Thursday, 1 December 2011

මඩුපොලේ කතා

අපේ පැත්තේ බොහෝම පැරණි ප්‍රසිද්ධ සමන් දේවාලයක් තියෙනවා. ඒකෙ වාර්ෂිකව තියෙන උත්සවයට තමයි අපි "මඩු නටනවා" කියල කියන්නෙ.  මේ මඩුපොල කියන්නෙ බොහෝම අපුරු තැනක්. මේක හැමදාම තියන්නේ දෙසැම්බර් මාසේ විසිගණන් වල වගේ. "මඩු" කියන නම කොහොම හැදුනද කියලනම් මට හරි අදහසක් නැහැ. සමහර විට මේකේ කෙරෙන හැම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ තාවකාලික මඩු වල නිසාද දන්නේ නැහැ මේ නම ලැබුනෙ. (ඒ මගේ පෞද්ගලික අදහසක් පමණයි) මේ දේවාලේ කොච්චර පැරණි සහ ප්‍රසිද්ධ එකක් උනත් මේකට මිනිස්සු යන්නෙ අවුරුද්දේ මේ කියන දවස් දෙක තුනේ විතරයි. මේ දවස් කිට්ටු කරලා ඒ හරියේ ඉන්න ගමේ මිනිස්සු එකතු වෙලා දේවාලෙට යන පාර එළි පෙහෙළි කරලා, දේවාල වත්තත් උදළු ගාල දානවා. මේ උත්සව දවස් වලට මිනිස්සු ගැවසුනාට අනිත් දවස්වල මේ දේවාලේ කපුවෙක් ඉන්නවද කියන එකත් මටනම් සැකයි.


දෙවොල් මඩුවේ මහ රෑ පටන් ගන්න නැටුම් පහුවෙනිදා එළිවෙනකම්ම තියෙනවා. එක එක විදිහට වෙස් බැඳලා හරියට තොවිලයක වගේ සන්නි නැටුම් නටන එක මෙතනදිත් සිද්ධ වුනා. දෙවොල් නැටීමේ ප්‍රධාන අරමුණ වුනේ පළාතට සෞභාග්‍යය උදා කරලීම. රෑ එළිවෙනකං දෙවොල් නැට්ටුවෝ නටල ඊටත් පස්සෙ පාන්දර ජාමෙට අලියෙක් පිටේ "දේව පිළිමය" වඩම්මවල බොහෝම උජාරුවට ගත්තු උත්සවයක් තමයි මේක.
උදේ පාන්දර පහමාර වගේ වෙද්දී මේ කියන නැටුම් අවසන් වෙනවා. ඊට පස්සෙ ගමේ හැමෝම වගේ දේවාලෙට පඬුරු දාල ඉවර වෙලා පිරිත් නුල් එහෙමත් බඳිනවා. ඒ වගේම මෙතන කවි මඩුවකුත් තියෙනවා. කවුරු හරි ආධාරයක් කලාම එකට සෙත් පතල කවිත් කියනවා. පඬුරු දැම්මට පස්සෙ තමයි එතන තියෙන පොඩි පොඩි කඩවලින් බඩු ගන්න මිනිස්සු යන්නේ. පඬුරු දාන්න කලින් කවුරුවත් බඩු මුට්ටු ගන්නේ නැහැ. ඒත් තරුණ උදවියනම් මේ සිරිත් විරිත් වලට පිටින් වැඩ කරන වෙලාවල් නැත්තෙත් නැහැ. එදා උදේ ඉඳල හවස් වෙනකම්ම මේ කියපු පොඩි පොඩි මඩු වල එක එක ජාතියේ සෙල්ලම් බඩු, හට්ටි මුට්ටි සහ නොයෙකුත් තොරොම්බල් බඩු සහ රසකැවිලි විකුණන එක තමයි කෙරෙන්නේ.

අපි පුංචි සන්ධියේ මේ දෙවොල් මඩු බලන්න යන්න කලින් දවසේ අපේ ගෙදර ලොකු වතාවත් ටිකක් සිද්ධ වෙනවා. කහ කොල, කොහොඹ කොල වගේ ඖෂදීය කොල වර්ග දාල තම්බපු වතුර වලින් අම්ම අපිව නාවනවා. ඊටත් පස්සෙ පඬුරු දාන්න ගන්න මාරු කාසි ටිකටත් මේ විදිහටම කහවතුර සාත්තුව ලැබෙනවා. ඔය විදිහට පේ වෙලා තමයි අපි දේවාලේ යන්න ලැස්ති උනේ. ඊට පස්සෙ පාන්දර ජාමේ නැගිටලා අපි ඔක්කොම හුළු අතු එළියෙන් හරි ඉටි පන්දමක් පොල් කට්ටකට තියාගෙන හරි පයින්ම ගමන පටන් ගන්නවා මඩු බලන්න යන්න. සමහර වෙලාවට ගස්ලබු බටේකට භූමිතෙල් පුරවලා ඒකට රෙදි වලින් තිරයක් දාල පත්තු කරගෙන යන දවසුත් තිබුනා. එතනට අපේ ගෙදර ඉඳල දුර කිලෝමීටර පහක් වගේ තියෙනවා. ලොකු පොඩි හැමෝම සුදු පාට හරි ඒ වගේ ළා පාටක ඇඳුමක් ඇඳලා තමයි දේවාලේ යන්නෙ. පුංචි සන්ධියේ අපි පුදුම ආසාවකින් ගියපු ගමනක් තමයි මේ.
එදාට තමයි අපිට මොකක්හරි සෙල්ලම් බඩුවක් ගන්න ලැබෙන එකම අවස්ථාව. අවුරුද්දකට එක පාරක් ලැබෙන මේ වගේ අවස්ථාවකට ආස නොවී තියේවිද ඕනෙම පොඩි එකෙක්.

