Friday, 3 February 2012

තුන්වන නිධන් කොල්ලයෙන් පසුව ජිවත් වීමේ වාසනාව ලදිමි

ඉන් පසුව මොවුන්ගේ අවධානයට ලක් වී තිබුනේ මහ වනයේ ඇතුලක තිබු ඉපැරණි දාගැබකි. එය පාදම දක්වාම ගරා වැටී තිබු එකක් බව කීවද එය මුසාවක් වීමටද පුළුවන. එවැනි දේ නිසා මා ඔහුට බැනවැදුණු අවස්ථා ඇති නිසා ඔහු කරුණු වෙනස්කර කීවා වන්නටද හැක. වනයක් මැද ඇතැයි පැවසුණු එය මිනිස් ඇසෙන් බොහෝ දුරක තිබු එකක් බව පැවසු කතාව ඇත්තක් වන්නට ඇත. මිනිස් ඇසට කිට්ටුවෙන් ඇති තැනක එවැන්නක් කිරීම තරමක් අපහසුය. එහි මැද වූ හතරැස් හැඩයේ ලිඳක් වැනි කොටසේ පතුලේ නිධානය ඇති බවක් වදුලේ ලියවී තිබුණේලු. මේ ලිඳ වැනි කොටස මනාව ඇතිරූ ගඩොල් සහ එකල භාවිතා කල සිමෙන්තියක් වැනි වූ මැටි මිශ්‍රණයෙන් මනාව පුරවා වසා තිබී ඇත. මෙවැනි නිධානයක් ගොඩ ගැනීම පහසු දෙයකැයි සිතු පිරිස බොහෝ සතුටින් වැඩට බැස ඇත. එයට හේතුව ගල් කැඩීමට බෝර දැමිය යුතු නොවීමය. නමුත් සති ගණනක් තිස්සේ ගඩොල් සහ බදාම මිශ්‍රණය ඉවත් කරමින් අඩි 30 ක් පමණ යටට හෑරුවත් අවසානයක් දැකිය නොහැකි වූ නිසා එය අත්හැර දැමු බව ඔහු පැවසීය.
නිධන් හොරු විසින් විනාශ කරනු ලැබූ මහ වනයක් මැද පිහිටි දාගැබක් නැවත ගොඩනැගෙමින් පවතින අතරතුර....
නැවත ගොඩනැගීමේ  කටයුත්ත වෙනුවෙන් තම කාලය හා ශ්‍රමය  වැයකර තිබුනේ මාගේ හොඳම මිතුරෙකි.
වියදම ලැබී තිබුණේ රජයේ යම් ව්‍යාපෘතියකින් ඉතුරු වූ මුදල්ය.
ඒ සඳහා වෙහෙසවූ මා මිතුර ඔබට සහ ඔ‍බගේ කණ්ඩායමට මාගේ ප්‍රණාමය
දාගැබක් තුළ තිබූ නිධන් ගලක්
නමුත් මෙවැනි ස්ථාන වල ඇත්තේ නිධන් වස්තු නමින් හඳුන්වනු ලබන ධාතුන් වහන්සේලා වැනි දෑ
මිසක් රන් මුතු මැණික් නොවන බව බොහෝ දෙනෙක් නොදනී.
වරක් මොවුනට මුහුණ දීමට සිදු වූ සිද්ධියක් නිසා යම් වැදගත් තොරතුරක් මා හට දැනගන්නට ලැබුණි. එනම් මැණික් නිධාන සම්බන්ධවයි. මොවුනගේ කණ්ඩායමට වරක් කොහේදෝ තිබු නිධානයකින් මැණික් පිරවූ මුට්ටියක් ලැබී ඇත. නමුත් එහි තිබු මැණික් සියල්ල අජීවී වී එනම් මැරී තිබී ඇත. එයට හේතුව ලෙස මේ කරුණ මා හට දැනගන්නට ලැබිණි.

පෙර කල නිධන්ගත කරන සියලුම මැණික් නිධාන වලට ජලය සැපයෙන මගක් සකසා තිබෙන බව ඔහු කිවේය. එම ජල සැපයුම නතර වී බොහෝ කලක් ගියහොත් මැණික් මැරෙන බවද ඔහු පැවසීය. එය ඇත්තක් හෝ බොරුවක් හෝ වියහැකි වුවද මැණික් සහිත නිධානයන් ජල සැපයුම් සහිත ස්ථාන වල පිහිටා ඇති බවනම් ඇත්තකි.
නිධන් හාරන්නන් කැමතිම නිධන් වර්ගය ලෙස ඔවුන් නම් කරන්නේ මැණික් සහිත නිධානය. එයට හේතුව ඒවා කිසි කරදරයකින් තොරව මේ දැන් පොළවෙන් ලැබුනා සේ විකුණා ගැනීමට ඇති හැකියාවයි.


මැණික් සහිත එවැනි නිධානයක් ඇති තැනක් සම්බන්ධ හෝඩුවාවක් බොහෝ මෑතකදී මා හට දැනගන්නට ලැබුණි. ජලපහරක ඇතැයි කියවෙන එම නිධානය මා අසා ඇති විශේෂිතම නිධානයකි. ඉදිබුවෙකුගේ හැඩයට කොටා ඇතැයි කියවෙන ගලක් තුළ මැණික් පුරවා ඇති බව කියවේ. එම ස්ථානය සහ කියූ සලකුණු සත්‍යය බව මා හට පසුව තහවරු කර ගැනීමට හැකියාව ලැබුණි. අතේ කැමරාවක් නොතිබූ නිසාත් අධික ලෙස වැඩකටයුතු බහුල වූ නිසාත් ගියවර නිවාඩුවේදී එය බැලීමට යන ගමන කල් දැමීමට මා හට සිදු විය. මා නැවත ලංකාවට යනතෙක් එය සුරකී තිබුණහොත් එම ස්ථානය නරඹා ජායාරුප කිහිපයක් මතු කාලයේදී පළකිරීමට කටයුතු කරන්නෙමි. එය පිහිටි ස්ථානය වැනි අනවශ්‍ය කරුණු මගෙන් නොඅසනවානම් මැනවි.

එලෙසින්ම ඔවුන් රත්‍රන් බුදු පිළිම වැනි දෑ ලැබෙනවාට ඒ තරම් මනාපයක් නොදක්වයි. එයට හේතුව ඒවා එලෙසම විකුණා ගැනීමට ඇති අපහසුවත් උණුකර(මකවා) රත්‍රන් කුට්ටි ලෙස විකිණීමෙන් ඇති වියහැකි අනිසි ප්‍රථිපල වලට ඇති බියත් නිසාය. නමුත් එලෙස සිදු කරන උදවියද ඉන්නා බව සැබෑය. කෙසේ හෝ නිධන් ගැනීමෙන් පසුව වාසනාව නොව අවාසනාව ලඟා කරගත් මිනිසුන් බොහෝ ඇත්තේය.


