Tuesday, 21 April 2015

යදම් බිඳලුවාට කම් නැතිද...?

මම දන්නේ නැහැ මම මේ කරන්න හිතාගෙන ඉන්න වැඩේ හරිද වැරදිද කියන එක ගැන, සමහර විට දෝෂාරෝපණ අහන්න වෙන්නත් පුළුවන්. ඒත් මම පුංචි කාලේ ඉඳල අද වෙනකල්ම බොහොම ආදරෙන් එකතු කරලා රැකබලා ගත්තු පරණ පත්තර කොළ ගොඩක් අස්සේ හැංගිලා තිබුන ලස්සන අතීත කතාවක් බ්ලොග් එකේ ලියන්න පුළුවන්ද කියන එක ගැන පොඩි මුට්ටියක් දාල බැලිල්ලක් තමයි මේ කරන්න යන්නේ.

පත්තරේ නම තමයි අපි කවුරුත් දන්න කියන දිවයින පත්තරේ. හරියටම කියනවනම් 1993 දෙසැම්බර් මාසේ 12 වැනි ඉරිදා දිවයින පත්තරේ කතාවක් පටන් ගත්තා. පළවෙනි කොටසින් තරම් ආසාවක් ඇති නොවුනට දෙවෙනි කොටස කියන්නේ දෙසැම්බර් 19 වෙනිදා කොටස කියෙව්වට පස්සේ මට හිතුනා මේ කතාව එකතු කරන්න ඕනේ කියලා. එහෙම හිතලා දෙවෙනි පත්තර කොලේ කඩාගෙන ඉවර වෙලා ඊට පස්සේ පළවෙනි පත්තර කොලේ හෙව්වා, ඒත් මට ඒක හොයාගන්න ලැබුනේ නැහැ. ගෙදර හැමෝගෙන්ම ඇහුවත් පත්තර කොලේට වූනේ මොකක්ද කියල කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.

දවස් වල අපේ ගෙදරට අළුතින් කොටසක් එක්කාසු කරන්න පටන් අරගෙන තිබුනේ. ගෙදර හදා ගත්තු සිමෙන්ති ගල් වලින් තමයි මේ වැඩේ සිද්ධ වුනේ.
ඉස්සර ගෙවල් වල සිමෙන්ති ගල් හදද්දී පොලවට පත්තර කොල හරි සිමෙන්ති බෑග් වල කොල හරි දාල තමයි සිමෙන්ති ගල් හදන්නේ. ගල් ගහන අච්චුව හදල තිබුනේ සරනේරු වලින් හයි කොරලා, ලොක් කරන්න එහෙම පුළුවන් විදිහට. වැඩේ පහසුව තකා සිමෙන්ති ගල් අච්චුව හදල තිබුනේ උස අතට ගල් ගහන්න පුළුවන් විදිහට නෙමෙයි. සිමෙන්ති ගල කොටන්නේ පළල අතට. වැය වෙන සිමෙන්ති බදාම ප්‍රමාණය අඩු කරගන්න මැද හරියට ඔය ගල් කෑලි එහෙමත් දානවා. ඒ වැඩේ තරමක් දෝෂ සහගත එකක් කියල දැන් හිතුනත් දැනට අවුරුදු 21 ට කලියෙන් හදාපු ඒ කොටස අදටත් ඔය යස අගේට තියෙන්නේ.

එක දවසක් බිත්තියේ ගල් වරියක් බැඳලා ඉවර උනාට පස්සේ එළියට පේන්න තිබ්බ මුණතේ “යදම්” කියන අකුරු කීපය ළාවට පේන්න තිබ්බ පත්තර කොළ කෑල්ලක් ඇලිලා තියෙන බව මම දැක්කා. මම දුකින් දිහා බලාගෙන හිටිය මිසක් ආපහු පත්තර කොලේ හොයා ගන්නේ කොහොමද කියලා දවස් වලම කල්පනා කලේ නැහැ. ඒක තමයි මම කරපු ලොකුම මෝඩ වැඩේ. මේ කියන කාලේ මම හිටියේ 8 වසරේ, එතනින් පස්සේ ඉස්කෝලේ නිවාඩු ලැබෙන දවස් වලදී සැරින් සැරේ මේ කතාවේ මම ගාව තියෙන කොටස ටික කියවද්දී හැමදාම හිතනවා පත්තර කන්තෝරුවකට ගිහින් හරි පත්තර කොල කෑල්ල හොයා ගන්න ඕනේ කියලා. කොහොමින් කොහොම හරි ඒක සිතුවිල්ලකට විතරක් සීමා වුනා.

මෙහෙම ගිහින් අවුරුදු ගණනාවක් ගිහිල්ලත් මම කොළඹ ඇනෙක්සියට ගෙදර තිබ්බ බඩු මුට්ටු අරගෙන ආපු වෙලාවේ මට තිබ්බ වටිනාම මතකයන් ටික අරගෙන එන්න මම අමතක කලේ නැහැ. බඳින්න කලින් පුච්චන්න ඕනේ ඒවා ටික කළින්ම පුච්චපු නිසා ඉතුරුවෙලා තිබ්බේ මෙන්න මේ වගේ වටින දේවල් විතරයි.
අන්න පරණ මතක අතරේ තිබ්බ එක දෙයක් තමයි ROOTS කියන ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනය, හැබැයි ඒ පත්තර පිටු විදිහට. පරිවර්තනය සිදුකරලා තිබුනේ “සමන් වික්‍රමාරච්චි” කියන මහත්මයා.
වගේම "ජනක රත්නායක" කියන මහත්මයාගේ විශිෂ්ට ඝණයේ සිතුවම් වලින් කෘතියට අවශ්‍ය කරන සියුම් ආලෝකයකුත් ලැබිල තිබුණා. ඇලෙක්ස් හේලි (Alex Haley) කියන කළු ඇමෙරිකානුවා දොළොස් වසක් තිස්සේ තම පරපුරේ අක්මුල් සොයා යෑමෙන් පසු හෙළිවූ අතීතය ලියා තැබූ විශිෂ්ට ඝණයේ කතා පුවතක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්.

වහල් සේවය වේවා, රට රටවල් පිටින් අල්ලා ගනිමින් සිදුකළ මංකොල්ල කෑම්, මනුෂ්‍ය ඝාතන හෝ වේවා, මේ සියල්ල පිටුපස සිටියේ සභ්‍යයැයි තමන් විසින්ම හඳුන්වා ගත් දේව භක්තිය මනෝවිකාරයක් කරගත් අමනයන් පිරිසක්. උන් කරපු  නොපෙනත් කම් වලට සරිලන වන්දි මේ ලෝකෙදි වගේම ඉදිරි අනාගතේදීත් ලැබෙන්න ඕනේ...
මේ කොටස ලියවුනේ උන් අපේ වගේ රටවල් වලට සහ අප්‍රිකාවේ රටවල් වල උන්ගේ ආගම් පතුරවන්න සිද්ධ කල සංස්කෘතික සහ මානව සංහාර සම්බන්ධව උපන් කේන්තියෙන්.

මෙන්න මෙවැනි කොටසක් පත්තර පිටුවේ හැමදාම වගේ පළවුණා.

ඇලෙක්ස් හේලිගේ නවකතාවේ අනුවාදය
මේ ආඛ්‍යානය වූ කලී එක්තරා මිනිසෙකු දොළොස් වසක් තිස්සේ ස්වකීය පරම්පරාවේ මුල් ඇදුනු තැන් සොයා ගිය ගමනේ කතාවයි.
මිනිසා නම් කළු අමෙරිකානුවකු වූ ඇලෙක්ස් හේලිය, ඔහු පුවත්පත් කලාවේදියෙකි. වහලුන් සහ නිදහස් මිනිසුන්, ගොවින් සහ කම්මල්කරුවන්, නීතිඥයන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් ආදී වශයෙන් වූ පරම්පරා හයක් ඔස්සේ ඔහු තම මුල් සොයා අප්‍රිකාවට යයි. තමා උපන් බිමින් උදුරාගෙන වධ වේදනා මධ්‍යයේ යදමින් බැඳ නවීන ලෝකයේ වහල් වෙළඳ පොළ වෙත රැගෙන කුන්ටා කින්ටේ නම් දහසය හැවිරිදි ගෝත්‍රික තරුණයා හමුවන තෙක් ඔනු අතීතයට යයි. ROOTS කතාවයි.
මෙම වෘතාන්තය රූපවාහිනී තිරයටද නැගිණි. ලොව වැඩිම ජනකායක් නැරඹු රුපවාහිනි මාලා නාටකය ලෙස වාර්තා තැබූ එය කලකට පෙර අප රටේ රුපවාහිනියේද ප්‍රදර්ශනය විණි. “යදම්යනුවෙන් ප්‍රථම වරට සිංහලට නැගෙන්නේ එම කතාවයි.


