඩුව එලෙසම විය. කලයුතු එකම දේ මා සිදු කලේය. කැමරාව විකුණා දමා කැනොන් 40D වර්ගයේ නව කැමරාවක් මිතුරකු මාර්ගයෙන් ගෙන්වා ගැනීමෙන් පසු ප්‍රශ්නය විසඳුනි. නව කැමරාවෙන් ගත් ජායාරුප දුටුපසු පැරණි කැමරාවෙන් ගත් ජායාරුප සියල්ල මකා දැමීමට සිත්වුයේ ඒවායේ වූ අඩුපාඩු වැඩි වැඩියෙන් පෙනෙන්නට වීම නිසාය. නමුත් පැරණි කැමරාවෙන් ගත් සාමාන්‍ය ජායාරූප (මිනිසුන්ගේ හෝ දර්ශනයන්හි) වල වෙනසක් ඇති බවක් නොපෙනේ.


පෙරදා රාත්‍රියේදී කැබ් රථයේ හිමිකරු සමග කතා කල අවස්ථාවේ වරුවට අය කරන බව කියූ රුපියල් තුන්දහස් පන්සීයේ මුදලට උද්‍යානය තුළ වරුව සම්පුර්ණ වනතෙක්, එනම් දහවල් දොළහ වනතුරු අප ගතකරන බව දැන්වූ පසු ඒ සඳහා ඔහුගේ එකඟතාවය ලැබුණි. හරියටම දොළහ පමණ වනවිට ආපසු යායුතු බව කියූ රියදුරු මහතාට තව ස්වල්ප වේලාවක් ගත කිරීමට සිදුවුයේ අතරමගදී දුටු යම්යම් දෑ නිසාවෙන් නතර කරන මෙන් අප දන්වා සිටි නිසාය.


එවන් අවස්ථා වලදී ඔහු වාහනය නතර කලේ තරමක අකමැත්තෙනි. එම රියදුරු මහතාගේ නම මා හට අමතකය, එයට හේතුව ඔහු මතකයේ පවතින විශේෂ යමක් අප වෙනුවෙන් ඉටු නොකළ බවක් සිතට නැගුනු නිසා වන්නටද ඇත. ආපසු ගමනේදී පවා කුරුල්ලන් සහ සතුන්ගේ පැහැදිළි අඩුවක් දැකගැනීමට හැකි විය. නිකරුණේ කාලය ගත කරනවාට වඩා ආපසු ඒම වඩා සුදුසු විය. දහවල් එක පමණ වනවිට උද්‍යාන දොරටුව අසළට පැමිණීමට අපට හැකිවිය. එහිදී අපගෙන් සමුගත් චන්දන මා ඔහු අත තැබූ තුටුපඬුරු ලබා ගත්තේ තරමක් අදිමදි කිරීමෙන් පසුවය. එයට හේතුව එදින ඔහු අප වෙනුවෙන් යමක් කලේ නැත යන සිතුවිල්ල ඔහු තුළ ඇතිවූ නිසා විය හැකිය.
කඩිමුඩියේ ආපසු ගමනට සුදානම් වෙමින්...

දහවල් එක ආසන්න වනවිට නවාතැනට අපව ඇරලවූ ඔහු හැකි ඉක්මනින් පොරොන්දු වූ මුදල්ද රැගෙන හන්දියට බලා පිටත් වුයේ සවස් වරුවේ තවත් නඩයක් රැගෙන වනෝද්‍යානය තුළට යා හැකිදැයි පරීක්ෂා කිරීම සඳහා විය යුතුය. දිවා ආහාරය කඩෙන් කෑම සඳහා කළින්ම තීරණය කරගෙන උන් බැවින් කුමාර අයියා ආහාර පිළියෙළ කර තිබුනේ නැත. මුහුණකට සෝදාගෙන පැමිණි පසු කුමාර අයියා තේපැන් වත්කරගෙන පැමිණ සිටියේ අපගේ මුහුණු වලින් දිස්වූ ගමන් විඩාව දුටුනිසා විය යුතුය. තේ බොමින් විහිළු තහළුවෙන් ඇඳුම් කැඩුම් සුදානම් කරනා අතරතුරේදී නවාතැන් ගාස්තුව පිළියෙළ කිරීමට කුමාර අයියා පිටත්ව ගියේය. ගමන්මළු සහ අප දැන් ආපසු ගමනට සුදානම්ය. බිල සාදාගෙන එනතුරු බලාසිටි ඉඩවරයේදී වන්නී සහ පඟරා පුටු දෙකක වාඩිවී ඈනුම් හරිමින් නිදි කිරමින් පසු උනහ.  ගැනීමට යෝජනා වූ බැවින් ඉතිරිව තිබු බඩුමුට්ටු කොටස කුමාර අයියා වෙත තබා ඒමටද තීරණය විය.

දින දෙකක නවාතැන් ගාස්තුව රුපියල් 8000 ක් විය. දිනකට කෑම පිසීම සඳහා රුපියල් 1500 කි. සම්පුර්ණ මුදල රුපියල් 11,000 කි. කලින් අත්තිකාරම් ලෙස 3000 ක් ගෙවා තිබු නිසා ඉතිරිය වූ 8,000 ගෙවා දමා කුමාර අයියාගෙන් සමු ගත්තෙමු. කැම පිසීමට ගෙන ආ බඩුමුට්ටු සහ ඉතිරිව ඇති සියලුම දෑ  කුමාර අයියා වෙත පවරා දමා සාම මාවත බලා ගමන් ඇරඹුවෙමු.

ඒ වනවිට වෙලාව හරියටම දහවල් එකයි තිහ විය. වැඩි ප්‍රමාදයකින් තොරව සාම මාවතේ බසය නතර කරන කුඩා කඩය අසළට පැමිණියෙමු. බසයක් පැමිණෙන තෙක් පැය භාගයකට ආසන්න වේලාවක් බල සිටීමට සිදු වීම අපරාධයකි. අනතුරුව එහි පැමිණි බසය ප්‍රමාදයකින් තොරව හරවාගෙන යන්නට වුයේ එහි සිටි මගීන් දාහතරදෙනා වූ අප එහි නැග ගැනීමෙන් පසුවය. R.E.T. හන්දිය බලා යාමට විනාඩි පහළොවක් විස්සක් පමණ ගතවන්නට ඇත. එහිදී බසයෙන් බැසගත් පසු කවුරුන්ගේ හෝ සිතක ක්ෂණිකව ඇතිවූ අදහසක් අනුව ඇත්අතුරු සෙවණ බලා යාමට පා ගමනින්ම පිටත් වූයෙමු. සවස තුනට පමණ අලි පැටවුන්ට කිරි ලබා දෙන දර්ශණය නැරඹිය හැකි බවට කවුරුන් හෝ පැවසීය. ඒ යන අතරතුරේදී පාර අයිනේ තිබු ගඳපාන මල් පොකුරක වැසූ සමනලයකුගේ ජායාරුප ගැනීමට උත්සාහ දැරුවත් එය එතරම් සාර්ථක උත්සාහයක් වූයේ නැත.

ඇත්අතුරු සෙවණ බලා ගොස් වැඩි වේලාවක් බලා සිටීමට අපහට සිදු වුයේ නැත. සවස තුනට විනාඩි කිහිපයකට පමණ පෙර අලි පැටවුන්ට ලබා දෙන කිරිවේල ලබා ගැනීම සඳහා අලි පැටවුන් පැමිණෙමින් සිටියහ. පිම්මේ දිවඑන පුංචි අලි බබාලා සහ තරමක් වැඩුණු පැටවුන් රොත්තක් එහිදී දැකගන්නට හැකිවිය. තරමක් වැඩුණු අලි පැටවුන් කියා කීවාට ඒ අලි පැටවුන් බොහෝ දෙනෙක් වයස අවුරුදු පහටත් අඩු උන් විය යුතුය.
කිරි වේල ලැබෙනකල්...
එහි සිටි පුංචිම අලි පැටවුන් පොරකමින් උදුර උදුරා මෙන් කිරි බොන දර්ශනය ඉතා සානුකම්පිතය. ප්‍රමාණයෙන් විශාල ලෙස සාපේක්ෂව සිතිය හැකි වුවත් සමහර පැටවුන්ගේ වයස මාසයක් හෝ දෙකක් විය හැකිය. ඒ මදිවාට ඔවුන් මව්වරු සහ මව්කිරි අහිමිව ගොස් අනාථ වූ කිරි සප්පයෝය. අම්මලා සමග සිටියේනම් උවමනා සෑම විටම කිරි බොන්නට ඔවුනට බාධාවක් ඇති නොවේ. ඔවුන් අනාථ වී ඇත්තේ අලින්ගේ සමාජ ක්‍රමයේ දුර්වලතාවයක් හෝ අලි මව හිතාමතා පොඩි පැටවුන් හැරයාම නිසා නොවීම ඛේදවාචකයකි. පොඩි වයසේදීම ඔවුන් අනාථ වී ඇත්තේ ඔබ අප වැනිවූ දෙපා සතුන් නිසාය. අනාථ කර ඇති ඔවුන්ගේ ආහාර ගැනීමේ අයිතිය පවා පාලනය වන්නේ මිනිසුන්ට රිසි පරිදිය. එහි සිටි කුඩාම පැටවුන් දෙදෙනාට බෝතලයෙන් කිරි බීමේ කිසිඳු පළපුරුද්දක් නොවීය. බීමට දුන් කිරි වලින් බාගයකට වඩා හැලුනේ බිමටය. එය උන්ගේ අවශ්‍යතාවය හා ගැලපේදැයි විමසා බලන්නට හැකි ක්‍රමයක් ඇත්තේද නැත.
පුංචිම පුංචි අලි පැටියෙක්....
එම දර්ශණය වැඩි වෙලා පැවතුනේ නැත. එය හමාර වු වහාම ඇත්අතුරු සෙවණෙන් පිටව ආ අප පා ගමනින්ම R.E.T. හන්දියට පැමිණියේ කෑමට යමක් සොයා ගැනීමටය. එහි වූ කඩ කිහිපයක් පිරික්සූ පසු ඉන් එකක බත් තිබෙන බව සොයා ගැනීමට හැකිවිය. මිරිසට පිස තිබු වැව් මාළු සහ තවත් හොදි වර්ග කිහිපයක් සමග සීතල වූ බතක් එහිදී අනුභව කෙළෙමු. කෑමෙන් අනතුරුව කොළඹ බලා යන දෙළොස් දෙනා ඇඹිලිපිටිය බලා යන බසයකද අනෙක් දෙදෙනා තණමල්විල බලා යන බසයකද නැගී පිටත් වුයේ එකිනෙකාගෙන් සමු ගැනීමෙන් අනතුරුවය. දීර්ඝ සති අන්තයක් නිමා වන ඉරිදා දිනවල බොහෝ නගර වල සිට කොළඹ බලා යන බසයක අසුන් ලබා ගැනීම පහසු කාරියක් නොවේ. කොළඹ බලා යායුතු වූ අපගේ පිරිස දෙළොස් දෙනෙකුගෙන් සමන්විත වීම නිසා එහි වූ අපහසුව තවත් වැඩි වී ඇත. ඇඹිලිපිටිය බලා යාමට හේතු වුයේ එයින් පටන් ගන්නා බසයක නැගීමෙන් එම ගැටළුවෙන් මිදිය හැකි වෙතැයි අනුමාන කල නිසාය.

