Monday, 2 February 2015

මී මුරේ - Meemure (2008.05.24 සහ 25) - දෙවන කොටස

මාර්ගයේ අසීරු ස්ථාන කිහිපයක් මෙහිදීද හමු විය. එහිදී රියදුරු මහතා වාහනය කිහිප ස්ථානයකදීම යට වද්දා ගත්තේය. අපහසුවකින් තොරව ගත හැකි ස්ථානයකදී පවා ඔහු ඒ වරද සිදු කළේය. ඉතාම අපහසුවෙන් එගොඩ වූ දෙවරකදීම තවත් යන්න තියෙනවද කියා ඉතා අප්‍රසන්න ලෙස විමසූ විට දිය හැකි පිළිතුරක් අප සතුවද නොවීය. කෙසේ හෝ ඉදිරියටම යා යුතුය. 
කයිකාවල දිය නාමින් -ජායාරූපය සඳරේකාගෙන්
ගිය සතියේ මෙහි පැමිණි පෙරමුණේ මාර්ගය හොඳින් දන්නවා ඇතැයි අප අනුමාන කළෙමු. එහෙත් අවසානයට ළඟා වී ඇතැයි අනුමාන වශයෙන් සිතෙන ස්ථානයකදී ඔහු අප හා පැවසූවේ “දැන්නම් ගමට ඇවිල්ලා ඉවරයි” කියාය. නමුත් මී මුරේ මී ගස ඇති ස්ථානයට යාමටද එතැන සිටද තවත් කිලෝමීටර දෙකක් පමණ යාමට සිදු විය. සවස 4:45 ට පමණ මී මුරේට පැමිණීම සනිටුහන් විය. මාගේ නෙත ගැටුණු මුල්ම දසුන වූයේ වෙනකක් නොව ගමට එහායින් විරාජමානව වැඩ සිටිනා ලකේගලයි.
ලකේගල කන්ද
ගමට ගොඩවැදුනු වහාම රියදුරු මහතා වහාම සුපුරුදු නින්ද ආරම්භ කල අතර වටපිටාව නැරඹීමට එහා මෙහා යෑම අපගේ කාර්යය විය. ගමේ පහළ දෙසට යාහැකි මාර්ගයේ සැළකිය යුතු දුරක් පයින් ගමන් කළ අපහට කුරුළු වර්ග කිහිපයක දසුන් දැක ගැනීමට ලැබුනද ඉන් නිසි ප්‍රයෝජනයක් නොවූයේ මද ආලෝක තත්ත්වය නිසාවෙනි. ආපසු ගම්මානය දෙසට පැමිණි අපගේ මීළඟ ප්‍රශ්නය වූයේ නවාතැන්පළක් සොයා ගන්නේ කෙසේද යන්න සම්බන්ධවය.


ගවයින් සඳහා තණකොළ රැගෙන එමින්
අප නඩය දෙස විමසිලිමත්ව බලා සිට පිටව යන කොළු ගැටයෙක්.
මී මුරේ සිවිශේෂී ගල් තාප්ප -ජායාරුපය ගලා/සජ්
කුඹුර අද්දර අඩිපාර -ජායාරුපය ගලා/සජ්
කමතක් -ජායාරුපය ගලා/සජ්
ගැමි ගෙයක් -ජායාරුපය ගලා/සජ්
නවාතැනක් සොයන අතරවාරයේ ගමේ පිහිටි එකම කඩමණ්ඩිය වටා තැන තැන වාඩි වී වල්පල් කතා කරමින් උන් අපහට එහි පැමිණි ගැමියන් හා දොඩමළු වන්නටද අවස්ථාව සැළසුනි. එම කඩයේද බුලත්විට නොතිබුනු අතර එහිදී දැනගත හැකි වූයේ බුලත් වෙනුවට ඔවුන් පාර අයිනේ වැවෙන යම්කිසි පැළෑටියක කොළ සපන බවත්ය. ඒ කොල වර්ගයේ නම “තලා” බවත් සපා බැලු විට තරමක අමුතු රසක් දිවට දැණුනි. එම පැළෑටිය පිළිකා කාරකයක් බව මා හට දැනගන්නට ලැබුනත් එසේ දැනගන්නට ලැබුනේ කොහෙන්දැයි මා හට මතකයක් නැත.

