Saturday, 31 December 2011

පාසල් විත්ති 06 - අක්ක බබාගේ බෝඩිමේ තවත් කතා

ඇත්තටම අක්කගේ මේ අමුතු හැසිරීම මට විශේෂයක් උනේ නැහැ. එයා ටිකක් අමුතු කෙනෙක් කියල මට හිතුන මිසක්, එයා අඩ නිරුවතින් හිටපු එක ගැන මම ගෙදරට කිව්වෙත් නැහැ. මට මුලින් දැක්ක දවසේ ලොකු පුදුමයක් උනා සහ මාව ටිකක් බය උනා විතරයි. හැමදාම මාව බලන්න එන්නේ තාත්ත නිසා මම තාත්තට ඕව කියන්න ගියෙත් නැහැ.
ඒ වයස වෙද්දී මම ගෑනු පිරිමි අතරේ තියෙන ලිංගික ක්‍රියාකාරකම් වගේ දේවල් ගැන මම දන්නෙ නැහැ. කලින් ඉස්කෝලෙදි සිංහල භාෂාවේ තියෙන කුණුහරප ඔක්කොම වගේ ඉගෙනගෙන හිටියට ඒවායේ තේරුම දැනගෙන හිටියෙත් නැහැ නොවැ.
(හැබැයි දැන් කාලේ 6 වසරේ ඉන්න පොඩි එව්වොනම් මේවා ගැන අපිටත් වඩා දන්නවා ඇති මගේ හිතේ)


මේ විදිහට මම ටික කාලයක් මේ ගෙදර නතර වෙලා ඉස්කෝලේ ගියා. කිසි විශේෂයක් තිබුනේ නැහැ. ඒත් එක දවසක අක්ක මට කිව්වා දහම් පාසල් යන්න ලෑස්ති වෙන්න කියලා. මම ඉස්සර ඉඳලම ඔය වැඩේට ටිකක් කම්මැලියි. ඒත් ඉතින් බැහැ කියන්නත් බැහැ. මොනවා කරන්නද දැන් ඉතින් ඉරිදට පස්ස පැත්තට ඉර පායනකල් නිදා ගත්තු නින්දත් ඉවරයි. තාත්ත ආපු වෙලාවට තාත්තට කියලා ගෙදර තිබුන ජාතික ඇඳුම ගෙන්න ගත්තා. ඉස්කෝලෙට ඇඳපු සුදු කොට කලිසමට උඩින් සුදු සරම හරි අමාරුවෙන් පටලවාගෙන පටියකින් ගැටගහගෙන දහම් පාසල් ගමනත් පටන් ගත්තා. මාව දහම් පාසල් එක්කගෙන යන වැඩේ බාර දුන්නේ උඩහ ගෙදර හිටපු මගේ වයසේම වගේ ගෑනු ළමයෙකුට. එයා ඉස්සරහින් යනවා. මම එයාට වඩා අඩි පහළොවක් විස්සක් වගේ පිටිපස්සෙන් යනවා. මෙහෙම ගිහින් ටික වෙලාවකින් එයාට තව යාළුවෙකුත් එකතු උනා. ඒ යාළුවා එක පාරටම පිටි පස්ස හැරිලා. "Hey boy, What is your name" කියලා ඇහුවේ නැතෑ. මාව එක පාරටම කරකවල අතඇරියා වගේ උනත් මගේ නම යන්තමට කියා ගන්න පුළුවන්කම මට ලැබුනා. මගේ වෙලාවටද මන්ද ආපහු කිසි කතාබහක් සිද්ධ උනේ නැහැ අපි අතරේ. මේ විදිහට මම යාන්තම් දවස් දෙකක් දහම් පාසල් ගියත් දහම් පාසල් ගමන ඒ දවස් දෙකෙන්ම නතර උනා. නතර වෙන්න හේතුවනම් මට මතක නැහැ. මට මතක විදිහට ඒ දහම් පාසල තිබුනේ පිටකෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙද කොහෙද.
කරුණා නැන්දා ඉස්සර මැදපෙරදිග ගෙදරක වැඩ කරපු කෙනෙක්. එයාගේ වැඩ වලත් පිළිවෙලක් තිබ්බා. එයා ඒ දවස්වල කියනවා අරාබි ගෙදර හිටිද්දී එයාල හරියට කුකුල් මස් කනවා කියලා. එක්කෙනෙක් තනියම කුකුලෙක් කනවා කියලත් කිව්වා. ඒත් එයාට ඒ තම්බපු කුකුල් මස් කන්න අප්පිරියයි කියලත් කිව්වා. කියපු කතා අහලා කටට කෙල ඉනුවත් මමනම් ඒවා සත පහකට විස්වාස කලේ නැහැ.
කබ්සා බත් එකක්
බ්‍රෝස්ටඩ්
(ඒත් දැන් තමයි මටත් තේරෙන්නේ මෙයා කියල තියෙන්නේ ඇත්ත තමයි කියලා)
මෙහෙම ටික කාලයක් හිටපු කරුණා ආපහු රට යන්න ඕනේ කියල අස්වෙලා ගෙදර යන්න ගියා. එයා ගියාට පස්සේ එයාගේ දුවව එහේ ගෙදර වැඩට එක්කගෙන එන්නම් කියල තමයි එයා කිව්වේ. සතියකට විතර පස්සේ අපි ඉස්කෝලේ ඇරිලා ගෙදර යද්දී කළු කොට තරුණ වයසේ කෙල්ලෙක් කරුණා නැන්දත් එක්ක එහේ ඇවිත් හිටියා, ඒ එයාගේ දුවලු. එයාට අපි හැමෝවම අඳුන්වල දීලා එහෙම කරුණ නැන්දා ගෙදර ගියා.  ලබන සතියේ රට යනවා කියල තමයි එයා කිව්වේ.  කරුණා නැන්දා හිටපු විදිහටම දැන් රෝහිණි නිදා ගන්නෙත් මගේ කාමරේමයි. රෝහිණි කරුණා නැන්දා තරම් වැඩපලට දක්ෂ නැහැ. ඒ වගේම තමයි එයාගේ කට ඒ තරම් හොඳ නැහැ.  ගෙදර අය එක්කත් එකටඑක කියාගෙන එන වෙලාවල් තියෙනවා. පිරිසිදු කමත් ටිකක් අඩුයි වගේ.
නමුත් අක්කයි රෝහිණියි දෙන්නම මට ටිකක් විතර ආදරෙන් හිටියා.
කොහොමත් මම පිට ගෙදරක ගිහින් හිටියොත් ඒ ගෙවල්වල මිනිස්සු මට කැමති වෙනවා. මොකද මම බොහොම නිෂ්ශබ්ද කාටවත් කරදරයක් නැති, වැඩපල වලට උදව් කරන ළමයෙක්නේ....


