Monday 2 February 2015

මී මුරේ - Meemure (2008.05.24 සහ 25) - දෙවන කොටස

මාර්ගයේ අසීරු ස්ථාන කිහිපයක් මෙහිදීද හමු විය. එහිදී රියදුරු මහතා වාහනය කිහිප ස්ථානයකදීම යට වද්දා ගත්තේය. අපහසුවකින් තොරව ගත හැකි ස්ථානයකදී පවා ඔහු ඒ වරද සිදු කළේය. ඉතාම අපහසුවෙන් එගොඩ වූ දෙවරකදීම තවත් යන්න තියෙනවද කියා ඉතා අප්‍රසන්න ලෙස විමසූ විට දිය හැකි පිළිතුරක් අප සතුවද නොවීය. කෙසේ හෝ ඉදිරියටම යා යුතුය. 
කයිකාවල දිය නාමින් -ජායාරූපය සඳරේකාගෙන්
ගිය සතියේ මෙහි පැමිණි පෙරමුණේ මාර්ගය හොඳින් දන්නවා ඇතැයි අප අනුමාන කළෙමු. එහෙත් අවසානයට ළඟා වී ඇතැයි අනුමාන වශයෙන් සිතෙන ස්ථානයකදී ඔහු අප හා පැවසූවේ “දැන්නම් ගමට ඇවිල්ලා ඉවරයි” කියාය. නමුත් මී මුරේ මී ගස ඇති ස්ථානයට යාමටද එතැන සිටද තවත් කිලෝමීටර දෙකක් පමණ යාමට සිදු විය. සවස 4:45 ට පමණ මී මුරේට පැමිණීම සනිටුහන් විය. මාගේ නෙත ගැටුණු මුල්ම දසුන වූයේ වෙනකක් නොව ගමට එහායින් විරාජමානව වැඩ සිටිනා ලකේගලයි.
ලකේගල කන්ද
ගමට ගොඩවැදුනු වහාම රියදුරු මහතා වහාම සුපුරුදු නින්ද ආරම්භ කල අතර වටපිටාව නැරඹීමට එහා මෙහා යෑම අපගේ කාර්යය විය. ගමේ පහළ දෙසට යාහැකි මාර්ගයේ සැළකිය යුතු දුරක් පයින් ගමන් කළ අපහට කුරුළු වර්ග කිහිපයක දසුන් දැක ගැනීමට ලැබුනද ඉන් නිසි ප්‍රයෝජනයක් නොවූයේ මද ආලෝක තත්ත්වය නිසාවෙනි. ආපසු ගම්මානය දෙසට පැමිණි අපගේ මීළඟ ප්‍රශ්නය වූයේ නවාතැන්පළක් සොයා ගන්නේ කෙසේද යන්න සම්බන්ධවය.


ගවයින් සඳහා තණකොළ රැගෙන එමින්
අප නඩය දෙස විමසිලිමත්ව බලා සිට පිටව යන කොළු ගැටයෙක්.
මී මුරේ සිවිශේෂී ගල් තාප්ප -ජායාරුපය ගලා/සජ්
කුඹුර අද්දර අඩිපාර -ජායාරුපය ගලා/සජ්
කමතක් -ජායාරුපය ගලා/සජ්
ගැමි ගෙයක් -ජායාරුපය ගලා/සජ්
නවාතැනක් සොයන අතරවාරයේ ගමේ පිහිටි එකම කඩමණ්ඩිය වටා තැන තැන වාඩි වී වල්පල් කතා කරමින් උන් අපහට එහි පැමිණි ගැමියන් හා දොඩමළු වන්නටද අවස්ථාව සැළසුනි. එම කඩයේද බුලත්විට නොතිබුනු අතර එහිදී දැනගත හැකි වූයේ බුලත් වෙනුවට ඔවුන් පාර අයිනේ වැවෙන යම්කිසි පැළෑටියක කොළ සපන බවත්ය. ඒ කොල වර්ගයේ නම “තලා” බවත් සපා බැලු විට තරමක අමුතු රසක් දිවට දැණුනි. එම පැළෑටිය පිළිකා කාරකයක් බව මා හට දැනගන්නට ලැබුනත් එසේ දැනගන්නට ලැබුනේ කොහෙන්දැයි මා හට මතකයක් නැත.

