Showing posts with label නිධන් කතා.... Show all posts
Showing posts with label නිධන් කතා.... Show all posts

Sunday, 28 February 2016

කුරුපොඩි ඇල්ල මැද නිධානය...

2013 අවුරුද්දේ වෙසක් පෝය යෙදිලා තිබුනේ 23 වෙනි සිකුරාදා. දවස් තුනේ නිවාඩුව අල්ලලා කොහේ හරි යන්න හිතාගෙන හිටිපු නිසා වාහනේ හදන්න තිබ්බ ගොඩක් අඩුපාඩු හදන්නය කියල මම ඒ දවස්වල “හැමදාම වගේ”යන ගරාජ් එකක් වෙච්ච හුණුපිටියේ තියෙන එරංගගේ ගරාජ් එකට වාහනේ දැම්මේ 23 වෙනිදා පාන්දරින්. වාහනේ හදන්න දාල මම ආපහු වැඩට ආවේ හවස් අතේ අපේ රියදුරු මහත්තැන් කෙනෙක් යවලා වාහනේ ගෙන්න ගන්න බලාපොරොත්තුවෙන්.
හවස 04:00 විතර වෙද්දී වැඩ ඉවර බවත්, වාහනේ ගෙනියන්න එවන්න කියල මට කෝල් එකක් ආවා. අපේ රියදුරු සහ ඔපරේටර් වෙච්ච කරූව තමයි වාහනේ ගේන්න පිටත් කලේ. මිනිහට JCB, Excavator, Tower crane, Crawler crane, mobile crane, Light vehicle, Heavy vehicle, ගල් රෝල්, බොබ් කැට් ආදී එකී නොකී හැම දෙයක්ම ඔපරේට් කරන්නත් ඕනෙම වාහනයක් එළවන්නත් පුළුවන්. ඔන්න ඉතින් මිනිහ ගිහින් ගෙවන්න තිබ්බ බරපතල බිලත් ගෙවල ඉවරයක් වෙලා වාහනේ අරගෙන ඇවිත් තිබ්බා. වාහනේ සයිට් එකට ගේද්දී ඕනෙනම් වෙලාව හවස 05:30 ට වගේ ඇති.

හදල ගෙනාව කිව්වට මම ඉතින් ආයේ ඕක බලන්න ගියේ නැහැ, සුපුරුදු පරිදි රෑ 07:00 ට ඕෆ් වෙලා ගෙදර යන්න පිටත් උනා. අපේ සයිට් එකේ ඉඳලා ගෙදරට යන්න තියෙන්නේ කිලෝමීටර 6 ක් වගේ දුරක්. එදා පාරේ වාහන සෑහෙන වැඩි දවසක්. ගෙදරට යන කිලෝමීටර 6 න් ඕනෙනම් 4 ක් යන්න ඇති. චටස් පටස් වගේ අමුත් සද්ද බද්ද ටිකක් ඇහෙන්න ගත්තා එන්ජිම දිහාවෙන්. තව ටික වෙලාවකින් මොකක් හරි යකඩයක් එකට ඇතිල්ලෙන සද්දයක්.
මේ එක්කම වාහනේ බ්රේක් නැති උනා, පවර් ස්ටියරින් නැති උනා, ඔය වගේ වෙන්න ඕනේ දේවල් ගොඩක් සිද්ධ උනා. ඒ වෙලාවේ මම ආවේ කොළඹ තියෙන අතුරු පාරක, ටිකක් ඉඩ තියෙන තැනකට එනකල් මුළු ඇඟේ හයියෙන් එහෙට මෙහෙට කපකපා මුළු බරම දාල බ්රේක් ගහගෙන ඇවිත් ඉඩ තියෙන තැනක වාහනේ නතර කරගෙන ගරාජ් එකට කෝල් කලා. ඌ කිව්ව විදිහට මට කරදරයක් නැතුව ගෙදරට යා ගන්න පුළුවන්ලු. ඒත් බ්‍රේක් පවර් ස්ටියරින් වැඩ කරන්නේ නැති වාහනේක ඉතුරු කිලෝමීටර් දෙකට ආසන්න දුර යන එක ගැන කොළඹ ට්‍රැෆික් ගැන දන්න කෙනෙකුට තේරෙයි. ආසිරි හොපිටල් එක හරහා නාවලට යන පාරේ ඒ වගේ වෙලාවට යන එක මොන තරම් ලේසි පහසු වැඩක්ද කියලා හිතා ගන්නකො.
මේ තියෙන්නේ ඒ ගමන ගිය වාහනේ, දැන් මගේ ළඟ නැහැ. මට සෑහෙන උදව් වගේම කරදර දීපු වාහනයක්.
හැබැයි දැන් ජපන් වාහන පදිද්දී තියෙනවා මේ වාහනේ පදිද්දී තිබ්බ පහසුව ඒවයේ නැහැනේ කියලා
කොහොමහරි හෙණ ගේමක් දීගෙන ගෙදරට ගිහින් ආපහු ගරාජ් එකේ එරංගට කෝල් කලා, දැන් මුකුත් කරන්න බැරි බවත් හෙට මොනවා හරි කරමු කියන උත්තරේ එක්ක අපි දෙන්නගේ ගමේ යන සිහිනය බොඳ උනා. ඒ වෙද්දී අපේ පොඩි එකා හම්බ වෙන්න තව මාසයක් වගේ තිබ්බ නිසා ගොඩක් දුර යන්න මගෙනම් ඒ තරම් කැමැත්තක් තිබුනේ නැහැ.
පහුවෙනිදා උදේ 08:00 ට විතර එරංග ආවා මිනිහගේ හොඳ ගෝලයෙක් එක්ක, මම කිව්ව විස්තර වලට මිනිහ දැනගෙන තියෙනවා කුඩු උනේ මොනවද කියන එක. එදා අළුත් බඩු ගන්න තැනක් නැති නිසා ගරාජ් එකට දාපු වාහනේක ඩ්‍රයිව් බෙල්ට් එකයි, බෙල්ට් ඇජෙස්ටර් එකයි එරංග ගලවගෙනම ඇවිත් තිබුනා. කලින් දවසේ හවස මිනිහගෙන්ම දාපු බෙල්ට් එක කැඩිලා එතනින් වෙච්ච හානියක් නිසා එතැනින්ම දාපු අළුත්ම බෙල්ට් ඇජෙස්ටර් එකත් කුඩු වෙලා. එක්කෝ ඒකෙ අනිත් පැත්ත. පැයක් හමාරක් විතර යද්දී වැඩේ ඉවර උනා. එරංග ආපහු සල්ලි ගත්තේ නැහැ, ගෝලයට කීයක් හරි දෙන්න කිව්වා එච්චරයි.
අපේ ගමන් බිමන් කැන්සල්, පරක්කු වෙච්ච නිසා එයාට ගමේ යන්න එන්න බැහැ කිව්වා. හාමිනේව එක්කගෙන ගිහින් එයාලගේ ගෙදර නතර කරලා මම තනිවම් පිටත් උනා ගමේ යන්න. ඒ වෙද්දී අපේ කොළුවා හම්බ වෙන්න තව තිබ්බේ මාසයක් වගේ, ඒ නිසා කොළඹින් පිට යනවට වඩා එයා කොළඹ ඉන්න එක හොඳ බව තමයි කොහොමත් මගේ අදහස වෙලා තිබුනේ.

කොහොමහරි එදා ගමට යද්දී දවල් දෙක වගේ වෙලා තිබුනා, ගමේ යාළුවා වෙච්ච එරංගල ගෙ නැතිවෙච්ච නංගිව සිහි කරලා හැම අවුරුද්දෙම දෙන බෙලි මල් දන්සල එදත් තිබුනා. මම යද්දී  අන්තිම හරිය උනාට ගමේ යාළුවො ඔක්කොම වගේ එතන. එතනදී මාත් එක්ක කතා කරපු නිලන්ත කිව්වා මචං අපි මාකෙළිය දිහාවේ කැලේ ඇතුළේ ගස් වගයක් පෙරලනවා JCB එකෙන්. ඒ ඉඩම තියෙන්නේ ගඟ අයිනෙම, මරු ඉඩම. ලොකු ගස් ගැලෙව්වට පස්සේ ඒ ඉඩම් ගොඩක් අඩුවට ගන්න පුළුවන්, ඕනෙනම් අක්කරයක් රුපියක් පණස් දාහකට වගේ ගන්න පුළුවන් වෙයි. හෙට යමුද බලන්න කියල ඇහුවා. ඔන්න දැන් වැඩේ ස්ථිරයි.
ඉතින් පහුවෙනිදා උදේ මම නිලන්ත, එරංග , පොඩි ජනක හතර දෙනාත් එක්ක වාහනේට ගොඩවෙලා මේ කියන දිහාව බලන්න යන්න පිටත් උනා. මාකෙලි ඇල්ල පහුකරගෙන ගිහින්, ඔය කුකුලේ ජල විදුලි බලාගාරයේ කේබල් රුම් එක තියෙන තැන පහු කරනකොටම වගේ වම් අත පැත්තට තියෙනවා උඩහට පාරක්. ඒ පාර පටන් ගැන්මේ ඉඳලම දුෂ්කරයි. අනාදිමත් කාලෙක දාපු තාර ගැලවිලා ගිහින්.

ඔහොම ටිකක් දුර ගියාම පොඩි පල්ලමක් එක්ක පාර දෙපැත්තකට බෙදෙනවා. එතනින් අපි යන්න ඕනේ දකුණු පැත්තට කියල කිව්වේ නිලන්ත. ඒ පැත්තට හරවන්න යද්දී දඩ බඩ ගාල වාහනේ යට වැදුනා. ඒත් පසුබට නොවී තව ඕනෙනම් මීටර සීයක් ඉස්සරහට යන්න ඇති යට වැදී වැදී. දැන් පාරේ තණකොළ වැවිච්ච අයින ඇරෙන්න පාර හරියටම වාහනේ පළලට වඩා බොහොම පොඩ්ඩයි තියෙන්නේ. පාරේ ඉස්සරහ කොටස පොඩි පල්ලමක්, ඒ පල්ලමේ වාහනයක් යන්න හිතන්නවත් බැහැ. අපි බැස්සත් අපෙන් බාගයක් වැහෙන තරම් ලොකු කාණුවක් පාර පුරා. දැන් කට්ටියගෙන් නිලන්තට බැනුම් පුරෝලා, තෝ කිව්වේ එතනටම යන්න පුළුවන් කියලනේ, දැන් බලපන් මේකේ යන්නේ කොහොමද කියලා.
එතන ඉඳල හෙණ ගේමක් දීගෙන වාහනේ විසි තිස් වතාවක් එක තැන කප කප හරව ගත්තා, ආපු පාරේ හැටියට රිවස් කරන්නත් බැහැ. එහෙම ගිහින් පාරෙන් ටිකක් ඇතුළකට වෙන්න තිබ්බ ගෙදරක මිදුලකට වාහනේ දාල ඒකෙ තිබ්බ අඩුම කුඩුම ටික අතින් පයින් එල්ලගෙන ගමන පිටත් උනා. යනවා යනවා ඉවරයක් නැහැ. ඉස්සරහට යන හැම අඩියක් ගානෙම අපි නිලන්තව පතුරු ගහනවා. ඔහොම ගිහින් දොළ පාරකින් එගොඩ උනා. මේ පහලින් තියෙන්නේ ඒක. 

මේ තියෙන්නේ ඊළඟට එගොඩ වෙච්ච දොළ පාර. 

ඔය විදිහට අපි කඳු නැගගෙන පල්ලම් බැහැගෙන නිලන්ත පස්සෙන් යනවා. එක හරියක් පහු කරද්දී ගමේ මිනිස්සු එකතුවෙලා ශ්‍රමදානයක් දාගෙන පාර අයිනේ කැලේ එළි කරලා කාණු ගොඩ දානවා. තව හරියක් පහු කරද්දී මිනිස්සු කීප දෙනෙක් තේ වවන්න ඉඩමක් හදනවා. ඔහොම ඔහොම ගිහින් අපි කිලෝමීටර හතරක් හෝ පහක් වෙන්න යන්න ඇති. අන්තිමට අපි සේන්දු උනා පාර ඉවරයි වගේ පේන හරියකට. ඒ කෙළවරේ කටුමැටි ගහපු පොඩි ගෙයක් තියෙන බව ඈතට උනත් පේනවා. අපි ඉස්සරහට එනවා තරුණ ජෝඩුවක් සහ තරමක වයසක මනුස්සයෙක්. තරුණ ජෝඩුව එක්ක ආගිය කතා කරපු නිලන්ත යන්නේ කොහෙද කින්ද මන්ද කියල ඇහුවම අර මනුස්සයාගේ උත්තරේ උනේ මතුගං යන්න කියල යන ගමන් කියල කිව්වා. අපි ආපු කාරණේ කිව්වම යන්න ගියපු ගමන පැත්තක දාල ඒ ජෝඩුව ආපහු හැරුනා. අර මැටි ගෙදර තමයි ඒ තරුණ ජෝඩුවගේ ගෙදර. අපි ඒ ගෙදරට ගිහින් වතුර ටිකක් කාරිය බීලා, බුලත් විටක් එහෙම කාල වටපිටාව බලබල ඉන්න ගමන් තමයි දැක්කේ අර ජෝඩුව එක්ක මගදී මුලිච්චි වෙලා ගමනක් යන්න ගිය වයසක උන්දැත් ගමන පැත්තක දාල එහෙම්මම නතර වෙලාය කියල. මේ ගමේ නම ගෙඳගල. ගොඩක් පුරාණ ගම්මානයක්. ඒ වැඩිහිටියා ගමේ පුරාණය ගැන කතන්දර කීපයක් එහෙමත් කිව්වා. සුද්දන්ට බයේ ඇවිත් හැංගිච්ච මිනිස්සුන්ගෙන් මේ ගම ආරම්භ වෙච්ච බවකුත් කියවුනා වගේ තමයි මතක.

