Tuesday, 24 February 2015

නකල්ස් කඳු මුදුන බලා Knuckles Hike - අවසාන කොටස


කෙසේ නමුත් දැන් තිබෙන තත්ත්වය අනුව මීමුරේ දෙසට බැස ගැනීමට නොහැකි බව පැහැදිළිය. සම්පුර්ණ දිනක්ම අපතේ ගියේ නකල්ස් හරහා මීමුරේ යාමට පාරක් සොයා ගැනීමටය. එසේ පාරක් ඇති බව අප පැහැදිළිවම දැනගෙන උන්නේය. ජාතික රූපවාහිනියේ විකාශය වූ “සැරිසර” වැඩසටහනේ පිරිසක්ද එසේ ගමන් කර තිබු බවක් මිතුරකු කියූ බවක් මා මතකයේ ඇත. එසේ යා හැකි මාර්ගය දන්නා බව විශ්වාසයෙන් යුතුව කී ශිවා නිසා අප දැන් අමාරුවේ වැටි හමාරය. නමුත් කිසිවෙකු හෝ ඒ සම්බන්ධව ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ගියේ නැත. සමහර විට ඔහු එම මාර්ගය ඇත්තටම නොදැන සිටියා වීමටද ඉඩ ඇත.
අප පත්ව සිටි තත්ත්වය සහ ගමනේ ඊළඟ අදියර සම්පුර්ණ කර ගැනීමට නොහැකි වීම සම්බන්ධව සිතට දුකක් ඇති වුවද දැන් ආපසු හැරෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බව පසක්වී හමාරය. අප මේ මොහොත වනවිට සිටින්නේ ගමනේ හරි මැද ලක්ෂයකය. මෙවැනි මොහොතකදී අපේක්ෂා භංගත්වයක් ඇති වීම ස්වභාවිකය.

කෙසේ නමුත් එතැන් සිට වැඩි අපහසුවකින් සහ දිශාව නොවැරදි කළින් දින කඳවුරු ගැසූ ස්ථානය වෙත ළඟා වීමට අප සම්ත්විමු. මේ වනවිට වේලාව සවස 04:30 හෝ 05:00 ආසන්න වී තිබුණි. කළින් දින රාත්‍රියේ විඳි අපහසුතා සිහිපත් වූ විට නැවත එහි රැයක් ගත කිරීමට කිසිවෙකුගේ කැමැත්තක් තිබුනේ නැත. කළහැකි එකම දේ වුයේ ආපසු බඹරැල්ල බලා ආපසු යාමය. ඒ සඳහා ඉතිරිව තිබු කාලය ප්‍රමාණවත් නොවන බවද ඉතා පැහැදිළිය. එසේ වුවත් සියල්ලෝම එකාවන්ව ආපසු ගමන ආරම්භ කර හමාරය. මෙවිටද අපගේ පිහිටට ශිවා අයියා පැමිණියේය. අප පැමිණි මගට වඩා පහසු සහ කෙටි මගකින් පහළට බැසිය හැකි බව ඔහු පවසා සිටියේය.
පහසු මගක්යැයි කීවද එහි වූ මගක් නොවිය. ඉතාමත් කෙටි ගස් සහිත ප්‍රදේශයක් හරහා අප පල්ලම බසිමින් උන්නහ. එහි වූ දිරා ගිය සහ කැඩුණු කෝටු කැබලි අපගේ කකුල් වල සම හුරා දමන්නටද විය.

එම දුෂ්කර පෙදෙස පසුකර පැමිණි අප දොළ පහරක් කරා ළඟා වීමු. දොළ පහර තරමක ගල් ගෙඩි වලින්ද දිය පිරුණු වළවල් වලින්ද සමන්විත විය. දොළට බසින්නේ නැතිව වියළි ස්ථානයන් ඔස්සේ අප ගමන් ගන්නට පටන් ගත්තෙමු. ගල්ගෙඩි දෙකක් අස්සේ කකුලක් ගිය චුටි බබාගේ කකුල ඇමැට්ටි වී ගියේ මේ අතරේදිය. ඔහුගේ බර පොදිය කවුරුන් හෝ කරට ගත් අතර එළුවා සහ තවත් කවුරුන්ගේ හෝ සහයෙන් ඔහු ගමන් කළේය. ඉදිරියෙන් ගිය පිරිසගේ දසුනට හසු නොවී දරණ ගසා පනින්නට සුදානමින් සිටි කුණකටුවකු එවේලේ පසුපසින් පැමිණි අප හට දැකගැනීමට හැකිවිය. දැන් දැන් වියළි පෙදෙස් හරහා යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ශිවාගේ මග පෙන්වීම අනුව අප දැන් ගමන් කළයුතු වන්නේ දිය ඇළ ඔස්සේය. සමහර විටෙක ඉඟටිය දක්වා වතුරේ ගිලෙන අවස්ථා ද විය.

පසුව ශිවා සමග කතා කරමින් ඉදිරියෙන් ගිය මා හට ගමන්මග සම්බන්ධව, ඔහු තුළද යම් අවිනිශ්චිතභාවයක් ඇතිබව පෙනෙන්නට විය.  ඔහු මෙවරද කර ඇත්තේ අනුමාන කිරීමකි. කන්ද නැගීමේදී ට්‍රැක්ටර් එකක් යා හැකි මගින් හැරී කුඩා අඩි පාරකින් ගමන්ගත් බව පැවසු බව මතක ඇතැයි සිතමි. එහිදී කියන්නට අමතක් වූ කරුණක් ඇත. එම අඩිපාර තරමක දොළ පහරක් හරහා වැටි තිබුනේය. ඔහු මේ අප කැටුව යන්නේ එම මංසන්ධිය හමුවන තෙක් බව ඔහු මා හා ප්‍රකාශ කළේය.

