මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන මගේ මලයා වැඩිපුර ජාලය පාවිච්චි කරන්නේ නැහැ, පාවිච්චි කලත් එයා ඔය බ්ලොග් ගැන එහෙම වැඩිය දන්නෙත් නැහැ කියන එකත් මට හොඳටම ෂුවර්. ඒක නිසා බයක් හැකක් නැතුව මේ කතාව ලියන්න පටන් ගත්ත. මොකද මේ කතාව එයා දකිනවට මගේ හිතේ මොකක්දෝ මන්ද කියන්න නොතේරෙන අකමැත්තක් තියෙනවා.
අපි ඉතින් පවුලේ බඩපිස්ස වෙච්චි මලයට කිව්වේ "පොඩ්ඩා" එහෙම නැත්නම් "පොඩි මල්ලි" කියලා. මට ඉන්න එකම මලය මු වෙච්චි. එහෙව් එකේ මමත් අක්කල කියන විදිහටම මෙයාට කිව්වේ "පොඩි මල්ලි" කියල තමයි.
හැබැයි මේකා පොඩ්ඩක් එක විදිහක් වගේ කියල තමයි මට ඒ දවස් වල තේරුනේ. මිනිහට පිළිවෙලකට වැඩක් පලක් කොරගන්ට බැහැ. සමහර වැඩ අර යකා දත් හිටෙව්වා වගේ තමයි. අපේ අම්ම මෙයා පුංචි කාලේ වස වැරද්දක් කරලා තිබුනා. මලය වම් අතින් වැඩපල කරන්න හුරු වෙනවා කියල දැකපු ගමන් අම්ම මොකද දන්නවද කොරල තියෙන්නේ, ඒකාව බලෙන්ම වගේ දකුණු අතට හුරු කොරල තිබුනා. එහෙම කරන්ට හොඳ නැහැ කියල අපේ අම්ම දැනගෙන ඉඳල නැහැ නොවැ.
ඔක්කොටම වැඩිය අමාරු දේ තමයි මෙයා පිහියකින් එහෙම මොකක් හරි කපද්දී ඒක බලන් ඉන්න තියෙන අමාරු කම. කොයි වෙලාවේ අත කපා ගනීද කියන්න බැරි ගානට තමයි වැඩේ සිද්ධ වෙන්නේ.
අපි පුංචි කාලේ අපේ ගෙදර ඉඳල පහලට එන්න තියෙන පාරට අවුරුද්දකට වතාවක් දෙකක් පස් දාල ලස්සනට හදනවා. මේක කරන්නේ වෙනින් කවුරුවත් නෙමෙයි ගමේ උදවියම තමා. ඒ වගේ දවස් වලට අපිටත් රජ මගුල්. පස් ගොඩේ දඟලන්න, කරත්ත පද්දන්න, ටයර් පද්දන්න. මේ වගේ නොයෙකුත් වැඩ රාජකාරි.
මට වැඩිය අවුරුදු 5 ක් බල වෙච්චි මගේ මලයා ඒ දවස් වල ඉතින් මගේ පස්සෙන්ම තමා. මම හිතන්නේ එයාගේ ලෝකේ වීරයා මම වෙන්න ඇති. මටත් ඉතින් මේ කාලේ හිටපු හොඳම සහයක ඩැනී මෙයා තමයි. මිනිහ පොඩි එකා උනාට මම කොරන දේම එයාටත් කොරන්ට ඕනේ. මම කරත්තයක් හදනවනම් එයාත් බැරි පුළුවන් ගාතේ කරත්තයක් හදනවා. මම බට තුවක්කුවක් හදනවනම් ඒත් එහෙමයි.
හැබැයි ඉතින් මෙයා මොන සෙල්ලම් බඩුව හැදුවත් ඒවායේ එච්චර ලකයක් මට පෙනුනේ නැහැ. කරත්තයක් හැදුවොත් ඒක අටපට්ටම්. තුවක්කුවක් හැදුවොත් ඒකෙන් වෙඩි තියන්න බැහැ. ඉතින් මටම තමයි ඒක අඩු පාඩු හදල දෙන්න වෙන්නේ. කැටපෝලයක් හැදුවොත් ඒකෙන් ගල් එකක් දෙකක් විදපු ගමන් එක්කෝ පටිය ලිහිල යනවා, නැත්නම් කැඩිලා යනවා.
