Sunday 12 February 2012

මගේ මුල්ම ඉංගිරිස් පන්තිය

මේ කියන කාලේ මම හිටියේ 3 වසරේ වගේ. මේ කාලේ වෙද්දී අපේ පැත්තේ ටියුෂන් පන්ති ඒ තරම් ජනප්‍රිය වෙලා තිබුනේ නැහැ. හැබැයි ඉතින් කවුරු හරි කෙනෙක් බොහොම සුළු මුදලක් අරගෙන උගන්නන පොඩි පොඩි පන්ති එහෙම තිබුනා.
අපේ ගෙදරට එහා ගෙදරට එහා ගෙදර හිටපු මාලා අක්කත් මේ වගේ පුංචි ඉංග්‍රීසි පන්තියක් දාල තිබුනා. එයා අපෙන් ගත්තේ මාසෙකට රුපියල් 10ක් හෝ 15ක් වගේ ගානක් කියල තමයි මට මතක. ඒ පන්තිය තිබුනේ එයාලගේ ගෙදරට පහළින් තිබුන රබර් ඉඩමේ මැදකට වෙන්න හදල තිබ්බ පුංචි මඩුවක. මේ රබර් වත්ත තිබුනේ බෑවුමක.
අපේ පන්තිය තිබුන තැන විතරක් පොඩ්ඩක් සමතලා කරලා තිබුනේ. වත්ත පුරාම කොඩි වැල් වැවිලා තිබ්බ ලස්සන රබර් වත්තක් ඒක. කොඩි වැල් කියන්නේ රබර් වතුවල පස් සංරක්ෂණයට වවන රනිල කුලයට අයත් ශාක වර්ගයක්. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ Mucuna bracteata කියලා. සෝයා සහ බෝංචි වැනි ධාන්‍යය වර්ග අයත් වෙන්නෙත් මේ කුලයටමයි. ඒ කියන්නේ විපක්ෂ නායක තුමාගේ(රනිල) කුළයේ.
ජායාරුපය ගත්තේ මෙතනින්
අපි ඉගෙන ගත්තේ ලෑලි පටි ගහල හදල තිබුනේ පුංචි මේස සහ බැංකු වල. මේ පන්තියේ මේ වගේ ඩෙස් පේළි තුනක් තැබුණා. ඒ වගේම ළමයි දහ දොළොස් දෙනෙකුත් හිටියා. එකම පන්තියේ වාඩි වෙලා හිටියට මාලා අක්කා ඒ ඒ ළමයගේ පන්තිය අනුව තමයි උගන්වන එක කරන්නේ. අපිටත් පොඩි පොඩි පාඩම් වැඩ දුන්නා කරන්න.
මමයි චුටි අක්කයි ඇරෙන්න මේ පන්තියේ හිටපු අයගෙන් මට මතක අපේ පන්තියේ හිටපු රොෂාන්වයි, චුටි අක්කලාගේ වයසේ හිටපු උරේෂා අක්කවයි, මෙලානි අක්කවයි විතරයි.
අපි මේ පන්තියේ ආසම කරන වෙලාව තමයි විවේක කාලය. අපිට විනාඩි හතළිස් පහක හරි පැයක හරි වගේ "පුංචි" විවේක කාලයක් තමයි මේ පන්තියේදී ලැබුනේ. ඒ විතරක්යැ මාලා අක්ක ගෙදරට ගිහිං අපිට තේ එහෙමත් හදල අරගෙන එනව හැමදාම වගේ. සමහර වෙලාවට එයාලගේ ගෙදර හදන කිතුල් හකුරු එක්ක කහට. සමහර දවස් වලට මොනවහරි කැවිල්ලක් එක්ක තේ.
ඊට පස්සේ තමයි විවේක කාලයේ තියෙන හොඳම හරිය. අපි මේ රබර් වත්තේ කොඩි වැල් ගාලේ ඔට්ටු සෙල්ලම් තියනවා. දුවන සෙල්ලම් කරනවා. බෑවුම් ඉඩමක් උනත් අපිව වැටුනට ගානක්වත් නැහැ අර කොඩි වැල් ගාල නිසාත් බිම පුරා තට්ටු පිටින් ගොඩ ගැහිලා තියෙන වේලිච්ච රබර් කොළ නිසාත්.
සමහර වෙලාවට අපි පොරබදනවා කොඩි වැල් ගොඩේ පෙරළිගෙන. ඒ වගේම කන්ද පහළට පෙරළිගෙන යනවත් එක්ක. අපි පුදුම සතුටක් ලැබුවේ මේ විවේක කාලයේදී.
වගේම අපි ඒ රබර් වත්තේ තැනතැන වවල තිබුන මඤ්ඤොක්කා ගස් වල ටිකක් ළපටි හරිය කඩාගෙන කෝටු කෑල්ලක් ඒවායේ ඇතුළට දාල තද කරලා ඇතුලේ තියෙන සුදු පාට බඩේ ගලවල ගන්නවා. අපි මේවා ගලවගන්නේ ගෙදර අරගෙන යන්න. මඤ්ඤොක්කා බඩ පුංචි පුංචි කෑලි වලට කපලා කුකුල් සායම් වල දාල එක එක පාට කරගෙන ලස්සන මෝස්‌තර අලවනවා පොත් වල. එහෙමත් නැත්නම් කොස් කොළ ඔටුනු,  මඤ්ඤොක්කා කොළ වලින් හදා ගන්න මාල දාගෙන කෝටු කෑලි වලින් කඩු හරඹ කරනවා.

