Tuesday, 3 November 2015

හැමදාම නැති හැමතැනම නැති ට්‍රයිසිකල් සුප්...

බ්ලොග් එක පාලුවට ගිහින් දැන් මාස දෙකකට වැඩියි. ලියන්න ගත්තු පෝස්ට් ඔක්කොම වගේ බාගෙට ලියලා සේව් කරලා ඔහේ තියෙනවා. නොලියන්න තියෙන ලොකුම හේතුව වැඩ වැඩි වීමටත් වඩා හිතේ නිස්කලංක බවක් නැති කම. සතුටෙන් සමාදානයෙන් ටික දවසක් හිටියට වාහන කෙලියක් නිසා ඔළුව යකාගේ කම්මල වගේ වෙලා. තාම ඒක සම්පුර්ණයෙන්ම ඉවර නැහැ. ඒවා පැත්තකට දාමුකෝ.

කලින් පෝස්ට් එකේදී පොරොන්දු උන අර ලොකු වතුර වල බලන්න යන ගමනේ විස්තර තාම දාන්න බැරි උනා. මහ ජන්දෙට කලින් දවසේ යාළුවො දෙන්නෙක් එක්ක ඒ ගමන ගියා. නොසෑහෙන කට්ටකුත් කෑවා. මහ වැස්සේ හොඳට තෙමුනා. ඒ විස්තර තව දවසකින් කියන්නම්කෝ. දැනට ඒ ගැනත් ඇති වගේ...

බ්ලොග් එකේ මුස්පේන්තුකම යන්නත් එක්ක මොනවහරි ලියන්න හිතාගෙන හිටියත් එහෙම කරන්නත් බැරි උනා. ලිවිල්ල පැත්තක දාලා බලන්න පුළුවන් දෙයක් පෝස්ට් එකක් විදිහට දාල ජාමේ බේර ගන්න තමයි දැන් මගේ කම්පනාව...
මේ කම්පනාව කියන වචනේ වැරදිලා ලියෙව්වා එහෙම නෙමෙයි, හොඳද. එහෙම කියන්නේ මයේ ගෙදර උන්දෑ.

බ්ලොග් එකේ පාළුව මැකෙන්නත් එක්ක පොඩි පහේ වීඩියෝ එකක් දාන්නම්.

වීඩියෝ එකේ මුල හරිය ටිකක් ඒකාකාරී වගේ දැනෙයි. එහෙමයි කියල නොබල ඉන්නේ නැතුව අන්තිම වෙනකල්ම බැලුවොත් තමයි වටින්නේ.

පොඩි අවුලකට තියෙන්නේ ෆෝන් එකෙන් වීඩියෝ එක ගනිද්දී මම ඒක මොනිටර් එකකින් බලද්දී ගැලපෙන ඔරියන්ටේෂන් එකෙන් නොගත්තු එක. සමහර විට මේක ක්‍රොප් කරලා ගන්න ක්‍රමත් ඇති. එහෙම ක්‍රමයක් තියේනම් දන්න කෙනෙක් කියනවනම් තමයි වටින්නේ... 
ඔන්න එහෙනම් ඈ...





Wednesday, 12 August 2015

කළු කොටියා සමග සෝමේ මාමාගේ ගනුදෙනු සහ කිතුල් මලේ සැඟවුණු රහස්

කලින් පෝස්ටුවේ කියපු විශාල වතුර වල බලන්න යන්න තව දවස් කීපයයි තියෙන්නේ. ඒ වලේ නම මාදෙයියාව කියල විතරක් දැනට ලියල තියන්නම්.  ඒ ගමනට කලින් මේ කතාවට අමතරව කියන්න තියෙන කළු කොටියා ගැනයි කිතුල් මැදීම ගැනයි කියන්න මම කල්පනා කලා.

කිතුල් මදින රස්සාව ගැන කියන්න කලින් මුලින්ම සෝමේ මාමයි, කළු කොටියයි අතර ඇති වෙච්ච සිද්ධි කීපයක් කියල ඉන්න එක වැඩිය හොඳයි කියල මට හිතුනා. මම මුලින්ම ඒ ඉසව්වේ කළු කොටියෙක් ඉන්නවා කියල  ඇහුවේ අපේ ලොකු මස්සිනාගේ උවමනාවකට සෝමේ මාමා ජීවත්වෙන මහ කැලේ කරක් ගහපු මුල් දවසෙමයි. මම ඕක කළින් පෝස්ට් එකෙත් කිව්වද කොහෙද.
මේ ආරංචිය ඇහිච්ච ගමන් මම කලේ එතනින් එහා ඉතුරු විස්තර ටිකත් අහගත්තු එක. ඒ වෙලාව මිදුලේ තිබ්බ පොඩි ගල් ගෙඩියක් උඩ වාඩිවෙලා පෙණ දාන රා ලොකු වීදුරුවක රහ බලන ගමන් තමයි සෝමේ මාමගේ කතාවට මම ඇහුන්කන් දුන්නේ.

දවසක් සෝමේ මාමා තුවක්කුවත් අරගෙන ඔය කිතුල් ගස් තියෙන ඉසව්වේ යනකොට එක පාරට දැක්කලු කළු පාට සතෙක් එයා එයා නැගගෙන යන කඳු බෑවුමේ පහළට බැහැගෙන එනවා. මෙන්න මේ වෙලාවේ තමයි සෝමේ මාමා මුලින්ම කළු කොටියව දැකල තිබුනේ. සෝමේ මාම එක පාරට ගහක කඳට මුවා වෙනවත් එක්කම වගේ කොටිය දැක්කලු සෝමේ මාමව. සෝමේ මාමව දැකපු ගමන් කොටිය පොඩි සද්දයක් දාන්නත් අමතක කරලා තිබුනේ නැහැ. (ඔය තුවක්කුව දැන් නැහැ, ඒ ගැනත් තියෙනවා මරු කතාවක්)

