..........................................................................................................................
අපි කරක් ගහපු වැව් පිටි වලදී සංචාරක කුරුල්ලන් වර්ග කීපයක් දකින්නත් පුළුවන් උනා.
සමහර සංචාරක කුරුළු වර්ග දිවා රෑ කියල බලන්නේ නැතුව සැතපුම් දහස් ගණන් එක දිගට පියාසර කරනවා තමන්ගේ ගමනාන්තය තෙක්ම. අපේ රටට කුරුල්ලන් එන මාර්ගය තියෙන්නේ ඉන්දියාව හරහා. ඉතින් මෙහෙම එන කොටසක් ඉන්දියාවේ නතර වෙනවා. තවත් කොටසක් තවත් ඉදිරියට පියාඹගෙන ඇවිත් අපේ පුංචි රටට එනවා. ඒ එන්නේ එයාලගේ රටේ සීත කාලය තුල අපේ රටේ උණුහුම විඳගෙන කාල බීල තර වෙලා යන්න මිසක් වෙන දේකට නෙමෙයි. හැබැයි මේ සමහර කුරුළුවර්ග වල උපවිශේෂ කීපයකුත් දකින්න ලැබෙනවා. එහෙම සමහර උපවිශේෂ ලංකාව තුල කූඩු හදල බිත්තර දාල තමන්ගේ පරපුර ඉදිරියට ගෙනියන්නත් කටයුතු කරනවලු.
ඒ වගේම මෑතකදී වාර්තා උනා බොහෝම අපුරු සිදු වීමක්. Blue-tailed Bee-eater (නිල්පෙඳ බින්ගුහරයා) කියන කුරුල්ලා අපේ රටේ පදිංචි කාරයෙක් නෙමෙයි. ඒත් මෑතකදී යාල කැලයෙන් වාර්තා උනා මේ කුරුල්ලෝ රංචුවක් කූඩු හදාගෙන එහේ පදිංචි වෙලා ඉන්නවා කියලා. මෙයාලගේ පදිංචිය වෙන්නේ ගිනිකොණදිග ආසියාව. සමහර විට තමන් හිටපු රටවල් වල ජීවත්වෙන්න තියෙන හැකියාව අඩු වීම නිසා ලංකාවේ නතර උනා වෙන්න පුළුවන්.
පුංචි මාල ඔලෙවියා - Little Ringed Plover |
රත් ගල් පෙරලියා - Ruddy Turnstone (ෆොටෝ එකේ වම්පැත්තේ ඉන්න තද පාටට පේන ලොකු කුරුල්ලෝ දෙන්නා) අනිත් දෙන්නව මට අඳුන ගන්න අමාරුයි Bird Guide එකක් නැතුව. |
පොදු සිලිබිල්ලා - Common Sandpiper |
සැවුල්පෙඳ දියසෑනා - Pheasant-tailed Jacana |
පුංචි මුහුදුලිහිණියා - Little Turn මෙයාගෙත් උපවර්ගයක් ඉන්නවා ලංකාවට පර්යටනය කරන ඒත් ඒ දෙන්නව වෙන්කරලා අඳුනගන්න බැරි නිසා මම එයාව අපේ රටේ නිවසි ගනයටම දැම්මා |
අපේ ගයිඩ් මල්ලි කලින් වැඩ කරලා තියෙන්නේ දැන් කුරු වැඩ කරන දෙපාර්තමේන්තුවේමයි. ඊට පස්සේ තමයි වනජීවී දෙපාර්තමේන්තුවට බැඳිලා තියෙන්නේ. ඉතින් දෙන්න එක්ක ආපු වෙලාවේ ඉඳලා බරටම කතාව. මල්ලිත් දන්නේ නැති දේවල් කුරූගෙන අහ ගන්නවා, දෙන්න වැඩිපුර හිටියේ වෙනම ලෝකෙක.
ඒ මලයටත් සමහර ගයිඩ්ලට වැඩිය කුරුල්ලෝ, ශාක වර්ග ගැන තරමක දැනුමක් සහ ඉගෙනගන්න උනන්දුවක් තිබුනා.
සමහර ගයිඩ් ලා වැඩි දැනුමක් නැතුව තමන් එක්ක යන අයට බොරුත් කියනවා, ඒ අතින් මේ ගයිඩ් මලයා ගොඩක් හොඳයි.