අර කියපු ඉඩම ගැන විස්තර ඇහුවම, ඒ මිනිස්සු කියනවා, ඒ අයිතිකාරයි මෙහෙ නෙමෙයි ඉන්නේ ගවරගිරියටත් එහානේ. ආපහු කියනවා නෑ නෑ එයා නොවෙයි අයිති කාරයා, අරයා කියලා. ඕකෙන් මේකෙන් අපිට තේරුණා මේ වැඩේ හරි යන්නේ නැහැ. නිලන්ත මේ ගමන ලැස්ති කරගෙන තියෙන්නේ එදා වේල ශේප් කර ගන්නය කියන එක අපිට පැහැදිලි උනා. මොකද ඌ හැමදාම හංදියේ බාර් එක ගාව ඉඳගෙන අතේ සතේ නැතුවත් හොඳට පදම් වෙන්න දන්න එකා වෙච්චි. දැන් ඉතින් ආපු එකේ කොයිකටත් කියල ඉඩමත් පොඩ්ඩක් බලාකියාගෙන ගෙනාපු බෝතල් දෙකත් හිස් කරලා දාල යමුය කියලා හිතාගෙන ඉඩම තියෙන දිහාට යන්න පිටත් උනා.
ඒ ගෙදර ඉස්සරහ තිබුනා මහ විශාල වල්ලපට්ට ගහක්. එදා තමයි මම ඒ ගහ වල්ලපට්ටය කියල අඳුර ගත්තේ. හැබැයි අදටත් මට ඕක අඳුර ගන්න බැහැ, ටැපලෙනවා. මේ කියන කාලේ වල්ලපට්ට උන්මාදේ මහා විශාලෙට පැතිරීගෙන ගිහින් නැති අවධියක් නිසාද කොහෙද ඒ ගහ ඉතුරුවෙලා තිබුනා.

නිලන්තගේ යාළුවට කියලා වීදුරු දෙකකුත් ඉල්ලගෙන, යාළුවත් එක්කම පල්ලම් බහින්න පටන් ගත්තා. අර වයසක උන්දැත් දැන් ඔන්න අපේ පස්සේ. නිලන්ත JCB එකෙන් ගස් පෙරළන්න ගියා කියපු කැලේ මැද්දෙන් කපපු අලුත් පාරක් වගේ එකක් දිගේ තමයි දැන් අපි යන්නේ. ඒකෙ JCB එකක් කොහොම ගියාද කියල හිතා ගන්න බැහැ, අපි ගියෙත් බඩ ගාගෙන වගේ. JCB එක ඉස්සරහ බකට් එක බිම තියාගෙන පස්සේ බකට් එකෙන් ඇද ඇද ලු පහළට බැස්සේ. අළුත කපපු ගස් වල පොතු පට්ට බිම තියෙන නිසා හොඳට ලිස්සනවා, පයින් යන එක ගොඩක් අමාරු උනා. ටික වෙලාවකින් ඈතින් දිය ඇල්ලක් පේන්න ගත්තා. මේ හරියේ කූඩැල්ලෝ ගමකට. 

ඔහොම ගිනින් නිලන්තලා ගස් පෙරලද්දී හිටපු වාඩියට අපි ගොඩ උනා. පොලෝ මට්ටමෙන් අඟල් හයක් හතක් උඩින් තිබ්බත් වැස්ස නිසා වාඩියේ බිම විදිහට තිබ්බ ලෑලි තෙත් ගැහිලා. ඒ මදිවට එතනත් කූඩැල්ලෝ. එතනින් පොඩ්ඩක් එහායින් තමයි අර දිය ඇල්ල වැටෙන්නේ. ඒක වැටෙන්නේ ගඟකට. මට මැප් එකකවත් ඒ හරිය කොහෙද තියෙන්නේ කියල තාම හිතා ගන්න බැහැ. ඒ ගඟ කුකුළේ ගඟ කියල තමයි මට මතක. නමුත් කුකුළේ ගඟට වැටෙන අතු ගංගාවක් වෙන්නත් බැරි නැහැ. දිය අල්ලේ නම කුරුපොඩි ඇල්ල. එදාමයි මම ඒ වගේ දිය ඇල්ලක් ගැන ඇහුවේ. මේ තියෙන්නේ කුරුපොඩි ඇල්ල තරමක් ළඟ ඉඳල ගත්තු එකක්. මේ තැන පුදුම ලස්සනක් තියෙන්නේ. මේ ඔක්කොම ෆොටෝ ගත්තේ නොකියා E71 ෆෝන් එකකින්, ඒ නිසා තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. 
මෙතන උස අඩුයි වගේ පෙනුනට මේ දිය ඇල්ල සැළකිය යුතු උසක් තියෙන එකක්...
මේ ගමන වගේම නිලන්ත එක්ක ගියපු වෙලාවක අමුතු නමක් තියෙන තවත් දිය ඇල්ලක් හම්බ වෙලා තියෙනවා, ඒ කහබත් ඇල්ල. ඒකෙනම් ෆොටෝ තියෙනවද කියලත් ෂුවර් නැහැ.
අන්තිමට අපි තීරණය කලා වාඩියේ ඉන්නේ නැතුව ගඟ මැද්දේ තියෙන ගල් තලාවකට ගොඩ වෙන්න. නිලන්තගේ යාළුවා ගෙදරින් එන ගමන් එයාගේ නෝනා මහත්තයට කතා කරලා “අර ඊයේ රෑ වියපු ඉත්තෑ මස් ඉතුරු තිබ්බා නේද, අන්න ඒ ටික අපිට දෙන්න” කියලා ඒකත් අරගෙන ගියේ කටගැස්ම විදිහට. ගඟේ වතුර වලින් කලවම් වෙන ඕල්ඩ් කෙග් එකකින් බාගයක් විතර ඉවර වෙද්දී අපි එක්කම ගඟේ බැහැල උන්නු අර අංකල් ට අපි කතා කරා පොඩ්ඩක් ගන්න එන්න කියලා, එක පාරෙන් වීදුරුව පුරෝලා කාලකට වග කිව්වා.

නාන්න ලැස්ති වෙලා ආවේ නැති උනාට මේ වතුර ටික දැක්කම නාන්නේ නැතුව ඉන්න අපිට බැරි උනා. නාන ගමන් ගල් තලාවට ගොඩ වෙලා පොඩ්ඩක් සප්පායම් වෙන ගමන් අර අන්කලුයි, නිලන්තගේ යාළුවයි එක එක කතන්දර කියන්න ගත්තා. වෙසක් පෝය දවසේ ඉත්තෑ මස් කොයින්ද ඇහුවම ඒකගේ උත්තරේ උනේ කලින් තිබ්බ උගුලකට අහුවෙලා ඉඳලා මන්ද තියපු එකා අරගෙන ඇවිත් තිබුනා. පෝය කියල නිකං හිටියොත් මස් නරක් වෙන නිසා එදාම සුද්ද කරලා ගමේ මිනිස්සු අතරේ බෙදා ගත්තාය කියලා.
ඒ අස්සේ කොහෙද මන්ද ඉඳල අන්කල් කාරයාගේ යාළුවෙක් මතු උනා. හැබැයි මිනිහ මතු උනේ නිකං නෙමෙයි මෙගා බෝතලයක් පුරෝලා කිතුල් රාත් අරගෙන. මිනිහත් ඇවිත් දැන් අපිට එක්කාසු වෙලා අපිට අර රා ටික බොන්න කියලා ඕල්ඩ් කෙග් එකට කෙලින්න පටන් ගත්තා. ඔය අලුත් බාපු රා තියෙනවනේ, අපි ඕවට ඒ තරම් මනාප නැහැ, ඒකට හේතුව නිකං බඩ පිරෙනවා මිසක් වැඩක් නැති වීම නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි.
කොහොමහරි මේ වයසක උන්දලා දෙන්න පදමට ආවට පස්සේ අර කුරුපොඩි ඇල්ලේ අතරමැද තියෙන නිධානයක් ගැන කියවන්න ගත්තා. එතන දුරට පේන මොකක්ද සළකුණක් තියෙනවා කියල කිව්වම එහෙම මොකක්ද එකක් තියෙන බව අපිත් දැක්කා. හැබැයි එතන තියෙන්නේ මොනවද කියල කියපු ඒවා ගැන මට දැන් මතක නැහැ. ඒ වගේම ඒ ලිස්සන ගල දිගේ නැගල ලඟට ගිහින් ඒක බලන්න ගිහින් බෙල්ල කඩා ගැනීමේ උවමනාවක් අපි කාටවත් ඒ වෙලාවේ ආවේ නැත්තේ හොඳ වෙලාවට. බෝතල් දෙකයි රා ටිකයි බීල ඉවර වෙද්දී හැමෝම වගේ හිටියේ හොඳ පදමක. විශේෂයෙන් අර මුල ඉඳලම අපි එක්ක ඉඳපු අංකල්.

අත පත ගාගෙන ආපහු අර බණ්ඩක්ක වගේ ලිස්සන පාර දිගේ ඇවිත් නිලන්තගේ යාළුවගේ ගෙවල් ගාවට ආවට පස්සේ එහෙන් බත් ඩිංගක් කාල යමු කියල ලොකු පෙරැත්තයක් ආව. ඒ වෙද්දී වෙලාව දවල් 01:00 පහු වෙලාද කොහෙද තිබ්බේ. කොහොම හරි අපි එන්න පරක්කු වෙද්දී නිලන්තගේ මිත්‍රයාගේ හාමිනේ බත් හදල ඉවරයි. ආයේ පෙරැත්ත කරන්න දෙයක් නැහැ ඒ වෙලාවේ තිබ්බ බඩගින්නේ හැටියට.
ලොකු දේවල් හදල තිබුනේ නැහැ, ඒ වෙලාවෙම කඩා ගත්තු කොච්චි දාලා පොල් සම්බලයක් විතරයි හදල තිබුනේ බත් කන්න. හැමෝම බත් පිඟන් දෙක ගානේ වග කිව්වා හායි හූයි ගගා. ඒ තරම් රහයි.

බත් කාල අපහු බුලත් විටක් එහෙම කාල, මිත්‍රයගෙන් සමු අරගෙන වාහනේ නතර කරලා තිබ්බ තැනට එද්දී ආපහු දාඩියෙන් පෙඟිලා ඉවරයි. ඉඩමක් බලන්න ගිහින් නිධානයක් හංගගෙන ඉන්න දිය ඇල්ලක් බලාගෙන ආපු ගමන හවස තුනහමාර හතර වගේ වෙද්දී අපේ ගමට ආවට පස්සේ නිමා උනා.

Tuesday, 28 July 2015

නිධන් වදුල, කළු කොටියා සහ කිතුල් මැදීම -01

මුකුත් ලියන්න හිතෙන්නෙම නැහැ, හරි කම්මැලියි. කිසි ප්‍රෙෂර් එකක් නැතුවම ගැස්ට්‍රයිටීස් තද වෙලා. දවල් අතේ පොඩි පහේ ඔපරේසමකට යන්න හිටියට ඒකත් කැන්සල් උනා. කාලෙකින් මුකුත් ලිව්වේ නැති නිසාත් මොනවාහරි ලියන්න ඕනේ කියල හිතිච්ච නිසාත් පොඩි පහේ පෝස්ට් එකක් ලියල දාන්න හිතුවා.

තාත්තගේ යාලුවෙක් වෙච්ච සෝමේ මාමා කලින් වැඩ කලේ අපේ ගමේ ඉස්පිරිතාලේ. තාත්තගේ මරණේ සිද්ධවුනේ 2004 දී. තාත්ත ජීවත්වෙලා හිටපු කාලේදී සෝමේ මාමව මට ඒ තරම් මතකයක් තිබ්බේ නැති තරම්. පස්සේ කාලෙක දවසක් දෙකක් හම්බවෙලා කතා බහ කලාට පස්සේ තමයි මට මතක් උනේ එක දවසක් අපේ ගෙදර ඇවිත් තාත්ත එක්ක ගේ ඇතුලේ බොන්න හදල අම්මගෙන් බැනුම් අහගෙනත් ගියපු කෙනෙක් නේද කියල.
මෙන්න මගේ පරණ යාළුවා, සෝමේ මාමගේ පැලට යන අඩිපාර ගාව....
දැනට අවුරුදු තුනකට විතර කලින් මගේ ගාව පරණ ජීප්පුව තිබ්බ කාලේ මම අපේ ලොකු මස්සිනාත් එක්ක සෝමේ මාමලාගේ ගෙදර ගියා දවස් දෙකක්. ඔය ගමන යන්න ඒ ජීප් එකටත් සෑහෙන කට්ටක් කන්න සිද්ධ උනා. ප්‍රධාන පාරෙන් උඩට යන්න තියෙන පාරේ මුල කොටසේ කොන්ක්‍රීට් දාල තිබුනා මීටර් හාර පන්සීයක් විතර. කොන්ක්‍රීට් එක ඉවර වෙන තැන පාර හරහා පොඩි දොළ පාරක් ගලාගෙන යනවා. ඊට පස්සේ කඳු පල්ලම් තඩි ගල් ගෙඩි උඩින් ගලින් ගලට පැන පැන දොළ පාරවල් දහයක් දොළහක් පහු කරගෙන මට හිතෙන විදිහට කිලෝ මීටරම දහයක් දොළහක් විතර කැලේ මැදට යන්න  ඕනේ. එක තැනකදී රටේ ප්‍රකට ගඟක මුල හරියෙනුත් එගොඩ වෙන්න ඕනේ.
මේ ඒ අතරමග තියෙන විශේෂ හොර ගහක්, සාමාන්‍යයෙන් හොර කියන්නේ තනි ගහක්. නමුත් මේ ගහ මුල හරියෙන්ම් ගස් පහක් විදිහට බෙදිලා ඒ එක ගහක් වට අඩි තුන හතරක පමණ ප්‍රමාණයෙන් යුතුව හැදිලා තියෙන එක විශේෂ පිහිටීමක්...

මේක මෝහිනී ඇල්ල කියලයි දැන ගන්න ලැබුනේ, ෆෝන් එකෙන් ගත්තු ෆොටෝ නිසා පැහැදිලි නැහැ...
ඔය ගමන ගියේ අපේ ලොකු මස්සිනාගේ උවමනාවකට, කොයිකටත් කියල මම කැමරා එකත් වාහනේට පටෝ ගත්ත. එකෙන් ලොකු ප්‍රයෝජනයක් උනේ නැතත් මගෙත් එක්ක ගියපු සෝමේ මාමත් ඇතුළු හැම කෙනාම බයෙන් මැරෙන්න හදපු කැතම කැත පළා පොළඟෙක් බලා කියාගෙන ෆොටෝ එකක් අල්ලගෙන එන්න නම් පුළුවන් උනා.

