Friday, 2 March 2012

පුංචි කාලේ කඩේ ගිය හැටි...

අපේ ගෙදරට හැරෙන පුංචි හන්දියේ එකම එක කඩයක් තිබ්බා. ඒ තමයි "අප්පුහාමි ආතාගේ" කඩේ. අපි වගේ ගමේ මිනිස්සුන්ට ඕනේ කරන හැමදෙයක්ම වගේ ඒ කඩේ තිබුනා. හාල් තුනපහ වර්ග, එළවලු, අල, පරිප්පු වගේ හැම දෙයක්මත්, සබන් කැටේ, දත් බෙහෙත් මේ හැම දෙයක්ම වගේ එතන තිබුනා. කඩේ ඉස්සරහ ලී මැස්සක එළවළු එහෙමත් තිබුනා. ගොඩක් වෙලාවට ගමේ එළවලු එහෙම තමයි තිබුනේ.
අප්පුහාමි ආතත් ඒ ආච්චිත් දෙන්න තමයි මුල් කාලේ ඒ කඩේ පටන් අරගෙන  තිබුනේ. ඒත් මට මතක කාලෙකදී අප්පුහාමි ආතා කඩේ  වැඩකලේ නැහැ. එයා ඉඳල හිටලා කඩේට ඇවිත් ගියාට මම මේ කියන කාලේ වෙද්දී කඩේ වැඩකටයුතු බලාකියා ගත්තේ ඒ ආච්චිත් එයාලගේ පුතෙක් සහ දුවල දෙන්න. නෑදෑකමට නැන්දලා මාමලා උනත් අපි ඒගොල්ලන්ට කතාකලේ අයියේ, අක්කේ කියලා.


අපිත් සතියකට දවසක් දෙකක් මේ කඩේට යනවා ගෙදරට ඕනේ කරන බඩුමුට්ටු ටික අරගෙන එන්න. මුලදී මේ විදිහට කඩේයන වැඩේ කලේ මමයි චුටි අක්කයි. අපිට කඩේ යද්දී අරගෙන යන්න රෙදි බෑග් කීපයක් අම්ම මහල දීලා තිබුනා. අම්ම ඒවා මහන්නේ තාත්තගේ පරණ කලිසම් වලින්. ඒ නිසා අපිට කවදාවත් ෂොපින් බෑග් කියල දැන්කාලේ අපි කියන ප්ලාස්ටික් බෑග් කඩෙන් ගන්න උවමනා උනේ නැහැ.
ඒ වගේම තමයි මේ රෙදි මල්ල එල්ලගෙන කඩේ යන එක අපිට ලැජ්ජාවක් උනෙත් නැහැ. ඒකෙන් අපේ ගෙදරට වාසියක් මිසක් අවාසියක් උනේ නැහැ. ෂොපින් බෑග් ගන්න යන වියදම ඉතුරු වෙනවා කියන්නෙත් ලොකු දෙයක්නේ. ඒ වගේම තමයි ඒක පරිසරයටත් බොහොම හිතකාමීයි.


මෙන්න මෙහෙම මමයි චුටි අක්කයි දෙන්න එක්ක කඩේ යද්දී අපි‍ට සමහර වෙලාවට පාරේ ඉන්න බල්ලන්ගේ බිරුම් වලට ලක්වෙන දවසුත් තියෙනවා. ඒත් ඉතින් දෙන්නෙක් ඉන්න නිසා බයවෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ගල් ගෙඩියක් අතට අරගෙන බය කලාම උන් දුවනවා.
මෙහෙම ගිහින් අපි හැමදාම වගේ අපේ ගෙදරට ඕනේ කරන හාල්, පරිප්පු, අල, ලාම්පු තෙල්(භූමි තෙල්) එහෙමත් අරගෙන එනවා. අපේ ගෙදරට කරන්ට් එක තිබ්බේ නැතිනිසා සතියකට ලාම්පු බෝතලයක් හමාරක් විතර යනවා චිමිණි ලාම්පු පත්තු කරන්නයි, කුප්පි ලාම්පු පත්තු කරන්නයි. ඒ දවස්වල ගෙනාපු බඩුමුට්ටු වලින් මට හොඳට මතකයි හාල් වල ගාන. මම ගාන අඩුවෙන්ම හාල් ගෙනත් තියෙන්නේ කිලෝ එක රුපියල් 4.50 ට. අනිත් බඩු වලනම් ගණන් මට ඒ තරමට මතක නැහැ.


