Monday 20 February 2012

පුවක් බිළේ බකමූණෙක්....

අපේ ගෙදරට පහළ ගෙදරක ඉන්නවා පොඩි කොලු ගැටයෙක්. මේකාගේ නමනම් මට හරියට මතක නැහැ, ඒත් ගෙදරට කියන්නේ "බණ්ඩාර" කියලා. ගමේ කොල්ලෝ ඌට කියන්නේ බණ්ඩා කියලා. පොඩි එකා කාලේ ඉඳලම මේකා ටිකක් වසවර්තියා. පස්සේ කාලෙක හමුදාවටත් බැඳිලා හිටියා යුද්ධේ දවස්වල. ඒත් අන්තිමට එහෙනුත් පැනල ඇවිත් ගමේගොඩේ ඉබාගාතේ යන්න පටන් අරගෙන තිබුනා. හමුදාවට බැඳුනත් බණ්ඩා කියන්නේ ශරීර ප්‍රමාණයෙන් බොහොම පුංචි කොල්ලෙක්. කවුරුහරි බණ්ඩාව දැන් දැක්කත් හිතේවි තාම ඉස්කෝලේ යන කොළු ගැටයෙක් කියලා.


අපේ ගෙදර තියෙන්නේ තරමක කඳු ගැටයක් උඩ. එක දවසක් මම පහළ බලනකොට දැක්කා මේකා දිරච්ච පුවක් ගහකට ගල් කැට විසිකරනවා. ගෙදර ගියාම මට තියෙන පුරුද්දක් තමයි ගේ අවට හැමතැනකම වගේ කැමරා එකත් කරගහගෙන ගිහින් ෆොටෝ ගහන එක. මමත් කැමරා එකත් අරගෙන ගියා පහළට. බැලින්නම් මේකා ගල්කැට විසික්කා කොරල තියෙන්නේ පුවක් ගහේ තිබ්බ බිළයක් දිහාවට. ඒ බිළයේ බකමුනෝ ඉන්නවා කියලා බණ්ඩා මට කිව්වා. මේ දිරච්ච පුවක් ගහ තියෙන්නේ උන්ගේ ගෙදරට යන පාර අයිනේ. ඇත්තටම කිව්වොත් ඒකලාගේ ඉඩමේ තමයි මේ ගහ තියෙන්නේ. මේකාට කවුදෝ මන්ද එහා ගමේ මනුස්සයෙක් කිව්වලු බකමුනෙක් අල්ලලා ගෙනත් දුන්නොත් රු1000 ක් දෙන්නම් කියලා. බකමුනෙක් අල්ල ගන්න හිතාගෙන තමයි මු මේ දඟලන්නේ. 


එදා මම ගෙදර ගිය වෙලාවෙත් අපේ අම්ම මට කිව්වා පහළ ගෙදර පුවක් ගහක තියෙන බිළේක බකමුනෙක් ඉන්නවා කියල පහළ ගෙදර නැන්දා කිව්වා කියලා. ගමේ ගියාම අපේ අම්මයි අහල පහල අයයි මට ඒ වගේ පණිවිඩ දෙනවා. හවස්වෙලා ඒ පැත්තේ යන්න හිතාගෙන හිටපු වෙලාවක තමයි මම අහම්බෙන් වගේ මේ සිද්ධිය දැක්කේ. වෙලාව හවස 4:30 ට වගේ ඇති මම හිතන්නේ. කළුවර වැටිලත් නැති වෙලාවේ ඒ පොඩි බිලයෙන් මුළු  ඇඟම වගේ එලියට දාගෙන ඉන්න මෙන්න මෙයාව මට දකින්න ලැබුණා. හරියටම කියනවනම් දවස 2008-03-03 වෙනිදා. 






මෙයා ඇත්තටම බකමුනෙක් නෙමෙයි බස්සෙක්. හරියටම කියනවනම් එයාගේ නම පෙරදිගු කන්බස්සා (Oriental Scope Owl - Otus Sunia). මෙතන තියෙන අන්තිම ෆොටෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් පුවක් ගහේ කඳට සාපේක්ෂව  බස්සාගේ ශරීර ප්‍රමාණය කොයි තරම්ද කියලා.


මම මුලින්ම  බණ්ඩාට කිව්වා ආපහු මේ සත්තුන්ට කරදර කරන්න එපා කියලා. මොන අහේතුවකටද දන්නේ නැහැ මේකා මම කියපු දේ පිළි අරගෙන පැත්තකට උනා. ඊට පස්සේ බණ්ඩා තවත් බස්සෙක් ඉන්න තැනක් ගැන හෝඩුවාවකුත් දුන්නා. අපේ ගෙවල් අහල පහළ කොහොමටත් කුරුළු වර්ග සෑහෙන්න ප්‍රමාණයක් දකින්න පුළුවන්.
ගණන් මිනුම් වශයෙන් කිව්වොත් මම අපේ ගෙවල් සීමාවේ විතරක් දැකල තියෙනවා කුරුළු වර්ග 90ක් පමණ. ඒ වගේම ගමට ආසන්න ගමවල් වලිනුත් එක්ක මම දැකල තියෙනවා මේ වෙනකොට කුරුළු වර්ග 118 ක්. මම දැකපු මේ ගොඩක් කුරුළු වර්ග සියල්ලේම වගේ ජායාරූප මා ගාව තියෙනවා. සමහර කුරුළු වර්ග බොහොම දුර්ලභ ඝනයේ අය.