ඔතනින් මට ලැබිල තිබුන සෙල්ලම් බඩු අතරේ අතපය මුකුත් හොල්ලන්න බැරි විදිහට ඇඟටම ඇලිච්ච තද නිල් පාට බෝනික්කා, හුවෑ නළා, බිම උළල උලලා අත ඇරියම ගොඩක් දුර බිම දිගේ යන පුංචි අහස් යන්තරේ, පනින අස්සයා, පද්දනකොට තටු ගහන සමනල කරත්තේ. මේ වගේ සෙල්ලම් බඩු ගොඩාක් තිබුනා. අර කියපු බෝනික්ක මගේ ගාව තිබුනේ මම ඉස්කෝලේ යන්නත් ගොඩාක් කලින්, චුටි අක්කට බෝනික්කෙක් ඕනේ කිව්වහම මමත් එකක් ඉල්ලලා තිබුනා. ඉතින් ඔන්න ඔහොමයි මමත් පොඩි කාලේ බෝනික්කෝ නැලෙව්වේ. මමයි චුටි අක්කයි එකතු වෙලා ඒ බෝනික්කෝ දෙන්නට පරණ පොත් වලින් කඩා ගත්තු කොල කෑලි වලින් ඇඳුම් කපල අලවනවා. දැන් කාලේ පොඩි එකෙක්නම් ඒ වගේ සෙල්ලම් බඩුවක් දිහා හැරිලවත් බලන එකක්වත් නැහැ. ඒත් අපිට ඒවා කොච්චර වටිනා වස්තූන් වෙලා තිබුනද.
මගේ ගාව හිටපු කෙනාට් වැඩිය මෙයා ගොඩක් හැඩයි, ඒත් මට ඒ ජාතියේම රුපයක් හොයාගන්න බැරි උනා.
ඔය හුවෑ නළාව ගැනත් අපුරු කතන්දරයක්  කියන්න තියෙනවා. ඒක හදල තිබුනේ හීනි බටේක (අර වෙසක් කූඩු හදන්න ගන්න ජාතියම තමා) අගිස්සට බැලුමක් හයි කරලා. බැලුම හයි කරපු පැත්තේම නලාවක් විදිහට හදල තියෙනවා, ඒත් ඒක පිටට පේන්නෙ නැහැ. අනිත් කෙළවරට කට තියල පිඹල ඒ කෙලවර අපි කටින් අහක් කරනවා. ඊට පස්සෙ අර බැලුම ඇතුලේ තියෙන හුළං ටික බටේ හරහා එළියට යන්නෙ අර නලාවෙන් ලොකු සද්දෙකුත් පිට කරගෙන. ඒ සද්දේ හරියටම "හුවෑ" ගාන සද්දයක්. ඒ නිසා තමයි අපි ඕවට "හුවෑ නළා" කියල කිව්වේ. එදා ඉඳල දවස් කීපයක් යනකම්ම අපේ ගමේ හැමතැනම වගේ මේ හුවෑ නලාවල සද්දේ ඇහෙනවා.

අපේ අම්ම මඩුපොලේ යන්නෙ අම්මට ගන්න ඕනෙකරන හට්ටි, මුට්ටි, වලන්, ඇතිලි එහෙම ගන්න. අම්ම ගන්න මේ මැටි භාජන කරගහගෙන ගෙදර ගේන එක අපි ඔක්කොම අතින් තමයි සිද්ධ උනේ. ඒ වගේම හැමදාම අමතක නොකර අපේ ගෙදරට ගේන තව විශේෂ දෙයක් තමයි "ඈපා" ලිත. මේ විදිහට ගෙනාපු ලිත් ඔක්කොම පොඩි ලී පටියක අලවලා බිත්තියේ එල්ලනවා. 1971 ඉඳල එකම ලී පටියේ අලවපු ලිත් ඔක්කොම තාමත් අපේ ගෙදර තියෙනවා. අපි මේ ලිත ගන්නේ අවුරුදු නැකත් ටික බලාගන්න.

මඩු උත්සවය තියන්න මාසෙකට දෙකකට කලින් වගේ සංවිධායක මණ්ඩලය ගෙයින් ගෙට ගිහින් ආධාර එකතු කරනවා. ඊටත් පස්සෙ අපේ ගමේ රෙදි මාමා වෙච්ච අල්ලිස් මාමා ඇවිත් ගෙවල් වලින් දේවාලෙට එකතු කරපු හාල් අරගෙන යනවා. ඒ ගමන්ම දේවාලෙට බාර කරපු පොල් ගස් එහෙමත් තියෙනවනම් ඒවයෙත් පොල් අරගෙන යනවලු. ඒවා ගන්නේ කාගේ පරිභෝජනටද කියලනම් මට අදහසක් නැහැ. අපේ ගෙදරත් ඉස්සර ඉඳල තිබ්බ සිරිතක් තමයි හැමදාම බත් උයන්න කලින් හාල්වල තියෙන ගල්, වී අහුලල ඉවර උනාට පස්සෙ හාල් මිටක් දානවා මුට්ටියකට. එහෙම එකතුවෙන හාල් තමයි අර විදිහට අවුරුද්දකට වතාවක් එන අල්ලිස් මාමට දෙන්නේ. ඒ එක්කම සල්ලි කීයක්‌ හරිත් එයාට දෙනවා. එයා දේවාලේ කටයුතු වෙනුවෙන් සහ ගමට කරන සේවය නිසා තමයි හැම ගෙදරකින්ම මේ සැළකුම ලබන්නේ.


