Thursday, 14 May 2015

වෙහෙරගල ලුණුගම්වෙහෙර 01 - කටු සමග කැලෑ බළල්ලු

මේ කියන්න යන්නෙත් කැලෑ කතාවක් උනාට වෙනදට වඩා වෙනස් කතාවක්, කතාවක් කියල කිව්වට කතා කීපයක්, සිදුවීම් කීපයක්. කොයිකටත් කියල කියවලම බලන්නකෝ.
මම රස්සාවෙන් අස්වෙලා රට යන්න හිතාගෙන හිටියේ 2010 පෙබරවාරි 17 වෙනිදා. ඊට කලින් රටේ තොටේ ඇවිදින්න යන්න හිතාගෙන ටිකක් කළින් කරකර හිටපු රස්සාවෙන් අස්වෙන්න මම තීරණය කලා. මට අස්වෙන්න තිබුනේ ජනවාරි 15 වෙනිදා.
එහෙම තිබුණත් ඊට කලින් ඉඳලම මම ඇවිදින වැඩේ පටන් අරගෙන තිබ්බේ. රස්සාවෙන්  අස්වෙන්න ලියුම දුන්නට පස්සේ මම වැඩිය වැඩට ගිහිල්ලම නැහැ කියල තේරෙන්නේ මගේ ෆොටෝ කලෙක්ෂන් එක බැලුවම.
දෙසැම්බර් මාසේ අපිට ෂට් ඩවුන් තිබුනේ 13, 14, 15 සති අන්තයේ. ගෙදර ගිහින් ඇවිත් 16 වෙනිදා මම අස්වීමේ ලියුම දුන්නා. එතනින් පස්සේ 25, 26, 27 මම නුවරඑළියේ. ආපහු ජනවාරි 06, 07, 08 මම ඉඳල තියෙන්නේ ගෙදර. ඊට පස්සේ 12, 13, 14 මම ඉඳල තියෙන්නේ වෙහෙරගල. ඒ දවස් ටිකත් ෂට් ඩවුන් එකක්. ඔහොම වෙලා ජනවාරි 15 ආපහු ඇවිත් රස්සාවෙන් අස්වුණා.

මම මේ දින වකවානු කියන්න හේතුව වුනේ වැඩබිමක වැඩ කරන උදවිය දන්නවනේ මෙව්වයේ එහෙම ලේසියෙන් නිවාඩු ගන්න හැකියාවක් නැති විත්තිය. ගොඩ වෙලාවට නිවාඩු දෙන්නේ මාසෙකට වතාවයි. ඒකට කියන්නේ ෂට් ඩවුන් එක කියලා.
හැබැයි මම කවදාවත් ඒ නිවාඩුව විතරක් අරගෙන අත පිහිදාගෙන හිටපු මනුස්සයෙක් නෙමෙයි. එහෙම කරන්නත් සාධාරණ හේතු තියෙනවා. සමහර දවස්වල නයිට් එහෙම ගහල එක දිගට කටු කාගෙන වැඩ කරලා තියෙන නිසා ඒ වගේ චෑන්ස් ගන්න පුළුවන් කම මට තිබුනා.

ඔන්න ඔහොම කොහොමින් හරි මම ජනවාරි 12 වෙනිදා උදේ කුරූ ට කෝල් එකක් දාල කිව්වා මම අද එනවා හවස මාව ගන්න වරෙන්ය කියලා. ඌ මාව ගන්න තණමල්විලට එන්නම් කිව්වා. එදා සයිට් එකේ පඩි දවස. උදේ 10 ට විතර ඕෆ් වෙලා කැමරා ආම්පන්න ටික දාපු බෑග් එකත් පිටේ එල්ලගෙන පොඩි බෑග් එකකට රෙදි කඩමාලු ටිකකුත් දමාගෙන වෙහෙරගල යන්න පිටත් වුනා. බත්තරමුල්ලේ බෝඩිමෙන් පිටත් වෙච්ච මම මුලින්ම ගියේ කඩුවෙලට. පරක්කු වෙන නිසා මම දවල්ට කන්න නතර උනෙත් නැහැ. කඩුවෙලින් කෙටි කෑම ටිකක් බඩට දාගෙන තේ එකක් බිව්වා. පොඩි වතුර බෝතලේකුත් අරගෙන බස් එකක් එනකල් කල්මරන්න පටන් ගත්තා. ඒ අව්අස්සේ පොඩි පහේ චු බරක් හැදිච්ච නිසා කඩයක් පිටිපස්සේ තියෙන ටොයිලට් එකක් හොයාගෙන ගියේ  ඒ බරෙන් නිදහස් වෙන්නය කියල හිතාගෙන. මම එතනට යද්දී ගිනි මද්දහනේ කියල බලන්නේ නැතුව හොඳට ඇඳ පැළඳ ගත්තු බුවාස්ලා දෙන්නෙක් මුල්ලකට වෙලා අමුවෙන්ම කාලක් ක්‍රියා කරනවා. කාලක් කිව්වට කාලක්ම නෙමෙයි කාලවල් දෙකක්, ඒ කිව්වේ බාගයක් විතර.