දිනක් මා මිතුරකු අප නිවසට පැමිණියේ මළදුගල කන්ද තරණය කිරීමටත් කුරුල්ලන් සහ වටපිටාව ජායාරූප ගැනීමටත් සිතාගෙනය. දිනය 2007 ජනවාරු 14 වැනිදායි. ගමන ආරම්භයේ පටන්ම නොයෙක් කුරුළු, සමනල වර්ග දැකබලාගත් අප තිදෙන (මම, මිතුරා සහ අක්කාගේ පුතා) මුලින්ම කන්දේ පන්සල නැරඹීමට ගියෙමු. සෑම වසරකම කන්ද මුදුනේ පිරිතක් කියන සිරිතක් ගමේ පැවතෙන්නේය. නමුත් මෑතකදී පිරිත කඳු මුදුනේ කීම අපහසු නිසා පන්සල පිහිටි මට්ටමේ තරමක් දුරින් ඒ සඳහා වෙනම ස්ථිර පිරිත් මඩුවක් තනා ඇත.
කන්දේ පැත්තක පිහිටි ස්ථිර පිරිත් මඩුව
එම ස්ථානයද නැරඹු අපගේ ඊළඟ අරමුණ වුයේ කඳු මුදුනය. කන්දට කිහිප වරක් ගොස් ඇති මා හට කන්දේ සියලුම ස්ථාන හොඳින් මතකයේ තිබීම නිසා සහ හොඳින් එම පෙදෙස දන්නා නිසා බිය වන්නට කිසිම හේතුවක් නැත. සුපුරුදු පරිදි කඳු මුදුනටත් අප බොහෝ ප්‍රිය කරන උමග සහිත ගල්ගුහාව ඇති ස්ථානය දක්වාත් ගමන් ඇරඹුවෙමු. මෙහි පිවිසෙන සෑම විටම පාහේ හොඳින් එලිය ඇති විදුලි පන්දමක් රැගෙන යාම මාගේ සිරිත වේ. කැලෑවක හෝ වෙනත් ගමනක් වේවා කුමන හෝ ගමනක් යද්දී අධිබල විදුලි පන්දමක් රැගෙන යාමේ මාගේ පුරුද්ද අදටත් එසේමය.
කෙසේ හෝ දාඩිය මුගුරු පෙරාගෙන ගල් ගුහාව අසලට පිවිසි අපහට ගල් දෙබොක්කාව හරහා එන සිසිල සුළං රැල්ල මහත් සහනයක් විය. මද වෙලාවක් එහි ගිමන් හල පසු ගල් ගුහාවට බැසීමට සුදානම් වුනෙමු. එහි ඇත්තේ දැඩි අඳුරකි. වෙනදා පුරුද්දට ගලෙන් පහලට රූටා බැසීමට සුදානමින් පහලට කකුල් දෙක දමා විදුලි පන්දම දැල්වීමි.
වෙනදා උඩ ඇති ගලෙන් අඩි හතරක් පමණ පහලින් ඇති පොළව එදා තිබුනේ නැත. පොළව ඇත්තේ එතැන සිට අඩි විස්සක් විසි පහක් පමණ පහලිනි. වෙනදා පුරුද්දට පහළට පැන්නේනම් මගේ කකුල් දෙකෙන් ආපසු ඇවිදීමට ලැබේදැයි පවා සිතීමට නොහැක.
මෙම ජායාරුපයෙන් එහි හාරා ඇති විශාල වල යන්තමින් දැකගත හැකිවනු ඇත.
මෙය ගනු ලැබුවේ ගල් ගුහාව වෙත වෙනත් පසකින් පිවිසීමෙන් පසුවය.
පසුව වෙනත් මගක් ඔස්සේ ගියද අප හට වෙනදා මෙන් ගල් ගුහාවේ උමග ආසන්නයට යා නොහැකි විය. ඒ පැත්තටද සිදු වී තිබුනේ එයමය.
වෙනදා එතරම් අවහිර වලින් තොර මාර්ගය අද වෙද්දී ගල් ගුහාවේ පොළවෙන් ගොඩගෙන විසිකරනු ලැබූ විශාල ගල්වලින් අවහිර වී ඇති අයුරු. නිධන් කොල්ලයට පෙර මෙම විශාල ගල් වලින් බිත්ති සේ බැඳ ගුහාවේ කොටස් ආවරණය කර තිබුණි.
නිධන් හෑරීම් සිදු වූ බව දැනගෙන තිබුනද ඉන්පසුව මා මෙහි පැමිණියේ මුල් වතාවටය. මෙම සිද්ධිය දුටු පසු සහ ඇතිවූ තිගැස්ම නිසා එතන වැඩි වෙලාවක් රැඳී සිටීමට සිතක් අප හට තිබුණේ නැත. මාව වලට වැටුනේනම් සිදුවන දෑ හිතා ගැනීමටත් නොහැක. මා හොඳින් එළිය ඇති විදුලි පන්දමක් ගෙන ආවේ සහ පහළට බැසීමට පෙර එය දල්වා බැලුවේ වාසනාවටමය.
කන්දේ අනිත් පස බැලීමද පසෙක තබා අප තිදෙනා පල්ලම් බැසීමට තීරණය කළෙමු.


සති කීපයක අවෑමෙන් මා හට ගමේ මිතුරා දැක ගැනීමට අවස්ථාවක් ලැබුනේ අහම්බයකින් මෙනි. මේ වනවිට ඔහු ගමෙන් පිට පතලක රැකියාව කරමින් සිට ඇති අතර අහම්බයකින් මෙන් ගම ආ මොහොතක මා හට මුණගැසිනි.
අප මලදුගල කන්ද නැග්ග බවත් නිධන් ගොඩගෙන ඉතුරු වූ වලේ නොවැටී ජිවිතේ බේරාගත්තේ නුලෙන් බවත් ඔහුට පවසා හොඳට දෙහි කැපුවෙමි. වලේ ගැඹුර අඩි 20 ක් පමණ වූ බව මම කියූ විට ඔහුගේ මුහුණින් අමුතු හැඟීමක් දැක ගන්නට හැකි විය.