අල්ලිස් මාමා ගැන කියනවනම්, ඒ මනුස්සය "රදා කුලේ" කෙනෙක්, ඒ කියන්නෙ ඒ කාලේ කියන විදිහටනම් "අඩු කුලේ". ඒ මනුස්සයාගේ නම අල්විස්. මම පුංචි කාලේ අපේ ගම්වලත් කුලබේදය තරමක් දුරට තිබුනා. මට මතකයි අල්ලිස් මාමා, රෙදි නැන්දා, කම්මලේ ගෙදර සුටන් සහ ඒ ළමයි, එයාල ඔක්කොම අඩුකුලේ කියල පොඩි කොන්කිරීමක් ගමේ තිබ්බ වගක්.
(ඒ අය ගැන වෙනමම පෝස්ට් එකකින් කතා කරන්න මම හිතාගෙන ඉන්නවා)
අපි පුංචි කාලේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගියපු මඩුපොලේ ගමන පස්සෙ පස්සෙ අපි තරුණ වයසට ආවට පස්සෙ ගියේ ඒ වගේ ශ්‍රද්ධාවකින්නම් නෙමෙයි. අම්මල එක්ක නැතුව කොල්ලෝ කට්ටියත් එක්ක එහෙම යන්නෙ රස්තියාදු ගහන්න මිසක් වෙනදේකට නෙමෙයි. අන්තිමට රස්සාව කරන්න ගත්තට පස්සෙ එහෙමහරි මඩුපොලේ ගිය ගමන නිකම්ම වගේ මගඇරිල ගියා. හදිස්සියෙම මතකෙට ආපු සුන්දර මතකයක් නිසා පෝස්ට් එක ලියන්න ගත්තට පස්සෙ ආපහු මඩුපොලේ යන්නත් මට ලොකු ආසාවක් ඇති උනා.
(2012 බැරිවෙන එකක් නැහැ)

Friday, 25 November 2011

වැරදීමකින් ගිය කුමන චාරිකාව 03



..........................................................................................................................
අපි කරක් ගහපු වැව් පිටි වලදී සංචාරක කුරුල්ලන් වර්ග කීපයක් දකින්නත් පුළුවන් උනා.

සමහර සංචාරක කුරුළු වර්ග දිවා රෑ කියල බලන්නේ නැතුව සැතපුම් දහස් ගණන් එක දිගට පියාසර කරනවා තමන්ගේ ගමනාන්තය තෙක්ම. අපේ රටට කුරුල්ලන් එන මාර්ගය තියෙන්නේ ඉන්දියාව හරහා. ඉතින් මෙහෙම එන කොටසක් ඉන්දියාවේ නතර වෙනවා. තවත් කොටසක් තවත් ඉදිරියට පියාඹගෙන ඇවිත් අපේ පුංචි රටට එනවා. ඒ එන්නේ එයාලගේ රටේ සීත කාලය තුල අපේ රටේ උණුහුම විඳගෙන කාල බීල තර වෙලා යන්න මිසක් වෙන දේකට නෙමෙයි. හැබැයි මේ සමහර කුරුළුවර්ග වල උපවිශේෂ කීපයකුත් දකින්න ලැබෙනවා. එහෙම සමහර උපවිශේෂ ලංකාව තුල කූඩු හදල බිත්තර දාල තමන්ගේ පරපුර ඉදිරියට ගෙනියන්නත් කටයුතු කරනවලු.
ඒ වගේම මෑතකදී වාර්තා උනා බොහෝම අපුරු සිදු වීමක්. Blue-tailed Bee-eater (නිල්පෙඳ බින්ගුහරයා) කියන කුරුල්ලා අපේ රටේ පදිංචි කාරයෙක් නෙමෙයි. ඒත් මෑතකදී යාල කැලයෙන් වාර්තා උනා මේ කුරුල්ලෝ රංචුවක් කූඩු හදාගෙන එහේ පදිංචි වෙලා ඉන්නවා කියලා. මෙයාලගේ පදිංචිය වෙන්නේ ගිනිකොණදිග ආසියාව. සමහර විට තමන් හිටපු රටවල් වල ජීවත්වෙන්න තියෙන හැකියාව අඩු වීම නිසා ලංකාවේ නතර උනා වෙන්න පුළුවන්.


පුංචි මාල ඔලෙවියා - Little Ringed Plover
රත් ගල් පෙරලියා - Ruddy Turnstone
(ෆොටෝ එකේ වම්පැත්තේ ඉන්න තද පාටට පේන ලොකු කුරුල්ලෝ දෙන්නා)

අනිත් දෙන්නව මට අඳුන ගන්න අමාරුයි Bird Guide එකක් නැතුව.
පොදු සිලිබිල්ලා - Common Sandpiper
මේ දෙන්න ලංකාවේදී නිවැසියන් විදිහට දකින්න පුළුවන් අය.

