Friday, 13 April 2012

ජොකා පිටින් වහල උඩ....

උපුටා ගැනීම http://www.flickr.com/photos/menik/3432802547/
ඔබ සැමට කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා.....!

..........................................................................................................................................................


ජීවිතයේ කිසිම බරක් පතළක් නැති අවධියක් ගෙවෙමින් පැවතුනි. උසස් පෙළ ප්‍රතිපල නිකුත් වී කැම්පස් පටන් ගැනීමට සැළකිය යුතු කාලයක් තිබුණු බැවින් අයාලේ යමින් ගතකල කාලයකි. ගෙදරට තරමක් දුරින් පිහිටි ටවුම අපේයයි සළකාගෙන ක්‍රියා කල එම අවධියේ උදේ පාන්දර ගෙදරින් යමක් බඩට දාගෙන පිටත් වන මා නැවත ගෙදරට පැමිණෙන්නේ බොහෝ විට රාත්‍රී ආහාරවේල ගැනීම පිණිසය.

අප ප්‍රදේශයට තරමක් දුරින් ජලවිදුලි බලාගාරයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වීමත් සමගම බස් රථයක් යනවිට කාණුවට බැස ඉඩදිය යුතු මට්ටමට තිබූ මහපාර තිබුනාට වඩා තුන්ගුණයක් පමණ පළල් කිරීමේ කටයුතු ආරම්භ විය. ඒත් මම කැමතිම ඒ පරණ පාරටය. ඒ සමගම එහි කටයුතු සඳහා පැමිණෙන තරුණ පිරිස් අප නිවසට තරමක් එහායින් පිහිටි පාර අද්දර කුළියට ගතහැකි මට්ටමේ නිවාස වල ලැගුම් ගැනීමට පටන් ගැනීමත් සමගම අපගේ දින චරියාවේ සැළකිය යුතු වෙනසක් සිදුවිය.
වෙනදා ටවුමේ මහරෑ වෙනතුරු රස්තියාදු ගසනවා වෙනුවට හවස් වීමට පෙර නිවසට පැමිණ හවස් ජාමේ පාර දිහාටත් හිස් ඉඩමක පිහිටුවා ගත් වොලිබෝල් පිටියට යාමටත් ගමේ කොල්ලෝ කුරුට්ටෝ පමණක් නොව සමහර කෙල්ලන්ද පුරුද්දක් කොට ගත්තේය.
සමහර දින වල කණ්ඩායම් 8 ක් පමණ මාරුවෙන් මාරුවට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට වොලිබෝල් ගසනු දැකගැනීමට එදවස හැකියාව තිබුණි. මේ සඳහා අපගේ වැඩිහිටියන්ගේද කිසිම අකමැත්තක් නොවීම ඉතා සතුටුදායක තත්ත්වයක් විය. වොලිබෝල් ගැසීමෙන් පසුව බොහොමයක් කොල්ලන් සහ සියළුම කෙල්ලන් ගෙවල් බලා ගියද රස්තියාදුව ජීවිතය කරගත් අප වන්නන් කිහිප දෙනෙක් තව දුරටත් අපගේ සමාගමය මිතුරන් වෙත ලබා දෙමින් එහි රැඳී සිටියෙමු.


