අපේ අම්ම කියන්නේ හොඳ කවි කාරියක්, ඒ කියන්නේ කවි ගොතන්න නෙමෙයි, කවි කියන්න
ලස්සන හඬින් කවි කියද්දී අපි වශී වෙලා වගේ තමයි අහගෙන හිටියේ
අම්ම පුංචි කාලේ ඉඳල ඉගෙන ගත්තු කවි ගොඩක් අම්ම අපිව නලවද්දී කිව්වා මට මතකයි
පස්සේ පස්සේ අපි ලොකු වුනාට පස්සේ අක්කලාගේ දරුවෝ නලවද්දීත් අම්ම මේ කවිම කිව්වා
අපිට වගේ නෙමෙයි අපේ වැඩිහිටි පරම්පරාවට හොඳ මතක ශක්තියක් තිබුනා කියල මට හිතෙනවා
ඒකට එක හේතුවක් වෙන්න ඇත්තේ අපේ ජීවන රටාව තරම් එයාලගේ ජීවිත සංකීර්ණ නැති නිසා වෙන්න ඇති
අපේ අම්මල තාත්තලාගේ මතකය කියන්නේ අපේ වගේ පටු එකක් නෙමෙයි
ඒත් අපි ඉගෙන ගත්තු දේවල් වලින් මොනවද අපිට මතක තියෙන්නේ. අපි කිව්වට ඉතින් මේක සමහර අයට අදාළ නැතුව ඇති. ඒත් මටනම් එහෙමයි. ඉගෙන ගත්තු ගොඩක් දේවල් හරියට මතක නැහැ
අපේ අම්ම තාමත් මතකයෙන් සුදෝ සුදු කවි පන්තියේ කවි ඔක්කොම කියනවා. අපි පුංචි කාලේ කොච්චරනම් ආසවෙන්ද ඒවා අහගෙන හිටියේ. අදටත් අම්මගේ කටින් ඒ කවි අහන්න මම හරිම මනාපයි.
සමහර වෙලාවට අම්ම කවි කියද්දී අම්මගේ ඇස් දෙකෙන් කඳුළු ගලනවත් මට මතකයි.
දැනුත් මට මතක් වෙනවා කටුරොද ගම්මානේ හිටපු ටිකිරි, අදිරි සුන්දර ආදර කතාවක පැටලිලා හිටපු හැටි
ඒක ආදර කතාවක් කියල ඒ කාලේ අපිට ලොකුවට තේරුනේ නැහැ
ඒත් ඒ කතාවේ සංවේදී බව අපිව සංවේදී කළා
ගොඩ මඩ දෙකම සරුසාරය පළබරය
කටුරොද ගම්මාන තරමක පිටිසරය
ඒ ගම මැදින් ගළනා ගඟ මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය
මේ දරුවන් තිදෙන ගඟ වැලි තලාවට
සෙල්ලම් පිණිස එති සමහර වෙලාවට
අදිරිය කටු රොදේ මුළු ගම පළාතට
ගජ හපනා තමයි බට ලී නලාවට
ගතවිය කලක් අවුරුදු දහයක් ගෙවුනී
ඇසුරද තුන් දෙනාගේ අඩු විය කෙමෙනි
මැහුම් ගෙතුම් හා සියබස දත් රමණී
හීන් මැණිකේ දැන් හරි ලස්සන තරුණී
මෙතනින් පටන්ගෙන ගොඩ නැගෙන කවිය මුළු ජීවිතයක් පුරාවටම ගලා ගිය හැටි....
අදිරි යුද්දෙට ගිහින් අබ්බගාතයෙක් විදිහට ආපහු එද්දී ආදරය කල හීන් මැණිකේ ටිකිරිට හිමි වෙලා තිබුණු හැටි
අදිරි හොරෙන් හොරෙන් තමන්ගේ පුතාට ආදරේ කල හැටි
ඇස් දෙක අඳ පුංචි පුතාගේ කවි කියවෙද්දී අපෙත් ඇස් වල කඳුළු
මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
ඇහෙනවා දැනෙනවා xxxxxx
xxxxxxxxxxx
(අනේ මට මතක නැහැනේ)
ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා
මට දැනෙනවා යයි මගේ අත දිගට ගලා
නාඩන් අම්මේ නාඩන් මම විහිළු කළා
එන්නද ගිහින් බොරු කී කොල්ලන්ට තලා
.........................................................................................................