රූපවාහිනියේ ප්‍රචාරය වෙච්ච බවක් කිව්වට අපි ඒ කතාව කළින් බලල තිබුනේ නැහැ. 1993 වකවානුව වෙද්දී අපේ ගෙදර කාර් බැටරියෙන් බලන්න ඇහැකි කළු සුදු National වර්ගයේ අඟල් 12 TV එකක් තිබුනා. ඒකෙන් මොකක්හරි කතාවක් හරි ෆිල්ම් එකක් පැහැදිළිව බලනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමේ. උණ බටටේකට ඇන්ටණාවක් අමුණාගෙන උද බලාගෙන එහෙමෙහෙ ගෙනියනවා තරම කරුමයක් ඒ දවස්වල අපිට තිබ්බේ නැහැ. එහෙම වෙන්න හේතුව අපේ ගෙවල් හතර වටෙන්ම කඳු වලින් වටවෙලා තියෙන නිසා වෙන්න ඕනේ.

කාලයක් තිස්සේ යටපත් වෙලා තිබ්බ පත්තර පිටුව හොයා ගැනීමේ මෙහෙයුම හදිස්සියේම දවසක් ඔළුවට ආපහු ආවේ 2013  අවුරුද්දේ දවසක. එදා දිවයිනේ වැඩ කරන මගේ යාළුවකුට කෝල් කරලා බැලුවම උගේ උත්තරේ වුනේ උන්ගේ පුස්තකාලයේ පැරණි පුවත්පත් ඔක්කොම තිබුනත් ඒවායෙන් කොපි ගන්න බැරි බවත් මහජන පුස්තකාලයෙන් කොපියක් ගන්න පුළුවන් වේවිය කියලත්. එහේට කෝල් කලාට පස්සේ එයාලගේ උත්තරේ වුනේ යම්කිසි ගැටළුවක් නිසා ෆොටෝ කොපියක් ගැනීමේ හැකියාවක් නැහැ කියන එක තමයි. එතනින්ම ආපහු වතාවක් මගේ උත්සාහය නිරර්ථක වුනා.

ඔහොම ඉඳලා 2014 මැද හරියෙදි වගේ පළවෙනි කොටස නැතුව දෙවෙනි කොටසේ ඉඳල කතාව ලියන්න පටන් ගන්න ඕනේ කියන අදහස මගේ ඔළුවට ආවා. දෙවෙනි කොටස සම්පුර්ණයෙන්ම Word Document එකක් විදිහට ලියල ඉවරවෙලා තුන්වෙනි කොටස ලියන්න යද්දී කතාව සම්බන්ධව හිතේ ඇතිවුන යම් මානසික තත්ත්වයක් නිසා ඒ වැඩේත් අතරමග නතර කරලා දාන්න හිතුනා. මට බය හිතුනා මම පොඩි කාලේ ඉඳල ආදරේ කරපු ඒ කතාවට දැන් මම වෛර කරන්න පටන් ගනීවිද කියලා.

ආපහු වතාවක් 2015.03.31 වෙනිදා හදිස්සියේම හිතට ආපහු අදහසක් නිසා දිවයින කන්තෝරුවට කෝල් කරන්න මට හිතුනා. මගේ අවශ්‍යතාව එතනට දැනුම් දුන්නා. එතනට ඇවිත් කතෘ මණ්ඩල අනුමැතියක්ද මොකක්ද එකක් අරගෙන පුස්තකාලය ඇතුළට එන්න කියල එතනින් දැනුම් දුන්නා. ඊට පස්සේ මගේ පෙන්තාටත් කෝල් එකක් දීලා සිද්ධිය කියලා මම දිවයිනට පත්තරේට ගියා. මමයි මේ කියන මිත්තරයයි දෙන්නත් එදා ඒ හම්බ වුනේ හරියටම අවුරුදු 10 කින් විතර වගේ. පුස්තකාලය භාර නිලධාරි මහත්තුරු මගේ වැඩේ වෙනුවෙන් අදාළ පුවත්පත සොයා දෙන්න වැඩි වෙලාවක් ගත්තේ නැහැ. එක අවුරුද්දක පත්තර ටික ලොකු පොතක් විදිහට එකට බයින් කරලයි තිබුනේ. ඒ වගේම ඒ විදිහට බයින් කරලා තියෙන පත්තර ගැලවීම තහනම්ලු. මම කිව්වේ මට ෆොටෝ ටිකක් ගහගන්න තිබුනම ඇති කියල. මගේ මිත්තරයා හොඳ කැමරා එකකින් ඒ වැඩේ කරවලා දෙන්න හැදුවත් ෆෝන් එකේ තියෙන කැමරා එක මගේ වැඩේට සෑහෙන නිසා මුළු ලිපියම කවර් වෙන විදිහට ෆොටෝ කීපයක් ගහගත්තා. ඊට පස්සේ යාළුවා එක්ක පොඩ්ඩක් ආගිය විස්තර කතාබහ කරලා එහෙම මම ආපහු එන්න ආවේ ලොකු සතුටක් හිතේ තියාගෙන.

පොඩි නැහැ මේක හරියටම අවුරුදු 22 ට ආසන්න කාලයක් තිස්සේ හිත යට තිබිලා මතුවෙච්ච අදහසක් එක්ක ලබා ගත්තු ජයග්‍රහණයක්...

දැන් තමයි ගැටළුව...
මම ඒ ලිපි පෙළ පරිවර්ථකගෙන් හෝ දිවයින පත්තරෙන් නිසි අවසරයක් නැතිව බ්ලොග් එකේ පළ කරන්න පුළුවන්ද, එහෙම කරන එක හරිද...? වැරදිද...?
දැනට තියෙන වාතාවරණය අනුව සමන් වික්‍රමසිංහ මහත්මයව හොයාගෙන ඒ අවසරය ලබා ගන්න පුළුවන් වෙයිද කියන එකත් සැළකිය යුතු මට්ටමේ ගැටළුවක්.

කොහොම නමුත් ජාලය හරහා මට ඒකට පොඩි විසඳුමක් ලැබුනා.
මේ පරිවර්තනය පොතක් විදිහට එළි දැක්වූ බවක් මම කලින් දැකල තිබ්බේ නැහැ, පොත් කඩ ගානේ, බුක් ෆෙයාර් එකේ කරක් ගහන මට ඒ පොත හම්බ උනේ නැති උනාට “යදම්” පොතක් විදිහට පළවෙලා කියල මට අන්තර්ජාලය හරහා දැනගන්න ලැබුනා. ඒ හෝඩුවාව හරහා මම මුලින්ම කලේ පොතේ කොපියක් හොයා ගන්න පුළුවන්ද කියල හොයල බලන එක.
මේ පොත 1997 දී පළකරලා තියෙන බව සහ දැනට පොතේ කොපියක් හොයා ගන්න බැරි බවක් තමයි හැමතැනින්ම වගේ දැනගන්න ලැබුනේ.

ඊට පස්සේ සමන් මහත්තයව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් ගැන හොයා බැලුවා. පොත පළකරලා තියෙන්නේ සංහිඳ ප්‍රකාශකයෝ. සරසවි එකට කෝල් කරලා සංහිඳ එකේ නොම්බරේ ඉල්ල ගත්තා. එතනින් “සමන් වික්‍රමාරච්චි” මහත්තයාගේ දුරකථන අංකයක් ඊයේ වෙද්දී ඉල්ල ගන්න පුළුවන් වුනා.
ඊයේ දවසෙම ඒ අංකෙට කෝල් කලාට උත්තර නැහැ, අද උදේ කතා කරලා බැලුවම වැරදි අංකයක් කියන සුභ ආරංචිය මේ දැන් වගේ ලැබුනා. භාවිතයෙන් ඉවත් කරපු දුරකථන අංක නැවත වෙනත් පුද්ගලයින්ට නිකුත් කරන නිසා ඒ අංකය දැන් වෙන කෙනෙක් පාවිච්චි කරන්නේ.

දැන් මම මොකක්ද කරන්න ඕනේ කියන ගැටළුව තවමත් මගේ ඉදිරියේ...
පුළුවන්නම් අදහසක් දෙන්න...

Wednesday, 8 April 2015

බුන්දල පාක් එක සහ ලුනු ලේවාය - Bundala National Park & Saltern 2007 - දෙවැනි කොටස

පළවෙනි කොටස මෙතනින් බලන්න...