මීට වසර කිහිපයකට පෙර මෙහි පැමින තිබූ වස්සා විසින් දැන හඳුනා ගන්නා ලද නිවසක නතර වීමට හැකියාව අත්දැයි විමසා බැලීමට අප එහි ගියෙමු. එහි සිටියේ අදාළ නිවසේ මව පමණි. ඇයගේ ස්වාමි පුරුෂයා කුඹුරට ගොස් තවම නොපැමිණි බවද ස්වල්ප වේලාවකින් පැමිණෙනු ඇතැයිද කියැවිනි. නැවත අප එහි ගියෙමු ඒ රාත්‍රි හතට පමණය. එහිදී ඇය කියා සිටියේ පන්සලේ නතර වීම සඳහා ඇය අප වෙනුවෙන් අවසර ලබා ගත් බවක්ය.
ඔවුන් සතු අමතර නිවසේ ජල පහසුකම් නොමැති අතර එය අප හට කරදරයක් විය හැකි බැවින් එසේ කල බව ඇය පැවසුවාය. අනතුරුව අපගේ බඩු මුට්ටු සියල්ල රැගෙන පන්සල බලා ගමන් කළෙමු. එහි වැඩ සිටින එකම ස්වාමීන් වහන්සේ අපගෙන් කල ඉල්ලීම කිහිපයකින් අනතුරුව බණ මඩුව අපගේ නවාතැන්පළ වශයෙන් සපයා දුන්නේය.
එම ඉල්ලීම් අසාධාරණ ඒවා නොවීය. නවාතැන් දීම වෙනුවෙන් යම් මුදලක් බලාපොරොත්තු වන බවත්, කරදරකාරී ලෙස ශබ්ධ කරමින් නොහැසිරෙන ලෙසත් අපගෙන් කල ප්‍රධාන ඉල්ලීම් විය.
පෙර වරකදී එහි පැමිණි තරුණ කණ්ඩායමක් මත්පැන් බී සිදු කල මුග්ධ හැසිරීම් නිසා පැමිණෙන කණ්ඩායම් වලට මෙම මුලික දැනුම්දීම සිදු කරන බව උන් වහන්සේ පවසා සිටි සේක.

රාත්‍රී ආහාරය ලෙස නූඩ්ල්ස් සෑදීම ආරම්භ කල අතර එහිදී පෙරමුණේ නැවතත් නා ගත්තේය. නූඩ්ල්ස් තැම්බීම සඳහා ඔහු සූදානම් වී ඇත . භාජනයකට වතුර දමා නූඩ්ල්ස් සියල්ල එහි දමා ලිප තැබීමට පෙර වතුර ඇතිදැයි සැකහැර ගැනීමට ඔහු මාගේ සහය පැතුවේය. වේලාවට ඔහු ලිප ගින්දර දමා තිබුනේ නැත. නැවතත් නූඩ්ල්ස් සියල්ල ඉවත් කර වතුර පමණක් දැමූ භාජනයක් ලිප තැබීය. වතුර උණු වූ පසු එයට නූඩ්ල්ස් දමා තම්බා ගත්තද එයින් වතුර ඉවත් කර පෙරා ගැනීම සඳහා නිසි පහසුකම් නොවූ බැවින්ද කළින් එය කලින් ජලයේ ගිල්වා තිබුණ බැවින්ද අවසාන ප්‍රතිඵලය වූයේ හොඳින් ඛෙරි වූ නූඩ්ල්ස් තලියකි. දහවල් බතෙන් කොටසක්ද ඉතිරි වී තිබුණි.

