Saturday, 30 January 2016

කළු කොටියාගෙන් මාදෙයියාවට...

කරන්නට හරි හමන් වැඩක් නැතුව ඉපිසියට වෙලා හිටපු දවස් ටිකේ කලෙත් අනිත් බ්ලොග් වලට කමෙන්ට් කොටපු එක. එහෙම නැත්නම් මුණු පොතේ ලැගගෙන ඉඳපු එක. පස්සෙන් පහු දැඩි තීරණයක් ගත්තා හැමදාම නෙට් යද්දී ඉබේම ඕපන් වෙන මුණු පොතේ ලින්ක් එක අහක් කරලා දානවා කියලා. ඒත් කොහෙද, සැරින් සැරේ ගිහින් එබිලා බලලා එන්න හිතෙනවා.
කරුමෙට කකුල් හතරයි කියන්නැහේ එක පාරටම අම්මබානක බිසී වෙන්නත් සිද්ධ වෙච්ච නිසා බාගයක් තියලා තිබ්බ මේ පෝස්ට් එකේ ඉතුරු ටික ලියන එක එන්න එන්නම කල් දාන්න සිද්ධ උනා. ආපහු ඉඩවරක් ලැබෙන විනාඩි දහයෙන් පහළවෙන් තමයි පෝස්ට් එක ටිකෙන් ටික ලියලා එකලාසයක් කර ගන්න සිද්ධ වෙන්නේ. වෙලාව තිබුනත් හැම තිස්සෙම මගේ මෙසේ ගාව කැරකෙන සහ මාව මුණ ගැහෙන්න එන එව්වෝ එන්නේ මම ඉන්න තැනට පිටිපස්සෙන් නිසා මගේ මොනිටරේට රබර් ඇස් වදිනවා වැඩියි. ඒ නිසා නිදහස් වෙලාවක් තිබුනත් කවුරුවත් මගේ මොනිටරේ අහලක නැති වෙලාවට තමයි මට මොනවා හරි ලියන්න සිද්ධ වෙන්නේ. හරි දැන් ඉතින් කතාවට යමු.

ඔන්න ඉතින් මම කලින් හිතාගෙන හිටපු විදිහටම සහ කලින් කළු කොටියා ගැන කියපු පෝස්ට් එකේ කියපු විදිහටම 2014 අගෝස්තු මාසේ තිබ්බ මහ මැතිවරණ  නිවාඩුවට ගමේ ගියා, කලින් වතාවේ වගේම වයිෆ්ට ඡන්දේ තිබුනේ කොළඹ. මට ගමේ. ඒ නිසා මම ගියේ තනියම. ඒ දවස් වල ළඟ තිබ්බ වාහනෙත් විකුණලා නිසා බස් වල, ටැක්සි වල තමයි ගමන බිමන. එදා හවස් වරුවේ බස් වල යන්න බැරි මට්ටමට සෙනග වැඩි බවක් තේරිච්ච නිසා බජට් ටැක්සි එකක යන්න හිතාගෙන හිටියත් ඒ ගැටළුවට හොඳ විසඳුමක් ලැබුණා. අපේ කමියා ගාල්ලේ යනවා කියපු නිසා මමත් ඌ එක්ක එල්ලිලා ගමේ යන්න කියල පිටත් උනා. හයිවේ එකට දාල ටික දුර යද්දී තමයි මතක් උනේ දොඩම්ගොඩින් එළියට බැහැල කමිය මාව හැලුවට පස්සේ ඉතුරු ටික යන්න වෙන්නේ බස් එකේ නේද කියලා. කොළඹින් බස් එකේ සෙනග වැඩියි වගේම ඒ හරියෙදිත් බස් වල සෙනගනේ. ඒ නිසා ගමේ යාළුවෙකුට වහාම මාව අරගෙන යන්න එන්න කියලා පණිවිඩේ දුන්නා. ඒත් කමි මට කිව්වේ කමක් නැහැ මාව ගෙදරටම දාල එන්නම් කියලා. ඒ ගමන දුර වැඩියි. මාව දාන්න ගියොත් කමියට ගෙදර යන්න වෙන්නේ යක්කු ගස් නගින ජාමේ. ආගිය කතා කතා කර කර ගිහින් වැඩි වෙලාවක් යන්න කලින් අපි දෙන්නා දොඩම්ගොඩ එක්සිට් එකෙන් එළියටත් ආවා. මාව එතනින් හලපු කමියා ආපහු හයිවේ එකට එන්ටර් වෙලා ගාල්ලේ යන්න පිටත් උනා. ඒ වෙද්දී මාව එක්ක යන්න ආපු ත්‍රිවිල් මිත්‍රයත් ඇවිත් උන්නේ.

ඔන්න අපි දෙන්න දැන් ගම්පියස බලා පිටත් වෙනවා. ගෙදර කිව්වට ගෙදර යන්න කලින් යන්න තියෙන ගමන් කීපයක් ගිහින්ම ගෙදර යන්නයි මම හිතාගෙන හිටියේ. මම එදා ගමේ එන බව ආරංචිය අහපු මගේ රථාචාරියෝ දෙන්න මම එනකල් මග බලාගෙන ඉන්නවා කියන පණිවිඩේ මම කොළඹින් පිටත් වෙන්න කලින්ම මට දැනුම් දීලයි තිබුනේ. මගේ ප්‍රමාදය නිසා දෙන්නත් එක්ක ලත්පඳුර හන්දියේ බාර් එකට ගිහින් පොඩ්ඩක් අනුමත වෙලා තිබුනා. මම යන්නත් කලින් දෙන්නගෙන් එකෙකුට ටිකක් වැඩිවෙලා බස් එකක නැගලා ගෙදර ගිහින් තිබුනා. අනිකා තමයි උගේ වාහනෙත් පාක් කරන්න අරගෙන ගිහින් තිබුනේ. ගෙදර ගිහින් තිබුනේ අජිත්, මම එනකල් බලාගෙන හිටියේ චානක. චානක එක්ක පොඩි චැටක් දාගෙන ඉඳලා වාහනේ හදන්න තියෙන ඒවා හොයල බලලා ඌවත් වාහනේ එක්කම පිටත් කරලා, හන්දියේ ඉන්න යාළු මිත්‍රයෝ එහෙමත් මුණ ගැහිලා ගෙදර යනකොට ටිකක් රෑ උනා. ඒ අතරේ වෙච්ච දේවල් කියන්න දෙයක් නැහැනේ. ඔව් ඔව් එහෙම තමයි උනේ. ගමේ ගියාම ගමේ යාළුවො ආස්සරය කරන්නත් එපැයි.

පහුවෙනිදා පස්ස පැත්තට අව්ව වැටෙනකල් හිතේ හැටියට නිදා ගත්තා. ගමේ ගිහින් මගේ පරණ ඇඳේ හිතේ හැටියට නිදා ගන්න එකෙන් දැනෙන්නේ පුදුම සනීපයක්. කොළඹ ඉන්නවා වගේ නෙමෙයි හොඳ සනීපෙට  නින්ද යනවා. කොළඹදී නින්ද කැඩිලා මගදී ඇහැරුනොත් එහෙම ආපහු නින්ද යනවා බොරු. එහෙදි එහෙම නැහැ, මළා වගේ තමා පුදුම වෙනසක් තියෙන්නේ.
එදා දවසෙම වගේ හිටියේ ගෙදර, හවස් අතේ පොඩ්ඩක් පාර දිහාට ගියත් වැඩිය කළුවර වැටෙන්න කලියෙන් ගෙදර ආවා. ඒ එන්න කලින් ගමේ යාළුවෙක්ව කතා කර ගත්තා පහුවෙනිදා සෝමේ මාමලාගේ දිහා යන්න, උගේ බයිසි මොටෝ එකෙන්. ගමනක් යන්න තියෙනවා කියල බැලුවේ නැහැ පහුවෙනිදා උදේත් මම ඇහැරුනේ අටත් පහුවෙලා. මුලින්ම කලේ මිත්තරයට කෝල් එකක් දීපු එක, මගේ කෝල් එකට තමයි දෙයියනේ කියල ඌත් ඇහැරුනේ.

