Friday, 20 February 2015

නකල්ස් කඳු මුදුන බලා Knuckles Hike -කොටස 01

(මෙය 2009-02-24 යන දිනදී එකවරම සිතට නැගූනු මතකයන් අනුව ලිවීමට යෙදුනු චාරිකා සටහනකි. පළමු කොටස ලියා අවසන් කිරීමට හැකි වුයේ අද දිනදීය, එනම් 2015-02- 20 දිනදීය)

මේ දක්වා මම ජීවත් වෙලා තියෙන කාලය ඇතුළතදි මම ගිහින් තියෙන කැලෑ ගමන් වලින් හොඳම ගමන කියල කියන්න පුළුවන් ගමනක් ගැන තමයි මම මේ කියන්න යන්නේ. එහෙම කියන්න ප්‍රධාන හේතු කීපයක්ම තියෙනවා. ඉදිරියට මේ වගේ කැලෑ අස්සෙ රිංගන ගමන් යන්න ලැඛෙන අවස්ථා හිඟකමත් ඒ වගේ ගමන් බිමන් යන්න හොඳ මට්ටමක මගේ ශරීර කූඩුව දැන් නැති වීමත් ඒ හේතු අතර ප්‍රධානයි.
අප විසින් සිදු කල බොහෝ සවාරි මෙන්ම මෙයද පිටත් වූ දින වකවානුද එකවර මතකයට නගාගත නොහැකි විය. සටහන ලියාගෙන යාමේදී අතරමගදී සිදු වූ සිදුවීම් සිහි කිරීමේදී අප මෙම ගමන පිටත් වුයේ 2004-02-03 දින බවත් 06 වැනිදා ආපසු පැමිණි බවත් මතකයට නගා ගත හැකි විය.

මෙය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ දෙවන සෙමෙස්ටරයේ මුල් සති කිහිපය ආසන්නයේ සිදුකළ කිසිදා අමතක කළ නොහැකි ලෙසින් මතකයේ රැඳුනු චාරිකාවකි. මෙම චාරිකාවේ යම් විශේෂත්වයක් තිබුණි. එනම් අඩු වියදමින් ඇඟට දැනෙන අමතක නොවෙන මට්ටමේ ගමනක් යා යුතු බවය. එමෙන්ම එක් අයෙකුගෙන් අය කලයුතු මුදල රු 500 කට වඩා අඩුවිය යුතු බව එහිදී මතුවූ වැදගත්ම කාරණය විය.
ගමන යාමට ඒකමතිකව තීරණය වූයේ නක්ල්ස් රක්ෂිතය බලාය. එහි දිනක හෝ දෙකක කඳවුරු  ගැසීමකින් අනතුරුව ලංකාවේ ඇති සුන්දර ගම්මානයක් වන මීමුරේ බලා නක්ල්ස් කඳු මුදුන් හරහා ගමන් කිරීම අපගේ ඊළඟ අපේක්ෂාව විය. පෙබරවාරි 04 නිදහස් දිනය සහ 05 පොහොය දිනය දී තිබුණි. එය අප සතු වූ වැඩ අඩු කාලසීමාවක්ද වූ බැවින් කාලය පිළිබඳ ගැටළුවක් අපහට නොවිය. ගමන ආරම්භ කිරීමට කතිකා කර ගත්තේ පෙබරවාරි 03 අඟහරුවාදා දින රාත්‍රියේදීය.
මෙම කාල සීමාව වන විට අප පිරිස සමන්විත වුයේ වනජීවීන්ගේ සහ ශාක වර්ග වල ගති ස්වභාවයන් නිරීක්ෂණයට වඩා කඳු නැගීම, දිය ඇලි බැලීමට යාම වැනි හයිකින් ඝණයට අයත්වන ක්‍රියාවන් කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතියවුන් පිරිසකිනි.

03 වැනි දින රාත්‍රියේ මාතලේටත් තරමක් ඈතින් පිහිටි DTB ලාගේ ගෙදර නතර වීමට අදහස් කලේ අප මීට කළින් එහි ගොස් නොමැති නිසාය. පසුදින උදෑසනින් නැවත නුවරට පැමිණ වත්තේගම බලා ගොස් එතනින් නකල්ස් බලා යන පරිදි අපගේ සැළසුම සැකසුණි. එය පරංගියා කෝට්ටේ ගියා වැනි ගමනක් වූවත් ඒ දිනවල අපගේ කටයුතු සිදු වුයේ එලෙසය. හරි, දැන් කෙලින්ම කතාවට බහිමු.