ඊට දවස් කීපෙකට පස්සේ සති අන්තයේ මම ආපහු ගෙදර ගියා. එදා මම යමින් ගමනුත් පුවක් ගහ දිහාට පොඩ්ඩක් ඇහැ දාගෙනමයි ගියේ. ඒත් අර බිළය ඇතුලේ කිසි සතෙක් ඉන්න පාටක් පෙන්න තිබුනේ නැහැ. ටිකක් හවස් උනාටත් පස්සේ මම කීප වතාවක්ම ඇවිත් බැලුවා බස්සා ඉන්නවද කියලා. ම්හ්හ්... ඌ පේන්න නැහැ. මට හිතුනා මම නැති අතරේ බණ්ඩා බස්සාව අල්ලාගෙන විකුණලාද කියලත්. මේකා එහෙව් පුතයා. ඒ සැකය පිටින්ම මම එදා රෑ නිදාගන්න ගියා, මහ රෑ මට ඇහුනා බස්සන්ගේ සද්දේ. ඒත් හරියටම කියන්න බැහැනේ ඒ කෑ ගැහුවේ බිළේ හිටපු බස්සමද කියලා.
පහුවෙනිදා ඒ කියන්නේ 2008-03-08 වෙනිදා පාන්දර ඇහැරිච්ච ගමන්ම මම කලේ ආපහු අර පුවක් ගහ ගාවට ගිහින් බලපු එක. හැමතිස්සෙම සුදානම් පිට තියෙන මගේ කැමරා ආම්පන්න ටිකත් අරගෙන තමයි මම පල්ලම් බැස්සේ. මෙන්න ඒ වෙලාවේ මම දැකපු දේ.



මෙයාව දැක්ක වෙලාවේ මට ගොඩක් සතුටු හිතුනා. කලින් දවසේ දැකපු ලොකු බස්සා නෙමෙයි එතන හිටියේ. එයාගේ පැටියෙක්. ඌ හරි පුංචි එකෙක්. මෙයාල මෙළොව එළිය දැකලා සති තුන හතරකින් පියඹා යනවා. ඉතින් එදා මම ආපහු ආව දවසේ මේ අය සමහර විට බිළය ඇතුලේ තමයි ඉන්න ඇත්තේ. සමහර විට මෙයා මෙතන ඉඳගෙන හිටියේ දොරට වැඩුමෙන් පස්සෙද දන්නෙත් නැහැ.

මට තවත් සතුටු හිතුනේ මම ආපහු කොළඹ යනකල් ඉඳල බණ්ඩා මේ කුරුළු පවුලට කරදර කරපු නැති එක ගැනයි. ඊට ටික දවසකට පස්සේ මේ පුවක් ගහ මහ වැස්සකට කඩාගෙන වැටිලා තිබුනා. ඒත් ඒ වෙද්දී බකුසු පවුල කැදැල්ලෙන් පිටවෙලා ගිහින් තිබුණු බව දැනගෙන හිටපු නිසා හිතට ලොකු සහනයක් දැනුනා.

Saturday 18 February 2012

රුපියල් 5 ටියුෂන් පන්තිය

මේ කියන්න හදන්නේ මම 4 වසරේ හරි 5 වසරේ වගේ හිටපු කාලේ ගැන කතාවක්. මේ වෙද්දී මාලා අක්කගේ ඉංග්‍රීසි පන්තිය නතරවෙලා තරමක් කල්. ඒ කාලේ අපේ අක්කලට ආරංචි වෙලා තිබුනා අපේ ගමේ තරමක් ඇතුලට වෙන්න හිටපු පැන්ෂන් ගිය චන්ද්‍රසේකර ඉස්කෝල මහත්තයාගේ පුතෙක් වෙන මහානාම කියන අයියා ඉංගිරිස් පන්තියක් පටන් ගන්න යනවා කියල. අක්කල හතර දෙනෙක් හරි පස් දෙනෙක් හරි හිටපු පවුලක බාලම සහ එකම පිරිමි දරුවා තමයි එයා.

ගමේ ආරංචි වෙච්ච විදිහට එයා පේරාදෙණිය කැම්පස් එකේ පශුවෛද්‍යය උපාධිය හමාර කරලා තමයි හිටියේ. ඒත් ඉතින් ඒ වගේ උපාධියක් හමාර කරපු කෙනෙක් පුංචි ගමක ටියුෂන් පන්තියක් කරන්නේ අහවල් එකටද කියල හිතන්න තරම් දැනුමක් මට ඒ දවස්වල තිබුනේ නැහැ. ගමේ අයටත් එහෙම හිතෙන්න නැතුව ඇති. ඒත් දැන්නම් මගේ හිතේ පොඩි කුකුසක් වගේ තියෙනවා ඒ සම්බන්ධව.
පන්තිය ගැන ඉටි රෙදි කෑලිවල ලියපු පොඩි පොඩි දැන්වීම් එහෙමත් හන්දියේ තැන තැන ගහල තිබුනා කියල මම දැක්කේ ටික කාලෙකට පස්සේ.
කොහොමහරි මමයි චුටි අක්කයිත් එයාගේ පන්තියට යවන්න ඕනේ කියලා අපේ අම්මල තීරණය කලා. මේ වෙද්දී මාලා අක්කගේ පන්තියත් නතරවෙලානේ තිබුනේ. මට මතක විදිහට අපේ පන්තිය තිබුනේ සඳුදා හවස් වරුවේ. ඉස්කෝලේ ඇරිලා අපි දෙන්න එක්ක හන්දියේ ටියුෂන් පන්ති තියන තරමක ප්‍රසිද්ධ තැනක් වෙච්චි පොඩි ටකරන් මඩුවක තිබුණ පන්තියට මුලින්ම ගියා. පන්තියේ ළමයි දහ දෙළොස් දෙනෙක් වගේ ඉන්න ඇති පළවෙනි දවසේ. පන්තියට යන්න කළින්ම අපිට ආරංචිවෙලා තිබුනේ පන්ති ගාස්තුව කීයද කියන එක. එයා අමුතු විදිහකට පන්ති ගාස්තු එකතු කලේ. දවසක පන්ති ගාස්තුව රුපියල් පහයි.