මීට වසර කිහිපයකට පෙර මෙහි පැමින තිබූ වස්සා විසින් දැන හඳුනා ගන්නා ලද නිවසක නතර වීමට හැකියාව අත්දැයි විමසා බැලීමට අප එහි ගියෙමු. එහි සිටියේ අදාළ නිවසේ මව පමණි. ඇයගේ ස්වාමි පුරුෂයා කුඹුරට ගොස් තවම නොපැමිණි බවද ස්වල්ප වේලාවකින් පැමිණෙනු ඇතැයිද කියැවිනි. නැවත අප එහි ගියෙමු ඒ රාත්‍රි හතට පමණය. එහිදී ඇය කියා සිටියේ පන්සලේ නතර වීම සඳහා ඇය අප වෙනුවෙන් අවසර ලබා ගත් බවක්ය.
ඔවුන් සතු අමතර නිවසේ ජල පහසුකම් නොමැති අතර එය අප හට කරදරයක් විය හැකි බැවින් එසේ කල බව ඇය පැවසුවාය. අනතුරුව අපගේ බඩු මුට්ටු සියල්ල රැගෙන පන්සල බලා ගමන් කළෙමු. එහි වැඩ සිටින එකම ස්වාමීන් වහන්සේ අපගෙන් කල ඉල්ලීම කිහිපයකින් අනතුරුව බණ මඩුව අපගේ නවාතැන්පළ වශයෙන් සපයා දුන්නේය.
එම ඉල්ලීම් අසාධාරණ ඒවා නොවීය. නවාතැන් දීම වෙනුවෙන් යම් මුදලක් බලාපොරොත්තු වන බවත්, කරදරකාරී ලෙස ශබ්ධ කරමින් නොහැසිරෙන ලෙසත් අපගෙන් කල ප්‍රධාන ඉල්ලීම් විය.
පෙර වරකදී එහි පැමිණි තරුණ කණ්ඩායමක් මත්පැන් බී සිදු කල මුග්ධ හැසිරීම් නිසා පැමිණෙන කණ්ඩායම් වලට මෙම මුලික දැනුම්දීම සිදු කරන බව උන් වහන්සේ පවසා සිටි සේක.

රාත්‍රී ආහාරය ලෙස නූඩ්ල්ස් සෑදීම ආරම්භ කල අතර එහිදී පෙරමුණේ නැවතත් නා ගත්තේය. නූඩ්ල්ස් තැම්බීම සඳහා ඔහු සූදානම් වී ඇත . භාජනයකට වතුර දමා නූඩ්ල්ස් සියල්ල එහි දමා ලිප තැබීමට පෙර වතුර ඇතිදැයි සැකහැර ගැනීමට ඔහු මාගේ සහය පැතුවේය. වේලාවට ඔහු ලිප ගින්දර දමා තිබුනේ නැත. නැවතත් නූඩ්ල්ස් සියල්ල ඉවත් කර වතුර පමණක් දැමූ භාජනයක් ලිප තැබීය. වතුර උණු වූ පසු එයට නූඩ්ල්ස් දමා තම්බා ගත්තද එයින් වතුර ඉවත් කර පෙරා ගැනීම සඳහා නිසි පහසුකම් නොවූ බැවින්ද කළින් එය කලින් ජලයේ ගිල්වා තිබුණ බැවින්ද අවසාන ප්‍රතිඵලය වූයේ හොඳින් ඛෙරි වූ නූඩ්ල්ස් තලියකි. දහවල් බතෙන් කොටසක්ද ඉතිරි වී තිබුණි.