මේ මොන දේ වුනත් පුංචි කමට හරි මිනිහත් කිසිම ගේමක් අත ඇරියේ නැහැ.
ඒත් ඉතින් දැන් මට හිතෙන්නේ අපි දෙන්නගේ වයස පරතරය නිසා වෙන්න ඇති මම එච්චරටම අඩු පාඩු දැක්කේ කියල තමයි. ඒත් ඉතින් ඒ කාලේ මම හිතාගෙන හිටියේ මෙයා තමයි මට ඉන්න ලොකුම තරඟකාරය කියලනේ. මොකද මෙයා නිසානේ එක පාරටම හොඳට හිටපු මාව ලොකු පුතා කෙනෙක් උනෙත්. ඉතින් එහෙව් තරඟකාරයෙකුට උදව් පදව් කොරල මේ කොරන සෙල්ලම් වලින් මට පරදින්නත් බැහැනේ.
අපේ ගෙදරට උඩහින් තියෙනවා ලොකු කන්දක්. ඕකේ උඩම හරියට වෙන්න තියෙන්නේ කැලා වදුලකුයි කැකිල්ල ගාලකුයි. මේ හරිය ටිකක් අඳුරුයිත් එක්ක, ඒ මදිවට වල් උරෝ, ඉත්තෑවෝ එහෙමත් හිටිය හරියට. හිටිය විතරක් නෙමෙයි තාමත් ඉන්නවා.
මටත් ඉතින් ඔය දිහාවේ හරි හරියට වැඩ රාජකාරි, කරත්ත හදන්න ලී කපන්න, තුවක්කු හදන්න එහෙමත් නැත්නම් වෙසක් කුඩු හදන්න බට කපන්න, ඊට පස්සේ තුවක්කු වලට දාන්න උණ්ඩ හොයන්න යන්න. ඒ කියන්නේ වෙන මොකුත් නෙමෙයි "බලුදන්" හොයන්න යන්න. එහෙමත් නැත්නම් අන්නාසි ගලේ අන්නාසි ඉදිලද බලන්න යන්න. මෙන්න මේ වගේ වැඩ වලට කොච්චරවත් එහෙ යන්න වෙනවා. ඉතින් එහෙම යද්දී තවත් කවුරු හරි ඉන්න එක කොයිකටත් හොඳයිනේ. තනියම යන්න බයකට එහෙම නෙමෙයි ඕන්.
ඔය කොහේ ගියත් මගේ තනියට අඬගහන පරක්කුවෙන් මේකා මගෙත් එක්ක ඇති. අනේ ඉතින් එකට ගිහින් බලුදන් කඩාගෙන ආවත් ඒකෙන් වෙඩි තියන්නෙත් ඒකටමනේ. මොකද මට වඩා අවුරුදු 5 ක් බාල වෙච්චි ඌට මගෙත් එක්ක හැප්පිලා දිනන්න බැහැනේ.
මට මතක විදිහට එදා අපි පාර දිහාවට කරත්ත සවාරියක් ගෙහුං එමින් ගමන් උන්නේ. අපි දෙන්න දැක්ක තරමක් වේලිච්ච "හා බෙටි" ගොඩක්.
ඔයගොල්ලෝ ඒවා දන්නවනේ, අර ලස්සනට හුරුබුහුටියට බෝල බෝල තියෙන්නේ. අන්න ඒවා...
ඉතින් ඕක දැක්ක ගමන් මලය මගෙන් අහපි "අයියේ මේ මොනවද" කියලා.
මමත් ගත කටටම කිව්වේ නැතා "ආ මේ වේලිච්ච දන් ගෙඩි ටිකක්නේ" කියලා.
මෙයත් ඉතින් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ටක් ගාල එයින් ටිකක් අහුලාගෙන කටේ දා ගත්තේ නැතැයි.
ටික වෙලාවකට පස්සේ මම ඇත්ත කිව්වා විතරයි මේකා "තුහ් තුහ්" ගාල ඒ ටික විසික්ක කොලා....
