Saturday, 10 December 2011

පාසල් විත්ති 01

මම පුංචි කාලේ ගියේ ගමේ ඉස්කෝලෙට. මගේ අක්කල තුන් දෙනාත් ඉස්කෝලේ යන හින්ද මාව ඉස්කෝලෙට එක්කගෙන යන්න පළවෙනි දවසේ ඇරෙන්න අනිත් දවස් වල අම්මල තාත්තල ගොඩ වෙලාවට ආවේ නැහැ. ඒත් සමහර දවස් වලට ඉස්කෝලේ ඇරෙන වෙලාවට තාත්ත මෝටර් බයිසිකල් එකේ එනවා අපිව එක්කරගෙන යන්න. අපිව කියල කිව්වේ මාවයි, චුටි අක්කවයි. එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් පන්තියේ හිටියේ.

අපේ ගෙදර ඉඳල ඉස්කෝලෙට කිලෝමීටර 3 ක් විතර තියෙනවා, අපි උදේට පයින් ඉස්කෝලෙට යද්දී සුදු අක්කා (වැඩිමල් අක්කා) හරි පොඩි අක්කා(දෙවෙනියා) හරි මගේ පොත් බෑග් එක අරගෙන යන වෙලාවලුත් තියෙනවා. මම බොහෝම අකමැත්තෙන් තමයි උදේට ලැස්ති වෙලා ඉස්කෝලේ යන්නේ. ඉතින් මම බෑගිරි ගගා අක්කලාගේ පස්සෙන් යනකොට තමයි සුදු අක්ක හරි පොඩි අක්ක හරි මගේ බෑග් එක අරගෙන යන්නේ.
ඒ දවස් වල අපි සුදු ඇඳුම් නෙමෙයි, පාට ඇඳුම් තමයි ඇන්දේ ඉස්කෝලේ යන්න. සමහර දවස් වල මට තිබිච්ච හොඳම ඇඳුම වෙච්ච "පොලිස් සුට්‌" එක ඇඳගෙනත් ඉස්කෝලේ යනවා. අපේ ගෙදර තාමත් ඇති මම ඒ ඇඳුම ඇඳගෙන ඉන්න ෆොටෝ එකක්. එක වසරේ පොඩි එකෙක් වෙච්ච මට අක්කල එක්ක හරිහරියට පයින් යන එක ටිකක් අමාරුයි. ඒත් ඉතින් අක්කලට පරක්කු වෙලා ඉස්කෝලේ ගියොත් බැනුම් කෝටියයිනෙ. ඒ නිසා එයාල පුළුවන් තරම් වේගෙන් තමයි යන්නේ.

ඒ දවස් වල ඉස්කෝල ඇරුනේ දවල් 11:30 ට වගේ තමයි මට මතක.  තාත්ත අපිව එක්කගෙන යන්න ආවේ නැති දවස් වලට මමයි චුටි අක්කයි පයින්ම ගෙදර එනවා. 1 වසර සහ 2 වසර පන්ති දෙකම ඇරෙන්නේ මේ වෙලාවටද කොහෙද. ඉතින් අපේ පාරේ අපේ ගෙවල් පැත්තට එන ළමයි රොත්තක් හිටියා අපේ තනි නොතනියට. තනියම උනත් ඒ දුර පයින් එන්න අපේ කිසි බයක් තිබුනෙත් නැහැ.
ඒ පයින් එන ගමන අපිට පුදුම සතුටක් ගෙනදුන්නා. අපි ඒ දවස් වල වතුර ගෙනියන්නේ බෙල්ලේ එල්ලගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් වල. ආපහු එන වෙලාවට ඒවායේ වතුර නැහැ, ඉවරයි. බීල ඉවර වෙනවද එහෙම නැත්නම් නාල ඉවර වෙනවද කියල මතක නැහැ.

තාරපාර දිගේ එන කිලෝමීටරයක වගේ දුර අපි වැඩි කලබලයක් නැතුව තමයි එන්නේ. ඊට පස්සෙ අපේ ගෙවල් වලට හැරෙන ගුරු පාරට හැරිච්ච ගමන්ම වගේ තියෙන්නේ  දං කැලෑව. ඒක අපි දන්නා කාලේ ඉඳලා තාමත් ඒ විදිහටම තියෙනවා. දැනට අවුරුදු 26ක් තිස්සේ වෙලා තියෙන එකම වෙනස තමයි එකම එක මුල්ලක පොඩි ගේ පොඩ්ඩක් එක්ක ලෑලි තට්ටුවක් තියෙන පොඩි කඩයක් දාල තියෙන එක විතරයි.