ඒ මනුස්සය දෙවෙනි කසාදෙ කරගෙන තියෙන්නේ පොතේ පතේ ලියල එහෙම නෙමෙයි. පලවෙනි කසාදෙ නැන්දා ජීවත්ව හිටිද්දීම සහ කරදඬු උස් මහත් වෙච්ච පුතාලගේ විරෝධය මැද්දේ තමයි සෝමේ මාම ඒ නැන්ද එක්ක සහේට ගිහින් තිබ්බේ. ඒ ගෑණු මනුස්සයා මීගමු පැත්තේ කෙනෙක්. ඔය අහ  පාර අයිනේ තිබ්බ පොඩි පැලක තමයි මුන්දා ජීවත්වෙලා තිබ්බේ. ඒ නැන්දා එහෙට ආපු හැටියක් එහෙමත් මම දන්නේ නැහැ. මම මේ තරම හරි දැනගත්තේ අපේ මලයගෙන් සහ මස්සිනාගෙන්. කොටින්ම කියනවානම් මගෙත් එක්ක කැලේ යන සමහර යාළුවෝ ඉන්නවා, උන් කසාද බැඳලද, ළමයි බමයි ඉන්නවද, උන්ගේ ගෑණු රස්සා කරනවද ඕවා කිසි දෙයක් මම දන්නේ නැහැ.

වතාවක් මම ගෙදර උන්දලා එක්ක වීරවිල ගියා. ඒ ගිහින් කතරගම සිතුල්පව්ව එහෙමත් ගියා මතක ඇතිනේ. මම එහේ ගියාම නිදහසේ ජීවත් වෙන ගෙදරට එහා ගෙදර ඉන්න අනුර බාප්පා ගැනත් මේ වගේම ගැටළු තොගයක් අපේ උන්දැගෙයි නැන්දම්මාගෙයි ඔළුවට ඇවිත් මගෙන් අහන්න ගත්තා. අනුර බාප්පාගේ ගෑණු මනුස්සයා මොකද කරන්නේ, එයා ගෙදර නැත්තේ මොකද, එයා උසද කොටද මහතද කියල ප්‍රශ්න ලෝකයයි.
මම ඕවා දන්න එකක්යැ. මම අනුර බාප්පා ගැන දන්නේ මම එහේ ගියාම මට කන්න තමන් කන විදිහටම පිළි ජාති නැතුව හේනේන් කඩාගෙන ආපු වම්බට්ටක් එක්ක, මෑ කරළක් එක්ක හරි බත් ඩිංගක් හදල දෙන එකයි, පළාතට ගැලපෙන අනුපාන කිසි බයක් හැකක් නැතුව ගෙයි ඉස්තෝප්පුවේ පුටුවක වාඩිවෙලා ගන්න(අපිටත් දීල) නිතරම ආකහේ ඉන්න පුද්ගලයෙක් බවත්, මම ආවහම සීල් පොඩ්ඩක් ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් බවත්, අවුරුදු හත අටක පොඩි පුතෙක් ඉන්න බවත් විතරයි.
එදානම් විනාඩි පහක් දහයක් ගියේ නැහැ ඒ අවශ්‍ය කරන කරුණු කාරණා ටික හොයා ගන්න අපේ නැන්දම්මයි එයාගේ දු පොඩිත්තයි සමත් වෙලා තිබුනා. දැන් යමුකෝ ප්‍රධාන කතාවට.

සෝමේ මාම අර නැන්දත් එක්ක පැටලවිලා කියල දැනගත්තු සෝමේ මාමගේ  පුතෙක් ඇවිත් අර නැන්දගේ පැල්කොටේ කඩල බිඳලා දාල බඩුමුට්ටු ඔක්කොම කුඩු කරලා දාල ගිහින් තිබුනා. එතනින් පස්සේ තමයි මේ ජෝඩුව මහ මුකලානෙට ගිහින් රක්ෂිතේ පොඩියට පැලක් අටෝගෙන ඒ අලුත් ජීවිතේ පටන් අරගෙන තිබ්බේ. මොනවා නැතත් මේ දෙන්නගේ තරමක වයස් පරතරයක් තියෙන බවනම් මට තේරිලා තිබුනත් කැලේ කොලේට හැඩ ගැහිලා අපුරුවට ජීවත් වෙන්න ඒ දෙන්න සමත් වෙච්ච බවක් තමයි මට තේරුනේ.තේ පොඩ්ඩක් වවාගෙන, එළවළු පලාවක් වවාගෙන හිටපු මුන්දලා හැම ඉරිදම පොළේ යන එක පුරුද්දක් වශයෙන් කරන්නේ සමාජයට පොඩ්ඩක් ඔළුව දාල එන්න ඕනේ නිසා වෙන්න ඕනේ.

ඒ යද්දී මහ පාරට තියෙන කිලෝමීටර දහයේ දොළහේ දුර පයින් ගිහින් ඉතුරු කිලෝමීටර දහය බස් එකේ ගිහින් තමයි පොළට යනවය කියන්නේ. ආපහු එද්දී බස් එකේ එන්න පුළුවන් දුර ඇවිත් ඉතුරු ටික එනවය කියන්නේ ත්‍රීවීල් එකේ. ඒ දුර යන්න ත්‍රීවීල් එකක් රුපියල් 2,500/- ක් ගන්නවලු. ඒකෙන්ම පාරේ තත්ත්වය හිතා ගන්න පුළුවන් වේවි.
කූඩැල්ලන්ට ලේ ටිකක් හෙම දන් දීල ඉවරවෙලා සෝමේ මාමලාගේ පුංචි පැලට දවල් වෙද්දී ගාටන්න අපිට පුළුවන් උනා. සෝමේ මාම ඒ වෙලාවේ ගහෙන් බාල අරගෙන ආපු පෙණ දාන කිතුල් රා ටිකක් තොල ගාල සෝමේ මාමගේ කැලෑ කතා අහන්න ගල් ගෙඩි උඩ වාඩි උනා. සෝමේ මාමට ආණ්ඩුවෙන් පෙන්ෂන් එක හම්බ උනත් මිනිහා තවම හොඳ සනීපෙන් ඉන්නවා. ඔය කියන කාලේ කිතුල් මල් පහක් හයක් මැදගෙන ඒවායේ ආදායමත් අරගෙන තමයි ජීවත් උනේ.

මිනිහ අපිට කියපු කතාවක් නිසා මගේ ඔළුවේ කොන්ඩ ගස් කෙළින් උනා. පණ පිටින් ඉන්න කළු කොටියෙක් ඒ අවට ඉන්නවා කියල සෝමේ මාම විතරක් නෙමෙයි ඒ නැන්දත් දැකල තියෙනවලු.
ඊට පස්සේ මම ඔය ගැන හොයල ෆොටෝ එකක් ගහන්න පුළුවන් ක්‍රමයක් ගැන කල්පනා කරද්දී පහු ගිය මැයි මාසේ ඒ කියන්නේ 2015 මැයි මාසේ 30 වගේ කිට්ටුව ආපහු ආරංචිය ආවා ඌ ඒ ඉසව්වට ඇවිත්ය කියලා. වාහනෙත් නැති එකේ බස් එකේ ගියා අදාළ දිහාට, අපේ මලයවත් කළින්ම කතා කරගෙන පිටත් උනා ඒ ගමන. පැය තුනකට වඩා වැඩි මහ දුෂ්කර ත්‍රිවිල් ගමනකින් පස්සේ කළුවර වැටෙද්දී සෝමේ මාමලාගේ ගෙදරට යන්න අපිට පුළුවන් උනා.

එදා වැස්ස නිසි ත්‍රිවිල් එකේ ආපු මහන්සිය නිසි කොටි අල්ලන්න නෙමෙයි පාන් කියා ගන්න බැරුවයි අපි දෙන්න උන්නේ. ඒ මදිවට වැහින්නත් පටන් ගත්තා. අන්තිමේදී කළු කොටියව ෆොටෝ ගහන්න ට්‍රයි කරන මිෂන් එක පසුවට සහ වෙන ක්‍රමේකට කරන්න තීරණය කරලා අපි තුන් දෙනාත් එක්ක අපි එහේ යනකොට අරගෙන ගියපු බෝතලේට වග කියන්න පටන් ගත්තා. මේ වෙද්දී කලින් වගේ නෙමෙයි සෝමේ මාම සැටලයිට් TV එකකුත් අරගෙන, ටර්බයින් එකක් ගහල ගෙදරට කරන්ට් එකත් අරගෙන. ගෙටත් කටු මැටියෙන්ම තව පොඩි කාමරයකුයි ඉස්තෝප්පු කෑල්ලකුයි එක්කාසු කරලත් තිබ්බා.

ඔය අතරේදී තමයි සෝමේ මාම තමන්ගේ පරණ මතකය එළියට දාන්න පටන් ගත්තේ. ඔය අතරේ තිබ්බ එක දෙයක් තමයි නිධන් වදුල ගැන, අනික කිතුල් මැදිල්ල ගැන.
කළු කොටිය ගැන පස්සේ ලියන්නම්. මේ මොහොතේ ලොකු දෙයක් ලියන්න වෙලාවක් නැති නිසා මම නිධන් වදුල ගැන කියන්නම්. ඉස්සර කාලෙක සෝමේ මාම කවුද මන්ද ඇමති කෙනෙක් ගාව බොහොම ළඟ සේවකයෙක් වශයෙන් වැඩ කරගෙන හිටියලු. ඒ ගෙදර තිබිල ඔය පොත අරගෙන එන්න ඉල්ලුවම අර මනුස්සය ඇහුවල උඹට මොටද ඕක කියලා. පොඩ්ඩක් බලල ගෙනත් දෙන්නම් කියල කිව්වට පස්සේ අර ඇමතියත් අකමැත්තක් පෙන්නලා නැහැ.
ඕක අරගෙන ආවට මේ මනුස්සයට මේකේ ඇති පළක් පොරෝජනයක් දන්නේ නැති නිසා ඒකෙ කොපියක් ගන්නෙවත් නැතුව පහුවෙනිදම ඒක ගෙනිහින් දුන්නා කියල අද මිනිහ කියන්නේ බොහොම විස්සෝපෙන්. හැබැයි මිනිහත් නිකං ඉඳල නැහැ, තමන්ට අදාළ තැනකට අදාළ එක කවියක් කට පාඩම් කරගෙන.
මිනිහ ඒක ඒ දවස් වලම හෙව්වලු කිසි සළකුණක් හොයා ගන්න බැරි වෙච්ච නිසා ඒ වැඩේ අත ඇරලා දැම්මලු. වචන කීපයක් අඩු කරලා ඒ වදුල මම මෙතන පල කොරනවා. නිකමටවත් මේක පස්සේ යන්න හිතන්න එහෙම එපා. ඕවා මහ වාත වෙන්න පුළුවන් වැඩ.

Xxxxxxතොට පරණ තොටුව
එහි xx වැලක් කොටා ඇත
එය අල්ලා මිනිසෙක් ඇත
එහි මහා නිධානයක් ඇත

මෙන්න මේ වගේ පොඩි පොඩි විස්තර සහිත කවි වගේ ඒවා තමයිලු ඔය නිධන් වදුලේ තියෙන්නේ. සමහර මිනිස්සු සැක පහළ කරනවා නිධන් කියන ජාතිය තියෙනවද කියන එක ගැන. එහෙම දේවල් තියෙනවා, ඒක ඇත්ත බව පිළිගන්න පුළුවන් කරුණු කාරණා සෑහෙන ප්‍රමාණයක් මම අහල දැකල ලියල තියෙනවා. අපේ පැත්තේ එහෙම දේවල් අරගෙන එක පාර පෝසත් වෙච්ච මිනිස්සු අදටත් ඉන්නවා.
නමුත් ඒ පන්සල් වල චෛත්‍ය අස්සේ, බුදු පිළිම ඇතුලේ එහෙම නෙමෙයි. වෙන වෙන් තැන්වල. අර වගේ තැනක තිබුනත් තියෙන්නේ ආගමික භක්තියකින් තැන්පත් කරන බොහොම සුළු සුළු දේවල් කියල තමයි කියන්නේ.
නිධන් හාරන මුවාවෙන් ඉස්සර කාලෙක පැරණි බෞද්ධ වෙහෙර විහාර, පිළිම වහන්සේලා විනාශ කරන ව්‍යාපාරයක් ලංකාවේ විශාල ව්‍යාපාරිකයෙක් යටතේ තිබුන බවක් මම අහල තියෙනවා, ඒක කෙරෙව්වා කියන මිනිහ එක පාරට වැටුනේ හරියට මහ විශාල ගහක් කඩා වැටෙනවා වගේ, අදටත් පණ පිටින් ඉන්නවා. නමුත් උන්නද මළාද කියල නැතුව වගේ තමයි ඉන්නේ.
ඒ වගේම අපිට අද වෙද්දී සතියකට නිධන් හාරන්න ගිහින් පොලිසියට අහු වෙච්ච සිද්ධි කීයක්නම් අහන්න දකින්න ලැබෙනවද.ඒ නිසා මම මේ ලියන එවයෙන් මේ වගේ වැඩ වලට උත්ප්‍රේරණයක් ගන්නේ නැත්නම් තමයි මම වඩා කැමති.


ඔය නිධන් පස්සේ යනවට වඩා හොඳයි කිතුල් මදින එක, මම ඊළඟ පෝස්ට් එකකින් ඒ ගැනයි, කළු කොටියාගේ කතාවයි කියන්නම්.
ඔය කිට්ටුවම මහ අද්භූත විශාල වලක් තියෙනවලු ලොකු ගල් තලාවක. ඒකට ලොකු දොළ පාරවල් හතරක් වැටෙනවලු. ඒ වල අක්කරයක තරමේ ලොකු එකක් කියලයි සෝමේ මාමා සහ ඒක බලන්න ගියපු අනිත් මිනිස්සුත් කියන්නේ. පතුලක් පේන්නේ නැති විශාල සුළි කැරකෙන ඒ වල මහ භයානක තැනක් විදිහට තමයි ඒ මිනිස්සුත් සළකන්නේ. මුකුත් ඕනේ නැහැ වතාවක සෝමේ මාමව හම්බ වෙන්න ආව මාස්ටර් ඩයිවර්ස් එකේ කිමිඳුම් කරුවෝ පවා ඒකට බහින්න බය උනා කියලයි සෝමේ මාමා කියන්නේ.
අපි ගියපු වෙලාවේ වැහැලා ගල් තලාව ලිස්සන නිසා එතනට යන්න බැරි උනා. හැකි ඉක්මණින් ඒ ගැනත් මම දාන්නම්. මොකද ඒක බලා ගන්න මටත් පුදුම කුතුහලයක් තියෙන්නේ. එහෙනම් අදට ඇති...

