ඒ 1991 වරසයි. අම්මාගේ බාල සහෝදරයා එනම්
අපේ චුටි මාමා එවකට පොළොන්නරු උසාවියේ ලිපිකරුවෙකු ලෙස සේවය කරමින් සිටියේය. උසාවියේ
ලිපිකරු රැකියාව ලබාගත් කතාවද අපුරු එකකි. එය මා ඉදිරියට ලියාගෙන යාමට සිතා සිටින “අපේ
කතාවේ” ඇතුළත් වනු ඇත.
එහිදී දැන හඳුනාගත් සුමනාවතී නම්වූ ගැමි
තරුණියක් හා විවාහ වීමට ඔහු තීරණය කර තිබුණි. විවාහය ස්ථීර කර ගැනීමට පෙර නෑ ගමනක්
පැමිණිය යුතු බව දන්වා චුටි මාමා ලිපියක් එවු බව අම්මා කියනවා මා දෙසවනටද වැකුණි. මේ
සම්බන්ධව යම්යම් සංවාද අම්මා හා තාත්තා අතර ඇති වුවද අවසාන තීරණය මා හට දැනගැනීමට
ලැබුනේ ගමන පිටත් වීමට යොදාගෙන තිබු 1991 අප්‍රේල් මස 25 දිනට බොහෝ ආසන්න දිනකදීය.
මේ වනවිට මා ඉගෙන ගත්තේ කොළඹ ලොකු ඉස්කෝලේ ය. ඒ සිංහල අවුරුදු නිවාඩුව ලැබූ මා ගමේ
පැමිණ සිටි කාලයයි.
මෙම ගමන යාමට තීරණය කර තිබුනේ අම්මා,
ආච්චී අම්මා (අම්මාගේ මව),
ලොකු මාමා,
පුංචි අම්මාගේ පුතා (විජිත් අයියා) සහ
තනිව රඳවා යෑමට නොහැකි නිසාවෙන් රැගෙන යාමට තීරණය වී තිබුනු මාගේ මළනුවනුත් ය. තාත්තාගේ
වෙළඳාම් කටයුතු නිසා තාත්තාට එහි යාමට නොහැකි බවක්ද කියවිණි. මේ ගමන සඳහා මා රැගෙන
යන බවට කිසි කතාවක් නැත. ඇළහැර ගමන මා රැගෙන යන ලෙස කොතරම් ඇවිටිලි කලද ඉන් පලක්
වුයේ නැත. (පසු කලෙකදී අම්මා කිවේ කෙල්ලෝ තුන් දෙනෙකුට පසුව උපන් කොල්ලෙකු වූ මා
හට නොයෙකුත් වර කරදර උපද්‍රව සිදු වූ නිසා වැඩිපුර පරිස්සම් කිරීමට සෑම විටම පාහේ
කටයුතු කළ බවය)
ගමන යාමට ප්‍රථම සිදු වූ කතා බහ
අනුසාරයෙන් මා හට හැඟී ගියේ එම ගමන යාම සම්බන්ධව අම්මා සහ ලොකු මාමා ඇතුළු වැඩිහිටි
පිරිස එතරම් කැමැත්තක් නොදක්වන බවය. එයට හේතුව වී තිබුනේ වන අලින් නොමැති නිස්කලංක
පෙදෙසක ජීවත් වන අපගේ වැඩිහිටි පිරිස වන අලින්ට දැක්වු අධික බියයි. ඉඳහිට ගමට
පැමිණෙන චූටි මාමා ගමේ පැමිණි විට රස කරමින් සිදු කරන කතා බහේ ප්‍රධාන මාතෘකාවක්
වන්නේ වන අලින් විසින් ඇළහැර ප්‍රදේශයේ සිදු කරනු ලැබූ දරුණු ක්‍රියාවන්ය. එයට
නිවාස කඩා බිඳ දැමීම, මිනිස් ඝාතන, වගා විනාශයන් සහ නොයෙකුත් විහිළු සහගත සිදුවීම්ද ඇතුළත් විය. මීට අමතරව අනිකුත් වන සතුන්ගේ
අතවරයනුත්, වෙනත් රසවත් දෑද කතාවෙහි දක්ෂයෙකු වූ ඔහු විසින් අපට ලූනු ඇඹුල්ද ඇතිව
පවසා තිබුණි. එමෙන්ම හැකි සෑම විටම ඇළහැර ප්‍රදේශය ගැනත්, ජීවන තොරතුරු සම්බන්ධවත්
නිරතුරුව ලියුම් මාර්ගයෙන් මා හා පවසන පුරුද්දක්ද ඔහු සතු විය. මාද හැකි සෑම
අවස්ථාවකදීම ලියුම් මගින් අපේගේ තොරතුරු ඔහුට ලියා යැවීම සිදු කළෙමි. එම හේතූන්
නිසාම ඇළහැර යන සුරපුරය දැකබලා ගැනීමේ දැඩි ආශාවක් මා සිතේ ඇති වී තිබුණි.
ඇළහැර බලා යන පිරිස සීමා වන්නට එම
වකවානුවේ අප හට තිබූ වත්කම සෘජුවම බලපාන්නට ඇත. අප නිවසේ එකම සහ ප්‍රධානම අදායම්
මාර්ගය වුයේ තාත්තා සිදුකළ වෙළඳාමය. ඉන් අප නිවසේ නඩත්තු කිරීමට තිබු කටවල් ගණන
ඔහුත් ඇතුළුව හතකි. හතර දෙනෙකු පාසල් යන වයසේය. මීට අමතරව වක්‍රාකාරව නඩත්තු
කලයුතු වූ කටවල් ගණන පහකට වඩා වැඩි විය. ඒ ආච්චි අම්මලාගේ ගෙදර උන් පිරිසය. මේ
වනවිට ලොකු මාමා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරමින් උන්නේය. විජිත් අයියාට වයස
අවුරුදු 16 ක් පමණ විය. පාසල් ගමන නතරකර උන් ඔහු ගෙදරට කෙසේ වෙතත් තමාගේ වියහියදම්
කොටසක් හෝ යහළුවන් සමග පොළේ යාමෙන් උපයා ගැනීමට සමත්විය. ආච්චි උඩහ වත්තේ දළු
කැඩීමට යන ගමන නතරකර දමා උන් හෙයින් ඇය පසුවූයේ දුවා දරුවන්ගෙන් යැපෙන මට්ටමකය.
එහෙයින් යම්කිසි කරුණකදී වැඩි බරක් දැරීමට සිදු වන්නේ අපගේ මව්පියන්ටය.
මෙම කාල වකවානුව වන විටද අප ප්‍රදේශයේ
ඇසට පෙනෙන මානයේ කිසිම නිවසකට විදුලි බලය සැපයී තිබුනේ නැත. ප්‍රධාන මාර්ගය දෙපස තිබු
නිවෙස් කීපයක් පමණක් විදුලි බලය ලබාගෙන තිබුණි. කඳු වැටියක මැද කොටසේ වූ අපගේ නිවස
කඳු වළල්ලකින් වටවී ඇති නිසා විදුලි බල්බ දැල්වූ එම නිවෙස් අපහට නොපෙනුණි.
විදුලි බලය මෙළොව පවතින බවට අපට
දැකගත් හැකි වූ එකම සාක්ෂිය වූයේ නිවසට ඉදිරිපසින් තිබෙන කඳු වැටියේ ගොඩනගා තිබු
රජයට අයත් රබර් ෆැක්ටරියන් දිස්වූ එළියයි. එය ඩැල්කිට් නම් වූ වතු යායට අයත් වුවක්
විය. එම කඳු වැටිය පවා අප හැඳින්වුයේ ඩැල්කිට් කන්ද යන නමින්මය. රබර් ෆැක්ටරිය
පිහිටා තිබුනේ අප නිවසේ සිට හරි කෙළින් බැලුවිට කිලෝමීටර දෙකකට මදක් වැඩි දුරකිනි.
එහි සවිකර තිබු විශාල ප්‍රමාණයේ බල්බයකින් වැටෙන එළිය අප නිවසේ බිත්ති වලට පවා
ළාවට වැටී සෙවනැළි ඇතිවී තිබුණේය. ඒ එළියේ අමුත්තක් අපහට නොදැනුනේ දන්නා කියන
කාලයේ පටන් එය අපගේ දෑස් මානයේ දිස්වූ නිසා වියයුතුය. 89 වසරේ එක් රාත්‍රියක ෆැක්ටරිය
දෙසින් විශාල ආලෝකයක් නැගී ආවේය. නිවෙස්වල පහන් දැල්වීම තහනම් වූ යුගයක් නිසා කාටත්
නොපෙනී මිදුලට බැසගත් අප සියල්ලෝම පාහේ ඒ
ආලෝකය දෙස දෑස් දල්වා බලා සිටියෙමු. එහා ගෙදර සෝම අන්ටිලාගේ ගෙදර උදවියද අපේ
මිදුලට රොක් වී සිටියහ. පහනක් නිවෙද්දී එක වරම පහන් දැල්ල වැඩි වී නිවී යනවාක් මෙන්ම
රබර් ෆැක්ටරියද අවසන් දිනයේදී විශාල ආලෝකයක් එකවර ලබා දුන්නේය. එදින පටන් අපදෑසට හුරුවී
තිබු එම දසුන තව දුරටත් අප ඉදිරියේ දක්නට නොවීය. එය අප නොදැකිය යුතු සහ අවට
පරිසරයට නොගැලපෙන දෙයක් සේ JVP සාමාජිකයින් සැළකුවා වියහැක.
