Tuesday, 14 October 2014

උඩවලව වන චාරිකාව -2007 (පළමු කොටස)

විශ්ව විද්‍යාලයේ සිසු සංගමයේ රාජකාරි ලිපි ලිවීම එහි ලේකම් වු මාගේ එක් රාජකාරියක් විය. පරිඝණකය යනු  ඉතාමත් දුර්ලභ උපකරණයක් වූ අවධියක එයින් එකක හිමිකරුවකු වූ සහ සිංහල ටයිපින් දන්නා කළුවාගේ උදව් ලබා ගැනීමට මා හට සිදු විය. එහිදී ලිවිය යුතු දෑ මා විසින් කලුවාට පවසන අතරවාරයේ ඌ විසින් එය ටයිපින් කරනු ලැබීය. මෙහිදී අප භාවිතා කලේ DL වර්ගයේ ෆොන්ට් වර්ගයයි. මේ අයුරින් උදව් ලබා දීම සහ ලබා ගැනීම යන දෙකම උපරිමයට පත්වූ දිනක කළුවා තරයේ කියා සිටියේ “තෝ සිංහල ටයිපින් ඉගෙන ගනින්, මට වධ දෙන්නේ නැතුව” කියාය. කළුවාගේ සුදු පාට කී බෝඩය මත පැන්සලෙන් සිංහල අකුරු ලියාගෙන සිංහල ටයිපින් ඉගෙන ගත් මා ඉන් පසුව සිංහල ටයිපින් සුරුවෙකු බවට පත්විය. අනතුරුව අප දෙදෙනාගේම කටයුතු පහසු විය. ටික දිනකට පසු නානා විසින් හල් සහ බැඳී අකුරු නියමිත පරිදි එක් කරදෙන KEYMAN නම් මෘදුකාංගය ලබා දීමෙන් පසු මාගේ වැඩකටයුතු තවත් පහසු විය.

පසු කලෙකදී අප ගිය චාරිකා සම්බන්ධ සටහන් සිංහලෙන් ලියා තැබීමට මා පෙළඹුනේ ඒවා ඉදිරියේදී අමතක වී යාමට ඉඩ ඇති නිසාත් සටහන් ලිවීමේදී මනසින් ඒ ඒ ස්ථාන කරා ආපහු යාමට හැකියාව ලැබෙන නිසාත්ය. මේ කාලය වන විට සිංහල යුනිකෝඩ් සහ බ්ලොග් යන වචන පවා මා අසා නොතිබුණි.
2011 වසරේදී යෙදුනු උඩවලව චාරිකාවේ දළ සැලසුම මා අතින් ලියවෙන්නේද, මිතුරු මිතුරියන් අතරේ බෙදා හැරෙන්නේද ඒ අනුවය. පහතින් දැක්වෙන්නේ ඒ සැළසුමයි. පසුව යුනිකෝඩ් වලට හරවා ගත්තේ බ්ලොග් මිතුරු තිසර විසින් කලින් පෝස්ටුවකදී කියා දුන් ක්‍රමවේදය අනුව යාමෙනි.මා DL ෆොන්ට් මගින් ලියා තැබූ පැරණි සටහන් බ්ලොගයේ දැමීම දැන් අපහසුවක් නොවේ.
...................................................................................................................................................
උඩවළව ජාතික වනෝද්‍යාන සංචාරය

පිටත්වීම -
2007-12-21 වැනි දින පාන්දර 2:45 ට සහභාගී වන සියළුම සාමාජිකයින් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණිය යුතුය. (පසුව මෙය ලංගම බස්රථ නැවතුම්පළ ලෙස වෙනස් විය.)

ආහාර -
2007-12-21 වැනි දින උදේ ආහාරය හැර අන් සියළුම ආහාර වේල් සැපයීමට බලාපොරොත්තු වේ. 21 දින උදේ ආහාරය ලබා ගැනීමේ ආකාරය උඩවළව පැමිණෙන වේලාව අනුව තීරණය වේ.

ප්‍රවාහන මාධ්‍යයන්
කොළඹ සිට උඩවළව දක්වා යෑම සහ ඒම සාමාන්‍යය මගී බස් රථ වලින්ද වනෝද්‍යානය තුළ සංචාරය සඳහා සෆාරි ජීප් රථ යොදා ගැනීමට අදහස් කර ඇත

නවාතැන් පහසුකම්
උඩවළව සෆාරි බංගලාව - මෙහි ඇඳන් 10ක් සහිත වෙන් වෙන් වූ කාමර 3ක් ඇත මීට අමතරව ඉඩකඩ සහිත ආලින්දකින්ද සමන්විත වේ (නවාතැන්පළේ ඡායාරූප සහිතවිස්තරයක් ද වෙනම ඇතුළත් කර ඇත) - මෙය e-mail මාර්ගයෙන් මිතුරන් වෙත යැවූ අදාළ ස්ථානයේ විස්තර ඇතුළත් Power-point ෆයිලයකි.

ගමන් විස්තරය
2007-12-21
  • උදෑසන ආහාරය ලබා ගැනීම
  • අවශ්‍ය සියළුම ආහාර ද්‍රව්‍යය මිළ දී ගැනීම (තිබොල්කැටිය / උඩවළව හන්දියෙන්)
  • දහවල් කෑම ගැනීමෙන් අනතුරුව බංගලාව අවට ඇති ප්‍රදේශයේ සාමාන්‍යය සංචාරයක යෙදීම
  • සවස් වරුව වැව් බැම්ම ඇති පෙදෙසේ සංචාරයක්
  • රාත්‍රී ආහාරයෙන් අනතුරුව වැඩි කැමැත්ත අනුව සිදු කළ හැකි රාත්‍රී වැඩසටහනක්


2007-12-22
  • උදෑසන 6:00 වන විට වනෝද්‍යානය තුළට ඇතුල් වීම (උදෑසනින් පිටත් වීම අනිවාර්යය වේ)
  • වළවේ ගඟ අසළ ඇති විවේක ස්ථානයේ දී ආහාර ලබා ගැනීම (සංචාරක බංගලාවේ සේවක මහතකු විසින් උද්‍යාන ගේට්ටුව අසළට ආහාර රැගෙන එනු ඇත)
  • සුළු විවේකයකින් අනතුරුව නැවතත් ගමන් ඇරඹේ සවස 6:30ට පමණ නවාතැන වෙත පැමිණීම
  • සුපුරුදු පරිදි රාත්‍රී ක්‍රියාකාරකම්

