Tuesday, 10 March 2015

රහතන්ගල වෙහෙරගල චාරිකාව - රහතන්ගල කඳු මුදුන බලා

2006-04-28 සිට 30 දක්වා  

මේ කියන කාලේ තමයි අපේ කැම්පස් එකේ නේචර් ටීම් එක කියන පරිසර හිතවාදී කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය පටන් ගත්තේ. ඒ වෙනුවෙන් මුලික වෙලා වැඩ කලේ අපේ පල්ලෙහා බැච් එකේ කුරුල්ලා ඇතුළු කණ්ඩායමක්. මුල් කාලේදී සංගමය ප්‍රසිද්ධ කරවන්නයි, සිසුන් බඳවා ගන්නයි මේ කියන කාලේදී එක එක වැඩ සටහන් ආරම්භ කරලා තිබ්බා. අපේ බැච් එකෙන් මේ සංගමේට බැඳිලා ටිකක් බැහැලා වගේ වැඩ කලේ පෙරා සහ වන්නි කියන දෙන්න. උන් දෙන්නගෙම අන්වර්ථ නම් උනේ ගෙම්බා (පෙරා) සහ වඳුරා(වන්නි). සත්තු දෙතුන් දෙනෙක් එකතුවෙලා නේචර් ටීම් එකක් හදාගෙන කියල කාඩ් ගහපු අපි මේ සෙට් එකට එක එක කතා කියකිය මඩ ගහන එක අඩුවක් නැතුවම කලා. මේ දවස්වල සංගමේ සභාපති උනේ වන්නි.

මේ සෙට් එක කැම්පස් එකේ වටපිටාවේ තියෙන ගස් ගල් වල නම් ගම් කොටන්න පටන් ගත්තා එක වතාවක්. කොන්ක්‍රීට් වගේ මොකක්දෝ මන්ද බෝඩ් ලැල්ලක් ගහක කොළයක් වගේ හදාගෙන කැම්පස් එකේ තිබ්බ ගස් ගාව බිම එව්ව ඉන්දන එකද කොහෙද මුදලගේ පළවෙනි රාජකාරිය උනේ. ඒකෙ සිංහල නම, ඉංගිරිසි නම වගේම විද්‍යාත්මක  නමත් ගහල තිබුනද කොහෙද.  ඒවා හිටවලා ටික දොහක් යහතින් තිබ්බට එව්වයෙත් අපල කාලය උදා වෙන්න පටන් ගත්තා. රෑට රෑට එව්වට ගල් ගහපු සමහර කොල්ලෝ නිසා හැමදාම වගේ ඒ බෝඩ් ලෑලි කැඩිලා බිඳිලා ගියා. දෙතුන් වතාවක් ඒවා අළුත් කලත් ඒ වැඩේ දිගටම කරන්න බැරි නිසාද කොහෙද කාලයක් යද්දී ඒ බෝඩ් ලෑලි අළුත් කරන වැඩේ නතර උනා මම හිතන්නේ.

ඔය ගල් ගහන වැඩේ තියෙනවා නේද, මම කවදාවත් කලේ නැහැ. ඔය දේපොළ වනසන වැඩ වලට මම ටිකක් අකමැතියි. මිනිස්සු ලංකාවට හොරෙන් ගෙනාව කියල අල්ල ගන්න රටින් ගේන විස්කි, සිගරැට් වගේ දේවල් විනාශ කරනවා නේද. ඒවත් මම හිතන විදිහ අනුව වැරදි වැඩ. ආණ්ඩුවට පුළුවන්නේ ඒවා විකුණලා ගාණක් හොයා ගන්න. ඔව්ව හදන්න ගිය නිෂ්පාදන වියදම, ඔව්ව ලංකාවට ගෙන්නන්න හොරෙන් ගෙනාපු මිනිහට ගියපු වියදම, ඒ සල්ලි ඔක්කොටම අමතරව ආපහු සල්ලි වියදං කරනවා විනාස කරන්නත්. මෙහෙ හදන විස පිරිච්ච එව්වා වගේ නෙමෙයි මේ කුඩු වෙන්නේ හොඳ ප්‍රමිතියට හදාපු හොඳ හොඳ ජාති. මම කියන දේ  කවුරු අනුමත නොකළත් මේ සිද්ධ වෙන්නේ ලොකු අපරාධයක්.

මේ කියන කාලේ වෙද්දී කැම්පස් එකට අලුතින්ම කැන්ටින් එකක් හැදුවා. අපි කැම්පස් යද්දී පරණ ගොඩනැගිල්ලක් වෙච්චි ගොඩ කැන්ටිම තමයි ඒ විදිහට අළුත් උනේ. අළුත් බිල්ඩින් එක හින්ද කැම්පස් එකේ එව්වෝ ඕකේ බිත්ති වල දැන්වීම් අලවන්න ගියේ නැහැ. ඒ නිසා අපි කලේ එක කොටසක දැන්වීම් අලවන්න වෙනම බෝඩ් එකක් සහ එක එක සංගම් වලට තමන්ගේ බෝඩ් එල්ලන්න වෙනම තැනුත් වෙන් කරලා දුන්නා. මෙන්න මෙහෙම තියෙද්දී එක දවසක් උදේ අපි බලද්දී කෑම ගන්න යන පෝලිම කිට්ටුවේම හරියටම ඉස්සරහ බිත්තියේ මෙවුන් ටික බෝඩ් ලැල්ලක් එල්ලලා තිබ්බා. අපිට නේද, මුන් එක්ක මළ. යාළුවො නිසා බනින්නත් බැහැ. බැහැ කිය කියා නිකං ඉඳල හරියන්නෙත් නැහැ, වහාම නිවේදනයක් දුන්නා බෝඩ් එක ගලවාගෙන ගොහින් බෝඩ් එල්ලන්න තියෙන හරියේ එල්ලපිය කියලා. ඉතිං ඒක එහෙම උනා.

