අපේ පැත්තේ බොහෝම පැරණි ප්‍රසිද්ධ සමන් දේවාලයක් තියෙනවා. ඒකෙ වාර්ෂිකව තියෙන උත්සවයට තමයි අපි "මඩු නටනවා" කියල කියන්නෙ. මේ මඩුපොල කියන්නෙ බොහෝම අපුරු තැනක්. මේක හැමදාම තියන්නේ දෙසැම්බර් මාසේ විසිගණන් වල වගේ. "මඩු" කියන නම කොහොම හැදුනද කියලනම් මට හරි අදහසක් නැහැ. සමහර විට මේකේ කෙරෙන හැම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ තාවකාලික මඩු වල නිසාද දන්නේ නැහැ මේ නම ලැබුනෙ. (ඒ මගේ පෞද්ගලික අදහසක් පමණයි) මේ දේවාලේ කොච්චර පැරණි සහ ප්‍රසිද්ධ එකක් උනත් මේකට මිනිස්සු යන්නෙ අවුරුද්දේ මේ කියන දවස් දෙක තුනේ විතරයි. මේ දවස් කිට්ටු කරලා ඒ හරියේ ඉන්න ගමේ මිනිස්සු එකතු වෙලා දේවාලෙට යන පාර එළි පෙහෙළි කරලා, දේවාල වත්තත් උදළු ගාල දානවා. මේ උත්සව දවස් වලට මිනිස්සු ගැවසුනාට අනිත් දවස්වල මේ දේවාලේ කපුවෙක් ඉන්නවද කියන එකත් මටනම් සැකයි.
දෙවොල් මඩුවේ මහ රෑ පටන් ගන්න නැටුම් පහුවෙනිදා එළිවෙනකම්ම තියෙනවා. එක එක විදිහට වෙස් බැඳලා හරියට තොවිලයක වගේ සන්නි නැටුම් නටන එක මෙතනදිත් සිද්ධ වුනා. දෙවොල් නැටීමේ ප්‍රධාන අරමුණ වුනේ පළාතට සෞභාග්‍යය උදා කරලීම. රෑ එළිවෙනකං දෙවොල් නැට්ටුවෝ නටල ඊටත් පස්සෙ පාන්දර ජාමෙට අලියෙක් පිටේ "දේව පිළිමය" වඩම්මවල බොහෝම උජාරුවට ගත්තු උත්සවයක් තමයි මේක.
උදේ පාන්දර පහමාර වගේ වෙද්දී මේ කියන නැටුම් අවසන් වෙනවා. ඊට පස්සෙ ගමේ හැමෝම වගේ දේවාලෙට පඬුරු දාල ඉවර වෙලා පිරිත් නුල් එහෙමත් බඳිනවා. ඒ වගේම මෙතන කවි මඩුවකුත් තියෙනවා. කවුරු හරි ආධාරයක් කලාම එකට සෙත් පතල කවිත් කියනවා. පඬුරු දැම්මට පස්සෙ තමයි එතන තියෙන පොඩි පොඩි කඩවලින් බඩු ගන්න මිනිස්සු යන්නේ. පඬුරු දාන්න කලින් කවුරුවත් බඩු මුට්ටු ගන්නේ නැහැ. ඒත් තරුණ උදවියනම් මේ සිරිත් විරිත් වලට පිටින් වැඩ කරන වෙලාවල් නැත්තෙත් නැහැ. එදා උදේ ඉඳල හවස් වෙනකම්ම මේ කියපු පොඩි පොඩි මඩු වල එක එක ජාතියේ සෙල්ලම් බඩු, හට්ටි මුට්ටි සහ නොයෙකුත් තොරොම්බල් බඩු සහ රසකැවිලි විකුණන එක තමයි කෙරෙන්නේ.
අපි පුංචි සන්ධියේ මේ දෙවොල් මඩු බලන්න යන්න කලින් දවසේ අපේ ගෙදර ලොකු වතාවත් ටිකක් සිද්ධ වෙනවා. කහ කොල, කොහොඹ කොල වගේ ඖෂදීය කොල වර්ග දාල තම්බපු වතුර වලින් අම්ම අපිව නාවනවා. ඊටත් පස්සෙ පඬුරු දාන්න ගන්න මාරු කාසි ටිකටත් මේ විදිහටම කහවතුර සාත්තුව ලැබෙනවා. ඔය විදිහට පේ වෙලා තමයි අපි දේවාලේ යන්න ලැස්ති උනේ. ඊට පස්සෙ පාන්දර ජාමේ නැගිටලා අපි ඔක්කොම හුළු අතු එළියෙන් හරි ඉටි පන්දමක් පොල් කට්ටකට තියාගෙන හරි පයින්ම ගමන පටන් ගන්නවා මඩු බලන්න යන්න. සමහර වෙලාවට ගස්ලබු බටේකට භූමිතෙල් පුරවලා ඒකට රෙදි වලින් තිරයක් දාල පත්තු කරගෙන යන දවසුත් තිබුනා. එතනට අපේ ගෙදර ඉඳල දුර කිලෝමීටර පහක් වගේ තියෙනවා. ලොකු පොඩි හැමෝම සුදු පාට හරි ඒ වගේ ළා පාටක ඇඳුමක් ඇඳලා තමයි දේවාලේ යන්නෙ. පුංචි සන්ධියේ අපි පුදුම ආසාවකින් ගියපු ගමනක් තමයි මේ.