එයින් පසුව තවත් වසර අටක් පමණ වනතුරුත්
අප අවට පරිසරයේ විදුළි එළියක් දැකීමට අපට හැකි නොවීය. 1997 වසර වනතුරුත් සෑම
නිවසකම පාහේ කටයුතු සිදු කෙරුනේ කුප්පි ලාම්පු සහ චිමිණි ලාම්පු එළියෙනි. අපේ ගෙදර
තරමක් අබලන් පැට්‍රොල් මැක්ස් ලාම්පුවක් තිබුනද ඒවා දැල්වීම වියදම් අධික වීම නිසා
එය දල්වුයේද ඉතාම කලාතුරකිනි. භාවිතයක් නොමැති නිසාම දිරාගිය එය පසු කලෙක පරණ යකඩ
සමග විකිණී ගියේය.
නැවත මාතෘකාවට පිවිසෙමු......
සුපුරුදු පරිදි වේලාසනින් කෑම කා
නින්දට වැටුන අප අතුරෙන් සුවදායී නින්දක් අහිමි වූයේ මා හට පමණක් වන්නට ඇත. මෙම
ගමන යාමට මා කොතරම් ඇවිටිලි කළද අම්මා කිසිම බුරුලක් නොදැක්වීම එදින රාත්‍රී නින්ද
මා කෙරෙන් දුරස් කරන්නට හේතු විය. කෙසේ හෝ මෙම ගමන මා යා යුතුය යන දැඩි හැඟීමක් මා
සිතේ පැළපදියම් වූයේ මෙම ගමන ගැන ආරංචිය කණ වැකූණු මොහොතේදීමය. චුටි මාමාගේ කතා,
ලියුම් හරහා මා මනසින් මවාගත් ඇළහැර බැලීමට මා යා යුතුමය.
පාන්දර 3:30 ට පමණ අම්මා අවදිවන හඬ සිහිනෙන් මෙන්
ඇසී මමද අවදි වීමි. ඉන් අනතුරුව එළඹියේ මාගේ හෝරාවයි, දෙතුන් වරක් කණ්කෙඳිරි ගෑ
පසුව මාගේ අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩකඩ ලබාදීම ජීවිතයේ මා ලද ලොකුම වාසනාවකි.
අම්මා නැගිට දර ලිපේ වතුර කේතලය තබන මොහොතේ පටන් මා
ඇය වටා දැවටෙමින් සිටියෙමි. රත් වූ වතුරින් පිටි හදන ලොකු ලොකු බෙලෙක් කෝප්පයට
ලක්ස්ප්‍රේ කිරි සාදා මට ටිකකුත් මල්ලීට ටිකකුත් දී ඉතිරිය අම්මා බීවාය. කළින් දින
හොඳින් සප්පායම් වී සිටි තාත්තා ඒ වනවිටද සිටියේ හොඳ නින්දේය. අඩු ගණනේ අක්කලා පවා
ඇහැරී සිටියේ නැත. කිරි බීමෙන් පසු තවත් ප්‍රමාද නොවී දතකට මැදගැනීම සඳහා එළියේ
තිබු නාන කාමරය දෙසට පිය මැන්නේ කුප්පි ලාම්පුවක්ද අතැතිවය. තනිවම දත් මැද මුහුණකට
සෝදා ගත් මා ගෙට ගොඩවන අතරේ අම්මා පොඩ්ඩාගේ මුහුණ සෝදමින් සිටියාය.
ඇළහැර යාම සඳහා මා සහභාගී කරවා ගැනීමට
අම්මා එකඟ වුවත් පෙර සූදානමක් නොතිබූ මා හට සැළකිය යුතු අපහසුතාවයකට මුහුණ දීමට
සිදු විය. ඇඳුම් පැළඳුම් සකසා නොතිබීම ප්‍රධානම අවහිරය විය. ඒ දිනවල ගමනක් ඇඳගෙන
යා හැකි මට්ටමේ ඇඳුම් පැළඳුම් අප හට තිබුනේ අල්ප වශයෙනි. තිබු ඇඳුම පවා පොල්කටු
අඟුරු ඉස්තිරික්කයෙන් මැද ගැනීම හදිස්සියේ කළහැකි දෙයක් නොවේ. ඒ සඳහා සැළකිය යුතු
කාලයක් ගතවේ. පොල්කටු ඉස්තිරික්කයෙන් ඇඳුම් මැදීම පුරුදු පුහුණු වන අයෙකුට ජීවිතයේ
සංයමයකින් සහ එකමුතුව වැඩකිරීම පිළිබඳ හොඳ පාඩමක් උගත හැකිබව මගේ හැඟීමයි. ගෙදර
කවුරුන් හෝ එකෙකු පොල්කටු දමා ඉස්තිරික්කය රත්කරගත් පසු පිළිවෙලින් අනිත් උන් හටද
එහි රස්නයෙන් රෙදි මදගත හැකි වේ. මගදී රස්නය අඩු වුවහොත් පාවිච්චියට ගැනීම සඳහා
තවත් අඟුරු ලෑස්ති කර ගැනීම පසුවට එන අයගේ රාජකාරියකි.
අල්මාරිය තුළ තිබූ හොඳටම පොඩි වූ ගමනක්
යනවිට ඇඳිය හැකි හොඳ මට්ටමේ ඇඳුමක් එළියට ගත් අම්මා එය දෙපාරක් පමණ ගසා ඇඳ ගන්නා
මෙන් කීවාය. ඉන්පසු ඈ කළින් දින රාත්‍රියේ ඉස්තිරික්ක කොට තැබූ පොඩි නොවූ හොඳ
ඇඳුමක් පොඩ්ඩාට අන්දවන්නට වුවාය. පොඩි වු ඇඳුමින් සන්නද්ධ වුවද “මම ඇළහැර යනවා” යන
සිතුවිල්ල සිතේ ඇති වූ මා හට දැනුන සතුට කියා නිම කිරීමට නොහැකි විය. එම සතුට අදද
මාගේ මනසට විඳ ගත හැකිය. එයින්ම එය කොතරම් ගැඹුරු සතුටක්දැයි වටහාගත හැකි වනු ඇත.
අප ලැස්ති වී හමාර වනවිටම වාගේ ආච්චි, ලොකු මාමා සහ
විජිත් අයියා පැමිණ ගේ ඉදිරිපසින් කතා කරන හඬ ඇසුණි. ඔවුන් පැමිණ තිබුනේ පොල්අතු
පන්දමක එළියේ ආධාරයෙනි. ඒ වනවිට එයද අවසානය කරා ලඟා වෙමින් තිබුණි. හැකි උපරිම
ඉක්මනින් හන්දිය කරා පිටත් විය යුතුය. විජිත් අයියා මිදුලේ තිබූ ගස්ලබු ගසකින්
අත්තක් කඩාගෙන ලාම්පුතෙල් දමා පන්දමක් සාදා ගැනීමට උත්සාහ කලද එය සාර්ථක නොවීය. හොඳ
පුරුද්දක් නොමැතිව එවැන්නක් කඩිමුඩියේ කළ නොහැක. පාන්දර 4:30 ට කොළඹ බලා දිවෙන බසය අල්ලා ගැනීම සඳහා බදුරලිය
හන්දියට යා යුතු වූ කිලෝමීරට දෙකක පමණ දුර පයින් යාම හැර වෙන විකල්පයක් අප සතු
නොවීය. තාත්තාට අයත් පැරණි මෝටර් සයිකලයෙන් උපරිම යා හැක්කේ ඔහු හැරෙන්නට තවත් දෙදෙනෙකුට
පමණි. එකම විකල්පය පා ගමනින් යාමය. සාමාන්‍යයෙන් එම දුර යාමට අප හට ගත වන්නේ උපරිම
වශයෙන් විනාඩි විස්සක විසිපහක පමණ කාලයකි.
අප සතුව එදවස විදුලි පන්දමක් තිබුනද සෑම
දිනම පාහේ එහි යම්කිසි දෝෂයක්ය. එක්කෝ එහි බල්බය පිච්චිලාය, එසේ නැතිනම් බැටරි
අඩපණ වී ඇත. ගෙදර තිබු ඉටිපන්දම් කොට කිහිපයක් සහ පොල් කටුවක් ගෙන ගමන ආරම්භ කලෙමු.
විජිත් අයියාගේ එමින් ගමන් සාක්කුවේ ගිනි පෙට්ටියක් දමාගෙන පැමිණ සිටියේය. ඒ වනවිට
අවදි වී සිටි සුදු අක්කාට දොර වසා ගන්නා ලෙස පවසා හන්දිය දක්වා වූ පා ගමන
ඇරඹුවෙමු. පාන්දර ජාමයේ හැමූ දැඩි සුළඟක් නිසා ඉටිපන්දම කිහිප පතාවක් නිවී යාම සහ
ඒ වෙනුවෙන් යම් කාලයක් නතරවී බලා සිට්න්නට සිදුවීම මහත් කරදරයක් විය. විජිත් අයියා
නැවත නැවතත් උත්සාහ කර එය පත්තු කර ගන්නට සමත් විය. අවසාන වර ඉටිපන්දම නිවී ගියේ
හන්දියට මීටර දෙසීයක් පමණ තිබියදීය. පොල් කට්ට සහ ඉතුරු ඉටිපන්දම් කොටය විසිකර දමා
හැකි ඉක්මනින් යායුතු බව දැන්වූයේ ලොකු මාමය. බසය මගහැරුනොත් සිදු වන්නේ වස
වැරැද්දකි. ඒ වනවිට බසයේ මගීන් කිහිප දෙනෙක් සිටි අතර අප හය දෙනාටම අසුන් ගැනීමට
හොඳහැටි ඉඩකඩ තිබුණි. බසය තුළ දල්වා තිබු විදුලි බුබුළකින් කණාමැදිරි එළියක් වන්වූ
කහ පැහැති එළියක් විහිදුනි. මීට අමතරව එළියක් දක්නට ලැබුනේ ජරා හෝටලය නමින්
හැඳින්වූ හෝටලයෙනි. එහි චිමිණි ලාම්පුවක් දල්වා තිබුණි. ඉදිරිපස සිගරැට් පත්තු කර
ගැනීම සඳහා කුඩා ලාම්පුතෙල් පහනක් දැල්වෙමින් පැවතුනි. එහි හිමිකරු තාත්තාගේ ගජ මිතුරෙකි.