රාත්‍රී ආහාරය පිළියෙල කර ගත්තද එය අනුභව කිරීමට එතරම් අවශ්‍යතාවයක් පිරිසට නොවීය. දහවල් බත් සහ නූඩ්ල්ස් ස්වල්පය බැගින් ඛෙදා ගත්තද, ඛෙදා ගත් ප්‍රමාණය සම්පූර්ණයෙන් අනුභව කිරීමේ හැකියාවක් සතු නොවීය. රාත්‍රී ආහාරය ගැනීමට පැමිණෙන මෙන් දැන්වුවද, රියදුරු මහතාගේ මනාපය වූයේ බඩගින්නේ නින්දට පිවිසීමය.
රාත්‍රිය නිකරුනේ ගෙවී යාම අපරාධයකි. ඉන් ගත යුතු ප්‍රයෝජනය ගත යුතුය. එහෙත් අනෙකෙකුගේ බලකිරීමක් ලැඛෙන තුරු තැන තැන කිරා වැටෙමින් සහ නොයෙකුත් දෑ කියවමින් සිටි පිරිස එක්තැන් කර ගැනීමට විචිත්‍රා නැගණිය දැඩි උත්සාහයක් ගත්තාය. අනතුරුව මාගේ සහ තවත් කිහිප දෙනෙකුගේද ඉල්ලීම මත මෙවැනි චාරිකාවකදී අප පිරිස සිදු කරන රාත්‍රී ක්‍රියාකාරකමක් සෙමෙන් ආරම්භ විය.

ප්‍රශ්න සහ උත්තර මාරු කර ගැනීමේ සිට අන්අය නොදන්නා කිව හැකි ගණයේ ළා සැලකෙන රහස් එළි කරවීම වැනි ක්‍රීඩාවන් එහිදී එළි දැක්විණි. මෙහිදී මා සිත් ගත් වැදගත්ම අංගයක් වූයේ එහි සිටි පිරිස එකිනෙකා මුල් වතාවේ දුටු පසු හෝ හමු වීමකින් පසු එකිනෙකා සම්බන්ධව ඇති වූ ආකල්පයන් කෙබඳුද යන්න පිළිබඳව හෙළි කිරීමත්ය. එය නවතම හා ඉතාම සිත් ගන්නා වූ අංගයක් විය. විශ්ව විද්‍යාලයේදී මා දුටු මුල් අවස්ථාවේ හනී සහ විචිත්‍රා යන දෙදෙනා තුළ මා සම්බන්ධව ඇති කරගෙන තිබු අදහස ඇසු මා හට දැඩි විශ්මයක් ඇති විය. ඒවා තරමක් දරුණු ගණයේ අදහස් විය. තමන් සම්බන්ධව කෙනෙකුට ඇතිවන අදහස් අවංකව දැන ගැනීමට ලැබීමෙන් කෙනෙකුට තමන්ගේ අඩුපාඩු සකසා ගැනීමට හැකිබව මාගේ අදහසයි.
මෙහිදී ආදර සම්බන්ධතා ඇති වූ ආකාරය පිළිබඳ ඉතා අවංක සහ සිත්ගන්නා සුළු මතකයන් අවදි කරවීමට සු සමත් විය. පෙරා ඇයගෙන් ආදරය විමසන තෙක් ඇය නොඉවසිල්ලෙන් බලා සිටි අයුරුත්, එය ප්‍රමාද වන අතරතුරේ ඇයගෙන් ආදරය විමසා පස් හය දෙනෙක් පැමිණි අයුරුත් ඒවා දැක දැකත් පෙරා මෝඩයෙක් සේ සිටියායැයි ඇය කියා සිටියාය. ඒ සියල්ල ඇත්ත බව අප කණ්ඩායමේ එකට සිටි අප පිරිස කළින් පටන්ම දැනගෙන උන්හ. කෙසේ නමුත් රාත්‍රී ක්‍රියාකාරකම්  සඳහා පිරිසගේ උන්නදුවෙහි අඩුවක් ඇති බවක්ද පෙනී ගිය බව නොකියා බැරිය.


ටික වේලාවකින් පසුව වැටුණු වැටුණු තැන්වල නින්දට වන් අපහට තිබුණු එකම කරදරය වුයේ සිමෙන්ති පොළවේ වැතිර නිදා ගැනීම නිසා ඇති වූ ශාරීරික හිරිහැරය සහ සීතල නිසා ඇති වූ අපහසුතාවය පමණකි. රාත්‍රියේ ඈතින් ඇසුණු පිරිත් සජ්ජායනයක හඬ කියා පෑවේ තරමක් ඈත නිවෙසක පිරිත් පිංකමක් සිදුවන බවයි.
උදෑසනින් දුටු සඳමඩල

