Showing posts with label ෆොටෝ වලින් කියන කතා.... Show all posts
Showing posts with label ෆොටෝ වලින් කියන කතා.... Show all posts

Wednesday, 4 April 2012

කුරුළු ගෙදර කරදරයක්....

මම වනජීවී ජායාරූප ගහන්න පටන් ගත්තට පස්සේ වැඩිම ජායාරූප ප්‍රමාණයක් ගහල තියෙන්නේ කොහේදී වෙන්න ඇතිද.
ඒ ලංකාව පුරා ප්‍රසිද්ධ වනෝද්‍යානයකදී එහෙම නෙමෙයි. අපේ ගේ අවට පරිසරය තමයි මට ගොඩක් වෙලාවට ෆොටෝ ගහන්න ඕනේ කරන කරුණු කාරණා සපයලා දෙන්නේ. මම ගෙදරින් පිට බෝඩිම් වල නතරවෙලා හිටියත් ගොඩක් දුරට සති අන්තේ ගෙදර යනවා.
ගෙදර යද්දී වෙන මොනවා නැතත් කිලෝ ගාණක් බර කැමරා බඩු ටික උස්සගෙන යන්නනම් අමතක කරන්නේ නැහැ.
එහෙම ගිය වෙලාවල් වල ගත්තු තරමක් විශේෂ ජායාරූප කිහිපයක් තමයි මම අද පෝස්ට් එකට දාන්න කල්පනා කලේ.
මේ පහළ ෆොටෝ එකේ ඉන්නේ අපේ ගෙවල් අහල පහළ නිතරම වගේ දකින්න පුළුවන් ගොඩක් ලස්සන පුංචි කුරුල්ලෙක්. දකින්න නැති උනත් අඩු ගානේ එයාගේ ලස්සන හඬ හරි අහන්න ලැබෙනවා නිතර දෙවේලේම වගේ.


මෙයාගේ සිංහල නම තමයි "රත්ළය නිල් මැසිමාරා", ඉංග්‍රීසි නම Tickell's Blue Flycatcher. වැඩිදුර විස්තර ඕනේ කෙනෙකුට ඉංග්‍රීසි නමින් දාල තියෙන දිගුවෙන් ගිහින් බලාගන්න පුළුවන්.
මේ පහළ දාල තියෙන ෆොටෝ එකේ තියෙන්නේ මේ වර්ගයේ කුරුළු ජෝඩුවක්‌ අපේ ගේ පිටිපස්සේ තියෙන කණ්ඩියේ පොඩි ගුළක හදපු පුංචි කූඩුවක්. මේ අය අපේ ගේ අවට මේ වෙද්දී හතර වතාවක් කූඩු හදල තියෙනවා. එක වතාවක් අපේ ගෙදර තිබුන දෙහි ගහේ. අනිත් තුන් වතාවෙම මේ පුංචි සිදුරේ. මෙතනට කිසි කරදරයක් නැතුව ගැරඬියෙකුට, පූසෙකුට කිට්ටු වෙන්න පුළුවන්. මේ වගේ තැන්වල මෙයාලා කූඩු හදනවා ගොඩක් අඩු උනාට මීට කලින් එතන කිසි කරදරයක් උනේ නැති නිසා  මෙයාල ඒ තැනට කැමති උනා වෙන්න ඇති. මේ තියෙන්නේ තුන්වෙනි වතාවේ මම එයාලගේ කූඩුවක් ඇතුලේ පුංචි බිත්තර දෙකක් දාල තියෙනවා දැකල ගත්තු ෆොටෝ එකක්.


එදායින් පස්සේ මමත් ගෙදර ආපු ගමන් කරන්නේ මේ පුංචි කුරුළු පවුල හොඳින් ඉන්නවද කියල හොයල බලන එක. සමහර දවස් වලට අපේ අම්මට කෝල් එහෙමත් දීල අහල බලනවා මේ අයගේ සැපදුක්.