උදේට හීල් බත් පිඟානක් ඇදලා ඇරලා කලිසමකුයි, ටී කමිසෙකුයි දාගෙන බලාගෙන හිටියා යාළුවා ඒ කියන්නේ එරංගය එනකල්. වැඩිවෙලාවක් බලන් ඉන්න උනේ නැහැ විනාඩි දහයකින් පහළොහකින් වගේ ඌ අපේ ගෙදරට ආවා. දෙන්නත් එක්ක ගමන යන්න පිටත් වෙද්දී වෙලාව උදේ 09:00 ට වගේ ඇති. බයික් එකේ නැගගත්තු අපි දෙන්න බදුරලිය හන්දිය දිහාට යද්දී අතරමගදී හන්දිය පැත්තේ ඉඳල උදේ රැයින්ම වැඩ අල්ලන්න බලාගෙන (ඔව් ඔව් අපිත් ඇතුළුවම තමයි) ඌරු මස් වගයකුත් අරගෙන මගේ යාළු මිත්‍රයෝ දෙන්නෙක් වෙච්ච රුවනයි, නිලන්තයයි ගෙවල් පැත්ත බලා ඇදෙනවා. උන් දෙන්න අපිව දැකල බයික් එක නතර කලා.

“කොහෙද බං යන්නේ” කියල අහපු රුවනට එරංගය කිව්වේ “මෙන්න මුගේ වැඩකට ගරාජ් එකකට යනවා බං” කියලා. මේ එදා දවසේ මතක තියෙන විදිහට ඌ කියපු පළවෙනි බොරුව.
මටත් කම්මැලියි බං, දැන් උඹල නැතුව දැන් මේ වැඩේ පටන් ගන්න වෙන්නෙත් නැහැනේ. එහෙම කිව්ව රුවනා බයික් එක හරව ගත්තා. බයික් එකේ පිටිපස්සේ මස් ටික කවරෙක දාගෙන එල්ලගෙන හිටපු නිලන්තය උඩබිම බලනවා. උඹව බදුරලිය හන්දියට ගෙනිහින් දාන්නම්, බස් එකේ නැගලා ගෙදර ගිහින් අපි එද්දී මස් ටික හදල තියපන් කියන උපදෙසත් දීලා අපි තුන් දෙනා ගමන පිටත් වෙන්නයි ලෑස්තිය.

හන්දියේ ඉන්දිකයගේ කඩෙන් “පැයකින් දෙන පොරොන්දුව” පිට උගේ කසිකබල් හෙල්මට් එකත් ඉල්ල ගත්තා. ඒ දවසේ දෙවෙනි බොරුව. ඒකෙ අමුණන ගැජට් එක කැඩිලා, බයික් එක හැප්පුනොත් මට කලින් හෙල්මට් එක විසි වෙනවා. ඒ තියා බයික් එක ටිකක් හයියෙන් යද්දී වදින හුලන් පාරටත් ඒක විසික්ක වෙන්න හදනවා.
කලවාන පාර දිගේ ගිහින් අත්වැල්තොට හන්දියෙන් දෙනිහේන කියන ගමට හැරෙන පාරෙ තමයි අපි යන්න ඕනේ. අත්වැල්තොට කඩේකින් සිගරැට් 20 පැකට් එකක් ගත්තා සෝමේ මාමට. බුලත් විට හෙව්වට හම්බ උනේ නැහැ. අපි හන්දියට යද්දී පොලිසියේ කීප දෙනෙක් සහ සිවිල් මිනිස්සු කීප දෙනෙක් බොහොම අපහසුවෙන් බිත්ති වල ඇලිල උන්නු ඡන්ද අපේක්ෂකයින්ගේ මුණු ගලවනවා.

ඒකත් බලා කියාගෙන මමයි එරංගයි ගමන පටන් ගත්තත් රුවන එතැනදී මුණ ගැහිච්ච කාත් එක්කද කදයක් දාගෙන හිටියා. අපි ඩබල් දාගෙන ගියපු නිසා තමයි ඉක්මණට පිටත් උනේ. කිලෝ මීටර තුනක් හතරක් ගියත් රෝසා පේන්න නැති නිසා මගදී හම්බ වෙච්ච ඕනේ දෙයක් ගන්න තියෙන වර්ගයේ ගමේ කඩයක් ගාව අපි දෙන්න නතර උනා. විනාඩි පහක් දහයක් වගේ යද්දී ඌ ආවේ තොපි දෙන්න මාව මරන්න අරගෙන යනවද, “මේ කැලේ මැද්දේ කොහෙන්ද ගැරාජ්” කියාගෙන. යන දිහාව වැඩක් නැහැනේ යමං කියලා ඌව තවත් ටිකක් බයිට් කරලා තුන් දෙනාගෙන හෙල්මට් ගලවලා කඩේ හිටපු මුදලාලි මල්ලිට බාර දීලා ගමන පිටත් උනා.
හෙල්මට් ගැලෙව්වේ නැත්නම් අපි වලවල් වල වැටෙනකොට, ගල් ගෙඩි උඩින් යනකොට උඩ විසික්කා වෙන හෙල්මට් එක ඔළුවේ වැදිලා ඔළු කටුව තැලෙන එක ෂුවර්. දැන් ඔන්න ගමන ටිකක් පහසුයි, ඒත් ඉතින් අශ්වයෙක් පිටේ යනකොට වගේ උඩ විසි වේවි යද්දී මට හිතුනේ මේ ගමනට වඩා ත්‍රිවිල් එකක නැගලා යන එක ටිකක් හරි හොඳයි කියලා.  ඇයි ඉතිං බයික් එකක් තරම් හයියෙන් යන්න බැරි නිසා මේ තරම් උඩ විසි වෙන්නේ නැති වෙන්න හිමීටනේ යන්නේ. අනික අපි දෙන්නගේ බරට පාත්වෙලා තිබ්බ බයික් එකේ යට තියෙන මොනවද මන්ද උපාංග  හත් අට වතාවක්ම පාරේ තියෙන ගල්ගෙඩි වල වැදුනත් එක්ක.
වැඩිදුරක් යන්න ලැබුනේ නැහැ, අපිට ඉස්සරහින් හොන්ඩා CRV එකකුයි, තව ෆෝ වීල් වෑන් එකකුයි ඉබි ගමනින් ඉස්සරහට යනවා. ඒ හැම වාහනයක් ඉස්සරහම පයින් යන මනුස්සයෙක් වාහනේ යට වදිනවද නැද්ද කියල බලබල තමයි යන්නේ. කවුදෝ මන්දා දුරින් ආපු සෙට් එකක් වාහන වලින් ඇළක නාන්න යනවා වගේ. ඉබි ගමනින් යන උන්දැලා ඉඩ තියෙන තැනකදී අපිට යන්න ඉඩ දුන්නා.