පළවෙනි දවසේ අපේ ඉංගිරිස් දැනුම කොහොමද කියල හොයල බලලා ඒ ඒ ළමයින්ට වෙන වෙනම එක එක වැඩ දුන්නා කරන්න. සමහර ළමයින්ට ඉංග්‍රීසි හෝඩියවත් බැහැ. සමහර ළමයි ඊට වඩා ටිකක් දියුණුයි.
කොහොමහරි පළවෙනි දවස මේ විදිහට ඉවරවෙලා මමයි චුටි අක්කයි අපේ ගුරුපාර දිගේ ගෙදර එන්න පිටත් උනා. පන්තිය තිබුනේ පැය එකහමාරක් හරි දෙකක් හරි වගේ කාලයක්. ටික දුරක් අපි පයින් එද්දී මෝටර් බයික් එකක් ඇවිත් අපි ගාව නතර කලා. ඒ ඇවිත් තිබුනේ අපේ සර්. රතු පාර තැපැල් නයින්ටි (MD90) කියන හොන්ඩා වර්ගයේ පරණ බයිසිකලයක් ඒක. හොඳටම පරණ වෙච්ච හෙල්මට් එකක් තමයි එයා දාගෙන හිටියේ.
එදා අපි දෙන්න එක්ක තවත් ළමයෙක හිටියා. සර් අපිට කතා කලා බයික් එකේ යමු කියලා. ගෙදරට යන්න තියෙන කිලෝමීටර දෙකක වගේ දුර පයින් යනවට වැඩිය බයික් එකක යන්න තියෙනවනම් කොයිතරම් දෙයක්ද. අපි තුන් දෙනාත් කියන පරක්කුවෙන් බයික් එකේ වාඩි උනා. ඒ බයික් ගැන දන්න අය දන්නවා ඒකෙ තියෙන ලොකුම ලොකු ලගේජ් එක නිසා ලොකු අය තුන් දෙනෙකුට උනත් ඒකෙ වාඩිවෙලා යන්න පුළුවන් බව. මම මේ බයික් ජාතිය ගැන හොඳට දන්නේ ඒ කාලේ අපේ තාත්ත ගාවත් තිබුනේ මේ ජාතියේ බයික් එකක් නිසා.

අපෙන් "හරිද" එහෙම කියල අහලා සර් බයික් එක පදින්න ගත්තා. ඒත් මට තේරුණා එයා යන්නේ නිකන් ගැරඬියෙක් යන විදිහට පාර පුරාම කියලා. අපේ තාත්ත බයික් එකක් පදිද්දී කවදාවත් එහෙම ගිහින් නැහැ. අන්තිමට අඩි දහයක් පහළොවක් යන්න ලැබුනේ නැහැ. අපි ඔක්කොම එක්ක බයික් එක කාණුවට ගියා. කාටවත් මුකුත් උනේ නැති නිසා මේ වෙච්ච දෙයින් අපි බය උනේ නැහැ. ඊට පස්සේ බයික් එක කාණුවෙන් ඇදලා ගන්න සර්ට උදව් කරලා ආපහු බයික් එකේ නැගලා ගෙදර එන්න පිටත් උනා.
ඊට පස්සෙනම් වැඩි කරදරයක් නැතුව හිමීට හිමීට ගමන පටන් ගත්තා. ඒත් පාර පුරා යන ගතියනම් ටිකක් විතර තිබුනා. හොඳ වෙලාවට ඒ පාරේ වැඩිය වාහන යන්නේ නැහැ. වැඩිම උනොත් ඒකෙ එන්නේ මොකක් හරි බයිසිකලයක් වගේ දෙයක් තමයි. අපි බයික් එකේ යන ගමන් සර් කිව්වේ එයාට බයික් පදින්න වැඩිය හුරු නැහැයි කියලා. මට පුදුම හිතුනා. එයා මම වගේ පොඩි කොල්ලෙකුත් නෙමෙයි. ඇයි එයාට අපේ තාත්තට වගේ හොඳට බයික් පදින්න බැරි කියලා.


මේ විදිහට මම එයාගේ පන්තියට යන්න ලැබුනේ බොහොම ටික කාලයයි. මම ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ  ගිය නිසා රුපියල් පහේ ඉංග්‍රීසි පන්තියට ආපහු යන්න ලැබුනේ නැහැ. 
ඒත් ඉතින් මම කොළඹ හිටියේ හරියටම අවුරුද්දනේ, ආපහු ගමේ ඉස්කෝලෙකට යන්න ගත්තට පස්සේ අපේ අම්ම මට කිව්වා ඉංග්‍රීසි පන්තියක් හොයා ගන්න කියලා. මමත් ඉතින් යන්න පුළුවන් පන්ති ගැන ආරංචි කරලා බැලුවා. අන්තිමට මට ආරංචි උනා මම කලින් පන්ති ගිය සර් දැන් මම ඉස්කෝලේ යන නගරයේම පන්ති කරනවා කියලා. පන්ති තියෙන්නේ ඉරිදා දවල් 1:00 ට.
ඔන්න ඉතින් මමත් ගෙදර තියෙන වැඩ ඔක්කොටම වගේ උදව් කරලා ඉවරවෙලා හවස් වරුවේ පන්ති යන්න පටන් ගත්තා. හැබැයි එතකොටනම් පන්තියේ ගාන රුපියල් 5 නෙමෙයි. දවසට රුපියල් 10ක් විතර උනාද කොහෙද.

