පළමු කොටස බලපු නැති ය ඉන්නවනම් ගිහින් බලල එමු නේද.
-----------------------------------------------------------------------------------
ඊළඟ දවසේ අපි නැගිටින්නත් කලින් ගුණේ අයිය අපේ වාඩියට ඇවිත් හිටියා. උදේට
උයා පිහාගෙන කාලා බත් මුල් එහෙමත් බැඳගෙන දුවිලි ඇල්ල බලන්න යන්න තමයි අපේ දවසේ
ප්ලෑන් එක උනේ, දුවිලි ඇල්ල අවට සමනල්ලු බොහොමයක් ඉන්න ලස්සන පරිසර පද්ධතියක්
තියෙන නිසා තමයි අපි එහාට යන්න තීරණය කලේ. හැබැයි පාන්දරින් ගමන පිටත් වෙන්න කිසි උවමනාවක්
පිරිස අතරේ තිබුනේ නැහැ. ඒ වගේම පොඩි එව්වෝ එහෙමත් ඉන්න නිසා හදිස්සි කරන්නත්
බැහැ. නාලා, කාලා සමහරු කාලා නාලා, පොඩි උන්ව හෝදගෙන එහෙම වැඩි කලබලයක් නැතුව අපි
ගමන පටන් ගත්තා. ගුණේ අයියත් ආපු නිසා ටිකක් ඉක්මනට බත් උයාගෙන කාලා, දවල්ට කන්න බත්මුල්
එහෙමත් බැඳ ගත්තා.
මෙන්න මගේ පරණ දඬුමොණර යන්තරේ |
මගේ වාහනේ තියෙන තැනම තියෙන්න ඇරලා සයිට් එකේ කැන්ටර් එකෙන් ගමන යන්න පිටත්
උනා. අපි හිටපු තැන ඉඳලා කිලෝමීටර 5 ක් විතර වෙන පාරක ගිහින් ඊට පස්සේ ගඟෙන් එගොඩ
වෙලා කිලෝමීටර 10 ක් වගේ දුරක් යන්න ඕනෙලු දුවිලි ඇල්ල ගාවට යන පාර පටන් ගන්න තැනට. එතන ඉඳලත් තව
කිලෝමීටර 10ක් වගේ යන්න ඕනෙලු ඇල්ල ගාවට යන්න. අපි එතනට යද්දී පාලිත අයිය අපිට මග
පෙන්නන්න ඇවිත් හිටියා. ගඟ ගාවට ඇවිත් අපේ ගල් බොරළු පවුල නතර උනා එතනින් එහාට
යන්න අමාරුයි කියලා. උන්ට එතන ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තිබුනේ නැහැ. බිම වාඩියකුයි,
ගහක් උඩ හදපු අට්ටාලෙකුයි දෙකක්ම තිබුනා.
ගහ උඩ අට්ටාලෙ සහ ගහ යට වාඩිය |
ගඟෙන් එගොඩ වෙලා දුවිලි ඇල්ල බලන්න යන ගමනේ ආරම්භය |
උන්ට එහෙම්ම ඉන්න ඇරලා අපිත් ඔන්න ඔහේ
හිමීට හිමීට ඉස්සරහට යනවා. අපි මේ යන විදිහට සහ ගමන යන්න පටන් ගත්තු වෙලාවයි අනුව දුවිලි
ඇල්ල ගාවට රෑ වෙන්න කළින් ගියත්, රෑ වෙන්න කළින් ආපහු එන්නනම් කොහෙත්ම බැරි බව මට
කළින්ම තේරුණා. ඒත් ඉතින් ඒක ප්‍රායෝගිකව අත්විඳිනකම් තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නැති අපේ බාල සහෝදර පිරිසට ඒක පහදලා දෙන එක හරි
අමාරු කාරණයක් උනා. අඩු ගානේ කලින් දවසේ කැලේ මැද්දේ මහ රෑ පොඩි උන්වත් අරගෙන කට්ට
කාගෙන පණ නයේ ගිය නඩේ ගැනවත් මුන්ට ඒ වෙද්දී මතක නැහැ. අතරමග නතර වෙච්ච ගල් බොරළු
පවුලේ උන්ට කන්න තිබ්බ බත් පාර්සල් ටිකත් අපි අරගෙන ඇවිත් කියල කවුරු හරි වැදගත්
හෙළිදරව්වක් කරා. ඊට පස්සේ තවදුරටත් ඉස්සරහට යන එක කරන්න බැරි කමටම තමයි ආපහු
හැරෙන්න තීරණය උනේ. ඒ අන්තිම තුරුම්පුවත් තිබ්බේ නැත්නම් වැඩේ හරි අමාරු වෙන්න ඉඩ
තිබුනා. ඒ විතරක්නම් මදෑ එදා හවස ගල් බොරළු පවුල ආපහු කොළඹ යන්න ප්ලෑන් කරගෙන හිටියේ,
උන් එක්කම මගේ හාමිනෙත් කොළඹ එන්න පිටත් වෙන්න තමයි හිතාන හිටියේ. එයාට නිවාඩු ගන්න
විදිහක් නැහැ කියල මට කළින්ම කියල තිබුනේ. කොහොම හරි
වටපිටාවේ ෆොටෝ ටිකක් එහෙමත් ගහගෙන දුර්ලභ සමනල වර්ගයක් එහෙමත් බලා ගත්තා.