අපි දවල් කෑම වේල කොටා බාලා ආපහු එන බව ගේට්ටුවේ නිලධාරීන්ට දැනුම දීල එහෙම අපි සර්කිට් එක දිහාට එන්න පිටත් වුනා. බුන්දල යාල වගේ නෙමෙයි. උන් එක්ක ඒ වගේ දෙයක් කතාබහ කරලා කරගන්න ඇහැකි. ඉස්සර යාල යද්දී එහෙම කෑමට එළියට ඇවිත් ආපහු යද්දී දෙවෙනි වතාවටත් ටිකට් ගන්න ඕනි. පස්සේ උන් ඒකට වෙනම ක්‍රමයක් හදල තිබ්බා. Multiple Entrance කියල ටිකට් ක්‍රමේ අනුව ටිකට් වල ගාන පොඩ්ඩක් වැඩියි. ඒ උනාට ටිකට් දෙකක ගාන එක ටිකට් එකකට යන්නේ නැහැ. ඒ මොන ක්‍රමේ බැලුවත් බුන්දල ක්‍රමේ සෑහෙන හොඳයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. “අපි දවල්ට කාල ආපහු එනවා” කියන වචන ටික විතරයි ගිය වියදම.

අපිව බංගලාවෙන් බස්සපු ජීප් එකේ අයියා ගෙදර ගිහින් බත් කාල සයිලන්සර් එකත් හදාගෙන එන්නම් කියල පිටත්වෙලා ගියා. බංගලාවට ගියපු අපි මුලින්ම කලේ මුණ කට සෝදගෙන අජිත් හදල දීපු කෑම වේලෙ රස විඳපු එක. අජිත් කෑම හදනවා කියල කිව්වට ඇත්තටම එතන කෑම උයන්නේ අජිත්ගේ හාමිනේ. හරි රසට වැව් මාළු හදන්න උන්දැට පුළුවන්.

මේ පැතිවල වතුර තමයි ගොඩක් වෙලාවට අපිට පත්තියම් වෙන්නේ නැත්තේ. ඒකටත් තියෙනවා පොඩි කෙම් ක්‍රමයක්. බොන්න තියෙන වතුර පුරව ගන්නවා බෝතල් වලට. ඊට පස්සේ බෝතලේට දෙහි ගෙඩිය ගානේ මිරික ගන්නවා. කිවුල ගොඩක් වැඩිනම් දෙහි පොඩ්ඩක් වැඩි කළත් කමක් නැහැ. ඊට පස්සේ කිවුල කැපිලා යන නිසා අවුලක් නැතුව වතුර ටික බොන්න ඇහැකි.

බත් කාල ටික වෙලාවක් එතන එතන ලැගලා ඉන්නකොට ඈතින් අපේ ජීප්පුව එන සද්දේ ඇහෙන්න ගත්තා. කාල එන ගමන් දුම් බටේ හදාගෙන එනවා කියල කිව්වට මිනිහට ඒක හදාගන්න බැරිවෙලා. දැන් මොකදැයි කරන්නේ. මොනා කරන්නද කියල කප්පනා කරකර ඉන්නේ නැතුව ජීප්පුවට නැග ගත්තු අපි ආපහු පාක් එක බලා යන ගමන පටන් ගත්තා.
පාක් එක ඇතුළට වාහනේ දාල ටික වෙලාවකින් අපිට තේරුණා දැන් ඉතින් දකිනවනම් දකින්න පුළුවන් වෙන්නේ බීරි සත්තුන්ව විතරයි කියලා. හරියට චෙන්සෝ එකකින් ගස් කපනවා වගේ හරි මිහිරි සද්දයක් තමයි ජීප්පුවෙන් පිටවුනේ.


සත්තු බැලිල්ල පැත්තකින් දාපු අපි එතනින් පස්සේ ආපහු ගියා තවත් ලස්සන තැනකට. වැලි පරයක් වගේ එකක් දිගේ ගොහින් මාළු අල්ලන ඔරු තියෙන ඉසව්වකට. එතැන වැල්ලේ ඉඳගෙන ෆොටෝ ටිකකුත් ඇල්ලුවා. එතනට යන්න නම් රෝද හතරම බලගැන්වෙන වාහනයක් අනිවාර්යයි. අපි ගිය ජීප් එක පරණ වුනාට ඒවා වැඩ.

ඊට පස්සේ පාක් එකේ තව ටිකක් ඇවිද්දත් අපිට ලොකු දෙයක් බලා ගන්න ලැබුනේ නැහැ. වතුරෙන් යටවෙලා තිබ්බ පාරක් හරහා එද්දී අපිට ලස්සන ෆොටෝ එකක් ගහ ගන්න නම් චෑන්ස් එකක් ලැබුනා. මේ ෆොටෝ එක ගත්තේ ගයිඩ් අයියා වගේ තමයි මතක.
එතනින් පස්සේ අපි කෙළින්ම නවාතැනට එන්න පිටත්වුනා. එදා දවසේ ඒ අවට ගම්මාන වල මිනිස්සුන්ට අලියලා, මුවාලා, ගෝනලාව එහෙම එලවන්න වෙනම පැල්රකින්න ඕනේ වෙන්න නැතුව ඇති. ජීප් එකේ සද්දෙට කිසිම සතෙක් ඒ පැත්ත පළාතක ඉන්න විදිහක් නැහැ. අපේ ගමනෙන් එක දවසකට හරි ඒ වගේ සේවයක් ඒ ගම්මානේ මිනිස්සුන්ට සිද්ධ වෙච්ච එකම මදෑ...

හෙරිටේජ් එකේ වගේ නෙමෙයි මෙතන කරන්ට් එක ඒ කිව්වේ විදුලි බලය තියෙනවා. හැබැයි ජල විදුලිය නෙමෙයි. ජෙනි විදුලිය තමයි තියෙන්නේ. ලුනු ලේවායට කරන්ට් එක ගන්න එකට පොඩි ගැටළුවක් තියෙනවලු. වනෝද්‍යානය හරහා විදුලිය ගන්න එකට වනෝද්‍යාන පරිපාලනයෙන් අවසර දෙන්නේ නැතිලු. අවසර නොදෙන්නේ ඒ හරහා යම් ගැටළුවක් මතුවෙන්න ඇහැකි නිසා වෙන්නත් ඇති. ඒක වැඩක් නෑ... කොහොමහරි මේ සෝල්ට් එකේ බංගලාවේ තියෙන්නේ ජෙනි විදුලිය පමණයි, ඒකත් රෑ 10:00 ට නවත්වනවා. ඊට වඩා ඕනෙනම් වෙනම ගෙවන්න ඕනේ.

මේ බංගලාව ටිකක් පරණ පහේ එකක්, ඒ වගේම අපි වගේ එව්වන්ට කුළියට දුන්නට මේවා හදල තියෙන්නේ ඒ අදාළ ආයතනයේ සේවක මහත්වරුන්ගේ පහසුව තකා. මෙව්වයේ පරණ උනත් අර “ඇටෑක් බාත්රුම්” කියන්නේ අන්න එව්වා තියෙනවා. කාමරෙන් ඒකට යන්න පුළුවන් වගේම, ඒ බාත්රූම් එකෙන් එළියට යන්නත් වෙනම දොරක් තියෙනවා. මේ ගැන පසුකාලීනව මම දැනගත්තේ මෙන්න මේ වගේ කතාවක්.

මට ඔය එක එක ෆීල්ඩ් වල නාකි පහේ යාළු මිත්තරයෝ ඉන්නවා. ආන් එයින් එකෙක් තමයි මට මෙන්න මේ වැදගත් හෙළිදරව්ව කලේ... යකෝ... මේවා ගොඩක් පරණ බිල්ඩින්. අද කාලේ වගේ නෙමෙයි, ඉස්සර. ඔය බාත්රුම් එකෙන් එළියට දොරක් දාල තිබිල තියෙන්නේ නානකාමරේ ඉන්න එකාට එළියට යන්න නෙමෙයි බොලව්. ඇතුළට ගන්න ඕනේ එවුන්ව (ඒ කිව්වේ එකියන්ව) ඇතුළට ගන්නයි කියලා. ඔව්වා රට්ටුන්ට පෙනී පෙනී ඉස්සරහ දොරෙන් කරන්න පුළුවන් වැඩද කියලත් කිව්වා. අන්න එහෙම සරළ සුගම භාෂාවෙන් කිව්වට පස්සේ මට ඉතින් බල්ලට පොල්ලෙන් ගැහුවා වගේ ඒ කතාව තේරුණා.

