Saturday, 31 January 2015

මී මුරේ - Meemure (2008.05.24 සහ 25) පළමු කොටස

එය අවම දින ගණනකින් සංවිධානය වු චාරිකාවක් විය.පරිසරයේ සොඳුරු මතකයන් පසු පස හඹා යාමට අප තුළ ඇති ආශාව නිසා සංවිධානය වූ ගමනකි. ලංකාව පුරා යුද්ධයේ අඳුරු සෙවනැළි වැටී තිබුණු ඒ අවධියේ රටේ මිනිසුන් චාරිකාවක් පවා ගියේනම් ඒ ඉතා කළාතුරකිනි. එසේ ගියත් යන්නේ බොහෝ කරුණු කාරණා සිතා බලාය. එබැවින් අපද යුධ අනතුරු රහිත පරිසරයක පිහිටි මී මුරේ බලා යාමට තීරණය කළෙමු. අනතුරු රහිත වටපිටාවක් බැවින් මෙම චාරිකාවට පිරිස් දායකත්වයේ එතරම් අඩුවක් නොවීය. නමුත් හදිසියේ ගත් තීරණයක් අනුව යාමට ගිවිසගත් මෙම චාරිකාව සංවිධානය කිරීම සඳහා එතරම් කාලයක් නොතිබූ නිසා යම් යම් අඩු පාඩු සිදු වූ බවද කිවයුතුය.

මෙහි සංවිධාන කටයුතු භාරව කටයුතු කිරීම ගලා සහ පෙරා විසින් බාරගෙන තිබූණි. මී මුරේ ගමන පිටත් වීමට නියමිත දිනය සතියකට පෙර බඩා නම්වූ අප මිතුරාගේ මංගල උත්සවය පැවැත්වෙන්නට නියමිතව තිබුණි. ඔහු කරකාර බැන්දේද අප කණ්ඩායමේම සාමාජිකාවකි. මංගල උත්සවයට සහභාගී වීම සඳහා වෑන් රථයක් කුළියට ගැනීමේ කටයුත්ත ගලා බාරගෙන තිබුණේය. නමුත් නියමිත දින පොරොන්දු වූ වෑන් රථය නොපැමිණි අතර වෙනත් සමාගමකට ඇමතුමක් දී හදිසියේ වෙනත් රථයක් සපයා ගැනීමට අපට සිදු විය. එම ගමනේදී සහ ඊට පෙර අවස්ථා කිහිපයකදීත් චාරිකාව සම්බන්ධව සාකච්ජා කළෙමු. අවසානයේ සැමගේ කැමැත්ත වූයේ මීමුරේ බලා යාමය.


ඊට බොහෝ කළකට පෙර  වතාවක නකල්ස් කඳු මුදුන් හරහා මීමුරේ බලා පැමිණීමට ගොස් අතරමං වූ අත්දැකීමක්ද මා සතුව ඇත. නමුදු මෙවර අප හා යාමට එක්වූ පිරිසේ එදින අප සමග අතරමං වූ කිසිවකුත් ඇතුළත් නොවුනි. මීට අමතරව මීමුරේ අවට වටපිවාවේ සුන්දරත්වය ඔප්නැංවූ සූරිය අරණ චිත්‍රපටයද යම් අයුරකින් තවත් කෙනෙකුගේ මනසට බලපෑම් කරන්නට ඇත. කෙසේ හෝ අප සියල්ලෝම පාහේ එහි යෑමට එකහෙළා කැමැත්ත දැක්වීමු. සතියකට පමණ පෙර පාසැල් මිතුරන් කිහිප දෙනෙක් සමග එහි ගොස් පැමිණ තිබූ පෙරා පවා නැවතත් එහි යාමට කැමැත්ත පළ කළේය.


මංගල උත්සවය බලා යාමට පැමිණි වෑන් රථයට කළින්ම ගොඩ වූයේ පෙරාය. තරමක් පසුවී අප වෑනයට ගොඩ වන විට එහි අසුන්ගෙන සිටි පෙරා රියදුරු සමග මිතුරු වී මීමුරේ ගමන එම වාහනයෙන්ම යාම සඳහා පිඹුරුපත් සකසාගෙන තිබුණි. ඔහුගේ යෝජනාව වී තිබුනේ අපව රිවස්ටන් දක්වා රැගෙන යාමත් අප එහි බස්සා රියදුරු තැන වාහනයද රැගෙන ගොස් කැමති තැනෙක නතර වී සිට පසුදින සවස අප හමුවීම සඳහා මීමුරේ බලා පැමිණිය යුතු බවය. රිවස්ටන්හිදී බැස ගන්නා අප පිරිස එහි යම් වේලාවක් නතර වී සිට මීමුරේ දක්වා කැලෑ මාර්ගයක් ඔස්සේ යා යුතුය.


අපූරු සැළසුමක් වූ එහිදී ඔහු බොහෝ දෑ අමතක කර තිබුණි. එනම් අප රැගෙන යන සියළුම බඩු භාණ්ඩ ඔසවාගෙන කැලෑ පාරකින් කිලෝමීරට පහ හයක් හෝ ඊටත් වැඩි දුරක් අප ගමන් කලයුතු වීමත් එයට ගෑස් ලිප් ආහාර ද්‍රව්‍ය ඇඳුම් මළු කැමරා ආම්පන්න වැනි සියළුම දෑද අයත් බවත්ය. එම බඩු භාණ්ඩ නොමැතිව පා ගමනින් යන අප මීමුරේ රාති්‍රය ගත කරන්නේ කෙසේද යන්න ඔහුගේ ටිකිරි මොළයට වැටහී නොමැත. පසුදින අප රැගෙන යාමට සවස් වරුවේ පැමිණෙන වාහනයේ කිසිඳු භාණ්ඩයක් තබා ඒමට නොහැකි බවත් පැහැදිළිය. ඒ මදිවාට එම ගමන සඳහා අප සමග යාමට මාර්ගෝපදේශක මහතකු හෝ නොමැත.