"එහෙනම් මට ආරංචි වෙච්ච දේ හරි" යයි පැවසු ඔහු තවත් කතාවක් මගේ කණේ තැබුවේය. ඔවුන් නිධන් හෑරූ අවස්ථාවේ එතරම් ගැඹුරකට හෑරුවේ නැති බවත් ඔවුනට පසුව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් එම ස්ථානයේම නැවතත් නිධන් හෑරූ බවක් ඔවුනට ආරංචි වූ බවද ඔහු කියා සිටියේය. එසේනම් ඔවුන් විසින් එතරම් ගැඹුරට වල හාරා ඇති බවක් ඔහු අනුමාන කළේය. 
එය ඇත්තක් බව මම නැවත වෙනත් මාර්ග වලින්ද තහවරු කරගත් අතර ඔවුන් විසින් ගොඩ ගත්තේ කුමන අන්දමේ දේවල් දැයි දැනගැනීමට මා උනන්දු වුයේ නැත. උවමනාවක් තිබුණිනම් ඒ ගැන සොයා ගැනීමට බැරි කමක්ද නොතිබුණි.
කෙසේනමුත් එකම ස්ථානයකින් නිධන් දෙකක්ම ගොඩගෙන ඇති බව පමණක් සක්සුදක් සේ පැහැදිළිය.


තවත් කොටසක් ළඟදීම....

Monday, 30 January 2012

මළදුගල කන්දේ දෙවන නිධානයත් ගොඩ ගනියි...

මේ කියන්නේ යන්නේ තවත් නිධන් කතාවක්,
මේ සාමාන්‍ය පෙළ ප්‍රථිපල බලාපොරොත්තුව සිටි අවධියයි. අප නිවසට පැමිණි තවත් මිතුරන් දෙදෙනෙකු සමග මළදුගල කන්දට නැගීම මාගේ අභිප්‍රාය විය. මළදුගල කන්දට නගින දෙවන අවස්ථාවයි මේ. එහි ගිය අපහට ගල් ගුහාවේ එක් විවරයක් අසල ගසක දරණ ගැසී සිටි පළා පොළඟකු දැක ගන්නට ලැබුණි. පහළට බැසීමටනම් එම ගසේ එල්ලී යා යුතු විය. එනිසා එමගින් ඇතුළු නොවී සුපුරුදු ස්ථානයෙන් ඇතුලට පිවිසීම සඳහා අනෙක් පසින් යාමට අප තීරණය කලෙමු.
පළා පොළඟා විෂ සහිත සර්පයෙකු බව එදවස අපගේ මතය විය. නමුත් පසුව දැන ඉගෙන ගත් පරිදි පළාපොළඟා යනු මදවිෂ සහිත සර්පයෙකු බව දැනගන්නට ලැබුණි. එමෙන්ම ඌගේ සපා කෑමෙන් කිසිදු මරණයක් අප රටෙන් වාර්තා වී නොමැත. පසු කලෙකදී උන් අල්ලා අතට ගැනීමට පවා මා බිය නොවුනෙමි.
එදින ආපසු ගමනේදී මල්සරා නමින් හැඳින්වෙන අලංකාර සර්පයකු දැකගනිමටද වාසනාව අප හට ලැබිණි.
මා පෙර කී පරිදිම මෙහි ඇති ගල් ගුහාවේ විශේෂයනම් ගුහාවට නිකම්ම ඇතුළු වීමට නොහැකි අතර වලකට බසිනවාක් මෙන් බැස යා යුතු වීමය.


ගුහාවට බැසීම සඳහා අනෙත් පසට එනම් බැලුම්ගල අසළට ගිය අප හට අමුතු දසුනක් දැක ගැනීමට ලැබුණි. එනම් කිසිවක් පිරවූ මල්ලක් සහ ලෑලි පටි ගැටගසා සාදන ලද කුඩා බංකුවකුත්ය. දුම් වැදී කළුවී ගිය පරණ දුම් කබලක්ද ඒ අසල තනි රකිමින් සිටියේය. සිතට එකවරම ඇතිවූ චකිතය නිසා හොඳින් වටපිට සෝදිසි කර බැලු අතර කිසිවෙකු ඉන්නා බවක් නොපෙනීම මහත් සහනයක් විය. එකෙකු ඔත්තු බලන අතරේ මමත් එක් මිතුරෙකුත් ගොස් මල්ල ලිහා බැලුවෙමු. පොල් තෙල්, හඳුන් කූරු, කපුරු සහ තවත් නොයෙකුත් දෑ මල්ල තුල විය. පළමු කොටසේදී කන්දේ පිහිටීම පැහැදිලි කළා ඔබට මතක ඇතැයි සිතමි. අප ඉන්නා තැන සිට පහළ බැලු විට ඇත්තේ පුංචි ලෝකාන්තයක් බඳු වූ පාතාලයයි.


මල්ල සහ බඩුමුට්ටු ටික පාතාලය කරා ගමන් කරනා අයුරු ඊළඟ මොහොතේ දිස් වන්නට විය. මේ සිද්ධිය නිසා හිත තරමක් ගැස්සුනද වටපිට කවුරුන් හෝ දැකීමට නැති නිසාත් කිසි සද්දයක් බද්දයක් අසුනේ නැති නිසාත් චකිතය තරමක් තුනී වන්නට විය. මල්ල විසිකර දැමීමේ අරමුණ වුයේ නිධන් හොරුන්ට බාධා කිරීම වුවත් නැවතත් පැමිණ ඔවුනගේ කාරිය කරගෙන යාමට එයින් මහලොකු බාධාවක් නැති බව අප නොදැන සිටියා නොවේ. පොලීසියට දැන්වීමට සිත්වූයේ නැත්තේ මන්දැයි කීමට මතකයක් නැතත් දැන්වීමෙන් පළක් වේදෝ යන්න සැක සහිතය.
මෙම අවධිය වන විට රුපවාහිනී කුළුනේ මුවාවෙන් ගත් නිධානයද ගොඩ ගෙන නොතිබුණි. ස්ථීරවම එසේ කීමට හැක්කේ ඒ වන විටත් කුළුනේ වැඩකටයුතු සෙමින් සෙමින් සිදු වෙමින් පැවතුනු නිසාය. කුළුනේ වැඩ සඳහා සිමෙන්ට් උරයක් කන්දට ගෙනගොස් දෙනවාට සිමෙන්ට් උරයේ මිළට වඩා වැඩි මිළක් ගෙවූ බව මිනිසුන් කතා වෙනවා මට මතකය. ගමේ සිටි සවි ශක්තිය ඇති මිනිසුන් කිහිප දෙනෙක් ඒ සඳහා සහය වූ බවද දකින්නට ලැබුණි. මෙසේ කඩින් කඩ හෝ කුළුනේ ඉදිකිරීම් කටයුතු සිදුවන අතරවාරයේදී කවුරුන් හෝ මෙම ස්ථානයේ ඇති නිධානයටද බැල්ම දාගෙන සිට ඇත. ඒ එකම පිරිසක් වන්නට ඇති හැකියාව බොහෝ ඉහළය.