අප ඉදිරියෙන් ගමන් ගන්නා වේගය වැඩි බව පවසා දොස් පවරමින් තරිඳු අප සිටි දෙසට තරමක වේගයෙන් පැමිණියේ මේ අවස්ථාවේදිය. එය තරමක් විශාල ගල් තලාවක් වූ අතර හොඳින් දිය සෙවෙල්ද බැඳී තිබුණකි. අප ඉදිරියට පැමිණි ඔහු හරියටම ඉදිරියෙන් සිටි අප කිහිප දෙනාගේ පා පාමුළ ලිස්සා ඇදගෙන වැටුනේය.  දැන් ඉර අවරට යාමට ආසන්නය. අප ඉක්මණින් යන්නේ කළුවර වැටුණු පසු අඩිපාර දිය පහර හරහා යන ස්ථානය අඳුරේ සොයාගත නොහැකි වුවහොත් නිසා බව පහදා දුන්නෙමි. එය මාගේ මිතුරන් තේරුම් ගත්තාදැයි මා හට අදහසක් නැත.

දැන් හිරු අවරට ගොසින් හමාරය. වටපිටාවේ ඇත්තේ ගොම්මන් ආලෝකයක් පමණකි. ලෝකයේ කොහේ ගියත් ටෝච් එකක් නොමැතිව ගමනක් නොයන මා සතුව එදවස හැටියට පෙන්ටෝච් බැටරි කෑලි හතරක් යොදන අමුතු හැඩයේ සහ හොඳ එළියක් ලබාදෙන විදුළි පන්දමක් තිබුණි. කැලෑවේ දිවි ගෙවන්නෙකු වූ ශිවා අතද විදුළි පන්දමක් තිබුනේය. ශිවාගේ විදුලි පන්දම පසුපසින් එන පිරිසට ලබාදී අප තරමක් ඉදිරියෙන් ගමන් කළෙමු.
මෙහිදී සිතේ ඇතිවූ සිතුවිලි වසර එකොළහක් ගතවූ පසු නිවැරදිවම මතක නැතත් සිතුවිළි වල වූ අන්තර්ගතය මෙසේය.

කිහිප වතාවක්ම අප අතරමං වුයේ ශිවා හරිහැටි මග නොදත් නිසාය. හදිසියේවත් අප මේ බසින්නේ අඩිපාර හරහා ගිය දොළපහර දිගේ නොවුනහොත්... අප නිවැරදි දොළපහරේ පැමිණියත් දිවා කල මෙන් නොව රාත්‍රියේදී නියමිත ස්ථානය හඳුනා ගත නොහැකි වුවහොත් අප වැටෙන්නේ කෙබඳු අපහසුතාවකටද... විසකුරු පර්පයකුගේ ප්‍රහාරයට ලක් වුවහොත්...

රාත්‍රී අට, අටහමාර පමණ වනවිට දොළ පහරේ අදාළ මංකඩ අසළට පැමිණීමට අපට හැකිවිය. සියල්ලෝම පාහේ සැනසුම් සුසුමක් හෙළු අතර ඉන් ඔබ්බට ගමන ඉතා සෙමෙන් සිදු විය. ඒ එන අතරමගදී කඳවුරක් ගැසීම සම්බන්ධව කතාබහක නියැලෙමින් පැමිණියෙමු. මේ මොහොතේ එය කෙතරම් අපහසුවක්දැයි අමුතුවෙන් කිවයුතු නැත. අප සියල්ලෝම පාහේ උන්නේ බාගෙට පණ ගොසින්ය. අවසාන ඩෙක්‍රෝස් කිහිපය ගිල දැමුවේ කුමන මොහොතකදැයි මතකයේවත් තිබුනේ නොමැත.

මෙසේ පැමිණි අප ශිවාගේ කටුමැටි ගැසූ කුඩා නිවස අසළට පැමිණියෙමු. අප පත්ව සිටි අපහසුතාවය තේරුම් ගෙන සිටි ඔහු අප හටද හැකි අයුරින් ඔහුගේ නිවසේ නවාතැන් ගන්නා ලෙස ආරාධනයක්ද කළේය. කටුමැටි ගැසූ නොබෙදූ තනි කාමරයක් වැනි එම කුඩා නිවසේ ඔහු සහ ඔහුගේ බිරියද සිටියදී තවත් 11 දෙනෙක් කෙසේනම් නතර වන්නද. ඔහු තුළ වූ මනුස්සකම ඔහු නිසා අප ලැබූ අමිහිරි සිදුවීම් යටපත් කරලන්නට සමත්විය. ඔහුගේ විදුලි පන්දම ඉල්ලා ගත් අප පල්ලම් බසින්නට පටන් ගත්තෙමු. මුදල් සහ විදුලි පන්දම  ලබා ගැනීමට පසුදින උදෑසන පැමිණෙන බව කියූ ඔහු අපට සමු දුන්නේය.