එදා දවසේ මොකක්හරි විශේෂත්වයක් තිබුනා, එක්කෝ පහුවෙනිදා මොකක් හරි ජන්දයක් හරි වෙන මොකක් හරි අහවල් එකක් නිසා හරි බස් වල යන්න සෑහෙන සෙනග හිටපු දවසක්. ඒ මදිවට බසුත් ටිකක් අඩුයි. ටික වෙලාවක් එතන ඉන්නකොට අර බුවාලා දෙන්නත් හිමීට බෑග් මලු දෙකකුත් අරගෙන බස් නතර කරන තැනට ආවා. විනාඩි හතළිස් පහක් විතර එතන හිටගෙන හිටියට පස්සෙයි ඕන් බස් එකක් ආවේ. ඒකෙත් හොඳටම සෙනග. අමාරුවෙන් බෑග් දෙකත් එල්ලගෙන බස් එකට නැග ගත්තා. බෑග් දෙක ඩ්‍රයිවර් මහත්තයා ඉන්න කිට්ටුව ඉස්සරහින්ම තියලා, මමත් ඒ කිට්ටුවම අයිනක හිටගෙන තණමල්විල බලා යන මගේ ගමන පටන් ගත්තා. කැමරා එක නිසා බෑග් දෙක එතන තියෙන්න ඇරලා පිටිපස්සට යන්නත් බැහැ. බස් එක යනවා යනවා ඉවරයක් නැහැ. හිටගෙන ඉඳල මට එපාවෙලා තිබුනේ. එදා දවසේ හොඳකම කියන්නේ තණමල්විලෙන් බහිනකල් මට වාඩිවෙන්න තියා හේත්තු වෙන්න සීට් මුල්ලක්වත් හම්බ වුනේ නැහැ.

තණමල්විල කිට්ටු වෙද්දී මම මුලින්ම කලේ කුරූට මගේ පැමිණීම දන්වලා කෝල් එකක් දීපු එක. උගෙත් හොඳකම කියන්නේ මම තණමල්විල බහිද්දීත් ඌ ඇවිත් හිටියේ නැහැ. ඌ එන්න තව විනාඩි පහළොහක් විස්සක් යනවා කියපු නිසා ළඟ තිබ්බ කඩේකට ගිහින් තේ එකක් කාරිය බීලා එළියට ඇවිත් ටික වෙලාවක් ඉන්නකොට මෙන්න මු එනවා වෙනද වගේ කබල් ජීප් එකෙන් නැතුව ටිකක් ඉතර අලුත් කැබ් එකක නැගගෙන.
මෙන්න අපි වෙනද යන වාහනේ. මු කැලේ ඇතුලේ මේ දරහැව වගේ වාහනේ නැගගෙන වල ගොඩැලි බලන්නේවත් නැතුව හුරේ කියල යනවා. ඒකෙ පිටිපස්සේ වැඩිවෙලා යන උන්ට සොරිම තමයි.


කැබ් එක ඇතුලේ පිටිපස්සේ සීට් එකේ තව කවුද බුවෙකුත් හිටියා. මිනිහගේ නම කුමාර වගේ තමයි මට මතක. බුවා කුරූල එක්ක වැඩ කරන සේවක මහත්තැන් කෙනෙක්. මම දැන් කැබ් එකේ ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා බෑග් මළු ටික පිටිපස්සේ සීට් එක උඩට පැටෙව්වා. ඔන්න අපි දැන් ගමනේ. බස් එකේ හිටගෙන ආපු අමාරුවත් එක්ක මේ වෙද්දී මට හොඳට මහන්සිත් එක්ක. අපි එදා වෙහෙරගල යන්න ඇතුල් වුනේ ලුණුගම්වෙහෙර පැත්තෙන්. ලුණුගම්වෙහෙරට ඇතුල්වෙන ගේට්ටුව ගාව තිබුණ විදුලි වැටේ අනිත් තැන්වලට වඩා පොඩි පිළිවෙල ගතියක් තිබුනා. විදුලි වැට ඒ කොටසේදී හදල තිබුනේ කම්බි කොයිල් එකක් වගේ එකකින්. අතින් අල්ලන්න හොඳ ප්ලාස්ටික් හැන්ඩ්ල් එකකුත් තිබුනා. ඒ හැන්ඩ්ල් එක ඇතුලෙන් යන කම්බිය අගිස්සේ කොක්කක් තියෙනවා විදුලි වැටේ තියෙන මුද්දක අමුණන්න. වාහනයක් ඇතුළට හරි එළියට හරි යද්දී ඒක ගලවල අහක් කරලා ඊට පස්සේ ඒ කොක්ක වගේ කොටස අමුණලා දානවා. අපි එතනට ගියාට පස්සේ ඒ වැඩ කොටස කලේ කුමාර අයියා. වාහනේ ඇතුළට ගන්නකල් ඉඳලා කොක්ක අමුණල දාපු කුමාර අයියා ඇවිත් කැබ් එකට නැග ගත්තා.