අපේ රාජකාරිය පටන් ගන්නේ එතනින්. ඇති වෙන්න දං, බෝවිටියා කඩාගෙන කාල ඊට පස්සෙ තමයි කැලයෙන් එළියට එන්නේ. මේ වෙද්දී අපිට හොඳටම වතුර තිබහයිත් එක්ක. අපි හැමදාම වතුර බිව්වේ එකම ගෙදරකින්, ඒ ගෙදර නම කලන්සුරිය ඇන්ටිලාගේ ගෙදර. ඒක තිබුනෙත් මේ දං කැලයට බොහෝම කිට්ටුවෙන්. ඒ ගෙදර හිටපු අක්කල කවුරුහරි සුදු පාට එනමල් ජෝග්ගුවකින් තමයි අපිට බොන්න වතුර ගෙනත් දෙන්නේ. මෙහෙම දීල පිරිමහන්න බැරිවෙච්ච වෙලාවට ගෙනත් ලිඳෙන් වතුර ඇදලා අපේ අතට වත්කරනවා බොන්න. ඊට පස්සෙ අපේ බෝතල් වලටත් වතුර පුරවලා දෙනවා. ඒ අක්කල ටික අපිට වතුර බොන්න දීලම ලොකු පිනක් අත්කරගන්න ඇති මගේ හිතේ.

දන් ආපහු ගමනේ යා.... අපේ ගෙදරට යන මේ පාර ගුරුපාරක්, ඊට පස්සෙ පාරේ තියෙන එක මඩවලක්වත් මග ඇරෙන්න දෙන්නේ නැහැ අපි. ඒ හැම එකකටම බැහැ බැහැ තමයි අපි පාරේ යන්නේ. වතුර කානුවක් උනත් අතඅරින්නේ නැහැ.
මේ හරියේ පාර එක දිගට මීටර පන්සීයක්‌ වගේ දුර පේන කෙලින් හරියක් තියෙනවා. සමහර දවස් වලට අපි මෙහෙම කැරකි කැරකි යද්දී දකිනවා ඈතින් ලොකු ළමයි ඉස්කෝලේ ඇරිලා එන හැටි. ඒක දැක්කමනම් අපි තවත්නම් පරක්කු වෙන්නේ නැහැ. බෑග්මලු කරේ එල්ලගෙන දුවන්න පටන් ගන්නවා.

එහෙම හදිස්සියක් ආපු නැති දවස්වල අපේ ඊළඟ නවාතැන තමයි "ලොවිගහ යට ගෙදර", ඒ ගෙදරින් අහල අපි ගොඩක් දවස් වලට ලොවි කඩාගෙන කනවා. එතනින් පස්සෙනම් ආපහු පලතුරු ගස් වැඩිය නැහැ. ඒත් බෝවිටිය ගස්නම් හැමතැනම වගේ තියෙනවනේ. ඒවා අත අරින්නෙත් නැහැ අපි. සමහර බෝවිටියා ගෙඩි හොඳටම ඉදිලා පිපිරිලා ගිහිනුත් තියෙනවා, ඒත් අපි ඒවා කන්නේ නැහැ. කවුරු හරි කියල තිබුනා එහෙම ඇරිලා තියෙන්නේ නයි කාපු ගෙඩි කියලා. අපි කන්නේ හොඳටම ඉදිච්ච, පොත්ත පිපිරුණු නැති ගෙඩි. (අර කතාව පට්ට බොරුවක් වග ටිකක් ලොකු උනාට පස්සේ දැනගත්තා)

ඔන්න ඔහොම ගිහින් මට මතක විදිහට චුටි අක්ක 4 වසරට ගියාට පස්සෙද කොහෙද එයාටත් හවස් වෙනකන් ඉස්කෝලේ ඉන්න උනා. ඒ කියන්නෙ මට තනියම තමයි පයින් ගෙදර එන්න උනේ. මෙහෙම එන දවස් වලට අපි එකඑක දඟවැඩ කරනවා. ඒවා නවත්තන්න අක්කලත් නැහැනේ. මාත් එක්ක හැමදාම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන යාලුවෝ ටිකක් හිටියා. අමිල, රොෂාන්, සුපුන්(කෙල්ලෙක්) සහ තවත් ගොඩ දෙනෙක් හිටියා නම් මතක නැති. මේ හැම දෙනාගේම ගෙවල් තිබුනේ අපේ ගෙදරට ටිකක් එහායින්. ඒ කියන්නෙ මම තමයි මුලින්ම ගෙදර යන්නේ.
අපි එන අතරමග හරියේ මැටිගහපු ගෙයක් තියෙනවා. ඒ ගෙදර තියෙනවා ලොකු "පිණිජම්බු" ගහක්, ඒ උනාට ඒ ගෙදර හිටපු ආච්චි කවදාවත් ඒවා අපිට කඩාගන්න අවසර දුන්නේ නැහැ. අපිත් ඉතින් ඔය ගහේ තියෙන පිණිජම්බු දිහා බලබල කෙළ පෙරපෙර තමයි හැමදාම වගේ ඉස්කෝලේ ඇරිලා එන්නෙ. එක දවසක් අපි එද්දී දැක්ක අර ආච්චිලගේ ගෙදර දොරවල් වහල තියෙනවා. අපිට පුදුම සතුටක් දැනුනෙ. ආච්චි එනවද කියල බලාගන්න එක අපිට පවරලා රොෂාන් පිනිජම්බු ගහට නැග්ගා. මේ කියන ගෙදර තියෙන්නේ පොලිසිය කිට්ටු හරියේ. අක්කල එක්ක එන දවස් වල අපි මේ හරියේදී දඟවැඩ කරන්නෙ නැහැ. ඒත් දැන් අපි තනියම එන ලොකු ළමයිනේ. දැන් ඉතින් කවුරුත් නැහැ තහංචි දාන්න. රොෂාන් ගහේ ඉඳල ගෙඩි කඩකඩ පහලට දානවා. අපි ඒවා අහුලා අහුලා බෑග් වලට දා ගන්නවා. (බෑග් කියල කිව්වට ඒ ජාතියේ බෑග් දැන්කාලේ ළමයි ඉස්කෝලේ අරගෙන යන්නේ නැහැ. බොහොම තුනී කැන්වස් රෙද්දකින් මහල තිබුණු වැඩි සවි ශක්තියක් නැති බෑග් ජාතියක් ඒවා)