කුළුනේ වැඩ කටයුතු අතරමග නතර කර දැමුවේ 2000 මුල් අවධියේදීය. ඒ වනවිට කුළුන ආසන්නයේ නිධානය ගොඩ ගෙන අහවර වන්නට ඇතැයි සිතිය හැකිය. ලොකු හාමුදුරුවන් අපවත් වූ වර්ෂය මාගේ මතකයේ නැතත් එම නිධානය ගොඩ ගන්නට ඇත්තේ උන් වහන්සේ ජිවිතයේ අවසාන භාගය හෝ ජිවිතයෙන් සමුගත් මුල් අවධියේදී හෝ වන්නට ඇත.


මේ මම උසස් අධ්‍යාපනය ලබන අවධියයි. ආසන්න වශයෙන් වසර 2003 හෝ 2004 දී පමණ වන්නට ඇත. ලොකු හාමුදුරුවෝ අපවත් වී තරමක කාලයකි.
කුඩා අවධියේ මගේ සෙල්ලම් සගයෙකු වූ මට වඩා වසර තුනක් බාල ගමේ කොල්ලෙකු නිධන් හාරන්නන් පිරිසක් හා සම්බන්ධ වී කටයුතු කරමින් සිට ඇත. (ගමේ සිදුවූ සුළු සුළු හොරකම් සම්බන්ධයෙන්ද සැකය ඔහුවෙත යොමු වූ බවක් මා අසා තිබුණි) රටේ සෑම දෙසින්ම වාගේ එක් වූ පිරිසක් නිධන් මංකොල්ලය සඳහා දායක වී සිටි බව ඔහු කීවේය. රාජගිරියේ පන්සලක හිමිනමක් යැයි කියනා පුද්ගලයෙකුද මේ අතර සිට ඇත. නිධානය ගැනීමේදී කට්ටඩියෙකු වශයෙන් සිදු කරනා කටයුතු කර ඇත්තේ ඔහු විසිනි. සම්පුර්ණ පිරිස 10 දෙනෙක් පමණ වූ බව ඔහු පැවසීය. 


මෙම පිරිස ටික දිනකට පෙර මළදුගල කන්දේ උමං මගේ ඇති නිධානයක් ගැනීමට ගිය බවත් එය සාර්ථක වූ බවත් ඔහු මා හට පැවසීය. මෙයින් මාගේ කුතුහලය ඇවිස්සුනි. එනම් කුළුනේ මුවාවෙන් නිධානයක් ගත්බව කියවෙන කතාව බොරුවක්ද. ඔහුගේ පැහැදිළි කිරීමෙන් පසුව මොවුන් ගොඩගෙන ඇත්තේ ගල්ගුහාව තුළ තිබු වෙනම නිධානයක් බව දැනගන්නට ලැබුණි. කුළුණ ආසන්නයේ තිබු නිධානය පිහිටි ගලක් හාරා නිධන් කල එකක් බව කියවේ. නමුත් මොවුන් ගොඩගෙන ඇති නිධානය තිබී ඇත්තේ අපි හැමදාම වාගේ ගොස් නරඹන ගල්ගුහාව තුළය. එහි පොළව මැටි සහිත පසක් වූ අතර එතරම් මහන්සියකින් තොරව හැරීමට හැකි ස්ථානයකි. කෙසේ නමුත් හාමුදුරුවන් විසින් විශාල ගල් දම්මවා බඳින ලද බාධකය නිසා නිධානය ගොඩ ගැනීම පහසු වී නොමැත.


ඔවුනට මෙයින් ලැබී තිබුනේ ග්රෑම් 250 ක පමණ බරකින් යුතු වූ රන් පළඟානක් සහ හතරැස් සෙල් ඵලකයක ලියවුනු සෙල් ලිපියකි. එය ප්‍රමාණයෙන් අඩි එකහමාරක් පමණ දිගැති අඩි භාගයක් පමණ පළලැති අඟල් 3 ක් හෝ 4 ක් පමණ ඝනකම ගල් පුවරුවක් බව ඔහු පැවසීය.
මෙම සිද්ධියෙන් පසු ඇතිවූ සංක්‍රාන්තික සමයකදී ඔහු යම් කලක් ගමට වී කල්ගත කළේය. එහිදී මා මුණගැසුණු මොහොතක මේ කතාව මට දැනගන්නට ලැබිණි.


රන් තැටිය විකුණා මුදල් බෙදා ගත් බවත් සෙල් ලිපිය සහිත  ඵලකය රාජගිරියේ විසු හාමුදුරුවන් රැගෙන ගිය බවත් මට දැනගන්නට ලැබිණි.
ග්රෑම් 250 ක පමණ රන් තැටිය විකිණීමෙන් ඔහුට ලැබී තිබුන කොටස රුපියල් 20,000/- ක පමණ මුදලකි. එයින් එම කණ්ඩායම තුළ ඔහුගේ මට්ටම උපකල්පනය කරගත හැකිවනු ඇත.

රන් තැටියෙන් හෝ නිධන් වලින් මට වැඩක් නැත. නමුත් කුමක් හෝ වැදගත් ලියවිල්ලක් වන්නට ඇතැයි සැලකිය හැකි සෙල් ඵලකය සොයා ගැනීමට හෝ අඩුම වශයෙන් එහි ජායාරූපයක් හෝ ලබා ගැනීම මගේ අරමුණ විය. පිහිටි ගලේ කොටා ඇති සෙල්ලිපි ගැන දැන උන්නද මෙවැනි සෙල් ඵලකයක කෙටු සෙල් ලිපි දුලබ දෙයකි. මෙවැන්නක් ගැන මා මීට පෙර අසා තිබුනේද නැත. කෙසේ නමුත් මෙය වැදගත් ලියවිල්ලක් බවනම් සහතිකය. මාස කීපයක් වෙහෙසුනද මාගේ උත්සාහය සාර්ථක වුයේ නැත. කණ්ඩායමේ බිම් මට්ටමේ සාමාජිකයෙක් වූ ඔහුටද මා හට උදව් කල හැකි මට්ටම සීමාසහිත විය. කෙසේ හෝ විදියබණ්ඩාර යුගයේ තවත් වැදගත් කරුණක් එසේ කොහේ හෝ නොදන්නා තැනක සැඟව ගියේය. මේ ගැන මම තව දුරටත් සොයා බලන්නට සිතා ගත්තද කාලය සහ ඉගෙනීම  නිසා අවස්ථාවක් ලැබුනේ නැත. ඉන් පසුව පළමු රැකියාවට හිර වීමෙන් පසුව ඒ වෙනුවෙන් වෙහෙසීමට පවා සිතීමටවත් කාලයක් තිබුනේ නැත. නමුත් තවමත් මම උත්සාහය අතහැර නැත්තෙමි.