සති අන්තේ ඉවරවෙලා වැඩට ගියත් නිතරම වගේ අම්මට කෝල් එකක් දීල මේ අයගේ සැපදුක් අහන වැඩේ මම අතපසු කලේ නැහැ. එක දවසක් අපේ අම්ම මට කිව්වා දැන් බිත්තර පුපුරලා පුංචි කුරුළු පැටව් දෙන්නෙක් කුඩුවේ ඉන්නවා කියලා. මම ගොඩක් නොඉවසිල්ලෙන් හිටියේ සති අන්තේ උදා වෙනකල්.  ඒත් එක දවසක් අම්මට කෝල් කලාම අම්මා කිව්වා දැන් එතන කුරුළු පැටව් දෙන්නෙක් නැහැ, එක්කෙනයි ඉන්නේ කියලා. මොකෙක් හරි සතෙක්වත් කන්න ඇති කියල තමයි අම්ම කිව්වේ.
ඒ ආරංචිය ආවට පස්සේ දවසේ මම ගෙදර ආවා, ආපු ගමන් ගිහින් කුරුළු කූඩුව ගාවට තමයි ගියේ. මෙන්න ඒ වෙනකොට ඒ කුඩුවේ ඉතුරුවෙලා හිටපු කුරුළු පැටියා. එතන බිම පුංචිම පුංචි කුරුළු පැටියෙක්ගෙ පිහාටු කෑලි කීපයක් සහ පොඩි පොඩි සුන්බුන් ටිකක් තියෙනවා කියලත් මම දැක්කා. සමහර විට කුරුළු පැටියව කුඩුවෙන් වැටිලා ඉන්නවා දැකපු පුසෙක්වත් කන්න ඇති. එහෙම නැතුව ඌ කූඩුව ඇතුළට පැනලා මේ විනාසය කලානම් එක පැටියෙක් ඉතුරු වෙන්න විදිහක් නැහැ කියල තමයි මට හිතුනේ. එහෙමත් නැත්නම් කුරුළු පැටියා වෙන හේතුවක් නිසා මැරුණට පස්සේ කුරුළු මව්පියෝ එයාව කුඩුවෙන් එළියට දැම්මා වෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්.
එදා දවස පුරාවට ඉතුරු වෙච්ච පැටියට කෑම කවන කුරුළු අම්මවයි තාත්තවයි මට දැක ගන්න ලැබුනා බොහොම ලඟට. මේ ඉන්නේ කුරුළු පැටියාගේ අම්ම.


මම මේ කුඩුවේ ඉන්න කුරුළු පැටියාගේ ෆොටෝ එක ගැහුවේ 2008-05-11 වෙනිදා උදේ 07:30 ට. මෙන්න එදාම උදේ 11:01 ට මම දැකපු දේ. 






මේ ඉන්නෙනම් එයාගේ නැති වෙච්ච සහෝදරයා හරි සහෝදරිය හරි නෙමෙයි. ඒත් මේ උකුස්සාගේ (Crested Serpent Eagle- සිළු සර්ප උකුස්සා) කටේ ඉන්නේ පුංචිම පුංචි කුරුළු පැටියෙක්. ස්වභාවධර්මය කියන්නේ මිනිසා විසින් පාලනය කලයුතු ධර්මතාවයක් නෙමෙයි කියන මතයේ මම ඉන්න නිසා මට මෙයා ගැන කිසිම කහටක් ඇති උනේ නැහැ. එයාගේ වැඩේ එයාට කරගන්න දීලා මම ෆොටෝ දෙක තුනක් ගහපු එක තමයි කලේ.