ඔහුගේ සැළසුම ක්‍රියාත්මක කළනොහැකි එකක් බව ගලාගේ සහ මාගේ දැඩි විරෝධය හමුවේ පවා පිළිගැනීමට ඔහු මැළි විය. (ඔහු යෝජනා කළ පරිදි රිවර්ස්ටන් හරහා ගොස් මී මුරේ දෙසට යාමට හැකි නිශ්චිත අඩි පාරක් හෝ නොමැති බව පසුව සනාථ විය. එහි යා හැකි වන්නේ කැලෑව හරහා පමණි. එසේ යාමට අප සමග මගපෙන්වන්නෙකු හෝ නොමැති බවද සිහිපත් කල යුතුය.) ඊටත් එම යෝජනාව අනුව රියදුරු මහතා අපව එහි ඇරලවා  නැවත පසු දින මී මුරේ දෙසින් පැමිණ අපව රැැගෙන යා යුතු විය. එම රියදුරු මහතා ඊට පෙර මීමුරේ ගොස් තිබුනේද නැත. ඔහු හට මාර්ගය සොයා ගැනීමට නොහැකි වුවහොත් දුරකථන සංඥා පවා නොමැති දුෂ්කර පෙදෙසක හිරවන අප පත්වන අපහසුතාවය අමුතුවෙන් තේරුම් කළයුතු නොවේ. එය එතරම් ප්‍රායෝගික නොවන උත්සාහයක් බව ඔහු තේරුම් ගත්තේ බොහෝ වේලාවක් කරුණු තේරුම් කරදීමෙන් පසුවය.

(අපගේ වාසනාවට හෝ චාරිකාවක යම් වගකීමක් එසේ නොමැතිනම් සම්පූර්ණ සංවිධානය ඔහු බාරගත් පසු අපට විඳීමට සිදුවන සිදුවීම් ඉතා අපූරුය. ඒවා පසුව අප යෙදුණු සහ තවදුරටත් යෙදීමට නියමිත චාරිකා වලදී ඔබහට නියත වශයෙන්ම දැන ගැනීමට හැකිවනු ඇත.)

උත්සවය අවසන් වී ආපසු පැමිණීමේදී වාහනයෙන් අවසානයට බැසීමට ඉතිරි වූ මා හට රියදුරු විසින් යම් උපදෙසක් දෙනු ලැබීය. එනම් ෆෝ වීල් වෑන් රථ ඔවුන්ගේ සමාගම සතු බවත් ඉන් එකක් අපගේ කර්තව්‍යය සඳහා කතා කරගන්නා ලෙසත්ය. අප සමග එවැනි විකාර ගමනක් යාම සඳහා ඔහු බිය වූවා වන්නටද ඇත. කෙසේ හෝ ඔහු ලබා දුන් දුරකථන අංකය අනුව පසු දිනෙක ෆෝ වීල් වර්ගයේ වාහනයක් වෙන් කරවා ගැනීමට මා හට හැකි විය. ඒ අතරවාරයේදී කිහිප වතාවක්ම ඇමතුම් දී වාහනය සම්බන්ධව විමසා සිටීමට මා අමතක කලේ නැත. මාගේ කරදරය ඉවසීමට බැරි නිසාවෙන්දෝ පැමිණිමට නියමිත රථයේ රියදුරු මහතාගේ දුරකථන අංකය ආදළ සමාගම මගින් මා හට ලබා දෙන ලදී. මැයි මස 23 දින උදෑසන දුන් දුරකථන අමතුමකදී ඔහු කියා සිටියේ දුර ගමනක් යායුතු බැවින් වාහනයේ තිබූ සුළු අඩුපාඩු කිහිපයක් සාදා ගැනීම සඳහා ගරාජයකට පැමිණි බවත්ය. ඒ සම්බන්ධ නොපැහැදීමක් මා සිතේ මෝදු වන්නට වූයේ මටත් නොදැනීමය. දහවල් වන විටද ඔහු කියා සිටියේ ඒ වන විටත් අළුත්වැඩියාව සිදු වෙමින් පවතින බවය.


නියම ගැටළුව උදා වූයේ 23 වැනි දින සවස් වූ පසු ඔහු හට නැවත ඇමතුමක් දුන් විටදීය. ඒ වන විටත් ඔහුගේ වාහනය ගරාජයේ බවත් එදින රෑ වන විට අළුත්වැඩියාව සම්පූර්ණ කර ගැනීමට හැකි වෙතැයි ඔහු සිතා සිටි බවත්, දැන් පවතින තත්ත්වය අනුව වාහනයේ අළුත්වැඩියාව සම්පූර්ණ කරගත නොහැකි බවත් කීවේය.

ඔහු හා කතා කරන්නට කාලය අපතේ යැවීම අපරාධයක් බව තේරුම් ගත් මා වහාම අදාළ වාහන කුළී ආයතනය වෙත ඇමතුමක් ලබා ගතිමි. චාරිකාව යාමට හැකි පහසුකම් සහිත වෙනත් වෑන් රථයක් පොරෙන්දු වූ වේලාවටම එවන බවට පොරොන්දු වූ පසුව ඇමතුම විසන්ධි කළෙමි. ප්‍රශ්නය තරමක් දුරට සමනය වූ බවක් සිතට දැණුනද කිහිප වතාවක්ම ඔවුන් හා සම්බන්ධ වී තොරතුරු ලබා ගැනීම සිදු කලේ ඔවුන් සම්බන්ධව කිසිඳු පැහැදීමක් මා සිතේ නොවූ නිසාය. ලබා දුන් ඇමතුමක් පාසා අපහට ලබා දීමට එකඟ වූ රථයේ ඇතැයි කියූ පහසුකම් එකින් එක අඩු වන බවක්ද පෙනෙන්නට විය. කළයුතු යමක් නැත. අපගේ ගමන යාම සඳහා එවීමට පොරොන්දු වූ නව රථයේ රියදුරුගේ අංකය ලබා ගැනීමට කටයුතු කළෙමි. කිහිප වතාවක් උත්සාහ කිරීමෙන් පසු ඔහු මාගේ ඇමතුමට පිළිතුරු දුන්නේය. ඒ වනවිට ඔහු දුර ගමනක් ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටින් බවත් රාත්‍රී 12:30ට පමණ බම්බලපිටියට පැමිණීමට හැකි බවත් පැවසීය.
ප්‍රශ්නය එලෙස නිමා විය. මෙලෙසින් හෝ වාහනයක් සොයා ගැනීමට හැකිවීම අප පත්ව සිටි අපහසුතාවයේ හැටියට මහත් පහසුවකි.