වතාවක් මම යාලුවෙක්ගෙ ගෙදර දවස් 3 ක් නතර වෙලා හිටියා ට්‍රේනින් එකකට යන්න. මම එයාට කලින් ගෙදර එනවා. ඒ ගෙදර වතුර බහින බට එහෙම හිර වෙලා, වතුර එන බට ලීක් වේවි තමයි තිබුනේ. මම ඒ ටික එක දවසක හවස හදල දැම්මා. මගේ යාළුවගේ ඇඳුම් හෝදන්නේ, මදින්නෙත් ඒ ගෙදර අය. මගේ ඇඳුනුත් ඉල්ලුවා හෝදන්නයි මදින්නයි. මම දුන්නේ නැහැ. මේ වෙද්දී අපේ වයස අවුරුදු 22 ක් වගේ ඇති. අන්තිමට මට ආපහු දුර පළාතකට යන්න වෙච්ච නිසා එහෙන් යන්න උනා. මම ගියාට පස්සේ අරූගේ අම්ම හැමදාම ඌට බනින්නේ  මගේ හොඳ කිය කියාලු. ඉතින් මගේ යාළුවා මට කිව්වේ "තෝ ආපහු අපේ ගෙවල් පැත්ත පළාතේ එන්න එපා, මට ගෙදරිනුත් යන්න වෙලා තමයි නතර වෙන්නේ" කියල තමයි.


මෙහෙම ගිහින් සිංහල අවුරුදු නිවාඩුව ලැබුනා. පුදුම ආසාවෙන් තමයි මම එදා ගෙදර ආවේ. හැමදාම වගේ අපිව එක්කගෙන යන්න ආවේ තාත්තා. මුලින්ම මාව අරගෙන ඊට පස්සේ අක්කගේ ඉස්කෝලෙට ගිහින් එයාවත් එක්කගෙන තමයි අපි ගෙදර යන්න පිටත් උනේ. අපේ ගෙදර ඉස්සර තිබුන හැමෝම ඒකට එකතුවෙලා සමරපු ලස්සන අවුරුදු කාලයන් වලින් එකක් ඒ විදිහට ගෙවිලා ගියා. හැමදාම වෙනවා වගේ ඒ නිවාඩුවත් හිතපු නැති තරම් ඉක්මනට ගෙවිලා ගිහින් ආපහු බෝඩිමට යන දවසත් ආවා. චුටි අක්කනම් හැමදාම වගේ ගෙදර ආවහම ආපහු යන්නේ අඬලා තමයි. මම ඇඬුවේ නැති උනාට ලොකු දුකකින් තමයි ගෙදරින් යන්නේ.
අපි එනගමන් ගෙදර හදපු කැවිලි ටිකකුත් අරගෙන ආව සර්ලගෙ ගෙදර අයට දෙන්න. තාත්ත ගියාට පස්සේ මම ඒ ටික අක්කට දුන්නා. එයා ඒක අරගෙන හිනාවක්‌ දාලා ""ආ...."" කියල කිව්වා, එච්චරයි.


මේ විදිහට ආපහු ඉස්කෝලේ ගමන පටන් ගත්තා. මට මේ දවස් වෙද්දී ඉංග්‍රීසි විෂය තරමක් අමාරුවෙලා තිබුනේ. අක්ක ඒකට දීපු පිළියම තමයි මට දෙන ගෙදර වැඩ එයා කියල දෙන එක. කියල දෙනවා කියන්නේ එයා කටින් කියද්දී මම පොතේ ලියනවා. මට තේරුනේ නැහැ මේ වැඩෙන් වෙන්නේ මාව අමුම අමු මැට්ටෙක් වෙනඑක බව. මගේ ඉස්කෝලේ වැඩ ටික කෙරෙන නිසා මමත් හරි සතුටින් එයා කියන විදිහට කලා.


එක දවසක් අපි ඉස්කෝලේ යද්දී ඉස්කෝලේ එතන ලොකු කලබලයක්. අපේ ඉස්කෝලෙන් එළියට යන පුංචි ගේට්ටුවක් තියෙනවා. ඒ ගේට්ටුව ගාව හැමදාම දෙමළ මිනිස්සු දෙතුන් දෙනෙක් ලස්සන තරු ස්ටිකර් එහෙම ගෙනත් විකුනනවා. ඒ අය විකුණන ස්ටිකර් වල මොනවද මත්ද්‍රව්‍ය වර්ගයක් දාල විකුනනවා කියල අහුවෙලා. පොලිසියෙනුත් ඇවිත් තිබුනා. එදා හවස සර් මට ඒ ස්ටිකර් දෙක තුනක් පෙන්නුවා. ඒවායේ කිසිම වෙනසක් නැහැ, සාමාන්‍යය තරු ස්ටිකර් වගේමයි. එයා ඒවා පෙන්නලා මගෙන් ඇහුවා මමත් ඒවා සල්ලි දීලා ගත්තද කියලා. වෙලාවට මම පැණිරස කනවා මිසක් ඔව්ව ගන්න ගියේ නැත්තේ.