පසු කලෙක  මෙම කණ්ඩායම රජරට ප්‍රදේශයේ මහ කැලෑවක ගල් කුළක් බිඳ අඩි තුනක් පමණ දිග වටිනා රන් කඩුවක් සහ මැණික් සහිත නිධානයක් ගොඩගත් බවත් කඩුව විකිනීමට නොහැකි නිසා එහි තුඩින් කොටසක් කපා විකිණු බවද මට දැනගන්නට ලැබුණි. එය ඇසු විට මා හට දැඩි කණගාටුවක් ඇති විය. හිතට ඇති වූ කෝපය නිසා මා ඔහුට බැන වැදුනද එයින් ඇතිවන සෙතක් නැත. අප මේ වනසන්නේ අපගේ පැරණි ශ්‍රී විභූතිය නොවේද.
තවත් නිධානයක් සම්බන්ධ අපුරු කතාවක් ඔහු මා හා පැවසීය. එය තිබී ඇත්තේ රජරට පෙදෙසේය. මෙයට සම්බන්ධ වී ඇති කපුවා වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙකි.  ඔහු සතුව හසල යන්ත්‍ර මන්ත්‍ර දැනුමක් තිබී ඇත. එමගින් වශී කරගත් අවුරුදු 20 ක පමණ යුවතියක් ඔහු හා මෙම දුෂ්කර පෙදෙසේ කටුමැටි ගැසූ නිවසේ ඔහු හා පදිංචිව සිට ඇත. නිධන් හැරීමට ගිය පිරිසද නතර වී ඇත්තේ ඒ නිවසේමය. ගෙය පිහිටි ඉඩමේ සිට තරමක් ඈතින් වූ ස්ථානයක නිධානය ඇති බවට වදුලකින් බලා සහතික කරගෙන ඇති කපුවා ඇතුළු පිරිස නිධානය හැරීමේ කටයුතු දිවා රෑ නොබලා සිදු කරගෙන ගොස් ඇත. පස් හැරීමෙන් සහ ඇදීමෙන් මහන්සි වන මොහු සහ තවත් අයෙකු වරින් වර විඩානිවා ගැනීමට හෝ වතුර ගෙන යාමට කියා අර නිවස කරා පැමිණ ඇති අතර ඔවුන්ගේ විඩා නිවා දීමට අර තරුණියද පැකිලී නොමැත.
අවසානයේ පිරිස අතර ඇති වූ හිත් නොහොඳ සහ අඩි 20 ක් පමණ යටට හැරීමෙන් පසුව මතු වූ ගල් දොරක් කැඩීමට මගක් නොවූ නිසාද එම නිධානය අත්හැර දැමීමට සිදු වූ බව ඔහු පැවසීය. ආසන්නයේ ගම්මාන ඇති නිසා බෝර දැමීමටද මගක්ද තිබී නැත.
එයට එකම විසඳුම ගල් දිය කර දමනා බෙහෙතක් හෝ ලේසර් කැපුම් යන්ත්‍රයක් බව ඔහු කිවේය. නමුත් ඔවුනට එවැනි දේ සොයා ගත නොහැකි වීලු. එවැනි යන්ත්‍ර සුත්‍ර හෝ තාක්ෂනයන් මේ සඳහා යෙදවෙන බව නිකමට හෝ සිතිය හැකිද. එලෙස තමන්ටම කියා එවැනි ලේසර් කැපුම් යන්ත්‍ර තබාගෙන නිධන් හැරීමේ යෙදී සිටින පුද්ගලයින් ලංකාවේ සිටින බවද ඔහු කීවේය. එයින්ම මේ ජාවාරමේ තරම ඔබට සිතා ගත හැකිය.


ඔත්තු සපයන්නා තවමත් නිදල්ලේය. තවත් නිධන් කතා සමගින් යළිත් ඔබ සොයා එන්නෙමි.

Thursday, 26 January 2012

වීදියබණ්ඩාර කුමාරයා සහ මළදුගල කන්දේ නිධන් කතා -01

විදියබණ්ඩාර කුමාරයා ගැන අපේ රටේ ජීවත්වෙන බොහෝ දෙනෙක් අහල ඇති. එතුමා බොහොම දක්ෂ රණවිරුවෙක් බව තමයි කියවෙන්නේ. වගේම කෝට්ටේ රාජධානියේ හිටපු සේනාධිනායකයෙක්. මට මතක විදිහට පෘතුග්‍රීසින් යටතේ පඹයෙක් ලෙස ඔටුණු පළඳින ධර්මපාල කුමාරයා කියන්නේ ඔහුගේත් සමුද්‍රා දේවියගේත් වැඩිමහල් පුත් කුමාරයා. සමුද්‍රා දේවිය කියන්නේ හත් වැනි බුවනෙකබාහු රජුගේ දියණි කෙනෙක්. ඇය ඉතාම රූපශ්‍රීයෙන් යුතු වූ කාන්තාවක් බවයි පැවසෙන්නේ.
ධර්මපාල කුමාරයාගේ රාජාභිෂේකයට මොහු විරුද්ධ වීමත් සමග රාජද්‍රෝහියෙකු වශයෙන් පෘතුග්‍රීසීන් අතින් සැළකුම් ලබනවා. එනිසා මොහු කෝට්ටෙන් පලා ගොස් බොහොම අප්‍රසිද්ධියේ පස් දුන් කෝරලයේ පැලැන් නුවර සැඟවී ගන්නවා. එසේ සැඟවීගෙන සේනා සංවිධානය කරගෙන ගොස් පෘතුග්‍රීසීන් හා සටන් වදිනවා. යුධ වැදීම  සඳහා මොහු ඉතා විශාල ප්‍රමාණයේ දිගු කඩුවක් භාවිතා කල බවද සඳහන් වෙනවා. එමෙන්ම මොහු හා මුහුණට මුහුණ සටන් කොට කිසිවෙකුට ජය නොගත හැකි රණවිරුවෙක් ලෙසින්ද මොහු හැඳින්වෙනවා.

අවසානයේ පැවති යුද්ධයකදී මෙම අභීත රණවිරුවා සතුරන්ට කොටු වී ඇති අතර විශාල සියඹලා ගසකට පිටුපා ඉදිරියෙන් පැමිණෙන සියළුම සතුරන් මරුමුවට පත් කිරීමට තරම් මොහු දක්ෂයෙකු වීලු.

