Monday, 23 February 2015

නකල්ස් කඳු මුදුන බලා Knuckles Hike -කොටස 02


මේ වගේ ගම්පලාතක ඉන්න මිනිස්සු ගැන අමුතුවෙන් කියන්නේ දෙයක් නැහැනේ.  අපිත් එක්ක හොඳට කතාබහ කරලා “පුතාල කොහෙද යන්නේ” කියල විස්තර එහෙම අහලා අපිට ගයිඩ් කෙනෙක් විදිහට එක්කගෙන යන්න පුළුවන් කෙනෙක් ඉන්න තැනක් ගැන හොදුවාවත් දුන්නා. එතන ඉඳලා කිලෝමීටරයක් විතර ඉස්සරහට ගියාට පස්සේ අපිට ඒ කියපු දෙමළ මනුස්සයාව මුන ගැහුණා. මට හරියටම ඒ මනුස්සයගේ නම මතක නැහැ, ඒත් ශිවා කියල වගේ මතකයක් තියෙනවා. ඒ නිසා මෙතන ඉඳල එයාව ශිවා කියල හඳුන්වන්නම්.

වැඩි වෙලාවක් යන්න කලින් ශිවා අඩුම කුඩුම ටික බෑග් එකකට දාගෙන අපිත් එක්ක යන්න ලෑස්ති වුනා. ශිවා විශේෂයෙන් අතට ගත්තු දෙයක් තමයි හොඳට කැපෙන වක් පිහියක්. දැන් මිනිහා ඉස්සර වෙලා යනවා අපි කට්ටිය පස්සෙන් යනවා. අපි දැන් යන හරිය වැස්සට හේදිලා ගිය තරමක බෑවුමක් තියෙන ගුරු පාරක්. මේ පාරේ ට්‍රැක්ටරයක් වගේ වාහනයක් යන්න පුළුවන් උනාට වෙන වාහනයක්නම් යන්න පුළුවන් කමක් නැහැ. පාරක් උනාට මේ හරියෙදිත් කූඩැල්ලන්ගෙන් කිසිම අඩුවක් තිබුනේ නැහැ.

මට කළින් කියන්න අමතක වෙච්චි දෙයක් තියෙනවා. අපි මේ ගමන පිටත් වෙද්දී හැමෝම කඳු නගින්න සුදුසු මට්ටමේ පරණ සපත්තු එහෙමත් අරගෙනම තමයි ආවේ. පහළ කඩේ කිට්ටුව තිබ්බ පාළම ගාවදි සෙරෙප්පු ගලවලා සපත්තු දා ගත්තා. බඩා නම් සෙරෙප්පු දෙක දිගටම දාගෙන යනවා කියල තමයි කිව්වේ. සපත්තු දා ගත්තු උදවියසපත්තුව පුරා නිල් සබන් කැටේ උලා ගත්තේ කූඩැල්ලෝ එල්ලෙන එක නතර කරවන්න හිතාගෙන. ඇඳුම් මාරු කරගන්න ඕනේ උදවිය ඇඳුම් එහෙමත් මාරු කරගෙන තමයි කන්ද නගින්න පටන් ගත්තේ.
පාළම උඩ සහ යට කඩල කමින්.
ටික වෙලාවකින් ඇඳි නැති කොන්ක්‍රීට් පාළමක් තියෙන ඉසව්වකට අපි සේන්දු වුනා. කූඩැල්ලන්ගේ කරදරෙන් බේරිලා දවල් කෑම කන්න පුළුවන් හින්ද එතන නතර වෙලා ගිමන් නිවාගෙන කලුවලගේ ගෙදරින් එන ගමන් අරගෙන ආපු තම්බපු කඩල පාර්සල් ටික ලිහාගෙන කෑවා. ශිවා අයිය ගෙදරින් කෑම කාල ආව කියල අපි දීපු කෑම එක එපා කිව්වා. කඩල කාල වතුර එහෙමත් බීලා ආපහු ගමන්. ටික වෙලාවකින් අපි ආපු පාරෙන් දකුණු අත පැත්තට තිබුන පුංචි අඩි පාරකින් හැරිලා කැලේ ඇතුළට යන්න පටන් ගත්තා. දැන් තමයි අමාරු හරිය. මුල්ම හරියේ යම්කිසි කාලෙක කැලේ කොටසක් කවුරුහරි ගිනි තියපු බවක් හිතන්න පුළුවන් සාධක ඉතුරු වෙලා තිබුනා. මේ විදිහට කැලේ මැද්දෙන් ගිය අපි තරමක් උසකින් තියෙන ලොකු ගල් ගෙඩියකට නැග්ගේ ගිමන් නිවා ගන්න විතරක් නෙමෙයි ඇඟේ එල්ලිලා ඉන්න කූඩැල්ලන්ව ගලවලා දාන්නත් එක්ක. නිල් සබන් ගෑවට පඳුරු අස්සෙන් යද්දී ඒවායේ ඉන්න කූඩැල්ලෝ ඇඳුම් වල හරි ඇඟේ කොහේහරි එල්ලෙනවා. මේ කාලේ වෙද්දී “කූඩැළු මේස්” ගැන අපි අහලවත් තිබුනේ නැහැ.

මේ හරියේදී මරු සීන් එකක් උනා. අපි අපේ අරුණගේ කාඩ් එක තමයි “දෙමළා”. ඌ පෙරාපු සිංහල උනාට අපි ඉදිරිපිටදීම කවුරුහරි මේ ළමයා දෙමළද කියල අහපු නිසා තමයි ඌට ඒ කාඩ් එක වැටුනේ. අපි ඌට මොකක්හරි කියන්නේ “දෙමලෝ” කියල කතා කළාම ශිවා දෙතුන් පාරක්ම හැරිලා අපි දිහා බැලුවා. මේ වැඩේ හරි යන්නේ නැති නිසා අපි ශිවාටත් කතන්දරේ තේරුම් කරලා දීලා, මේ ගමනේදී අපේ දෙමළට දෙමළා කියන්නේ නැතුව “ටැමිලා” කියල කියන්න එකඟතාවයක් ඇති කර ගත්තා. ඒත් සමහර වෙලාවට කාට හරි වැරදිලා පරණ නම කියවෙන එකත් ඉඳල හිටලා සිද්ධ නොවුනාම නෙමෙයි. ඒ ගමන ගිහින් ඇවිත් මේ වෙද්දී අවුරුදු 15 ක් ගත උනත් අදටත් ඌට  දෙමළා සහ ටැමිලා යන නම් දෙකම පාවිච්චි කරනවා.
ගලක් උඩ විවේකයෙන්. (දළසේයාපට කැමරා වල පැමිණිය හැකි ගැටළුවක්)
එතන ටික වෙලාවක් ඉඳල ආපහු ගමන පටන් ගත්තා. දැන් දිගටම වගේ තියෙන්නේ තද නැග්මක්. ටික වෙලාවකට පස්සෙ දහම මැරෙන්න වගේ හති අරින්න පටන් ගත්තා. අපි ඒ වෙලාවෙ තමයි දන්නේ ඌට හතිය තියෙනවා කියලා. ඌ තමයි එකක් ටෙන්ට් එකක් උස්සගෙන ආවේ. ඔක්කොටම කළින් මගේ සයිඩ් පොකට් එකේ තැන්පත් කරගෙන හිටපු ඩෙක්‍රෝස් එකක් කඩලා ඌට බොන්න දුන්නා. ඊට පස්සේ ඌට බර අඩු බෑග් එකක් දෙන්න ගියාම තමා අපිට තේරුණේ දහම් උස්සගෙන ආපු ටෙන්ට් එක දාලා තිබුන බෑග් එක කොයි තරම් බරද කියන එක. මම මගෙ බෑග් එක කපුටටද කොහෙද දීලා දහම් ගාව තිබ්බ බෑග් එක කරේ එල්ල ගත්තා.

මේ ටෙන්ට් එක දාපු බෑග් එකේ බර මදිවට ටෙන්ට් එක හයි කරන්න ඕනෙ කරන යකඩ බට වගයකුත් තිබුනා. ඒ ටික මිටියක් විදිහට ගැටගහලයි තිබ්බේ. මුලින් අපේ අදහස උනේ ඒ බට මිටිය එක එක්කෙනා සැරින් සැරේ ගෙනියමු කියලා. ඒත් තමන්ගෙ වාරය ආවහම ඒක බාර ගන්න හැමෝම වගේ අදිමදි කරා. ඒක හරි කරදරයක් නිසා පස්සෙ බට ටික එක ගානේ හැමෝටම බෙදල දුන්නා. ඒත් බට කීපයක් ඉතුරු උනා. ඒවත් බෑග් වල පිටිපස්සෙන් එල්ල ගත්තම තිබ්බ කරදර ඔක්කොම ඉවර වෙලා ගියා විතරක් නෙමේ අතේ තිබ්බ බට කඳු නගිද්දී ආධාරකයක් විදිහටත් ප්‍රයෝජනවත් වුනා.