මෙහෙම ටික දවසක් ගිහින් අගෝස්තු වාර අවසාන විභාගෙත් කිට්ටු උනා. ඒ අස්සේ සර්ලගෙ ගෙදරත් ලොකු කලබලයක්. එයාල කතරගම යන්න ලෑස්ති වෙනවා. ට්‍රිප් එක යන්න හදන දවස් තුනේම මට වාර විභාගේ තියෙනවා. දැන් අක්කයි සර්රුයි අතරේ කතාවක් යනවා මට මොකද කරන්නේ කියලා. මාව වෙන ගෙදරක නතර කරලා යන්න මුලින් කතා උනත් පස්සේ මම එහේ ඉඳල ඉස්කෝලෙට යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ නිසා ඒකත් යටගියා. අන්තිමට මේක වාර අවසාන විභාගේ නෙමෙයිනේ, මම ඒක පන්තිභාර ටීචර් එක්ක බලාගන්නම් කියලා මාවත් ට්‍රිප් එක එක්කගෙන යන්න සර් තීරණය කලා. මටත් මාර සතුටුයි, විභාගෙනම් හැමදාම තියෙනවනේ, ඒ වගේද ට්‍රිප් එකක් කියන්නේ. අපේ ගෙදරින් ඇහුවොත් කියන්න කිව්වා, මට ඒ වෙනුවෙන් විභාගේ වෙනම තියනවා කියල වෙන දවසක.


අන්තිමට සර්ගේ පරණ ගෝලයෝ කියල කියාපු තරුණ පිරිසකුයි, තව කවුද සර්ගේ යාලුවෝ කීප දෙනෙකුයි, ඉස්සර සර්ලගෙ ගෙදර නතරවෙලා ඉස්කෝලේ ගියා කියපු ලොකු අක්ක කෙනෙකුයි එයා බඳින්න ඉන්න අයියයි, සර්ලගෙ ගෙදර හිටපු අපි ඔක්කොමයි මේ ගමන ගියා. අපි ට්‍රිප් එක ගියේ පොඩි රෝසා බස් එකක. අර AC බස් සයිස් එකක, හැබැයි AC නැහැ.
සර් එයාගේ පරණ ගෝලයෝ ටිකත් එක්ක බස් එකේ පිටිපස්සේ සීට් එකේ වාඩිවෙලා බෝතලයක තිබ්බ මොනවදෝ අක්කට හොරෙන් බොන හැටිත් මම ඇස් කොනකින් වගේ දැක්කා. සර්ගේ පරණ ගෝලයෝ ටිකයි, අර අනිත් අයයි හරි සුහදශිලියි. මාත් එක්ක හොඳට කතාබහ කලා. මේ ට්‍රිප් එක මට ලොකු සතුටක් ගෙන දීපු එකක් බව කියන්නම ඕනේ.
උපුටා ගැනීම http://beautyofyala.blogspot.com/
සර්ලගෙ ගෙදර අය කතරගම දේවාලේ මොකක්දෝ මන්ද ලොකු පුජාවක් තියන්න බාර වෙලාලු හිටියේ. ඒකට තමයි මේ ගමන ඇවිත් තිබුනේ. අපි කතරගමට ඇවිත් නාල, කාල එහෙම ඉවර වෙලා දේවාලෙට ගියා. එදා මොකක් හරි පෙරහරක් වගේ එකක් තිබුනා. අර අන්කල් එතන ගිහින් ආවේශ වෙලා වගේ කාවාඩි නැටුවා. ටික වෙලාවක් ගිහින් මෙන්න අක්කත් නටන්න ගත්තා පිස්සු හැදිලා වගේ. මමත් හරි බයෙන් හිටියේ මාවත් ආවේශ වෙලා නැටවෙන්න පටන් ගනීවිද කියලා. වාසනාවකට වගේ එහෙම උනේ නැහැ. පස්සේ දවසේ රෑ අපි කිරිවෙහෙරේ පෙරහැරත් බැලුවා. අක්ක මගේ අතේ ගැටගහගන්න කියලා පාට පාට නුලකුත් අරගෙන දුන්නා.
අපි එන දවසේ යාල එහෙමත් ගියා. බස් එක පිරෙන්න සින්දු හඬ රැව් දුන්නා  සර්ගේ ගෝල පිරිසගෙන්. එයාල කිව්වේ බොහොම ලස්සන පරණ සින්දු.


කතරගම ගමන ගිහින් ආවට පස්සේ සර් මගෙන් ප්‍රගති වාර්තා පොත ඉල්ල ගත්තා. දවස් දෙක තුනකට පස්සේ මට ඒක ආපහු ලැබුනා. පුදුම විදිහේ ප්‍රතිපලයක් එක්කම. මම ලියපු විෂයන් වලට තරමක් අඩු ලකුණු.  ඉංගිරිසි වලට තිබුනේ ලකුණු 30 ගානක්.  මම ලියපු නැති විෂයන් තුනට හොඳට ලකුණු තිබුනා.  කොහොම හරි මම පන්තියේ 12 වෙනියා හරි ඒ වගේ සැළකිය යුතු තැනක ඉන්න විදිහට පොතේ ලකුණු කරලත් තිබුනා. අපේ පන්තිබාර ටීචර්ගේ අත්සනත් දාල තිබුන මගේ ප්‍රගති වාර්තාවේ.
මේ ගමනින් පස්සේ දවස් කීපයකට පස්සේ ආපහු ඉස්කෝලේ නිවාඩු දුන්නා. මමත් සුපුරුදු සතුටෙන්ම ගෙදර බලා ඉගිල්ලිලා ගියා තාත්තගේ අතේ එල්ලිලා. අපි යන ගමන් චුටි අක්කලාගේ හොස්ටල් එකටත් ගිහින් එයාවත් එක්කගෙනම තමයි ගෙදර ගියේ. තවත් ලස්සන නිවාඩු කාලයක් මේ විදිහට ආරම්භ උනා.


ප.ලි.
මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් අක්ක රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම එයාට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ.

Wednesday, 28 December 2011

පාසල් විත්ති 05 - සර්ගේ ගෙදර බෝඩිම සහ බබා අක්කාගේ හුරතලේ...

ගිය පාර මම නතර කලේ මම කොළඹ ලොකු ඉස්කෝලෙකට ගිහින් නතර වෙන්න තැනක් නැති නිසා සුනිල්රත්න ඉස්කෝලේ මහත්තයාගේ ගෙදර නතර වෙච්ච තැනින්නේ. අද එතැන් සිට....