2007-12-23
  • උදෑසනින්ම උද්‍යානය බලා පිටත් වීම
  • සංචාරයෙන් අනතුරුව දහවල් 1:00 පමණ වන විට නවාතැන්පළ බලා ඒම
  • දිවා ආහාරය
  • සවස 3:00 නැවත කොළඹ බලා පිටත් වීම


මේ සම්බන්ධ චාරිකා සටහනක් ලියන්න 2011-05-28 වැනි දින ආරම්භ කළත්, ඒක පේලි කීපයකට පමණක් සීමා උනා. ඒ වගේම වසර හතරකට විතර කළින් ගිය චාරිකාවේ මතකය ඒ වෙද්දී තරමක් දුරට ගිලිහිලා ගිහින් වගේ ගතියකුත් මට තේරුනා.
මෑතකදී ආපහු බ්ලොග් එක ලියන්න ඕනේ කියල කල්පනා කලාට පස්සේ තමයි පහල තියෙන සටහන අළුතින්ම  ලියවුනේ. 2011 දී අමතක වෙලා කියල මම හිතාගෙන හිටපු ගොඩක් දේවල් 2014 සැප්තැම්බර් වෙද්දී මතක් කරගන්න පුළුවන් වීම ලොකු දෙයක්.
.......................................................................................................................

ඒ 2007 දෙසරම්බර් මස 20 වැනි බ්‍රහස්පතින්දාය. කලින් සුදානම් කොටගත් උඩවලව චාරිකාව පිටත් වීමට නියමිතව ඇත්තේ එළඹෙන පාන්දරය. එනම් 21 වෙනි සිකුරාදා පාන්දර 2:45 ට කොළඹ ලංගම බස් රථ නැවතුම්පළ බලා පැමිණීමටත්, ඉන් පසුව ඇති 03:10 ට පිටත් වන ලංගම බසයේ නැගී උඩවලව බලා පිටත් වීම අපගේ අරමුණ විය. චාරිකාව යාමට සුදානම් වූ සම්පුර්ණ පිරිස 14 දෙනෙකි. මම, වන්නි, පඟරා, ලැම්බ, දොදොල් කරත්තේ, වස්සා, සඳ, පෙරා, සූ, ගෝනා මල්ලි, ගලා, සජ් යන දෙළොස් දෙනා පිටකොටුවෙනුත් කුරූ සහ අලයා යන දෙදෙනා වෙනත් ප්‍රදේශ වලින් කෙලින්ම උඩවලව බලා පැමිණීමටත් නියමිත විය.

බ්‍රහස්පතින්දා සවස හතරට පමණ රාජකාරි හමාර කොට කොල්ලුපිටිය හන්දිය දෙසට පා නැගුවේ බම්බලපිටියේ පිහිටි නවාතැන්පල බලා යාමටය. කලක් පටන් සිතේ තිබු ආශාවක් වූ ට්‍රයිපොඩයක් මිළදී ගැනීමේ අදහස ඒ මොහොතේ ක්ෂණිකවම මසිතේ ඇති විය. කොල්ලුපිටිය හන්දියේ ඇති ප්‍රසිද්ධ කැමරා භාණ්ඩ අලෙවි සැලකට ගොඩවූ මා එහි තිබු  ට්‍රයිපොඩ කිහිපයක් පරීක්ෂා කළෙමි. එහි තිබු බරින් අඩු විශේෂ වර්ගයක ත්‍රිපාදිකය මා සිත් ගත්තේය. සැළකිය යුතු අධික මිළක් සටහන් වූ එය ණයපත හරහා මිලදීගෙන පා ගමනින්ම බම්බලපිටිය දක්වා පා ගමන ඇරඹුවෙමි.

රාජකාරී අහවර කොට මා සිටින නවාතැන්පොළ බලා පැමිණෙන බව වන්නී සහ ලැම්බා කල්තියාම මා දැනුවත් කොට තිබුනි. රාත්‍රියේ ඇරඹෙන චාරිකාවක් වූ බැවින් එසේ පැමිණීම ඔවුනට පහසුවක් විය. ගමනට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, කැමරාව, ලෙන්ස් සහ අනිකුත් කළමනා සුදානම් කර හමාර වනවිට රාත්‍රී හත පමණ විය. ඒ වන විට තරමක බඩගින්නක් දැනුණු බැවින් නවාතැනේ අරක්කැමි විසින් සකසා තිබූ රාත්‍රී ආහාරයෙන් කුඩා බත්පතක් ඛෙදාගෙන අනුභව කලේ මිතුරන්ගේ පැමිණීම සිදු වන්නේ කීයටදැයි නොසිතිය හැකි බැවිනි. ලැම්බා අප නවාතැනට නොපැමිණෙන බවත් කෙලින්ම කොළඹ බලා පාන්දරින් එන බවත් පවසා දුරකථන ඇමතුමක් ලබාදුන්නේ මේ අතරතුරේදීය. රාත්‍රී නවයට වැඩ නිමවී නවාතැනට පැමිණුන ෆෝමන් මහත්වරුන් පැමිණියේ VAT 69 බෝතලයක් සහ Black Lable බෝතලයක්ද රැගෙනය. වැඩබිම් කළමනාකාරතුමා ඔහුට ලැබුණු ත්‍යාගයක් ඔවුනට ලබා දී තිබුණි. සාදයට අවැසි අනිකුත් අඩුවැඩියද එමින් ගමන් ඔවුන් රැගෙනවිත් තිබුණි. සාදය සඳහා මා හටද ඇරයුම් ලැබුන අතර මිතුරන් එනතෙක් බලා සිටින බැවින් එම ආරාධනාව ප්‍රතික්ෂේප කලෙමි. මද වෙලාවකින් වන්නීගේ සැපත් විය. වන්නීගේ පැමිණීමත් සමග නැවතත් අප දෙදෙනාටම සාදයට සහභාගී වන ලෙස ලැබුණු ආරාධනාව ෆෝමන් මහතුන්ගෙනි. ප්‍රතික්ෂේප කල නොහැකි වු එම ආරාධනාවත් සමග අප දෙදෙනාද ඔවුන් හා සාදයට එක්වීමු.
downloaded from google
from google

බිඳෙන් බිඳ මධුවිතෙන් සප්පායම් වූ පිරිස සතුටු සයුරේ ගිල්වමින් අපට වඩා බොහෝ වැඩිමහළු ෆෝමන් මහතුන් ඉතා මනහර පැරණි ගීත කීපයක් ගායනා කළහ.

