Monday 20 October 2014

උඩවලව වන චාරිකාව -2007 (දෙවන කොටස)

පළවෙනි කොටස බලපු නැති අයට....


කළින්දින කතිකා කර ගත් ටාටා වර්ගයේ කැබ් රිය පසුදින පාන්දර පහයි හතළිස් පහ පමණ වන විට නවාතැන්පල කරා පැමිණියේය. මාගේ අරමුණ වූයේ පාන්දර හය හෝ ඊටත් පෙර උද්‍යාන ගේට්ටුව කරා යාමය. වනෝද්‍යානයක් කරා උදෑසනින් යාමෙන් අත්වන වාසි කිහිපයකි. අපහසුවකින් තොරව මග පෙන්වන්නකු සොයාගත හැකිවීම, වැඩිපුර සතුන් දැකගැනීමේ හැකියාව සහ චාරිකාවේ උපරිම පළ නෙලා ගැනීමට ඇති හැකියාව ඒ අතර වේ. කැබ් රිය පැමිණියද ඒ වන විටත් අප පිරිස සම්පුර්ණයෙන් සුදානම් වී නොසිටියහ. කෑම බීම පිළියෙල කිරීමේද ප්‍රමාදයක් දක්නට ලැබුණි. උදෑසන ආහාරය පාර්සල් ලෙස සකසාදෙන මෙන් කුමාර අයියාට කල්තියාම දැනුම් දී තිබුණි. මෙම ප්‍රමාදයන් නිසාවෙන් උද්‍යාන දොරටුව වෙත ලඟා වනවිට වේලාව උදෑසන හයයි තිහ පසු වී තිබුණි. ඒ වන විටත් ටිකට් පත් නිකුත් කරන කාර්යාල පරිශ්‍රයේ විශාල පිරිසක් රැස්ව සිටියහ. මේ දීර්ඝ සති අන්තයක ආරම්භය වීම එයට හේතුවයි. අප එහි යනවිටත් සියළුම මාර්ගෝපදේශක මහතුන් කළින් ආ කණ්ඩායම් සමග උද්‍යානය බලා පිටත්ව ගොස් තිබුනේය. මාර්ගෝපදේශක මහතකු පැමිණෙන තෙක් ටිකට්පත් මිළදී ගන්නා කවුන්ටරය අසළට වී රැක උන්නෙමු. මෙසේ රැඳී සිටියේ අප පමණක් නොවේ. තවත් කණ්ඩායම් කිහිපයක් අප මෙන්ම එහි රැඳී සිටියේය. ටික වේලාවක් ගතවූ පසු කැබ්රථයේ රියදුරු රුවන්ගේද සහායෙන් මාර්ගෝපදේශක මහතකුගේ සහය ලබා ගැනීමට අපහට හැකි විය. ඔහු චන්දන නම් විය.

සම්පුර්ණ දිනයක චාරිකාවක් සඳහා එක්වීමට සමහර මාර්ගෝපදේශක මහතුන්ගේ අකමැත්තක් ඇත. එයට හේතුව දිනකට කීප වරක් නඩ කිහිපයක් සමගින් උද්‍යානය තුළට යාමෙන් ලබා ගත හැකි ආර්ථික වාසිය මෙවැනි එක් චාරිකාවකින් ලැබෙන මුදලට වඩා වැඩි නිසාය. නමුත් එලෙස මුදල් පසුපස නොයන මාර්ගෝපදේශක මහත්වරුන් අනන්තවත් මා හට මුණගැසී ඇත. මොහුද එවැන්නෙක් බව සිතීමට කිසිඳු මැසිවිල්ලක් නොනගා අප හා යෑමට එකඟ වීමෙන්ම තේරුම් ගත හැකිය.

ටිකට්පත් ලබා ගැනීමෙන් පසු අපගේ චාරිකාව නියමාකාරයෙන් ආරම්භ විය. එදින වැසිබර අඳුරු කාලගූණයක් පැවතීම අපගේ නොසතුටට හේතු විය. කැන්වසය ඉවත් කළ කැබ් රථයේ සිටි අපව තෙමා දමමින් නොනවතින පොද වැස්සක් ඇද වැටෙමින් පැවතුනේය. ජායාරුප ගැනීමේ අපහසුව, කැමරා වැස්සෙන් බේරා ගැනීමට අමතර මහන්සියක් දැරීමට සිදුවීම වැස්සේ ප්‍රතිවිපාක විය. ඊට අමතරව දිගටම වැටුණු වැසි හේතුවෙන් මාර්ගය ලිස්සනසුළු තත්ත්වයට වීම තවත් අවාසියකි.