ගමේ අයකුගේ නිවසක් කුළියට ගෙන සිටි ලංකාවේ ප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක සේවකයන් පිරිසක් නවාතැන්ගෙන සිටි නවාතැන් පොළ අපගේ තිප්පොල වීමට වැඩි කාලයක් ගත නොවීය. එහි නිවැසියන් ඔවුනට අයත්ව තිබූ වෙනත් ගෙදරක පදිංචි වී එම නිවස අදාළ ආයතනයට කුළියට දී තිබුණි.
කාලයාගේ අවෑමෙන් වොලිබෝල් ක්‍රීඩාවෙන් පසු කැරම් ගැසීමටත්, එතනින් පසු කවුරුත් දන්නා පරිදි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවෙන බහුලව පවතින මධුවිත සාදයන්ද පැවැත්වෙන්නට විය.
පාසලෙන් අස්වන තුරුම මා මධුවිත රස බලා ඇත්තේ එකවරක් පමණි, (එයද ටියුෂන් සරලාගේ වරදිනි, ඒ කතා පසුවටය) පාසලෙන් අස්වූ පසුව ඇතිවූ නිදහස් කාල පරාසයේදී එහි වැඩිවීමක් දැකගන්නට හැකි විය.
වෙනදා රෑ 10 ට 11 ටවත් ගෙදර ගිය මා හට මින්පසුව උදා වූ බොහෝ දිනවල මධ්‍යම රාත්‍රියට පෙර ගෙදර යාමට හැකිවුයේ එහෙමත් දිනයකදී පමණි.
කීයට ගෙදර ආවත් මා එනතුරු සාලේ පුටු සැටියේ ඉඳගෙන නින්දත් නොනින්දත් අතරේ ඉන්නා අම්මා නින්දට යන්නේ මාගේ පැමිණීමත් සමගය. මා එනතුරු ඇය නිදිවරාගෙන සිටිනු දකින මසිතේ වරදකාරී හැඟීමක් ඇතිවුවද මාගේ කල්කිරියාව වෙනස් කර ගැනීමට මා හට උවමනාවක් නොවිණි. මටද රස්තියාදුවේ යන්නට එපායයි ඇය බලකර කීවේද නැත. එලෙස කීවද මාගේ මුරණ්ඩු බව අඩුවෙතැයි සිතීමද උගහටය.

මාගේ මෙම නව ජීවන රටාවත් සමග අම්මාගේ රවුම් ගෙරවුම් වලින් ගැලවී මහ රෑට ගේ ඇතුලට යාමේ මගක් කල්පනා කරමින් සිටි මා හට ඉස්සරහ දොරේ අමතර යතුරක් අලමාරියේ ඇති බව සිහි වී සොයා බලන්නට සිත්විය. වාසනාව මා අතේ විය. සොයන්නාට සම්බ වේ. දැන් යතුර මා අතේය. එදින පටන් ගෙදරින් එළියට බසින සෑම විටකම පාහේ අමතර යතුර පසුම්බියේ ඇත්දැයි පරීක්ෂා කර බැලීම මාගේ පුරුද්ද විය.

අපේ ගෙදර ඇති වර්ගයේ දොර අගුලක් අමතර යතුරක් භාවිතයෙන් එළියේ සිට ඇරීමද එක්තරා කලාවකි. විශේෂයෙන් ගෙදර ඇතුලේ සිටින අයගේ මද සහයෝගය හමුවේ එය සිදු කිරීම ලේසි පහසු කරුණක් නොවේ.
ගේ ඇතුලේ සිටින කෙනෙක් දොර ලොක් කිරීමෙන් පසුව යතුර සිදුරේ තිබෙන්නට හැරීම සාමාන්‍ය සිරිත වේ. නමුත් මෙම සාමාන්‍ය සිරිත සිටින්නේ මාගේ පරහටය. ගේ ඇතුලෙන් යතුරක් දොරේ හිලට දමා ඇතිවිට පිටතින් යතුරක් දමා දොර ඇරීමට නොහැකි බව මෙම වර්ගයේ දොර අගුළු භාවිතා කර පළපුරුදු ඇත්තෝ දනිති. කෙසේ නමුත් රස්තියාදුවේ යාමේ නොතිත් ආසාව හමුවේ ඒ අභියෝගය ජයගැනීමට මගක් මා විසින්ම නිර්මාණය කරගන්නට යෙදුනි.
යතුරු කඳේ මහතට වඩා මදක් විශාල (යතුරේ බඳ බටය තුලට දැමිය හැකි පමණ එකක්) ප්ලාස්ටික් බට කැබැල්ලක් කපා පසුම්බියේ දමා ගැනීමෙන් පසුව එම අවහිරයෙන්ද මා නිදහස් විය. එම බට කැබැල්ල යතුරු හිල දිගේ ඇතුලට ඔබා ගෙයි ඇතුළු පැත්තේ ඇති යතුර එම බටය ආධාරයෙන් කරකවා, ඉන්පසුව දෙන පුංචි තල්ලුවකින් ගේ ඇතුළට වැට්ටවීමේ ක්‍රමයක් මා සොයා ගත්තේය. ඉන්පසුව නිදහස් යතුරු කටට දමන අමතර යතුර මාර්ගයෙන් දොර ඇරගෙන ගේ ඇතුළට යාම කජු කන්නාක් වැනි පහසු වැඩකි.