රාත්‍රී ආහාරය පිළියෙල කර ගත්තද එය අනුභව කිරීමට එතරම් අවශ්‍යතාවයක් පිරිසට නොවීය. දහවල් බත් සහ නූඩ්ල්ස් ස්වල්පය බැගින් ඛෙදා ගත්තද, ඛෙදා ගත් ප්‍රමාණය සම්පූර්ණයෙන් අනුභව කිරීමේ හැකියාවක් සතු නොවීය. රාත්‍රී ආහාරය ගැනීමට පැමිණෙන මෙන් දැන්වුවද, රියදුරු මහතාගේ මනාපය වූයේ බඩගින්නේ නින්දට පිවිසීමය.
රාත්‍රිය නිකරුනේ ගෙවී යාම අපරාධයකි. ඉන් ගත යුතු ප්‍රයෝජනය ගත යුතුය. එහෙත් අනෙකෙකුගේ බලකිරීමක් ලැඛෙන තුරු තැන තැන කිරා වැටෙමින් සහ නොයෙකුත් දෑ කියවමින් සිටි පිරිස එක්තැන් කර ගැනීමට විචිත්‍රා නැගණිය දැඩි උත්සාහයක් ගත්තාය. අනතුරුව මාගේ සහ තවත් කිහිප දෙනෙකුගේද ඉල්ලීම මත මෙවැනි චාරිකාවකදී අප පිරිස සිදු කරන රාත්‍රී ක්‍රියාකාරකමක් සෙමෙන් ආරම්භ විය.

ප්‍රශ්න සහ උත්තර මාරු කර ගැනීමේ සිට අන්අය නොදන්නා කිව හැකි ගණයේ ළා සැලකෙන රහස් එළි කරවීම වැනි ක්‍රීඩාවන් එහිදී එළි දැක්විණි. මෙහිදී මා සිත් ගත් වැදගත්ම අංගයක් වූයේ එහි සිටි පිරිස එකිනෙකා මුල් වතාවේ දුටු පසු හෝ හමු වීමකින් පසු එකිනෙකා සම්බන්ධව ඇති වූ ආකල්පයන් කෙබඳුද යන්න පිළිබඳව හෙළි කිරීමත්ය. එය නවතම හා ඉතාම සිත් ගන්නා වූ අංගයක් විය. විශ්ව විද්‍යාලයේදී මා දුටු මුල් අවස්ථාවේ හනී සහ විචිත්‍රා යන දෙදෙනා තුළ මා සම්බන්ධව ඇති කරගෙන තිබු අදහස ඇසු මා හට දැඩි විශ්මයක් ඇති විය. ඒවා තරමක් දරුණු ගණයේ අදහස් විය. තමන් සම්බන්ධව කෙනෙකුට ඇතිවන අදහස් අවංකව දැන ගැනීමට ලැබීමෙන් කෙනෙකුට තමන්ගේ අඩුපාඩු සකසා ගැනීමට හැකිබව මාගේ අදහසයි.
මෙහිදී ආදර සම්බන්ධතා ඇති වූ ආකාරය පිළිබඳ ඉතා අවංක සහ සිත්ගන්නා සුළු මතකයන් අවදි කරවීමට සු සමත් විය. පෙරා ඇයගෙන් ආදරය විමසන තෙක් ඇය නොඉවසිල්ලෙන් බලා සිටි අයුරුත්, එය ප්‍රමාද වන අතරතුරේ ඇයගෙන් ආදරය විමසා පස් හය දෙනෙක් පැමිණි අයුරුත් ඒවා දැක දැකත් පෙරා මෝඩයෙක් සේ සිටියායැයි ඇය කියා සිටියාය. ඒ සියල්ල ඇත්ත බව අප කණ්ඩායමේ එකට සිටි අප පිරිස කළින් පටන්ම දැනගෙන උන්හ. කෙසේ නමුත් රාත්‍රී ක්‍රියාකාරකම්  සඳහා පිරිසගේ උන්නදුවෙහි අඩුවක් ඇති බවක්ද පෙනී ගිය බව නොකියා බැරිය.