අපගේ දෛවය අප විසින්ම විසඳා ගත යුතුව ඇත. කොර ගසමින් ගාටමින් මෙන් ඉතිරි දුර ගෙවා දමන විට රාත්‍රී 10 පමණ වන්නට ඇත. විදුළි පන්දම් දෙකේ ආලෝකයෙන් මුලින්ම කලේ සපත්තු තුල ඇති අපගේ දෙපා පිරික්සා බැලීමය. ඒවා දෙස බැලීමටවත් නොහැක. ලෙයින් පිරි, ලේ බී බෝල මෙන් ඉදිමුණු කූඩැල්ලන්ගෙන් පිරුණු සපත්තු සහ මේස් සියල්ල ගලවා පාරෙන් ඉවත වූ කුණු ගොඩකට ගොඩ ගැසුවේ පසුව ගිනි තබන අදහසිනි. අසලින් ගලායන ජල පහරින් දෙපා සෝදා දමා අපුල බව තරමක් දුරස් කර දම්මෙමු. කූඩැල්ලන්ගෙන් බේරී කුඩාරම් ඇටවිය හැක්කේ තාර ගැලවීගිය පාරේ පමණකි. අප රැගෙන ගිය පැරණි පන්නයේ කුඩාරම් වල කණු හොඳින් බිම සිටවා මිස සවිකළ නොහැකි වර්ගයේ ඒවා වූ බැවින් නැවතත් අප දුර්මුඛ විය.

අප නතර වී සිටියේ පෙරදින ඇඳුම් මාරු කල ස්ථානයේය. ඒ ආසන්නයේ අත්හැර දැමු තට්ටු දෙකක පාළු තේ ෆැක්ටරියක්ද තිබුනේය. එතනට වී යනඑන මං නොමැතිව සිටි අපහට සින්දුවක් කියමින් වෙරි මතේ පැමිණෙන පුද්ගලයකුගේ දසුනක් දැක ගැනීමට හැකිවිය. ඔහු හා කල කතාවෙන් පැවසුනේ ඔහු එම වත්තේ මුරකරු බවය.
ඔහු පැවසුවේ වත්තේ බංගලාවක් මීටර කිහිපයක් දුරින් ඇති බවත් එහි ගොස් අවසර ලබා ගතහොත් පාළු ෆැක්ටරියේ නතර විය හැකි බවත්ය. අප පිරිසෙන් කිහිප දෙනෙකු ඔහු පැවසු ඉසව්ව බලා ගමන් කලේ ඒ අවසරය ලබා ගැනීමටය. ඔවුන් ආපසු පැමිණීයේ දවසේ ලද එකම සුභ ආරංචිය සමගිනි. අපට හොල්මන් බංගලාවේ නතර වීමට අවසරය ලැබී ඇත.
හොල්මන් මන්දිරය
ඒ අතරතුර  අපගේ විස්තර අසන්නටද ඔහු අමතක කලේ නැත. අප සියල්ලෝම පාහේ අපගේ විස්තර කියුවද අපගේ ගම් පලාතවල් ගැන ඔහු දැන සිටියේ නැත. දහම්ගේ ගම මරදාන යයි පැවසු විට ඔහු එය දැන සිටියේය. “අපි කවදහරි මරදානේ ආවම මල්ලිල අපිලට නවශින්න දෙන බව අෆි දන්නවා, නකල්ෂ් ආවම අපි මල්ලිලට නෂර වෙන්න නොදී කෝමද” කියා කිවේය.
එය තනිකර යකඩින් සෑදු ගොඩනැගිල්ලකි. සපත්තු තුළ වතුර සහ ලේ සමග තිබී තැම්බූණු නිරුවත් පා තබා එහි ඇවිදීම දැඩි දඬුවමක් වැනිය. ඒ තරමට යකඩ බිම සීතල වී තිබුණි. කුඩාරම් දෙක බිම එලා ඒ උඩ නිදා ගැනීමට හැකි අයුරු සකසා දැමු අපගේ ඊළඟ කතිකාව වුයේ රාත්‍රී ආහාරය සම්බන්ධවය. බල්ලා පවසා සිටියේ ඔහුට උණ සෑදීගෙන එන බවත් කෑම නොකාම නින්දට පිවිසෙන බවත්ය. පාදයේ අබාධය නිසා චුටි බබාද, තෙහෙට්ටුව නිසා තරිඳුද උන්නේ අඩපණවය. කපුටාට ඇඳීමට ඇඳුමක් තිබුනේද නැත. ඔහු සිටියේ “බෙඩ් ෂීට්” එකක් ඇඳගෙනය. අපද සිටියේ මදක් හෝ තෙමුණු ඇඳුම් ඇඳගෙනය.