එහි ගියත් බස් ප්‍රශ්නයට විසඳුමක් නොවිය. තිබුණු බසයේ වාඩි වීමට ඉඩක් නැත. තව බසයක් පැමිණෙන බවක් පෙනෙන්නටද නැත. ටික වෙලාවකින් කොළඹ සිට AC බසයක් පැමිණියේය. යම් හේතුවක් නිසා ඔවුනටද කොළඹ බලා ඉක්මණින් ආපසු යාමේ අවශ්‍යතාවයක් ඇති බව පෙනෙන්නට විය. වැඩි දෙනෙකු එයට ගොඩවන පාටක්ද නැත. එහි කොන්දොස්තර මහතා සමග කතාකර සාමාන්‍ය බසයේ ගාස්තුව හා ආසන්න වු එනම් රුපියල් දෙසීයක මුදලක් ටිකට්පතක් වෙනුවෙන් අයකර ගන්නා පොරොන්දුව පිට අප දෙළොස් දෙනා එහි නැගුණෙමු. අපට පසුව එහි නැගුනු අන් මගීන්ගෙන් ඔහු අයකළේ කිනම් මුදලක්දැයි අප විමසිලිමත් වුයේ නැත. එය අප හට අදාළ කාරියක්ද නොවේ. කෙසේ හෝ රාත්‍රී නමයහමාර පමණ වනවිට අප රැගත් බසය කොළඹට ලඟා වුවේය.
එතැනදී වෙන්වූ අප තම තමන්ගේ නවාතැන් බලා පිටත්ව යාමෙන් ඉතා සුන්දර වූ තවත් එක් චාරිකාවක නිමාව එසේ සිදුවිය.

පසුවදන:
චාරිකාවේ අයවැය විස්තරය අන්තිම සතය දක්වාම අදටත් මා සතුය. එය මෙහි දැමීම අවශ්‍යය නැතැයි සිතේ. නමුත් යම්කිසි අදහසක් ඇතිකර ගැනීම සඳහා මුලික විස්තර යම් ප්‍රමාණයක් පළකිරීමට අවසර.
රාත්‍රී දෙකක් නවාතැන් සපයා, සියළුම වේල් සඳහා කෑමබීම, උද්‍යානය තුළ යාමට කැබ් රථ, ටිකට්පත්, බස් වියදම් යන සියළුම දේ සපයා දීමට එක් අයෙකුගෙන් අය කල මුදල් ප්‍රමාණ මෙසේය.
රැකියා කළ අයෙකුගෙන්(11 දෙනෙක්) අය කළ මුදල වුයේ රුපියල් 3000 කි. ඉතාම මෑතකදී රැකියාවට ගිය කුරූගෙන් රුපියල් 1000 ක්ද, ඒ වනවිට ඉගෙනුම හමාර කර නොතිබු අලයා සහ ගෝනාගෙන් කිසිදු මුදලක් අය කලේ නැත.
තරමක විශාල කණ්ඩායමක් සමග බසයක හෝ කෝච්චියක නැගී සරළ ලෙස යා හැකි සංචාරක ස්ථාන ලංකාවේ ඇතිපදම් ඇත. එවැනි ගමනකට වැයවන වියදම බොහෝ අඩුවන අතර ඉන් බොහෝ විනෝදයක්ද ලබාගත හැකිවනු ඇත.


උඩවලව චාරිකාව සඳහා අප සමග එක්වූ ඔබ සැමට මාගේ හදපිරි ප්‍රණාමය....!

මෙයාව මම ෆොටෝ ගැහුවේ වෙන තැනකදී, අළුත් කැමරාවෙන්. කැමරා දෙකේ වෙනස පෙන්නන්න තමයි මේක මෙතනට දැම්මේ...

Monday 20 October 2014

උඩවලව වන චාරිකාව -2007 (දෙවන කොටස)

පළවෙනි කොටස බලපු නැති අයට....


කළින්දින කතිකා කර ගත් ටාටා වර්ගයේ කැබ් රිය පසුදින පාන්දර පහයි හතළිස් පහ පමණ වන විට නවාතැන්පල කරා පැමිණියේය. මාගේ අරමුණ වූයේ පාන්දර හය හෝ ඊටත් පෙර උද්‍යාන ගේට්ටුව කරා යාමය. වනෝද්‍යානයක් කරා උදෑසනින් යාමෙන් අත්වන වාසි කිහිපයකි. අපහසුවකින් තොරව මග පෙන්වන්නකු සොයාගත හැකිවීම, වැඩිපුර සතුන් දැකගැනීමේ හැකියාව සහ චාරිකාවේ උපරිම පළ නෙලා ගැනීමට ඇති හැකියාව ඒ අතර වේ. කැබ් රිය පැමිණියද ඒ වන විටත් අප පිරිස සම්පුර්ණයෙන් සුදානම් වී නොසිටියහ. කෑම බීම පිළියෙල කිරීමේද ප්‍රමාදයක් දක්නට ලැබුණි. උදෑසන ආහාරය පාර්සල් ලෙස සකසාදෙන මෙන් කුමාර අයියාට කල්තියාම දැනුම් දී තිබුණි. මෙම ප්‍රමාදයන් නිසාවෙන් උද්‍යාන දොරටුව වෙත ලඟා වනවිට වේලාව උදෑසන හයයි තිහ පසු වී තිබුණි. ඒ වන විටත් ටිකට් පත් නිකුත් කරන කාර්යාල පරිශ්‍රයේ විශාල පිරිසක් රැස්ව සිටියහ. මේ දීර්ඝ සති අන්තයක ආරම්භය වීම එයට හේතුවයි. අප එහි යනවිටත් සියළුම මාර්ගෝපදේශක මහතුන් කළින් ආ කණ්ඩායම් සමග උද්‍යානය බලා පිටත්ව ගොස් තිබුනේය. මාර්ගෝපදේශක මහතකු පැමිණෙන තෙක් ටිකට්පත් මිළදී ගන්නා කවුන්ටරය අසළට වී රැක උන්නෙමු. මෙසේ රැඳී සිටියේ අප පමණක් නොවේ. තවත් කණ්ඩායම් කිහිපයක් අප මෙන්ම එහි රැඳී සිටියේය. ටික වේලාවක් ගතවූ පසු කැබ්රථයේ රියදුරු රුවන්ගේද සහායෙන් මාර්ගෝපදේශක මහතකුගේ සහය ලබා ගැනීමට අපහට හැකි විය. ඔහු චන්දන නම් විය.

සම්පුර්ණ දිනයක චාරිකාවක් සඳහා එක්වීමට සමහර මාර්ගෝපදේශක මහතුන්ගේ අකමැත්තක් ඇත. එයට හේතුව දිනකට කීප වරක් නඩ කිහිපයක් සමගින් උද්‍යානය තුළට යාමෙන් ලබා ගත හැකි ආර්ථික වාසිය මෙවැනි එක් චාරිකාවකින් ලැබෙන මුදලට වඩා වැඩි නිසාය. නමුත් එලෙස මුදල් පසුපස නොයන මාර්ගෝපදේශක මහත්වරුන් අනන්තවත් මා හට මුණගැසී ඇත. මොහුද එවැන්නෙක් බව සිතීමට කිසිඳු මැසිවිල්ලක් නොනගා අප හා යෑමට එකඟ වීමෙන්ම තේරුම් ගත හැකිය.

ටිකට්පත් ලබා ගැනීමෙන් පසු අපගේ චාරිකාව නියමාකාරයෙන් ආරම්භ විය. එදින වැසිබර අඳුරු කාලගූණයක් පැවතීම අපගේ නොසතුටට හේතු විය. කැන්වසය ඉවත් කළ කැබ් රථයේ සිටි අපව තෙමා දමමින් නොනවතින පොද වැස්සක් ඇද වැටෙමින් පැවතුනේය. ජායාරුප ගැනීමේ අපහසුව, කැමරා වැස්සෙන් බේරා ගැනීමට අමතර මහන්සියක් දැරීමට සිදුවීම වැස්සේ ප්‍රතිවිපාක විය. ඊට අමතරව දිගටම වැටුණු වැසි හේතුවෙන් මාර්ගය ලිස්සනසුළු තත්ත්වයට වීම තවත් අවාසියකි.