මේ විදිහට මම ඒ ගෙදර නතරවෙලා ඉස්කෝලේ යන්න පටන් ගත්තා. අර දවස දෙකකින් ආපහු එනවා කියල කියපු ගෙදර වැඩට හිටපු ගෑනු කෙනා ටික දවසකින් ආපහු ආවා. එයාගේ නම කරුණා. අවුරුදු 45 ක වගේ වයසක උන්නු ගමක හැදිච්ච ගෑනු කෙනෙක්.
එදා මට නතර වෙන්න දීපු කාමරේම තව බුරු ඇඳකුත් තිබුනත් මම එක ඒ තරම් ගණන් ගත්තේ නැහැ. කරුණා නැන්දා ආවට  පස්සේ එයා නතර උනෙත් මම හිටපු කාමරේමයි. කරුණා නැන්දා එහෙම නැත්නම් ඒ ගෙදර වැඩකාරි එක්ක එක කාමරේ නිදා ගන්න දෙන එකගැන විරුද්ධ වෙන්න හරි ඒ ගැන හිතන්න හරි තරමේ තේරුමක් මට තිබුනේ නැහැ.  අපේ ගෙදරත් ඒ වෙද්දී අපිටම කියල තනි තනි කාමර තිබුනේ නැහැ. මම නිදා ගත්තේ  අපේ අක්කල එක්ක එකම කාමරේ.
ඒ නිසා මේ ගෙදරදී එහෙම කරපු එකේ වැරද්දක් තියෙනවා කියල මට හිතුනෙත් නැහැ.


මේ ගෙදර හිටපු මිනිස්සු ටිකක් අමුතුයි. අර සර්ගේ නෝනා වගේ ගෑනු අයව මීට කලින් මම දැකල තිබුනේ නැහැ. එයා හරිම අමුතුයි. සර් එයාට කතා කලේ "බබා" කියලා. සර් විතරක් නෙමෙයි අර වයසක උන්දලා දෙන්නත් එහෙමයි. එයාට කතා කලේ බබා කියලා. ඒ මදිවට එයත් පොඩි එකෙක් වගේ තොඳොල් වෙනවා හුරතල් වෙනවා.
ඒ මනුස්සයට "අක්ක" කියල කතා කරන්න කියල මට සර් උපදෙස් දුන්නා. ඉතින් මමත් එදා ඉඳල එයාට කතා කලේ අක්ක කියලා.
අක්කගේ අම්මයි තාත්තයි තමයි මේ ගෙදර හිටපු අනිත් වයසක දෙන්න. එයාගේ අම්මට "ඇන්ටි" කියල කතා කරන්නත් කිව්වා, එයාගේ තාත්තට "අංකල්" කියල කියන්නත් කිව්වා. ඒ ඇන්ටිගේ ඇස්දෙක පේන්නේ නැහැ. අක්ක සමහර වෙලාවට ඒ මනුස්සයට සලකන්නේ ඒ තරම් කැමැත්තෙන් නෙමෙයිද කියලත් මට හිතුනා. අර අංකල්නම් ටිකක් වසයි, එයාට කොයි වෙලාවෙත් කේන්ති යනවා.


මම මේ ගෙදර නතරවෙලා සුපුරුදු විදිහට ඉස්කෝලේ ගියා. මම හැමදාම යන්නේ සර් එක්ක එයාගේ පරණ මෝටර්බයික් එකේ. ආපහු එන්නෙත් එයා එක්කමයි. අපි හැමදාම යන්නේ එන්නේ විජයකුමාරතුංග මහත්තයාගේ පිළිරුව තියෙන තැනින්. ඒ ඇරෙන්න අපි ඉස්කෝලේ ගියේ මොන පාරෙන්ද කියලවත් මට මතකයක් නැහැ. මේ සර් ඉස්කෝලේ ගිහින් මොනවා උගන්නනවද කියල මම දැනගෙන හිටියේ නැහැ. හැබැයි ගොඩක් දවස්වලට ඉස්කෝලේ ඇරිලා තවත් පැයක් දෙකක් එයා එනකල් ඉස්කෝලේ පාළු මුසල මුළු වලට වෙලා බලන් ඉන්න මට සිද්ධ උනා.
මම ඉස්කෝලේ යද්දී හැමදාම උදේට දවල්ට කන්න කියලා පාන් පෙති දෙක තුනක් මගේ පුංචි කෑම පෙට්ටියට දාල දෙනවා. ඒක කෑවට හවස 3, 4 වගේ වෙද්දී හොඳටම බඩගිනියි. ඒත් ඉතින් සර් ගෙදර යනකල් මටත් ගෙදර යන්න විදිහක් නැහැනේ.


අපේ පන්තියේ මම වගේ ශිෂ්‍යත්වෙන් ආපු ළමයි හිටියේ හතර පස් දෙනෙක් විතරයි. මට මෙතනින් නම් විදිහට මතක දෙන්නෙක්ව විතරයි. එක්කෙනෙක් ලක්මාල්, අනිත් කෙනා චරිත්, ගෙවල් මීගොඩ කියල කියපු ළමයට අපි ඒ දවස්වල කිව්වේ "මීයා" කියලා. ඒ ළමයාගේ ඇත්ත නම මට මතක නැහැ. චරිත්ගේ ගෙවල් කැලණියේ, ලක්මාල් අවිස්සාවේල්ලේ.
අපේ පන්තිබාර ගුරුතුමියගේ නම මානෙල් වගේ තමයි මතක. පන්ති නායකයා විදිහට හිටියේ රශ්මි කියල ළමයෙක්, එයා මුස්ලිම්ද කොහෙද. එයාව මට හොඳට මතක හිටියේ එයාගේ උපන් දිනේට මුළු පන්තියටම කේක් ගෙනත් බෙදපු නිසා. අපේ ඉස්කෝල වල මීට කලින් කවදාවත් එහෙම කරලා තිබුනේ නැහැ කවුරුවත්.
ඒ ළමයි ඉන්ට්‍රවල් එකේදී රගර් ගහනවා. පිට ඉස්කෝල වල ඉඳල ආපු අපි වගේ ළමයි දන්නේ ඔට්ටු සෙල්ලම්, හැංගි මුත්තං වගේ සෙල්ලම්. ඒ නිසා අපි කවදාවත් එයාල එක්ක සෙල්ලම් කලේ නැහැ. අප හතර පස් දෙනා දන්නා කියන පොඩි පොඩි සෙල්ලම් කරගෙන හිටියා. ඉස්කෝලේඅපි හිටපු පැත්තට වෙන්න මහා විශාල කෝන් ගහක් තිබුනා. ලොකු ඉස්කෝලයක් කියල නැහැ, ළමයි ඒකට ගල් ගහනවා කෝන් ගෙඩි කඩා ගන්න. අපි අලුත් නිසා කෝන් ගෙඩි කඩන්න ගියේ නැහැ. අපේ පාඩුවේ හිටියා.


