Friday 20 March 2015

රහතන්ගල වෙහෙරගල චාරිකාව - යුදඟනාව වැව් සිසිලේ...

පළවෙනි කොටස බැලුවේ නැත්නම් බලලම එන්ඩෝ...

රහතන්ගල පාමුල විහාරය
මහ විශාල වැවක් නොවුන යුදඟනාව වැව අවට පරිසරය හරිම සුන්දරයි. වටපිටාවේ ගෙවල් දොරවල් පේන්න තිබුනෙත් නැහැ. මිනිස්සු කවුරුවත් හිටියෙත් නැහැ. පුදුම නිස්කලංක තැනක්. සරු කුඹුරු යායක් වැව පහළින් තිබුනා. ඊටත් එපිටින් ගොඩ ඉඩමක පොල් ගස්, කිතුල් ගස් සහ වෙනත් ගොඩ හැදෙන ගස් වලින් පිරිච්ච රුප්පාවක්. වැව් බැම්ම දිගේ ඇවිදලා නියරවල් දිගේ හතර අතේ ඇවිදලා වටපිටාවේ සිරි නරඹලා එහෙම තමයි අපි වැවට බහින්න කප්පනා කලේ.
යුදඟනාව වැව බලා යමින්...

සුන්දර වෙල් යාය...



වැවට යමින්...


වැවට බැහැපු ගමන් පෙරා අත් දෙකෙන් මාළු අල්ලන්න හදනවා. මොන මාළුද. අඩු ගානේ බාල්දියක්වත් තිබ්බනම් දණ්ඩි පැටියෙක්වත් අල්ල ගන්න තිබ්බා. මාළු කිව්වම මතක් උනේ, ඉස්සර මගේ පර්ස් එකේ බිළී කොක්කකුයි තංගුස් පොටකුයි වරදින්නේ නැහැ. කෝටු කෑල්ලක්නම් ඉතිං ඕනේ ඇහැකින් හොයා ගන්න පුළුවන්නේ.

කැම්පස් ඉන්න කාලෙත් ඒක එහෙමමයි. දවසක් බෝට් යාඩ් එකේ පැය ගාණක් බිළී කොක්ක දාගෙන හිටියත් කිසිම වගතුවක් උනේ නැහැ. බලා ඉන්න බැරි තැන වස්සා දැඩි තීරණයක් අර ගත්තා. ඌ ගිහින් උන්ගේ බෝඩිමේ එදා හිටපු නැති තනියගේ මදුරු දැල ගලවගෙන ආවේ ඒකෙන්වත් මොනාහරි කරන්ට ඇහැක්ද බලන්න. තනිය කියන්නේ තනි අලියා වගේ සයිස් එකෙක්. ඌට මදුරුවෝ කෑවට දැනෙන්නේ නැති නිසාද කොහෙද නෙට් එක ගලවල තිබිල තියෙන්නේ. එදා ඉණ ගාවට බොල්ගොඩ ගඟේ මඩේ එරීගෙන මාළු ටිකකුයි ඉස්සෝ කීප දෙනෙකුයි අල්ලගෙන බාල්දියකට වතුර පුරවලා අරගෙන එද්දී වෙලාව මළ පාන්දර එකට විතර ඇති. අපි උන්ව අරගෙන ආවට කන්න හිතකුත් නැහැ. වස්සලගේ බෝඩිමට ගිහිං මාළු ටික බලද්දී උන් ටික සෙත්ත පෝච්චි වෙලා ඉවරයි. බාල්දියේ මාළු ඝණත්වය වැඩිවෙලා තමයි මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ කියල අපේ ටිකිරි මොළ වලට වැටහුනා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, ඉතුරු වැඩේට දැලක් හොයාගන්න එක තමයි කරන්න ඕනේ. ඒකත් කැම්පස් එකේ අයිනකින් හොයා ගත්තා. වටපිටාවෙන් දර කෑලි ටිකක්, පොල් අතු ටිකක් හොයාගෙන පුච්චපු මාළු ඒ කියන්නේ බාබකිව් වගේ එකක් හදාගෙන කාල බුදිය ගත්තා.
මේ ෆොටෝ එකේ පේන්න තියෙන ගල් දුපතට තමා අපි පීනුවේ...