අපි ඔය සර්කිට් එක බුක් කලේ දවසට රුපියල් 2,500 ක් දීලා. පස්සේ කාලෙක මම රට ඉඳල ආවට පස්සේ බැලුවම ඒකෙ ගැන රුපියල් 7,500 ක් කරලා. බාත් රුම් වල තිබ්බ පරණ ටයිල් අහක් කරලා අළුත් ඒවා දැම්මලු, ජෙනි විදුලිය වෙනුවට දැන් ජල විදුලිය තියෙනවලු. ඒත් අජිත් මට කියපු විදිහට දැන් වැඩිය සෙනග එන්නෙ නැතිලු ගාණ වැඩියි කියල. එයාල ඉහල නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කලාලු ගාණ 5,000 ට අඩු කරන්න කියල. හැබැයි තවම ඒ ඉල්ලීම ඉටුවෙලා නැහැ කියල තමයි ආරංචිය.

ඔන්න ඉතින් දැන් මේ අජිත්ල හදල තිබ්බ කෑම එහෙම කාරිය කාල රෑ දහය වෙන්න කලින් අපි නිදා ගන්න සෙට් වුනා. එළියේ බුරු ඇඳන් කීපයක් තිබ්බත් ඒවායේ නිදා ගන්න කවුරුවත් ට්‍රයි කලේ නැහැ. නිකං මොකටද අලින්ට කියල බර කිරා ගන්නේ. අපිට එහෙම හිතෙන්න ඇති.

පහුවෙනිදා උදෙන්ම නැගිටලා අජිත් හදල තිබ්බ කිරිබත් ලුණු මිරිසක් එක්ක කොටා බාලා තේ එකක් කාරිය බිව්වා. මොනවා තිබ්බත් වැඩක් නැහැ, මේ පැතිවල තියෙන වතුරෙන් හදන තේ නම් බලු වටින්නේ නැහැ. තේ එකක් බිව්වම එන ගැම්ම ඒකෙන් එන්නේ නැහැ.

සර්කිට් එක ගාව ඉඳලා කලපුව සහ ලේවාය දෙකම තියෙන්නේ තරමක් දුරින්. අපි හිමි හිමීට ඒ අහට ඇවිදින්න ගියේ කුරුල්ලෝ බලන්න හිතාගෙන. මේ පැත්තෙන් ලේවායයි මුහුදයි හා වෙන තැන දක්වාම අපහසුවක් නැතිව යන්න ඇහැකි. කලපුව පටන් ගන්න තැනදිම මම දැක්කේ ලේවායේ එහා පැත්තේ මොකුන්දෝ නළියන ගතියක්. කිට්ටුවට යද්දී තමයි දැක්කේ ඒ කුරුල්ලෝ රොත්තක් කියලා. මම ජීවිතේට ඒ තරම් කුරුල්ලෝ රොත්තක් ඊට කළින් දැකල තිබුනේ නැහැ. ඒ වගේම තමයි ඒ වර්ගයේ කුරුල්ලෝ ඊට කළින් මම දැකල තිබ්බෙත් නැහැ. සමහර විට කෙලින් කොහේදී හරි දැක්කත් ඔළුවට වැටෙන්නෙ නැතුව හරි ඇති.
ඒ වගේම එදා හිටපු තරම් කුරුල්ලෝ ප්‍රමාණයක් ආපහු කවදාවත් බුන්දලදී මම දැකල නැහැ. නමුත් අපිට ඉස්සර යන්න බැරි පැත්තවල් වෙලා තිබ්බ උතුරුකරේ ගියාම කුරුල්ලෝ සෑහෙන ඉන්නවා. සමහරවිට යුද්ධේ කාලේ ඒ පැතිවල නතර නොවී දකුණට ආපු කුරුල්ලෝ දැන් පර්යටනය කළපු භුමි බහුල උතුරුකරයේ දිම නතර කරනවා වෙන්නත් ඇහැකි.

අපි කළපුවේ එහා කෙළවරට යන්න තියෙන පුංචි අඩි පාර දිගේ ඉස්සරහටම ගියා. ඒ යද්දී අපි කිට්ටුවට එද්දී කුරුළු රංචු පොඩ්ඩක් ඉස්සරහට පියඹලා ගියත් ඒ ඉසව්වෙන් වැඩි ඈතකට ගියේ නැහැ. ඒ තරම් ලස්සන දසුනක් මීට කළින් මගේ ජීවිත කාලෙටම දැකල තිබ්බේ නැහැ. මොන තරම් ලස්සනක් දැක්කත් මට ඒ ලස්සන මගේ කැමරාවේ සටහන් කරගන්න බැරිවුනා නේද කියන සිතුවිල්ල අදටත් මට දැනෙනවා. එතනින් පස්සේ අපි කෙළින්ම ගියේ කළපුවයි මුහුදයි යාවෙන තැන කිට්ටුවට. ඒ කාලේ වෙද්දී ඒ දෙක වැලි වැටියකින් වෙන්වෙලා උන්නේ. අපිට යන්න තිබ්බ පටු වැලි තීරුවේ යද්දී අපි එක පාරටම දැක්කේ කිඹුලෙක් කාල ඉතුරු වෙච්ච මී හරකෙක්ගේ බාගයක්. සමහර තැන්වලදී අපිට වතුරට බැහැල යන්නත් සිද්ධ වුනා. ලංකාවේ කළපුවල වැඩිපුරම කිඹුල්ලු ඉන්නවා කියන්නේ බුන්දල කළපුවේ. ඒක දැක්කට පස්සේ පොඩි චකිතයක් වගේ ගතියක් ඇති උනත් අපි එහෙම්මම මුහුදු වෙරළටම වෙනකල් ගියා. 


ඒ මුහුදු වෙරළත් සෑහෙන ලස්සන සහ නිස්කලංක මුහුදු වෙරළක්. කිසිම දේකින් අපවිත්‍ර වෙලා තිබ්බේ නැහැ. මිනිස්සුන්ට ගිහින් එතන අපවිත්‍ර කරන්න බැරි හේතුව නිසාද කොහෙද එතන ලස්සන. ඒ මදිවට වෙරළේ හතර අතේ සිප්පි කටු, පොඩි පොඩි බෙලි කටු, දිලිසෙන වීදුරු වගේ බෝල ගල් විසිරිලා තිබුනා. අපි පුංචි ඈයෝ වගේ ලස්සන සිප්පි කටු, බෙල්ලෝ ඇහිඳින්න පටන් ගත්තා. මේ ළඟකදී ගමේ ගියපු වෙලාවක මම එදා ඇහින්ද සිප්පි කටු කවරෙක දාලා තියෙනවා දැකල බලල ආවත් එක්ක.

ටික වෙලාවකට පස්සේ අපේ උන් කීප දෙනෙකුට එතන මුහදේ නාන්න ආසාවක් ඇතිවෙලා මුහුදේ පනින්න පටන් ගත්තා. අඩුගානේ මුන් වෙනම ඇඳුමක්වත් අරගෙන ගිහින් තිබ්බේ නැහැ. ඇඳන් ඉන්න ඒවා පිටින් නෑවා, ඊට පස්සේ අවුවටම වේලෙන්න අව්වේ ලැගලා ඉන්නවා. ඒ ක්‍රමෙත් හැබැයි නරකම නැහැ.
මම මුහුදේ නාන්න ඒ තරම් මනාපයක් නැති නිසා මම මුහුදේ පැන්නේ නැහැ. මම මුහුදක නාන්න යනවනම් නාන්නේ ඒකට වෙනම අඳින්න ඇඳුමක් තියෙනවනම් සහ මුහුදු නෑමෙන් පස්සේ නාන්න හොඳ වතුර තියෙනවනම් විතරයි. ඔය දෙක ඒකට සෙට් වෙන්නේ කලාතුරකින් නිසා මම මුහුදේ නාන්නේ නැතිම තරම්. ඔන්න වැඩේ...
මේ තියෙන්නේ ඒ පතොක් මල සහ ගෙඩියක්...
ඒවා ඉදුනම දම් පාට වෙනවා
බුන්දල හරියේ තව අපුරු දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ අහල ඇති නේද Dragon Fruit කියන පළතුර ගැන. ඒකත් ඔය පතොක් කුළයේ ගහක්ලුනේ. ඒ වගේම ඊට වඩා පොඩි කැලෑ වර්ෂන් එකක් තියෙනවා ඔය පැතිවල. ඒ ගෙඩි කඩා ගන්න ඕනේ බොහොම පරිස්සමට. කටු පොකුරක් තියෙනවා කොහොම කළත් හතර පහක් ඇනෙන එක නවත්තන්න බැහැ.  ඒ එක්කම ලොකු තරුවක් වගේ කටුවක් තියෙනවා ගෙඩිය ඇතුළේ. ඒක අහක් කරන්නේ නැතුව කෑවා කියන්නේ බඩු බනිස්. මොනවා වෙලා නතර වෙයිද දන්නේ නැහැ. ඔය සියළුම කටු කාගෙන මේ ගෙඩි කන්න හිතෙන පොඩි රසයක් ඒවායේ තියෙනවා. මෙන්න මේක තමයි අවසාන ප්‍රතිඵලය... පේනවා නේද කටේ හැටි.