ඒ වෙද්දී කොටිය ඉඳල තිබුනේ සෝමේ මාමට ගොඩක් කිට්ටුවෙන්, අඩි පහ හයක් විතර උස ගලක් උඩින් පහළට බැහැගෙන එන්න ලෑස්තිවෙලා. දැන් සෝමේ මාමා ඉන්නවලු ගහට මුවා වීගෙන තුවක්කුව කොටියා දිහාට උරුක්කු කරගෙන, කොටියත් පහළ ඉන්න සෝමේ මාමා දිහා බලාගෙන ඉන්නවලු. වෙලාවට කොටිය එතනින් පහළට ආවේ නැතිලු. එහෙම ආවනම් කරන්න දෙයක් නැහැ “වෙඩි තියල දාන්න වෙනවා” කියල බොහොම සැහැල්ලුවෙන් සෝමේ මාම කියල දැම්මා. සෝමේ මාමව මග ඇරපු කොටියා අඩි පාරෙන් පිට තරමක් ගැඹුරු හරියකට පැනලා කැලේ අස්සෙන් නොපෙනී ගියාලු.
ඔය “වෙඩි තියන” කතාව ඇහිච්ච ගමන් මම මුලින්ම කලේ කතාවට මැද්දෙන් පැනපු එක. කළු කොටියට අත තැබීම වහාම තහනම් කරමින් ඌව රැකගන්න ඕනේ බවට සෝමේ මාමව පොරොන්දු කර ගන්න වැඩි අමාරුවක් උනේ නැහැ.

සෝමේ මාම මල් කපන්න යද්දී සමහර දවස් වලට නැන්දවත් එක්කගෙන යනවලු. එහෙම එක්ක යන්නේ වැල් පොටකින් පහළට බාන තෙලිජ්ජ මුට්ටිය අල්ල ගන්න හවුල් කාරයෙක් ඉන්න එක වඩා පහසු නිසා. ඔහොම ගිය දවසක සෝමේ මාමා කිතුලේ නැගල මල කපද්දී නැන්දා ඉඳල තිබුනේ කිතුලේ පාමුළ. මාම තෙලිජ්ජ මුට්ටිය දෙන්න පහළ බලද්දී එක පාරට දැක්කලු ඉත්තෑවෙක් දඩයම් කරගෙන කටේ තියා ගත්තු කළු කොටියා තරමක් ඈතින් එනවලු නැන්දා ඉන්න දිහාට. සෝමේ මාම එක පාරට “ඉක්මණට ඔය ගල උඩට නැග ගනින් ගෑණියේ” කියල කෑ ගැහුවලු. සෝමේ මාමගේ සද්දෙත් එක්ක කොටියා ඉස්සරහට එන එක නතර කලාලු. නැන්දත් ඉක්මණට ගල් ගෙඩිය උඩට නැග ගත්තට පස්සේ කළු කොටියව හිතේ හැටියට බලා ගන්න පුළුවන් උනාලු. මේ දෙන්න හිටිය කියල කොටිය පොඩ්ඩක්වත් කලබල උනේ නැහැ කියලයි සෝමේ මාම කිව්වේ. මම හිතන්නේ සෝමේ මාමල ඉඳල හිටලා කළු කොටියව දැක්කට දවස ගානේ කිතුල් කපන්න යන සෝමේ මාමලව කළු කොටියනම් හැම තිස්සෙම වගේ දැකල පුරුදු ඇති කියලයි. ඒ නිසා වෙන්න ඕනේ ඌ මේ මිනිස්සුන්ව දැක්කා කියල කිසි කලබලයක් කරදරයක් නැතුව මග ඇරලා යන්නේ.

මෙහෙම ටික දවසක් ඒ ඉසව්වේ හිටපු කළු කොටියා අවට හිටපු ගෝන්නු පස් හය දෙනෙකුක් ඒ වෙද්දී මරාගෙන කාල තිබුනා. දැන් ආපහු මගේ වාරේ. මම සෝමේ මාමට වහාම මගේ ෆෝන් නොම්බරේ කොලේක ලියල දීලා කිව්වේ ආපහු කළු කොටියා සතෙක්ව මරපු එකක් දැක්කොත් කාල ඉවර වෙන්න කලින් මට කෝල් එකක් දෙන්න මම හැකි ඉක්මණින් එන්නම් කියලා. ඒත් සෝමේ මාමගේ උත්තරේ එක්ක මගේ බලාපොරොත්තුව බිඳිලා ගියා. දැන් සතියකින් දෙකකින් උගේ සද්දේවත් ඇහුනේ නැහැ කොල්ලෝ. කොහෙද කැලේ අඟලක් අඟලක් ගානේ “වල්ලපට්ට” කපන්න යන එවුන් යනවනේ. ඌ වෙන කොහාටහරි ගිහිල්ලද කොහෙද කියල කිව්වා.

රා මුට්ටිය හිස් වෙද්දී දවල් දොළහ විතර වගේ උනා. රා පැහිල මදි නිසාද මන්ද රා වීදුරු තුනක් හතරක් බිව්වා කියල ඇඟට ලොකුවට දැනුනෙ නැහැ. අපි සෝමේ මාමලාගේ ගෙදර යද්දී මොනවහරි අඩුම කුඩුම ටිකක් උස්සගෙන යනවා. අපි අපේ වැඩේ අහවරයක් වෙද්දී එදා උදේ යනකොට අරගෙන ගියපු කුකුල් මස් හොඳට කොච්චි දාල බොහොම රහට හදල රතු කැකුළු බතක් පරිප්පුවක් මැල්ලුමක් එක රහ කෑම වේලක් හදල මේසෙට වඩම්මලා තිබ්බා. එදා ගිහින් හිටපු අපි හතර පස් දෙනා මදියි නොකියන්න සප්පායම් වෙලා සෝමේ මාමටයි නැන්දටයි සමු දීල ගෙවල් දොරවල් බලා එන්න පිටත් උනා.
ඔහොම ගිහින් මටත් තිබ්බ වැඩත් එක්ක සෝමේ මාමව අවුරුද්දකට වඩා වැඩි කාලයක් මුණ ගැහෙන්නවත් කෝල් එකක් දෙන්නවත් බැරි උනා. අන්තිමේදී මම අහම්බෙන් වගේ කෝල් එකක් දීපු වෙලාවක සෝමේ මාම බොහොම පශ්චාත්තාපයෙන් මට කිව්වේ ආපහු කළු කොටියා ආපු බවත් ගෝනුන් තුන් හතර දෙනෙක් මරාගෙන කාපු බවත් එකෙක් කෑවේ පාර අයිනේ ඇති පිට්ටැන්නක් වැනි තැනක සිට බවත්ය. කෝල් එකක්වත් දෙන්න විදිහක් උනේ නැති බවත් එයට හේතුව මගේ ෆෝන් නොම්බරය ලියාගත් කොළ කෑල්ල කොහේදෝ නැති වී ඇති නිසා බවත්ය.