ඔන්න ඔය අතරේ අර ආච්චි ගේ ඇතුලේ ඉඳල දොරත් අරගෙන ආවෙ නැතෑ එළියට. ඒ මදිවට කොහේදෝ ගිහින් හිටපු ඒ ගෙදර අයිතිකාර සීයත් ඒ වෙලාවේම බයිසිකලයක් පැදගෙන ගෙදරටම ආවා. ආපු ගමන් ගහේ ඉඳල හිමීට බහින්න හදන රොෂාන්ව අල්ල ගත්තා. අපිත් බය වැඩි කමටමද මන්ද පැනල දුවන්න ගියේ නැහැ. අර දෙන්න එක්ක ප්‍රශ්න වැලක් අපි දිහාවට එල්ල කරනවා. අපේ නම් අහගෙන, අම්ම තාත්තගේ නම් එහෙමත් අහගෙන, ඊට පස්සෙ පන්ති වල විස්තරත් අහගෙන ඉස්කෝලෙට ඇවිත් මේ ගැන පැමිණිලි කරනවා කියල අපිව හොඳටම බය කලා. 

ඒ දවස් වල අපේ ඉස්කෝලේ හිටියේ "පෙරේරා" කියල ප්‍රින්සිපල් කෙනෙක්, එයා ගුරුවරයෙක් නෙමෙයි යකෙක්. හදිස්සියෙවත් ළමයෙක් පන්ති වෙලාවේ චු බරක් හැදිලා හරි චු කරන්න යනවා දැක්කොත් ගෑනු ළමයෙක්ද, පිරිමි ළමයෙක්ද කියල බලන්නේ නැතුව අතේ තියෙන වේවැලෙන් ගහනවා පුදුම අමානුෂික විදිහට. එක දවසක් මම බලාගෙන ඉඳිද්දී අපිට වඩා පන්ති තුනක් විතර උඩ පන්තියක හිටපු "බටකොළ ආච්චි" කියන ගෑනු ළමයට මේ විදිහට ගැහුවා. අන්තිමට ඒ ළමයට එතනම චු ගියා. ඒ දවස් වල අපේ ඉස්කෝලේ තිබ්බේ මේ වගේ කැලෑ නීතියක්. මේ කියන කාලේ රටේ තිබ්බේ භීෂණ යුගයක්. ඉස්කෝලේ ලොකු අයියල උනත් මේ මිනිහට විරුද්ධව කටක් අරින්න යන්නේ නැහැ.
ඒ දවස් වල මට ඒවායේ ලොකු තේරුමක් තිබ්බේ නැහැ. මම හිතන්නේ මිනිහ පොලිසිය හමුදාව එක්ක එකතු වෙලා කෑ ගහන අයව මෙල්ල කරන්න ඇති ඒ දවස් වල. සුදු අක්ක ගෙදර ඇවිත් කියනවා සමහර ගුරුවරු එයාලගේ පන්තිවල හිටපු කොල්ලන්ට තර්ජනය කරලා තියෙනවා කියල හමුදාවට අල්ලලා දෙනවා කියලා.

ඉතින් මේ වගේ මිනිහෙක් ගාවට අපිව අරගෙන යනවා කියල කිව්වහම කාටද බය හිතෙන්නේ නැත්තේ. මෙහෙම විස්තර අහද්දී අපි කාගේ හරි තාත්ත කෙනෙක්ව අඳුනන බවක් අර වයසක උන්දැගේ කතාවෙන් තේරුණා. කොහොමින් කොහොමහරි අපිව හොඳටම බයකරලා ඉවරවෙලා අර නාකි උන්දලා දෙන්න අපිට යන්න දුන්නා. නිකන් නෙමෙයි "උඹලට අදට සමාව දෙනවා, ආපහු එහෙම අහු උනොත් කිසි සමාවක් නැහැ" කියල තමයි අපිව නිදහස් කලේ. එදායින් පස්සෙ අපි කවදාවත් ඒ පිණිජම්බු ගහ දිහා ඇහැක්වත් ඇරලා බැලුවේ නැහැ.
ඒ ගෙදර කවදාවත් පොඩි ළමයි ඉන්නවා අපි දැකල නැහැ, අපිට කවදාවත් පිණි ජම්බු ටිකක් කඩා ගන්න දුන්නේ නැත්තේ මොකද කියල මට හිතාගන්න බැහැ. දැන් ඒ ගෙදරත් නැහැ, පිණි ජම්බු ගහත් නැහැ. අර නාකි උන්දලා දෙන්න අපේ පුංචි හිත් තලපු එක විතරක් මගේ මතකේ ඉතුරුවෙලා.