Sunday 12 February 2012

මගේ මුල්ම ඉංගිරිස් පන්තිය

මේ කියන කාලේ මම හිටියේ 3 වසරේ වගේ. මේ කාලේ වෙද්දී අපේ පැත්තේ ටියුෂන් පන්ති ඒ තරම් ජනප්‍රිය වෙලා තිබුනේ නැහැ. හැබැයි ඉතින් කවුරු හරි කෙනෙක් බොහොම සුළු මුදලක් අරගෙන උගන්නන පොඩි පොඩි පන්ති එහෙම තිබුනා.
අපේ ගෙදරට එහා ගෙදරට එහා ගෙදර හිටපු මාලා අක්කත් මේ වගේ පුංචි ඉංග්‍රීසි පන්තියක් දාල තිබුනා. එයා අපෙන් ගත්තේ මාසෙකට රුපියල් 10ක් හෝ 15ක් වගේ ගානක් කියල තමයි මට මතක. ඒ පන්තිය තිබුනේ එයාලගේ ගෙදරට පහළින් තිබුන රබර් ඉඩමේ මැදකට වෙන්න හදල තිබ්බ පුංචි මඩුවක. මේ රබර් වත්ත තිබුනේ බෑවුමක.
අපේ පන්තිය තිබුන තැන විතරක් පොඩ්ඩක් සමතලා කරලා තිබුනේ. වත්ත පුරාම කොඩි වැල් වැවිලා තිබ්බ ලස්සන රබර් වත්තක් ඒක. කොඩි වැල් කියන්නේ රබර් වතුවල පස් සංරක්ෂණයට වවන රනිල කුලයට අයත් ශාක වර්ගයක්. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ Mucuna bracteata කියලා. සෝයා සහ බෝංචි වැනි ධාන්‍යය වර්ග අයත් වෙන්නෙත් මේ කුලයටමයි. ඒ කියන්නේ විපක්ෂ නායක තුමාගේ(රනිල) කුළයේ.
ජායාරුපය ගත්තේ මෙතනින්
අපි ඉගෙන ගත්තේ ලෑලි පටි ගහල හදල තිබුනේ පුංචි මේස සහ බැංකු වල. මේ පන්තියේ මේ වගේ ඩෙස් පේළි තුනක් තැබුණා. ඒ වගේම ළමයි දහ දොළොස් දෙනෙකුත් හිටියා. එකම පන්තියේ වාඩි වෙලා හිටියට මාලා අක්කා ඒ ඒ ළමයගේ පන්තිය අනුව තමයි උගන්වන එක කරන්නේ. අපිටත් පොඩි පොඩි පාඩම් වැඩ දුන්නා කරන්න.
මමයි චුටි අක්කයි ඇරෙන්න මේ පන්තියේ හිටපු අයගෙන් මට මතක අපේ පන්තියේ හිටපු රොෂාන්වයි, චුටි අක්කලාගේ වයසේ හිටපු උරේෂා අක්කවයි, මෙලානි අක්කවයි විතරයි.
අපි මේ පන්තියේ ආසම කරන වෙලාව තමයි විවේක කාලය. අපිට විනාඩි හතළිස් පහක හරි පැයක හරි වගේ "පුංචි" විවේක කාලයක් තමයි මේ පන්තියේදී ලැබුනේ. ඒ විතරක්යැ මාලා අක්ක ගෙදරට ගිහිං අපිට තේ එහෙමත් හදල අරගෙන එනව හැමදාම වගේ. සමහර වෙලාවට එයාලගේ ගෙදර හදන කිතුල් හකුරු එක්ක කහට. සමහර දවස් වලට මොනවහරි කැවිල්ලක් එක්ක තේ.
ඊට පස්සේ තමයි විවේක කාලයේ තියෙන හොඳම හරිය. අපි මේ රබර් වත්තේ කොඩි වැල් ගාලේ ඔට්ටු සෙල්ලම් තියනවා. දුවන සෙල්ලම් කරනවා. බෑවුම් ඉඩමක් උනත් අපිව වැටුනට ගානක්වත් නැහැ අර කොඩි වැල් ගාල නිසාත් බිම පුරා තට්ටු පිටින් ගොඩ ගැහිලා තියෙන වේලිච්ච රබර් කොළ නිසාත්.
සමහර වෙලාවට අපි පොරබදනවා කොඩි වැල් ගොඩේ පෙරළිගෙන. ඒ වගේම කන්ද පහළට පෙරළිගෙන යනවත් එක්ක. අපි පුදුම සතුටක් ලැබුවේ මේ විවේක කාලයේදී.
වගේම අපි ඒ රබර් වත්තේ තැනතැන වවල තිබුන මඤ්ඤොක්කා ගස් වල ටිකක් ළපටි හරිය කඩාගෙන කෝටු කෑල්ලක් ඒවායේ ඇතුළට දාල තද කරලා ඇතුලේ තියෙන සුදු පාට බඩේ ගලවල ගන්නවා. අපි මේවා ගලවගන්නේ ගෙදර අරගෙන යන්න. මඤ්ඤොක්කා බඩ පුංචි පුංචි කෑලි වලට කපලා කුකුල් සායම් වල දාල එක එක පාට කරගෙන ලස්සන මෝස්‌තර අලවනවා පොත් වල. එහෙමත් නැත්නම් කොස් කොළ ඔටුනු,  මඤ්ඤොක්කා කොළ වලින් හදා ගන්න මාල දාගෙන කෝටු කෑලි වලින් කඩු හරඹ කරනවා.

මේ විදිහට ඕනෙනං අපි මාස පහ හයක් මාලා අක්කගේ පන්තියට යන්න ඇති. හදිස්සියේම මාලා අක්කට ලැබුණු ගුරු පත්වීමක් නිසා අපේ පුංචි පන්තිය නවත්වන්න සිද්ධ උනා. අපිට එදානම් ගොඩක් දුක හිතුනා.
මම ගිහිං තියෙන මුල්ම සහ හොඳම ටියුෂන් පන්තිය හදිස්සියේම නවත්වන්න උනා මෙන්න මේ විදිහට.

Wednesday 8 February 2012

නිධන් හැරීමේ අවසානය

මේ නිධාන සම්බන්ධ කතාපෙලේ අවසාන කොටසයි. මුල කොටස් නොබැලු අය මීට පෙර ලියු කොටස් තුන මෙතනින් බලන්න
පළමු කොටස
දෙවන කොටස
තුන්වන කොටස