මේ දිනවල මාගේ ප්‍රවාහන මාධ්‍ය වුයේ මඩපුවරු කිසිවක් නැති සාමාන්‍ය පාපැදියකි. රේස් පැදීමට ඒ දිනවල ඇතිවී තිබූ ආසාවක් නිසා බයිසිකලය එසේ සකසා ගත්තේ පන්ති යාමේදී අතට දෙන මුදල් එකතු කිරීමෙනි. වැස්ස දිනවල කටේ කනේ තැවරෙන මඩ පාරවල් හමුවේ පවා බයිසිකලයට මඩ්ගාඩ් දෙකක් සවිකර නොගත්තේ එහි පෙනුමට තිබු ආසාව නිසාමය.
සමහර දින වල වොලිබෝල් ක්‍රීඩාවෙන් අනතුරුව සාදයන් පැවැත්වෙන අතර අදාළ නවාතන්පොළේ පිහිටෙන් නෑමේ කටයුතුද කරගන්නේ ගෙදර ගියහොත් ආපසු පැමිණීමට අවසරයක් කිසි විටෙකත් නොලැබෙන නිසාය. සාදයන්ගෙන් අනතුරුව රාත්‍රී අහාරවේලද එයින්ම ලබාගෙන ගෙදර යන දිනයන්ද ඉඳහිට විය.


මා මේ කියන්නට යන විශේෂ දිනය එවැනි දිනයකි. මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් පැවති සාදයෙන් අනතුරුව රාත්‍රී අහාරයද ගෙන ගෙදර බලා පිටත් වුයේ මධ්‍යම රාත්‍රී 01:00 ට පමණය.
කරුමයක මහත....
හැමදාම බොහෝ කලපනාවෙන් පසුම්බියේ රුවා ගන්නා ගෙදර ඉදිරි දොරේ යතුර අද අමතක වී ඇත. කළින් දින දොර හැරීමෙන් පසුව එය මේසය උඩ තැබූ බවට මගේ විශිෂ්ට මතකය එවෙලේම සාක්ෂි දැරීය.
උගේ සාක්ෂියෙන් මට දැන් වැඩක් නැත. යතුර පසුම්බියට යලිත් දා ගත්තේ නැති බව මතක් නොකළ මතකයෙන් දැන් කුමන පලයක්ද. ගේ ඇතුළට යාමට මගක් සොයා ගත යුතුව ඇත.


වහළට  ගොඩවී ගේ ඇතුළට පැන ගැනීමේ අති විශිෂ්ට අදහසක් මෙවේලේ මගේ ඔළුවට පැමිණියේ ඇයිදැයි මා හට අදටත් නොතේරේ. අදහස පැමිණි සැනෙකින් එය ක්‍රියාවට නැගුණි. එදින මා ටවුමට ගොස් එන අතරමගදී සාදයට එක්වූ අතර, මා ඇඳගෙන සිටියේ දිගු කලිසමක් සහ කමිසයකි. එය පිටින් වහළයට ගොඩ වීම ලේසි පහසු නොවන වැඩකි. ඒ මදිවාට මා පැමිණියේ මධු සාදයකට සහභාගී වීමෙන් අනතුරුවය. ගේ දොරකඩ බයිසිකලය නතර කර කමිසය සහ කලිසම ගලවා බයිසිකලය උඩින් තබා ජොකා පිටින් පෝර්ටිකොව උඩට ගොඩ වීමට විනාඩියක්වත් ගත නොවිණි. එය පොළෝ මට්ටමෙන් අඩි 9 ක් පමණ උසකින් ඇති කොන්ක්‍රීට් වහලයක් ඇති පැරණි පන්නයේ පෝටිකෝවකි.