අපි කීප දෙනෙක් වැව මැද්දේ තිබ්බ දුපතක් වගේ තිබ්බ මහ ගල් තලාවට පීනලා ගියා. එතන කෑම්ප් එකක් ගහන්න කියාපු තැන. කවුරුහරි එතන කෑම්ප් ගහපු බවක සටහන් ඉතිරි කරලා ගොහිල්ලත් තිබුනා. අපි එක්ක ඒ දුපතට පීනලා ගියේ එකම එක ගෑල් ළමයෙක් විතරයි. ඒ තමයි “ආන්ටි සූ”. පොළොන්නරුව පැත්තේ වැව් වල පීනලා පුරුදු ඒකි වගේ නෙමෙයි ඒකිගේ මනුස්පයා වෙච්ච ගෙම්බට (පෙරා) ඒකි එක්ක හැරෙන්නවත් බැහැ. ඌට පීනන්නම බැරිද කොහෙද. ඌ තව එකෙක් එක්ක සෙට්වෙලා දණ්ඩි පැටව් අල්ලන්න පුළුවන්ද කියල බලබල හිටිය.
ගෙම්බාගේ දන්ඩි මෙහෙයුම...
මෙතනදීත් පොඩි පොඩි සිද්ධියක් දෙකක් උනා අපේ කපල් අතරේ. දරුණු ඝණයේ ඒවා නොවුනත් මේ වගේ ගමනකදී ඒවා ටිකක් විතර අවුල්. කොහේ බැලුවත් දොඩම් කිව්වලු. ඔව්ව බලන් ඉන්න බැරුවද මන්ද අපි අර පුංචි දුපතට පීනලා යන්න ඇත්තේ.
මේ වගේ සිද්ධි සිද්ධ උනේ පළවෙනි වතාවට වෙන්න ඕනේ. ඒ බව අපේ අනිත් උන්ගේ මුණු වල අපුරුවට ලියවිලා තිබුනා. මුල් වතාවට ෆීල්ඩ් විසිට් ආපු අපේ කපල් එකක් දෙකක් තමයි මෙව්වට මුල පිරුවේ...

ඔව් ඔව් උඹල හිතපු දේ හරි... රූ සහ කොට්ස් ඩබලත් ඒවට හවුල්. එයින් එක කපල් එකකට ඊට පස්සේ අපි එක්ක ගමන් යන්න ලැබුනෙම නැහැ. එක්කෝ අපේ උන් උන්ව හැලුවා, එහෙම නැත්නම් උන් විසින්ම හැලෙන්න ඇති. රූ ත් ඊට පස්සේ ගමන් වලට ආවේ තනියම. කොට්ස් සහ රූ සම්බන්දෙ වැඩි කාලයක් නොගිහින් හබක් වෙලා ගියා. අපි ගොඩ දෙනෙක් ඒ ගැන සෑහෙන සතුටු උනා. කොට්ස් කියන්නේ ටැලන්ට්ස් බර ගාණක් තිබුණු අපි අතරේ හිටපු ගොඩක් විශේෂ චරිතයක්. රූ වගේ පිස්සු විකාර කෙල්ලෙක් නිසා උගේ ප්‍රතිරූපයට හානිවෙන බව අපි හැමෝටම තේරුම් ගිහින් තිබ්බ නිසා තමයි අපි ඒ ලව් එක නතරවෙලා කියල ආරංචි උනාම සතුටු උනේ.

අපි ඉස්සර වතුරකට බැස්සම කරන ලොකුම වැඩක් තමයි පිරමිඩයක් ගහන එක. අතපය උළුක්කු කරගෙන කොන්දේ අමාරු හදාගෙන මේකක් ගැහුවේ නැත්නම් ඉතිං රෑට නින්ද යන එකක් නැහැ. මේ තියෙන්න එදා අපි ගැහැව්ව පිරමිඩේ.


ඕව ගහන්න ගියාම මම, පෙරා එහෙම ගොඩ වෙලාවට බේස් එකට සෙට් වෙනවා. බේස් එකට සෙට් වෙනවා කියන්නේ හෙණ ගේමක්. අනිත් උන්ගේ බර උස්සගෙන ඉන්නත් ඕනේ, පොඩ්ඩක් හරි බැලන්ස් නැති උනාම උඩ ඉන්න එව්වෝ වැටෙන්නෙත් අපේ ඇඟවල් උඩට. ඔය කේස් කොච්චර තිබුණත් මම කවදාවත් බේස් එකෙන් උඩට ගිහින් නැහැ. ඒ කුණ කන්න තියෙන උපන් ගෙයි කරුමේ හෝ උරුමේ හින්දමද දන්නෙත් නැහැ.