අපිට ඒ කාලේ කුඹුරක් තිබ්බේ නැති නිසා හාල් ගේන්න උනේ හැමදාම කඩෙන්. හැබැයි කවදාවත් සුදු හාල් ගේන්න අපිට අවසර තිබුනේ නැහැ. අම්ම කියන්නේ හැමදාම රතු කැකුළු හාල් ගෙන්න කියලා. කඩෙන් ගේන හාල් කියල කිව්වට මේ කඩේ තිබුණු හාල් ගොඩක් හොඳ තත්ත්වයේ තිබ්බ ගමේම කුඹුරුවල හාල්.
බොහොම කලාතුරකින් අල්ලපු ගෙදරින් අතමාරුවකට සුදු හාල් ටිකක් ඉල්ල ගත්තු දවසක ඇරෙන්න අපිට සුදු බත් ටිකක් කන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. පස්සේ කාලෙක අපිටම කියල කුඹුරක් තිබුනත් කවදාවත් ඒකෙ සුදු හාල් වර්ග වැපිරුවේ නැහැ. ඒ පුරුද්ද සහ නොලියවුණු නීතිය අදටත් එහෙම්මමයි.
මේ තියෙන්නේ අපේ කුඹුර. මතක ඇති කාලෙක කුඹුරට බැස්සේ නැති උනත් මම හරි ආසයි කුඹුරු වැඩ කරනකොට කුඹුරට යන්න.
ඒත් කාලෙකින් ඒකටවත් වෙලාවක් ලැබුනේ නැහැ. 
ඒ වගේම තමයි අපි කවදාවත් ගේන්න ඕනේ කරන බඩු ලිස්ට් එක තුන්ඩුවක ලියාගෙන යන්නෙත් නැහැ. අම්ම ගේන්න කියන බඩුටික අමතක කරන්නේ නැතුව හැමදාම වගේ අපි ගේනවා. හැබැයි ගේන්න තියෙන බඩු ප්‍රමාණය වැඩිනම් අපේ අතට පොඩි කොල කෑල්ලක් ලියල දෙන්න අම්ම අමතක කරන්නෙත් නැහැ.
හැබැයි ඉතින් අපේ මලයටනම් කොලේක ලියල දුන්නේ නැත්නම් ගේන්න කියපු දේවල් වලින් බාගයක්වත් ගේන්නේ බොහොම කලාතුරකින්. එයා කඩේ ගිය දාට කඩේ ගිහින් ආපු පරක්කුවෙන්ම ආපහු කඩේ දුවන හැටි අපිට බලාගන්න පුළුවන්.