ලකේගල කන්දේ පැතිකඩක්
උදෑසන අවදි වූ අපහට රාත්‍රියේ ඇසුනු පිරිත් සහ බණ වෙනුවට බුදුගුණ වැයූ ගී කිහිපයක් ඇසෙන්නට විය. මුහුණ කට සෝදාගෙන රාත්‍රියේ ඉතිරි වී තිබූ අහර කොටස රත් කරගෙන ආහාරයට ගත්තෙමු. පන්සලේ හාමුදුරුවන්ගෙන් සමුගත් අප නවාතැන් ගාස්තු වශයෙන් රුපියල් 500 ක් ලබා දුන්නෙමු. පා ගමනට අවැසි බඩු මුට්ටු හැර ඉතිරිය වාහනයට පටවා දැම්මෙමු. රියදුරු මහතාට ඇවැසිනම් කයිකාවල කඩමණ්ඩිය වෙත ගොස් අප එනතුරු නැවතී සිටින ලෙස පැවසීය. ඔහු පිටත් වීමට පෙර මම සහ පෙරා රහසේ ඔහුට දුන් උපදෙසක් වූයේ හැකිනම් අප ආපසු කයිකාවල බලා පැමිණෙද්දී බීමට හැකිවන පරිදි කිතුල් රා ටිකක් සොයා තබන ලෙසය. ඒ සඳහා සහ ඔහුගේ ආහාර වේල් සඳහාද අවැසි මුදල් ඔහු හට ලබාදී ඔහුව පිටත් කර හැරියේය. ඉන්පසුව එළඹියේ ගමපුරා නිදහසේ ඇවිදගොස් වටපිටාවේ සුන්දරත්වය අත්වීඳීමේ වාරයයි. බැලූ බැලූ සෑම අතම දක්නට ලැබුනේ නිල්ලය, ගස්වැල් අතරේ ඇති ඉඩක සෑදූ කුරුළු කූඩු සහ එහි සරමින් සිටි කුරුළු සමුහයාය.
ගල් වැටවල්

ගං මැද්දේ



කුඹුර අද්දර වූ බෝ ගස් සෙවනකට වී සමනළ සහ කුරුළු නිරීක්ෂණයේ යෙදෙමින් උන් අපහට ඈතින් ඇසෙන්ට වූයේ දවුල් තම්මැටටම් නාදයකි. මද වේලාවකට පසු ගම්මුන් පිරිසක් එහා ගම්මානයේ පැවති පිංකම් ගෙදර බලා යමින් උන්හ. ඒ අතරේ අප හා කතාබහ කළ අයෙක් අපහටද පිංකම් ගෙදරට පැමිණෙන ලෙස ආරාධනා කරන්නටද අමතක නොකළහ. කාල වේලාවේ මදකම නිසා එම යෝජනාව ප්‍රතික්ෂේප කලේනම් හිතකින් නොවන බව කිවයුතුය.
දිය පහර දෙසට යමින්