මේ විදිහට ඕනෙනං අපි මාස පහ හයක් මාලා අක්කගේ පන්තියට යන්න ඇති. හදිස්සියේම මාලා අක්කට ලැබුණු ගුරු පත්වීමක් නිසා අපේ පුංචි පන්තිය නවත්වන්න සිද්ධ උනා. අපිට එදානම් ගොඩක් දුක හිතුනා.
මම ගිහිං තියෙන මුල්ම සහ හොඳම ටියුෂන් පන්තිය හදිස්සියේම නවත්වන්න උනා මෙන්න මේ විදිහට.

37 comments:

  1. මාත් ටියුෂන් එකකට ගියා අටේ පන්තියේ විතර. වැඩිපුර කලේ ක්‍රිකට් ගැසීමයි!

    ReplyDelete
    Replies
    1. අපි පන්ති ගිය තැන්වල ක්‍රිකට් ගහන්න තරම් ඉඩක් තිබුනේ නැහැ
      අපි පොඩි කාලේ කලේ වෙනවෙන පුංචි පහේ සෙල්ලම්
      හැංගි මුත්තන්, හොරා පොලිස්, ඔට්ටු සෙල්ලම්, රබර් ඇට වලින් ටීක්‌ ගහන එක වගේ එව්වා
      තව කල්ලි ගහනවා කියල සෙල්ලමකුත් කළා
      කතන්දර මහත්තයත් පරණ කතා ටිකක් ලිව්වොත් මොකද
      අපේ පුංචි කාලෙටත් වැඩිය අපුරු සිදුවීම් සිද්ධවෙලා ඇතිනේ

      Delete
    2. කතන්දර මේ මොනවා කියනවද, අපි ගාන්ඨාර කුලුන විකට් එකට අරං දහම් පාසලේ ක්‍රිකට් ගැහැව්වෙ....

      Delete
  2. මේක මටත් බොහොම හුරු පුරුදු පරිසරයක්.. ඇයි රබර් ඇට වැටෙන කාලෙට අර ටීක් බෝල වගේ රබර් ඇට ගහනවා.. රබර් ඇට ගලක අතුල්ලලා අතුල්ලලා රත් වුනහම කාගෙ හරි අතේ හරි කකුලෙ හරි තියනවා.. නැත්නම් රබර් ඇට වලින් රූං පෙති හදනවා..බොහොම සුන්දර කාලයක්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපිත් ඒ කාලේ ඒ සෙල්ලම් හැමඑකම වගේ කළා
      ටීක්‌ ගහන්න ඕනේ කරන බර වැඩි රබර් ඇට එකතු කරන එක ඒ දවස්වල හරි හරියට කලා
      ඇත්තටම ඒ සුන්දර කාලේ මතක් කලත් පුදුම සතුටක් දැනෙන්නේ

      Delete
  3. සිරා කිව්වා.. රබර් ඇට වගේ ගෙඩි වගයකින් අපි දෙකට බෙදිල කැච් ඇල්ලුව :)

    ඔන්න අද සිට මගේ බ්ලොග් රෝලටත් දාගත්තා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්
      කැච් අල්ලන්න රබර් ඇට සයිස් ගෙඩි පොඩි වැඩියිනේ බං...