Tuesday, 5 June 2012

විදියබණ්ඩාර කුමරාගේ ඔටුන්නේ ඉතුරු ටික කෝ....

ලංකාවට ආවට පස්සේ මට එක පෝස්ට් එකක්වත් දාන්න බැරි උනා. ඒකට හේතුව උනේ වෙලාවක් නැතිකමම නෙමෙයි. හිතේ එකලාසයක් නැති කම කියලයි මට හිතෙන්නේ. රට ඉන්න කාලේ මේ තරම් නිදහසක් නැති කාලෙදිත් බ්ලොග් එකට පෝස්ට් එකක් දෙකක් කොහොමහරි දානවා. ඒත් ලංකාවට ඇවිත් රස්සාවක්  නොකර ගෙදරට වෙලා හිටපු කාලේ දැන් මාසෙකට වඩා දවස් කීපයක් වෙනවා. ඒත් මේ කාලයේදී මට එක පෝස්ට් එකක්වත් දාන්න බැරි වෙච්ච එකට මගේ කම්මැලිකමත් ලොකු හේතුවක් උනා කියල මට හිතෙනවා.

මම ආපහු පරණ පුරුදු පුරුදු නිධන් කතාවකින්ම වැඩ අල්ලන්නයි මගේ කල්පනාව. මේ කතාව අපේ ගෙදර ඉඳලා කිලෝමීටර 2 ක් වගේ දුරකින් තියෙන තැනක වෙච්ච ඇත්ත සිද්ධියක්. ඊයේ දවල් වෙච්ච කතාවක් නිසා මට එක පාරටම මේ කතාව පෝස්ට් එකකට දාන්න ඕනේ කියල හිතුනා.
ඊයේ දවල් අපේ ගෙදරට ආපු ලොකු මාමා ටික වෙලාවක් මාත් එක්ක කතා බහ කරකර හිටියා. එයා කලා අංශයෙන් ගුරු උපදේශක වරයෙක්. අපේ ගම්පලාත ගැන ලියවෙච්ච පොතක තිබුණ යම් කරුණක් ගැන තමයි ලොකු මාමා මාත් එක්ක කතාබහ කලේ. ඒ පොතේ හැටියට විදියබණ්ඩාර කුමාරයාගේ ඔටුන්නේ කොටසක් කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බවක් ලියවිලා තිබුණු බවක් ලොකු මාමා මා හට පැවසිය.
එක පාරටම මට මතක් උනේ ගිය සතියේ වෙච්ච සිද්ධියක්. ගෙදරට වෙලා නිකන් ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇවිදින්න ගියපු වෙලාවක මම මේ ඔටුන්න ලැබුණ බව කියන  ඉඩමේ දාල තියෙන තීන්ත කඩේට ගොඩ උනේ පොඩි වැඩක් කරගන්න. ඒ කඩේ ඉන්නේ ඉඩමේ හිමිකරුගේ පුතා. කඩේට ගොඩවෙලා මගේ වැඩේ කෙරෙනකල් ඔහුත් සමග ඒ පරණ සිද්ධිය ගැන පොඩ්ඩක් කතාබහ කරන්න මට හිතුනේ අහම්බෙන් වගේ. ඔටුන්න හම්බ වෙච්ච සිද්ධියට දැන් අවුරුදු හය හතක් විතර වෙනවා මට මතක විදිහට.

ලොකු මාමා මට කියපු විදිහට දැන් කෞතුකාගාරයේ තියෙන්නේ ඔටුන්නේ කොටසක් විතරයි. මේක ඇහුවම මට පුදුම හිතුනේ ඇයි මේ එක කොටසක් විතරක් කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙන්නේ කියලයි.
මේ සිද්ධිය සිද්ධවෙච්ච කාලේ විතරක් නෙමෙයි ඊයේ පෙරේදා අහම්බෙන් වගේ දැන ගත්තු විදිහටත් විදියබණ්ඩාර කුමාරයාගේ ඔටුන්නේ කොටසක් විතරක් නෙමෙයි සම්පුර්ණ ඔටුන්නම කෞතුකාගාරයේ තියෙන්න ඕනේ.


දැනට අවුරුදු හයකට විතර කලින් වෙච්ච මේ සිද්ධිය මම අප දැනගත්තේ මෙන්න මේ විදිහට.
අදාළ ඉඩම තරමක කඳු ගැටයක් සහිත ඉඩමකි. එහි හිමිකරුගේ අනුමැතිය ඇතිව වෙනත් පාර්ශවයක් පස් කැපීමේ නිරතවී සිට ඇත. එම පස් යම් කිසි ඉඩමක් ගොඩ කිරීමේ කටයුත්තක් සඳහා ට්‍රැක්ටරයක් ආධාරයෙන් ප්‍රවාහනය කරමින් සිට ඇත. පස් කැපීමට යොදාගත් යකඩ ඉන්නක ඇනුන අමුතු යමක හඬ ඇසුණු පිරිස කල විපරමේදී මැටි මුට්ටියක් තුළ තිබූ එම රන් ඔටුන්න ලැබුණු බවය. නමුත් එය බෙදා ගැනීමට යාමේදී ප්‍රශ්නයක් ඇතිවූ බවක් එදවස කියැවුනි. එනම් ඉඩමේ හිමිකරු එහි සම්පුර්ණ අයිතිය ඔහු සතු බවත්, පස් කැපු අය එහි සම්පුර්ණ අයිතිය ලබා ගැනීමට තැත්කළ බවත්ය. කෙසේ හෝ එය කොටස් වලට කඩා බෙදා හදා ගැනීමට මොවුන් ක්‍රියා කර ඇති බවක්ද කියැවුනි. ඉන් අනතුරුව මෙම සිද්ධිය කෙසේ හෝ පොලිසියට ආරංචි වී ඇති බවත් එය පොලිසියෙන් රැගෙන ගොස් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් බවත් එදවස අප ඇසු කතාව විය.

ගිය සතියේ ඉඩම් හිමි කරුගේ පුතා හමුවී මා අසාගත් කතාව මෙසේය.
ඔවුන්ට අයත් ඉඩමේ පස් කැපීමේ යෙදුනු පිරිස එම කාර්යය කරගෙන ගොස් ඇත්තේ යන්ත්‍ර සුත්‍ර ආධාරයෙන් නොව මිනිසුන් කිහිප දෙනෙකුගේ ශ්‍රමයෙන් වන අතර, කන්දිය කැඩීමෙන් පසු වැටෙන පස් කෙළින්ම ට්‍රැක්ටරය තුළට වැටෙන සේ තබා තම කාර්යය කරගෙන ගොස් ඇත. එහිදී යකඩ ඉන්නක වැදී මැටි මුට්ටිය තුළ වූ රන් ඔටුන්න කොටස් හයකට කැඩී ට්‍රැක්ටරය තුළට වැටුණු බවත් එහි සිටි හය දෙනා එම රන් කොටස් 6 බෙදාගත් බවත්ය. ඉන් එක් අයෙකු තමාට ලැබුන කොටස උකස්‌ කිරීමට රජයේ බැංකුවකට ගොස් ඇති බවත් බැංකුව හරහා ලැබුණු තොරතුරු හරහා ඔටුන්නේ කොටස් සියල්ලම පොලිසිය භාරයට ගත්බවත් ඉන් සතියකට පමණ පසුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට එම කොටස් ලබා දුන් බවත් ඔහු පැවසීය.

(රන් ඔටුන්න කොටස් හයකට කැඩී එහි සිටි හය දෙනා එම කොටස් හය  බෙදාගත් බව කියූ කියමන පමණක් මා විශ්වාස නොකළේ, එය ඉබේ කැඩුණු බවක් මා විශ්වාස නොකරන නිසාය)


මා ඇසු මෙම කතා දෙකෙන්ම කියවෙන පරිදි එම ඔටුන්නේ සියළුම කොටස් පොලිසිය වෙත ලබා දී ඇති බව කියවිණි. පොලිසිය හරහා එම කොටස් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට බාර දුන් බවද කියවිණි. නමුත් පොතේ ඇති පරිදි කෞතුකාගාරයේ ඇත්තේ එක කොටසක්ලු.
ඉතිරි කොටස් කිහිපය නතර වුයේ කොහිදැයි සිතීම ඔබට බාරය.

Wednesday, 8 February 2012

නිධන් හැරීමේ අවසානය

මේ නිධාන සම්බන්ධ කතාපෙලේ අවසාන කොටසයි. මුල කොටස් නොබැලු අය මීට පෙර ලියු කොටස් තුන මෙතනින් බලන්න
පළමු කොටස
දෙවන කොටස
තුන්වන කොටස


දිනක් ඔහු හා සම්බන්ධ වී නිධන් මංකොල්ලයේ යෙදුනු පිරිසේ කෙනෙක් මෑතකදී ගොඩ ගන්නා ලද නිධානයක කොටස් බෙදා ගැනීමට එහි එන ලෙස පවසා ඔහුට දුරකථන ඇමතුමක් ලබා දුන්නේලු. කටහඬ සහ දුරකථන අංකය ඔහු දන්නා පුද්ගලයාගේ වුවද මොහු හට යම් සැකයක් ඇති වූ නිසා ඔහු එම ආරාධනාව අනුව අගනුවර බලා නොගොස් සිටියේලු.
පසුව දැනගත් පරිදි එවර ඔහු හට ඇතිවූ සැකය නිසා ඔහු පොලිසියට අසු නොවූ බවත්, එම ඇමතුම ලබාදුන් පුද්ගලයා එය  ලබා දී ඇත්තේ පොලිසියට අසු වූ පසුව බවත් ඔහු මා සමග කිවේය. කෙසේ හෝ මොහුගේ සහයක් නැතිව සිදුකල අවසන් නිධන් මංකොල්ලයකින් අනතුරුව කණ්ඩායමේ සියල්ලෝම පාහේ සිර භාරයට ගත්බවත් පසුව මොහුට ආරංචි වී ඇත. මොහුට සැකයක් මතු වී තිබුනේ ඔහු සහභාගී නොවූ නිධන් හැරීමක් සඳහා කොටස් බෙදා දීමට කතා කල නිසා බවද ඔහු කිවේය.
කෙසේ නමුත් එම කණ්ඩායම තුළ කම්කරුවකු මට්ටමින් වැඩ කටයුතු කල මොහු ගැන පොලිසියෙන් පැන්නීමක් සිදු කර නොමැත. ගමෙන් පිට වී පතල් රස්සාව සඳහා ඔහු යොමුවී ඇත්තේ මින් අනතුරුවය.


තවත් දිනෙක නොදන්නා පුද්ගලයෙකු විසින් විකිණීමට කියා රැගෙන ආ ඉතා කුඩා බුදු පිළිමයක් ගැන හෝඩුවාවක් මා හට ලැබුණි. එය දැක ගැනීමට මා හට අවස්ථාවක් නොලැබුණේ එවකට මා අගනගරයේ රැකියාවක් කරමින් සිටි බැවිනි. ගම ආ විගස එහි ජායාරූපයක් මිතුරකු මාර්ගයෙන් දැකගැනීමට ලැබුනද එය කොහෙන් පැමිණ කොහේ ගියාදැයි සොයා ගැනීමට නොලැබී ගිය ඝනයට අයත් එකක් විය. එම ජායාරූපය ඉතාමත් අපහසුවෙන් කම්පියුටර කුණු කන්දල් ගොඩේ තිබී සෑහෙන පරිශ්‍රමයක් දරා සොයා ගැනීමට හැකි විය. මෙහි පල කරන්නේ ඒ නියම ජායාරූපයයි. එය රැගෙන ආ පුද්ගලයා පවසා ඇති පරිදි එය රත්‍රන් මිශ්‍ර එකකි. නමුත් බැලූ බැල්මට එසේ කිව නොහැකි උවත් එය ඉපැරණි බුදු පිළිම වහන්සේ නමක් බවනම් ඉඳුරාම කිව හැක. තැනින් තැන ඇති රන් පැහැයද දැක ගැනීමටද හැකිය.
මේ තවත් සිද්ධියකි. එය ආරංචි වුයේ මෑතකදී මා ලංකාවට මා නිවාඩු ගිය මොහොතකදීය. මෙය ලංකාවේ ප්‍රසිද්ධ පුවත් පත සියල්ලේම පාහේ ප්‍රධාන පුවතක් බවට පත් වුවක් බැවින් ඔබගේද මතකයේ ඇතුවාට සැකනැත. සොයා ගත් දිහාව පැහැදිලි නැතත් කිලෝ ගණනක් බර රත්‍රන් බුදු පිළිමයක් විකිණීමට ගිය පිරිසක් අත්අඩංගුවට ගත්බව කියවෙන පුවතකි ඒ. එහි ප්‍රධාන උප ප්‍රධාන චරිත කිහිපයක් මා දන්නා අයවල්ලු වීමෙන් මා පුදුමයට පත්විය. කෙසේ හෝ මොවුන්ගේ උත්සාහය වැරදී පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. මුලින් කියවුනේ එය රත්‍රන් බුදු පිළිමයක් බවය. පුවත්පත් වල පවා වර්ණ ජායාරුප මගින් එය ප්‍රදර්ශනය කර තිබු අතර එය රන් පැහැයෙන් දිදුළමින් තිබිණි. දින කිහිපයකට පසුව පුවත්පත් වල සහ උසාවියේදී කියවෙන්නේ අළුත් කතාවකි. එය ව්‍යාජ බුදු පිළිමයක් බවත් ව්‍යාජ පිළිමයක් විකිණීමට තැත් කිරීම එනම් වංචාවක් සිදු කිරීමට තැත් කිරීම යටතේ ඔවුන් දඬුවම් ලැබීමට යන බවත්ය.