අපි මේ විදිහට කඩේ යද්දී සෙරෙප්පු එහෙමවත් දාගෙන යන්නේ නැහැ, නිකම්ම තමයි යන්නේ. අපේ ගෙදර ඉඳල කඩේට යන පාර වැලි පාරක්. ඒ වගේම හැමතැනම මඩවලවල් තියෙන නිසා ඒවායේ බැහැ බැහැ යන්න අමාරුයිනේ සෙරෙප්පුත් එක්ක. කොහොම උනත් මේ විදිහට මඩවලවල් වල බැහැගෙන ගියාට කඩේ ගාවම තියෙන කාණුවෙන් මඩටික හෝදගෙන තමයි අපි කඩේට යන්නේ. නැත්නම් කඩේ ඉන්න මිනිස්සු අපි දිහා බලන්නේ නිකන් සත්තු ටිකක් දිහා බලන විදිහටනේ.
පාර දෙපැත්තේ මේ තරම් කැලේ නැති උනාට මෙන්න මේ වගේ පාරක් තමයි අපේ පාර
අපි කඩේට යද්දී ඒ කාලේ ගමේ හිටපු සල්ලි තියෙන ගෙදරක හිටපු ළමයෙක් කඩේට එන්නේ රතුපාට පොඩි චොපර් බයිසිකල් එකක. මටත් ඒක දැක්කට පස්සේ ඒ ගැන ලොකු ආසාවක් ඇති උනා. ඒත් මම කවදාවත් තාත්තාගෙන් චොපර් බයික් එකක් ඉල්ලුවේ නැහැ. ඒක මගේ හිතේ තිබ්බ හීනයක්‌ විතරයි. ඒ ආපු ළමය පස්සේ මම ගමෙන් ටිකක් දුර ඉස්කෝලෙට යන කාලේදී මගේ යාළුවෙක් උනත් එක්ක. අපි එයාට කිව්වේ "පාන්බඩා" කියලා.
ටිකක් ලොකු උනාට පස්සේ මම කඩේ ගියේ තනියම, ඒ කාලේදී සමහර වෙලාවට කිලෝ අටේ, දහයේ බරවල් උස්සගෙන මීටර 500 ක විතර දුරින් තියෙන අපේ ගෙදරට අරගෙන එන දවසුත් තිබුනා. තව ටික කාලයක් ගියාම මගේ සහායක ඩැනී උනේ අපේ මලයා. අපි දෙන්නා එක්ක අපේ සෙල්ලම් කරත්තත් ඇදගෙන මඩවලවල් වල බැහැගෙන කඩේ ගිය හැටි මට අද වගේ මතකයි.