ටික වේලාවකින් පසුව වැටුණු වැටුණු තැන්වල නින්දට වන් අපහට තිබුණු එකම කරදරය වුයේ සිමෙන්ති පොළවේ වැතිර නිදා ගැනීම නිසා ඇති වූ ශාරීරික හිරිහැරය සහ සීතල නිසා ඇති වූ අපහසුතාවය පමණකි. රාත්‍රියේ ඈතින් ඇසුණු පිරිත් සජ්ජායනයක හඬ කියා පෑවේ තරමක් ඈත නිවෙසක පිරිත් පිංකමක් සිදුවන බවයි.
උදෑසනින් දුටු සඳමඩල

ලකේගල කන්දේ පැතිකඩක්
උදෑසන අවදි වූ අපහට රාත්‍රියේ ඇසුනු පිරිත් සහ බණ වෙනුවට බුදුගුණ වැයූ ගී කිහිපයක් ඇසෙන්නට විය. මුහුණ කට සෝදාගෙන රාත්‍රියේ ඉතිරි වී තිබූ අහර කොටස රත් කරගෙන ආහාරයට ගත්තෙමු. පන්සලේ හාමුදුරුවන්ගෙන් සමුගත් අප නවාතැන් ගාස්තු වශයෙන් රුපියල් 500 ක් ලබා දුන්නෙමු. පා ගමනට අවැසි බඩු මුට්ටු හැර ඉතිරිය වාහනයට පටවා දැම්මෙමු. රියදුරු මහතාට ඇවැසිනම් කයිකාවල කඩමණ්ඩිය වෙත ගොස් අප එනතුරු නැවතී සිටින ලෙස පැවසීය. ඔහු පිටත් වීමට පෙර මම සහ පෙරා රහසේ ඔහුට දුන් උපදෙසක් වූයේ හැකිනම් අප ආපසු කයිකාවල බලා පැමිණෙද්දී බීමට හැකිවන පරිදි කිතුල් රා ටිකක් සොයා තබන ලෙසය. ඒ සඳහා සහ ඔහුගේ ආහාර වේල් සඳහාද අවැසි මුදල් ඔහු හට ලබාදී ඔහුව පිටත් කර හැරියේය. ඉන්පසුව එළඹියේ ගමපුරා නිදහසේ ඇවිදගොස් වටපිටාවේ සුන්දරත්වය අත්වීඳීමේ වාරයයි. බැලූ බැලූ සෑම අතම දක්නට ලැබුනේ නිල්ලය, ගස්වැල් අතරේ ඇති ඉඩක සෑදූ කුරුළු කූඩු සහ එහි සරමින් සිටි කුරුළු සමුහයාය.
ගල් වැටවල්

ගං මැද්දේ



කුඹුර අද්දර වූ බෝ ගස් සෙවනකට වී සමනළ සහ කුරුළු නිරීක්ෂණයේ යෙදෙමින් උන් අපහට ඈතින් ඇසෙන්ට වූයේ දවුල් තම්මැටටම් නාදයකි. මද වේලාවකට පසු ගම්මුන් පිරිසක් එහා ගම්මානයේ පැවති පිංකම් ගෙදර බලා යමින් උන්හ. ඒ අතරේ අප හා කතාබහ කළ අයෙක් අපහටද පිංකම් ගෙදරට පැමිණෙන ලෙස ආරාධනා කරන්නටද අමතක නොකළහ. කාල වේලාවේ මදකම නිසා එම යෝජනාව ප්‍රතික්ෂේප කලේනම් හිතකින් නොවන බව කිවයුතුය.
දිය පහර දෙසට යමින්