බසය ධාවනය ඇරඹීමට තවත් විනාඩි
කිහිපයක් ඉතිරිව තිබුණි. ඒ අවසරයෙන් බසයෙන් බැසගත් ලොකු මාමා ජරා හෝටලය වෙත පිය
නැගුවේ කෑමට යමක් මිළදී ගැනීමට විය යුතුය. බෝතලයක දමා තිබු මොනවාදෝ ඔහු මිළදී
ගන්නා අයුරු වීදුරුවෙන් ඔළුව එළියට දමාගෙන සිටි මා දුටිමි. ඔහු රැගෙනවිත් තිබුනේ
නයිස් නම්වූ බිස්කට් වර්ගයයි. එම කවරය අම්මාගේ අතේ තැබූ ඔහු අප ඉදිරිපස වූ අසුනේ
අසුන් ගත්තේය. අප සිටි අසුනේ සිටියේ අම්මා, මම සහ පොඩි මල්ලීය. කවරයෙන් ගත් නයිස්
බිස්කට් එකක් කටේ දමාගත් පසු එයින් පැහැදිළිව ලාම්පුතෙල් රැසක් දැනෙන බව මා හට
තේරුම් ගියේය. කළහැකි යමක් නැත, අපහසුවෙන් හෝ බිස්කට් කිහිපයක් රස බැලුවේ
කුසගින්නත් කලකින් ලැබෙන රස අහර විසි කිරීමේ පුරුද්දක් අප සතුව නොතිබූ නිසාත්ය. අපහසුවෙන්
හෝ ගිල දැමු බිස්කට් කිහිපයෙන් අනතුරුව අම්මා දුන් වතුර බෝතලයෙන් ටිකක් කටට හලා
ගෙන නිදි සුවයට පිවිසුනෙමි. නැවත ඇහැරී බලන විට බසය කටුකුරුන්ද ආසන්නයට පැමිණ
තිබුණි. ඒ වනවිට මද ආලෝකයක් පැතිරෙමින් තිබුණි. දිගු අංතට්ටු සහිත සුදු පැහැති ගොනුන්
දෙදෙනෙකු විසින් ඇදගෙන යන පොල්අතු පිරවූ බක්කි කරත්ත කිහිපයක් සෙමින් සෙමින් අප යන
දිශාවටම ඇදෙමින් පැවතුනි. ගාළු පාර දිගේද එවැනි කරත්ත කිහිපයක් ගිය බව මතකය. එවැනි
දර්ශන වරින් වර දකිමින් නිදිසුව විඳීමටද මා හට හැකිවිය.
අප කොළඹට ලඟා වනවිට උදෑසන හය පමණ විය.
අප දැන් එතනින් මාතලේ බලා යන බසයකට ගොඩවිය යුතුය. අප ආ යුතු මාර්ගය චුටි මාමා
පැහැදිළිව කියා ඒවා තිබුණි. කොළඹ කොටුවේ තිබු කඩයකින් පාන් සමග අල කිරිහොදි ටිකක්
ගිල දැමීමට ඉස්පාසුවක් උදාවිය. උදෑසන අවදි වීමෙන් අනතුරුව පානය කල කිරි වීදුරුව
හැරෙන්නට වෙනත් ආහාරයක් නොගත් නිසාවෙන්දෝ දැනුන බඩගින්න නිවා ගැනීමට බිස්කට් අනුභව
කල මා හට එහි ඵල විපාකය දැනුනේ එයින් ලද අප්‍රසන්න රසය මාගේ දිවේ දිගටම මෙන් රැඳී ඇති
බව දැනුන විටය. තරමක් අපහසුවෙන් පාන් කෑල්ලක් ගිල දමා වතුර ටිකක් බී මාතලේ බලා යන
බසයක නැග ගැනීමට පිටත් වීමු.
කොළඹට ළඟා වන තුරුම පාහේ නිදමින් හෝ
නිදි කිරමින් ගිය මා හට වට පිට හොඳින් බලමින් ගමන් කිරීමට හැකියාව ලැබුනේ මාතලේ
බලා දිවෙන බස් රථයට ගොඩවූ පසුවය. ඒ වනවිට නිදිමත පහවී ප්‍රකෘති තත්ත්වයකට මා පත්වී
සිටියේය. මාතලේ බසය ගමන ආරම්භ කළේය. මා වාඩිවී උන්නේ ආච්චී සමගය. නුවර පාරේ ටික
දුරක් යනවිට කුඹුරු වල විශාල වලවල් කපමින් සිටි මිනිසුන් දැක ගැනීමට හැකි විය.
ඔවුන් එක තැනක යම් නිශ්චිත දුරකින් වලවල් හතරක් කපා දමා තිබුණි. එසේ කැපු සමහර
වලවල් වලින් උඩට මතුවූ කොන්ක්‍රීට් කණු දැක ගැනීමටද හැකිවිය. ඒ මොනවාද කියා මා ඇසු
පැනයට ලොකු මාමාගේ පිළිතුර වුයේ “ඒ ලොකු ලයිට් කණු වගයක් ඉඳන්න කපන වලවල්” කියාය. මා
එම දර්ශනය දුටුවේ කඩවත ආසන්නයේ ඇති කුඹුරු සහිත ප්‍රදේශයේදී විය යුතුය. එසේ
සාදමින් සිට ඇත්තේ විශාල කණු සිටවීමට ඉදිකරනා පාදමයි. බසයක ජනේලයක් අසළ වාඩි වී
වටපිටාවේ සිරි නරඹමින් යාම මා කැමති දෙයකි. වටපිටාවේ දැක ගත හැකි සියළු දෑ ග්‍රහණය
කරගැනීම මාගේ එක් පුරුද්දකි. දැන් එම අවස්ථාව ලැබෙන්නේ නැති තරම්ය.
බසය නුවරට ආසන්නව ඇති වංගු සහිත කඳු
කිහිපය පසු කරත්ම වමනය යාමට එන බවක් මට දැනුණි. සමහර විට ඒ උදෑසන අනුභව කල
ලාම්පුතෙල් රසැති බිස්කට් නිසා ඇති වූ අපුල නිසාද විය හැක. වමනයට ඒම නතර කර ගැනීමට
ආච්චී උපදෙසක් ලබා දුන්නාය. ඈ දුන් කුඩා බුලත් කොළ කැබැල්ල සපා කෙළ ගිලින අතරතුරේ හිතින්
සිංදුවක් කීමට හෝ නැතිනම් එක දිගටම ගණන් කිරීම ඈ දුන් උපදෙස විය. සිත වෙන අරමුණකට
යොමු කරවීම මගින් වමනය පාලනය කිරීම ඉන් සිදු වනවා විය හැක. කෙසේ හෝ වමනය නොයෑම
විශාල සහනයක් විය.
මාතලේ නගරයට සම්ප්‍රාප්ත වනවිට දහවල් එකොළහ පමණ
ආසන්න වී තිබුණි. දහවල් ආහාරය අළුත් නැන්දලාගේ ගෙදරින් ලබා දීමට නියමිත බැවින්
හැකි ඉක්මනින් ඇළහැර බලා යාහැකි බසයක නැගී පිටත් වීම අපගේ අරමුණ විය. බසය නවතා
තිබු ආසන්නයේම සිටි නාරං වෙළෙන්දකුගෙන් නාරං මිළදී ගන්නා අදහසක් මෙවේලේ පහළ විය. එම
නාරං බෑගය සිදු කල බලාපොරොත්තු කඩකිරීම අදටත් මා මතකයේ රැඳී ඇත්තේය. මිළදී ගැනීමට
පෙර වෙළෙන්දා විසින් රස බැලීමට දුන් නාරං බික් කිහිපයේ රසයෙන් කුලමත් වී සිටි අප
හට ඔහු බෑගයට දමා දී තිබුනේ ඇඹුල රසැති සිදලන් වැනි ගෙඩි කිහිපයකි. එය අප දැනගත්තේ
බසයට ගොඩවීමෙන් පසුව ඒවා අනුභවයට සුදානම් වූ මොහොතේය.
අප ගිය මාර්ගය දෙපස දක්නට ලැබුනු
විශාල ප්‍රමාණයේ ගස් වර්ග එතෙක් මා දැක තිබූ විශාලතම ගස් වූ අතර ඒවා විශාල යෝධයන්
මෙන් මාගේ මතකයට එක් විය. ඒවා “පාරේ මාර” බව මා දැනගන්නේ තව කලකට පසුවය. මග දෙපස
දුටු සෑම දෙයක්ම පාහේ අලූත් දේ වූ අතර සෑම දේම විශාල සහ යෝධ දේ ලෙසට මතකයට එක් වීම
අපුරුවකි.