රාජ පණ්ඩිත නාග විමානේ.....// ලෝ හිමි විදුර පඬිගේ ඥානේ....//
(මෙම ගීය තිස්ස අයියාගේ බ්ලොගයට පින්සිදු වන්නට බාගත කොට නැවත නැවතත් රසවිඳීමට හැකිවිය.)

අප පිරිස සෑම විටම පාහේ අනුමත කරන සහ රස විඳින පැරණි සංගීතය මෙම මොහොතේ ද එයටම වෙන් වූ අතීත රසය නොමදව ප්‍රදර්ශනය කරමින් උන්නාය. සාදය හමාර වනවිට මධ්‍යම රාත්‍රියද එළඹ තිබුනේය. ඒ වනවිට අප දෙදෙනාද හොඳ පදමට මත්වී සිටියෙමු. සාදය අවසන් කොට සුළු අහරක් ගෙන නින්දට යාම පිටත් විය.
කළින් තීරණය කරගත් වේලාවටඑනම් පාන්දර 2:45 වන විට කොළඹ කොටුවට යාම ඊලඟ අභියෝගය විය. පාන්දර 2:15 ට පමණ ජංගම දුරතකථනයේ එළාමය තබාගෙන කුකුල් නින්දක් සඳහා සුදානම් විය. නින්ද ආරම්භ වන විටම වාගේ පඟරාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බවත් මා ඔහුට බැණ වැදුණ බවත් යාන්තමට වාගේ මතකයේ රැඳුනි.  ඒ වන විට වෙලාව පාන්දර 12:45 පමණ වන්නට ඇත. පඟරාගලාගෝනා මල්ලීවස්සා ඇතුළු පිරිස ගල්කිස්සේ පිහිටි ඔවුන්ගේ බෝඩිමේ සිට අපට ඇහැරවීමට සිදුකල කැඳවීමකි එය. පඟරා විසින් සිදු කළ බාධා කිරීමෙන් අනතුරුව හොඳීන් නින්ද ගිය මා හට නැවත ඇහැරුනේ පෙරා ලබාදුන් ඊළඟ දුරකථන අමතුමෙනි.

“කොහෙද බන් ඉන්නේ, අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නේ” කියූ පෙරාට, සිහි එළවා ගත්පසු මා දුන් පිළිතුර වුයේ “බස් එකක් එනකල් හෝල්ට් එකේ ඉන්නේ” කියාය. ඒ වනවිට වෙලාව පාන්දර 02:30 ට පමණ විය. නිවැරදි වෙළාව දැනගත් විට සිදු වූ දෙය පැවසිය යුතු නොවේ. සිදු කිරීමට අකමැති දෙයක් මා අතින් සිදු වී ඇත. මා තැබූ එළාමය මා විසින්ම එය වද්දීදී ක්‍රියා විරහිත කරන්නට ඇත. වන්නීට ඇහැරවා සිදුවී ඇති දෙය පැහැදිළි කර ළඟ තිබු නානකාමරයට ඔහුට යන ලෙස පවසා දුරින් තිබු නානකාමරයට වහවහා දිව ගියෙමි. සියළු කටයුතු හමාර කොට මා කාමරයට එනවිටත් වන්නි ඇඳෙන් නැගිට නොමැත. ඒ ඔහුගේ හැටිය. ඔහුව ඇහැරවනවාට වඩා කුම්බකර්ණ යෝධයාව ඇහැරවීම පහසු කාරියක් වනු ඇත. වතුර පහරක් ගසා ආදරයෙන් ආමන්ත්‍රණය කර මොළය සෙළවෙන තරමට සෙලවූ පසු වන්නී නැගිට්ටේය. කෙසේ හෝ විනාඩි කිහිපයකින් මුහුණ කට සෝදා ඇඳුම් ඇඳ ලෑස්ති වීමට ඔහුට හැකි විය.

ඇඳුම් කැඩුම් රැගත් බෑගයක්, කැමරා බෑගය සහ ඊට අමතරව ත්‍රිපාදිකය දැමූ බෑගයද ඇතුළුව බෑග් තුනකින් සමන්විත වූ භාණ්ඩ තොගයක් මා සතු විය. වන්නි සතුවද බෑග දෙකක් විය. බෝඩිමේ සිට ගාළු පාරට තිබුනේ බොහෝ සුළු දුරකි. ඒ දුර  විනාඩි දෙකකින් පමණ නිම කිරීමට අපට හැකි විය. කොළඹට ළඟා විය හැකි බස් රථයක් එවෙලේම පැමිණීම මහත් සහනයකි. 2:45 ට පැමිණිම ට කතිකා කරගත් නමුත් අප එහි ළඟා වන විට 3:05 පමණ වී තිබිණි. එහි පැමිණි අවසන් සාමාජිකයින් දෙදෙනා අපම විය. නමුත් ලැම්බට් පැමිණ තිබුනේද අපට විනාඩි කිහිපයකට කළින් වූ නිසාදෝ අප දෙදෙනාට දැඩි විරෝධයක් එල්ල නොවීය.

එයට තවත් හේතුවක් විය හැක්කේ 02:45 වන විටත් අප යාමට සිතා සිටි ලංගම බස් රථයේ අප සියලු දෙනාටම වාඩි වී යාමට තරමේ ඉඩක් ඉතිරි වී නොතිබීම වන්නටද පුළුවන. ලංගම බසයට පසුව පෞද්ගලික බස් රථයක් පිටත් වන බව එහි සිටි කවුරුන් හෝ පැවසීය.  මතකයේ හැටියට එය පිටත් වීමට නියමිතව තිබුනේ ගුණසිංහ පුරයේ බස් නැවතුම් පලෙනි. පුද්ගලික බස් රථයේ සියළු දෙනාටම අසුන් ගැනීමට තරමේ ඉඩ කඩ තිබීම වාසනාවක් විය.
අප දෙදෙනාගේ ප්‍රමාදය හේතු කොටගෙන ප්‍රධාන ගමන් කාලසටහන කිසිදු අයුරකින් වෙනස් නොවීම අප දෙදෙනාගේ (විශේෂයෙන්ම චාරිකා සංවිධායක වූ මාගේ) මහත් සැනසුමට හේතුවිය. වෙනදා අහේතුකව පවා යම් යම් දේ උදෙසා බොරුවට හෝ බැන වාද කරගන්නා මිතුරු පිරිස මෙවේලේ නිශ්ෂබ්ධව පසුවූයේ නිදිමත නිසා වන්නට ඇත. බස් රථය පාන්දර 3:20ට පමණ ගමන් ඇරඹුවේය. බසයේ අසුන් අප සියළු දෙනාගේම නිදි යහන් බවට පත් වීමට වැඩි වේලාවක් ගත නොවීය.