ආපු
පාරේම ආපහු යන එක වැඩක් නැහැ කියල ගඟෙන් එගොඩ වෙලා බොහොම අමාරු පාරකින් තමයි ගල් බොරළු
පවුල ඉන්න තැනට ආපහු එද්දි ආවේ. ඒ එන ගමන් සරාගේ ෆෝන් එක ගඟට වැටිලා ඒකෙ කෑලි
හොයන්නත් සෑහෙන වෙලාවක් ගත උනා. ඒත් ඒකෙ හවුසින් එකේ කොටසක් හොයා ගන්න ලැබුනේ
නැහැ. එතන වතුර පාර ගලන්නේ නැති දිය කඩිත්තක් වගේ තැනක්. ගැඹුරත් උපරිම අඩි එක
හමාරක් වගේ ඇති. කොහොම හොයල බැලුවත් ඒක හොයා ගන්න බැරි උනා.
මේ තියෙන වාඩිය අවට ඉඳගෙන තමයි අපි දවල් කෑම කෑවේ |
මෙතනින් තමයි බලාගාරයෙන් පිටවෙන වතුර ආපහු ගඟට වැටෙන්නේ |
යන එන ගමනේදී වගේම බත් කාල බිව්වෙත් මේ වගේ ගලාගෙන එන වතුර |
අපි නාන්න ගිය වෙලාවෙ අපි එක්ක ගිය සරා මැණික් ගල් හොයනවා කිය කියා ගඟේ වැලි
අහුරු අතට අරගෙන මැණික් හොයන්න ගත්තා. ටික වෙලාවකින් ඒක ලෙඩක් වගේ හැමෝම අතරේ
පැතිරිලා ගියා. ඇත්තටම ඒ හරියේ රතු පාට වැලි කැට වගේ පුංචිම පුංචි මැණික් ගල්
වර්ගයක්නම් හරියට තිබුනා. ගොඩ දෙනෙකුට ගඟේ වැලි අතරේ තිබිල ඒ වගේ ගල් කෑලි හම්බ
උනා. ඒවා ඒ තරම් වටින වර්ගයක් නෙමේ කියල තමයි සරා කිව්වේ. සරා කියපු විදිහට ඒ ගල් වර්ගයේ නම ගාර්නට් වගේ
තමයි මතක. ඒ වගේම ඒ අහුල ගත්තු ගල් ටික බලලා ඉවර වෙලා විසි කරලා දැම්මා.
මෙතන තමයි අපි නැවේ සහ සරාගේ මැණික් ගල් මෙහෙයුම කලේ |
දවසේ වැඩ කටයුතු |
මෙන්න මාළුවා, නම කිව්වට මතක හිටියේ නැහැ. ටිකක් වෙනස් නමක් |
එදා හවස් වරුවෙන් සෑහෙන වෙලාවක් ගඟේ නාලා වාඩියට ගොඩ උනා. වාඩියේ නතර වෙලා
හිටපු ගුණේ අයියලත් නිකං ඉඳලා තිබුනේ නැහැ. එයාලගේ බෝර ටීම් එකේ අයිය කෙනෙක් යොතක්
දාලා පහළ තියෙන පුංචි දිය ඇල්ල වැටෙන මහ වතුර වලෙන් ලොකු මාළුවෙක් අල්ලගෙන තිබුනා.