මේ දවස්වල අපිට ඉස්කෝලේ එන දවස් ගාන අනුව කාර්ඩ් එකක් ලකුණු කරලා දවසකට රුපියල් 3 ක්ද කොහෙද දෙන ක්‍රමයක් තිබුනා මතකද. අන්න ඒ කාර්ඩ් එක මට නිකන් දෙයියෝ වගේ ඒ දවස්වල. ඒක ලැබිච්ච ගමන් මම කරන්නේ ඉස්කෝලේ තියෙන සමුපකාරෙන් මොනවා හරි පැණිරස කෑමක් අරගෙන කනඑක. මම ගොඩක් වෙලාවට ටොෆි, චොකලට්, මිල්ක්මේඩ් වගේ දේවල් තමයි ගන්නේ. මම පොඩි කාලේ ඉඳලම පැණිරස කන්න හරි පෙරේතයි.
හැම සති අන්තෙකම වගේ තාත්ත එනවා මාව බලන්න. මාව බලන්න කලින් තාත්ත ගිහින් චුටි අක්කව බලල එනවා. ඒ එන ගමන් මම ඉන්න ගෙදරටත් මොනවා හරි අරගෙන මටත් මොනවහරි අරගෙන තමයි හැමදාම එන්නේ. එදාට මට හරිම සතුටු දවසක්. තාත්ත ආපහු යද්දී මට රුපියල් 30 ක් 40 ක් දීල යන්නත් අමතක කරන්නේ නැහැ. ඒ සල්ලි වලින් තමයි මම දත් බෙහෙත්, සබන් එහෙම ගන්නේ. ඒ ගෙදර අයගේ කිසිම දෙයක් මම පාවිච්චි කලේ නැහැ. ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවට පස්සේ නාන්න කලින් හැමදාම මම ඇඳපු ඇඳුම් ටික මම හෝදලා දානවා.


සමහර දවස්වලට අක්ක දෙන කෑම එක මදි වගේ දැනුනොත් කැන්ටින් එකෙන් මොනවා හරි අරගෙන කන්නෙත් ඒ සල්ලි වලින්. අතේ සල්ලි ඉතුරු උනොත් චොකලට් එකක් කන දවසුත් නැතුවම නෙමෙයි.
මේ ගෙදර මිනිස්සු ටිකක් අමුතු අය බව මම කලින්ම කිව්වනේ. මේ ගෙදර ගේ ඇතුලෙම බුදු මැදුරක් වගේ කාමරයක් තිබුනා. ඒක බුදු මැදුරක්ද කෝවිලක්ද කියල කියන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි බුදු පිළිමයකුත් තිබුනා.  ඇන්ටි හැමදාම බුදුන් වඳින්න යනකොට මටත් කතා කරනවා. ඒ ගෙදර සමහර දවස්වලට අමුතු පුජාවක් වගේ දෙයකුත් කරනවා. එදාට ඒ ගෙදර පුජා වට්ටි සහ සෙනග ගොඩකුත් ඉන්නවා. අන්කල් කපුවෙක් වගේ ඇඳගෙන ආවේෂ වෙලා වගේ නටනවත් එක්ක.
මේ අය මාසෙකට වතාවක් පිටකෝට්ටේ රජමහා විහාරෙත් ලොකු පුජාවක් තියනවා. මාවත් මේ හැමදේකටම සහභාගී කර ගන්නවා. මල් කඩන්න අහල පහල ගෙවල් වලට යවන්නෙ මාව.


හැමදාම වගේ ගෙදර එක එක වැඩ වලට කඩේ යන්නෙත් මම. හැබැයි හැමදාම උදේට පාන් ගෙන්න කඩේ යන්නේ අන්කල්.
අක්කයි, කරුණයි දෙන්න එක්ක මිදුල නෙළුවත්, මල් පාත්ති හැදුවත් මටත් කතා කරනවා ඇවිත් වැඩ වලට උදව් කරන්න කියලා. සමහර දවස්වලට සර්ගේ බයික් එක හෝදන්නත් කියනවා. මම මේ කිසිම දෙයක් බැහැයි කියන්නේ නැතුව කළා. අපි ගෙදරදීත් ගෙදර වැඩ කරලා දීල අම්මලට උදව්කරන නිසා මේ දේවල් අමුතු උනේ නැහැ මට.
සුනිල්රත්න සර්ලට ළමයි හිටියේ නැහැ.
සර්රුයි අක්කයි එක දවසක්  මාව ගෝල්ෆේස් එක බලන්න එක්කගෙනත් ගියා, තව දවසක් එයාලගේ නෑදෑ ගෙදරක තිබ්බ දානේ ගෙදරකටත් මාව එක්කරගෙන ගියා.


මේ මොනවා උනත් සර්ගේ මුණේතිබුනේ මහා කපටි පෙනුමක් කියලයි මට හැමදාම හිතුනේ. ඒ වගේම මේ ගෙදරදී මම ජීවිතේට නොදැකපු දේවල් ගොඩක් දකින්න ලැබුනා.
අක්ක සමහර දවස්වලට සර් එක්ක තරහවෙච්ච දවසට ගෙදර ඉන්නේ අඩ නිරුවතින්. ඒ කියන්නේ යට කලිසමත් තනපටත් විතරක් ඇඳගෙන. මම ඉන්නවා කියල ගානක්වත් නැතුව එයා සර්ගේ අවධානය ගන්න එකඑක විකාර කරකර ගේ පුරා ඇවිදිනවත් එක්ක. 
එයා එහෙම බාගෙට හෙළුවෙන් ඉන්නවා දැකපු පළවෙනි වතාවේ මට එක පාරට හිතාගන්න බැරි උනා මම බය වෙන්න ඕනෙද, ලජ්ජා වෙන්න ඕනෙද කියලවත්.
සර්රුත් ඒවා දැකල හිනා වේවි ඉන්නවා මිසක් එයාට මුකුත් කියන්නෙත් නැහැ.

