Tuesday 21 April 2015

යදම් බිඳලුවාට කම් නැතිද...?

මම දන්නේ නැහැ මම මේ කරන්න හිතාගෙන ඉන්න වැඩේ හරිද වැරදිද කියන එක ගැන, සමහර විට දෝෂාරෝපණ අහන්න වෙන්නත් පුළුවන්. ඒත් මම පුංචි කාලේ ඉඳල අද වෙනකල්ම බොහොම ආදරෙන් එකතු කරලා රැකබලා ගත්තු පරණ පත්තර කොළ ගොඩක් අස්සේ හැංගිලා තිබුන ලස්සන අතීත කතාවක් බ්ලොග් එකේ ලියන්න පුළුවන්ද කියන එක ගැන පොඩි මුට්ටියක් දාල බැලිල්ලක් තමයි මේ කරන්න යන්නේ.

පත්තරේ නම තමයි අපි කවුරුත් දන්න කියන දිවයින පත්තරේ. හරියටම කියනවනම් 1993 දෙසැම්බර් මාසේ 12 වැනි ඉරිදා දිවයින පත්තරේ කතාවක් පටන් ගත්තා. පළවෙනි කොටසින් තරම් ආසාවක් ඇති නොවුනට දෙවෙනි කොටස කියන්නේ දෙසැම්බර් 19 වෙනිදා කොටස කියෙව්වට පස්සේ මට හිතුනා මේ කතාව එකතු කරන්න ඕනේ කියලා. එහෙම හිතලා දෙවෙනි පත්තර කොලේ කඩාගෙන ඉවර වෙලා ඊට පස්සේ පළවෙනි පත්තර කොලේ හෙව්වා, ඒත් මට ඒක හොයාගන්න ලැබුනේ නැහැ. ගෙදර හැමෝගෙන්ම ඇහුවත් පත්තර කොලේට වූනේ මොකක්ද කියල කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.

දවස් වල අපේ ගෙදරට අළුතින් කොටසක් එක්කාසු කරන්න පටන් අරගෙන තිබුනේ. ගෙදර හදා ගත්තු සිමෙන්ති ගල් වලින් තමයි මේ වැඩේ සිද්ධ වුනේ.
ඉස්සර ගෙවල් වල සිමෙන්ති ගල් හදද්දී පොලවට පත්තර කොල හරි සිමෙන්ති බෑග් වල කොල හරි දාල තමයි සිමෙන්ති ගල් හදන්නේ. ගල් ගහන අච්චුව හදල තිබුනේ සරනේරු වලින් හයි කොරලා, ලොක් කරන්න එහෙම පුළුවන් විදිහට. වැඩේ පහසුව තකා සිමෙන්ති ගල් අච්චුව හදල තිබුනේ උස අතට ගල් ගහන්න පුළුවන් විදිහට නෙමෙයි. සිමෙන්ති ගල කොටන්නේ පළල අතට. වැය වෙන සිමෙන්ති බදාම ප්‍රමාණය අඩු කරගන්න මැද හරියට ඔය ගල් කෑලි එහෙමත් දානවා. ඒ වැඩේ තරමක් දෝෂ සහගත එකක් කියල දැන් හිතුනත් දැනට අවුරුදු 21 ට කලියෙන් හදාපු ඒ කොටස අදටත් ඔය යස අගේට තියෙන්නේ.

එක දවසක් බිත්තියේ ගල් වරියක් බැඳලා ඉවර උනාට පස්සේ එළියට පේන්න තිබ්බ මුණතේ “යදම්” කියන අකුරු කීපය ළාවට පේන්න තිබ්බ පත්තර කොළ කෑල්ලක් ඇලිලා තියෙන බව මම දැක්කා. මම දුකින් දිහා බලාගෙන හිටිය මිසක් ආපහු පත්තර කොලේ හොයා ගන්නේ කොහොමද කියලා දවස් වලම කල්පනා කලේ නැහැ. ඒක තමයි මම කරපු ලොකුම මෝඩ වැඩේ. මේ කියන කාලේ මම හිටියේ 8 වසරේ, එතනින් පස්සේ ඉස්කෝලේ නිවාඩු ලැබෙන දවස් වලදී සැරින් සැරේ මේ කතාවේ මම ගාව තියෙන කොටස ටික කියවද්දී හැමදාම හිතනවා පත්තර කන්තෝරුවකට ගිහින් හරි පත්තර කොල කෑල්ල හොයා ගන්න ඕනේ කියලා. කොහොමින් කොහොම හරි ඒක සිතුවිල්ලකට විතරක් සීමා වුනා.

