ඊයේ (2015-03-26) තිබ්බ බ්ලොග් ලියන්නන්ගේ සම්මාන උළෙලට මමත්
ගියා. එහෙම එකකට මම ගියේ පළවෙනි වතාවට...
එහෙන් මෙහෙන් දැකපු බෝඩ් කෑලි වලවත් අදාළ තැනට එන විදිහ හරියටම
ගෙඩි පිටින් දාල නොතිබ්බ නිසා තැන හොයා ගන්න හිතාගෙන කෝල් එකක් ගත්තා රාජ් ලොක්කට.
ඌ එහෙම එකක් තියෙනවා කියල දන්නෙවත් නැහැ, ඔය කියන තැන ගැන දැනගෙන හිටියෙත් නැහැ.
හැබැයි මට කිව්වා “යන්න පුළුවන්නම් පලයන්, කට්ටිය අඳුන ගන්නත් පුළුවන් වෙයිනෙ”
කියලා.
පස්සේ මට කල්පනා වුනා ඒ වෙද්දී ක.මි. එතනට ගිහින් ඇති
බවත්, මිනිහගෙන් අහල බැලුවොත් තැන හොයා ගන්න පුළුවන් කියලත්. යන්තම් ක.මි. ට කෝල්
කරලා තැන එහෙම අහගෙන එතනට යද්දී හවස 04:00 පහුවෙලා තියෙන්න ඇති. මම ටිකක් පරක්කු
වෙන්න හේතු උනේ, ඔය කතා එහෙම මග ඇරලා බ්ලොග් වලින් කමෙන්ට් වලින් අඳුරගෙන ඉන්න
සුන්දර මිනිස්සුන්ව ප්‍රායෝගිකව හමුවෙලා කතා කරන එකට මුල්තැන දෙන්න හිතාගෙන.
වන්කගිරියක් වගේ තිබ්බ දොරවල් කීපයකින් ඇතුළට ගිහින්
බලද්දී, එතන හිටපු පිරිසක් “අර දොරෙන් ඇතුළට යන්න” කියල පෙන්නපු දොරෙන් ඇතුළට
ගියා. ගියපු පරක්කුවෙන් මම ආපහු හැරිලා ආවේ මම ඇතුළට ගියේ වැරදි පැත්තේ තියෙන
දොරකින් කියන සිතුවිල්ල නිසා. ඒ දොරෙන් ගියාම මාව කෙළින්ම යැවුනේ ස්ටේජ් එක පිටිපස්සකට වගේ හරියකට.
එළියට ඇවිත් ආපහු උන් සෙට් එකෙන්ම ඇහුවම කිව්වේ “මෙතන පොඩ්ඩක් වෙනස් විදිහට
තියෙන්නේ, ස්ටේජ් එක අයින දිගේ ගිහින් පිටිපස්සට යන්න ඇහැකි” කියලා.
ඒ අවට සහ හමුව පැවතුන කොටස දිහා බැලුවම හිතා ගන්න
පුළුවන් කවුරු නමුත් නමගිය හොඳ වෘත්තීයවෙදියෙක්ගේ ඩිසයින් වැඩක්ය කියලා.
ඒ කුරුබිලිය දිගේ ඇතුළට ගිහින් පිටිපස්සට යද්දී ක.මි.
මාව දැකලා අත වනලා කතා කලා. මිනිහ හිටියේ දෙවෙනි පේළියේ. ඒ පේළියේ සීට් දහ පහළවක්
තිබ්බට දෙපැත්තේ කොන් දෙකේ කීප දෙනෙක් වාඩිවෙලා ඉන්න නිසා ඇතුළේ සීට් වලට වෙන
කෙනෙකුට යන්න බැහැ. ඒ තරමට සීට් අතරේ ඉඩ. ඒ නිසා තනියම වාඩිවුණා ඉස්සරහ පේළියේ. ඒ
පුටු පේළිය, ඒ ශ්‍රවණාගාරය වගේ එක ඩිසයින් කරපු එකා වෙන්න ඕනේ අපි පොඩි කාලේ අහල
තිබ්බ “ලබ්බේ තොවිලේ” කියන කතාව නිර්මාණය කරන්න ඇත්තේ කියල මට හිතුනා.