අපි ඉතින් එදා හවස් වෙද්දී කෑම්ප් එකට ඇවිත් ගිමන් හැරලා රෑ කෑම හදන්න පටන් ගත්තා. කට්ටියක් ගිනිමැලේ පත්තු කරන්න දරකොට හොයන්න ගියා. ඊට පස්සෙ උයන වැඩේටත් ඒ තරම් වෙලාවක් ගියේ නැහැ. රෑට බත් එහෙම කාල වෙනදා වගේ වැඩිය කතාබහ කර කර හිටියේ නැහැ. මහන්සිය වැඩි නිසා ඉක්මනටම නිදා ගන්න ගියා. එක පාරටම මහ රෑ මට ඇහැරුනා වතුර පාරක සීතලට. බලද්දී හෝ ගාල වහිනවා, ටෙන්ට් එක ඇතුලටත් වතුර ගලනවා. ටක් ගාල නැගිටලා බැලුවා ඇතුලේ වටිනා කියන තෙමෙන්න හොඳ නැති දේවල් මුකුත් තියෙනවද කියලා. තිබ්බ බෑග් ටිකත් එහෙට මෙහෙට කරලා වතුර ගලාගෙන යන්නේ නැති තැන් වලින් තිබ්බා. ඊට පස්සෙ ටෙන්ට් රෙද්දට යටින් තියෙන වැල්ල තලලා වතුර පාර හැමතැනම විසිරිලා නොයන විදිහට පොඩ්ඩක් හදා ගත්තා.
අපි හිටපු ටෙන්ට් එක ඇතුලෙමයි අපේ යාළුවා හිටියෙත්. ඌනම් කිසි කරදරයක් නැතුව වතුර ගොඩේම නිදාගෙන හිටියා. ඒ වෙද්දී ඌ එක පාරක් නැගිටලා රෑ මුර සේවයේ යෙදිලා තද නිදි මතේලු ඉඳල තියෙන්නේ.
ආ.....මට කියන්න අමතක උනානේ, අපෙන් දෙන්නෙක් සැරින් සැරේ නැගිටලා ගිනිමැලේ නිවෙන්න නොදී පත්තු කරන රාජකාරියත් කලා. සමහර වෙලාවට අපි මේ කෑම්ප් කරපු තැනින් අලි වතුරට බහින්න එනවලු. ඉතින් අපේ ආරක්ෂාවට එහෙම කරන්න සිද්ධ වෙනවා.
තාමත් පොඩි වතුර පාරක් අපි ඉන්න හරියට එන නිසා මමයි හාමිනෙයි ළඟ තිබ්බ පොරෝනා දෙකත් නමලා වතුර පාර බ්ලොක් කළා. ඊට පස්සෙ පොඩි පොඩි වතුර පාරවල් ඇඟට ආවත් ගණන් ගන්නේ නැතුව නිදා ගත්තා.
මම කලින්ම කට්ටියට කියල තිබුනේ කැමරා, ෆෝන් ඔක්කොම වාහනේම තියන්න කියලා. ඒකෙන් කැමරා ඔක්කොම බේරුනා.
සාමාන්‍යයෙන් අපි කොහේ හරි කැලේක ගමනක් යද්දී අර කුණු දාන්න තියෙන කළු පාට ලොකු ඉටි බෑග් හරි ඒ වගේ මොනවා හරි ලොකු ඉටිබෑග් අරගෙන තමයි යන්නේ. එහෙම අරගෙන යන්නේ කුණු දාන්නම නෙමෙයි, හදිස්සියෙවත් වැස්සොත් කැමරා බඩු ටික පරිස්සම් කර ගන්න. ඔයගොල්ලොත් කොහේ හරි ට්‍රිප් එකක් යනවනම් තමතමන්ගේ කැමරා, ෆෝන් පරිස්සම් කර ගන්න මේ වගේ බෑග් මොනවා හරි අරගෙන යන්න අමතක කරන්න එපා.
පහුවෙනිදා උදේ මුලින්ම කරන්න උනේ අපේ තෙමිච්ච බෑග්, ඇඳුම් එහෙම අස්පස් කරන එක. ඒ වෙද්දීත් අව්ව පායලා තිබුනේ නැහැ. එහෙමයි කියල බැහැනෙ, තෙමිච්ච ඇඳුම් පැළඳුම් ටික පොඩ්ඩක් අහල පහල වනලා දැම්මා. ඊට පස්සේ තෙතබරියන් වෙච්ච ටෙන්ට් දෙක අකුලලා, වැලියි මඩයි යන්න හොඳට හෝදලා නවල කරලා වාහනේට දාගත්තා, පස්සේ වේලන්න පුළුවන්නේ කියන බලාපොරොත්තුවෙන්. ඉතුරු බඩු මුට්ටු ටිකත් අකුලලා අස්පස් කරලා ගන්න සෑහෙන වෙලාවක් ගියා. කුණු මල්ලත් ජීප් එකට දාගන්න අමතක කලේ නැහැ.