අන්තිමට එක දවසක මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු වෙලාවක පොඩි චොපර් බයික් එකක් අපේ ගෙදර තියෙනවා දැකලා මට ගොඩක් පුදුම හිතුනා. බලද්දී අපේ තාත්තා මටත් බයික් එකක් අරගෙන ඇවිත්. කවුරු හරි කෙනෙක් කාලයක් යනකම් පැදලා තරමක් අබලන් වෙලා තිබ්බට ඒකට මං ගොඩක් ආස උනා. ඒකේ ඉස්සරහ රෝදේ පොඩියි, පිටිපස්සේ රෝදේ ලොකුයි. එකේ ගියර් එහෙමත් තිබුනා. එක එක විදිහට සද්දේ එන පොඩි නලාවකුත් තිබුනා. පිටිපස්සේ රෝදේ හයිවෙන පොඩි යකඩ කුරු දෙකෙන් එකක් පුපුරලා. ටයර් දෙකත් ගෙවිලා හිල්වෙලා  එහෙම තමයි තිබුනේ. ඒක හංදියට ගෙනිහින් වෙල්ඩින් කරලා, අළුත් ටයර් දාලා ගෙනත් දෙන්නම් කියල තාත්ත කිව්වා. මට මේක ලැබුනේ මම ඉල්ලලා නෙමෙයි, ඒ නිසා මට ගොඩක්ම සතුටු හිතුනා.
මෙන්න මේ වගේම තමයි මගේ බයික් එක
තාත්ත කියපු විදිහටම ඒක හදල ගෙනත් දුන්නා. ඊට පස්සේ මොනවහරි අඩු පාඩුවක් උනොත් මමම ගිහිං චුටි මාමගේ වින්කලේට ගිහින් හදාගෙන එන්න පුරුදු උනා. හැබැයි අර වෙල්ඩින් කරපු බට දෙකනම් සරින් සැරේ කැඩිලා මට හරියට කරදර කලා ඒ දවස්වල. ඒත් කොහොමහරි එක වෙල්ඩින් කරගෙන හදාගෙන ඇවිත් මම ඒ බයික් එක ගොඩ කාලයක් පැද්දා.
මම අපේ ගෙදරට කරන්න පුළුවන් ලොකු වැඩ ගොඩක් කරලා දුන්නාමේ බයික් එකෙන්. අපේ තාත්තට අයිති අපේ ගෙදරට ටිකක් දුරින් තියෙන පුංචි ඉඩමක තේ වවල තිබුනා. මම හැමදාම ඉරිදා උදේට කඩේ ගිහින් පාන් ගෙනත් ඊට පස්සේ තේ වතුරයි හොදි එකකුයි අරගෙන කිලෝමීටර 3 ක් විතර දුරින් තියෙන එ ඉඩමට අරගෙන යනවා. එතන හැමදාම දෙමළ මිනිස්සු දෙන්නෙක් ඇවිත් දළු කඩනවා. මම යන්නේ එයාලට කෑම අරගෙන. ඊට පස්සේ එයාල කඩලා තියෙන කිලෝ 20 ක් 25 ක් බර දළු මල්ල මගේ පුංචි බයිසිකලේ ඉස්සරහ තියාගෙන ගොඩක් අමාරුවෙන් පැදගෙන එනවා ගෙදරට.
ඒ වගේම තමයි කියන පරක්කුවෙන් කඩේ ගිහිං අම්මට ඕනේ කරන බඩු ගෙනත් දෙන එකත් කලා මේ බයික් එකෙන්. පස්සේ කාලෙක මේ බයික් එක අපේ මලයාගේ වෙලාත් තිබුනා බොහොම සුළු කාලයක්. මට වගේ නෙමෙයි මිනිහට බයික් එකක් නෙමෙයි මොන දේ දුන්නත් හරියකට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. ටික දවසකින් ඒ හැමදේම බොහොම අබලන් තත්ත්වෙට පත්වෙලා නැති නාස්තිවෙලා යනවා. මම මේ බයික් එක අන්තිමට දැක්කේ පස්සේ කාලෙක කොහේදෝ මන්දා අස්සක තිබිලා පරණ යකඩ බඩු එකතු කරන්න ආපු මනුස්සයෙකුට විකුනන්න යන වේලාවකදී.
කොච්චර අබලන් වෙලා තිබ්බත් මගෙත් එක්ක ගොඩ කාලයක් එකට හිටපු මිතුරෙක්ගේ වෙන්ව යාමකදී සිද්ධ වෙන හිත බරවෙන ගතිය මට ඒ වෙලාවේදී දැනුනා.

Monday, 20 February 2012

පුවක් බිළේ බකමූණෙක්....

අපේ ගෙදරට පහළ ගෙදරක ඉන්නවා පොඩි කොලු ගැටයෙක්. මේකාගේ නමනම් මට හරියට මතක නැහැ, ඒත් ගෙදරට කියන්නේ "බණ්ඩාර" කියලා. ගමේ කොල්ලෝ ඌට කියන්නේ බණ්ඩා කියලා. පොඩි එකා කාලේ ඉඳලම මේකා ටිකක් වසවර්තියා. පස්සේ කාලෙක හමුදාවටත් බැඳිලා හිටියා යුද්ධේ දවස්වල. ඒත් අන්තිමට එහෙනුත් පැනල ඇවිත් ගමේගොඩේ ඉබාගාතේ යන්න පටන් අරගෙන තිබුනා. හමුදාවට බැඳුනත් බණ්ඩා කියන්නේ ශරීර ප්‍රමාණයෙන් බොහොම පුංචි කොල්ලෙක්. කවුරුහරි බණ්ඩාව දැන් දැක්කත් හිතේවි තාම ඉස්කෝලේ යන කොළු ගැටයෙක් කියලා.