උදෑසන 7:30 පමණ වන විට “වළව” හන්දිය වෙත ළඟා වීමට අපට හැකි විය. අප එහි යන විට කුරූ සහ අලයා පැමිණ අප එන තෙක් බලා සිටියහ. ඒ වනවිට අවශ්‍ය බඩු භාණ්ඩ මිළදී ගැනීමට හැකි සිල්ලර බඩු කඩයක් විවෘත කර තිබුනේ නැත. එතැන් සිට සෆාරි බංගලාවට යා හැකි බස් රථයක්ද අපි ගිය විගස පැමිණියේද නැත. මේ හේතු දෙක වෙනුවෙන් එකිනෙකාගේ නෝක්කාඩු අසන්නට සිදුවුයේ මා හටය. මිතුරන්ගේ නිදිමත පහව ගිය පසු ඔවුන් නියමාකාරව ක්‍රියාත්මක වෙමින් පවතින බවට හොඳ නිදසුනකි ඒ.
කෙසේ හෝ විනාඩි පහළොවකින් පමණ බස් රථයක් පැමිණියේය. බඩු මිළදී ගැනීම පසෙක ළා නවාතැන වෙත යාම සුදුසු බව කාගේත් අදහස විය. බසයට ගොඩ වෙද්දී කවුරුන් හෝ “වස්සයි, පඟරයි නෑ” කියා කෑ ගැසුවේය. උන් දෙදෙනා ශරීර කෘත්‍යයක් ඉටු කර ගැනීමට ඉදිරිය බලා ගමන් කරනු දුටු බව කාගේ හෝ පිළිතුර විය. ඒ පිළිතුරෙන් පසු බස් රථය ඉතා සෙමෙන් ඉදිරිය බලා ගමන් ඇරඹුවේය. අවශ්‍යතාවය සපුරාගත් ඔවුන් දෙදෙනා ඉදිරියෙන් වූ පඳුරු මන්ඩියක් තුළින් එළියට පැමිණ දිවවිත් ගමන් අරඹා තිබූ බස් රථයට ගොඩ විය.

අප  ගමන් කල කිලොමීටර හතකට මදක් අඩු ගමනාන්තය සඳහා කොන්දොස්තර මහතා අයකළ ගාස්තුව වුයේ රුපියල් 25 කි. කොළඹ සිට උඩවලව හන්දිය දක්වා තිබු කිලෝමීටර 150 ක දුර ඒමට ටිකට්පත් ගාස්තුව වුයේ රුපියල් 188 කි. එසේ සැළකීමේදී අපෙන් අයකර ඇත්තේ අධික මිළකි. කෙසේ වෙතත් එය එම මාර්ගයේ දිවෙන බස් රථ මගීන්ගෙන් අයකරන සාමාන්‍ය මිළ බව එහි ගමන්ගත් මගීන් සහතික කළහ.

බසය සාම මාවත දක්වා පැමිණි විට අප සියල්ලෝම ඉන් බැස ගත්තෙමු. නවාතැන්පල වෙත ළඟා වීමට තවත් මීටර දෙසීයක පමණ දුරක් ඉදිරියට යා යුතුය. ස්ථානයේ යම්කිසි සිත් ගන්නා බවක් ඇති බවට මුළදී නම් මා හට නොපෙනුනි. නමුත් එදින සවස් භාගයේදී එම භූමියේ ඇති සිත් ගන්නා බව කැපී පෙනුනි. පසෙකින් ගලා යන වළවේ ගංගාවේ නග්න වූ ගල් පරුවත සහ දිය කඩිති අතර එහෙ මෙහෙ ඇවිදීමෙන් පසුව එය මොනවට පසක් විය. අප එහි පැමිණි වහා තේ පැන් සංග්‍රහයක් සුදානම් කිරීමට එහි බාරකරු සහ අරක්කැමි ලෙස කටයුතු සිදුකල කුමාර අයියා උත්සුක විය. තේ සෑදෙන අතරවාරයේ අප කිහිප දෙනෙකු විසින් අසළ තිබූ කුඩා කඩයට ගොස් එහි තිබු කෑමට ගත හැකි සියළුම දෑ මිළදී ගත්හ. එහෙත් අප සතුව තිබූ බඩු ලයිස්තුවෙන් අඩක්වත් සපුරාලීමට එම කඩ හිමියා අපොහොසත් විය. නමුත් එදින වේල පිරිමසා ගැනීමට අවශ්‍ය කරන දෑ මිළ දී ගැනීමට අප සමත් විය. තවද හිතේ හැටියට ලැයිස්තුව වෙනස් කිරීමද සිදු විය. අවසානයට කිව හැක්කේ ලයිස්තුවේ තිබු බොහෝ දෑ කැපී කෙටී ඉවත්ව ගොස් වෙනත් දෑ එක්වූ බවය.

මිළ දී ගත් භාණ්ඩ වලින් කොටසක් පෙරා, වස්සා සහ පඟරා අත නවාතැන් පළට පිටත් කර යැව්වේ ඒ වන විටත් අධික බඩගින්නේ සිටි අපගේ උදේ ආහාරය ඉක්මනින් පිළියෙල කර ගැනීම උදෙසාය. ඉතිරි බඩු ටිකත් රැගෙන අප එහි යනවිට තේ සුදානම් කර තිබු අතර බතක් සහ සම්බලයක් පිළියෙළ කිරීමේ කටයුත්තද ආරම්භ කර තිබුණි.
සුදු කැකුළු හාලේ බතකින් සහ පොල් සම්බලයකින් සමන්විත බත්පත ආහාර රුචිය තවත් වැඩි කළේය. නමුත් එම ආශාව පැවතියේ පළමු බත්කට අනුභව කරන තෙක් පමණි. පළමු බත් අහුරේ සිටම සියළු දෙනාටම පාහේ වැලි කැට හැපෙන්නට විය. වැලි නොහැපී එක බත් අහුරක් හෝ ගිල දැමීමට නොහැකි විය. බතේ වූ රසය සහ කෑමේ ආශාව මුළුමනින්ම යටපත් වූ සියල්ලෝම පාහේ බෙදාගත් පතින් භාගයක්වත් නොකා ඉවත දැමිය. එසේම ඉතුරු වී ඇති සහල් ප්‍රමාණයද විසි කරන්නට තීරණය කළෙමු. බතක් කන විට වැලිකැට හැපීම හෝ බත බාගෙට ඉදී අමු හාල් ඇට හැපීම තරම් මා අකමැති දෙයක් තවත් නැත..