මොහු යටත් කර ගැනීම ඉතා අපහසු බව දැනගත් සතුරු සේනාවෙන් දෙදෙනෙක් සියඹලා ගසට පිටුපසින් ගොඩ වී විදියබණ්ඩාර විරුවා සිටින දෙසට ඉහළින් පැමිණ ඔහුගේ හිසට කඩුවෙන් කොටා ඔහු මරුමුවට පත් කරපු බවක් තමයි මම අහල තියෙන්නේ.

මම මේ ෆොටෝ එක ගත්තේ විකියෙන්  මේක දාල තිබ්බේ කැප්පෙට්ටිපොළ මහදිසාවේගේ පින්තුරයක් විදිහට
වීදියබණ්ඩාර කුමාරයා කියන්නේ මම කැමතිම හෙළ රණවිරුවෙක්.  මට ඇත්තටම ඕනේ උනේ එතුමා ගැන සඳහනක් කරන්නම විතරක් නෙමෙයි. ඔහු වටා ගෙතී ඇති කතා සහ ස්ථාන නාම සම්බන්ධව කතා කරන්නයි මගේ මේ වෑයම.

වරක් මෙතුමා යුද්ධයකට යාමට පෙර තම දියණිය ඇතුළු පිරිවර කඳු මුදුනක සුරක්ෂිතව රැඳී සිටින මෙන් පවසා යුද්ධයට පිටත් වී ගොස් ඇත. යුද්ධය දිනුවොත් රතු කොඩියක් ඔසවා ජය ප්‍රකාශ කරන බවටද, පරාජය සුදු කොඩියකින් ප්‍රකාශ කරන බවට කලින් දැනුම් දීමක් සිදු වී ඇත. කෙසේ හෝ යුද්ධය ජය ගැනීමට මොහු සමත් වූවත්  සංඥාකරු අත්වැරැද්දකින් සුදු කොඩියක් ඔසවා වැරදි සංඥාවක් දී තිබුණේලු. වැරැද්ද නිවැරදි කරගන්නා විට බොහෝ පමා වී තැබුණි. ඒ වන විටත් දියණිය ගල් ප්‍රපාතයෙන් පහළට පැන දිවි තොරකරගෙන තිබු බවක් කියවේ. එදා පටන් මේ කන්ද හැඳින්වුයේ "දූ මළ ගල" යන නමින්ලු. කාලයත් සමග භාවිතයේ පහසුවට වෙනස් වූ එය දැන් හැඳින්වෙන්නේ "මළදුගල" නමිනි. කෙසේ නමුත් දෙයාකාරයෙන්ම දෙන අර්ථය එකමය.

මළදුගල කන්ද කියල නම වැටිලා තියෙන කන්ද කිලෝමීටරයක හමාරක පමණ දිගකින් යුක්තව තනි කන්දක් ලෙසින් විහිදී ඇති කන්දක්. කන්දේ  උස සම්බන්ධව පැහැදිළි අදහසක් මට නැතත් ගුගුල් මැප් ආධාරයෙන් බැලුවහම අඩි 810 ක පමණ උපරිම උස ඇති ස්ථානයක් දැක ගන්න පුළුවන්. බැලූ බැල්මට එය ප්‍රදේශයේ පිහිටි උසම කන්දක් කියලනම් කියන්න පුළුවන්. මේ කන්ද අධික බෑවුම් සහිත වන අතර එක පැත්තක පුංචි ලෝකන්තයක් මෙන් තනි කෙලින් වූ බෑවුමක් පහළින් වූ තැනිතලා භුමිය දක්වාම විහිදිලා තියෙනවා. මේ කැලය රක්ෂිතයක් වශයෙන් නම් කරලද කියල මම හරියටම දන්නේ නැහැ, නමුත් කන්ද ආශ්‍රිත වනය මිනිස් ක්‍රියාකාරකම් වලින් තරමක් බැහැරව තරමක් සන්සුන්ව තියෙනවා දකින්න පුළුවන්. ඒකට හේතුව අධික බෑවුමත් කන්දේ මායිම් රජයේ වතු යායකට මායිම් වී ඇති නිසාත් වෙන්න ඕනේ. කඳු මායිම පුද්ගලික ඉඩම් වලට ආසන්නව තිබුනානම් මිනිස්සුන්ගේ ඇවිදින වැටවල් නිසා කන්දේ වපසරිය දවස ගානෙම අඩුවෙන්න ඉඩ තිබුනා. අපි පුංචි කාලේ ආණ්ඩුවේ වතු යායෙන් කැලේට ගිහිං තිබ්බ ඉඩම් කොටසක් කියලා හඳුන්වලා මේ කැලයෙන් ලොකු බිම් ප්‍රමාණයක් එළි පෙහෙළි කරලා රබර් වගාවක් දැම්මා. ඒ කාලෙදිම මිනිස්සුත් පදිංචි වෙන්න පුළුවන් මට්ටමේ ඉඩකඩම් ලොකු ප්‍රමාණයක් බලෙන් එළි කරලා අල්ල ගත්තා. මේ වෙද්දීනම් ඒ ඉඩම් අල්ල ගත්තු මිනිස්සු ඒ ඉඩම් වල නැති උනත් ඒ ඉඩම් වලට බලපත්‍ර හදා ගන්න ඔවුන් සමත්වුණා කියල තමයි මම දන්නේ.
කොහොම උනත් කන්දේ වැඩි බෑවුමක් තියෙන කොටස මිනිස් අතපෙවිමකින් තොරව අදටත් බේරිලා තියෙනවා දකින්න පුළුවන්.


මළදුගල කන්ද ගැන අපි පුංචි කාලේ අපූරු කතාවක් තිබුනා. ඒකෙ පළතුරු වලින් පිරිච්ච පළතුරු වත්තක් තියෙනවලු. ඒකට යන අයට ඕනේ තරම් ගෙඩි කඩාගෙන කෑවත් එකක්වත් අරගෙන එන්න බැරිලු. ඒ වගේම වතාවක් ඔය කන්දේ නැගපු මනුස්සයෙක් ශරීර කෘත්‍ය කරලා තියෙනවා කඳු මුදුනේ. ඊට පස්සේ ආපහු එන්න පිටත් උනාට හැමතිස්සෙම මග වැරදිලා අර අසුචි ගොඩ ගාවටමලු එවෙන්නේ. අන්තිමට මේ මනුස්සයට තේරිලා මේ කරපු වැඩේ නිසා තමයි පාර වරදින්නේ කියලා, අන්තිමට කැලෑ කොළ ටිකක් කඩාගෙන අසුචි ගොඩත් අරගෙන ගෙදර එන්න පිටත් උනාට පස්සෙලු ආපහු එන පාර හොයා ගන්න ලැබිල තියෙන්නේ.