ගමනට අවශ්‍යය කරන බඩු මුට්ටුත් අරගෙන ඔක්කොම එකතු වෙලා කොළඹින් පිටත් වෙන්න හදනකොටම වෙලාව  සවස 3ත් පහු වුනා. ආරම්භය හොඳයි වගේ. අපේ ගමන් නඩය වුයේ මම, දෙමළා, DTB (කළුවා), චූටි බබා, කපුටා, දහමා, තරිඳු, එළුවා, බල්ලා සහ බඩා යන පිරිස. DTB අපිත් එක්ක ආවට ඌ අපේ චාරිකාවට එකතු වෙන්නේ නැහැ කියල තමයි කළින් ඉඳලම අපිට කියල තිබුනේ. මේ කියන කාලේ වෙද්දී අපේ කවුරුවත් ගාව කුඩාරම් තිබුනේ නැහැ. දහම රෝයල් එකේ බාලදක්ෂ එකේ කුඩාරම් දෙකක් අපේ ගමනට ලැස්ති කරගෙන තිබුනා. එව්වා පොළවට හයි කරන්න තිබුනේ යකඩ බට වලින්. ඒ බට ටිකත් සෑහෙන බරයි.
සම්පුර්ණ ටෙන්ට් එක ගත්තම කිලෝ විස්සක්වත් ඇති කියල මට හිතෙනවා.

මාතලේට යනකොට ම රෑ 8 ට විතර ඇති. DTB ලගෙ ගෙදරට යන්න බස් එක්ක එනකම් සෑහෙන වෙලාවක් බලන් ඉන්න සිද්ධ වුනා. බලාගෙන ඉඳල එපා උනාට පස්සේ ත්‍රිවිල් වලින් යන්න තීරණය කලා. හැමදාම අනුන්ගේ වැරදි හොයන සහ කට කැඩිච්ච කතා කියන DTB ට ගෙදරට යන්න බස් නැති වීම ගැන අපි ගහන මඩ පාරවල් කාගෙන සද්ද නැතුව ඉන්න සිද්ධ වුනා. ඒ මදිවට ත්‍රිවිල් වල ගියපු එකත් අපේ ලෝ බජට් ට්‍රිප් එකට සෑහෙන බලපෑමක් ඇති කරනවා කියන එකත් අමතක කරන්න බැහැ. අපිවත් පටවගත්තු ත්‍රීවිල් කාරයෝ තුන්දෙනා රේස් යන්න පටන් ගත්තා. පාරේ වාහන අඩු නිසාත් මගියෝ සියල්ල කොල්ලෝ නිසාත්, සමහර විට ඉක්මණට ආපහු ගියාම තව හයර් යන්න පුළුවන් නිසා වෙන්නත් ඇති කියල හිතල අපි මුකුත් කිව්වේ නැහැ. බඩා සහ තව කීප දෙනෙක් හිටපු ත්‍රිවිල් එක එහෙම වෙට්ටුවක් දාන්න ගිහින් තව පොඩ්ඩෙන් ඉස්සරහින් ආපහු වාහනේක හැප්පෙනවා. ඒකෙ රියදුරා හොඳට බීල ඉඳල කියල උන් දැනගෙන තියෙන්නේ ත්‍රිවිල් එකට නැගල ගමන පටන් ගත්තට පස්සේ. කළුවරේ ගිහින් තිබ්බ ත්‍රිවිල් වලට නැග්ග මිසක් ඒවා පදින උන් කාලද බීලද කියල බලන්න බැරි වීම ගැන අපි අපිටම දොස් කියා ගත්තා.