පොරොන්දු වූ වේලාවට ආසන්න වේලාවකදී මා හට දුරකථනයෙන් කතා කල රියදුරු මහතා ඔහුගේ රථයද රැගෙන පැමිණියේය. එය 61 අංක කාණ්ඩය දරණ තරමක් පැරණි වෑන් රථයක් විය. ලැබුන අශ්වයාගේ දත් ගණන් නොකිරීමට මා සිතා ගත්තේ වාහනය පැමිණීමටත් පෙරය. කළින් පොරොන්දු වූ පහසුකම් සම්බන්ධව කතා කිරීමෙන් දැන් පළක් නැත. මෙලෙසින් හෝ වාහනයක් ලැබීම සම්බන්ධව පමණක් මම සතුටු වීමි.

ප්‍රශ්නය අවසන්යැයි මා සිතුවද එය නව මුහුණුවරකින් නැවත පැමිණියේය. මෙම වාහනය අප වෙත එවා ඇත්තේ තාවකාලිකව බවත් අතරමගදී වෙනත් හොඳ වාහනයක් අප වෙනුවෙන් සපයන බවට වූ පොරොන්දුවක් අනුව තමන් පැමිණි බවද නව රියදුරු මහතා කියා සිටියේය. කෙසේ හෝ පැමිණි වාහනයට ගමන සඳහා මිළදීගත් යම් යම් දෑ පටවාටත් අප බම්බලපිටියේ පිහිටි නවාතැන්පළින් චාරිකාවේ මූලාරම්භය සනිටුහන් කළෙමු. අප දෙදෙනාගේ ගමන්මග යොමු වූයේ ගලා ඇතුළු මිතුරු පිරිස ලැගුම්ගෙන සිටි රත්මලානේ බෝඩිම බලාය.

ගමන් අරඹා මද වේලාවකින් අනෝරා වැස්සක් ඇද වැටෙන්නට පටන් ගත්තේය. පෙරදින යාන්තමට මෙන් වැළඳීගෙන ආ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයද මේ වන විට දැඩිලෙස වර්ධනය වී තිබුණි. රත්මලාන බෝඩිම ආසන්න වත්ම ගලා වස්සා ගෝනා ඇතුළු පිරිසට ඇමතුම් කිහිපයක් ලබා දුන්නද කිසිවකුගෙන් ප්‍රතිචාරයක් නොවීය. අපේ වසු පැටවුන් තවමත් ඇහැරී නොමැති සෙයකි. තිදෙනාගේම ඡංගම දුරකථන වලට දුන් ඇමතුම් වලට පවා ඇහැරෙන බවක් පෙනෙන්නටද නොමැත. එළියට බැස වැස්සේ තෙමෙමින් ගේට්ටුවෙන් පැනීමටද නොහැක. එම බෝඩිමේ තිබූ ගේට්ටුවෙන් වැසි නොමැති වේලාවකදී පවා පැනීම පහසු නොවීය.


සෑහෙන වේලාවක් එතැන ගතකරමින් ඔවුන් අහැරවා ගැනීමට කෝල් පිට කෝල් ලබා දීමෙන් හෙම්බත්ව සිටි මා හට ඔවුන්ගේ නොසැළකිලිමත් බව සම්බන්ධයෙන් ඇතිවූයේ අසීමිත කෝපයකි. වැස්ස මදක් තුරල් වූ මොහොතක වෑනයෙන් බැසගත් මා පාරෙන් එහා පැත්තට පැන ගත්තේ කළහැකි යමක් ඇත්දැයි සොයා බැලීමටය. ස්වල්ප වේලාවකින් නැවතත් තදින් වහින්නට පටන් ගත්තේය. නැවත වෑනයට ගොඩවීමටද නොහැක, රියදුරු මහතාගේ දුරකථනයද කි්‍රයාවිරහිත වී ඇත. අප සමග මීමුරේ යාමට නියමිත සෑම දෙනාටම පාහේ අමතා ගලා ඇතුළු පිරිස ඇහැරවීමට උත්සාහ කරන ලෙස දන්වා මා තරමක් නිහඬ වූයේ කෝපය නිවා ගැනීමටය. කඩපිළ  අයිනට වී හිටිගෙන සිටි මා හට වැස්සත් සමග පැමිණි හිරිකඩ ප්‍රවාහයකටද ගොදුරු වන්නට සිදු විය. වැස්සේ නැතිනම් සහ මා අසනීපව සිටියේ නැතිනම් ගල් ගෙඩි කිහිපයක් රැගෙන තෙවන මහළේ ඇති ගලාලාගේ බෝඩිමේ වීදුරුවක් කුඩු කිරීම කජු කනවාක් මෙන් පහසු වැඩක් වන්නට ඉඩ තිබුණි. මේ වන විට අප එහි පැමිණ පැය භාගයකට වැඩි වේලාවක් ගත වී තිබුණි. වැස්ස තුරල් වූ පසු පාර පැන වාහනයට ගොඩ වී බලන විට රියදුරු මහතා තද නින්දේ පසු විය. මෙවිටම වාගේ හනියා ඇමතුමක් දී කියා සිටියේ මෙතනට වී බලා සිටීමෙන් පළක් නැති බවත් ඔහුව රැගෙන යාමට පැමිණෙන ලෙසත්ය. ගලා ඇතුළු තිදෙනා පසුව ගන්නා අදහසින් බොරුපන පාරේ නිවසක නතරව සිටි හනී රැගෙන ඒමට පිටත් වීමූ. ඒ යන අතරමගදී නින්දෙන් අවධි වූ ගලා මා හට ඇමතුමක් ලබා දුන්නේය. වේලාවේ හැටියට හැකි පමණින් සහ දන්නා හිංගලෙන් ඌට ඇමතුවත් අධික සෙම්ප්‍රතිෂ්‍යාව නිසා හුස්ම ගත නොහැකි වූ නිසා බැනුම හිතේ හැටියට කළ නොහැකි විය.