වාරිමාර්ගේ වාහන නිසා ගේට්ටුවෙන් ඇතුල් වෙද්දී අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙ නැහැ. ඒ වගේම තමයි උන් ඇවිත් විදුලි ගේට්ටුව අරින්නෙත් නැහැ, වහන්නෙත් නැහැ. නිකං යන්න දීලා තියෙන එකේ ගේට්ටු එහෙම ඇරගෙන කොකු ගලෝගෙනම පලයල්ලා කියල වගේ තමයි එතන හිටපු සික්ක අයියලා ටික ඉන්නේ. අපේ අමතර වාහනයක් ගියොත් තමයි පොඩ්ඩක් ඇවිත් හෝදිසි කරලා බලන්නේ “මේ වාහනේ කොහෙද යන්නේ” කියලා. ඒකත් ඉතින් වාරිමාර්ගේ වාහනයක් කියල කිව්වට පස්සේ වැඩි කතාවක් නැතුව අපි ඔක්කොම ඇතුළේ.

ඔන්න අපි දැන් ඉස්සරහට යනවා. මේ වෙද්දී බිම්කළුවර වැටිලත් අහවරයි. අපි දැන් ටික ටික කැලේ ඇතුළට යනවා. මෙහෙම ගියාම එක හරියක් තියෙනවා පාර හරහා සපත්තු පාළමක් දාල තියෙන. අන්න ඒ හරියේදී අපි එක පාරට දැක්කා මොකෙක්හරි තරමක සතෙක් උඩ පනිනවා, ආපහු වැටෙනවා. ආපහු උඩ පනිනවා කියලා.
වාහනේ හිමීට කිට්ටු කරලා බලද්දී පත වල් බළල් තඩියෙක්. පොඩි පොඩි කෘමි සත්තු අල්ල ගන්න පොදි කනවා. පොඩියි කිව්වට පළගැටියෝ වගේ සත්තුන්වද කොහෙද ඌ අල්ලගෙන කෑවේ.

මේ වගේ චෑන්ස් එකක් ලේසියෙන් එන්නේ නැති නිසා කුරූට මම කිව්වා කැබ් එක නතර කරපිය කියලා. කුමාර අයියට කියල කැමරා බෑග් එක අරගෙන කැමරා එක එළියට ගත්තා. හදිස්සියේ ආපු නිසාද කොහෙද එදා මම ටෝච් එක අමතක වෙලා ඇවිත් තිබ්බේ. ඒ නිසා කැමරා එක ෆෝකස් වෙන්න ගහන්නවත් එළියක් තිබ්බේ නැහැ. බළල් හාමිට එළිය වදින විදිහට කැබ් එක පොඩ්ඩක් කැලේ පැත්තට හරවන්න කියල කිව්වේ ඒ අඩුව පිරිමහ ගන්න. ඒ එළියේ පිහිටෙන් යාන්තමට ෆොටෝ කෑලි දෙක තුනක් කොටා ගත්තා. ඒත් හොඳම මට්ටමේ ෆොටෝ එකක්වත් එතන තිබුනේ නැහැ. පූස් නාට්ටව දැක්ක කියල කියන්න ඇති වෙන්න ෆොටෝ දෙකක් තුනක්නම් තිබුනා.

දැන් ඉතින් කියන්න එපා මු ගෙවල් වල ඇති කරන පුසෙක් වගේ කියලා. පෙනුම එහෙම උනාට මේකා කැලෑවේ ඉන්න පුස් වර්ගයක්. සිංහලෙන් නම කිව්වොත් Jungle Cat වගේ තමයි මතක. මෙයාට සාමාන්‍ය වහර අනුව වල්බළලා එහෙමත් නැතිනම් වල්බාවා කියලත් කියනවා.

