Tuesday, 6 December 2011

දණගාද්දී ඇවිදින්නට මට අත දුන්න...

මේ සින්දුව මම පුංචි කාලේ රේඩියෝ එකේ යද්දී හරිම ආසාවෙන් අහන් හිටිය විශේෂ සින්දුවක්.
ඊට පස්සේ කාලයාගේ අවෑමෙන් මට ඒ සින්දුව අමතක වෙලා ගිහින් තිබුනේ.
නොවැම්බර් 12 වෙනිදා "මකර සහෝදරයා" මගේ බ්ලොග් එකේ දාල ගිය කමෙන්ට් එකකින් ආපහු ඒ සින්දුව අහන්න වාසනාව පෑදුනා.


ඒකේ 11 වෙනි සින්දුව තමයි "දණගාද්දී ඇවිදින්නට මට අත දුන්න...." කියන ළමා ගීතය.
(තරහ නැතුව ඔය ලින්ක් එකේ පහල තියෙන සින්දු ලිස්ට් එකේ 11 වෙනි සින්දුව හොයා ගන්න)

ඉතුරු සින්දු ටිකත් හරිම අපුරුයි. මේ සින්දුව විතරක් හොයල මෙතන ලින්ක් එක දාන්න හෙව්වට මට හම්බ උනේ නැහැ. යු ටියුබ් එකේ තිබුණු සින්දුව පස්සේ කාලෙක කරපු එකක්, ඒක මේ තරම් හිතට වදින්නේ නැහැ.
සින්දුව අහන්න ගත්තු මාව පාවෙලා වගේ මගේ අතීතයට ඇදිල ගියා.... නොවැම්බර් 12 වෙනිදා ඉඳල අද වෙනකම් මම මේ සින්දුව සිය වතාවකට වැඩිය අහන්න ඇති. පෝස්ට් එක ලියන්න ගත්තෙත් ලියල ඉවර කලෙත් මේ සින්දුව නැවත නැවතත් අහන ගමන්,
------------------------------------------------------------------------------------------------

දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //

ලෙඩක් දුකක් හැදුනාමත් ලඟම දැවටෙන...
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන...
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා...
මම තරුණෙකි කවදා හෝ එය ඉටු වෙන දා...
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා...
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවර දා...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //
------------------------------------------------------------------------------------------------
දැනට අවුරුදු හතකට කලින් මුසල දවසක මේ සින්දුව මගේ ජීවිතයෙන් නොපෙනෙනා ඈතකට තල්ලු වෙලා ගියා.....
ඔබ වෙනුවෙන් මේ යුතුකම් එකක්වත් කරන්න මට පුළුවන් උනේ නැහැ. අපේ ජීවිතවලට එළියක්‌ දෙන්න ඔබ නොකළ දෙයක් නැහැ. ජිවිතේ අන්තම අන්ත පහළ අඩියේ හිටපු ඔබ අඟලෙන් අඟල උඩට නැග්ගේ අපි වෙනුවෙන් බව මම දන්නවා. 
අපිව දාල යන්න ටික දවසකට කලින් මගේ ඔලුව අතගාල "මට ලොකු පුතා ගැනනම් දැන් බයවෙන්න දෙයක් නැහැ" කියල කියපු හැටි මට අදවගේ මතකයි. ඔව්, ඒ වෙද්දී ඔබ මා වෙනුවෙන් කරන්න ඕනේ යුතුකම් කොටස බොහෝදුරට  ඉටුකරලා තිබුනේ. ඒත්......

ඔබ වෙනුවෙන් මට කරන්න පුළුවන් උනේ  අම්මා කෑගහන සද්දේ ඇහිලා දුවගෙන එද්දී පුටුව උඩ පණනැතුව වගේ වැටිලා හිටිය ඔබව  හරියටම විනාඩි පහකින් වගේ ඉස්පිරිතාලෙට එක්කරගෙන ගිය එකයි "දැන් වැඩක් නැහැ, පරක්කුයි" කියල ඔබව ඉස්පිරිතාලේ ඇතුළටවත් ගත්තේ නැති අළුත් දොස්තර මහත්තයා කියපු වචන ටික ඇහිච්ච වෙලාවේ ඉඳල ඉස්පිරිතාලේ බිම වාඩිවෙලා පිස්සෙක් වගේ අඬපු එකයි විතරයි....
වාහනේ ගෙනියන එක මල්ලිට බාරදීල කෘතීම ස්වසනය(ඒ වෙද්දී දැනගෙන හිටියෙ නැති උනත්) දෙන එක මම කලානම් කියන සිතුවිල්ල හැමදාම මගේ හිතට වදදෙනවා.