බෑග් එහෙ මෙහෙ මාරු වෙද්දී තමයි දැනගත්තේ බල්ලාගේ බෑග් එක ලොකුවට පෙනිලා තියෙන්නේ හිස් බැරල් එක නිසා කියලා. ඒ නිසා අපේ බෑග් වල තිබ්බ සැමන් ටින් වගේ බර දේවල් තොගයක්ම උගේ බෑග් එකට පටවලා දැම්මා.
මහා බෑවුම් තරණය
කන්දෙ අන්තිම හරිය නගිද්දි පිටිපස්සෙන් එන කෙනාගෙ තල්ලූවක් පවා වුවමනා වෙන තරමටම බෑවුම වැඩියි. ටෙන්ට් බෑග් එක නිසා මාව පස්සට ඇදිලා යන ගතියක් දැනුනා ඒ හරියේදී. කන්දෙ නැග්ම අංශක 80ක්වත් වෙන්න ඇති කියලයි මට හිතූනෙ. ඊට පස්සේ තිබුණ කොටසේ බෑවුම අඩුයි. ශිවා කියපු විදිහට අන්තිමටම තියෙනවා කියපු දිය උල්පත ගාවට ගිහින් ඇතිවෙන්න වතුර බිව්වා. බෝතල් වලටත් පුරව ගත්තා. බැරල් එකට වතුර පුරවා ගන්න එක පසුවට කල් දැම්මේ මේ තියෙන බරත් එක්ක තවත් උස්සගෙන යන්න බැරි නිසා. ආපහු ඇවිත් බැරල් එකට වතුර ගෙනියමු කියලා තීරණය උනා.
කඳු මුදුන බලා පැමිණි පසු

කඳු මුදුනේ.

රවුම ඇතුළේ ඉන්නේ එහා කඳු මුදුන තරණය කරන අපේ මිතුරන්ය

කඳු වැටිය ඔස්සේ යමින්...
මේ සියළුම බාධක අතරේ හවස 4:30ට විතර කන්ද මුදුනට නැග ගන්න පුළුවන් වුනා. වට පිටාවෙ ඉන්න කූඩැල්ලො මොන වගේ විපතක් අපිට කරයිද කියල හිතා ගන්නවත් බැහැ. ඒ තරමට කූඩැල්ලෝ ගොඩක් මම සිංහරාජෙදිවත් දැකලා තිබුනේ නැහැ. කොහොම කොහොම හරි දෙමළයි බඩායි තව කීප දෙනෙකුයි ටෙන්ට් එක අටවන අතරෙ අපි හතර පස් දෙනෙක් ගියා දර හොයන්න. ස්කෝල කාලෙදි කැඩෙට් කලා කියලා කළින් පම්පෝරි ගහපු අපේ අයියල ටෙන්ට් එක ගහන්න ගිහින් දහ අතේ කැරකෙනවා කියලනම් අපිට තේරුණා.
කඳවුරු භුමිය අවට. සවස 5 ට පමණ
කඳවුරු ගසමින්...
මෙහේ තියෙන දර වලට දර කියලා කිව්වට ඒවට දර කියල කියනවට අපිට කියක් හරි දෙන්න ඕනේ. කඳු මුදුනේ හැම තැනම තියෙන්නෙ කුරු ශාක වර්ග නිසා ඒවයේ දරත් ඒ වගේම පුංචියි. ඒ මදිවට හොඳටම තෙත් බැහැලා, දර අහුලන අතරේ මට හිතුනේ මේවා කොහොම පත්තු කර ගන්නද කියලා. ඒ මදිවට පත්තු කරන්න තරම් ලොකු දර කෑල්ලක් හොයා ගන්න එක හරියට කළුනික හොයනවා වගේ අමාරු වැඩක්.
ගිනිමැලය සකසමින්.
හොයා ගත්තු දර කෑලි ටික තෙතෙබරිත වෙලා තිබුන තණකොළ අඩු හරියක ඒ ටික ගොඩ ගහල පත්තු කරන භාරදූර කටයුත්ත ඊළඟට. ඒකෙත් ජය අපිට වුනාට කෑමක් රත් කරගෙන කන එක හීනයක් කියල තමා අපිට පෙනුනෙ. ඒ වගේම අපි කල්පනා කරල හරි නොදැනුවත්වම හරි වැඩිපුරම කන්න කියලා ගෙනත් තිබුනෙ පාන් නිසා ඒ තරම් නෙමේ කෑම ගැන ලොකුවට මහන්සි වෙන්න වුවමනා වුනේ නැහැ.
මේ අතරේ අපෙන් දෙතුන් දෙනෙක් ගිහින් බැරල් එකටයි හිස් වෙච්ච බෝතල් කීපෙකටයි වතුර පුරවගෙන ආවා.

අමතක කරන්නෙ නැතුව කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි අරගෙන ගිය ඩෙක්‍රෝස් ගැන. ඒවා අපි හැමෝටමත් වඩා වැඩිපුර දහමට ප්‍රයෝජනවත් වුනා. අපි හැමෝටමත් පාන් කියා ගන්න බැරි මට්ටමට ආපු හැම වෙලාවේම වගේ ඩෙක්‍රෝස් වලින් ඇඟට සැළකිය යුතු පණක් ලැබුනා.
කඳවුරු භුමිය.



අපි දර හොයගෙන එනකොට ටෙන්ට් දෙක නම් අටවලා තිබුනා. රෑ හීතල යන්නත් එක්ක ලොකු ගිනි මැළයක් ගහමු කියලා හිතුවට දර නැතිකම නිසා සහ සැරින් සැරේ එළියට ගිහින් ඒක නිවෙන්න නොදී තියා ගන්න බැරිකම නිසා ගිනිමැලේ කතන්දරේ පොඩ්ඩක් අවුල් සහගත මට්ටමක තිබුනේ. අමාරුවෙන් ගහගත්තු ගිනිමැලේ වටේ ටික වෙලාවක් හිටගෙන සහ වාඩිවෙලා පොඩ්ඩක් උණුසුම් වෙන්න හැමෝටම පුළුවන් වුනා. ගිනිගොඩ ළඟටම කකුල් දෙක දික් කරගෙන හිටපු කපුටාගේ එක සපත්තුවක් ගිනි ගන්න හදනවා කියල කවුරුහරි දැක්කේ මේ වෙලාවේ. ඒකෙන් හොඳටම දුම් දානවා. එන්න එන්නම හුළඟ ගොඩක් වැඩි වෙනවා, ගිනිගොඩ තිබ්බට සීතල අඩු වෙන්නෙත් නැහැ. ඒ නිසා ටෙන්ට් ඇතුළට ගාල් වෙන එක හොඳයි කියල අපි තීරණය කලා.

ඒ උනාට ඒකත් අවුලක්. කවුරුහරි ගිනිමැලේ බලන්න සහ වෙනත් අවශ්‍යතාවන්ට එළියට ගිහින් එන්නේ කූඩැල්ලො දහ පහළොස් දෙනෙක් ඇඟේ එල්ලගෙන. ඊට පස්සෙ අපි තීරණය කලා ගින්න නිවිලා ගියත් කමක් නැහැ. වැඩිපුර එළියට යන්නෙ නැතුව ඉන්න එක ඇඟට ගුණයි කියලා. ඒත් ස්වභාවික අවශ්‍යතාවයකට එළියට ගිහින් ආපු කපුටා කූඩැල්ලො කීප දෙනෙක් අරගෙන ඇවිත් තිබුනා. එකෙක් හිටියෙ කපුටගෙ ඛෙල්ලෙ එල්ලිලා. ඉක්මණටම රෑ කෑම අරගෙන නිසා ගැනීම සුදුසුයි කියල තීරණය උනා.

පාන්, මාජරින් සහ රට ළුෑනු ඛෙදලා දුන්නා. තුන් දෙනෙකුට එක පාන් ගෙඩියක්, රට ළුෑනු ගෙඩි බාගයක් ගාණෙ ඛෙදලා දුන්නා. ඒ අපි කැලේදි කාපු පළවෙනි කෑම වේල නිසා ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නැහැ. හැබැයි කට්ටියගෙ මූණු වලින් නම් පෙනුනේ කෑවා මදි වගේ පෙනුමක්.

අපි හිටපු ටෙන්ට් එක ඇතුළෙ මම, තරිඳු, දෙමළා, එළුවා, කපුටා හිටියා, අනිත් එකේ දහම්, බඩා, බල්ලා, චූටි බබා කළුවා සහ ශිවා හිටියා. අපි එක එක කතා කිය කිය නිදිමත එනකල් කල් මැරුවා. එහා පැත්තෙ ටෙන්ට් එකේ ගියපාර කැම්පස් එකේ අපේ බැච් එකෙන් කරපු කලා මංගල්‍යයක් ගැන මොකක් හරි කතාවක් ඇදිලා ඇවිත් දහම් සෑහෙන්න හිත නරක් කරගෙන තිබුනා. DTB දහමට කියලා තියෙනවා උඹ ඒකෙන් “සල්ලි හොරකම් කලා” වගේ තේරුම එන ප්‍රකාශයක්. DTB කියන මනුස්සයා මොන වගේ කෙනෙක්ද කියන එක අපිට තේරෙන්නෙ නැත්තෙ මෙන්න මේ වගේ දේවල් නිසා තමයි. එහෙම දෙයක් වුනා හෝ නොවුනා හෝ ඒ වගේ දෙයක් කතා කරගන්න ඒ මෝඩයට මේ කන්ද උඩටම එන්න ඔනෙ වුන එක තමා පුදුම.

කොහේ හරි සංචාරයකදි කරන්න නරකම දේ තමා ඒ යන කණ්ඩායම තුළ ඇති වෙන හිත් නොහොඳකම්. එදා ඇති වුන ප්‍රශ්නෙනම් හැමෝටම වගේ රෑ එළි වෙනකොටම අමතක වෙලා ගියා. ඒත් දහම ඊට පස්සෙ කිසිම යූනියන් වැඩකට සහභාගී වුනේ නැහැ.