දහවල් දොළහ අවට වේලාවකදී ඇළහැර හන්දියට
ළඟා වීමට හැකි විය. කඩමණ්ඩියේ තිබු කඩයකින් නෑදෑ ගෙදරට ගෙනයාමට යමක් මිළදීගත් අතර
අදාළ නිවස සොයා ගැනීමටද කිසිම අපහසුවක් නොවීය. කඩමණ්ඩියෙන් විමසූ වහාම ඒ ආසන්නයේම
පිහිටි එම නිවස අපහට පෙන්වනු ලැබීය. එහි වුයේ චුටි මාමා කරකාර බැඳීමට අදහස් කර
සිටින නැන්දාගේ අක්කලාගේ ගෙදරයි. එහි ඉදිරිපස තැපැල් කන්තෝරුව සඳහා බදු දී තිබුණි.
තැපැල් කන්තෝරුව කියා කීවාට එහි වුයේ තනි කාමරයකි.
ගමන් මහන්සිය නිවාගත් අප දිවා ආහාරයට
පෙර ඇඟපත සෝදා ගැනීමට කැමැත්ත පළ කළෙමු. චුටි මාමා කළින් කියා තිබු පරිදි යෝධ ඇළ
ගලා යන්නේ ගේ පිටුපසිනි. මුල්ම වරට යෝධ ඇළෙන්
දිය නා ගැනීමට අප සියල්ලන්ටම අවස්ථාව සැළසුනි. අමතර ජලය ඇළට මුදා හැරීම නිසා අධික
ධාරිතාවයකින් යුතුව ඇළ ගලා ගියාය. පිහිණිමට එතරම් අසමත් මාහට දිය නෑමට සිදු වූයේ
ඉවුර අසළටම වීගෙනය. ඉන් මාගේ සතුට යම් පමණකට අඩු විය. ඒ අස්සේ කකුල් දෙකට කොටන
මාළුන් නිසා අප සිටියේ උඩ පනිමිනි. විජිත් අයියා ඇළ මැදටම පීනාගොස් පැමිණි අතර
මෙතරම් වතුර තිබියදී පවා අලින් මෙගොඩ බලා පීනා විත් ගම්වදින බව පැවසුවේ චුටි මාමා
විසිනි. එය කුඩා මා හට පමණක් නොව අප සමග ගිය වැඩිහිටියන්ගේ පවා විස්මයට හේතු විය. ඉන්පසුව
ඇළෙන් එගොඩ ඉවුර දෙස බලමින් කොයි වේලාවක හෝ අලියෙක් මතුවේදැයි බලන්නට වුයේ අම්මා සහ ලොකු මාමාය. අලි ගැන අපගේ
දැනුම එපරිදි විය. ජලය පිටාර ගලමින් ගලා ගිය ඇළහැර ඇළ මෙහි වෙසෙන ජනතාවගේ සියළුම
ජල අවශ්‍යතාවයන් සපුරා දීමට පසුබට නොවුන බැව් සිහිකැඳවිය යුතුය.
දිවා ආහාරය ඉතාම රසවත් රජරට සුදු කැකුළු සම්බා සහල්
වර්ගයකින් පිසුණු බතකින්ද හොදි වර්ග කිහිපයකින්ද සමන්විත වූ අතර එහි රසයට අගුල්
තැබීමට හැකි ආහාර වේලක් මා ලද්දේනම් ඒ ඉතා අල්පයක් විය යුතුය. පසුව මා එහි ගිය
වෙනත් ගමන් කිහිපයකදීම ඒ බව තවතවත් සනාථ විය.
අපේ අළුත් නෑදෑයින්ට අනුව අප කොළඹින්
පැමිණි උදවිය විය. අප ජීවත් වූ ගම්මානය පිහිටා ඇත්තේ කොළඹ සිට කිලෝමීටර 80 ක පමණ
දුරකිනි. එහෙත් පසුකාලීනව පවා ඔවුන් අප හැඳින්වුයේ එලෙසින්මය. එහි සිටි නෑදැයින්
මෙන් හිතවත් ලෙන්ගතු මිනිසුන් මා හට හමුවී ඇත්තේ බොහෝ අල්ප වශයෙනි. චුටි මාමා
කරකාර බැඳීමට නියමිත වූ නැන්දා බොහෝ ආදරබර හදවතක් ඇති අව්‍යාජ ගැමි කතක් බව
පසුකාලීනව අපහට පසක් විය.
කෑමෙන් අනතුරුව එළඹි කාලය නොයෙකුත් ආගිය
කතා බහෙන් ගෙවී ගියේය. සවස් ජාමයේ මම, ලොකු මාමා සහ විජිත් අයියා චුටි මාමා සමග
ගොස් ඇළහැරෙන තැන නැරඹීමට ගියෙමු. එතැන ජල පහර බොහෝ රුදුරු විය. පෙණපිඩු නගමින්
හැරවෙන ඇළ මාර්ගය සිතේ ඇති කරන්නේ බියමුසු හැඟීමකි. තරමක වේලා එතැන රැඳුනු අප ආපසු
යාමට හැරුනෙමු.
අප වහි යනවිට අප වෙනුවෙන් තේ පැන්
සංග්‍රහයක් සුදානම් කොට තිබුනේය. එය භුක්ති විඳීමෙන් පසුව තරමක වෙලාවක් නිවසට වී ගතකළෙමු.
අඳුර දැඩි වීමට පෙර නැවතත් ඇඟපත සෝදා ගැනීමට ගිය අප වැඩි පරිස්සමට බාල්දියෙන් ගත් ජලයෙන්
ඇඟපත සෝදා ගත්තේ කළුවරේ කිඹුලෙකු පැමිණියහොත් නොපෙනෙන්නට ඉඩ ඇති බව කවුරුන් හෝ කී
නිසාය. ඉන් පසුව එළඹියේ රසවත් වූ ගැමි කතා වලට සවන්දෙන හෝරාවයි. අප නිවෙස් වල
මෙන්ම මෙහිද විදුලි බලය නොතිබූ අතර චිමිණි ලාම්පු, කුප්පි ලාම්පු සහ එදින විශේෂ
දිනයක් බැවින් පැට්‍රෝල් මැක්ස් ලාම්පුවකින් එළිය සැපයී තිබුණි. එක දිගට පැය
ගණනාවක්ම එහි උන් අපේ අළුත් නෑදැයින් නොයෙකුත් වනගත කතා කියමින් අප කුල්මත් කෙරුණි.
නියම ගැමි ගතිය විදහා පාමින් මොවුන් අව්‍යාජත්වයෙන් යුතුව කතා කීමට සමත් වුවන් බව
මොනවට පසක් විය.
මා ඇසූ එම කතා පසුව මා කියැවූ බොහෝ පොත්පත්
වල තිබූ වනගත ගම්මානයක මිනිසුන් මුහුණ දෙන දෑම විය. බොහොමයක් දෑ ත්‍රාසජනක
අත්දැකීම් විය. ඒ අතරේ තිබු සමහර කතා විනෝදජනක ඒවා විය. ඔවුනට එවැනි අත්දැකීම්
විඳීමට හැකිවීම වාසනාවක් ලෙස මා සැළකීය. නමුදු ඒවා ඔවුනට විඳීමට සිදුව තිබු ගැහැට
බව මා තේරුම් ගත්තේ පසුවය. කෙසේ නමුත් වනයකදී හෝ වනගත ගමකදී විඳින්නට සිදුවන
මාරාන්තික නොවන නමුදු දුෂ්කර අත්දැකීම් පවා සුන්දර අත්දැකීමක් ලෙස සැළකීමට හැක්කේ කීයෙන්
කී දෙනාටද.
ඇළේ ගැඹුර නොතකා එය තරණය කරන අලින් ගෙවතු වල ඇති වගාවන් මෙන්ම නිවෙස් තුළ ඇති
වී, ලූනු වැනි දේද පැහැර ගන්නා අතරම මිනිස් ජීවිත කිහිපයක් බිළි ගත් කතාවන්ද එහි
රැස් වී සිටි මිනිසුන් විසින් කීවේ අප බිය කරවන අටියෙන් නොවන බව මා හට විශ්වාසය. ගේ
තුළ ඇති වී හොඬවැල දමා උරා බොන බව කියූ කතාව මාගේ මවිතයට හේතුවිය. මීට අමතරව
වලසුන් සහ දිවියන් සම්බන්ධ කතා වලින්ද අපගේ මතකය පිරවීමට ඔවුන් පසුබට නොවුනි. ඒ
අතුරින් මා මතකයේ තදින් රැඳුනු එක් කතාවකි මේ.
එක් පුද්ගලයෙක් කණාමැදිරි ආලෝකයක් විහිදූ යතුරු
පැදියකින් රාත්‍රියේ නිවසට යමින් සිට ඇත. එම එළියෙන් අඩි කිහිපයකට වඩා එපිට කිසිවක්
පැහැදිළිව දැකගැනීමට නොහැකි වී ඇත. එසේ ගිය ඔහු නොදැනුවත්වම පාරේ ඔහු යන දෙසටම
යමින් සිටි වන අලියකුගේ දෙකකුල් අතරටම බයිසිකලය පදවාගෙන ගොස් ඇත. ඒ සමගම බියට පත්
ඔහු බයිසිකලය සමගම පෙරළී ගොස් ඇත. අධික බියටපත් මිනිසා වහාම නැගිට දුව ගොස් ඇති
අතර ඇති වූ කලබලයෙන් සහ රත් වූ සයිලන්සරය ගෑවී පිළිස්සුනු අලියාද වෙනතක දිවයාමෙන් මිනිසාට
හෝ බයිසිකලයට කිසිඳු අනතුරක් සිදු වී නොමැත.