ඊට පස්සෙ ඉතුරු වෙලා තිබ්බ බිස්කට් චොකලට් වගේ දේවල් ටිකක් උදේ කෑමවේල විදිහට කනගමන් අපි ආපහු ගමන ඇරඹුවා උදේ 9:00 ට විතර වගේ. ඒ එන ගමන එන්න තියෙන්නෙත් පාර්ක් එක හරහා නිසා අවට පරිසරයේ ලස්සන බලන්නත් අමතක කලේ නැහැ.
ලතුවැකියා - Painted Stroke |
කපටි රජා නම්ලද "හිවලා" |
හීන්-බහුරු මානාවා - Lesser Adjutant |
පාදිලි මානාවා - Woolly-Necked Stork |
මෙයා අපිව දැකලා එක පාරටම කැලේ කඩාගෙන දුවගෙන ගියා, අපිට හිතා ගන්න බැරි උනා පොරට මොකද උනේ කියලා |
ඊට පස්සේ දවල් 1:00 ට විතර වගේ අපි කාර්යාලය තියෙන ඉසව්වට ලඟා උනා. ගයිඩ් මල්ලිට සමු දෙන්න කලින් අපි එතනත් ටික වෙලාවක් ගතකළා. කොච්චර බලකරලා පෙරැත්ත කලත් ඒ ළමයා අපෙන් සල්ලි ගත්තේ නැහැ. බලෙන් වගේ සල්ලි සාක්කුවට දාල ආවත් ආපහු අපි යන්න පිටත් වෙද්දී ඇවිත් ජීප් එකට සල්ලි ටික දාල ගියා. එහෙම දාන ගමන් කියල ගියා "මම මහත්තයලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා, මට මහතයලගෙන් සල්ලි ගන්න බැහැ" කියලා. හරි පුදුම කොල්ලෙක්. දැන් කාලේ මේ වගේ සුන්දර මිනිස්සු හම්බ වෙන්නේ කොයි තරම් කලාතුරකින්ද. නගරෙදිනම් හම්බ වෙන්නේ නැතිතරම්. ගම්වල මිනිස්සු ගාව මනුස්සකම තාම තියෙනවා කියල ගයිඩ් මලය අපිට මතක කරලා දුන්නා.
එමින් ගමන් පොතුවිල් හන්දියේ මුස්ලිම් කඩේකින් අමතක නොවෙන කෑම වේලකුත් කාල කොළඹ බලා ගමන පිටත් වුණා. මුස්ලිම් කඩේකින් එච්චර අපිරිසිදු ජරා කෑම එකක් කෑවමද කොහෙද.
පොතුවිල් ඉඳලා වැල්ලවායට එනකම් කුරූ ජීප් එක අරගෙන ආවා. මම පොඩ්ඩක් නිදාගෙන ඇවිත් වැල්ලවායේ ඉඳලා ආපහු එන ගමනේ බර කරට ගත්තා.
අපේ යාළුවගේ පිස්සු වැඩ තිබ්බට මම දන්නවා ඌ හොඳ කොල්ලෙක් කියලා, මම තරහකින් නෙමෙයි ඌ කරපු පිස්සු වැඩ ලිව්වේ. මේ වගේ ගමනක් යද්දී ඔයගොල්ලන්ටත් යම් ප්‍රයෝජනයක් අත් වෙයි කියලා හිතුන නිසා.
මගෙත් එක්ක මේ ගමන් ගිහින් දුක සැප බෙදා හදා ගත්තු මගේ හාමිනේටත්, කුරූ, අලයා, අපේ යාළුවා සහ අපේ ගයිඩ් මල්ලිටත් මගේ ආදර ගෞරවය මෙයින් පුදකර සිටිනවා
ඒ වගේම අපිත් එක්ක දවස් තුනක කුමන සවාරියේ යෙදිච්ච ඔයාල හැම දෙනාටමත් බොහෝම ස්තුතියි.
විශේෂ:
කවදාවත් කැලේක යද්දී කිසි හේතුවක් නැතුව ගස් වල අතු, කොල කඩන එක, මල් පැළ ගලවාගෙන එනවා වගේ වැඩ කරන්න එපා. ඒ වගේම තමයි සත්තුන්ට, කුරුල්ලන්ට එයාලගේ නිදහස බුක්ති විඳින්නත් ඉඩ දෙන්න.