එච්චරයි, ආයේ ඉතින් "ඊක් මීක් ගෑවිලි" "වමනේ දාන්න හැදිලි" එව්වා මොකුත් නැහැ...
මම මේ නරුම වැඩේ කලාට ඌට ඒක එච්චර ගානක් නැහැ, ඉතින් ගෙදර ගියාට පස්සේ මමම මේක අම්මලට (අක්කලාද ඇතුලත්ව) කිව්වා. ඔන්න එයාලනම් "පව් පොඩි එකා" කියල අනන් මනං කිව්වා මිසක් මටත් ලොකුවට දොස් කිව්වේ නැහැ.
පස්සේ කාලෙක මේක මතක් කලාම උනත් ඌ කිව්වේ "ආපහුනම් උඹ කියන එව්වා විස්වාස කරන්නේ නැහැ" කියල විතරයි.
ඒ දවස් වල මගේ තවත් එක නරුම වැඩක් තිබුනා.. ඒ තමයි අතට අහු වෙන ලනු කෑලි, රෙදි පටි කෑලි වගේ දේවල් වලින් මලයව එක්කෝ ගහකට තියල එහෙම නැත්නම් නිකම්ම හරි තදට ගැට ගහන එක. එයාට තියෙන්නේ කොහොම හරි ඒකෙන් නිදහස් වෙන එක. මිනිහ එකට එච්චර අකමැත්තක් පෙන්නුවෙත් නැහැ. ඉතින් මේ වැඩේ දවස් කීපයක්ම සිද්ධ උනා අම්ම දකිනකම්ම.
ඒ දැකපු වෙලාවේ අම්ම මට ටිකක් ආදරයෙන් සැළකුවද කොහෙද...
කොහොම හරි ඒ දවස් වල මට උගේ පොඩි කම පෙනුනේ නැහැ, මම ගොඩක් වෙලාවට ඌට මගේ ලොකු කම පෙන්නුවා කියලයි දන් මට හිතෙන්නේ.
ඒත් මම ඌව තුරුලට අරගෙන හුරතල් කරපු දවස් නැතුවමත් නෙමෙයි. සමහර වෙලාවට මම උගේ කන් පෙත්ත කටේ දාගෙන සුප්පු කරනවා ආදරේට.
කොහොම උනත් මම ඌට දීපු වධ වලට කෑ ගගහ ඇඩුවේ බොහොම කලාතුරකින්.
මේක ලියාගෙන යද්දී මම ඌට කොච්චර වධ දුන්නද කියල මතක් වෙලා යතුරු පුවරුව බොඳ වෙච්ච වාර ගාන මතකත් නැහැ.
මට ඌට මීට වඩා හොඳින් ඉන්න තිබුන නේද කියල මට දැන් හිතෙනවා.
ලබන ආත්මෙත් උඹ මගේ මල්ලි වෙලා ඉපදියන්. එතකොට මම මගේ වැරදි හදාගෙන උඹට හැමතිස්සෙම ආදරෙන් ඉන්නම්.
මීට,
අයියා.
ෂික්...හරි සවුත්තුයි....මෙයා නම් මල්ලිට හොඳම රැග් ටික දීලා තියෙන්නෙ...පව් කොල්ලා..
ReplyDeleteබලු දන් කිව්වම මතක් උනේ....ඉස්සර හොරාට බලු දම් උර ගනන් කඩන් ඇවිත් කන්නෙ...කට දම් පාට නෙමේ කළු පාට වෙනක්ම්...දැන් බේතකටවත් දකින්න නෑ
දිල්>>
ReplyDeleteඒකනේ මටත් දැන් දුක...
දිල් මම හිතන්නේ ඔයා කන්න ඇත්තේ බලුදං නෙමෙයි, සාමාන්‍යය දං වෙන්න ඕනි.
මොකද මේ බලුදං කන බවක් මම දැනගෙන උන්නේ නැහැ නොවැ
යකො උඹ හරී වාසනාවන්තයි බං උඹට අක්කේකුයි මල්ලියේකුයි දෙන්නම බැලන්ස් ....ඔව ඔහොම තමා ..මායි අපේ ලොකු අම්මගේ පුතා,.. හැබැ ඌ මට මලය වෙච්චී...අපී දෙන්නත් පොඩිකාලේ ඔයවගේ තමා..මචො..