ගමන ආරම්භ කර ඉදිරියට යත්ම අප ඉදිරියට තනි අලියෙක් පැමිණියේ අප පිළිගැනීමට මෙනි. මද කිපීමේ මුලික ලක්ෂණ ඌ වෙතින් දිස් වුවද කිසි කරදරයකින් තොරව අපව පසුකරගෙන ගියේය. ඒ ගමනේ සාර්ථකත්වය හඟවන සුභ ලකුණකි.
මුලින්ම මුණ ගැහුණු කෙනා

තවත් ඉදිරියට යද්දී හතර දෙනෙකුගෙන් පමණ සමන්විත කුඩා අලි රංචුවක් දැක ගැනීමට අපට හැකි විය. මාර්ගය හරහා ගමන්ගත් අලි අසලටම රිය පැදවූ රුවන් වාහනයේ එංජිම නවතා ගත්තේ චන්දනගේ උපදෙස් පරිදිය. කීප වතාවක්ම වාහනය දෙසට පහර දෙන්නට මෙන් දිව ආ එක අලියෙකු අපගෙන් අනතුරක් නැති බව වටහාගෙන මෙන් සන්සුන් වුයේ ටික වෙලාවක් ගතවූ පසුය. වටපිටාවේ ඇති දෑ කමින් තරමක වෙලාවක් ගතකළ උන් සෙමින් සෙමින් අපගෙන් ඈතට පියමන් කළහ. මේ ආකාරයට වනයේ තැනතැන කරක් ගැසූ අපහට, නොයෙකුත් වර්ගවල කුරුල්ලන්, දළ ඇතෙක් සහ අලි බොහෝ ගණනක්ද, ගෝන්නු සහ මුව රංචු කිහිපයක් ආදී සතුන් බොහෝ දෙනෙක් දැක ගැනීමට හැකිවිය.
අපිත් එක්ක ගේම ඉල්ලපු අලි නාම්බා

මෙයාට දළ තිබුනට ටිකක් පොඩි ඇතෙක්, පඳුරු අස්සේ ඉන්න නිසා දළ දෙක පේන්න ලං කරලා ගත්තු ෆොටෝ එකක්


ස්ථාන නාමයන් හරිහැටි මතකයේ නැතත් වනෝද්‍යානය පුරාම පාහේ අපි සංචාරය කලෙමු. බොහෝ වනෝද්‍යාන වල ඇති කුඩා වැව් හෝ එවැනි විශේෂ ලක්ෂණ අළලා ස්ථාන නාමයන් ඇතත් මා හට ඒවා මතක සිටින්නේ කළාතුරකිනි. මේ වනවිට පොද වැස්ස තරමක් තුරල් වී තිබුණි. මේ වනවිට අප මව් ආර ජලාශයේ බැම්ම උඩින් ගමන් කරමින් සිටියෙමු. සිය ගණනක දිය කාවුන් රංචුවක් මාළු අහිනක් වට කරමින් අල්ලා ගැනීමට වෙර දරණ මනරම් දර්ශනයක් අප ඉදිරියේ දර්ශනය විය. දිය කාවුන් සමග සමහර අවස්ථා වලදී පෙලිකන් කුරුල්ලන් සහ මුහුදු ලිහිණින් එක්ව මෙයාකාරයෙන් මාළු දඩයමේ යෙදෙන අවස්ථාවක් පසු කලෙකදී පලටුපානේදී දැක ගැනීමට හැකිවිය.

බැම්ම පසුකර මදක් ඉදිරියට ගිය පසු වැව් පිටියේදී වාහනයෙන් බැසීමට හැකි බව චන්දන කියා සිටියේය. උදෑසන බිව් තේ එකෙන් පසුව බර ආහාරයක් බඩට වැටුනේ නැත. මේ වනවිට බඩගිනි දැනෙමින් පැවතුන බැවින් ආහාර ගැනීමට හැකි තැනක් විපරම් කරමින් පැමිණි අපට චන්දනගේ වචනය මහත් අස්වැසිල්ලක් විය.
මව් ආර ජලාශයේ බැස උන් මී හරක්

මව් ආර ජලාශයේ හොඳින් ජලය පිරී තිබුණි. එහි බැස වටපිටාව විපරම් කරද්දී ඉතා සුන්දර දර්ශන කීපයක්ම දැක ගන්නට හැකි විය. අඩක් කුළු මී හරක් ගති ලක්ෂණ විදහා දැක්වූ මී හරක් රංචුවක් දියේ බැසගෙන සිටියේය. මෙසේ කැලයේ කාලයක් ගතකරන උන් සමහර විට කුළු හරකුන් සමග මිශ්‍ර වී ඒ ගතිගුණ දක්වන අවස්ථා ඇති බව සුලභ කරුණකි.
අපි දෙස විමසිල්ලෙන් බලමින්

මව් ආර ජලාශය

කුමාර අයියා ලවා තරමක් විශාල බත් පාර්සල් කිහිපයක් බැඳ ගත්තේ එක පාර්සලයක් දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට සෑහෙන පරිදිය. ඒවා දිග ඇරගෙන අනුභව කිරීම සිදු කලේද එහිදීය. කැබ් රථයේ සීට් මත සහ තැන තැන තබාගත් බත්මුල් කිහිපය හවුලේ අනුභව කිරීම අතීතය යළි කැඳවීමක් මෙන් හැඟුනි.
අනුභවයෙන් පසු ඒ අවට ඇවිදිමින් සිදු කල නිරීක්ෂණ වලදී සමනළ වර්ග කීපයක්, බත් කුරන් සහ කුරුළු වර්ග කීපයක්ද දැක ගැනීමට හැකිවිය. එහිදී අළුත මිලදී ගත්  ට්‍රයිපොඩයෙන් ඉතා සුළු ප්‍රයෝජනයක් ගැනීමටද ඉඩ සැළසුනේය.