      උඹත් මගේ රෝලේ ඉන්නවා :)

      Delete
  4. ලොකු පුතා සිරාවට මට මාර සිදුවීම් ගොඩාක් මතක් වෙනවා.අපරාදේ මචං අපි හරි ඉක්මනට ලොකු වුනානේ.මමත් ඉංග්‍රීසි පන්තියකට. අපි ගියේ ඉන්ටවල් එකේ සෙල්ලම් කරන්න ගුටි පන්දු සෙල්ලම තමයි වැඩිපුර කලේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත බන්... ඒ තිබ්බ කාලෙන් අපි ගත්තු ප්‍රයෝජන මදි වගේ කියල දැන් හිතට දුකකුත් දැනෙනවා
      ගුටි පන්දු කෙලිය කියන එකට අපි ඒ දවස්වල් කිව්වේ සම්බෝල කඩනවා කියලා
      අපෝ මතක් වෙනකොටත් පිට පුපුරු ගහනවා වගේ :)

      Delete
  5. මටත් මතක් වුනා රබර් ඇටේ රූං පෙත්ත හදපු හැටි එහෙම ඉස්සර අපේ ගේ පිටිපස්සේ රබර් යායක් තිබුනේ මීමින්නොත් හිටිය පුංචි කැලෑවකුත් තිබුනා දැන් ඒ හැම දෙයක්ම නෑ තනිකර ගෙවල් රොත්තක් තියෙන්නේ ඒ ගෙවල් හැදීම නිසා අපේ ගෙදර තිබුනු ලොකු ගොඩපර ගහත් කැපුවා අපරාදේ....මුල්ම ඉංග්‍රීසි පන්තිය කිව්වාමයි මට මතක්වුනේ මම මොන්ටිසෝරි යන කාලේ ඉඳන් සා/පෙ ලියනකන් මට ඉංග්‍රිසි ඉගැන්නුවා ආදරණීය ගුරුවරියක් ශ්‍යාමලී ද සිල්වා කියලා ඒ ගුරුතුමීව නිකන්ම මතකෙට ආවා

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ... මොන තරමක සතුටක් අපි වින්දද ඒ පොඩි පොඩි සෙල්ලම් බඩු වලින්
      මම ඉස්කෝලේ හතේ අටේ වගේ හිටපු කාලේ අපේ ගේ උඩහ කැලේ එළි කරලා තේ වැව්වා
      ඊට පස්සේ අවුරුදු 18 ක් ගිහිල්ලත් අපේ ගේ හරියේ කිසිම වෙනසක් වෙලා නැහැ කියල කිව්වොත් පිළිගන්න පුළුවන්ද
      හැබැයි ටිකක් එහාට වෙන්නනම් පොඩි පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා
      ගම තාමත් ලොකු වෙනසක් නැතුව තියෙන එක තරම් සතුටක් මට තවත් නැහැ

      ඔබේ ගුරුතුමීට දීර්ඝායු වේවා...

      Delete
  6. මේක මගෙ බ්ලොග් එකේ අප්ඩේට් වෙලා නෑනෙ. මේ ඔබා අයියගෙ ලින්ක් එකෙන් ආවෙ.
    ඔය පන්තියෙන් අර අක්කට ආර්ථික ලාභයක් නම් ලැබෙන්න නැතුව ඇති. ඇයි බං උඹලට තේ රසකැවිලි හෙම ගිල්ලවන්න ගියාම රුපියල් පහලවක් අරගෙන. හික්ස්
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බ්ලොග් මහත්තය හැමදාම මොනවහරි පිස්සුවක් නටන එක දැන් පුරුද්දට අරගෙන

      තේ ටිකක් බොන්න දෙන්න මහ ගානක් යන එකක්යැ :)
      ඒ කාලේ රුපියල් 15 ක් කියන්නේ ලොකු ගානක්නේ අයියේ

      Delete
  7. මාත් පොඩි එකා කාලේ ගියා ගෙදර ලඟ තිබ්බ... පංතියකට.... ඒකේ ගිහින් කලේ අපේ වයසේ ඒ මැඩම්ගේ පුතා එක්ක සෙල්ලම් කොරන එක තමා.
    පොඩි කාලේ දේවල් හරි සෝක් අප්පා මෙහෙම මතක් කරන කොට.

    ReplyDelete
    Replies
    1. හප්පේ උඹ පොඩි කාලේ ගොහින් තියෙන්නේ එසේ මෙසේ තැනකට නෙමෙයි වගේ....
      අතීත මතක කොහොමටත් සුන්දරයි සහෝ

      Delete
  8. මෙහෙ ටියුෂන් කලාස් වල සිදුවීම් නම් කියල වැඩක් නෑ...මම ආසම නැති දේවල් නිසා ලියන්නෙත් නෑ......ඉස්සර අපේ ගෙදරට ආව නන්දි අක්ක කියල ශෝයි අක්කියෙක් මට සිංහල කියල දෙන්න...එයා අපේ ලොකු අයියට 'බැල්ම දානව' කියල අම්ම එයාව නැවත්තුව....