අපේ ගෙදර තියෙන්නේ තරමක කඳු ගැටයක් උඩ. එක දවසක් මම පහළ බලනකොට දැක්කා මේකා දිරච්ච පුවක් ගහකට ගල් කැට විසිකරනවා. ගෙදර ගියාම මට තියෙන පුරුද්දක් තමයි ගේ අවට හැමතැනකම වගේ කැමරා එකත් කරගහගෙන ගිහින් ෆොටෝ ගහන එක. මමත් කැමරා එකත් අරගෙන ගියා පහළට. බැලින්නම් මේකා ගල්කැට විසික්කා කොරල තියෙන්නේ පුවක් ගහේ තිබ්බ බිළයක් දිහාවට. ඒ බිළයේ බකමුනෝ ඉන්නවා කියලා බණ්ඩා මට කිව්වා. මේ දිරච්ච පුවක් ගහ තියෙන්නේ උන්ගේ ගෙදරට යන පාර අයිනේ. ඇත්තටම කිව්වොත් ඒකලාගේ ඉඩමේ තමයි මේ ගහ තියෙන්නේ. මේකාට කවුදෝ මන්ද එහා ගමේ මනුස්සයෙක් කිව්වලු බකමුනෙක් අල්ලලා ගෙනත් දුන්නොත් රු1000 ක් දෙන්නම් කියලා. බකමුනෙක් අල්ල ගන්න හිතාගෙන තමයි මු මේ දඟලන්නේ. 


එදා මම ගෙදර ගිය වෙලාවෙත් අපේ අම්ම මට කිව්වා පහළ ගෙදර පුවක් ගහක තියෙන බිළේක බකමුනෙක් ඉන්නවා කියල පහළ ගෙදර නැන්දා කිව්වා කියලා. ගමේ ගියාම අපේ අම්මයි අහල පහල අයයි මට ඒ වගේ පණිවිඩ දෙනවා. හවස්වෙලා ඒ පැත්තේ යන්න හිතාගෙන හිටපු වෙලාවක තමයි මම අහම්බෙන් වගේ මේ සිද්ධිය දැක්කේ. වෙලාව හවස 4:30 ට වගේ ඇති මම හිතන්නේ. කළුවර වැටිලත් නැති වෙලාවේ ඒ පොඩි බිලයෙන් මුළු  ඇඟම වගේ එලියට දාගෙන ඉන්න මෙන්න මෙයාව මට දකින්න ලැබුණා. හරියටම කියනවනම් දවස 2008-03-03 වෙනිදා. 






මෙයා ඇත්තටම බකමුනෙක් නෙමෙයි බස්සෙක්. හරියටම කියනවනම් එයාගේ නම පෙරදිගු කන්බස්සා (Oriental Scope Owl - Otus Sunia). මෙතන තියෙන අන්තිම ෆොටෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් පුවක් ගහේ කඳට සාපේක්ෂව  බස්සාගේ ශරීර ප්‍රමාණය කොයි තරම්ද කියලා.


මම මුලින්ම  බණ්ඩාට කිව්වා ආපහු මේ සත්තුන්ට කරදර කරන්න එපා කියලා. මොන අහේතුවකටද දන්නේ නැහැ මේකා මම කියපු දේ පිළි අරගෙන පැත්තකට උනා. ඊට පස්සේ බණ්ඩා තවත් බස්සෙක් ඉන්න තැනක් ගැන හෝඩුවාවකුත් දුන්නා. අපේ ගෙවල් අහල පහළ කොහොමටත් කුරුළු වර්ග සෑහෙන්න ප්‍රමාණයක් දකින්න පුළුවන්.
ගණන් මිනුම් වශයෙන් කිව්වොත් මම අපේ ගෙවල් සීමාවේ විතරක් දැකල තියෙනවා කුරුළු වර්ග 90ක් පමණ. ඒ වගේම ගමට ආසන්න ගමවල් වලිනුත් එක්ක මම දැකල තියෙනවා මේ වෙනකොට කුරුළු වර්ග 118 ක්. මම දැකපු මේ ගොඩක් කුරුළු වර්ග සියල්ලේම වගේ ජායාරූප මා ගාව තියෙනවා. සමහර කුරුළු වර්ග බොහොම දුර්ලභ ඝනයේ අය.