උඩවලව චාරිකාවෙන් මද කලකට පසු විශාල පාඩුවක් සහිතව එය හුවමාරු කලේ, ට්‍රයිපොඩ භාවිතය ප්‍රායෝගිකව මා හට කරදරකාරී බවක් දැනුණු බැවිනි. අදටත් ට්‍රයිපොඩ යනු ජායාරුප කලාවේදී මා හට හුරු වීමට ඉතා අපහසු අංගයක් බවට පත්වී ඇත. ඒවා මාගේ සෙලවිමේ සහ චලනය වීමේ නිදහස සිමා කරන උපකරණයක් ලෙස මට හැඟේ. එමෙන්ම ඒවා නිසා සමහර අවස්ථා මගහැරී යාමද සිදුවේ. නමුත් ට්‍රයිපොඩ භාවිතයෙන් ගන්නා ජායාරූප වල තත්ත්වය උසස් බව පිළිගත යුතුය.

එතනින් පිටත් වූ අප නැවතත් වන චාරිකාව ඇරඹුවෙමු. මෙසේ පරිසරය විඳිමින් වනය තුළ සැරිසැරූ අපහට කාලය ගතවී යනවා දැනුනේද නැත, දිවා ආහාරය සඳහා වෙලාව ආසන්න වී ඇති බව හැඟුනේ බඩෙන් ලද සංඥා නිසාය. මේ වන විට අප ගෙන ආ වතුර බෝතල්, බිස්කට් ආදියෙන් සෑහෙන ප්‍රමාණයක් අවසන් වෙමින් පැවතුනි. කළින් ගිවිසගත් පරිදි දිවා ආහාරය රැගෙන ඒම සඳහා පිවිසුම් දොරටුව බලා යා යුතුය. පිවිසුම් දොරටුව අසලට බත් පාර්සල් රැගෙන පැමිණෙන බවට කුමාර අයියා පොරොන්දු වී සිටියේය. ඒ අනුව අප පිවිසුම් දොරටුව බලා යන ගමන ආරම්භ කලෙමු.
ඒ වනවිට අප හා ඉතා කුළුපඟ වී සිටි ගයිඩ් මල්ලි චන්දන ඉල්ලීමකින් තොරවම ඉතා වටිනා උදව්වක් සිදු කල හැකි බව කියා සිටියේය. ඔහු කියා සිටියේ වනෝද්‍යානය තුළට කෑම පාර්සල් රැගෙන ඒම අනවශ්‍ය බවත්, අප නවාතැන් ගත් ස්ථානයට ගොස් ආහාර වේල බුක්ති විඳ ආපසු ඒමට හැකි බවත්ය. එවේලේ හැටියට එය මහගු පිළිසරණකි. එකළ පැවති නීතිය අනුව එය කල නොහැකි ක්‍රියාවකි.

සාමාන්‍යයෙන් ක්‍රමය වී තිබුනේ වනෝද්‍යානයක් තුළට ඇතුල්වී ආපසු එළියට ගොස් නැවත පැමිණේනම්, "නැවතත් ටිකට්පත් මිළදී ගත යුතුය" යන ක්‍රමයයි. නමුත් තරමක් මෑතක සිට එම ක්‍රමයේ වෙනසක් සිදු කර ඇත. දවස පුරා වනයේ කරක් ගසන අපවැනි සංචාරකයන් උදෙසා සාමාන්‍ය ටිකට් පතේ මිළට වඩා තරමක් වැඩි සාධාරණ මිළ වැඩි කිරීමකට යටත්ව කිහිප වරක් ඇතුල් විය හැකි ටිකට් ක්‍රමයක් හඳුන්වා දී ඇත. එය විශාල පහසුවකි. සතුන් වැඩිපුර නොගැවසෙන දහවල් කාලයේදී නවාතැනට ගොස් කා බී විවේක ගෙන ආපසු පැමිණිය හැකිය.

අතරමගදීම ඇමතුමක් ලබාදී කෑම ගැනීමට අප පැමිණෙන පණිවුඩය කුමාර අයියාට පැවසීමට උත්සාහ ගත්තත් ඔහුගේ දුරකථනයෙන් ප්‍රතිචාර ලැබුණේ නැත. කීප වතාවක් උත්සාහ කල පසු ඔහු දුරකථනය ඇමතුවේය. කඩිමුඩියේ කෑම පිළියෙළ කරමින් සිටි ඔහු දුරකථනය නාදය නොසළකා සිටින්නට ඇත. කෑම රැගෙන පිවිසුම වෙත ඒම අනවශ්‍ය බවත්, අහාර ගැනීම සඳහා නවාතැන බලා පැමිණෙන බවත් ඔහුට දැනුම් දී නවාතැන බලා යන ගමන ඇරඹීමු.