තව කතාවක් වුයේ ගේ ඇතුළට වහලයේ
පොල්අතු තුළින් හොඬවැල දැමු අලියෙකු රත්වූ තෙල් තාච්චියකින් පුච්චා එළවා දැමු
කතාවකි. වලහකුගෙන් මී පැණි සොරකම් කල කතාවක්ද එහිදී කියවිණි.
මෙවැනි හාස්‍යය උපදවන කථා මෙන්ම ලොමු ඩැහැ
ගැන්වෙන කතාවෙන්ද දවස ගෙවීම මාගේ කුඩා මනසට මහත් සතුටක් විය. මෙම කතාවන් නිසා මා
ලද තෘප්තිය හා මාගේ යටි හිතේ තැන්පත් වූ දෑ පසු කලෙක වනජීවිතයට ඇති ඇල්ම වැඩිවීමට හේතු
වන්නට ඇත. විශේෂයෙන්ම චුටි මාමා මා හට එවූ ලිපි තුළවූ අන්තර්ගතය ඒ සඳහා මහත්
පිටිවහලක් වුවා වියහැක.
මේ සියල්ලම කතා කලේ එම නිවසේ වූ
ඉස්තෝප්පුවේ ඉඳගෙනය. කතාවෙන් කතාවෙන් රෑ බෝ වූ පසු රාත්‍රී ආහාරය සුදානම් බව
දැන්විය. රතු කැකුළු ඉඳිආප්ප, අල හොද්දක් සහ කොච්චි දැමු පොල් සම්බලයක් එහි විය. අනුභවයෙන්
පසු වැඩි වෙලාවක් නොගොස් නිදිමත දැනෙන්නට විය. අප වෙනුවෙන් සුදානම් කරතිබූ කාමරයකට
අප රැගෙන ගිය අම්මා අප සමගම නින්දට ගියාය.
පසු කලෙක ඇය පැවසු පරිදි ඇගේ එකම
අභිලාෂය වී තිබී ඇත්තේ හැකි ඉක්මණින් කොල්ලෝ දෙන්නාගේ පණ බේරාගෙන ඇළහැරින් පිටත්ව
ඒමය. රාත්‍රියේ අලියෙකු පැමිණ අප සිටි ගෙයි බිත්ති පෙරළා දමා අපවද සමතලා කරදමනු ඇතැයි
ඇය බිය වී සිටි බවද ඇය පැවසුවාය. ඒ අම්මලාගේ හැටිය.
පසු දින උදෑසන මුහුණකට සෝදා ලක ලැස්ති වූ අපහට අළුත්
රෝස කැකුළු සහලින් පිසූ බතක් සමග සම්බලයක් සහ තවත් මොනවාදෝ සමගින් දිව්‍යලෝක රසැති
බත් වේලක් සාදා අපවෙත පිළිගැන්වුයේ චුටි
මාමගේ අනාගත බිරින්දෑගේ නෑදෑ පාර්ශවයයි. බත් කා අහවර වී මද වෙලාවකින් අළුත්
නෑදැයින්ගෙන් සමුගත් අප ආපසු ගමන් ඇරඹීමු. ඔවුන්ගෙන් සමුගෙන පිටත්ව එද්දී හැකි
ඉක්මනින් ආපසු එහි යුතුයැයි සිතා ගත්තෙමි. ඇළහැර හන්දියේදී අප ගොඩවූ බස් රථය
කෙලින්ම කොළඹ බලා එන එකකි. එහි පසුපස අසුනේ සිටි ගැහැනුන් සහ මිනිසුන් කිහිප
දෙනෙක් අප දෙස බලා කොළඹ යන බව අසා ඔවුන් ආසන්න දුරකදී බසින බව පවසා අපහට වාඩිවීමට
ඉඩ ලබා දුන්හ. ආපසු ගමනේදී වෙනත් විශේෂ යමක් සිදු නොවු අතර නිවසට ළඟා වූයේ තරමක්
රාත්‍රී වූ පසුවය. අප ආපසු එනවිට නිවසේ මද ආලෝකයක් ගෙනදුන් චිමිණි ලාම්පුවක් පත්තු
කර තිබු අතර අප එනතුරු අක්කලා තුන්දෙනා මග බලාගෙන උන්නෝය.
ටික කලකට පසු ඇළහැර නැන්දලාගේ නෑදෑ
පිරිසක් අප නිවෙස් බලා පැමිණි අතර විවාහ උත්සවයකින් තොරවම ඔවුනගේ විවාහය සිදුවිය.
එයට හේතුව අනවශ්‍ය කටයුතු සඳහා වියදම් කිරීමට දෙපාර්ශ්වයටම මුදල් නොමැති කමය. ඔවුන්
වෙනුවෙන් එවැනි උදව්වක් කිරීමට ප්‍රමාණවත් ආර්ථික අතිරික්තයක් අප පවුලටද නොතිබූ බව
අම්මා මා සමග පසු කලෙක පැවසුවාය.
ආපසු එහි යායුතු බව එදින සිතා ගත්තද එදවස
උදා වූයේ වසර පහකට පමණ පසුව බව සිහි
කරන්නේ දුක්බර වූ සිතකිනි. එයද කොහෝ හෝ චාරිකාවක් යන අතරතුරකදී පැය කිහිපයක කාලයකට
පමණි. පාර දෙපස තිබු මහගස් බොහොමයක් කපා දමමින් පැවතුනි. ඒ වනවිට මා උන්නේ තරුණ
මදය ඔලුවට ගසන ආකල්පමය වෙනසක් ඇතිවන වයසකය. අඩු තරමේ ගෙදර උදවිය සමග ට්‍රිප් එකක්
පවා යාම නොරුස්සන අවධියකය. මුලින් ගිය ඇළහැර ගමන හෝ දැන් එහි ඇති වෙනසක් සසඳා
බැලීමට තරම් ඉස්පාසුවක් එවෙලේ මාහට තිබෙන්නට නැත.
යළිත් මා හට එහි යාමට ලැබුණේ 2007
දීය. ඒ වසර 16 කට පමණ පසුය. වටපිටාව බැලීමේ ඉස්පාසුවක්ද තරමක සන්සුන් මනසක්ද ඒ
වනවිට මා සතුවිය. ගත වී ඇති වසර 16ක කාලය හමුවේ එම ප්‍රදේශයද දියුණුවේ හස්තයට යම්
පමණකට හසු වී තිබුණි. පරිසරය පමණක් නොව මිනිසුන් පවා යම් පමණකට හෝ අව්‍යාජ බවින්
මිදී ඇති බවක් මාහට හැඟුනි. එසේ වී තිබීම මාගේ තෘප්තියට හේතු නොවීය. එහි ජීවත්වන
මිනිසුන්ගේ පැත්තෙන් බැලුවිට එය අසාධාරණ වුවත් අප කැමති දෙයක් නැතිවී යද්දී හිතට
දුකක් ඇතිවීම ස්වභාවිකය. අනෙක් විශේෂම කරුණ වුයේ අප එහි ගියේ වැසි සමයේදී වීමය, මා
වියළි කලාපයට වහින විට මා අකමැතිය. එයද මා සිතේ කහටක් ඇති කරන්නට ඇත. කෙසේ හෝ එම ගමනින්
පසු පැරණි මතකය යළි ඉස්මතු වී මෙවැනි සටහනක් ලිවීම සඳහා මා දිරිමත් කළේය.
වසර 16 කට පසු එනම් 2007 දී එහි ගිය පසු
මුලින්ම ඇළහැර ගිය ගමන සම්බන්ධ සටහනක් ලිවීම ඇරඹුවෙමු. නමුත් මෙම සටහන යම් පමණකට
හෝ ලියා හමාර කළහැකි වුයේ 2011-06-19 දින වන විටය, ඒ වසර 20 ට වැඩි කාලයකට පසුය. සම්පුර්ණ සටහනක්
ලෙස බ්ලොගයට දැමීම සඳහා තවත් කරුණු මතක් කරමින් සංස්කරණය කර හමාර කිරීමට හැකිවුයේ
වසර 23 කට පමණ පසුවය. ඒ 2014 නොවැම්බර් මස මස හය වැනි දිනය.
ඇළ හැර කියන්නේ ඇළ හැරෙන තැන.. දෙයියනේ.. දහස් වතාවක් මේ නම කියවලා ඇති.. සියක් වතාවක් ඒ අසලින් එහෙ මෙහෙ ගිහින් ඇති..මට නිකමටවත් මේක මතක් නොවුනු හැටි..
ReplyDeleteලොකු මලයෝ.. වෙනද වගේ ම ආසාවෙන් කියෙව්වා.. අව්‍යාජ ගැමි ගතිය යට වෙලා මේ බොරුකාර සංවර්ධනය ගැමියන්ව වෙලා ගන්න එකට විරුද්ධයි කියන එක ගැමියන්ගේ පැත්තෙන් අසාධාරණයක් වුනත්.. මාත් ඒකට විරුද්ධයි.. ආයෙම බලාගෙන ඉන්නෙ කවද හරි ඒ නිර්ව්‍යාජ ගමක ඒ වගේ සොඳුරු මිනිස්සු ටිකක් හොයාගෙන යන්න.. දවසින් දවස අතපහු වෙනව.. මැරෙන්න කලිං හොයා ගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ.. ජය ශ්‍රී!