Tuesday, 6 December 2011

දණගාද්දී ඇවිදින්නට මට අත දුන්න...

මේ සින්දුව මම පුංචි කාලේ රේඩියෝ එකේ යද්දී හරිම ආසාවෙන් අහන් හිටිය විශේෂ සින්දුවක්.
ඊට පස්සේ කාලයාගේ අවෑමෙන් මට ඒ සින්දුව අමතක වෙලා ගිහින් තිබුනේ.
නොවැම්බර් 12 වෙනිදා "මකර සහෝදරයා" මගේ බ්ලොග් එකේ දාල ගිය කමෙන්ට් එකකින් ආපහු ඒ සින්දුව අහන්න වාසනාව පෑදුනා.


ඒකේ 11 වෙනි සින්දුව තමයි "දණගාද්දී ඇවිදින්නට මට අත දුන්න...." කියන ළමා ගීතය.
(තරහ නැතුව ඔය ලින්ක් එකේ පහල තියෙන සින්දු ලිස්ට් එකේ 11 වෙනි සින්දුව හොයා ගන්න)

ඉතුරු සින්දු ටිකත් හරිම අපුරුයි. මේ සින්දුව විතරක් හොයල මෙතන ලින්ක් එක දාන්න හෙව්වට මට හම්බ උනේ නැහැ. යු ටියුබ් එකේ තිබුණු සින්දුව පස්සේ කාලෙක කරපු එකක්, ඒක මේ තරම් හිතට වදින්නේ නැහැ.
සින්දුව අහන්න ගත්තු මාව පාවෙලා වගේ මගේ අතීතයට ඇදිල ගියා.... නොවැම්බර් 12 වෙනිදා ඉඳල අද වෙනකම් මම මේ සින්දුව සිය වතාවකට වැඩිය අහන්න ඇති. පෝස්ට් එක ලියන්න ගත්තෙත් ලියල ඉවර කලෙත් මේ සින්දුව නැවත නැවතත් අහන ගමන්,
------------------------------------------------------------------------------------------------

දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //

ලෙඩක් දුකක් හැදුනාමත් ලඟම දැවටෙන...
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන...
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //


වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා...
මම තරුණෙකි කවදා හෝ එය ඉටු වෙන දා...
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා...
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවර දා...


දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //
------------------------------------------------------------------------------------------------
දැනට අවුරුදු හතකට කලින් මුසල දවසක මේ සින්දුව මගේ ජීවිතයෙන් නොපෙනෙනා ඈතකට තල්ලු වෙලා ගියා.....
ඔබ වෙනුවෙන් මේ යුතුකම් එකක්වත් කරන්න මට පුළුවන් උනේ නැහැ. අපේ ජීවිතවලට එළියක්‌ දෙන්න ඔබ නොකළ දෙයක් නැහැ. ජිවිතේ අන්තම අන්ත පහළ අඩියේ හිටපු ඔබ අඟලෙන් අඟල උඩට නැග්ගේ අපි වෙනුවෙන් බව මම දන්නවා. 
අපිව දාල යන්න ටික දවසකට කලින් මගේ ඔලුව අතගාල "මට ලොකු පුතා ගැනනම් දැන් බයවෙන්න දෙයක් නැහැ" කියල කියපු හැටි මට අදවගේ මතකයි. ඔව්, ඒ වෙද්දී ඔබ මා වෙනුවෙන් කරන්න ඕනේ යුතුකම් කොටස බොහෝදුරට  ඉටුකරලා තිබුනේ. ඒත්......

ඔබ වෙනුවෙන් මට කරන්න පුළුවන් උනේ  අම්මා කෑගහන සද්දේ ඇහිලා දුවගෙන එද්දී පුටුව උඩ පණනැතුව වගේ වැටිලා හිටිය ඔබව  හරියටම විනාඩි පහකින් වගේ ඉස්පිරිතාලෙට එක්කරගෙන ගිය එකයි "දැන් වැඩක් නැහැ, පරක්කුයි" කියල ඔබව ඉස්පිරිතාලේ ඇතුළටවත් ගත්තේ නැති අළුත් දොස්තර මහත්තයා කියපු වචන ටික ඇහිච්ච වෙලාවේ ඉඳල ඉස්පිරිතාලේ බිම වාඩිවෙලා පිස්සෙක් වගේ අඬපු එකයි විතරයි....
වාහනේ ගෙනියන එක මල්ලිට බාරදීල කෘතීම ස්වසනය(ඒ වෙද්දී දැනගෙන හිටියෙ නැති උනත්) දෙන එක මම කලානම් කියන සිතුවිල්ල හැමදාම මගේ හිතට වදදෙනවා.