එදා රැය ගෙවා ගන්න එක තමා අපිට තිබ්බ අභියෝගය වුනේ. මේ වගේ හීතල තෙතබරිත කැලේක ටෙන්ට් එකක් ඇතුළෙ ගුළි වෙලා ඉන්න එක ලේසි පහසු වැඩක් නෙමේ. අපි ටෙන්ට් එක ගැහුවේ තණබිස්සක. ඒ තණකොළ ගුටි ගුටි වගේ හැදිලා තියෙන්නේ ඒවා හරිම තදයි. හරියටම මගේ කොන්ද යට එයින් ගුලියක් තිබුනා. ඒ මදිවට මම හිටියෙ ටෙන්ට් එකේ අයිනක නිසා මගෙ ඇඟේ එක පැත්තක් හොඳටම හීතල වෙලා. මුළු රෑ පුරාම වගේ මම කලේ එළි වෙන්නෙ කීයටද කිය කියා වෙලාව බලපු එක විතරයි. මගෙ තනියට තරිඳුත් ඇහැරිලා “වෙලාව කීයද බං” කියකියා හිටියා. මේ වෙද්දී අපි “ස්ලීපින් බෑග්” ගැන අහලවත් තිබුනේ නැහැ. එහෙම උනානම් ටිකක් හරි මේ දුකෙන් මිදෙන්න තිබුනා.

උදේ නැගිට්ටට පස්සේ තමා අපිට මේ ගමනේ අපහසුතා වලින් හොඳම හරියට මූණ දෙන්න සිද්ධ වුනේ. ශරීර කෘත්‍යය කරගෙන හෝද ගන්න වුනෙත් අර බෝතල් කීපයෙ තියෙන වතුර වලින්. ඒ වෙනුවෙන් වෙනම වතුර බෝතල් කීපයක් වෙන් කරලා  වතුර ඛෙදලා දුන්නෙත් සළාක ක්‍රමයට. එක මෙගා සයිස් බෝතලයක් දුන්නා තුන් දෙනෙකුට හෝද ගන්න. මීට අමතරව ඔළුව කල්පනා කරල අරගෙන ගිය සර්වියේට් පේපර් ටිකත් සෑහෙන්න ප්‍රයෝජනවත් වුනා හැමෝටම වගේ. ඒ ක්‍රියා කලාපයෙන් පස්සේ සමහර තැන් මිනිස්සුන්ට යන්න බැරි තහනම් කළාප විදිහට හඳුන්වන්නත් සිද්ධ වුනා. කෙනෙක් ගිය තැනකට ආපහු තව කෙනෙකුට යන්න බැරි වෙන තරමට වැඩ සිද්ධ වෙලා තිබුණා. මීට අමතරව හැමෝටම වගේ විඳින්න වුන කරදයක් තමා මේ කර්තව්‍යය අතර වාරයෙදි එල්ලෙන්න හදන කූඩැල්ලන්ගෙන් බේරෙන එක යාන්තම් උදේ 7 විතර වෙද්ද ඒ අපහසුතාවයන් ටික ඉවර වුනා.
ගමනට සුදානම්ව.
වැඩි වෙලා යන්න කලින් අපි ලෑස්ති වෙලා, ටෙන්ට් දෙකත් අකුලගෙන උදේ කෑම පසුවට කල් දාල ගමන පටන් ගත්තා. අද දවසේ අපේ අරමුණ උනේ මීමුරේ ට බැහැගන්න එක. කූඩැල්ලන්ගෙන් බේරෙන්න අරගෙන ගිය නිල් සබන් කැට දෙකෙන් මේ වෙනකොට ඉතුරු වෙලා තිබුනෙ බොහොම ටිකයි. මේ තරම් කූඩැල්ලන්ගෙන් කරදර වෙයි කියලා මට නිකමටවත් හිතිල තිබුනෙ නැහැ. හැබැයි මේ වගේ ගමන් වලින් මම හොඳ පන්නරයක් ලැබුවා ගමනක් යද්දි ගෙනියන්න ඕනෙ මොනවද නැත්තෙ මොනවද කියන එක ගැන.

ලිවීමේ රටාව කිසියම් නොදන්නා හේතුවක් නිසා මෙතනින් ඉදිරියට වෙනස් වී ඇති බව කරුණාවෙන් සළකන්න.

ගමන පටන් අරන් වැඩි දුරක් යන්න ලැබුනේ නැහැ. ඉදිරයෙන් ගිය පිරිස යම්කිසි දෙයක් දැක නතර වූ නිසා අපද එම ස්ථානයට වහා ළඟා විය එහි වූයේ ටික දොහකට ඉහතදී මිය ගිය ගෝනකුගේ සුන් බුන් ගොඩකි. එය කෙසේ සිදු වූවාද යන්න සිතීම පසුවට කල් දැමූ අප නැවතත් ගමන ආරම්භ කළෙමු. නමුත් එම දර්ශනය අපගේ සිත් තිගැස්වීමට සමත් වුවද කිසිවෙකු හෝ එය හෙළි කලේ නොමැත.
ටික දුරකදී මගපෙන්වන්නා විසින් යොමු කරන ලද  දිය පහරක් හරහා යාමට අප හට සිදු විය. දිය පහර දිගේ තරමක් දුර ගමන් ගත් අප සැමගේ අදහස වූයේ දැන්වත් විඩා නිවා ගතයුතු බවය. දිය පහර අයිනේ ඇති ගල් ගෙඩි කිහිපයක් මත හිඳ ගමන් වෙහෙස නිවා ගනිමින් ද ආහාර පාන ගැනීමකින්ද සන්තර්පණය වීමු. එම ගල් ගෙඩි කිහිපය උඩ නතර වී සිටියත් කූඩළු ප්‍රහාරයෙන් ගැළවී ගැනීමට නොහැකි විය.
විවේකයක් සහ කූඩැල්ලන් ගලවමින්.
නැවත ගමන් ඇරඹීමේදී කූඩැල්ලන් ඇඟේ එල්ලීමේ වේගය වැඩි විය. කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීම සඳහා ගැල්වූ සියළු ආලේපන ජල පහරේ දිය වී ගොසින් ඇත. සපත්තු තුළට අනවසරයෙන් ඇතුල් වූ කූඩැල්ලන් ඇද දැමීමද කළනොහැක. ඒවා තුළ ඇති වතුර නිසාවෙනුත් සපත්තු ගළවා උන් ඇද දැමීමට ගියහොත් තව තවත් උන්ගේ ප්‍රහාරයට ගොදුරු වියහැකි බැවිනුත් රිසි සේ ලේ දන් දෙමින් ගමන් කළෙමු. එහිදී දැනුනු අපහසුව අදටත් මා හට සිතින් විඳිය හැක. ලේ බී තරවූ කුඩැල්ලන්ගේ තර බව යටිපතුළට දැනෙද්දී එය නොතකා ගමන් කිරීම කෙතරම් අපහසුවක්ද යන්න තේරුම් ගත්තේ එදාය.

අපගේ මග පෙන්වන්නා සම්බන්ධව සැකයක් ඇති වූයේ මෙන්න මේ අවස්ථාවේදීය. මීමුරේ යාමට පාර දන්නා ලෙසට ගමන් ඇරඹු ඔහු ලකේගල ඇති දිශාව බලා මී මුරේ සොයා යෑමට දැරූ උත්සාහයද නිරර්තක වෙමින් පැවතුනි. වරින් වර ඇද හැලෙන මී දුම ඔහුගේ අදහස මුදුන් පමුණවා ගැනීමට ඉඩ නොදෙන්නට තීරණය කළාක් වැන්න. අප තුළ පැවති අධික උද්යොගයත් අභියෝග සඳහා මුහුණ දීමට ඇති ආශාවත් හෝ එසේත් නොමැතිනම් වෙනත් කිසියම්ම හේතුවක් නිසා හෝ ඔහු අනුව යාමට කිසිදු පසුබෑමක් අප තුළද නොවීය. වරින් වර මීදුමෙන් වැසි වැසී නොපෙනී යන ලකේගල අපගේ ඉළක්කය ලෙස තබා ගැනීම කොතරම් අපහසුවක් දැයි අප හටද තේරුම් යමින් පැවතුණි. කැලෑව තරමක් උසට වැඩී ඇති විටෙක ලකේගල දැක ගැනීමේ හැකියාවක්ද නොවීය.
මහා බෑවුම්...
අප බැසිය යුතු දිශාව සම්බන්ධව පැහැදිළි අවබෝධයක් මේ වන විට ඇති වී තිබුනද සොබාදහම විසින් කළ යුත්තේ කුමක්ද යන්න මුළ සිටම තීරණය කර අවසන් කර තිබුණි. වරෙක අපි බොහෝ සාර්ථක ලෙස පල්ලම බැසගෙන ගිය අතර මිහිදුමට ආවරණය වූ විශාල ගල් පර්වතයක් ඇස් අභියසම දිස් වූයේ අප විශ්මයට පත් කරවමිනි. එවන් විශ්මිත දෑ බොහෝ ඈ සතු විය. බැසගෙන යා හැකි යැයි සිතෙනා මාර්ගයක් ඔස්සේ බැසගෙන ගිය විට හමු වූයේද විශාල පල්ලම් පමණි. මෙම අවස්ථාවේ පසුපසින්ම පැමිණියේ කපුටාය. මම පැමිණියේ ඔහුට ඉදිරියෙනි. එවනි අවස්ථා කිහිපයකදී අවසානයට පැමිණි කපුටාගේ සහ මාගේ පාදයන් වැදී ගල් කිහිපයක් ගැලවී ගිය අවස්ථා කිහිපයකදී ඉදිරියෙන් සිටි පිරිස දැඩි අවධානමකටද ලක් විය. එවැනි විටෙක හොඳ සිංහල බසින් අප ඇමතීමට ඔවුන් අමතක කලේ නැත. එහෙත් එසේ වීමට හේතුව ඉදිරියෙන් ගමන් ගත් ඔවුන්ගේ පාදයන් නිසා බුරුල් වූ ගල් බැව් අමතක නොකළ යුතුය.