ගමන ආරම්භ කර ඉදිරියට යත්ම අප ඉදිරියට තනි අලියෙක් පැමිණියේ අප පිළිගැනීමට මෙනි. මද කිපීමේ මුලික ලක්ෂණ ඌ වෙතින් දිස් වුවද කිසි කරදරයකින් තොරව අපව පසුකරගෙන ගියේය. ඒ ගමනේ සාර්ථකත්වය හඟවන සුභ ලකුණකි.
මුලින්ම මුණ ගැහුණු කෙනා

තවත් ඉදිරියට යද්දී හතර දෙනෙකුගෙන් පමණ සමන්විත කුඩා අලි රංචුවක් දැක ගැනීමට අපට හැකි විය. මාර්ගය හරහා ගමන්ගත් අලි අසලටම රිය පැදවූ රුවන් වාහනයේ එංජිම නවතා ගත්තේ චන්දනගේ උපදෙස් පරිදිය. කීප වතාවක්ම වාහනය දෙසට පහර දෙන්නට මෙන් දිව ආ එක අලියෙකු අපගෙන් අනතුරක් නැති බව වටහාගෙන මෙන් සන්සුන් වුයේ ටික වෙලාවක් ගතවූ පසුය. වටපිටාවේ ඇති දෑ කමින් තරමක වෙලාවක් ගතකළ උන් සෙමින් සෙමින් අපගෙන් ඈතට පියමන් කළහ. මේ ආකාරයට වනයේ තැනතැන කරක් ගැසූ අපහට, නොයෙකුත් වර්ගවල කුරුල්ලන්, දළ ඇතෙක් සහ අලි බොහෝ ගණනක්ද, ගෝන්නු සහ මුව රංචු කිහිපයක් ආදී සතුන් බොහෝ දෙනෙක් දැක ගැනීමට හැකිවිය.
අපිත් එක්ක ගේම ඉල්ලපු අලි නාම්බා

මෙයාට දළ තිබුනට ටිකක් පොඩි ඇතෙක්, පඳුරු අස්සේ ඉන්න නිසා දළ දෙක පේන්න ලං කරලා ගත්තු ෆොටෝ එකක්


ස්ථාන නාමයන් හරිහැටි මතකයේ නැතත් වනෝද්‍යානය පුරාම පාහේ අපි සංචාරය කලෙමු. බොහෝ වනෝද්‍යාන වල ඇති කුඩා වැව් හෝ එවැනි විශේෂ ලක්ෂණ අළලා ස්ථාන නාමයන් ඇතත් මා හට ඒවා මතක සිටින්නේ කළාතුරකිනි. මේ වනවිට පොද වැස්ස තරමක් තුරල් වී තිබුණි. මේ වනවිට අප මව් ආර ජලාශයේ බැම්ම උඩින් ගමන් කරමින් සිටියෙමු. සිය ගණනක දිය කාවුන් රංචුවක් මාළු අහිනක් වට කරමින් අල්ලා ගැනීමට වෙර දරණ මනරම් දර්ශනයක් අප ඉදිරියේ දර්ශනය විය. දිය කාවුන් සමග සමහර අවස්ථා වලදී පෙලිකන් කුරුල්ලන් සහ මුහුදු ලිහිණින් එක්ව මෙයාකාරයෙන් මාළු දඩයමේ යෙදෙන අවස්ථාවක් පසු කලෙකදී පලටුපානේදී දැක ගැනීමට හැකිවිය.

බැම්ම පසුකර මදක් ඉදිරියට ගිය පසු වැව් පිටියේදී වාහනයෙන් බැසීමට හැකි බව චන්දන කියා සිටියේය. උදෑසන බිව් තේ එකෙන් පසුව බර ආහාරයක් බඩට වැටුනේ නැත. මේ වනවිට බඩගිනි දැනෙමින් පැවතුන බැවින් ආහාර ගැනීමට හැකි තැනක් විපරම් කරමින් පැමිණි අපට චන්දනගේ වචනය මහත් අස්වැසිල්ලක් විය.
මව් ආර ජලාශයේ බැස උන් මී හරක්

මව් ආර ජලාශයේ හොඳින් ජලය පිරී තිබුණි. එහි බැස වටපිටාව විපරම් කරද්දී ඉතා සුන්දර දර්ශන කීපයක්ම දැක ගන්නට හැකි විය. අඩක් කුළු මී හරක් ගති ලක්ෂණ විදහා දැක්වූ මී හරක් රංචුවක් දියේ බැසගෙන සිටියේය. මෙසේ කැලයේ කාලයක් ගතකරන උන් සමහර විට කුළු හරකුන් සමග මිශ්‍ර වී ඒ ගතිගුණ දක්වන අවස්ථා ඇති බව සුලභ කරුණකි.
අපි දෙස විමසිල්ලෙන් බලමින්

මව් ආර ජලාශය

කුමාර අයියා ලවා තරමක් විශාල බත් පාර්සල් කිහිපයක් බැඳ ගත්තේ එක පාර්සලයක් දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට සෑහෙන පරිදිය. ඒවා දිග ඇරගෙන අනුභව කිරීම සිදු කලේද එහිදීය. කැබ් රථයේ සීට් මත සහ තැන තැන තබාගත් බත්මුල් කිහිපය හවුලේ අනුභව කිරීම අතීතය යළි කැඳවීමක් මෙන් හැඟුනි.
අනුභවයෙන් පසු ඒ අවට ඇවිදිමින් සිදු කල නිරීක්ෂණ වලදී සමනළ වර්ග කීපයක්, බත් කුරන් සහ කුරුළු වර්ග කීපයක්ද දැක ගැනීමට හැකිවිය. එහිදී අළුත මිලදී ගත්  ට්‍රයිපොඩයෙන් ඉතා සුළු ප්‍රයෝජනයක් ගැනීමටද ඉඩ සැළසුනේය.

උඩවලව චාරිකාවෙන් මද කලකට පසු විශාල පාඩුවක් සහිතව එය හුවමාරු කලේ, ට්‍රයිපොඩ භාවිතය ප්‍රායෝගිකව මා හට කරදරකාරී බවක් දැනුණු බැවිනි. අදටත් ට්‍රයිපොඩ යනු ජායාරුප කලාවේදී මා හට හුරු වීමට ඉතා අපහසු අංගයක් බවට පත්වී ඇත. ඒවා මාගේ සෙලවිමේ සහ චලනය වීමේ නිදහස සිමා කරන උපකරණයක් ලෙස මට හැඟේ. එමෙන්ම ඒවා නිසා සමහර අවස්ථා මගහැරී යාමද සිදුවේ. නමුත් ට්‍රයිපොඩ භාවිතයෙන් ගන්නා ජායාරූප වල තත්ත්වය උසස් බව පිළිගත යුතුය.

එතනින් පිටත් වූ අප නැවතත් වන චාරිකාව ඇරඹුවෙමු. මෙසේ පරිසරය විඳිමින් වනය තුළ සැරිසැරූ අපහට කාලය ගතවී යනවා දැනුනේද නැත, දිවා ආහාරය සඳහා වෙලාව ආසන්න වී ඇති බව හැඟුනේ බඩෙන් ලද සංඥා නිසාය. මේ වන විට අප ගෙන ආ වතුර බෝතල්, බිස්කට් ආදියෙන් සෑහෙන ප්‍රමාණයක් අවසන් වෙමින් පැවතුනි. කළින් ගිවිසගත් පරිදි දිවා ආහාරය රැගෙන ඒම සඳහා පිවිසුම් දොරටුව බලා යා යුතුය. පිවිසුම් දොරටුව අසලට බත් පාර්සල් රැගෙන පැමිණෙන බවට කුමාර අයියා පොරොන්දු වී සිටියේය. ඒ අනුව අප පිවිසුම් දොරටුව බලා යන ගමන ආරම්භ කලෙමු.
ඒ වනවිට අප හා ඉතා කුළුපඟ වී සිටි ගයිඩ් මල්ලි චන්දන ඉල්ලීමකින් තොරවම ඉතා වටිනා උදව්වක් සිදු කල හැකි බව කියා සිටියේය. ඔහු කියා සිටියේ වනෝද්‍යානය තුළට කෑම පාර්සල් රැගෙන ඒම අනවශ්‍ය බවත්, අප නවාතැන් ගත් ස්ථානයට ගොස් ආහාර වේල බුක්ති විඳ ආපසු ඒමට හැකි බවත්ය. එවේලේ හැටියට එය මහගු පිළිසරණකි. එකළ පැවති නීතිය අනුව එය කල නොහැකි ක්‍රියාවකි.

සාමාන්‍යයෙන් ක්‍රමය වී තිබුනේ වනෝද්‍යානයක් තුළට ඇතුල්වී ආපසු එළියට ගොස් නැවත පැමිණේනම්, "නැවතත් ටිකට්පත් මිළදී ගත යුතුය" යන ක්‍රමයයි. නමුත් තරමක් මෑතක සිට එම ක්‍රමයේ වෙනසක් සිදු කර ඇත. දවස පුරා වනයේ කරක් ගසන අපවැනි සංචාරකයන් උදෙසා සාමාන්‍ය ටිකට් පතේ මිළට වඩා තරමක් වැඩි සාධාරණ මිළ වැඩි කිරීමකට යටත්ව කිහිප වරක් ඇතුල් විය හැකි ටිකට් ක්‍රමයක් හඳුන්වා දී ඇත. එය විශාල පහසුවකි. සතුන් වැඩිපුර නොගැවසෙන දහවල් කාලයේදී නවාතැනට ගොස් කා බී විවේක ගෙන ආපසු පැමිණිය හැකිය.

අතරමගදීම ඇමතුමක් ලබාදී කෑම ගැනීමට අප පැමිණෙන පණිවුඩය කුමාර අයියාට පැවසීමට උත්සාහ ගත්තත් ඔහුගේ දුරකථනයෙන් ප්‍රතිචාර ලැබුණේ නැත. කීප වතාවක් උත්සාහ කල පසු ඔහු දුරකථනය ඇමතුවේය. කඩිමුඩියේ කෑම පිළියෙළ කරමින් සිටි ඔහු දුරකථනය නාදය නොසළකා සිටින්නට ඇත. කෑම රැගෙන පිවිසුම වෙත ඒම අනවශ්‍ය බවත්, අහාර ගැනීම සඳහා නවාතැන බලා පැමිණෙන බවත් ඔහුට දැනුම් දී නවාතැන බලා යන ගමන ඇරඹීමු.

අප සමග දිවා ආහාරය ගැනීම සඳහා එන ලෙස කල ආරාධනාව පිළිගත් චන්දනද අප සමග ආවේය.  සෆාරි බංගලාව කරා යන අමතර දුරද අප ආවේ රුවන්ගේ වාහනයෙනි. අමතර දුරක් බැවින් එය ඔහුට ප්‍රතික්ෂේප කරන්නට හැකියාව තිබුනද ඔහු අප කැටුව එහි ආවේය. කෑම මේසය සුදානම් වන අතරතුරේ වාහනයේ යම් වැඩක් කලයුතු බව සහ ඉක්මනින් පැමිණෙන බව කියා රුවන් පිටවී ගියේය. අප සියල්ලෝම කෑම කා අවසන් වන විටද ඔහු පැමිණියේ නැත. දුන් දුරකථන ඇමතුමකට ඔහුගේ පිළිතුර වූයේ “මේ දැන් එන” බවය. අප කෑම කා විවේක ගන්නා අතරතුරේ ඔහු පැමිණියේය. ගෙදර ගොස් බත් කා පැමිණි බව කියූ ඔහු අපගේ දිවා ආහාරය ප්‍රතික්ෂේප කලේය. සුළු විවේකයකින් පසුව නැවතත් උද්‍යානය බලා යාමට ගමන් අරඹන විට වේලාව දහවල් දෙකයි තිහ පමණ විය. කළින් නොගිය මං ඔස්සේ රිය පැදවූ රුවන් සවස් ජාමයේ දැකගත් හැකි දසුන් කිහිපයක් දැක ගැනීමට අවස්ථාව ලබා දුන්නේය.
 