සැවුල්පෙඳ දියසෑනා - Pheasant-tailed Jacana
පුංචි මුහුදුලිහිණියා - Little Turn
මෙයාගෙත් උපවර්ගයක් ඉන්නවා ලංකාවට පර්යටනය කරන
ඒත් ඒ දෙන්නව වෙන්කරලා අඳුනගන්න බැරි නිසා මම එයාව අපේ රටේ නිවසි ගනයටම දැම්මා
කුරූ කියන යාලුවට කුරුල්ලෝ, සමනල්ලු, මල් වර්ග, ගස් වර්ග ගැන හොඳ දැනුමක් තියෙනවා. එහෙමෙහෙ යනඑන ගමන් සහ කෑම්ප් එකේ ඉන්න ගමන් අපි ගොඩක් වෙලාවට එක එක දේවල් සාකච්ජා කරනවා. එකඑක කතා කියනවා, විහිලු කරගන්නවා. කට්ටිය වැඩියෙන් ඉන්නවනම් මොනවා හරි විනෝද වැඩහටහන් එහෙමත් තියෙනවා. හැබැයි ඒවා කරන්නේනම් කෑම්ප් ඉන්නකොට නෙමෙයි. ගොඩනැගිල්ලක් ඇතුලේ ඉන්නවනම් විතරයි. සාමාන්‍යයෙන් කැලේකදී අපේ දවස ගෙවෙන්නේ ඒ විදිහට තමයි.
අපේ ගයිඩ් මල්ලි කලින් වැඩ කරලා තියෙන්නේ දැන් කුරු වැඩ කරන දෙපාර්තමේන්තුවේමයි. ඊට පස්සේ තමයි වනජීවී දෙපාර්තමේන්තුවට බැඳිලා තියෙන්නේ. ඉතින් දෙන්න එක්ක ආපු වෙලාවේ ඉඳලා බරටම කතාව. මල්ලිත් දන්නේ නැති දේවල් කුරූගෙන අහ ගන්නවා, දෙන්න වැඩිපුර හිටියේ වෙනම ලෝකෙක.
ඒ මලයටත් සමහර ගයිඩ්ලට වැඩිය කුරුල්ලෝ, ශාක වර්ග ගැන තරමක දැනුමක් සහ ඉගෙනගන්න උනන්දුවක් තිබුනා.
සමහර ගයිඩ් ලා වැඩි දැනුමක් නැතුව තමන් එක්ක යන අයට බොරුත් කියනවා, ඒ අතින් මේ ගයිඩ් මලයා ගොඩක් හොඳයි. 

අපි ඉතින් එදා හවස් වෙද්දී කෑම්ප් එකට ඇවිත් ගිමන් හැරලා රෑ කෑම හදන්න පටන් ගත්තා. කට්ටියක් ගිනිමැලේ පත්තු කරන්න දරකොට හොයන්න ගියා. ඊට පස්සෙ උයන වැඩේටත් ඒ තරම් වෙලාවක් ගියේ නැහැ. රෑට බත් එහෙම කාල වෙනදා වගේ වැඩිය කතාබහ කර කර හිටියේ නැහැ. මහන්සිය වැඩි නිසා ඉක්මනටම නිදා ගන්න ගියා. එක පාරටම මහ රෑ මට ඇහැරුනා වතුර පාරක සීතලට. බලද්දී හෝ ගාල වහිනවා, ටෙන්ට් එක ඇතුලටත් වතුර ගලනවා. ටක් ගාල නැගිටලා බැලුවා ඇතුලේ වටිනා කියන තෙමෙන්න හොඳ නැති දේවල් මුකුත් තියෙනවද කියලා. තිබ්බ බෑග් ටිකත් එහෙට මෙහෙට කරලා වතුර ගලාගෙන යන්නේ නැති තැන් වලින් තිබ්බා. ඊට පස්සෙ ටෙන්ට් රෙද්දට යටින් තියෙන වැල්ල තලලා වතුර පාර හැමතැනම විසිරිලා නොයන විදිහට පොඩ්ඩක් හදා ගත්තා.
අපි හිටපු ටෙන්ට් එක ඇතුලෙමයි අපේ යාළුවා හිටියෙත්. ඌනම් කිසි කරදරයක් නැතුව වතුර ගොඩේම නිදාගෙන හිටියා. ඒ වෙද්දී ඌ එක පාරක් නැගිටලා රෑ මුර සේවයේ යෙදිලා තද නිදි මතේලු ඉඳල තියෙන්නේ.
ආ.....මට කියන්න අමතක උනානේ, අපෙන් දෙන්නෙක් සැරින් සැරේ නැගිටලා ගිනිමැලේ නිවෙන්න නොදී පත්තු කරන රාජකාරියත් කලා. සමහර වෙලාවට අපි මේ කෑම්ප් කරපු තැනින් අලි වතුරට බහින්න  එනවලු. ඉතින් අපේ ආරක්ෂාවට එහෙම කරන්න සිද්ධ වෙනවා.
තාමත් පොඩි වතුර පාරක් අපි ඉන්න හරියට එන නිසා මමයි හාමිනෙයි ළඟ තිබ්බ පොරෝනා දෙකත් නමලා වතුර පාර බ්ලොක් කළා. ඊට පස්සෙ පොඩි පොඩි වතුර පාරවල් ඇඟට ආවත් ගණන් ගන්නේ නැතුව නිදා ගත්තා.