මෙතන සෑහෙන වෙලාවක් ලගා ගහල පිස්සු නටල එහෙම අපි ආපහු කැම්පස් එකට යන්න පිටත් උනා. එහාට යද්දී වෙලාව හවස හයත් කිට්ටු වෙලා තිබුනේ. ඒ අවට අමුතු ලස්සනක් තිබුනේ ඉර බැහැගෙන එද්දී.
හිරු අවරට යමින්...





මාළු දැල් එළමින්...
එදා රෑ මොකක්දෝ මන්ද අපේ ගමන ගැනයි තව තව දේවල් ගැනයි කතා කරන්න සාකච්ජාවක් වගේ එකක් තියෙන කතාවකුත් වටින් ගොඩින් දැන ගන්න ලැබුනා. ඒ එක්කම වන්නී ඇවිත් මටයි පෙරාටයි රහසින් පොඩි පණිවිඩයක් කිව්වා.

ඔන්න වන්නි තමයි මේ විසිට් එකේ සංවිධායකයා. එක එක ගමන් සංවිධානය එක එක්කෙනා බාරගෙන කරන ක්‍රමයක් මෙවුන් අතරේ තිබුනේ. සංවිධායකයට තමයි කැම්පස් එකේ බස් කතා කර ගන්න එක, නවාතැන් පහසුකම් හොයා ගන්න එක, කෑම බීම සම්බන්ධ වගකීම් වගේ දේවල් ගැන සොයා බලන්න වෙනවා. ඒ වගේම අනිත් උනුත් සංවිධායකයා ඉල්ලන උදව්වක් දෙන්න අනිත් උදවියත් සැදී පැහැදී හිටියා(ලු). මේ ලු දැම්මේ ඇයි දන්නවද. මම කවදාවත් කැම්පස් කාලේදී මුන්ට මේ වැඩ වලට සප් කරලා නැහැ මේ වැඩ වලට. මට කරන්න වෙන වැඩ ඕනේ පදම් තිබ්බ නොවැ. මට කැලෑ උණ හැදුනේ සහ මම ට්‍රිප් සෙට් කරන්න ගත්තේ අවුට් උනාට පස්සේ. ඔන්න ඕකයි රහස...

දැන් මේ අපේ කැම්පස් එකේ බස් වල ඉන්න රියදුරු මහත්තුරුයි ගෝලයොයි ඉන්නවා නේද, උන් සමහර වෙලාවට ළමයි එක්ක ගමන් ගියාම ළමයින්ට ගෙම්බර් දාන වෙලාවල් තියෙනවා. ඒ නිසා උන්ව ශේප් එකේ තියා ගන්න පොඩි පොඩි දොළපිදේනි දෙන්න වෙන තත්ත්වයක් තමයි උදා වෙලා තිබ්බේ.

වතාවක අපි සුනාමි ආධාර විදිහට ගෙවල් වගයක් හදල දුන්න ඔන්න ඔය බලපිටිය කිට්ටුව දිහාක. අපි ගෙවල් හදල දුන්නේ සුනාමියෙන් ගෙවල් කැඩිච්ච කැම්පස් ළමයින්ට. අපි කළින් දවසෙම පාරේ බස් එකේ එහෙ ගිහින් පොඩි පොඩි පිස්සු ටිකක් එහෙම කෙළලා හරිහැටි නින්දකුත් නැතුව හිටියේ. ඒ ගෙවල් ජනසතු කරන අපේ පුංචි උත්සවේට කැම්පස් එකේ පොඩි එව්වෝ සෙට් එකකුත් අපි ගෙන්න ගත්තා කැම්පස් බස් එකකම නග්ගලා. ඇත්තම කිව්වොත් අපි එදා කලේ ඒ ගෙවල් ජනසතු කිරිල්ලක් නෙමෙයි “ළමයි සතු” කිරීමක්. පොඩි උන් ආපු බස් එකේම ආපහු කැම්පස් යන්න තමයි අපේ ප්ලෑන් එක උනේ. ඒ බස් එක එලෙව්වේ “සරත්” අයියා කියන රියදුරු මහත්තැන්. බස් එකේ උන්නු පොඩි බැච් වල කොල්ලෝ කෙල්ලෝ ටික රැල්ල පාගන්න බස් එක නතර කරන්න කියල කිව්වට මෙයැයි බස් එක නතර කලේම නැහැ. මාරු ආවේශ වෙලා වගේ කොළඹ දිහාට පිඹගෙන එනවා.