වරෙක අප ඉතා සාර්ථක ලෙස පහළට බැසගෙන ගියෙමු. කන්දේ ආනතිය අංශක 70 කට වඩා වැඩි මිස අඩු නැත. පහළින් දිය ඇල්ලක් වැටෙන ශබ්ධයක් ඇසෙන්නට පටන් ගත්තේ අප සෑහෙන දුරක් පහළට බැස ගැනීමෙන් පසුවය. මෙතැනින් පහළට බැස යා හැකි වෙතැයි දැඩි විශ්වාසයක් අප තුළ ඇති වී තිබුණු අවස්ථාවක් වූ එහිදීද අපගේ බලාපොරොත්තු කඩ වී ගියේය. එහිදී දහම් පැවසූවේ අප විසින් කඹ කිහිපයක් හෝ රැගෙන ආ යුතුව තිබූ බවයි. එසේනම් මෙම පල්ලම බැසගැනීමට හැකිවනු ඇත යන්න ඔහුගේ අදහස විය. එහි වුයේ අවම වශයෙන් සියයකට වඩා වැඩි බෑවුමකි. කඹ වලින් බැසීමේ කිසිදු පළපුරුද්දක් නැති අප එවැනි උත්සාහයක් දරුවේනම් අපගේ කතාව මීට වඩා බොහෝ වෙනස් එකක් වන්නට ඉඩ තිබුණි.

නැවතත් ආ පාරෙන්ම ඉහළට නැග කඳු වැටිය දිගේ ගමන් ඇරඹුවෙමු. එවර අප ඉදිරියේ වූයේ තවත් බාධකයකි. අප පැමිණි මගේ වූ පැහැදිළි බව අවසන් වී ඇත. එක් වරම වදුලූ ස්වරූපයක් ගත් කැලයකි ඉදිරියෙන් දිස් වූයේ. යාමට ඇති එකම මගනම් ඌරන් වැනි සතුන් ගමන් කරනා උමගක් වැනි මගක් පමණි. එහි ඇති අනතුර හඳුනා ගත් බැවින්දෝ මගපෙන්වන්නා වූ ශිවා ඉදිරියෙන් ගමන් කිරීම ප්‍රතික්ෂේප කලේය. කවුරුත් මුහුණට මුහුණ බලමින් සුළු වේලාවක් ගත කළ අතර ඔහු අත වූ පිහිය ඉල්ලාගත් මා ඉදිරියෙන් යාමට ඉදිරිපත් වීමෙන් ගැටළුව නිමාවිය. එහෙත් කරදරවල නිමාවක්නම් නොවීය. යා යුත්තේ දණ ගාගෙනය. ඉදිරයෙන් ඇති අවහිරතාද ඉවත් කල යුතුය. වැල් වල පැටලෙන බර පොදි නිදහස් කර ගැනීමද දණ ගාමින්ම සිදු කල යුතුය. ඉදිරියෙන් වල් ඌරෙකු හෝ වෙනත් සතෙකු පැමිණියේනම් කළහැකි දෙයක් නොමැත.
එළිමහන් බිමක විවේකයෙන්...
කෙසේ හෝ එම අවහිරය නිමා කරමින් යම් දුරකට අකුල් වලින් තොර බිමකට පැමිණීමට හැකි වීම මහත් සහනයක් විය. එහෙත් ඒ වන විට අප පිරිස කායිකව සහ මානසිකව බොහෝ දුරට වෙහෙස වී සිටියාට සැකනැත. “දෙයියන්ටවත් කියමුයන ශිවාගේ හඬත් සමගම සැමගේ සිත් තුළ බියක් ඇති වූ බව මුහුණු වලින් මොනවට දිස්විය. ශිවා අයියා අනුව යමින් අප සියල්ලෝම කඩා ගත් අතු රිකිළි ගසක අත්තක එල්ලා පිහිට යැද්දේ කිසිදු පැකිලීමකින් තොරවය. එහිදී එකිනෙකාගේ ඉල්ලීම් අනෙකෙකුට නොඇසීම වඩා හොඳය.

පසුව ලද අවසරයෙන් සියල්ලෝම පාහේ ඩෙක්‍රෝස් වේලකින් සප්පායම් වීමු. යළිත් ගමන් ඇරඹුවද යන්නේ කොහිද යන්න ගැන කා හටවත් ප්‍රශ්නයක් හෝ අරමුණක් නොවීය. එක් වරම අප ඉදිරියෙන් වඩා එළිමහන් බිමක් දිස් වීම අපගේ බලාපොරොත්තු ඉහළ නැංවීය. එහිදී යමක් බඩට දමා ගැනීම හොඳ බව කාගේත් මකය විය. ඒ අතරවාරයේ දෙතුන් දෙනෙකු මදක් එහාට ගොස් ගසකට නැගී හෝ ලකේගල දිස් වන්නේදැයි බැලීමට කල අවසන් උත්සාහයද මීදුම නිසා මගහැරී ගියේය. පාන් සමග මොන මොනවාදෝ ගිල දැමීමෙන් පසුව තවත් ඉදිරියට යෑමේ අදහස අත්හැර දැමීමට අප තීරණය කලේ වෙන කළහැකි යමක් නැති බැවිනි. අප පැමිණි මගේම ආපසු ගියහොත් අවම වශයෙන් කලින් දින කඳවුරු ගැසූ බිම වෙත රෑ බෝ වන්නට පෙර යා නොහැකි වනු ඇත.

නමුත් මෙහිදී එක් වරම මීදුම පහ වී යාමෙන් පසු පෙරදා රැයේ අප කූඩාරම් ගැසු කඳුගැට පෙළ තරමක් ආසන්නයෙන් දිස් විය. කෙළින් බැලු විට එය උපරිම කිලෝමීටර දෙකකට වඩා වැඩි නොවන්නට ඇත. දවස පුරා ඇවිද්දත් අප සිදු කර ඇත්තේ බොහෝ දුරට වටේ කැරකීමක් බව එයින් ඔප්පු විය.

යළි කඳවුරු භුමිය වෙත ලඟාවීම සහ චාරිකාවේ අවසානය ඉතිරි කොටසින්....

Friday, 20 February 2015

නකල්ස් කඳු මුදුන බලා Knuckles Hike -කොටස 01

(මෙය 2009-02-24 යන දිනදී එකවරම සිතට නැගූනු මතකයන් අනුව ලිවීමට යෙදුනු චාරිකා සටහනකි. පළමු කොටස ලියා අවසන් කිරීමට හැකි වුයේ අද දිනදීය, එනම් 2015-02- 20 දිනදීය)

මේ දක්වා මම ජීවත් වෙලා තියෙන කාලය ඇතුළතදි මම ගිහින් තියෙන කැලෑ ගමන් වලින් හොඳම ගමන කියල කියන්න පුළුවන් ගමනක් ගැන තමයි මම මේ කියන්න යන්නේ. එහෙම කියන්න ප්‍රධාන හේතු කීපයක්ම තියෙනවා. ඉදිරියට මේ වගේ කැලෑ අස්සෙ රිංගන ගමන් යන්න ලැඛෙන අවස්ථා හිඟකමත් ඒ වගේ ගමන් බිමන් යන්න හොඳ මට්ටමක මගේ ශරීර කූඩුව දැන් නැති වීමත් ඒ හේතු අතර ප්‍රධානයි.
අප විසින් සිදු කල බොහෝ සවාරි මෙන්ම මෙයද පිටත් වූ දින වකවානුද එකවර මතකයට නගාගත නොහැකි විය. සටහන ලියාගෙන යාමේදී අතරමගදී සිදු වූ සිදුවීම් සිහි කිරීමේදී අප මෙම ගමන පිටත් වුයේ 2004-02-03 දින බවත් 06 වැනිදා ආපසු පැමිණි බවත් මතකයට නගා ගත හැකි විය.

මෙය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ දෙවන සෙමෙස්ටරයේ මුල් සති කිහිපය ආසන්නයේ සිදුකළ කිසිදා අමතක කළ නොහැකි ලෙසින් මතකයේ රැඳුනු චාරිකාවකි. මෙම චාරිකාවේ යම් විශේෂත්වයක් තිබුණි. එනම් අඩු වියදමින් ඇඟට දැනෙන අමතක නොවෙන මට්ටමේ ගමනක් යා යුතු බවය. එමෙන්ම එක් අයෙකුගෙන් අය කලයුතු මුදල රු 500 කට වඩා අඩුවිය යුතු බව එහිදී මතුවූ වැදගත්ම කාරණය විය.
ගමන යාමට ඒකමතිකව තීරණය වූයේ නක්ල්ස් රක්ෂිතය බලාය. එහි දිනක හෝ දෙකක කඳවුරු  ගැසීමකින් අනතුරුව ලංකාවේ ඇති සුන්දර ගම්මානයක් වන මීමුරේ බලා නක්ල්ස් කඳු මුදුන් හරහා ගමන් කිරීම අපගේ ඊළඟ අපේක්ෂාව විය. පෙබරවාරි 04 නිදහස් දිනය සහ 05 පොහොය දිනය දී තිබුණි. එය අප සතු වූ වැඩ අඩු කාලසීමාවක්ද වූ බැවින් කාලය පිළිබඳ ගැටළුවක් අපහට නොවිය. ගමන ආරම්භ කිරීමට කතිකා කර ගත්තේ පෙබරවාරි 03 අඟහරුවාදා දින රාත්‍රියේදීය.
මෙම කාල සීමාව වන විට අප පිරිස සමන්විත වුයේ වනජීවීන්ගේ සහ ශාක වර්ග වල ගති ස්වභාවයන් නිරීක්ෂණයට වඩා කඳු නැගීම, දිය ඇලි බැලීමට යාම වැනි හයිකින් ඝණයට අයත්වන ක්‍රියාවන් කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතියවුන් පිරිසකිනි.