දිනක් ඔහු හා සම්බන්ධ වී නිධන් මංකොල්ලයේ යෙදුනු පිරිසේ කෙනෙක් මෑතකදී ගොඩ ගන්නා ලද නිධානයක කොටස් බෙදා ගැනීමට එහි එන ලෙස පවසා ඔහුට දුරකථන ඇමතුමක් ලබා දුන්නේලු. කටහඬ සහ දුරකථන අංකය ඔහු දන්නා පුද්ගලයාගේ වුවද මොහු හට යම් සැකයක් ඇති වූ නිසා ඔහු එම ආරාධනාව අනුව අගනුවර බලා නොගොස් සිටියේලු.
පසුව දැනගත් පරිදි එවර ඔහු හට ඇතිවූ සැකය නිසා ඔහු පොලිසියට අසු නොවූ බවත්, එම ඇමතුම ලබාදුන් පුද්ගලයා එය  ලබා දී ඇත්තේ පොලිසියට අසු වූ පසුව බවත් ඔහු මා සමග කිවේය. කෙසේ හෝ මොහුගේ සහයක් නැතිව සිදුකල අවසන් නිධන් මංකොල්ලයකින් අනතුරුව කණ්ඩායමේ සියල්ලෝම පාහේ සිර භාරයට ගත්බවත් පසුව මොහුට ආරංචි වී ඇත. මොහුට සැකයක් මතු වී තිබුනේ ඔහු සහභාගී නොවූ නිධන් හැරීමක් සඳහා කොටස් බෙදා දීමට කතා කල නිසා බවද ඔහු කිවේය.
කෙසේ නමුත් එම කණ්ඩායම තුළ කම්කරුවකු මට්ටමින් වැඩ කටයුතු කල මොහු ගැන පොලිසියෙන් පැන්නීමක් සිදු කර නොමැත. ගමෙන් පිට වී පතල් රස්සාව සඳහා ඔහු යොමුවී ඇත්තේ මින් අනතුරුවය.


තවත් දිනෙක නොදන්නා පුද්ගලයෙකු විසින් විකිණීමට කියා රැගෙන ආ ඉතා කුඩා බුදු පිළිමයක් ගැන හෝඩුවාවක් මා හට ලැබුණි. එය දැක ගැනීමට මා හට අවස්ථාවක් නොලැබුණේ එවකට මා අගනගරයේ රැකියාවක් කරමින් සිටි බැවිනි. ගම ආ විගස එහි ජායාරූපයක් මිතුරකු මාර්ගයෙන් දැකගැනීමට ලැබුනද එය කොහෙන් පැමිණ කොහේ ගියාදැයි සොයා ගැනීමට නොලැබී ගිය ඝනයට අයත් එකක් විය. එම ජායාරූපය ඉතාමත් අපහසුවෙන් කම්පියුටර කුණු කන්දල් ගොඩේ තිබී සෑහෙන පරිශ්‍රමයක් දරා සොයා ගැනීමට හැකි විය. මෙහි පල කරන්නේ ඒ නියම ජායාරූපයයි. එය රැගෙන ආ පුද්ගලයා පවසා ඇති පරිදි එය රත්‍රන් මිශ්‍ර එකකි. නමුත් බැලූ බැල්මට එසේ කිව නොහැකි උවත් එය ඉපැරණි බුදු පිළිම වහන්සේ නමක් බවනම් ඉඳුරාම කිව හැක. තැනින් තැන ඇති රන් පැහැයද දැක ගැනීමටද හැකිය.
මේ තවත් සිද්ධියකි. එය ආරංචි වුයේ මෑතකදී මා ලංකාවට මා නිවාඩු ගිය මොහොතකදීය. මෙය ලංකාවේ ප්‍රසිද්ධ පුවත් පත සියල්ලේම පාහේ ප්‍රධාන පුවතක් බවට පත් වුවක් බැවින් ඔබගේද මතකයේ ඇතුවාට සැකනැත. සොයා ගත් දිහාව පැහැදිලි නැතත් කිලෝ ගණනක් බර රත්‍රන් බුදු පිළිමයක් විකිණීමට ගිය පිරිසක් අත්අඩංගුවට ගත්බව කියවෙන පුවතකි ඒ. එහි ප්‍රධාන උප ප්‍රධාන චරිත කිහිපයක් මා දන්නා අයවල්ලු වීමෙන් මා පුදුමයට පත්විය. කෙසේ හෝ මොවුන්ගේ උත්සාහය වැරදී පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. මුලින් කියවුනේ එය රත්‍රන් බුදු පිළිමයක් බවය. පුවත්පත් වල පවා වර්ණ ජායාරුප මගින් එය ප්‍රදර්ශනය කර තිබු අතර එය රන් පැහැයෙන් දිදුළමින් තිබිණි. දින කිහිපයකට පසුව පුවත්පත් වල සහ උසාවියේදී කියවෙන්නේ අළුත් කතාවකි. එය ව්‍යාජ බුදු පිළිමයක් බවත් ව්‍යාජ පිළිමයක් විකිණීමට තැත් කිරීම එනම් වංචාවක් සිදු කිරීමට තැත් කිරීම යටතේ ඔවුන් දඬුවම් ලැබීමට යන බවත්ය.

නමුත් ඔවුන් විකුණන්නට ගොස් තිබුනේ කොහේ හෝ නිධානයකින් සොරා ගත් නියම රත්‍රන් බුදු පිළිමයක් බව පසුව කල විපරමකදී මා හට දැන ගන්නට ලැබුණි.
එසේනම් ඇත්ත බුදු පිළිමය නීතියේ රැකවල්ලු විසින් කොහේ හෝ සඟවාගෙන ව්‍යාජ බුදු පිළිමයක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරන්නට ඇත. සැකකරුවන් හටද එයට විරුද්ධ වීමට නොහැකි බව පැහැදිළිය. සැකකරුවන් සත්‍යය ප්‍රකාශ කළහොත් ඔවුන්ගේ දඬුවම් කාලය දික් වීමෙන් සහ ගෙවීමට සිදුවන දඩය විශාල වීමෙන් ඔවුන්ද අමාරුවේ වැටෙන නිසා ඔවුන් කට පියාගෙන සිටිනා බව සහතිකය. මෙහිදී සිදු වී ඇත්තේ හොරුන්ගේ හොර බඩු නීතිය විසින් මංකොල්ල කෑමකි.