ඊට දවස් කීපෙකට පස්සේ සති අන්තයේ මම ආපහු ගෙදර ගියා. එදා මම යමින් ගමනුත් පුවක් ගහ දිහාට පොඩ්ඩක් ඇහැ දාගෙනමයි ගියේ. ඒත් අර බිළය ඇතුලේ කිසි සතෙක් ඉන්න පාටක් පෙන්න තිබුනේ නැහැ. ටිකක් හවස් උනාටත් පස්සේ මම කීප වතාවක්ම ඇවිත් බැලුවා බස්සා ඉන්නවද කියලා. ම්හ්හ්... ඌ පේන්න නැහැ. මට හිතුනා මම නැති අතරේ බණ්ඩා බස්සාව අල්ලාගෙන විකුණලාද කියලත්. මේකා එහෙව් පුතයා. ඒ සැකය පිටින්ම මම එදා රෑ නිදාගන්න ගියා, මහ රෑ මට ඇහුනා බස්සන්ගේ සද්දේ. ඒත් හරියටම කියන්න බැහැනේ ඒ කෑ ගැහුවේ බිළේ හිටපු බස්සමද කියලා.
පහුවෙනිදා ඒ කියන්නේ 2008-03-08 වෙනිදා පාන්දර ඇහැරිච්ච ගමන්ම මම කලේ ආපහු අර පුවක් ගහ ගාවට ගිහින් බලපු එක. හැමතිස්සෙම සුදානම් පිට තියෙන මගේ කැමරා ආම්පන්න ටිකත් අරගෙන තමයි මම පල්ලම් බැස්සේ. මෙන්න ඒ වෙලාවේ මම දැකපු දේ.



මෙයාව දැක්ක වෙලාවේ මට ගොඩක් සතුටු හිතුනා. කලින් දවසේ දැකපු ලොකු බස්සා නෙමෙයි එතන හිටියේ. එයාගේ පැටියෙක්. ඌ හරි පුංචි එකෙක්. මෙයාල මෙළොව එළිය දැකලා සති තුන හතරකින් පියඹා යනවා. ඉතින් එදා මම ආපහු ආව දවසේ මේ අය සමහර විට බිළය ඇතුලේ තමයි ඉන්න ඇත්තේ. සමහර විට මෙයා මෙතන ඉඳගෙන හිටියේ දොරට වැඩුමෙන් පස්සෙද දන්නෙත් නැහැ.

මට තවත් සතුටු හිතුනේ මම ආපහු කොළඹ යනකල් ඉඳල බණ්ඩා මේ කුරුළු පවුලට කරදර කරපු නැති එක ගැනයි. ඊට ටික දවසකට පස්සේ මේ පුවක් ගහ මහ වැස්සකට කඩාගෙන වැටිලා තිබුනා. ඒත් ඒ වෙද්දී බකුසු පවුල කැදැල්ලෙන් පිටවෙලා ගිහින් තිබුණු බව දැනගෙන හිටපු නිසා හිතට ලොකු සහනයක් දැනුනා.

Saturday, 18 February 2012

රුපියල් 5 ටියුෂන් පන්තිය

මේ කියන්න හදන්නේ මම 4 වසරේ හරි 5 වසරේ වගේ හිටපු කාලේ ගැන කතාවක්. මේ වෙද්දී මාලා අක්කගේ ඉංග්‍රීසි පන්තිය නතරවෙලා තරමක් කල්. ඒ කාලේ අපේ අක්කලට ආරංචි වෙලා තිබුනා අපේ ගමේ තරමක් ඇතුලට වෙන්න හිටපු පැන්ෂන් ගිය චන්ද්‍රසේකර ඉස්කෝල මහත්තයාගේ පුතෙක් වෙන මහානාම කියන අයියා ඉංගිරිස් පන්තියක් පටන් ගන්න යනවා කියල. අක්කල හතර දෙනෙක් හරි පස් දෙනෙක් හරි හිටපු පවුලක බාලම සහ එකම පිරිමි දරුවා තමයි එයා.