පිංකම් ගෙදර යන ගැමියන්
දිය පහර -ජායාරුපය ගලා/සජ්
ඉන් පසුව අපගේ නිරීක්ෂණය යොමු වූයේ කුඹුර අද්දර පිහිටි පුංචි දොළ පහරේ පිහිනමින් උන් මාළුන් වෙතය. එහි මද වේලාවක් ගත කළ අපහට පිංකම් ගෙදර සිට පැමිණෙමින් සිටි හාමුදුරු නමක් සිනහ මුසු මුහුණකින් යුතු දරුවකු සමග වඩිනා අයුරු දැකගත හැකිවිය. කාල වේලාව මද නිසා නුදුරුව තිබු වනයේ සිරි නැරඹීමට යාමටද නොහැක. ගමපුරා තැන තැන කරක් ගැසූ අප දහවල වන විට ආපසු කයිකාවල බලා ගමන් ඇරඹීම සඳහා සූදානම් වීමු.
හාමුදුරුවෝ
එම දිනයේ දැඩි පිපාසයක් දැනුණේ වියළි කාලගුණයක් පවතී බැවින් විය හැක. පාර අයිනේ ඇති දිය පහරවල් වලින් පිපාසය සංසිඳවා ගනිමින් විහිළු තහළු කරමින් සෙමින් සෙමින් ගමන් ගත්තෙමු. වරෙක පාර අද්දර ඇති නිවසකින්ද වතුර ඉල්ලා ගත්තේ එතරම් දැඩි පිපාසයක් එදින දැනෙන්නට වූ නිසාය. තරමක් ඉදිරියෙන් ගමන්ගත් අප පසුපස හරි බැලු පසු දැකගත හැකි වූයේ කුඩා කල සිහි ගන්වන දසුනකි. ඒ නම් අළුත වැටුණු කොළපතක තම පෙම්වතිය වාඩි කරවාගෙන ඇදගෙන එන පෙරාය.
පැළක්
කයිකාවල ආසන්න වද්දී එකවර ඇද හැලූණු වර්ෂාවකට අප හසු විය. දිවාකල තිබු දැඩි රස්නයට හේතුව දැන් පැහැදිළිය. එහි තිබූ කඩය ආසන්නයේ අප පැමිණි වෑන් රථය නතර කර තිබූ අතර රියදුරු මහතා මා වෙත පැමිණ රහසින් කියා සිටියේ ඔහු පැමිණි කාරණය සාර්ථක වූ බවය. මම පෙරා සහ වස්සා කිතුල් රා පොදක රස බැලු අතර වැස්ස තුරල් වූ පසු බතක් උයා හොද්දක් සාදා ගෙන කා දැමීමෙන් දිවා ආහාරය සපුරා ගත්තෙමු. වෑන් රථයට මදක් ඉදිරියට යන මෙන් පවසා අප පා ගමනින් ඉදිරියට ගියේ පාරේ වූ දුෂ්කරතාවය නිසාය.
අතරමග පිහිටි ස්ථිර කමත් බිමක්
අතරමගදී හමුවූ ගැමි ගෙදරක විසූ ගැහැණියක් ඇය සතුව විකිණීමට ඇති හොඳ කිතුල් පැණි සහ හකුරු ගැන කියූ පසු අප නඩයේ කිහිප දෙනෙක් ඒවා මිළදී ගැනීමට නතර විය. මේ වන විට දවසේ නිමාව සටහන් වීමට ආසන්න වී තිබුනද අප හට ඉන් පිටව යාමට වැඩි උනන්දුවක් තිබුනේද නැත. මද වේලාවකට පසු වාහනයට නැගී පිටත් වූ අප හට කෝබට් කපොල්ල ආසන්නයේදී හමුවන කඳු සහිත කොටසේදී වාහනයෙන් බැසීමට සිදු විය. ඒ වනවිට වැසිබර කාලගුණය නිසා අඳුරු බවක් ඉසිළු නිසා ජායාරුප ගැනීමේ හැකියාවක්ද නොවිය.
කෝබට් කපොල්ලේ කන්ද නගිමින්

අමුත්තෙක්
කඳු මුදුන බලා


කෝබට් කපොල්ලට පහළින් -ජායාරුපය ගලා/සජ්
වේලාව හවස 05:30 පමණ වන විට ඒ සොඳුරු පරිසරයෙන් වෙන් වී කොළොම්පුරය බලා ආපසු ගමන් ඇරඹීමු.

මී මුරේ සහ කයිකාවල අවට විසූ ගැමියන්ගේ ගැමිකම හා සුහදශීලී බවෙහි අප අසා තිබූ තරමට වඩා යම් අඩුවක් ඇතැයි එහි ගොස් පැමිණි මා හට හැඟුණු දෙයකි. මුදල් ඉස්මතු වූ බවක් සමහර අවස්ථා වලදී ප්‍රදර්ශනය වූ අතර එයට ආසන්නතම හේතුව ලෙස මා දකින්නේ “සූරිය අරණ චිත්‍රපටය හරහා සහ ඉන් පසුව ගම්මානය වෙත ගලා ආ නාගරික සංස්කෘතිය වීමට ඉඩ ඇතැයි මා විශ්වාස කරමි. පෙර කළකදී JVP කළබල සමයකදී එහි පිහිට වූ පොලිස් හෝ හමුදා මුරපළක් එහි තිබු බවක්ද මා හට කවුරුන් හෝ කියූ බවක් මතකයේ ඇත. එසේ වූවානම් ඒ හරහා ද සැළකිය යුතු සමාජ විපර්යාසයක් සිදු වීමටද ඉඩක් ඇත. නමුත් එම තොරතුරේ නිරවද්‍යතාවය සොයා බැලීමට මා හට නොහැකි විය.