හැබැයි මෙයාල වතාවක් කැම්පස් එකේ අළුතින් පැළ වගයක් හිටෙව්වා, ඒවනම් මේ වෙද්දී අපි වගේ දහ පහළොස් ගුණයක් උසට හැදිලා ඇත්තේ. අන්න එව්වනම් ජාති ජාතිත් පල දෙන හොඳ පිං අතේ වැඩ.
මේ පහලින් තියෙන්නේ 2008 වෙද්දී ඒ ගස් හැදිලා තිබ්බ අපුරුව...



ඒ මදිවට මේ සෙට් එක කැම්පස් එකෙන් ඉල්ලගන්න බස් වලින් එහේ මෙහේ ගමන් යන්නත් පටන් අරගෙන තිබුනා මේ කාලේ වෙද්දී. උන් ඒකට කිව්වේ ක්ෂේත්‍ර චාරිකා කියලා. එහෙම ගිහිල්ල වැඩිපුරම කරනව කියන්නේ කුරුල්ලෝ බලන එක තමයි. අපිට මේ වැඩේ ඇල්ලුවෙත් නැහැ. කුරුල්ලෝ සමනළයෝ විතරක් බලන්න ට්‍රිප් ගිහින් වැඩක් තියෙනවද කියලයි අපි කල්පනා කලේ. මෙන්න මේ වගේ කරුණු කාරණා නිසා අපේ සෙට් එකේ එව්වෝ “මුන්ට පිස්සු” කියනව වගේ මානසිකත්වයෙන් තමයි මේ සංගමය සහ ඒකෙ සාමාජිකයෝ දිහා බැලුවේ.
මේ කියන කාලේ වෙද්දී සති අන්තයේ ගෙදර දුවන්න පුදුම ආසාවක් මට තිබ්බා.(අදටත් එහෙම තමයි) යුනියන් එකේ මොනවහරි වැඩක් තියෙනවනම් හරි විභාගයක් වගේ දෙයක් ඇරෙන්න මම අනිවා ඩෙෆා ගෙදර.
මෙන්න මේ කියන විශේෂ සති අන්තයේ මගේ බයිසි මොටෝ එකේ කාරුණික දෝෂයක් නිසා ඒක හොස්ටල් එකේ ගාල් කරලා බස් එකේ ගෙදර යන්න හිතාගෙන මම දැන් එනවා පටුවතේ ඉඳල කැම්පස් එක හරහා. එහෙම එද්දී පාර දිගේ කෙලින්ම ගිහින් බස් හෝල්ට් එකට යන්න පුළුවන් උනත් මම යන්නේ එහෙම නෙමෙයි. මුලින්ම යන්නේ වල කැන්ටිමට, එතන ටිකක් ලැගලා ඊට පස්සේ යනවා ගොඩ කැන්ටිම දිහාට. එතනත් කාත් එක්ක හරි ලගා ගහල ප්ලේන්ටියක් කාරිය බීල තමයි පාරට එන්නේ.

මෙන්න මෙහෙම ආපු එක දවසක මට වල කැන්ටිමෙන් එහාට යන්න බැරි උනා. ඒ වෙද්දී වෙලාව හවස 04:00 විතර ඇති. මම එද්දී නේචර් ටීම් එකේ යාළුවො සෙට් එක තඩි බෑග් එහෙමත් අරගෙන ඒවා මේස පුටු උඩ ගොඩ ගහගෙන ලුණු මිරිස් එක්ක පොල් රොටි කකා ප්ලේන්ටි ගහනවා. එතන වැඩිපුරම හිටියේ අපේ බැච් එකේ උන්. අපේ උන් යාළු වෙලා හිටපු ආකි කෙල්ලෝ කීප දෙනෙකුත් තව පොඩි උන් ටිකකුත් හිටියා. පෙරා, ආන්ටි සු, වන්නි, චාමිනි, ගලා, සජ්, අංජුල, කොට්ටෝරුවා(ලිවීමේ පහසුව පිණිස මෙම නාමය කොට්ස් ලෙස කෙටි කර ඉදිරියේදී යෙදෙනු ඇත), රූ, බබා, බබී, කුරුල්ලා, කව්වා, අලයා, හනී, මොල්ලි, රුවනි, විචී, අයේෂ්, කුරුළු නගා, තරංග, චන්දන සහ කලින් දැකල තිබ්බට හරියට නම්ගම් දන්නේ නැති සහ මතකනැති පොඩි උන් කීප දෙනෙකුත් හිටියා. දැන් මෙතන නම් වලින් කිව්වට සමහරුන්ගේ නම් දැනගත්තෙත් එදා.