මට තාමත් හිතෙනවා ඔබට ප්‍රථමාධාරයක් දෙන්න පුළුවන් තරම් දැනුමක් එදා මට තිබුනනම් අදත් ඔබ අපි එක්ක ඉන්නවා කියලා.  එක පාරක් වෙච්ච වැරැද්ද ආපහු කවදාවත් වෙන්න දෙන්න බැරි නිසා පස්සේ කාලෙක ජීවිතාරක්ෂක ක්‍රම (Life Saving Course) සම්බන්ධවත් මම ඉගෙන ගත්තා.
ඒ මොනවා කලත් ඔබ ආපහු එන්නේ නැතිබවත්, මගෙන් ඔබට කෙරෙන්න ඕනේ යුතුකම් කොටස ඉටු කරන්න අවස්ථාවක්  කවදාවත් ලැබෙන්නේ නැති බවත් මම දන්නවා. හැමදාම වගේ ඔබව මතක වෙද්දී වැටෙන කඳුළු බින්දු වලට ඒ ණය ගෙවන්න බැරි බවත් මම දන්නවා.
ඔබට ඕනෙම වෙලාවේ අතදෙන්න බැරිවෙච්ච ලොකු පුතාට සමාවෙන්න තාත්තේ....

Sunday, 4 December 2011

අඩුකුලේ මිනිස්සු....

මම ඉස්සෙල්ල පෝස්ට් එකේ කියපු විදිහට මේ පෝස්ට් එකෙන් කතා කරන්න හිතාගෙන ඉන්නේ අපේ ගමේ සහ ඒ අවට ගම්වල හිටපු අඩුකුලේ කියල හඳුන්වපු මිනිස්සු ගැන.
මඩුපොල කිට්ටුව තියෙන ගම්වලනම් මේ වගේ අඩුකුල වලට අයිති මිනිස්සු ගොඩදෙනෙක් පදිංචි වෙලා හිටිය කියල මම දන්නවා. ඒත් ඒ මිනිස්සු සම්බන්ධව මට ලොකු අත්දැකීමක් නැහැ. ඒ මිනිස්සු ගොඩ දෙනෙක් "බඩහැල" සහ "බෙරව" කුලයට අයිති අය. රජකාලයේ පටන් එයාලට අයිති රස්සාව වෙච්ච කුඹල් කර්මාන්තය සහ නැටුම්ශිල්ප බෙර ශිල්ප වල අදටත් යම්ප්‍රමාණයක එයාල යෙදෙනවා කියන එක විතරයි මම දන්නේ.

අපිට ඒ පැතිවල යන්න එපා කියල තමයි ඉස්සර අපේ අම්මල තාත්තල කිව්වේ. ඇත්තටම ඒ මිනිස්සු අතරේ ගොඩක් දරුණුකම් තිබුනා මේ කියන කාලේ වෙනකොට. කොහොම හරි මමත් අර දේවාලයෙන් එහාට ගිහින් තියෙන්නේ එකම එක වතාවක් විතරයි.
නමුත් මම ඉස්සෙල්ල පෝස්ට් එකේදිත් මතක් කරපු අල්ලිස් මාමා, රෙදි නැන්දා, කම්මලේ ගෙදර සුටන් සහ ඒ ගෙදර ළමයි ගැන තමයි මේ පෝස්ට් එකේ වැඩිදුර කතා කරන්න හදන්නේ.
මේ මිනිස්සු ඒ දවස් වල සමාජයේ තිබුණු තත්ත්වය නිසා යම්ප්‍රමාණයක පීඩනයකට ලක්වෙලා තමයි ජීවත් උනේ.


මෙතනින් මම කතා කරන "අල්ලිස් මාමා" සහ "රෙදි නැන්දා" යන දෙන්න අයිති වෙන්නේ "රජක"(රදා හෝ රදව යනුවෙන්ද අප ප්‍රදේශයේ වහරයි) කුලයේ...

ඉස්සෙල්ලත් කිව්වා වගේම අල්ලිස් මාම ගැන මට තියෙන ලොකුම මතකේ තමයි එයා මඩුපොලේ වැඩකටයුතු වලට බොහොම මහන්සියෙන් උරදීල වැඩ කරන එක. පන්දම් ඔතන එකේ පටන්, පාවඩ සැපයීමෙන්, දුම්මලකබල අල්ලන එකෙන් සහ තවත් නොයෙකුත් ආවතේව කරන එකෙන් එයාගේ සේවය දේවාලෙට ලබා දුන්නා. ඒ වගේම ගමේ මළගෙයක් උනොත් නැතුවම බැරි චරිතයක් තමයි මේ මනුස්සයා. නෑදෑයින්ට පණිවිඩේ යවන්න කලින් ගමේ රෙදි මාම වෙච්ච අල්ලිස් මාමට පණිවිඩේ යවනවා.  කොහේ හරි තොවිල් ගෙයක් තිබුනොත් එතනට සේවය සපයන එකත් අල්ලිස් මාමගේ අනිවාර්ය සිරිතක්.