හනියා රැගත් අප ආපසු රත්මලාන බලා පැමිණෙන විට ගලා වස්සා සහ ගෝනා යන තිදෙන බඩු මුට්ටුද රැගෙන පාර අයිනේ සිටගෙන උන්හ. මුන් දේව දරුවෝය. වස්සා සාදා දුන් සුප් එකක් එම ප්‍රමාදයට හේතුව ලෙස ඔවුන් දැක්වීය. එය හරියට කැකිල්ලේ නඩු තීන්දුව වැන්නකි. පෙර දිනයේ සාදා දුන් සුපයක් නිසා එකෙකුට බඩේ ගායක් හැදුනු බවත් තව තවත් මොනවාදෝ බේගල් තොගයක් ඇද බාමින් ප්‍රමාදයට හේතු ඉදිරිපත් තලෝය. කරුණු කෙසේ වුවත් හැකි පමණින් තිදෙනාටම අමතා ඊළඟ නැවතුම බලා පිටත් වීමු. ඒ පෙරාගේ අක්කලා කුළියට පදිංචිව සිටි දෙහිවල තිබූ ගෙදරයි. එහි ළඟා වූ අප පිරිසෙන් කිහිප දෙනෙක් නිවස තුළට ගියද ඔවුන් ඉක්මණින් පැමිණෙන බවක් දක්නට නොවීය. ඔවුන් පැමිණියේද විනාඩි 15 ක පමණ ප්‍රමාදයකින් පසුවය.


ගලා ඇතුළු පිරිසේ ප්‍රමාදය හේතුවෙන් පෙරා ඇතුළු පිරිස නැවතත් සාධාරණ ලෙස නින්දට පිවිසී ඇත. එම වරදත් ගලා වස්සා ඇතුළු පිරිස මත පටවා නිදහස් වීමට ඔවුන් උත්සාහ කළහ. ඊළඟට සජානි සහ විචිත්‍රා යන දෙදෙනා වාහනයට ගොඩ විය. උන් දෙදෙනා වාහනයට ගොඩ වීමට කළින් සිටම ප්‍රමාදයට හේතුව සහ ප්‍රමාද වන බව දන්නා නිසාත් ගලා යනු සජ් ගේ වෙන්න මහත්තයා නිසාත් වැඩි දෝස්මුරයක් වැටුනේ නැත. දැන් අප ගමනේය.


මෙම වාහනයේද යම් යම් දෝෂ ඇති බවත් වෙනත් වාහනයක් ගමන සඳහා සපයා ගත යුතු බවත් රියදුරු මහතා වරින් වර මා හට සිහිපත් කර දුන්නේය. වාහනය මාරු කරගැනීම ඔවුන්ගේ කාරියකි. වාහන මාරුව බත්තරමුල්ල ආසන්න ස්ථානයකදී සිදුකිරීම වඩා හොඳ බව පමණක් අපගේ මතය වූයේ අපගේ අවසන් සගයා වූ වන්නී කණ්ඩායමට එක් වීමට නියමිත වූයේද ඒ ආසන්න ස්ථානයකින් වූ නිසාය. අදාළ ස්ථානයේදී වන්නීද වාහනයට ගොඩ විය.


දැන් අප ගමන් ගන්නා රථයේ රියදුරු තැන කඩිමුඩියේ අනෙක් රියදුරු මහතෙකු හා කතාවේ යෙදෙයි. ඔවුන් දෙදෙනාගේ කතාවෙන් අප හට පැහැදිළි වූයේ එම රියදුරු මහතා පැමිණිය නොහැකි බවක් පවසන අයුරුය. රථයේ රියදුරු මහතා අප සමග කියමින් ඔහු වැඩ කරන ආයතනයට සහ අනෙක් රියදුරාට බැන වැදෙන්නට පටන් ගත්තේය. ඉන් පසු ඔහු අකමැත්තෙන් මෙන් ඉදිරිය බලා රථය පදවාගෙන ගියේය. ඒ වෙද්දී අප කඩුවෙල හරහා ගොස් නුවර පාරට අවතීර්ණ වූවා පමණි. චුරු චුරු හඬින් ඇදවැටෙන වැස්සේ අඩුවක් පෙනෙන්ටද නොමැත.


පොරොන්දු වූ රථය නොපැමිණි බැවින් අප ගමන්ගත් වාහනය මී මුරේ මාර්ගයේ යා හැකිද නොහැකිද යන්න ගැන කතා බහක්ද අප පිරිසේ සිටි දැනමුත්තන් අතරින් මතුවෙමින් පැවතිණි. ඔවුන් ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් වාහනයේ ෆොග් ලයිට් නොමැති බව පැවසුවේ රියදුරු තැනය. එහිදී දැඩි ලෙස අදහස් දැක්වූ පෙරා කියා සිටියේ ෆොග් ලයිට් නොමැතිව එහි යා නොහැකි බවකි. රියදුරු මහතා රථයේ වේගය මදක් බාල කරද්දීම වාගේ ෆොග් ලයිට් සම්බන්ධව මගේ සහ ගලාගේ හඬ අවධි විය. ඉන් මදක් පසුබට වූ රියදුරු මහතා එය එතරම් ගැටළුවක් නොවන බව දන්නා නිසාදෝ වේගය බාලකර තිබූ රථයේ වේගය තරමක් වැඩි කළේය. ඉන් පසුව පෙරාගේ ඊළඟ ප්‍රශ්නය වූයේ මෙහි ෆෝ වීල් තිබේද යන්නයි. රියදුරු තැනගේ පිළිතුර වූයේ එහි ෆෝ වීල්ද නොමැති බවය.


එහිදී වහාම සභාව මැදට පැනගත් පෙරා "මේ වාහනේ නම් මී මුරේ යන්න බැහැ, ෆෝ වීල් නැතුව කොහොමද මීමුරේ යන්නේ" කියා බොහෝ වැදගත් බවක් ආරූඩ කරගෙන පැවසීය. එසේ පවසා වැදගත් ලෙස පපුව හරහා අත්දෙක බැඳගෙන නිහඬ විය.