ඔන්න දැන් ඌ ටික ටික ඉස්සරහට යන්න තිබා ගත්තා. ඒ පැත්තට යන්න කියල කිව්වට කුරූ යන්න හදනවා, ඒත් වාහනේ යැවෙන්නේ නැහැ. පුෂා ගැන හිතන එක පැත්තක දාලා එන්ජිම සැර දාල අල්ලන්න කිව්වා. ම්හු... වැඩේ හරි යන්නේ නැහැ. රෝද එක තැන කරකැවෙනවා විතරයි.

ඔන්න අපි තේරුම් ගත්තා දෙයියනේ කියල අපේ කැබ් එක එරිලය, තල්ලුවක් නැතුව යා ගන්න බැරි විදිහට හිරවෙලාය කියලා. රජයේ වාහනයක් නිසා හතරගාතේ “ඒ කිව්වේ ෆෝ වීල් එක” ගලවලලු තියෙන්නේ වියදම අඩු කර ගන්නය කියල හිතාගෙන. ඒ අපේ මෝඩ මිනිස්සුන්ගේ තියෙන පිස්සු මරගාත වැඩ. ඒ වගේ වාහනේක හතරගාතේ ගැලෙව්වා කියල ලැබෙන මහලොකු සෙතක් නැහැ. තියෙන එකම සෙතේ තමයි මේ වගේ වෙලාවක බඩු හම්බ වෙන එක. මේ වෙද්දී වෙලාව රෑ හතත් පහු වෙලා. හොඳටම කළුවර වැටිලා.

කරුමෙට කකුල් හතරයි කියල කියනවනේ. අන්න ඒ වගේ එදා මගේ ගාව ටෝච් එකක් තිබ්බෙත් නැහැ. කැබ් එකෙත් හෙඩ් ලයිට් ඇරෙන්න වෙන එළියකුත් නැහැ.
සීන් එකටම ගැලපෙන විදිහට හීනියට පොද වැස්සකුත් පටන් ගත්තා. මගේ අතේ තිබ්බ ෆෝන් එකේ බැටරිය ගොඩක් බැහැල තිබ්බේ නැහැ. ඒකේ සහන් එළියෙන් බැලුවම තේරුනේ කැබ් එකේ පැත්තක් පාර අයිනේ වැලිවලින් ගොඩවෙලා තණකොළ වැවිල වැහිලා තිබ්බ කණුවකට දෙරි ගහල කියලා.

ආණ්ඩුවේ වාහනයක් කියල නැහැ. මේකේ දෙයියනේ කියල ජැක් එකක්නම් තිබ්බා, කාපට් දෙක තුනකුත් තිබ්බා, අමතර රෝදය ඒ කිව්වේ සිංහලෙන්නම් ස්පෙයාර් වීල් එකත් තිබ්බා. ඔන්න අපිට දැන් කැබ් එක ගොඩ දා ගන්න තිබ්බ බඩු මුට්ටු ටික. ඊට අමතරව අපි තුන් දෙනෙක් හිටියා.
මුලින්ම කලේ ජැක් එක ගහලා එරිල තියෙන පිටිපස්සේ රෝදේ පොඩ්ඩක් උස්ස ගත්තා. ඊට පස්සේ එතන යට තිබ්බ වැලි අත් වලින්ම අහක් කලා. මම කලා වගේ කිව්වට ඇත්තටම මේ වැඩ වලින් වැඩි හරියක් කලේ කුරූගේ කම්කරු නිලධාරි මහත්තැන් කෙනෙක් වෙච්ච අපේ කුමාර අයියා. ඊට පස්සේ ස්පෙයාර් වීල් එක අර වලට එබුවා. ඊට උඩින් අර බෝල බෝල හිලවල් තියෙන කාපට් තියෙන්නේ, ආන් එයින් එකක් දාලා ජැක් එකේ බර අහක් කරලා දැම්මා. මේ වැඩ යන අතරේ සරින් සැරේ අලි කුයිලේ එනවා යනවා කියන එකත් අපිට නොතේරුනා නෙමෙයි. එක පැත්තකින් කරන්ට් වැට තිබ්බ නිසා ඒ පැත්තෙන් අලින්ට එන්න බැහැ. අපේ වාහනේ පාරෙන් වැඩිපුර බරවෙලා තිබ්බේ ඒ පැත්තට. අලි ආවත් කරන්න දෙයක් නැහැ, ඌ එන්න කලින් වාහනේ ඇතුළට පැනගන්න එක ඇරෙන්න වෙන විසඳුමක් නැහැ.