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද
      ඒ අක්ක චෝයි අක්කියෙක්නම් ඔයාලගේ අම්මා ලොකු අසාධාරණයක්නේ කරලා තියෙන්නේ ඔයාගේ ලොකු අයියට :)

      Delete
  9. අපිත් ඔය විදියට මඤ්ඤොක්කා බඩ ගලවලා ගත්තා සෙල්ලම් කඩ වල සිගරට් හැටියට පාවිච්චි කරන්න..:) රබර් වත්ත දක්කමනම් ආස හිතුනා..

    ReplyDelete
    Replies
    1. ආආ‍ දැන්නේ මටත් මතක් උනේ, අපිත් ඒවා ගත්තනේ සෙල්ලම් කඩවල සිගරට් විදිහට
      අපේ ගේ වටේටම වගේ තාමත් තියෙන්නේ මේ වගේ රබර් වතු තමා,
      මම ගෙදර ගියාම කැමරාවකුත් එල්ලගෙන එහෙමෙහෙ යන එක තමයි රාජකාරිය

      Delete
  10. මඤ්ඤොක්කා බඩේ කටේ ගහං ඉඳලා තාත්තා පස්සෙන් ඇවිල්ලා ටොක්ක අනිනකං දැක්කේ නෑ.....සිගරට් එක වගේ අල්ලං හිටියේ...මගේ පලවෙනි මොන්ටිසෝරිය තිබුනෙත් රබර් වත්තක් ලඟ...රබර් ඇට බිම උලලා එක එකාගේ ඇඟේ තියන එක තමයි ආතල්ම වැඩේ...

    ReplyDelete
    Replies
    1. උඹ පොඩි එකා සන්ධියේ ඉඳලම මැර වැඩනේ කරලා තියෙන්නේ
      ඉතින් නොගහ පුළුවනෑ
      රබර් ඇටේ අල්ලන එකාට තියෙන ආතල් එක වගේ නෙමෙයි ඒකෙන් පිච්චෙන එකාට :(

      Delete
  11. //අපිට විනාඩි හතළිස් පහක හරි පැයක හරි වගේ "පුංචි" විවේක කාලයක් තමයි මේ පන්තියේදී ලැබුනේ.//

    ඒ වගේ පුංචි විවේක කාලයක් ඇහුවමයි....බොහොම සුන්දර මතකයක් වගේ....

    ReplyDelete
    Replies
    1. ඒ පන්තියේදී විතරයි අපිට ඔය තරම් "පුංචි" විවේක කාලයක් ලැබුනේ...
      පුංචි කාලේ මතක කොහොමත් හරි සුන්දරයි තමයි දැන් මතක් කරද්දී

      Delete
  12. මටනම් මතක ඉස්සරලාම සිස්සත්ත පන්ති ගිය හැටි.. අය්යෝ ඒ කාලේ මතක් වෙනකොට..... මමනම් මගේ පොඩි එකෙක්ට එහෙම වදයක් දෙන්නේ නෑ, ඉස්කෝලේ ඇරිලා නුවර තිබ්බ පන්තියට ගාටල හවස 5 වෙනකම් ඉන්න එක පොඩි එකෙක් වෙච්චි මට එපා කරපු දෙයක්. ඊට පස්සේ බස් වල තදවේවි තදවේවි ගෙදර එන එක, එක දවසකද දෙකකද මට කලන්තෙත් හැදිලා තියනවා ඔය දවස් වල බස් වල. එත් අම්මගේ උවමනාවට මට බලහත්කාරෙන් පන්ති ගාටන්න උනා. අන්තිමේ පන්තියේ එක දෙක උන එකා සිස්සත්තේ පේල් වෙන්නත් ඔය කෙහෙම්මල් ටියුෂන් ටික ලොකු උදව්වක් උනා.

