Saturday, 5 November 2011

බල්ලොත් එක්ක බෑ(ද)




ඔන්න මම මේ කියන්න යන්නේ මටම සිද්ධ වෙච්ච කතාවක්,

මුලින්ම කියල ඉන්නම්කො අපේ ගෙදර ඉඳල මම ගිය ඉස්කෝලෙට තියෙන දුර සහ මම ඉස්කෝලේ ගිය විදිහ 



ක්‍රමය 01

2.5 Km බයිසිකලයකින්ද, ඉතිරි 16 Km බස් එකකින්ද ඉතිරි 1 Km පා ගමනින්ද ගොස් 

ක්‍රමය 02

0.5 Km පමණ බයිසිකලයකින් හෝ පා ගමනින්ද ඉතිරි කිලෝමීටර 18 බස් රථයකින්ද ගොස් පෙර ලෙසම ඉතිරිය පා ගමනින්ද ගොස් 

ක්‍රමය 03

1.5 Km බයිසිකලයකින්ද, බසයෙන් 20 Km ගොස් පෙර සේම පා ගමනින් ගොස් ගේ පාසලට ලඟා විය හැක



මේ අංක 03 විදිහට යනවා කියන්නේ වෙනමම පාරක් සහ යනවනම් යන්න පහසුම විදිහ. බස් එහෙමත් ගොඩක් පටන් ගන්නේ එතනින්. ඒත් මම එහෙන් යන්න කැමතිම  නැහැ.
මම වැඩිපුරම යන්න කැමති උනේ අංක දෙක ක්‍රමයට.
මොකද මගේ යාළුවෝ ඔක්කොම වගේ ඉන්නේ පැත්තේ......


(තව තව හේතු තියෙනව, ඒවත් පස්සේ දැන ගන්න බැරියැ)



ඔන්න ඔහොමයි මම ඉස්කෝලේ ගියේ

සමහර දවස් වල මම පාන්දර 05:30 බස් ඒකෙ ඉස්කෝලේ ගිය කාලෙකුත් තිබුනා. යන්නේ වෙන මොකකටවත් නෙමෙයි ඉස්කෝලේ පටන් ගන්න කලින් ගිහින් ක්‍රිකට් ගහන්න.

පිට්ටනියට එන පිළිවෙලට තමයි බැට් කරන්න හම්බ වෙන්නේ. ඉතින් පාන්දරින් නොයා ඉන්නත් බැහැනේ.



ඒත් දවස් වල මම පාන්දර ඉස්කෝලේ යනවට ගොඩාක් තරහ බල්ලෝ දෙන්නෙක් හිටියා.

එකෙක් ටිකක් ඇඟ පත තියෙන ලොකු එකෙක්. අනිත් එක්කෙනා ටිකක් කැහැටු එක්කෙනෙක්.
දෙන්න ඉන්නේ එකට නෙමෙයි කිලෝමීටරයක වගේ පරතරයකින් තමයි මේ දෙන්න රැකලා ඉන්නේ.


හැමතැනම වෙනවා වගේ මුලින් ඉන්නේ ලොකු එකා.

ඔන්න මම කරුවලේ සයිකලේ පැදගෙන එද්දී මේ ලොකු එකා පස්සෙන් පන්නනවා හුරේ තියලා.

මේ කාලේ වෙද්දී අපේ පාරේ එළියක් තියෙන වෙලාවක යනවා කියන්නෙත් ලොකු ගේමක්, හැමතැනම අලි නාවන්න පුළුවන් සයිස් එකේ මඩ වලවල්.


දැනටත් වගේ එව්වා ටිකක් ඉතුරු වෙලා තියෙනවා.

වගේම තමයි මට මේ පාරේ තියෙන හැම මඩ වලක්ම වගේ මතකයි, ඉතින් නිසා කවදාවත් ටෝර්ච් එකක් අරගෙන ගියෙත් නැහැ.

අනික ටෝර්ච් එකක් ඉස්කෝලෙට අරගෙන ගියොත් එහෙම ඉතින් ඕක දකින එව්වන්ගෙන් අහන්න වෙන කතා.... :)




ඉතින් පාන්දර 5:30 විතර ඔය පාරේ යනවා කියන්නේ, කුමන කතාද. නිකනුත් නෙමෙයි කළුවරේ බල්ලෙකුත් පස්සෙන් පන්නද්දී. හොඳකට කියල තියෙන්නේ ගෙවල් වල ලයිට් එලිය පොඩ්ඩ පොඩ්ඩ පාර දිහාවට වැටිලා තියෙන එක තමයි.
මමත් ඉතින් දන්නා වේගෙන් පදිනවා, ඒත් මු හැමදාම මගේ කකුල ගාවින්ම වගේ එනවා. කොයි වෙලාවේ කකුල හපයිද කියල කියන්න බැහැ.