අපි මෙතන වෙරළේ සෑහෙන වෙලාවක් හිටියා. දවල් වෙලා ආපහු සර්කිට් එකට ඇවිත් ලක ලැස්ති වෙලා බත් එහෙම කාලා ආපහු කොළඹ බලා පිටත්වෙන ගමන ආරම්භ කලා. ඒ එන අතරමගදී බස් එකේ වහලට නැගලා ගහක හිටපු කුරුල්ලෙක්ගේ ෆොටෝ වගයකුත් ගත්තා.
මේ ගමනෙන් පස්සේ මට බුන්දල පරිසරය ගැන ලොකු බැඳීමක් ඇති වුනා. DSLR කැමරා එකක් ගත්තට පස්සේ මම, හාමිනේ එක්ක රෑ 12:30 බස් එකේ නැගලා බුන්දල ගියපු දවස් සෑහෙන තිබ්බා. ගොඩ වෙලාවට අජිත් මට කෝල් කරලා කියනවා මේ දවස්වල කුරුල්ලෝ සෑහෙන ඉන්නවා, ඇවිත් යන්න එන්න කියලා. මොකෙක්හරි විශේෂ කුරුල්ලෙක් ඇවිත් ඉන්නවනම් ඒකත් හැකි ඉක්මණින් මට කියනවා.

දවසක් අජිත් කෝල් කරලා කිව්වා රජ සියක්කාරයෝ (Greater Flemingo) රංචුවක් ඇවිත් ඉන්නවා ෆොටෝ ගහන්න එන්න කියලා. ඊට කළින් මම උන්ව දැකල තිබ්බේ එක වතාවයි. ඒත් යාල හිටපු වෙලාවක සෑහෙන උඩින් පියාඹපු කුරුල්ලෝ දෙන්නෙක් විතරයි.

ඒ ආරංචිය ලැබිච්ච ගමන්ම අපි දෙන්නා එදා රෑ 12:30 බස් එකේ නැගල බුන්දල යන්න පිටත් වුනා. අපි එහාට ගොඩ බැස්සේ 2009 මාර්තු 21, උදේ 07:30 වගේ ඉඳලා දවල් වෙනකල්ම උන්ව හෙව්වත් හම්බ වුනේ නැහැ. දවල් කෑම කන්න ඇවිත් ආපහු ගියත් ඒ වැඩක් උනෙත් නැහැ. මුළු ලේවාය පුරා ඇවිදලා උන්ව හම්බ වෙනකොට වෙලාව හවස 05:30 යි. ෆොටෝ ටිකක් ගැහුවට ඒ තරම් වැඩක් නැහැ. සතුටයි දුකයි දෙකම මිශ්‍ර වෙච්ච හැඟීමක් එක්ක හවස සර්කිට් එකට ඇවිත් දවසේ ඉතුරු ටික ගතකලා.

පහුවෙනිදා උදේ 05:40 වෙද්දී අපි දෙන්න ආපහු ගියා ලේවාය දිහාට. උදේට කෑවෙත් නැහැ. මුකුත් බිව්වෙත් නැහැ. හරියටම උදේ 07:15 වගේ වෙද්දී අපිට ආපහු උන් රංචුව දැකගන්න පුළුවන් වුනා. ගහන්න පුළුවන් උපරිම ෆොටෝ තොගයක් ඒ වෙලාවේ මම ගහ ගත්තා. සමහර ඒවා මම අදටත් හරියට බලල නැහැ. හොඳ ෆොටෝ එකක් ගහගන්න උන්ට කිට්ටු වෙන්න කියල මම ලුනු වතුර එක්කාසු කරලා තියෙන මහ විශාල ලියැද්දකට බැහැල උන්ට කිට්ටු කලා. ටික වෙලාවකින් උන් අපිව මග අරින්න කළපුවේ එහා කොණකට ගියා. දැන් ඔන්න අපි දෙන්න ආපහු උන් පස්සේ. ඒ වෙද්දී හාමිනේ හොඳට හැක් වෙලා. මටනම් සතුටු නිසා බඩගිනිත් නැහැ.
මේ ඉන්නේ මම එනකල් හැක්වෙලා බිම ලැගගෙන ඉන්න මගේ හාමිනේ... හෙහ්

අර කිඹුල්ලු අම්බානෙක ඉන්නවයි කියපු කළපුවේ බැහැල මම ආපහු කුරුළු රංචුවට කිට්ටු කලා. ඒ වතාවේ මම සෑහෙන හොඳ ෆොටෝ තොගයක්ම ගහ ගත්තා. මම ඒ කළපුවේ බැහැපු එක මෝඩ වැඩක්, ජීවිතේ අවධානමේ දා ගැනීමක් බව මම දන්නවා. ඒත් ඒ කිසි දෙයක් ඒ වෙලාවේ මට හිතුනේ නැහැ. හරියටම උදේ 08:45 වෙද්දී අපි අපේ මිෂන් එක කම්ප්ලීට් කරලා සර්කිට් එකට ඇවිත් උදේට කාල කොළඹ බලා යන ගමන පටන් ගත්තා.

කොහොම හරි එහෙම ගහපු ෆොටෝ එකක් ඒ අවුරුද්දේ එක්තරා ප්‍රදර්ශණයක පළවෙනි තැන දිනා ගන්න සමත් වුනා. මේ තියෙන්නේ ඒක...


මේ තියෙන්නේ ඊට පස්සේ වතාවල් වල මම බුන්දලදී ගත්තු ෆොටෝ ටිකක්...
බෙල්ල පුරා කිනිතුල්ලෝ පිරිච්ච මොණර නාම්බෙක්...







මේ හිම නෙමෙයි ලුනු...
රජ සියක්කාරයින් ...


Monday, 6 April 2015

බුන්දල අසිරිය - Bundala National Park & Saltern 2007

කළින් ගිය බුත්තල රහතන්ගල වෙහෙරගල ගමනින් පස්සේ ටික කාලයක් යනකල් ආපහු ගමනක් යන්න ලැබුනේ නැහැ. සමහර විට ඒ කාලේ කැම්පස් එකේ වෙන මොනවහරි වැඩක් තියෙන්න ඇති. වැඩක් නැති වෙලාවට මමත් ඉඳල හිටලා ලෙක්චර් වලට ගිහින් බලල එනවා ලේචාල අපේ කොල්ලන්ට හොඳට උගන්නනවද කියල. ඔය අස්සේ යුනියන් එකේ වැඩයි නොයෙකුත් වැඩයි කරගෙන මේ විදිහට කාලයක් ගතවුනා.
මෙහෙම ඉඳලා හරියටම 2007 පෙබරවාරි මාසේ පළවෙනිදා ඉඳල තුන්වෙනිදා වෙනකල් දවස් තුනක ට්‍රිප් එකක් ලෑස්ති වුනා බුන්දල දිහාවේ යන්න.

ඉස්සර අපේ ගෙදර හැමෝමයි, වැඩපොළේ වැඩ කරන කෙල්ලෝ කීප දෙනෙකුයි එක්කාසුවෙලා හැම අවුරුද්දෙම කොහේ හරි ට්‍රිප් එකක් යන පුරුද්දක් තිබුනා. අපේ ගෙදර තිබ්බ කැරවෑන් වර්ගයේ වෑන් එකේ කිටි කිටියේ හිරවෙලා විස්සකට විතර කිට්ටු පිරිසක් මේ ගමන් වලට සහභාගී වුනා.
මේ ගමන් බොහොමයක් ගියේ ඉස්කෝල නිවාඩු කාලේ අල්ලලා. හැම අවුරුද්දෙම වගේ අපි අනිවාර්යයෙන්ම යන තැනක් තමයි කතරගම. ඒ අපේ තාත්ත බිස්නස් කරපු නිසා තිබ්බ විශ්වාසයක් අනුව කොරාපු දෙයක්. සෝම හාන්දුරුවෝ කියපු බණ නිසා ඒ ගමනත් එහෙම්මම නතර වුනා. එහෙම ගියාම ඒ අවට බලන්න තියෙන තවත් තැන් බලන්න යනවා. කීප වතාවක්ම යාල ගිහින් එපාවෙලා උන්නු අපි වතාවක තීරණය කලා බුන්දල යන්න. අපි ඒ වගේ දෙපාරක් බුන්දල ගිහින් තිබ්බට “බුන්දල පාක් එක මෙලෝ රහක් නැහැ” කියන අදහසක් තමයි අපිට ඇති වුනේ. කොටින්ම කියනවනම් සත්තු නැහැ. කුරුල්ලෝ දෙතුන් දෙනෙක් විතරයි අපි දැක්කේ. මේ කියන කාලේදී අපි පාක් එකකට යන්නේ අලියල, මුවාල, ගෝනලා, ඌරලා, මොණරලා වගේ ලොකු සත්තු බලන්න මිසක් පොඩි පොඩි සත්තු බලන්න නෙමෙයි.

