Monday, 17 October 2011

පිහිය

මගේ මේ කතාව කියවගෙන යද්දී ඔයාලට මම ගැන මොනවා හිතෙයිද දන්නේ නැහැ. මුනම් වැද්දෙක්ම තමයි කියල නොහිතුනොත් තමයි පුදුමේ. මොකද අපේ ගෙදර අයටනම් ඒ කාලේ එහෙම හිතිලා තිබුන විතරක් නෙමෙයි පස්සේ පස්සේ මට ඒක මුනටම කිව්වත් එක්ක.
මගේ අතට පිහියක් හුරු උනේ අවුරුදු 3 ක් වෙන්නත් කලින්. ඒ කාලේ මගේ අතින් ඒක අහක් කරන්න කාටවත් බැහැ. එච්චරට ඒ පිහියට මම කැමතියි. අපේ මිදුලේ කොනක වැවිල තිබුන රබර් ගහට පිහියෙන් කොටන එක මගේ දවසේ ලොකු රාජකාරියක් වුනා.
ඒ වගේම මේකෙන් පොලව හාරන්නත් පුළුවන්. එහෙම හාරද්දී හම්බ වෙන ගැඩවිලි පනුවෝ එහෙම මම හුරතල් කරනවත් එක්ක. පණුවෙක් අතින් අල්ලනවා කියන්නේ මටනම් අදටත් හිරිකිතයක් දැනෙන දෙයක් නෙමෙයි ඕන්.
දවසක මෙන්න මේ වගේ නරක වැඩක් උනා මට. මම රබර් ගහට තියලා කෝටුවක් කපන්න හැදුවා මගේ පිහියෙන්. එක පාරටම පිහිය දුවගෙන ඇවිත් මගේ ඇත හැපුවා. අත කිව්වට එයා හැපුවේ මගේ වම් අතේ දබරගිල්ල. දැන් මගේ පුංචි ඇඟිල්ල හෝ ගාල අඩනවා.

ඔන්න ඉතින් මම රිදිච්ච නිසයි කේන්තිය නිසයි ලතෝනි තියන්න පටන් ගත්තා. ඒ මදිවට මම ආදරෙන් ළඟ තියා ගත්තු පිහියත් එහා වත්තට විසික්ක කරලා දැම්මා. ඒ ඉඩමේ තිබුනේ පරණ වෙච්ච ලොකු රබර් ගස් ටිකක්. එකේ පොඩ්ඩක් කැලාව වැවිලා තිබුන. අන්න ඒකට තමයි මම පිහිය විසික්ක කලේ. වම් අතේ දබරැඟිල්ල හොඳටම කැපිලා, කැපිච්ච කෑල්ල වෙන් වෙන්න ඔන්න මෙන්න ගානට එල්ලී එල්ලී තියෙනවා.

ඉතින් හැමදාම වගේ මේ වෙලාවට තාත්තත් ගෙදර නැනේ. එහා ගෙදර ඉන්න අයිය කෙනෙකුටද කොහෙද කතා කරලා පුස් බයිසි එකක නග්ගලා මාව බෙයි දාන්න එක්කගෙන ගියා. ඒක අපේ ගමේ තිබුන පුංචි ඩිස්පෙන්සරියක්. ඒ දොස්තර මහත්තය ඔය වගේ මැහුම් ගෙතුම් වැඩ වලට දක්ෂයෙක්. එයා මගේ ඇඟිල්ලට පුංචියි කියල බලන්නේ නැතුව මැහුම් 4 ක්ම දැම්මා. ඒත් මම නෙමෙයි කට හෙල්ලුවේ. සද්ද නොකර හිටිය. බයකට එහෙම නෙමෙයි වෙන්න ඕනේ මම එහෙම හිටියේ.
ඔප්පොම වැඩ ඉවර උනාට පස්සේ දොස්තර මහත්තය මට "හොඳ බබෙක්නේ" කියලත් කිව්වා ඔලුව අත ගාල.

ඔය වැඩ ටික ඉවර වෙලා අපහු ගෙදර ආවට පස්සේ මට ආපහු මගේ යාළුවව මතක් උනා. ඉතින් මම එයා ගැන ගෙදර අයගෙන් ඇහුවා. එයාල කිව්වා එයාලට මගේ යාළුවව හොයා ගන්න බැරි උනා කියලා. ඉතින් මමත් ඕක හොයල බලන්න එපාය. බැරි පුළුවන් ගායේ මමත් ඒ කැලාව පැත්තට ගිහින් මගේ යාළුවව හෙව්වා. ඒත් එයා හිටියේ නැහැ එතන. ඒ වගේම තමයි මටත් මතක නැහැනේ හදිස්සියට එයාව කොහාටද දැම්මේ කියලා. ඔන්න මම එයාව විසිකලේනම් නැහැ. හිමීට කැලේ පැත්තට දාල ගියා විතරයිනේ.
කොහොම උනත් මට එයාව ආපහු හම්බ උනේ නැහැ. ගෙදර අයත් මට උදව්නම් උනා තමයි ඒක හොයන්න. ඒත් මට දැන් හිතෙනවා මාව පොඩි කුමන්ත්‍රණයකට අහු උනාදෝ කියලා.
අපේ ගෙදර උදවිය මාව මගේ යාලුවගෙන් වෙන් කරවන්න හිතාගෙන යාලුවට මොනා හරි කළා වෙන්න ඕනේ. මොකද ඒ කැලේ ගොඩක්ම ලොකු කැලයක් නෙමෙයිනේ. ඒක ඒ දවස් වලත් මගේ දනිස්ස ගාවට වගේ තමයි වැවිල තිබුනේ.