මට තාමත් හිතෙනවා ඔබට ප්‍රථමාධාරයක් දෙන්න පුළුවන් තරම් දැනුමක් එදා මට තිබුනනම් අදත් ඔබ අපි එක්ක ඉන්නවා කියලා.  එක පාරක් වෙච්ච වැරැද්ද ආපහු කවදාවත් වෙන්න දෙන්න බැරි නිසා පස්සේ කාලෙක ජීවිතාරක්ෂක ක්‍රම (Life Saving Course) සම්බන්ධවත් මම ඉගෙන ගත්තා.
ඒ මොනවා කලත් ඔබ ආපහු එන්නේ නැතිබවත්, මගෙන් ඔබට කෙරෙන්න ඕනේ යුතුකම් කොටස ඉටු කරන්න අවස්ථාවක්  කවදාවත් ලැබෙන්නේ නැති බවත් මම දන්නවා. හැමදාම වගේ ඔබව මතක වෙද්දී වැටෙන කඳුළු බින්දු වලට ඒ ණය ගෙවන්න බැරි බවත් මම දන්නවා.
ඔබට ඕනෙම වෙලාවේ අතදෙන්න බැරිවෙච්ච ලොකු පුතාට සමාවෙන්න තාත්තේ....

Sunday, 4 December 2011

අඩුකුලේ මිනිස්සු....

මම ඉස්සෙල්ල පෝස්ට් එකේ කියපු විදිහට මේ පෝස්ට් එකෙන් කතා කරන්න හිතාගෙන ඉන්නේ අපේ ගමේ සහ ඒ අවට ගම්වල හිටපු අඩුකුලේ කියල හඳුන්වපු මිනිස්සු ගැන.
මඩුපොල කිට්ටුව තියෙන ගම්වලනම් මේ වගේ අඩුකුල වලට අයිති මිනිස්සු ගොඩදෙනෙක් පදිංචි වෙලා හිටිය කියල මම දන්නවා. ඒත් ඒ මිනිස්සු සම්බන්ධව මට ලොකු අත්දැකීමක් නැහැ. ඒ මිනිස්සු ගොඩ දෙනෙක් "බඩහැල" සහ "බෙරව" කුලයට අයිති අය. රජකාලයේ පටන් එයාලට අයිති රස්සාව වෙච්ච කුඹල් කර්මාන්තය සහ නැටුම්ශිල්ප බෙර ශිල්ප වල අදටත් යම්ප්‍රමාණයක එයාල යෙදෙනවා කියන එක විතරයි මම දන්නේ.

අපිට ඒ පැතිවල යන්න එපා කියල තමයි ඉස්සර අපේ අම්මල තාත්තල කිව්වේ. ඇත්තටම ඒ මිනිස්සු අතරේ ගොඩක් දරුණුකම් තිබුනා මේ කියන කාලේ වෙනකොට. කොහොම හරි මමත් අර දේවාලයෙන් එහාට ගිහින් තියෙන්නේ එකම එක වතාවක් විතරයි.
නමුත් මම ඉස්සෙල්ල පෝස්ට් එකේදිත් මතක් කරපු අල්ලිස් මාමා, රෙදි නැන්දා, කම්මලේ ගෙදර සුටන් සහ ඒ ගෙදර ළමයි ගැන තමයි මේ පෝස්ට් එකේ වැඩිදුර කතා කරන්න හදන්නේ.
මේ මිනිස්සු ඒ දවස් වල සමාජයේ තිබුණු තත්ත්වය නිසා යම්ප්‍රමාණයක පීඩනයකට ලක්වෙලා තමයි ජීවත් උනේ.


මෙතනින් මම කතා කරන "අල්ලිස් මාමා" සහ "රෙදි නැන්දා" යන දෙන්න අයිති වෙන්නේ "රජක"(රදා හෝ රදව යනුවෙන්ද අප ප්‍රදේශයේ වහරයි) කුලයේ...

ඉස්සෙල්ලත් කිව්වා වගේම අල්ලිස් මාම ගැන මට තියෙන ලොකුම මතකේ තමයි එයා මඩුපොලේ වැඩකටයුතු වලට බොහොම මහන්සියෙන් උරදීල වැඩ කරන එක. පන්දම් ඔතන එකේ පටන්, පාවඩ සැපයීමෙන්, දුම්මලකබල අල්ලන එකෙන් සහ තවත් නොයෙකුත් ආවතේව කරන එකෙන් එයාගේ සේවය දේවාලෙට ලබා දුන්නා. ඒ වගේම ගමේ මළගෙයක් උනොත් නැතුවම බැරි චරිතයක් තමයි මේ මනුස්සයා. නෑදෑයින්ට පණිවිඩේ යවන්න කලින් ගමේ රෙදි මාම වෙච්ච අල්ලිස් මාමට පණිවිඩේ යවනවා.  කොහේ හරි තොවිල් ගෙයක් තිබුනොත් එතනට සේවය සපයන එකත් අල්ලිස් මාමගේ අනිවාර්ය සිරිතක්.