ඔය සමහර දේවල් තියෙනවා නේද කරවගන්න බැරි වගේ හිතෙන. ඒ වෙලාවට කරන්න තියෙන හොඳම වැඩේ තමයි ෂේප් න්‍යාය අනුගමනය කරලා ඒ ප්‍රශ්නෙට මැදිහත් නොවී ඉන්න එක. ඔය ගොඩක් පෙන්ෂන් ගිය පොලිස් මහත්තුරු කරන්නෙත් ඒකයි. මම දැන් වැඩ කරන තැන ඉන්න අපේ ඇඩ්ඩින් මැනේජර් මහත්තැනුත් එහෙව් කෙනෙක්. හිටපු SP මහත්තැන් කෙනෙක්. අපේ එකෙක්ව පොලිසියෙන් ඇල්ලුවා කියල හිතමු. මිනිහට කෝල් එකක් දීල විස්තරේ කිව්වොත් මිනිහ කියන්නේ “ආ... එහෙමද. එහෙනම් ටිකක් ඉඳලා දඩ කොලේ ලියාගෙනම වරෙන්, ඕකට ලොකු දඩයක් ගහන්නේ නැහැ බං” කියලා.

මමත් ඔය වගේ වෙලාවල් වල ඔය න්‍යාය පාවිච්චි කරලා නම්බුව බේරගන්න වෙලාවල් නැත්තෙම නැහැ. මේකත් ටිකක් ඒ වගේ වෙලාවක්. ඒ කිව්වේ මේ සුනාමි ගෙවල් බාර දීල ආපහු එන ගමන් ඇදිච්ච බස් කේස් එක. අපේ උන් සෙට් එක ඒ වෙද්දී ඇල්පිටියේ කුරුඳුගහ පැත්තේ යාළුවකුගේ ගෙදර ගාටලා කිතුල් ගහේ තනි අකුරෙන් පොඩ්ඩක් මෙව්වා වෙලත් එක්ක හිටියේ. ඒ එක්කම මට හිතුනා මු කියන විදිහට මු මේ බස් එක නවත්තන්නෙම නැහැ. ඒ නිසා මේකට අත දාන්න හොඳ නැහැ කියලා. එහෙම හිතලා සීට් එකක වාඩිවෙලා හොඳ නින්දක් දාන්න පටන් ගත්තා. කළින් දවසේ හරිහැටි නින්දකුත් නැහැනේ.

මම නිදා ගන්න යද්දී මේ ගැන හොඳටම මළ පැනපු “හෑස් තුමා” බස් එකේ ෆුට්බෝඩ් එකට බැහැලා රියදුරු අයියගේ මව්පිය ගුණ ගායනා කරන ගමන් දුමක් උර උර ආවේ. ඔන්න මම දැන් පොඩි නැප් එකක් දාගෙන ඉන්න ගමන්.
ඔන්න ඔය වගේ හරි මුරණ්ඩු “අණත්දෙන” සේවකයෝ තමා අපිට උන්නේ. අන්තිමට කවුරුහරි අවම බලය පාවිච්චි කරවලා “චු බරයි අයියේ... අන්න අර කඩේ ගාව බස් එක නතර කරන්න කියලා” දැඩි ලෙස අවවාද කරවලාලු බස් එක නතර කරවගෙන තියෙන්නේ. නින්ද ගිහින් තිබ්බ නිසා සම්පුර්ණ සිද්ධියම දැක බලා ගන්න මට බැරිඋනා. බස් එක නතර කරලා “බැහැපන් මචං” කියල කිව්වම තමයි මම දැක්කේ බස් එක නතර කරලා කියලා. මම හිතුවේ බස් එක කොහේහරි හැප්පිලා නතරවෙලා කියලා. අන්තිමට අපි පාගපු ඇති රැල්ලකුත් නැහැ. චු කලෙත් නැහැ, ටිකක් වෙලා බලාගෙන ඉඳලා ඇවිත් බස් එකට නැගලා එන්න පිටත් උනා. ඒ තරම් හොඳ ළමයි අපි.