කොහොමහරි ඒ චාන්ස් එකත් මිස් උනා. ඊට පස්සේ අලුත්ම ආරංචිය ලැබුනේ මම මේ පෝස්ට් එකේ මුල කොටස දාන්න කලින් ගියපු වතාවේ. ඒ වතාවේ කළු කොටියා කොටිච්චියෙක්වත් සහේට අරගෙන ඇවිත් තිබ්බ කියලයි ආරංචිය ලැබුනේ. ඌ සාමාන්‍ය පාට කොටියෙක් කියලයි සෝමේ මාම කිව්වේ. මෙතැනදී කළු කොටියා පිරිමි සතා විදිහට උපකල්පනය කලේ ඌ ප්‍රමාණයෙන් ලොකු බවක් මට දැනගන්න ලැබුන නිසා.

ඇත්තටම කිව්වොත් මම අපේ මලයවත් ඇදගෙන 2015 ජුනි 13 වෙනිදා සෝමේ මාමලාගේ ගෙදර ගියේ කළු කොටියව දැක ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් හිතේ කොණකවත් තියාගෙන නෙමෙයි. මොනවහරි අලුත් ආරංචි ටිකක් අරගෙන ආවත් ඇති කියන අදහස ඇතුව. කළු කොටියා ආපු ආරංචිය මේ වතාවේ සෝමේ මාම හරි වෙලාවට දුන්නත් තනියම යන්න කම්මැලි නිසාත් ගමන් සගයෙක් හොයා ගන්න බැරි වෙච්ච නිසාත් තමයි මාසයක් කිට්ටු වෙන්න ප්‍රමාද උනේ.
අපි තුන්දෙනා සෝමේ මාමගේ පුංචි පැලේ පිළ වගේ කොටසේ වාඩිවෙලා බෝතලයක් හිස් කරන ගමන් තමයි සෝමේ මාම මේ කතාව කිව්වේ.
කොටිය ඇවිල්ල කියල අපිට පණිවිඩේ දීපු ආසන්න දවසක සෝමේ මාම නැන්දත් එක්ක හන්දි එන්න කියල කුකුලත් අතේ අරගෙන පිටත් වෙලා. ගංගොඩේ මිනිස්සුන්ට ඔය කිලෝමීටර 8 ක් 10 ක් පයින් යනව කියන්නේ මහලොකු දෙයක් නෙමෙයි. කොහොමත් මෙයාල පහළට යද්දී හැමදාම වගේ යන්නේ පයින්, ආපහු බඩුවක් මුට්ටුවක් අරගෙන එද්දී තමයි ත්‍රිවිල් එකක එන්නේ.

ගේ ගාව ඉඳල කිලෝමීටරයක් වගේ යද්දී එක හරියක් තියෙනවා පාරට පස් දාන්න පස් කපපු තැනක්. ඔතන දෙපැත්තේම තියෙන්නේ කඳු බිත්ති සහ ඊට උඩහින් කැලේ. මේ හරියේදී ඉස්සරහින් ගිහින් තිබ්බේ නැන්දා. වෙලාව උදේ 06:00 ට වගේ ඇති කියල තමයි කිව්වා සෝමේ මාමට මතක. එක පාරටම දඩස් ගාල උඩ ඉඳල ලොකු බර පොදියක් පාරට ඇදගෙන වැටිලා.
තඩි ගෝනෙක්ගේ බෙල්ලෙන් අල්ල ගත්තු කළු කොටියා ගෝනත් එක්කම අඩි 10 ක් විතර පහළට තමන්ගේ ඉස්සරහට වැටෙන හැටි තමයි ළා එළියෙන් මේ දෙන්න දැකල තියෙන්නේ. 

ඒක දැකපු ගමන් නැන්දා පාර මැද්දේ හිටගෙන ගල් ගැහිලා වගේ ඉන්නවලු. එක පාරටම ඉස්සරහට පැන ගත්තු සෝමේ මාමා “දුප් වල් ගෙරියා” කියල හයියෙන් කෑ ගහලා. ඊට අමතරව තව කුණුහරප ටිකකුත් කියල තියෙන්නේ කළු කොටියා රතු පාටට කට ඇරලා ගොරවපු නිසා වෙන්නත් ඇති. මේ කොටියා කළු පාට උනාට කළුද සාමාන්‍ය පාටද කියලවත් දන්නේ නැති කොටියගේ අම්ම පණ පිටින් හිටියනම් වෙලාවේ කිඹුහුම් යන්න ඇති කියලයි මට හිතුනේ. ඒත් එක්කම  නැන්දත් කෑ ගහන්න පටන් අරගෙන තිබුනා. දෙන්නගේ සද්දෙට බයවෙච්ච කළු කොටියා ගෝනව අත ඇරලා පැනල දුවනකල් දෙන්නත් එක්ක කෑ ගෑවලු. ගෝනගේ බෙල්ල අතඇරලා කොටිය දිව්වට ඒ වෙද්දී ඌ මැරිලා ඉඳල තියෙන්නේ. යන ගමන පැත්තකට දාල කමිසේ ගලවල දාල, සරමත් කැහැපට ගහගත්තු සෝමේ මාමා නැන්දත් එක්ක එකතුවෙලා ගෝනව ඇදගෙන යන්න හැදුවලු. උගේ බර වැඩි කමට ඒ දෙන්නට ඌව අදින්න බැරි වෙලා.