මෙම සටහන ලියන්නට ආරම්භ කල මොහොතේ සහ මේ දක්වාම මී මුරේ ගම්මානය බලා නැවත යාමේ අදහසක් මා හට නොදැනුණි.
මෙම චාරිකාව සම්බන්ධ ජායාරූප වැඩි ප්‍රමාණයක් මා සතුව නැත. එහි ගිය මා රැගෙන ගියේ දිගු නාභි දුරක් ඇති ලෙන්සයක් බැවින් (Telephoto Lens) ළඟ ඇති දෑ හෝ දර්ශන (Scenery) ජායාරූප මා සතුව එතරම් ප්‍රමාණයක් නොමැත. නමුත් චාරිකාව සම්බන්ධ ජායාරූප සොයමින් මිතුරු මිතුරියන්ගේ මුහුණු පොත් පිරික්සූ විට මට අමතකව තිබු සහ මා නොදුටු දසුන් පවා දැකගත හැකි විය. බොහෝ අවස්ථා වලදී මම කුරුළු සහ අනෙකුත් සතුන්ගේ දසුන් ජායාරූප ගත කිරීමට ප්‍රමුඛතාවයක් දෙන බැවින් එවැනි දසුන් වෙත සිත යොමු නොකලා වන්නටද ඇත. ඔවුන් ලබාගත් ජායාරූප නැරඹු පසු නැවත මී මුරේ යාමේ ආශාවක් සිතේ මෝදු වුයේ මටත් නොදැනීමය.

නගරයේ ජීවිතයෙන් හෙම්බත් වූ අයෙකුට පරිසරය විඳීම සඳහා යැමට සුදුසු තැනක් බවට මීමුරේ සඳහන් කලහැකි වුවත් එහි ඇති නියම රසය විඳීම සඳහා දින කිහිපයක් ගැමියන් සමග රුදෙමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා මුසුවීමට හැකිනම් මීට වඩා වැඩි යමක් උකහා ගතහැකි වනු ඇති බව මාගේ විශ්වාසයයි. ඊට අමතරව අවට වනයේ සුන්දරත්වය විඳගැනීමටද කාලය වෙන්කර ගතයුතුය.
ඔබ එහි යන්නේනම් පරිසරය ආරක්ෂා වන සේ ඔබගේ ක්‍රියාවන් සිදු කිරීමටත්, මිනිසුනට හා සතුනට කරදර හිරිහැර නොවන සේ කටයුතු කළහැකිනම් වඩා සුදුසුය.

Saturday, 31 January 2015

මී මුරේ - Meemure (2008.05.24 සහ 25) පළමු කොටස

එය අවම දින ගණනකින් සංවිධානය වු චාරිකාවක් විය.පරිසරයේ සොඳුරු මතකයන් පසු පස හඹා යාමට අප තුළ ඇති ආශාව නිසා සංවිධානය වූ ගමනකි. ලංකාව පුරා යුද්ධයේ අඳුරු සෙවනැළි වැටී තිබුණු ඒ අවධියේ රටේ මිනිසුන් චාරිකාවක් පවා ගියේනම් ඒ ඉතා කළාතුරකිනි. එසේ ගියත් යන්නේ බොහෝ කරුණු කාරණා සිතා බලාය. එබැවින් අපද යුධ අනතුරු රහිත පරිසරයක පිහිටි මී මුරේ බලා යාමට තීරණය කළෙමු. අනතුරු රහිත වටපිටාවක් බැවින් මෙම චාරිකාවට පිරිස් දායකත්වයේ එතරම් අඩුවක් නොවීය. නමුත් හදිසියේ ගත් තීරණයක් අනුව යාමට ගිවිසගත් මෙම චාරිකාව සංවිධානය කිරීම සඳහා එතරම් කාලයක් නොතිබූ නිසා යම් යම් අඩු පාඩු සිදු වූ බවද කිවයුතුය.