අප සමග දිවා ආහාරය ගැනීම සඳහා එන ලෙස කල ආරාධනාව පිළිගත් චන්දනද අප සමග ආවේය.  සෆාරි බංගලාව කරා යන අමතර දුරද අප ආවේ රුවන්ගේ වාහනයෙනි. අමතර දුරක් බැවින් එය ඔහුට ප්‍රතික්ෂේප කරන්නට හැකියාව තිබුනද ඔහු අප කැටුව එහි ආවේය. කෑම මේසය සුදානම් වන අතරතුරේ වාහනයේ යම් වැඩක් කලයුතු බව සහ ඉක්මනින් පැමිණෙන බව කියා රුවන් පිටවී ගියේය. අප සියල්ලෝම කෑම කා අවසන් වන විටද ඔහු පැමිණියේ නැත. දුන් දුරකථන ඇමතුමකට ඔහුගේ පිළිතුර වූයේ “මේ දැන් එන” බවය. අප කෑම කා විවේක ගන්නා අතරතුරේ ඔහු පැමිණියේය. ගෙදර ගොස් බත් කා පැමිණි බව කියූ ඔහු අපගේ දිවා ආහාරය ප්‍රතික්ෂේප කලේය. සුළු විවේකයකින් පසුව නැවතත් උද්‍යානය බලා යාමට ගමන් අරඹන විට වේලාව දහවල් දෙකයි තිහ පමණ විය. කළින් නොගිය මං ඔස්සේ රිය පැදවූ රුවන් සවස් ජාමයේ දැකගත් හැකි දසුන් කිහිපයක් දැක ගැනීමට අවස්ථාව ලබා දුන්නේය.
 
තල්ලු දමමින්...

මාර්ගයේ වූ අපහසු තැනක් පරීක්ෂා කොට පැමිණෙන රුවන්


කැබ් රථයේ රියදුරු රුවන් උද්‍යානය තුළ වාහනය හැසිරවීමේදී එහි උන් පළපුරුදු රියදුරන් පවා පැරදවිය හැකි සමතෙක් බවට කිහිප වතාවක්ම ඔප්පු කර පෙන්නුවේය. අප ගිය රථය දෙවරක් පමණ තල්ලූ දමා අපහසු තැන් වලින් එගොඩ කරවීමට සිදු වුවත් ඒ පාරෙන් පිට පැනීම් වලදී නොව මාර්ගයේ වූ දැඩි විෂම ස්ථාන හරහා යාමකදීය. ඒවා බොහෝ දුරට ෆෝ වීල් වර්ගයේ වාහන වලට පමණක් යා හැකි තැන්ය. එම ස්ථාන වලදී අප හට සිතුණු නමුත් ප්‍රකාශ නොකළ දේනම් මොහු හැරෙන්නට වෙනත් අයෙකු මෙතරම් පිරිසක් දැමූ රථයක් මෙවන් වූ දුෂ්කර මාර්ගයක රැගෙන නොයන බවය.

සම්පූර්ණ දිනයම උද්‍යානයේ ගත කිරීම සඳහා කැබ් රථයට ගෙවීමට නියමිත මුදල වුයේ රුපියල් පන් දහසකි. අදාළ රිය හිමියා පෙර දිනයේදී දුරකථන මාර්ගයෙන් සම්පුර්ණ දිනයක් සඳහා එම මුදල ගෙවිය යුතු බව දන්වා සිටියේය. එය ඉතා  සාධාරණ ගණනක් බව කිව යුතුය. සම්පූර්ණ දිනය තුළදී යා යුතු සෑම තැනකම පාහේ යමින් කුරුල්ලන් වර්ග 78 ක් දැක ගැනීමට අවස්ථාව අපහට උදා විය. එම කුරුල්ලන් අතරින් පස් දෙනෙකු මුල්ම වරට මා දැක ගත්තේ එම චාරිකාවේදිය. අපගේ නිරීක්ෂණ කටයුතු සඳහා රුවන්ගේ සහ චන්දනගේ මනා සහයෝගයත් සහ විශේෂයෙන් රුවන්ගේ ඉවසීමත් බොහෝ උපකාරී විය.

අද දිනයේ එනම් දෙසැම්බර් 22 වැනි දින විෂේශත්වයක් වූ බව සවස් වන විට අප කඩයේ කාට හෝ හදිසියේ මතකයට නැගුනේය. එය මාගේ උපන් දිනයයි. පිරිසේ සැමගේම සුභ පැතුම් මා වෙත පිදුණි. මට සුභ පැතුම් එක් කරමින් “කුරූ” පැවසුවේ “Happy B’day to us” කියාය. එදින කුරුල්ලාගේද උපන් දිනය බව අප දැන ගත්තේ එවෙලේය. අපට වඩා වසරකින් බාල කණ්ඩායමේ සිටි ඔහුගේ උපන් දිනය ඒ වනවිට අප දැන සිටියේ නැත. ඉන්පසු සියල්ලෝම කුරූ වෙත උපන්දින සුභ පැතුම් එක් කලෝය. එය අපුරු සිද්ධියකි.