Saturday, 24 December 2011

පාසල් විත්ති 04 - ලොකු ඉස්කෝලේ

මම හතර වසරේ ඉන්න කාලේ අපේ ඉස්කෝලෙට අලුත් ටීචර්ලා තුන් දෙනෙක් වා. දෙන්නෙකුට ශිෂ්‍යත්ව පන්ති බාර දුන්නා. අනිත් ටීචර් ටිකක් ලොකු පන්ති වලට ඉංග්‍රීසි උගන්වනවා. මේ ටීචර්ලා දෙන්නගෙන් එක ටීචර් කෙනෙක් අපේ අක්කලාගේ පන්තියට ඉගැන්නුවා. කවදාවත් එකම ළමයෙක්වත් ශිෂ්‍යත්වේ පාස් නොවෙච්ච අපේ ඉස්කෝලෙන් මුලින්ම ශිෂ්‍යත්වේ පාස් උනේ අපේ චුටි අක්කයි, තව දෙන්නෙකුයි. චුටි අක්ක ශිෂ්‍යත්වේ පාස්වෙලා කොළඹ ඉස්කෝලෙකට යන්න ඕනේ කියපු නිසා අම්මලා එයාව කොළඹ ලොකු ඉස්කෝලෙකට දැම්මා.


අන්තිමට මාවත් මේ කියපු අලුත් ටීචර් කෙනෙක්ගේ පන්තියකට වැටුනා. ඒ ටීචර්ගේ නම "විජිතා" ටීචර්. අක්ක ශිෂ්‍යත්වේ පාස් වෙච්ච නිසා මට ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ගොඩක් තර්ජන එල්ල වෙන්න අරගෙන මගේ ජිවිතේ එපා වේගෙන ආපු කාලයක් තමයි මේ. තර්ජනේ තමයි "ඔහොම ගියොත් නම් අක්ක වගේ ශිෂ්‍යත්වේ පාස් වෙන්න වෙන්නේ නැහැ" කියන වචන ටික. ඉතින් මං කියල මක් කරන්නද. මේක මහා කන්දොස්කිරියාවක්. මේ වැඩ නිසා අපිට හොරා පොලිස් සෙල්ලමවත්, ඔට්ටු සෙල්ලමවත් කරන්න විදිහක් නැහැ.
ඒ මදිවට මම කවදාවත් පන්තියේ මුල් දහදෙනා අතරටවත් ආපු කෙනෙක් නෙමෙයි. මේක ඉස්කෝලෙන් අස්වෙනකම්ම එහෙමමයි.
මම ඕ ලෙවල් පන්තියේ හිටිද්දී අපේ පන්තියේ ළමයි 51 ක් හිටියා. මම ඕකේ හොඳම තැනකට ඇවිත් තියෙන්නේ 22 වෙනියට, 49 වෙනියා වෙලත් තියෙනවා.
මම ඉතින් ඉස්සර ඉඳලම ඔය තරඟවලට නැති අහිංසක මනුස්සයනේ....:)
හැබැයි ඒ වගේම මගේ ප්‍රගති වාර්තා බලල කවදාවත් අපේ ගෙදරින් මට සද්ද බද්ද දැම්මෙත් නැහැ.


එහෙව් මම පහේ පන්තියේ හිටිද්දී කියල කිසි වෙනසක් නැහැ, අනිත් ළමයි කරන විදිහටම අපේ පන්ති භාරව හිටපු විජිතා ටීචර්ගේ යටතේ මමත් සතර පොතේ හිස්තැන් පිරෙව්වා. මිස් දෙන ගණනුත් එහෙං මෙහෙන් හැදුවා. හිත අස්සේ ලොකු ඉස්කෝලෙකට යන්න ආසාවකුත් නොතිබුනාම නෙමෙයි. මේ කාලවකවානුව වෙද්දී අපිට හවස පන්ති එහෙමත් දාල ඉස්කෝලෙම උගන්නන්න පටන් අරගෙන තිබ්බ නිසා අමතර පන්ති වලට යන්න කිසි උවමනාවක් ඇති උනේ නැහැ.


මෙහෙම ගිහින් අන්තිමට ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිඵල ආවට පස්සේ බලද්දී 11 දෙනෙක් විභාගේ පාස් වෙලා තිබුනා. මෙන්න බොලේ මගේ නමත් තියෙනවා ඒ අතරේ.
ඉතින් ඔන්න මටත් දැන් සතුටුයි ටිකක් නෙමෙයි ගොඩක්ම. දැන් ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන්නේ. ගෙදර ගිහින් මේ ආරංචිය කියනකං ඉවසුමක්‌ තිබ්බේ නැහැ එදා.
ගෙදර ගිහින් මේක කියද්දී අම්ම කිව්වේ "මම දන්නවා මගේ දරුවන්ට වරදින්නේ නැහැ" කියලා. ඒ වගේම සංවේදී වෙන ඕනෙම වෙලාවකම අම්මගේ අස් දෙකේ දිදුලන කඳුළු කැට මම පැහැදිළිවම දැක්කා. ඒ කඳුළු බින්දු අපේ ජීවිතවලට හැමදාම හයියක් උනා.
මම වගේ ළමයෙක් ශිෂ්‍යත්වේ පාස් උනාට අපේ පන්තියේ හිටපු මට වඩා දක්ෂතා පෙන්නපු ළමයි, ගුරුවරුන්ගේ දරුවෝ ගොඩ දෙනෙක් පාස්වෙලා තිබුනේ නැහැ.