හදිස්සියේ අල්ලිස් මාම පාරකදී තොටකදී දැක්කත් බොහෝම බයපක්ෂපාතව පාරේ අයින් වෙලා අහිංසක විදිහට හිනා වෙන මනුස්සයෙක් තමයි අල්ලිස් මාමා. ඒකට ලොකු පොඩි කියල කිසිම භේදයක් තිබුනේ නැහැ. ඔලුවේ තියෙන රෙදි පොට්ටනිය අත් දෙකෙන් අල්ලාගෙන පාරේ අයිනේ තියෙන තණකොළ ගොන්නටම ගිහින් අහිංසක විදිහට හිනාවෙන මේ මනුස්සයාගේ අහිංසකකම අදටත් මට මැවිලා පේනවා. අල්ලිස් මාමට ටිකක් ලොකුවට වවපු උඩු රැවුලක් තිබුනා. මම දන්නා කියන කාලේ ඉඳලම ඒ රැවුල සුදු පාටයි. කවදාවත් මේ මනුස්සය උඩුකයට කමිසයක් ඇන්දේ නැහැ. කොහේ ගියත් ඇන්දේ මේස්බැනියම විතරයි.
අල්ලිස් මාමගේ හාමිනේ ගැන කිසිම දෙයක් මම දන්නේ නැහැ. බොහෝ දුරට මම ඉපදෙන්නත් කලින් ඒ මනුස්සය මියපරලොව ගිහින් වෙන්න ඇති. ගමේ සොහොනට බොහොම කිට්ටුවෙන් තිබ්බ පුංචි ගෙදරක හිටපු අල්ලිස් මාමාගේ ගෙදර හිටියේ එයාගේ දෝනියන්දයි, ඒ දුවගේ පුතෙක් වෙන ළමයෙකුයි. මේ මිනිස්සු කිසි කෙනෙක් ගමේ අය එක්ක වැඩි බජනෙට යන ගතියක් ඒ දවස්වල තිබුනේ නැහැ.


ගමේ රෙදි මාම වෙච්ච අල්ලිස් මාම අපේ ගමේ හැම ගෙදරකටම සේවය සැපයුවේ නැහැ. එයා යන ගෙවල් ටිකක් එයාට වෙනම වෙන්වෙලා තිබුනේ මේ විදිහටම සේවය සපයන තවත් රෙදි නැන්දා කෙනෙක් අපේ ගමට හිටපු නිසා. ඒ උනත් එයා අපේ ගමේ ඕනෙම කෙනෙකුගේ මරණෙකට, මගුලකට ඕනේ කරන උදව්පදව් ටිකනම් එයාගේ සේවාදායකයෙක්ද නැද්ද කියල බලන්නේ නැතුව කිසිම අඩුපාඩුවක් නැතුව කළා.


මම ඉස්සර ඉඳලම ගමේ හිටපු මේ වගේ විශේෂ මිනිස්සු ගැන උනන්දුයි. ඒ නිසා එයාල ගැන විස්තර හොයල බලන ගතියක් මගේ තිබුනා. ඒ විතරක් නෙමෙයි ගමේ ගියපු ගමන් ගමේ ඕපාදුප ටික ඔක්කොම අම්මගෙන් අහල දැනගන්න පුරුද්දක් මට තියෙනවා. මේ පුරුද්ද නිසා දැනට අවුරුදු තුන හතරකට කලින් මම ගෙදර ගියපු වෙලාවක අල්ලිස් මාම ගැන අම්මගෙන් අහල බැලුවා. ඒ මනුස්සය මැරිලා දැන් ටික දවසක් වෙනවා කියල අම්ම මගෙත් එක්ක කිව්වා.
ගම්වල මිනිස්සුන්ගේ හරිහැටි සැලකිල්ලක් ලබන්නේ නැතුව නිහඬ සේවයක් කරපු ඒ වගේ මිනිස්සු කී දෙන්නම් මේ විදිහට හොර රහසේම එයාල කරපු සේවයට කිසි ඇගයීමක් ලැබෙන්නේ නැතුවම මැරිලා යන්න ඇත්ද.

අපේ ගෙදරට හැමදාම ආවේ ගියේ මම මේ විස්තර කරන්න යන රෙදි නැන්දා තමයි. මට මතකයි අපේ ඉස්කෝලේ ඇඳුම වල යවන්න බැරි අඹ කහට, කජු කිරි පැල්ලම්, මජං, එහෙමත් නැත්නම් මලකඩ පැල්ලම් වගේ තිබුණ ඇඳුම් ඔක්කොම රෙදි නැන්දට දානවා හෝදන්න. රෙදි නැන්දට දාපු කමිස කලිසම් වල එක එක ගෙදරට අදාලව එයා මොකක්දෝ මන්ද කොච්චර හෙදුවත් යන්නේ නැති තීන්ත වර්ගයකින් පොඩි පොඩි සලකුණු වගයක් දාල තිබුනා. ඒ සලකුණු වලින් තමයි එයා අදාළ රෙදි මාරු නොවී අයිතිකාරයින්ටම බාර දෙන්නේ.
රෙදි නැන්දට දාපු රෙදි බොහොම ඉක්මනට දිරල යන බව අපේ අම්ම හැමදාම වගේ කියනවා.  මම හිතන්නේ එයා කහට පැල්ලම් යවන්න "පරමාණු" කියන නමින් කඩවල විකුනන්න තියෙන ක්ලෝරීන් පාවිච්චි කරනවා වෙන්න ඕනේ.