කොහොම හරි රෑ 10 ත් පහු වෙලා අපි DTB ලගෙ ගෙදරට ගියා අම්ම තාත්තගෙන් උණුසුම් පිළිගැනීමක් හම්බ වුනා ඒත් නංගි පේන්න නැහැ. අපේ එකාගෙ තියෙන නැහැදිච්ච කමට ඌ ඒ කෙල්ලට කල් තියාම කියලද කොහෙද අපි ආපු ගමන් හැංගෙන්න කියලා. ඔන්න ඔහොමයි අපේ යාළුවො අපිට කරන්නෙ. දඬුකඳේ ගහන්න වටිනවා මුන් කරන වැඩ වලට.
ඒකට කමක් නැහැ. එපා කියන්නෙ නැතුව නෑ බෑ කියන්නෙ නැතුව කට්ටිය එක්ක එකතුවෙලා ලැස්ති කරලා තිබ්බ කෑම බීම ටිකට වග කිව්වා. පහුවෙනිදා පාන්දර 4:30ට වගේ නැගිටින්න හිතාගෙන හිටපු නිසා රෑට කාපු ගමන්ම වගේ  නිදා ගන්න තමයි දැන් අපේ සුදානම. ගෙදර සාලේ බිමට දාපු මෙට්ට ඇඳ ඇතිරිලි අපේ සුව යහන බවට පත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. එලාම් එක වැදුනට උදේ නැගිටින්න පුදුම කම්මැලි කමක් දැනුනේ. මම නැගිටලා අනිත් උන්වත් ඇහැරවගෙන මුණකට සෝදන්න ගියා. මම මුණ සෝදාගෙන එද්දිත් සමහරු නිදි. අපේ සෙට් එක සම්පුර්ණයෙන් ඇහැරවා ගන්නකොට වෙලාව පාන්දර 5ත් පහු උනා වගේ තමයි මතක.

කට්ටියම ලෑස්ති වෙලා බඩු මුට්ටු එහෙම සූදානම් කරලා ඉවර වෙද්දී පාතරාසය විදිහට කිරිබත් සුදානම් කරලා තිබුනා. කිරිබත් කාල තේ එහෙමත් බීල ඉවර වෙද්දී අපි එක්ක නකල්ස් යන්න එන්න බැහැ කියල කියපු DTB ත් අපි එක්ක යන්න එන්න ලැස්ති වෙලා. ගෙදර උදවියගෙන් සමු අරගෙන මාතලේ ටවුමට යන්න තියෙන බස් එකට නගින්න තියෙන හෝල්ට් එක ගාවට ආවා. සූදානම් වෙලා ගියා කියල කිව්වට කඩෙන් ගන්න බඩු මුට්ටු තොගයක්ම තිබුනා. ඒකට හේතුව උනේ කොළඹ ඉඳල කෑමට අවශ්‍ය කරන බඩුමුට්ටු උස්සගෙන එන්න අමාරු නිසා ඒවා අතරමගින් ගම්මු කියල අපි කළින්ම ගත්තු තීරණය. මම බඩු ලිස්ට් එකක් ලියාගෙන ඇවිත් තිබුනේ. එහෙම වෙලත් ඒ බඩු ටික ගන්න පැය දෙකකට වැඩිය ඉන්න සිද්ධ උනා. අපි උදෙන් ගියාට කඩ කාරයෝ කඩ අරින්නේ පහු වෙලානේ.
අපේ උන්ට ඒ වෙලාව ඉන්න එකනම් ඒ තරම් අමාරු උනේ නැහැ. එදා අපේ උන්ගේ වෙලාවටද කොහෙද ඒ අහල පහල තියෙන ස්කෝල වල බෑන්ඩ් කණ්ඩායම් ටික පාරට බැහැලා නිදහස් දිනයට පෙළපාලි යනවා. සියයට අනූවක් විතරම හිටියෙ ගෑණු ළමයි. (ඔන්න දැනුයි මතක් උනේ මේ 2003 පෙබරවාරි 04 - නිදහස් දිනය)

ඒ ළමයි ටික දැක්කම අපිට හිතුනේ මාතලේ තියෙන්නේ බාලිකා ඉස්කෝල විතරමද කියලා. සමහර විට DTB ත් යන්න ඇත්තෙ එයින් එකකට වෙන්නත් ඇති කියලත් හිතුනා. අර කතාවකට කියන්නෙත් “කේතලෙන් මල්ලක් ගන්න එකක් ගැන. ඒක නම් හරි වෙන්න ඇති. හැම තැනම වැඩිපුර ඉන්නේ ගෑණු ළමයි. ඒත් DTB  වගේමයි හරි හොඳ පාටයි, ඒ වගේම ඒ හිටපු ඔක්කොම වගේ කළුයි. අපේ DTB වගේම මෝඩද කියලා කියන්න නම් දන්නේ නැහැ. හරි හරි... මඩ ඕනේ නැහැ, ආපහු කතාවට යමු.
හැමතැනම් ඇවිදලා බඩු මුට්ටු ටිකනම් අරගත්තා. එතන වැඩිපුරම පාන්, මාජරින් සහ රටළුෑණු තමයි තිබුනේ. මීට අමතරව වැදගත් ද්‍රව්‍ය විදිහට ඉටි පන්දම්, ගිනි පෙට්ටි, පැනඩෝල්, තුවාල උනොත් බෙහෙත් වර්ග, ගෝස් වගේ දේවල් සහ ඩෙක්‍රෝස් පැකට් 30 ක් විතර වගේත් ගත්තා. අනිත් වැදගත්ම දේ තමයි කූඩැල්ලෝ එල්ලෙන එක නතර කරන්න පාවිච්චි කරන්න නිල් සබන් කැට දෙකකුත් ගත්තා.