අපේ තාත්ත මම පුංචි කාලේ ඉඳලම කලේ පොඩි ව්‍යාපාරයක්. අපේ ගෙදරම තමයි ඒක කරගෙන ගියේ. තාත්ත තමයි ඒකේ ලොක්කා. අම්ම තමයි පරිපාලන කටයුතු සහ නිෂ්පාදන කටයුතු. තාත්ත කොළඹ ගිහින් බඩුමුට්ටු (අමුද්‍රව්‍ය) ගේන එක, හදන බඩුමුට්ටු කඩවලට දාල විකුණන එක සහ සියලුම මුදල් පාලන කටයුතුත් කලා.
මේක මහාලොකු ව්‍යාපාරයක් නෙමෙයි, අපේ ගෙදර වියදම හොයාගන්නත් අපි පස් දෙනාගේ ඉගෙනීම කටයුතු ටික කර ගන්නත් ප්‍රමාණවත් මට්ටමකින් තමයි ඒ කාලේ තිබුනේ. හැබැයි කිසිම අඩුපාඩුවක් නොවෙන්න අපේ ජිවිත ගෙනියන්න තාත්ත කරපු ඒ ව්‍යාපාරය හොඳටම ප්‍රමාණවත් උනා.


දැන් චුටි අක්කත් කොළඹ ඉස්කෝලෙක ගිහින් නතරවෙලා ඉගෙන ගන්න නිසා මටත් කොළඹ යන්න ඕනෙ උනා(තියෙන මෝඩකමට) කොළඹ තියෙන ලොකුම ඉස්කෝල තුනටම යන්න මට ලකුණු මදි. ඊට තරමක් පහළින් තියෙන ඉස්කෝලයක් තමයි මට ලැබුනේ, මම හිතන්නේ ඒ ඉස්කෝලේ අයිතිඋනේ තුන්වන පෙළ පාසල් ඝනයට. ඒවායේ අධ්‍යාපන කටයුතු වල තත්ත්වය ගැන හොයල බලන්න තරම් දැනුමක් මගේ අම්මට තාත්තට ඒ දවස්වල තිබුනේ නැහැ. ඇත්තටම ඒ ඉස්කෝලේ ක්‍රීඩා වලට ගොඩක් ප්‍රසිද්ධ එකක්. ඒ වගේම තමයි පස්සේ කාලේදැනගත්තු විදිහට ඒක මැරවැඩ වලට ප්‍රසිද්ධ ඉස්කෝලයක්.


මම අවුරුදු පහක් ඉගෙන ගත්තු ගමේ ඉස්කෝලෙට සමු දෙන්න ගිය වෙලාවේ අපි ඉස්කෝලෙන් අස්වෙන එකට ඉස්කෝලේ මුල් ගුරුතුමා ඒ තරම් කැමැත්තක් දැක්වුවෙත් නැහැ. කොහොම නමුත් මගේ පුංචි කාලේ දඟවැඩ ඔක්කොම මතක සටහන් තියෙන ගමේ ඉස්කෝලේ දාල යන්න මම හිත හදාගෙන උන්නේ. ඒ නිසාම සහ අම්මල තාත්තල උනත් මම කොළඹ ගිහින් හොඳට ඉගෙන ගන්නවට තියෙන කැමැත්ත නිසා මාව අස්කරගෙනම යන්න ඕනේ කියන මතයේම හිටියා. ඉතින් ඒ විදිහට මම මගේ පළමු ඉස්කෝලෙට වැඩි දුකකින් තොරවම සමු දුන්නා.


මෙන්න මේ විදිහට ගිහින් ඒ ඉස්කෝලෙට මාව බාර දෙන්න යන දවස උදා උනා.
උදේ පාන්දට 3 ට විතර නැගිටලා කුප්පි ලාම්පු එළියෙන් ගිහින් මුණකට හෝදගෙන අපි ලකලෑස්ති උනා. ඕනෙම ගමනක් යන්න කලින් අදටත් ඕනෙම පාන්දරක නැගිටලා කන්න පුළුවන්කම තියෙන හීල්බත් කටක් දෙකකුත් බඩට දා ගන්නත් මම අමතක කලේ නැහැ. ඊට පස්සේ තාත්තයි අම්මයි මමයි තුන්දෙනා කිලෝමීටර 2 ක් විතර දුරින් තියෙන හන්දියට ගියා තාත්තගේ මෝටර්බයික් එකේ.
මෙහෙම ගිහං අපි කොළඹට එද්දී වෙලාව උදේ 7 කිට්ටු වෙන්න ඇති මගේ හිතේ. අපිත් දන්නා කියන අයගෙන් පාරවල් අහගෙන අර කියපු ලොකු ඉස්කෝලේ හොයාගෙන ගියා.


ඇත්තටම ඒක ලොකු ඉස්කෝලයක්. ටික වෙලාවකින් මොනමොනවද ලියකියවිලි වැඩ එහෙම කරලා අපිව පන්ති වලට දැම්මා. මාව වැටුනේ 6-4 පන්තියට. වාසනාවකට වගේ ගමෙන් ආපු මම වගේ ළමයි කීප දෙනෙක් ඒ පන්තියේ හිටියා. අන්තිමට මම ඉස්කෝලේ ඇරිලා මම එනකල් බලාගෙන හිටපු අම්මයි තාත්තයි ගාවට ගියා. මේ ඉස්කෝලේ නතරවෙන්න හොස්ටල් එකක් නැතිබව අම්මල කලින් දැනගෙන හිටියද නැද්ද කියල මම දන්නේ නැහැ. ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ මේ ඉස්කෝලේ හොස්ටල් නැහැ කියලා. මම බලාගෙන හිටියේ චුටි අක්ක ඉන්න විදිහට ඉස්කෝලේ හොස්ටල් එකේම නතරවෙලා ඉස්කෝලේ එන්න.


දැන් ඉතින් කොහෙද නතර වෙන්නේ.
අම්මයි තාත්තයි ඉස්කෝලේ ඇරෙන වෙලාව වෙද්දී ඒකටත් පිළියමක් ගුරුවරයෙක් හරහාම හොයාගෙන තිබුනා. සමහර ගුරුවරු අපි වගේ දුරින් ආපු ළමයින්ව තමන්ගේ ගෙවල්වල නතර කර ගන්නවලු. මාවත් එහෙම ගුරුවරයෙක්ගේ ගෙදරක නතරකරවන්න අම්මල මේ වෙද්දී කතා කරගෙන තිබුනේ.