කොහොම නමුත් මේ සිද්ධියෙන් පස්සෙත් ඒ කුරුළු පවුල එතනම කූඩුව හදලා පුංචි බිත්තර දෙකක් දාල තිබුනා. මොකක්දෝ අහේතුවකට ඒ බිත්තර පුපුරලා පැටව් එළියට ආවේ නැහැ. එදායින් පස්සේ ඒ කුරුළු ජෝඩුව අපේ කණ්ඩියේ කූඩු හදන එක නතර කරලා දැම්මා.
ඒත් අපේ ගේ අවට හැමදාම වගේ එයාලගේ සද්දේ ඇහෙන්න තියෙනවා වගේම ගොඩක් වෙලාවට මට එයාලව දකින්නත් ලැබෙනවා.
මේ ඔක්කොම ෆොටෝ අපේ ගෙදර වට පිටාවේදී ගත්තු ඒවා. මෙච්චර ලස්සන පරිසරයක තියෙන මගේ ගෙදර, ගම ගැන මම මෙච්චර ආදරේ ඇයි කියල දැන් තේරෙනවා නේද.




ප.ලි.
මම බ්ලොග් එකක් ලියනවා කියල මම මගේ නෝනට මේ වෙනකල් කියල තිබුනේ නැහැ. පෝස්ට් කීපයක් දැම්මට පස්සේ බ්ලොග් එක ගැන එයාට කියන්න තමයි මම හිතාගෙන හිටියේ. මම එහෙම හිතුවේ ඒකෙන් එයාව පුදුම කරවන්න හිතාගෙන. ඒත් ඒ දවස එන්න එන්නම පහු උනා, අන්තිමට අද තමයි එයාට බ්ලොග් එක ගැන කිව්වේ. කලින් කිව්වේ නැහැ කියල පොඩි පහේ දෝස් මුරයක් අහන්න උනාට එයා ඒ ගැන ගොඩක් සතුටු උනා. ඒ වගේම කලින් පෝස්ට් එක බලලා ඇනෝ කමෙන්ට් එකකුත් දාල ගිහින් තිබුනා.... :)

Monday, 20 February 2012

පුවක් බිළේ බකමූණෙක්....

අපේ ගෙදරට පහළ ගෙදරක ඉන්නවා පොඩි කොලු ගැටයෙක්. මේකාගේ නමනම් මට හරියට මතක නැහැ, ඒත් ගෙදරට කියන්නේ "බණ්ඩාර" කියලා. ගමේ කොල්ලෝ ඌට කියන්නේ බණ්ඩා කියලා. පොඩි එකා කාලේ ඉඳලම මේකා ටිකක් වසවර්තියා. පස්සේ කාලෙක හමුදාවටත් බැඳිලා හිටියා යුද්ධේ දවස්වල. ඒත් අන්තිමට එහෙනුත් පැනල ඇවිත් ගමේගොඩේ ඉබාගාතේ යන්න පටන් අරගෙන තිබුනා. හමුදාවට බැඳුනත් බණ්ඩා කියන්නේ ශරීර ප්‍රමාණයෙන් බොහොම පුංචි කොල්ලෙක්. කවුරුහරි බණ්ඩාව දැන් දැක්කත් හිතේවි තාම ඉස්කෝලේ යන කොළු ගැටයෙක් කියලා.


අපේ ගෙදර තියෙන්නේ තරමක කඳු ගැටයක් උඩ. එක දවසක් මම පහළ බලනකොට දැක්කා මේකා දිරච්ච පුවක් ගහකට ගල් කැට විසිකරනවා. ගෙදර ගියාම මට තියෙන පුරුද්දක් තමයි ගේ අවට හැමතැනකම වගේ කැමරා එකත් කරගහගෙන ගිහින් ෆොටෝ ගහන එක. මමත් කැමරා එකත් අරගෙන ගියා පහළට. බැලින්නම් මේකා ගල්කැට විසික්කා කොරල තියෙන්නේ පුවක් ගහේ තිබ්බ බිළයක් දිහාවට. ඒ බිළයේ බකමුනෝ ඉන්නවා කියලා බණ්ඩා මට කිව්වා. මේ දිරච්ච පුවක් ගහ තියෙන්නේ උන්ගේ ගෙදරට යන පාර අයිනේ. ඇත්තටම කිව්වොත් ඒකලාගේ ඉඩමේ තමයි මේ ගහ තියෙන්නේ. මේකාට කවුදෝ මන්ද එහා ගමේ මනුස්සයෙක් කිව්වලු බකමුනෙක් අල්ලලා ගෙනත් දුන්නොත් රු1000 ක් දෙන්නම් කියලා. බකමුනෙක් අල්ල ගන්න හිතාගෙන තමයි මු මේ දඟලන්නේ. 