මෙහි සංවිධාන කටයුතු භාරව කටයුතු කිරීම ගලා සහ පෙරා විසින් බාරගෙන තිබූණි. මී මුරේ ගමන පිටත් වීමට නියමිත දිනය සතියකට පෙර බඩා නම්වූ අප මිතුරාගේ මංගල උත්සවය පැවැත්වෙන්නට නියමිතව තිබුණි. ඔහු කරකාර බැන්දේද අප කණ්ඩායමේම සාමාජිකාවකි. මංගල උත්සවයට සහභාගී වීම සඳහා වෑන් රථයක් කුළියට ගැනීමේ කටයුත්ත ගලා බාරගෙන තිබුණේය. නමුත් නියමිත දින පොරොන්දු වූ වෑන් රථය නොපැමිණි අතර වෙනත් සමාගමකට ඇමතුමක් දී හදිසියේ වෙනත් රථයක් සපයා ගැනීමට අපට සිදු විය. එම ගමනේදී සහ ඊට පෙර අවස්ථා කිහිපයකදීත් චාරිකාව සම්බන්ධව සාකච්ජා කළෙමු. අවසානයේ සැමගේ කැමැත්ත වූයේ මීමුරේ බලා යාමය.


ඊට බොහෝ කළකට පෙර  වතාවක නකල්ස් කඳු මුදුන් හරහා මීමුරේ බලා පැමිණීමට ගොස් අතරමං වූ අත්දැකීමක්ද මා සතුව ඇත. නමුදු මෙවර අප හා යාමට එක්වූ පිරිසේ එදින අප සමග අතරමං වූ කිසිවකුත් ඇතුළත් නොවුනි. මීට අමතරව මීමුරේ අවට වටපිවාවේ සුන්දරත්වය ඔප්නැංවූ සූරිය අරණ චිත්‍රපටයද යම් අයුරකින් තවත් කෙනෙකුගේ මනසට බලපෑම් කරන්නට ඇත. කෙසේ හෝ අප සියල්ලෝම පාහේ එහි යෑමට එකහෙළා කැමැත්ත දැක්වීමු. සතියකට පමණ පෙර පාසැල් මිතුරන් කිහිප දෙනෙක් සමග එහි ගොස් පැමිණ තිබූ පෙරා පවා නැවතත් එහි යාමට කැමැත්ත පළ කළේය.


මංගල උත්සවය බලා යාමට පැමිණි වෑන් රථයට කළින්ම ගොඩ වූයේ පෙරාය. තරමක් පසුවී අප වෑනයට ගොඩ වන විට එහි අසුන්ගෙන සිටි පෙරා රියදුරු සමග මිතුරු වී මීමුරේ ගමන එම වාහනයෙන්ම යාම සඳහා පිඹුරුපත් සකසාගෙන තිබුණි. ඔහුගේ යෝජනාව වී තිබුනේ අපව රිවස්ටන් දක්වා රැගෙන යාමත් අප එහි බස්සා රියදුරු තැන වාහනයද රැගෙන ගොස් කැමති තැනෙක නතර වී සිට පසුදින සවස අප හමුවීම සඳහා මීමුරේ බලා පැමිණිය යුතු බවය. රිවස්ටන්හිදී බැස ගන්නා අප පිරිස එහි යම් වේලාවක් නතර වී සිට මීමුරේ දක්වා කැලෑ මාර්ගයක් ඔස්සේ යා යුතුය.


අපූරු සැළසුමක් වූ එහිදී ඔහු බොහෝ දෑ අමතක කර තිබුණි. එනම් අප රැගෙන යන සියළුම බඩු භාණ්ඩ ඔසවාගෙන කැලෑ පාරකින් කිලෝමීරට පහ හයක් හෝ ඊටත් වැඩි දුරක් අප ගමන් කලයුතු වීමත් එයට ගෑස් ලිප් ආහාර ද්‍රව්‍ය ඇඳුම් මළු කැමරා ආම්පන්න වැනි සියළුම දෑද අයත් බවත්ය. එම බඩු භාණ්ඩ නොමැතිව පා ගමනින් යන අප මීමුරේ රාති්‍රය ගත කරන්නේ කෙසේද යන්න ඔහුගේ ටිකිරි මොළයට වැටහී නොමැත. පසුදින අප රැගෙන යාමට සවස් වරුවේ පැමිණෙන වාහනයේ කිසිඳු භාණ්ඩයක් තබා ඒමට නොහැකි බවත් පැහැදිළිය. ඒ මදිවාට එම ගමන සඳහා අප සමග යාමට මාර්ගෝපදේශක මහතකු හෝ නොමැත.