මටයි කියල හැමදාම මේක බලාගෙන නිකන් ඉන්න බැහැනේ, බැරි පුළුවන් ගාතේ අර බව්වට පයින් එකකුත් ගහන්න හදනවා, බයිසිකලේ පදින ගමන්ම. ඒත් කවදාවත් ඌට වැදුනේනම් නැහැ.
මෙහෙම බල්ලොත් එක්ක ඔට්ටු වෙවී ඔස්කොලේ යන අතරේ එක දවසක් මම අර කවුදෝ කළා වගේ අලුත්ම සොයා ගැනීමක් කළා

ඒක මම කළා නෙමෙයි "ඉබේටම වගේ සිද්ධ උනා".....

මුකුත් නෙමෙයි වුනේ. එක පාරටම මම බයික් එකේ බ්රේක් ගැහුවා.


බ්රාස්..... ගාල.


දැන් බයික් එක නතර වුනා. මම එහෙම කලේ මුට මාව හපා කාල පැනල යන්න දෙනවට වඩා ඌත්  එක්ක ෆේස් ටු ෆේස් ගේමක් දෙන එක හොඳයි කියල හිතාගෙන.

මෙන්න බොලේ වැඩක්,
මගේ කකුල හපන්න ඔන්න මෙන්න වගේ ආපු බල්ලා වෙන ගමනක් යන්න ආපු එකෙක් වගේ හිමීට හැරිලා යන්න යනවා. 

මෙයාට දැන් පොඩ්ඩකට කලින් කරපු සහ කරන්න හදපු හැමදේම මේ ඩිංගට අමතක වෙලා වගේ.... හික් 

මගෙත් මොකද, මමත් ඉතින් ආපහු මගේ ගමන ගියා...





ඉතින් ඊට පස්සේ මම ඔය පස්සෙන් පන්නන බල්ලන්ටනම් බය වුනේ නැහැ ඕන්. එක තැන නතර වෙන්න ගහන බ්රේක් පාරක් විතරයි ඕනේ කරන්නේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කැමති කෙනෙකුට කරලා බලන්නත් පුළුවන්.

කලාට පස්සේ මටත් කියන්න මොකද වුනේ කියලා.. හොඳද



.ලි.
මෙම ක්‍රමය මම කරපු විදිහටම අනුගමනය නොකර බව්වන් ලවා කවා ගත්තාට වග කියනු නොලැබේ

Wednesday, 2 November 2011

අම්ම මාව නළව ගන්න හදපු හැටි අගෙයි



අපේ අම්ම කියන්නේ හොඳ කවි කාරියක්, ඒ කියන්නේ කවි ගොතන්න නෙමෙයි, කවි කියන්න
ලස්සන හඬින් කවි කියද්දී අපි වශී වෙලා වගේ තමයි අහගෙන හිටියේ
අම්ම පුංචි කාලේ ඉඳල ඉගෙන ගත්තු කවි ගොඩක් අම්ම අපිව නලවද්දී කිව්වා මට මතකයි
පස්සේ පස්සේ අපි ලොකු වුනාට පස්සේ අක්කලාගේ දරුවෝ නලවද්දීත් අම්ම මේ කවිම කිව්වා

අපිට වගේ නෙමෙයි අපේ වැඩිහිටි පරම්පරාවට හොඳ මතක ශක්තියක් තිබුනා කියල මට හිතෙනවා
ඒකට එක හේතුවක් වෙන්න ඇත්තේ අපේ ජීවන රටාව තරම් එයාලගේ ජීවිත සංකීර්ණ නැති නිසා වෙන්න ඇති
අපේ අම්මල තාත්තලාගේ මතකය කියන්නේ අපේ වගේ පටු එකක් නෙමෙයි

ඒත් අපි ඉගෙන ගත්තු දේවල් වලින් මොනවද අපිට මතක තියෙන්නේ. අපි කිව්වට ඉතින් මේක සමහර අයට අදාළ නැතුව ඇති. ඒත් මටනම් එහෙමයි. ඉගෙන ගත්තු ගොඩක් දේවල් හරියට මතක නැහැ

අපේ අම්ම තාමත් මතකයෙන් සුදෝ සුදු කවි පන්තියේ කවි ඔක්කොම කියනවා. අපි පුංචි කාලේ කොච්චරනම් ආසවෙන්ද ඒවා අහගෙන හිටියේ. අදටත් අම්මගේ කටින් ඒ කවි අහන්න මම  හරිම මනාපයි.
සමහර වෙලාවට අම්ම කවි කියද්දී අම්මගේ ඇස් දෙකෙන් කඳුළු ගලනවත් මට මතකයි.