නමුත් ඔවුන් විකුණන්නට ගොස් තිබුනේ කොහේ හෝ නිධානයකින් සොරා ගත් නියම රත්‍රන් බුදු පිළිමයක් බව පසුව කල විපරමකදී මා හට දැන ගන්නට ලැබුණි.
එසේනම් ඇත්ත බුදු පිළිමය නීතියේ රැකවල්ලු විසින් කොහේ හෝ සඟවාගෙන ව්‍යාජ බුදු පිළිමයක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරන්නට ඇත. සැකකරුවන් හටද එයට විරුද්ධ වීමට නොහැකි බව පැහැදිළිය. සැකකරුවන් සත්‍යය ප්‍රකාශ කළහොත් ඔවුන්ගේ දඬුවම් කාලය දික් වීමෙන් සහ ගෙවීමට සිදුවන දඩය විශාල වීමෙන් ඔවුන්ද අමාරුවේ වැටෙන නිසා ඔවුන් කට පියාගෙන සිටිනා බව සහතිකය. මෙහිදී සිදු වී ඇත්තේ හොරුන්ගේ හොර බඩු නීතිය විසින් මංකොල්ල කෑමකි.


මා හට මේ තොරතුරු වලින් බහුතරයක් සැපයු  ඉහතකී පුද්ගලයා ගමේ  ඉබාගාතේ ඇවිදිමින් හොර මැරකම් සහ මංකොල්ලකෑම් වැනි සමාජ විරෝධී ක්‍රියා නිසා හිරේ විලංගුවේ වැටෙමින් ජීවිකාව ගෙනයන්නෙකි. නිධන් මංකොල්ලය උදෙසාද ඔහු පසු කලෙක අත්අඩංගුවට ගනු ලැබූ බවක් මට දැනගන්නට ලැබුණි. තම බිරිඳගේ දරු ප්‍රසුතිය සඳහා ඉස්පිරිතාලේ යාමට පැමිණි ඔහු හට වෙනත් පිරිසකගේ දරුණු ප්‍රහාරයකට ලක් වීමට සිදු වූ බව පසු කලෙකදී මම දැනගත්තෙමි. එම ප්‍රහාරයෙන් ඔහුගේ අතක් සහ කකුල් දෙකම කොටස් වලට බිඳී යාමට ලක් වූ බවද දැනගන්නට ලැබුණි. 
මාස ගණනක අවෑමෙන් සුව වූ ඔහු තමාට අපරාධය සිදුකල අයගෙන් පළිගැනීමට ගොස් එය වැරදී හිරේ විලංගුවේ වැටීමටද ලක් වී ඇත. පසුව සිදුකල තවත් මංකොල්ලයක් අසුවී නැවතත් හිරේ විලංගුවේ වැටී සිටඇති ඔහු මෑතකදී නැවතත් නිදහස් වී ගම පැමිණ සිටිනු දැනගන්නට හැකි විය. බොහෝ වර හිරේ විලංගුවේ වැටෙමින් පොලිසියත් උසාවියත් ගෙදරත් අතර දිවිගෙවන මොවුන්ගේ ජිවිත වලට කවදා සතුටක් ලඟා වේද.
නිධන් හාරන්නකුගේ (හා/හෝ සමාජ විරෝධී කටයුතු වල යෙදෙන අයකුගේ) ජිවිතයේ ඇතුළාන්තය ගැන මීටත් වඩා කරුණු ඔබට කීමට අවශ්‍ය නැතැයි සිතමි. නිධන් වලින් ලැබෙන මුදලේ පැවැත්මක් නැති බවත් එය යස ඉසුරින් පිරුණක් නොවන බවත් කීමටයි මා හට උවමනා වුයේ.


පසුගිය නිවාඩු කාලයේදී ලංකාවට පැමිණි මාහට මොහුව පාරේදී හමු විය. සුපුරුදු ලෙසින්ම ඔහු හා කතාබහ කර සැපදුක් විමසා යාමට මම අමතක නොකලෙමි.  ඒ මගේ හැටිය. කෙනෙකුට එය වැරදි ලෙස පෙනෙන්නට පුළුවන් බවද මම දනිමි. 
ඔහු කුඩා කල මාගේ සෙල්ලම් සගයෙකි. අප සමග ගඩාගෙඩි කඩමින්, ගඟේ නෑමට යාමෙන්ද, නොයෙකුත් සෙල්ලම් කරමින්ද බොහෝ සමීපව කාලය ගතකල කුඩා කොල්ලෙකි.  මගේ හිතේ සිටිනා කුඩා සෙල්ලම් සගයා මරා දැමීමට මා හට නොහැකිය. එබැවින් දුටු තැනකදී වචනයක් දෙකක් ඔහු හා දෙඩීමට මම මැලි නොවෙමි.

කාලයත් සමග ඔහු සමාජ විරෝධී කටයුතු වල යෙදෙන්නෙක් බවට පත්වී ඇත. ඔහු කල වැරදි සඳහා නීතියෙන් සහ ස්වභාවධර්මයෙන් නිසි දඬුවම් ඔහුට ලැබී ඇත. එහෙයින් ඔහු හට තවත් දඬුවම් ලබාදීමට මා හට අයිතියක් නැති බව ඔබට වැටහෙනු ඇත.


නිධන් කතා පෙළ මින් අවසන් වනු ඇත. මා සමග රැඳී සිටි ඔබ සැමට තුති.....!!

Friday, 3 February 2012

තුන්වන නිධන් කොල්ලයෙන් පසුව ජිවත් වීමේ වාසනාව ලදිමි

ඉන් පසුව මොවුන්ගේ අවධානයට ලක් වී තිබුනේ මහ වනයේ ඇතුලක තිබු ඉපැරණි දාගැබකි. එය පාදම දක්වාම ගරා වැටී තිබු එකක් බව කීවද එය මුසාවක් වීමටද පුළුවන. එවැනි දේ නිසා මා ඔහුට බැනවැදුණු අවස්ථා ඇති නිසා ඔහු කරුණු වෙනස්කර කීවා වන්නටද හැක. වනයක් මැද ඇතැයි පැවසුණු එය මිනිස් ඇසෙන් බොහෝ දුරක තිබු එකක් බව පැවසු කතාව ඇත්තක් වන්නට ඇත. මිනිස් ඇසට කිට්ටුවෙන් ඇති තැනක එවැන්නක් කිරීම තරමක් අපහසුය. එහි මැද වූ හතරැස් හැඩයේ ලිඳක් වැනි කොටසේ පතුලේ නිධානය ඇති බවක් වදුලේ ලියවී තිබුණේලු. මේ ලිඳ වැනි කොටස මනාව ඇතිරූ ගඩොල් සහ එකල භාවිතා කල සිමෙන්තියක් වැනි වූ මැටි මිශ්‍රණයෙන් මනාව පුරවා වසා තිබී ඇත. මෙවැනි නිධානයක් ගොඩ ගැනීම පහසු දෙයකැයි සිතු පිරිස බොහෝ සතුටින් වැඩට බැස ඇත. එයට හේතුව ගල් කැඩීමට බෝර දැමිය යුතු නොවීමය. නමුත් සති ගණනක් තිස්සේ ගඩොල් සහ බදාම මිශ්‍රණය ඉවත් කරමින් අඩි 30 ක් පමණ යටට හෑරුවත් අවසානයක් දැකිය නොහැකි වූ නිසා එය අත්හැර දැමු බව ඔහු පැවසීය.
නිධන් හොරු විසින් විනාශ කරනු ලැබූ මහ වනයක් මැද පිහිටි දාගැබක් නැවත ගොඩනැගෙමින් පවතින අතරතුර....
නැවත ගොඩනැගීමේ  කටයුත්ත වෙනුවෙන් තම කාලය හා ශ්‍රමය  වැයකර තිබුනේ මාගේ හොඳම මිතුරෙකි.
වියදම ලැබී තිබුණේ රජයේ යම් ව්‍යාපෘතියකින් ඉතුරු වූ මුදල්ය.
ඒ සඳහා වෙහෙසවූ මා මිතුර ඔබට සහ ඔ‍බගේ කණ්ඩායමට මාගේ ප්‍රණාමය
දාගැබක් තුළ තිබූ නිධන් ගලක්
නමුත් මෙවැනි ස්ථාන වල ඇත්තේ නිධන් වස්තු නමින් හඳුන්වනු ලබන ධාතුන් වහන්සේලා වැනි දෑ
මිසක් රන් මුතු මැණික් නොවන බව බොහෝ දෙනෙක් නොදනී.
වරක් මොවුනට මුහුණ දීමට සිදු වූ සිද්ධියක් නිසා යම් වැදගත් තොරතුරක් මා හට දැනගන්නට ලැබුණි. එනම් මැණික් නිධාන සම්බන්ධවයි. මොවුනගේ කණ්ඩායමට වරක් කොහේදෝ තිබු නිධානයකින් මැණික් පිරවූ මුට්ටියක් ලැබී ඇත. නමුත් එහි තිබු මැණික් සියල්ල අජීවී වී එනම් මැරී තිබී ඇත. එයට හේතුව ලෙස මේ කරුණ මා හට දැනගන්නට ලැබිණි.

පෙර කල නිධන්ගත කරන සියලුම මැණික් නිධාන වලට ජලය සැපයෙන මගක් සකසා තිබෙන බව ඔහු කිවේය. එම ජල සැපයුම නතර වී බොහෝ කලක් ගියහොත් මැණික් මැරෙන බවද ඔහු පැවසීය. එය ඇත්තක් හෝ බොරුවක් හෝ වියහැකි වුවද මැණික් සහිත නිධානයන් ජල සැපයුම් සහිත ස්ථාන වල පිහිටා ඇති බවනම් ඇත්තකි.
නිධන් හාරන්නන් කැමතිම නිධන් වර්ගය ලෙස ඔවුන් නම් කරන්නේ මැණික් සහිත නිධානය. එයට හේතුව ඒවා කිසි කරදරයකින් තොරව මේ දැන් පොළවෙන් ලැබුනා සේ විකුණා ගැනීමට ඇති හැකියාවයි.


මැණික් සහිත එවැනි නිධානයක් ඇති තැනක් සම්බන්ධ හෝඩුවාවක් බොහෝ මෑතකදී මා හට දැනගන්නට ලැබුණි. ජලපහරක ඇතැයි කියවෙන එම නිධානය මා අසා ඇති විශේෂිතම නිධානයකි. ඉදිබුවෙකුගේ හැඩයට කොටා ඇතැයි කියවෙන ගලක් තුළ මැණික් පුරවා ඇති බව කියවේ. එම ස්ථානය සහ කියූ සලකුණු සත්‍යය බව මා හට පසුව තහවරු කර ගැනීමට හැකියාව ලැබුණි. අතේ කැමරාවක් නොතිබූ නිසාත් අධික ලෙස වැඩකටයුතු බහුල වූ නිසාත් ගියවර නිවාඩුවේදී එය බැලීමට යන ගමන කල් දැමීමට මා හට සිදු විය. මා නැවත ලංකාවට යනතෙක් එය සුරකී තිබුණහොත් එම ස්ථානය නරඹා ජායාරුප කිහිපයක් මතු කාලයේදී පළකිරීමට කටයුතු කරන්නෙමි. එය පිහිටි ස්ථානය වැනි අනවශ්‍ය කරුණු මගෙන් නොඅසනවානම් මැනවි.

එලෙසින්ම ඔවුන් රත්‍රන් බුදු පිළිම වැනි දෑ ලැබෙනවාට ඒ තරම් මනාපයක් නොදක්වයි. එයට හේතුව ඒවා එලෙසම විකුණා ගැනීමට ඇති අපහසුවත් උණුකර(මකවා) රත්‍රන් කුට්ටි ලෙස විකිණීමෙන් ඇති වියහැකි අනිසි ප්‍රථිපල වලට ඇති බියත් නිසාය. නමුත් එලෙස සිදු කරන උදවියද ඉන්නා බව සැබෑය. කෙසේ හෝ නිධන් ගැනීමෙන් පසුව වාසනාව නොව අවාසනාව ලඟා කරගත් මිනිසුන් බොහෝ ඇත්තේය.


දිනක් මා මිතුරකු අප නිවසට පැමිණියේ මළදුගල කන්ද තරණය කිරීමටත් කුරුල්ලන් සහ වටපිටාව ජායාරූප ගැනීමටත් සිතාගෙනය. දිනය 2007 ජනවාරු 14 වැනිදායි. ගමන ආරම්භයේ පටන්ම නොයෙක් කුරුළු, සමනල වර්ග දැකබලාගත් අප තිදෙන (මම, මිතුරා සහ අක්කාගේ පුතා) මුලින්ම කන්දේ පන්සල නැරඹීමට ගියෙමු. සෑම වසරකම කන්ද මුදුනේ පිරිතක් කියන සිරිතක් ගමේ පැවතෙන්නේය. නමුත් මෑතකදී පිරිත කඳු මුදුනේ කීම අපහසු නිසා පන්සල පිහිටි මට්ටමේ තරමක් දුරින් ඒ සඳහා වෙනම ස්ථිර පිරිත් මඩුවක් තනා ඇත.
කන්දේ පැත්තක පිහිටි ස්ථිර පිරිත් මඩුව
එම ස්ථානයද නැරඹු අපගේ ඊළඟ අරමුණ වුයේ කඳු මුදුනය. කන්දට කිහිප වරක් ගොස් ඇති මා හට කන්දේ සියලුම ස්ථාන හොඳින් මතකයේ තිබීම නිසා සහ හොඳින් එම පෙදෙස දන්නා නිසා බිය වන්නට කිසිම හේතුවක් නැත. සුපුරුදු පරිදි කඳු මුදුනටත් අප බොහෝ ප්‍රිය කරන උමග සහිත ගල්ගුහාව ඇති ස්ථානය දක්වාත් ගමන් ඇරඹුවෙමු. මෙහි පිවිසෙන සෑම විටම පාහේ හොඳින් එලිය ඇති විදුලි පන්දමක් රැගෙන යාම මාගේ සිරිත වේ. කැලෑවක හෝ වෙනත් ගමනක් වේවා කුමන හෝ ගමනක් යද්දී අධිබල විදුලි පන්දමක් රැගෙන යාමේ මාගේ පුරුද්ද අදටත් එසේමය.
කෙසේ හෝ දාඩිය මුගුරු පෙරාගෙන ගල් ගුහාව අසලට පිවිසි අපහට ගල් දෙබොක්කාව හරහා එන සිසිල සුළං රැල්ල මහත් සහනයක් විය. මද වෙලාවක් එහි ගිමන් හල පසු ගල් ගුහාවට බැසීමට සුදානම් වුනෙමු. එහි ඇත්තේ දැඩි අඳුරකි. වෙනදා පුරුද්දට ගලෙන් පහලට රූටා බැසීමට සුදානමින් පහලට කකුල් දෙක දමා විදුලි පන්දම දැල්වීමි.
වෙනදා උඩ ඇති ගලෙන් අඩි හතරක් පමණ පහලින් ඇති පොළව එදා තිබුනේ නැත. පොළව ඇත්තේ එතැන සිට අඩි විස්සක් විසි පහක් පමණ පහලිනි. වෙනදා පුරුද්දට පහළට පැන්නේනම් මගේ කකුල් දෙකෙන් ආපසු ඇවිදීමට ලැබේදැයි පවා සිතීමට නොහැක.
මෙම ජායාරුපයෙන් එහි හාරා ඇති විශාල වල යන්තමින් දැකගත හැකිවනු ඇත.
මෙය ගනු ලැබුවේ ගල් ගුහාව වෙත වෙනත් පසකින් පිවිසීමෙන් පසුවය.
පසුව වෙනත් මගක් ඔස්සේ ගියද අප හට වෙනදා මෙන් ගල් ගුහාවේ උමග ආසන්නයට යා නොහැකි විය. ඒ පැත්තටද සිදු වී තිබුනේ එයමය.
වෙනදා එතරම් අවහිර වලින් තොර මාර්ගය අද වෙද්දී ගල් ගුහාවේ පොළවෙන් ගොඩගෙන විසිකරනු ලැබූ විශාල ගල්වලින් අවහිර වී ඇති අයුරු. නිධන් කොල්ලයට පෙර මෙම විශාල ගල් වලින් බිත්ති සේ බැඳ ගුහාවේ කොටස් ආවරණය කර තිබුණි.
නිධන් හෑරීම් සිදු වූ බව දැනගෙන තිබුනද ඉන්පසුව මා මෙහි පැමිණියේ මුල් වතාවටය. මෙම සිද්ධිය දුටු පසු සහ ඇතිවූ තිගැස්ම නිසා එතන වැඩි වෙලාවක් රැඳී සිටීමට සිතක් අප හට තිබුණේ නැත. මාව වලට වැටුනේනම් සිදුවන දෑ හිතා ගැනීමටත් නොහැක. මා හොඳින් එළිය ඇති විදුලි පන්දමක් ගෙන ආවේ සහ පහළට බැසීමට පෙර එය දල්වා බැලුවේ වාසනාවටමය.
කන්දේ අනිත් පස බැලීමද පසෙක තබා අප තිදෙනා පල්ලම් බැසීමට තීරණය කළෙමු.