උද්‍යානයෙන් පිටතට පැමිණීමට පෙර කැබ් රථයේ දුනු කොළයක් කැඩී යාමෙන් යම් අබලතාවයක් ඇති වුවද ඉන් පසුබට නොවී ගමනේ ඉතිරි කොටසද අප හට සහයෝගය ලබා දෙමින් රුවන් කල මෙහෙය පැසසිය යුතුමය.
ආපසු එන අතරමගදී උඩවලවේදී සාමාන්‍යයෙන් දැකීමට නොහැකි මට්ටමේ තරමක් විශාල තනි අලියෙක් පාර දිගේ අප දිශාවට එන අයුරු දැකගැනීමට හැකි විය. කැබ් රිය පාරේ අයින් කර නතරකර ගත්තේ ඌට ඉඩ දීමටත් හොඳ ජායාරුප කිහිපයක් ගැනීමටත් සිතාය. මා ගත් ජායාරුපයේ ඌගේ තේජස සහ විශාලත්වය පැහැදිළිව පෙනෙන්නේ නැත. එයට හේතුව අප ඉහළක සිට ජායාරුප ගත කිරීම නිසා වන්නට ඇත.
අන්තිමට දැක්කේ මෙයාව
උද්‍යානයෙන් පිටතට පැමිණි වහාම එහි ඉදිරිපස වු කඩමණ්ඩියෙන් මිළදීගත් අයිස් ක්‍රීම් වලින් සංග්‍රහයක් පැවැත්වුයේ උපන්දිනය උදෙසාය. ඊට අමතරව බිස්කට්, බීම වැනි දෑ මිළට ගැනීමත් රාත්‍රියේ ගිනි මැලයක් ගසා පුළුස්සා කෑමට බඩ ඉරිඟුද මිළදී ගතිමු. රාත්‍රී අඳුරත් සමගම අප නවාතැන්පළ වෙත පැමිණියෙමු. වාහනය සඳහා පොරොන්දු වූ මුදල රුපියල් පන් දහසක් වුවද වැඩිපුර රුපියල් දහසක් ලබා දුන්නේ රුවන් අප වෙනුවෙන් කල සේවය වෙනුවෙනි. ගයිඩ් මල්ලී චන්දන හටද රුපියල් දහසක් දුන්නේ ඔහු අප හට තම සේවය ඉතා හොඳින් සැපයු නිසාය. ඔවුන් දෙදෙනාගේම දුරකථන අංක අපට ලබා දුන්නද කාලයාගේ ඇවෑමෙන් දැන් ඒවා මා සතුව නොමැත. මතකය පමණක් ඉතිරිවී ඇත.
අප ඔවුනට ලබා දුන් මුදල අද වනවිට මහලොකු ගණනක් නොවුවද අදින් වසර හතකට පෙර අප ලද පඩිපත් හා සසඳද්දී සැළකිය යුතු මුදලකි.

රුවන්ගේ වාහනය හෙට දිනට පෙර සාදාගත නොහැකි බව පැවසු වෙනත් රථයක් කැඳවා ගත යුතුය. එය කුමාර අයියාට පැවරුවේ කළහැකි යමක් නැති නිසාය. ඔහු සපයා දුන් අංකයකට ඇමතීමෙන් පසු උදේ හතට ආරම්භ කොට උදෑසන දහය එකොළහ පමණ වනතෙක් යෙදෙන චාරිකාව සඳහා රුපියල් 3,500/- ක් ඒ අදාළ රථ හිමියා ඉල්ලා සිටියේය. ඔවුන් මෙවැනි දීර්ඝ සති අන්ත වලදී වරුවක් සඳහා අයකරන  මුදල ඉතා අධිකය. කළයුතු යමක් නැත. ඇමතුම විසන්දි කර දැමුවේ උදෑසන හය  පමණ වනවිට අපගේ නවාතැනට පැමිණෙන ලෙස ඔහු හට දැන්වීමෙන් අනතුරුවය.

රාත්‍රී ආහාරය වෙනුවෙන් සුදානම් කළයුතු දෑ කුමාර අයියාට දැනුම් දී ගිනිමැලය ගැසීමට අවැසි දර එකතු කිරීමට අපි කිහිප දෙනෙක් පිටත් වූයෙමු. ගිනිමැලය ගැසීමට වෙන්කර ඇති ස්ථානයේ කළින් දිනෙක භාවිතයෙන් පසු ඉතිරි වූ දර කැබලි කිහිපයක්ද විය. විදුලි පන්දම් එළියෙන් දර කැබලි කිහිපයක් ගෙන ආ අප ඒවාද පැරණි දර ගොඩටම දමා පිටත් වුයේ ස්නානය සඳහාය. නෑමෙන් අනතුරුව වල්පල් දොඩමින් එහි වූ ඉස්තෝප්පු කොටසේ වාඩිවී සිටියේ රාත්‍රී ආහාරය සුදානම් වනතුරුය. වැඩි වේලාවක් යන්නට පෙර බඩගිනි දැනෙන්නට වුයේ ගමන් මහන්සිය නිසා විය හැකිය. රෑ හත හමාර පමණ වනවිට කෑම පිස අවසන් වූ බවත් මේසය සුදානම් බවටත් නිවේදනය ලැබුණි. මේසය මත සුදානම් කර තිබු නුඩ්ලස්, බිත්තර කිරි හොද්දක් සහ සීනි සම්බල වාෂ්ප වී යාමට ගතවුයේ නිමේෂයකි. තෘප්තිමත් වූ ආහාර වේලකින් පසුව ඊළඟ ක්‍රියාකාරකම වූ ගිනිමැලය ගැසීමේ කටයුත්ත සඳහා සියල්ලන්ටම ආරාධනා කලෙමු. කාබී විවේකයෙන් වාඩිවී සිටි මිතුරු පිරිස එතනින් සෙලවීම තරමක් අපහසු කාරියක් විය.
අපේ ගිනිමැලය