    ReplyDelete
    Replies
    1. හපොයි... උඹටත් වෙලා තියෙන හදියක්
      උඹ ගියා වගේ පන්තිනම් ඕනෙම නැහැ
      ඒත් ඉතින් සමහර අම්මලා ජනප්‍රිය පන්ති වලට විතරනේ තමන්ගේ දරුවාව යවන්න හදන්නේ
      පොඩි එව්වන්ට නිදහසේ ඉන්න දෙන්න ඕනේ කියන මතයේ තමයි මම ඉන්නේ

      Delete
  13. ඔය වගෙ පන්ති අපිට නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ තිබුනා... ඒ කාලේ අපි අඳුරනවානම් මම එන්න කියනවනේ අපේ පුංචි පන්තියට
      අපරාදේ චෑන්ස් එක මිස් උනා :)

      Delete
  14. මමත් පොඩි කාලේ ටියුෂන් පන්තියකට ගියා, වැඩි හරියක් කලේ ගුරුතමයි ගෝලයොයි එකතු වෙලා ක්‍රිකට් ගහපු එක. ඉතාම දක්ෂ ගුරුවරයෙක්, ඉගෙන ගන්න ගත කරපු සුළු කාලෙ ඇතුලේ සාම්ප්‍රදායික නොවෙන විධියට උගන්නල අපේ ගණිතය දැනුම නං ඉහලම මට්ටමකට ගෙනාව.

    ReplyDelete
    Replies
    1. අන්න නියම ගුරුවරු....
      ඔබා මාමගේ කාලෙත් ටියුෂන් තිබ්බා කියන එකෙන් පේනවා ලංකාවේ ටියුෂන් ඉතිහාසය සෑහෙන්න පරණයි කියන එක.... :)

      Delete
  15. ඉංග්‍රීසි පන්ති කිවුවම මතක් උනේ.. මමත් මෙහෙම ගිය ඉංග්‍රීසි පන්තියක උන ලස්සන කතාවක් මට මතක් උනා.. මම පස්සේ ඒක ලියන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. අමතක වෙන්න කලින් ලිව්වනම් තමා හොඳ...

      Delete
  16. ලස්සන මතකයක්... අපි පුංචි කාලෙ අත්තම්මගෙ ගමේ අර මං මගේ කතාවල කියල තියෙන ගයනි 5 පන්තියට වෙනකම් ගියේ මේ වගේ ඉස්කෝලෙකට.... ඒක ටියුෂන් පන්තියක් නෙවේ.... ආණ්ඩුවේ ඉස්කෝලයක්.... මේ කියන විදියෙ පරිසරයක තමයි තිබුණෙ.... මට ඒක මතක් උනා ඔයාගෙ කතාව කියවද්දි....

    ReplyDelete
    Replies
    1. පුංචි සන්ධියේ මතකයන් කොහොමත් ලස්සන තමයි මියුරු අක්කේ....

      Delete
  17. 01. ඇත්තටම ගුරුවරී නං නියමයි වගේ. නැත්තං මොන ටියුශන් පන්තියෙද තේ දෙන්නෙ.

    02. විවේක කාලෙනං හොඳටෝම මදි!!!

    03. අර මයියොක්කා දන්ඩේ මැද තියෙන කෑල්ල අරං කුකුල් සායම් වල පොඟවලා අපි කරන්නෙ වෙන දෙයක්. ඒවා හීනි තීරු වලට කපලා, වේලිච්ච ක‍ටු අත්තක් අරගෙන අර කෑලී ඒ කටු අත්තෙ ගහලා වෙනම ගහක් නිර්මාණය කරන එක.

    මේ ව‍ගේ කාලයක් ආය එන්නෙ නෑ වගේම අක්ක කෙනෙක් මෙහෙම ටියුශන් දුන්නා කියන එක විස්වාස කරන පිරිසකුත් අනාගතේ හොයාගන්න අමාරු වෙවි කියලයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. 01. තේ ලැබෙන පන්ති කීපයකටම මම ගිහින් තියෙනවා, ගුරු මහත්වරු උගන්වන පන්ති වලට පවා
      02. අපිටත් ඒ දවස්වල එහෙම හිතුනා
      03. ඇත්තටම මට ඒක අමතක වෙලානේ තිබුනේ බං, මතක් කලාට බොහොම ස්තුතියි

      ඔව් චූටි මහත්තයා... ඒ සුන්දර අතීතය අතීතයට ගොහින් අහවරයි :(

      Delete
  18. අපොයි ඔය ඉංසිරිසි පංති තමා බයානකම හික් අර මම රොබින්හුඩ් කොරල එකේක් ගේ ඔලුව පැලුනේ..හික්..හැබැ ජොලි කාලේ

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. මමත් පිලිගන්නවා ඒ කතාවනම්.
      මගේ ජිවිතේ එපා කරපු කතාවකුත් තියෙනවා මේ ඉංග්‍රීසි පන්ති අතරේ
      පුළුවන් කමක් ලැබුනොත් පස්සේ ඒ ගැනත් ලියන්නම්

      Delete