වහලේ උළු කැට දෙකක් ඉවත් කර බිත්තිය උඩට බැස ගැනීමට තවත් විනාඩි 5 ක්වත් ගතවන්නට ඇත. කිසිම එළියක්‌ නැති පට්ටපල් අඳුරේ හරියටම බිත්තියට උඩින් ඇති උළුකැට දෙකක් ඉවත් කර ගැනීමට එවේලේ හැකිවීම කොතරම් දෙයක්දැයි වැටහෙන්නේ දැන්ය.  උළු කැට දෙක ඉවත් කර බිත්තිය උඩට ගොඩ වූ මා නැවත උළු කැට දෙක වහළට සවි කිරීමට ක්‍රමයක් කල්පනා කරනවිට එකවරම මුහුණට විදුලි පන්දම් එළියක්‌ එල්ලවිය. 
"බහින්නයි කිව්වේ බිමට" යන විධානයද ඒ සමගම නිකුත් විය.
තත්පරයක හෝ පමාවක් නැත, වහලේ උළුකැට දෙක නියමිත පරිදි සවිකළ මා (ජොකා පිටින්ම) වහලේ සිට කෙලින්ම බිමට පැන්නෙමි. මා එනතුරු බලා සිටීමටවත් උනන්දු නොවූ අම්මා කෙළින්ම ගොස් කාමරයට වැදී නිදන්නට විය. පාන්දර ජාමේ වෙනතුරු රසබැලු මධුවිත සැර කොහේ ගියාදැයි නැත. වෙනදාටත් වඩා හොඳින් සියල්ල සිදු වූ බවට හැඟීමක් සිත තුළ ඇතිවුයේ මන්දැයි මා නොදනී. ඇඟපත සෝදාගත් මා නින්දට යනවිට පාන්දර 02:00 පසු වන්නට ඇත.


පහුවෙනිදා තරමක් ප්‍රමාද වී අවදි වූ මා එදිනත් කොහේ හෝ යාමට ලක ලෑස්ති වී අම්මාගේ දෙපා වැඳීමට වැඩපොළට ගිය විට එහි සිටි සියළුම කෙල්ලන් සහ ගැහැණුන් "හිකි හිකි" ගා සිනාසෙන විට එතන පොළවේ විවරයක් තිබුනේනම් කියන සිතුවිල්ල මා සිතේ ඇති වීමට වැඩි වෙලාවක් ගියේ නැත.
ජොකා පිටින් වහලේ උඩ සිටි ලොකු පුතාගේ අවාසනාවන්ත කතාව අම්මා විසින් ඔවුනට පැවසුවේ මොන සිතකින්දැයි අසන්නට හැකියාවක් මා හටද නොවුනි.


ජිවිත කාලයටම හරියන්නට පාඩමක් ඉගෙනගත් මා ඉන්පසුව යතුර නැතිව ගෙයින් එළියට නොබසින්නට තරයේ සිතාගත් අතර කාලයක් යනතුරු වැඩපොළ පළාතේ පස් පාගන්නට ගියේද නැත.
දරුණු ඝනයේ රස්තියාදු ගැසීම් කාලයත් සමග අඩුවී ලොකු පුතා හොඳ ළමයෙන් වන්නට තවත් සෑහෙන කාලයක් ගත විය.


ප.ලි.
(වැඩපොළ යනු අපේ ගෙදර මම ඉපදෙන්නටත් පෙර සිට පවත්වාගෙන යනු ලබන සුළු පරිමාණයේ කර්මාන්ත ශාලාවකි. ඒ සම්බන්ධ විස්තර කෙටියෙන් කීමට නොහැකි නිසා පසුවට කල් දමමි.)

28 comments:

  1. Replies
    1. ඔන්න එහෙනම් මගේ ගානේ අවුරුද්දට කැට ගහන්න රුපියල් 5 ක්.... :)
      (නිකං නෙමෙයි බුලත් කොලේක ඔතලා)

      Delete
    2. හැබැයි දුන්කල එපා දැන් තහනම් නේ...

      Delete
    3. ප්‍රසිද්ධියේනේ තහනම්... :)

      Delete
    4. හොලෙන් දෙන්ට ඈ :)

      Delete
  2. ඊයා මට නිකන් මැවිලා පේනවා වගේ. මට ඔහොම උනානම් අයියෝ මම වාෂ්ප වෙනවා බුහ්හ් හා හා

    ReplyDelete
    Replies
    1. මේ එන්න එපා ඊයා ඊයා ගාන්න... :(
      මටත් බීපු ඔක්කොම ටික වාෂ්ප වෙලා ගියා වගේ දැනුනා නේන්නම්...