බඩුමුට්ටු ටිකත් අරගෙන නුවරට ගිය අපේ ඊළඟ කටයුත්ත උනේ වත්තේගම බස් එකක් හොයා ගන්න එක. වත්තේගමදි තවත් අවශ්‍යයයි කියලා හිතුන පොඩි පොඩි දේවල් ටිකකුත් ගන්න පුළුවන් උනා. ඊට පස්සේ දවල් කෑම කන්න හිතාගෙන පොඩි කඩේකට ගොඩ උනා. එතන කෑමනම් සත පහකට වැඩක් නැහැ. බඩගිනි නිසා බඩට දා ගත්තා. ගමනාන්තයෙදිත් තව පුංචි කඩයක් තියෙනවා කියල කවුරුහරි කියපු නිසා අමතක වෙච්ච දේවල් තියෙනවද කියල වැඩිය හොයන්නේ බලන්නේ නැතුවම අපේ අන්තිම බස් රථය වෙච්චි බඹරැල්ල බස් එකට නැගගත්තා.

කඳු පල්ලම් වංගු පහු කරගෙන එන අතරේ ඈතින් නකල්ස් කඳු පන්තිය පේන්න පටන් ගත්තා. නකල්ස් කඳු පන්තියත් අඳුරු වෙලා තිබුනේ. ඒ එක්කම පොඩි පොද වැස්සක් වැටෙන්නත් පටන් ගත්තා.  අපේ ගමනාන්තය ඒ කියන්නේ බඹරැල්ලට එද්දී වටපිටාව ටිකක් විතර වැහි අඳුරින් වැහිලා තිබුණත් වැහි පොද වැටෙන එක නතර වෙලා තිබුනා. බස් එක ගමනාන්තයට ඇවිත් නතර කලා. බඩුමුට්ටු ටික බස් එකෙන් බාගෙන පැත්තකින් තියල ඉවරවෙලා එක එකා නොයෙකුත් අවශ්‍යතාවන් ඉටු කරගන්නවා. බස් එක හරවන තැනම වගේ තියෙන පුංචි කඩය  අපේ බඩගින්න තිබහ හැම දේම විතරක් නෙමේ අපට අමතක වෙලා තිබුන සමහර භාණ්ඩ කීපයක් ගන්නත් උපකාරී වුනා. මම අත්දැකලා තියෙන දෙයක් තමයි බොහොමයක් දුෂ්කර පැති වල මේ වගේ හැම දෙයක්ම වගේ ගන්න පුළුවන් කඩ තියෙනවා කියන එක. කඩේ කිට්ටුව තිබ්බ වැසිකිළිය අපිට සෑහෙන පිටුවහලක් උන බව අමතක කරන්න හොඳ නැහැ.
බඹරැල්ල කඩේ ගාව අපි...
මේ ඉන්නේ බල්ලා, කඳු නැගීමට පෙර...
චුටි බබා, කපුටා, DTB නකල්ස් බෝඩ් එක ගාව
කඩය අසල තිබු අපට පිහිට වූ වැසිකිළිය
අසළ පිහිටි දිය ඇළ, නම අමතකය.
වැහි බීරුම තිබුනත් නකල්ස් කන්ද නගින එක අතඅරින්න කවුරුවත් සූදානම් නැහැ. ඒ වුනාට නකල්ස් කිට්ටුවටම එනකම් අපි ටිකක් දෙගිඩියාවෙන් තමා හිටියෙ වැස්ස අපිට බාධාවක් වෙයිද කියලා. කන්ද නගින්න කවුරු හරි දන්න කියන කෙනෙක් හොයලා දෙන්නම් කියලා පොරොන්දු වෙච්ච දහම් හතර අතේ කැරකුනත් කාවවත් හොයා ගන්න බැරි වුනා. කඩෙන් අහල බැලුවට වැඩක් උනෙත් නැහැ. අන්තිමේදී අපි ගයිඩ් කෙනෙක් නැතුවම ගමන පටන් ගත්තා.