සති කීපයක අවෑමෙන් මා හට ගමේ මිතුරා දැක ගැනීමට අවස්ථාවක් ලැබුනේ අහම්බයකින් මෙනි. මේ වනවිට ඔහු ගමෙන් පිට පතලක රැකියාව කරමින් සිට ඇති අතර අහම්බයකින් මෙන් ගම ආ මොහොතක මා හට මුණගැසිනි.
අප මලදුගල කන්ද නැග්ග බවත් නිධන් ගොඩගෙන ඉතුරු වූ වලේ නොවැටී ජිවිතේ බේරාගත්තේ නුලෙන් බවත් ඔහුට පවසා හොඳට දෙහි කැපුවෙමි. වලේ ගැඹුර අඩි 20 ක් පමණ වූ බව මම කියූ විට ඔහුගේ මුහුණින් අමුතු හැඟීමක් දැක ගන්නට හැකි විය.


"එහෙනම් මට ආරංචි වෙච්ච දේ හරි" යයි පැවසු ඔහු තවත් කතාවක් මගේ කණේ තැබුවේය. ඔවුන් නිධන් හෑරූ අවස්ථාවේ එතරම් ගැඹුරකට හෑරුවේ නැති බවත් ඔවුනට පසුව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් එම ස්ථානයේම නැවතත් නිධන් හෑරූ බවක් ඔවුනට ආරංචි වූ බවද ඔහු කියා සිටියේය. එසේනම් ඔවුන් විසින් එතරම් ගැඹුරට වල හාරා ඇති බවක් ඔහු අනුමාන කළේය. 
එය ඇත්තක් බව මම නැවත වෙනත් මාර්ග වලින්ද තහවරු කරගත් අතර ඔවුන් විසින් ගොඩ ගත්තේ කුමන අන්දමේ දේවල් දැයි දැනගැනීමට මා උනන්දු වුයේ නැත. උවමනාවක් තිබුණිනම් ඒ ගැන සොයා ගැනීමට බැරි කමක්ද නොතිබුණි.
කෙසේනමුත් එකම ස්ථානයකින් නිධන් දෙකක්ම ගොඩගෙන ඇති බව පමණක් සක්සුදක් සේ පැහැදිළිය.


තවත් කොටසක් ළඟදීම....

Monday, 30 January 2012

මළදුගල කන්දේ දෙවන නිධානයත් ගොඩ ගනියි...

මේ කියන්නේ යන්නේ තවත් නිධන් කතාවක්,
මේ සාමාන්‍ය පෙළ ප්‍රථිපල බලාපොරොත්තුව සිටි අවධියයි. අප නිවසට පැමිණි තවත් මිතුරන් දෙදෙනෙකු සමග මළදුගල කන්දට නැගීම මාගේ අභිප්‍රාය විය. මළදුගල කන්දට නගින දෙවන අවස්ථාවයි මේ. එහි ගිය අපහට ගල් ගුහාවේ එක් විවරයක් අසල ගසක දරණ ගැසී සිටි පළා පොළඟකු දැක ගන්නට ලැබුණි. පහළට බැසීමටනම් එම ගසේ එල්ලී යා යුතු විය. එනිසා එමගින් ඇතුළු නොවී සුපුරුදු ස්ථානයෙන් ඇතුලට පිවිසීම සඳහා අනෙක් පසින් යාමට අප තීරණය කලෙමු.
පළා පොළඟා විෂ සහිත සර්පයෙකු බව එදවස අපගේ මතය විය. නමුත් පසුව දැන ඉගෙන ගත් පරිදි පළාපොළඟා යනු මදවිෂ සහිත සර්පයෙකු බව දැනගන්නට ලැබුණි. එමෙන්ම ඌගේ සපා කෑමෙන් කිසිදු මරණයක් අප රටෙන් වාර්තා වී නොමැත. පසු කලෙකදී උන් අල්ලා අතට ගැනීමට පවා මා බිය නොවුනෙමි.
එදින ආපසු ගමනේදී මල්සරා නමින් හැඳින්වෙන අලංකාර සර්පයකු දැකගනිමටද වාසනාව අප හට ලැබිණි.
මා පෙර කී පරිදිම මෙහි ඇති ගල් ගුහාවේ විශේෂයනම් ගුහාවට නිකම්ම ඇතුළු වීමට නොහැකි අතර වලකට බසිනවාක් මෙන් බැස යා යුතු වීමය.


ගුහාවට බැසීම සඳහා අනෙත් පසට එනම් බැලුම්ගල අසළට ගිය අප හට අමුතු දසුනක් දැක ගැනීමට ලැබුණි. එනම් කිසිවක් පිරවූ මල්ලක් සහ ලෑලි පටි ගැටගසා සාදන ලද කුඩා බංකුවකුත්ය. දුම් වැදී කළුවී ගිය පරණ දුම් කබලක්ද ඒ අසල තනි රකිමින් සිටියේය. සිතට එකවරම ඇතිවූ චකිතය නිසා හොඳින් වටපිට සෝදිසි කර බැලු අතර කිසිවෙකු ඉන්නා බවක් නොපෙනීම මහත් සහනයක් විය. එකෙකු ඔත්තු බලන අතරේ මමත් එක් මිතුරෙකුත් ගොස් මල්ල ලිහා බැලුවෙමු. පොල් තෙල්, හඳුන් කූරු, කපුරු සහ තවත් නොයෙකුත් දෑ මල්ල තුල විය. පළමු කොටසේදී කන්දේ පිහිටීම පැහැදිලි කළා ඔබට මතක ඇතැයි සිතමි. අප ඉන්නා තැන සිට පහළ බැලු විට ඇත්තේ පුංචි ලෝකාන්තයක් බඳු වූ පාතාලයයි.


මල්ල සහ බඩුමුට්ටු ටික පාතාලය කරා ගමන් කරනා අයුරු ඊළඟ මොහොතේ දිස් වන්නට විය. මේ සිද්ධිය නිසා හිත තරමක් ගැස්සුනද වටපිට කවුරුන් හෝ දැකීමට නැති නිසාත් කිසි සද්දයක් බද්දයක් අසුනේ නැති නිසාත් චකිතය තරමක් තුනී වන්නට විය. මල්ල විසිකර දැමීමේ අරමුණ වුයේ නිධන් හොරුන්ට බාධා කිරීම වුවත් නැවතත් පැමිණ ඔවුනගේ කාරිය කරගෙන යාමට එයින් මහලොකු බාධාවක් නැති බව අප නොදැන සිටියා නොවේ. පොලීසියට දැන්වීමට සිත්වූයේ නැත්තේ මන්දැයි කීමට මතකයක් නැතත් දැන්වීමෙන් පළක් වේදෝ යන්න සැක සහිතය.
මෙම අවධිය වන විට රුපවාහිනී කුළුනේ මුවාවෙන් ගත් නිධානයද ගොඩ ගෙන නොතිබුණි. ස්ථීරවම එසේ කීමට හැක්කේ ඒ වන විටත් කුළුනේ වැඩකටයුතු සෙමින් සෙමින් සිදු වෙමින් පැවතුනු නිසාය. කුළුනේ වැඩ සඳහා සිමෙන්ට් උරයක් කන්දට ගෙනගොස් දෙනවාට සිමෙන්ට් උරයේ මිළට වඩා වැඩි මිළක් ගෙවූ බව මිනිසුන් කතා වෙනවා මට මතකය. ගමේ සිටි සවි ශක්තිය ඇති මිනිසුන් කිහිප දෙනෙක් ඒ සඳහා සහය වූ බවද දකින්නට ලැබුණි. මෙසේ කඩින් කඩ හෝ කුළුනේ ඉදිකිරීම් කටයුතු සිදුවන අතරවාරයේදී කවුරුන් හෝ මෙම ස්ථානයේ ඇති නිධානයටද බැල්ම දාගෙන සිට ඇත. ඒ එකම පිරිසක් වන්නට ඇති හැකියාව බොහෝ ඉහළය.


කුළුනේ වැඩ කටයුතු අතරමග නතර කර දැමුවේ 2000 මුල් අවධියේදීය. ඒ වනවිට කුළුන ආසන්නයේ නිධානය ගොඩ ගෙන අහවර වන්නට ඇතැයි සිතිය හැකිය. ලොකු හාමුදුරුවන් අපවත් වූ වර්ෂය මාගේ මතකයේ නැතත් එම නිධානය ගොඩ ගන්නට ඇත්තේ උන් වහන්සේ ජිවිතයේ අවසාන භාගය හෝ ජිවිතයෙන් සමුගත් මුල් අවධියේදී හෝ වන්නට ඇත.


මේ මම උසස් අධ්‍යාපනය ලබන අවධියයි. ආසන්න වශයෙන් වසර 2003 හෝ 2004 දී පමණ වන්නට ඇත. ලොකු හාමුදුරුවෝ අපවත් වී තරමක කාලයකි.
කුඩා අවධියේ මගේ සෙල්ලම් සගයෙකු වූ මට වඩා වසර තුනක් බාල ගමේ කොල්ලෙකු නිධන් හාරන්නන් පිරිසක් හා සම්බන්ධ වී කටයුතු කරමින් සිට ඇත. (ගමේ සිදුවූ සුළු සුළු හොරකම් සම්බන්ධයෙන්ද සැකය ඔහුවෙත යොමු වූ බවක් මා අසා තිබුණි) රටේ සෑම දෙසින්ම වාගේ එක් වූ පිරිසක් නිධන් මංකොල්ලය සඳහා දායක වී සිටි බව ඔහු කීවේය. රාජගිරියේ පන්සලක හිමිනමක් යැයි කියනා පුද්ගලයෙකුද මේ අතර සිට ඇත. නිධානය ගැනීමේදී කට්ටඩියෙකු වශයෙන් සිදු කරනා කටයුතු කර ඇත්තේ ඔහු විසිනි. සම්පුර්ණ පිරිස 10 දෙනෙක් පමණ වූ බව ඔහු පැවසීය. 


මෙම පිරිස ටික දිනකට පෙර මළදුගල කන්දේ උමං මගේ ඇති නිධානයක් ගැනීමට ගිය බවත් එය සාර්ථක වූ බවත් ඔහු මා හට පැවසීය. මෙයින් මාගේ කුතුහලය ඇවිස්සුනි. එනම් කුළුනේ මුවාවෙන් නිධානයක් ගත්බව කියවෙන කතාව බොරුවක්ද. ඔහුගේ පැහැදිළි කිරීමෙන් පසුව මොවුන් ගොඩගෙන ඇත්තේ ගල්ගුහාව තුළ තිබු වෙනම නිධානයක් බව දැනගන්නට ලැබුණි. කුළුණ ආසන්නයේ තිබු නිධානය පිහිටි ගලක් හාරා නිධන් කල එකක් බව කියවේ. නමුත් මොවුන් ගොඩගෙන ඇති නිධානය තිබී ඇත්තේ අපි හැමදාම වාගේ ගොස් නරඹන ගල්ගුහාව තුළය. එහි පොළව මැටි සහිත පසක් වූ අතර එතරම් මහන්සියකින් තොරව හැරීමට හැකි ස්ථානයකි. කෙසේ නමුත් හාමුදුරුවන් විසින් විශාල ගල් දම්මවා බඳින ලද බාධකය නිසා නිධානය ගොඩ ගැනීම පහසු වී නොමැත.


ඔවුනට මෙයින් ලැබී තිබුනේ ග්රෑම් 250 ක පමණ බරකින් යුතු වූ රන් පළඟානක් සහ හතරැස් සෙල් ඵලකයක ලියවුනු සෙල් ලිපියකි. එය ප්‍රමාණයෙන් අඩි එකහමාරක් පමණ දිගැති අඩි භාගයක් පමණ පළලැති අඟල් 3 ක් හෝ 4 ක් පමණ ඝනකම ගල් පුවරුවක් බව ඔහු පැවසීය.
මෙම සිද්ධියෙන් පසු ඇතිවූ සංක්‍රාන්තික සමයකදී ඔහු යම් කලක් ගමට වී කල්ගත කළේය. එහිදී මා මුණගැසුණු මොහොතක මේ කතාව මට දැනගන්නට ලැබිණි.