මමත් දැන් උන් එක්ක වාඩිවෙලා රොටි කනවා, ප්ලේන්ටි බොනවා කතා බහ කරනවා. මුන් සෙට් එක බුත්තල පැත්තේ තියෙන රහතන්ගල කන්ද කියන කන්ද නගින්න යන බවත්, සම්පුර්ණ රෑ දෙකක් ඒ කිට්ටුව තියෙන සබරගමුව කැම්පස් එකේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ හොස්ටල් එකේ නතරවෙන බවත් කිව්වා.
පෙරා, ගලා, වන්නි ඇතුළු අපේ උන් සෙට් එක දැන් මටත් කතා කරනවා මේ ගමන යන්න. පිස්සුද බං “උඹල කුරුල්ලෝ බලද්දී මම උඩ බලාගෙන ඉන්නද” එහෙම කියපු මම “බැහැ” කියල කිව්වා. අපේ සෙට් එකනෙ බං වැඩිපුර ඉන්නේ “පොඩි ආතල් එකකුත් ගන්න පුළුවන් මචං, යමං...” එහෙම කිව්වේ පෙරා. කොට්ස් කිව්වේ “යමං බන්” කියලා. ඌ කතා කරන්නේ “බං” කියල නෙමෙයි “බන්” කියලා. හරියට ඉංගිරිස් වලින් බනිස් වලට කියනවා වගේ. ඒ අතරේ “රූ” ඇවිත් “යමු xxxx අයියේ” කියලත් කිව්වා. රූ කියන්නේ ආකි කෙල්ලෙක්. ඒ දවස්වල ඒකි අපේ කොට්ස් එක්ක පොඩි මෙව්වා එකක් පටන් අරගෙන තිබුනේ. පොඩියි කිව්වට පොඩිමත් නැහැ, ඒ දවස්වල තරමක් හොඳට නැගල ගිය සීන්කෝන් එකක් ඒක. ඒත් ඒ අතරේ මගේ දිහාටත් රූ ගේ ඇන්ටනාව කැරකෙනවා කැරකෙනවා වගේ ගතියක් මට තේරෙන්න පටන් අරගෙන තිබ්බේ. පස්සේ ඒ අමුත්ත අපේ සෙට් එකේ උන්ටත් තේරිලා මට මඩ ගහන්නත් පටන් ගත්තත් එක්ක. හරි හරි ඒවා ඕනේ නැහැනේ මෙතනට. යමු දැන් කතාවට.

හැමෝම කතා කරන හින්දයි, කන්දකුත් නගින නිසා පොඩි හරි ආතල් එකක් තියෙයි කියලත් හිතලා, මුන් ටික එක්ක මේ ගමන යන්න මම තීරණේ කලා. වන්නි එක්ක ආපහු හොස්ටල් එකට ගිහිං තවත් ඇඳුම් කැඩුම් ටිකකුත් බෑග් එකට දාගෙන වල කැන්ටිම දිහාට සැපත් උනා.
ටෙක්ස්ටයිල් එකට අයිති රෝසා බස් එක තමයි මේ ගමන යන්න ලෑස්ති කරගෙන තිබුනේ. බඩුමුට්ටු ටික බස් එකට පටවගෙන ගමන පිටත් වෙද්දී වෙලාව හවස 05:30 විතර වගේ උනා. මගදිගට සිංදු එහෙම කියාගෙන ගියාට වෙන ආතල් මුකුත් නැහැ. මොනවා කරන්නද වවුලගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා හිටපල්ලකො.

රෑ කෑම ලෑස්ති කරලා තිබුනේ කුරූගේ නගා ගේ යාළුවෙක්ගෙ හරි එහෙමත් නැත්නම් උන්ගේ නෑදෑයෙක්ගේ හරි ගෙදරකින්ද කොහෙද. ඒ ගෙදර තිබ්බේ රත්නපුරේ ටවුම කිට්ටුව. ගෙදරක් කිව්වට අපිට කෑම ලැස්ති කරලා තිබ්බේ එයාලගේ කඩේක උඩ තට්ටුවක බුෆේ ක්‍රමේට. එතනින් කෑම ටිකක් (හොඳ ටික) බඩට දාගෙන පිටත් වෙද්දී වෙලාව රෑ 09:00 ත් පහුවෙලා තිබ්බද කොහෙද. කෑම වේල ඇත්තටම හොඳයි. අපි පිටත් වෙද්දී අපි එක්ක මේ ගමන යන්න ඒ ගෙදරට අදාළ නගා කෙනෙකුත් එක්කාසු උනා.

බස් එකේ පිටිපස්සේ හරියේ හිටියේ කපල් දෙක තුනක්, මගදී සිංදු කියපු නිසා තනිකඩ වෙච්චි අපි කීප දෙනෙකුත් ටිකක් පිටිපස්සට වෙන්න ඉඳගෙන උන්නේ. රෑ වෙද්දී සිංදු කීම පැත්තක දාල ගොඩ දෙනෙක් නින්දට වැටුනා. සිංදු කියන්න ඕනේ නිසා පිටිපස්සේ වාඩි උනාට රෑ ජාමේ කපල් වලට කිට්ටුව වාඩිවීමේ ප්‍රථිපල ලැබෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඉස්සරහ සීට් එකට අත්දෙක තියාගෙන නිදා ගන්න ලොකු ගේමක් දීගෙන තමයි මම හිටියේ. මගේ කරුමෙට වැටිච්ච තැනක එක පාරටම නින්ද යන්නෙත් නැහැ. ඇහැරිලා ඉඳල වැරදිලා හරි වැරදි දෙයක් දැක්කොත් හරි නැත්තේ අපේ යාළු කම් වලට නොවැ. ඒ නිසා බලෙන් හරි නිදා ගන්න එක තමයි එකම විසඳුම උනේ. මගේ උත්සාහයත් ටික වෙලාවකින් සාර්ථක උනා.