ඒ ගුරුවරයගේ නම "සුනිල්රත්න", මේ ඇත්තම නම. (මම බ්ලොග් එකේ ගොඩක් වෙලාවට දාන්නේ මගේ ජිවිතයේ හම්බ වෙච්ච මිනිස්සුන්ගේ ඇත්ත නම්, ඒකට හේතුව මම දාන්නේ අනුන්ගේ කතාවක් නෙමෙයි මගේම ජිවිතයේ කතාව නිසා) ඒ සර්ගේ ගෙවල් තිබුනේ පිටකෝට්ටේ රජමහා විහාරය ගාවමයි. අපි තුන් දෙනා එක්ක බස්එකේ ඒ සර්ගේ ගෙවල් හොයාගෙන යද්දී එයා එයාගේ මෝටර් සයිකලෙන් ගෙදරත් ඇවිත්. ඒ දවස්වල බැද්දගාන පිටකෝට්ටේ බස් විදිහට තිබ්බේ පොඩි පොඩි වෑන් බස්. ඒවායේ යද්දී ලොකු මිනිස්සු ඔළු නමාගෙන යන්නේ. ඒ මදිවට පුදුම සෙනගක්, මම මේ කියන්නේ 1991 කාලේ.
ඒ ගෙදර හිටියේ සර්, එයාගේ තරුණ බිරිඳ සහ සර්ගේ නැන්දම්මා සහ මාමණ්ඩිය විතරයි. ගෙදර වැඩට ගෑනු කෙනෙක් හිටපු බවත් එයා ගමේ ගිහින් තව දවස් දෙකකින් ආපහු එන බවකුත් තමයි දැනගන්න ලැබුනේ.
හැමදාම උදේට සර් එක්ක ඉස්කෝලේ යන්න පුළුවන් බවත් තුන් වේලටම කෑම ඒ ගෙදරින් දෙන බවත් එයාල කියල තිබ්බා. මාසෙකට ගාණ රුපියල් 1300 ක් ලු. මෙච්චර ලොකු ගාණක් මගේ අම්මයි තාත්තයි දෙන්න එක්ක ගෙව්වේ කොයි තරම් අමාරුවෙන්ද කියල හිතන්නේ බලන්නේ නැතුව කොළඹ ඉස්කෝලේ යන්න ඕනේ කියපු එකගැන මට අදටත් දුකයි. 


ඒ මදිවට මේ කාලේ වෙද්දී අපේ ලොකු අක්කත් විද්‍යා අංශයෙන් උසස්පෙළ කරන්න පටන් අරගෙන කොළඹ පන්ති එනවා. මේ කාලේ වෙද්දි අපේ ආසන්න නගර වලත් විද්‍යා විෂයන් වලට පන්ති තිබිලා නැහැ. චුටි අක්කත් කොළඹ ඉස්කෝලෙක නතරවෙලා ඉගෙන ගන්නවා. දෙවෙනි අක්කත් සාමාන්‍යපෙළ විභාගේ කරන කාලේ. අම්මටයි තාත්තටයි මේ තරම් වියදමක් දරා ගන්න පුලුවන්ද කියල හිතල බලන්න තරම් දැනුමක් මට ඒ කාලේ තිබ්බේ නැහැ.


අන්තිමට දඩිබිඩියේ මාව එහේ නතරකරපු අම්මයි තාත්තයි දෙන්න ගෙදර එන්න රෑ වෙන නිසා ඉක්මනට යන්න පිටත් උනා. ජිවිතේ පළවෙනි වතාවට තට්ටතනියම නොදන්නා ගෙදරක නතර වෙච්ච පළවෙනි දවස තමයි ඒ. මට පුදුම තනිකමක් පාළුවක් දැනුනා. ඒ වගේම කවදාවත් විදුළි එළියක්‌ ඇති ගෙදරක ජිවත් නොවිච්ච මට ඒ වෙනසත් තදින්ම දැනුනා. ඒ මදිවට මදුරුවෝ. අපේ ගෙවල්වල කවදාවත් මදුරුවෝ නැහැ. ඉතින් මුළු ලෝකෙමවත් ඒ තරම් මදුරුවෝ තොගයක් ඉන්නවා ඇති කියල මට විස්වාස කරන්නත් බැරි තරම්. ඒ මදිවට මට ලැබිච්ච කාමරේත් පුදුම රස්නයක් තිබුනේ. ඒ ගෙදර වහලට දාල තිබුනේ ඇස්බැස්ටෝස් ෂීට්. අහලපහළ තිබුණු ගස් කීපය නිසාවත් කිසිම සහනයක් තිබුනේ නැහැ.
ඒ මදිවට අදටත් කමිසයක් උඩට ඇඳගෙන ගෙදර ඉන්න පුරුද්දක් නැති මට කමිසෙකුත් ඇඳගෙනයි මේ ගෙදර ඉන්න වෙලා තිබුනේ.


එදා රෑ මට කවදාවත් හුරු නැති විදිහට මේසෙට බත් බෙදලා ඇවිත් කන්න කිව්වා. වෙනදට කුස්සියට වෙලා අම්මගේ අතින්ම බෙදල අතට දෙන රසම බත් එකේ රස මතක් කරගෙන කිසි රසක් නැති බත් වේලක පළමු බත්කට කෑවා.
අන්තිමට නිදාගන්න ගිහින් කාමරේ දොරත් අඩවල් කරලා ඇඳ උඩට නැගලා අපේ ගේ පැත්ත තියෙනවා කියල හිතින් හිතා ගත්තු පැත්තට හැරිලා වෙනද අම්මගෙයි තාත්තගෙයි කකුල් දෙක ගාව ඉඳගෙන කියන ගාථා දෙක මතුරලා නිදා ගන්න ඇඳට ගියා.

දසමාසේ උරේකත්වා
පෝසේසි වුද්ධිකාරණං
ආයු දීඝං වස්වසතන්
මාතුපාදන් නමා මහං


උද්ධිකාරෝ ආලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකන්
රාජමජ්ජන් සුපටිත්තන් 
පීතුපාදන් නමා මහං


හරි අමාරුවෙන් මව්පියන්ට වඳින ගාථා මතක් කරගන්න ඕනේවෙන තරමට දැන් අපි එයින් බැහැරවෙලා. විපාක අපිටම ලැබෙයි....හ්ම්ම්.
ගාථාවල වරදක් තියෙනවනම් කරුණාකරලා පෙන්නලා දෙන්න   :(