ඊට පස්සේ අම්මට නොසළකන ලේලි ගැන කියවෙන කවි පන්තිය
බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට
මැනලා වී මිටක් දුන්නයි මල්ලකට
ගම්දෝ නොගම්දෝ කියලා සිතුනි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට
දුකක් නොකර මා ඇති කල අම්මාට
මිටක්වත් නොදී යැව්වයි වී ඉල්ලු කොට
දෙකක් මනාල දීලත් මැගෙ සටකපට
බැහැපන් මැහැලි බැහැපන් හනිකට දොරට
(මෙන්න මේ කොටසේ අපේ ජීවිත වලට ගන්න වැදගත් යමක් තියෙනවා, අපි අපේ අම්මට ආදරේ කරන විදිහටම නේද සහකාරිය හරි සහකාරයත් එයාගේ අම්මට ආදරේ කරන්නේ කියල තේරුම් නොගන්න අඩු පාඩුව තමයි මේ)
මල්ලියේ ඔහොම නොකරන් අපේ අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට
තියෙන දෙයක් දුන්නෙත් අපි දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට
.............................................................................................
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
පුතුට බයේ දුවන්නියා
(මේ කවිය බබුට බයේ දුවන්නියා කියලත් කියනවා මම අහල තියෙනවා, ඒත් මම ලිව්වේ අපේ අම්ම කියපු විදිහට)
ලිඳ ළඟ මී අඹ අත්තේ
දසයකි ගෙඩි එක ඉත්තේ
ඉන් එකකුත් ඇත පුතාට
ඇතිනම් සැතපී ගත්තේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
නුඹේ අම්මා කිරට ගියේ
කිරි එරවා එන්ට ගියේ
කිරි මුට්ටිය ගඟේ ගියේ
ගඟ දෙගොඩින් කොක්කු ගියේ
දැන් කාලේ අම්මල දරුවෝ නළවගන්න මේ විදිහට කවි කියනවද කියල කියන්න මම දන්නේ නැහැ
මමනම් මේ කවි වලින් හොඳට නැලවුනා...
මම මේ කිව්වේ මට මතක තියෙන ටික විතරයි, තව ලස්සන කවි ගොඩක් අපේ අම්මගේ මතක පොතේ තිබිල අපි ඇහුවා
අවාසනාවකට වගේ අපේ අක්කල එයාලගේ ළමයි නළවන්න මේ විදිහට කවි කිව්වේ නැහැ
ආච්චි අම්මටම තමයි ඒ කාරියත් කරන්න උනේ
අපේ අම්මලාගේ පරම්පරාවෙන් පස්සේ මේ කවි කලාවත් වැනසිලා යයිද කියල මට හිතෙනවා
දැන් අම්මලට කවි කිය කියා දරුවන්ව නළවන්න වෙලාවක් නෑ. ඉතිං එයාලා කරන්නේ සංගීතයක් එක්ක කැරකෙන මොකක් හරි දරුවා ඉන්න තැන එල්ලන එක.ඕකයි අද කාලේ තත්වේ.ඒත් පුංචි කාලෙ ඉදලම දරුවන්ට මේවගේ කවි ඇහුන්න සැලැස්සුවහම ඒ දරුවගේ බුද්ධි ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම සුන්දර ලෙස ලෝකය දිහා බලන්න ඒක එයාට ලොකු තල්ලුවක් වෙනවා කියලයි මං නම් විශ්වාස කරන්නේ.
ReplyDeleteලොකූ මේ ලිපියත් නියමයි. කියවගෙන යද්දී මාත් පුංචි කාලෙට ගියා.
ඇත්ත...අච්චිලගෙන් පස්සේ කවිකීම් නැවතිලා තමා..දැන් ඉන්න ගොඩක් ගැනුලමයි කොහෙද බං දරු නැලවිලි ගැන දන්නේ...
ReplyDeleteඋඹ ඔය ලියලා තියෙන කවි මාත් ඉස්සර ආසාවෙන් කියොපුව..අහපුව...
ඔයවගේ සරලව අපේ ජීවිතත් එක්ක ගලාගෙන ආපු කවි..දැන් ලියවෙනව බොහොම අඩුයි....