මම ඒ පරිසරයේ කොටස් කාරයෙක් නෙමෙයි නිසා වෙන්න ඇති "ඇළහැර" කියන වචනේ තේරුම ආපු හැටි දැනගත්තෙ...
Deleteඅපි බහුතරයක් රැකියාව විදිහට කරන්නෙත් ඒ අව්‍යාජ ගැමිකම, සරළ බව නැතිකරන එක තමයි.
කරන්න දෙයක් නැහැ, ලෝකේ වෙනස් වෙද්දී අපිත් වෙනස් වෙන්න ඕනේ.
මගේ ජීවිතේ මම කරන එක දෙයක් තියෙනවා. ලැබෙන පොඩි හරි වේලාවකදී මම ඒ ගැමිකම හොයාගෙන යනවා.
සමහර වෙලාවට ගෙදර උදවිය එක්ක ඉන්න තියෙන වෙලාවක් කැපකරලා එහෙම යන වෙලාවලුත් තියෙනවා.
ඒ අපේ පොඩිඑකා තාම පුංචි නිසා.
ඌ පොඩ්ඩක් ලොකු උනාම ඌවත් ඇදගෙන යන්න ඕනේ.
මම දන්න විදිහට ඔබට ඒ වගේ මිනිස්සු හම්බ වෙන්න වැඩි දුරක් යන්න ඕනේ නැහැ. ඔබතුමාගේ ගම්පළාතේ පවා වැඩිදුරක් යන්නේ නැතුව එහෙම තැන් හොයාගන්න පුළුවන් ඇති.
අපි මේ ලෝකේ මහ කාලයක් ජීවත් වෙන්නේ නැහැ. ජීවත්වෙලා ඉන්න ටිකේ පුළුවන් තරම් ඇවිදලා අඩු ගානේ අපේ රටවත් හරියට බලාගන්න ඕනේ කියන අදහසේ තමයි මම ඉන්නේ.
ඕනෙම දේකට කාලේ හොයාගන්න බැරිකමක් නැහැ, හැබැයි එහෙම කරන්නනම් අනිත් හැම දේටම වඩා ඒ දේට මුල් තැන දෙන්න වෙනවා.
සමහර වෙලාවට එහෙම කරන්න අමාරුයි.
ඒත් නැතිවෙලා යන්න පුළුවන් දෙයක් බලන්න පුළුවන් ඒ දේ තියෙන කාලෙදිම විතරයි.
ඒ නිසා මුල් තැන දුන්න කියල පාඩුවක් වෙන එකක් නැහැ.
කියෙව්වට පස්සෙ මගෙත් මතකය ගියා 80 මැද භාගයට. මමත් අවුරුද්දකුත් මාස තුනක් අළහැර පැත්තේ වැඩකරා. මගේ සේවා ප්‍රදේශය උනේ ඇළහැර, කිරිඔය, ලග්ගල පල්ලේගම, බකමුණ, කලුගඟ, අත්තනකඩවල, දියබෙදුම, ගිරිතලේ දක්වා. සුන්දර පළාතක් උනාට මිනිස්සු ගෙවන්නේ ඉතාම දුෂ්කර ජීවිතයක්. මහවැලි ව්‍යාපාරය තිබුනාට මිනිසුන්ගේ ජීවිත වල ලොකු වෙනසක් වෙලා නෑ. ඇළහැරින් හැතැක්ම භාගයක් ඇතුලට ගියාම දැකගන්ට පුළුවන් නියම තත්වය.
ReplyDeleteKandyan,
Deleteඔබ කියන කාලයේ සමහරවිට මීටත් වඩා ඔය පළාත් ගොඩක් දුෂ්කර ඇති. මමත් ලග්ගල පල්ලේගම පැත්තේ කරක් ගහල තියෙනවා. හැබැයි ඒ තරමක් මෑතකදී. පුදුම ලස්සන පැත්තක්. තව ඉලුක්කුඹුර එහෙම. පුදුම හිතෙන ගමවල්.
තාම කටක් ඇරලා ගමක් කියල කියන්න පුළුවන් තැනක්.
අපි වගේ තාවකාලිකව එහෙ ලැගුම් ගන්න යන උන්ට එහේ හොඳ උනාට ඒවායේ ජීවිත්වෙන එක කරුමයක් බව මමත් දන්නවා.
අපේ චුටි මාමල ඉන්නේ තරමක් ඇතුලට වෙන්න. එයාල තාමත් එහේ හොඳටම කට්ට කනවා.
මට හිතෙනවා උඹේ 'අපේ කතාව' ලියන්න ඉස්සෙල්ලා ගහලා බලපු ගලක් තමයි මේක කියලා. වැඩේ මරු.
ReplyDeleteඉතින් මේ තුල ගමේ කම ඇඟට හේත්තු වෙනවා. අපේ කතාව ගමේ කම විතරක් නෙමේ, කතාවේ සාරයම ඇට, මස්, මිදුළු තුලට යන්න ලියපන්. අපි එන්නම් කියවන්න.
ඒක නෙමේ ඉස්සර කඩවල් වලින් බිස්කට් ගත්තාම භූමිතෙල් ගඳක් අවේ ඇයි. මමත් ඕක අපේ කාලෙත් අත්විඳලා තියෙනවා. ඔය නයිස් බිස්කට් එකට, මාත් කාලයක් යනකම් කිව්වේ නයිස් කියලාම තමයි. නමුත් කාලෙකට ඉස්සෙල්ලා මම නයිස් බිස්කට් ඉල්ලුවාම සුද්දෙක් මට කිව්වා " all our biscuits are nice.. you can choose whatever you like"කියලා.. බලාගෙන ගියාම මේ නයිස් නෙමේ. මේක නීස්. නීස් කියන්නේ ප්‍රංශයේ නීස් ප්‍රදේශයෙන් ලොවට හඳුන්වා දුන් බිස්කට් වර්ගයක්. එහෙමයි මේ නම හැදිලා තියෙන්නේ. මගේ ඥාති පුතෙක් ඉන්නවා ලංකාවේ එක් ආයතනයක බිස්කට්ස් රිසර්ච් කරන. ඌට මේ ගැන කියන්න ඕන. මේ උඹේ පෝස්ට් එකෙන් මට ඒ ගැන මතක්වුනේ.
ඉතින් අඩෝ....මේ පෝස්ට් එක ඇතුලේ මට කතා කරන්න බොහෝ දේ තියෙනවා. ඒ වුනත් මේක මාගලක් වෙන නිසා මම නවතින්නම්.
අරූ,
Deleteඅපේ කතාව ලියන්න පටන් ගන්න එක මට දරා ගන්න බැරි තරම් බරක්. උඹ ලියනවා වගේ ලියන්න බැරිකම් එක හේතුවක්. අනිත් එක තමයි මම ඉපදෙන්න කලින් ගොඩක් දේවල් අම්මගෙන් අහගන්න වෙනවා. මට මතක දේවල් හරිද වැරදිද කියනඑක චෙක් කරන්න වෙනවා.
මම 2010 විතර ඉඳන් අපේ කතාව ලියන්න හිතාගෙන හිටියට තාම පටන් ගන්න බැරි උනා.
හැබැයි ඒක පටන් ගන්න ඕනේ කියල හිතෙන්න "උඹේ කතාව" ලොකු තල්ලුවක් උනා.
සුද්ද කොහොමත් අපිට ලොකු එක දාන එකනේ බං කරන්නේ, මට ඕකුන් පේන්න බැහැ.
උන්ගෙන් ආපු ඔය බිස්කට් එකට අපි "නයිස්" කියල කියනවා වගේම තමයි, උන් ඒක උපහාසයෙන් බැහැර කරවලා නියම නම අපි ලව්වා කියව ගන්නවා.
නමුත් උන් අපේ රටේ තිබ්බ හැම අල ගෙඩියටම වෙන වෙන නම් කියපුවා අපි තාම කරේ තියන් යනවා. ඒක තමයි උන්ගෙයි අපෙයි වෙනස.
කන්ද = කැන්ඩි
මීගමුව = නිගම්බෝ
ගල්කිස්ස = මවුන්ට් ලැවිනියා
ශ්‍රී පාදය = ඇඩම්ස් පීක්
තොටුපොල තැන්න / මහඑළිය තැන්න = හෝර්ටන් ප්ලේන්ස්
ඔන්න උන්ගේ වැඩ.
අර ලාම්පුතෙල්/භුමි තෙල් රස ආවේ "නයිස්" වලින් විතරයි නේද. හේතුව හොයා ගන්න පුළුවන් උනොත් අපිටත් කියපන්.
උඹ ලියන ඒවා මාගල් වෙන තරමට තමයි බන් අපි කැමති. රස කෑමක් ඉක්මනට ඉවරවෙනවට පොඩි එව්වෝ කැමති නැහැනේ... ඒ වගේ තමයි අපිත්.
ඇළහැරට ඇළහැර කියන්නෙ ඇයි කියල ඔන්න අදයි දැනගත්තෙ.කතාව නං බොහොම රසයි.දිගටම ලියපං.තව මේවගේ කතා ඇති නොවැ.