පස්සේ දෙන්නත් එක්ක ඊට තව එහායින් තියෙන පැලකට ගිහින් ඒකෙ හිටපු මනුස්සයට කතා කරල මේ සිද්ධිය කියල තියෙනවා. කොටියගේ දඩයමක් පැහැර ගත්තා කියල කිව්වට පස්සේ අර මනුස්සය එන්න බෑම කියල. පස්සේ “තමුසේ බය නැතුව එනවා, අපි දෙන්න එකතුවෙලා කොටියව එලෙව්ව එකේ තමුසේ බය වෙන්නේ මොකටද” කියල පොඩි ඉන්ජෙක්සොන් එකකුත් ගහල තමයි ඒ මනුස්සයව එක්කගෙන ගිහින් තිබුනේ.
යන්න ආපු ගමන පැත්තක දාල නැන්දට ආපහු ගෙදර යන්න කියලා පිටත් කරන අර දෙන්නත් එක්ක ගියාලු ගෝන කුණ ගාවට. ගෝනව අර කිට්ටුව තිබ්බ ගෙදරට ඇදගෙන ගිහින් මස් කරලා අර මනුස්සයටත් කොටහක් දීලා මස් තොගයක්ම සෝමේ මාමා ගෙදර ගෙනල්ල තිබුනා. ඊට පස්සේ වැඩ තිබිල තියෙන්නේ ෆෝන් එකට. පොලිසියේ සහ හන්දියේ දන්න අඳුනන කීපෙ දෙනෙක්ම ඉර මුදුන් වෙන්නත් කලින් සෝමේ මාමලාගේ පැලට ඇවිත් තිබුනා ගෝන මස් කන්න. ඒ ආපු උදවිය ගෝන මස් කන්න ඕනේ කරන අඩු වැඩිය හන්දියෙන් අරගෙන ඇවිත් තිබුනා.

දැන් බහිමු කිතුල් කතාවට. සෝමේ මාමා කැලේ වෙන්කරගෙන ඉන්න කොටහේ කිතුල් ගස් 3,000 ක් විතර තියෙනවා කියල තමයි සෝමේ මාම කියන්නේ. ඔයින් ගස් 10 ද කොහෙද මල් කපන්න ලයිෂන් දුන්නත් මිනිහා උපරිම කපන්නේ ගස් හතරයි හරි පහයි ලු, පහුගිය දවස් ටිකේ එහෙමවත් නැහැ. මෙන්න කිතුල් මල් කපන සෑස්තරේ.

මුලින්ම සුදුසු වයසේ මලක් තියෙන ගහක් තෝරාගෙන ඒකෙ හැර ගහනවා. හැර කියල කියන්නේ අර රිටි වගේ ලී කිතුල් ගහට තියලා වැල් වලින් ගැට ගහල තියෙන්නේ ගහට නගින්න පහසු වෙන්න, ආන් ඒක.
හැර ගහන්න ගොඩ වෙලාවට ගන්නවා කියන්නේ හැඩවක, කන්පෙත්ත, වැලි පියන්නා වගේ ලී වර්ග. හැර බඳින්න කහ වැල් (වෙනි වැල්), රදලිය, කිරිඳි , මස්කෙඳි, පට්ටික්කා වගේ වැල් වර්ග පාවිච්චි කරනවා. ඊට පස්සේ මල් දණ්ඩ බුව නැතිවෙනකල් හොඳට පෙරන්ගාල දවස් තුනක් විතර වේලෙන්න අරිනවා. ඊට පස්සේ හුණු වලට දෙහි ඉස්ම කලවම් කරලා හොඳට මල් දන්ඩේ ගාල බිලී කටු කියන වැල් වර්ගයේ පට්ට වලින් මල හොඳට වේලනවා. ඔන්න ඕක තමයි ඔය පළාතේ බෙහෙත් බැඳිල්ල.
බඳපොටට අනිවාර්යයෙන්ම ගන්නේ කිරිඳි වැල්. බඳපොට කියන්නේ සේෆ්ටි බෙල්ට් එකක් වගේ. හැරේ නැගගෙන ඉන්න ගමන් මල කපද්දී සහ සියළුම වැඩ කෙරෙද්දී උඩ ඉන්න මනුස්සයගේ ජිවිතේ රඳා පවතින්නේ ඔය වැල් පොටේ.

තෙලිජ්ජ වලට මන්දොර මුල් හරි පොතු හරි දැම්මම රා වෙන්න නොදී තියා ගන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර ගේන තෙලිජ්ජ ටික ලොකු භාජන වල දාල උණු කරනවා. ලිප ගාවට වෙලා ලිපට තනි රකින්න උවමනාවක් වෙන්නෙත් නැහැල්ලු මේක හරියට දැනගත්තට පස්සේ. ලොකු දර කොටයක් දෙකක් ලිපට දැම්මම කොටේ පත්තුවෙලා ඉතුරු වෙන්නෙත් නැහැ, අඟුරු රස්නෙත් ඇතිලු පැණි උණු කෙරෙන්න.
සාමාන්‍යයෙන් මලක් දවසට දෙපාරක් කපන්න පුළුවන්. අලුත් මලක්නම් උදේට තෙලිජ්ජ බෝතල් 20 ක් සහ හවසට බෝතල් 15 ක් විතර ගන්නත් පුළුවන්. මීටත් වඩා හොඳ අස්වැන්නක් දවසට තුන් පාරක් මල කපන්න පුළුවන්නම් ගන්න පුළුවන්. ඒක ඉතිං මහන්සියේ හැටියට තමයි.

සාමාන්‍යයෙන් මාස දෙකක් විතර එක මලක් කපන්න පුළුවන්. ඔය මාස දෙකේදී එක වාරයක්, දවසක් හරි දෙකක් හරි මොනයම් හේතුවක් නිසා හරි මල කපන්න බැරි උනොත් වැඩේ කචල්. එක වාරයක් ඒ කියන්නේ අපි හිතමු අපිට හවස කැපිල්ල මිස් වෙනවා කියලා. එතකොට පහුවෙනිදා උදේ දවල් සහ රෑ විදිහට වැඩි වාර ගාණක් මල කපලා ආපහු යථා තත්ත්වයට පත් කර ගන්න පුළුවන්. කපන්න බැරිවෙන කාල පරාසය දවසක් වගේ උනොත් ඊළඟ දවස් දෙකක් වගේ කපන වාර ගාන වැඩි කරගෙන මල ගොඩ දා ගන්න පුළුවන්. දවස් දෙකක් වගේ මිස් උනොත් ගොඩ දා ගන්න තියෙන හැකියාව අවම වෙනවා, සමහර විට නැති වෙලාම යනවා. කොහොමටත් එක වරුවකට වඩා මිස් උනොත් පළදාව සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා. ඔහොම වෙලා මලකින් තෙලිජ්ජ වෑහෙන එක නතර උනහම කියන වචනේ තමයි “මල ගැහෙනවා” කියලා. සමහරු ඕකට “මල ඇරෙනවා” කියලත් කියනවා.