ආහාරයෙන් අනතුරුව කැමරා ආම්පන්න වලින් සන්නද්ධව අවට සිරි නැරඹීමට පිටත් වීමු. ගං ඉවුරේ දී නොයෙකුත් වර්ග වල බත්කූරන් සහ සමනළුන් දැක ගත් අප උන් ඡායාරූප ගත කර ගතිමු. ටික වෙලාවකින් අව් රශ්මිය අධික විය. වෙහෙසෙකර ගතියක්ද දැනුනි. වනයට සහ අපගේ ගති ක්‍රමයට නවකයෙක් වූ පඟරා ටික වේලාවකින් අනතුරුව එයට අනුගත වෙමින් කුරුළු සහ සමනළ වර්ග කීපයකම නම් පවා මතක තබා ගැනීමට සමත් විය. අප සිතුවේ මෙම චාරිකාව පඟරාගේ අවසාන වන චාරිකාව වනු ඇත කියාය. නැත, ඔහු තව දුරටත් අප සමඟ රැඳී සිටීමට කැමැත්තක් දක්වයි. ඔහුටද යම් කිසි අහේතුවක් නිසා කැලය එපා වී නොමැත .






ෆොරස්ට් වැග්ටේල් නම් අලංකාර කුඩා පක්ෂියා ප්‍රථම වරට දැක ගැනීමට එදින සවස අප සමත් වූ බවද සිහි කළ යුතුය. අවාසනාවක මහත, කැමරාව ඌ ඉදිරියට මානත්ම ඌ දුවගොස් පඳුරු අතර සැඟවී ගත්තේය. පසුව ඉන්ඔබ්බට ඉගිළ යන අයුරුද දැක ගැනීමට හැකිවිය.
අවට පරිසරයේ රස විඳිමින් ඇවිදිමින් සිටි අප සිටි තැනට අමු අඹ මළු කිහිපයක් රැගත් කාන්තාවක් කුඩා දැරියක්ද සමග පැමිණියාය. ඇයගෙන් අඹ මළු දෙකක් මිළදී ගත්තේ සු විසිනි. ඉන් කිහිපයක් ගං ඉවුරේ සිටම ගල් වල ගසා කෑමට ගතිමු.
හදිසියේ කඩා වැටුනු වර්ෂාවකින් අපහට බාධා එල්ල වුයේ මේ අතරතුරේදීය. යාන්තමින් කැමරා ආම්පන්න ආවරණය කරගෙන නවාතැන බලා දිව ඒමට අපි සමත් වීමු.

වර්ෂාවෙන් අනතුරුව ඉතිරි බඩු භාණ්ඩ මිළදී ගැනීම සඳහා R.E.T. හන්දිය නම් ස්ථානයට යා යුතු විය. R.E.T. හන්දිය යනු කොළඹ සිට පැමිණීමේදී උඩවලව ජලාශයේ බැම්ම හමුවීමට පෙර හමුවන කඩමණ්ඩියයි. එහිදී අවශ්‍යය බොහෝ ද්‍රව්‍ය මිළදී ගැනීමට හැකියාව ලැබුණි. අනතුරුව මාළු වෙළඳ සළකින් වැව් මාළු මිලදීගෙන එහි නවතා තිබූ කුළී ජීප් රථයක් හෙට දිනයේ ගමන සඳහා කතිකා කර ගතිමු. එය වඩාත් වාසිදායක බව කිව යුතු නැත. නවාතැන් පළේ සහායෙන් ලබා ගන්නා ජීප් රථ සඳහා කොමිස් මුදලක් නවාතැන් හිමියා විසින් ලබා ගන්නා බැවින් එවැනි ගණදෙනුවක් සංචාරකයාගේ මුදල් පසුම්බියට සුවදායක වන්නේ නැත.
අප ගෙනා භාණ්ඩ තොගය කුමාර අයියාගේ බාරයට පත්කලේ දිවා ආහාරය සඳහා යමක් සුදානම් කිරීමටය. දිවා ආහාරය පිළියෙළ කරන තුරු ඉස්තෝප්පුවේ තබා ඇති පුටු කිහිපයේ සහ කෙටි බැංකුවේ වාඩි වී වල්පල් කතා කරමින් කාලය ගත කළෙමු. දිවා අහාරය ගත්පසු ටික වෙලාවක් විවේකයෙන් ගත කලේ සවස් වරුවේ හෝ වැස්ස තුරල් වේයැයි සිතාය.

සවස තුන වන විටද සිහින් පොද වැස්සේ අඩුවක් දක්නට නොලැබුණි. පොද වැස්සද නොතකා අප පිරිස වැව් බැම්ම ඇති පෙදෙසට කුඩා කණ්ඩායම් වශයෙන් යම් යම් අරමුණු උදෙසා ගමන් අරඹා තිබුණි. මම, වස්සා, පෙරා මාළුන් බෑමට හැකිදැයි යන්න විපරම් කරමින් කුඩා ඇළ මාර්ගයක් අසළ සක්මන් කරමින් උන්නේය. මාගේ පසුම්බියක ඒ දින වල තිබූ බිළී කට්ට සහ තංගූස් නූල් පන්දුව කුඩා කෝටුවක ගැට ගසා කල උත්සාහය පුස්සක් විය. එම කාරිය එපා වී අපි ආපසු පැමිණෙමින් සිටියදී මාගේ මිතුරකු වන ප්‍රසන්නගෙන් මා හට ඇමතුමක් ලැබුනි. ඔහු අප සොයා පැමිණෙමින් සිටින බවද අප සිටින ඉසව්වට එන මාර්ගයද මාගෙන් විමසනු ලැබීය. ඒ වනවිට අප වැස්සේ තෙමි තෙතබරියන් වී උන්නෙමු. මිතුරා පැමිණෙන බැවින් නවාතැන බලා ආපසු ගමන් ඇරඹුවෙමු. පිරිසෙන් කොටසක් මේ වන විට නවාතැනට පැමිණ නා පිරිසිදු වී උන්හ. කුමාර අයියා සාදා දුන් තේ කෝප්පයක රස බැලීමට ඒ මොහොතේ අපට අවස්ථාව උදා විය.