දැන්කාලේ ළමයින්ට එයාලගේ දෙමව්පියෝ නිදහසේ නටන්න ඉඩ දුන්නේ නැති උනාට මටනම් එහෙම තහංචියක් තිබුනේ නැහැ. මේ වගේ පොඩි පොඩි අකරතැබ්බ සිද්ධ උනාට එහෙම ඉඩ දීපු එකනම් ලොකු දෙයක්. නැත්නම් මට වයසට ගිහින් මතක් කරන්නවත් දෙයක් නැති වෙනවනේ.

පස්සේ දවසක මේ වගේම බයිසිකලේක රෝදයක් පැනල මගේ කකුල හපා කෑවා. ඒ වෙලාවෙත් මාව එක්කගෙන ගියේ මේ දොස්තර මහත්තයා ගාවටම තමයි. එතකොට මම පොඩි ළමයෙක් නෙවෙයි. වයස අවුරුදු 8 ක විතර ලොකු ළමයෙක්. අන්න ඒ වෙලාවේ දොස්තර මහත්තය කකුලට ආපහු කටුවකින් ඇන ඇන මැහුම් 7 ක් දාද්දීනම් මට කට පියාගෙන ඉන්නම බැරි උනා. මගේ කටින් නරක වචනෙකුත් පිට උනා.
මම හිතන්නේ කුනුහබ්බයක්ද කොහෙද ඒක.

ඒ වචනේ මෙතන දාන එක හොඳද මන්ද, ඒත් ඉතින් ඔයාල දැන් ලොකු ළමයිනේ. ඒක නිසා මම දාන්නම්.
මම එයාට කෑ ගැහුවේ මෙන්න මෙහෙම කියලා......
"රිදෙනවා බල්ලෝ"..... කියල
ඒත් දොස්තර මහත්තය හිනා වේවි එයාගේ මැහුම් ගෙතුම් පන්තිය දිගටම කරගෙන ගියා නෙව.

14 comments:

  1. ලොකු අයියත් එක්ක බෑ අප්ප....මේ පුංචි කාලෙ එව්ව මතක් කර කර දිල්ටත් පුංචි කාලෙ එව්ව මතක් කොරෝනවා..වැඩේ කියන්නෙ එව්ව මතක් වෙද්දී අම්මයි අප්පච්චියි දෙන්නත් මතක් වෙනවනෙ....කමක් නෑ කමක් නෑ....

    ලොකු පුතාගේ අතේ පිහියක් තියෙනවා වගේ දිල්ගෙ අතේ තිබ්බෙ කෙවිටක්....ඇස් මානයේ තිබ්බ හැම එකටම ඒකෙන් තලන එක තමා මගේ පුරුද්ද....ඒත් ඉතින් ඒකෙන් පූස් පැටව්න්ට තලන්න ගත්තම අම්ම ඒ කෙවිට උදුරලා දිල්ටත් තලනවා....

    ReplyDelete
  2. මගෙනම් ගොඩක් වෙලාවට තිබ්බෙ කතුර.දොරරෙදි,ජනෙල් රෙදි, අම්මගෙ සාරි,මල්ගස් වල කොල ඔක්කොම කපනව ඒකේන් හික්

    ReplyDelete
  3. දිල්>>
    ඒ කියන්නේ ඔයා පොඩි කාලේ ගොපළු රස්සාවක් නොව කොරල තියෙන්නේ, යසයි
    ගොපල්ලෙක් නෙමෙයි ගොපළු හාමිනේ කෙනෙක්.. නෑ නෑ වැරදුනා මැණිකේ කෙනෙක්

    අතීතය මතක් කරලා හිත රිද්දුවනම් සමා වෙන්න ඕනේ....

    නදී>>
    සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
    ඒ කියන්නේ කවුරු කවුරුත් නිකන් ඉඳල නැහැ පොඩි කාලේ, මොන මොනවා හරි දෑතේ රස්සාවල් කොරල තියෙනවා