තල්ලු දමමින්...

මාර්ගයේ වූ අපහසු තැනක් පරීක්ෂා කොට පැමිණෙන රුවන්


කැබ් රථයේ රියදුරු රුවන් උද්‍යානය තුළ වාහනය හැසිරවීමේදී එහි උන් පළපුරුදු රියදුරන් පවා පැරදවිය හැකි සමතෙක් බවට කිහිප වතාවක්ම ඔප්පු කර පෙන්නුවේය. අප ගිය රථය දෙවරක් පමණ තල්ලූ දමා අපහසු තැන් වලින් එගොඩ කරවීමට සිදු වුවත් ඒ පාරෙන් පිට පැනීම් වලදී නොව මාර්ගයේ වූ දැඩි විෂම ස්ථාන හරහා යාමකදීය. ඒවා බොහෝ දුරට ෆෝ වීල් වර්ගයේ වාහන වලට පමණක් යා හැකි තැන්ය. එම ස්ථාන වලදී අප හට සිතුණු නමුත් ප්‍රකාශ නොකළ දේනම් මොහු හැරෙන්නට වෙනත් අයෙකු මෙතරම් පිරිසක් දැමූ රථයක් මෙවන් වූ දුෂ්කර මාර්ගයක රැගෙන නොයන බවය.

සම්පූර්ණ දිනයම උද්‍යානයේ ගත කිරීම සඳහා කැබ් රථයට ගෙවීමට නියමිත මුදල වුයේ රුපියල් පන් දහසකි. අදාළ රිය හිමියා පෙර දිනයේදී දුරකථන මාර්ගයෙන් සම්පුර්ණ දිනයක් සඳහා එම මුදල ගෙවිය යුතු බව දන්වා සිටියේය. එය ඉතා  සාධාරණ ගණනක් බව කිව යුතුය. සම්පූර්ණ දිනය තුළදී යා යුතු සෑම තැනකම පාහේ යමින් කුරුල්ලන් වර්ග 78 ක් දැක ගැනීමට අවස්ථාව අපහට උදා විය. එම කුරුල්ලන් අතරින් පස් දෙනෙකු මුල්ම වරට මා දැක ගත්තේ එම චාරිකාවේදිය. අපගේ නිරීක්ෂණ කටයුතු සඳහා රුවන්ගේ සහ චන්දනගේ මනා සහයෝගයත් සහ විශේෂයෙන් රුවන්ගේ ඉවසීමත් බොහෝ උපකාරී විය.

අද දිනයේ එනම් දෙසැම්බර් 22 වැනි දින විෂේශත්වයක් වූ බව සවස් වන විට අප කඩයේ කාට හෝ හදිසියේ මතකයට නැගුනේය. එය මාගේ උපන් දිනයයි. පිරිසේ සැමගේම සුභ පැතුම් මා වෙත පිදුණි. මට සුභ පැතුම් එක් කරමින් “කුරූ” පැවසුවේ “Happy B’day to us” කියාය. එදින කුරුල්ලාගේද උපන් දිනය බව අප දැන ගත්තේ එවෙලේය. අපට වඩා වසරකින් බාල කණ්ඩායමේ සිටි ඔහුගේ උපන් දිනය ඒ වනවිට අප දැන සිටියේ නැත. ඉන්පසු සියල්ලෝම කුරූ වෙත උපන්දින සුභ පැතුම් එක් කලෝය. එය අපුරු සිද්ධියකි.

උද්‍යානයෙන් පිටතට පැමිණීමට පෙර කැබ් රථයේ දුනු කොළයක් කැඩී යාමෙන් යම් අබලතාවයක් ඇති වුවද ඉන් පසුබට නොවී ගමනේ ඉතිරි කොටසද අප හට සහයෝගය ලබා දෙමින් රුවන් කල මෙහෙය පැසසිය යුතුමය.
ආපසු එන අතරමගදී උඩවලවේදී සාමාන්‍යයෙන් දැකීමට නොහැකි මට්ටමේ තරමක් විශාල තනි අලියෙක් පාර දිගේ අප දිශාවට එන අයුරු දැකගැනීමට හැකි විය. කැබ් රිය පාරේ අයින් කර නතරකර ගත්තේ ඌට ඉඩ දීමටත් හොඳ ජායාරුප කිහිපයක් ගැනීමටත් සිතාය. මා ගත් ජායාරුපයේ ඌගේ තේජස සහ විශාලත්වය පැහැදිළිව පෙනෙන්නේ නැත. එයට හේතුව අප ඉහළක සිට ජායාරුප ගත කිරීම නිසා වන්නට ඇත.
අන්තිමට දැක්කේ මෙයාව
උද්‍යානයෙන් පිටතට පැමිණි වහාම එහි ඉදිරිපස වු කඩමණ්ඩියෙන් මිළදීගත් අයිස් ක්‍රීම් වලින් සංග්‍රහයක් පැවැත්වුයේ උපන්දිනය උදෙසාය. ඊට අමතරව බිස්කට්, බීම වැනි දෑ මිළට ගැනීමත් රාත්‍රියේ ගිනි මැලයක් ගසා පුළුස්සා කෑමට බඩ ඉරිඟුද මිළදී ගතිමු. රාත්‍රී අඳුරත් සමගම අප නවාතැන්පළ වෙත පැමිණියෙමු. වාහනය සඳහා පොරොන්දු වූ මුදල රුපියල් පන් දහසක් වුවද වැඩිපුර රුපියල් දහසක් ලබා දුන්නේ රුවන් අප වෙනුවෙන් කල සේවය වෙනුවෙනි. ගයිඩ් මල්ලී චන්දන හටද රුපියල් දහසක් දුන්නේ ඔහු අප හට තම සේවය ඉතා හොඳින් සැපයු නිසාය. ඔවුන් දෙදෙනාගේම දුරකථන අංක අපට ලබා දුන්නද කාලයාගේ ඇවෑමෙන් දැන් ඒවා මා සතුව නොමැත. මතකය පමණක් ඉතිරිවී ඇත.
අප ඔවුනට ලබා දුන් මුදල අද වනවිට මහලොකු ගණනක් නොවුවද අදින් වසර හතකට පෙර අප ලද පඩිපත් හා සසඳද්දී සැළකිය යුතු මුදලකි.

රුවන්ගේ වාහනය හෙට දිනට පෙර සාදාගත නොහැකි බව පැවසු වෙනත් රථයක් කැඳවා ගත යුතුය. එය කුමාර අයියාට පැවරුවේ කළහැකි යමක් නැති නිසාය. ඔහු සපයා දුන් අංකයකට ඇමතීමෙන් පසු උදේ හතට ආරම්භ කොට උදෑසන දහය එකොළහ පමණ වනතෙක් යෙදෙන චාරිකාව සඳහා රුපියල් 3,500/- ක් ඒ අදාළ රථ හිමියා ඉල්ලා සිටියේය. ඔවුන් මෙවැනි දීර්ඝ සති අන්ත වලදී වරුවක් සඳහා අයකරන  මුදල ඉතා අධිකය. කළයුතු යමක් නැත. ඇමතුම විසන්දි කර දැමුවේ උදෑසන හය  පමණ වනවිට අපගේ නවාතැනට පැමිණෙන ලෙස ඔහු හට දැන්වීමෙන් අනතුරුවය.

රාත්‍රී ආහාරය වෙනුවෙන් සුදානම් කළයුතු දෑ කුමාර අයියාට දැනුම් දී ගිනිමැලය ගැසීමට අවැසි දර එකතු කිරීමට අපි කිහිප දෙනෙක් පිටත් වූයෙමු. ගිනිමැලය ගැසීමට වෙන්කර ඇති ස්ථානයේ කළින් දිනෙක භාවිතයෙන් පසු ඉතිරි වූ දර කැබලි කිහිපයක්ද විය. විදුලි පන්දම් එළියෙන් දර කැබලි කිහිපයක් ගෙන ආ අප ඒවාද පැරණි දර ගොඩටම දමා පිටත් වුයේ ස්නානය සඳහාය. නෑමෙන් අනතුරුව වල්පල් දොඩමින් එහි වූ ඉස්තෝප්පු කොටසේ වාඩිවී සිටියේ රාත්‍රී ආහාරය සුදානම් වනතුරුය. වැඩි වේලාවක් යන්නට පෙර බඩගිනි දැනෙන්නට වුයේ ගමන් මහන්සිය නිසා විය හැකිය. රෑ හත හමාර පමණ වනවිට කෑම පිස අවසන් වූ බවත් මේසය සුදානම් බවටත් නිවේදනය ලැබුණි. මේසය මත සුදානම් කර තිබු නුඩ්ලස්, බිත්තර කිරි හොද්දක් සහ සීනි සම්බල වාෂ්ප වී යාමට ගතවුයේ නිමේෂයකි. තෘප්තිමත් වූ ආහාර වේලකින් පසුව ඊළඟ ක්‍රියාකාරකම වූ ගිනිමැලය ගැසීමේ කටයුත්ත සඳහා සියල්ලන්ටම ආරාධනා කලෙමු. කාබී විවේකයෙන් වාඩිවී සිටි මිතුරු පිරිස එතනින් සෙලවීම තරමක් අපහසු කාරියක් විය.
අපේ ගිනිමැලය

කලින් රැස් කරගත් දර නිසි පරිදි අසුරා කුමාර අයියාගෙන් ඉල්ලා ගත් භූමිතෙල් වත්කිරිමෙන් අනතුරුවත් ගිනිමැලය දල්වා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය. තෙතබරිතව තිබු දර අපගේ කාරිය අපහසු කලේය. දර වලට ගින්න ඇල්ලු පසු ඒ වෙනුවෙන් විශේෂ මහන්සියක් දැරීමට අවශ්‍ය නොවීය. මේ වනවිට එකා දෙන්නා බැගින් පැමිණ සියල්ලෝම පාහේ ගිනිමැලය අසළට පැමිණ තිබුනේය.
මම නැතුව ඉතුරු දහතුන් දෙනා