රන් තැටිය විකුණා මුදල් බෙදා ගත් බවත් සෙල් ලිපිය සහිත  ඵලකය රාජගිරියේ විසු හාමුදුරුවන් රැගෙන ගිය බවත් මට දැනගන්නට ලැබිණි.
ග්රෑම් 250 ක පමණ රන් තැටිය විකිණීමෙන් ඔහුට ලැබී තිබුන කොටස රුපියල් 20,000/- ක පමණ මුදලකි. එයින් එම කණ්ඩායම තුළ ඔහුගේ මට්ටම උපකල්පනය කරගත හැකිවනු ඇත.

රන් තැටියෙන් හෝ නිධන් වලින් මට වැඩක් නැත. නමුත් කුමක් හෝ වැදගත් ලියවිල්ලක් වන්නට ඇතැයි සැලකිය හැකි සෙල් ඵලකය සොයා ගැනීමට හෝ අඩුම වශයෙන් එහි ජායාරූපයක් හෝ ලබා ගැනීම මගේ අරමුණ විය. පිහිටි ගලේ කොටා ඇති සෙල්ලිපි ගැන දැන උන්නද මෙවැනි සෙල් ඵලකයක කෙටු සෙල් ලිපි දුලබ දෙයකි. මෙවැන්නක් ගැන මා මීට පෙර අසා තිබුනේද නැත. කෙසේ නමුත් මෙය වැදගත් ලියවිල්ලක් බවනම් සහතිකය. මාස කීපයක් වෙහෙසුනද මාගේ උත්සාහය සාර්ථක වුයේ නැත. කණ්ඩායමේ බිම් මට්ටමේ සාමාජිකයෙක් වූ ඔහුටද මා හට උදව් කල හැකි මට්ටම සීමාසහිත විය. කෙසේ හෝ විදියබණ්ඩාර යුගයේ තවත් වැදගත් කරුණක් එසේ කොහේ හෝ නොදන්නා තැනක සැඟව ගියේය. මේ ගැන මම තව දුරටත් සොයා බලන්නට සිතා ගත්තද කාලය සහ ඉගෙනීම  නිසා අවස්ථාවක් ලැබුනේ නැත. ඉන් පසුව පළමු රැකියාවට හිර වීමෙන් පසුව ඒ වෙනුවෙන් වෙහෙසීමට පවා සිතීමටවත් කාලයක් තිබුනේ නැත. නමුත් තවමත් මම උත්සාහය අතහැර නැත්තෙමි.

පසු කලෙක  මෙම කණ්ඩායම රජරට ප්‍රදේශයේ මහ කැලෑවක ගල් කුළක් බිඳ අඩි තුනක් පමණ දිග වටිනා රන් කඩුවක් සහ මැණික් සහිත නිධානයක් ගොඩගත් බවත් කඩුව විකිනීමට නොහැකි නිසා එහි තුඩින් කොටසක් කපා විකිණු බවද මට දැනගන්නට ලැබුණි. එය ඇසු විට මා හට දැඩි කණගාටුවක් ඇති විය. හිතට ඇති වූ කෝපය නිසා මා ඔහුට බැන වැදුනද එයින් ඇතිවන සෙතක් නැත. අප මේ වනසන්නේ අපගේ පැරණි ශ්‍රී විභූතිය නොවේද.
තවත් නිධානයක් සම්බන්ධ අපුරු කතාවක් ඔහු මා හා පැවසීය. එය තිබී ඇත්තේ රජරට පෙදෙසේය. මෙයට සම්බන්ධ වී ඇති කපුවා වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙකි.  ඔහු සතුව හසල යන්ත්‍ර මන්ත්‍ර දැනුමක් තිබී ඇත. එමගින් වශී කරගත් අවුරුදු 20 ක පමණ යුවතියක් ඔහු හා මෙම දුෂ්කර පෙදෙසේ කටුමැටි ගැසූ නිවසේ ඔහු හා පදිංචිව සිට ඇත. නිධන් හැරීමට ගිය පිරිසද නතර වී ඇත්තේ ඒ නිවසේමය. ගෙය පිහිටි ඉඩමේ සිට තරමක් ඈතින් වූ ස්ථානයක නිධානය ඇති බවට වදුලකින් බලා සහතික කරගෙන ඇති කපුවා ඇතුළු පිරිස නිධානය හැරීමේ කටයුතු දිවා රෑ නොබලා සිදු කරගෙන ගොස් ඇත. පස් හැරීමෙන් සහ ඇදීමෙන් මහන්සි වන මොහු සහ තවත් අයෙකු වරින් වර විඩානිවා ගැනීමට හෝ වතුර ගෙන යාමට කියා අර නිවස කරා පැමිණ ඇති අතර ඔවුන්ගේ විඩා නිවා දීමට අර තරුණියද පැකිලී නොමැත.
අවසානයේ පිරිස අතර ඇති වූ හිත් නොහොඳ සහ අඩි 20 ක් පමණ යටට හැරීමෙන් පසුව මතු වූ ගල් දොරක් කැඩීමට මගක් නොවූ නිසාද එම නිධානය අත්හැර දැමීමට සිදු වූ බව ඔහු පැවසීය. ආසන්නයේ ගම්මාන ඇති නිසා බෝර දැමීමටද මගක්ද තිබී නැත.
එයට එකම විසඳුම ගල් දිය කර දමනා බෙහෙතක් හෝ ලේසර් කැපුම් යන්ත්‍රයක් බව ඔහු කිවේය. නමුත් ඔවුනට එවැනි දේ සොයා ගත නොහැකි වීලු. එවැනි යන්ත්‍ර සුත්‍ර හෝ තාක්ෂනයන් මේ සඳහා යෙදවෙන බව නිකමට හෝ සිතිය හැකිද. එලෙස තමන්ටම කියා එවැනි ලේසර් කැපුම් යන්ත්‍ර තබාගෙන නිධන් හැරීමේ යෙදී සිටින පුද්ගලයින් ලංකාවේ සිටින බවද ඔහු කීවේය. එයින්ම මේ ජාවාරමේ තරම ඔබට සිතා ගත හැකිය.


ඔත්තු සපයන්නා තවමත් නිදල්ලේය. තවත් නිධන් කතා සමගින් යළිත් ඔබ සොයා එන්නෙමි.

Thursday, 26 January 2012

වීදියබණ්ඩාර කුමාරයා සහ මළදුගල කන්දේ නිධන් කතා -01

විදියබණ්ඩාර කුමාරයා ගැන අපේ රටේ ජීවත්වෙන බොහෝ දෙනෙක් අහල ඇති. එතුමා බොහොම දක්ෂ රණවිරුවෙක් බව තමයි කියවෙන්නේ. වගේම කෝට්ටේ රාජධානියේ හිටපු සේනාධිනායකයෙක්. මට මතක විදිහට පෘතුග්‍රීසින් යටතේ පඹයෙක් ලෙස ඔටුණු පළඳින ධර්මපාල කුමාරයා කියන්නේ ඔහුගේත් සමුද්‍රා දේවියගේත් වැඩිමහල් පුත් කුමාරයා. සමුද්‍රා දේවිය කියන්නේ හත් වැනි බුවනෙකබාහු රජුගේ දියණි කෙනෙක්. ඇය ඉතාම රූපශ්‍රීයෙන් යුතු වූ කාන්තාවක් බවයි පැවසෙන්නේ.
ධර්මපාල කුමාරයාගේ රාජාභිෂේකයට මොහු විරුද්ධ වීමත් සමග රාජද්‍රෝහියෙකු වශයෙන් පෘතුග්‍රීසීන් අතින් සැළකුම් ලබනවා. එනිසා මොහු කෝට්ටෙන් පලා ගොස් බොහොම අප්‍රසිද්ධියේ පස් දුන් කෝරලයේ පැලැන් නුවර සැඟවී ගන්නවා. එසේ සැඟවීගෙන සේනා සංවිධානය කරගෙන ගොස් පෘතුග්‍රීසීන් හා සටන් වදිනවා. යුධ වැදීම  සඳහා මොහු ඉතා විශාල ප්‍රමාණයේ දිගු කඩුවක් භාවිතා කල බවද සඳහන් වෙනවා. එමෙන්ම මොහු හා මුහුණට මුහුණ සටන් කොට කිසිවෙකුට ජය නොගත හැකි රණවිරුවෙක් ලෙසින්ද මොහු හැඳින්වෙනවා.

අවසානයේ පැවති යුද්ධයකදී මෙම අභීත රණවිරුවා සතුරන්ට කොටු වී ඇති අතර විශාල සියඹලා ගසකට පිටුපා ඉදිරියෙන් පැමිණෙන සියළුම සතුරන් මරුමුවට පත් කිරීමට තරම් මොහු දක්ෂයෙකු වීලු.

මොහු යටත් කර ගැනීම ඉතා අපහසු බව දැනගත් සතුරු සේනාවෙන් දෙදෙනෙක් සියඹලා ගසට පිටුපසින් ගොඩ වී විදියබණ්ඩාර විරුවා සිටින දෙසට ඉහළින් පැමිණ ඔහුගේ හිසට කඩුවෙන් කොටා ඔහු මරුමුවට පත් කරපු බවක් තමයි මම අහල තියෙන්නේ.

මම මේ ෆොටෝ එක ගත්තේ විකියෙන්  මේක දාල තිබ්බේ කැප්පෙට්ටිපොළ මහදිසාවේගේ පින්තුරයක් විදිහට
වීදියබණ්ඩාර කුමාරයා කියන්නේ මම කැමතිම හෙළ රණවිරුවෙක්.  මට ඇත්තටම ඕනේ උනේ එතුමා ගැන සඳහනක් කරන්නම විතරක් නෙමෙයි. ඔහු වටා ගෙතී ඇති කතා සහ ස්ථාන නාම සම්බන්ධව කතා කරන්නයි මගේ මේ වෑයම.

වරක් මෙතුමා යුද්ධයකට යාමට පෙර තම දියණිය ඇතුළු පිරිවර කඳු මුදුනක සුරක්ෂිතව රැඳී සිටින මෙන් පවසා යුද්ධයට පිටත් වී ගොස් ඇත. යුද්ධය දිනුවොත් රතු කොඩියක් ඔසවා ජය ප්‍රකාශ කරන බවටද, පරාජය සුදු කොඩියකින් ප්‍රකාශ කරන බවට කලින් දැනුම් දීමක් සිදු වී ඇත. කෙසේ හෝ යුද්ධය ජය ගැනීමට මොහු සමත් වූවත්  සංඥාකරු අත්වැරැද්දකින් සුදු කොඩියක් ඔසවා වැරදි සංඥාවක් දී තිබුණේලු. වැරැද්ද නිවැරදි කරගන්නා විට බොහෝ පමා වී තැබුණි. ඒ වන විටත් දියණිය ගල් ප්‍රපාතයෙන් පහළට පැන දිවි තොරකරගෙන තිබු බවක් කියවේ. එදා පටන් මේ කන්ද හැඳින්වුයේ "දූ මළ ගල" යන නමින්ලු. කාලයත් සමග භාවිතයේ පහසුවට වෙනස් වූ එය දැන් හැඳින්වෙන්නේ "මළදුගල" නමිනි. කෙසේ නමුත් දෙයාකාරයෙන්ම දෙන අර්ථය එකමය.

මළදුගල කන්ද කියල නම වැටිලා තියෙන කන්ද කිලෝමීටරයක හමාරක පමණ දිගකින් යුක්තව තනි කන්දක් ලෙසින් විහිදී ඇති කන්දක්. කන්දේ  උස සම්බන්ධව පැහැදිළි අදහසක් මට නැතත් ගුගුල් මැප් ආධාරයෙන් බැලුවහම අඩි 810 ක පමණ උපරිම උස ඇති ස්ථානයක් දැක ගන්න පුළුවන්. බැලූ බැල්මට එය ප්‍රදේශයේ පිහිටි උසම කන්දක් කියලනම් කියන්න පුළුවන්. මේ කන්ද අධික බෑවුම් සහිත වන අතර එක පැත්තක පුංචි ලෝකන්තයක් මෙන් තනි කෙලින් වූ බෑවුමක් පහළින් වූ තැනිතලා භුමිය දක්වාම විහිදිලා තියෙනවා. මේ කැලය රක්ෂිතයක් වශයෙන් නම් කරලද කියල මම හරියටම දන්නේ නැහැ, නමුත් කන්ද ආශ්‍රිත වනය මිනිස් ක්‍රියාකාරකම් වලින් තරමක් බැහැරව තරමක් සන්සුන්ව තියෙනවා දකින්න පුළුවන්. ඒකට හේතුව අධික බෑවුමත් කන්දේ මායිම් රජයේ වතු යායකට මායිම් වී ඇති නිසාත් වෙන්න ඕනේ. කඳු මායිම පුද්ගලික ඉඩම් වලට ආසන්නව තිබුනානම් මිනිස්සුන්ගේ ඇවිදින වැටවල් නිසා කන්දේ වපසරිය දවස ගානෙම අඩුවෙන්න ඉඩ තිබුනා. අපි පුංචි කාලේ ආණ්ඩුවේ වතු යායෙන් කැලේට ගිහිං තිබ්බ ඉඩම් කොටසක් කියලා හඳුන්වලා මේ කැලයෙන් ලොකු බිම් ප්‍රමාණයක් එළි පෙහෙළි කරලා රබර් වගාවක් දැම්මා. ඒ කාලෙදිම මිනිස්සුත් පදිංචි වෙන්න පුළුවන් මට්ටමේ ඉඩකඩම් ලොකු ප්‍රමාණයක් බලෙන් එළි කරලා අල්ල ගත්තා. මේ වෙද්දීනම් ඒ ඉඩම් අල්ල ගත්තු මිනිස්සු ඒ ඉඩම් වල නැති උනත් ඒ ඉඩම් වලට බලපත්‍ර හදා ගන්න ඔවුන් සමත්වුණා කියල තමයි මම දන්නේ.
කොහොම උනත් කන්දේ වැඩි බෑවුමක් තියෙන කොටස මිනිස් අතපෙවිමකින් තොරව අදටත් බේරිලා තියෙනවා දකින්න පුළුවන්.