03 වැනි දින රාත්‍රියේ මාතලේටත් තරමක් ඈතින් පිහිටි DTB ලාගේ ගෙදර නතර වීමට අදහස් කලේ අප මීට කළින් එහි ගොස් නොමැති නිසාය. පසුදින උදෑසනින් නැවත නුවරට පැමිණ වත්තේගම බලා ගොස් එතනින් නකල්ස් බලා යන පරිදි අපගේ සැළසුම සැකසුණි. එය පරංගියා කෝට්ටේ ගියා වැනි ගමනක් වූවත් ඒ දිනවල අපගේ කටයුතු සිදු වුයේ එලෙසය. හරි, දැන් කෙලින්ම කතාවට බහිමු.

ගමනට අවශ්‍යය කරන බඩු මුට්ටුත් අරගෙන ඔක්කොම එකතු වෙලා කොළඹින් පිටත් වෙන්න හදනකොටම වෙලාව  සවස 3ත් පහු වුනා. ආරම්භය හොඳයි වගේ. අපේ ගමන් නඩය වුයේ මම, දෙමළා, DTB (කළුවා), චූටි බබා, කපුටා, දහමා, තරිඳු, එළුවා, බල්ලා සහ බඩා යන පිරිස. DTB අපිත් එක්ක ආවට ඌ අපේ චාරිකාවට එකතු වෙන්නේ නැහැ කියල තමයි කළින් ඉඳලම අපිට කියල තිබුනේ. මේ කියන කාලේ වෙද්දී අපේ කවුරුවත් ගාව කුඩාරම් තිබුනේ නැහැ. දහම රෝයල් එකේ බාලදක්ෂ එකේ කුඩාරම් දෙකක් අපේ ගමනට ලැස්ති කරගෙන තිබුනා. එව්වා පොළවට හයි කරන්න තිබුනේ යකඩ බට වලින්. ඒ බට ටිකත් සෑහෙන බරයි.
සම්පුර්ණ ටෙන්ට් එක ගත්තම කිලෝ විස්සක්වත් ඇති කියල මට හිතෙනවා.

මාතලේට යනකොට ම රෑ 8 ට විතර ඇති. DTB ලගෙ ගෙදරට යන්න බස් එක්ක එනකම් සෑහෙන වෙලාවක් බලන් ඉන්න සිද්ධ වුනා. බලාගෙන ඉඳල එපා උනාට පස්සේ ත්‍රිවිල් වලින් යන්න තීරණය කලා. හැමදාම අනුන්ගේ වැරදි හොයන සහ කට කැඩිච්ච කතා කියන DTB ට ගෙදරට යන්න බස් නැති වීම ගැන අපි ගහන මඩ පාරවල් කාගෙන සද්ද නැතුව ඉන්න සිද්ධ වුනා. ඒ මදිවට ත්‍රිවිල් වල ගියපු එකත් අපේ ලෝ බජට් ට්‍රිප් එකට සෑහෙන බලපෑමක් ඇති කරනවා කියන එකත් අමතක කරන්න බැහැ. අපිවත් පටවගත්තු ත්‍රීවිල් කාරයෝ තුන්දෙනා රේස් යන්න පටන් ගත්තා. පාරේ වාහන අඩු නිසාත් මගියෝ සියල්ල කොල්ලෝ නිසාත්, සමහර විට ඉක්මණට ආපහු ගියාම තව හයර් යන්න පුළුවන් නිසා වෙන්නත් ඇති කියල හිතල අපි මුකුත් කිව්වේ නැහැ. බඩා සහ තව කීප දෙනෙක් හිටපු ත්‍රිවිල් එක එහෙම වෙට්ටුවක් දාන්න ගිහින් තව පොඩ්ඩෙන් ඉස්සරහින් ආපහු වාහනේක හැප්පෙනවා. ඒකෙ රියදුරා හොඳට බීල ඉඳල කියල උන් දැනගෙන තියෙන්නේ ත්‍රිවිල් එකට නැගල ගමන පටන් ගත්තට පස්සේ. කළුවරේ ගිහින් තිබ්බ ත්‍රිවිල් වලට නැග්ග මිසක් ඒවා පදින උන් කාලද බීලද කියල බලන්න බැරි වීම ගැන අපි අපිටම දොස් කියා ගත්තා.

කොහොම හරි රෑ 10 ත් පහු වෙලා අපි DTB ලගෙ ගෙදරට ගියා අම්ම තාත්තගෙන් උණුසුම් පිළිගැනීමක් හම්බ වුනා ඒත් නංගි පේන්න නැහැ. අපේ එකාගෙ තියෙන නැහැදිච්ච කමට ඌ ඒ කෙල්ලට කල් තියාම කියලද කොහෙද අපි ආපු ගමන් හැංගෙන්න කියලා. ඔන්න ඔහොමයි අපේ යාළුවො අපිට කරන්නෙ. දඬුකඳේ ගහන්න වටිනවා මුන් කරන වැඩ වලට.
ඒකට කමක් නැහැ. එපා කියන්නෙ නැතුව නෑ බෑ කියන්නෙ නැතුව කට්ටිය එක්ක එකතුවෙලා ලැස්ති කරලා තිබ්බ කෑම බීම ටිකට වග කිව්වා. පහුවෙනිදා පාන්දර 4:30ට වගේ නැගිටින්න හිතාගෙන හිටපු නිසා රෑට කාපු ගමන්ම වගේ  නිදා ගන්න තමයි දැන් අපේ සුදානම. ගෙදර සාලේ බිමට දාපු මෙට්ට ඇඳ ඇතිරිලි අපේ සුව යහන බවට පත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. එලාම් එක වැදුනට උදේ නැගිටින්න පුදුම කම්මැලි කමක් දැනුනේ. මම නැගිටලා අනිත් උන්වත් ඇහැරවගෙන මුණකට සෝදන්න ගියා. මම මුණ සෝදාගෙන එද්දිත් සමහරු නිදි. අපේ සෙට් එක සම්පුර්ණයෙන් ඇහැරවා ගන්නකොට වෙලාව පාන්දර 5ත් පහු උනා වගේ තමයි මතක.

කට්ටියම ලෑස්ති වෙලා බඩු මුට්ටු එහෙම සූදානම් කරලා ඉවර වෙද්දී පාතරාසය විදිහට කිරිබත් සුදානම් කරලා තිබුනා. කිරිබත් කාල තේ එහෙමත් බීල ඉවර වෙද්දී අපි එක්ක නකල්ස් යන්න එන්න බැහැ කියල කියපු DTB ත් අපි එක්ක යන්න එන්න ලැස්ති වෙලා. ගෙදර උදවියගෙන් සමු අරගෙන මාතලේ ටවුමට යන්න තියෙන බස් එකට නගින්න තියෙන හෝල්ට් එක ගාවට ආවා. සූදානම් වෙලා ගියා කියල කිව්වට කඩෙන් ගන්න බඩු මුට්ටු තොගයක්ම තිබුනා. ඒකට හේතුව උනේ කොළඹ ඉඳල කෑමට අවශ්‍ය කරන බඩුමුට්ටු උස්සගෙන එන්න අමාරු නිසා ඒවා අතරමගින් ගම්මු කියල අපි කළින්ම ගත්තු තීරණය. මම බඩු ලිස්ට් එකක් ලියාගෙන ඇවිත් තිබුනේ. එහෙම වෙලත් ඒ බඩු ටික ගන්න පැය දෙකකට වැඩිය ඉන්න සිද්ධ උනා. අපි උදෙන් ගියාට කඩ කාරයෝ කඩ අරින්නේ පහු වෙලානේ.
අපේ උන්ට ඒ වෙලාව ඉන්න එකනම් ඒ තරම් අමාරු උනේ නැහැ. එදා අපේ උන්ගේ වෙලාවටද කොහෙද ඒ අහල පහල තියෙන ස්කෝල වල බෑන්ඩ් කණ්ඩායම් ටික පාරට බැහැලා නිදහස් දිනයට පෙළපාලි යනවා. සියයට අනූවක් විතරම හිටියෙ ගෑණු ළමයි. (ඔන්න දැනුයි මතක් උනේ මේ 2003 පෙබරවාරි 04 - නිදහස් දිනය)

ඒ ළමයි ටික දැක්කම අපිට හිතුනේ මාතලේ තියෙන්නේ බාලිකා ඉස්කෝල විතරමද කියලා. සමහර විට DTB ත් යන්න ඇත්තෙ එයින් එකකට වෙන්නත් ඇති කියලත් හිතුනා. අර කතාවකට කියන්නෙත් “කේතලෙන් මල්ලක් ගන්න එකක් ගැන. ඒක නම් හරි වෙන්න ඇති. හැම තැනම වැඩිපුර ඉන්නේ ගෑණු ළමයි. ඒත් DTB  වගේමයි හරි හොඳ පාටයි, ඒ වගේම ඒ හිටපු ඔක්කොම වගේ කළුයි. අපේ DTB වගේම මෝඩද කියලා කියන්න නම් දන්නේ නැහැ. හරි හරි... මඩ ඕනේ නැහැ, ආපහු කතාවට යමු.
හැමතැනම් ඇවිදලා බඩු මුට්ටු ටිකනම් අරගත්තා. එතන වැඩිපුරම පාන්, මාජරින් සහ රටළුෑණු තමයි තිබුනේ. මීට අමතරව වැදගත් ද්‍රව්‍ය විදිහට ඉටි පන්දම්, ගිනි පෙට්ටි, පැනඩෝල්, තුවාල උනොත් බෙහෙත් වර්ග, ගෝස් වගේ දේවල් සහ ඩෙක්‍රෝස් පැකට් 30 ක් විතර වගේත් ගත්තා. අනිත් වැදගත්ම දේ තමයි කූඩැල්ලෝ එල්ලෙන එක නතර කරන්න පාවිච්චි කරන්න නිල් සබන් කැට දෙකකුත් ගත්තා.