      Delete
  3. හොද වෙලාවට ජොකා අැදල හිටියෙ...

    ReplyDelete
    Replies
    1. හික් හික්...
      ඒකනම් සහතික ඇත්ත :))

      Delete
  4. චිකේයියා..මට නම් හිතා ගන්නවත් බැහැ ඒ විළි ලැජ්ජාවෙ තරම..!!!!! පාඩමක් උගන්වන අදහසින්ම අම්මා කතාව ප්‍රචාරය කරන්න ඇති..හික්ස්..!!

    ReplyDelete
    Replies
    1. විළිලැජ්ජාව බලබල ඉන්න පුළුවන් වෙලාවක්ද, කොහොමහරි ගේ ඇතුළට යන්නත් ඕනිනේ...

      අනිවා... අම්මගේ අදහස වෙන්න ඇත්තේ ඒක තමයි... :)

      Delete
  5. කොච්චර වැරදිවැඩ කළත් අම්මාට වදින හොඳ ළමයෙක් වගේ!

    ReplyDelete
    Replies
    1. මම එහෙමට වැරදිවැඩ කරන ළමයෙක් නෙමෙයි කතන්දර මාමේ....:(

      Delete
  6. සෑහෙන ලැජ්ජාවක්නේ වෙලා තියෙන්නේ අයියේ.. මම අයියා වගේ උනානම් අම්මගේ ඒ නිහඬ පිළිවෙතත් එක්ක ඕනම නම් දවස් දෙකක් ඔහොම රස්තියාදුවේ යාවි.. තරහා ගන්න එපා මම මගේ අදහස කිවුවේ..

    සුභ අලුත් අවුරුද්දක් අයියේ!!

    ReplyDelete
    Replies
    1. හික්..හික්.... ඒත් ඉතින් තව ටික කාලයක් යනකම් ඒ ගති පුරුදු වෙනස් උනේ නැහැ.

      මගේ ගතිගුණ ගැන අම්මට හොඳ වැටහීමක් තිබ්බ නිසා තමයි දිනේෂ් එයා වැඩිය බනින්න කරන්න නැතුව ඇත්තේ.
      අනිත් එක ඒ කාලේ විතරක් නෙමෙයි අදටත් ගමේ ලොකු පුතා කියන නම කියවෙන්නේ හොඳ ළමයගේ චරිතය විදිහට (ඒත් ඉතින් මම සෑහෙන දඟවැඩ නම් කරලා තියෙනවා)
      ඒ නිසා අම්ම ගොඩක් සතුටින් හිටියේ (සහ දැනටත් ඉන්නේ) මම ගැන.

      මම යායුතු පාර තේරුම් අරගෙන යනවා කියල එයාලට තේරුනාට පස්සේ තමයි මට ඕනේ විදිහකට හැදෙන්න ඉඩ දෙන්න ඇත්තේ
      (හැබැයි ඉතින් 13 වසරේදීත් මට හොඳට තඩි බාලා තියෙනවා කරපු මැරවැඩ වලට...)

      ඒ නිසාම වෙන්න ඇති මට දැනටත් හිතෙන්නේ අපේ අම්මල තාත්තල මාව හදපු විදිහටම කවදාහරි මගේ ළමයෙකුටත් නිදහසේ හැදෙන්න දෙන්න ඕනේ කියලා...(හැබැයි නීති නැතුවම නෙමෙයි, එව්වත් තියෙනවා)

      මම තරහ වෙලා කොහොමද බං උඹලත් එක්ක... ;)
      ස්තුතියි දිනේෂ්

      Delete
    2. "හැබැයි ඉතින් 13 වසරේදීත් මට හොඳට තඩි බාලා තියෙනවා කරපු මැරවැඩ වලට"