මෙහෙම ගිහින් අවුරුදු ගණනාවක් ගිහිල්ලත් මම කොළඹ ඇනෙක්සියට ගෙදර තිබ්බ බඩු මුට්ටු අරගෙන ආපු වෙලාවේ මට තිබ්බ වටිනාම මතකයන් ටික අරගෙන එන්න මම අමතක කලේ නැහැ. බඳින්න කලින් පුච්චන්න ඕනේ ඒවා ටික කළින්ම පුච්චපු නිසා ඉතුරුවෙලා තිබ්බේ මෙන්න මේ වගේ වටින දේවල් විතරයි.
අන්න පරණ මතක අතරේ තිබ්බ එක දෙයක් තමයි ROOTS කියන ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනය, හැබැයි ඒ පත්තර පිටු විදිහට. පරිවර්තනය සිදුකරලා තිබුනේ “සමන් වික්‍රමාරච්චි” කියන මහත්මයා.
වගේම "ජනක රත්නායක" කියන මහත්මයාගේ විශිෂ්ට ඝණයේ සිතුවම් වලින් කෘතියට අවශ්‍ය කරන සියුම් ආලෝකයකුත් ලැබිල තිබුණා. ඇලෙක්ස් හේලි (Alex Haley) කියන කළු ඇමෙරිකානුවා දොළොස් වසක් තිස්සේ තම පරපුරේ අක්මුල් සොයා යෑමෙන් පසු හෙළිවූ අතීතය ලියා තැබූ විශිෂ්ට ඝණයේ කතා පුවතක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්.

වහල් සේවය වේවා, රට රටවල් පිටින් අල්ලා ගනිමින් සිදුකළ මංකොල්ල කෑම්, මනුෂ්‍ය ඝාතන හෝ වේවා, මේ සියල්ල පිටුපස සිටියේ සභ්‍යයැයි තමන් විසින්ම හඳුන්වා ගත් දේව භක්තිය මනෝවිකාරයක් කරගත් අමනයන් පිරිසක්. උන් කරපු  නොපෙනත් කම් වලට සරිලන වන්දි මේ ලෝකෙදි වගේම ඉදිරි අනාගතේදීත් ලැබෙන්න ඕනේ...
මේ කොටස ලියවුනේ උන් අපේ වගේ රටවල් වලට සහ අප්‍රිකාවේ රටවල් වල උන්ගේ ආගම් පතුරවන්න සිද්ධ කල සංස්කෘතික සහ මානව සංහාර සම්බන්ධව උපන් කේන්තියෙන්.

මෙන්න මෙවැනි කොටසක් පත්තර පිටුවේ හැමදාම වගේ පළවුණා.

ඇලෙක්ස් හේලිගේ නවකතාවේ අනුවාදය
මේ ආඛ්‍යානය වූ කලී එක්තරා මිනිසෙකු දොළොස් වසක් තිස්සේ ස්වකීය පරම්පරාවේ මුල් ඇදුනු තැන් සොයා ගිය ගමනේ කතාවයි.
මිනිසා නම් කළු අමෙරිකානුවකු වූ ඇලෙක්ස් හේලිය, ඔහු පුවත්පත් කලාවේදියෙකි. වහලුන් සහ නිදහස් මිනිසුන්, ගොවින් සහ කම්මල්කරුවන්, නීතිඥයන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් ආදී වශයෙන් වූ පරම්පරා හයක් ඔස්සේ ඔහු තම මුල් සොයා අප්‍රිකාවට යයි. තමා උපන් බිමින් උදුරාගෙන වධ වේදනා මධ්‍යයේ යදමින් බැඳ නවීන ලෝකයේ වහල් වෙළඳ පොළ වෙත රැගෙන කුන්ටා කින්ටේ නම් දහසය හැවිරිදි ගෝත්‍රික තරුණයා හමුවන තෙක් ඔනු අතීතයට යයි. ROOTS කතාවයි.
මෙම වෘතාන්තය රූපවාහිනී තිරයටද නැගිණි. ලොව වැඩිම ජනකායක් නැරඹු රුපවාහිනි මාලා නාටකය ලෙස වාර්තා තැබූ එය කලකට පෙර අප රටේ රුපවාහිනියේද ප්‍රදර්ශනය විණි. “යදම්යනුවෙන් ප්‍රථම වරට සිංහලට නැගෙන්නේ එම කතාවයි.