පිංකම් ගෙදර යන ගැමියන්
දිය පහර -ජායාරුපය ගලා/සජ්
ඉන් පසුව අපගේ නිරීක්ෂණය යොමු වූයේ කුඹුර අද්දර පිහිටි පුංචි දොළ පහරේ පිහිනමින් උන් මාළුන් වෙතය. එහි මද වේලාවක් ගත කළ අපහට පිංකම් ගෙදර සිට පැමිණෙමින් සිටි හාමුදුරු නමක් සිනහ මුසු මුහුණකින් යුතු දරුවකු සමග වඩිනා අයුරු දැකගත හැකිවිය. කාල වේලාව මද නිසා නුදුරුව තිබු වනයේ සිරි නැරඹීමට යාමටද නොහැක. ගමපුරා තැන තැන කරක් ගැසූ අප දහවල වන විට ආපසු කයිකාවල බලා ගමන් ඇරඹීම සඳහා සූදානම් වීමු.
හාමුදුරුවෝ
එම දිනයේ දැඩි පිපාසයක් දැනුණේ වියළි කාලගුණයක් පවතී බැවින් විය හැක. පාර අයිනේ ඇති දිය පහරවල් වලින් පිපාසය සංසිඳවා ගනිමින් විහිළු තහළු කරමින් සෙමින් සෙමින් ගමන් ගත්තෙමු. වරෙක පාර අද්දර ඇති නිවසකින්ද වතුර ඉල්ලා ගත්තේ එතරම් දැඩි පිපාසයක් එදින දැනෙන්නට වූ නිසාය. තරමක් ඉදිරියෙන් ගමන්ගත් අප පසුපස හරි බැලු පසු දැකගත හැකි වූයේ කුඩා කල සිහි ගන්වන දසුනකි. ඒ නම් අළුත වැටුණු කොළපතක තම පෙම්වතිය වාඩි කරවාගෙන ඇදගෙන එන පෙරාය.
පැළක්
කයිකාවල ආසන්න වද්දී එකවර ඇද හැලූණු වර්ෂාවකට අප හසු විය. දිවාකල තිබු දැඩි රස්නයට හේතුව දැන් පැහැදිළිය. එහි තිබූ කඩය ආසන්නයේ අප පැමිණි වෑන් රථය නතර කර තිබූ අතර රියදුරු මහතා මා වෙත පැමිණ රහසින් කියා සිටියේ ඔහු පැමිණි කාරණය සාර්ථක වූ බවය. මම පෙරා සහ වස්සා කිතුල් රා පොදක රස බැලු අතර වැස්ස තුරල් වූ පසු බතක් උයා හොද්දක් සාදා ගෙන කා දැමීමෙන් දිවා ආහාරය සපුරා ගත්තෙමු. වෑන් රථයට මදක් ඉදිරියට යන මෙන් පවසා අප පා ගමනින් ඉදිරියට ගියේ පාරේ වූ දුෂ්කරතාවය නිසාය.
අතරමග පිහිටි ස්ථිර කමත් බිමක්
අතරමගදී හමුවූ ගැමි ගෙදරක විසූ ගැහැණියක් ඇය සතුව විකිණීමට ඇති හොඳ කිතුල් පැණි සහ හකුරු ගැන කියූ පසු අප නඩයේ කිහිප දෙනෙක් ඒවා මිළදී ගැනීමට නතර විය. මේ වන විට දවසේ නිමාව සටහන් වීමට ආසන්න වී තිබුනද අප හට ඉන් පිටව යාමට වැඩි උනන්දුවක් තිබුනේද නැත. මද වේලාවකට පසු වාහනයට නැගී පිටත් වූ අප හට කෝබට් කපොල්ල ආසන්නයේදී හමුවන කඳු සහිත කොටසේදී වාහනයෙන් බැසීමට සිදු විය. ඒ වනවිට වැසිබර කාලගුණය නිසා අඳුරු බවක් ඉසිළු නිසා ජායාරුප ගැනීමේ හැකියාවක්ද නොවිය.
කෝබට් කපොල්ලේ කන්ද නගිමින්

අමුත්තෙක්
කඳු මුදුන බලා


කෝබට් කපොල්ලට පහළින් -ජායාරුපය ගලා/සජ්
වේලාව හවස 05:30 පමණ වන විට ඒ සොඳුරු පරිසරයෙන් වෙන් වී කොළොම්පුරය බලා ආපසු ගමන් ඇරඹීමු.