මළදුගල කන්ද ගැන අපි පුංචි කාලේ අපූරු කතාවක් තිබුනා. ඒකෙ පළතුරු වලින් පිරිච්ච පළතුරු වත්තක් තියෙනවලු. ඒකට යන අයට ඕනේ තරම් ගෙඩි කඩාගෙන කෑවත් එකක්වත් අරගෙන එන්න බැරිලු. ඒ වගේම වතාවක් ඔය කන්දේ නැගපු මනුස්සයෙක් ශරීර කෘත්‍ය කරලා තියෙනවා කඳු මුදුනේ. ඊට පස්සේ ආපහු එන්න පිටත් උනාට හැමතිස්සෙම මග වැරදිලා අර අසුචි ගොඩ ගාවටමලු එවෙන්නේ. අන්තිමට මේ මනුස්සයට තේරිලා මේ කරපු වැඩේ නිසා තමයි පාර වරදින්නේ කියලා, අන්තිමට කැලෑ කොළ ටිකක් කඩාගෙන අසුචි ගොඩත් අරගෙන ගෙදර එන්න පිටත් උනාට පස්සෙලු ආපහු එන පාර හොයා ගන්න ලැබිල තියෙන්නේ.


මෙන්න මේ වගේ කතා නිසා මම ගොඩක් ආසාවෙන් හිටියේ මළදුගල කන්ද නගින්න.
වතාවක් අපේ ලොකු මාම එයාගේ කැම්පස් එකේ යාළුවො ටිකක් එක්ක කන්ද නගින්න ආවා, ඒ 1990 දී විතර වගේ. එදා මමත් යන්න හැදුවට මාව යවන්න අම්ම කැමති උනේ නැහැ. ලොකු මාමනම් කැමති උනා මාව එක්කන් යන්න. අන්තිමට උනේ මගේ හීනේ කල්දාන්න මට සිද්ධ වෙච්ච එක තමයි.

මම මුලින්ම මළදුගල කන්ද නැග්ගේ 1993 අවුරුද්දේ. ඒ අපේ ලොකු මාමාත් එයා උගන්වපු ඉස්කෝලෙ ගුරුවරු කීප දෙනෙක් ඇතුළු පිරිසක් එක්ක. එදා මම දැකපු අහඹු සිදුවීමක් අදටත් මගේ මතකයේ රැඳිලා තියෙනවා. ඒ රැහැයියෙක් සම්බන්ධ අමුතු සිද්ධියක්. කන්දේ තියෙන අධික බෑවුම හින්දා ගොඩක් තැන් වලදී පල්ලෙහා තියෙන ගස්වල මුදුන් තියෙන්නේ අපේ මුහුණු මට්ටමේ. අන්න ඒ වගේ වෙලාවක ගහක කොලයක් උඩ ඉන්න පුංචි සතෙක්ව මම දැක්කා. ඌ කෑගහන්න ගත්තම තමයි මම දැනගත්තේ ඒ රැහැයියෙක් කියලා. ඌ කටුක නාදයක් නිකුත් කරන ගමන් උගේ ඇඟ වගේ දහගුණයක් විතර දිගට සිහින් වතුර පාරක් විදිනවා. මේක ඌ නොකඩවාම කලා සැලකිය යුතු වෙලාවක්. ඒ වෙලාවේ එතන හිටපු අයට කතා කරලා මම ඒ සිද්ධිය එයාලටත් පෙන්නුවා.
පස්සේ කාලෙක මම මේ ගැන පරිසරය ගැන හොඳින් දන්නා කියන විශේෂඥයින් කීප දෙනෙකුගෙන්ම අහල බැලුවා. ඒත් ඒ අය මේක පැහැදිළි කරලා දෙන්න සමත් උනේ නැහැ.


ඊට පස්සේ කීප වතාවක්ම මම මළදුගල කන්දට ගිහිං තියෙනවා යාළුවොත් එක්ක. නමුත් අර වගේ දෙයක් දකින්න ලැබුනේ නැහැ. අනිත් එක එදා අහම්බෙන් දැකපු දේ මට මෑතක් වෙනකල් අමතක වෙලා තිබුනේ. ඒ නිසා ඒ ගැන උනන්දුවෙන් හොයල බැලුවෙත් නැහැ. අනිත් එක ඉස්සර අපි කඳු නගින්නේ විනෝදයක් විදිහට මිසක් පරිසරය අධ්‍යනය කරන්න නෙමෙයිනේ. පස්සේ පස්සේ ෆොටෝ උණත් එක්ක එක පාරම කැලෑ උණත් හැදුනට පස්සේ තමයි ඔය සතා සරුපයා ගහ කොළ ගාව ටිකක් නතරවෙලා බලන්න කරන්න ෆොටෝ ගහන්න පටන් ගත්තේ.
ඒ වගේම තමයි මම එදා දැකපු විදිහේ රැහැයියෙක්ව ආපහු වෙන කොහේදී හරි කැලේකදී දකින්න හම්බ උනෙත් නැහැ.
මේ කන්දේ ඉතා වටිනා ජෛව විවිධත්වයක් දකින්න පුළුවන්. සිංහරාජයේ දකින්න පුළුවන් ශාක වර්ග වලින් වැඩි ප්‍රමාණයක් මේ කන්දෙදිත් දකින්න පුළුවන්. මේ තියෙන්නේ ඒ කන්දේ යම් යම් ස්ථාන වලදී මම ගත්තු ජායාරූප කිහිපයක්.







මේ කන්දේ ගල් ගුහාව තියෙන හරියේ ලොකු හුළං කපොල්ලකුත් තියෙනවා. ගල් ගුහාවට බහින්න පාරවල් තුනක් තිබුනත් එක පාරක් තමයි ගොඩක් ලේසි. ඒ පාරට යන්නනම්  මේ කපොල්ල හරහා යන්න ඕනේ. මේ තියෙන්නේ එතන.
මේ කැලේ කොහොල්ල ලාවළු කියල අපි කියන රස පලතුරු ගසුත්, ඇටිකෙසෙල් ගස් එහෙමත් තියෙනවා. අපි ගිය දවස් වලදී නම් ඒවා ඉදිලා තිබුනේ නැහැ. නැත්නම් ඇටිකෙහෙල් කාපු උගුඩුවන්ට වෙච්ච දේම තමයි අපිටත් වෙන්නේ.
මේ කැලේ ලංකාවට අවේනික කළු වඳුරු රංචුවක්, රිළව් රංචුවක්, වල්ඌරෝ, වල් බාවා, කබල්ලෑවා, හඳුන් දිවියා සහ කුරුළු සහ සමනල් වර්ග බොහෝමයකුත් දකින්න පුළුවන්. කබල්ලෑවා, හඳුන් දිවිය වගේ සත්තුන්ව ලේසියෙන් දකින්න බැහැ.
මෙහේ ඉන්න වඳුරෝ, රිළව් එහෙම කවදාවත් ගම්වලට ඇවිත් බවභෝග විනාශ කරලා යන්නේ නැහැ. ඒකට හේතුව කැලේ ඇතුලේ උන්ට උවමනා කරන ආහාර පාන වර්ග තිබීම වෙන්න ඕනේ.


මේ කැලේ මහා විශාල පුස්වැලක් තිබුනා. ඒත් ඒ කාලේ අපි ඒ තරම් ඒ ගැන සැළකුවේ නැහැ. ඊට අවුරුදු ගානකට පස්සේ වතාවක් මම සිංහරාජ වනාන්තරේ බලන්න ගිය වෙලාවක "සිංහරාජයේ යෝධ පුස්වැල" බලන්නත් ගියා. ඊට පස්සේ තමයි මට හිතුනේ මළදුගල කන්දේ තියෙන පුස්වැලේ කඳ සිංහරාජේදී දැකපු යෝධ පුස්වැලේ කඳටත් වැඩිය ලොකුයි නේද කියලා. මම මේ පුස්වැල දැක්කේ 1997 වගේ කාලෙකදී.


කරුමෙක මහත කියන්නේ සිංහරාජයේ යෝධ පුස්වැල වගේම මළදුගල කන්දේ තිබ්බ යෝධ පුස්වලත් දැන් නැහැ. ඒ පුස්වැල් දෙකම මියගොහින්. සිංහරාජයේ පුස්වැල විනාශ උනේ ඒක බලන්න යන මිනිස්සු ඒක උඩ නැගලා, වැලේ නැගල පද්දලා එකඑක අනවශ්‍ය දේවල් කල නිසා කියල තමයි සමහර උදවිය කියන්නේ.  තවත් කට්ටිය කියනවා කාලයාගේ අවෑමෙන් පුස්වැල මැරිලා ගියා කියලා.
නමුත් මළදුගල කන්දේ පුස්වැල විනාශ උනේ නොමිනිස් ක්‍රියාවක අතුරුපලයක්‌‌ නිසා බව මම හොඳටම දන්නවා. පුස්වැල ළඟ තිබ්බ මහ ගහක් කපපු දැවහොරු තමයි ඒකට වග කියන්න ඕනේ. ගහ කැපුවට පස්සේ එක්කෝ වැලත් කඩාගෙන ඒ ගහ පහළට වැටිලා තියෙනවා. එහෙම නැත්නම් ඒ වැල උඩ රැඳිලා තියෙන්න ඇත්තේ ඒ ගහේ. කොහොම හරි අවුරුදු කීපයක් ඇතුලත ඒ යෝධ පුස්වැල හිමීට මියයන හැටි මගේ ඇස්දෙකෙන්ම දැකගන්න තරම් මට අවාසනාව තිබුනා.
මම අන්තිමට කන්දට නැග්ගේ 2007 අවුරුද්දේ, ඒ වෙද්දී පුස්වැල අන්තිම ගමන ගිහිං ඉවරයි.


මේ කන්ද ආශ්‍රිත කැලේ ප්‍රාථමික වනයක් කියල මට හිතෙනවා, නමුත් ඒ ආශ්‍රිතව තාම කිසිම පර්යේෂණයක් සිදු වෙලා නැහැ.
90 දශකයේ අග භාගයේදී මේ කන්දේ රූපවාහිනී සංඥා කුළුණක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ උනා. ඒ හරියටම විදියබණ්ඩාර කතාවේ එන කුමරිය පැන්නායයි කියන ස්ථානය කිට්ටුව. ඒකෙ වැඩකටයුතු බොහෝ මන්දගාමිව තමයි කෙරීගෙන ගියේ. කණුවේ වැඩ ඉවර උනත් අන්තිමට විදුලි බලය ගන්න විදිහක් නැහැ කියලා වැඩේ කල් දදා තමයි තිබුනේ. දැන් අවුරුදු 15 ටත් වඩා වැඩි කාලයක් ගියත් ඒ කණුව අදටත් ඒ විදිහටම තියෙනවා.


බළලා මල්ලෙන් එළියට පැන්නේ කණුවේ වැඩකටයුතු ඉවරවෙලත් ටික කාලයක් ගියාට පස්සේ. මෙතන තිබ්බ නිධානයක් ගන්න ඕනේ කරන වැඩකටයුතු ටික කුළුණ හදන මුවාවෙන් කලා කියල තමයි  ගමේමිනිස්සුන්ගේ කටින් කට කියවුනේ. අන්තිමට කිසිම වැඩකට නැති කුළුණක් ඒ කන්ද මුදුනේ ඉතුරු වෙච්ච එක විතරයි උනේ.
මේ කන්දේ සහ ඒ ආශ්‍රිතව එක නිධානයක් විතරක් නෙමෙයි නිධන් කිහිපයක් තියෙන බව මම අහල තියෙනවා විතරක් නෙමෙයි සැලකිය යුතු ප්‍රමාණයක් කරුණුත් දන්නවා.


කන්දේ පන්සලේ වැඩවාසය කරපු වයසක ලොකු හාමුදුරුවෝ මේ කන්දේ තියෙන නිධන් ටික හොරුන්ගෙන් රැකගන්න ලොකු වෙහෙසක් අරගෙන තිබුනා. ගල්ගුහාව ඇතුලේ තියෙන උමං මගේ දිගේ ඇතුලට යන්න බැරිවෙන්න ගල් සහ මැටි වලින් හොඳට අහුරලා වහල දාල තිබුනා මට මතකයි.  මේ කියන උමං මග විදියබණ්ඩාර කුමාරයා භාවිතකල බවක් තමයි කියවෙන්නේ.
ඒ හාමුදුරුවෝ මේ මහා මුකලානේ තිබ්බ පරණ පන්සලේ දශක ගණනාවක් වැඩ වාසය කරලා කලේ ලොකු සේවයක්.
නමුත් උන්වහන්සේගේ ජිවිතයේ අවසාන භාගයේ හෝ එතුමා ජිවිතයෙන් සමුගත් අළුතම වගේ උන් වහන්සේ විසින් හොරුන්ගෙන් ප්‍රවේසම් කරගත් එක් නිධානයක් මෙසේ මංකොල්ල කා ගත්තා.


මම සාමාන්‍යයෙන් පන්සල් යන්න කැමති නැහැ, ඒත් කන්දේ පන්සල් යන්න මම පුංචි කාලේ ඉඳලා හරිම කැමතියි. කිසිම මනුස්ස පරාණයක් දකින්න නැති බොහොම අල්පේච්ච බවක් පේන කැලෑවෙන් වටවෙලා තියෙන ඒ පන්සලට ගිහින් ලබන්න පුළුවන් සුවය මොන තරමක්ද කියල වචන වලින් කියන්න බැහැ. මිනිස්සුන්ගෙන් පිරිච්ච සද්ද බද්ද වැඩි ලොකු පන්සලකින් ඒ සුවය කවදාවත් විඳින්න බැහැ. අදටත් ඒ පන්සලේ හාමුදුරු නමක් නැහැ. ගමේ මනුස්සයෙක් පන්සල බලාකියා ගන්නවා. නමුත් මම අදත් යන්න කැමතිම පන්සල තමයි ඒ.


මළදුගල කන්ද හා ඒ ආශ්‍රිත තවත් නිධන් කතා සමගින් නැවත හමුවෙමු....



අපේ අසරණයා කියල තිබුණනේ ඇටි කෙසෙල් සහ වල්බාවා කියන සතාව දන්නේ නැහැ කියලා. බ්ලොගර් මහත්තයාගේ නොපෙනත්කම මගඅරවාගෙන වෙන විදිහකට හරි අමාරුවෙන් තමයි මේ ෆොටෝ දෙක දැම්මේ.
ඇටි කෙසෙල්
වල්බාවා / වල් බළලා - Jungle Cat