අපි බුත්තල කැම්පස් එකට එද්දී වෙලාව රෑ 12:00ත්  පහුවෙලා තිබුනා. බස් එක නතර කලාම තමයි ඇහැරුනේ. කුරුල්ලගෙ යාළුවෙක් වෙච්චි එදාම අඳුන ගත්තු චමිත ඇතුළු කීප දෙනෙක් ඇවිත් අපිව සාදරයෙන් පිළිගත්තා. උන්ගේ හොස්ටල් එකෙන් අපි වෙනුවෙන් කාමර දෙකක් වෙන් කරලා තිබුනා. ගෑල් ළමයින්ටත් ගෑණු හොස්ටල් එකේ කාමර ලෑස්ති කරලා තිබුනා. රියදුරු මහත්තැන් සහ ගෝලයාටත් වෙනම කාමරයක් ලැබුනා. පොඩි අවුලකට කියල තිබුනේ වියළි කලාපෙ නිසාද මන්ද තරමක වතුර හිඟයක් තිබ්බ එක තමයි. ටැප් එකෙන් එන නොඑන ගානට එන වතුර ටිකකින් අමාරුවෙන් මුණ කට යන්තම් හෝදගෙන පුළුවන් ඉක්මණට නිදා ගන්න ගියේ පහුවෙනිදා උදෙන් නැගිටලා කන්ද නගින්න යන්න ඕනේ නිසා.

පාන්දරින් නැගිටිනවා කිව්වට පහුවෙනිදා අපි ඇහැරුනේ උදේ හයත් පහුවෙලා. රෑ ජල හිඟයක් තිබුණට උදේ අවුලක් උනේ නැහැ. වැඩ කටයුතු ටික කරගන්න සෑහෙන වතුරක් ටැප් දිගේ ගලාගෙන ආවා. කොහොමින් කොහොමහරි ලක ලෑස්ති වෙලා උදේ කෑම හොයාගෙන පිටත් උනා. කෑම ලෑස්ති කරල තිබුනේ ඒ කිට්ටුව තිබ්බ කැන්ටින් එකේ. එතන තිබුන කෑම අපේ කැන්ටින් වල කෑම වලට වඩා රසයි, ඒ වගේම කෑම කාලා මේස උඩ ඉඳුල් පිගන් දාල යන පුරුද්දක් එහෙ ළමයින්ට තිබුනෙ නැහැ. තමන් කාපු පිඟාන හෝදලා තියන්න හැමෝම වග බලා ගත්තා.
කෑම වලට, කඩදාසි වලට, ප්ලාස්ටික් වලට වෙන වෙනම ඩස්ට්බින් තිබුන විතරක් නෙමෙයි ළමයි ඒවා නිවැරදිව පාවිච්චි කලා. අපේ කැම්පස් එකේ ඒ දේ ක්‍රියාත්මක කරන්න සෑහෙන අමාරු වෙච්ච දෙයක්. නමුත් කාලයක් ගියාට පස්සේ තරමක් හොඳ මට්ටමකට හැරුනා.

මම රට ඉන්න කාලේ රස්සාව කරපු තැන අපි බොන තේ එක හදා ගන්න ඕනේ අපිමයි. හැමෝටම තමන්ගේ ලොකර් එකක තම තමන්ගේ භාජන තිබුනා. පොදු වැඩ වලට කියල එක ඉන්දියන් සේවකයෙක් හිටියා. මිනිහ තමයි කැන්ටිම, ඔෆිස්, ලැබ් එහෙම අතුපතු ගාන එකයි ටොයිලට් එහෙම හෝදන එකයි කලේ.
එක දවසක් අපි තේ බොන්න ගියාම මගෙත් එක්ක එකට වැඩ කරපු කැම්පස් එකේ මගේම බැචෙක්ගේ තේ එක උගේම අත පැටලිලා වැටුනා. මේස උඩයි, බිමයි හැම තැනම කිරි තේ. මේ වෙලාවේ අර අර මනුස්සයත් ඇවිත් අනිත් සේවකයෝ වගේම කැන්ටින් එකේ වාඩිවෙලා තේ බොනවා. අපේ එකාගේ තියෙන මජර කමට ඌ හලා ගත්තු කිරි තේ පිහිදාන්න කියල අර මනුස්සයට කිව්වා. ඒ මිනිහගේ අසරණ කමට මිනිහත් හා කිව්වා. නමුත් එතන හිටපු අපි හැමෝගෙම තර්කය උනේ අඩු ගානේ මේසේ උඩ වැටිච්ච තේ ටික හරි අපේ එකා පිහිදාන්න ඕනේ කියන එක. ඔන්න අපේ උන්ගේ හැදියාව.

දැනුවත් කිරීම්...
රහතන්ගල නගින්න කළින් කට්ටියටම වටයක් විදිහට ඉන්න කියල පොඩි පොඩි උපදෙස් ටිකක් එහෙම දුන්නේ කුරූ. මමත් කියන දේවල් හොඳට අහගෙන ඉඳලා එතනට ඕනේ විදිහට අනුගත වෙන්න තීරණය කලා. ආපු ගමනෙන් වැඩක් වෙන්නත් එපෑ.
ගමන පටන් ගත්තු ගමන්ම වගේ සිවුරු හොරකුයි සහ තවත් කුරුළු වර්ග කීපයක් දකින්න පුළුවන් උනා. කොහොම උනත් මගේ අතේ පොඩි සටහන් පොතක් තිබුනා විතරක් නෙමේ අනිත් උන් කුරුළු පොත් බලබල කියන අමුතු ඉංග්‍රීසි නම් එහෙම මම පොතේ ලියා ගත්තත් එක්ක. අපිත් එක්ක කන්ද නගින්න බුත්තල කැම්පස් එකේ චමිත එක්ක තව කීප දෙනෙකුත් එකතු උනා. සමනල්ලු කීප දෙනෙක් දැක්කට මට උන් ගැන ඒ තරම් උනන්දුවක් තිබුනේ නැහැ.