දැන් ඔන්න අනිත් රෝදෙටත් කාපට් එකක් රින්ගෙව්වා. ඒ පැත්තේ වැලි අහක් කරන්න ඕනේ උනේ නැහැ. ඊට පස්සේ රිය පැදවීමේ වාරය මගේ. මම දෙතුන් පාරක් විතර ට්‍රයි කරලා සැර දැම්මට පස්සේ කැබ් එක යාන්තං පාර දිහාට ආවා. දැන්නම් මාර සැටිස්. හැබැයි එකසිය ගාණට බඩගිනියි. වෙලාව රෑ නමයත් පහුවෙලා. පැය දෙකකට වඩා අපි එතන කට්ට කාල තිබ්බා. පොළවේ වාලපු ස්පෙයාර් වීල් එක ගොඩ අරගෙන, කාපට් ටිකයි, ජැක් එකයි ඔක්කොම කැබ් එකේ පිටිපස්සට පැටෙව්වා. ඒවා කැබ් එක ඇතුළට ගන්න බැරි තරමට වැලි වලින් වැහිලා. අපිත් ඊට දෙවෙනි නැහැ, චුරු චුරු පොද වැස්සේ තෙමිලා අපිත් තෙමිච්ච කුකුල්ලු වගේ. ඒකත් කමක් නැහැ කියමුකෝ.දැන් ඔන්න කුරූ අපිවත් කැබ් එකේ දාගෙන උන්ගේ ඔෆිසිය, නවාතැන හරි මොකක්ද මන්ද මම අර කළිනුත් පෝස්ට් එකක කියල තිබ්බේ, අන්න ඒක බලා ගමනේ යෙදෙනවා.


එහෙම ගමන පටන් ගත්තට අපිට අපේ ගමනාන්තෙට ඒ කිව්වේ අපේ නවාතැනට නිදහසේ යන්න බැරි උනා. කොරේ පිටට මරේ කියල කියන වර්ගයේ වැඩක් සිද්ධ වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ, ඒ  සිද්ධිය ඊළඟ කොටසින්ම බලමු.

Tuesday, 21 April 2015

යදම් බිඳලුවාට කම් නැතිද...?

මම දන්නේ නැහැ මම මේ කරන්න හිතාගෙන ඉන්න වැඩේ හරිද වැරදිද කියන එක ගැන, සමහර විට දෝෂාරෝපණ අහන්න වෙන්නත් පුළුවන්. ඒත් මම පුංචි කාලේ ඉඳල අද වෙනකල්ම බොහොම ආදරෙන් එකතු කරලා රැකබලා ගත්තු පරණ පත්තර කොළ ගොඩක් අස්සේ හැංගිලා තිබුන ලස්සන අතීත කතාවක් බ්ලොග් එකේ ලියන්න පුළුවන්ද කියන එක ගැන පොඩි මුට්ටියක් දාල බැලිල්ලක් තමයි මේ කරන්න යන්නේ.

පත්තරේ නම තමයි අපි කවුරුත් දන්න කියන දිවයින පත්තරේ. හරියටම කියනවනම් 1993 දෙසැම්බර් මාසේ 12 වැනි ඉරිදා දිවයින පත්තරේ කතාවක් පටන් ගත්තා. පළවෙනි කොටසින් තරම් ආසාවක් ඇති නොවුනට දෙවෙනි කොටස කියන්නේ දෙසැම්බර් 19 වෙනිදා කොටස කියෙව්වට පස්සේ මට හිතුනා මේ කතාව එකතු කරන්න ඕනේ කියලා. එහෙම හිතලා දෙවෙනි පත්තර කොලේ කඩාගෙන ඉවර වෙලා ඊට පස්සේ පළවෙනි පත්තර කොලේ හෙව්වා, ඒත් මට ඒක හොයාගන්න ලැබුනේ නැහැ. ගෙදර හැමෝගෙන්ම ඇහුවත් පත්තර කොලේට වූනේ මොකක්ද කියල කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.

දවස් වල අපේ ගෙදරට අළුතින් කොටසක් එක්කාසු කරන්න පටන් අරගෙන තිබුනේ. ගෙදර හදා ගත්තු සිමෙන්ති ගල් වලින් තමයි මේ වැඩේ සිද්ධ වුනේ.
ඉස්සර ගෙවල් වල සිමෙන්ති ගල් හදද්දී පොලවට පත්තර කොල හරි සිමෙන්ති බෑග් වල කොල හරි දාල තමයි සිමෙන්ති ගල් හදන්නේ. ගල් ගහන අච්චුව හදල තිබුනේ සරනේරු වලින් හයි කොරලා, ලොක් කරන්න එහෙම පුළුවන් විදිහට. වැඩේ පහසුව තකා සිමෙන්ති ගල් අච්චුව හදල තිබුනේ උස අතට ගල් ගහන්න පුළුවන් විදිහට නෙමෙයි. සිමෙන්ති ගල කොටන්නේ පළල අතට. වැය වෙන සිමෙන්ති බදාම ප්‍රමාණය අඩු කරගන්න මැද හරියට ඔය ගල් කෑලි එහෙමත් දානවා. ඒ වැඩේ තරමක් දෝෂ සහගත එකක් කියල දැන් හිතුනත් දැනට අවුරුදු 21 ට කලියෙන් හදාපු ඒ කොටස අදටත් ඔය යස අගේට තියෙන්නේ.