වාඩියට ආපු අපේ ඇස් උඩ ගියේ තඩි මාළුවෙක්ව සියඹලා කිනිත්තකින් කණුවක එල්ලලා තියෙන
හැටි දැකලා. ඒ වෙද්දී වෙලාව හවස පහමාරට වගේ ඇති. රෑ කෑම හදන්න ඕනේ කරන වතුර එහෙම ඇදලා
කෑම හදන වැඩේ ගුණේ අයියලාගේ මූලිකත්වයෙන් පටන් ගත්තා. ඒ වැඩේ යන විදිහට යන්න ඇරලා මාළු
අල්ලන තැනට යන්න මමයි තව එකෙකුයි හිමීට පිටත් උනා. අපි දෙන්න ගල් උඩින් පැන පැන ගඟ
දිගේ තමයි ගියේ. ඒ වෙද්දී බිම්කලුවර වැටීගෙන ඇවිත් තිබ්බ නිසා මතක ඇතුව ටෝර්ච්
දෙකකුත් අරගෙන ගියා. පැය භාගයක් වගේ එතන ඉඳලා බැළුවා, මාළු අහුවෙන පාටක් නැහැ. අපි
නිසා අර මනුස්සයටත් මාළු අහු වෙන්නේ නැති බවක් තමයි පෙන්න තියෙන්නේ. ඒ නිසා හිමීට මාරුවෙලා
වාඩිය දිහාට යන්න පිටත් උනා. ඊට පස්සේ අපි දෙන්න අමාරුවෙන් කන්ද නැගලා අඩිපාර දිගේ
වාඩියට ගියා. අපි එද්දී ආපු පාර දිගේ ටෝර්ච් එළියකින් පවා ආපහු යන එක අවධානම්.
එද්දී ආවේ ගලින් ගලට පැන පැන වගේ. ඒ නිසා කන්ද නැගලා පාරට ඇවිත් දුර පාරකින් තමයි
අපි ගියේ. අපි යද්දී රෑ කෑමට හෝ මිරිස් දාපු මාළු හොද්දක් එක්ක තව මොනවද හදල
තිබුනා. අපිට අපේ නිදහස විඳගන්න ඉඩ දීලා ගුණේ අයියයි පාලිත අයියයි එයාලගේ තාවකාලික
නවාතැන්පොළට පිටත් උනේ බත් මුල් දෙකකුත් එහෙම බැඳගෙන. ඒ වෙද්දී වෙලාව උපරිම රෑ 7
වගේ වෙන්න ඇති.
ගඟ අවට කැලෑව |
ඉක්මණට බත් කන්න ඕනේ කියල කාගෙවත් ලොකු උනන්දුවක්
තිබුනේ නැහැ. දැන් නඩෙන් ඉතුරු වෙලා ඉන්නේ නම දෙනයි. හඳ පායලා පුදුම ලස්සනකට
වටපිටාව දිලිසෙන්න පටන් අරගෙන තිබ්බා. දිය අල්ලේ මුණුමුනුව බිඳුනේ ඉඳහිටල අපි
කවුරුහරි කතා කරන සද්දෙකට විතරයි. අපි ඔක්කොම වගේ ගල් තලාව උඩයි වාඩිය අයිනෙයි සමහරු වාඩිවෙලා සමහරු ඇලවෙලා පුදුම සමාධානයක් වින්ඳා.
මම නැති අතරේ ගෙදරට හොරු පැන්නොත් කියල රට ඉඳල ගෙනාපු වටිනා කියන බඩු
මුට්ටු ටික පොත් කබඩ් එක අස්සේ හංගල තියල තමයි මම ආවේ. ඒ වගේම වැඩි ආරක්ෂාවට කියල
එයින් එකක් මම එද්දී අරගෙන ආවා. අර බකාඩි කියල වතුර වගේ වර්ගයක් තියෙන්නේ, අන්න
එයින් එකක් තමයි මම අරගෙන ඇවිත් තිබුනේ.
මම හිමීට අනිත් උන්ට කිව්වා මගේ බෑග් එකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා.
මම, සමුරායි, සරා, ශිරෝ කියන අපි හතර දෙනා ගඟේ වතුරයි, ඉතුරුවෙලා තිබ්බ චොකලට්
ටිකකුයි එක්ක ඒ සද්කාර්යය පටන් ගත්තා. මගේ ස්ලීපින් බෑග් එක ගල් තලාවේ එළලා වාඩි
වෙන්න පොඩි සුව පහසුවක් හදා ගත්තා. ටික වෙලාවකින් චොකලට් ඉවර උනා, ඊට පස්සේ ඉතින්
අතට අහුවෙන ඵෑනු ගෙඩියක්, මිරිස් වගේ දේවල් වලින් තමයි වේල පිරිමැහුනේ. රෑට කන්න
තියෙන මාළු ටික පරිස්සම් කරගත්තේ බත් එක්ක රස විඳින්න හිතාගෙන. බෝතලේ ටික ටික හිස්
වෙද්දී බරපතල සාකච්ඡා කීපයකුත් ඇති උනා. සිදුහත් කුමාරයා ගැන, රාවණා ගැන, මේ වගේ
නොයෙකුත් දේවල් සාකච්චා කළා. ඉතුරු උන් පස් දෙනා අපේ බරපතල සාකච්ඡා අහගෙන වාඩිය
ඇතුළට වෙලා හිටියා. ඒ එක්කම සරින් සැරේ බක බක ගාල හිනාවෙන සද්දෙත් ඇහුනා. අපි
සැලෙයි ඒවට. මේ අතරේ දන්නෙම නැතුව බෝතලේ හිස් උනා.