සමනළයෙක්...

මගේ ගාව මේ කාලේදී කැමරාවක් තිබුනේ නැහැ. කැමරා අතේ තිබ්බ කීප දෙනෙක් මෙලෝ සිහියක් නැතුව සමහරු බිම දිගාවෙලා එක එක ඉරියව් වලින් ඉඳගෙන හිටගෙන ෆොටෝ අල්ලනවා. මට මුන් ටික යන වේගේ මදි. අපේ බැච් එකේ ආපු උන්ගෙන් තනිකඩව හිටියේ මමයි වන්නියි අංජුලයි විතරයි. වන්නිගෙයි අංජුලගෙයි අතේ කැමරා තිබ්බ නිසා උන්ගේ තනිකඩ කමෙනුත් මහලොකු වැඩක් තිබ්බෙ නැහැ. තනිකඩ කෙල්ලක් වෙච්චි චාමිනි අතෙත් කැමරාවක්. ඒත් ඒකි මගේ තනිකම මකන්න මාත් එක්ක ටිකක් උන්නා. තව පොඩි උන් කීප දෙනෙකුත් එක්ක මමත් වටපිටාව බල බල ඉස්සරහට ගියා.
පඩිපෙළ....
මේ කන්දේ කළින් රහතන් වහන්සේලා වැඩ වාසය කල නිසා නම ලැබුණු බව තමයි දැනගන්න ලැබුනේ. ඒ සඳහා අවශ්‍ය කරන පරිසරයක් මේ කන්දේ තියෙන බව මට හිතුනේ කන්ද නගින්න පටන් ගත්තු මුල් පියවර කිහිපයේදිමයි. මුල් කොටසේදී අපේ ගමන්මග යෙදිලා තිබුනේ හොඳින් හදපු ගල් පඩිපෙළක් ඔස්සේ. අතරමග තැනක ගල් ගුහාවක කොටලා තිබුණු අක්ෂර වර්ගයක් දැක ගන්නත් පුළුවන් උනා.

කන්ද මුදුනට යන්න කලින් හොඳ හෙවනක නතරවෙලා පොඩි විවේකයක් ගන්නත් අමතක කලේ නැහැ. චොකලට් බිස්කට් ටිකක් එහෙම කාලා වතුර ටිකක් බීලා මහන්සි ඇරලා තමයි ගමන පටන් ගත්තේ.
විඩා හරිමින්...
කඳු මුදුන බලා...
එතනින් පස්සේ කන්දේ මුදුනට ගියාම දැකගන්න පුළුවන් උනේ මහ විශාල පිට්ටනියක් වගේ ගල් තලාවක්. තැනින් තැන වතුර පිරුන වලවල් කීපෙකුත් තිබ්බා. අපිට ආපු ලොකුම පුදුමේ තමයි ඒ එක වතුර වලක මාළු කීප දෙනෙක් ඉන්නවා දැකපු එක. කඳු මුදුනේ ඉඳල පහලට ගලා යන වතුර පාරක්වත් නැහැ. අන්තිමට මටනම් හිතුනේ උන් වැස්සත් එක්ක වැටෙන්න ඇති කියලයි. මේ වෙද්දී මගේ මනසත් මේ “අධ්‍යන චාරිකා” ඒ තරම් අවුල් සහගත නැහැ කියන මට්ටමකට ඇවිත් උන්නේ...
කඳු මුදුන...
නිදහස සොයා...
පහළ...
කන්ද උඩ පුදුම අව් රස්නයක් තිබුනේ. අයිනක තිබ්බ කුඹුක් ගහක හෙවනක හිටගෙන එහෙට මෙහෙට වෙන වෙලාවක මගේම තියෙන නරක වෙලාවටමද කොහෙද සාක්කුවේ තිබ්බ ෆෝන් එක දොහ් ගාල බිමට වැටුන. අපි හිටපු හරියෙ තිබුනෙ ගල් තලාවක් නෙමෙයි, ගල් ගෙඩි ගෙඩි වගේ වෙනම තියෙන ඒ අතරේ කඩතොළු තියෙන තැනක්. ඒ පහළ බිම එහෙමත් අපි හිටපු තැනින් අඩි විස්සක් තිහක් විතර පහළින් පේන්න තිබුනා.
තනිකඩයකුගේ නිදහස...
සිහිල් හෙවනේ...
මගේ ෆෝන් එකේ පියන හැලුනේ මේ වගේ තැනක තිබ්බ පැල්මකින්
සාක්කුවෙන් වැටුන ෆෝන් එක ගල උඩට වැටිලා කොටස් වෙලා ටිකක් උඩ ඉතුරුවෙලා පහළටත් කොටසක් වැටෙනවා මම දැක්කේ ඇස් කොණින් වගේ. කෑලි අහුලගෙන බැලුවම එතන ෆෝන් එකේ කේස් එකේ පිටිපස්සේ කොටස නැහැ. ඒක නැති උනාට ෆෝන් එක වැඩ කරනවා, ඒත් ඉතින් හෙළුවන් වගේ තමයි.
මේ වගේ අස්සකින් රිංගලා ඇතුළට ගිහිං තමයි ෆෝන් එකේ පියන හොයා ගත්තේ.
මම දැන් ට්‍රයි කරන්නේ කොහොමහරි පහළට බහින්න. මගේ සහයට වඳුරු තෙමේත් ඉදිරිපත් උනා. මට පහළ බැලුවම හිතුනා අපි ආපු පාරේම ආපහු ගියොත් එතනට එන්න විදිහක් හොයා ගන්න පුළුවන් වේවි කියලා. අපි දෙන්න එක්ක ටිකක් එහාට මෙහාට ගිහිං අන්තිමට අපි හිටපු තැනට පහළ ෆෝන් එකේ කේසින් එක වැටිච්ච කිට්ටුවටම ආවා. එතනටම බහින්න නුග මුල් වල එල්ලිලා එහෙමත් යන්න උනා. ඒ කොටස හරියට අමුතු ලෝකයක් වගේ, පුදුම ලස්සනයි. ලොකු ගල් ගෙයක් වගේ සෑහෙන පිරිසකට ඉන්න ඉඩත් තියෙනවා. හොඳට එළිය එහෙමත් තියෙනවා. ඇත්තටම හරි පුදුම තැනක්.
අපි දෙන්නා ෆෝන් එකේ කේසින් එකත් අරගෙන ආපහු ඇවිත් අපේ උන්ට කිව්වට උන් අපේ කතාව විශ්වාස කලේම නැහැ. අපිත් ඉතින් අපිට පාන්ද කියල කරබාගෙන හිටියා.