ඔයාල කැලේට ගෙනියන හැම දෙයක්ම ආපහු රැගෙන එන්න අමතක කරන්නත් එපා. විශේෂයෙන් ප්ලාස්ටික් සහ පොලිතින්. ඒ වගේම කන බොන පලතුරු වල ඇට පවා එළියට විසිකරන්න එපා. ඒකෙන් ඒ පරිසරයට අදාළ නැති ගස් වර්ගයක් වැවෙනවා කියන්නෙත් පරිසරයට කරන හානියක්.
මේ ලඟකදී යාල කැලේ හිටපු ලස්සන කොටි පැටික්කියක් යාල බලන්න ආපු සංචාරක පිරිසක් ගිය වාහනේක හැපිලා අවසන් ගමන් ගිහින් තිබුනා. විල්පත්තු වනෝද්‍යානය ආසන්නයේදී වලහෙකුටත් ඒ ඉරණමම අත් වෙලා තිබුනා කියල මම දැක්කා.
ඒ වගේ වැරදි සිදු නොවෙන්න වගබලා ගන්න පුලුවන්නම් කොයි තරම් හොඳද.
ඇත්ත මචන්..නගරේට වඩා ගමේ තවම මනුස්සකම රජයනව...ඒවගෙම අපි කැලේ සංචාරය කරනකොට කවදාවත් ඒ පරිසරය කෙලෙසෙන විදිහේ වැඩකරන්න හොඳ නැ..අපි අරන් යන දෙවල්වල ඉතිරිවෙන ද්‍රව්‍ය ආපහු රැගෙන ආයුතුමයි..විශේෂයෙන් පොලිතීන්...
ReplyDeleteහොඳම වැඩේ තමා "ඔබයන්න...පිංතුර හා මතකයන් පමනක් රැගෙන එන්න..ඔබේ කිසිවක් එහි ඉතිරි නොකරන්න..මන්ද ඔබ වනයට අමුත්තේකු බැවින්..."
මචො තාම මම කුමන ගිහින් නෑ නමුත් උඹ මාව කුමන එක්කං ගියා බොහොම ස්තුතී සහෝ..දවසක මමත් යනව..අඩේ අර පිංතුර ටිකනම් මාර සජීවි බං...
වචනවලට පෙරලපු නැති දහසක් වචන තියෙනවා සේයා රූ ඇතුලෙ !
ReplyDeleteලස්සන පින්තුර ටිකත් එක්ක, අගේ ඇති පෝස්ට් එක.
ReplyDeleteඅර සංචාරක කුරුල්ලො එක වර්ගයක් එනවා ඕස්ට්‍රේලියාවේ ඉඳල ලංකාවට සහ ඉන්දියාවට. මෙහෙ කියන්නෙ උන්ට 'සී ගල්' කියල වින්ටර් එකේ දකින්න නැහැ. සමර් එකේ මෙහෙ ක්‍රිකට් මැච් තියෙන කොට දැකල ඇති ග්‍රවුන්ඩ් වල ඉන්න සුදු පාට කුරුල්ලො රංචු. එයාල තමා ඒ.
මම උන්ව දැකල තියෙනව නුවරදිත්.
මේ පින්තුර ටික මාරම ලස්සනයි යාළුවා.. වැරදීමෙන් ගියා උනත් සොදුරු අත්දැකීමක්..
ReplyDeleteහරිම ලස්සනයි.. :))
ReplyDelete@ Raj
ReplyDeleteපුළුවන් වෙලාවක පලයන්, ගිහින් දවසක් දෙකක් කෑම්ප් කරලා වරෙන්
බොහෝම ස්තුතියි මචං කමෙන්ට් එකට
@ Weni
හ්ම්ම්... ඒක ඇත්ත. බොහෝම ස්තුතියි වෙනී...
@ Observer
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබා අයියේ...
ඔබා අයියත් නිකං ඉඳල නැහැ, කුරුළු නිරීක්ෂණය කරලා තියෙනවා ඒ කියන්නෙ
නුවරදී උන්ගේ පවුලේ සාමාජිකයෙක් නිරීක්ෂණය කලා කියන්නෙ අයියේ බොහෝම වටිනා නිරීක්ෂණයක්
සාමාන්‍යයෙන් මේ කුලයේ අයට කියන පොදු භාවිතය තමයි "සී ගල්ස්", මේ පවුලේ සාමාජිකයෝ බරගානක් ඉන්නවා
සාමාන්‍යයෙන් උන් ගැවසෙන්නේ මුහුදුබඩ, ඒත් අපේ රට පුංචි දුපතක් නිසා ඔය වගේ කුරුල්ලෝ අහම්බෙන් වගේ රට අතුලේදීත් දකින්න පුළුවන් වෙනවා
මමත් වතාවක් නුවරඑළියෙදි මේ වගේ දියවිදුවන්(Waders) කීප දෙනෙක්ව දැකල තියෙනවා
@ Dinesh
ReplyDeleteබොහෝම ස්තුතියි සහෝ... මේක තමයි ඉතින් මගේ විනෝදාංශය
@ වර්ණා
බොහෝම ස්තුතියි සහෝදරී..