ඒ රාජකාරිය අහවර වෙලා හීතල වෙලා තිබ්බ බත් ටිකක් බෙදාගෙන කෑවා. අපි බත් කන
අතරේ අනිත් උන් ටිකත් එළියට ඇවිත් වල්පල් කතා කරන්න පටන් ගත්තා. බත් කාල ඉවර වෙලා
සාකච්ඡා වටයට සහභාගී වෙන ගමන් ස්ලීපින් බෑග් එකේ පොඩ්ඩක් ඇළ උනා විතරයි මතක. පහුවෙනිදා
උදේ නැගිටලා බලද්දී මම විතරක් නෙමෙයි සරා සමුරායි ශිරෝ කුරූ අපි සෙට් එකම නිදාගෙන
තියෙන්නේ කතා කර කර හිටපු තැන් වලමයි. වාඩිය ඇතුලේ නිදාගෙන තියෙන්නේ ඉතුරු වෙලා
හිටපු කෙල්ලෝ දෙන්න විතරයි. අනිත් උන් ඔක්කොම ගල් තලාව උඩ.
ගුණේ අයියාගේ ගල් ආසනය |
උදේ වෙද්දී ගුණේ අයියල ඇවිත් හිටියා, ඒ අතරේ කලින් නොදැක්ක අලුත් මුණු
කීපයකුත් තිබුනා. ගුණේ අයිය වාඩියට ආපු ගමන් දැක්කේ හිස් බකාඩි බෝතලේ. හිස් බෝතලේ
අතට අරගෙන “මහත්තයල අපූරු ජාතියක්නේ පාවිච්චි කරලා තියෙන්නේ” කියල කිව්වා. ඊට
පස්සේ අපෙන් ඇහුව ඒ හිස් බෝතලේ බොන වතුර පුරවගන්න තියා ගන්නද කියල. අපිට මොටද හිස්
බෝතලයක්. ටික වෙලාවක් යද්දී ඒ බෝතලේට වතුර එකක් පුරවලා වාඩියේ තිබ්බ මේස ලෑල්ල උඩ
තියෙනවා දැකගන්න පුළුවන් උනා.
අද සයිට් එකේ වැඩ පටන් ගන්නවා කියන එක අපිට මතක් උනේ ගුණේ අයිය එක්ක ආපු
අනිත් මිනිස්සුන්ව දැක්කම. හැමෝම වගේ බොහොම බයාදු විදිහට හිනා වෙලා කතාබහ කළා අපි
එක්ක. සයිට් එකේ මහත්තයාගේ යාළුවො කට්ටියක් කියන එක ගුණේ අයිය එයාලට කළින්ම දැනුම්
දෙන්න ඇති. උදේට කන්න බත් ටිකකුයි පරිප්පුවකුයි හැදුවේ ගුණේ අයියලා. ඒ අතරේ අපි
ගිහින් ශරීර කෘත්‍යය එහෙම කරගෙන, දතකට මැදලා, නාගෙන එහෙම වාඩියට ආවා. සයිට් එකේ
මිනිස්සු වැඩ පටන් ගන්න නිසා අපි ටිකක් වේලපහින් එතනින් පිටත් වෙමු කියල තීරණය
කලා. මිනිස්සු ආවට පස්සේ එතන තිබ්බ නිදහස් බව ටික ටික නැති වෙනවා කියල හැඟීමක්
අපිට ඇති උන නිසා තමයි ඉක්මනට එන්න තීරණය කලේ. බත් ටික කාල ඉවර වෙලා බඩුමුට්ටු ටික
අදින්න පටන් ගත්තා. එද්දී ගෙනාපු බඩු ටික උස්සගෙන යන්නත් එපැය. කැමරා, ට්‍රයිපොඩ්,
මෙට්ටේ, වතුර බෝතල්, ඇඳුම් මල්ල සහ තව මෙකී නොකී බඩුමුට්ටු තොගයක් එතන තිබ්බා. බඩු
ටික අදින්න ගුණේ අයියලගේ ටීම් එකේ උදවියත් සෑහෙන්න උදව් කලා. අන්තිමට බඩුමුට්ටු
ටික පැක් කරගෙන ඉවර වෙලා ගුණේ අයියලාගෙන් සමු අරගෙන එහෙම ජීප් එකෙයි කැන්ටර් එකෙයි
නැගල ආපසු ගමන පිටත් උනා.