ගෙම්බා බඩඉරිඟු පුච්චමින්

ගිනිමැලය ආසන්නයේම වාඩිවී සිටීමට හැකි කොන්ක්‍රීට් වලින් තැනු බැංකු කිහිපයකුත්, මේසයක්ද තබා තිබුණි. තරමක වෙලාවක් එතනට වී එක එක මාතෘකා ඔස්සේ අපගේ කතාබහ ඇදෙමින් පැවතුනේය. රාත්‍රී දහය පමණ වනවිට ඊළඟ කටයුත්ත වු බඩඉරිඟු පිළිස්සීමේ කටයුත්ත ඇරඹඹීමු. ඒ සඳහා පෙර අත්දැකීම් ඇති කවුරුන් හෝ අප සමග සිටියේ නැත. පළමු වතාවට බඩඉරිඟු කරල් කිහිපයක් දිදුළන ගිනි අඟුරු වලට යටකර දැම්මේය. වරින්වර ඒවා කොටුවකින් එහාමෙහා කරමින් බැලුවේ බඩඉරිඟු කරලේ පිට පොත්ත කළු පැහැයට හැරී ඇත්දැයි කියාය. කුමාර අයියාගේ කුස්සියෙන් ඉල්ලාගෙන ආ ලුණු කැට සමග පිළිස්සුනු බඩඉරිඟු කරල් ආහාරයට ගැනීම ඒ වනවිට ඇරඹි හමාරය. පුළුස්සා ගත් බඩඉරිඟු කරල් වලින් තම්බාගත් ඒවායෙන් මෙන් හොඳ රසයක් දැනුනේ නැත. රසයේ අඩුවට හේතු වන්නට ඇත්තේ අප ගෙනා ඉරිඟු මේරූ ඒවා නිසා වන්නටද ඇත. මේ වනවිට බොහෝ දෙනෙකුගේ මුහුණින් නිදිමත බේරෙන බවක් පෙනෙන්නට තිබුනි. ආපසු හෙට දිනයේද උදසනින් අවදි විය යුතු බැවින් ජෝගුවකට ගෙන ආ වතුර ගසා දමා ගිනිමැලය නිවා දැම්මේ නින්දට යාමේ සුදානමෙනි.

අවසාන දිනය ඊළඟට....

මගදී දුටු දසුන්....








Tuesday 14 October 2014

උඩවලව වන චාරිකාව -2007 (පළමු කොටස)

විශ්ව විද්‍යාලයේ සිසු සංගමයේ රාජකාරි ලිපි ලිවීම එහි ලේකම් වු මාගේ එක් රාජකාරියක් විය. පරිඝණකය යනු  ඉතාමත් දුර්ලභ උපකරණයක් වූ අවධියක එයින් එකක හිමිකරුවකු වූ සහ සිංහල ටයිපින් දන්නා කළුවාගේ උදව් ලබා ගැනීමට මා හට සිදු විය. එහිදී ලිවිය යුතු දෑ මා විසින් කලුවාට පවසන අතරවාරයේ ඌ විසින් එය ටයිපින් කරනු ලැබීය. මෙහිදී අප භාවිතා කලේ DL වර්ගයේ ෆොන්ට් වර්ගයයි. මේ අයුරින් උදව් ලබා දීම සහ ලබා ගැනීම යන දෙකම උපරිමයට පත්වූ දිනක කළුවා තරයේ කියා සිටියේ “තෝ සිංහල ටයිපින් ඉගෙන ගනින්, මට වධ දෙන්නේ නැතුව” කියාය. කළුවාගේ සුදු පාට කී බෝඩය මත පැන්සලෙන් සිංහල අකුරු ලියාගෙන සිංහල ටයිපින් ඉගෙන ගත් මා ඉන් පසුව සිංහල ටයිපින් සුරුවෙකු බවට පත්විය. අනතුරුව අප දෙදෙනාගේම කටයුතු පහසු විය. ටික දිනකට පසු නානා විසින් හල් සහ බැඳී අකුරු නියමිත පරිදි එක් කරදෙන KEYMAN නම් මෘදුකාංගය ලබා දීමෙන් පසු මාගේ වැඩකටයුතු තවත් පහසු විය.

පසු කලෙකදී අප ගිය චාරිකා සම්බන්ධ සටහන් සිංහලෙන් ලියා තැබීමට මා පෙළඹුනේ ඒවා ඉදිරියේදී අමතක වී යාමට ඉඩ ඇති නිසාත් සටහන් ලිවීමේදී මනසින් ඒ ඒ ස්ථාන කරා ආපහු යාමට හැකියාව ලැබෙන නිසාත්ය. මේ කාලය වන විට සිංහල යුනිකෝඩ් සහ බ්ලොග් යන වචන පවා මා අසා නොතිබුණි.
2011 වසරේදී යෙදුනු උඩවලව චාරිකාවේ දළ සැලසුම මා අතින් ලියවෙන්නේද, මිතුරු මිතුරියන් අතරේ බෙදා හැරෙන්නේද ඒ අනුවය. පහතින් දැක්වෙන්නේ ඒ සැළසුමයි. පසුව යුනිකෝඩ් වලට හරවා ගත්තේ බ්ලොග් මිතුරු තිසර විසින් කලින් පෝස්ටුවකදී කියා දුන් ක්‍රමවේදය අනුව යාමෙනි.මා DL ෆොන්ට් මගින් ලියා තැබූ පැරණි සටහන් බ්ලොගයේ දැමීම දැන් අපහසුවක් නොවේ.
...................................................................................................................................................
උඩවළව ජාතික වනෝද්‍යාන සංචාරය

පිටත්වීම -
2007-12-21 වැනි දින පාන්දර 2:45 ට සහභාගී වන සියළුම සාමාජිකයින් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණිය යුතුය. (පසුව මෙය ලංගම බස්රථ නැවතුම්පළ ලෙස වෙනස් විය.)

ආහාර -
2007-12-21 වැනි දින උදේ ආහාරය හැර අන් සියළුම ආහාර වේල් සැපයීමට බලාපොරොත්තු වේ. 21 දින උදේ ආහාරය ලබා ගැනීමේ ආකාරය උඩවළව පැමිණෙන වේලාව අනුව තීරණය වේ.

ප්‍රවාහන මාධ්‍යයන්
කොළඹ සිට උඩවළව දක්වා යෑම සහ ඒම සාමාන්‍යය මගී බස් රථ වලින්ද වනෝද්‍යානය තුළ සංචාරය සඳහා සෆාරි ජීප් රථ යොදා ගැනීමට අදහස් කර ඇත

නවාතැන් පහසුකම්
උඩවළව සෆාරි බංගලාව - මෙහි ඇඳන් 10ක් සහිත වෙන් වෙන් වූ කාමර 3ක් ඇත මීට අමතරව ඉඩකඩ සහිත ආලින්දකින්ද සමන්විත වේ (නවාතැන්පළේ ඡායාරූප සහිතවිස්තරයක් ද වෙනම ඇතුළත් කර ඇත) - මෙය e-mail මාර්ගයෙන් මිතුරන් වෙත යැවූ අදාළ ස්ථානයේ විස්තර ඇතුළත් Power-point ෆයිලයකි.

ගමන් විස්තරය
2007-12-21
  • උදෑසන ආහාරය ලබා ගැනීම
  • අවශ්‍ය සියළුම ආහාර ද්‍රව්‍යය මිළ දී ගැනීම (තිබොල්කැටිය / උඩවළව හන්දියෙන්)
  • දහවල් කෑම ගැනීමෙන් අනතුරුව බංගලාව අවට ඇති ප්‍රදේශයේ සාමාන්‍යය සංචාරයක යෙදීම
  • සවස් වරුව වැව් බැම්ම ඇති පෙදෙසේ සංචාරයක්
  • රාත්‍රී ආහාරයෙන් අනතුරුව වැඩි කැමැත්ත අනුව සිදු කළ හැකි රාත්‍රී වැඩසටහනක්


2007-12-22
  • උදෑසන 6:00 වන විට වනෝද්‍යානය තුළට ඇතුල් වීම (උදෑසනින් පිටත් වීම අනිවාර්යය වේ)
  • වළවේ ගඟ අසළ ඇති විවේක ස්ථානයේ දී ආහාර ලබා ගැනීම (සංචාරක බංගලාවේ සේවක මහතකු විසින් උද්‍යාන ගේට්ටුව අසළට ආහාර රැගෙන එනු ඇත)
  • සුළු විවේකයකින් අනතුරුව නැවතත් ගමන් ඇරඹේ සවස 6:30ට පමණ නවාතැන වෙත පැමිණීම
  • සුපුරුදු පරිදි රාත්‍රී ක්‍රියාකාරකම්

2007-12-23
  • උදෑසනින්ම උද්‍යානය බලා පිටත් වීම
  • සංචාරයෙන් අනතුරුව දහවල් 1:00 පමණ වන විට නවාතැන්පළ බලා ඒම
  • දිවා ආහාරය
  • සවස 3:00 නැවත කොළඹ බලා පිටත් වීම


මේ සම්බන්ධ චාරිකා සටහනක් ලියන්න 2011-05-28 වැනි දින ආරම්භ කළත්, ඒක පේලි කීපයකට පමණක් සීමා උනා. ඒ වගේම වසර හතරකට විතර කළින් ගිය චාරිකාවේ මතකය ඒ වෙද්දී තරමක් දුරට ගිලිහිලා ගිහින් වගේ ගතියකුත් මට තේරුනා.
මෑතකදී ආපහු බ්ලොග් එක ලියන්න ඕනේ කියල කල්පනා කලාට පස්සේ තමයි පහල තියෙන සටහන අළුතින්ම  ලියවුනේ. 2011 දී අමතක වෙලා කියල මම හිතාගෙන හිටපු ගොඩක් දේවල් 2014 සැප්තැම්බර් වෙද්දී මතක් කරගන්න පුළුවන් වීම ලොකු දෙයක්.
.......................................................................................................................