අර හිවලාගේ පින්තුරේ නම් නියමයි...උගේ කපටි පාට හොඳට පේනවා... :)
ReplyDeleteසොබාදහමට ඇළුම් කරන හදක් හැඳින්නෙමි. ජය!
ReplyDeleteවිවේකයක් නැති නිසා පැමිණීම සටහන් කරලා විතරක් යන්නේ පසුව ඇවිත් කියවා සටහනක් එක් කරන අදහසින්.
අනේ මටත් විශේෂයෙන්ම කියන්න ඕන හිවලගෙ පින්තූරය ගැන... ඔක්කොම පින්තූර ටික ජාති..... රාජ්ගෙ විල්පත්තු සංචාරයත්, ලොකු පුතාගෙ කුමන සංචාරයත් ආපහු ලංකාවට යන දොළදුක තවත් වැඩි කළා.... බොහොම ස්තුතියි...
ReplyDelete@ සයුරි
ReplyDeleteබොහෝම ස්තුතියි සයුරි.....
හිවල කියන සතා ගැන අපේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම මේ වගේ මතයක් තියෙන්නේ මොකද දන්නේ නැහැ නේද
@ ගල්මල්-Coral
සොබාදහමට සමීපව ජීවත් වෙන එක කොයි තරම් සනීපයක්ද සහෝ...
විවේකයක් තියෙන වෙලාවක ඇවිත් කියවල යන්නකෝ
මමත් ඒ පැත්තේ ගිහින් නැද්ද කොහෙද, මේ දැන් මම යන්න හදන්නේ ඒ පැත්තටත් ගොඩ වැදිලා එන්න
@ Miyuru
ගොඩ දෙනෙක් කැමති මේ හිවලටනේ... :)
මම හිතන්නේ එයාගේ තියෙන "ඇල්ශේෂන් බල්ලෙක්" වගේ පෙනුම නිසාද දන්නේ නැහැ
ලංකාවේ නැතුව පිටරටක ඉන්නකොට ඔහොම තමයි අක්කේ
මමත් මුහුනුපොතේ යාළුවෝ එහෙමෙහෙ ගිහින් දාන ෆොටෝ බලල හුල්ල හුල්ල තමයි ඉන්නේ ගොඩ වෙලාවට,
මමත් හිටියනම් උන් එක්ක යනවා නේද කියල හිතලා :(
මට පිට රට එපා වෙලා....අනේ හරිම ආසයි ලංකාවට ඇවිත් කැලවල ඇවිදල සත්තු බල බල ඉන්න.....යාල පැත්තෙ යන්න....විල්පත්තු යන්න.......හෝටන් තැන්නට යන්න..........ඔයා ලියන විස්තර ලස්සනයි.....කොමෙන්ට් කලේ නැතුවට හැමදාම ආසාවෙන් බලනවා......
ReplyDeleteලස්සන විස්තරෙත් එක්ක ලස්සනම පිංතූර ටිකක්..ආසයි කැලේ යන්න..කොහෙද වෙලාවක් .....දැං ඉතිං අපිත් ගියා වගේ තමයි.....
ReplyDelete@ වින්චැට් කිරිල්ලී.
ReplyDeleteකිරිල්ලිට පුළුවන්නේ වෙලාවක පියඹලා ලංකාවට එන්න :)
ඔව් නගේ... වෙන රටක ඉන්න එක මොනතරම් කරුමයක්ද කියල හිතෙන වෙලාවල්නම් ඕනෙතරම්
නිවාඩු වෙලාවක ඇවිත් ලංකාවේ අසිරිය විඳලා යන්න, එතකොට ආපහු ටික කාලයක් අල්ලගෙන ඉන්න පුළුවන්
@ ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteස්තුතියි සහෝ.
වෙලාව නැහැ කියකිය හිටියොත්නම් කවදාවත් වෙලාවක් ලැබෙන්නේ නැහැ "ලොකු අයියේ"
ලස්සන ලිපියක් ,ඒත් 1 / 2 ලිපි ලැබුනේ නැ
ReplyDelete