කලින් රැස් කරගත් දර නිසි පරිදි අසුරා කුමාර අයියාගෙන් ඉල්ලා ගත් භූමිතෙල් වත්කිරිමෙන් අනතුරුවත් ගිනිමැලය දල්වා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය. තෙතබරිතව තිබු දර අපගේ කාරිය අපහසු කලේය. දර වලට ගින්න ඇල්ලු පසු ඒ වෙනුවෙන් විශේෂ මහන්සියක් දැරීමට අවශ්‍ය නොවීය. මේ වනවිට එකා දෙන්නා බැගින් පැමිණ සියල්ලෝම පාහේ ගිනිමැලය අසළට පැමිණ තිබුනේය.
මම නැතුව ඉතුරු දහතුන් දෙනා

ගෙම්බා බඩඉරිඟු පුච්චමින්

ගිනිමැලය ආසන්නයේම වාඩිවී සිටීමට හැකි කොන්ක්‍රීට් වලින් තැනු බැංකු කිහිපයකුත්, මේසයක්ද තබා තිබුණි. තරමක වෙලාවක් එතනට වී එක එක මාතෘකා ඔස්සේ අපගේ කතාබහ ඇදෙමින් පැවතුනේය. රාත්‍රී දහය පමණ වනවිට ඊළඟ කටයුත්ත වු බඩඉරිඟු පිළිස්සීමේ කටයුත්ත ඇරඹඹීමු. ඒ සඳහා පෙර අත්දැකීම් ඇති කවුරුන් හෝ අප සමග සිටියේ නැත. පළමු වතාවට බඩඉරිඟු කරල් කිහිපයක් දිදුළන ගිනි අඟුරු වලට යටකර දැම්මේය. වරින්වර ඒවා කොටුවකින් එහාමෙහා කරමින් බැලුවේ බඩඉරිඟු කරලේ පිට පොත්ත කළු පැහැයට හැරී ඇත්දැයි කියාය. කුමාර අයියාගේ කුස්සියෙන් ඉල්ලාගෙන ආ ලුණු කැට සමග පිළිස්සුනු බඩඉරිඟු කරල් ආහාරයට ගැනීම ඒ වනවිට ඇරඹි හමාරය. පුළුස්සා ගත් බඩඉරිඟු කරල් වලින් තම්බාගත් ඒවායෙන් මෙන් හොඳ රසයක් දැනුනේ නැත. රසයේ අඩුවට හේතු වන්නට ඇත්තේ අප ගෙනා ඉරිඟු මේරූ ඒවා නිසා වන්නටද ඇත. මේ වනවිට බොහෝ දෙනෙකුගේ මුහුණින් නිදිමත බේරෙන බවක් පෙනෙන්නට තිබුනි. ආපසු හෙට දිනයේද උදසනින් අවදි විය යුතු බැවින් ජෝගුවකට ගෙන ආ වතුර ගසා දමා ගිනිමැලය නිවා දැම්මේ නින්දට යාමේ සුදානමෙනි.

අවසාන දිනය ඊළඟට....

මගදී දුටු දසුන්....








20 comments:

  1. මම අර කියපු දෙයින් ලොකු පුතාට 'ලොකු' උදව්වක් වුණා කියලා දැනගැනීම සතුටක්...

    චාරිකා යනකොට උදේම යන එක නම් හොඳ දෙයක්.. හැබැ‍යි ඒකෙන් ඇතිවෙන අතුරුපල තමයි හවස්වෙන විට අධික මහන්සිය. මම යාල, උඩවලව එහෙම ගිහින් නෑ... ආයෙ ලංකාවට ගිය කාලෙක බලන්න ඕනේ...

    සමහර විට ලොකු පුත කැමරාව ගැන කලින් කියලා ඇති. නමුත් මම කැමතියි කැමරාව සහ ලෙන්ස් ගැන දැනගන්න. මේ ඡායාරූප සියල්ලම වගේ බොහොම හොඳ මට්ටමේ ඒවා.

    ReplyDelete
    Replies
    1. උදෙන් යන තරමට වැඩිපුර සත්තු බලන්න පුළුවන්.
      හැබැයි දැන් එළියට ගිහින් ආපහු එන ටිකට් ක්‍රමේ නිසා පොඩි රෙස්ට් එකක් අරගෙන එන්න පුළුවන්, එතකොට හරි.

      නිවාඩුව එන්න කලින් ප්ලෑන් කරගෙන ආවනම් යාල, උඩවලවේ යන්න බැරිවෙන එකක් නැහැ.
      මොනවහරි උදව්වක් ඕනේ උනොත් කියන්න

      මේ ෆොටෝ අරගත්තේ Canon 400D කියන කැමරා එකෙන්, ලෙන්ස් එක Canon 70-300mm f4.5-5.6
      නමුත් කැමරා ෆෝකස් වීමේ අඩුපාඩුවක් තියෙන බව මම දැනගත්තේ ගොඩක් පහුවෙලා
      ඒ වගේම දැන් මේ කැමරා එක හදන එක නතර කරලා තියෙන්නේ

      මේ ලින්ක් දෙකෙන් ඒවායේ විස්තර බලන්න පුළුවන්.
      http://www.the-digital-picture.com/Reviews/Canon-EOS-400D-Digital-Rebel-XTi-Review.aspx

      http://www.the-digital-picture.com/Reviews/Canon-EF-75-300mm-f-4-5.6-III-USM-Lens-Review.aspx

      මීට පස්සේ මම ගත්තු Canon 40D කැමරා එකෙන් ගත්තු ෆොටෝ ඉදිරි පෝස්ට් වල පල කරනවා
      එකේ ලොකු කොලිටි වෙනසක් දැක ගන්න පුළුවන් වේවි.