ඉතිං ඔන්න දැන් වන්නි මටයි පෙරාටයි කතා කරලා අතට සල්ලිත් දීලා කිව්වේ ඒ සද්කාර්යයට අවශ්‍ය පහසුකම් සපයන්න කියල. සද්කාර්යය කියල කිව්වේ රියදුරු මහත්තැන්ටයි ගෝලයාටයි දොළපිදේනි දෙන වැඩේ. ඉබ්බා දියේ දාද්දි ඇන්නෑවේ කිව්වලු. අපි දෙන්න ශේප් එකේ ගිහින් බස් අයියල දෙන්නව හම්බ උනා. “ශේප් එකේ ගියේ වෙන මුකුත් නිසා නෙමෙයි ආන්ටි සූ කෙරෙහි පෙරා ගේ තිබු බලවත් භක්තිය නිසා”. අපි රියදුරු මහත්තැන් ගාවට ගොහිං “අයියේ මෙන්න මේකයි සීන් එක” කියල කට ගන්න හම්බ උනේ නැහැ, බස් එක තනියම ස්ටාර්ට් උනාද කොහෙද. අපේ එකෙක් මැරෙන්න පණ අදිනවා කියල කිව්වත් ඒ බස් එක ඔච්චර ඉක්මනට ස්ටාට් වෙන එකක් නැහැ.

ඔන්න දැන් අපි ඉස්සරහ දැල් එහෙම ගහල තියෙන, නීතිය අනුව පිටිපස්සෙන් දොරක් ජනේල තියෙන්න බැරි, ඇතුල්වීම සහ පිටවීම දෙකම ඉස්සරහ දොරෙන් පමණක් කළයුතු වර්ගයේ තැනකට ගිහිං අදාළ ජාතියෙන් අපි හතර දෙනාට ඇති පදමෙන් අරගෙන ආව. සැර අඩු කරන වර්ගයේ එව්වද, හපන එව්වද ඔක්කොම ගෙනාවා.
අපි කැම්පස් එකට එද්දී අර කිව්ව මොකක්ද එක පටන් අරගෙන තිබුන. ඒකට එහෙම යන්න ඇරලා අපි අපේ වැඩේ පටන් ගන්න කියල ඩ්‍රයිවර් අයියලට දීල තිබ්බ කාමරේ පැත්තට හිමීට ගෑටුවා. ටික වෙලාවක් යද්දී ඩ්‍රයිවර් අයියයි ගෝලයයි දෙන්නම පෙරාගේ මචංලා වෙලා ඉවරයි. ඌ එහෙමයි, පෙළක් වෙලාවට කඩේකට ගියාම වේටර කොළුවට “මචං” කියල කියනවා. ඉතින් ඊට පස්සේ ඌට කියල කෑමක් බීමක් ගෙන්න ගන්නවා බොරු. උගේ මෙව්වා එක නළලට යනවා, මේ ගෝතයා කොච්චර කිව්වත් මේ වගේ වැඩ කරලා වැඩ අනනවා. ඒ උගේ උපන්ගෙයි හපන්කම්.

මෙතනනම් දෙයියනේ කියල එහෙම උනේ නැහැ. අපේ වැඩේ අහවර උනාට පස්සේ අපි දෙන්න බොහොම වැදගත් විදිහට නමුත් පොඩ්ඩක් වැනි වැනී ගියා අර වටමේස සාකච්ජාව තියෙන තැනට. වටමේස කියල කිව්වට එතන තිබ්බේ වටපුටු සාකච්ජාවක්. මට දැන් හෝ ගාල නින්ද යනවා. ඉඳල හිටලා ඇහැරුනාම වෙරි මරගාතෙ උනත් මොන මොනවහරි ඇහුව කියලත් මතකයි. ඒ අහපුවානම් මටත් මතක නැහැ. එතන හිටපු උන්ගෙන් බීලා හිටියේ අපි දෙන්න විතරයි, එහෙව් බීපු අපි අහන්න ඕනේ මට්ටමේ ප්‍රශ්න සමහර එව්වෝ අහනවා ඇහුණම අපේ වෙරි නිකම්ම හිඳෙනවා වගේ දැනුන.


එකෙක් අහනවා උන්ගේ ගෙදර වේලිච්ච ලී කොටේක කුරුල්ලෙක් බෙනයක් හදාගෙන හිටියලු. පස්සේ ඒ කොටේ තියෙන තැන වෙනස් කලා හරි, එහෙම නැත්නම් එක දිරල ගියා හරි මොකක්දෝ වෙලා දැන් කොටේ නෑලු. ඒ නිසා දැන් ඌ එන්නේ නැතිලු. ඌ මයිනෙක් විතර සයිස් එකෙක්ලු. ඌ කෑ ගහන්නේ කී... කී... ගාලලු. දැන් උගේ ප්‍රශ්නේ ඒ කුරුල්ලා මොකාද, උගේ නම මොකක්ද කියන එක.
ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න මොන සක්කරයටද පුළුවන්. ඕකට උත්තරේ දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරක් වෙන්න පුළුවන්. මේ වගේ එක එක ජාතියේ ප්‍රශ්න වැලයි එතන.
ඔන්න ඔහොම දුක් විඳලා අහක් වෙලා මහ රෑ වෙලා නිදා ගන්න යමු කියද්දී අපේ වෙරි ඔක්කොම වගේ හිඳිලා තිබුනේ, වෙරි බහින්නේ නැද්ද හිනා වෙච්ච තරමට. අන්තිමට බොහොම සන්තෝසයෙන් සාර්ථක දවසක් නිමා කොලා කියන සිතුවිල්ලෙන් නිදා ගන්න පිටත් උනා.