බඩුමුට්ටු ටිකත් අරගෙන නුවරට ගිය අපේ ඊළඟ කටයුත්ත උනේ වත්තේගම බස් එකක් හොයා ගන්න එක. වත්තේගමදි තවත් අවශ්‍යයයි කියලා හිතුන පොඩි පොඩි දේවල් ටිකකුත් ගන්න පුළුවන් උනා. ඊට පස්සේ දවල් කෑම කන්න හිතාගෙන පොඩි කඩේකට ගොඩ උනා. එතන කෑමනම් සත පහකට වැඩක් නැහැ. බඩගිනි නිසා බඩට දා ගත්තා. ගමනාන්තයෙදිත් තව පුංචි කඩයක් තියෙනවා කියල කවුරුහරි කියපු නිසා අමතක වෙච්ච දේවල් තියෙනවද කියල වැඩිය හොයන්නේ බලන්නේ නැතුවම අපේ අන්තිම බස් රථය වෙච්චි බඹරැල්ල බස් එකට නැගගත්තා.

කඳු පල්ලම් වංගු පහු කරගෙන එන අතරේ ඈතින් නකල්ස් කඳු පන්තිය පේන්න පටන් ගත්තා. නකල්ස් කඳු පන්තියත් අඳුරු වෙලා තිබුනේ. ඒ එක්කම පොඩි පොද වැස්සක් වැටෙන්නත් පටන් ගත්තා.  අපේ ගමනාන්තය ඒ කියන්නේ බඹරැල්ලට එද්දී වටපිටාව ටිකක් විතර වැහි අඳුරින් වැහිලා තිබුණත් වැහි පොද වැටෙන එක නතර වෙලා තිබුනා. බස් එක ගමනාන්තයට ඇවිත් නතර කලා. බඩුමුට්ටු ටික බස් එකෙන් බාගෙන පැත්තකින් තියල ඉවරවෙලා එක එකා නොයෙකුත් අවශ්‍යතාවන් ඉටු කරගන්නවා. බස් එක හරවන තැනම වගේ තියෙන පුංචි කඩය  අපේ බඩගින්න තිබහ හැම දේම විතරක් නෙමේ අපට අමතක වෙලා තිබුන සමහර භාණ්ඩ කීපයක් ගන්නත් උපකාරී වුනා. මම අත්දැකලා තියෙන දෙයක් තමයි බොහොමයක් දුෂ්කර පැති වල මේ වගේ හැම දෙයක්ම වගේ ගන්න පුළුවන් කඩ තියෙනවා කියන එක. කඩේ කිට්ටුව තිබ්බ වැසිකිළිය අපිට සෑහෙන පිටුවහලක් උන බව අමතක කරන්න හොඳ නැහැ.
බඹරැල්ල කඩේ ගාව අපි...
මේ ඉන්නේ බල්ලා, කඳු නැගීමට පෙර...
චුටි බබා, කපුටා, DTB නකල්ස් බෝඩ් එක ගාව
කඩය අසල තිබු අපට පිහිට වූ වැසිකිළිය
අසළ පිහිටි දිය ඇළ, නම අමතකය.
වැහි බීරුම තිබුනත් නකල්ස් කන්ද නගින එක අතඅරින්න කවුරුවත් සූදානම් නැහැ. ඒ වුනාට නකල්ස් කිට්ටුවටම එනකම් අපි ටිකක් දෙගිඩියාවෙන් තමා හිටියෙ වැස්ස අපිට බාධාවක් වෙයිද කියලා. කන්ද නගින්න කවුරු හරි දන්න කියන කෙනෙක් හොයලා දෙන්නම් කියලා පොරොන්දු වෙච්ච දහම් හතර අතේ කැරකුනත් කාවවත් හොයා ගන්න බැරි වුනා. කඩෙන් අහල බැලුවට වැඩක් උනෙත් නැහැ. අන්තිමේදී අපි ගයිඩ් කෙනෙක් නැතුවම ගමන පටන් ගත්තා.

ගමනේ මුල් කොටස යන්න තිබුනේ ලොකු බෑවුමක් තියෙන තේ වත්තක් හරහා. ඒ වෙද්දී වැහි ගතිය අඩුවෙලා පොඩි අව්රැල්ලක් වැටෙන්න පටන් අරගෙන තිබ්බේ. පළවෙනි මීටර් 100 විතර යද්දි අපි හැමෝවම මැරිල වැටෙන්න තරම් හතියකුයි දාඩියයි දාන්න පටන් ගත්තා. මුලින්ම හම්බ වෙච්ච ගෙදර ඒ කිට්ටුවම තිබුනෙ අපි හැමෝගෙම වාසනාවට වෙන්න ඇති. එතන නතර වෙලා නිදහසේ ගලාගෙන එන වතුර බටයකින් ඇති වෙන්න වතුර බිව්වා. තැන තැන වාඩිවෙලා හති අරින්න පටන් ගත්තා. ඒ ගමන්ම මිදුලේ කොණක වවලා තිබුණ තක්කාලි ගහකින් ගෙඩි කීපයකුත් කඩාගෙන කාල එතනම තිබ්බ මිරිස් ගස් වලින් මිරිල් කරල් ටිකකුත් කඩාගෙන කෑවා. ඊට පස්සෙ තමා කට්ටිය ටිකක් විතර යථා තත්ත්වයට පත් වුනේ.
මෙන්න මේ වෙලාවේ තමයි ඒ ගෙදර හිටපු ගෑණු මනුස්සයා අපේ ආගමනය දැකල එළියට ආවේ.

කතාව ටිකක් දිග වැඩි නිසා කොටස් දෙකක් විදිහට දැමීමට සිදුවීම සම්බන්ධව සමාව....

Monday, 2 February 2015

මී මුරේ - Meemure (2008.05.24 සහ 25) - දෙවන කොටස

මාර්ගයේ අසීරු ස්ථාන කිහිපයක් මෙහිදීද හමු විය. එහිදී රියදුරු මහතා වාහනය කිහිප ස්ථානයකදීම යට වද්දා ගත්තේය. අපහසුවකින් තොරව ගත හැකි ස්ථානයකදී පවා ඔහු ඒ වරද සිදු කළේය. ඉතාම අපහසුවෙන් එගොඩ වූ දෙවරකදීම තවත් යන්න තියෙනවද කියා ඉතා අප්‍රසන්න ලෙස විමසූ විට දිය හැකි පිළිතුරක් අප සතුවද නොවීය. කෙසේ හෝ ඉදිරියටම යා යුතුය. 
කයිකාවල දිය නාමින් -ජායාරූපය සඳරේකාගෙන්
ගිය සතියේ මෙහි පැමිණි පෙරමුණේ මාර්ගය හොඳින් දන්නවා ඇතැයි අප අනුමාන කළෙමු. එහෙත් අවසානයට ළඟා වී ඇතැයි අනුමාන වශයෙන් සිතෙන ස්ථානයකදී ඔහු අප හා පැවසූවේ “දැන්නම් ගමට ඇවිල්ලා ඉවරයි” කියාය. නමුත් මී මුරේ මී ගස ඇති ස්ථානයට යාමටද එතැන සිටද තවත් කිලෝමීටර දෙකක් පමණ යාමට සිදු විය. සවස 4:45 ට පමණ මී මුරේට පැමිණීම සනිටුහන් විය. මාගේ නෙත ගැටුණු මුල්ම දසුන වූයේ වෙනකක් නොව ගමට එහායින් විරාජමානව වැඩ සිටිනා ලකේගලයි.
ලකේගල කන්ද
ගමට ගොඩවැදුනු වහාම රියදුරු මහතා වහාම සුපුරුදු නින්ද ආරම්භ කල අතර වටපිටාව නැරඹීමට එහා මෙහා යෑම අපගේ කාර්යය විය. ගමේ පහළ දෙසට යාහැකි මාර්ගයේ සැළකිය යුතු දුරක් පයින් ගමන් කළ අපහට කුරුළු වර්ග කිහිපයක දසුන් දැක ගැනීමට ලැබුනද ඉන් නිසි ප්‍රයෝජනයක් නොවූයේ මද ආලෝක තත්ත්වය නිසාවෙනි. ආපසු ගම්මානය දෙසට පැමිණි අපගේ මීළඟ ප්‍රශ්නය වූයේ නවාතැන්පළක් සොයා ගන්නේ කෙසේද යන්න සම්බන්ධවය.


ගවයින් සඳහා තණකොළ රැගෙන එමින්
අප නඩය දෙස විමසිලිමත්ව බලා සිට පිටව යන කොළු ගැටයෙක්.
මී මුරේ සිවිශේෂී ගල් තාප්ප -ජායාරුපය ගලා/සජ්
කුඹුර අද්දර අඩිපාර -ජායාරුපය ගලා/සජ්
කමතක් -ජායාරුපය ගලා/සජ්
ගැමි ගෙයක් -ජායාරුපය ගලා/සජ්
නවාතැනක් සොයන අතරවාරයේ ගමේ පිහිටි එකම කඩමණ්ඩිය වටා තැන තැන වාඩි වී වල්පල් කතා කරමින් උන් අපහට එහි පැමිණි ගැමියන් හා දොඩමළු වන්නටද අවස්ථාව සැළසුනි. එම කඩයේද බුලත්විට නොතිබුනු අතර එහිදී දැනගත හැකි වූයේ බුලත් වෙනුවට ඔවුන් පාර අයිනේ වැවෙන යම්කිසි පැළෑටියක කොළ සපන බවත්ය. ඒ කොල වර්ගයේ නම “තලා” බවත් සපා බැලු විට තරමක අමුතු රසක් දිවට දැණුනි. එම පැළෑටිය පිළිකා කාරකයක් බව මා හට දැනගන්නට ලැබුනත් එසේ දැනගන්නට ලැබුනේ කොහෙන්දැයි මා හට මතකයක් නැත.