මා හට මේ තොරතුරු වලින් බහුතරයක් සැපයු  ඉහතකී පුද්ගලයා ගමේ  ඉබාගාතේ ඇවිදිමින් හොර මැරකම් සහ මංකොල්ලකෑම් වැනි සමාජ විරෝධී ක්‍රියා නිසා හිරේ විලංගුවේ වැටෙමින් ජීවිකාව ගෙනයන්නෙකි. නිධන් මංකොල්ලය උදෙසාද ඔහු පසු කලෙක අත්අඩංගුවට ගනු ලැබූ බවක් මට දැනගන්නට ලැබුණි. තම බිරිඳගේ දරු ප්‍රසුතිය සඳහා ඉස්පිරිතාලේ යාමට පැමිණි ඔහු හට වෙනත් පිරිසකගේ දරුණු ප්‍රහාරයකට ලක් වීමට සිදු වූ බව පසු කලෙකදී මම දැනගත්තෙමි. එම ප්‍රහාරයෙන් ඔහුගේ අතක් සහ කකුල් දෙකම කොටස් වලට බිඳී යාමට ලක් වූ බවද දැනගන්නට ලැබුණි. 
මාස ගණනක අවෑමෙන් සුව වූ ඔහු තමාට අපරාධය සිදුකල අයගෙන් පළිගැනීමට ගොස් එය වැරදී හිරේ විලංගුවේ වැටීමටද ලක් වී ඇත. පසුව සිදුකල තවත් මංකොල්ලයක් අසුවී නැවතත් හිරේ විලංගුවේ වැටී සිටඇති ඔහු මෑතකදී නැවතත් නිදහස් වී ගම පැමිණ සිටිනු දැනගන්නට හැකි විය. බොහෝ වර හිරේ විලංගුවේ වැටෙමින් පොලිසියත් උසාවියත් ගෙදරත් අතර දිවිගෙවන මොවුන්ගේ ජිවිත වලට කවදා සතුටක් ලඟා වේද.
නිධන් හාරන්නකුගේ (හා/හෝ සමාජ විරෝධී කටයුතු වල යෙදෙන අයකුගේ) ජිවිතයේ ඇතුළාන්තය ගැන මීටත් වඩා කරුණු ඔබට කීමට අවශ්‍ය නැතැයි සිතමි. නිධන් වලින් ලැබෙන මුදලේ පැවැත්මක් නැති බවත් එය යස ඉසුරින් පිරුණක් නොවන බවත් කීමටයි මා හට උවමනා වුයේ.


පසුගිය නිවාඩු කාලයේදී ලංකාවට පැමිණි මාහට මොහුව පාරේදී හමු විය. සුපුරුදු ලෙසින්ම ඔහු හා කතාබහ කර සැපදුක් විමසා යාමට මම අමතක නොකලෙමි.  ඒ මගේ හැටිය. කෙනෙකුට එය වැරදි ලෙස පෙනෙන්නට පුළුවන් බවද මම දනිමි. 
ඔහු කුඩා කල මාගේ සෙල්ලම් සගයෙකි. අප සමග ගඩාගෙඩි කඩමින්, ගඟේ නෑමට යාමෙන්ද, නොයෙකුත් සෙල්ලම් කරමින්ද බොහෝ සමීපව කාලය ගතකල කුඩා කොල්ලෙකි.  මගේ හිතේ සිටිනා කුඩා සෙල්ලම් සගයා මරා දැමීමට මා හට නොහැකිය. එබැවින් දුටු තැනකදී වචනයක් දෙකක් ඔහු හා දෙඩීමට මම මැලි නොවෙමි.

කාලයත් සමග ඔහු සමාජ විරෝධී කටයුතු වල යෙදෙන්නෙක් බවට පත්වී ඇත. ඔහු කල වැරදි සඳහා නීතියෙන් සහ ස්වභාවධර්මයෙන් නිසි දඬුවම් ඔහුට ලැබී ඇත. එහෙයින් ඔහු හට තවත් දඬුවම් ලබාදීමට මා හට අයිතියක් නැති බව ඔබට වැටහෙනු ඇත.


නිධන් කතා පෙළ මින් අවසන් වනු ඇත. මා සමග රැඳී සිටි ඔබ සැමට තුති.....!!

Friday 3 February 2012

තුන්වන නිධන් කොල්ලයෙන් පසුව ජිවත් වීමේ වාසනාව ලදිමි

ඉන් පසුව මොවුන්ගේ අවධානයට ලක් වී තිබුනේ මහ වනයේ ඇතුලක තිබු ඉපැරණි දාගැබකි. එය පාදම දක්වාම ගරා වැටී තිබු එකක් බව කීවද එය මුසාවක් වීමටද පුළුවන. එවැනි දේ නිසා මා ඔහුට බැනවැදුණු අවස්ථා ඇති නිසා ඔහු කරුණු වෙනස්කර කීවා වන්නටද හැක. වනයක් මැද ඇතැයි පැවසුණු එය මිනිස් ඇසෙන් බොහෝ දුරක තිබු එකක් බව පැවසු කතාව ඇත්තක් වන්නට ඇත. මිනිස් ඇසට කිට්ටුවෙන් ඇති තැනක එවැන්නක් කිරීම තරමක් අපහසුය. එහි මැද වූ හතරැස් හැඩයේ ලිඳක් වැනි කොටසේ පතුලේ නිධානය ඇති බවක් වදුලේ ලියවී තිබුණේලු. මේ ලිඳ වැනි කොටස මනාව ඇතිරූ ගඩොල් සහ එකල භාවිතා කල සිමෙන්තියක් වැනි වූ මැටි මිශ්‍රණයෙන් මනාව පුරවා වසා තිබී ඇත. මෙවැනි නිධානයක් ගොඩ ගැනීම පහසු දෙයකැයි සිතු පිරිස බොහෝ සතුටින් වැඩට බැස ඇත. එයට හේතුව ගල් කැඩීමට බෝර දැමිය යුතු නොවීමය. නමුත් සති ගණනක් තිස්සේ ගඩොල් සහ බදාම මිශ්‍රණය ඉවත් කරමින් අඩි 30 ක් පමණ යටට හෑරුවත් අවසානයක් දැකිය නොහැකි වූ නිසා එය අත්හැර දැමු බව ඔහු පැවසීය.
නිධන් හොරු විසින් විනාශ කරනු ලැබූ මහ වනයක් මැද පිහිටි දාගැබක් නැවත ගොඩනැගෙමින් පවතින අතරතුර....
නැවත ගොඩනැගීමේ  කටයුත්ත වෙනුවෙන් තම කාලය හා ශ්‍රමය  වැයකර තිබුනේ මාගේ හොඳම මිතුරෙකි.
වියදම ලැබී තිබුණේ රජයේ යම් ව්‍යාපෘතියකින් ඉතුරු වූ මුදල්ය.
ඒ සඳහා වෙහෙසවූ මා මිතුර ඔබට සහ ඔ‍බගේ කණ්ඩායමට මාගේ ප්‍රණාමය
දාගැබක් තුළ තිබූ නිධන් ගලක්
නමුත් මෙවැනි ස්ථාන වල ඇත්තේ නිධන් වස්තු නමින් හඳුන්වනු ලබන ධාතුන් වහන්සේලා වැනි දෑ
මිසක් රන් මුතු මැණික් නොවන බව බොහෝ දෙනෙක් නොදනී.
වරක් මොවුනට මුහුණ දීමට සිදු වූ සිද්ධියක් නිසා යම් වැදගත් තොරතුරක් මා හට දැනගන්නට ලැබුණි. එනම් මැණික් නිධාන සම්බන්ධවයි. මොවුනගේ කණ්ඩායමට වරක් කොහේදෝ තිබු නිධානයකින් මැණික් පිරවූ මුට්ටියක් ලැබී ඇත. නමුත් එහි තිබු මැණික් සියල්ල අජීවී වී එනම් මැරී තිබී ඇත. එයට හේතුව ලෙස මේ කරුණ මා හට දැනගන්නට ලැබිණි.