හදිස්සියේ අල්ලිස් මාම පාරකදී තොටකදී දැක්කත් බොහෝම බයපක්ෂපාතව පාරේ අයින් වෙලා අහිංසක විදිහට හිනා වෙන මනුස්සයෙක් තමයි අල්ලිස් මාමා. ඒකට ලොකු පොඩි කියල කිසිම භේදයක් තිබුනේ නැහැ. ඔලුවේ තියෙන රෙදි පොට්ටනිය අත් දෙකෙන් අල්ලාගෙන පාරේ අයිනේ තියෙන තණකොළ ගොන්නටම ගිහින් අහිංසක විදිහට හිනාවෙන මේ මනුස්සයාගේ අහිංසකකම අදටත් මට මැවිලා පේනවා. අල්ලිස් මාමට ටිකක් ලොකුවට වවපු උඩු රැවුලක් තිබුනා. මම දන්නා කියන කාලේ ඉඳලම ඒ රැවුල සුදු පාටයි. කවදාවත් මේ මනුස්සය උඩුකයට කමිසයක් ඇන්දේ නැහැ. කොහේ ගියත් ඇන්දේ මේස්බැනියම විතරයි.
අල්ලිස් මාමගේ හාමිනේ ගැන කිසිම දෙයක් මම දන්නේ නැහැ. බොහෝ දුරට මම ඉපදෙන්නත් කලින් ඒ මනුස්සය මියපරලොව ගිහින් වෙන්න ඇති. ගමේ සොහොනට බොහොම කිට්ටුවෙන් තිබ්බ පුංචි ගෙදරක හිටපු අල්ලිස් මාමාගේ ගෙදර හිටියේ එයාගේ දෝනියන්දයි, ඒ දුවගේ පුතෙක් වෙන ළමයෙකුයි. මේ මිනිස්සු කිසි කෙනෙක් ගමේ අය එක්ක වැඩි බජනෙට යන ගතියක් ඒ දවස්වල තිබුනේ නැහැ.


ගමේ රෙදි මාම වෙච්ච අල්ලිස් මාම අපේ ගමේ හැම ගෙදරකටම සේවය සැපයුවේ නැහැ. එයා යන ගෙවල් ටිකක් එයාට වෙනම වෙන්වෙලා තිබුනේ මේ විදිහටම සේවය සපයන තවත් රෙදි නැන්දා කෙනෙක් අපේ ගමට හිටපු නිසා. ඒ උනත් එයා අපේ ගමේ ඕනෙම කෙනෙකුගේ මරණෙකට, මගුලකට ඕනේ කරන උදව්පදව් ටිකනම් එයාගේ සේවාදායකයෙක්ද නැද්ද කියල බලන්නේ නැතුව කිසිම අඩුපාඩුවක් නැතුව කළා.


මම ඉස්සර ඉඳලම ගමේ හිටපු මේ වගේ විශේෂ මිනිස්සු ගැන උනන්දුයි. ඒ නිසා එයාල ගැන විස්තර හොයල බලන ගතියක් මගේ තිබුනා. ඒ විතරක් නෙමෙයි ගමේ ගියපු ගමන් ගමේ ඕපාදුප ටික ඔක්කොම අම්මගෙන් අහල දැනගන්න පුරුද්දක් මට තියෙනවා. මේ පුරුද්ද නිසා දැනට අවුරුදු තුන හතරකට කලින් මම ගෙදර ගියපු වෙලාවක අල්ලිස් මාම ගැන අම්මගෙන් අහල බැලුවා. ඒ මනුස්සය මැරිලා දැන් ටික දවසක් වෙනවා කියල අම්ම මගෙත් එක්ක කිව්වා.
ගම්වල මිනිස්සුන්ගේ හරිහැටි සැලකිල්ලක් ලබන්නේ නැතුව නිහඬ සේවයක් කරපු ඒ වගේ මිනිස්සු කී දෙන්නම් මේ විදිහට හොර රහසේම එයාල කරපු සේවයට කිසි ඇගයීමක් ලැබෙන්නේ නැතුවම මැරිලා යන්න ඇත්ද.

අපේ ගෙදරට හැමදාම ආවේ ගියේ මම මේ විස්තර කරන්න යන රෙදි නැන්දා තමයි. මට මතකයි අපේ ඉස්කෝලේ ඇඳුම වල යවන්න බැරි අඹ කහට, කජු කිරි පැල්ලම්, මජං, එහෙමත් නැත්නම් මලකඩ පැල්ලම් වගේ තිබුණ ඇඳුම් ඔක්කොම රෙදි නැන්දට දානවා හෝදන්න. රෙදි නැන්දට දාපු කමිස කලිසම් වල එක එක ගෙදරට අදාලව එයා මොකක්දෝ මන්ද කොච්චර හෙදුවත් යන්නේ නැති තීන්ත වර්ගයකින් පොඩි පොඩි සලකුණු වගයක් දාල තිබුනා. ඒ සලකුණු වලින් තමයි එයා අදාළ රෙදි මාරු නොවී අයිතිකාරයින්ටම බාර දෙන්නේ.
රෙදි නැන්දට දාපු රෙදි බොහොම ඉක්මනට දිරල යන බව අපේ අම්ම හැමදාම වගේ කියනවා.  මම හිතන්නේ එයා කහට පැල්ලම් යවන්න "පරමාණු" කියන නමින් කඩවල විකුනන්න තියෙන ක්ලෝරීන් පාවිච්චි කරනවා වෙන්න ඕනේ.