ඒත් සතියකට හරි දෙකකට හරි වතාවක් අපේ ගෙදරට ගොඩවෙන රෙදි නැන්දව අම්ම කවදාවත් හිස්අතින් ආපහු යැව්වේ නැහැ.  එයාට හෝදන්න දෙන්න තරම් කිලිටි වෙච්ච ඇඳුම් නැති දවසක උනත් අම්ම මොනවා හරි ඇඳුමක් දෙකක් රෙදි නැන්දට දෙනවා හෝදන්න අරගෙන යන්න. ගෙදර බත් තියෙනවනම් බත් එහෙම කන්න දීල බත් නැති වෙලාව්කනම් තේ එකක් එහෙමත් බොන්න දීල හෝදන්න බාර දෙන රෙදි වලට සල්ලිත් දීල තමයි එයාව යවන්නේ.
අම්ම එහෙම කරන්න හේතුවත් අපි එක්ක කියල තියෙනවා, "ඒ මිනිස්සු ජීවත් වෙන්නේ මේකෙන්, හැමදාම එන ගෙවල් වලින් මොනවා හරි දෙයක් හෝදන්න දුන්නේ නැත්නම් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද" කියලා.
මේ රෙදි නැන්ද අපේ ගෙදර ආවහම අම්මත් එක්ක ටික වෙලාවක් කතා කරකර ඉඳල යන සිරිතක් තිබුනා. එහෙම කතා කරද්දී එයාගේ ජිවිතේ ගැන ගොඩක් දේවල් අම්ම එක්ක කියනවා.


ඒ වගේම තමයි ඒ මිනිස්සු වැඩක් නොකර කුලියක් ගන්නෙත් නැහැ. රෙදි නැන්දගේ තවත් ප්‍රධාන වගකීමක් තමයි ගමේ ගෑනු ළමයෙක් වැඩිවියට පත් උනාට පස්සෙ ඒ ගෙවල් වලට ගිහින් එයාගේ යුතුකම් කොටස ඉටුකරන එක. පස්සෙ පස්සෙ රෙදි නැන්දගේ ළමයි ලොකුවෙලා රස්සාවල් කරද්දී එයාල කැමතිවෙලා නැහැ එයාලගේ අම්ම මේ රස්සාව කරනවට. ඒත් ඒ මනුස්සයා ඒ රස්සාව අත්අරින්න කිසිම කැමැත්තක් තිබුනේ නැහැ. අපේ ගෙදර ආවහම අම්ම එක්ක කියනවා මට ඇහිලා තියෙනවා "දුලා කැමති නැහැ මම මේ රස්සාව කරනවට, මම උන්ට කන්න බොන්න දීලා ඉගැන්නුවේ මේ රස්සාව කරලා, මම මැරෙනකම්ම මේක කරනවා" කියපු හැටි මට අදටත් මතකයි. උන්දෑ කිව්ව වගේම මැරෙනකම්ම ඒ රස්සාව කලා.
මම ගෙදර ගියපු වෙලාවක රෙදි නැන්දගේ මරණෙ ගැන හෝඩුවාවත් මගේ කණේ තිබ්බේ අපේ අම්මා.



ඊට පස්සෙ කම්මලේ ගෙදර.
මේ ගෙදර හිටියේ සුටන් කියල මනුස්සයෙකුයි, එයාගේ පවුලයි, අපේ වයසේ වගේ කොල්ලෙ දෙන්නෙකුයි (ජයන්ත, නිලන්ත), තව පොඩි කොල්ලෙක්(සුජන්ත) සහ පොඩි කෙල්ලෙක්(සුජානි).  මෙතනින් සුටන් මාම අයිති උනේ රජක කුලයට නෙමෙයි, එයා "නවන්දන්න" කුළයට අයත් කෙනෙක් වෙන්න ඕනේ. පරණ කුළක්‍රමයට අනුවනම් කර්මාන්තකරුවන් සියල්ලම වගේ අයිති වෙන්නේ මේ කුළයට.