ඔන්න අපි දැන් යමු මේකේ කමර්ෂල් පැත්තට.
අපි හිතමු අලුත් මල් නැතුව පරණ මල් තියෙන ගස් පහක මල් පහක් (5) කෙනෙක් කපනවය කියලා. එක ගහකින් හොඳටම අඩු ප්‍රමාණයක් තෙලිජ්ජ ලැබෙනවය කියලත් හිතමු. ඒ කියන්නේ උදේට බෝතල් 10 ක් විතරයි, හවසට බෝතල් 5 ක් විතරයි කියලා. එතකොට දවසකට ගස් ඔක්කොගෙන්ම ලැබෙන්නේ බෝතල් 75 යි. තෙලිජ්ජ බෝතල් පහකින් පැණි බෝතලයක් හදන්න පුළුවන්. ඒ කියන්නේ දවසට පැණි බෝතල් 15 යි. මේ විදිහට මාස දෙකක් මල් කැපුවොත් ගස් ඔක්කොගෙන්ම පැණි බෝතල් 900 ක් ලැබෙනවා.
සෝමේ මාමලාගේ ගෙවල් කොච්චර කැලේ තිබ්බත් ගෙදරටම ඇවිත් පැණි බෝතලයක් රුපියල් 350/- ගානේ  අරගෙන යන්න ඕනේ තරම් මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ මාස දෙකේ අවම අදායම රු.315,000/- යි.

ඒ ජෝඩුවට තමන් කපන මල් වලින් එන තෙලිජ්ජ වලින් පැණි හදාගෙන කැලෙන් අහුල ගන්න දර ටිකක් දාල ලිප අවුලල පැණි ටික උණු කරගත්ත කියල කිසි පාඩුවක් තියෙනවද. උදේ පාන්දර පිටත් උනාම අට නමය විතර වෙද්දී ගෙදර, ආපහු හවස තව පැය දෙකක් තුනක් යයි මල් කපන්න. ඔය අතරේ රා පොඩ්ඩක් උනත් හදාගෙන බොන්නත් බැරි කමක් නැහැනේ.
අපි සෝමේ මාමලාගේ ගෙදර යද්දී ඔය බඩුමුට්ටු එහෙම ගෙනියන එකට සෝමේ මාමා වැඩිය කැමති නැහැ, පොල් වලට අවුලක් නැහැ එහෙ පොල් නැති නිසා, එතනින් පස්සේ ඉතින් සීල් වලට කොහොමටත් අවුලකුත් නැහැ. එදා එද්දී සෝමේ මාම මගෙත් එක්ක කිව්වේ පරණ ජීප් එකක් ගන්න ඕනේ කතාවක්. පරණ ලෑන්ඩ්රෝවර් එකක් ගන්න හිතාගෙන හිටපු සෝමේ මාමගේ අදහස මම ලත් තැනම ලොප් කරලා දැම්මා. ඒ පාරට ඒ පැත්තේ ගරාජ් වලට ගැලපෙන්නේ පරණ පොලිස් ජීප්පු, අර පිටි පස්සේ කැන්වස් එක ගහල තියෙන මිට්සුබිෂි වර්ගයේ ඒවා. ගලින් ගලට පැනගෙන ගෙදරට යන්න තියෙන පාරත් JCB එකක් ගෙනල්ලා හොඳට කපන්න තමයි සෝමේ මාමගේ හිතේ තියෙන්නේ. මේ සියල්ල කරන්නේ අවුරුදු 65 ක 70 ක වගේ ධෛර්යවන්ත මනුස්සයෙක්.

හයි හත්තිය තියෙන පිරිමි දෙතුන් දෙනෙකුට මේක බිස්නස් එකක් විදිහට කරන්න ලොකු හැකියාවක් තියෙනවා. කොහොමද නිකන් ඉන්න තරුණ ශරීර කුඩු දෙක තුනක් නිකන් ඉන්න එකේ කැලේ වාඩියක් කාරිය අටෝගෙන ගස් දහයක පහළොවක විතර මල් කැපුවොත් එහෙම.
ඔන්න ඔය අදහස හිතේ තියාගෙන සෝමේ මාම අපේ මලයට එදා මෙන්න මෙහෙම කිව්වා. දවසේ පඩි දෙන්න ගහකට නගින්න බයක් හැකක් නැති, මේ වැඩේ අතරමග දාල යන්නේ නැහැයි කියල විශ්වාස මිනිස්සු දෙන්නෙක් හොයාගෙන ඇවිත් එක දිගට මාස හයක් හතක් මේ වැඩේ කරපං කොල්ලෝ. මල් හත අටක් මමම හැර ගහලා හදල දෙන්නම්. පළවෙනි පාර මල් කපලත් දෙන්නම්, ඉන්නකල් කන්න බොන්නත් දෙන්නම්. එහෙම කරලවත් ගොඩ යන්න බලපන් පිස්සු නට නට ඉන්නේ නැතුව.

ඔය ඔක්කොම කතාවල් අහගෙන ඉඳලා උදේටත් කාල සෝමේ මාමගෙනුයි නැන්දගෙනුයි සමු අරගෙන අපි දෙන්න පිටත්වෙලා එද්දී හරිහැටි රස්සාවක් කරන්නේ නැතුව පිස්සු නටන අපේ මළයා ඒ වැඩේට කර ගහන්න කැමැත්තකින් ඉන්න බවක් තමයි කතාවෙන් තේරුණේ. මම එදා දවල්ම ආපහු කොළඹ ආවා.
පස්සේ ආරංචි කරලා බලද්දී එහෙම දෙයක් කණට වැටුනද කියලවත් ගාණක් නැතුව අපේ මලයා සුපුරුදු පිස්සු කෙළින ජීවිතේ පටන් අරගෙන තියෙන බව තමයි මට දැනගන්න ලැබුනේ.

Tuesday, 28 July 2015

නිධන් වදුල, කළු කොටියා සහ කිතුල් මැදීම -01

මුකුත් ලියන්න හිතෙන්නෙම නැහැ, හරි කම්මැලියි. කිසි ප්‍රෙෂර් එකක් නැතුවම ගැස්ට්‍රයිටීස් තද වෙලා. දවල් අතේ පොඩි පහේ ඔපරේසමකට යන්න හිටියට ඒකත් කැන්සල් උනා. කාලෙකින් මුකුත් ලිව්වේ නැති නිසාත් මොනවාහරි ලියන්න ඕනේ කියල හිතිච්ච නිසාත් පොඩි පහේ පෝස්ට් එකක් ලියල දාන්න හිතුවා.