මම කලින්ම කට්ටියට කියල තිබුනේ කැමරා, ෆෝන් ඔක්කොම වාහනේම තියන්න කියලා. ඒකෙන් කැමරා ඔක්කොම බේරුනා.
සාමාන්‍යයෙන් අපි කොහේ හරි කැලේක ගමනක් යද්දී අර කුණු දාන්න තියෙන කළු පාට ලොකු ඉටි බෑග් හරි ඒ වගේ මොනවා හරි ලොකු ඉටිබෑග් අරගෙන තමයි යන්නේ. එහෙම අරගෙන යන්නේ කුණු දාන්නම නෙමෙයි, හදිස්සියෙවත් වැස්සොත් කැමරා බඩු ටික පරිස්සම් කර ගන්න. ඔයගොල්ලොත් කොහේ හරි ට්‍රිප් එකක් යනවනම් තමතමන්ගේ කැමරා, ෆෝන් පරිස්සම් කර ගන්න මේ වගේ බෑග් මොනවා හරි අරගෙන යන්න අමතක කරන්න එපා.
පහුවෙනිදා උදේ මුලින්ම කරන්න උනේ අපේ තෙමිච්ච බෑග්, ඇඳුම් එහෙම අස්පස් කරන එක. ඒ වෙද්දීත් අව්ව පායලා තිබුනේ නැහැ. එහෙමයි කියල බැහැනෙ, තෙමිච්ච ඇඳුම් පැළඳුම් ටික පොඩ්ඩක් අහල පහල වනලා දැම්මා. ඊට පස්සේ තෙතබරියන් වෙච්ච ටෙන්ට් දෙක අකුලලා, වැලියි මඩයි යන්න හොඳට හෝදලා නවල කරලා වාහනේට දාගත්තා, පස්සේ වේලන්න පුළුවන්නේ කියන බලාපොරොත්තුවෙන්. ඉතුරු බඩු මුට්ටු ටිකත් අකුලලා අස්පස් කරලා ගන්න සෑහෙන වෙලාවක් ගියා. කුණු මල්ලත් ජීප් එකට දාගන්න අමතක කලේ නැහැ.
ඊට පස්සෙ ඉතුරු වෙලා තිබ්බ බිස්කට් චොකලට් වගේ දේවල් ටිකක් උදේ කෑමවේල විදිහට කනගමන් අපි ආපහු ගමන ඇරඹුවා උදේ 9:00 ට විතර වගේ. ඒ එන ගමන එන්න තියෙන්නෙත් පාර්ක්‌ එක හරහා නිසා අවට පරිසරයේ ලස්සන බලන්නත් අමතක කලේ නැහැ.
ලතුවැකියා - Painted Stroke
කපටි රජා නම්ලද "හිවලා"
හීන්-බහුරු මානාවා - Lesser Adjutant
පාදිලි මානාවා - Woolly-Necked Stork
මෙයා අපිව දැකලා එක පාරටම කැලේ කඩාගෙන දුවගෙන ගියා,
අපිට හිතා ගන්න බැරි උනා පොරට මොකද උනේ කියලා
අතරමගදී අපි කුඹුක්කන් ඔය මුහුදට වැටෙන මෝයටත් ගියා. එතනට යන්නත් ලොකු වතුර වලවල් බොහෝමයක් තියෙන බොහෝම අබලන් පාරක යන්න උනා. එතනත් හරිම අපුරුයි. එතනත් කෑම්ප් කරන්න සකස් කරපු බිමකඩක් තියෙනවා. අපි ඒ වගේ තැනක නතර වුනානම් දවසේ වැඩි හරියක් කුමන ඇතුලේ ඇවිදින්න තිබුනා කියල අපිට පස්සෙ හිතුනා. ඒත් මේ දවස් කීපයේ අපි ගත්තු අත්දැකීම් වල වටිනාකමත් කියල නිමකරන්න බැහැ. මෙන්න මෙයා පොඩි ගොදුරක් අල්ලගෙන ඉන්නවා දැක්කේ එතන මුහුදු වෙරළේදී.





ඊට පස්සේ දවල් 1:00 ට විතර වගේ අපි කාර්යාලය තියෙන ඉසව්වට ලඟා උනා. ගයිඩ් මල්ලිට සමු දෙන්න කලින් අපි එතනත් ටික වෙලාවක් ගතකළා. කොච්චර බලකරලා පෙරැත්ත කලත් ඒ ළමයා අපෙන් සල්ලි ගත්තේ නැහැ. බලෙන් වගේ සල්ලි සාක්කුවට දාල ආවත් ආපහු අපි යන්න පිටත් වෙද්දී ඇවිත් ජීප් එකට සල්ලි ටික දාල ගියා. එහෙම දාන ගමන් කියල ගියා "මම මහත්තයලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා, මට මහතයලගෙන් සල්ලි ගන්න බැහැ" කියලා. හරි පුදුම කොල්ලෙක්. දැන් කාලේ මේ වගේ සුන්දර මිනිස්සු හම්බ වෙන්නේ කොයි තරම් කලාතුරකින්ද. නගරෙදිනම් හම්බ වෙන්නේ නැතිතරම්. ගම්වල මිනිස්සු ගාව මනුස්සකම තාම තියෙනවා කියල ගයිඩ් මලය අපිට මතක කරලා දුන්නා.

එමින් ගමන් පොතුවිල් හන්දියේ මුස්ලිම් කඩේකින් අමතක නොවෙන කෑම වේලකුත් කාල කොළඹ බලා ගමන පිටත් වුණා. මුස්ලිම් කඩේකින් එච්චර අපිරිසිදු ජරා කෑම එකක් කෑවමද කොහෙද.
පොතුවිල් ඉඳලා  වැල්ලවායට එනකම් කුරූ ජීප් එක අරගෙන ආවා. මම පොඩ්ඩක් නිදාගෙන ඇවිත් වැල්ලවායේ ඉඳලා ආපහු එන ගමනේ බර කරට ගත්තා.
අපේ යාළුවගේ පිස්සු වැඩ තිබ්බට මම දන්නවා ඌ හොඳ කොල්ලෙක් කියලා, මම තරහකින් නෙමෙයි ඌ කරපු පිස්සු වැඩ ලිව්වේ. මේ වගේ ගමනක් යද්දී ඔයගොල්ලන්ටත් යම් ප්‍රයෝජනයක් අත් වෙයි කියලා හිතුන නිසා.
මගෙත් එක්ක මේ ගමන් ගිහින් දුක සැප බෙදා හදා ගත්තු මගේ හාමිනේටත්, කුරූ, අලයා, අපේ යාළුවා සහ අපේ ගයිඩ් මල්ලිටත් මගේ ආදර ගෞරවය මෙයින් පුදකර සිටිනවා
ඒ වගේම අපිත් එක්ක දවස් තුනක කුමන සවාරියේ යෙදිච්ච ඔයාල හැම දෙනාටමත් බොහෝම ස්තුතියි.