මෙන්න මේ වගේ කතා නිසා මම ගොඩක් ආසාවෙන් හිටියේ මළදුගල කන්ද නගින්න.
වතාවක් අපේ ලොකු මාම එයාගේ කැම්පස් එකේ යාළුවො ටිකක් එක්ක කන්ද නගින්න ආවා, ඒ 1990 දී විතර වගේ. එදා මමත් යන්න හැදුවට මාව යවන්න අම්ම කැමති උනේ නැහැ. ලොකු මාමනම් කැමති උනා මාව එක්කන් යන්න. අන්තිමට උනේ මගේ හීනේ කල්දාන්න මට සිද්ධ වෙච්ච එක තමයි.

මම මුලින්ම මළදුගල කන්ද නැග්ගේ 1993 අවුරුද්දේ. ඒ අපේ ලොකු මාමාත් එයා උගන්වපු ඉස්කෝලෙ ගුරුවරු කීප දෙනෙක් ඇතුළු පිරිසක් එක්ක. එදා මම දැකපු අහඹු සිදුවීමක් අදටත් මගේ මතකයේ රැඳිලා තියෙනවා. ඒ රැහැයියෙක් සම්බන්ධ අමුතු සිද්ධියක්. කන්දේ තියෙන අධික බෑවුම හින්දා ගොඩක් තැන් වලදී පල්ලෙහා තියෙන ගස්වල මුදුන් තියෙන්නේ අපේ මුහුණු මට්ටමේ. අන්න ඒ වගේ වෙලාවක ගහක කොලයක් උඩ ඉන්න පුංචි සතෙක්ව මම දැක්කා. ඌ කෑගහන්න ගත්තම තමයි මම දැනගත්තේ ඒ රැහැයියෙක් කියලා. ඌ කටුක නාදයක් නිකුත් කරන ගමන් උගේ ඇඟ වගේ දහගුණයක් විතර දිගට සිහින් වතුර පාරක් විදිනවා. මේක ඌ නොකඩවාම කලා සැලකිය යුතු වෙලාවක්. ඒ වෙලාවේ එතන හිටපු අයට කතා කරලා මම ඒ සිද්ධිය එයාලටත් පෙන්නුවා.
පස්සේ කාලෙක මම මේ ගැන පරිසරය ගැන හොඳින් දන්නා කියන විශේෂඥයින් කීප දෙනෙකුගෙන්ම අහල බැලුවා. ඒත් ඒ අය මේක පැහැදිළි කරලා දෙන්න සමත් උනේ නැහැ.


ඊට පස්සේ කීප වතාවක්ම මම මළදුගල කන්දට ගිහිං තියෙනවා යාළුවොත් එක්ක. නමුත් අර වගේ දෙයක් දකින්න ලැබුනේ නැහැ. අනිත් එක එදා අහම්බෙන් දැකපු දේ මට මෑතක් වෙනකල් අමතක වෙලා තිබුනේ. ඒ නිසා ඒ ගැන උනන්දුවෙන් හොයල බැලුවෙත් නැහැ. අනිත් එක ඉස්සර අපි කඳු නගින්නේ විනෝදයක් විදිහට මිසක් පරිසරය අධ්‍යනය කරන්න නෙමෙයිනේ. පස්සේ පස්සේ ෆොටෝ උණත් එක්ක එක පාරම කැලෑ උණත් හැදුනට පස්සේ තමයි ඔය සතා සරුපයා ගහ කොළ ගාව ටිකක් නතරවෙලා බලන්න කරන්න ෆොටෝ ගහන්න පටන් ගත්තේ.
ඒ වගේම තමයි මම එදා දැකපු විදිහේ රැහැයියෙක්ව ආපහු වෙන කොහේදී හරි කැලේකදී දකින්න හම්බ උනෙත් නැහැ.
මේ කන්දේ ඉතා වටිනා ජෛව විවිධත්වයක් දකින්න පුළුවන්. සිංහරාජයේ දකින්න පුළුවන් ශාක වර්ග වලින් වැඩි ප්‍රමාණයක් මේ කන්දෙදිත් දකින්න පුළුවන්. මේ තියෙන්නේ ඒ කන්දේ යම් යම් ස්ථාන වලදී මම ගත්තු ජායාරූප කිහිපයක්.







මේ කන්දේ ගල් ගුහාව තියෙන හරියේ ලොකු හුළං කපොල්ලකුත් තියෙනවා. ගල් ගුහාවට බහින්න පාරවල් තුනක් තිබුනත් එක පාරක් තමයි ගොඩක් ලේසි. ඒ පාරට යන්නනම්  මේ කපොල්ල හරහා යන්න ඕනේ. මේ තියෙන්නේ එතන.
මේ කැලේ කොහොල්ල ලාවළු කියල අපි කියන රස පලතුරු ගසුත්, ඇටිකෙසෙල් ගස් එහෙමත් තියෙනවා. අපි ගිය දවස් වලදී නම් ඒවා ඉදිලා තිබුනේ නැහැ. නැත්නම් ඇටිකෙහෙල් කාපු උගුඩුවන්ට වෙච්ච දේම තමයි අපිටත් වෙන්නේ.
මේ කැලේ ලංකාවට අවේනික කළු වඳුරු රංචුවක්, රිළව් රංචුවක්, වල්ඌරෝ, වල් බාවා, කබල්ලෑවා, හඳුන් දිවියා සහ කුරුළු සහ සමනල් වර්ග බොහෝමයකුත් දකින්න පුළුවන්. කබල්ලෑවා, හඳුන් දිවිය වගේ සත්තුන්ව ලේසියෙන් දකින්න බැහැ.
මෙහේ ඉන්න වඳුරෝ, රිළව් එහෙම කවදාවත් ගම්වලට ඇවිත් බවභෝග විනාශ කරලා යන්නේ නැහැ. ඒකට හේතුව කැලේ ඇතුලේ උන්ට උවමනා කරන ආහාර පාන වර්ග තිබීම වෙන්න ඕනේ.


මේ කැලේ මහා විශාල පුස්වැලක් තිබුනා. ඒත් ඒ කාලේ අපි ඒ තරම් ඒ ගැන සැළකුවේ නැහැ. ඊට අවුරුදු ගානකට පස්සේ වතාවක් මම සිංහරාජ වනාන්තරේ බලන්න ගිය වෙලාවක "සිංහරාජයේ යෝධ පුස්වැල" බලන්නත් ගියා. ඊට පස්සේ තමයි මට හිතුනේ මළදුගල කන්දේ තියෙන පුස්වැලේ කඳ සිංහරාජේදී දැකපු යෝධ පුස්වැලේ කඳටත් වැඩිය ලොකුයි නේද කියලා. මම මේ පුස්වැල දැක්කේ 1997 වගේ කාලෙකදී.