අඬන්න සිටි මිනිහාට ඇඟිල්ලෙන් අනිනවා කියන්නේ මේවාටය. රියදුරු තැනද හැකිවෙර යොදා දැඩි බ්රේක් පහරක් ගසා වෑන් රථය පාරේ අයිනකට කර නතර කලේය. එවැනි මෝඩ කතාවක් මෙවැනි මොහොතක කවුරුන් හෝ කියාවියැයි සිහිනෙකින්වත් සිතාගත නොහැකි වුවත් පෙරා නිර්ලොභීව එම ක්‍රියාව සිදු කළේය.

එසේනම් අපට වෙනත් වාහනයක් සොයාගෙන මීමුරේ බලා යන මෙන් රියදුරු තැන පවසා සිටියේය. ඔහු ඒ වනවිට වාහනයේ එන්ජිමද ක්‍රියාවිරහිත කොට තිබිණි. ෆෝ වීල් සහ ෆොග් ලයිට්  කෙසේ වෙතත් මේ මළ පාන්දර වෙනත් වාහනයක් සොයා ගැනීම පවා ප්‍රායෝගිකව කළ නොහැකි දෙයකි.

එවේලේ මට ඇති වූ කෝපය කෙසේ හෝ පාලනය කරගත් මා විසින් දැඩි සංයමයකින් යුතුව පෙරාගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියේය. ගියවර (සතියකට හෝ දෙකකට පෙර) ඔවුන් ගිය වාහනයේ ෆෝ වීල් තිබුනාද කියා මා ඇසුවෙමි. එයට පිළිතුර වූයේ "නැත" යන්නය. කළින් වර ෆෝ වීල් නැතුව ගියා නම් මෙවර අපට යාමට බැරි වීමට හේතුව කුමක්දැයි ඇසූ පසු පිළිතුර වූයේ ගියවර කිහිප වතාවක් වාහනය තල්ලූ කිරීමට සිදු වූ බව පමණි.


වානහය හදිසියේ තල්ලූ කිරීමට වුවහොත් එසේ කිරීමට කිසිම බාධාවක් නැති බව පැහැදිළිය. සියල්ලටම පෙර මීට මුල්වූ පෙරා හට සියල්ල බොහෝ අලංකාර වූ භාෂා භාවිතයකින් යුතුව සියල්ල පහදා දීම සිදුවිය. ඉන්පසුව එළඹියේ රියදුරාගේ වාරයයි. ඔහු හට බැන වැදීමට සිදු වූයේ ඔහු අයත් සමාගම එවීමට පොරොන්දු වූ වර්ගයේ රථයක් අප වෙත නොඑවීම සම්බන්ධව සහ ඔවුන්ගේ වැරදි සඳහා අප හට වන්දි ගෙවන ලෙස පැවැසීම නිසාත්ය.


අප වාහනය ඉල්ලු අවස්ථාවේ එම පහසුකම් දෙකම සහිත රථයක් ඉල්ලු බවත් ඒවා නොමැති රථයක් එවීම අපගේ ප්‍රශ්නයක් නොවන බවත් ඉතා පැහැදිළිව ඔහු හටද පහදා දීමට සිදුවිය. එමෙන්ම මේ මොහොතේ වාහන සෙවීම කළහැකි ආකාරයද ඔහුගෙන්ම විමසීමි.

බැන වැදීම් කිහිපයකින් පසුව ගමන පිටත් වීමේ මූලික කරදර සියල්ල පාහේ හමාර විය. සුළු වේලාවකින් රථය පණ ගන්වාගෙන ගමන පිටත් වීමට රියදුරු මහතා ක්‍රියා කළේය.

පසුව හෙළි වූයේ මෙම රථය අප කතා කල සමාගමට අයත් එකක් නොවන බවත් වාහන නොමැතිකම නිසා වෙනත් ආයතනයකින් කතාකොටගත් වාහනයක් බවත්ය. කෙසේ හෝ පාන්දර දෙකට පමණ වෙනත් වාහනයක් සොයා ගැනීමට සිදු වීමේ අභාග්‍යයෙන් අප මිදුණි.


ඒ වරද සම්බන්ධව නිසි පරිදි පෙරා හට බැන වැදීමටද නොහැකි වූ බව මා අදද පවසන්නේ අවංක කණගාටුවෙනි. මන්ද යත් එවැනි වේලාවක එවැනි මෝඩ කතාවක් කීම සිහි කල්පනාවක් ඇති මිනිසෙකුට කළ හැකියැයි මා විශ්වාස නොකරන නිසාත් වාහන සෙවීම බාර ගත් ඔවුන් ඒ සඳහා නිසි දායකත්වයක් නොදුන් නිසාත්ය. ඒ නැතත් තත්ත්වය නොදැන එවැනි ප්‍රකාශයක් කළද එයද වරදකි. මන්ද යත් ඒ වේලාවේ කළහැකි වෙනත් යමක් නොමැති නිසාත්ය.


මදක් දුර ගිය වාහනය තේ උගුරක් බීම සඳහා රාත්‍රී කඩයක නතර කළේය. වාහනයේ යන අතරමගදී කෑමට සැන්විච් සාදාගෙන එන මෙන් පෙරාට පැවසූවේ රාත්‍රියට ඇහැරී සිටින විට දැනෙන බඩගින්න අත්දැක ඇති නිසාය. නමුත් සුනේත්‍රා සහ සඳරේකා යන දෙදෙනා එය සම්පූර්ණයෙන් සිදු නොකළ බවක් කියු පෙරා වෙන වෙනම ගෙන ආ පාන් පෙතිත්, සැමන් සහ ළුෑනු මිශ්‍රණයක් අප වෙත දිගහැරියේය. සැන්ඩ්විච් පෙති තුන හතරක් කෑමෙන් මැදියම් රාත්‍රියේ දැනෙන බඩගින්න නිවා ගැනීමට බලා සිටි අවස්ථාව ගිළිහී ඇත. එමෙන්ම සිතේ ඇතිවූ අවුල් සහගත තත්ත්වය තවමත් පහව ගොස් නොමැත. කාගේදෝ තේ කෝප්පයකින් උගුරක් පමණ බී නැවතත් වාහනයට ගොඩ වී බලා සිටියේ මිතුරන් පැමිණෙන තෙක්ය.