ඒ 2007 දෙසරම්බර් මස 20 වැනි බ්‍රහස්පතින්දාය. කලින් සුදානම් කොටගත් උඩවලව චාරිකාව පිටත් වීමට නියමිතව ඇත්තේ එළඹෙන පාන්දරය. එනම් 21 වෙනි සිකුරාදා පාන්දර 2:45 ට කොළඹ ලංගම බස් රථ නැවතුම්පළ බලා පැමිණීමටත්, ඉන් පසුව ඇති 03:10 ට පිටත් වන ලංගම බසයේ නැගී උඩවලව බලා පිටත් වීම අපගේ අරමුණ විය. චාරිකාව යාමට සුදානම් වූ සම්පුර්ණ පිරිස 14 දෙනෙකි. මම, වන්නි, පඟරා, ලැම්බ, දොදොල් කරත්තේ, වස්සා, සඳ, පෙරා, සූ, ගෝනා මල්ලි, ගලා, සජ් යන දෙළොස් දෙනා පිටකොටුවෙනුත් කුරූ සහ අලයා යන දෙදෙනා වෙනත් ප්‍රදේශ වලින් කෙලින්ම උඩවලව බලා පැමිණීමටත් නියමිත විය.

බ්‍රහස්පතින්දා සවස හතරට පමණ රාජකාරි හමාර කොට කොල්ලුපිටිය හන්දිය දෙසට පා නැගුවේ බම්බලපිටියේ පිහිටි නවාතැන්පල බලා යාමටය. කලක් පටන් සිතේ තිබු ආශාවක් වූ ට්‍රයිපොඩයක් මිළදී ගැනීමේ අදහස ඒ මොහොතේ ක්ෂණිකවම මසිතේ ඇති විය. කොල්ලුපිටිය හන්දියේ ඇති ප්‍රසිද්ධ කැමරා භාණ්ඩ අලෙවි සැලකට ගොඩවූ මා එහි තිබු  ට්‍රයිපොඩ කිහිපයක් පරීක්ෂා කළෙමි. එහි තිබු බරින් අඩු විශේෂ වර්ගයක ත්‍රිපාදිකය මා සිත් ගත්තේය. සැළකිය යුතු අධික මිළක් සටහන් වූ එය ණයපත හරහා මිලදීගෙන පා ගමනින්ම බම්බලපිටිය දක්වා පා ගමන ඇරඹුවෙමි.

රාජකාරී අහවර කොට මා සිටින නවාතැන්පොළ බලා පැමිණෙන බව වන්නී සහ ලැම්බා කල්තියාම මා දැනුවත් කොට තිබුනි. රාත්‍රියේ ඇරඹෙන චාරිකාවක් වූ බැවින් එසේ පැමිණීම ඔවුනට පහසුවක් විය. ගමනට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, කැමරාව, ලෙන්ස් සහ අනිකුත් කළමනා සුදානම් කර හමාර වනවිට රාත්‍රී හත පමණ විය. ඒ වන විට තරමක බඩගින්නක් දැනුණු බැවින් නවාතැනේ අරක්කැමි විසින් සකසා තිබූ රාත්‍රී ආහාරයෙන් කුඩා බත්පතක් ඛෙදාගෙන අනුභව කලේ මිතුරන්ගේ පැමිණීම සිදු වන්නේ කීයටදැයි නොසිතිය හැකි බැවිනි. ලැම්බා අප නවාතැනට නොපැමිණෙන බවත් කෙලින්ම කොළඹ බලා පාන්දරින් එන බවත් පවසා දුරකථන ඇමතුමක් ලබාදුන්නේ මේ අතරතුරේදීය. රාත්‍රී නවයට වැඩ නිමවී නවාතැනට පැමිණුන ෆෝමන් මහත්වරුන් පැමිණියේ VAT 69 බෝතලයක් සහ Black Lable බෝතලයක්ද රැගෙනය. වැඩබිම් කළමනාකාරතුමා ඔහුට ලැබුණු ත්‍යාගයක් ඔවුනට ලබා දී තිබුණි. සාදයට අවැසි අනිකුත් අඩුවැඩියද එමින් ගමන් ඔවුන් රැගෙනවිත් තිබුණි. සාදය සඳහා මා හටද ඇරයුම් ලැබුන අතර මිතුරන් එනතෙක් බලා සිටින බැවින් එම ආරාධනාව ප්‍රතික්ෂේප කලෙමි. මද වෙලාවකින් වන්නීගේ සැපත් විය. වන්නීගේ පැමිණීමත් සමග නැවතත් අප දෙදෙනාටම සාදයට සහභාගී වන ලෙස ලැබුණු ආරාධනාව ෆෝමන් මහතුන්ගෙනි. ප්‍රතික්ෂේප කල නොහැකි වු එම ආරාධනාවත් සමග අප දෙදෙනාද ඔවුන් හා සාදයට එක්වීමු.
downloaded from google
from google

බිඳෙන් බිඳ මධුවිතෙන් සප්පායම් වූ පිරිස සතුටු සයුරේ ගිල්වමින් අපට වඩා බොහෝ වැඩිමහළු ෆෝමන් මහතුන් ඉතා මනහර පැරණි ගීත කීපයක් ගායනා කළහ.

රාජ පණ්ඩිත නාග විමානේ.....// ලෝ හිමි විදුර පඬිගේ ඥානේ....//
(මෙම ගීය තිස්ස අයියාගේ බ්ලොගයට පින්සිදු වන්නට බාගත කොට නැවත නැවතත් රසවිඳීමට හැකිවිය.)

අප පිරිස සෑම විටම පාහේ අනුමත කරන සහ රස විඳින පැරණි සංගීතය මෙම මොහොතේ ද එයටම වෙන් වූ අතීත රසය නොමදව ප්‍රදර්ශනය කරමින් උන්නාය. සාදය හමාර වනවිට මධ්‍යම රාත්‍රියද එළඹ තිබුනේය. ඒ වනවිට අප දෙදෙනාද හොඳ පදමට මත්වී සිටියෙමු. සාදය අවසන් කොට සුළු අහරක් ගෙන නින්දට යාම පිටත් විය.
කළින් තීරණය කරගත් වේලාවටඑනම් පාන්දර 2:45 වන විට කොළඹ කොටුවට යාම ඊලඟ අභියෝගය විය. පාන්දර 2:15 ට පමණ ජංගම දුරතකථනයේ එළාමය තබාගෙන කුකුල් නින්දක් සඳහා සුදානම් විය. නින්ද ආරම්භ වන විටම වාගේ පඟරාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බවත් මා ඔහුට බැණ වැදුණ බවත් යාන්තමට වාගේ මතකයේ රැඳුනි.  ඒ වන විට වෙලාව පාන්දර 12:45 පමණ වන්නට ඇත. පඟරාගලාගෝනා මල්ලීවස්සා ඇතුළු පිරිස ගල්කිස්සේ පිහිටි ඔවුන්ගේ බෝඩිමේ සිට අපට ඇහැරවීමට සිදුකල කැඳවීමකි එය. පඟරා විසින් සිදු කළ බාධා කිරීමෙන් අනතුරුව හොඳීන් නින්ද ගිය මා හට නැවත ඇහැරුනේ පෙරා ලබාදුන් ඊළඟ දුරකථන අමතුමෙනි.

“කොහෙද බන් ඉන්නේ, අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නේ” කියූ පෙරාට, සිහි එළවා ගත්පසු මා දුන් පිළිතුර වුයේ “බස් එකක් එනකල් හෝල්ට් එකේ ඉන්නේ” කියාය. ඒ වනවිට වෙලාව පාන්දර 02:30 ට පමණ විය. නිවැරදි වෙළාව දැනගත් විට සිදු වූ දෙය පැවසිය යුතු නොවේ. සිදු කිරීමට අකමැති දෙයක් මා අතින් සිදු වී ඇත. මා තැබූ එළාමය මා විසින්ම එය වද්දීදී ක්‍රියා විරහිත කරන්නට ඇත. වන්නීට ඇහැරවා සිදුවී ඇති දෙය පැහැදිළි කර ළඟ තිබු නානකාමරයට ඔහුට යන ලෙස පවසා දුරින් තිබු නානකාමරයට වහවහා දිව ගියෙමි. සියළු කටයුතු හමාර කොට මා කාමරයට එනවිටත් වන්නි ඇඳෙන් නැගිට නොමැත. ඒ ඔහුගේ හැටිය. ඔහුව ඇහැරවනවාට වඩා කුම්බකර්ණ යෝධයාව ඇහැරවීම පහසු කාරියක් වනු ඇත. වතුර පහරක් ගසා ආදරයෙන් ආමන්ත්‍රණය කර මොළය සෙළවෙන තරමට සෙලවූ පසු වන්නී නැගිට්ටේය. කෙසේ හෝ විනාඩි කිහිපයකින් මුහුණ කට සෝදා ඇඳුම් ඇඳ ලෑස්ති වීමට ඔහුට හැකි විය.

ඇඳුම් කැඩුම් රැගත් බෑගයක්, කැමරා බෑගය සහ ඊට අමතරව ත්‍රිපාදිකය දැමූ බෑගයද ඇතුළුව බෑග් තුනකින් සමන්විත වූ භාණ්ඩ තොගයක් මා සතු විය. වන්නි සතුවද බෑග දෙකක් විය. බෝඩිමේ සිට ගාළු පාරට තිබුනේ බොහෝ සුළු දුරකි. ඒ දුර  විනාඩි දෙකකින් පමණ නිම කිරීමට අපට හැකි විය. කොළඹට ළඟා විය හැකි බස් රථයක් එවෙලේම පැමිණීම මහත් සහනයකි. 2:45 ට පැමිණිම ට කතිකා කරගත් නමුත් අප එහි ළඟා වන විට 3:05 පමණ වී තිබිණි. එහි පැමිණි අවසන් සාමාජිකයින් දෙදෙනා අපම විය. නමුත් ලැම්බට් පැමිණ තිබුනේද අපට විනාඩි කිහිපයකට කළින් වූ නිසාදෝ අප දෙදෙනාට දැඩි විරෝධයක් එල්ල නොවීය.