තාත්තගේ යාලුවෙක් වෙච්ච සෝමේ මාමා කලින් වැඩ කලේ අපේ ගමේ ඉස්පිරිතාලේ. තාත්තගේ මරණේ සිද්ධවුනේ 2004 දී. තාත්ත ජීවත්වෙලා හිටපු කාලේදී සෝමේ මාමව මට ඒ තරම් මතකයක් තිබ්බේ නැති තරම්. පස්සේ කාලෙක දවසක් දෙකක් හම්බවෙලා කතා බහ කලාට පස්සේ තමයි මට මතක් උනේ එක දවසක් අපේ ගෙදර ඇවිත් තාත්ත එක්ක ගේ ඇතුලේ බොන්න හදල අම්මගෙන් බැනුම් අහගෙනත් ගියපු කෙනෙක් නේද කියල.
මෙන්න මගේ පරණ යාළුවා, සෝමේ මාමගේ පැලට යන අඩිපාර ගාව....
දැනට අවුරුදු තුනකට විතර කලින් මගේ ගාව පරණ ජීප්පුව තිබ්බ කාලේ මම අපේ ලොකු මස්සිනාත් එක්ක සෝමේ මාමලාගේ ගෙදර ගියා දවස් දෙකක්. ඔය ගමන යන්න ඒ ජීප් එකටත් සෑහෙන කට්ටක් කන්න සිද්ධ උනා. ප්‍රධාන පාරෙන් උඩට යන්න තියෙන පාරේ මුල කොටසේ කොන්ක්‍රීට් දාල තිබුනා මීටර් හාර පන්සීයක් විතර. කොන්ක්‍රීට් එක ඉවර වෙන තැන පාර හරහා පොඩි දොළ පාරක් ගලාගෙන යනවා. ඊට පස්සේ කඳු පල්ලම් තඩි ගල් ගෙඩි උඩින් ගලින් ගලට පැන පැන දොළ පාරවල් දහයක් දොළහක් පහු කරගෙන මට හිතෙන විදිහට කිලෝ මීටරම දහයක් දොළහක් විතර කැලේ මැදට යන්න  ඕනේ. එක තැනකදී රටේ ප්‍රකට ගඟක මුල හරියෙනුත් එගොඩ වෙන්න ඕනේ.
මේ ඒ අතරමග තියෙන විශේෂ හොර ගහක්, සාමාන්‍යයෙන් හොර කියන්නේ තනි ගහක්. නමුත් මේ ගහ මුල හරියෙන්ම් ගස් පහක් විදිහට බෙදිලා ඒ එක ගහක් වට අඩි තුන හතරක පමණ ප්‍රමාණයෙන් යුතුව හැදිලා තියෙන එක විශේෂ පිහිටීමක්...

මේක මෝහිනී ඇල්ල කියලයි දැන ගන්න ලැබුනේ, ෆෝන් එකෙන් ගත්තු ෆොටෝ නිසා පැහැදිලි නැහැ...
ඔය ගමන ගියේ අපේ ලොකු මස්සිනාගේ උවමනාවකට, කොයිකටත් කියල මම කැමරා එකත් වාහනේට පටෝ ගත්ත. එකෙන් ලොකු ප්‍රයෝජනයක් උනේ නැතත් මගෙත් එක්ක ගියපු සෝමේ මාමත් ඇතුළු හැම කෙනාම බයෙන් මැරෙන්න හදපු කැතම කැත පළා පොළඟෙක් බලා කියාගෙන ෆොටෝ එකක් අල්ලගෙන එන්න නම් පුළුවන් උනා.

ඒ මනුස්සය දෙවෙනි කසාදෙ කරගෙන තියෙන්නේ පොතේ පතේ ලියල එහෙම නෙමෙයි. පලවෙනි කසාදෙ නැන්දා ජීවත්ව හිටිද්දීම සහ කරදඬු උස් මහත් වෙච්ච පුතාලගේ විරෝධය මැද්දේ තමයි සෝමේ මාම ඒ නැන්ද එක්ක සහේට ගිහින් තිබ්බේ. ඒ ගෑණු මනුස්සයා මීගමු පැත්තේ කෙනෙක්. ඔය අහ  පාර අයිනේ තිබ්බ පොඩි පැලක තමයි මුන්දා ජීවත්වෙලා තිබ්බේ. ඒ නැන්දා එහෙට ආපු හැටියක් එහෙමත් මම දන්නේ නැහැ. මම මේ තරම හරි දැනගත්තේ අපේ මලයගෙන් සහ මස්සිනාගෙන්. කොටින්ම කියනවානම් මගෙත් එක්ක කැලේ යන සමහර යාළුවෝ ඉන්නවා, උන් කසාද බැඳලද, ළමයි බමයි ඉන්නවද, උන්ගේ ගෑණු රස්සා කරනවද ඕවා කිසි දෙයක් මම දන්නේ නැහැ.

වතාවක් මම ගෙදර උන්දලා එක්ක වීරවිල ගියා. ඒ ගිහින් කතරගම සිතුල්පව්ව එහෙමත් ගියා මතක ඇතිනේ. මම එහේ ගියාම නිදහසේ ජීවත් වෙන ගෙදරට එහා ගෙදර ඉන්න අනුර බාප්පා ගැනත් මේ වගේම ගැටළු තොගයක් අපේ උන්දැගෙයි නැන්දම්මාගෙයි ඔළුවට ඇවිත් මගෙන් අහන්න ගත්තා. අනුර බාප්පාගේ ගෑණු මනුස්සයා මොකද කරන්නේ, එයා ගෙදර නැත්තේ මොකද, එයා උසද කොටද මහතද කියල ප්‍රශ්න ලෝකයයි.
මම ඕවා දන්න එකක්යැ. මම අනුර බාප්පා ගැන දන්නේ මම එහේ ගියාම මට කන්න තමන් කන විදිහටම පිළි ජාති නැතුව හේනේන් කඩාගෙන ආපු වම්බට්ටක් එක්ක, මෑ කරළක් එක්ක හරි බත් ඩිංගක් හදල දෙන එකයි, පළාතට ගැලපෙන අනුපාන කිසි බයක් හැකක් නැතුව ගෙයි ඉස්තෝප්පුවේ පුටුවක වාඩිවෙලා ගන්න(අපිටත් දීල) නිතරම ආකහේ ඉන්න පුද්ගලයෙක් බවත්, මම ආවහම සීල් පොඩ්ඩක් ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් බවත්, අවුරුදු හත අටක පොඩි පුතෙක් ඉන්න බවත් විතරයි.
එදානම් විනාඩි පහක් දහයක් ගියේ නැහැ ඒ අවශ්‍ය කරන කරුණු කාරණා ටික හොයා ගන්න අපේ නැන්දම්මයි එයාගේ දු පොඩිත්තයි සමත් වෙලා තිබුනා. දැන් යමුකෝ ප්‍රධාන කතාවට.