එක දවසක් බිත්තියේ ගල් වරියක් බැඳලා ඉවර උනාට පස්සේ එළියට පේන්න තිබ්බ මුණතේ “යදම්” කියන අකුරු කීපය ළාවට පේන්න තිබ්බ පත්තර කොළ කෑල්ලක් ඇලිලා තියෙන බව මම දැක්කා. මම දුකින් දිහා බලාගෙන හිටිය මිසක් ආපහු පත්තර කොලේ හොයා ගන්නේ කොහොමද කියලා දවස් වලම කල්පනා කලේ නැහැ. ඒක තමයි මම කරපු ලොකුම මෝඩ වැඩේ. මේ කියන කාලේ මම හිටියේ 8 වසරේ, එතනින් පස්සේ ඉස්කෝලේ නිවාඩු ලැබෙන දවස් වලදී සැරින් සැරේ මේ කතාවේ මම ගාව තියෙන කොටස ටික කියවද්දී හැමදාම හිතනවා පත්තර කන්තෝරුවකට ගිහින් හරි පත්තර කොල කෑල්ල හොයා ගන්න ඕනේ කියලා. කොහොමින් කොහොම හරි ඒක සිතුවිල්ලකට විතරක් සීමා වුනා.

මෙහෙම ගිහින් අවුරුදු ගණනාවක් ගිහිල්ලත් මම කොළඹ ඇනෙක්සියට ගෙදර තිබ්බ බඩු මුට්ටු අරගෙන ආපු වෙලාවේ මට තිබ්බ වටිනාම මතකයන් ටික අරගෙන එන්න මම අමතක කලේ නැහැ. බඳින්න කලින් පුච්චන්න ඕනේ ඒවා ටික කළින්ම පුච්චපු නිසා ඉතුරුවෙලා තිබ්බේ මෙන්න මේ වගේ වටින දේවල් විතරයි.
අන්න පරණ මතක අතරේ තිබ්බ එක දෙයක් තමයි ROOTS කියන ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනය, හැබැයි ඒ පත්තර පිටු විදිහට. පරිවර්තනය සිදුකරලා තිබුනේ “සමන් වික්‍රමාරච්චි” කියන මහත්මයා.
වගේම "ජනක රත්නායක" කියන මහත්මයාගේ විශිෂ්ට ඝණයේ සිතුවම් වලින් කෘතියට අවශ්‍ය කරන සියුම් ආලෝකයකුත් ලැබිල තිබුණා. ඇලෙක්ස් හේලි (Alex Haley) කියන කළු ඇමෙරිකානුවා දොළොස් වසක් තිස්සේ තම පරපුරේ අක්මුල් සොයා යෑමෙන් පසු හෙළිවූ අතීතය ලියා තැබූ විශිෂ්ට ඝණයේ කතා පුවතක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්.

වහල් සේවය වේවා, රට රටවල් පිටින් අල්ලා ගනිමින් සිදුකළ මංකොල්ල කෑම්, මනුෂ්‍ය ඝාතන හෝ වේවා, මේ සියල්ල පිටුපස සිටියේ සභ්‍යයැයි තමන් විසින්ම හඳුන්වා ගත් දේව භක්තිය මනෝවිකාරයක් කරගත් අමනයන් පිරිසක්. උන් කරපු  නොපෙනත් කම් වලට සරිලන වන්දි මේ ලෝකෙදි වගේම ඉදිරි අනාගතේදීත් ලැබෙන්න ඕනේ...
මේ කොටස ලියවුනේ උන් අපේ වගේ රටවල් වලට සහ අප්‍රිකාවේ රටවල් වල උන්ගේ ආගම් පතුරවන්න සිද්ධ කල සංස්කෘතික සහ මානව සංහාර සම්බන්ධව උපන් කේන්තියෙන්.

මෙන්න මෙවැනි කොටසක් පත්තර පිටුවේ හැමදාම වගේ පළවුණා.