සෑහෙන කට්ටක් කාල සෝමේ මාමලාගේ ගෙදරට ගොඩවෙලා බලද්දී සෝමේ මාමා ගෙදර නැහැ. නැන්දා අපිට කිව්වේ ග්‍රාමසේවක මහත්තයා ඇවිල්ල සෝමේ මාමව එක්කගෙන ගියාලු ඡන්ද මධ්‍යස්තානේ හදන තැනට. ඒ අවට ඡන්ද 50 ක් විතර තියෙනවලු. ඉස්සර ඡන්ද මධ්‍යස්තානේ දාන්නේ ගමේ තිබුන ඉස්කෝලෙලු. දැන් ඉස්කෝලෙ නැහැ, ඒක ගරා වැටිලා බිමට සමතලා වෙලා. ඒ හරියේ ළමයින්ට යන්න වෙන්නේ බදුරලිය පැත්තේ තියෙන ඉස්කෝල වලටලු. දවස ගානේ යන්න බැරි නිසා සමහරු ඒ කිට්ටුව ගෙවල් කුළියට අරගෙන ළමයි ඉස්කෝලේ යවනවලු.
දැන් අපේ මිෂන් එක සෝමේ මාමව හොයන එක. ආපහු හති දාගෙන කන්ද නැගලා සෝමේ මාමගේ ගෙදර ඉඳන් පාරට ඇවිත් බයික් දෙකේ නැගලා තව ටිකක් කැලේ පැත්තට යද්දී සෝමේ මාම ඉස්සරහට එනවා. මාදෙයියාව බලන්න යන්න ආපු බව කිව්වම සෝමේ මාමගේ උත්තරේ උනේ “දැන් යන්න වෙලා මදිනේ” කියලා. එතකොට වෙලාව 11:00 ට වගේ තියෙන්න ඇති. මම මිනිහගෙන් ඇහුවේ පාරේ ඉඳල කිලෝමීටර එකක් එකහමාරක් වගේ දුරක් නම් තියෙන්නේ වෙලා මදි වෙන්නේ කොහොමද කියලා.

සෝමේ මාමවත් බයික් එකේ දාගෙන ආපහු ඇවිත් රෝසාව යවල පිහියකුයි කූඩළු කෝටුවයි ගෙන්න ගත්තා. කූඩළු කෝටුව හදා ගන්නේ මෙහෙමයි. ලුනු දුම්කොළ එකට කොටලා අඩි දෙකක් විතර දිග කොටුවක අගිස්සක පොට්ටනියක් වගේ වෙන්න රෙදි කෑල්ලකින් ගැට ගහ ගන්නවා. කූඩැල්ලෝ ඇඟේ එල්ලුනාම අර පොට්ටනිය පොඩ්ඩක් උන්ගේ ඇඟේ ගාපු ගමන් උන්ව වැටෙනවා. සෝමේ මාමලාගේ ගෙදරට කලින් තමයි මාදෙයියාවට හැරෙන්න තියෙන්නේ. කැලෑව මැද්දෙන් තියෙන පොඩි අඩි පාරක් දිගේ යන්න තියෙන්නේ. බයික් දෙකේ තරමක් දුර යන්න පුළුවන් වගේ පෙනිච්ච නිසා දිගටම ගියා. පාර අයිනේ තිබ්බ කෝටු වලට වැටකෙයියා කටු වලට හුරගෙන ඕනෙනම් මීටර 200 ක් යන්න ඇති. එතනින් එහාට යන්න බැහැ. දැන් අඩිපාර උනාට ඉස්සර මේ පාරවල් වල ලී මුදලාලිලාගේ කාර් පවා ගියා කියල සෝමේ මාම කිව්වේ. ඒ මැතිනිගේ කාලේ සිංහරාජේ ගස් කපලා තුනී ලෑලි හදන්න ගන්න ගෙනියන්න ක්‍රියා කරපු කාලේ.

මේ දොළ පාර දිගේ තමයි අපි ගියේ. දොළක් කිව්වට ඇත්තටම මේක මගුර ගඟේ ආරම්භය. මේකත් ගිහින් මාදෙයියාවට වැටෙනවා.

බයික් දෙක මග නතර කරලා පයින් ගමන පටන් ගත්තා. ගමන පටන් අරගෙන ටික වෙලාවකින් යෝජනා උනේ ගඟ දිගේ බැහැලා යමු කියලා. එහෙම ටිකක් දුර ගියාට පස්සේ ගමන අමාරු නිසා මම යෝජනා කළා ආපහු ගොඩින් යමු කියලා. මමයි සෝමේ මාමයි එරංගයි ආපහු ඉවුරට ගොඩ උනා. ඒ වෙද්දී මට හොඳට තේරුම් ගිහින් තිබ්බේ මගේ ඇඳුම් පැළඳුම වල තියෙන නොගැළපෙන ගතිය. ඒ කිව්වේ කලිසමේ නිෂ්පාදන දෝෂයක් නිසා කකුල ගොඩක් උස්සලා ගලකට එහෙම නගින්න අමාරුයි, දාගෙන ගියපු සෙරෙප්පු දෙකේ වතුර ටිකක් ගෑවිච්ච ගමන් කකුල සෙරෙප්පු දෙකෙන් ලිස්සනවා. රුවනා තනියම ගඟ දිගේ ඇවිත් සෑහෙන දුරකට පස්සේ තමයි ආපහු ගොඩට ආවේ. ඒ අතරමගදී ඌව ගඟට වැටිලා. ෆෝන් එකට වතුර ගිහින්. ඌ අපිව දැක්ක ගමන් එරංගයට කනුකුනු ගාන්න ගත්තා “තෝ එක්ක ගමනක් ගියොත් මගේ ෆෝන් එකට කෙළවෙනවා” කියලා. ඊට කලින් සතියේ ඉරිදා උන් දෙන්නත් එක්ක එරංගගේ නෑ ගෙදරක බොන්න ගිහින් ආපහු එද්දී පොඩි ඒ දණ්ඩක් වගේ පටු පාලමකින් එන්න තියෙන තැනකදී රුවනව බයික් එකත් එක්කම ඇළට වැටිලා. එදත් ෆෝන් එකකට කෙළ උනාලු.
මේ තියෙන්නේ ගමන පටන් ගත්තු මුළ හරියේදී දැකපු කොකුම් ගහක්, ඒක කවුරු හරි ටිකක් පලුදු කරලා තිබුනා. කොකුම් වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. මේවා අරගෙන යන්නේ සබන් වගේ දේවල් හදන්න කියල තමයි මම අහල තියෙන්නේ. 

ටික දුරක් ගියාම කොළරොඩු ගොඩක් අස්සේ ඉඳල මතු වෙච්ච කුණකටුවෙක් දැකලා සෝමේ මාමයි එරංගයි, රෝසයි තුන් දෙනාම බයවෙලා මට කතා කළා. ඒ වෙද්දී මාව මහන්සියට හැක්වෙලා ඉවරයි. මම ආවේ ටිකක් පහුවෙලා. කෝටුවක් අරගෙන ඌව අපි යන පාරෙන් එහාට අරගෙන දැම්මා. ෆොටෝ එකක් ගහ ගන්න උනේ නැහැ මහන්සියටම අමතක වෙච්ච නිසා. ඒ මදිවට මගේ ඇඳුම් ඔක්කොම සම්පුර්ණයෙන්ම දාඩියෙන් පෙඟිලා. ෆොටෝ ගහන්න තිබ්බ එකම උපකරණය වෙච්ච ෆෝන් එක අන්ලොක් කරගන්න බැහැ ඇඟිලි තෙත් ගැහිලා තියෙන නිසාද කොහෙද ටච් ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැති නිසා.