කන්ද ආපහු බහින්න ඒ තරම්ම වෙලාවක් ගියේ නැහැ. ඒ වෙද්දී වෙලාව දෙකත් පහුවෙලා. ආපහු කැම්පස් එකට ගිහින් මුණ අතපය සෝදගෙන දවල් කෑම ගැන විපරම් කරලා බැලුවා. දවල් කෑම ගන්න නියමිත වෙලා තිබුනේ එළියේ කඩේකින්. අපි පිටත් වෙන්න කළින් වැවේ නාන්න අවැසි කරන ද්‍රව්‍යත් අරගෙනම යා යුතුයි කියන පණිවිඩයත් ලැබුනා සහ ඒ අනුව ක්‍රියා කරන්න අපි කටයුතු කලා. බුත්තලට ගියාට ඒ වෙලාවේ බත් තියෙන කඩයක් හොයා ගන්න ටිකක් අමාරු උනා. බත් කඩයක් හොයාගෙන බත් ටිකක් බඩට දා ගත්තට පස්සේ රුවනිගෙන් අපිට යෝගට් සංග්‍රහයක් ලැබුනා. ඒකට හේතුව කිව්වට ඒක ඒ වෙලාවෙවත් මටනම් ඇහුනේ නැහැ එක්කෝ තේරුනේ නැහැ. සමහර විට හේතුව ඔය මොකක්හරි එකක් වෙන්න ඇති.

බත් කාල නිදහසේ ටික වෙලාවක් වාඩිවෙලා එහෙම ඉඳල අපි ආපහු පිටත් උනේ යුදඟනාව වැව දිහාට යන්න.
මෙන්න අපේ විවේක ගනිල්ලා...

ඉතුරු කොටස හැකි ඉක්මණින්...

22 comments:

  1. සංවිධාන කටයුතු වලට දායක වෙන්න ඕනේ වුනේ නැති නිසාද කොහෙද අදනම් පඳුරු තලල තියෙනව වටේටම.. ඒකෙත් අමුතු ගතියක් තියෙනව හැබැයි..හැක් හැක්..
    බොරු කියන්න ඕනේ නැහැනේ රූ ගේ ඇන්ටනාව වැඩ කරපු නිසා නේද ගමන යන්න හිතුනේ.. කොහොමෙන් කොහොමෙන් හරි මෙහෙම ගිහින් පරිසරේට ආදරේ කරන්න ගත්තයින් අපිට කියවන්න බලන්න ලස්සන මතක සටහන් ගොඩාක් ඉතුරු වෙලා තියෙනවනේ.. ඒක වැදගත්.. ඉතුරු කොටසත් දාමු ඉක්මණින්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මේක හෙණ ගහන්න වගේ සෙට් වෙච්ච ගමනක් නිසා කරගහන්න කිසි කුණක් තිබ්බෙ නැති නිසා පට්ට අවුලෙන් තමයි හිටියේ...
      සෙට් වෙච්ච එකම වැඩෙත් බො යන්නක්...
      රූ ගේ සීන් එකත් හේතුවක් උනාද මන්ද අප්පා මේ ගමන යන්න. මේ ගමන නෙමෙයි ඊට පස්සේ ගිය ගමන් වලදී මිට වඩා තත්වේ දරුණු උනා...

      ඒ පැත්තට හිත ගිය එක, එක අතකින් අබිං කෑවා වගේ වැඩක් උනා. සෑහෙන සල්ලියක් යටවෙලා තියෙනවා කැමරා ගන්නයි ගමන් බිමන් යන්නයි...
      කැම්පස් කාලේ නම් වාහන නිකං, කෑම බීම වලට පොඩි ගාණයි. ඊට පස්සේ තමයි කෙළිය තිබුනේ...