කම්මලේ ගෙදර කියල නම වැටෙන්න හේතුව එයාල එයාල පාරම්පරික කම්මල් කරුවන් වීමම වෙන්න ඇති. මම ගොඩක් පුංචි කාලේ සුටන් මාම කම්මලක් කළා කියල අපේ අම්ම කියල තියෙනවා. නමුත් මම දන්නා කියන කාලෙක එයා කම්මල් වැඩ කලේ නැහැ.
කම්මල කියන්නේ මම හරිම ආස තැනක්, වරු ගණන් කම්මල් වල යකඩ තලන හැටි මම බලාගෙන ඉඳල තියෙනවා.
කම්මලේ ගෙදර ළමයිනුත් කවදාවත් ගමේ කිසිම ළමයෙක් එක්ක රණ්ඩු සරුවල් වෙන්නේ නැහැ. එයාලගේ පාඩුවේ එයාල ඉන්නවා. වැඩිය බජනයක් නැහැ. ඒ වගේම තමයි ඒ කාලේ මේ ළමයි අපිටත් කවදාවත් නම කියල කතා කරල නැහැ. සුටන් කියන්නෙ ඒ කාලේ ඉඳල අදටත් කිසිම ස්ථීර රස්සාවක් කරපු මනුස්සයෙක් නෙමෙයි. කුලී වැඩ, එහෙමත් නැත්නම් වීමෝලේ ගෙදර වී කොටන්න උදව් කරන එක, එහෙමත් නැත්නම් ඒ ගෙදර මොනවා හරි වැඩක් කරන එක තමයි එයා කලේ. අදටත් එහෙමයි. ගොඩ වෙලාවට පාරෙම තමයි ජීවිතේ. අඩුකුලේක කියල හංවඩු ගැහිලා තිබුනට මේ මනුස්සයා අනිත් මිනිස්සු වගේ පහත් ගණයට අයිති රස්සාවල් මුකුත් කලේ නැහැ.


ඒ වගේම තමයි ඒ මනුස්සයගේ මුනේ හිනා පොදක් තියෙනවා මම දැකල තියෙන්නේ බොහොමත් කලාතුරකින් දවසක තමයි. මුනේ තියෙන්නේ මහා අමුතු ගුප්ත පෙනුමක්. සමහර දවස් වලට කොහෙන් හරි හොයා ගත්තු දේකින් අනුමත වෙලා ඉන්න බවක් පේන්න තිබුනත් කවදාවත් කාටවත් වචනයකින්වත් හිරිහැරයක් කරපු මනුස්සයෙක් නෙමෙයි. ඒත් ඒ මුණේ සමහර දාට පුදුමවිදිහේ කුරිරු බැල්මක් තියෙනවා මම දැකල තියෙනවා. ඒ මුණ හරියට රතු ඉන්දියන් කාරයෙක්ගේ වගේ. එයාගේ බිරින්දෑ ඉස්සර වතු වැඩ වලට ගියා.

මේ හැමදෙනාගෙම තිබ්බ පොදු ලක්ෂණයක් තමයි එයාල ගමේ ඕනෙම වැඩිහිටි ගෑනු කෙනෙකුට "හාමිනේ" කියල කතා කරන එක. පිරිමියෙකුටනම් "බාසුන්නැහේ, අප්පුහාමි, රාලහාමි, මහත්තයා, මුදලාලි" වගේ මොකක් හරි එයාගේ තරාතිරම අනුව කොටසක් නම අගට ඈඳලා තමයි කතාකරන්නේ. කවදාවත් නෑදෑකම් කියල කතා කරන්නේ නැහැ.
ගෙදරදී අපට ලැබුණු අභාෂයක් මත ඒ අයව හඳුන්වද්දී ඒ හැමෝටම "මාමා" හෝ "නැන්දා" කියා අමතන්නට පුරුදුවෙලා හිටියත් ගමේ බොහෝදෙනෙක් ඒ අයට වැඩිහිටිබව නොසලකා කෙලින්ම නම කියලා තමයි කතා කරන්නේ.
(ගම්වල බොහෝවිට එකිනෙකාට කතා කරන්නේ බොහෝවිට නෑදෑකමකින් අමතමිණි)
කවදාවත් මේ මිනිස්සු ගෙදරකට ඉස්සරහ පැත්තෙන් එන්නෙ නැහැ. උස පුටුවල වාඩි වෙන්නේ නැහැ. කවුරුවත් දෙන දෙයක් කෙලින්ම අතින් ගන්නෙ නැහැ. මේසයක් උඩින් හරි තියන්න කියල තමයි දෙන දෙයක් උනත් ගත්තෙ.

අපේ ගෙදරත් ඒ අයට වතුර දෙන්න, තේ දෙන්න, කෑම දෙන්න වෙනම භාජන අපේ අම්මත් වෙන් කරලා තියාගෙන හිටියා. ඒ වගේම මේ ගෙවල් වලට යන්න එපා එයාල දෙන කිසි දෙයක් කන්න එපා කියන උපදේසය අපි පොඩි කාලේ අපිට ලැබිල තියෙනවා. මේ මිනිස්සු ගාව නොයෙකුත් වශී ගුරුකම් වර්ග තියෙනවා කියන එක ගම්වල ප්‍රසිද්ධ කාරණයක් නිසා තමයි අම්මල එහෙම කියන්න ඇත්තේ.