එදාට තමයි අපිට මොකක්හරි සෙල්ලම් බඩුවක් ගන්න ලැබෙන එකම අවස්ථාව. අවුරුද්දකට එක පාරක් ලැබෙන මේ වගේ අවස්ථාවකට ආස නොවී තියේවිද ඕනෙම පොඩි එකෙක්.
ඔතනින් මට ලැබිල තිබුන සෙල්ලම් බඩු අතරේ අතපය මුකුත් හොල්ලන්න බැරි විදිහට ඇඟටම ඇලිච්ච තද නිල් පාට බෝනික්කා, හුවෑ නළා, බිම උළල උලලා අත ඇරියම ගොඩක් දුර බිම දිගේ යන පුංචි අහස් යන්තරේ, පනින අස්සයා, පද්දනකොට තටු ගහන සමනල කරත්තේ. මේ වගේ සෙල්ලම් බඩු ගොඩාක් තිබුනා. අර කියපු බෝනික්ක මගේ ගාව තිබුනේ මම ඉස්කෝලේ යන්නත් ගොඩාක් කලින්, චුටි අක්කට බෝනික්කෙක් ඕනේ කිව්වහම මමත් එකක් ඉල්ලලා තිබුනා. ඉතින් ඔන්න ඔහොමයි මමත් පොඩි කාලේ බෝනික්කෝ නැලෙව්වේ. මමයි චුටි අක්කයි එකතු වෙලා ඒ බෝනික්කෝ දෙන්නට පරණ පොත් වලින් කඩා ගත්තු කොල කෑලි වලින් ඇඳුම් කපල අලවනවා. දැන් කාලේ පොඩි එකෙක්නම් ඒ වගේ සෙල්ලම් බඩුවක් දිහා හැරිලවත් බලන එකක්වත් නැහැ. ඒත් අපිට ඒවා කොච්චර වටිනා වස්තූන් වෙලා තිබුනද.
| මගේ ගාව හිටපු කෙනාට් වැඩිය මෙයා ගොඩක් හැඩයි, ඒත් මට ඒ ජාතියේම රුපයක් හොයාගන්න බැරි උනා. |
ඔය හුවෑ නළාව ගැනත් අපුරු කතන්දරයක් කියන්න තියෙනවා. ඒක හදල තිබුනේ හීනි බටේක (අර වෙසක් කූඩු හදන්න ගන්න ජාතියම තමා) අගිස්සට බැලුමක් හයි කරලා. බැලුම හයි කරපු පැත්තේම නලාවක් විදිහට හදල තියෙනවා, ඒත් ඒක පිටට පේන්නෙ නැහැ. අනිත් කෙළවරට කට තියල පිඹල ඒ කෙලවර අපි කටින් අහක් කරනවා. ඊට පස්සෙ අර බැලුම ඇතුලේ තියෙන හුළං ටික බටේ හරහා එළියට යන්නෙ අර නලාවෙන් ලොකු සද්දෙකුත් පිට කරගෙන. ඒ සද්දේ හරියටම "හුවෑ" ගාන සද්දයක්. ඒ නිසා තමයි අපි ඕවට "හුවෑ නළා" කියල කිව්වේ. එදා ඉඳල දවස් කීපයක් යනකම්ම අපේ ගමේ හැමතැනම වගේ මේ හුවෑ නලාවල සද්දේ ඇහෙනවා.
අපේ අම්ම මඩුපොලේ යන්නෙ අම්මට ගන්න ඕනෙකරන හට්ටි, මුට්ටි, වලන්, ඇතිලි එහෙම ගන්න. අම්ම ගන්න මේ මැටි භාජන කරගහගෙන ගෙදර ගේන එක අපි ඔක්කොම අතින් තමයි සිද්ධ උනේ. ඒ වගේම හැමදාම අමතක නොකර අපේ ගෙදරට ගේන තව විශේෂ දෙයක් තමයි "ඈපා" ලිත. මේ විදිහට ගෙනාපු ලිත් ඔක්කොම පොඩි ලී පටියක අලවලා බිත්තියේ එල්ලනවා. 1971 ඉඳල එකම ලී පටියේ අලවපු ලිත් ඔක්කොම තාමත් අපේ ගෙදර තියෙනවා. අපි මේ ලිත ගන්නේ අවුරුදු නැකත් ටික බලාගන්න.