      Delete
  2. මරු ලොකූ. උඹ මේ ලියන කතා මම හරි ආසාවෙන් විඳිනවා

    ReplyDelete
    Replies
    1. තැන්කු මචං...
      මෙහෙම ලියාගෙන ලියාගෙන ගිහින් ඉවරවෙන වෙලාවකුත් එයි වගේ. කලින් අවිද්දට දැන් කොහෙවත් යන්නේ නැහැනේ.
      එක එක හේතු නිසා කොහෙවත් යැවෙන්නේ නැහැ.

      Delete
    2. රහතන්ගල දැං ඔය ලස්සන නැතිලු බං. මට කිව්වේ බුත්තල ඉන්න මගේ නෑයෙක්. දැයට තොප්පිය (කිරුළ) තිබිච්ච දවස්වල ඒකට වැඩේ දීලා

      Delete
    3. එහෙමද... ඒත් ඒ කැලේ වැඩක් දෙන්න දෙයක් තිබ්බයි කියල මම හිතන්නේ නැහැ.
      කලින් වතාවේ ඔය හරියේ ගම් උදාව තිබ්බ වෙලේ කන්ද මුදුනේ මිහින්තලේ අනුරුවක් හැදුවලු. ඒක හදපු වෙලාවේ එතන තිබ්බ නිධාන ටික ගත්තයි කියල අපි එහෙ ගිය වෙලාවේ ගමේ මිනිස්සුන්ගෙන් ඒ කාලේ අහන්න ලැබුනේ.
      සමහරවිට ඔව්වා කාලෙන් කාලෙට කියන මඩකතා වෙන්නත් පුළුවන්.
      ආරන්ණය තියෙන නිසා ඔතන කැලේනම් ඉතුරුවෙලා ඇති කියල හිතෙනවා...

      Delete
  3. රහතන්ගල කියන නම නම් මම අහලා තිබුනා වගේ මතකයි මට.. මේ තරම් විස්තරයක් නම් කියෙවුවේ දැන ගත්තේ අද තමයි..

    ReplyDelete
    Replies
    1. මමත් ඔය නම ඇහුවේ එදා මේ ගමන යන්න සෙට් උනාම තමයි. හරි ලස්සන පරිසරයක්. ගුගුල් එකේ මේ කන්ද නම් කරලා තියෙන්නේ රහතන් කන්ද කියලා.
      නිවැරදි නම රහතන්ගල විය යුතුයි. ගම්පළාතේ මිනිස්සු කියන්නෙත් ඒ නම

      Delete
  4. මම වගේම තවත් පිස්සෙක් දැක්කම සතුටු හිතෙන්නෙ නැද්ද අප්පා...උඹ තරම් ගමන් ගිහින් නැතත් මටත් ඔය පිස්සුව තියනව. යන ගමන් පොඩි සත්තු නිරීක්ශනය කරන එවුන් එක්ක පිටවල පතනට ගිය ගමනක් මතක් උනා. දන ගාගෙන, බඩ ගාගෙන කෘමි සත්තු ගාවට යන්නෙ.

    ReplyDelete
    Replies
    1. එළ එල... ඒ කියන්නේ උඹත් අපේ ජාතියේ පිස්සෙක්... හෙක් හෙක්
      වතාවක් අපි සිංහරාජේ මුල හරියේ බිම දපාගෙන ගෙම්බෙක්ගේ ෆොටෝ ගහනවා, එතනින් ගියපු ඉස්කෝල ළමයි ටිකකුයි එයාලගේ ගුරුවරුයි අපි දිහා අමුතු විදිහට බලල ඇතුළට ගියා. ඒ ගිහින් ඒ ළමයි ගොඩක් වෙලාවට යෝධ නවද ගහ එහෙම බලල වෙන්න ඇති පැය කීපයකට පස්සේ ආපහු එද්දිත් අපි එතන ගෙම්බා එක්ක.
      උන්ට අනිවාර්යයෙන්ම හිතෙන්න ඇති අපිට පිස්සු කියලා, ඌ පොඩි ගෙම්බෙක් නිසා ඒ ළමයින්ට පේන්න නැතුවත් ඇති.
      ලොකු කුතුහලයකින් අපි දිහා බලබල හිනා වේවි ගියා.
      මමත් පිටවල පතනට ගියා දෙපාරක් විතර ගිහින් තියෙනවද කොහෙද
      උඹලත් ඔය ගියපු ගමන් ගැන ලියන්න පටන් ගනින් මචෝ...

      Delete
  5. බෑ බෑ කිය කිය හිටියට රූ නිසාමද කොහෙද ගිහින් තියෙන්නේ. :D

    පින්තූරත් එක්ක විස්තරේ දාලා තියෙන නිසා අපිත් එහේ ගියා වගේ දැනුනා. ඊලඟ කොටසත් ඉක්මනටම දාන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ගෙදර ගිහින් ගුටි කන්න වෙන කතා කියන්න එපා බොල. අනිත් එක රූ අපේ යාළුවෙක්ගේ කෙල්ල වෙලා උන්නුකොට.
      හැබැයි ඒක සති දෙක තුනකින් හබක් උනා, ඒක වෙනම කතාවක්... ඒත් මම නෙමෙයි සැලුනේ, නොසැළී මහා මෙරක් වගේ හිටිය.
      පිස්සු හැදෙනවා අප්පා, ඒ කාලේ මතක්වෙලා...

      දැන් ඉතුරු කොටස බාගෙට ලියල තියෙන්න ඉප්පනටම දාන්නම්...

      ඔන්න තුශානි ළමයවත් මගේ බ්ලොග් රෝල්ට දා ගත්ත...