එදා මම ගෙදර ගිය වෙලාවෙත් අපේ අම්ම මට කිව්වා පහළ ගෙදර පුවක් ගහක තියෙන බිළේක බකමුනෙක් ඉන්නවා කියල පහළ ගෙදර නැන්දා කිව්වා කියලා. ගමේ ගියාම අපේ අම්මයි අහල පහල අයයි මට ඒ වගේ පණිවිඩ දෙනවා. හවස්වෙලා ඒ පැත්තේ යන්න හිතාගෙන හිටපු වෙලාවක තමයි මම අහම්බෙන් වගේ මේ සිද්ධිය දැක්කේ. වෙලාව හවස 4:30 ට වගේ ඇති මම හිතන්නේ. කළුවර වැටිලත් නැති වෙලාවේ ඒ පොඩි බිලයෙන් මුළු  ඇඟම වගේ එලියට දාගෙන ඉන්න මෙන්න මෙයාව මට දකින්න ලැබුණා. හරියටම කියනවනම් දවස 2008-03-03 වෙනිදා. 






මෙයා ඇත්තටම බකමුනෙක් නෙමෙයි බස්සෙක්. හරියටම කියනවනම් එයාගේ නම පෙරදිගු කන්බස්සා (Oriental Scope Owl - Otus Sunia). මෙතන තියෙන අන්තිම ෆොටෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් පුවක් ගහේ කඳට සාපේක්ෂව  බස්සාගේ ශරීර ප්‍රමාණය කොයි තරම්ද කියලා.


මම මුලින්ම  බණ්ඩාට කිව්වා ආපහු මේ සත්තුන්ට කරදර කරන්න එපා කියලා. මොන අහේතුවකටද දන්නේ නැහැ මේකා මම කියපු දේ පිළි අරගෙන පැත්තකට උනා. ඊට පස්සේ බණ්ඩා තවත් බස්සෙක් ඉන්න තැනක් ගැන හෝඩුවාවකුත් දුන්නා. අපේ ගෙවල් අහල පහළ කොහොමටත් කුරුළු වර්ග සෑහෙන්න ප්‍රමාණයක් දකින්න පුළුවන්.
ගණන් මිනුම් වශයෙන් කිව්වොත් මම අපේ ගෙවල් සීමාවේ විතරක් දැකල තියෙනවා කුරුළු වර්ග 90ක් පමණ. ඒ වගේම ගමට ආසන්න ගමවල් වලිනුත් එක්ක මම දැකල තියෙනවා මේ වෙනකොට කුරුළු වර්ග 118 ක්. මම දැකපු මේ ගොඩක් කුරුළු වර්ග සියල්ලේම වගේ ජායාරූප මා ගාව තියෙනවා. සමහර කුරුළු වර්ග බොහොම දුර්ලභ ඝනයේ අය.