විශේෂ:
කවදාවත් කැලේක යද්දී කිසි හේතුවක් නැතුව ගස් වල අතු, කොල කඩන එක, මල් පැළ ගලවාගෙන එනවා වගේ වැඩ කරන්න එපා. ඒ වගේම තමයි සත්තුන්ට, කුරුල්ලන්ට එයාලගේ නිදහස බුක්ති විඳින්නත් ඉඩ දෙන්න.
ඔයාල කැලේට ගෙනියන හැම දෙයක්ම ආපහු රැගෙන එන්න අමතක කරන්නත් එපා. විශේෂයෙන් ප්ලාස්ටික් සහ පොලිතින්. ඒ වගේම කන බොන පලතුරු වල ඇට පවා එළියට විසිකරන්න එපා. ඒකෙන් ඒ පරිසරයට අදාළ නැති ගස් වර්ගයක් වැවෙනවා කියන්නෙත් පරිසරයට කරන හානියක්.
මේ ලඟකදී යාල කැලේ හිටපු ලස්සන කොටි පැටික්කියක් යාල බලන්න ආපු සංචාරක පිරිසක් ගිය වාහනේක හැපිලා අවසන් ගමන් ගිහින් තිබුනා. විල්පත්තු වනෝද්‍යානය  ආසන්නයේදී වලහෙකුටත් ඒ ඉරණමම අත් වෙලා තිබුනා කියල මම දැක්කා.
ඒ වගේ වැරදි සිදු නොවෙන්න වගබලා ගන්න පුලුවන්නම් කොයි තරම් හොඳද.

Tuesday, 22 November 2011

වැරදීමකින් ගිය කුමන චාරිකාව 02



බෝවත්තගල ගල් ගුහා, බඹරගස්තලාව ගල සහ බඹරගස්තලාව සුප්‍රසිද්ධ බුද්ධ ප්‍රතිමාව සහිත ගල් ගුහාව බලන්න ගියපු තැන ඉඳල අද කියවමු.

.....................................................................................................
මගේ අතේ තිබුනේ "Tele-Lens" වර්ගයේ දිග ලෙන්ස් එකක් අමුණපු කැමරාවක් නිසා ඒක වරින් වර පොඩි ලෙන්ස් එකක් එක්ක මාරු කරකර ෆොටෝ ගහන්න ඇති වෙච්ච කම්මැලිකම නිසා මේ තැන් වල මම ෆොටෝ වැඩිය ගත්තේ නැහැ. ඒත් දැන් අපරාදේ කියල හිතෙනවා.  ගමනේ තියෙන අපහසුව බැලුවහම කවදා ආපහු "කුමන" යයිද කියල කියන්නත් බැහැනෙ.
මේ කිසිම කැමරා උපකරණයක් මගේ නෙමෙයි, යාළුවෙක්ගේ. හැබැයි රට යන්න කලින් මේ ඔක්කොම මගේම වෙලා මගේ අතේම රැඳිලා හිටියා මගේ හෙවනැල්ල වගේ.

බෝවත්තගල ගල් ගුහා සංකීර්ණයේ ඉස්සර කාලේ හාමුදුරුවරු වැඩ වාසය කලා බවට කදිම තොරතුරු රැසක් දකින්න පුළුවන්.

මේ තියෙන්නේ ගල් ගුහාව ඇතුලේ ඉඳල ගත්තු ජායාරුපයක්
බෝවත්තගල ගල් ගුහා
කටාරම්
මෙහි දක්නට ඇති ගල් ගුහාවල කටාරම් සහ ඒ ආසන්නයේම කෙටු යම් යම් අක්ෂර(බ්‍රාහ්මීය විය හැක) වලින්ද සමන්විතයි. කටාරම් කෙටීම මගින් සහ අක්ෂර මගින් මෙම ස්ථානය යම් වැදගත් ස්ථානයක්ව තිබෙන්නට ඇති බව අනුමාන කලහැක. බිමද සමතලා ගල් පතුරු දමා සකස් කොට තිබී ඇත.


1925 දී කවුරුන් හෝ අඳි නව ගුහා චිත්‍ර
මේ ගලේ බොහෝම ඈත කලෙක ඒ කියන්නෙ 1925 වගේ කාලෙක ලියවුනු සහ ඇඳපු රූ සටහන් වගයකුත් තිබුනා. රූ සටහනේනම් ඉන්නේ මොකෙක් හරි භූතයෙක් හරි යකෙක් හරි වගේ එකෙක්. හැබැයි ඒවා කිසි දෙයක් කුණුහරප නෙමෙයි, සභ්‍ය වචන සහ රූප. මෑතකදී ගිය කවුරුවත් එවැනි දේවල්වත් කරලා නැහැ. ඒක ගොඩක් හොඳ දෙයක් විදිහට මම දකිනවා. සමහර විට පහුගිය කාලේ තිබුන ත්‍රස්තවාදී තර්ජන නිසා මිනිස්සු එහෙට නොගිය නිසා එහෙම උනාද දන්නෙත් නැහැ.