ආපහු එන ගමනේදීත් අපේ යාළුවගේ ක්වාර්ටස් එක ගාව නතර උනේ වටපිටාවේ ෆොටෝ ටිකක් ගහන්න, සමනල්ලු බලන්න සහ විශේෂයෙන්ම දොඩම් ටිකක් හදාගෙන බොන්නත් එක්ක. එතන පැයක් හමාරක් වගේ ඉඳල ආපහු ගමන පටන් ගත්තා. කාර් නතර කරපු ගේ ගාවට එන්නත් පැයක් විතර ගියා. කලින් දවසේ එක වාහනයක් පිටත් උන නිසා දැන් එතන තිබුනේ චමිතගේ කාර් එක විතරයි. එතනට ඇවිත් ඒකත් අරගෙන පඹහින්න හන්දියට ආවා. මුලින්ම ඒ කිට්ටුව පාත ගෙවල් තියෙන චමිතට සමු දුන්නා. ඊට පස්සේ කැන්ටර් එකත් අපි එක්කම ඒ ලඟම තියෙන හන්දියට අරගෙන ගියේ මේ දවස් ටිකේ අපිට සැළකුව ගුණේ අයියට, පාලිත අයියට ඩ්‍රයිවර් අයියට පොඩි සැළකීමක් කරන්න ඕනේ කියන එක හිතේ තියාගෙන. මහලොකු දෙයක් නෙමෙයි, ඒ වගේම ගොඩ දෙනෙක් අනුමත කරන දේකුත් නෙමෙයි ඒත් ඒ වගේ තැනක වැඩ කරද්දී තියෙන තත්ත්වය අපි දන්න නිසා හන්දියේ බාර් එකෙන් ලබා දෙන්න පුළුවන් වර්ගයේ සැළකීමක් කරන්න තමයි අපි තීරණය කලේ. අපේ සැළකීම ගුණේ අයියයි, පාලිත අයියයි අතරේ බෙදාහදා ගන්න කියල ඩ්‍රයිවර් අයියගේ අතට දුන්නා. එතනින් අපේ යාළුවටයි, ඩ්‍රයිවර් අයියටයි සමු දීල ඉතුරු වෙච්ච හය හත් දෙනා මගේ වාහනේට නැගල කොළඹ දිහාවට ගමන පටන් ගත්තා. මගේ වාහනේ යන්න පුළුවන් උපරිම 5 දෙනෙකුට විතරයි. දෙන්නෙක් උකුලවල් උඩ ඉඳගෙන කොහොම හරි ශේප් කරගෙන බලන්ගොඩ දිහාට ගෑටුවා.
ආපහු එන ගමනේදීත් අපේ යාළුවගේ ක්වාර්ටස් එක ගාව නතර උනේ වටපිටාවේ ෆොටෝ ටිකක් ගහන්න, සමනල්ලු බලන්න සහ විශේෂයෙන්ම දොඩම් ටිකක් හදාගෙන බොන්නත් එක්ක. එතන පැයක් හමාරක් වගේ ඉඳල ආපහු ගමන පටන් ගත්තා. කාර් නතර කරපු ගේ ගාවට එන්නත් පැයක් විතර ගියා. කලින් දවසේ එක වාහනයක් පිටත් උන නිසා දැන් එතන තිබුනේ චමිතගේ කාර් එක විතරයි. එතනට ඇවිත් ඒකත් අරගෙන පඹහින්න හන්දියට ආවා. මුලින්ම ඒ කිට්ටුව පාත ගෙවල් තියෙන චමිතට සමු දුන්නා. ඊට පස්සේ කැන්ටර් එකත් අපි එක්කම ඒ ලඟම තියෙන හන්දියට අරගෙන ගියේ මේ දවස් ටිකේ අපිට සැළකුව ගුණේ අයියට, පාලිත අයියට ඩ්‍රයිවර් අයියට පොඩි සැළකීමක් කරන්න ඕනේ කියන එක හිතේ තියාගෙන. මහලොකු දෙයක් නෙමෙයි, ඒ වගේම ගොඩ දෙනෙක් අනුමත කරන දේකුත් නෙමෙයි ඒත් ඒ වගේ තැනක වැඩ කරද්දී තියෙන තත්ත්වය අපි දන්න නිසා හන්දියේ බාර් එකෙන් ලබා දෙන්න පුළුවන් වර්ගයේ සැළකීමක් කරන්න තමයි අපි තීරණය කලේ. අපේ සැළකීම ගුණේ අයියයි, පාලිත අයියයි අතරේ බෙදාහදා ගන්න කියල ඩ්‍රයිවර් අයියගේ අතට දුන්නා. එතනින් අපේ යාළුවටයි, ඩ්‍රයිවර් අයියටයි සමු දීල ඉතුරු වෙච්ච හය හත් දෙනා මගේ වාහනේට නැගල කොළඹ දිහාවට ගමන පටන් ගත්තා. මගේ වාහනේ යන්න පුළුවන් උපරිම 5 දෙනෙකුට විතරයි. දෙන්නෙක් උකුලවල් උඩ ඉඳගෙන කොහොම හරි ශේප් කරගෙන බලන්ගොඩ දිහාට ගෑටුවා.