      අම්මියෝ මැර වඩාත් කරලා :පි

      Delete
  7. ලොකු පුතාගෙ බ්ලොග් ලිපියි අනිත් බ්ලොග් වලට දාන ප්‍රතිචාරයි පරෙස්සමෙන් කියවනකොට මට හැමදාම හිතෙන දෙයක් තමයි ලොකු පුතා හුඟක් වෙලාවට හිතන්නෙ, පතන්නෙ ඒවගෙම වැඩ කරන්නෙ මම වගේ කියන එක.
    Photography වලට අමතරව Burglary ත් පුලුවන්නෙ ලොක්කට, ආ? :P

    සුභම සුභ අලුත් අවුරුද්දක්, වගේම අර ව්‍යාපාරයත් අති සාර්ථක වේවා කියලා පතනවා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හික් හික්...
      හිතන පතන විදිහේ පොඩි පොඩි සමානකම් තිබුනත් ඉතින් අයියලාගේ ජිවිත වල තියෙන තරම් අත්දැකීම් මට නැහැ කියන එක පිළිගන්න වෙනවා

      මොනවා හරි දෙයක් කරන්න ගත්තම ඒක නිවැරදිවම කරන්න ඕනේ කියල මට හිතෙනවා.
      ඒක ඉතින් Burglary වලටත් අදාළයි කියමුකෝ.... ;)

      ව්‍යාපාරය සාර්ථකව කෙරීගෙන යනවා.
      සුබ පැතුම් වලට බොහොම ස්තුතියි අයියේ

      Delete
  8. හරි වැඩ තමා මෙයත් කරන්නේ...:D:D:D
    සුබම සුබ අලුත් අවුරුද්දක් ලොකූ සහ පවුලේ හැමට.

    ReplyDelete
    Replies
    1. ඒකනේ පොඩ්ඩි මම කරන්නේ "හරි" වැඩ තමා... මොකද ඉතින් මම හොඳ ළමයෙක්නේ... ;)
      ස්තුතියි පොඩ්ඩි...

      Delete
  9. මගේ කතාව දෙවැනි කොටස වගේ.මටත් විලි ලැජ්ජාවේ හිටියේ බයිසිකලේ කරේ තියාගෙන් යන සිද්දිය මගේ ඉස්සරහම වෙන කෙනෙකුට කියද්දී.

    සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. මටත් මගේ කතාව ලියද්දිත් උඹේ කතාව මතක් උනා...
      ලැජ්ජාව කියන එක ටික දවසකින් නැති වෙලා ගියා බං.... :))

      ස්තුතියි අසර්... ;)

      Delete
  10. ඇති උඹ ඔයිං ගියා. කතාවකුත් මතක් උනා මට ඔය කතාව කිව්වම. බ්ලොගේම ලියන්නම්. දැන් නම් ඉතින් ඔන්න වෙලාව තියනවා. අවුරුදුත් ඉවරනේ.

    සුභ අලුත් අවුරුද්දක් වේවා !!! කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

    ReplyDelete
    Replies
    1. අමතක වෙන්න කලින් ලියපන්....
      මේ වගේ දේවල් තමයි අපිට පස්සේ කාලෙක මතක් කරලා හරි හිනා වෙන්න ඉතුරු වෙන්නේ..

      මටනම් තාම අවුරුදු ඉවර වෙන්න තියා පටන් ගත්තෙත් නැහැ, තව සති එකහමාරක් තියෙනවා අවුරුදු උදා වෙන්න.
      ලංකාවට යන්න තව දවස් 10 ක් තියෙනවා... :)
      ස්තුතියි සහෝ...

      Delete
  11. නව වසරට අගනා පැතුමක්...
    ස්තුතියි...!

    ReplyDelete
  12. මටත් වෙනවා ඔය වගේ සීන් :) ගණන් ගන්න එපා මචන් ඕවා තමයි රස කතා කියන්නේ

    ReplyDelete
    Replies
    1. ගොඩ දෙනෙක්ගේ ජීවිතවල මේ වගේ මතක් කරකර රස විඳින්න පුළුවන් සුන්දර මතක කොයි තරමක් ඇතිද.
      ඒ වෙලාවල අවුල් වගේ දැනුනට පස්සේ තමයි රස දැනෙන්නේ.... :)

      Delete