චාරිකාව සැලසුම් කිරීමේදී යම්යම් දෑ අසා දැන ගැනීම සඳහා මා ප්‍රසන්න හා කීප විටක්ම දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වුයේ ඔහු උඩවලව සම්බන්ධ විස්තර දන්නා නිසාය. ඔහුගේ නිවස පිහිටියේ ඇඹිලිපිටියේය. මේ වන විට ඔහු රාජකාරි කටයුතු සිදු කලේ මිරිජ්ජවිලය. අප එන දිනය හිතේ තබාගත් ඔහු කිලෝමීටර 60කට අධික දුරක් ගෙවා වැස්සේ තෙමෙමින් මිරිජ්ජවිල සිට අප සිටින තැන සොයා පැමිණ ඇත. ඔහු පැමිණෙන විට විශාල ප්‍රමාණයේ වැව් මාළු තුන් දෙනෙකු රැගෙන විත් තිබුණි. ඒ වන විටත් අප මිළදී ගත් වැව් මාළු බැදෙමින් තිබුණා විය යුතුය. මාළු කූරීන් තිදෙනා මා වෙත බාර දී ඔහු ඉක්මනයට යා යුතු බව කීවේ අප සමග සිටි පිරිස ඔහු බලාපොරොත්තු වූවාට වඩා වෙනස් වූ නිසා විය හැකිය. පසු දිනෙක ඔහු මා සමග කීවේ “මම හිතුවේ උඹල කොල්ලෝ සෙට් එක බීල ආතල් එකක් දාල යන්න ඇවිල්ලා කියලා, ඒ හින්ද තමයි මම මාළුත් අරගෙන ආවේ” කියාය. වරද මා අතේය. ඒ බවක් ඔහුට විස්තර ඇතුව කීමට අමතක වීම මාගේ වරදකි. නමුත් ඔහු අප හමුවීමට එහි එන බවක් මා හට කළින් කීවේද නැත.
වැස්සේ තෙමීගෙනම පැමිණි ඔහු වැස්සේ තෙමීගෙනම ආපසු ගියේ මිතුරන් යනු මෙවැන්නෝය යන්න මොනවට පසක් කරමිණි. රැකියාවට පැමිණි පසු දැන හඳුනා ගත් මිතුරකු වුවද සෑම විටම ඔහු වැඩිමහල් සහෝදරයකු මෙන් මා ඇසුරු කළ නියම මහත්මයෙකු ලෙස කටයුතු කළ අයෙකි.


අපට වඩා වැව් මාළු ගැන හොඳින් දන්නා ඔහු පුංචි උපදෙසක් දීමටද අමතක නොකළේය. එනම් මාළුන් සුද්ධ කර මිස ශීතකරනය තුළට නොදමන ලෙසිනි. නවාතැන් පළේ සහායක වශයෙන් කටයුතු කළ කුමාර අයියා මාළුන් සුද්ධ කිරීමට තරමක් අදිමදි කලේ කලයුතු වෙනත් වැඩ ඇතිය කියාය. ඔහුගෙන් ඉල්ලාගත් මොට්ට පිහියක මුවහත වැඩිදියුණ කරගෙන එම කාර්යයට ඉතා කැමැත්තෙන් අවතීර්ණ වුයේ ගලා සහ මාය. ඉතා ඉක්මනින් එහි ඇති අපහසුව තේරුම් ගැනීමට හැකි විය. තාත්තා රැගෙන එන මුහුදු මාළු කපනා අයුරු කුඩා කළ පටන්ම නැරඹීමේ පුරුද්දක් මා හට විය. ඉන් ලද වාසි කිහිපයකි. පළමුවැන්න මාළු කැපීමට සහ හඳුනා ගැනීමට හැකියාව ලැබීමත්ය.

කිසි ලෙසකින් අතින් අල්ලා ගැනීමට නොහැකි ලෙසින් ලිස්සන වැව් මාළුන් පුංචි පිහියකින් කෙසේ සුද්ධ කළ හැකිද යන්න වෙනමම කාරණයක් බව එදින මා උගත් පාඩමයි. දන්නා ලෙසින් ශිල්ප දැක්වීමෙන් අනතුරුව එක මාළුවකු තලා පෙළා සුද්ධ කර ගැනීමටත් දෙවැන්නාගේ කොරපොතු ඉවත් කර දැමීමටත් පමණක් හැකි විය. වරළ් කිහිපයක් කපා දැමීම ගලා විසින් සිදු කර දුන්නේය, නමුත් එක මාළුවකුගේ පිටුපස වරළ කපා දැමීම නිසා ඌ සුද්ධ කිරීමේ කටයුත්ත ඉතා අපහසු කාරියක් බවට පෙරළුනි. එහිදී අනුකම්පා සිතීදෝ කුමාර අයියා පැමිණ අපහසුවෙන් හෝ මාළු සුද්ධ කිරීමේ සහ කැපීමේ කටයුත්ත බාර ගනිමින් අප නිදහස් කළේය.
අනතුරුව එළඹියේ නා පිරිසිදු වීමේ අවස්ථාවයි. නා ගැනීමෙන් අනතුරුවත් අත් දෙකින් හැමූ පිළී ගන්ධයනම් ඉවත් නොවීය.

මේ වන විට අනිකුත් පිරිස එහි තිබූ ටීවී එකක් සමග ගනුදෙනුවක් ආරම්භ කොට තිබුනි. මෙය මා  ඉතාම අකමැති කාර්යයන්ගෙන් එකකි. විනෝද සවාරියක් හෝ එවැනි යම් චාරිකාවක අරමුණ සහ විනෝදය සහමුලින්ම විනාශ කර දැමීමට මෙම කරුම පෙට්ටියට හැකියාව ඇත. ටීවී එකක් යනු සෆාරි බන්ගලාවකට කොතෙක් ගැලපේදැයි යන්න ලංකාවේ මිනිසුන් තේරුම් ගන්නේ කවදාද. අප සමග සිටි ගැහැණු ළමුන් සහ සමහර පිරිමි දරුවන් කිහිප දෙනෙකුන්ද ඉතා අභිරුචියකින් යුතුව සිරසේ ගිය කුප්ප කුණු වැඩසටහනක් නැරඹීමට හරිබරි ගැසෙමින් උන්නෝය.