ඒත් අලුත් පරම්පරාවේ කොල්ලෝ කෙල්ලෝ රස්සාවල් එහෙම කරගෙන අනිත් මිනිස්සු වගේම ටිකක් දියුණු වෙලා ආවට පස්සෙ මේ කුලභේදය අපේ ගමෙන්නම් දැන් නැත්තටම නැතිවෙලා ගිහින්. දැන් ගමේ කොල්ලෝ කුලමළ මුකුත් නැතුව කාගෙන, බීගෙන එකට ඉන්නවා. අපේ ගෙදරත් අර වෙනම පිඟන් කෝප්ප කතා මුකුත් නැහැ දැන්, මල්ලිගේ යාලුවෝ වෙච්ච අර ළමයි දැන් අපේ ගෙදර ඇවිත් ඉස්සරහ පුටුසෙටියේ වාඩිවෙලා ඉඳල අපේ ගෙදරින් කාල බීලත් යනවා.


ඒ මදිවට මගේ පුංචි අම්මගේ පුතා අර කම්මලේ ගෙදරට නෑදෑ වෙන කෙල්ලෙක්ව කසාද බැඳ ගත්තත් එක්ක. මුලින් මුලින් පුංචි අම්ම ටිකක් බරබර ගාල තිබුනා. ඒත් පස්සෙ කෙල්ලව ගෙදරට එක්කගෙන එනවට කැමැත්ත දීලා. අන්තිමට අර කෙල්ලගේ ගතිගුණ හොඳයි කියල දැක්කට පස්සෙ අර අමනාපකම් ඉවරෙටම ඉවර වුනා.

Thursday, 1 December 2011

මඩුපොලේ කතා

අපේ පැත්තේ බොහෝම පැරණි ප්‍රසිද්ධ සමන් දේවාලයක් තියෙනවා. ඒකෙ වාර්ෂිකව තියෙන උත්සවයට තමයි අපි "මඩු නටනවා" කියල කියන්නෙ.  මේ මඩුපොල කියන්නෙ බොහෝම අපුරු තැනක්. මේක හැමදාම තියන්නේ දෙසැම්බර් මාසේ විසිගණන් වල වගේ. "මඩු" කියන නම කොහොම හැදුනද කියලනම් මට හරි අදහසක් නැහැ. සමහර විට මේකේ කෙරෙන හැම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ තාවකාලික මඩු වල නිසාද දන්නේ නැහැ මේ නම ලැබුනෙ. (ඒ මගේ පෞද්ගලික අදහසක් පමණයි) මේ දේවාලේ කොච්චර පැරණි සහ ප්‍රසිද්ධ එකක් උනත් මේකට මිනිස්සු යන්නෙ අවුරුද්දේ මේ කියන දවස් දෙක තුනේ විතරයි. මේ දවස් කිට්ටු කරලා ඒ හරියේ ඉන්න ගමේ මිනිස්සු එකතු වෙලා දේවාලෙට යන පාර එළි පෙහෙළි කරලා, දේවාල වත්තත් උදළු ගාල දානවා. මේ උත්සව දවස් වලට මිනිස්සු ගැවසුනාට අනිත් දවස්වල මේ දේවාලේ කපුවෙක් ඉන්නවද කියන එකත් මටනම් සැකයි.


දෙවොල් මඩුවේ මහ රෑ පටන් ගන්න නැටුම් පහුවෙනිදා එළිවෙනකම්ම තියෙනවා. එක එක විදිහට වෙස් බැඳලා හරියට තොවිලයක වගේ සන්නි නැටුම් නටන එක මෙතනදිත් සිද්ධ වුනා. දෙවොල් නැටීමේ ප්‍රධාන අරමුණ වුනේ පළාතට සෞභාග්‍යය උදා කරලීම. රෑ එළිවෙනකං දෙවොල් නැට්ටුවෝ නටල ඊටත් පස්සෙ පාන්දර ජාමෙට අලියෙක් පිටේ "දේව පිළිමය" වඩම්මවල බොහෝම උජාරුවට ගත්තු උත්සවයක් තමයි මේක.
උදේ පාන්දර පහමාර වගේ වෙද්දී මේ කියන නැටුම් අවසන් වෙනවා. ඊට පස්සෙ ගමේ හැමෝම වගේ දේවාලෙට පඬුරු දාල ඉවර වෙලා පිරිත් නුල් එහෙමත් බඳිනවා. ඒ වගේම මෙතන කවි මඩුවකුත් තියෙනවා. කවුරු හරි ආධාරයක් කලාම එකට සෙත් පතල කවිත් කියනවා. පඬුරු දැම්මට පස්සෙ තමයි එතන තියෙන පොඩි පොඩි කඩවලින් බඩු ගන්න මිනිස්සු යන්නේ. පඬුරු දාන්න කලින් කවුරුවත් බඩු මුට්ටු ගන්නේ නැහැ. ඒත් තරුණ උදවියනම් මේ සිරිත් විරිත් වලට පිටින් වැඩ කරන වෙලාවල් නැත්තෙත් නැහැ. එදා උදේ ඉඳල හවස් වෙනකම්ම මේ කියපු පොඩි පොඩි මඩු වල එක එක ජාතියේ සෙල්ලම් බඩු, හට්ටි මුට්ටි සහ නොයෙකුත් තොරොම්බල් බඩු සහ රසකැවිලි විකුණන එක තමයි කෙරෙන්නේ.