මීට වසර කිහිපයකට පෙර මෙහි පැමින තිබූ වස්සා විසින් දැන හඳුනා ගන්නා ලද නිවසක නතර වීමට හැකියාව අත්දැයි විමසා බැලීමට අප එහි ගියෙමු. එහි සිටියේ අදාළ නිවසේ මව පමණි. ඇයගේ ස්වාමි පුරුෂයා කුඹුරට ගොස් තවම නොපැමිණි බවද ස්වල්ප වේලාවකින් පැමිණෙනු ඇතැයිද කියැවිනි. නැවත අප එහි ගියෙමු ඒ රාත්‍රි හතට පමණය. එහිදී ඇය කියා සිටියේ පන්සලේ නතර වීම සඳහා ඇය අප වෙනුවෙන් අවසර ලබා ගත් බවක්ය.
ඔවුන් සතු අමතර නිවසේ ජල පහසුකම් නොමැති අතර එය අප හට කරදරයක් විය හැකි බැවින් එසේ කල බව ඇය පැවසුවාය. අනතුරුව අපගේ බඩු මුට්ටු සියල්ල රැගෙන පන්සල බලා ගමන් කළෙමු. එහි වැඩ සිටින එකම ස්වාමීන් වහන්සේ අපගෙන් කල ඉල්ලීම කිහිපයකින් අනතුරුව බණ මඩුව අපගේ නවාතැන්පළ වශයෙන් සපයා දුන්නේය.
එම ඉල්ලීම් අසාධාරණ ඒවා නොවීය. නවාතැන් දීම වෙනුවෙන් යම් මුදලක් බලාපොරොත්තු වන බවත්, කරදරකාරී ලෙස ශබ්ධ කරමින් නොහැසිරෙන ලෙසත් අපගෙන් කල ප්‍රධාන ඉල්ලීම් විය.
පෙර වරකදී එහි පැමිණි තරුණ කණ්ඩායමක් මත්පැන් බී සිදු කල මුග්ධ හැසිරීම් නිසා පැමිණෙන කණ්ඩායම් වලට මෙම මුලික දැනුම්දීම සිදු කරන බව උන් වහන්සේ පවසා සිටි සේක.

රාත්‍රී ආහාරය ලෙස නූඩ්ල්ස් සෑදීම ආරම්භ කල අතර එහිදී පෙරමුණේ නැවතත් නා ගත්තේය. නූඩ්ල්ස් තැම්බීම සඳහා ඔහු සූදානම් වී ඇත . භාජනයකට වතුර දමා නූඩ්ල්ස් සියල්ල එහි දමා ලිප තැබීමට පෙර වතුර ඇතිදැයි සැකහැර ගැනීමට ඔහු මාගේ සහය පැතුවේය. වේලාවට ඔහු ලිප ගින්දර දමා තිබුනේ නැත. නැවතත් නූඩ්ල්ස් සියල්ල ඉවත් කර වතුර පමණක් දැමූ භාජනයක් ලිප තැබීය. වතුර උණු වූ පසු එයට නූඩ්ල්ස් දමා තම්බා ගත්තද එයින් වතුර ඉවත් කර පෙරා ගැනීම සඳහා නිසි පහසුකම් නොවූ බැවින්ද කළින් එය කලින් ජලයේ ගිල්වා තිබුණ බැවින්ද අවසාන ප්‍රතිඵලය වූයේ හොඳින් ඛෙරි වූ නූඩ්ල්ස් තලියකි. දහවල් බතෙන් කොටසක්ද ඉතිරි වී තිබුණි.

රාත්‍රී ආහාරය පිළියෙල කර ගත්තද එය අනුභව කිරීමට එතරම් අවශ්‍යතාවයක් පිරිසට නොවීය. දහවල් බත් සහ නූඩ්ල්ස් ස්වල්පය බැගින් ඛෙදා ගත්තද, ඛෙදා ගත් ප්‍රමාණය සම්පූර්ණයෙන් අනුභව කිරීමේ හැකියාවක් සතු නොවීය. රාත්‍රී ආහාරය ගැනීමට පැමිණෙන මෙන් දැන්වුවද, රියදුරු මහතාගේ මනාපය වූයේ බඩගින්නේ නින්දට පිවිසීමය.
රාත්‍රිය නිකරුනේ ගෙවී යාම අපරාධයකි. ඉන් ගත යුතු ප්‍රයෝජනය ගත යුතුය. එහෙත් අනෙකෙකුගේ බලකිරීමක් ලැඛෙන තුරු තැන තැන කිරා වැටෙමින් සහ නොයෙකුත් දෑ කියවමින් සිටි පිරිස එක්තැන් කර ගැනීමට විචිත්‍රා නැගණිය දැඩි උත්සාහයක් ගත්තාය. අනතුරුව මාගේ සහ තවත් කිහිප දෙනෙකුගේද ඉල්ලීම මත මෙවැනි චාරිකාවකදී අප පිරිස සිදු කරන රාත්‍රී ක්‍රියාකාරකමක් සෙමෙන් ආරම්භ විය.

ප්‍රශ්න සහ උත්තර මාරු කර ගැනීමේ සිට අන්අය නොදන්නා කිව හැකි ගණයේ ළා සැලකෙන රහස් එළි කරවීම වැනි ක්‍රීඩාවන් එහිදී එළි දැක්විණි. මෙහිදී මා සිත් ගත් වැදගත්ම අංගයක් වූයේ එහි සිටි පිරිස එකිනෙකා මුල් වතාවේ දුටු පසු හෝ හමු වීමකින් පසු එකිනෙකා සම්බන්ධව ඇති වූ ආකල්පයන් කෙබඳුද යන්න පිළිබඳව හෙළි කිරීමත්ය. එය නවතම හා ඉතාම සිත් ගන්නා වූ අංගයක් විය. විශ්ව විද්‍යාලයේදී මා දුටු මුල් අවස්ථාවේ හනී සහ විචිත්‍රා යන දෙදෙනා තුළ මා සම්බන්ධව ඇති කරගෙන තිබු අදහස ඇසු මා හට දැඩි විශ්මයක් ඇති විය. ඒවා තරමක් දරුණු ගණයේ අදහස් විය. තමන් සම්බන්ධව කෙනෙකුට ඇතිවන අදහස් අවංකව දැන ගැනීමට ලැබීමෙන් කෙනෙකුට තමන්ගේ අඩුපාඩු සකසා ගැනීමට හැකිබව මාගේ අදහසයි.
මෙහිදී ආදර සම්බන්ධතා ඇති වූ ආකාරය පිළිබඳ ඉතා අවංක සහ සිත්ගන්නා සුළු මතකයන් අවදි කරවීමට සු සමත් විය. පෙරා ඇයගෙන් ආදරය විමසන තෙක් ඇය නොඉවසිල්ලෙන් බලා සිටි අයුරුත්, එය ප්‍රමාද වන අතරතුරේ ඇයගෙන් ආදරය විමසා පස් හය දෙනෙක් පැමිණි අයුරුත් ඒවා දැක දැකත් පෙරා මෝඩයෙක් සේ සිටියායැයි ඇය කියා සිටියාය. ඒ සියල්ල ඇත්ත බව අප කණ්ඩායමේ එකට සිටි අප පිරිස කළින් පටන්ම දැනගෙන උන්හ. කෙසේ නමුත් රාත්‍රී ක්‍රියාකාරකම්  සඳහා පිරිසගේ උන්නදුවෙහි අඩුවක් ඇති බවක්ද පෙනී ගිය බව නොකියා බැරිය.


ටික වේලාවකින් පසුව වැටුණු වැටුණු තැන්වල නින්දට වන් අපහට තිබුණු එකම කරදරය වුයේ සිමෙන්ති පොළවේ වැතිර නිදා ගැනීම නිසා ඇති වූ ශාරීරික හිරිහැරය සහ සීතල නිසා ඇති වූ අපහසුතාවය පමණකි. රාත්‍රියේ ඈතින් ඇසුණු පිරිත් සජ්ජායනයක හඬ කියා පෑවේ තරමක් ඈත නිවෙසක පිරිත් පිංකමක් සිදුවන බවයි.
උදෑසනින් දුටු සඳමඩල

ලකේගල කන්දේ පැතිකඩක්
උදෑසන අවදි වූ අපහට රාත්‍රියේ ඇසුනු පිරිත් සහ බණ වෙනුවට බුදුගුණ වැයූ ගී කිහිපයක් ඇසෙන්නට විය. මුහුණ කට සෝදාගෙන රාත්‍රියේ ඉතිරි වී තිබූ අහර කොටස රත් කරගෙන ආහාරයට ගත්තෙමු. පන්සලේ හාමුදුරුවන්ගෙන් සමුගත් අප නවාතැන් ගාස්තු වශයෙන් රුපියල් 500 ක් ලබා දුන්නෙමු. පා ගමනට අවැසි බඩු මුට්ටු හැර ඉතිරිය වාහනයට පටවා දැම්මෙමු. රියදුරු මහතාට ඇවැසිනම් කයිකාවල කඩමණ්ඩිය වෙත ගොස් අප එනතුරු නැවතී සිටින ලෙස පැවසීය. ඔහු පිටත් වීමට පෙර මම සහ පෙරා රහසේ ඔහුට දුන් උපදෙසක් වූයේ හැකිනම් අප ආපසු කයිකාවල බලා පැමිණෙද්දී බීමට හැකිවන පරිදි කිතුල් රා ටිකක් සොයා තබන ලෙසය. ඒ සඳහා සහ ඔහුගේ ආහාර වේල් සඳහාද අවැසි මුදල් ඔහු හට ලබාදී ඔහුව පිටත් කර හැරියේය. ඉන්පසුව එළඹියේ ගමපුරා නිදහසේ ඇවිදගොස් වටපිටාවේ සුන්දරත්වය අත්වීඳීමේ වාරයයි. බැලූ බැලූ සෑම අතම දක්නට ලැබුනේ නිල්ලය, ගස්වැල් අතරේ ඇති ඉඩක සෑදූ කුරුළු කූඩු සහ එහි සරමින් සිටි කුරුළු සමුහයාය.
ගල් වැටවල්