පෙර කල නිධන්ගත කරන සියලුම මැණික් නිධාන වලට ජලය සැපයෙන මගක් සකසා තිබෙන බව ඔහු කිවේය. එම ජල සැපයුම නතර වී බොහෝ කලක් ගියහොත් මැණික් මැරෙන බවද ඔහු පැවසීය. එය ඇත්තක් හෝ බොරුවක් හෝ වියහැකි වුවද මැණික් සහිත නිධානයන් ජල සැපයුම් සහිත ස්ථාන වල පිහිටා ඇති බවනම් ඇත්තකි.
නිධන් හාරන්නන් කැමතිම නිධන් වර්ගය ලෙස ඔවුන් නම් කරන්නේ මැණික් සහිත නිධානය. එයට හේතුව ඒවා කිසි කරදරයකින් තොරව මේ දැන් පොළවෙන් ලැබුනා සේ විකුණා ගැනීමට ඇති හැකියාවයි.


මැණික් සහිත එවැනි නිධානයක් ඇති තැනක් සම්බන්ධ හෝඩුවාවක් බොහෝ මෑතකදී මා හට දැනගන්නට ලැබුණි. ජලපහරක ඇතැයි කියවෙන එම නිධානය මා අසා ඇති විශේෂිතම නිධානයකි. ඉදිබුවෙකුගේ හැඩයට කොටා ඇතැයි කියවෙන ගලක් තුළ මැණික් පුරවා ඇති බව කියවේ. එම ස්ථානය සහ කියූ සලකුණු සත්‍යය බව මා හට පසුව තහවරු කර ගැනීමට හැකියාව ලැබුණි. අතේ කැමරාවක් නොතිබූ නිසාත් අධික ලෙස වැඩකටයුතු බහුල වූ නිසාත් ගියවර නිවාඩුවේදී එය බැලීමට යන ගමන කල් දැමීමට මා හට සිදු විය. මා නැවත ලංකාවට යනතෙක් එය සුරකී තිබුණහොත් එම ස්ථානය නරඹා ජායාරුප කිහිපයක් මතු කාලයේදී පළකිරීමට කටයුතු කරන්නෙමි. එය පිහිටි ස්ථානය වැනි අනවශ්‍ය කරුණු මගෙන් නොඅසනවානම් මැනවි.

එලෙසින්ම ඔවුන් රත්‍රන් බුදු පිළිම වැනි දෑ ලැබෙනවාට ඒ තරම් මනාපයක් නොදක්වයි. එයට හේතුව ඒවා එලෙසම විකුණා ගැනීමට ඇති අපහසුවත් උණුකර(මකවා) රත්‍රන් කුට්ටි ලෙස විකිණීමෙන් ඇති වියහැකි අනිසි ප්‍රථිපල වලට ඇති බියත් නිසාය. නමුත් එලෙස සිදු කරන උදවියද ඉන්නා බව සැබෑය. කෙසේ හෝ නිධන් ගැනීමෙන් පසුව වාසනාව නොව අවාසනාව ලඟා කරගත් මිනිසුන් බොහෝ ඇත්තේය.