මී මුරේ සහ කයිකාවල අවට විසූ ගැමියන්ගේ ගැමිකම හා සුහදශීලී බවෙහි අප අසා තිබූ තරමට වඩා යම් අඩුවක් ඇතැයි එහි ගොස් පැමිණි මා හට හැඟුණු දෙයකි. මුදල් ඉස්මතු වූ බවක් සමහර අවස්ථා වලදී ප්‍රදර්ශනය වූ අතර එයට ආසන්නතම හේතුව ලෙස මා දකින්නේ “සූරිය අරණ චිත්‍රපටය හරහා සහ ඉන් පසුව ගම්මානය වෙත ගලා ආ නාගරික සංස්කෘතිය වීමට ඉඩ ඇතැයි මා විශ්වාස කරමි. පෙර කළකදී JVP කළබල සමයකදී එහි පිහිට වූ පොලිස් හෝ හමුදා මුරපළක් එහි තිබු බවක්ද මා හට කවුරුන් හෝ කියූ බවක් මතකයේ ඇත. එසේ වූවානම් ඒ හරහා ද සැළකිය යුතු සමාජ විපර්යාසයක් සිදු වීමටද ඉඩක් ඇත. නමුත් එම තොරතුරේ නිරවද්‍යතාවය සොයා බැලීමට මා හට නොහැකි විය.

මෙම සටහන ලියන්නට ආරම්භ කල මොහොතේ සහ මේ දක්වාම මී මුරේ ගම්මානය බලා නැවත යාමේ අදහසක් මා හට නොදැනුණි.
මෙම චාරිකාව සම්බන්ධ ජායාරූප වැඩි ප්‍රමාණයක් මා සතුව නැත. එහි ගිය මා රැගෙන ගියේ දිගු නාභි දුරක් ඇති ලෙන්සයක් බැවින් (Telephoto Lens) ළඟ ඇති දෑ හෝ දර්ශන (Scenery) ජායාරූප මා සතුව එතරම් ප්‍රමාණයක් නොමැත. නමුත් චාරිකාව සම්බන්ධ ජායාරූප සොයමින් මිතුරු මිතුරියන්ගේ මුහුණු පොත් පිරික්සූ විට මට අමතකව තිබු සහ මා නොදුටු දසුන් පවා දැකගත හැකි විය. බොහෝ අවස්ථා වලදී මම කුරුළු සහ අනෙකුත් සතුන්ගේ දසුන් ජායාරූප ගත කිරීමට ප්‍රමුඛතාවයක් දෙන බැවින් එවැනි දසුන් වෙත සිත යොමු නොකලා වන්නටද ඇත. ඔවුන් ලබාගත් ජායාරූප නැරඹු පසු නැවත මී මුරේ යාමේ ආශාවක් සිතේ මෝදු වුයේ මටත් නොදැනීමය.

නගරයේ ජීවිතයෙන් හෙම්බත් වූ අයෙකුට පරිසරය විඳීම සඳහා යැමට සුදුසු තැනක් බවට මීමුරේ සඳහන් කලහැකි වුවත් එහි ඇති නියම රසය විඳීම සඳහා දින කිහිපයක් ගැමියන් සමග රුදෙමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා මුසුවීමට හැකිනම් මීට වඩා වැඩි යමක් උකහා ගතහැකි වනු ඇති බව මාගේ විශ්වාසයයි. ඊට අමතරව අවට වනයේ සුන්දරත්වය විඳගැනීමටද කාලය වෙන්කර ගතයුතුය.
ඔබ එහි යන්නේනම් පරිසරය ආරක්ෂා වන සේ ඔබගේ ක්‍රියාවන් සිදු කිරීමටත්, මිනිසුනට හා සතුනට කරදර හිරිහැර නොවන සේ කටයුතු කළහැකිනම් වඩා සුදුසුය.

12 comments:

  1. එල ද බ්‍රා..
    දවසක යන්න ඔන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක හොඳයි.
      දැන් පාරේ බස් එකේ උනත් යන්න පුළුවන්ලු. ඒ නිසා ඒ වගේ ගම්මාන සංකර වෙන්න කළින් ගිහින් බලා කියාගෙන එන එක හොඳයි

      Delete
    2. නවතින්න තැනක් හොයාගන්න පුලුවන්ද?