සෝමේ මාම අර නැන්දත් එක්ක පැටලවිලා කියල දැනගත්තු සෝමේ මාමගේ  පුතෙක් ඇවිත් අර නැන්දගේ පැල්කොටේ කඩල බිඳලා දාල බඩුමුට්ටු ඔක්කොම කුඩු කරලා දාල ගිහින් තිබුනා. එතනින් පස්සේ තමයි මේ ජෝඩුව මහ මුකලානෙට ගිහින් රක්ෂිතේ පොඩියට පැලක් අටෝගෙන ඒ අලුත් ජීවිතේ පටන් අරගෙන තිබ්බේ. මොනවා නැතත් මේ දෙන්නගේ තරමක වයස් පරතරයක් තියෙන බවනම් මට තේරිලා තිබුනත් කැලේ කොලේට හැඩ ගැහිලා අපුරුවට ජීවත් වෙන්න ඒ දෙන්න සමත් වෙච්ච බවක් තමයි මට තේරුනේ.තේ පොඩ්ඩක් වවාගෙන, එළවළු පලාවක් වවාගෙන හිටපු මුන්දලා හැම ඉරිදම පොළේ යන එක පුරුද්දක් වශයෙන් කරන්නේ සමාජයට පොඩ්ඩක් ඔළුව දාල එන්න ඕනේ නිසා වෙන්න ඕනේ.

ඒ යද්දී මහ පාරට තියෙන කිලෝමීටර දහයේ දොළහේ දුර පයින් ගිහින් ඉතුරු කිලෝමීටර දහය බස් එකේ ගිහින් තමයි පොළට යනවය කියන්නේ. ආපහු එද්දී බස් එකේ එන්න පුළුවන් දුර ඇවිත් ඉතුරු ටික එනවය කියන්නේ ත්‍රීවීල් එකේ. ඒ දුර යන්න ත්‍රීවීල් එකක් රුපියල් 2,500/- ක් ගන්නවලු. ඒකෙන්ම පාරේ තත්ත්වය හිතා ගන්න පුළුවන් වේවි.
කූඩැල්ලන්ට ලේ ටිකක් හෙම දන් දීල ඉවරවෙලා සෝමේ මාමලාගේ පුංචි පැලට දවල් වෙද්දී ගාටන්න අපිට පුළුවන් උනා. සෝමේ මාම ඒ වෙලාවේ ගහෙන් බාල අරගෙන ආපු පෙණ දාන කිතුල් රා ටිකක් තොල ගාල සෝමේ මාමගේ කැලෑ කතා අහන්න ගල් ගෙඩි උඩ වාඩි උනා. සෝමේ මාමට ආණ්ඩුවෙන් පෙන්ෂන් එක හම්බ උනත් මිනිහා තවම හොඳ සනීපෙන් ඉන්නවා. ඔය කියන කාලේ කිතුල් මල් පහක් හයක් මැදගෙන ඒවායේ ආදායමත් අරගෙන තමයි ජීවත් උනේ.

මිනිහ අපිට කියපු කතාවක් නිසා මගේ ඔළුවේ කොන්ඩ ගස් කෙළින් උනා. පණ පිටින් ඉන්න කළු කොටියෙක් ඒ අවට ඉන්නවා කියල සෝමේ මාම විතරක් නෙමෙයි ඒ නැන්දත් දැකල තියෙනවලු.
ඊට පස්සේ මම ඔය ගැන හොයල ෆොටෝ එකක් ගහන්න පුළුවන් ක්‍රමයක් ගැන කල්පනා කරද්දී පහු ගිය මැයි මාසේ ඒ කියන්නේ 2015 මැයි මාසේ 30 වගේ කිට්ටුව ආපහු ආරංචිය ආවා ඌ ඒ ඉසව්වට ඇවිත්ය කියලා. වාහනෙත් නැති එකේ බස් එකේ ගියා අදාළ දිහාට, අපේ මලයවත් කළින්ම කතා කරගෙන පිටත් උනා ඒ ගමන. පැය තුනකට වඩා වැඩි මහ දුෂ්කර ත්‍රිවිල් ගමනකින් පස්සේ කළුවර වැටෙද්දී සෝමේ මාමලාගේ ගෙදරට යන්න අපිට පුළුවන් උනා.

එදා වැස්ස නිසි ත්‍රිවිල් එකේ ආපු මහන්සිය නිසි කොටි අල්ලන්න නෙමෙයි පාන් කියා ගන්න බැරුවයි අපි දෙන්න උන්නේ. ඒ මදිවට වැහින්නත් පටන් ගත්තා. අන්තිමේදී කළු කොටියව ෆොටෝ ගහන්න ට්‍රයි කරන මිෂන් එක පසුවට සහ වෙන ක්‍රමේකට කරන්න තීරණය කරලා අපි තුන් දෙනාත් එක්ක අපි එහේ යනකොට අරගෙන ගියපු බෝතලේට වග කියන්න පටන් ගත්තා. මේ වෙද්දී කලින් වගේ නෙමෙයි සෝමේ මාම සැටලයිට් TV එකකුත් අරගෙන, ටර්බයින් එකක් ගහල ගෙදරට කරන්ට් එකත් අරගෙන. ගෙටත් කටු මැටියෙන්ම තව පොඩි කාමරයකුයි ඉස්තෝප්පු කෑල්ලකුයි එක්කාසු කරලත් තිබ්බා.