දිනක් මා මිතුරකු අප නිවසට පැමිණියේ මළදුගල කන්ද තරණය කිරීමටත් කුරුල්ලන් සහ වටපිටාව ජායාරූප ගැනීමටත් සිතාගෙනය. දිනය 2007 ජනවාරු 14 වැනිදායි. ගමන ආරම්භයේ පටන්ම නොයෙක් කුරුළු, සමනල වර්ග දැකබලාගත් අප තිදෙන (මම, මිතුරා සහ අක්කාගේ පුතා) මුලින්ම කන්දේ පන්සල නැරඹීමට ගියෙමු. සෑම වසරකම කන්ද මුදුනේ පිරිතක් කියන සිරිතක් ගමේ පැවතෙන්නේය. නමුත් මෑතකදී පිරිත කඳු මුදුනේ කීම අපහසු නිසා පන්සල පිහිටි මට්ටමේ තරමක් දුරින් ඒ සඳහා වෙනම ස්ථිර පිරිත් මඩුවක් තනා ඇත.
කන්දේ පැත්තක පිහිටි ස්ථිර පිරිත් මඩුව
එම ස්ථානයද නැරඹු අපගේ ඊළඟ අරමුණ වුයේ කඳු මුදුනය. කන්දට කිහිප වරක් ගොස් ඇති මා හට කන්දේ සියලුම ස්ථාන හොඳින් මතකයේ තිබීම නිසා සහ හොඳින් එම පෙදෙස දන්නා නිසා බිය වන්නට කිසිම හේතුවක් නැත. සුපුරුදු පරිදි කඳු මුදුනටත් අප බොහෝ ප්‍රිය කරන උමග සහිත ගල්ගුහාව ඇති ස්ථානය දක්වාත් ගමන් ඇරඹුවෙමු. මෙහි පිවිසෙන සෑම විටම පාහේ හොඳින් එලිය ඇති විදුලි පන්දමක් රැගෙන යාම මාගේ සිරිත වේ. කැලෑවක හෝ වෙනත් ගමනක් වේවා කුමන හෝ ගමනක් යද්දී අධිබල විදුලි පන්දමක් රැගෙන යාමේ මාගේ පුරුද්ද අදටත් එසේමය.
කෙසේ හෝ දාඩිය මුගුරු පෙරාගෙන ගල් ගුහාව අසලට පිවිසි අපහට ගල් දෙබොක්කාව හරහා එන සිසිල සුළං රැල්ල මහත් සහනයක් විය. මද වෙලාවක් එහි ගිමන් හල පසු ගල් ගුහාවට බැසීමට සුදානම් වුනෙමු. එහි ඇත්තේ දැඩි අඳුරකි. වෙනදා පුරුද්දට ගලෙන් පහලට රූටා බැසීමට සුදානමින් පහලට කකුල් දෙක දමා විදුලි පන්දම දැල්වීමි.
වෙනදා උඩ ඇති ගලෙන් අඩි හතරක් පමණ පහලින් ඇති පොළව එදා තිබුනේ නැත. පොළව ඇත්තේ එතැන සිට අඩි විස්සක් විසි පහක් පමණ පහලිනි. වෙනදා පුරුද්දට පහළට පැන්නේනම් මගේ කකුල් දෙකෙන් ආපසු ඇවිදීමට ලැබේදැයි පවා සිතීමට නොහැක.
මෙම ජායාරුපයෙන් එහි හාරා ඇති විශාල වල යන්තමින් දැකගත හැකිවනු ඇත.
මෙය ගනු ලැබුවේ ගල් ගුහාව වෙත වෙනත් පසකින් පිවිසීමෙන් පසුවය.
පසුව වෙනත් මගක් ඔස්සේ ගියද අප හට වෙනදා මෙන් ගල් ගුහාවේ උමග ආසන්නයට යා නොහැකි විය. ඒ පැත්තටද සිදු වී තිබුනේ එයමය.
වෙනදා එතරම් අවහිර වලින් තොර මාර්ගය අද වෙද්දී ගල් ගුහාවේ පොළවෙන් ගොඩගෙන විසිකරනු ලැබූ විශාල ගල්වලින් අවහිර වී ඇති අයුරු. නිධන් කොල්ලයට පෙර මෙම විශාල ගල් වලින් බිත්ති සේ බැඳ ගුහාවේ කොටස් ආවරණය කර තිබුණි.
නිධන් හෑරීම් සිදු වූ බව දැනගෙන තිබුනද ඉන්පසුව මා මෙහි පැමිණියේ මුල් වතාවටය. මෙම සිද්ධිය දුටු පසු සහ ඇතිවූ තිගැස්ම නිසා එතන වැඩි වෙලාවක් රැඳී සිටීමට සිතක් අප හට තිබුණේ නැත. මාව වලට වැටුනේනම් සිදුවන දෑ හිතා ගැනීමටත් නොහැක. මා හොඳින් එළිය ඇති විදුලි පන්දමක් ගෙන ආවේ සහ පහළට බැසීමට පෙර එය දල්වා බැලුවේ වාසනාවටමය.
කන්දේ අනිත් පස බැලීමද පසෙක තබා අප තිදෙනා පල්ලම් බැසීමට තීරණය කළෙමු.


සති කීපයක අවෑමෙන් මා හට ගමේ මිතුරා දැක ගැනීමට අවස්ථාවක් ලැබුනේ අහම්බයකින් මෙනි. මේ වනවිට ඔහු ගමෙන් පිට පතලක රැකියාව කරමින් සිට ඇති අතර අහම්බයකින් මෙන් ගම ආ මොහොතක මා හට මුණගැසිනි.
අප මලදුගල කන්ද නැග්ග බවත් නිධන් ගොඩගෙන ඉතුරු වූ වලේ නොවැටී ජිවිතේ බේරාගත්තේ නුලෙන් බවත් ඔහුට පවසා හොඳට දෙහි කැපුවෙමි. වලේ ගැඹුර අඩි 20 ක් පමණ වූ බව මම කියූ විට ඔහුගේ මුහුණින් අමුතු හැඟීමක් දැක ගන්නට හැකි විය.


"එහෙනම් මට ආරංචි වෙච්ච දේ හරි" යයි පැවසු ඔහු තවත් කතාවක් මගේ කණේ තැබුවේය. ඔවුන් නිධන් හෑරූ අවස්ථාවේ එතරම් ගැඹුරකට හෑරුවේ නැති බවත් ඔවුනට පසුව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් එම ස්ථානයේම නැවතත් නිධන් හෑරූ බවක් ඔවුනට ආරංචි වූ බවද ඔහු කියා සිටියේය. එසේනම් ඔවුන් විසින් එතරම් ගැඹුරට වල හාරා ඇති බවක් ඔහු අනුමාන කළේය. 
එය ඇත්තක් බව මම නැවත වෙනත් මාර්ග වලින්ද තහවරු කරගත් අතර ඔවුන් විසින් ගොඩ ගත්තේ කුමන අන්දමේ දේවල් දැයි දැනගැනීමට මා උනන්දු වුයේ නැත. උවමනාවක් තිබුණිනම් ඒ ගැන සොයා ගැනීමට බැරි කමක්ද නොතිබුණි.
කෙසේනමුත් එකම ස්ථානයකින් නිධන් දෙකක්ම ගොඩගෙන ඇති බව පමණක් සක්සුදක් සේ පැහැදිළිය.


තවත් කොටසක් ළඟදීම....