මේ “අලියල, මුවාල, ගෝනලා....” කියන කතාවත් මම කැලේ කොලේ කරක් ගහන්න ගත්තට පස්සෙන් පහු කාලෙක දැන අඳුන ගත්තු අපේ පරණ පොරක් කියාපු කතාවක්. දවසක් වනජීවී දෙපාර්තමේන්තුවේ තිබ්බ මොකක්දෝ මන්ද උත්සවේකට ඇවිත් කතා කරන්න ගත්තලු ඒකෙ ඒ දවස්වල හිටපු නෝනා මහත්තැන් කෙනෙක්. එයැයි සත්තුන්ව අමතන්නේ මෙන්න මේ මම කියපු විදිහට බොහොම ආදරයෙන් කරුණාවෙන් ලෙන්ගතු කමෙන්ලු...

වතාවක හම්බන්තොට පැත්තේ පොල්ගස් මැරිලා වතුර පොදක් නැති වෙච්ච කාලයක් තිබුනා මතකද. ඒ අර එල්නිනෝ කියන අහවල් එක ආපු වතාවේද කොහෙද. අන්න ඒ වතාවෙත් අපි කතරගම දිහාවේ කරක් ගැහැව්වා. එහෙම ගිහින් බුන්දල ගියපු වෙලාවක අපි දැක්කා පාක් එක ඇතුලේ තිබ්බ අවුරුදු සිය ගණන් වයස පළු ගස් ඔක්කොම වගේ මැරිලා ගිහිල්ලා කියලා. අපිත් එක්ක ගියපු ගයිඩ් අයියා කිව්වේ මොකක්දෝ මන්දා දිලීර රෝගයක් නිසා එහෙම වෙච්චි කතාවක් වගේ තමයි මට මතක.
දැන් ඔන්න කැම්පස් එකේ අපේ සෙට් එක බුන්දල යනවා කිව්වම මමත් උන් එක්ක යන්න සෙට් වුනේ අර කළින් බුන්දල ගැන තිබ්බ හිතේ කහට ඔක්කොම ප්ලේන්ටි එක්ක කළවම් කරගෙන බීල ඉවරයක් කරලා දාල. ඉස්සර වගේ වගේ නෙමෙයි, මේ වෙද්දී සමනළයෙක්, බත් කුරෙක්, කුරුල්ලෙක් දැක්කත් ඇති කියන මානසිකත්වය මටත් ඇතිවෙලා අහවරයි.
අපි දැන් ගමන පිටත් වෙන්නේ පෙබරවාරි පළවෙනිදා උදේ. බුන්දල ගිහින් අපි නතරවෙන්න ලෑස්ති කරගෙන තිබුනේ ලුණු ලේවායේ සංචාරක බංගලාවේ. මාසෙකට හමාරෙකට කළින් තමයි නියමිත ලියුම් කරදහි එහෙම යවලා නිසි අවසරය අරගෙන මේ බංගලාව වෙන් කරගෙන තිබුනේ.

මෙන්න බොලේ 30 හරි 31 වෙනිදා හරි දවාලේ බංගලාව වෙන් කොරන්න කපුකම කරාපු අපේ එකාට කෝල් එකක් ආවලු “ලුණු ලේවායේ වැඩ කරන මහත්තැන් කෙනෙක්ගේ කට්ටියක්” එන නිසා පළවෙනිදා රෑ අපි යොදාගෙන තිබ්බ බුකින් එක කැන්සල්ය කියල. දෙවෙනිදා නම් අවුලක් නැතිලු.
ඔන්න දැන් තමයි කෙළිය. අපි කැම්පස් එකේ වාහනේ, බඩු මුට්ටු සියල්ල ලෑස්ති කරගෙන අහවරයි දැන් මේ ගමන යන්න. මට මතක විදිහට කුරූ හරි කවුරුහරි මැදිහත්වෙලා කාගේදෝ කන්ටැක් එකක් හරහා නතරවෙන්න ඇහැකි තැනක් මාට්ටු කොරගත්තා. ඒ අළුත් තැනේ නම “බුන්දල හෙරිටේජ්” කියලයි කියැව්වේ.

ඔන්න අපි දැන් ජනේරුවේ 31 වැනිදා මහ රාත්තිරියේ කවුරුහරි එකෙක් අතපය කහනවට අධාරයක් විදිහට Earth Resource Department එකට දීපු බස් එකේ නැගල අපේ ගමන යන්න කියල පිටත් වුනා. මේ බස් එක දොර දෙකේ දිග බස් එකක්, අර සීට් පණස් ගාණක් තියෙන්නේ. ආන් එයින් එකක්.
ඒත් මේ ගමනේ පොඩි ගැටළුවක් තිබ්බා, නිසා අපි නතරවෙන්න තීරණය කරාපු ලුණු ලේවායේ සර්කිට් බංගලාවේ නතරවෙන්න දෙන්නේ දහ දෙනාටයි. ඉතින් ඒ බස් එක පුරා හිතේ හැටියට එක එක විදිහට හිටගෙන නිදාගෙන අපි අපේ ගමන පිටත් වුනා. කැම්පස් එකෙන් අපිට දෙන්න වෙන වාහනයක් නැති නිසා තමයි මේ ලොකු බස් එක දීල තිබ්බේ. කරන්න දෙයක් නැහැ, දීපු වාහනේ අරගෙන අපි අපේ ගමන යන්න එපායැ.

බඩ පැලෙන්න කාපු කෑමකින් පස්සෙන් පහු උනත් කෙසෙල් ගෙඩියක්, අයිස් ක්‍රීම් ටිකක්, මී කිරි ටිකක් කන්න ඇහැකි බව කොයි කවුරුත් දන්නවනේ. ආන් ඒ වගේ මේ ගමනට ඒ දවස්වල අට නමයේ වගේ පන්තියක ඉගෙන ගත්තු ගලාගේ පොඩි මලයවත් හවුල් කොර ගන්න තීරණය වෙලයි තිබුනේ. රත්නපුරෙන් ඌවත් කුදලගෙන කොහොමින් කොහොමහරි පාරවල් හොයාගෙන කාරිය අපි මේ කියන තැනට උදේ 08:00 වගේ වෙද්දී සේන්දු වුනා. ලස්සන පරිසරයක්. තෙත් කලාපේ ජීවත් උනාට මමත් ගොඩක් මනාප වියළි කලාපෙට...



අපිට නවාතැන විදිහට ලැබුණු තැන මැටියෙන් හදාපු විවෘත මඩුවක් වගේ තැනක්. හොඳ සියඹලා ගස් හෙවනක තමයි ඒක හදල තිබ්බේ. නාන්න කරන්න හොඳින් වට කරලා කවර් කරපු තැන් කීපයක් වගේම හොඳ මට්ටමේ වැසිකිළි පහසුකම් එහෙමත් තිබුනා. බස් එකේ තිබ්බ කෑම බීම හදන්න අවශ්‍ය කරන බඩු මුට්ටු ටික එතනින් බා ගත්තු අපි මුලින්ම කලේ කෑම හදන්න ඕනේ කරන බඩු ටික එතන හිටපු කෝකි අයිය කෙනෙකුට බාර දීපු එක. බස් එකේ ඩබලත් බස් එක අයිනක නතර කරලා අපිත් එක්කම නවාතැන් ගන්න කටයුතු කලා.