කොහොමින් කොහොම හරි දණගාගෙන බඩගාගෙන මාදෙයියාවට යද්දී වෙලාව දවල් 01:00 ත් පහු උනා. එතනට ගියාට පස්සේ තමයි මම කල්පනා කලේ සෝමේ මාමගේ කිලෝමීටරේ කොච්චරක් දුරයිද කියන එක ගැන. අඩු ගානේ කිලෝමීටර හයක හතක වත් දුරක් වගේ තමයි මට දැනුනේ. මාදෙයියාව ගාවදි ෆොටෝ දෙක තුනක් අල්ල ගන්න පුළුවන් උනා. සෝමේ මාමලා කියපු තරම් මාදෙයියාව විශාල නැහැ. නමුත් ගැඹුරු බවනම් හොඳට පේනවා. වලේ හැම තැනම වගේ සුළි කැරකෙනවා. තුන් පැත්තකින් වලට වැටෙන දොළ පාරවල් තුනක් තනි සහ ලොකු දොළ පාරක් වෙලා පහලට ගලාගෙන යනවා. සුළි වැඩි වෙන්න හේතුව ඒක. වලේ වපසරිය ඕනෙනම් අක්කර කාලත් හෝ ඊට පොඩ්ඩක් වැඩි ඇති. එකපාරට උඩට මතුවෙලා නොපෙනී ගියපු ලොකු මාළුවෙක් දැකපු අපිට සෝමේ මාම කලින් වතාවක කියපු “අපි තරම් ලොකු මාළු” ඔය වලේ ඉන්නවා කියල කියපු කතාවනම් ඇත්තක් වෙන්න පුළුවන් කියල හිතුනා.
මේ මාදෙයියාව, දොළවල් දෙකක් වැටෙනවා පේනවා, අනිත් එක වම් පැත්තෙන් වැටෙන්නේ. ඇඟට පණ තිබුනනම් පොඩ්ඩක් පහළට බැහැල ඒකත් අහුවෙන්න ෆොටෝ එකක් ගන්න තිබුනා.

මෙතනින් තමයි උඩ ෆොටෝ එකේ නොපෙනෙන දොළ ගලාගෙන එන්නේ.




මාදෙයියාවට උඩින් තියෙන ගල් තලාවේ ටික දොහකට කළින් කවුරුහරි වාඩියක් ගහගෙන නතරවෙලා තිබුනා. බොහෝ දුරට වල්ලපට්ට කාරයෝ වෙන්න ඇති.

වල්ලපට්ටා වලට මේ තරම් ලොකු ඉල්ලුමක් එන්න හේතුව විදිහට පොදුවේ අපි දන්නේ මිළ අධික සුවඳ විලවුන් වර්ගයක් හදන්න ඒවා පාවිච්චි කරන බවක්. නමුත් ළඟදි මේ ගැන අහන්න ලැබිච්ච අමුතු මාදිලියේ කතාවකුත් මෙතන ලියන්න හිතුනා. අපේ රටෙන් පිටතට වල්ලපට්ට වැඩිපුර යවන්නේ අරාබිකරයේ රටවල් වලටලු. අර ප්‍රසිද්ධ කාරණයට අමතරව වල්ලපට්ටා පාවිච්චි කරනවලු අරාබියේ ඉන්න සල්ලි කාරයෝ තමනුගේ බිරින්දෑ වරුන්ට දුම් අල්ලන්න. බලන්න මොන තරම් ආදරයක්ද කියල තියෙන්නේ. ඔය දුම් වැදුනම වැඩිපුර පාවිච්චිය එක්ක හරි ස්වාභාවිකවම හරි ලිහිල් වෙලා තියෙන උන්දලාගේ ඇකිලෙන්න ඕනේ තැන් ඇකිලෙනවලු. හෝ ගාලා අපේ රටේ තියෙන වල්ලපට්ට ගස් වලට කෙළවෙන්න හේතුව වෙන්නේ අරාබි ගෑණුන්ගේ අහවල් එකට දුම් අල්ලන්නය කියල අහපු ගමන් මට හිනාත් ගියා. මේ කතාව අපේ ලොකු මාමට කියල තිබුනේ මුස්ලිම් මනුස්සයෙක්, ඒකෙ ඇත්ත නැත්ත ගැන මට සහතිකයක් නැහැ. නමුත් මේ වගේ දේවල් වලට ඔය මිනිස්සු දක්වන උනන්දුව එක්ක මේක ඇත්තක් වෙන්නත් ඉඩ තියෙනවා. හරි හරි, දැන් ඉතින් ඔය අහල තියෙන ඉතුරු වෙච්ච වල්ල පට්ට ගස් ටික කපල ගෙදර ගෙනියන්න හදනවා එහෙම නෙමෙයි.

එතන අපි පැය බාගයක් හරි ඊට වඩා ටිකක් වෙලා ඉන්න ඇති. මට දාඩිය දාපු දැමිල්ලේ හැටියට මාව ඩීහයිඩ්‍රෙඩ් නොවී බේරුනේ ගඟේ වතුර නොකඩවා බීපු හින්ද වෙන්න ඕනේ.
ආපහු ගමන පටන් ගත්තට මට අනිත් තුන්දෙනා යන වේගෙන් යන්න බැරි මට්ටමට මට මහන්සියි. සෝමේ මාමත් බැරි බැරි ගාතෙන් තමයි ආපහු ආවේ. ආපහු ගඟ දිගේ යන්න බැහැ කියල හිතිච්ච අපි හම්බ වෙච්ච අඩි පාරක් දිගේ ගමන පටන් ගත්තා. ටික දුරක් ගියාම අඩි පාර කන්දක් දිගේ ගිහින් වාඩියක් තියෙන ඉසව්වකට ආවා. හැර ගහපු කිතුල් ගස් කීපයක් තිබුනත් ඒවා පරණ ඒවා බවක් තමයි පේන්න තිබුනේ. වාඩියට වෙලා පොඩි විවේකයක් එහෙම අරගෙන ආපහු ගමන පටන් අරගෙන ටික දුරක් යද්දී මමයි සෝමේ මාමයි ගොඩක් පහු වෙලා. අරුන් දෙන්න සෑහෙන ඉස්සරහට ගිහින් තිබ්බා.
හීං පොද වැස්සක් පටන් අරගෙන තිබ්බ නිසා පය ඉක්මන් කරන්න හැදුවත් කකුල් දෙකයි ශරිරෙයි ඒකට ඉඩ දුන්නෙම නැහැ. පොද වැස්ස මහා වැස්සක් බවට පත්වෙලා අපි හොඳටම තෙත බරියං උනත් ෆෝන්, පර්ස් වගේ දේවල් ගැන හිතන්න වෙලාවක් නෙමෙයි ඒක. බයික් නතර කරපු තැනදී යාළුවො දෙන්න ඉන්නවා, රුවනා අතේ පැළ පොල් ගෙඩියක්. මගදී දැකල අරගෙන ආවලු සෝමේ මාමට දෙන්න.

ගෙදර ගිහින් බත් ටිකක් කාල යමු කියල සෝමේ මාම කිව්වත් අපි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කලේ මහන්සි වැඩි කමටමයි. රුවනා ගිහින් සෝමේ මාමව ගෙදරට ගිහින් දාල එනකල් අපි දෙන්න ටික ටික ඉස්සරහට ගියා. හෙල්මට් තියල ආපු කඩේ හරියට එද්දී වැස්ස පොඩ්ඩක් අඩුවෙලා, ඒත් කඩේ ගාවට යන්න කලින් මම දැක්ක එතන පොලිසියෙන් ඉන්නවා කියලා. මුලින්ම කලේ එරංගට ඉන්න කියලා කඩේට ගිහින් හෙල්මට් ටික අරගෙන එන එක. ඒ ඇවිත් කඩේ ගාව නතර කරලා තිබහ වැඩි කමට බීම බෝතලයක් බීලා පොඩි සිලි කවර කීපයක් ඉල්ලා ගත්තේ ෆෝන් සහ පර්ස් තව දුරටත් තෙමෙන එකෙන් බේර ගන්න...

තුන්දෙනා එක්ක ගෙවල් තියෙන ඉසව්වට යද්දී හවස තුනහමාර පහුවෙලා. අපේ පැත්තට වැහි පොදක් වැටිලා නැහැ, හෙණ ගහන්න අව්ව පායලා. එරංගගේ අයියලාගේ ගෙදර එදා කවුරුවත් නැහැ, එහෙට ගිහින් උගේ සරමක් ඇඳගෙන තෙත ඇඳුම් වේලෙන්න දාල රුවනව යැව්වා දවසේ ඉතුරු හරිය කරන්න ඕනේ අඩුම කුඩුම ගේන්න. දවල්ට කෑවේ නැති උනත් එදා ගෙදර යද්දී රෑ දහය පහුවෙලා තිබුන කියලනම් හොඳටම ෂුවර්...