ඒත් සතියකට හරි දෙකකට හරි වතාවක් අපේ ගෙදරට ගොඩවෙන රෙදි නැන්දව අම්ම කවදාවත් හිස්අතින් ආපහු යැව්වේ නැහැ.  එයාට හෝදන්න දෙන්න තරම් කිලිටි වෙච්ච ඇඳුම් නැති දවසක උනත් අම්ම මොනවා හරි ඇඳුමක් දෙකක් රෙදි නැන්දට දෙනවා හෝදන්න අරගෙන යන්න. ගෙදර බත් තියෙනවනම් බත් එහෙම කන්න දීල බත් නැති වෙලාව්කනම් තේ එකක් එහෙමත් බොන්න දීල හෝදන්න බාර දෙන රෙදි වලට සල්ලිත් දීල තමයි එයාව යවන්නේ.
අම්ම එහෙම කරන්න හේතුවත් අපි එක්ක කියල තියෙනවා, "ඒ මිනිස්සු ජීවත් වෙන්නේ මේකෙන්, හැමදාම එන ගෙවල් වලින් මොනවා හරි දෙයක් හෝදන්න දුන්නේ නැත්නම් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද" කියලා.
මේ රෙදි නැන්ද අපේ ගෙදර ආවහම අම්මත් එක්ක ටික වෙලාවක් කතා කරකර ඉඳල යන සිරිතක් තිබුනා. එහෙම කතා කරද්දී එයාගේ ජිවිතේ ගැන ගොඩක් දේවල් අම්ම එක්ක කියනවා.


ඒ වගේම තමයි ඒ මිනිස්සු වැඩක් නොකර කුලියක් ගන්නෙත් නැහැ. රෙදි නැන්දගේ තවත් ප්‍රධාන වගකීමක් තමයි ගමේ ගෑනු ළමයෙක් වැඩිවියට පත් උනාට පස්සෙ ඒ ගෙවල් වලට ගිහින් එයාගේ යුතුකම් කොටස ඉටුකරන එක. පස්සෙ පස්සෙ රෙදි නැන්දගේ ළමයි ලොකුවෙලා රස්සාවල් කරද්දී එයාල කැමතිවෙලා නැහැ එයාලගේ අම්ම මේ රස්සාව කරනවට. ඒත් ඒ මනුස්සයා ඒ රස්සාව අත්අරින්න කිසිම කැමැත්තක් තිබුනේ නැහැ. අපේ ගෙදර ආවහම අම්ම එක්ක කියනවා මට ඇහිලා තියෙනවා "දුලා කැමති නැහැ මම මේ රස්සාව කරනවට, මම උන්ට කන්න බොන්න දීලා ඉගැන්නුවේ මේ රස්සාව කරලා, මම මැරෙනකම්ම මේක කරනවා" කියපු හැටි මට අදටත් මතකයි. උන්දෑ කිව්ව වගේම මැරෙනකම්ම ඒ රස්සාව කලා.
මම ගෙදර ගියපු වෙලාවක රෙදි නැන්දගේ මරණෙ ගැන හෝඩුවාවත් මගේ කණේ තිබ්බේ අපේ අම්මා.



ඊට පස්සෙ කම්මලේ ගෙදර.
මේ ගෙදර හිටියේ සුටන් කියල මනුස්සයෙකුයි, එයාගේ පවුලයි, අපේ වයසේ වගේ කොල්ලෙ දෙන්නෙකුයි (ජයන්ත, නිලන්ත), තව පොඩි කොල්ලෙක්(සුජන්ත) සහ පොඩි කෙල්ලෙක්(සුජානි).  මෙතනින් සුටන් මාම අයිති උනේ රජක කුලයට නෙමෙයි, එයා "නවන්දන්න" කුළයට අයත් කෙනෙක් වෙන්න ඕනේ. පරණ කුළක්‍රමයට අනුවනම් කර්මාන්තකරුවන් සියල්ලම වගේ අයිති වෙන්නේ මේ කුළයට.


කම්මලේ ගෙදර කියල නම වැටෙන්න හේතුව එයාල එයාල පාරම්පරික කම්මල් කරුවන් වීමම වෙන්න ඇති. මම ගොඩක් පුංචි කාලේ සුටන් මාම කම්මලක් කළා කියල අපේ අම්ම කියල තියෙනවා. නමුත් මම දන්නා කියන කාලෙක එයා කම්මල් වැඩ කලේ නැහැ.
කම්මල කියන්නේ මම හරිම ආස තැනක්, වරු ගණන් කම්මල් වල යකඩ තලන හැටි මම බලාගෙන ඉඳල තියෙනවා.
කම්මලේ ගෙදර ළමයිනුත් කවදාවත් ගමේ කිසිම ළමයෙක් එක්ක රණ්ඩු සරුවල් වෙන්නේ නැහැ. එයාලගේ පාඩුවේ එයාල ඉන්නවා. වැඩිය බජනයක් නැහැ. ඒ වගේම තමයි ඒ කාලේ මේ ළමයි අපිටත් කවදාවත් නම කියල කතා කරල නැහැ. සුටන් කියන්නෙ ඒ කාලේ ඉඳල අදටත් කිසිම ස්ථීර රස්සාවක් කරපු මනුස්සයෙක් නෙමෙයි. කුලී වැඩ, එහෙමත් නැත්නම් වීමෝලේ ගෙදර වී කොටන්න උදව් කරන එක, එහෙමත් නැත්නම් ඒ ගෙදර මොනවා හරි වැඩක් කරන එක තමයි එයා කලේ. අදටත් එහෙමයි. ගොඩ වෙලාවට පාරෙම තමයි ජීවිතේ. අඩුකුලේක කියල හංවඩු ගැහිලා තිබුනට මේ මනුස්සයා අනිත් මිනිස්සු වගේ පහත් ගණයට අයිති රස්සාවල් මුකුත් කලේ නැහැ.