මේ වෙද්දී දවල් කෑමටත් වෙලාව කිට්ටු වෙලා තිබුනේ. සමුරායි උන්ගේ ගෙදරට කෝල්
කරලා කිව්වා අපිට කෑම හදන්න කියලා. උන්ගේ ගෙවල් තියෙන්නේ බළන්ගොඩ ඉඳල රත්නපුරේ
පැත්තට ටික දුරක් යද්දී, අපි යන අතරමගදී වාහනේ යට හරියෙන් මොකක් හරි සද්දයක්
ඇහුනා. ටයර් එකේ මොකක් හරි ගෑවෙන සද්දයක් වගේ සද්දයක් තමයි ආවේ. එක පාරක් නතර කරලා
බැලුවත් මොකක්ද කියල හොයා ගන්න බැරි උනා. ඕනේ මගුලක් කියල දිගටම ගිහින් සමුරායි
ලගේ ගෙදර ටික වෙලාවක් ඉඳලා බත් එහෙම කාලා ආපහු ගමන පටන් ගත්තා. මගදී ඩීසල් ගහන්න
ෂෙඩ් එකක වාහනේ පොඩ්ඩක් නතර කලාම තමයි දැනගත්තේ අර සද්දේ ඇවිත් තියෙන්නේ කොහෙන්ද
කියලා. වාහනේට නගපු කට්ටිය ටිකක් වැඩි නිසා ටයර් එක ගිහින් ඩීසල් ගැහුවට පස්සේ ටැංකියට
එන්න තියෙන රබර් බටේ ගෑවෙන සද්දේ තමයි අපිට ඇහිලා තියෙන්නේ. එහෙම වැදිලා බටේ හිල්
වෙලා. ඩීසල් ගහද්දි එතනින් ලීක් වෙන්න ගත්තා. හරි අමාරුවෙන් ඩීසල් ටිකක් ගහගෙන
වංගු තියෙන පාරේ එද්දී අර සිදුරෙන් ඩීසල් ලීක් වෙන්න පටන් ගත්තා. කරන්න තිබ්බේ එක
දෙයයි. වංගු තියෙන තැන් වලදී වේගේ සෑහෙන ප්‍රමාණයක් අඩු කරලා රත්නපුරේට එනකල් කරදරයක්
නැතුව ආවා.
අපේ පිරිසව බස් ස්ටෑන්ඩ් එකෙන් බැස්සුවා. එතනින් සියල්ලන්ටම සමු දීලා වාහනේ
ආපහු හරවගෙන ගෙදර බලා යන ගමන මම තනියම පිටත් උනා. කලවාන පාරෙන් ඇවිත් ගෙදරට ගිහින් ඔතාගෙන ආපු
කොච්චි පැළ දෙක හෙවනකින් අරගෙන තියලා ගෙදර ආපු බව කියන්න හාමිනේට කෝල් එකක් ගත්තා.