කිසිවකු හෝ රාත්‍රී ආහාරයක් සඳහා උනන්දුවක් දැක්වුයේද නැත. දැඩි බඩගින්නත්, තෙහෙට්ටුවත් නිසා කුසගින්නේ නිදාගත නොහැකි බැවින් භාජනයක් රැගත් මම සහ දෙමළා දිය පහර වෙත ගොස් වතුර රැගෙන ආවෙමු.
මුරකරු සිටින කුඩා මඩුවේ ළපටි ගිනි සිලකින් යුතුව දැල්වෙන ලිපක වතුර භාජනයක් තබා තිබුණි. ඔහුගෙන් විමසා එම ලිප අපගේ ආහාරය සකස් කිරීම සඳහා භාවිතයට ගැනුනි. ඒ වනවිට ඉතිරි පිරිසෙන් කිහිප දෙනෙක්ද පැමිණ අප වටා රොක් වෙමින් උන්හ.
අප රැගෙන ගිය ද්‍රව්‍ය අතරේ වූ මැගී නුඩ්ල්ස් පැකට් කිහිපයක් කඩා උතුරණ වතුරට දමා තම්බා ගැනීමට අප සමත් විය.
රත් කරගත් නුඩ්ල්ස් බඳුන හොල්මන් මැදුරට ගෙන ආ පසු.
සැමන් ටින් එකක් කඩන්නේ දෙමළා විසිනි.
කකුල් වල ඇති සුදු පති කඩදාසි කොළ කැබලි කියා පාන්නේ කූඩළු ප්‍රහාරයන්හි නටඹුන්ය.
මුහුණ නොපෙනුණත් මේ කෑම ගිල දමන්නේ කපුටා විසිනි.
ඔහු ඇඳ සිටින "බෙඩ් ෂීට්" එකෙන් ඔහු හඳුනාගත හැකිය
කලින් දින දිවා ආහාරය ලෙස තම්බා තෙල් දැමු කඩල ආහාරයෙන් පසුව රාත්‍රී ආහාරය, මෙදින උදෑසන ආහාරය, දිවා ආහාරය ලෙසින් අප කෑවේ පාන් සමග රට ළුෑනු, මාජරින්, ජෑම් වලින් සමන්විත ආහාරය. එක දිගටම ශීතල නිසා වියළී ගිය පාන් ආහාරයට ගැනීම කෙබඳු අත්දැකීමක්ද.
ඒ සියලු කෑම වේල් වලින් පසුව දැන් තැම්බූ නුඩ්ල්ස් වේලක් කෑමට අවස්ථාව උදා වී ඇත. කෑම තිබුනාට ඒවා කෑමට පිඟන් තිබුනේ නැත. ඇති පදම් සිලි සිලි බෑග් තිබු බැවින් ඒවා මතට නුඩ්ල්ස් බෙදා උණු උණුවේ පිච්චෙමින් අමු සැමන් සමග ආහාරයට ගත්තෙමු. අප කෑම කමින් සිටි අතරතුරේ උණ සෑදීගෙන එතැයි කී බල්ලාද පැමිණ භාජනයේ ඉතිරිව තිබු නුඩ්ල්ස් කොටසට වග කීමට පටන් ගත්තේ උණ රෝගියකුගේ ලක්ෂණ නොව කැහැපත රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරමිනි.
කෑම දුටු පසු උණ හොඳ වූ බල්ලා.
රෝගී ලක්ෂණ පැහැදිළිව පෙනේ.
කෑමෙන් අනතුරුව ඇළට ගොස් භාජන සෝදා දමා පැමිණ නින්දට වැටුණත් එදිනද සැප නින්දක් ලබා ගැනීම සිහිනයක් බව තේරුණේ මද වෙලාවකින් පසුවය. යකඩ පොළවේ සීතල ටෙන්ට් රෙද්ද හරහා ඇඟට කා වදින්නට මාන බලයි. හොල්මන් මන්දිර වල මෙන් කිරි කිරි හඬ නැගෙන ශබ්ධද, සුළඟට ජනෙල් ඇරෙමින් වැසෙමින් එන හඬද නින්දට දැඩි බාධාවකි. ඒවා ස්ථිරව වසා දැමීමට ජනෙල් කොකු හෝ එවැනි ක්‍රමවේදයක්ද නැත. සීතල සුළඟ ඒවා හරහා පැමිණ අපගේ නින්දට බාධා කරන්නේ අප හා සතුරු වූ විටෙක මෙනි. වරෙක විශාල ශබ්ධයක් ඇසී විදුලි පන්දම දල්වා බැලු විට පහත මහලේ අත්හැර දැමු පැරණි යන්ත්‍ර සුත්‍ර තොගයක් මකුළු දැල් බැඳී බියජනක අයුරින් දිස් විය. ශබ්ධය පැමිණි හේතුවක් සොයා ගැනීමට නොහැකි විය.
නින්දට පෙර
සුව නැතත් නින්ද ලබමින්...
පසුදින පාන්දරින් අවදි වී ඇළට ගොස් මුහුණකට සෝදා අනෙකුත් අවශ්‍යතාවයන්ද ඒ අවට වන ලැහැබේ පිහිටෙන් ඉටුකර ගත්තෙමු. ටෙන්ට් දෙකඩ අකුළා බෑග් වලට අසුරාගෙන අපගේ ඉතිරි බඩුමුට්ටුද අසුරා ගත්තෙමු,. ඒ වනවිට ශිවා අප හමුවීමට පැමිණ උන්නේය. නකල්ස් හරහා අපව මීමුරේ රැගෙන යාමට ඔහු පොරොන්දු වුයේ රුපියල් 800 ටය. එය එතරම් විශාල මුදලක් නොවුනා මෙන්ම අප අතද වැඩිපුර මුදල් ගැවසුණු වකවානුවක් නොවන බැවින් එය සාධාරණ මුදලක් සේ අප සැළකුවෙමු. අපගේ අරමුණ ඉටුකරගත නොහැකි වුවත් පොරොන්දු වූ මුදල සහ ඔහුගේ විදුළි පන්දම ඔහුට ලබා දුන්නෙමු. ඊට අමතරව අප සතුව ඉතිරිව තිබු සියළුම ආහාර ද්‍රව්‍යයන්ද ඔහුට ලබා දුන්නෙමු. අප අවදි වනවිටත් මුරකරු එතැනින් පිටව ගොස් හමාරය. ශිවා ගෙන් සමුගන්නා අතරේ අපහට උදව් කල මුරකරුටද ස්තුති කරන ලෙස පවසා එතනින් පිටත් වී බසය හරවන තැන පිහිටි කුඩා කඩය දක්වා පැමිණියෙමු.
උදෑසනින් අවදි වී මිතුරන් අවදි වන තෙක් බලා සිටින එළුවා සහ දහමා
හේතුව මතක නැතත් ඒ වනවිට මාගේ සෙරෙප්පු දෙකද මා හට අහිමි වී ගොස් තිබුණි. ගල් බොරළු මතින් බොහෝ අපහසුවෙන් ගමනේ ඉතිරිය ගෙවා දැමීමට සිදුවුයේ බඹරැල්ලේ කඩයේ සෙරෙප්පු නොමැති නිසාය.
කඩය වෙත පැමිණි අප උදෑසන ආහාරයක් සහ තේ වේලක් එතැනින් ලබා ගෙන පළමු බසයෙන්ම ආපසු ගමන් ආරම්භ කළෙමු. බසයේදී හමුවූ ගම්මුන් අප සමග කතා කිරීමට දැඩි උනන්දුවක් දැක්වුයේ අපගේ බාහිර ස්වරුපය දුටු විට ඇතිවූ කුතුහලය නිසාද වන්නට ඇත. ඉන් කෙනෙකු ඔහුගේ දුරකථන අංකය අපහට දී පැවසුවේ නැවත එනවිට ඔහුට පවසන ලෙසත් අපව මීමුරේ දක්වා රැගෙන යාමට ඔහුට හැකි බවත්ය. රූපවාහිනී වැඩසටහන සඳහාද මගපෙන්වූයේ ඔහු බවද අප සමග පැවසුවේය. අතරමගදී බසයෙන් බැසගත් ඔවුන්ගෙන් සමුගත් අප වත්තේගම දක්වා පැමිණි එතනින් නුවර බලා යන බසයක නැගී පිටත් වීමු.  මා හට අළුත් සෙරෙප්පු දෙකක් මිළදී ගැනීමට හැකිවුයේ නුවරට පැමිණීමෙන්ද පසුවය.
කොළඹ බලා පැමිණෙමින්...