      Delete
    3. කලින් පොස්ට් එකේ සිංහයා මාම ලක්දසුන් එකේ ලින්ක් එකක් දාල තිබුනා. එතන නවා මාමා කියන කෙනෙක් නවාතැන් සපයනවලු.
      කෝල් එකක් දීල බලපන්.
      මෙන්න ලින්ක් එක,

      http://www.lakdasun.org/forum/index.php?topic=9792.0

      Delete
  2. මාත් තාම ගිහින් නැහැනේ.. ඊලග පාර ලංකාවට ගියාම ගිහින් එන්න ඕන..

    ReplyDelete
    Replies
    1. රට ඉඳල ලංකාවට නිවාඩුවකට ආවම කාලය ගත වෙන හැටි මමත් අත්දැකල තියෙනවනේ.
      ඒ නිසා එන්න කළින්ම මේ වගේ ගමනකට දින වකවානු කළින්ම වෙන් කරගෙනම ආවේ නැත්නම් සොරිම තමයි.
      ජය වේවා.

      Delete
  3. අැත්තට ම තාම යන්න ලැබුනේ නැහැ... ඉක්මනට ම යන්න බලනවා... ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු.
      කුරුටු ළමයින්ටත් ඉක්මනටම මීමුරේ යාමට ලැබේවා කියා පතනවා.

      Delete
  4. මමත් මගේ මී මුරේ අත්දැකීම් කාලයකට කලින් ලිව්වා...අපි නම් ඉතිං මිනිහෙක් ලග පාත නැති මහ කැලේ තමයි කූඩාරමක් අටවා ගත්තෙ...ඒක පුදුම සුන්දර අත්දැකීමක්...

    ReplyDelete
    Replies
    1. උඹේ පෝස්ට් එක මම කියවල නැහැ. ඇවිත් කියවල බලන්න ඕනේ.
      මීමුරේ ඉන්නවනම් කුඩාරමක් ගහගෙන ඉන්න එක වඩා සුදුසුයි කියල මමත් හිතනවා.
      ඒත් අපි වගේ තදියමෙන් ඇවිත් යන උන්ට කුඩාරමක් ගහගෙන එක දවසක් ඉඳල යන එක තේරුමක් නැහැ

      Delete
  5. කියවල ගොඩක් දවස්.. අමතර වැඩක් නිසා කොමෙන්ට් එකක් දා ගන්න බැරි උනා.

    ඇත්තම සිතුවිල්ල කියුවොත් මේක කියවලා ඉවර වුනාම මට හිතුනා මීමුරේ ගැන මගේ හිතේ තියෙන ලස්සන පින්තූරේ හැබැහින් එහෙ ගියොත් බොඳ වෙයිදෝ කියල.. දැන් යනවනම් හිත හදාගෙන යන්නෝනෙ.. ඒත් හිතෙ පුංචි හරි කහටක් ඉතුරු වෙයි..

    සිංහයා දාල තිබ්බ විස්තරෙත් බැලුවා.. සංවිධානවෙලා යනවනම් ඒක ගොඩාක් වැදගත්.. ස්තූතියි ලොකු මලයටත් සිංහයාටත් දෙන්නටම.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙන්නත් ඉඩ තියෙනවා ක.මි.
      අපි කඩිමුඩියේ එහෙ ගිහින් ආපු නිසාත්, මගේ ඔළුව දිව්වේ කුරුල්ලෝ, සමනල්ලු පස්සේ වීම නිසාත්, උන්ගේ හොඳ ෆොටෝ ගහගන්න බැරිවීම නිසාත් මට අවුල් වගේ ගතියක් හිතට දැනුනට අනුත් උන්ට එහෙම නැතුව ඇති.

      නමුත් කාලය විසින් කරන්න ඉඩ තියෙන වෙනස්කම් ගැන මට කියන්න බැහැ.
      කොහොම නමුත් මමත් ආපහු ඔය පැතිවල වටයක් දාන්නනම් හිතට ගත්තා.

      Delete