අපි පුංචි සන්ධියේ මේ දෙවොල් මඩු බලන්න යන්න කලින් දවසේ අපේ ගෙදර ලොකු වතාවත් ටිකක් සිද්ධ වෙනවා. කහ කොල, කොහොඹ කොල වගේ ඖෂදීය කොල වර්ග දාල තම්බපු වතුර වලින් අම්ම අපිව නාවනවා. ඊටත් පස්සෙ පඬුරු දාන්න ගන්න මාරු කාසි ටිකටත් මේ විදිහටම කහවතුර සාත්තුව ලැබෙනවා. ඔය විදිහට පේ වෙලා තමයි අපි දේවාලේ යන්න ලැස්ති උනේ. ඊට පස්සෙ පාන්දර ජාමේ නැගිටලා අපි ඔක්කොම හුළු අතු එළියෙන් හරි ඉටි පන්දමක් පොල් කට්ටකට තියාගෙන හරි පයින්ම ගමන පටන් ගන්නවා මඩු බලන්න යන්න. සමහර වෙලාවට ගස්ලබු බටේකට භූමිතෙල් පුරවලා ඒකට රෙදි වලින් තිරයක් දාල පත්තු කරගෙන යන දවසුත් තිබුනා. එතනට අපේ ගෙදර ඉඳල දුර කිලෝමීටර පහක් වගේ තියෙනවා. ලොකු පොඩි හැමෝම සුදු පාට හරි ඒ වගේ ළා පාටක ඇඳුමක් ඇඳලා තමයි දේවාලේ යන්නෙ. පුංචි සන්ධියේ අපි පුදුම ආසාවකින් ගියපු ගමනක් තමයි මේ.
එදාට තමයි අපිට මොකක්හරි සෙල්ලම් බඩුවක් ගන්න ලැබෙන එකම අවස්ථාව. අවුරුද්දකට එක පාරක් ලැබෙන මේ වගේ අවස්ථාවකට ආස නොවී තියේවිද ඕනෙම පොඩි එකෙක්.

ඔතනින් මට ලැබිල තිබුන සෙල්ලම් බඩු අතරේ අතපය මුකුත් හොල්ලන්න බැරි විදිහට ඇඟටම ඇලිච්ච තද නිල් පාට බෝනික්කා, හුවෑ නළා, බිම උළල උලලා අත ඇරියම ගොඩක් දුර බිම දිගේ යන පුංචි අහස් යන්තරේ, පනින අස්සයා, පද්දනකොට තටු ගහන සමනල කරත්තේ. මේ වගේ සෙල්ලම් බඩු ගොඩාක් තිබුනා. අර කියපු බෝනික්ක මගේ ගාව තිබුනේ මම ඉස්කෝලේ යන්නත් ගොඩාක් කලින්, චුටි අක්කට බෝනික්කෙක් ඕනේ කිව්වහම මමත් එකක් ඉල්ලලා තිබුනා. ඉතින් ඔන්න ඔහොමයි මමත් පොඩි කාලේ බෝනික්කෝ නැලෙව්වේ. මමයි චුටි අක්කයි එකතු වෙලා ඒ බෝනික්කෝ දෙන්නට පරණ පොත් වලින් කඩා ගත්තු කොල කෑලි වලින් ඇඳුම් කපල අලවනවා. දැන් කාලේ පොඩි එකෙක්නම් ඒ වගේ සෙල්ලම් බඩුවක් දිහා හැරිලවත් බලන එකක්වත් නැහැ. ඒත් අපිට ඒවා කොච්චර වටිනා වස්තූන් වෙලා තිබුනද.
මගේ ගාව හිටපු කෙනාට් වැඩිය මෙයා ගොඩක් හැඩයි, ඒත් මට ඒ ජාතියේම රුපයක් හොයාගන්න බැරි උනා.
ඔය හුවෑ නළාව ගැනත් අපුරු කතන්දරයක්  කියන්න තියෙනවා. ඒක හදල තිබුනේ හීනි බටේක (අර වෙසක් කූඩු හදන්න ගන්න ජාතියම තමා) අගිස්සට බැලුමක් හයි කරලා. බැලුම හයි කරපු පැත්තේම නලාවක් විදිහට හදල තියෙනවා, ඒත් ඒක පිටට පේන්නෙ නැහැ. අනිත් කෙළවරට කට තියල පිඹල ඒ කෙලවර අපි කටින් අහක් කරනවා. ඊට පස්සෙ අර බැලුම ඇතුලේ තියෙන හුළං ටික බටේ හරහා එළියට යන්නෙ අර නලාවෙන් ලොකු සද්දෙකුත් පිට කරගෙන. ඒ සද්දේ හරියටම "හුවෑ" ගාන සද්දයක්. ඒ නිසා තමයි අපි ඕවට "හුවෑ නළා" කියල කිව්වේ. එදා ඉඳල දවස් කීපයක් යනකම්ම අපේ ගමේ හැමතැනම වගේ මේ හුවෑ නලාවල සද්දේ ඇහෙනවා.