මේ අවට පරිසරය පුදුම විදිහට ලස්සනයි, ඒ වගේම හරිම සිත් ගන්නා බවකුත් නිස්කලංක බවකුත් තිබුනා. අපිත් සෑහෙන වෙලාවක් වටපිට බලමින් එතනට වෙලා හිටියා.
බලාපොරොත්තු
පාවීම...
අපි මේ අවට සෑහෙන වෙලාවක් ගත කළා පැරණි නටබුන් බලන්න. ඒ අතරේ අපේ අවට එහා මෙහා ඉගිලිච්ච ලිහිණින් කිහිප දෙනාගේ පින්තුරයක් ගන්න මමත් උපරිම උත්සාහයක යෙදුනා. ඒත් සාර්ථක උනේ නැහැ.
මෙතනින් පස්සේ අපේ අරමුණ වුනේ බඹරගස්තලාව. අපි දැන් බොහොම අබලන් මාර්ගයක් ඔස්සේ ඉදිරියට ඇදෙනවා. සමහර තැන් වලදී පාර හොයා ගන්න බැහැ, ඒ තරමට කැලෑව වැවිලා. ඒ වෙලාවට ගයිඩ් මල්ලි කියන දිහාවට යනවා, ආපහු පාර හම්බ වෙනකම්. බොහෝ තැන් වල "කුකුල් කටු" නමින් හඳුන්වන විශාල කටු සහිත කුඩා ශාකපඳුරු වැවිලා පාර පුරාම. අපේ ගයිඩ් මල්ලියි තව එකෙකුයි බැහැලා ඒවා කප කපා තමයි ඉස්සරහට යන්නේ. එයින් එකක් ටයර් එකේ ඇනුනොත් අපි ආපහු ගිහින් ඉවරයි.
ඒක තැනකදී ගයිඩ් මල්ලි යන්න හරිම අමාරු පාරක් දිගේ යමු කියල කිව්වා, ඉතින් මමත් ගියා. ඒ පාර ගිහින් වැටෙන්නේ කැඩීබිඳී ගිය වැව් කන්ඩියකට. ඒ පාර යන්තමට ජීප් එකේ රෝද පළලට තියෙන පාරක්, ටික දුරක් ගියාට පස්සෙ එක පාරට පල්ලමකට බැහැලා වැව හරහා යන්න ඕනේ. අඩි තිහක විතර දුරක් වතුර දිගේ. මේ වගේ දේවල් ඕනෙතරම් TV වල එහෙම දැකල තිබුනට කවදාවත් කරලා තියෙන එකක්යැ. පොඩ්ඩක් බයෙන් බයෙන් වගේ වතුර පාර හරහා එගොඩ වුණා.  එතන වතුර පාරනම් ජීප් එකේ බොනට් එකට උඩිනුත් ආවා.
මේ ට්‍රිප් එක ගියේ ජීප් එකේ අමතර රෝදයක් නැතුව කියල කිව්වොත් පිළිගන්න පුළුවන්ද. ඒක නිසාම තමයි හැමතිස්සෙම වගේ මගේ පපුව බිත්තර තම්බන ගානට රත්වෙලා තිබුනේ.

සමහර තැන් වල මහා අතු කඩන් වැටිලා පාරට. ඒ වගේ තැන් වලදීත් පිහි වලින් ඒවා කපලා දාල පාර එලි පෙහෙළි කරගෙන අලුත්ම ලෝකෙකට යනවා වගේ ගමනක් තමයි අපි ගියේ. මම හිතන්නේ මේ කාලෙට වැඩිය කවුරුවත් මේ පැත්තට යන්නේ නැතුව වෙන්න ඇති.



බඹරගස්තලාව ගල
බඹරගස්තලාව කෙම
බැලුම්ගල
බඹරගස්තලාව කෙම ගාව තියෙන ගල උඩට නැග්ගට පස්සේ වටපිටාව හොඳට බලා ගන්න පුළුවන්. ඒකෙ උඩ ඉඳල බැලුවහම "බැලුම්ගල" නම් ස්ථානයේ දකින්න පුළුවන් චෛත්‍යක නටබුන් තමයි මේ ඈතින් පේන්නෙ. අපිට එතනටනම් යන්න බැරි වුණා.
බඹරගස්තලාවට ආපු ගමන් අපි කලේ ගෙනාපු බත් ටික කන්න ගත්තු එක, මේ වෙද්දී අපි ගෙනාපු වතුරත් ඉවර වේගෙන වගේ ආපු නිසා බොහොම පරිස්සමින් තමයි වතුර පාවිච්චි කලේ. අපේ යාළුවා මේ වෙලාවෙත් පොඩ්ඩක් පිස්සු නැටුවා. බෝතලේ වතුර බීල ඉවර වෙලා හිමීට ඒකෙන්ම අතත් හෝදගත්තා, තව පිඟානත් හෝදන්නයි කල්පනාව. ඉතුරු අයනම් අර ගල් කෙමේ තියෙන වතුර තමයි අත හෝදන්න පාවිච්චි කලේ. පිඟන් ඔක්කොම බෑග් එකකට දා ගත්ත කෑම්ප් එකට ගිහින් හෝදන්න.

කැලේක ගමනක් යද්දී මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. විශේෂයෙන් කෑම්ප් කරන ගමනක් වුනාම සම්පත් බොහෝම සීමිතයි. ඒ නිසා අරපරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. ඒවා කැලේට ගියාට පස්සෙ කියල දෙන්න පුළුවන් දේවල් නෙමෙයි. තමතමන් හිතලම කරන්න ඕනේ දේවල්. මොකද යාළුකම නිසා වැරදි කියන්නත් බැහැනෙ.

බත් කෑවට පස්සේ අපි ගල්කෙම ගාව උඩහ තියෙන හෙවනක පොඩ්ඩක් ගිමන්හැරියා. ගිමන්ඇරිය කිව්වට "කුරූ"යි, "අලයයි"යි ගොරව ගොරවා නිදා ගත්තත් එක්ක.

අව්ව පොඩ්ඩක් අඩු වුනාට පස්සේ ඒ අවට තිබ්බ පොලු කෑලි කිහිපයක් අතට අරගත්තු අපේ ඊළඟ අරමුණ උනේ  බඹරගස්තලාව බුදු පිළිමය තියෙන ගල් කුලට නැගීම. මෙහෙම ආරක්ෂාව ඇතුව යන්නේ ඒ අවට බොහෝ වෙලාවට වලස්සු ගැවසෙන නිසා. කොයි තරම් අමාරු පාරක් වුනත් මේ ඊයේ පෙරේද දවසක අලියෙක් ඒ කිට්ටුවටම ඇවිත් ගිය බවට සලකුණු තිබුනා කඳුගැටේ උඩ හරියෙත්.