දන්නවද වැඩක්...අපේ පුංචි මට කිව්වා මම චූටි කාලේ නිදාගන්න කවුරුත් කවි කියන්න ඕනෙ නෑලු....මාව කකුල් දෙක උඩට ගත්තම මම " හ්ම්ම්ම් හ්ම්ම් හ්ම්ම් " කිය කිය තාලෙට කියාගන්නවාලු...අපේ අම්මිට ලේසි වෙන්න ඇති :)
ReplyDeleteමගේ යාලුවෙක් ළමයා නලවන්නෙ රේඩියෝ එක දාලා....තොටිල්ලෙ තියලා රේඩියෝ එක ටිකක් සද්දෙන් දැම්ම බබා එක අහගෙන දොයියනවා...සිම්පල් ප්ලෑන් එකක්....
ඔය පරන කවි නම් මටත් ටිකක් විතර මතක හිටිනවා.... මොකද මං පුංචිම කාලෙ මාව බලාගත්තෙ අපේ මාම කෙනෙක්... එයා කවිකාරයා... අදටත් දකුනු පලාතෙ ටිකක් විතර ප්‍රසිද්ධ කවියෙක්.... කවි පොත් එහෙමත් පල කරනවා, හිටිවන කවි මඩු පවත්වනවා... ඉතින් ඒ දවස්වල එයා මාව බලාගන්න අතරෙ නිතරම කවි කියනවා..නැලවිලි ගී වගේම හිටිවන කවිත්... ඒ නිසා කවි කීම ඒ තරම් අරුමයක් උනේ නෑ මට...
ReplyDeleteඇත්තටම මම නම් කවි කිය කිය තමයි පුංචි කාලෙ මගේ පොඩි උන් දෙන්න නිදි කෙරෙව්වෙ...සමහරදාට මං වැඩ ඇරිලා එනකොට රෑ හත විතර උනත් මම හරි ආසයි ඒ වැඩේට... ඒ නිසා මහන්සි බලන්නෙ නැතිව ඔයා කියපු කවි වැඩි හරියක් මාත් කියල තියෙනව ඒ දෙන්න නිදි කරනකොට... මට මතකයි මං කවි කියනකොට හබී හිනාවෙනව 'අනේ ඔයා...' කියලා. පොඩි උන් ඊට ටිකක් ලොකු වෙනකොට නිදන්න කලින් කතන්දරයක් කියල දෙන්න ඕන උනා...ඊටත් ටිකක් ලොකුයි දැන්... අදටත් බලන් ඉන්නවා මං ඇවිත් උම්මා එක්ක දීලා 'Good Night' කියලා ඇඳට දාලායනකම්...
@ batti
ReplyDeleteඔව් බට්ටියේ ඒකනම් සහතික ඇත්ත
දැන් කාලේ අම්මල ඉස්සර වගේ නෙමෙයි එයාලත් රේස් එකක්නේ දුවන්නේ, අපිට එයාලට වැරද්දක් කියන්නත් බැහැ
@ Raj
ReplyDeleteකියන්න වෙලාව තියෙන අම්මලා වුනත් දැන් මේවා කියන්න ලැජ්ජයිද කොහෙද...
අලුත් කවි නැතත් මේ පරණ එව්වා ටික හරි එහෙමනම් ඉදිරියට යනවනේ
@ දිල්
ReplyDeleteදිල් පොඩි කාලේ ඔටෝ නිදි ගියර් එකට වැටිලද කොහෙද ඉඳල තියෙන්නේ
නැත්නම් පොඩි එකෙක්ව නිදි කරනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයිනේ
දැන් කාලේ යන ටකරන් සින්දු අහගෙන නිදා ගන්න පුරුදු වෙච්චි අර යාළුවගේ පොඩි එකාටනම් අබ සරණයි කියල තමයි කියන්න වෙන්නේ :)
@ Miyuru
ReplyDeleteඅහන්නත් ආසයි අලුත් පරම්පරාවේ මේ වගේ අම්මලා තාමත් ඉන්නවා කියන එක ගැන.....
දෑන් නෑලවිලි ගී කෑසට් තියෙනවානේ,ගොඩක් සිදාදියේ අය පොඩි එකාට ඔක දාලා වෑඩක් කරනවා.යකො ඔන්න වෑඩ.