නුවරදී DTB ගෙන් සමුගත් අප නුවර සිට කොළඹ බලා යන බසයක නැගුනෙමු. බසයේ අවසන් අසුන් පෙළ කිහිපයේ අසුන්ගෙන සිටි අප අව් රශ්මිය වළකා ගැනීමට ඇඳ ඇතිරිල්ලක් එල්ලා ගත්තෙමු. ඉන්පසුව  බසයට ගොඩවන මගීන් අපදෙස බැලුවේ අමුතු සතුන් රංචුවක් දෙස බලනා අයුරිනි. ගමන් මහන්සිය තිබියදීත් අනෙකුත් මගීන්ට අවහිර නොවන පරිදි ගී ගැයූ අපහට අතරමගින් ගොඩවූ තවත් තරුණයින් කිහිප දෙනෙකුගේ සහයෝගයද ලැබුණි. කොළඹට පැමිණි අප කොටසක් කෙළින්ම නිවෙස් බලාද ඉතිරිය කටුබැද්ද බෝඩිම් වෙත ගොස් ඒ හරහා නිවෙස් බලා පිය මැනීමෙන් අපගේ චාරිකාවේ නිමාව සටහන් විය.

පසුව එළඹුණු සතියේ වුයේ චාරිකාවේ අයවැය ලේඛණය සැකසීමයි. පොරොන්දු වූ පරිදි 500 ට අඩු වියදමකින් චාරිකාව රැගෙන යාමට නොහැකි වුවහොත් සංවිධායක වශයෙන් මා හට ටොකු පුජාවක් ලබා දීමට මිතුරන් ඉතසිතින් සුදානම් වී සිටියහ. (ඒ අපේ උන්ගේ හැටිය, සමහර විට වයසේ වැරැද්ද වන්නට ඇත)

කළින් දින මා සියළු බිල්පත් සහ බස් ටිකට් පිරික්සා අයවැය ලේඛණය සකස් කරගෙන හමාර කර තිබුණි. චාරිකාවට වැයවී තිබුනේ රුපියල් 500 ට අඩු මුදලකි. එනම් රුපියල් 495 ක් හෝ 496 කි. ඉතිරි වූ රුපියල් කිහිපයෙන් අයිස් පළම් හෝ එවැනි කුඩා දෙයක් කැන්ටිමෙන් මිළදීගෙන බෙදා දුන් බවත් අද මෙන් මතකය.

මා හට ටොකු ඇනීමට පුනපුනා බලාසිටි DTB, කපුටා, බඩා, දහමා සහ බල්ලා ගේ බලාපොරොත්තු සුන් කරමින් මා අයවැය ජය ගත්තේ එලෙසය.
අවහිරතා බාධක මැද සිදුවු, ප්‍රධාන අරමුණ සම්පුර්ණයෙන් සාර්ථක නොවූ සංචාරයක් වූවද එය මාගේ ජිවිතයේ කිසිදා අමතක නොවන මතක සටහනක් සනිටුහන් කළේය. එපමණක් නොව සංචාරක දිවියට සෑහෙන වටිනා අත්දැකීම් රාශියක්ද දායාද කර දුන්නේය.

නිමි.....!


මා සමග බ්ලොගයේ සැරිසරමින් නකල්ස් සවාරියේ යෙදුනු ඔබ සැමට මගේ තුති....

කළින් දින ගත් ජයාරූප කිහිපයක්...