    ReplyDelete
  4. ලොකු පුතේ ඔය පොඩීකාලේ වැඩනම් මරු පහයි බං...
    මටත් ඔයවගේ පොඩි දෙයක් මතක් උනා...මයේ හිතේ මට අවුරුදු 5 විතර ඇතී.. ඔං අපේ ගේ ඉස්සරහ වත්තේ තැත්ත පැටියෙක් උන්නා ...වත්තේ දඟල දඟල හිටපු මං පොඩි එකා...අලී ගඩොල් කැල්ලක් අරන් අර තැත්ත පැටියට ගහපී..යස්ස වැඩේ කියන්නේ..තැත්ත පැටියා හිටියේ කම්බි වැටකින් වට කෙරුව වත්තක...
    කොහොම හරී තැත්ත පැටියට ගල් කැල්ලනං වැදුනේ නැ..අර කම්බි වැටෙන් අත දමාගෙන හිටිය මගේ අතනං කම්බි වැටේ පැටලීලා තූවාල වෙච්චී...
    ලොකු පුතේ මේ පැත්තේ ඇවිල්ලා පලයං
    raj-rajmyblog.blogspot.com

    ReplyDelete
  5. Raj >>
    ඔව් මචන්...
    පොඩි කාලේ වෙච්ච දෙයක් තමයි මතක් කරගෙන හිනා වෙන්නවත් තියෙන්නේ
    දැන් කාලේ වෙන දේවල් මතක් උනාම අඩන්නනේ වෙන්නේ
    ඔන්න මම ඒ පැත්තටත් ඇවිත් ගියා හදිස්සියේම වගේ
    මේ දවස් වල රෑ වැඩ නිසා ජාලගත වෙන්න වෙලාවක් නැහැ නොව හරියකට. :(

    ReplyDelete
  6. මම පුංචි කාලෙ කලේ කොහෙන් හරි තාත්තා හංගලා තියෙන බ්ලේඩ් තලයක් හොයාගෙන ඕනකමින්ම අත කපා ගන්න එක.... ඒ කාලෙ බ්ලේඩ් මාරු කරන රේසර් නොවැ තිබුනෙ.... මං ඒක කොහොම කලාද කියල මට හිතාගන්නවත් බෑ... අනේ ඉතින් අපේ තාත්තා පංච දුකක් වින්දා ඒවා හංගන්න.... දැන් ඒ ගැන හිතනකොට තමා මතක් උනේ... අපේ ගෙදර අය අද වෙනකම් දන්නෙ නෑ මං ඒ දේ උවමනාවෙන් කරගත්ත බවක්.... දැන්වත් කියන්න ඕන....

    "රිදෙනවා බල්ලෝ"..... හික්ස්...

    ReplyDelete
  7. ඔයානම් හරි ළමයෙක් නොවැ... :)
    ඔහොම කරලා හරියනවද, අම්මල තාත්තල දන්නවනම් බෙහෙත් නෙමෙයි ගුටි තමයි හම්බ වෙන්නේ
    දැන් උනත් පරක්කු නැහැ මේවා දෙමව්පියන්ට කියල ගුටි ඉල්ලා දෙන්න

    ReplyDelete
  8. ඔව් ඔව් මියුරුට ඇරියස් එක්කම ඉල්ලල තෙන්න තවම පරක්කු වැඩි නෑ.

    මම නම් උඹට වැද්දා කියන්නෙ නෑ ලොකු පුතා. මොකද වැද්දෝ ගාව තියෙන්නෙ කෙටේරියක්නෙ. ඔය වගෙම ඇඟිල්ලකට වැඩේ දීපු සිද්දියක් මම බ්ලොග් කරලා තියෙනවා. ඒක schedule කරලා තියෙන්නෙ ඉස්සරහ සතියකට.

    henryblogwalker the Dude

    ReplyDelete
  9. @ Dude
    ඔව් ඔව් ඒක ඇත්ත

    අයියගේ කතාවත් ඉක්මනට දාමු බලන්න

    ReplyDelete
  10. මෙන්න ඔය වගේ තවත් සිද්ධියක්.
    චූටි කෙල්ලෙක්ගෙ

    http://sammathayenobbata.blogspot.com/2011/10/blog-post_05.html

    ReplyDelete
  11. අනේ අනේ මෙයා දොස්තරට කතා කරලා තියෙන විදිය.. හිකිස්‌.

    ReplyDelete
  12. @ Chanaka Aruna Munasinghe
    මම ගිහින් බැලුවා, හරි අපුරු පුංචි කෙල්ලෙක්. මට එදා මකරට පිළිතුරක් දෙන්න බැරි වෙලා කියල දැක්කේ දැන්. සමා වෙන්න ඕනේ මකර රජතුමණි.

    @ වර්ණා
    පුංචියි කියලා ඔහොමත් රිද්දන එක හොඳ නැහැනේ ඉතින්, ඒකයි මට කේන්ති යන්න ඇත්තේ :)

    ReplyDelete
  13. හ්ම හ්ම්ම් එකනම් ඇත්ත..

    ReplyDelete
  14. මම පිහි සෙල්ලම් නම් කරලා නැහැ ඒත් මම හොඳ මැජික්කාරයෙක් කියල අම්ම කියනවා, හොඳට වැඩකර කර තියන සෙල්ලම්බඩු වැඩ නොකරන තත්වයට පත් කරන එක වගේම එකපාරක් තාත්ත අම්මට ගෙනල්ල දීපු පවුම් ගාණක මාලයක් හොයාගන්න බැරිවෙන්නම අතුරුදහන් කළාලු.

    ReplyDelete