ගමේ ආරංචි වෙච්ච විදිහට එයා පේරාදෙණිය කැම්පස් එකේ පශුවෛද්‍යය උපාධිය හමාර කරලා තමයි හිටියේ. ඒත් ඉතින් ඒ වගේ උපාධියක් හමාර කරපු කෙනෙක් පුංචි ගමක ටියුෂන් පන්තියක් කරන්නේ අහවල් එකටද කියල හිතන්න තරම් දැනුමක් මට ඒ දවස්වල තිබුනේ නැහැ. ගමේ අයටත් එහෙම හිතෙන්න නැතුව ඇති. ඒත් දැන්නම් මගේ හිතේ පොඩි කුකුසක් වගේ තියෙනවා ඒ සම්බන්ධව.
පන්තිය ගැන ඉටි රෙදි කෑලිවල ලියපු පොඩි පොඩි දැන්වීම් එහෙමත් හන්දියේ තැන තැන ගහල තිබුනා කියල මම දැක්කේ ටික කාලෙකට පස්සේ.
කොහොමහරි මමයි චුටි අක්කයිත් එයාගේ පන්තියට යවන්න ඕනේ කියලා අපේ අම්මල තීරණය කලා. මේ වෙද්දී මාලා අක්කගේ පන්තියත් නතරවෙලානේ තිබුනේ. මට මතක විදිහට අපේ පන්තිය තිබුනේ සඳුදා හවස් වරුවේ. ඉස්කෝලේ ඇරිලා අපි දෙන්න එක්ක හන්දියේ ටියුෂන් පන්ති තියන තරමක ප්‍රසිද්ධ තැනක් වෙච්චි පොඩි ටකරන් මඩුවක තිබුණ පන්තියට මුලින්ම ගියා. පන්තියේ ළමයි දහ දෙළොස් දෙනෙක් වගේ ඉන්න ඇති පළවෙනි දවසේ. පන්තියට යන්න කළින්ම අපිට ආරංචිවෙලා තිබුනේ පන්ති ගාස්තුව කීයද කියන එක. එයා අමුතු විදිහකට පන්ති ගාස්තු එකතු කලේ. දවසක පන්ති ගාස්තුව රුපියල් පහයි.

පළවෙනි දවසේ අපේ ඉංගිරිස් දැනුම කොහොමද කියල හොයල බලලා ඒ ඒ ළමයින්ට වෙන වෙනම එක එක වැඩ දුන්නා කරන්න. සමහර ළමයින්ට ඉංග්‍රීසි හෝඩියවත් බැහැ. සමහර ළමයි ඊට වඩා ටිකක් දියුණුයි.
කොහොමහරි පළවෙනි දවස මේ විදිහට ඉවරවෙලා මමයි චුටි අක්කයි අපේ ගුරුපාර දිගේ ගෙදර එන්න පිටත් උනා. පන්තිය තිබුනේ පැය එකහමාරක් හරි දෙකක් හරි වගේ කාලයක්. ටික දුරක් අපි පයින් එද්දී මෝටර් බයික් එකක් ඇවිත් අපි ගාව නතර කලා. ඒ ඇවිත් තිබුනේ අපේ සර්. රතු පාර තැපැල් නයින්ටි (MD90) කියන හොන්ඩා වර්ගයේ පරණ බයිසිකලයක් ඒක. හොඳටම පරණ වෙච්ච හෙල්මට් එකක් තමයි එයා දාගෙන හිටියේ.
එදා අපි දෙන්න එක්ක තවත් ළමයෙක හිටියා. සර් අපිට කතා කලා බයික් එකේ යමු කියලා. ගෙදරට යන්න තියෙන කිලෝමීටර දෙකක වගේ දුර පයින් යනවට වැඩිය බයික් එකක යන්න තියෙනවනම් කොයිතරම් දෙයක්ද. අපි තුන් දෙනාත් කියන පරක්කුවෙන් බයික් එකේ වාඩි උනා. ඒ බයික් ගැන දන්න අය දන්නවා ඒකෙ තියෙන ලොකුම ලොකු ලගේජ් එක නිසා ලොකු අය තුන් දෙනෙකුට උනත් ඒකෙ වාඩිවෙලා යන්න පුළුවන් බව. මම මේ බයික් ජාතිය ගැන හොඳට දන්නේ ඒ කාලේ අපේ තාත්ත ගාවත් තිබුනේ මේ ජාතියේ බයික් එකක් නිසා.