26 comments:

  1. හම්මේ.. මදැයි ඔයින් ගියා.. සිවා වතාවක් දෙකක් ගිහින් තියෙන්ඩ ඇති කොලු නඩ එක්ක.. හැබැයි වගකීමක් එක්ක ඔය වගේ ගමනක් යන්ඩ උනාම දන්න දෙවලුත් අමතක වෙන එක වෙන දෙයක්..
    මට මතක් උනා ඒ ලෙවෙල් ඉවර කරල අපි කස්ටියක් ලෝකාන්තේ ගිහින් රැයක් ගෙවන්න කරපු උත්සාහයක්.. බොහෝමයක් කරුණු යෙදුනේ මෙයාකාරයෙන්ම තමයි. හැබයි අපිට ලොකු මලයා වගේ හොඳ සංවිදායකයෙක් හිටියේ නෑ.. රක්ශිතයේ රෑට ඉන්ඩ දෙන්නේ නැති නිසා එළියට ඇවිත් කිරිගල්පොත්තට යන පාරේ මගක් දුරකින් පොලිතින් කූඩාරමක් අටෝ ගත්ත.. හවස හය හත වෙනකොටම කන්න ගෙනාපුවයි විශේෂයෙන් බොන්න ගෙනාපුවයි ඉවර උනා.. අන්තිමට තිත්ත කරුවලේම පට්ටිපොළට පල්ලම් බැහැල තාත්තගේ නම විකුණල ස්ටේශමේ පාර්සල් කාමරේ නිදාගන්න හදා ගත්ත.. හම්මේ මං ජීවිතේට එදාමයි ඩීප්ෆ්‍රීසරයක් ඇතුලෙ හිටියේ.. හෑක් හැක්.. ඒ සීතල තම දැනෙනෙව වගේ. හොදි ඕනෙම නෑ.

    මේව ජීවිතේ කවදහරි ලබන්නම ඕනි අත්දැකීම්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කමිය, ඔය ලෝකාන්තෙ කට්ට කාපු තව එකෙක් මේ. අපි යන්තන් අර වතුරවල ගාව කෑම්ප් සයිට් එකේ ඉඳල පට්ටිපොල්ට පයින් යන්න කෙටි පාරක් හොයල අන්තිමේ රේල් පාරටම බැස්සෙ පස්සෙන්.

      තව පාරක් මහ එලිය වයිල්ඩ් එකේ ඩෝම්ට්‍රියෙ හිටිය හරියට දෙසැම්බර් 26 රෑ! එදත් අර සුනාමි දා වගේ පෝය දවසක්. සීතලට ජැකට් කලිසම් දෙක ගානෙ ඇඳල හඳ එළියෙ මහ රෑ වන් බම්ප් ගැහුව.

      තවපාරක් බෞද්ධ සම්මේලනේ වැඩකට මම කොළඹින් රෑ දොළහෙ බස් එකේ ගිහින් බැස්ස නුවර එළියෙන්, හම්ම පාන්දර 4 විතර! පොඩි ජැකට් පඩ්ංගුව විතරයි අතේ, සල්ලිත් නෑ වැඩිපුර. ඒ 96 බස් ස්ටෑන්ඩ් එකේ හීතල හුළං කනස්සෙන් ගිහින් පුකෙන් එන්නෙ.

      හෙහෙහ් යුද්ධ කොල බොලා තරම් නැතිවුනාට අපිත් ඔහොමයි කටු කෑවෙ කිව්වලු :)

      Delete
    2. මටත් ඔය වගේ අත්දැකීමක් තියෙනවා. තොටුපොළ කන්ද නගින්න ගිහින් රෑ නතර වුනේ වයිල්ඩ් බංග්ලෝ එකේ පට්ටිපොළ. පට්ට හීතලයි යකෝ රෑ වෙද්දි. ජැකට් දාගෙන මේසුත් දාගෙන නිදා ගත්තේ. රෑ මැද්දේ පස්ස පැත්ත පිච්චුණා වගේ දැනිලා උඩ ගිහින් ඇහැරුණා. බැලින්නම් සරම ඉස්සිලා පස්ස පැත්ත හීතල බිත්තියේ ගෑවිලා කියහං කෝ...

      Delete
    3. ක.මි.
      මම හිතන්නේ ශිවා ආපු චාන්ස් එක ගත්තා කියල.
      මගෙත් ලෝකාන්තේ පළාතේ කට්ට කාපු සීන් එකකුත් තියෙනවා. එක රයක් නෙමෙයි දෙකක්.
      යනඑනමං නැතුව හීතල හොඳට ඇතුලට එන ටෙන්ට් එකක් ඇතුලේ ඉන්නවා කියන්නේ ප්‍රීසර් එකක් ඇතුලේ ඉන්නවා වගේ තමයි. හෙහ් හෙහ්...
      අපේ කරුමෙට මේ කියන කිසි ගමනකදී අපි ගාව බොන දේවල් තිබුනේ නැහැ.
      ඒ කාලේ අපේ පොඩි මෙව්වා එකක් තිබුනා කැලේ යන ට්‍රිප් වලදී බොන්නේ නැහැ කියල
      දැන්නම් ඉතින් බොන්න ඕනේ උනාම කැලේකට හරි යනවනේ
      මොනවා උනත් මේ සියල්ල අත්දැකීම් විදිහට ගත්තම මාර විදිහට වටිනවා.

      Delete
    4. සිංහතුමා,
      උඹ කියපු ඩෝමේ අපිත් කටු කා ඇත. මම අර වැරදිලා දාල තිබ්බ ෆොටෝ එක එකේදී ගත්තු එකක්. හැබැයි බිල්ඩින් එකක් ඇතුලේ නිසා සහ නිදා ගන්න ඇඳන් තිබ්බ නිසා නකල්ස් වලදී වගේ අමාරු උනේ නැහැ.
      මේ ඔක්කොම කරුමේ ඒ දවස්වල මේ වගේ ගමන් ගිහින් බීපු නැතිකම තමයි.