ඇලෙක්ස් හේලිගේ නවකතාවේ අනුවාදය
මේ ආඛ්‍යානය වූ කලී එක්තරා මිනිසෙකු දොළොස් වසක් තිස්සේ ස්වකීය පරම්පරාවේ මුල් ඇදුනු තැන් සොයා ගිය ගමනේ කතාවයි.
මිනිසා නම් කළු අමෙරිකානුවකු වූ ඇලෙක්ස් හේලිය, ඔහු පුවත්පත් කලාවේදියෙකි. වහලුන් සහ නිදහස් මිනිසුන්, ගොවින් සහ කම්මල්කරුවන්, නීතිඥයන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් ආදී වශයෙන් වූ පරම්පරා හයක් ඔස්සේ ඔහු තම මුල් සොයා අප්‍රිකාවට යයි. තමා උපන් බිමින් උදුරාගෙන වධ වේදනා මධ්‍යයේ යදමින් බැඳ නවීන ලෝකයේ වහල් වෙළඳ පොළ වෙත රැගෙන කුන්ටා කින්ටේ නම් දහසය හැවිරිදි ගෝත්‍රික තරුණයා හමුවන තෙක් ඔනු අතීතයට යයි. ROOTS කතාවයි.
මෙම වෘතාන්තය රූපවාහිනී තිරයටද නැගිණි. ලොව වැඩිම ජනකායක් නැරඹු රුපවාහිනි මාලා නාටකය ලෙස වාර්තා තැබූ එය කලකට පෙර අප රටේ රුපවාහිනියේද ප්‍රදර්ශනය විණි. “යදම්යනුවෙන් ප්‍රථම වරට සිංහලට නැගෙන්නේ එම කතාවයි.


රූපවාහිනියේ ප්‍රචාරය වෙච්ච බවක් කිව්වට අපි ඒ කතාව කළින් බලල තිබුනේ නැහැ. 1993 වකවානුව වෙද්දී අපේ ගෙදර කාර් බැටරියෙන් බලන්න ඇහැකි කළු සුදු National වර්ගයේ අඟල් 12 TV එකක් තිබුනා. ඒකෙන් මොකක්හරි කතාවක් හරි ෆිල්ම් එකක් පැහැදිළිව බලනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමේ. උණ බටටේකට ඇන්ටණාවක් අමුණාගෙන උද බලාගෙන එහෙමෙහෙ ගෙනියනවා තරම කරුමයක් ඒ දවස්වල අපිට තිබ්බේ නැහැ. එහෙම වෙන්න හේතුව අපේ ගෙවල් හතර වටෙන්ම කඳු වලින් වටවෙලා තියෙන නිසා වෙන්න ඕනේ.

කාලයක් තිස්සේ යටපත් වෙලා තිබ්බ පත්තර පිටුව හොයා ගැනීමේ මෙහෙයුම හදිස්සියේම දවසක් ඔළුවට ආපහු ආවේ 2013  අවුරුද්දේ දවසක. එදා දිවයිනේ වැඩ කරන මගේ යාළුවකුට කෝල් කරලා බැලුවම උගේ උත්තරේ වුනේ උන්ගේ පුස්තකාලයේ පැරණි පුවත්පත් ඔක්කොම තිබුනත් ඒවායෙන් කොපි ගන්න බැරි බවත් මහජන පුස්තකාලයෙන් කොපියක් ගන්න පුළුවන් වේවිය කියලත්. එහේට කෝල් කලාට පස්සේ එයාලගේ උත්තරේ වුනේ යම්කිසි ගැටළුවක් නිසා ෆොටෝ කොපියක් ගැනීමේ හැකියාවක් නැහැ කියන එක තමයි. එතනින්ම ආපහු වතාවක් මගේ උත්සාහය නිරර්ථක වුනා.

ඔහොම ඉඳලා 2014 මැද හරියෙදි වගේ පළවෙනි කොටස නැතුව දෙවෙනි කොටසේ ඉඳල කතාව ලියන්න පටන් ගන්න ඕනේ කියන අදහස මගේ ඔළුවට ආවා. දෙවෙනි කොටස සම්පුර්ණයෙන්ම Word Document එකක් විදිහට ලියල ඉවරවෙලා තුන්වෙනි කොටස ලියන්න යද්දී කතාව සම්බන්ධව හිතේ ඇතිවුන යම් මානසික තත්ත්වයක් නිසා ඒ වැඩේත් අතරමග නතර කරලා දාන්න හිතුනා. මට බය හිතුනා මම පොඩි කාලේ ඉඳල ආදරේ කරපු ඒ කතාවට දැන් මම වෛර කරන්න පටන් ගනීවිද කියලා.