අපෙන් "හරිද" එහෙම කියල අහලා සර් බයික් එක පදින්න ගත්තා. ඒත් මට තේරුණා එයා යන්නේ නිකන් ගැරඬියෙක් යන විදිහට පාර පුරාම කියලා. අපේ තාත්ත බයික් එකක් පදිද්දී කවදාවත් එහෙම ගිහින් නැහැ. අන්තිමට අඩි දහයක් පහළොවක් යන්න ලැබුනේ නැහැ. අපි ඔක්කොම එක්ක බයික් එක කාණුවට ගියා. කාටවත් මුකුත් උනේ නැති නිසා මේ වෙච්ච දෙයින් අපි බය උනේ නැහැ. ඊට පස්සේ බයික් එක කාණුවෙන් ඇදලා ගන්න සර්ට උදව් කරලා ආපහු බයික් එකේ නැගලා ගෙදර එන්න පිටත් උනා.
ඊට පස්සෙනම් වැඩි කරදරයක් නැතුව හිමීට හිමීට ගමන පටන් ගත්තා. ඒත් පාර පුරා යන ගතියනම් ටිකක් විතර තිබුනා. හොඳ වෙලාවට ඒ පාරේ වැඩිය වාහන යන්නේ නැහැ. වැඩිම උනොත් ඒකෙ එන්නේ මොකක් හරි බයිසිකලයක් වගේ දෙයක් තමයි. අපි බයික් එකේ යන ගමන් සර් කිව්වේ එයාට බයික් පදින්න වැඩිය හුරු නැහැයි කියලා. මට පුදුම හිතුනා. එයා මම වගේ පොඩි කොල්ලෙකුත් නෙමෙයි. ඇයි එයාට අපේ තාත්තට වගේ හොඳට බයික් පදින්න බැරි කියලා.


මේ විදිහට මම එයාගේ පන්තියට යන්න ලැබුනේ බොහොම ටික කාලයයි. මම ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ  ගිය නිසා රුපියල් පහේ ඉංග්‍රීසි පන්තියට ආපහු යන්න ලැබුනේ නැහැ. 
ඒත් ඉතින් මම කොළඹ හිටියේ හරියටම අවුරුද්දනේ, ආපහු ගමේ ඉස්කෝලෙකට යන්න ගත්තට පස්සේ අපේ අම්ම මට කිව්වා ඉංග්‍රීසි පන්තියක් හොයා ගන්න කියලා. මමත් ඉතින් යන්න පුළුවන් පන්ති ගැන ආරංචි කරලා බැලුවා. අන්තිමට මට ආරංචි උනා මම කලින් පන්ති ගිය සර් දැන් මම ඉස්කෝලේ යන නගරයේම පන්ති කරනවා කියලා. පන්ති තියෙන්නේ ඉරිදා දවල් 1:00 ට.
ඔන්න ඉතින් මමත් ගෙදර තියෙන වැඩ ඔක්කොටම වගේ උදව් කරලා ඉවරවෙලා හවස් වරුවේ පන්ති යන්න පටන් ගත්තා. හැබැයි එතකොටනම් පන්තියේ ගාන රුපියල් 5 නෙමෙයි. දවසට රුපියල් 10ක් විතර උනාද කොහෙද.