එයට තවත් හේතුවක් විය හැක්කේ 02:45 වන විටත් අප යාමට සිතා සිටි ලංගම බස් රථයේ අප සියලු දෙනාටම වාඩි වී යාමට තරමේ ඉඩක් ඉතිරි වී නොතිබීම වන්නටද පුළුවන. ලංගම බසයට පසුව පෞද්ගලික බස් රථයක් පිටත් වන බව එහි සිටි කවුරුන් හෝ පැවසීය.  මතකයේ හැටියට එය පිටත් වීමට නියමිතව තිබුනේ ගුණසිංහ පුරයේ බස් නැවතුම් පලෙනි. පුද්ගලික බස් රථයේ සියළු දෙනාටම අසුන් ගැනීමට තරමේ ඉඩ කඩ තිබීම වාසනාවක් විය.
අප දෙදෙනාගේ ප්‍රමාදය හේතු කොටගෙන ප්‍රධාන ගමන් කාලසටහන කිසිදු අයුරකින් වෙනස් නොවීම අප දෙදෙනාගේ (විශේෂයෙන්ම චාරිකා සංවිධායක වූ මාගේ) මහත් සැනසුමට හේතුවිය. වෙනදා අහේතුකව පවා යම් යම් දේ උදෙසා බොරුවට හෝ බැන වාද කරගන්නා මිතුරු පිරිස මෙවේලේ නිශ්ෂබ්ධව පසුවූයේ නිදිමත නිසා වන්නට ඇත. බස් රථය පාන්දර 3:20ට පමණ ගමන් ඇරඹුවේය. බසයේ අසුන් අප සියළු දෙනාගේම නිදි යහන් බවට පත් වීමට වැඩි වේලාවක් ගත නොවීය.

උදෑසන 7:30 පමණ වන විට “වළව” හන්දිය වෙත ළඟා වීමට අපට හැකි විය. අප එහි යන විට කුරූ සහ අලයා පැමිණ අප එන තෙක් බලා සිටියහ. ඒ වනවිට අවශ්‍ය බඩු භාණ්ඩ මිළදී ගැනීමට හැකි සිල්ලර බඩු කඩයක් විවෘත කර තිබුනේ නැත. එතැන් සිට සෆාරි බංගලාවට යා හැකි බස් රථයක්ද අපි ගිය විගස පැමිණියේද නැත. මේ හේතු දෙක වෙනුවෙන් එකිනෙකාගේ නෝක්කාඩු අසන්නට සිදුවුයේ මා හටය. මිතුරන්ගේ නිදිමත පහව ගිය පසු ඔවුන් නියමාකාරව ක්‍රියාත්මක වෙමින් පවතින බවට හොඳ නිදසුනකි ඒ.
කෙසේ හෝ විනාඩි පහළොවකින් පමණ බස් රථයක් පැමිණියේය. බඩු මිළදී ගැනීම පසෙක ළා නවාතැන වෙත යාම සුදුසු බව කාගේත් අදහස විය. බසයට ගොඩ වෙද්දී කවුරුන් හෝ “වස්සයි, පඟරයි නෑ” කියා කෑ ගැසුවේය. උන් දෙදෙනා ශරීර කෘත්‍යයක් ඉටු කර ගැනීමට ඉදිරිය බලා ගමන් කරනු දුටු බව කාගේ හෝ පිළිතුර විය. ඒ පිළිතුරෙන් පසු බස් රථය ඉතා සෙමෙන් ඉදිරිය බලා ගමන් ඇරඹුවේය. අවශ්‍යතාවය සපුරාගත් ඔවුන් දෙදෙනා ඉදිරියෙන් වූ පඳුරු මන්ඩියක් තුළින් එළියට පැමිණ දිවවිත් ගමන් අරඹා තිබූ බස් රථයට ගොඩ විය.

අප  ගමන් කල කිලොමීටර හතකට මදක් අඩු ගමනාන්තය සඳහා කොන්දොස්තර මහතා අයකළ ගාස්තුව වුයේ රුපියල් 25 කි. කොළඹ සිට උඩවලව හන්දිය දක්වා තිබු කිලෝමීටර 150 ක දුර ඒමට ටිකට්පත් ගාස්තුව වුයේ රුපියල් 188 කි. එසේ සැළකීමේදී අපෙන් අයකර ඇත්තේ අධික මිළකි. කෙසේ වෙතත් එය එම මාර්ගයේ දිවෙන බස් රථ මගීන්ගෙන් අයකරන සාමාන්‍ය මිළ බව එහි ගමන්ගත් මගීන් සහතික කළහ.

බසය සාම මාවත දක්වා පැමිණි විට අප සියල්ලෝම ඉන් බැස ගත්තෙමු. නවාතැන්පල වෙත ළඟා වීමට තවත් මීටර දෙසීයක පමණ දුරක් ඉදිරියට යා යුතුය. ස්ථානයේ යම්කිසි සිත් ගන්නා බවක් ඇති බවට මුළදී නම් මා හට නොපෙනුනි. නමුත් එදින සවස් භාගයේදී එම භූමියේ ඇති සිත් ගන්නා බව කැපී පෙනුනි. පසෙකින් ගලා යන වළවේ ගංගාවේ නග්න වූ ගල් පරුවත සහ දිය කඩිති අතර එහෙ මෙහෙ ඇවිදීමෙන් පසුව එය මොනවට පසක් විය. අප එහි පැමිණි වහා තේ පැන් සංග්‍රහයක් සුදානම් කිරීමට එහි බාරකරු සහ අරක්කැමි ලෙස කටයුතු සිදුකල කුමාර අයියා උත්සුක විය. තේ සෑදෙන අතරවාරයේ අප කිහිප දෙනෙකු විසින් අසළ තිබූ කුඩා කඩයට ගොස් එහි තිබු කෑමට ගත හැකි සියළුම දෑ මිළදී ගත්හ. එහෙත් අප සතුව තිබූ බඩු ලයිස්තුවෙන් අඩක්වත් සපුරාලීමට එම කඩ හිමියා අපොහොසත් විය. නමුත් එදින වේල පිරිමසා ගැනීමට අවශ්‍ය කරන දෑ මිළ දී ගැනීමට අප සමත් විය. තවද හිතේ හැටියට ලැයිස්තුව වෙනස් කිරීමද සිදු විය. අවසානයට කිව හැක්කේ ලයිස්තුවේ තිබු බොහෝ දෑ කැපී කෙටී ඉවත්ව ගොස් වෙනත් දෑ එක්වූ බවය.

මිළ දී ගත් භාණ්ඩ වලින් කොටසක් පෙරා, වස්සා සහ පඟරා අත නවාතැන් පළට පිටත් කර යැව්වේ ඒ වන විටත් අධික බඩගින්නේ සිටි අපගේ උදේ ආහාරය ඉක්මනින් පිළියෙල කර ගැනීම උදෙසාය. ඉතිරි බඩු ටිකත් රැගෙන අප එහි යනවිට තේ සුදානම් කර තිබු අතර බතක් සහ සම්බලයක් පිළියෙළ කිරීමේ කටයුත්තද ආරම්භ කර තිබුණි.
සුදු කැකුළු හාලේ බතකින් සහ පොල් සම්බලයකින් සමන්විත බත්පත ආහාර රුචිය තවත් වැඩි කළේය. නමුත් එම ආශාව පැවතියේ පළමු බත්කට අනුභව කරන තෙක් පමණි. පළමු බත් අහුරේ සිටම සියළු දෙනාටම පාහේ වැලි කැට හැපෙන්නට විය. වැලි නොහැපී එක බත් අහුරක් හෝ ගිල දැමීමට නොහැකි විය. බතේ වූ රසය සහ කෑමේ ආශාව මුළුමනින්ම යටපත් වූ සියල්ලෝම පාහේ බෙදාගත් පතින් භාගයක්වත් නොකා ඉවත දැමිය. එසේම ඉතුරු වී ඇති සහල් ප්‍රමාණයද විසි කරන්නට තීරණය කළෙමු. බතක් කන විට වැලිකැට හැපීම හෝ බත බාගෙට ඉදී අමු හාල් ඇට හැපීම තරම් මා අකමැති දෙයක් තවත් නැත..

ආහාරයෙන් අනතුරුව කැමරා ආම්පන්න වලින් සන්නද්ධව අවට සිරි නැරඹීමට පිටත් වීමු. ගං ඉවුරේ දී නොයෙකුත් වර්ග වල බත්කූරන් සහ සමනළුන් දැක ගත් අප උන් ඡායාරූප ගත කර ගතිමු. ටික වෙලාවකින් අව් රශ්මිය අධික විය. වෙහෙසෙකර ගතියක්ද දැනුනි. වනයට සහ අපගේ ගති ක්‍රමයට නවකයෙක් වූ පඟරා ටික වේලාවකින් අනතුරුව එයට අනුගත වෙමින් කුරුළු සහ සමනළ වර්ග කීපයකම නම් පවා මතක තබා ගැනීමට සමත් විය. අප සිතුවේ මෙම චාරිකාව පඟරාගේ අවසාන වන චාරිකාව වනු ඇත කියාය. නැත, ඔහු තව දුරටත් අප සමඟ රැඳී සිටීමට කැමැත්තක් දක්වයි. ඔහුටද යම් කිසි අහේතුවක් නිසා කැලය එපා වී නොමැත .






ෆොරස්ට් වැග්ටේල් නම් අලංකාර කුඩා පක්ෂියා ප්‍රථම වරට දැක ගැනීමට එදින සවස අප සමත් වූ බවද සිහි කළ යුතුය. අවාසනාවක මහත, කැමරාව ඌ ඉදිරියට මානත්ම ඌ දුවගොස් පඳුරු අතර සැඟවී ගත්තේය. පසුව ඉන්ඔබ්බට ඉගිළ යන අයුරුද දැක ගැනීමට හැකිවිය.
අවට පරිසරයේ රස විඳිමින් ඇවිදිමින් සිටි අප සිටි තැනට අමු අඹ මළු කිහිපයක් රැගත් කාන්තාවක් කුඩා දැරියක්ද සමග පැමිණියාය. ඇයගෙන් අඹ මළු දෙකක් මිළදී ගත්තේ සු විසිනි. ඉන් කිහිපයක් ගං ඉවුරේ සිටම ගල් වල ගසා කෑමට ගතිමු.
හදිසියේ කඩා වැටුනු වර්ෂාවකින් අපහට බාධා එල්ල වුයේ මේ අතරතුරේදීය. යාන්තමින් කැමරා ආම්පන්න ආවරණය කරගෙන නවාතැන බලා දිව ඒමට අපි සමත් වීමු.