මමයි පෙරයි දෙන්න එක්ක රෑට කාල ඉවර වෙලාද අර වට පුටු සාකච්ජාවට ගියේ, එහෙමත් නැත්නම් ඒක ඉවරවෙලාද කෑම කෑවේ කියල මතක නැහැ. කොහොම උනත් නිදා ගත්තේ බඩගින්නේ නෙමෙයි කියලනම් ෂුවර්.
මෙන්න මේ විදිහට එදා දවස අහවර වෙලා අපි නින්දට වැටුන අපේ ඊළඟ දවසේ ඉලක්කය වුනේ යාල බ්ලොක් 5 වල හදන්න පටන් අරගෙන තිබුන “වෙහෙරගල” ව්‍යාපෘතිය බලන්න යන එක.
මේ ෆොටෝ එකක්වත් මම ගත්තු ඒවා නොවේය. ඒවා සියල්ල මාගේ මිතුරු මිතුරියන් විසින් ගන්නා ලද ඒවාය. අයිතිය උන් සතුය.


ඔන්න එහෙනම් ආපහු හැකි ඉක්මණට ඒ කොටස දාන්නම් මේ තරම් පරක්කු නොවී...

15 comments:

  1. ඔපිස් ට්‍රිප් එකක් ගිහිං මටත් ඔය වගේ රෙදි ගැලවෙන වැඩක් වුණා. අපිත් එක්ක ගිය කෙල්ලො ඔක්කොම කොස්ගුලන ගගේ කිඹුලියො වගෙ පීනද්දි පීනන්න බැරි අපට ගගේ පැනල මැරෙන්න හිතුණා.

    ReplyDelete
    Replies
    1. ඔව්ව හිච්චි කාලෙම පුරුදු වෙන්න ඕනේ දේවල්... එහෙම නැති උනාම වෙන්නේ උඹලට වෙච්ච දේම තමා
      ගෙදරට හොරෙන් ගඟේ දොළේ පැනල නාපු නිසා මටනම් ඕනේ වතුර පාරක බැහැල ජාමේ බේරගෙන එන්න ඇහැකි...
      කොස්ගුලන ගඟ තියෙන්නේ කොහෙද මචං...
      අපේ පැත්තේ කොස්ගුලන කියල ගමක් තියෙනවා. මම මේ බැලුවේ ඒ කිට්ටුව ගඟක් ගැනද උඹ මේ කියන්නේ කියලා

      Delete
  2. දෙකම කියෙව්ව...
    අපි නං ඔය ලොකු කියපු එක මිස්ටේක් එකක් තියේ නොකරන..
    කවමදාවත් කිසිම තැනක කොල්ලො යනව නං කෙල්ලෙක් ගෙ හුළගක් වත් වැදෙන්න නං දෙන්නෙ නෑ... මොකද ඒ තරං ලෝක ලෙඩක් ලොවෙත් නඍ ඉතිං

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... පස්සේ පස්සේ කෙල්ලෝ එක්ක ගමන් බිමන් ගියාට අපිත් මුලින් මුලින් අපේ ගමන් ගියේ කොළු නඩ විදිහට තමයි.
      කොළු නඩ ට්රියප් වල වෙනම ආතල් එකක් තියෙනවා, ඒ වගේම කොළු කෙළු මික්ස් ට්රිගප් වලත් ලොකු වෙනසක් තියෙනවා.
      දැන්නම් ඉතින් යන්න වෙලා තියෙන්නේ පවුල් පිටින් යන ගමන්... කදමළු බැඳගෙන ලපයි සිපයි එල්ලගෙන, උන්ගේ කොමඩ් එකේ ඉඳල සියළුම ආම්පන්න කර ගහගෙන, බෑග් මළු තුන හතරක්

      මම මේ කල්පනා කරන්නේ ඉස්සර අපි පොඩිකාලේ අපේ අම්මල අපිවත් කර ගහගෙන මුළු පවුලෙම ඇඳුම් කැඩුම් ටික බෑග් එකක නැත්නම් දෙකක දාගෙන බස් වල ගමන් ගියපු හැටි