      Delete
  2. ඒ වගේම වැසි සහිත දිනවල වායුගෝලයේ පවතින පිරිසිදු කමත් උඹ අරන් තියෙන ෆෝටෝ වලින් දකින්න පුලුවන්. ඒක වාසියක් නේද?

    උඹ කැමරාවක් ගත්තට පව් නෑ. මොකද උඹේ පින්තූර හුඟක් ප්‍රවීන ගතියක් පෙන්නනවා.

    ට්‍රයිපොඩ් එක ගැන උඹ කියන කතාව හරි. නමුත් පුරුදු වුනාම වෙනසැති. මමත් ප්‍රයිපොඩ් උඩ තියලා ගහපු පින්තූර හොඳයි.

    ගමන නිකං අපි ගියා වගේ තමයි.

    ඊ ලඟ කොටස එනතෙක් බලා ඉඳිමින්.

    ReplyDelete
    Replies
    1. උඹ හරි හෙන්රි අයියේ, වැස්සකට පස්සේ වාතයේ තියෙන ජලවාෂ්ප සහ දුවිලි අංශු ප්‍රමාණය අඩු උනාම ගන්න ෆොටෝ වල පැහැදිලි බව වැඩි වෙනවා
      ඒත් වාතයේ ජලවාෂ්ප ගතිය වැඩි උනොත් ඒකෙ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්, තෙත් කලාපයේදී වැස්සෙන් පස්සේ මීදුමක් වගේ ඇවිත් පැහැදිළි බව අඩුවෙන වෙලාවල් තියෙනවා.

      ඇගයුමට තුති මචං
      තව ටික දවසක් ගිහින් කැමරාවක් ගන්න ඕනේ, එතකල් හොබී එක විදිහට බ්ලොග් එක තියෙනවනේ.

      පෝස්ට් එකේ ඉතුරු ටික ලියමින් පවතිනවා, හැකි ඉක්මනින් දාන්නම්

      Delete
    2. වලාකුළු ඇති දවස් photography වලට හොඳ වෙන්නේ diffused light (vs. direct harsh light) සංසිද්ධිය නිසා.

      Delete
    3. සාදරයෙන් මගේ දිහාට පිලිගන්නවා....
      ඒ වගේම ඔබේ කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි.
      ඔබ කියූ අදහස ගැන මට තියෙන්නේ වෙනස් මතයක්,
      මම ෆොටෝ ගන්න කැමති අංශයේදී වලාකුළු තියෙන අවස්ථා වලට වඩා වලාකුළු නැති අවස්ථා වලදී ෆොටෝ ගහන එක සාර්ථකයි කියල මම හිතනවා

      harsh light තිබුනත් කැමරා එකේ settings වෙනස් කරලා ෂේප් වෙන්න පුළුවන්.
      හැබැයි ඉතින් ඔබ කිව්වා වගේ හොඳ diffused light එකක් වලාකුළු නිසා ලැබෙනවානම් වඩා හොඳ වෙනවා වෙන්නත් පුළුවන්.

      මටනම් මේවට වඩා හැමතිස්සෙම ප්‍රශ්න වෙලා තියෙන්නේ එළිය අඩුකම් සහ වාතයේ මොකක්හරි ජිල්මාට් එකක් වෙලා පොළව ආසන්නයේ තියෙන mist එක වගේ ගතිය
      මෙලෝ රහක් නැහැ ඒ වෙලාවට ගන්න ෆොටෝ වල

      Delete
  3. කෝ පුතා මගෙ කමෙන්ට් එක?

    ReplyDelete
    Replies
    1. පුතා ඒක කුමාර අයියාට දීලා බයිට් එකක් හදන්න.....

      Delete
    2. සිංහ සහෝදරයා, මම හැමතැනම බැලුවා. ඔබතුමා දාපු කමෙන්ට් එක ස්පෑම් වෙලාවත් නැහැනේ.....
      කාරුමික දෝෂයක් වෙන්න ඇති මගෙ හිතේ...

      Delete
    3. Aru,
      මම නෙමෙයි මටත් හොරෙන් වෙන කවුරු හරි ඒකෙන් බයිට් හදලද කොහෙද....

      Delete
  4. ලොකුපුතේ ඊළඟ කොටසත් කියවමු එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා අපේ දිහාට
      ඊළඟ කොටස අද හෙටම දාන්නම්

      Delete
  5. ආන්න උඹේ පිංතූර දාල තියෙනවා දැන් ඉතින් හේමිහිට ආපහු කැමරාවක් ගනින් බං

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට තියේවි....
      කැමරා එකක් ගන්න ඕනේ බං, ඒකට කාලේ ඒවි අද හෙටම
      එතකල් මෙහෙම යන්...