Tuesday, 3 November 2015

හැමදාම නැති හැමතැනම නැති ට්‍රයිසිකල් සුප්...

බ්ලොග් එක පාලුවට ගිහින් දැන් මාස දෙකකට වැඩියි. ලියන්න ගත්තු පෝස්ට් ඔක්කොම වගේ බාගෙට ලියලා සේව් කරලා ඔහේ තියෙනවා. නොලියන්න තියෙන ලොකුම හේතුව වැඩ වැඩි වීමටත් වඩා හිතේ නිස්කලංක බවක් නැති කම. සතුටෙන් සමාදානයෙන් ටික දවසක් හිටියට වාහන කෙලියක් නිසා ඔළුව යකාගේ කම්මල වගේ වෙලා. තාම ඒක සම්පුර්ණයෙන්ම ඉවර නැහැ. ඒවා පැත්තකට දාමුකෝ.

කලින් පෝස්ට් එකේදී පොරොන්දු උන අර ලොකු වතුර වල බලන්න යන ගමනේ විස්තර තාම දාන්න බැරි උනා. මහ ජන්දෙට කලින් දවසේ යාළුවො දෙන්නෙක් එක්ක ඒ ගමන ගියා. නොසෑහෙන කට්ටකුත් කෑවා. මහ වැස්සේ හොඳට තෙමුනා. ඒ විස්තර තව දවසකින් කියන්නම්කෝ. දැනට ඒ ගැනත් ඇති වගේ...

බ්ලොග් එකේ මුස්පේන්තුකම යන්නත් එක්ක මොනවහරි ලියන්න හිතාගෙන හිටියත් එහෙම කරන්නත් බැරි උනා. ලිවිල්ල පැත්තක දාලා බලන්න පුළුවන් දෙයක් පෝස්ට් එකක් විදිහට දාල ජාමේ බේර ගන්න තමයි දැන් මගේ කම්පනාව...
මේ කම්පනාව කියන වචනේ වැරදිලා ලියෙව්වා එහෙම නෙමෙයි, හොඳද. එහෙම කියන්නේ මයේ ගෙදර උන්දෑ.

බ්ලොග් එකේ පාළුව මැකෙන්නත් එක්ක පොඩි පහේ වීඩියෝ එකක් දාන්නම්.

වීඩියෝ එකේ මුල හරිය ටිකක් ඒකාකාරී වගේ දැනෙයි. එහෙමයි කියල නොබල ඉන්නේ නැතුව අන්තිම වෙනකල්ම බැලුවොත් තමයි වටින්නේ.

පොඩි අවුලකට තියෙන්නේ ෆෝන් එකෙන් වීඩියෝ එක ගනිද්දී මම ඒක මොනිටර් එකකින් බලද්දී ගැලපෙන ඔරියන්ටේෂන් එකෙන් නොගත්තු එක. සමහර විට මේක ක්‍රොප් කරලා ගන්න ක්‍රමත් ඇති. එහෙම ක්‍රමයක් තියේනම් දන්න කෙනෙක් කියනවනම් තමයි වටින්නේ... 
ඔන්න එහෙනම් ඈ...





Wednesday, 12 August 2015

කළු කොටියා සමග සෝමේ මාමාගේ ගනුදෙනු සහ කිතුල් මලේ සැඟවුණු රහස්

කලින් පෝස්ටුවේ කියපු විශාල වතුර වල බලන්න යන්න තව දවස් කීපයයි තියෙන්නේ. ඒ වලේ නම මාදෙයියාව කියල විතරක් දැනට ලියල තියන්නම්.  ඒ ගමනට කලින් මේ කතාවට අමතරව කියන්න තියෙන කළු කොටියා ගැනයි කිතුල් මැදීම ගැනයි කියන්න මම කල්පනා කලා.

කිතුල් මදින රස්සාව ගැන කියන්න කලින් මුලින්ම සෝමේ මාමයි, කළු කොටියයි අතර ඇති වෙච්ච සිද්ධි කීපයක් කියල ඉන්න එක වැඩිය හොඳයි කියල මට හිතුනා. මම මුලින්ම ඒ ඉසව්වේ කළු කොටියෙක් ඉන්නවා කියල  ඇහුවේ අපේ ලොකු මස්සිනාගේ උවමනාවකට සෝමේ මාමා ජීවත්වෙන මහ කැලේ කරක් ගහපු මුල් දවසෙමයි. මම ඕක කළින් පෝස්ට් එකෙත් කිව්වද කොහෙද.
මේ ආරංචිය ඇහිච්ච ගමන් මම කලේ එතනින් එහා ඉතුරු විස්තර ටිකත් අහගත්තු එක. ඒ වෙලාව මිදුලේ තිබ්බ පොඩි ගල් ගෙඩියක් උඩ වාඩිවෙලා පෙණ දාන රා ලොකු වීදුරුවක රහ බලන ගමන් තමයි සෝමේ මාමගේ කතාවට මම ඇහුන්කන් දුන්නේ.

දවසක් සෝමේ මාමා තුවක්කුවත් අරගෙන ඔය කිතුල් ගස් තියෙන ඉසව්වේ යනකොට එක පාරට දැක්කලු කළු පාට සතෙක් එයා එයා නැගගෙන යන කඳු බෑවුමේ පහළට බැහැගෙන එනවා. මෙන්න මේ වෙලාවේ තමයි සෝමේ මාමා මුලින්ම කළු කොටියව දැකල තිබුනේ. සෝමේ මාම එක පාරට ගහක කඳට මුවා වෙනවත් එක්කම වගේ කොටිය දැක්කලු සෝමේ මාමව. සෝමේ මාමව දැකපු ගමන් කොටිය පොඩි සද්දයක් දාන්නත් අමතක කරලා තිබුනේ නැහැ. (ඔය තුවක්කුව දැන් නැහැ, ඒ ගැනත් තියෙනවා මරු කතාවක්)

ඒ වෙද්දී කොටිය ඉඳල තිබුනේ සෝමේ මාමට ගොඩක් කිට්ටුවෙන්, අඩි පහ හයක් විතර උස ගලක් උඩින් පහළට බැහැගෙන එන්න ලෑස්තිවෙලා. දැන් සෝමේ මාමා ඉන්නවලු ගහට මුවා වීගෙන තුවක්කුව කොටියා දිහාට උරුක්කු කරගෙන, කොටියත් පහළ ඉන්න සෝමේ මාමා දිහා බලාගෙන ඉන්නවලු. වෙලාවට කොටිය එතනින් පහළට ආවේ නැතිලු. එහෙම ආවනම් කරන්න දෙයක් නැහැ “වෙඩි තියල දාන්න වෙනවා” කියල බොහොම සැහැල්ලුවෙන් සෝමේ මාම කියල දැම්මා. සෝමේ මාමව මග ඇරපු කොටියා අඩි පාරෙන් පිට තරමක් ගැඹුරු හරියකට පැනලා කැලේ අස්සෙන් නොපෙනී ගියාලු.
ඔය “වෙඩි තියන” කතාව ඇහිච්ච ගමන් මම මුලින්ම කලේ කතාවට මැද්දෙන් පැනපු එක. කළු කොටියට අත තැබීම වහාම තහනම් කරමින් ඌව රැකගන්න ඕනේ බවට සෝමේ මාමව පොරොන්දු කර ගන්න වැඩි අමාරුවක් උනේ නැහැ.