රාත්‍රී ආහාරය ලබා ගැනීමද මේ කටයුතු අතරේදීම සිදු විය. කෑමෙන් අනතුරුවද චාරිකාවකදී පමණක් නොව නිවසේ දී පවා දැකීමට අප්‍රිය කරන සිරසේ ගිය තකතීරු ඉන්දියන් කතාවක් නරඹමින් සිටින මිතුරු පිරිස දැක ගැනීමට හැකි විය. අප වෙනදා යෙදෙන ක්‍රියාකාරකමක හෝ කතා බහක් වෙත ඔවුන් යොමු කරවා ගැනීමට දැඩි උත්සාහයක් දරන්නට සිදුවිය. පසුව සිදු වූ කතාබහ සහ වෙනත් වැඩසටහන් වෙනදා මෙන් ප්‍රාණවත් බවක් නොපෙන්වූ බවක් මට හැඟුනි.
කෙසේ හෝ එදින රාත්‍රි 10 පමණ වන විට නින්දට යාමේ සුදානමක් ඇති වූයේ පාන්දරින් නැගිට උඩවලව බලා යා යුතු නිසාය.

පළමු දින අවසානය, ඉතිරිය හැකි ඉක්මණින්....


16 comments:

  1. මේක කියවලා ඉවරවෙනකොට මාත් ට්‍රිප් එක ගිහින් වගේ දැණුනා. ඒ තරමට ඩීටේල්ස් තියෙනවා. මටත් ලොකු පුතේ ඔය කොහේ හරි ගියාම ටීවී එකට සෙට් වෙන හාදයෝ නම් අරහං.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට තුති.
      මටත් ටීවී බලබල ගිය ගමනක තියෙන ආතල් එක කන උන් එක්ක ඌරු ජුවල්.... :)

      Delete
    2. අරූගෙ කතාවම තමයි මටත් කියන්න තියෙන්නෙ. ටීවී එකට අමතරව ෆෝන් එකේ එල්ලිලා මල් කැඩිල්ලත් මල පනින වැඩක්.

      Delete
    3. හික්ස්.... ඒක ඇත්ත බං
      හැබැයි ඒ දවස්වල ෆෝන් කාරයෝ හිටියේ නැහැ, ඉන්කමින් ෆ්‍රී නැති නිසා මලක් උනත් කැඩුවේ බොහොම පරිස්සමින්නේ.... :)
      ඒකට දැන්, පාරේ යන උන්ගෙන් බාගෙට බාගයක් මොකක්හරි එකක් කනේ ගහගෙන යන්නේ

      මට මතකයි එක පාරක් අපි දන්නා ත්‍රී වීල් යාළුව්ක් හිටියා "කෙට්ටු" කියලා
      ඌ ගෙදර සාමය රැකගන්න ටීවී එක පොලවේ ගහලා
      ඊට පස්සේ කේස් මුකුත් නැහැල්ලු.

      මමත් ගෙදරට ටීවී එකක් ගන්නේ නැතුව සෑහෙන කාලයක් හිටියා, පස්සේ පොඩි එකා හම්බ උනාම ඌව බලාගන්න ආපු නැන්දම්මට ටීවී බලන්න ඕනේ කියල හාමිනේ කන්කෙඳිරි ගාපු නිසා එකක් ගන්න සිද්ධ උනා.
      ඒකෙන් පොඩි එකාව බේරගන්න එක තමයි ඊළඟ ගේම.

      Delete
  2. Replies
    1. ගමනේ ඉතුරු ටිකත් බලමුකෝ. ඇත්තටම මරු ගමනක්.

      Delete
  3. උඹත් ලොකු පුතා අපේ පවුලේ උන් වගේම සංචාරයට ඉතා ප්‍රිය බුවෙක් බව මට ප්‍රත්‍යක්ෂ වුනා.

    වැව් මාලු මම නම් එච්චර ප්‍රිය කරන ජාතියක් නෙවෙයි. අනික සමහර කාලවලට වැව් මාලු කන්න එපා කියලා උපදෙස් දෙනවා නේද? හැබැයි ඉතින් බිව්වාම නම් ඕනෙ දෙයක් කන්න පුලුවන්නේ.

    උඹ ටීවී ගැන විශේෂ අප්පිරියාවකින් ඉන්න බව පේනවා.

    අර ට්‍රයිපොඩ් එක ගත්තේ ෆූජි එකෙන්ද? මගේ ට්‍රයිපොඩ් එකෙත් (Nikon) කකුලක් නිකම්ම බහිනවා බං. උන් ඕවා රිපෙයාර් කරනවද?

    ReplyDelete
    Replies
    1. උඹ ටීවී ගැන විශේෂ අප්පිරියාවකින් ඉන්න බව පේනවා.//

      ටීවී ගැන අප්පිරියාවක් නැත්තෙ දැං ඉන්න කාටද ඩූඩ්...? ඔය කියල තියෙනව වගේ මෝඩ කතා ටික කට ඇරං බලං ඉන්න කට්ටිය විතරයි....