අන්තිමේදී අපි බුදු පිළිමය තියෙන ගල්කුල ලඟට ලඟා වුනා. එතන හරිම ආකර්ශනීය තැනක්. කටාරම් කෙටුව ගල් ගුහාවේ විශාල සැතපෙන පිළිමයක් තිබුනා. ගඩොල් සහ මැටියෙන් සාදා තිබුණු පිළිමය නිධාන හොරුන් හෝ පුරාවස්තු විනාශ කරන්නන්ගේ අතවරයට ලක් වූ බවට සාධක එමටයි. ඉස්සෙල්ලාම කියපු හේතුව නිසා මට බුදුපිළිමයේ ජායාරුප ගන්නත් බැරි වුණා.



බඹරගස්තලාව  බඹරවද
මෙම ජායාරූපයේ දක්වා ඇති බඹරවදය තිබුනේද බුදු පිළිමය ආසන්නයේ. මෙවැනි තැනක ශබ්ධ නගා කතා කිරීම බොහොම අවධානම්. අවාසනාවකට හෝ බඹරුන් ඇවිස්සුනොත් මෙන්න මේ උපදෙස පිළිපදින්න. දුවන්න එපා, එකතැන වාඩි වී නිසොල්මනේ ඉන්න. මුණට අනියි කියල බයක් තියෙනවනම් මුණ කකුල් දෙක අතරේ ගහගෙන හංගගෙන ඉන්න. උන් පහර දෙන්නේ චලනය වන වස්තු වලට පමණයි.
වඩාත් වටින්නේ බඹරුන්ගෙන් බේරෙන ක්‍රම සහ විධි හොයන එක නෙමේ, බඹරුන්ව අවුස්සගන්නේ නැතුව ඉන්න එකයි.


මේ තියෙන්නේ  බඹරගස්තලාව බුදු පිළිමය තියෙන ගල් ගුහාවේ කපල තියෙන කටාරම් වල සමීප ජායාරුපයක්. මේ කටාරම කපල තියෙන දිශාවටම පේනවා නේද ඉරි ඉර වගේ. මේක සාමාන්‍ය ගල් කටුවකින් කලානම් මේකේ මේ වගේ ඉරි පාරක් ඉන්නේ නැහැ. එහෙනම් මේකේ වදින්නේ කටුවේ උල වැදිච්ච පොඩි පොඩි වලවල් වගේ පාරවල්. මේ ඉරි පාර දැක්කහම මට මෙන්න මේ වගේ අදහසක් ආවා. ඒ කාලෙ මොනවා හරි කැරකෙන රෝදයක් වගේ දෙයක් පාවිච්චි කරලා තියෙනවා මේ වගේ කැපුම් යොදන්න. හරියට දැන් කාලේ ග්‍රයින්ඩර් වලින් ගල් කපනවා වගේ. මේක තව ටිකක් ලොකු කරලා බලුවනම් මම මේ කියන එක පැහැදිලිවම පෙනේවි ඔයගොල්ලන්ටත්. (මේක මගේ පුංචි මොලේට ආපු අහිංසක අදහසක් විතරයි)


බඹරගස්තලාව යන එන අතරමගදී අපි නොයෙකුත් සත්තු සහ කුරුල්ලෝ එහෙමත් දැක්කා. දකින්න ලොකු ආසාවක් වෙලා තිබුන කොටි හපුවෙක්නම් දකින්න ලැබුනේ නැහැ. අපි හවස 6 ට විතර වගේ ආපහු අපේ කෑම්ප් එක දිහාවට එන්න පිටත් වුනා.
එන්න කලින් වැව්පිටි කිහිපයක කරක්ගහන්නත් අපි අමතක කලේ නැහැ. සමහර පාරවල් වල යද්දී ආපහු ජීප් එකේ ඇතුලටත් වතුර ආවා. ඒ තරමට වතුර වැඩි කාලයක්.


අළු වඳුරා

තිත්මුවා
මෙන්න මේ මුව පොව්වාගේ ෆොටෝ එක ගත්තු හරිදීත් හරි අපුරු වැඩක් සිද්ධ වුණා, මේ හැරියේ පාරක සලකුණක්වත් නැහැ, ඉතින් අපි ගස්, කටු පඳුරු මග හැර හැර තමයි ඉස්සරහට ගියේ. එක හරියක හොඳට පොලව වේලිලා තිබ්බ තැනක ජීප් එක පොඩ්ඩක් එරුණා වගේ වුණා. පස්සෙ මම 4x4 දාල වාහනේ ඉස්සරහට ගන්න හැදුවා, ගන්න බැහැ. පස්සට ගන්න හැදුවා, ඒත් බැහැ. දැන් කට්ටිය බැහැල ජීප් එක තල්ලු කරන්නයි කතාව. මම කිව්වනේ මම  4x4 වාහන පළපුරුදු කාරයෙක් නෙමේ කියලා. ඒ නිසා මම 4x4 දැම්මේ ෆස්ට් එකේ. ඒ නිසා රෝද හතර හරිම හිමීට එක තැනම කැරකෙනවා මිසක් මඩ වලෙන් එළියට ආවේ නැහැ. ඒත් පස්සෙ සෙකන්ඩ් එකට දාපු ගමන් ජීප් එක ටක් ගාල ගොඩ ආවා.


මේ ඉන්නේ අතරමගදී හම්බ උණු තවත් දෙන්නෙක්.

කුළු හරකා


කිඹුලා
එදා හවස් වෙද්දී අපි අර සුපුරුදු මඩපාර දිගේ බොහෝම අමාරුවෙන් සහ බොහෝම තෙහෙට්ටුවෙන් අපේ කඳවුර බලා ගමන් ඇරඹුවා.

..........................................................................................................................................................
එදා රෑ කුමන ගත කල හැටි සහ අවසාන දවස ඊලඟ කොටසින්.....