එතනට ගිහින් ටික වෙලාවක් යනකල් එතන වෙන්නේ මොනවද කතා
කරන්නේ මොනවා ගැනද කියන එක ගැන මට මෙලෝ දෙයක් තේරුනේ නැහැ.
ටික වෙලාවකට පස්සේ කරුණාරත්න පරණවිතාන කියන මහත්තයා කතා
කරන්න ස්ටේජ් එකට ගොඩ වුනා. මෙන්න වැඩේ කැමරා අතින් කටින් එල්ල ගත්තු පොරවල් සෙට්
එකක් උඩ ඉඳල පහළට බැස්සා.
ඒ එක මනුස්සයෙක් කැමරාව අරගෙන එහා මෙහා යද්දී ස්ටේජ් එක
ඉස්සරහදි නිකං බඩගාගෙන යනවා වගේ නැමීගෙන තමයි ගියේ. ඔන්න මගේ මීටරේ හිමීට වැඩ කරන්න ගත්තා. ස්ටේජ්
එකේ හයි කරලා තියෙන එක එක TV චැනල් වල මයික් ටික
මුලින්ම දැක්කා. ඊට පස්සේ හොරාට හැරිලා බැලුවම දැක්කා හෙන සෙට් එකක් වීඩියෝ කැමරා
අටෝගෙන ඉන්නවා කියන එකත්. මම ස්ටේජ් එක ඉස්සරහින් කිසි ගාණක් නැතුව ආපු හැටිත් මතක්
වුනා. මේක ටිකක් බරපතල රාජකාරියක් බව මට තේරුනේ ඒ වෙලාවේ.
කතාව යන අතරේදී හෝ එක ඉවර උනාට පස්සෙද මන්ද ටිකක් වයසක
පහේ මනුස්සයෙක් ශාලාවට ආපු බවත් මම හිටපු පේළියේම වාඩි වෙච්ච බවත් මම දැක්කේ ඇස්
කොණින් වගේ.
කතාව ඉවර වුනාට පස්සේ එක්කෝ ස්ටේජ් එක උඩ යක්කු නැටුවා,
එහෙම නැත්නම් තෑගී බෝග දුන්නට පස්සේ යක්කු නැටුවා. ඒවා සිද්ධ වෙච්ච පිළිවෙල මතක
නැතත් එහෙම දෙයක් සිද්ධ වුනා. කොහොම නමුත් ඒ නැටිල්ලනම් මට ඒ තරම්ම දිරෙව්වෙ නැහැ.
තෑගී දෙන්න ගිය වෙලාවේ කියවුනේ කරූ ජයසුරිය මහත්තයට
වේදිකාවට ගොඩවෙන්න කියල. මෙන්න ඒ ගමන අර වයසක පහේ මනුස්සයා වේදිකාවට ගොඩ වුනා.
එතුමාගේ නම කිව්වේ නැත්නම් මම ඔහුව අඳුන ගත්නේ නැහැ.
හේතුව කියන්න දන්නෙ නැති නිසා “ඇයි ඒ වගේ ප්‍රසිද්ධ
මනුස්සයෙක්ව වත් අඳුන ගන්නවත් බැරිද” කියන ප්‍රශ්නේ මගෙන් අහන්න එපා.
එතුමා නැගල මුළින්ම කතාවක් කලා.(එහෙම තමයි මතක) කතාවෙන්වත්
පෙනුමෙන්වත් මම ඔහුව හැඳින්නේ නැහැ. ඒ වගේම ඒ කතාවෙවත් අපි හිටියේ නැහැ. ඊට පස්සේ
වෙන්න ඕනේ තෑගී ටික බෙදල දුන්නේ.
තෑගී බෙදන වෙලාවේ අඩුවක් නැතුව අපේ මාධ්‍ය කලාවේ
පශ්තාත්බාගය දැකගන්නත් මට පුළුවන් වුනා. මම විතරක් නෙමේ මගේ පිටිපස්ස පේලියේ
වාඩිවෙලා හිටපු ක.මි. ඇතුළු පිරිසටත් ඒ භාග්‍යය අඩු නැතුවම උදා වුනා මම හිතන්නේ.