දැන්ම පිටත් වීමට හැකියාවක් නොමැති බවක් කියවුනේ ඒ අතරතුරේදීය. රාත්‍රී ආහාරය ලෙස වස්සා සාදා දුන් සුප් බී සෑදුනු බඩේ අමාරුවක ප්‍රතිඵලය ගෝනා අත්විඳිමින් සිටියේය. එනිසා සිදු වූ ප්‍රමාදයකි මෙය.

නැවත ගමන් ආරම්භ කළ පසු රියදුරුගේ මුහුණේ ඇඳී ඇති නිදිමත ස්වභාවය අප සිත් තුළ බියක් ඇති කරවීය. එනිසාවෙන් ඉදිරිපස අසුනේ සිටින දෙදෙනා වෙත දැඩි වගකීමක් ඇති බවද පෙන්වා දුනිමු. ගෝනා මල්ලී කිසිදු අපහසුවකින් තොරව එම වගකීම ඉටු කළේය. ඔහු කතා මල්ලක් සේ රියදුරු සමග අනන් මනන් කියවමින් ගමන් කරයි.


කවුරුත් ගණන් නොගත් පාන් මල්ල සහ සැමන් සහිත භාජනය අප අසළම තිබීම නිසාත් බඩගින්න දරුණු වූ නිසාත් මම සහ හනී බඩගින්න අඩුවනතුරු පාන් පෙති කිහිපයක් කැවෙමු. ඒ කඩාගත් පාන් කැබලි සැමන් මිශ්‍රණයේ හොද්දක ඔබාගෙන කන ආකාරයෙන් කෑමෙනි. අනතුරුව පිටිපස සිටින පිරිසටද පාන් කෑමට අශාව ඇති විය.

උදෑසන හත පමණ වන විට හුන්නස්ගිරිය වෙත පැමිණීමට අප සමත් විය. එහිදී කොළඹින් මිළදී ගැනීමට නොහැකි වූ භාණ්ඩ වර්ග කිහිපයක් මිළදී ගත්තෙමු. රියදුරු මහතා විසින් වාහනයේ ගෙවී ගිය ටයරයක් ඉවත් කර ඔහු රැගෙන ආ වෙනත් ටයරයක් සවි කර ගැනීමට කල් ගන්නා අතරතුරේදී අප පිරිස තේ පානයකින් සහ වඩේ වැනි සුළු කෑම වේලකින් සප්පායම් වීමු. නමුත් ටික වේලාවකින් මා හට වැටහී ගිය තවත් වැදගත් කාරණයක්නම් එම රථයේ ඇත්තේ අමතර රෝදයක් නොව අමතර ටයරයක් පමණක් බවය. ඒ බව දුටුවේ මම සහ ගලා පමණකි. ඒ අප දෙදෙනා එහි වූ ඉන්ධන පිරිවුම්හලේ ඇති වැසිකිළියේ සිරි නැරඹීමට ගොස් එන අතරතුරේදීය.

අමතර රෝදයක් ඇතත් නැතත් වනගත දුෂ්කර ගමකදී විය හැකි දෑ බොහෝය. කෙසේ නමුත් මෙය අන් අයට කීමෙන් සිදු වන්නේ බියක් ඇති වීම පමණක් නිසා එය කීමෙන් වැළකී සිටීමට අප දෙදෙනා තීරණය කළෙමු.

කෙසේ හෝ මී මුරේ යන ගමනේ ඊළඟ කොටස ආරම්භ විය. කෝබට් කපොල්ල දක්වා ඇති මාර්ගයේ තැනින් තැන තාර දමා ඇතත් එය ගැළවී විනාශ වී ගොස් තිබුණි. ධාවනය ඉතාම අපහසුය. විශාල කඳු කිහිපයක් තරණය කිරීමටද සිදුවිය.
නම මතක නැත


Autumn Leaf නම් සමනළයෙක්, සොයා ගැනීමට අපහසු වර්ගයකි


කෝබට් කපොල්ලේදී ටික වේලාවක් නතර වී ඡායාරූප ගැනීමද එහා මෙහා යමින් පරිසරයේ රස විඳීමටද කාලය ගත විය. පැයකට පමණ ආසන්න කාලයකින් අනතුරුව නැවතත් ගමන් ඇරඹීමේදී භූමියේ විෂමතාව මැනවින් කැපී පෙනුනි. තාර දැමූ බවට ඉතිරි වී තිබුනේ සළකුණු කිහිපයක් පමණි. කෙසේ නමුත් කයිකාවල දක්වා ගමනේදී ඉතාම අපහසුවකින් එගොඩ විය යුතු බවට කිවහැකි ස්ථාන එතරම් නොවීය. සැබැවින්ම අපහසු බවක් පෙනෙන ස්ථාන කිහිපයකදී එතරම් අපහසුවකින් තොරව රථය එතෙර වූ අවස්ථාද විය. නමුත් නගරයේ පාරවල් වල පමණක් ධාවනයේ යෙදෙන රියදුරෙකුගෙන් බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා ඉතා වැඩි දක්ෂතාවයක් රියදුරු මහතා ප්‍රදර්ශණය කල බව අපගේ පොදු අදහස විය.