ඊට දවස් කීපෙකට පස්සේ සති අන්තයේ මම ආපහු ගෙදර ගියා. එදා මම යමින් ගමනුත් පුවක් ගහ දිහාට පොඩ්ඩක් ඇහැ දාගෙනමයි ගියේ. ඒත් අර බිළය ඇතුලේ කිසි සතෙක් ඉන්න පාටක් පෙන්න තිබුනේ නැහැ. ටිකක් හවස් උනාටත් පස්සේ මම කීප වතාවක්ම ඇවිත් බැලුවා බස්සා ඉන්නවද කියලා. ම්හ්හ්... ඌ පේන්න නැහැ. මට හිතුනා මම නැති අතරේ බණ්ඩා බස්සාව අල්ලාගෙන විකුණලාද කියලත්. මේකා එහෙව් පුතයා. ඒ සැකය පිටින්ම මම එදා රෑ නිදාගන්න ගියා, මහ රෑ මට ඇහුනා බස්සන්ගේ සද්දේ. ඒත් හරියටම කියන්න බැහැනේ ඒ කෑ ගැහුවේ බිළේ හිටපු බස්සමද කියලා.
පහුවෙනිදා ඒ කියන්නේ 2008-03-08 වෙනිදා පාන්දර ඇහැරිච්ච ගමන්ම මම කලේ ආපහු අර පුවක් ගහ ගාවට ගිහින් බලපු එක. හැමතිස්සෙම සුදානම් පිට තියෙන මගේ කැමරා ආම්පන්න ටිකත් අරගෙන තමයි මම පල්ලම් බැස්සේ. මෙන්න ඒ වෙලාවේ මම දැකපු දේ.



මෙයාව දැක්ක වෙලාවේ මට ගොඩක් සතුටු හිතුනා. කලින් දවසේ දැකපු ලොකු බස්සා නෙමෙයි එතන හිටියේ. එයාගේ පැටියෙක්. ඌ හරි පුංචි එකෙක්. මෙයාල මෙළොව එළිය දැකලා සති තුන හතරකින් පියඹා යනවා. ඉතින් එදා මම ආපහු ආව දවසේ මේ අය සමහර විට බිළය ඇතුලේ තමයි ඉන්න ඇත්තේ. සමහර විට මෙයා මෙතන ඉඳගෙන හිටියේ දොරට වැඩුමෙන් පස්සෙද දන්නෙත් නැහැ.

මට තවත් සතුටු හිතුනේ මම ආපහු කොළඹ යනකල් ඉඳල බණ්ඩා මේ කුරුළු පවුලට කරදර කරපු නැති එක ගැනයි. ඊට ටික දවසකට පස්සේ මේ පුවක් ගහ මහ වැස්සකට කඩාගෙන වැටිලා තිබුනා. ඒත් ඒ වෙද්දී බකුසු පවුල කැදැල්ලෙන් පිටවෙලා ගිහින් තිබුණු බව දැනගෙන හිටපු නිසා හිතට ලොකු සහනයක් දැනුනා.

Saturday, 22 October 2011

කවුරු හරි මේවා අඳුරනවද...




මෙන්න මගෙන් පොඩි ප්‍රශ්නයක්... කවුරු හරි මේවා අඳුරනවද...
මමත් මේ වගේ දෙයක් දැක්කේ ජීවිතේටම එක පාරයි... මොකද මමත් එහෙට ගිහින් තියෙන්නේ තාම එක පාරයි.
මෙව්වයේ සාමාන්‍යය මල් වර්ග මම විතරක් නෙමෙයි ඔයාලගෙන් ගොඩ දෙනෙකුත් දැකල ඇති...
ඒත් මේක ඒ අතුරින් විශේෂයි කියල මම දන්නවා...
පුදුම ලස්සන පරිසරයක, පුදුම විදිහට හිත නිමා ගන්න පුළුවන් තැනකදී මම මේක ජායාරුපගත කලේ
මම දැන්ම කියන්නේ නැහැ මම මේවා දැක්කේ කොහෙන්ද කියලා
බලන්න යන්න කැමතිනම් තියෙන තැන මම කියන්නම්
හැබැයි ඊට කලින් ඔයාලගේ අදහස් දැන ගන්න ඕනේ...