ඔය අතරේදී තමයි සෝමේ මාම තමන්ගේ පරණ මතකය එළියට දාන්න පටන් ගත්තේ. ඔය අතරේ තිබ්බ එක දෙයක් තමයි නිධන් වදුල ගැන, අනික කිතුල් මැදිල්ල ගැන.
කළු කොටිය ගැන පස්සේ ලියන්නම්. මේ මොහොතේ ලොකු දෙයක් ලියන්න වෙලාවක් නැති නිසා මම නිධන් වදුල ගැන කියන්නම්. ඉස්සර කාලෙක සෝමේ මාම කවුද මන්ද ඇමති කෙනෙක් ගාව බොහොම ළඟ සේවකයෙක් වශයෙන් වැඩ කරගෙන හිටියලු. ඒ ගෙදර තිබිල ඔය පොත අරගෙන එන්න ඉල්ලුවම අර මනුස්සය ඇහුවල උඹට මොටද ඕක කියලා. පොඩ්ඩක් බලල ගෙනත් දෙන්නම් කියල කිව්වට පස්සේ අර ඇමතියත් අකමැත්තක් පෙන්නලා නැහැ.
ඕක අරගෙන ආවට මේ මනුස්සයට මේකේ ඇති පළක් පොරෝජනයක් දන්නේ නැති නිසා ඒකෙ කොපියක් ගන්නෙවත් නැතුව පහුවෙනිදම ඒක ගෙනිහින් දුන්නා කියල අද මිනිහ කියන්නේ බොහොම විස්සෝපෙන්. හැබැයි මිනිහත් නිකං ඉඳල නැහැ, තමන්ට අදාළ තැනකට අදාළ එක කවියක් කට පාඩම් කරගෙන.
මිනිහ ඒක ඒ දවස් වලම හෙව්වලු කිසි සළකුණක් හොයා ගන්න බැරි වෙච්ච නිසා ඒ වැඩේ අත ඇරලා දැම්මලු. වචන කීපයක් අඩු කරලා ඒ වදුල මම මෙතන පල කොරනවා. නිකමටවත් මේක පස්සේ යන්න හිතන්න එහෙම එපා. ඕවා මහ වාත වෙන්න පුළුවන් වැඩ.

Xxxxxxතොට පරණ තොටුව
එහි xx වැලක් කොටා ඇත
එය අල්ලා මිනිසෙක් ඇත
එහි මහා නිධානයක් ඇත

මෙන්න මේ වගේ පොඩි පොඩි විස්තර සහිත කවි වගේ ඒවා තමයිලු ඔය නිධන් වදුලේ තියෙන්නේ. සමහර මිනිස්සු සැක පහළ කරනවා නිධන් කියන ජාතිය තියෙනවද කියන එක ගැන. එහෙම දේවල් තියෙනවා, ඒක ඇත්ත බව පිළිගන්න පුළුවන් කරුණු කාරණා සෑහෙන ප්‍රමාණයක් මම අහල දැකල ලියල තියෙනවා. අපේ පැත්තේ එහෙම දේවල් අරගෙන එක පාර පෝසත් වෙච්ච මිනිස්සු අදටත් ඉන්නවා.
නමුත් ඒ පන්සල් වල චෛත්‍ය අස්සේ, බුදු පිළිම ඇතුලේ එහෙම නෙමෙයි. වෙන වෙන් තැන්වල. අර වගේ තැනක තිබුනත් තියෙන්නේ ආගමික භක්තියකින් තැන්පත් කරන බොහොම සුළු සුළු දේවල් කියල තමයි කියන්නේ.
නිධන් හාරන මුවාවෙන් ඉස්සර කාලෙක පැරණි බෞද්ධ වෙහෙර විහාර, පිළිම වහන්සේලා විනාශ කරන ව්‍යාපාරයක් ලංකාවේ විශාල ව්‍යාපාරිකයෙක් යටතේ තිබුන බවක් මම අහල තියෙනවා, ඒක කෙරෙව්වා කියන මිනිහ එක පාරට වැටුනේ හරියට මහ විශාල ගහක් කඩා වැටෙනවා වගේ, අදටත් පණ පිටින් ඉන්නවා. නමුත් උන්නද මළාද කියල නැතුව වගේ තමයි ඉන්නේ.
ඒ වගේම අපිට අද වෙද්දී සතියකට නිධන් හාරන්න ගිහින් පොලිසියට අහු වෙච්ච සිද්ධි කීයක්නම් අහන්න දකින්න ලැබෙනවද.ඒ නිසා මම මේ ලියන එවයෙන් මේ වගේ වැඩ වලට උත්ප්‍රේරණයක් ගන්නේ නැත්නම් තමයි මම වඩා කැමති.


ඔය නිධන් පස්සේ යනවට වඩා හොඳයි කිතුල් මදින එක, මම ඊළඟ පෝස්ට් එකකින් ඒ ගැනයි, කළු කොටියාගේ කතාවයි කියන්නම්.
ඔය කිට්ටුවම මහ අද්භූත විශාල වලක් තියෙනවලු ලොකු ගල් තලාවක. ඒකට ලොකු දොළ පාරවල් හතරක් වැටෙනවලු. ඒ වල අක්කරයක තරමේ ලොකු එකක් කියලයි සෝමේ මාමා සහ ඒක බලන්න ගියපු අනිත් මිනිස්සුත් කියන්නේ. පතුලක් පේන්නේ නැති විශාල සුළි කැරකෙන ඒ වල මහ භයානක තැනක් විදිහට තමයි ඒ මිනිස්සුත් සළකන්නේ. මුකුත් ඕනේ නැහැ වතාවක සෝමේ මාමව හම්බ වෙන්න ආව මාස්ටර් ඩයිවර්ස් එකේ කිමිඳුම් කරුවෝ පවා ඒකට බහින්න බය උනා කියලයි සෝමේ මාමා කියන්නේ.
අපි ගියපු වෙලාවේ වැහැලා ගල් තලාව ලිස්සන නිසා එතනට යන්න බැරි උනා. හැකි ඉක්මණින් ඒ ගැනත් මම දාන්නම්. මොකද ඒක බලා ගන්න මටත් පුදුම කුතුහලයක් තියෙන්නේ. එහෙනම් අදට ඇති...