මඩු උත්සවය තියන්න මාසෙකට දෙකකට කලින් වගේ සංවිධායක මණ්ඩලය ගෙයින් ගෙට ගිහින් ආධාර එකතු කරනවා. ඊටත් පස්සෙ අපේ ගමේ රෙදි මාමා වෙච්ච අල්ලිස් මාමා ඇවිත් ගෙවල් වලින් දේවාලෙට එකතු කරපු හාල් අරගෙන යනවා. ඒ ගමන්ම දේවාලෙට බාර කරපු පොල් ගස් එහෙමත් තියෙනවනම් ඒවයෙත් පොල් අරගෙන යනවලු. ඒවා ගන්නේ කාගේ පරිභෝජනටද කියලනම් මට අදහසක් නැහැ. අපේ ගෙදරත් ඉස්සර ඉඳල තිබ්බ සිරිතක් තමයි හැමදාම බත් උයන්න කලින් හාල්වල තියෙන ගල්, වී අහුලල ඉවර උනාට පස්සෙ හාල් මිටක් දානවා මුට්ටියකට. එහෙම එකතුවෙන හාල් තමයි අර විදිහට අවුරුද්දකට වතාවක් එන අල්ලිස් මාමට දෙන්නේ. ඒ එක්කම සල්ලි කීයක් හරිත් එයාට දෙනවා. එයා දේවාලේ කටයුතු වෙනුවෙන් සහ ගමට කරන සේවය නිසා තමයි හැම ගෙදරකින්ම මේ සැළකුම ලබන්නේ.
අල්ලිස් මාමා ගැන කියනවනම්, ඒ මනුස්සය "රදා කුලේ" කෙනෙක්, ඒ කියන්නෙ ඒ කාලේ කියන විදිහටනම් "අඩු කුලේ". ඒ මනුස්සයාගේ නම අල්විස්. මම පුංචි කාලේ අපේ ගම්වලත් කුලබේදය තරමක් දුරට තිබුනා. මට මතකයි අල්ලිස් මාමා, රෙදි නැන්දා, කම්මලේ ගෙදර සුටන් සහ ඒ ළමයි, එයාල ඔක්කොම අඩුකුලේ කියල පොඩි කොන්කිරීමක් ගමේ තිබ්බ වගක්.
(ඒ අය ගැන වෙනමම පෝස්ට් එකකින් කතා කරන්න මම හිතාගෙන ඉන්නවා)
අපි පුංචි කාලේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගියපු මඩුපොලේ ගමන පස්සෙ පස්සෙ අපි තරුණ වයසට ආවට පස්සෙ ගියේ ඒ වගේ ශ්රද්ධාවකින්නම් නෙමෙයි. අම්මල එක්ක නැතුව කොල්ලෝ කට්ටියත් එක්ක එහෙම යන්නෙ රස්තියාදු ගහන්න මිසක් වෙනදේකට නෙමෙයි. අන්තිමට රස්සාව කරන්න ගත්තට පස්සෙ එහෙමහරි මඩුපොලේ ගිය ගමන නිකම්ම වගේ මගඇරිල ගියා. හදිස්සියෙම මතකෙට ආපු සුන්දර මතකයක් නිසා පෝස්ට් එක ලියන්න ගත්තට පස්සෙ ආපහු මඩුපොලේ යන්නත් මට ලොකු ආසාවක් ඇති උනා.
(2012 බැරිවෙන එකක් නැහැ)
අල්ලිස් මාමා ගැන කියනවනම්, ඒ මනුස්සය "රදා කුලේ" කෙනෙක්, ඒ කියන්නෙ ඒ කාලේ කියන විදිහටනම් "අඩු කුලේ". ඒ මනුස්සයාගේ නම අල්විස්. මම පුංචි කාලේ අපේ ගම්වලත් කුලබේදය තරමක් දුරට තිබුනා. මට මතකයි අල්ලිස් මාමා, රෙදි නැන්දා, කම්මලේ ගෙදර සුටන් සහ ඒ ළමයි, එයාල ඔක්කොම අඩුකුලේ කියල පොඩි කොන්කිරීමක් ගමේ තිබ්බ වගක්.
(ඒ අය ගැන වෙනමම පෝස්ට් එකකින් කතා කරන්න මම හිතාගෙන ඉන්නවා)
අපි පුංචි කාලේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගියපු මඩුපොලේ ගමන පස්සෙ පස්සෙ අපි තරුණ වයසට ආවට පස්සෙ ගියේ ඒ වගේ ශ්රද්ධාවකින්නම් නෙමෙයි. අම්මල එක්ක නැතුව කොල්ලෝ කට්ටියත් එක්ක එහෙම යන්නෙ රස්තියාදු ගහන්න මිසක් වෙනදේකට නෙමෙයි. අන්තිමට රස්සාව කරන්න ගත්තට පස්සෙ එහෙමහරි මඩුපොලේ ගිය ගමන නිකම්ම වගේ මගඇරිල ගියා. හදිස්සියෙම මතකෙට ආපු සුන්දර මතකයක් නිසා පෝස්ට් එක ලියන්න ගත්තට පස්සෙ ආපහු මඩුපොලේ යන්නත් මට ලොකු ආසාවක් ඇති උනා.
(2012 බැරිවෙන එකක් නැහැ)
