      Delete
  6. නිදහසේ ඉන්න තනිකඩයා කටුස්සෙක් වගේ. හොයාගන්නත් බෑ පරිසරේට මුහුවෙලා. අර මොකද සමනල්ලු කියලා කොල්ලො ටිකක් පස්ස හරෝගෙන ඉන්නෙ?
    මක්ක වුනත් රහට ලියා ඇත.

    ReplyDelete
    Replies
    1. තනිකඩ ජිවිතයේ රහ... හිතිච්ච ගමන් ඕනේ දිහාවක යන්න ඇහැකි...
      සමනල්ලු බලන එව්වෝ ඔහොම තමයි කොයි වෙලෙත් පොළව දිගේ බඩගානවා...
      උඹ ඕක නරක ඇහැකින් එහෙම බලන්න එපා, හොඳද...
      පැසසීමට තුති වේවා...!

      Delete
    2. මම කිව්වේ තනිකඩයා ඒ අවට පරිසරයත් එක්ක හොයාගන්න බැරි තරමට වර්ණ මුසුව.
      (නරක ඇහැකින්? චැක්... කැත කතා)

      Delete
    3. එහෙම නැත්නම් ඉතින් මොන අවුලක්ද.. හෙක්... හෙක්...

      Delete
  7. ලොකුපුතේ...උඹ බොරු නම් කියන්න එපා...ගල් ගැහුවෙ නෑ කියන්නෙ සංස්ථා ගල් නැතුවද ? වෙලාවට බං මම කැම්පස් ගියේ නැත්තෙ..නැත්තං මම මේ වගේ පොදු කටයුතු වලටම බැහැලා වැඩ කරලා උපාධිය ගන්න එක කාලාන්තරයක් පස්සට දාගන්නවා...කොකු ගහපු නැති ලස්සන කෙල්ලො දෙතුන් දෙනෙක් ඉන්නවා නම් ඕනෙම සංගමයක් නැගලම යනවා නේද....

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං කිව්වේ...
      ඒ දවස්වල නැගල ගියේ සංස්ථා ගල් තමයි... වෙන මුකුත් හරියන්නේ නැහැ...

      ///වෙලාවට බං මම කැම්පස් ගියේ නැත්තෙ..නැත්තං මම මේ වගේ පොදු කටයුතු වලටම බැහැලා වැඩ කරලා උපාධිය ගන්න එක කාලාන්තරයක් පස්සට දාගන්නවා///
      යුනියන් කරලා, එක එක පොදු වැඩ කරලා මමත් යන්තම් බං ගේම ගොඩ දා ගත්තේ...
      අපේ කැම්පස් එකේ එක හොඳක් තිබුනා, මගේ ඩිපාට්මන්ට් එකේ හිටපු ලෙචාලා යුනියන් හිටපු නිසා මට පොඩි චාන්ස් ටිකක් දීල තිබ්බා. මගඇරෙන සමහර වැඩ වලට මට ගේම අදින්නේ නැතුව සෑහෙන සපෝට් කලා.

      විභාගේ ලියන්න පැමිණීම 80% නැති එක අවුලක් උනෙත් නැහැ. ෆීල්ඩ් විසිට් යන්න බැරි වෙච්ච ඒවට පවා කචල් දැම්මේ නැහැ.
      රිපෝට් එක දුන්නම ඇති කියල ෂේප් කලා. ඒ මදිවට පරණ රිපෝට් දෙක තුනක් හොයල දීපු වෙලාවලුත් තිබ්බා, මේවා බලාගෙන හරි ගහල දෙන්න කියලා.
      ඒ වගේම තමයි මචන් හිටපු යාළුවොත්. සමහර වෙලාවට මගේ Course Work එහෙම ලියලා මගේ නම දාල උන්ම සබ්මිට් කරපු වෙලාවලුත් සෑහෙන තිබුනා.

      ///කොකු ගහපු නැති ලස්සන කෙල්ලො දෙතුන් දෙනෙක් ඉන්නවා නම් ඕනෙම සංගමයක් නැගලම යනවා නේද....///
      ලස්සන කෙල්ලෝ, ඒ මොක්කුද. අපේ කැම්පස් එකේ එහෙම උන් කොයන එක කළුනික හොයනවටත් වඩා අමාරුයි. එහෙම කිව්වට අහඹු සිදුවීම් නැත්තෙමත් නැහැ.
      570 ක් විතර හිටපු බැච් එකේ කෙල්ලෝ හිටියේ 50 ක් 60 ක් විතර. ඉතින් හිතහන්කෝ තත්ත්වේ... හෙහ්...

      Delete
    2. බොහොම සෝබරයි...හරියට මොරටුවෙ ඉංජිනේරු පීඨයෙ වගේනෙ බං...කෙල්ලො අහේනියකට ලක් වෙලා...

      Delete
    3. හෙහ් හෙහ්... උඹ එහෙනම් ඒ අහවල් පීඨෙ ගැනත් දන්නවා...
      හොඳයි හොඳයි... ;-)

      Delete
  8. රහතන්ගල. සමහරවිට අමරණිය මතකකයන් වෙන්නත් තිබ්බා. එත් අන්තිමට මතකයන් වලට එකතු වුනේ බෙලිහුල්ඔය!!

    ReplyDelete
  9. Sâdarayen pili gannawâ machan.
    Umba me kiyanne thamange athdakeemakda,
    Ehema nathnam me kathâwa kuru ekkath hondata match wenawâ wagê thamai mathaka...

    ReplyDelete