ReplyDeleteඔය බට තුවක්කු කෙස් එක අපිත් ජයටම කොලා...බං ඒ කාලේනං මේ කාලේට වඩා මරු...
Raj >>
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට
මට අක්කලම තුන් දෙනෙක් ඉන්නවා, එක මලයයි ඉන්නේ
ඒ කාලේ තමයි කාලේ....
සහෝදරයෙක්ගේ වටිනාකම තේරෙන්න එකෙක් නැතිවෙන්න ඕනෛ බං.. මටත් දුක හිතුනා උඹේ මලයා ගැන...
ReplyDeleteතිස්ස දොඩන්ගොඩ>>
ReplyDeleteබොහොම සන්තෝසයි මේ අහ ගොඩ වැදුනට... ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
ඔබ ගැන අහල තිබුනට පළවෙනි වතාවටනේ අපි මේ හම්බ වෙන්නේ...
අනේ අපේ පුංචි කාලෙ....! මට දුක අද කාලෙ ලමයින්ට ඒ කාලෙ අපි විඳපු දේවල් වලින් බාගයක්වත් විඳින්න අවස්ථාවක් නැති එක ගැන...ඒ ලමයින්ට ඉස්කෝලෙ යන්නත් කලින් ඉඳලම විඳින්න නෙවෙයි විඳවන්නනෙ වෙලා තියෙන්නෙ ටියුශන් රේස් එකත් එක්ක....
ReplyDeleteඅද හරියකට දං පඳුරක්වත් හොයාගන්න තියෙනවද මන්දා... හාවො තියා හා බෙට්ටකවත් උඳුපියලිය ටිකක්වත් ස්වාභාවික පරිසරයෙ තියෙනවා දැකපු කාලයක් මතක නෑ...
මම ලොකු පුතා මල්ලි කතා ලියන විලාසයට හරිම ආසයි...
බොහොම ස්තුතියි මේ කමෙන්ටුවටනම්, ඒක මට ලොකු හයියක්...
ReplyDeleteමටනම් එහෙම දුකක් නැහැ මියුරු අක්කා..
කවදාහරි මගේ පොඩි එව්වෝ මම වින්දටත් වැඩිය හොඳට ගමේ කම, පරිසරය, නිදහස බුක්ති විඳියි කියල මට හොඳටම විශ්වාසයි
ගොඩක් නුගත් අම්මල තමයි එයාලේ ළමයින්ව ඔය රේස් එකේ යවන්න දත කවන්නේ
ඒත් එහෙම ගිය ළමයි කොච්චනම් අනාථ වෙනවද කියල ඇස් පනාපිටම පේනවා විභාගෙක ප්‍රතිපල අවහම
මාවනම් කවදාවත් එහෙම බලෙන් ටියුෂන් යවන්න හැදුවේ නැහැ මගේ අම්මා
එයා මට දීපු නිදහසේ අගය මම දන්නවා
මම මේකෙන් අදහස් කලේ මල්ලි, ඒ කාලෙ ගොයම් කැපුවට පස්සෙ අපි ඒවයෙ මොනතරම් නටනවද? ඒත් අද දරුවෙකුව බය නැතිව කුඹුරකට බස්සන්න පුලුවන්ද? එහෙන් කෘමිනාශක, තව පැත්තකින් මී උන... ඒ දවස්වල කුඹුරුවල දකින්න හිටිය තිත්ත පැටවු අද කෝ...? අර සිරීපාදෙ වඳින්න ගිය ලා කහ පාට සමනල්ලු.... ගේ කුරුල්ලො....වී කුරුල්ලො....? ඒවා පැත්තක තියමුකෝ.... ආරක්ශාව....? අද ගෙයින් එලියට යන දරුවා දිහා දෙමව්පියන්ට ඇහැ ගහගෙන ඉන්න වෙලා... එහෙන් කාමාතුරයො....මෙකී නොකී නොයෙකුත් ජාති.....