උදේ කෑම ලෑස්ති වෙනකල් ඒ අවට පොඩ්ඩක් කරකෙන්නත් අමතක කලේ නැහැ. තණකොළ ගොන්නේ ඇවිදපු පොඩි තාරකා ඉබි පැටියෙකුයි, බිත්තර රොත්තක් බඩ බැඳ ගත්තු බත් කූරෙකුයි බලා කියාගෙන ෆොටෝ ගහන්නත් ලැබුනා. වියළි කලාපයේ නිතර දකින්න පුළුවන් කුරුළු වර්ග අඩුවක් නැතිව මේ හරියෙදිත් හිටියා.
කෑම ලෑස්තියි කියන පණිවිඩය ලැබුනට පස්සේ ඒ වැඩෙත් අහවර කරලා දැම්මා. ඊට පස්සේ තවත් පරක්කු නොවී අපි බුන්දල කළපුව දිහාට ඇවිදින්න පටන් ගත්තා. අපි පාර දිහාට එද්දී ඕනෙනම් වෙලාව උදේ දහය හමාර කිට්ටුව වෙන්න ඇති. පුදුම අව් කාෂ්ටකයක් තිබ්බේ. නිකන්යෑ අර්ධ ශුෂ්ක කියල කියන්නේ. එක එක ගස් ගෝන්නු වතුර පාරවල් ඒ දිහාට හරවලා දැන් ඒ පරිසරයේ තිබ්බ නියම අර්ධ ශුෂ්ක ගතිය සෑහෙන දුරට නැතිවෙලා ගොහින්. පායන කාලෙකට වුනත් බව බෝගයක් හදා ගන්න පුළුවන් තරමට දැන් ඒ පරිසරය පත්වෙලා. එහෙම උනත් අව් කුටකේ නම් කිසිම වෙනසක් නැහැ.



කළපුව අයිනටම පයින් ගිය අපිට තිබ්බ ලොකුම අවුල තමයි කලපු අන්දර වල කටු සෙරෙප්පුව හරහා ඇවිත් අපේ කකුල් වල ඇනෙන එක. යටි පල්ල හිල් වෙන්න කළින් කකුල උස්ස ගත්තත් සෙරෙප්පුවෙන් ඒවා ගලවල දාන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. සමහර වෙලාවට අඬුවක් වගේ එකක් නැතුව ඒ කටු ගලවා ගන්න බැහැ.

ගිනි මද්දහනේ නිසා කුරුල්ලෝ වැඩිපුර පේන්න හිටියේ නැහැ. ඈතින් තිබ්බ පොඩි දුපතක් වගේ කොටසක කුරුළු රංචුවක් ලැගලා උන්නා. ඊටත් ඔබ්බෙන් අව් රස්නේ බලන්නේ නැතුව වතුරේ පීනමින් හිටපු පෙළිකන් රංචුවකුත් කළපුවේ මැද්දෑවට වෙන්න හිටියා. සෑහෙන ඈතකින් කළපුවයි මුහුදයි එකට සම්බන්ධ වෙන තැන දැක ගන්නත් පුළුවන්කම ලැබුනා. අව්වේ ඉන්න බැරි කමට අපි මේ ඔක්කොම වගේ දැක බලා ගත්තේ ගස් හෙවනවල් වලට වෙලා. ටිකක් දවල් වෙන්න දවල් වෙන්න බඩගිනි ගතියක් දැනෙන්න පටන් ගත්තු නිසා අපි ආපහු හෙරිටේජ් එක දිහාට ගෑටුවා. දවල් කෑමෙන් පස්සේ පොඩි නැප් එකක් දාන්නත් අපි අමතක කලේ නැහැ. ඔහොම ඉඳල ආපහු හවස හතරහමාර වගේ වෙද්දී පයින්ම ගෑටුවා ලේවාය දිහාට.


කලින් රහතන්ගල ගියපු වතාවේ මගේ අතේ කැමරා එකක් තිබ්බ නැති එකේ අඩුව පුරවගන්න හිතාන මම මේ වතාවෙනම් කැමරාවක් අරගෙන ඇවිත් උන්නේ. වෘත්තියෙන් කැමරා ශිල්පියෙක් වෙච්චි මගේ ලොකු මස්සිනා ගාව තිබ්බා තරමක් හොඳ ඩිජිටල් කැමරා එකක්. නමුත් මොකක්දෝ වෙලා ඒක කැඩිලා තිබ්බේ. ඒක හදන්න යන ගාන ලොකු ගාණක් නිසා මස්සිනා ඒක එහෙම්මම තියෙන්න ඇරලා තිබුනේ. මම කැමරා එකක් ගැන හොයල බලද්දී මිනිහා කිව්වා එයාගේ හදන්න දීල තියෙන කැමරාව ගැන. ඒක හදල මගේ වැඩ වලට අරගන්න කියලත් කිව්වා. බුවා කියපු විස්තර අනුව මම ඒ කඩේ හොයාගෙන ගියා. මිනිහ ඒක හදන්න කියල දීල තිබ්බේ කොටුව දිහාවේ උන්නු හොඳ හොරෙක් වගේ පේන එකෙකුට. කඩේ පොර මට කිව්වේ කැමරා එකේ සෙන්සර් එක පිච්චිලා, ඒක හදන්න රුපියල් 16,000 ක් යනවා කියලා. කරන්න දෙයක් නැති නිසා ඌ කියපු ගාණට එකඟවෙලා මම පිටත් වුනා. දවස් ගාණකට පස්සේ මම ගිහින් සල්ලි ගෙවලා කැමරාව අරගෙන ආවා. බඩු වැඩ... මේකට බැටරි කෑලි හතරක් දාන්න ඕනේ. ලෙන්ස් එක එහෙම තරමක් ලොකුවට තිබ්බ ඒ කැමරාව බැටරි කනවා. අන්තිමට මම බැරිම තැන ගෙඩි රුපියල්ම 5,000 ක් දීලා චාරයක්‌ සහ බැටරි කෑලි හතරකුත් ගත්තා. මෙන්න මේ කියපු කැමරාව තමයි මම බුන්දල යද්දී අරගෙන ගියේ.
කළපුව වටේ ඇවිද්දා කියල අමුතු දෙයක් බලාගන්න ලැබුනේ නැහැ වැඩිපුරම කලේ ඇවිදපු එක.

ඒ යන අතරක ගහක වහල හිටපු මීට කලින් දැකල නැති කුරුල්ලෙක්ගේ ෆොටෝ එකක් ගහන්න ගියාම තමයි කැලේක ෆොටෝ ගහන්න යන මනුස්සයෙකුට වෙන්න පුළුවන් හොඳම අබග්ගය මට සිද්ධ උනේ. එක පාරටම කැමරාවේ ස්ක්‍රීන් එකෙන් ඒ කුරුල්ලව පේන්නේ නැතුව ගියා. අමුතු පාට කීපයක් පේන්න පටන් ගත්තා. කැමරා එක ඕෆ් කරලා ආපහු ඔන් කරලා බැලුවත් හරිගියේ නැහැ. ටික වෙලාවකින් මට තේරුණා බඩු බනිස්ම තමා කියලා. දැන් ඉතින් xත්තෙද දන් වළඳන්නේ...


මේ ගමනටත් බඩුම තමයි, මට හිතුනේ එහෙම. ඒ සිද්ධියට අමතරව එදා දවසෙම වගේ කියන්න තරම් විශේෂ දෙයක් සිද්ධ වුනේ නැහැ. ලුණු ලේවායේ බංගලාවේ නතරවෙන්න ලැබුනේ නැතිඑක අපේ වැඩේට සෑහෙන පාඩුවක් වුනා. මෙතන ලයිටුත් නැති හින්ද රෑට කාපු ගමන් නිදා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නැහැ.
ටිකක් විතර රෑ වෙනකල් ඉඳල නිදා ගන්න කියල ගියා. බිම එලා ගත්තු පැදුරු වල තමයි නින්ද. එක පැත්තක ගෑල් ළමයි, අනික් පැත්තේ පිරිමි ළමයි. මේක කවර් කරපු නැති මඩුවක් වගේ එකක් නිසා අලි කරදර ගැන හිතේ පොඩි චකිතයක් තිබ්බේ නැහැ කියල කිව්වොත් ඒක බොරුවක්.

තරමක් වෙලා නිදා ගත්තට පස්සේ මාව එක පාරට ඇහැරුනා පොඩි සද්දයක් ඇහිලා. කවුරුහරි වමනේ දාන සද්දයක් වගේ ඇහෙනවා එළියෙන්. එදා හොඳට හඳ පායලා තිබ්බ දවසක්. මේ ලිපිය ලියන්න ගිහින් බැලුවම තමයි දැනගන්න ලැබුනේ එදා තමයි පුර පසළොස්වක පෝය දවස කියලා. මමත් කොයිකටත් කියල ටෝච් එකත් අරගෙන එළියට ගිහින් බලද්දී තමයි දැක්කේ සජ් තනියම එළියට ඇවිත් වමනේ දානවා. හුටා තමයි, ගම කාල වගේ... ඒත් මට එහෙම හිතුනේ නැහැ.
අපි හවස චොකලට් බිස්කට් වගයක් කෑවා. මේකිට මිග්රේන් කියන්නේ අන්න ඒක ඇවිස්සෙනවලු චොකලට් කෑම වර්ග කෑවම, මොක අවිස්සුනත් කමක් නැහැ කියල පෙරේත කමට කාපු නිසාලු මේ වමනේ යන්න පටන් ගත්තේ.