සෝමේ මාම මල් කපන්න යද්දී සමහර දවස් වලට නැන්දවත් එක්කගෙන යනවලු. එහෙම එක්ක යන්නේ වැල් පොටකින් පහළට බාන තෙලිජ්ජ මුට්ටිය අල්ල ගන්න හවුල් කාරයෙක් ඉන්න එක වඩා පහසු නිසා. ඔහොම ගිය දවසක සෝමේ මාමා කිතුලේ නැගල මල කපද්දී නැන්දා ඉඳල තිබුනේ කිතුලේ පාමුළ. මාම තෙලිජ්ජ මුට්ටිය දෙන්න පහළ බලද්දී එක පාරට දැක්කලු ඉත්තෑවෙක් දඩයම් කරගෙන කටේ තියා ගත්තු කළු කොටියා තරමක් ඈතින් එනවලු නැන්දා ඉන්න දිහාට. සෝමේ මාම එක පාරට “ඉක්මණට ඔය ගල උඩට නැග ගනින් ගෑණියේ” කියල කෑ ගැහුවලු. සෝමේ මාමගේ සද්දෙත් එක්ක කොටියා ඉස්සරහට එන එක නතර කලාලු. නැන්දත් ඉක්මණට ගල් ගෙඩිය උඩට නැග ගත්තට පස්සේ කළු කොටියව හිතේ හැටියට බලා ගන්න පුළුවන් උනාලු. මේ දෙන්න හිටිය කියල කොටිය පොඩ්ඩක්වත් කලබල උනේ නැහැ කියලයි සෝමේ මාම කිව්වේ. මම හිතන්නේ සෝමේ මාමල ඉඳල හිටලා කළු කොටියව දැක්කට දවස ගානේ කිතුල් කපන්න යන සෝමේ මාමලව කළු කොටියනම් හැම තිස්සෙම වගේ දැකල පුරුදු ඇති කියලයි. ඒ නිසා වෙන්න ඕනේ ඌ මේ මිනිස්සුන්ව දැක්කා කියල කිසි කලබලයක් කරදරයක් නැතුව මග ඇරලා යන්නේ.

මෙහෙම ටික දවසක් ඒ ඉසව්වේ හිටපු කළු කොටියා අවට හිටපු ගෝන්නු පස් හය දෙනෙකුක් ඒ වෙද්දී මරාගෙන කාල තිබුනා. දැන් ආපහු මගේ වාරේ. මම සෝමේ මාමට වහාම මගේ ෆෝන් නොම්බරේ කොලේක ලියල දීලා කිව්වේ ආපහු කළු කොටියා සතෙක්ව මරපු එකක් දැක්කොත් කාල ඉවර වෙන්න කලින් මට කෝල් එකක් දෙන්න මම හැකි ඉක්මණින් එන්නම් කියලා. ඒත් සෝමේ මාමගේ උත්තරේ එක්ක මගේ බලාපොරොත්තුව බිඳිලා ගියා. දැන් සතියකින් දෙකකින් උගේ සද්දේවත් ඇහුනේ නැහැ කොල්ලෝ. කොහෙද කැලේ අඟලක් අඟලක් ගානේ “වල්ලපට්ට” කපන්න යන එවුන් යනවනේ. ඌ වෙන කොහාටහරි ගිහිල්ලද කොහෙද කියල කිව්වා.

රා මුට්ටිය හිස් වෙද්දී දවල් දොළහ විතර වගේ උනා. රා පැහිල මදි නිසාද මන්ද රා වීදුරු තුනක් හතරක් බිව්වා කියල ඇඟට ලොකුවට දැනුනෙ නැහැ. අපි සෝමේ මාමලාගේ ගෙදර යද්දී මොනවහරි අඩුම කුඩුම ටිකක් උස්සගෙන යනවා. අපි අපේ වැඩේ අහවරයක් වෙද්දී එදා උදේ යනකොට අරගෙන ගියපු කුකුල් මස් හොඳට කොච්චි දාල බොහොම රහට හදල රතු කැකුළු බතක් පරිප්පුවක් මැල්ලුමක් එක රහ කෑම වේලක් හදල මේසෙට වඩම්මලා තිබ්බා. එදා ගිහින් හිටපු අපි හතර පස් දෙනා මදියි නොකියන්න සප්පායම් වෙලා සෝමේ මාමටයි නැන්දටයි සමු දීල ගෙවල් දොරවල් බලා එන්න පිටත් උනා.
ඔහොම ගිහින් මටත් තිබ්බ වැඩත් එක්ක සෝමේ මාමව අවුරුද්දකට වඩා වැඩි කාලයක් මුණ ගැහෙන්නවත් කෝල් එකක් දෙන්නවත් බැරි උනා. අන්තිමේදී මම අහම්බෙන් වගේ කෝල් එකක් දීපු වෙලාවක සෝමේ මාම බොහොම පශ්චාත්තාපයෙන් මට කිව්වේ ආපහු කළු කොටියා ආපු බවත් ගෝනුන් තුන් හතර දෙනෙක් මරාගෙන කාපු බවත් එකෙක් කෑවේ පාර අයිනේ ඇති පිට්ටැන්නක් වැනි තැනක සිට බවත්ය. කෝල් එකක්වත් දෙන්න විදිහක් උනේ නැති බවත් එයට හේතුව මගේ ෆෝන් නොම්බරය ලියාගත් කොළ කෑල්ල කොහේදෝ නැති වී ඇති නිසා බවත්ය.

කොහොමහරි ඒ චාන්ස් එකත් මිස් උනා. ඊට පස්සේ අලුත්ම ආරංචිය ලැබුනේ මම මේ පෝස්ට් එකේ මුල කොටස දාන්න කලින් ගියපු වතාවේ. ඒ වතාවේ කළු කොටියා කොටිච්චියෙක්වත් සහේට අරගෙන ඇවිත් තිබ්බ කියලයි ආරංචිය ලැබුනේ. ඌ සාමාන්‍ය පාට කොටියෙක් කියලයි සෝමේ මාම කිව්වේ. මෙතැනදී කළු කොටියා පිරිමි සතා විදිහට උපකල්පනය කලේ ඌ ප්‍රමාණයෙන් ලොකු බවක් මට දැනගන්න ලැබුන නිසා.

ඇත්තටම කිව්වොත් මම අපේ මලයවත් ඇදගෙන 2015 ජුනි 13 වෙනිදා සෝමේ මාමලාගේ ගෙදර ගියේ කළු කොටියව දැක ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් හිතේ කොණකවත් තියාගෙන නෙමෙයි. මොනවහරි අලුත් ආරංචි ටිකක් අරගෙන ආවත් ඇති කියන අදහස ඇතුව. කළු කොටියා ආපු ආරංචිය මේ වතාවේ සෝමේ මාම හරි වෙලාවට දුන්නත් තනියම යන්න කම්මැලි නිසාත් ගමන් සගයෙක් හොයා ගන්න බැරි වෙච්ච නිසාත් තමයි මාසයක් කිට්ටු වෙන්න ප්‍රමාද උනේ.
අපි තුන්දෙනා සෝමේ මාමගේ පුංචි පැලේ පිළ වගේ කොටසේ වාඩිවෙලා බෝතලයක් හිස් කරන ගමන් තමයි සෝමේ මාම මේ කතාව කිව්වේ.
කොටිය ඇවිල්ල කියල අපිට පණිවිඩේ දීපු ආසන්න දවසක සෝමේ මාම නැන්දත් එක්ක හන්දි එන්න කියල කුකුලත් අතේ අරගෙන පිටත් වෙලා. ගංගොඩේ මිනිස්සුන්ට ඔය කිලෝමීටර 8 ක් 10 ක් පයින් යනව කියන්නේ මහලොකු දෙයක් නෙමෙයි. කොහොමත් මෙයාල පහළට යද්දී හැමදාම වගේ යන්නේ පයින්, ආපහු බඩුවක් මුට්ටුවක් අරගෙන එද්දී තමයි ත්‍රිවිල් එකක එන්නේ.