      Delete
    5. Dilshan,
      ඒ වගේ වෙලාවට මාර ආතල් නේද මචං.
      අපි වතාවක් ලොකු බස් එකක ගියා හෝර්ටන් තැන්නේ කෑම්ප් කරන්න බලාගෙන. කැම්පස් එකේ සංගමෙකින් සංවිධානය කරපු වැඩකට ගියේ. යන්න කළින් දවසේ උන් කිව්වා කෑම්ප් ගහන්න අවසර දෙන්න බැහැ කියලා.
      අපේ උන් දෙන්නෙක් කළින් ගිහින් තිබ්බේ පයිලට් ට්‍රිප් එක. උන් දෙන්න කිව්වා ඔහිය පැත්තෙන් ආවම ඉන්න පුළුවන් තැනක් තියෙනවා, එතන කෑම්ප් ගහගෙන ඉඳල පයින් ගිහින් අපි ආපු වැඩේ කරමු කියලා.
      අපි හිටපු තැන ඉඳල ගේට්ටුව ගාවටම කිලෝමීටර 5 ට වඩා පයින් යන්න තියෙනවා. බස් එකත් ඉස්සරහට යන්න බැහැ, ලොකු වංගුවක් තිබ්බ නිසා. අන්තිමට ගිය වැඩේ හරි ගියෙත් නැහැ.

      පළවෙනි දවසේ ලොකු ටෙන්ට් එකක බිත්තියක් අයිනේ මම හිටියේ. පුදුම දුකක් වින්දේ. අපි ටෙන්ට් එක ගහපු තැන හුළං කපොල්ලක්ද කොහෙද. පුදුම හුළඟක් තිබ්බේ රෑ එළි වෙනකල්ම
      ඒ නිසා දෙවෙනි දවසේ මමයි අපේ තව සෙට් එකකුයි බස් එකට ගියා නිදා ගන්න.
      සීට් දෙක අතරේ හිඩසෙන් එන හීතල ඇඟ ගල් කරවනවා, ඒ මදිවට උඹට උනා වගේ එහෙ මෙහෙ හැරෙද්දී අතක් පයක් ඇළුමිනියම් බටේක ගෑවුන ගමන් උඹේ පුකට වෙච්ච දේ තමයි උනේ.

      මේකත් බීපු නැති ට්‍රිපක්... ;(

      Delete
  2. මේ වගේ වැරදීම්, කටු එක අතකට සුන්දර මතක සහ අනාගත පාඩම්. වෙච්චි දේ වල හැටියට සහ උන්නු පිරිසෙ එකමුතුව බැලුවම යහතින් ඇවිත් තියෙන්නෙ පෙර පිනකට.

    අර //සීතල පොළවේ වැතිර...// කියල දාල තියෙන පින්තූරෙ වැරදි එකක් වගේ!

    ReplyDelete
    Replies
    1. අපේ උන් ඔහොම තමයි. එතැනදී ගොඩක් උනේ අපි හිතාගෙන හිටපු තරම් මේ ගමන සුන්දර උනේ නැතිකම්
      අපි හිතාගෙන හිටියට වඩා මේ ගමනේදී කන්න වෙච්ච කට්ට වැඩි කම
      ඔක්කොටම එහා අපේ ගයිඩ් තුමා.
      ඒකා ෂෝට් කට් එකක් පෙන්නන්න ගිහින් අපිව මරාගෙන කෑවා...
      කොහොම නමුත් ශිවා මෙහෙම කරපු නිසා අද අපිට මතක් කරන්න දෙයක් හරි ඉතුරු වෙලා තියෙනවා
      නැත්නම් අද වෙද්දී අපිට කතා කරන්නවත් දෙයක් නැහැ
      අනාගතයට පාඩම් ඉගෙන ගත්තට දැන් ඒවා වැඩක් වෙන්නේ නැතිඑක ගැනයි හිතට දුක

      ඒ ෆොටෝ එක හෝර්ටන් තැන්නේ එකක් වගේ... ශේප් එකේ ගලවලා දාන්නම්.
      තැන්කු ඒක පෙන්නුවට

      Delete
  3. ඇග හීතල වෙලා ගියා යකෝ. අරූගෙ කන පලන්න එපැයි. පාර ඌ වත් නොදැන කොහොමද තව කෙනෙකුට මග පෙන්නන්නේ...
    හැබැයි රජෝ මාර අත්දැකීම. ඉරිසියාත් එක්ක උඔත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඌ සල්ලි ඕනේ කමට වෙන්න ඇති බං අපිට පාර පෙන්නන්න එන්න ඇත්තේ. ඌ කරපු දේ නිසා අපි හොඳ අත්දැකීම් තොගයක් ලබපු එකත් වටිනවනේ.

      ඉරිසියා කරන්න දෙයක් නැහැ බං. මම දන්න එකෙක් ඉන්නවා ඌ හැම සති අන්තෙකම වගේ කොහේ හරි යනවා. දැන් කසාද බැඳලා ඉන්නේ. ඒත් වෙනසක් වෙලා නැහැ. තාම බබාලා නැති නිසාද දන්නේ නැහැ.
      ඉරිසියා කරනවානම් අන්න ඌට ඉරිසියා කරපන් (කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කතාවේ වගේ)

      මෙච්චර නැතත් තවත් කටු කාපු සහ කාපු නැති ට්‍රිප් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා...:-)
      එහෙම යන්න පුළුවන් වෙන්න ලොකුම හේතුව වුනේ කැම්පස් කාලේ කෙල්ලෙක් හිටපු නැති නිසා හිතේ හැටියට රට වටේ යන්න තිබ්බ නිදහසෙන් උපරිම ප්‍රයෝජනය ගත්තු නිසා වෙන්න ඕනේ.
      ඒ වගේම රස්සාවට ආපු මුල් කාලෙත් සෑහෙන ඇවිද්දා.
      පවුල් පන්සල් උනාට පස්සේ තමයි කේස් එක පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ...