      Delete
  6. හම්මේ කොටස් දෙකම කියවලා ආවෙ පිස්සු වගේ...
    මරු ඇ...පට්ට පිංතූර ටික....
    ආයෙත් කියවන්න මීට වඩා දිග කොමෙන්ටුවක් කොටන්න එන්නං... අද හෙන හැති බං...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට තැන්කු මචං...
      පිස්සු වගේ උනේ පෝස්ට් එක දිග වැඩි නිසාද..... :)
      කොරන්ට දෙයක් නැහැ මචං, මීට වැඩිය පොඩි කෑලි වලට කැඩුවොත් එහෙම රහක් නැති වෙයි කියල හිතල තමයි දවස් තුනේ කතාව තුන් පාරකට දාන්න කල්පනා කොලේ...

      ජය වේවා ඔබටත්...!

      Delete
  7. ලොකු මලයෝ.. පෝස්ට් එක මුලින්ම දැක්කෙ ඊයේ. ඒත් කියවන්න හම්බ උනේ දැන්.. මේ විස්තරවල තියෙන මං කැමතිම ස්වාභාවය තමයි ඔයා කියවන මිනිහට එතනට යන්නත් හිතෙන ආකාරයට කුතුහලය අවුස්සමින් ලියන එක.. අඩුත් නෑ.. වැඩිත් නෑ. සමහරුන්ගේ ඕනෙවට වැඩි විස්තර කියෙව්වම ආයේ බලන්න යන්න උවමනාවක් නෑනේ. මොකක්ද අර අන්තිමට දාලා තියෙන ෆොටෝ එකේ පේන ඇල්ල? උඩවලව ආසන්නයේ ඒ වගේ පරිසරයක් හිතා ගන්නත් අමාරුයි. චාරිකාවක් යන්න ඉන්න කෙනෙකුටත් ඔයාගේ මේ විස්තර හරිම වැදගත්.. ඉතුරු කොටසත් ඉක්මනට ලියමු හොඳේ.. :) ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඇගයීමට බොහොමත්ම ස්තුතියි යාළුවා...
      ඒ දිය ඇල්ලේ නම දන්නේ නැහැ, මට මතක විදිහට ඒක අපිට පෙනුණේ පාර්ක් එකේ ගොඩක් ඇතුළට ගියාට පස්සේ.
      උඩවලව බන්ට් එක දිගේ එද්දී ජලාශයට පිටි පස්සෙන් කඳු වැටි කීපයක්ම පේනවා මතකද
      අන්න ඒ අවසාන කඳු වැටියකින් වැටෙන, වැසි කාලයේ හොඳට ඉදිමිච්ච දිය ඇල්ලක් තමයි මේ.

      පාර්ක් එකේ ඇතුළට යන්න පුළුවන් දුර එක්ක බැලුවම ඒ කඳු වැටිය සැළකිය යුතු තරමක් ලංවෙනවා
      ඒ එක්කම ටෙලි ලෙන්ස් එකකින් ෆොටෝ එකක් ගහල කපල ගත්තම තවත් ලංවෙලා පේනවා...
      ජය වේවා...!

      Delete
  8. කවෘත් කිව්ව වගේ පොටෝ ටික නම් එලම කිරි
    අර කුරුල්ලගෙ පොටෝ එකනම් මල් හතයි!
    මුල් පෝස්ට් එකක කිව්ව විදිහට දැන් එතකොට කැමරාවක් නෑ - එහෙම නේද?

    ඒ කාලේ සේවාවට (රියදුරු මහත්තයයි මග පෙන්වන්නයි) මුල් තැනක් දීල තිබ්බ බව කථාවෙන් තේරෙනවා
    තාමත් එහෙමද මන්ද ඒ සෙවා සපයන්නෝ
    තිසර වාගෙම මාත් ගිහිල්ල නෑ ඔය ඉසව් වල - යන්න ඕන වෙලාවක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිස්ස අයියේ,
      දැන් තියෙන්නේ ෆෝන් එකේ තියෙන කැමරා එක විතරයි.

      මේ වෙද්දී කැලේ ඇතුලේ යන්න සම්පුර්ණ දවසකට 10,000 ක් හෝ ඊට වැඩි ගාණක් ගන්නවා. මම කියන්නේ අපේ මේ ගියා වගේ මළ පාන්දර ගිහින් පාර්ක් එක වහන වෙලාවට ආපහු එන්න
      ගයිඩ් කෙනෙකුට දෙන ගාන තීරණය වෙන්නේ සේවාව අනුව

      හොඳ සර්විස් එකක් දෙන බවට ප්‍රසිද්ධ වෙච්ච ගයිඩ්ලා ගැන ගොඩ දෙනෙක් දන්නවා
      ඒ නිසා දන්න අය හරහා එහෙම හොඳ අයව හොයා ගන්න පුළුවන් නිසා ප්‍රශ්නයක් නැහැ
      හොඳ ඩ්‍රයිවර්ලා ඉන්න වාහනත් එහෙම්මම තමයි
      ඒ දෙගොල්ලන්වම ගමන යන්න කලින් බුක් කරලා ගියාම හරි.

      නිවාඩු ආවහම ගෙදර උදවියත් එක්ක මේ වගේ ගමනක් දෙකක් ගිහින් එන්න.

      ජය....!

      Delete