ReplyDeleteහැලපේ,
Deleteසාදරයෙන් පිළිගන්නවා. යකඩෝ... බලාගෙන ගියාම මම පොඩි එකා සන්ධියේම "ඇළහැර" ගිහින් යමක් කමක් ඉගෙනගෙනම ඇවිත් තියෙනවා...
ලියන්න කතානම් එමට තියෙනවා. වෙලාවත් තියෙනවා. නමුත් නිතරම ලිවිල්ලට බාධා වෙනනිසා හිත එකලස් කරගෙන ලියන්න අමාරුයි.
ඒක තමයි තියෙන එකම අවුල.... හැක්....
ගමන් විස්තරය ලස්සනට ඉදිරිපත් කරලා...
ReplyDeleteස්තුතියි සහෝ....
Deleteඋඹ බ්ලොග් එක කවි වලින්ම පුරවන්නද කල්පනාව.... තව මොනවහරි දේවලුත් ලියපං, කවි හරඹ බැරි අපිටත් තේරෙන්න එක්ක.
උඹේ කතාව කියවනකොට හිතෙ නොයෙක් අත දිව්වා අතුරු කතා ඔස්සේ.
ReplyDeleteබිස්කට් වල බුමිතෙල් ගඳ එන්න හේතු ගනනාවක් ඇති. ඔය ගැමි කඩවල බං මී පාසානම් එක්ක බිස්කට් පැකටුත් එක තට්‍ටුවේ දාගෙන විකුණනවා මම දැකලා තියෙනවා. අනික බූමිතෙල් ගඳ ඉක්මනින්ම අවට තියෙන දේට උරාගන්න ගතියකුත් තියෙනවනේ.
අර සිදරං වෙළන්දගෙ කතාව තමයි බං හුඟක් වෙළෙන්දන්ගේ කතාව. උනුත් උන්ගෙම පන්තියෙ උන්ව හෙටක් ගැන නොහිතා ගසා කනවා. එහෙම කරලා අනුකම්පාවත් බලාපොරොත්තු වෙනවා. උන් නැති කරගන්නේ වෙළඳාමට අවශ්‍යම දේ වන විශ්වාසය.
ඔය අලියා වී බොන එකයි, තෙල් තාච්චියට හොඳ දාපු එකයි මාත් අහලා තියෙනවා. සමහර විට ඒක අලි සාහිත්‍යයේ ප්‍රසිද්ද කතාවක් වෙන්නැති. ඇයි උඹ අහලා නැද්ද අලියා මෝටබයික් එක පස්සේ පන්නං එනකොට වෙන කරන්නම දෙයක් නැතිව වමට සිග්නල් දාලා දකුණට හරෝපු එක තුම්මන් හන්දියෙන්? අලියා රැවටුනා. පස්සෙ එක පාරටම දකුණට හරවපු නිසා අලියා පෙරළුනා. මූ බයික් එක හරවං ආපහු ගිහින් ගිණිකූරක් ගහලා අලියගේ ඇඟට දැම්ම ගමන් අලියා බහ් ගාලා ඇවිලුනා. ඇයි බං තෙල් ගොඩනේ. පස්සේ ඇලහැර ගිහින් ආපහු එන ගමන් අලුගොඩත් බලාගෙන තමයි ආපහු ආවේ.
හිත එහෙ මෙහෙ ගියානම් අමතක වෙන්න කලින් ඒ කතා බ්ලොග් එකට දාපං...
Deleteඅපේ මිනිස්සු හිතන්නේ එදාවේල ගැනනේ. එකනේ බං බිස්නස් වලදී මිනිස්සුන්ව අන්දන්න හදන්නේ. ඒක අපේ උන්ගේ තියෙන ආකල්පමය දෝෂයක්.
අර ප්‍රසිද්ධ අලි කතා වලට අමතරව මම මෑත කාලයේදී අර "ඔළු කන්නා" කියන අලියාගේ කතාව ඇහුවා වීරවිලදී. ඌ මරපු මිනිස්සුන්ගේ ඔළුව හපල පොඩි කරලා දාන නිසා තමයි ඒ නම වැටිලා තිබුනේ.
ඌට අවස්ථා දෙකකදී වෙඩි තියපු දෙන්නෙක් තමයි මට කතාව කිව්වේ.
උන් තියපු වෙඩි වලින් අලියා මැරිලා නැහැ, පලවෙනි සිද්ධියේදී ගියපු සෙට් එකෙන් එකෙක්ව අලියා මරලා. අනිත් උන් ජීවිත බේරගන්න දුවලා අතපය කඩාගෙන තිබුනා.
දෙවෙනි සිද්ධියේ එකාගේ ඉඩමේ වට්ටක්කා කනකොට තමයි ඌ අලියට වෙඩි තියල තියෙන්නේ
අන්තිමට පහුවෙනිදා අලියා ඇවිත් මු නිදා ගන්න කාමරේ ගාව බිත්තියට ඔළුව තියල තල්ලු කරලා මුළු ගේම පෙරලලා දාල
වෙලාවට මු එදා ගෙදර ඉඳල නැහැ, අනිත් කාමරේක හිටපු මුගේ අම්මයි, මල්ලියි බිත්ති වලට යටවෙලා ඉස්පිරිතාලේ ගෙනිහින් තිබුනා
ඒ අලියව මරනවා ඇරෙන්න කරන්න දෙයක් නැති මට්ටමක්ලු තිබුනේ.
(ඒක මම පිළිගන්නේ නැහැ, කරන්න දේවල් නැත්තේ නැහැ)
පස්සේ ඌට වෙඩි තියන්න ආමි එකෙනුත් ආවලු. ඒත් හොයාගන්න බැරිවෙලා
ටික කාලයක් ගියාම හේන් ගොයියෙක් තියපු වෙඩිල්ලකින් "ඔළු කන්නා" ජීවිතෙන් සමුගෙන තිබුනා.
ගමකට ගියාම අරුම පුදුම මිනිස්සු, ඒ වගේම පිස්සු හැදෙන කතා බං අහන්න ලැබෙන්නේ... කාලෙකින් යන්න බැරිඋනා ඒ පැත්තේ..
අර ඇළහැරදී අලියට ගිනි තිබ්බේ උඹ එහෙම නෙමෙයි නේද... හැක්..හැක්...
හරිම රසවත් සටහන ලොකුපුතා අයියේ. සේරටමත් වඩා අර කාපු කෑම ගැන ඇහුවම මටත් මේ දැන් කොහෙන් හරි එහෙම කන්න ඇත්නම් කියල හිතුනා. අපි ආසා කරපු ගම්මාන නවීකරණය වෙන කොට දුක හිතෙන ලෙඩේ මටත් තියනවා.
ReplyDeleteස්තුතියි සයුරි නංගි... (මේ උඹ මට අයිය කියන්න එපා අපි පරණ යාළුවෝ... හරිද)
Deleteටික දවසකින් මුකුත් ලිව්වේ නැහැ නේද. පුලුවන්නම් යෝධ ඇළ සම්බන්ධ නිවැරදි ඉතිහාසය අපිට බලන්න ලියන්න.
මම ඒ ගැන කරුණු ටිකක් හොයන්න බැලුවා, ජාලයේ හොයාගන්න අමාරුයි.
අපි අහල තියෙන්නේ යෝධ ඇළ හැතැම්මට අඟලක බැස්මක් ඇතුව හදල තියෙනවා කියලනේ, නමුත් ජාලයේ තියෙන්නේ වෙනස් කතාවක්.
හැතැම්මට අඟල් 6 ත් 12 ත් අතර බැස්මක් තියෙනවා කියල තමයි ඒවායේ තියෙන්නේ
ඒක සම්පුර්ණ ලියවිල්ලක් වෙන්න ඉංජිනියරින් පැත්තෙනුත් විග්‍රහ කළානම් තමයි වඩා හොඳ...
කෑම ගැනනම් කියල වැඩක් නැහැ. අළුත් හාලෙන් හදන බතක පුදුම රසක් තියෙන්නේ.
ඒකට හරියන්න දැන් අපිට කන්න දෙන කුකා...
අද උදෙත් මළ පැනගෙන ඌ හදල එවපු පරණ රතු හාලේ බතක් කෑවා. රතු කැකුළු බත් රස වෙන්නේ හාල් අලුත් උනාම...
අපි හැමෝම අතීතයේ එල්ලිලා ඉන්න උන් නිසා තමයි අපිට ගම නවීකරණය වෙද්දී දුකක් දැනෙන්නේ.
මුකුත් ඕනේ නැහැ, අපේ ගෙදරට යන පාරේ ඉස්සර යන්න බැහැ, මඩ වලවල්. සමහර වෙලාවට මිනිස්සු ලිස්සල වැටෙනවා.
බයිසිකල් වල යන මිනිස්සු මඩේ වැටෙනවා, මමත් ඉස්කෝලේ යනගමන් බයිසිකලේ බැලන්ස් එක නැතිවෙලා සුදු ඇඳුම පිටින් මඩේ කකුලක් එරිල තියෙනවා. වාසනාවට වැටුනේ නැහැ.
ඒත් ඒ පාරට, ඒ අතීතයට මම එදත් ආසයි, අදත් ආසයි. කවදාවත් මම ඒක කරුමයක් කියල හිතුව නැහැ.
දැන් පාර කොටසක් කාපට් කරලා...