ReplyDeleteඅතීතය හරිම මිහිරි සහො,උබ වගේම මමත් ඔහොම ඈහෑව්වා.ඒ කලේට යන්න අපිට බෑ.ඒත් ඒ නෑලවිලි කවි ඉස්සරහට ගෙනියන්න අනිවාර්යෙන්ම ඔනේ.හෑමදේටම ඩිජිටල් ක්‍රමය දානවාට අපි මනාප නෑති නිසා.
ජයවේවා,දිගටම ලියපන්
@ අනුප්‍රිය
ReplyDeleteසාදරයෙන් පිළි ගන්නවා සහෝ...
හැම දේම යාන්ත්‍රික වෙන ලෝකේ මෙව්වා අගය කරන පිරිසක් තාම ඉන්න එකත් ලොකු දෙයක්
මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
ReplyDeleteපෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මේ මම අහ ගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා
හරිම ලස්සන ලිපියක්...මමත් හිතින් පොඩි කාලෙට ගියා...අම්මා තමයි ඔය කවි කියල දුන්නේ...
@ සයුරි
ReplyDeleteබොහොම ස්තුතියි ලිපිය අගය කිරීමට සහ කවිය සම්පුර්ණ කොළාට...
අදමයි ආවෙ ලොකු පුතා. අපි පොඩි කාලෙ මායි නංගියි මල්ලියි තාත්තත් එක්ක ඇඳේ වැටිලා කතන්දර අහනවා. තාත්තගෙ ඇඟ උඩ නැගලා කතාව අහන්න හැම කෙනාටම දවස් තුනකට සැරයක් වාරයක් එනවා. තාත්තාත් කතන්දර ගබඩාවක්.
ReplyDeletehenryblogwalker aka dude
@ Dude
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරයා මේ පැත්තට ගොඩ වැදුනට
අපි පොඩි කාලේ අහපු කවි කතා ටික මේ විදිහටවත් පරිස්සම් කර ගන්න බලන්න ඕනි මචං
අපිට පුළුවන් වෙයිද අපේ දරුවන්ට අපි මේ කතා කරන විදිහට මතක හිටින අම්මල තාත්තල වෙන්න
එහෙම බැරි උනොත් අපි මේ දියුණුව කියල කියන දියුණුවෙන් වැඩක් නැහැ කියලයි මට හිතෙන්නෙ
අපේ අම්මට ලස්සනට කවි , සිංදු කියන්න පුලුවං..මටනං මේ ලෝකේ ලස්සනම ගායිකාව අම්මා ..හැමෝටම එහෙම වෙන්න ඇති...මේ කවි දැක්කම ඒ අතීතේ මතක් උනා....අද ඒ කවි අහන්න මම අම්ම ලග නෑනේ කියලා දුක හිතුනා.....හෙට උදේම අම්මට කෝල් කරන්න ඕනේ !!!!
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteමට මතක විදිහට මේ ඔබගේ පළවෙනි කමෙන්ට් එක නේද...
මුලින්ම ඔබව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ ගෙදරට
අපිට පොඩි කාලේ ඉඳලම ඉන්න ලොකුම ව්වෙරයෝ තමයි අපේ අම්මා සහ තාත්තා
ඒත් පස්සේ ටික දවසක් යද්දී මේකෙ පොඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇති වෙනවා අපේ වයස 15, 16 වගේ වෙද්දී
ඒත් ආපහු ලෝකේ තව පොඩ්ඩක් ඉස්සරහට යද්දී අර පොඩි කාලේ දැනුනට වඩා හොඳට අපිට දැනෙන්න ගන්නවා අර දෙන්න තමයි අපේ ලෝකේ සැබෑම සැබෑ වීරයෝ කියලා
මමත් අද අම්මට කෝල් කරන්න තමයි හිතාගෙන ඉන්නේ :)
මෙන්න ළමා ගී ඔන්ලයින් අහත හැකි
ReplyDeletehttp://www.musictopalbum.co/2010/10/lama-gee.html
තැන්කු මකරෝ...
ReplyDeleteනිවාඩු පාඩුවේ අහල බලන්න ඕනි.
ලමයව ආදරෙන් තුරුළු කරන දොයිගත්තම ළමයත් දොයිගන්නවා.. ඔව්
ReplyDelete