අපේ අම්ම මඩුපොලේ යන්නෙ අම්මට ගන්න ඕනෙකරන හට්ටි, මුට්ටි, වලන්, ඇතිලි එහෙම ගන්න. අම්ම ගන්න මේ මැටි භාජන කරගහගෙන ගෙදර ගේන එක අපි ඔක්කොම අතින් තමයි සිද්ධ උනේ. ඒ වගේම හැමදාම අමතක නොකර අපේ ගෙදරට ගේන තව විශේෂ දෙයක් තමයි "ඈපා" ලිත. මේ විදිහට ගෙනාපු ලිත් ඔක්කොම පොඩි ලී පටියක අලවලා බිත්තියේ එල්ලනවා. 1971 ඉඳල එකම ලී පටියේ අලවපු ලිත් ඔක්කොම තාමත් අපේ ගෙදර තියෙනවා. අපි මේ ලිත ගන්නේ අවුරුදු නැකත් ටික බලාගන්න.

මඩු උත්සවය තියන්න මාසෙකට දෙකකට කලින් වගේ සංවිධායක මණ්ඩලය ගෙයින් ගෙට ගිහින් ආධාර එකතු කරනවා. ඊටත් පස්සෙ අපේ ගමේ රෙදි මාමා වෙච්ච අල්ලිස් මාමා ඇවිත් ගෙවල් වලින් දේවාලෙට එකතු කරපු හාල් අරගෙන යනවා. ඒ ගමන්ම දේවාලෙට බාර කරපු පොල් ගස් එහෙමත් තියෙනවනම් ඒවයෙත් පොල් අරගෙන යනවලු. ඒවා ගන්නේ කාගේ පරිභෝජනටද කියලනම් මට අදහසක් නැහැ. අපේ ගෙදරත් ඉස්සර ඉඳල තිබ්බ සිරිතක් තමයි හැමදාම බත් උයන්න කලින් හාල්වල තියෙන ගල්, වී අහුලල ඉවර උනාට පස්සෙ හාල් මිටක් දානවා මුට්ටියකට. එහෙම එකතුවෙන හාල් තමයි අර විදිහට අවුරුද්දකට වතාවක් එන අල්ලිස් මාමට දෙන්නේ. ඒ එක්කම සල්ලි කීයක්‌ හරිත් එයාට දෙනවා. එයා දේවාලේ කටයුතු වෙනුවෙන් සහ ගමට කරන සේවය නිසා තමයි හැම ගෙදරකින්ම මේ සැළකුම ලබන්නේ.


අල්ලිස් මාමා ගැන කියනවනම්, ඒ මනුස්සය "රදා කුලේ" කෙනෙක්, ඒ කියන්නෙ ඒ කාලේ කියන විදිහටනම් "අඩු කුලේ". ඒ මනුස්සයාගේ නම අල්විස්. මම පුංචි කාලේ අපේ ගම්වලත් කුලබේදය තරමක් දුරට තිබුනා. මට මතකයි අල්ලිස් මාමා, රෙදි නැන්දා, කම්මලේ ගෙදර සුටන් සහ ඒ ළමයි, එයාල ඔක්කොම අඩුකුලේ කියල පොඩි කොන්කිරීමක් ගමේ තිබ්බ වගක්.
(ඒ අය ගැන වෙනමම පෝස්ට් එකකින් කතා කරන්න මම හිතාගෙන ඉන්නවා)
අපි පුංචි කාලේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගියපු මඩුපොලේ ගමන පස්සෙ පස්සෙ අපි තරුණ වයසට ආවට පස්සෙ ගියේ ඒ වගේ ශ්‍රද්ධාවකින්නම් නෙමෙයි. අම්මල එක්ක නැතුව කොල්ලෝ කට්ටියත් එක්ක එහෙම යන්නෙ රස්තියාදු ගහන්න මිසක් වෙනදේකට නෙමෙයි. අන්තිමට රස්සාව කරන්න ගත්තට පස්සෙ එහෙමහරි මඩුපොලේ ගිය ගමන නිකම්ම වගේ මගඇරිල ගියා. හදිස්සියෙම මතකෙට ආපු සුන්දර මතකයක් නිසා පෝස්ට් එක ලියන්න ගත්තට පස්සෙ ආපහු මඩුපොලේ යන්නත් මට ලොකු ආසාවක් ඇති උනා.
(2012 බැරිවෙන එකක් නැහැ)