ගමනේ මුල් කොටස යන්න තිබුනේ ලොකු බෑවුමක් තියෙන තේ වත්තක් හරහා. ඒ වෙද්දී වැහි ගතිය අඩුවෙලා පොඩි අව්රැල්ලක් වැටෙන්න පටන් අරගෙන තිබ්බේ. පළවෙනි මීටර් 100 විතර යද්දි අපි හැමෝවම මැරිල වැටෙන්න තරම් හතියකුයි දාඩියයි දාන්න පටන් ගත්තා. මුලින්ම හම්බ වෙච්ච ගෙදර ඒ කිට්ටුවම තිබුනෙ අපි හැමෝගෙම වාසනාවට වෙන්න ඇති. එතන නතර වෙලා නිදහසේ ගලාගෙන එන වතුර බටයකින් ඇති වෙන්න වතුර බිව්වා. තැන තැන වාඩිවෙලා හති අරින්න පටන් ගත්තා. ඒ ගමන්ම මිදුලේ කොණක වවලා තිබුණ තක්කාලි ගහකින් ගෙඩි කීපයකුත් කඩාගෙන කාල එතනම තිබ්බ මිරිස් ගස් වලින් මිරිල් කරල් ටිකකුත් කඩාගෙන කෑවා. ඊට පස්සෙ තමා කට්ටිය ටිකක් විතර යථා තත්ත්වයට පත් වුනේ.
මෙන්න මේ වෙලාවේ තමයි ඒ ගෙදර හිටපු ගෑණු මනුස්සයා අපේ ආගමනය දැකල එළියට ආවේ.

කතාව ටිකක් දිග වැඩි නිසා කොටස් දෙකක් විදිහට දැමීමට සිදුවීම සම්බන්ධව සමාව....

10 comments:

  1. නියම චාරිකාවක් වගේ. ඉතිරි ටිකත් ඉක්මනට දාන්න. මේ වගේ ගමන්වලට කැමති යාලු මිත්‍රාදීන් ඉන්න එකත් වාසනාවක්

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිළිගන්නවා මිත්‍රයා...
      ඉතුරු ටිකත් දැන් ලියල ඉවරයි. අද හෙටම ඒකත් දාන්නම්.

      Delete
    2. එළ... ඔන්න ඔයාව මගේ බ්ලොග් රෝලටත් එකතු කර ගත්තා...

      Delete
  2. මීමුරේ ගමන ගැන ගිය පාර කතාවෙන් නකල්ස් හරහා මීමුරේට යන්න බෑ කිව්ව වගේ මතකයි.. හරි හරි තවම කතාව ඉවර නෑනේ.. මගේ ප්‍රශ්ණ වලට උත්තර දෙවෙනි කොටසේ ඇති. ඒ කියන්නේ දෙවෙනි කොටස ඉක්මණටම බලන්න (දාන්න) වෙනවා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. නකල්ස් හරහා මීමුරේ යන්න පුළුවන්. ඒ ටික ඊළඟ පෝස්ට් එකෙන්ම බලමු.
      ඉතුරු කොටස කිව්වට තව දෙකක්වත් දාන්න වෙයි වගේ...

      Delete
  3. මී මුරේ කියන්නෙ යන්න ආසාවෙන් ඉන්න තැනක් තාමත් යන්න බැරි උනා. ලොකු පුතා මොකෝ ඔය එලුවො බල්ලො අරන් මී මුරේ ගියේ බිස්නස් එකකටද ?:D

    ReplyDelete
    Replies
    1. දැන් මීමුරේ යන්න ඉස්සර තරම් අමාරු නැහැ මම හිතන්නේ.
      කලින් පෝස්ට් එකේ ඒ ගැන විස්තර සිංහයා දාල තිබුනා.

      මොනා කරන්නද මචං, අපි එක්ක හිටපු බාගෙට බාගයක් සත්තුම තමයි. උන්ගෙන් බිස්නස් කෙසේ වෙතත් කාට හරි දෙනවනම් දෙන්න වෙන්නේ සල්ලිත් එක්ක.

      Delete
  4. එල එල.
    batch එකේ සෙට් එක දැක්කා.

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්... ඒ කියන්නේ උඹ අපේ එකෙක්... ජයවේවා කිව්වා එහෙනම්.

      Delete