ආපහු වතාවක් 2015.03.31 වෙනිදා හදිස්සියේම හිතට ආපහු අදහසක් නිසා දිවයින කන්තෝරුවට කෝල් කරන්න මට හිතුනා. මගේ අවශ්‍යතාව එතනට දැනුම් දුන්නා. එතනට ඇවිත් කතෘ මණ්ඩල අනුමැතියක්ද මොකක්ද එකක් අරගෙන පුස්තකාලය ඇතුළට එන්න කියල එතනින් දැනුම් දුන්නා. ඊට පස්සේ මගේ පෙන්තාටත් කෝල් එකක් දීලා සිද්ධිය කියලා මම දිවයිනට පත්තරේට ගියා. මමයි මේ කියන මිත්තරයයි දෙන්නත් එදා ඒ හම්බ වුනේ හරියටම අවුරුදු 10 කින් විතර වගේ. පුස්තකාලය භාර නිලධාරි මහත්තුරු මගේ වැඩේ වෙනුවෙන් අදාළ පුවත්පත සොයා දෙන්න වැඩි වෙලාවක් ගත්තේ නැහැ. එක අවුරුද්දක පත්තර ටික ලොකු පොතක් විදිහට එකට බයින් කරලයි තිබුනේ. ඒ වගේම ඒ විදිහට බයින් කරලා තියෙන පත්තර ගැලවීම තහනම්ලු. මම කිව්වේ මට ෆොටෝ ටිකක් ගහගන්න තිබුනම ඇති කියල. මගේ මිත්තරයා හොඳ කැමරා එකකින් ඒ වැඩේ කරවලා දෙන්න හැදුවත් ෆෝන් එකේ තියෙන කැමරා එක මගේ වැඩේට සෑහෙන නිසා මුළු ලිපියම කවර් වෙන විදිහට ෆොටෝ කීපයක් ගහගත්තා. ඊට පස්සේ යාළුවා එක්ක පොඩ්ඩක් ආගිය විස්තර කතාබහ කරලා එහෙම මම ආපහු එන්න ආවේ ලොකු සතුටක් හිතේ තියාගෙන.

පොඩි නැහැ මේක හරියටම අවුරුදු 22 ට ආසන්න කාලයක් තිස්සේ හිත යට තිබිලා මතුවෙච්ච අදහසක් එක්ක ලබා ගත්තු ජයග්‍රහණයක්...

දැන් තමයි ගැටළුව...
මම ඒ ලිපි පෙළ පරිවර්ථකගෙන් හෝ දිවයින පත්තරෙන් නිසි අවසරයක් නැතිව බ්ලොග් එකේ පළ කරන්න පුළුවන්ද, එහෙම කරන එක හරිද...? වැරදිද...?
දැනට තියෙන වාතාවරණය අනුව සමන් වික්‍රමසිංහ මහත්මයව හොයාගෙන ඒ අවසරය ලබා ගන්න පුළුවන් වෙයිද කියන එකත් සැළකිය යුතු මට්ටමේ ගැටළුවක්.

කොහොම නමුත් ජාලය හරහා මට ඒකට පොඩි විසඳුමක් ලැබුනා.
මේ පරිවර්තනය පොතක් විදිහට එළි දැක්වූ බවක් මම කලින් දැකල තිබ්බේ නැහැ, පොත් කඩ ගානේ, බුක් ෆෙයාර් එකේ කරක් ගහන මට ඒ පොත හම්බ උනේ නැති උනාට “යදම්” පොතක් විදිහට පළවෙලා කියල මට අන්තර්ජාලය හරහා දැනගන්න ලැබුනා. ඒ හෝඩුවාව හරහා මම මුලින්ම කලේ පොතේ කොපියක් හොයා ගන්න පුළුවන්ද කියල හොයල බලන එක.
මේ පොත 1997 දී පළකරලා තියෙන බව සහ දැනට පොතේ කොපියක් හොයා ගන්න බැරි බවක් තමයි හැමතැනින්ම වගේ දැනගන්න ලැබුනේ.

ඊට පස්සේ සමන් මහත්තයව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් ගැන හොයා බැලුවා. පොත පළකරලා තියෙන්නේ සංහිඳ ප්‍රකාශකයෝ. සරසවි එකට කෝල් කරලා සංහිඳ එකේ නොම්බරේ ඉල්ල ගත්තා. එතනින් “සමන් වික්‍රමාරච්චි” මහත්තයාගේ දුරකථන අංකයක් ඊයේ වෙද්දී ඉල්ල ගන්න පුළුවන් වුනා.
ඊයේ දවසෙම ඒ අංකෙට කෝල් කලාට උත්තර නැහැ, අද උදේ කතා කරලා බැලුවම වැරදි අංකයක් කියන සුභ ආරංචිය මේ දැන් වගේ ලැබුනා. භාවිතයෙන් ඉවත් කරපු දුරකථන අංක නැවත වෙනත් පුද්ගලයින්ට නිකුත් කරන නිසා ඒ අංකය දැන් වෙන කෙනෙක් පාවිච්චි කරන්නේ.

දැන් මම මොකක්ද කරන්න ඕනේ කියන ගැටළුව තවමත් මගේ ඉදිරියේ...
පුළුවන්නම් අදහසක් දෙන්න...