ගේ ගාව ඉඳල කිලෝමීටරයක් වගේ යද්දී එක හරියක් තියෙනවා පාරට පස් දාන්න පස් කපපු තැනක්. ඔතන දෙපැත්තේම තියෙන්නේ කඳු බිත්ති සහ ඊට උඩහින් කැලේ. මේ හරියේදී ඉස්සරහින් ගිහින් තිබ්බේ නැන්දා. වෙලාව උදේ 06:00 ට වගේ ඇති කියල තමයි කිව්වා සෝමේ මාමට මතක. එක පාරටම දඩස් ගාල උඩ ඉඳල ලොකු බර පොදියක් පාරට ඇදගෙන වැටිලා.
තඩි ගෝනෙක්ගේ බෙල්ලෙන් අල්ල ගත්තු කළු කොටියා ගෝනත් එක්කම අඩි 10 ක් විතර පහළට තමන්ගේ ඉස්සරහට වැටෙන හැටි තමයි ළා එළියෙන් මේ දෙන්න දැකල තියෙන්නේ. 

ඒක දැකපු ගමන් නැන්දා පාර මැද්දේ හිටගෙන ගල් ගැහිලා වගේ ඉන්නවලු. එක පාරටම ඉස්සරහට පැන ගත්තු සෝමේ මාමා “දුප් වල් ගෙරියා” කියල හයියෙන් කෑ ගහලා. ඊට අමතරව තව කුණුහරප ටිකකුත් කියල තියෙන්නේ කළු කොටියා රතු පාටට කට ඇරලා ගොරවපු නිසා වෙන්නත් ඇති. මේ කොටියා කළු පාට උනාට කළුද සාමාන්‍ය පාටද කියලවත් දන්නේ නැති කොටියගේ අම්ම පණ පිටින් හිටියනම් වෙලාවේ කිඹුහුම් යන්න ඇති කියලයි මට හිතුනේ. ඒත් එක්කම  නැන්දත් කෑ ගහන්න පටන් අරගෙන තිබුනා. දෙන්නගේ සද්දෙට බයවෙච්ච කළු කොටියා ගෝනව අත ඇරලා පැනල දුවනකල් දෙන්නත් එක්ක කෑ ගෑවලු. ගෝනගේ බෙල්ල අතඇරලා කොටිය දිව්වට ඒ වෙද්දී ඌ මැරිලා ඉඳල තියෙන්නේ. යන ගමන පැත්තකට දාල කමිසේ ගලවල දාල, සරමත් කැහැපට ගහගත්තු සෝමේ මාමා නැන්දත් එක්ක එකතුවෙලා ගෝනව ඇදගෙන යන්න හැදුවලු. උගේ බර වැඩි කමට ඒ දෙන්නට ඌව අදින්න බැරි වෙලා.

පස්සේ දෙන්නත් එක්ක ඊට තව එහායින් තියෙන පැලකට ගිහින් ඒකෙ හිටපු මනුස්සයට කතා කරල මේ සිද්ධිය කියල තියෙනවා. කොටියගේ දඩයමක් පැහැර ගත්තා කියල කිව්වට පස්සේ අර මනුස්සය එන්න බෑම කියල. පස්සේ “තමුසේ බය නැතුව එනවා, අපි දෙන්න එකතුවෙලා කොටියව එලෙව්ව එකේ තමුසේ බය වෙන්නේ මොකටද” කියල පොඩි ඉන්ජෙක්සොන් එකකුත් ගහල තමයි ඒ මනුස්සයව එක්කගෙන ගිහින් තිබුනේ.
යන්න ආපු ගමන පැත්තක දාල නැන්දට ආපහු ගෙදර යන්න කියලා පිටත් කරන අර දෙන්නත් එක්ක ගියාලු ගෝන කුණ ගාවට. ගෝනව අර කිට්ටුව තිබ්බ ගෙදරට ඇදගෙන ගිහින් මස් කරලා අර මනුස්සයටත් කොටහක් දීලා මස් තොගයක්ම සෝමේ මාමා ගෙදර ගෙනල්ල තිබුනා. ඊට පස්සේ වැඩ තිබිල තියෙන්නේ ෆෝන් එකට. පොලිසියේ සහ හන්දියේ දන්න අඳුනන කීපෙ දෙනෙක්ම ඉර මුදුන් වෙන්නත් කලින් සෝමේ මාමලාගේ පැලට ඇවිත් තිබුනා ගෝන මස් කන්න. ඒ ආපු උදවිය ගෝන මස් කන්න ඕනේ කරන අඩු වැඩිය හන්දියෙන් අරගෙන ඇවිත් තිබුනා.

දැන් බහිමු කිතුල් කතාවට. සෝමේ මාමා කැලේ වෙන්කරගෙන ඉන්න කොටහේ කිතුල් ගස් 3,000 ක් විතර තියෙනවා කියල තමයි සෝමේ මාම කියන්නේ. ඔයින් ගස් 10 ද කොහෙද මල් කපන්න ලයිෂන් දුන්නත් මිනිහා උපරිම කපන්නේ ගස් හතරයි හරි පහයි ලු, පහුගිය දවස් ටිකේ එහෙමවත් නැහැ. මෙන්න කිතුල් මල් කපන සෑස්තරේ.

මුලින්ම සුදුසු වයසේ මලක් තියෙන ගහක් තෝරාගෙන ඒකෙ හැර ගහනවා. හැර කියල කියන්නේ අර රිටි වගේ ලී කිතුල් ගහට තියලා වැල් වලින් ගැට ගහල තියෙන්නේ ගහට නගින්න පහසු වෙන්න, ආන් ඒක.
හැර ගහන්න ගොඩ වෙලාවට ගන්නවා කියන්නේ හැඩවක, කන්පෙත්ත, වැලි පියන්නා වගේ ලී වර්ග. හැර බඳින්න කහ වැල් (වෙනි වැල්), රදලිය, කිරිඳි , මස්කෙඳි, පට්ටික්කා වගේ වැල් වර්ග පාවිච්චි කරනවා. ඊට පස්සේ මල් දණ්ඩ බුව නැතිවෙනකල් හොඳට පෙරන්ගාල දවස් තුනක් විතර වේලෙන්න අරිනවා. ඊට පස්සේ හුණු වලට දෙහි ඉස්ම කලවම් කරලා හොඳට මල් දන්ඩේ ගාල බිලී කටු කියන වැල් වර්ගයේ පට්ට වලින් මල හොඳට වේලනවා. ඔන්න ඕක තමයි ඔය පළාතේ බෙහෙත් බැඳිල්ල.
බඳපොටට අනිවාර්යයෙන්ම ගන්නේ කිරිඳි වැල්. බඳපොට කියන්නේ සේෆ්ටි බෙල්ට් එකක් වගේ. හැරේ නැගගෙන ඉන්න ගමන් මල කපද්දී සහ සියළුම වැඩ කෙරෙද්දී උඩ ඉන්න මනුස්සයගේ ජිවිතේ රඳා පවතින්නේ ඔය වැල් පොටේ.

තෙලිජ්ජ වලට මන්දොර මුල් හරි පොතු හරි දැම්මම රා වෙන්න නොදී තියා ගන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර ගේන තෙලිජ්ජ ටික ලොකු භාජන වල දාල උණු කරනවා. ලිප ගාවට වෙලා ලිපට තනි රකින්න උවමනාවක් වෙන්නෙත් නැහැල්ලු මේක හරියට දැනගත්තට පස්සේ. ලොකු දර කොටයක් දෙකක් ලිපට දැම්මම කොටේ පත්තුවෙලා ඉතුරු වෙන්නෙත් නැහැ, අඟුරු රස්නෙත් ඇතිලු පැණි උණු කෙරෙන්න.
සාමාන්‍යයෙන් මලක් දවසට දෙපාරක් කපන්න පුළුවන්. අලුත් මලක්නම් උදේට තෙලිජ්ජ බෝතල් 20 ක් සහ හවසට බෝතල් 15 ක් විතර ගන්නත් පුළුවන්. මීටත් වඩා හොඳ අස්වැන්නක් දවසට තුන් පාරක් මල කපන්න පුළුවන්නම් ගන්න පුළුවන්. ඒක ඉතිං මහන්සියේ හැටියට තමයි.