තමන්ගේ කැමරා එකේ ෆොටෝ කෑලි ටික අල්ලගන්න පොරකාපු සමහරුන්ගේ
ශරීර කොටස් වෙනත් අයගේ කැමරා වල සටහන් වෙනවා මම බලාගෙන හිටියා. එහෙම වෙච්ච කෙනෙක්
ටිකක් මුණ ඇඹුල් කරගෙන හිටපු හැටි දැක්කම මට හිත ඇතුළෙන් පොඩි හිනාවකුත් ගියා.
සම්මාන, තෑගී දුන්නට පස්සේ මාධ්‍යවේදියෙක් කියල හඳුන්වපු
කෙනෙකුට වෙනම තෑග්ගක් දුන්නා. එයාගේ Voice Recorder එක එයාගේ මාධ්‍ය සගයෙක් හරි, කවුරුහරි එකට
හිටපු කෙනෙක් කොහේදෝ අමාත්‍යංශයකදී හොරකං කරපු නිසා ඒ වෙනුවෙන් ලබා දෙන අළුත් එකක්ලු.
ඒ පාර ඒ මනුස්සයත් කතාවක් කරන්න පටන් ගත්තා. සමහර විට මට
හරියට මතක නැද්ද කියන්නත් බැහැ. තෑග්ග දීපු අයට ස්තුති කරන බවක් මම දැක්කේ නැහැ, ඒ
මනුස්සයා ස්තුති කලේ පරණ එක උස්සපු උන්ට. ඒ තමුන්ට මේ අළුත් රෙකෝඩර් එක ලැබුනේ ඒ
අය නිසාය කියලා. ඒ ගමන් දේශපාලන තැටියකුත් වාදනය වුනා.
එයාගේ කතාවේ බ්ලොග්
ලිවිල්ලට අදාළව මට වැදගත් දෙයක් විදිහට තේරුණේ “හරියට සිංහල ලියපියව්” කියල බ්ලොග්
කාරයින්ගෙන් ඉල්ලීමක් කරලා ඒ සඳහා පොතක් නිර්දේශ කිරීම පමණයි. ඒක ඇත්ත, බ්ලොග් වල
භාෂාව, ව්‍යාකරණ වල දෝෂ සෑහෙන තිබෙනවා. ඒකට හේතුව විදිහට මම දකින්නේ බොහෝ බ්ලොග්
රචකයින් ඒවා සිදු කරන්නේ රැකියාවක් වශයෙන් නොවීමත්, එය දෙවැනි ක්‍රියාවක් ලෙසින් සැළකමින්
කරනා නිසා වෙන්නත් පුළුවන්.
(ඉඳහිට අයෙක් තමන්ගේ බ්ලොගය හරහා මුදලක් ඉපයිය හැකි වෙතත්
ඔහු හෝ ඇයගේ යැපුම් මාර්ගය බ්ලොගය වීමට ඉඩක් තියෙන්න බැහැ. ලංකාව ඒ වගේ තැනක
තියෙනවා කියල මම විශ්වාස කරන්නේ නැහැ.)
ඒ එක්කම මගේ ඔළුවට නිකං අකුණක් ගහනවා වගේ එක දෙයක් මතක්
වුනා. අපිට බලන්න ලැබෙන පත්තර සියල්ලේම පාහේ ලිපි හෝ වෙනත් සටහන් ලියන්නෙ මේ අපි
වගේ රස්සාවක් කරන ගමන් ආතල් එකට බ්ලොග් ලියන උදවිය නෙමෙයි නේද කියලා.
හරි ඔන්න දැන් තමයි යක්කු කීප දෙනෙක් ස්ටේජ් එකට ආවේ. ටික
වෙලාවකින් දෙයියොත් ආව. කොහොමත් යක්කුයි දෙයියොයි දෙගොල්ලොම එකට ඉන්න බව අමුතුවෙන්
කියල දෙන්න දෙයක් නැහැනේ. ඒ කොල්ලෝ කීප දෙනා අපිව හිනස්සන්න යම් උත්සාහයක් ගත්තා.