ලොකු අරමුණක් නොතිබ්බ ගමනක් උණාට සෑහෙන අපූරු අත්දැකීම් ගොන්නක් ලබා ගත්තු
ගමනක් ඒ විදිහට නිමා උනා. ඒ පරිසරයේ විඳින්න පුළුවන් උපරිම නිදහස කාටවත් කරදරයක්
නොවෙන්න විශේෂයෙන් පරිසරයට හානි නොවෙන්න විඳගන්න අපිට පුළුවන් උනා. අපි ගිය පාරේ
අවසාන කිලෝමීටරයක වගේ කොටස ඒ දවස් වලදී පාරක් විදිහට පාවිච්චි උණත්, ඒ කොටස අද
වෙද්දී බලාගාරෙට වතුර ගලාගෙන යන ඇළ මාර්ගය විදිහට හදල ඉවරයි. කාටහරි ආපහු හුළං
ඇල්ලට යනවනම් කැලේ මැද්දෙන් පාරක් හොයාගෙන තමයි යන්න වෙන්නේ. ඒ සයිට් එක ඉවර වෙලා
මේ වෙද්දී අවුරුදු දෙකකට වැඩි කාලයක්
වෙනවා. ඒ නිසා මේ වෙද්දී වාඩිය ඉතුරුවෙලා තියෙන්න පුළුවන් කමක් නැහැ. ඉතුරු වෙලා
තියෙන්නේ ගුණේ අයියලාගේ වාඩිය සහ වටපිටාව පරිසරය ගැන ලස්සන මතකයන් රැසකුත් එක්ක ගත්තු
ෆොටෝ දෙක තුනකුත් විතරයි.
රස විඳීම සඳහා අමතර ෆොටෝ ටිකක්
නෑමට පෙර විවේකයක් |
නෑම සහ විවේකය |
ගඟෙන එගොඩ උනේ මෙතනින් |
කවුරුත් දන්නා බලු නගුට මල් |
හතු වර්ගයක් |
නොදනී, කොලේ පාටට ගැළපෙන්න ඉන්නේ සතුරන්ගෙන් බේරෙන්න |
වාඩියේ ජීවිතේ |
අර සතා හැකරුල්ලෙක් නෙමෙයිද , කකුල් පේන්ඩ නැනේ , පනුවෙක්ද මන්දා
ReplyDeleteනැහැ මචං. මට ඒ දවස්වල මේ සතා මොකෙක්ද කියල දැනගෙන හිටියා. ඒත් පෝස්ට් එක ලියද්දි ඒක අමතක වෙලා තිබ්බේ.
Deleteඋඹ දැන් මේ ප්‍රශ්නේ අහපු නිසා මම අපි එක්ක ගිය එකෙක්ගෙන් හරියටම අහගත්තා
මේ දළඹුවෙක්. ඌ ඉන්නේ බීඩි කොලේක
Baronet කියන සමනලගේ දළඹුවා
Baronet කියන්නේ අර උඩ තියෙන ෆොටෝ වල ඉන්න තැඹිලි පාට ලස්සන සමනළයා
කමෙන්ටුවට ස්තුතියි සහෝ
දඬු මොණරේ කියන එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මෝටර් බයික් එකක් සම්බන්ධව මිසක් මේ වගේ SUV එක්කට නෙවෙයි. ඉතිස් බං ඔය වාහනෙත් පුලුවන්නේ ඔය අමාරු පාරේ යන්න කැන්ටර් එකකට වඩා හොඳට. මේක 4WD Nissan Patrol එකක් නේද?
ReplyDeleteඅපරාදෙන උඹලා අර ගානට් විසි කරලා ආවේ. මම හිතන්නේ ඔය පංචායුද වලට හෙම ගානට් අල්ලනවා කියලයි. ෂුවර් නෑ.
උඹේ ෆෝටෝ ටික විශේෂයෙන්ම අර සත්තු ඉන්න ඒවා නම් සුපිරියි.
අර බටේ ටයර් එකේ ගෑවෙන්නේ ටින්කර් කාරයෝ ඒකේ මාර වෙනස් කරලා නිසාද කියලා හොයලා බලාපං. ඒක හෙන ඇනයක්නේ.
ඒක එහෙම උනාට මේකත් ටිකක් බරසාර බරපතල එකක් නිසා තමයි මම දඬුමොණරේ කියල පාවිච්චි කලේ.
Deleteමේක SUV එකක් නෙමෙයි, මේකේ අඩු ගානේ කිසිම ඔප්ෂන් එකක් තිබිල නැහැ.
පස්සේ එකතු කරපු දේවල් තමා සියල්ලම. වර්ගය ගැන කියපු විස්තරේනම් හරියට හරි.