ReplyDeleteමමත් ටියුශන් ගියේ A/L වලදි විතරයි... මගෙ අම්මා විද්යා ගනිත ගුරුවරියක් නිසා O/L වලදි ගෙදරින්ම ටියුශන් ලැබුනා.....
මටත් දුක හිතුනා මල්ලි ගැනනම්...හැබැයි අර කන සුප්පු කරන එකනම් හරිම සුවිට්....:)
ReplyDeleteදැනුත් මල්ලිට ඔහොම කරනවද ඉතින්?
@ සයුරි
ReplyDeleteසාදරයෙන් පිළි ගන්නවා ඔබව....
අනේ දැන් ඌ මටත් වඩා ගොඩක් ලොකුයිනේ, ඒ වගේම දැන් ඒ කාලේ හිටපු හුරතල් පොඩි එකාත් නෙමෙයිනේ
ඉතින් කොහොමෙයි එහෙම කොරන්නේ
අනේ ලොකු පුතේ උඹ මගෙ සහෝදරයා නොවිච්ච එක වාසනාවක්.
ReplyDeleteවිහිලු. විහිලු.
ඕන් මතකය ඇවිස්සිලා ඉවුරු කඩාගෙන එනවා.
ලොකු පුතාට කියන්න මමත් ගෙදර ලොකු අයියා.
නංගි මට වඩා අවුරුදු 4කුයි මල්ලි මට වඩා අවුරුදු 9 කුයි බාලයි.
ඌ කොම්පියුටර් සොෆ්ට්වෙයා එන්ජිනියර් කෙනෙක්. මම 2007න් පස්සෙ දැකලා නෑ. ඉන්නෙ රටවල් දෙකක.
එත්කොට අපිට බට තුවක්කු වලට් දාන්න රෙකමෙන්ඩ් කරලා තිබ්බෙ පොඟවපු කඩදාසි ගුලි. අට ඇට ජාතිය කිරිල්ල. ඒක බෑන් කරලා තිබ්බෙ මගෙ හැසිරීමෙ හොඳකමටයි මම accident prone නිසයි.
මමත් හරිම සෑඩිස්ට් සමහර වෙලාවට. මමහරි කැමතියි ඔය සෙනග පිරුනු තැන්වල මූව දාලා ගිහිල්ලා හැංගිලා බලාගෙන ඉන්න. මූ මාව හොයාගන්න බැරුව අඬනකොට මම ගිහින් මූව බදා ගන්නව. මූ ඇඟේ එල්ලෙනවා කිටිකිටියෙ.
බලං ගියාම දෙන්නම නල්ල මලේ ලොකු අයියලා නේද.
henryblogwalker the Dude
@ Dude
ReplyDeleteඅයියලා කවුරුත් එකයි වගේ බලාගෙන යනකොට... හික් හික්
සතුටු වෙන්න හරි දුක වෙන්න හරි ලස්සන අතීතයක් තියෙනවා.. එක ගැන සතුටුයි.. මගේ අයියත් එහෙම තමයි.. දෙන්න පුළුවන් හැම රැග එකක්ම මටයි මල්ලිටයි දීල,දැන් තාත්තා කෙනෙක් වගේ අපිව බලාගන්නවා.
ReplyDelete@ වර්ණා
ReplyDeleteඔව් නගෝ, ඒක ඇත්ත.
ඔයාගේ අයියත් ඒ කියන්නෙ රැග් ඒක දීල තමයි අලුත් අයව පිළිඅරගෙන තියෙන්නේ. අයියා ඔයාලව බලන්නේ නැතුව කොහොමද, රෑට රෑට හොරු අල්ලන්න එළියට යන නංගියව පරිස්සම් කර ගන්නත් එපැයි නේද :)
රැග් නම දුන්න හෆොයි මදි නොකියන්න, අයියා ඉතින් අවුරුද්දකට දෙපාරක් ඇවිත් අපිව බලලා යන්නේ අයියේ.. ඒ උනත් හැමදාමත් අපේ තනියට ඉන්නවා, හැම මොහොතකම, එක හිතට ගොඩාක් ලොකු හයියක්..
ReplyDelete