රූපවාහිනියේ ප්‍රචාරය වෙච්ච බවක් කිව්වට අපි ඒ කතාව කළින් බලල තිබුනේ නැහැ. 1993 වකවානුව වෙද්දී අපේ ගෙදර කාර් බැටරියෙන් බලන්න ඇහැකි කළු සුදු National වර්ගයේ අඟල් 12 TV එකක් තිබුනා. ඒකෙන් මොකක්හරි කතාවක් හරි ෆිල්ම් එකක් පැහැදිළිව බලනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමේ. උණ බටටේකට ඇන්ටණාවක් අමුණාගෙන උද බලාගෙන එහෙමෙහෙ ගෙනියනවා තරම කරුමයක් ඒ දවස්වල අපිට තිබ්බේ නැහැ. එහෙම වෙන්න හේතුව අපේ ගෙවල් හතර වටෙන්ම කඳු වලින් වටවෙලා තියෙන නිසා වෙන්න ඕනේ.

කාලයක් තිස්සේ යටපත් වෙලා තිබ්බ පත්තර පිටුව හොයා ගැනීමේ මෙහෙයුම හදිස්සියේම දවසක් ඔළුවට ආපහු ආවේ 2013  අවුරුද්දේ දවසක. එදා දිවයිනේ වැඩ කරන මගේ යාළුවකුට කෝල් කරලා බැලුවම උගේ උත්තරේ වුනේ උන්ගේ පුස්තකාලයේ පැරණි පුවත්පත් ඔක්කොම තිබුනත් ඒවායෙන් කොපි ගන්න බැරි බවත් මහජන පුස්තකාලයෙන් කොපියක් ගන්න පුළුවන් වේවිය කියලත්. එහේට කෝල් කලාට පස්සේ එයාලගේ උත්තරේ වුනේ යම්කිසි ගැටළුවක් නිසා ෆොටෝ කොපියක් ගැනීමේ හැකියාවක් නැහැ කියන එක තමයි. එතනින්ම ආපහු වතාවක් මගේ උත්සාහය නිරර්ථක වුනා.

ඔහොම ඉඳලා 2014 මැද හරියෙදි වගේ පළවෙනි කොටස නැතුව දෙවෙනි කොටසේ ඉඳල කතාව ලියන්න පටන් ගන්න ඕනේ කියන අදහස මගේ ඔළුවට ආවා. දෙවෙනි කොටස සම්පුර්ණයෙන්ම Word Document එකක් විදිහට ලියල ඉවරවෙලා තුන්වෙනි කොටස ලියන්න යද්දී කතාව සම්බන්ධව හිතේ ඇතිවුන යම් මානසික තත්ත්වයක් නිසා ඒ වැඩේත් අතරමග නතර කරලා දාන්න හිතුනා. මට බය හිතුනා මම පොඩි කාලේ ඉඳල ආදරේ කරපු ඒ කතාවට දැන් මම වෛර කරන්න පටන් ගනීවිද කියලා.