මෙලෙසින් නොයෙකුත් අපහසුතා මධ්‍යයේ කයිකාවල ආසන්නයට පැමිණි විට මාර්ගයේ ස්වභාවය තරමක් හොඳ අතට හැරී තිඛෙනු දක්නට හැකි විය. නමුත් නියම අපහසුතාවය දක්නට හැකි වූයේ ඉන් අනතුරුවය. එක් ස්ථානයක දී ගමේ ගහැණියක් අප හා පැවසූයේ එම ස්ථානයෙන්  එහාට යාමට නොහැකි බවය. අළුතෙන් දැමූ කොන්ක්‍රීටයක් අපගේ ගමනට අවහිරයක් වී ඇත. අප හට කාරණය කියූ ගැමිලියගේ නිවස එම ස්ථානයේම වූ අතර අප පැමිණි වාහනය රියදුරු සමග එහි දමා යාම හැර වෙනත් විකල්පයක් නොවීය. ඔහුගේ ආහාර වේල් කිහිපය සැපයීමද ඇයටම පැවරූ අප ඒ සඳහා යම් මුදලක් ගෙවීමටද එකඟ විය. මෙවිට වේලාව පසුවරු 1:30ට පමණ ආසන්න වී තිබුණි.


එම අවස්ථාවේදීම වාගේ ජීප් රථයක් මී මුරේ දෙසට අප පසුකරගෙන ගමන් ගත් අතර එය ගියේ කෙසේදැයි විමසීමට මම වන්නී සහ හනී යන තිදෙන ඉදිරියට ගියෙමු. ටික වේලාවකින්ම ගැහැණුන් දෙදෙනෙක් අධික කෝපයෙන් යුතුව දින දෙක තුනක් පැරණි කොන්ක්‍රිටය හරහා ගමන්ගත් ජීප් රථයේ පිරිසට බැණ වැදෙමින් අප ඉදිරියට පැමිණියෝය. එය හරහා යනවානම් මැම්බර් මහතාගෙන් අවසර ලබා ගත යුතු බවක්ද කියමින් ඔවුන් අප පසු කරගෙන ගියෝය. පෙරේදා දැමුවායැයි පැවසූ කොන්ක්‍රීටය මේ වන විට හොඳින් වියැළී ඇති බව පෙනෙන්නට විය. එය හරහා යාමට අවසර ගැනීමේ හැකියාව ජීප් රථය නිසා තවත් වැඩි විය. අප ඉදිරියට පැමිණි ගැහැණුන් දෙදෙනා නියමාකාරව අපගේ පිරිස ඉදිරිපිටදීද හැසිරී ඇති බව පසුව දැන ගන්නට ලැබුණි. වෑන් රථය නතර කල නිවස ඉදිරිපිටදීද නතර වූ ඔවුන් ජීප් රථයේ ගිය පිරිසට බැන වැදී ඇත.


මෙයින් සිදු වූයේ පයින් යාමේ අදහස අප පිරිසට ඇති වීමය. අප ආපසු පැමිණෙන විටත් බෑග් මළු සහ කුඩා ගෑස් ටැංකියද එල්ලා ගත් අප කණ්ඩායම ඉදිරියට පැමිණෙමින් සිටියහ. අප තිදෙනාද පැමිණ ඉතිරි බෑග් මළු කිහිපයත් රැගෙන ඉදිරිය බලා පිය මැන්නෙමු. එහි සිට කයිකාවල හන්දිය දක්වාද කිලෝමීටර දෙකක පමණ දුරක් ඇති බව දැනගන්නට ලැබුණි. එම දුර ගෙවා යාම පවා ඉතා වෙහෙසකර කටයුත්තක් විය. පෙරාගේ යෝජනාව අනුව කිලෝමීටර ගණනක් කැලේ මැදින් මෙම බඩු මුට්ටු තොගයම ඔසවාගෙන යාමට සිදු වූයේනම් කෙසේ වන්නට තිබුණිද. කයිකාවල බොහෝ සුන්දර ස්ථානයකි. නමුත් අප එහි පැමිණෙන විටම වාගේ තවත් වෑන් රථයක් අපට පමණක් පැනගත නොහැකි කඩුල්ලක් වූ නව කොන්ක්‍රිටය හරහා පැමිණ කයිකාවලට හන්දිය දක්වාම පැමිණියේය. කළින් පැමිණි ජීප් රථයද එහි විය.


අපහට පමණක් සාධාරණ වන්නට සිදුවීම සම්බන්ධව බොහෝ සිත් අමනාපයෙන් යුතුව දිවා ආහාරය පිසීමේ කටයුතු සූදානම් කළෙමු. ඒ අතර ඇලේ බැස දිය නෑමටද අමතක නොකළෙමු. හාල් සෝදා ලිප තබා එදින දිවා ආහාරය වශයෙන් පරිප්පු සහ කරවල බැදුමක් පිළියෙල කිරීමේ මූලික කටයුතු පිළියෙල කළෙමු. ටික වේලාවකින් මම සහ ගලා දෙදෙනා අප පැමිණි වෑන් රථයද මෙහි රැගෙන ඒමට පිටත් විය. අධික ලෙස දහඩිය වගුරවමින් වෑන් රථය වෙත පැමිණෙන විට රියදුරු මහතා හොඳ නින්දක පසු විය. ඔහු ඇහැරවාගෙන එහි සිටි කාන්තාවටද අප යන බව පවසා කයිකාවල බලා වෑනය රැගෙන යාමට අප සමත් විය.


අප ආපසු පැමිණෙන විට පරිප්පු හොද්ද ලිප මත තබා තිබුණි. පරිප්පුව වඩා හොඳ පරිප්පු ඇට වෙන්ව පෙනෙන සේ (බාගෙට අමුවෙන් මෙන්) පිසූ විට බව පැවසූ කාන්තා පාර්ශවය කෑම පිසීමේ කටයුත්තෙන් වහාම නෙරපා හැරීමට අපි කටයුතු කළෙමු. ඒ අතරවාරයේ කරවල බැදුම සෑදීම සඳහා අවැසි අඩු වැඩියද සකසා ගත්තෙමු.