ගං මැද්දේ



කුඹුර අද්දර වූ බෝ ගස් සෙවනකට වී සමනළ සහ කුරුළු නිරීක්ෂණයේ යෙදෙමින් උන් අපහට ඈතින් ඇසෙන්ට වූයේ දවුල් තම්මැටටම් නාදයකි. මද වේලාවකට පසු ගම්මුන් පිරිසක් එහා ගම්මානයේ පැවති පිංකම් ගෙදර බලා යමින් උන්හ. ඒ අතරේ අප හා කතාබහ කළ අයෙක් අපහටද පිංකම් ගෙදරට පැමිණෙන ලෙස ආරාධනා කරන්නටද අමතක නොකළහ. කාල වේලාවේ මදකම නිසා එම යෝජනාව ප්‍රතික්ෂේප කලේනම් හිතකින් නොවන බව කිවයුතුය.
දිය පහර දෙසට යමින්

පිංකම් ගෙදර යන ගැමියන්
දිය පහර -ජායාරුපය ගලා/සජ්
ඉන් පසුව අපගේ නිරීක්ෂණය යොමු වූයේ කුඹුර අද්දර පිහිටි පුංචි දොළ පහරේ පිහිනමින් උන් මාළුන් වෙතය. එහි මද වේලාවක් ගත කළ අපහට පිංකම් ගෙදර සිට පැමිණෙමින් සිටි හාමුදුරු නමක් සිනහ මුසු මුහුණකින් යුතු දරුවකු සමග වඩිනා අයුරු දැකගත හැකිවිය. කාල වේලාව මද නිසා නුදුරුව තිබු වනයේ සිරි නැරඹීමට යාමටද නොහැක. ගමපුරා තැන තැන කරක් ගැසූ අප දහවල වන විට ආපසු කයිකාවල බලා ගමන් ඇරඹීම සඳහා සූදානම් වීමු.
හාමුදුරුවෝ
එම දිනයේ දැඩි පිපාසයක් දැනුණේ වියළි කාලගුණයක් පවතී බැවින් විය හැක. පාර අයිනේ ඇති දිය පහරවල් වලින් පිපාසය සංසිඳවා ගනිමින් විහිළු තහළු කරමින් සෙමින් සෙමින් ගමන් ගත්තෙමු. වරෙක පාර අද්දර ඇති නිවසකින්ද වතුර ඉල්ලා ගත්තේ එතරම් දැඩි පිපාසයක් එදින දැනෙන්නට වූ නිසාය. තරමක් ඉදිරියෙන් ගමන්ගත් අප පසුපස හරි බැලු පසු දැකගත හැකි වූයේ කුඩා කල සිහි ගන්වන දසුනකි. ඒ නම් අළුත වැටුණු කොළපතක තම පෙම්වතිය වාඩි කරවාගෙන ඇදගෙන එන පෙරාය.
පැළක්
කයිකාවල ආසන්න වද්දී එකවර ඇද හැලූණු වර්ෂාවකට අප හසු විය. දිවාකල තිබු දැඩි රස්නයට හේතුව දැන් පැහැදිළිය. එහි තිබූ කඩය ආසන්නයේ අප පැමිණි වෑන් රථය නතර කර තිබූ අතර රියදුරු මහතා මා වෙත පැමිණ රහසින් කියා සිටියේ ඔහු පැමිණි කාරණය සාර්ථක වූ බවය. මම පෙරා සහ වස්සා කිතුල් රා පොදක රස බැලු අතර වැස්ස තුරල් වූ පසු බතක් උයා හොද්දක් සාදා ගෙන කා දැමීමෙන් දිවා ආහාරය සපුරා ගත්තෙමු. වෑන් රථයට මදක් ඉදිරියට යන මෙන් පවසා අප පා ගමනින් ඉදිරියට ගියේ පාරේ වූ දුෂ්කරතාවය නිසාය.
අතරමග පිහිටි ස්ථිර කමත් බිමක්
අතරමගදී හමුවූ ගැමි ගෙදරක විසූ ගැහැණියක් ඇය සතුව විකිණීමට ඇති හොඳ කිතුල් පැණි සහ හකුරු ගැන කියූ පසු අප නඩයේ කිහිප දෙනෙක් ඒවා මිළදී ගැනීමට නතර විය. මේ වන විට දවසේ නිමාව සටහන් වීමට ආසන්න වී තිබුනද අප හට ඉන් පිටව යාමට වැඩි උනන්දුවක් තිබුනේද නැත. මද වේලාවකට පසු වාහනයට නැගී පිටත් වූ අප හට කෝබට් කපොල්ල ආසන්නයේදී හමුවන කඳු සහිත කොටසේදී වාහනයෙන් බැසීමට සිදු විය. ඒ වනවිට වැසිබර කාලගුණය නිසා අඳුරු බවක් ඉසිළු නිසා ජායාරුප ගැනීමේ හැකියාවක්ද නොවිය.
කෝබට් කපොල්ලේ කන්ද නගිමින්

අමුත්තෙක්
කඳු මුදුන බලා


කෝබට් කපොල්ලට පහළින් -ජායාරුපය ගලා/සජ්
වේලාව හවස 05:30 පමණ වන විට ඒ සොඳුරු පරිසරයෙන් වෙන් වී කොළොම්පුරය බලා ආපසු ගමන් ඇරඹීමු.

මී මුරේ සහ කයිකාවල අවට විසූ ගැමියන්ගේ ගැමිකම හා සුහදශීලී බවෙහි අප අසා තිබූ තරමට වඩා යම් අඩුවක් ඇතැයි එහි ගොස් පැමිණි මා හට හැඟුණු දෙයකි. මුදල් ඉස්මතු වූ බවක් සමහර අවස්ථා වලදී ප්‍රදර්ශනය වූ අතර එයට ආසන්නතම හේතුව ලෙස මා දකින්නේ “සූරිය අරණ චිත්‍රපටය හරහා සහ ඉන් පසුව ගම්මානය වෙත ගලා ආ නාගරික සංස්කෘතිය වීමට ඉඩ ඇතැයි මා විශ්වාස කරමි. පෙර කළකදී JVP කළබල සමයකදී එහි පිහිට වූ පොලිස් හෝ හමුදා මුරපළක් එහි තිබු බවක්ද මා හට කවුරුන් හෝ කියූ බවක් මතකයේ ඇත. එසේ වූවානම් ඒ හරහා ද සැළකිය යුතු සමාජ විපර්යාසයක් සිදු වීමටද ඉඩක් ඇත. නමුත් එම තොරතුරේ නිරවද්‍යතාවය සොයා බැලීමට මා හට නොහැකි විය.

මෙම සටහන ලියන්නට ආරම්භ කල මොහොතේ සහ මේ දක්වාම මී මුරේ ගම්මානය බලා නැවත යාමේ අදහසක් මා හට නොදැනුණි.
මෙම චාරිකාව සම්බන්ධ ජායාරූප වැඩි ප්‍රමාණයක් මා සතුව නැත. එහි ගිය මා රැගෙන ගියේ දිගු නාභි දුරක් ඇති ලෙන්සයක් බැවින් (Telephoto Lens) ළඟ ඇති දෑ හෝ දර්ශන (Scenery) ජායාරූප මා සතුව එතරම් ප්‍රමාණයක් නොමැත. නමුත් චාරිකාව සම්බන්ධ ජායාරූප සොයමින් මිතුරු මිතුරියන්ගේ මුහුණු පොත් පිරික්සූ විට මට අමතකව තිබු සහ මා නොදුටු දසුන් පවා දැකගත හැකි විය. බොහෝ අවස්ථා වලදී මම කුරුළු සහ අනෙකුත් සතුන්ගේ දසුන් ජායාරූප ගත කිරීමට ප්‍රමුඛතාවයක් දෙන බැවින් එවැනි දසුන් වෙත සිත යොමු නොකලා වන්නටද ඇත. ඔවුන් ලබාගත් ජායාරූප නැරඹු පසු නැවත මී මුරේ යාමේ ආශාවක් සිතේ මෝදු වුයේ මටත් නොදැනීමය.

නගරයේ ජීවිතයෙන් හෙම්බත් වූ අයෙකුට පරිසරය විඳීම සඳහා යැමට සුදුසු තැනක් බවට මීමුරේ සඳහන් කලහැකි වුවත් එහි ඇති නියම රසය විඳීම සඳහා දින කිහිපයක් ගැමියන් සමග රුදෙමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා මුසුවීමට හැකිනම් මීට වඩා වැඩි යමක් උකහා ගතහැකි වනු ඇති බව මාගේ විශ්වාසයයි. ඊට අමතරව අවට වනයේ සුන්දරත්වය විඳගැනීමටද කාලය වෙන්කර ගතයුතුය.
ඔබ එහි යන්නේනම් පරිසරය ආරක්ෂා වන සේ ඔබගේ ක්‍රියාවන් සිදු කිරීමටත්, මිනිසුනට හා සතුනට කරදර හිරිහැර නොවන සේ කටයුතු කළහැකිනම් වඩා සුදුසුය.