ඒ වගේම තමයි ඒ මනුස්සයගේ මුනේ හිනා පොදක් තියෙනවා මම දැකල තියෙන්නේ බොහොමත් කලාතුරකින් දවසක තමයි. මුනේ තියෙන්නේ මහා අමුතු ගුප්ත පෙනුමක්. සමහර දවස් වලට කොහෙන් හරි හොයා ගත්තු දේකින් අනුමත වෙලා ඉන්න බවක් පේන්න තිබුනත් කවදාවත් කාටවත් වචනයකින්වත් හිරිහැරයක් කරපු මනුස්සයෙක් නෙමෙයි. ඒත් ඒ මුණේ සමහර දාට පුදුමවිදිහේ කුරිරු බැල්මක් තියෙනවා මම දැකල තියෙනවා. ඒ මුණ හරියට රතු ඉන්දියන් කාරයෙක්ගේ වගේ. එයාගේ බිරින්දෑ ඉස්සර වතු වැඩ වලට ගියා.

මේ හැමදෙනාගෙම තිබ්බ පොදු ලක්ෂණයක් තමයි එයාල ගමේ ඕනෙම වැඩිහිටි ගෑනු කෙනෙකුට "හාමිනේ" කියල කතා කරන එක. පිරිමියෙකුටනම් "බාසුන්නැහේ, අප්පුහාමි, රාලහාමි, මහත්තයා, මුදලාලි" වගේ මොකක් හරි එයාගේ තරාතිරම අනුව කොටසක් නම අගට ඈඳලා තමයි කතාකරන්නේ. කවදාවත් නෑදෑකම් කියල කතා කරන්නේ නැහැ.
ගෙදරදී අපට ලැබුණු අභාෂයක් මත ඒ අයව හඳුන්වද්දී ඒ හැමෝටම "මාමා" හෝ "නැන්දා" කියා අමතන්නට පුරුදුවෙලා හිටියත් ගමේ බොහෝදෙනෙක් ඒ අයට වැඩිහිටිබව නොසලකා කෙලින්ම නම කියලා තමයි කතා කරන්නේ.
(ගම්වල බොහෝවිට එකිනෙකාට කතා කරන්නේ බොහෝවිට නෑදෑකමකින් අමතමිණි)
කවදාවත් මේ මිනිස්සු ගෙදරකට ඉස්සරහ පැත්තෙන් එන්නෙ නැහැ. උස පුටුවල වාඩි වෙන්නේ නැහැ. කවුරුවත් දෙන දෙයක් කෙලින්ම අතින් ගන්නෙ නැහැ. මේසයක් උඩින් හරි තියන්න කියල තමයි දෙන දෙයක් උනත් ගත්තෙ.

අපේ ගෙදරත් ඒ අයට වතුර දෙන්න, තේ දෙන්න, කෑම දෙන්න වෙනම භාජන අපේ අම්මත් වෙන් කරලා තියාගෙන හිටියා. ඒ වගේම මේ ගෙවල් වලට යන්න එපා එයාල දෙන කිසි දෙයක් කන්න එපා කියන උපදේසය අපි පොඩි කාලේ අපිට ලැබිල තියෙනවා. මේ මිනිස්සු ගාව නොයෙකුත් වශී ගුරුකම් වර්ග තියෙනවා කියන එක ගම්වල ප්‍රසිද්ධ කාරණයක් නිසා තමයි අම්මල එහෙම කියන්න ඇත්තේ.


ඒත් අලුත් පරම්පරාවේ කොල්ලෝ කෙල්ලෝ රස්සාවල් එහෙම කරගෙන අනිත් මිනිස්සු වගේම ටිකක් දියුණු වෙලා ආවට පස්සෙ මේ කුලභේදය අපේ ගමෙන්නම් දැන් නැත්තටම නැතිවෙලා ගිහින්. දැන් ගමේ කොල්ලෝ කුලමළ මුකුත් නැතුව කාගෙන, බීගෙන එකට ඉන්නවා. අපේ ගෙදරත් අර වෙනම පිඟන් කෝප්ප කතා මුකුත් නැහැ දැන්, මල්ලිගේ යාලුවෝ වෙච්ච අර ළමයි දැන් අපේ ගෙදර ඇවිත් ඉස්සරහ පුටුසෙටියේ වාඩිවෙලා ඉඳල අපේ ගෙදරින් කාල බීලත් යනවා.


ඒ මදිවට මගේ පුංචි අම්මගේ පුතා අර කම්මලේ ගෙදරට නෑදෑ වෙන කෙල්ලෙක්ව කසාද බැඳ ගත්තත් එක්ක. මුලින් මුලින් පුංචි අම්ම ටිකක් බරබර ගාල තිබුනා. ඒත් පස්සෙ කෙල්ලව ගෙදරට එක්කගෙන එනවට කැමැත්ත දීලා. අන්තිමට අර කෙල්ලගේ ගතිගුණ හොඳයි කියල දැක්කට පස්සෙ අර අමනාපකම් ඉවරෙටම ඉවර වුනා.