ඔය කොයි රංගනයත් කරන්නේ ජීවිතය කියන නියම රඟමඩලේ තමන්ට අයත් රංගනය හරියාකාරව
ගෙනියන්න බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
ඒ මදිවට AC එකෙන් පට්ට සීතල හුළං පාරක් කෙළින්ම මගේ මුණට වදිනවත්
එක්ක. AC එකේ outlet ටික (Fan
Coil Unit) එක හයි කරලා තියෙන්නේ ස්ටේජ් එකේ යට කොටසේ. ඔහොම
මෙහෙම ගිහින් මට තේරුණා තව කතා දෙකක් අහන්න මෙතන ලගින්න බැහැ කියලා. ඉස්සර ලෙක්චර්
ගියාම නිදා ගන්න පුරුද්ද එක්ක මට මේ වගේ වාඩිවෙලා කතා අහන්න හරි අමාරුයි. කට දෙක
වෙන්න ඈනුම් හැත්තෑ පහක් විතර යන්න ඇති ඒ හිටපු ටිකට.
මම හිතාගෙන හිටියේ මම එද්දී අනිත් කතා ටික ඉවරවෙලා, මේ
අන්තිම කතාව වෙන්න ඇති කියල. ඇයි ඉතින් 02:00 නේ පටන් ගන්නවා කියල කිව්වේ. ශේප්
එකේ කරුණු කාරණා හොයල බලද්දී දැනගන්න ලැබුනේ කරුණාරත්න මහත්තයට පස්සෙලු ඉතුරු කතා
දෙක තියෙන්නේ. උත්සවේ පටන් අරගෙන තියෙන්නේ 03:00 ත් පහුවෙලා කියල දැන ගන්නත්
ලැබුනා.
වෙලාව 05:45 වගේ වෙද්දී වගේ මම තීරණය කලා තවත් මෙතන ඉඳල තේරුමක්
නැහැ කියලා. මම බලාපොරොත්තු වුන වැඩේ ඒ කියන්නේ ගැදරින් කියන එකට මෙතන ලොකු තැනක්
ලැබෙන බවක් නැහැ කියලත් මගේ අක්මාවට තේරුණා. එහෙම දෙයක් උනත් වෙන්නේ ගොඩක් රෑ වෙලා
වෙන්න ඕනේ.
බ්ලොග් සම්මාන උළෙලක් කිව්වට මේක මම හිතාගෙන ආපු වර්ගයේ
ගැදරින් එකක් නෙමේ. එතන කෙරුණු කතා සහ පසුව එතනට ආපු දේශපාලන මුහුණුවරත් එක්ක අපි
වගේ බ්ලොග් කාරයින්ට ඒ උත්සවය අදාළ නැහැ කියල මට තේරුණේ පස්සේ. පෞද්ගලිකව
හඳුනාගත්තු බ්ලොග් කාරයෙක්, දෙන්නෙක් එක්ක පොඩ්ඩක් සෙට්වෙලා වචනයක් දෙකක් කතා කරන
එක මීට වඩා සැපයි කියල තේරුම් ගත්තු මම ආපහු ඔය වගේ ලොකු ලොකු උත්සව වලට යන්නේ නැහැ කියල ඊයෙම
තීරණය කලා.
ගෙදර කිට්ටුවට එද්දී මහ වැස්සක් වහින්න පටන් ගත්තා. සෑහෙන
කාලෙකට පස්සේ කළින් ඕෆ් වෙලා තේරුමක් නැති ගමනක් යන්නේ නැතුව කළින්ම ගෙදර ගියානම්...
ප.ලි.
වැරදි වැඩකට වැරදි තැනකට ගිය එක සම්බන්ධ වැරදිකාරයා මමම
බව මට තේරුණේ අද උදේ ආපහු ඇවිත් දේශකයා ගේ බ්ලොග් එකේ තිබ්බ දැන්වීම් ආපහු බලද්දී.
පහළ තියෙන දැන්වීමේ රවුම් කරලා තියෙන කොටස් ටික බැලුවම
ඒක තේරේවි...
“ජයග්‍රහණයේ කොටස් කරුවන්ට උපහාර පුදනු ලැබේ...” මේ කොටස දැක්කට හරියට තේරුම් ගත්තනම් නාස්ති
වෙච්ච මගේ කාලය ගැන දුක් නොවෙන්න ඉඩ තිබ්බා. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැක
කියා කියන්නට ඇත්තේද මම වගේම ඇණගත්තු එකෙක් වෙන්න ඇති.
“වැඩ ගොඩයි, කතා ටිකයි, සාජ්ජය ලොකුයි” කියලත් ඒ
දැන්වීම් වලම තිබ්බා...
මෙන්න මේ විදිහටම...
![]() |
උපුටා ගත්තේ මෙතනින්... |