      Delete
  3. ගල් දූපත් තියෙන තැන නම් නාන්න නියම තැනක් වගේ. පින්තූර ටිකත් හරිම ලස්සනයි.
    “වෙහෙරගල” ව්‍යාපෘතිය බලන්න යන එකත් ඉක්මනටම ලියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. මමත් දැකපු ගොඩක් ලස්සනම තැනක්. ලස්සන වගේම ටිකක් ගැඹුරුයි. ඒ හරියට යනවනම් පරිස්සමින් යන්න ඕනේ...
      ලබන ආත්මේ හරි එතන කෑම්ප් එකක් ගහන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ...
      ඉතුරුටික ලියන්න පටන් ගත්තා. මේ තරම් පරක්කු නොවී දාන්නම්කෝ...

      Delete
  4. ට්‍රිප් ගිහින් වැව් වල නාන්ඩ යන එකනම් මම ආසම නැති දෙයක්. දොල පාරක, පොඩි ඇලක ඇරෙන්න බහින්න දෙන්නෙ නෑ. මම ගිලිල මැරෙන්ඩ ගිය උන් 4 දෙනෙක් ගොඩ දාල තියනව, එක පාරක් මගෙ හොදම යාළුව බේර ගන්න ගිහින් මමත් නොමැරි බේරුනේ එදයින් පස්සෙ පීනන්නෙ ස්විම් පූල් එකේ විතරයි.
    ෆොටෝ ටිකනම් ලස්සනයි. පන්සලේ තව ෆොටෝ ටිකක් තිබුනනම් මරු.

    ReplyDelete
    Replies
    1. මමත් දැන්නම් වැව් වල, මිනිස්සු පිරුණු ගඟවල් වල නාන්න ඒ තරම් මනාපයක් නැහැ
      හොඳ පිරිසිදු වතුර තියෙන ඇළක දොළක නම් කිසි අවුලක් නැහැ
      ඒත් මේ වගේ හුදෙකලා පිරිසිදු පාටට පේන වැවක බහින්න අකමැත්තක් අදටත් එන එකක් නැහැ
      අනිත් එක එදා අපිත් එක්ක ගිය බුත්තල කැම්පස් එකේ කොල්ලෝ මෙතන ගැන හොඳට දන්න නිසා තමයි අපිත් බය නැතුව බැස්සේ

      මමත් එකෙක්ව ගොඩ දාන්න ගිහින් යන්තම් බේරුනේ
      අන්තිමේදී ඌව ගසල බසල දාල යටට ගිහින් ඌව උඩට විසි කළා අනිත් උන්ට අල්ල ගන්න
      මගේ ගාව කැමරා එකක් තිබ්බේ නැහැ මචෝ... මේ ටික යාළුවො ගත්තු එව්වා
      උන් සත්තු සරුපයි ෆොටෝ ඇල්ලුවා මිසක්කා පන්සලේ ෆොටෝ ගහල තිබ්බේ නැහැ

      Delete
  5. වෙරි බහින වෙලාවට අවදියෙන් හිඳීම යනු ජීනිතයේ විඳිය හැකි අන්තම දුකකි... ඉරකි ... තිතකි.

    ReplyDelete
    Replies
    1. ජීනිතයේ නොව ජීවිතයේ විය යුතුය.

      Delete
    2. මොනා කරන්නද මචං... ඔව්වට කියන්නේ උපන් ගෙයි කරුමේ කියල වෙන්ට ඕනෑ... හෙහ්

      Delete
  6. ලස්සන පින්තූර ටික.මම හිතුවෙම උඹ ගනිපුවා කියලයි.කොහෙද වෙන උන් ගනිපුවලුනේ.

    ReplyDelete
    Replies
    1. මේක මම විධිමත්ව කැලෑවකට වැදුන පළවෙනි වතාව...
      ඔය කාලේදී මගේ ගාව කැමරා එකක්වත් තිබ්බේ නැහැ හැලපේ. මේකෙන් පස්සේ තමයි කැමරා එකක් ගන්න ඕනේ කියන උණ හැදිලා, මස්සිනා ගාව තිබ්බ සෙන්සර් එක පිච්චුන කැමරා එකක් ලොකු ගාණක් දීල හදාගෙන කැලෑ පින්තුර වැඩේට යොමු උනේ.
      කරුමේ කියන්නේ ඒ කැමරාවවේ සෙන්සර් එක ආපහු පිච්චුනා. ආපහු ඒක අලුතෙන් දැම්මා...