දැනුත් මට මතක් වෙනවා කටුරොද ගම්මානේ හිටපු ටිකිරි, අදිරි සුන්දර ආදර කතාවක පැටලිලා හිටපු හැටි
ඒක ආදර කතාවක් කියල ඒ කාලේ අපිට ලොකුවට තේරුනේ නැහැ
ඒත් ඒ කතාවේ සංවේදී බව අපිව සංවේදී කළා 

ගොඩ මඩ දෙකම සරුසාරය පළබරය 
කටුරොද ගම්මාන තරමක පිටිසරය
ඒ ගම මැදින් ගළනා ගඟ මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය

මේ දරුවන් තිදෙන ගඟ වැලි තලාවට
සෙල්ලම් පිණිස එති සමහර වෙලාවට
අදිරිය කටු රොදේ මුළු ගම පළාතට
ගජ හපනා තමයි බට ලී නලාවට

ගතවිය කලක් අවුරුදු දහයක් ගෙවුනී
ඇසුරද තුන් දෙනාගේ අඩු විය කෙමෙනි
මැහුම් ගෙතුම් හා සියබස දත් රමණී
හීන් මැණිකේ දැන් හරි ලස්සන තරුණී

මෙතනින් පටන්ගෙන ගොඩ නැගෙන කවිය මුළු ජීවිතයක් පුරාවටම ගලා ගිය හැටි....

අදිරි යුද්දෙට ගිහින් අබ්බගාතයෙක් විදිහට ආපහු එද්දී ආදරය කල හීන් මැණිකේ ටිකිරිට හිමි වෙලා තිබුණු හැටි
අදිරි හොරෙන් හොරෙන් තමන්ගේ පුතාට ආදරේ කල හැටි
ඇස් දෙක අඳ පුංචි පුතාගේ කවි කියවෙද්දී අපෙත් ඇස් වල කඳුළු

මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
ඇහෙනවා දැනෙනවා xxxxxx
xxxxxxxxxxx
(අනේ මට මතක නැහැනේ)

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා
මට දැනෙනවා යයි මගේ අත දිගට ගලා
නාඩන් අම්මේ නාඩන් මම විහිළු කළා
එන්නද ගිහින් බොරු කී කොල්ලන්ට තලා 

.........................................................................................................

ඊට පස්සේ අම්මට නොසළකන ලේලි ගැන කියවෙන කවි පන්තිය

බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට 
මැනලා වී මිටක් දුන්නයි මල්ලකට
ගම්දෝ නොගම්දෝ කියලා සිතුනි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

දුකක් නොකර මා ඇති කල අම්මාට
මිටක්වත් නොදී යැව්වයි වී ඉල්ලු කොට
දෙකක් මනාල දීලත් මැගෙ සටකපට
බැහැපන් මැහැලි බැහැපන් හනිකට දොරට

(මෙන්න මේ කොටසේ අපේ ජීවිත වලට ගන්න වැදගත් යමක් තියෙනවා, අපි අපේ අම්මට ආදරේ කරන විදිහටම නේද සහකාරිය හරි සහකාරයත් එයාගේ අම්මට ආදරේ කරන්නේ කියල තේරුම් නොගන්න අඩු පාඩුව තමයි මේ)

මල්ලියේ  ඔහොම නොකරන් අපේ අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට
තියෙන දෙයක් දුන්නෙත් අපි දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට

.............................................................................................

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
පුතුට බයේ දුවන්නියා 
(මේ කවිය බබුට බයේ දුවන්නියා කියලත් කියනවා මම අහල තියෙනවා, ඒත් මම ලිව්වේ අපේ අම්ම කියපු විදිහට)


ලිඳ ළඟ මී අඹ අත්තේ
දසයකි ගෙඩි එක ඉත්තේ
ඉන් එකකුත් ඇත පුතාට
ඇතිනම් සැතපී ගත්තේ 

දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
නුඹේ අම්මා කිරට ගියේ
කිරි එරවා එන්ට ගියේ
කිරි මුට්ටිය ගඟේ ගියේ
ගඟ දෙගොඩින් කොක්කු ගියේ

දැන් කාලේ අම්මල දරුවෝ නළවගන්න මේ විදිහට කවි කියනවද කියල කියන්න මම දන්නේ නැහැ
මමනම් මේ කවි වලින් හොඳට නැලවුනා...
මම මේ කිව්වේ මට මතක තියෙන ටික විතරයි, තව ලස්සන කවි ගොඩක් අපේ අම්මගේ මතක පොතේ තිබිල අපි ඇහුවා

අවාසනාවකට වගේ අපේ අක්කල එයාලගේ ළමයි නළවන්න මේ විදිහට කවි කිව්වේ නැහැ
ආච්චි අම්මටම තමයි ඒ කාරියත් කරන්න උනේ
අපේ අම්මලාගේ පරම්පරාවෙන් පස්සේ මේ කවි කලාවත් වැනසිලා යයිද කියල මට හිතෙනවා