ඒ වගේම බොඩි එකත් එහෙන් මෙහෙන් ජොයින්ට් කරලා හදල තිබ්බේ
ඒ නිසා තමයි අර ඩීසල් බටේ ටයර් එකේ ගෑවෙනවා වගේ දේවල් සිද්ධ උනේ
පස්සේ මම ඒක එහෙම නොවෙන්න හදා ගත්තා
ඒ වගේම මේක දැන් මගේ ගාව නැහැ
ගානට් නෙමේ බං, ඊට වඩා වටිනා මැණිකක් දැක්කත් නොදන්න එකා මේකෙන් ඇති වැඩක් නැහැ කියල විසි කරනවනේ
අපිත් ඉතින් ඒ වරිගේ උදවියනේ
This comment has been removed by the author.
ReplyDeleteපොඩි වැරද්දක් උනා නේද... :-)
Deleteඔව් බං. හරීගේ එකේ දාන්න තිබ්බ කමෙන්ට් එක වැරදිලා මෙතන වැටුනා. මම පෙලට ටැබ්ස් ඇරගෙනනේ කමෙන්ට් කරන්නේ. ඉතින් ඔය වගේ දේවල් වෙනවා.
DeleteHarima aasaven kiyewwa.Obata mage pranamaya
ReplyDeleteකමෙන්ට් එකට ගොඩක් තුති.
Deleteඅප්පට සිරි අදයි උඹව ආපහු දැක්කේ
ReplyDeleteඑහෙමද....
Deleteජීවිතේ ඒකාකාරී ගතිය සහ වැඩකට ඇති කිසි වැඩක් කෙරෙන්නේ නැහැ කියන එක ටිකක් වැඩිපුර දැනෙන්න ගත්තා. ඒ නිසා වෙනසකටත් එක්ක ආපහු ඇවිත් ලියන්න කියල කල්පනා කළා.
එල ද බ්‍රා..මම ආයමත් පාරක් මේ ලිපිය මුල සිට අගට කියවනවමයි.. ලෝබ හිතුනා.
ReplyDeleteගොඩක් ස්තුතියි සහෝ කමෙන්ට් එකට....
Deleteමේ වගේ ගමන් බිමන් යන්න මමත් දැන් හරි ලෝබ කමකින් ඉන්නේ. ඒ තරමට ඒවා දුරස් වෙලා
ඉතිං දූවිලි ඇල්ල බලාගන්න බැරි වුණාද?
ReplyDeleteදුවිලි ඇල්ල බලන්නනම් බැරි උනා, (දුවිලි ඇල්ල ගාවට වාහනේකින් ගිහිල්ලත් යන්න පුළුවන් නිසා පස්සේ වෙලාවක යන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ.....)
Deleteඒ උනාට හුළං ඇල්ලයි ඒ අවට විඳපු සුන්දරත්වයයි විඳ ගත්ත එකම කොයි තරම් දෙයක්ද
කමෙන්ට් එකට ගොඩක් තුති...
මමත් රඟහල පැත්තේ ඇවිත් යන්න එන්නම්කෝ
හොඳ ගමන් විස්තරයක් සහ අගනා ඡායාරූප පෙළක්. බොහොම ස්තුතියි ඔබට.
ReplyDeleteවිචාරක, ඔබ තුමාගේ පැමිණීමට සහ කමෙන්ට් එකට බොහොමත්ම ස්තුතියි.
Deleteඅපූරු ගමනක් ආපහු මතක කළා. මේ ගැන ලියන බව දන්නවනම් හොඳ පින්තූරු ටිකක් දෙන්න තිබ්බ දිය ඇල්ල එහෙම හොදට පේන. (මම ගත්ත එව්වා)
ReplyDeleteහැබැයි අපි දැනගෙනනම් හිටියේ නෑ වාඩියේ දෙවෙනි දවසේ රෑ වෙච්ච් දෙයනම්. ඒවා ගෙදර අවට පස්සේ නිසි බලධාරියා විසින් කපා හරින්න ඇති නේද?
ඔයාට මේකත් මතක කරන්න ඕනි, දූවිලි ඇල්ල බලන්න කියල ගිය වෙලාවේ මහා ගගක් මැද්දෙන් ඉනෙනුත් උඩට වෙනකන් වතුරේ බැහැල ගිය හොදම සිදුවීම අමතක උනාද? එක අතකින් camera ටික බේරාගෙන අනිත් අතින් මාවත් අල්ලාගෙන
ඔයාගෙ කැමරා එකෙන් ගත්තු ෆොටෝ ටිකකුත් මෙතන දාල තියෙනවා. එහෙම තමයි, හැමදේම කියකියා ඉන්නවට වඩා එකක් දෙකක් බලධාරියා ලව්වා කපා දාන එක ලේසියි.
Deleteඔයා කිව්වම තමයි මතක් උනේ යද්දිත් අපි ගඟ හරහා ගියා කියන එක...:)