ආපහු වතාවක් 2015.03.31 වෙනිදා හදිස්සියේම හිතට ආපහු අදහසක් නිසා දිවයින කන්තෝරුවට කෝල් කරන්න මට හිතුනා. මගේ අවශ්‍යතාව එතනට දැනුම් දුන්නා. එතනට ඇවිත් කතෘ මණ්ඩල අනුමැතියක්ද මොකක්ද එකක් අරගෙන පුස්තකාලය ඇතුළට එන්න කියල එතනින් දැනුම් දුන්නා. ඊට පස්සේ මගේ පෙන්තාටත් කෝල් එකක් දීලා සිද්ධිය කියලා මම දිවයිනට පත්තරේට ගියා. මමයි මේ කියන මිත්තරයයි දෙන්නත් එදා ඒ හම්බ වුනේ හරියටම අවුරුදු 10 කින් විතර වගේ. පුස්තකාලය භාර නිලධාරි මහත්තුරු මගේ වැඩේ වෙනුවෙන් අදාළ පුවත්පත සොයා දෙන්න වැඩි වෙලාවක් ගත්තේ නැහැ. එක අවුරුද්දක පත්තර ටික ලොකු පොතක් විදිහට එකට බයින් කරලයි තිබුනේ. ඒ වගේම ඒ විදිහට බයින් කරලා තියෙන පත්තර ගැලවීම තහනම්ලු. මම කිව්වේ මට ෆොටෝ ටිකක් ගහගන්න තිබුනම ඇති කියල. මගේ මිත්තරයා හොඳ කැමරා එකකින් ඒ වැඩේ කරවලා දෙන්න හැදුවත් ෆෝන් එකේ තියෙන කැමරා එක මගේ වැඩේට සෑහෙන නිසා මුළු ලිපියම කවර් වෙන විදිහට ෆොටෝ කීපයක් ගහගත්තා. ඊට පස්සේ යාළුවා එක්ක පොඩ්ඩක් ආගිය විස්තර කතාබහ කරලා එහෙම මම ආපහු එන්න ආවේ ලොකු සතුටක් හිතේ තියාගෙන.

පොඩි නැහැ මේක හරියටම අවුරුදු 22 ට ආසන්න කාලයක් තිස්සේ හිත යට තිබිලා මතුවෙච්ච අදහසක් එක්ක ලබා ගත්තු ජයග්‍රහණයක්...

දැන් තමයි ගැටළුව...
මම ඒ ලිපි පෙළ පරිවර්ථකගෙන් හෝ දිවයින පත්තරෙන් නිසි අවසරයක් නැතිව බ්ලොග් එකේ පළ කරන්න පුළුවන්ද, එහෙම කරන එක හරිද...? වැරදිද...?
දැනට තියෙන වාතාවරණය අනුව සමන් වික්‍රමසිංහ මහත්මයව හොයාගෙන ඒ අවසරය ලබා ගන්න පුළුවන් වෙයිද කියන එකත් සැළකිය යුතු මට්ටමේ ගැටළුවක්.

කොහොම නමුත් ජාලය හරහා මට ඒකට පොඩි විසඳුමක් ලැබුනා.
මේ පරිවර්තනය පොතක් විදිහට එළි දැක්වූ බවක් මම කලින් දැකල තිබ්බේ නැහැ, පොත් කඩ ගානේ, බුක් ෆෙයාර් එකේ කරක් ගහන මට ඒ පොත හම්බ උනේ නැති උනාට “යදම්” පොතක් විදිහට පළවෙලා කියල මට අන්තර්ජාලය හරහා දැනගන්න ලැබුනා. ඒ හෝඩුවාව හරහා මම මුලින්ම කලේ පොතේ කොපියක් හොයා ගන්න පුළුවන්ද කියල හොයල බලන එක.
මේ පොත 1997 දී පළකරලා තියෙන බව සහ දැනට පොතේ කොපියක් හොයා ගන්න බැරි බවක් තමයි හැමතැනින්ම වගේ දැනගන්න ලැබුනේ.

ඊට පස්සේ සමන් මහත්තයව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් ගැන හොයා බැලුවා. පොත පළකරලා තියෙන්නේ සංහිඳ ප්‍රකාශකයෝ. සරසවි එකට කෝල් කරලා සංහිඳ එකේ නොම්බරේ ඉල්ල ගත්තා. එතනින් “සමන් වික්‍රමාරච්චි” මහත්තයාගේ දුරකථන අංකයක් ඊයේ වෙද්දී ඉල්ල ගන්න පුළුවන් වුනා.
ඊයේ දවසෙම ඒ අංකෙට කෝල් කලාට උත්තර නැහැ, අද උදේ කතා කරලා බැලුවම වැරදි අංකයක් කියන සුභ ආරංචිය මේ දැන් වගේ ලැබුනා. භාවිතයෙන් ඉවත් කරපු දුරකථන අංක නැවත වෙනත් පුද්ගලයින්ට නිකුත් කරන නිසා ඒ අංකය දැන් වෙන කෙනෙක් පාවිච්චි කරන්නේ.

දැන් මම මොකක්ද කරන්න ඕනේ කියන ගැටළුව තවමත් මගේ ඉදිරියේ...
පුළුවන්නම් අදහසක් දෙන්න...