එහෙනම් උඹ වමනේ දාපන්කෝ කියල මම පැත්තකට වෙලා හිටියා. ඒකි ඈක්.. බෑක් ගගා වමනේ දාද්දීත් අපේ අනිත් උන් එකෙකුටවත් ඇහැරුනේ නැහැ. ඒ මදිවට සජ්ගේ වෙන්න මහත්තයා වෙච්ච ගල් පාතයා තලපතෙක් වගේ දපලා බුදි. සමහර විට ඌ අදටත් දන්නේ නැතුව ඇති එදා රෑ මේකි තනියම කබරයා පාරක් දාපු බව.
සජ් කබරය පාර දාල ඉවර වෙලා නිදා ගන්න යනකල් බලන් ඉඳල මමත් එළියට ගොහින් පොඩි පහේ ශරීර කෘත්‍යයක් එහෙම කරලා ඇවිත් ආපහු අළුතෙන් නිදා ගන්න පටන් ගත්තා.
අපි මෙහෙ එන්න කළින් ලේවායට කෝල් කරපු වෙලාවේ එහෙං අපිට කිව්වේ දෙවෙනිදා උදෙන්ම එහාට ගියාට කමක් නැහැ කියලයි. ඒත් අපි තීරණය කරලා තිබුනේ දෙවෙනි දවසේ උදෙන්ම බංගලාවට බඩු මුට්ටු ටික ගෙනිහින් දාලා ජීප් එකක් හයර් කරගෙන බුන්දල පාක් එකට ගිහින් එන්න. අපිට යන්න ජීප් එකක් හොයල දෙන වගකීම බාර ගත්තේ අපිට කෑම හදල දීපු කුක් අයියා.

කුකුළත් අතේ අරගෙන නැගිට්ට අපි උදේ කෑමවේල ඉක්මණටම අරගෙන බස් එකට අපේ අඩුම කුඩුම ටික පැටෙව්වා. ඊට පස්සේ අපිව එක්කරගෙන යන්න ආපු පරණ පහේ ජීප් එකට නැගලා බස් එකත් එක්කම ලුණු ලේවායේ බංගලාවට යන ගමන පටන් ගත්තා.
එතැනට යන්න වැඩි දුරක් තිබුනේ නැහැ. ඕනෙනං කිලෝමීටර හතරක් පහක් වගේ ඇති. ගේට්ටුවේ උන්නු සිකුරිටි අන්කල් කෙනෙක් අපෙන් විස්තර එහෙම අහගෙන බස් එකයි, ජීප් එකයි  ඇතුළට ගන්න ඉඩ දුන්නා.

අපි ගෙනාපු ආහාර ද්‍රව්‍ය ටික එතන බංගලා භාරකරු සහ කෝකියා වෙච්චි “අජිත්” ට බාර දුන්නේ අපි දවල්ට කන්න ආපහු එද්දී කෑම හදල තියන්න කියන පණිවිඩේත් දීගෙන. බස් එකේ අයියලට එතන ඉන්න කියලා අපි ජීප් එකේ නැගල අපේ ගමන යන්න පිටත් වුනා. පාක් එකේ පාරවල් වල තරමක් වතුර එහෙමත් තිබුනා. සමහර පාරවල් සම්පුර්ණයෙන්ම යටවෙලා. මේ තරමට වැහැලත් අපි මෙහෙ හිටපු දවස් දෙකේ තිබ්බේ පුදුමාකාර රස්නයක්.

මේ විදිහට පාක් එකේ ටිකක් දුර ගියපු අපි තරමක සත්තු ප්‍රමාණයක් දැක ගත්තා. ටික වෙලාවකින් අපි පොඩි වැවක් වගේ තැනකට සේන්දු වුනා. එතන හිටපු අලි දෙන්නෙක් පොඩි ෆයිට් එකකට සෙට් වෙනවා වගේ ගතියක් පේන්න තිබුණ නිසා අපි ඒක බලන්න වැවේ මෙහා පැත්තට ඇවිත් වාහනේ නතර කලා. එක පාරටම වගේ එතන හිටපු එක අලියෙක් වලිය පැත්තකට දාලා දඩ බඩ ගාල අපි ඉනා දිහාට එන්න පටන් ගත්තා. කරුමේ කියන්නේ අපි ජීප් එක ගහගෙන හිටපු විදිහට ඉස්සරහට යන්න බැහැ. යනවනම් යන්න ඕනේ රිවස් කරලා හරවාගෙන. අර තඩි අලි පතයා එන්නෙත් පිටි පස්ස පැත්තෙන්.

ඌ ජෙට් එක වගේ ඇවිදින් ජීප් එක ගාව නැටුමක් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. පිටිපස්සේ කකුල් දෙක ලජ්ජාවෙන් වගේ එහේ අඹරනවා, මෙහා අඹරනවා. එ අස්සේ චූ කරලා බිම මඩ කරගෙන එතන මඩ තලනවා. එතන තිබ්බ පස් කණ්ඩියක පස් කනවා... එක විකාරයි. ටික එලාවකින් මුට පොඩි ධෛර්යයක් වගේ එකක් ඇවිත් ජීප් එක ඇතුළටම වගේ හොඬවැල දික් කරන්න ගත්තා. ජීප් එක ඇතුලේ හිටපු අපි එකා පිට එකා වැටිලා පුළුවන් තරම් ජීප් එකේ ඉස්සරහට වෙන්න වළිකෑවා. ඒ අව් අස්සේ සජ් අලියව ෆොටෝ අල්ලනවා. ෂටර් එකේ සද්දේ නිසා මද කිපිලා හිටපු අලි මොටා අපිට කෙළියි කියල රහසෙන් කිව්වත් මේකි නෙමෙයි කණකට ඇහුවේ. අලි මොටා අපිව මේ විදිහට විනාඩි පහළොවක් විස්සක් විතර අත් අඩංගුවට අරගෙන බයිට් කරලා හොඳ ආතල් එකක් ගත්තා.

ටික වෙලාවකින් ඌට උගේ වලිය මතක් වෙලාද කොහෙද එක පාරටම හැරිලා ආපු විදිහටම සද්දයක් නැතුව අපිව අතඇරලා දාලා යන්න ගියා. එතනින් පස්සේ ජීප්පුව හරවාගෙන අපි අපේ ගමන යන්න පටන් ගත්තා. මේ විදිහට පාක් එක පුරා කරක් ගහපු අපි පාක් එකේ කෙළවරක තිබ්බ මාළු වාඩිය ළඟ බැහැලා හිතේ හැටියට වටපිටාවේ සුන්දරත්වය විඳගත්තා.
මේ වෙද්දී “දැන් දවල් වෙලාය, කන වෙලාව කිට්ටු වෙලාය” කියලා අපේ බඩවල් වලින් පොඩි පොඩි මැසේජ් එහෙමත් එවන්න පටන් අරගෙන තිබ්බේ. බඩවල් කියන දේ අනුමත කරලා අපි ආපහු එන්න පිටත් වෙන්නයි දැන් හදන්නේ.


කළින් ගිය පාරේ නෙමෙයි ආපහු එද්දී ආවේ. ඒ ආපු පාරේ එක තැනක් සෑහෙන මඩවෙලා තිබ්බා. එතන තිබ්බ ලොකු මඩ වලකින් එගොඩ වෙන්න හදද්දී ජීප්පුවේ කොහේ හරි තැනක් යට වැදිච්ච බවක් අපේ ශරීර අවයව වලට හොඳට දැනුනා. ඒ එක්කම ඇන්ජිමේ සද්දේ දෙගුණ තෙගුණ වුනා. වලෙන් එගොඩවුනාට පස්සේ වාහනෙන් බැහැගත්තු ඩ්‍රයිවර් අයියයි ගයිඩ් අයියයි පෝස්ට් මෝටම් එක එහෙම තියල බලල තරඟ විස්තරේ අපිට කිව්වා. ජීප් එකේ දුම්බටේ කැඩිලා ගිහින්ලු. එයින් බේරුණා මදැයි වැදිච්ච වැදිල්ලට...