වර්ෂාවෙන් අනතුරුව ඉතිරි බඩු භාණ්ඩ මිළදී ගැනීම සඳහා R.E.T. හන්දිය නම් ස්ථානයට යා යුතු විය. R.E.T. හන්දිය යනු කොළඹ සිට පැමිණීමේදී උඩවලව ජලාශයේ බැම්ම හමුවීමට පෙර හමුවන කඩමණ්ඩියයි. එහිදී අවශ්‍යය බොහෝ ද්‍රව්‍ය මිළදී ගැනීමට හැකියාව ලැබුණි. අනතුරුව මාළු වෙළඳ සළකින් වැව් මාළු මිලදීගෙන එහි නවතා තිබූ කුළී ජීප් රථයක් හෙට දිනයේ ගමන සඳහා කතිකා කර ගතිමු. එය වඩාත් වාසිදායක බව කිව යුතු නැත. නවාතැන් පළේ සහායෙන් ලබා ගන්නා ජීප් රථ සඳහා කොමිස් මුදලක් නවාතැන් හිමියා විසින් ලබා ගන්නා බැවින් එවැනි ගණදෙනුවක් සංචාරකයාගේ මුදල් පසුම්බියට සුවදායක වන්නේ නැත.
අප ගෙනා භාණ්ඩ තොගය කුමාර අයියාගේ බාරයට පත්කලේ දිවා ආහාරය සඳහා යමක් සුදානම් කිරීමටය. දිවා ආහාරය පිළියෙළ කරන තුරු ඉස්තෝප්පුවේ තබා ඇති පුටු කිහිපයේ සහ කෙටි බැංකුවේ වාඩි වී වල්පල් කතා කරමින් කාලය ගත කළෙමු. දිවා අහාරය ගත්පසු ටික වෙලාවක් විවේකයෙන් ගත කලේ සවස් වරුවේ හෝ වැස්ස තුරල් වේයැයි සිතාය.

සවස තුන වන විටද සිහින් පොද වැස්සේ අඩුවක් දක්නට නොලැබුණි. පොද වැස්සද නොතකා අප පිරිස වැව් බැම්ම ඇති පෙදෙසට කුඩා කණ්ඩායම් වශයෙන් යම් යම් අරමුණු උදෙසා ගමන් අරඹා තිබුණි. මම, වස්සා, පෙරා මාළුන් බෑමට හැකිදැයි යන්න විපරම් කරමින් කුඩා ඇළ මාර්ගයක් අසළ සක්මන් කරමින් උන්නේය. මාගේ පසුම්බියක ඒ දින වල තිබූ බිළී කට්ට සහ තංගූස් නූල් පන්දුව කුඩා කෝටුවක ගැට ගසා කල උත්සාහය පුස්සක් විය. එම කාරිය එපා වී අපි ආපසු පැමිණෙමින් සිටියදී මාගේ මිතුරකු වන ප්‍රසන්නගෙන් මා හට ඇමතුමක් ලැබුනි. ඔහු අප සොයා පැමිණෙමින් සිටින බවද අප සිටින ඉසව්වට එන මාර්ගයද මාගෙන් විමසනු ලැබීය. ඒ වනවිට අප වැස්සේ තෙමි තෙතබරියන් වී උන්නෙමු. මිතුරා පැමිණෙන බැවින් නවාතැන බලා ආපසු ගමන් ඇරඹුවෙමු. පිරිසෙන් කොටසක් මේ වන විට නවාතැනට පැමිණ නා පිරිසිදු වී උන්හ. කුමාර අයියා සාදා දුන් තේ කෝප්පයක රස බැලීමට ඒ මොහොතේ අපට අවස්ථාව උදා විය.

චාරිකාව සැලසුම් කිරීමේදී යම්යම් දෑ අසා දැන ගැනීම සඳහා මා ප්‍රසන්න හා කීප විටක්ම දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වුයේ ඔහු උඩවලව සම්බන්ධ විස්තර දන්නා නිසාය. ඔහුගේ නිවස පිහිටියේ ඇඹිලිපිටියේය. මේ වන විට ඔහු රාජකාරි කටයුතු සිදු කලේ මිරිජ්ජවිලය. අප එන දිනය හිතේ තබාගත් ඔහු කිලෝමීටර 60කට අධික දුරක් ගෙවා වැස්සේ තෙමෙමින් මිරිජ්ජවිල සිට අප සිටින තැන සොයා පැමිණ ඇත. ඔහු පැමිණෙන විට විශාල ප්‍රමාණයේ වැව් මාළු තුන් දෙනෙකු රැගෙන විත් තිබුණි. ඒ වන විටත් අප මිළදී ගත් වැව් මාළු බැදෙමින් තිබුණා විය යුතුය. මාළු කූරීන් තිදෙනා මා වෙත බාර දී ඔහු ඉක්මනයට යා යුතු බව කීවේ අප සමග සිටි පිරිස ඔහු බලාපොරොත්තු වූවාට වඩා වෙනස් වූ නිසා විය හැකිය. පසු දිනෙක ඔහු මා සමග කීවේ “මම හිතුවේ උඹල කොල්ලෝ සෙට් එක බීල ආතල් එකක් දාල යන්න ඇවිල්ලා කියලා, ඒ හින්ද තමයි මම මාළුත් අරගෙන ආවේ” කියාය. වරද මා අතේය. ඒ බවක් ඔහුට විස්තර ඇතුව කීමට අමතක වීම මාගේ වරදකි. නමුත් ඔහු අප හමුවීමට එහි එන බවක් මා හට කළින් කීවේද නැත.
වැස්සේ තෙමීගෙනම පැමිණි ඔහු වැස්සේ තෙමීගෙනම ආපසු ගියේ මිතුරන් යනු මෙවැන්නෝය යන්න මොනවට පසක් කරමිණි. රැකියාවට පැමිණි පසු දැන හඳුනා ගත් මිතුරකු වුවද සෑම විටම ඔහු වැඩිමහල් සහෝදරයකු මෙන් මා ඇසුරු කළ නියම මහත්මයෙකු ලෙස කටයුතු කළ අයෙකි.


අපට වඩා වැව් මාළු ගැන හොඳින් දන්නා ඔහු පුංචි උපදෙසක් දීමටද අමතක නොකළේය. එනම් මාළුන් සුද්ධ කර මිස ශීතකරනය තුළට නොදමන ලෙසිනි. නවාතැන් පළේ සහායක වශයෙන් කටයුතු කළ කුමාර අයියා මාළුන් සුද්ධ කිරීමට තරමක් අදිමදි කලේ කලයුතු වෙනත් වැඩ ඇතිය කියාය. ඔහුගෙන් ඉල්ලාගත් මොට්ට පිහියක මුවහත වැඩිදියුණ කරගෙන එම කාර්යයට ඉතා කැමැත්තෙන් අවතීර්ණ වුයේ ගලා සහ මාය. ඉතා ඉක්මනින් එහි ඇති අපහසුව තේරුම් ගැනීමට හැකි විය. තාත්තා රැගෙන එන මුහුදු මාළු කපනා අයුරු කුඩා කළ පටන්ම නැරඹීමේ පුරුද්දක් මා හට විය. ඉන් ලද වාසි කිහිපයකි. පළමුවැන්න මාළු කැපීමට සහ හඳුනා ගැනීමට හැකියාව ලැබීමත්ය.

කිසි ලෙසකින් අතින් අල්ලා ගැනීමට නොහැකි ලෙසින් ලිස්සන වැව් මාළුන් පුංචි පිහියකින් කෙසේ සුද්ධ කළ හැකිද යන්න වෙනමම කාරණයක් බව එදින මා උගත් පාඩමයි. දන්නා ලෙසින් ශිල්ප දැක්වීමෙන් අනතුරුව එක මාළුවකු තලා පෙළා සුද්ධ කර ගැනීමටත් දෙවැන්නාගේ කොරපොතු ඉවත් කර දැමීමටත් පමණක් හැකි විය. වරළ් කිහිපයක් කපා දැමීම ගලා විසින් සිදු කර දුන්නේය, නමුත් එක මාළුවකුගේ පිටුපස වරළ කපා දැමීම නිසා ඌ සුද්ධ කිරීමේ කටයුත්ත ඉතා අපහසු කාරියක් බවට පෙරළුනි. එහිදී අනුකම්පා සිතීදෝ කුමාර අයියා පැමිණ අපහසුවෙන් හෝ මාළු සුද්ධ කිරීමේ සහ කැපීමේ කටයුත්ත බාර ගනිමින් අප නිදහස් කළේය.
අනතුරුව එළඹියේ නා පිරිසිදු වීමේ අවස්ථාවයි. නා ගැනීමෙන් අනතුරුවත් අත් දෙකින් හැමූ පිළී ගන්ධයනම් ඉවත් නොවීය.

මේ වන විට අනිකුත් පිරිස එහි තිබූ ටීවී එකක් සමග ගනුදෙනුවක් ආරම්භ කොට තිබුනි. මෙය මා  ඉතාම අකමැති කාර්යයන්ගෙන් එකකි. විනෝද සවාරියක් හෝ එවැනි යම් චාරිකාවක අරමුණ සහ විනෝදය සහමුලින්ම විනාශ කර දැමීමට මෙම කරුම පෙට්ටියට හැකියාව ඇත. ටීවී එකක් යනු සෆාරි බන්ගලාවකට කොතෙක් ගැලපේදැයි යන්න ලංකාවේ මිනිසුන් තේරුම් ගන්නේ කවදාද. අප සමග සිටි ගැහැණු ළමුන් සහ සමහර පිරිමි දරුවන් කිහිප දෙනෙකුන්ද ඉතා අභිරුචියකින් යුතුව සිරසේ ගිය කුප්ප කුණු වැඩසටහනක් නැරඹීමට හරිබරි ගැසෙමින් උන්නෝය.

රාත්‍රී ආහාරය ලබා ගැනීමද මේ කටයුතු අතරේදීම සිදු විය. කෑමෙන් අනතුරුවද චාරිකාවකදී පමණක් නොව නිවසේ දී පවා දැකීමට අප්‍රිය කරන සිරසේ ගිය තකතීරු ඉන්දියන් කතාවක් නරඹමින් සිටින මිතුරු පිරිස දැක ගැනීමට හැකි විය. අප වෙනදා යෙදෙන ක්‍රියාකාරකමක හෝ කතා බහක් වෙත ඔවුන් යොමු කරවා ගැනීමට දැඩි උත්සාහයක් දරන්නට සිදුවිය. පසුව සිදු වූ කතාබහ සහ වෙනත් වැඩසටහන් වෙනදා මෙන් ප්‍රාණවත් බවක් නොපෙන්වූ බවක් මට හැඟුනි.
කෙසේ හෝ එදින රාත්‍රි 10 පමණ වන විට නින්දට යාමේ සුදානමක් ඇති වූයේ පාන්දරින් නැගිට උඩවලව බලා යා යුතු නිසාය.

පළමු දින අවසානය, ඉතිරිය හැකි ඉක්මණින්....