      පස්සේ හිතුනා ඒ කැමරා එකෙන් ෆොටෝ ගහන එක අමාරැයි, ගොඩක් සීමා වෙන ගතියකුත් තේරිලා DSLR කැමරා එකක් ගත්තේ.
      ඔය උණ තවත් වැඩිවෙලා කැමරා, ලෙන්ස් මාරු කරලා ලක්ෂ ගාණක් එව්වට යට කරා. පරණ ඒවා විකුණද්දී විකුණන්න උනේ පාඩු පිට.
      ඔන්න ඔහොම පටන් ගත්තු ෆොටෝ ගැහිල්ල අද වෙද්දී ෆෝන් එකේ තියෙන පොඩි කැමරාවෙන් ෆොටෝ ගන්න මට්ටමට ආපහු වැටිලා... හෙහ්

      Delete
  7. ෆොටෝ ටික දැක්කම ඉරිසියාවේ බෑ.. ඊලඟ ආත්මේ කෑම්පින් එකට යනකොට මටත් කියපං ලොකු මලේ..

    කම්මලය ඇලක නාන කතාව මතක් කරල ඇළ-වෙරි මිශ්‍ර සීන් එකක් ඔලුවට ආවා.. දවසක් දෙහිඅත්තකණ්ඩියේ සඳුන්පුර මගේ යාලුවෙක්ගේ ගෙදර ගිහින් හවහ ඇළ බන්ට් එකේ ඉඳං අනුමත වෙලා ඇලේ පැනල නෑව.. වාහනේ එළෝපු එකයි, ගෙදර එකයි කිසිසේත්ම නොබොන එකෙකුයි ගියාම ඉතුරු ඔක්කෝටම වගකිව්වේ මායි තව එහෙකුයි.. ඌ ඒ දවස්වල ප්‍රේම වියෝගයකින් පෙළුණා.. කොහොමෙන් කොහොම හරි කරුවලත් වැටිච්චි වෙලාවක ඇළ මැද්දෙම මං උගේ දුක බෙදා ගන්න බෙල්ලෙ එල්ලිලා දෙන්නත් එක්කම එකට ගිලුණා.. හිට ගන්න තරමට ගැඹුර අඩු උනාට වතුර පාර පට්ට සැරයිලු. දෙතුන් පාරක් හුස්ම ගන්න අමාරු පුළුවන් වෙලා එකතැනක මං හිටගත්තා වගේ මතකයි.. බලනකොට අරූ තාමත් මගේ බෙල්ලෙ එල්ලිලා ඉන්නවා නහයෙන් කටෙන් වතුර වැක්කෙරි කෙරී කැහැ කැහැ.. බැලින්නම් නතර වෙලා තියෙන්නේ මීටර් දෙසීයක් විතර ඇළ පහල දෙපැත්තෙ බන්ට් එක බඳින්නේ නැතුව වතුර පළලට හෙමින් ගලන තැනක.. තව ටික දුරක් එදා බන්ට් එක දික් වෙලා තිබ්බනම් හැක් හැක් තමයි..

    එහෙනම් වෙහෙරගලදි හම්බෙමු.. අහ්! අමතක උනානේ.. උඹලෑ අර පැංශන් ගිය ඇස්.පී කාරයානම් ගල් ආඳෙක් වගේ නේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... අනිවාර්යයෙන්ම කියනවා.
      මොකක්හරි කරුමයක් පළදීලා මේ ආත්මෙදි යන්න පුළුවන් උනොත් තමයි කේස් එක...

      මමත් බීලා නාන්න ගිය අවස්ථා නැත්තේ නැහැ, ඒත් කුඩු වෙන්න ගසල නාන්න යන්නේ නැති තරම්. ලොකු ගඟවල් වල, වැව් වල එහෙම නොබහින්නත් හේතුව ඒ අවධානම ගන්න බය නිසා වෙන්න ඕනේ.
      දැන් අපි අනුමත වෙන්න කොහේහරි ගියත් යන්නේ පොඩි දොළ පාරක් වගේ තැනකට, එහෙම නැත්නම් යන දේවාලෙක ගිහින් සප්පායම් වෙලා ගෙදර ඇවිදින් හිතේ හැටියට නා ගන්නවා...

      නිකන්ද පෙන්ෂන් ගිය පොලිස් කාරයා වගේ කියල කියන්නේ... හෙහ්
      වෙහෙරගල තාම මග, පොඩ්ඩක් ඉවසන්න වෙනවා ආයිබෝන්...

      Delete