      Delete
    2. පවුල් පන්සල් හික්ස් .. :) D

      Delete
    3. ඇයි මල්ලි නිකං අවුල් වගේද... උඹල කෝචොක් එකටමයි බලන්නේ.

      Delete
  4. ආතල් කොටියයි ඒකාලේ ඇඟවල්වල තරමයි දැන් තරමයි දැක්කම තේරෙනව කොහොමද කෑම කියලා හික්ස් :)

    ReplyDelete
    Replies
    1. කෑමට දොස් කියන්න එපා බොලව්... ඔව්වා මේ එක එක හැඩේ තියෙන බෝතල් වල තිබ්බ දේවල් වල හාස්කම්...
      විශේෂයෙන් දුඹුරු පාට එව්වයේ තියෙන සැර අඩු ඒවායේ වැඩ වෙන්න ඕනේ... හෙහ් හෙහ්

      Delete
  5. ta ta ෙවලාවට අරු එක්ක මලපැන්නත් මතක් වෙද්දි පට්ට ආතල් ඇති නේද...
    එය වගේ ෆන් එකක් ගන්න බැරි වුණත් කැඩෙට් කටු නං හම්බානෙට තියෙනව
    හිහි

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවෙවත් ඌ එක්ක මට වැඩිය මළ පැන්නේ නැහැ බං... හැමතිස්සෙම එකසිය ගාණට මළපනින මට ඒ වෙලාවේ එහෙම උනේ නැත්තේ මොකද මන්ද.
      අපේ උන්ගේ සමහර මොංගල් වැඩ වලට ඊට වැඩිය මළ පනිනවා. සමහර වෙලාවට ටීම් වර්ක් කියන එක බිංදුවයි.
      ඒ නිසාද දන්නේ නැහැ ශිවා එක්ක මළ පැන්නේ නැත්තේ...

      අහවල් හේතුවක් හින්දද මම දන්නේ නැහැ, මම කැඩෙට් වලට ඒ තරම් කැමති නැහැ. ඔන්න උඹ දැන් එන්න එපා මාත් එක්ක ඇරගන්න... ;-)

      Delete
    2. ඒමන මක්කටද බොලත් එක්ක ඇරගන්නෙ හිහි

      Delete
    3. උඹ කැඩෙට් මත්තේ මැරිච්ච එකෙක් නිසා බං කිව්වේ...
      මම දන්නවනේ උන් කැඩෙට් වලට පණ ඇරලා කියලා

      Delete
  6. එල ද බ්‍රා..
    අත්තටම මචං..නිදහසක් නැති මේ ඡිවිතේ උඔ සහ යාලුවෝ සමග ඒ තැන් වල සැරිසැරැවා...
    ආයමත් ලියන්න

    ReplyDelete
    Replies
    1. අපිටත් දැන් නිදහසක් නැහැ බං... රස්සාව ගෙදර, ගෙදර රස්සාව...
      මාත් මේ කොටන්නේ පරණ මංගල්ල තමා මචෝ...
      ගල් ගගහ ඉන්න වෙලාවේ වීක් එන්ඩ් එකකවත් දවසේ ගමනක් හරි පළයන්. යන්න තැන් නැත්නම් උපදේශක සේවාව නොමිළේ සපයන්නම්.

      තව තියෙනවා ලියන්නම්...

      Delete
  7. නෑ බං අත්දැකීම් මතක් උනා

    ReplyDelete
    Replies
    1. ලියලා දාපං අමතක වෙන්න කළින්...

      Delete
  8. අතක් පයක් කඩා නොගෙන ඔයින් ගියා මදෑ කියන්නත් බෑ උඹලා ලේ දන් දීලා වැටිලා කකුල් ඇමැට්ටි කරගෙන ආපු නිසා.

    කොහොම වුනත් ට්‍රිප් එකකින් අන්තිමට ඉතුරු වෙන්නේ ඔච්චරයි. ඒ කියන්නේ මිහිරි මතකයන්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචං...
      ලේ ටිකක් දන් දීලා පොඩ්ඩක් කට්ට කෑවට මෙව්වා තමයි ජිවිතේ ලබපු හොඳම අත්දැකීම්...
      උඹ දැන් ලියන්නේ නැද්ද බං. කාලෙකින් මුකුත් දැක්කේ නැහැ

      Delete
  9. මේතරම් නැතත් මේ වගේම කට්ටක් කෑවා වැස්සේ ග්‍රේට් වෙස්ටර්න් නැගලා. තාම නකල්ස් ගියේ නෑ. යන්න ඕනි ඉක්මනින්

    ReplyDelete
    Replies
    1. මම ග්‍රේට් වෙස්ටන් නැගල නැහැ... නකලස් ගිහින් නැත්නම් කොල්ලෝ සෙට් එකක් එක්ක යන්න. දැන් බර අඩු කුඩාරම්, ස්ලිපින් බෑග් එහෙම තියෙන නිසා ඒ තරම් අමාරුවෙන එකක් නැහැ.
      හැබැයි ඉතින් මේ වගේ ගමන් වල වටින්නේ කාපු කටු ටික තමයි.

      ඔන්න උඹේ බ්ලොග් හැට හුටහමාරෙ ඉතුරු ටිකත් රෝලට දා ගත්තා. හිමිට ඇවිත් බලන්නම්...

      Delete