ගමේ පොඩි එව්වෝ දෙන්නෙක් දිය ඇල්ල අසළ දිය නාමින්


මේ අපේ සෙට් එක, මම නැත


මේ ඉන්නේ දඟලන දළඹුවෝ රංචුවක්. උන් ගාවට ගිහිං අපි කතා කලත් උන් ගැස්සිලා වගේ නටන්න ගන්නවා

ආහාර පිසෙමින් පවතින අතරතුරේදී සියළු දෙනාම පාහේ ස්නානය කිරීමද නොකඩවා සිදු කළහ. නෑම අවසානයේ දැනෙන අධික බඩගින්නක්ද සමගින් සියල්ලෝම ගොඩ පැමිණියෝය. එම බඩගින්න නිවා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. අප රැගෙන ගොස් තිබුනේ පිඟන් හයක් පමණක් නිසා කෑම ඛෙදා ගැනීම සාමූහිකව සිදු කළයුතුය. ප්‍රශ්නයක් නැත අප බත් පිසීමට රැගෙන ගිය විශාල භාජනයේ පියන අප පස් හය දෙනෙකුගේ පොදු පළඟාන බවට පත් විය. කෙසේ හෝ සියළුම දෙනා කිහිප වර බැගින් බත් ඛෙදාගෙන කෑ අතර අන්තිමේදී අප කෑ ප්‍රමාණය ඇතිද මදිද යන්න ගැන පවා වැටහීමක් අප සතුව නොවීය.


දිවා ආහාරයෙන් අනතුරුව සවස 3:30 ට පමණ ආසන්න වේලාවකදී මී මුරේ බලා ගමන් ආරම්භ කළෙමු.


මී මුරේ ගම්මානය බලා යෑම ඉතිරි කොටසින්....

11 comments:

  1. Replies
    1. ගමන නෙමෙයි පට්ට. ගමන යන්න පටන් ගැනීම තමයි පට්ට.

      Delete
  2. ඇයි බන් ලොක්කො උඹ මීමුරේ මාමට කෝල් එකක් දුන්නනම් ඌ දෙනවනෙ එලට සර්විස් එක. එනකොට සාක්කුවයි කිරිජ්ජපල්ලයි සේරම හිස් වෙලා තියෙන එක වෙනම එකක්...හැක්...

    ReplyDelete
    Replies
    1. ඔය කියන කාලේදී මී මුරේ මාම එහෙ හිටියේ නැද්ද කොහෙද...

      Delete
  3. මීමුරේ යන්න ආසාවෙන් ඉන්නෙ, දවස් දෙකක් වත් ඉන්න ඕනෙ. ලොකු පුතා ඊලග පොස්ට් එකේ ෆොටෝ ගොඩක් දායි නේද ?

    ReplyDelete
    Replies
    1. දවස් දෙක තුනක් ඉන්නවනම් ලකේගලත් නැගලම එන්න
      අපිටත් හරියට කැලේ බලන්න යන්න බැරි උන නිසා වෙන්න ඇති මීමුරේ ගැන ලොකු පැහැදීමක් නැති උනේ හරියට ඇවිදපු නැති නිසා වෙන්න ඕනේ.
      ඉතුරු කොටස අද දානවා. ෆොටෝ නම් වැඩිය නැහැ මචං

      Delete
  4. ලොකු මලයෝ, මං හසලක හඳුන්ගොමුව ලග්ගල හරහා රිවර්ස්ටන් ගිහින් තියෙනවා.. හැබැයි එතනින් මීමුරේ යන හැටියක්නම් දන්නේ නෑ.. හුන්නස්ගිරියෙන් කයිකාවල හරහා මීමුරේ යන එකද ලේසි නැත්නම් මාතලේ ඉඳන් කයිකාවල හරහා යන එකද ලේසි.

    එතකොට ඔය ලකේගල කියන්නෙයි ලග්ගල කියන්නෙයි එකක්ම නොවෙයිද? ලග්ගල කියන්නෙ නම් පොඩි ටවුන් එකක්.

    ඉතිරි කොටසෙදි පැහැදිලිව දාන්න වාහනයක යන්න පුළුවන් දුර හා අනිත් අපහසුතා ගැන. හරිම ආසයි යන්න කොහෙද මේ පොඩි උන් එක්ක මොකුත් කරන්න බෑනේ... :p ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඒ හරහා රිවර්ස්ටන් යන්න බැහැ කියල ගමේ මිනිස්සුත් කිව්වා. මම දන්න විදිහට කයිකාවලට එන්න එක පාරයි තියෙන්නේ. කෝබට් ගැප් එක ලඟට එන්නනම් තව පාරක් තියෙනවා. ඒක ගොඩක් අබලන් පාරක් විදිහට තමයි මට මතක. කොහෙන් ආවත් හුන්නස්ගිරිය හරහා එන විදිහට තමයි ගුගුල් ලොක්ක කියන්නෙත්.

      ලකේගල තියෙන්නේ මීමුරේ ගම කිට්ටුවමයි. ඒ වගේම ඒක ඒ කන්දේ නම. ලග්ගල කියන්නේ ක.මි. කිව්වා වගේ පොඩි ටවුමක්. ලග්ගල පල්ලේගම පැත්තෙන් ගියාම යන්න පුළුවන් රඹුක්ඔළුව කියල ලස්සන ගමකට. ඒ නකල්ස් කන්දේ වියළි ප්රගදේශය. මීමුරේටත් වඩා ගොඩක් සුන්දර, දුෂ්කර සහ අව්යා.ජ මිනිස්සු ඉන්න පැත්තක්.

      ඉතිරි කොටස මේ වෙද්දී දාල තියෙන්නේ. මී මුරේ දක්වාම වාහනයක් යන්න පුළුවන්. කාර් එකකින් වගේනම් යන්න බැරි වෙයි. ඒ ඇරෙන්න වෑන් එකක් වගේ වාහනයක් යන්න අපහසු නැහැ. සමහර විට මේ වෙද්දී පාරවල් තව හොඳ මට්ටමකට හදල වෙන්නත් බැරි නැහැ. මම එහෙ ගියේ දැනට අවුරුදු හයකට කළින් නිසා තත්ත්වය වෙනස් වෙලා ඇති...

      Delete
    2. කමිය, මෙතන තියෙනව උඹට ඕන විස්තර ගන්න විශ්වාස වන්ත මගක්. මේ කියන "නවා මාම" මීමුරේ ගමේ කෙනෙක්, මනුස්සය කරන්නෙ සංචාරක මග පෙන්වීම. කතා කරල බලහන්.

      Accommodation and Help tips to travel Meemure

      Delete