මට ඒ පාරේ යද්දී හැමදාම මතක් වෙන්නේ මම කරත්තයක් පද්දගෙන මඩවලවල් වල බැහැගෙන මඩ පාරේ කඩේ ගිය අපුරුව.
දැන් ඒ පාර නෙමෙයි බං තියෙන්නේ.
ගම... පාර...ඒවා ඔක්කොම දැන් වෙනස්වෙලා...
//මේ උඹ මට අයිය කියන්න එපා අපි පරණ යාළුවෝ... හරිද//
Deleteඒම කියන්ඩ එපෑ ඉතින්. :)
මටත් මතක හැතැප්මට අඟලක බැස්මක් කියලා තමා. ඉඩ ඇති වෙලාවක තව ටිකක් හොයලා බලන්නම්. හොඳ තොරතුරක් ලැබුනොත් අනිවාර්යෙන්ම ලියන්නම් ඒ ගැන. දැන් මාසෙක විතර ඉඳලා එකක් ලියනවා. තාම බැරි උනා ඉවර කරගන්න. :(
හැතප්මට අඟල කියන එක සමහර විට අපිට අහන්න ලැබිච්ච ජන සාහිත්‍යයේ තිබ්බ දෙයක් වෙන්නත් පුළුවන්...
Deleteටෙක්නිකලි බැලුවම වෙනස් කමක් තියෙනවද දන්නේ නැහැ.
කොහොම නමුත් ඒ ගැන තව දුරටත් හොයල බලන්න ඕනේ.
////දැන් මාසෙක විතර ඉඳලා එකක් ලියනවා. තාම බැරි උනා ඉවර කරගන්න. :( ////
මොකක්ද අප්පා මාසයක් තිස්සේ ලියන්නේ....
මහාවංශය කෙටි කරලවත් ලියනවද.... ;-)
ලොකු පුතා,
ReplyDelete91 අවුරුද්දෙ තමයි මමත් මුලින්ම ඇළහැර පැත්තට ගියේ..ඒ පොළොන්නරුවෙ ඉඳල මාරුවීමක් හම්බවෙලා...ඇළහැර කිව්වට තව කිලෝ මීටර් 8 වගෙ ගිරිතලේ පැත්තට..ඒ හරියට කියන්නෙ බකමූණ..ඇළහැර කඩමණ්ඩිය පහුවෙලා යෝධඇල පාර මාරුවෙන තැන තියනව හෝටලයක්.මට නම මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ. එතන තමයි ඔය මාතලේ-ගිරිතලේ බස් එහෙම නවත්තන්නෙ තේ බොන්ට, දවල්ට කන්ට එහෙම. අන්න ඔය හෝටලේ ඉස්සරහ පාරෙන් අනික් පැත්තෙ තමයි මම දන්න කාලෙ ඇළහැර උප තැපැල් කන්තෝරුව තිබ්බෙ.
ඔතෙන්ට පොඩ්ඩක් එහා තමයි තියෙන්නෙ ඔරු බැඳි සියඹලාව..මහසෙන් රජ්ජුරුවො යෝධ ඇළ දිගේ ඇවිල්ල ඔරුව බැන්දයි කියන්නෙ ඒ සියඹලා ගහේ.එතන මගසෙන් දෙවියන්ට ( මින්නේරි දෙයියො කියන්නෙත් එතුමාටම තමයි ) කැපවෙච්චි දේවාලයක් තියනව ගඟ අයිනෙම.
සිය දහස් වාරයක් ඇළහැර ඔතන පාළම ලඟට වෙලා මම යෝධ ඇලේ වතුර ගලෙන දිහා බලා ඉන්න ඇති තේ බොන්ට නවත්තපු බස් එක ආපහු පිටත් වෙනකල්...හෙහ්,හෙහ්,
මම කලින් ලියපු කතන්දර බොහොමයක් සිද්ද වුනේ ඔය හරියෙ මම රාජකාරි කරද්දි. ඇළහැරට කිලෝ මීටර් හයක් වගෙ මෙහා ( ඒ කියන්නෙ නාවුල පැත්තට ) තියනව පාර අයිනෙම පොඩි ඉස්කෝලයක්..අපෙ උන්දැ ඔය ඉස්කෝලෙ උගන්නන්ට මාතලේ එයාලගෙ ගෙදර ඉඳල යද්දි තමයි අපේ සෙනේහෙත් පටන් ගත්තෙ..ඒ නිසාම ඇළහැර පැත්ත මට කවදාවත්ම අමතක වෙන එකක් නෑ...ස්තූතියි ලොක්කා මතක මංපෙත ඔස්සේ ඇවිද යන්නට සැලැස්සුවට...:)
පලි - ඔළු කන්නගෙ සීන් එක අහල තියනවද? ඔය හේන් වල පඹයො ඉන්නවනෙ. උංගෙ ඔළුවට තියෙන්නෙ පරණ මුට්ටියක්. ඔය ඔළු කන්නා දවසක් ඔය හේනකට පැනල අර ඉන්නෙ මිනිහෙක්ය කියල හිතාගෙන පයින් පාගල ඔලුව කාල. ඔය මුට්ටිය අස්සෙ තිබිල තියනව මීයක්. ඔලුව කියල හිතාගෙන අලියා මුට්ටිය හැපුවම අම්මට සිරි මී පැණි. මූට මේක මාර ආතල්. අලියා හිතුවෙ හැම මිනිහගෙම ඔලුව ඇතුලෙ මී පැණි තියනවය කියල. එදා ඉඳල තමයි ඕකා ඔය මරන මරන මිනිහගෙ ඔලුව හපන්ට පුරුදු වෙලා තියෙන්නෙ.
මම ඇළහැර ගිහින් තිබ්බට බකමුණ පැත්තට ගිහින් නැද්ද කොහෙද...
Deleteයෝධ ඇළ පාර හරහා මාරුවෙන තැන තියෙන තැපැල් කන්තෝරුව කියල මම කියපු තැනයි, තේ බොන්න බස් නතර කරන තැන තියෙනවා කියපු උපතැපැල් කාර්යාලයයි දෙකම එකක් නේද.
ඇළහැර අවට මෙච්චර දේවල් තියෙන බවක් දන්නවනම් පස්සේ කාලෙක හරි එහෙ ගිය වෙලාවක බලන්න යන්න තිබුනා.
//// සිය දහස් වාරයක් ඇළහැර ඔතන පාළම ලඟට වෙලා මම යෝධ ඇලේ වතුර ගලෙන දිහා බලා ඉන්න ඇති තේ බොන්ට නවත්තපු බස් එක ආපහු පිටත් වෙනකල්...හෙහ්,හෙහ්, ////
ඇත්තටම එතන තියෙන්නේ බලන් ඉන්න ආස හිතෙන දර්ශනයක්..... ඒ වගේම ඒ පළාතේ රැකියාව කරන්න ලැබිච්ච එක වාසනාවක් කියල හිතෙනවා.
සෙනෙහෙ පටන් ගත්තේ ඇළහැර පලාතෙන්නම් ඉතින් ඇළහැර අමතක වෙන්න විදිහකුත් නැහැනේ... :)
පරණ මතක ඇවිස්සුන වෙලාවේ අමතක වෙන්න කළින් පරණ කතාවක් එහෙම දාමු බ්ලොග් එකේ...
අර ඔළු කන්නගේ කතාව මගේ කණටත් ඇහිලා තිබුනා කොහේදී හරි...
ඌව මරන්න හරි එළවන්න හරි හිතාගෙන වෙඩි තිබ්බ අර පුද්ගලයෝ දෙන්නම, පස්සේ කාලෙක ඌ මැරිලා හිටපු සිද්ධිය මතක් කරලා දුක් උනා.
ඒ තරම් සරළ මිනිස්සු තාමත් ගමේ ඉන්නවා.
රසාවටයි ගෙදර වැඩ වලටයි හිරවෙලා නිසා ඔව්වයේ යන්න තියෙන වෙලාවේ අඩුකම තමයි ප්‍රශ්නේ...
පොල්කට්ටක ඉටිපන්දම ගහල පිටිපස්සේ සිදුර විදගත්තම තරමක් හුලං තියෙද්දී යන්න පුළුවන්. ඉස්සර මමත් ඔහොම ගිය කාලයක් තිබ්බ. පිටිපස්සේ සිදුරෙන් වෑහෙන එලිය නිසා පිටිපස්සෙන් එන කෙනෙක්ට එන්නත් පුළුවන්. ඉස්සරහින් හෙඩ් ලයිට් එක වගේ නිසා හොඳ එලිය. තරමක් දුර යනවා නම් තෙමාපු ලේන්සුවක් පොල් කට්ටේ ගැටගහනවා. එක්කෝ කට්ට වතුරේ දාල තියල ගන්නවා. ස්තුතියි අතීත මතකයක් ඇවිස්සුවාට.
ReplyDeleteස්තුතියි යාළුවා කමෙන්ට් එකට...
Deleteපොල් කට්ටේ හිලක් විදින සීන් එකයි ලේන්සු කතාවයි මම දැනගෙන උන්නේ නැහැ.
පරණ දේවල් අවුස්සදී වැදගත් දේවල් ගොඩක් මතුවෙනවා. ඒවා බ්ලොග් අවකාශයේ හරි ලියවෙලා තියෙන එක ගොඩක් වටිනවා.
අපි වගේ උන් කවදාවත් පොත් ලියන්න යන්නේ නැහැනේ... ඒ නිසා අපි දන්න පොඩ්ඩ උනත් නැතිවෙලාම යාවි...