සාමාන්‍යයෙන් මාස දෙකක් විතර එක මලක් කපන්න පුළුවන්. ඔය මාස දෙකේදී එක වාරයක්, දවසක් හරි දෙකක් හරි මොනයම් හේතුවක් නිසා හරි මල කපන්න බැරි උනොත් වැඩේ කචල්. එක වාරයක් ඒ කියන්නේ අපි හිතමු අපිට හවස කැපිල්ල මිස් වෙනවා කියලා. එතකොට පහුවෙනිදා උදේ දවල් සහ රෑ විදිහට වැඩි වාර ගාණක් මල කපලා ආපහු යථා තත්ත්වයට පත් කර ගන්න පුළුවන්. කපන්න බැරිවෙන කාල පරාසය දවසක් වගේ උනොත් ඊළඟ දවස් දෙකක් වගේ කපන වාර ගාන වැඩි කරගෙන මල ගොඩ දා ගන්න පුළුවන්. දවස් දෙකක් වගේ මිස් උනොත් ගොඩ දා ගන්න තියෙන හැකියාව අවම වෙනවා, සමහර විට නැති වෙලාම යනවා. කොහොමටත් එක වරුවකට වඩා මිස් උනොත් පළදාව සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා. ඔහොම වෙලා මලකින් තෙලිජ්ජ වෑහෙන එක නතර උනහම කියන වචනේ තමයි “මල ගැහෙනවා” කියලා. සමහරු ඕකට “මල ඇරෙනවා” කියලත් කියනවා.

ඔන්න අපි දැන් යමු මේකේ කමර්ෂල් පැත්තට.
අපි හිතමු අලුත් මල් නැතුව පරණ මල් තියෙන ගස් පහක මල් පහක් (5) කෙනෙක් කපනවය කියලා. එක ගහකින් හොඳටම අඩු ප්‍රමාණයක් තෙලිජ්ජ ලැබෙනවය කියලත් හිතමු. ඒ කියන්නේ උදේට බෝතල් 10 ක් විතරයි, හවසට බෝතල් 5 ක් විතරයි කියලා. එතකොට දවසකට ගස් ඔක්කොගෙන්ම ලැබෙන්නේ බෝතල් 75 යි. තෙලිජ්ජ බෝතල් පහකින් පැණි බෝතලයක් හදන්න පුළුවන්. ඒ කියන්නේ දවසට පැණි බෝතල් 15 යි. මේ විදිහට මාස දෙකක් මල් කැපුවොත් ගස් ඔක්කොගෙන්ම පැණි බෝතල් 900 ක් ලැබෙනවා.
සෝමේ මාමලාගේ ගෙවල් කොච්චර කැලේ තිබ්බත් ගෙදරටම ඇවිත් පැණි බෝතලයක් රුපියල් 350/- ගානේ  අරගෙන යන්න ඕනේ තරම් මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ මාස දෙකේ අවම අදායම රු.315,000/- යි.

ඒ ජෝඩුවට තමන් කපන මල් වලින් එන තෙලිජ්ජ වලින් පැණි හදාගෙන කැලෙන් අහුල ගන්න දර ටිකක් දාල ලිප අවුලල පැණි ටික උණු කරගත්ත කියල කිසි පාඩුවක් තියෙනවද. උදේ පාන්දර පිටත් උනාම අට නමය විතර වෙද්දී ගෙදර, ආපහු හවස තව පැය දෙකක් තුනක් යයි මල් කපන්න. ඔය අතරේ රා පොඩ්ඩක් උනත් හදාගෙන බොන්නත් බැරි කමක් නැහැනේ.
අපි සෝමේ මාමලාගේ ගෙදර යද්දී ඔය බඩුමුට්ටු එහෙම ගෙනියන එකට සෝමේ මාමා වැඩිය කැමති නැහැ, පොල් වලට අවුලක් නැහැ එහෙ පොල් නැති නිසා, එතනින් පස්සේ ඉතින් සීල් වලට කොහොමටත් අවුලකුත් නැහැ. එදා එද්දී සෝමේ මාම මගෙත් එක්ක කිව්වේ පරණ ජීප් එකක් ගන්න ඕනේ කතාවක්. පරණ ලෑන්ඩ්රෝවර් එකක් ගන්න හිතාගෙන හිටපු සෝමේ මාමගේ අදහස මම ලත් තැනම ලොප් කරලා දැම්මා. ඒ පාරට ඒ පැත්තේ ගරාජ් වලට ගැලපෙන්නේ පරණ පොලිස් ජීප්පු, අර පිටි පස්සේ කැන්වස් එක ගහල තියෙන මිට්සුබිෂි වර්ගයේ ඒවා. ගලින් ගලට පැනගෙන ගෙදරට යන්න තියෙන පාරත් JCB එකක් ගෙනල්ලා හොඳට කපන්න තමයි සෝමේ මාමගේ හිතේ තියෙන්නේ. මේ සියල්ල කරන්නේ අවුරුදු 65 ක 70 ක වගේ ධෛර්යවන්ත මනුස්සයෙක්.

හයි හත්තිය තියෙන පිරිමි දෙතුන් දෙනෙකුට මේක බිස්නස් එකක් විදිහට කරන්න ලොකු හැකියාවක් තියෙනවා. කොහොමද නිකන් ඉන්න තරුණ ශරීර කුඩු දෙක තුනක් නිකන් ඉන්න එකේ කැලේ වාඩියක් කාරිය අටෝගෙන ගස් දහයක පහළොවක විතර මල් කැපුවොත් එහෙම.
ඔන්න ඔය අදහස හිතේ තියාගෙන සෝමේ මාම අපේ මලයට එදා මෙන්න මෙහෙම කිව්වා. දවසේ පඩි දෙන්න ගහකට නගින්න බයක් හැකක් නැති, මේ වැඩේ අතරමග දාල යන්නේ නැහැයි කියල විශ්වාස මිනිස්සු දෙන්නෙක් හොයාගෙන ඇවිත් එක දිගට මාස හයක් හතක් මේ වැඩේ කරපං කොල්ලෝ. මල් හත අටක් මමම හැර ගහලා හදල දෙන්නම්. පළවෙනි පාර මල් කපලත් දෙන්නම්, ඉන්නකල් කන්න බොන්නත් දෙන්නම්. එහෙම කරලවත් ගොඩ යන්න බලපන් පිස්සු නට නට ඉන්නේ නැතුව.

ඔය ඔක්කොම කතාවල් අහගෙන ඉඳලා උදේටත් කාල සෝමේ මාමගෙනුයි නැන්දගෙනුයි සමු අරගෙන අපි දෙන්න පිටත්වෙලා එද්දී හරිහැටි රස්සාවක් කරන්නේ නැතුව පිස්සු නටන අපේ මළයා ඒ වැඩේට කර ගහන්න කැමැත්තකින් ඉන්න බවක් තමයි කතාවෙන් තේරුණේ. මම එදා දවල්ම ආපහු කොළඹ ආවා.
පස්සේ ආරංචි කරලා බලද්දී එහෙම දෙයක් කණට වැටුනද කියලවත් ගාණක් නැතුව අපේ මලයා සුපුරුදු පිස්සු කෙළින ජීවිතේ පටන් අරගෙන තියෙන බව තමයි මට දැනගන්න ලැබුනේ.