කරුමෙක මහත කියන්නේ සිංහරාජයේ යෝධ පුස්වැල වගේම මළදුගල කන්දේ තිබ්බ යෝධ පුස්වලත් දැන් නැහැ. ඒ පුස්වැල් දෙකම මියගොහින්. සිංහරාජයේ පුස්වැල විනාශ උනේ ඒක බලන්න යන මිනිස්සු ඒක උඩ නැගලා, වැලේ නැගල පද්දලා එකඑක අනවශ්‍ය දේවල් කල නිසා කියල තමයි සමහර උදවිය කියන්නේ.  තවත් කට්ටිය කියනවා කාලයාගේ අවෑමෙන් පුස්වැල මැරිලා ගියා කියලා.
නමුත් මළදුගල කන්දේ පුස්වැල විනාශ උනේ නොමිනිස් ක්‍රියාවක අතුරුපලයක්‌‌ නිසා බව මම හොඳටම දන්නවා. පුස්වැල ළඟ තිබ්බ මහ ගහක් කපපු දැවහොරු තමයි ඒකට වග කියන්න ඕනේ. ගහ කැපුවට පස්සේ එක්කෝ වැලත් කඩාගෙන ඒ ගහ පහළට වැටිලා තියෙනවා. එහෙම නැත්නම් ඒ වැල උඩ රැඳිලා තියෙන්න ඇත්තේ ඒ ගහේ. කොහොම හරි අවුරුදු කීපයක් ඇතුලත ඒ යෝධ පුස්වැල හිමීට මියයන හැටි මගේ ඇස්දෙකෙන්ම දැකගන්න තරම් මට අවාසනාව තිබුනා.
මම අන්තිමට කන්දට නැග්ගේ 2007 අවුරුද්දේ, ඒ වෙද්දී පුස්වැල අන්තිම ගමන ගිහිං ඉවරයි.


මේ කන්ද ආශ්‍රිත කැලේ ප්‍රාථමික වනයක් කියල මට හිතෙනවා, නමුත් ඒ ආශ්‍රිතව තාම කිසිම පර්යේෂණයක් සිදු වෙලා නැහැ.
90 දශකයේ අග භාගයේදී මේ කන්දේ රූපවාහිනී සංඥා කුළුණක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ උනා. ඒ හරියටම විදියබණ්ඩාර කතාවේ එන කුමරිය පැන්නායයි කියන ස්ථානය කිට්ටුව. ඒකෙ වැඩකටයුතු බොහෝ මන්දගාමිව තමයි කෙරීගෙන ගියේ. කණුවේ වැඩ ඉවර උනත් අන්තිමට විදුලි බලය ගන්න විදිහක් නැහැ කියලා වැඩේ කල් දදා තමයි තිබුනේ. දැන් අවුරුදු 15 ටත් වඩා වැඩි කාලයක් ගියත් ඒ කණුව අදටත් ඒ විදිහටම තියෙනවා.


බළලා මල්ලෙන් එළියට පැන්නේ කණුවේ වැඩකටයුතු ඉවරවෙලත් ටික කාලයක් ගියාට පස්සේ. මෙතන තිබ්බ නිධානයක් ගන්න ඕනේ කරන වැඩකටයුතු ටික කුළුණ හදන මුවාවෙන් කලා කියල තමයි  ගමේමිනිස්සුන්ගේ කටින් කට කියවුනේ. අන්තිමට කිසිම වැඩකට නැති කුළුණක් ඒ කන්ද මුදුනේ ඉතුරු වෙච්ච එක විතරයි උනේ.
මේ කන්දේ සහ ඒ ආශ්‍රිතව එක නිධානයක් විතරක් නෙමෙයි නිධන් කිහිපයක් තියෙන බව මම අහල තියෙනවා විතරක් නෙමෙයි සැලකිය යුතු ප්‍රමාණයක් කරුණුත් දන්නවා.


කන්දේ පන්සලේ වැඩවාසය කරපු වයසක ලොකු හාමුදුරුවෝ මේ කන්දේ තියෙන නිධන් ටික හොරුන්ගෙන් රැකගන්න ලොකු වෙහෙසක් අරගෙන තිබුනා. ගල්ගුහාව ඇතුලේ තියෙන උමං මගේ දිගේ ඇතුලට යන්න බැරිවෙන්න ගල් සහ මැටි වලින් හොඳට අහුරලා වහල දාල තිබුනා මට මතකයි.  මේ කියන උමං මග විදියබණ්ඩාර කුමාරයා භාවිතකල බවක් තමයි කියවෙන්නේ.
ඒ හාමුදුරුවෝ මේ මහා මුකලානේ තිබ්බ පරණ පන්සලේ දශක ගණනාවක් වැඩ වාසය කරලා කලේ ලොකු සේවයක්.
නමුත් උන්වහන්සේගේ ජිවිතයේ අවසාන භාගයේ හෝ එතුමා ජිවිතයෙන් සමුගත් අළුතම වගේ උන් වහන්සේ විසින් හොරුන්ගෙන් ප්‍රවේසම් කරගත් එක් නිධානයක් මෙසේ මංකොල්ල කා ගත්තා.


මම සාමාන්‍යයෙන් පන්සල් යන්න කැමති නැහැ, ඒත් කන්දේ පන්සල් යන්න මම පුංචි කාලේ ඉඳලා හරිම කැමතියි. කිසිම මනුස්ස පරාණයක් දකින්න නැති බොහොම අල්පේච්ච බවක් පේන කැලෑවෙන් වටවෙලා තියෙන ඒ පන්සලට ගිහින් ලබන්න පුළුවන් සුවය මොන තරමක්ද කියල වචන වලින් කියන්න බැහැ. මිනිස්සුන්ගෙන් පිරිච්ච සද්ද බද්ද වැඩි ලොකු පන්සලකින් ඒ සුවය කවදාවත් විඳින්න බැහැ. අදටත් ඒ පන්සලේ හාමුදුරු නමක් නැහැ. ගමේ මනුස්සයෙක් පන්සල බලාකියා ගන්නවා. නමුත් මම අදත් යන්න කැමතිම පන්සල තමයි ඒ.


මළදුගල කන්ද හා ඒ ආශ්‍රිත තවත් නිධන් කතා සමගින් නැවත හමුවෙමු....



අපේ අසරණයා කියල තිබුණනේ ඇටි කෙසෙල් සහ වල්බාවා කියන සතාව දන්නේ නැහැ කියලා. බ්ලොගර් මහත්තයාගේ නොපෙනත්කම මගඅරවාගෙන වෙන විදිහකට හරි අමාරුවෙන් තමයි මේ ෆොටෝ දෙක දැම්මේ.
ඇටි කෙසෙල්
වල්බාවා / වල් බළලා - Jungle Cat