      Delete
    2. මචං හෙන්රි අයියේ,
      ඇවිදලා මොනවා හරි අත්දැකීමක් ගන්න එකේ ආතල් එක ගොඩ දෙනෙකුට තේරෙන්නේ නැහැ බං.
      සමහරු ලොකු ගණන් දීලා, ලොකු හෝටලේකින් කාල දවසක් දෙකක් ඉඳල එනවා
      ඒක සල්ලි තියෙන ඕනේ කෙනෙකුට ගන්න පුළුවන් දෙයක්
      ඒත් මේ වගේ කටු කාගෙන බස් එකක ගිහින් වාහනයක් හයර් එකට අරගෙන, පොඩි තැනක ඉඳල ගන්න ෆන් එක ඇඟට දැනෙනවා වැඩියි බං

      ටීවී එක්ක නෙමෙයි මම තරහ, එව්වයේ යන කුප්ප ඉන්දියන් සහ දැන්නම් ලංකාවේ කතා එක්කයි මම තරහ

      ට්‍රයිපොඩ් එක ගත්තේ ෆොටෝ ටෙක්නිකා එකෙන්, උන්නම් රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් නෙමෙයි
      උඹේ කකුල බහින එක වෙන්නේ ඇතුලේ තියෙන ප්ලාස්ටික් විල්ලක් ගෙවිල නිසා වෙන්න ඕනෙ
      ඕකුන් ඒවා හදන එකක් නැහැ,
      ඕක තනියෙන් හදා ගන්න බැරිවෙන එකක් නැහැ, ගලවල බලපන්

      Delete
    3. හිරු,
      මට මතක විදිහට ඔයා පලවෙනි වතාවට මෙහෙ ආවේ. ඔබව සාදරයෙන් පිළිගන්නවා
      ඇත්ත තමයි, ඔයා කිව්වා දේ හරි. දැන් කාලේ ටීවී එපා වෙලා නැත්තේ කට අරගෙන බලං ඉන්න උන් ටිකට විතරයි.
      කරුමේ කියන්නේ අපේ ගෑණු ඔය කුණු කතා වලට වහල් වෙලා නිසා දැන් ඉන්න පොඩි උන්ටත් ඉබේම ඒ කුණු කතා බලන්න සිද්ධ වෙන එකයි
      අපි පොඩි කාලේ අපිට ඔය කරුමේ තිබ්බේ නැති නිසා අපි අහසේ තරු රටා, රැහැයි සද්දේ, අම්ම කියන රස කතා අහගෙන හිටියා.
      දැන් පොඩි උන්ට හවසට යන විරූපී රුප තියෙන, නපුංසක කටහඬවල් තියෙන කාටුන් සහ ඊට පස්සේ අම්මල බලන කුණු කතා.
      පොඩි උන් මේ ගානට හරි හැදෙන එකත් ලොකු දෙයක් බලාගෙන යනකොට

      Delete
    4. අන්න හරි බං. ෆෝටෝ ටෙක්නිකා. මට ඔය නම අමතක වෙලා හිටියේ. ට්‍රයිපොඩ් එක මම එක පාරක් හදාගත්තා. මේ පාර ඒ ප්ලාස්ටික් කෑල්ල හරි ස්ප්‍රිං එකක් හරි අතුගෑවිලා ගිහින්ද කොහෙද බං. ගෙදර ගියාම බලන්න ඕනේ. ඒත් කොහෙන්ද වෙලාවක්.

      Delete
    5. එහෙනම් මෙහෙම කරපං,
      හොඳට තියෙන අන්ඩක් ගලවපන්, කැඩිච්ච එකේ නැතිවෙලා කියන කොටසට සමාන කොටස හොයාගෙන පලයන් හොඳ ලේත් මැෂින් කාරයෙක් ගාවට (ලංකාවට ආවම)
      බොහෝදුරට වැඩේ ගොඩ දා ගන්න පුළුවන් වෙයි.

      Delete
  4. ලොකු මලයෝ.. කතාවේ විස්තරේ නම් සුපිරියි ඈ.. නිකං අපිත් එදා එතන හිටිය වගේ හිතෙනව කියෝනකොට. ටැලිපෝන්, ටීවී, ෆ්‍රිජ් නැති සොබාවදර්මෙට සමීප තැනක 'නිවාඩු'වක් ගත කරන්නත් පිනක් (හා ඒ පින ගැන අවබෝදයක්) තියෙන්න ඕනි. අර වැවු මාළු සුද්ද කරනකොට මීට පස්සේ අළු ටිකක් අල්ලන්න මතක තියා ගන්න. එතකොට ලිස්සන්නෙ නෑ. සුද්ද කරනව වගේම වැවු මාළු හරියට උයන එකත් ලේසි නෑ. පිලී ගඳ යන්න රසට උයා ගත්තෙ නැත්තං හෙන් රිට වගේ වැවු මාළු එපා වෙන්න පුළුවන්. හරියට උයා ගත්තොත් වැවු මාළුවත් මේ කතන්දර වගේ තමයි. කන්න කන්න ආසයි. ඉතුරු ටිකත් ඉක්මනට ලියමු හොඳේ.. (මගේ මතුගම පැත්තෙ බැචෙක් ඉන්නව නිතරම කතාව අගට 'හොඳේ' කියන. ඒකයි මෙතනට ඒ පදේ එකතු කරේ.) :P

    ReplyDelete
    Replies
    1. අගැයුමට බොහොම ස්තුතියි මිත්‍රයා...
      මගෙනම් මනාපේ වැඩිපුර තියෙන්නේ ඒ වගේ නිස්කලංක තැන්වලට.
      මේ ලෝකේ තියෙන අටමගල් වලින් ඈත්වෙලා ටිකක් ඉන්න එකම මොන සැපක්ද.

      වැව් මාළු සුද්ද කරන්න අපි අළු පාවිච්චි කලා. ඒත් ඒක ලියන්න මට අමතක උනා.
      වැඩිය විස්තර ලිව්වම පෝස්ට් එක මාගලක් වගේ වෙන නිසා සමහර කරුණුනම් හිතලම ලිව්වේ නැහැ
      මේ මාළු තුන්දෙනා පත සයිස්, එතන තිබ්බ පුංචි පිහියෙන් කපන්න බැරිකම තමයි තිබ්බ ලොකුම ප්‍රශ්නේ.
      ලොකු මන්නයක් තිබ්බනම් වැඩේ ගොඩ දා ගන්න බැරිවෙන එකක් නැහැ

      මටනම් වැව්මාළු එපා වෙන්නේ නැහැ, අනික ඒ පළාත්වල මිනිස්සු රසට වැව්මාළු උයන්න දන්නවා
      එහෙම නැත්නම් ඉතින් තෙලේ බැදල ගත්තනම් ඕනේ එකක් ගොඩ.

      ඉතුරු ටික ලියල තියෙන්නේ, හැකි ඉක්මනින් දාන්නම් හොඳේ..... :)

      Delete
  5. ගමනට අපිටත් සහබගි වෙන්න හිතෙන තරමට ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමියගේ කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි...
      ගමනේ තව කොටසක් දැම්මා ඇවිත් බලල යන්න.

      Delete