ඔහුගේ සැළසුම ක්‍රියාත්මක කළනොහැකි එකක් බව ගලාගේ සහ මාගේ දැඩි විරෝධය හමුවේ පවා පිළිගැනීමට ඔහු මැළි විය. (ඔහු යෝජනා කළ පරිදි රිවර්ස්ටන් හරහා ගොස් මී මුරේ දෙසට යාමට හැකි නිශ්චිත අඩි පාරක් හෝ නොමැති බව පසුව සනාථ විය. එහි යා හැකි වන්නේ කැලෑව හරහා පමණි. එසේ යාමට අප සමග මගපෙන්වන්නෙකු හෝ නොමැති බවද සිහිපත් කල යුතුය.) ඊටත් එම යෝජනාව අනුව රියදුරු මහතා අපව එහි ඇරලවා  නැවත පසු දින මී මුරේ දෙසින් පැමිණ අපව රැැගෙන යා යුතු විය. එම රියදුරු මහතා ඊට පෙර මීමුරේ ගොස් තිබුනේද නැත. ඔහු හට මාර්ගය සොයා ගැනීමට නොහැකි වුවහොත් දුරකථන සංඥා පවා නොමැති දුෂ්කර පෙදෙසක හිරවන අප පත්වන අපහසුතාවය අමුතුවෙන් තේරුම් කළයුතු නොවේ. එය එතරම් ප්‍රායෝගික නොවන උත්සාහයක් බව ඔහු තේරුම් ගත්තේ බොහෝ වේලාවක් කරුණු තේරුම් කරදීමෙන් පසුවය.

(අපගේ වාසනාවට හෝ චාරිකාවක යම් වගකීමක් එසේ නොමැතිනම් සම්පූර්ණ සංවිධානය ඔහු බාරගත් පසු අපට විඳීමට සිදුවන සිදුවීම් ඉතා අපූරුය. ඒවා පසුව අප යෙදුණු සහ තවදුරටත් යෙදීමට නියමිත චාරිකා වලදී ඔබහට නියත වශයෙන්ම දැන ගැනීමට හැකිවනු ඇත.)

උත්සවය අවසන් වී ආපසු පැමිණීමේදී වාහනයෙන් අවසානයට බැසීමට ඉතිරි වූ මා හට රියදුරු විසින් යම් උපදෙසක් දෙනු ලැබීය. එනම් ෆෝ වීල් වෑන් රථ ඔවුන්ගේ සමාගම සතු බවත් ඉන් එකක් අපගේ කර්තව්‍යය සඳහා කතා කරගන්නා ලෙසත්ය. අප සමග එවැනි විකාර ගමනක් යාම සඳහා ඔහු බිය වූවා වන්නටද ඇත. කෙසේ හෝ ඔහු ලබා දුන් දුරකථන අංකය අනුව පසු දිනෙක ෆෝ වීල් වර්ගයේ වාහනයක් වෙන් කරවා ගැනීමට මා හට හැකි විය. ඒ අතරවාරයේදී කිහිප වතාවක්ම ඇමතුම් දී වාහනය සම්බන්ධව විමසා සිටීමට මා අමතක කලේ නැත. මාගේ කරදරය ඉවසීමට බැරි නිසාවෙන්දෝ පැමිණිමට නියමිත රථයේ රියදුරු මහතාගේ දුරකථන අංකය ආදළ සමාගම මගින් මා හට ලබා දෙන ලදී. මැයි මස 23 දින උදෑසන දුන් දුරකථන අමතුමකදී ඔහු කියා සිටියේ දුර ගමනක් යායුතු බැවින් වාහනයේ තිබූ සුළු අඩුපාඩු කිහිපයක් සාදා ගැනීම සඳහා ගරාජයකට පැමිණි බවත්ය. ඒ සම්බන්ධ නොපැහැදීමක් මා සිතේ මෝදු වන්නට වූයේ මටත් නොදැනීමය. දහවල් වන විටද ඔහු කියා සිටියේ ඒ වන විටත් අළුත්වැඩියාව සිදු වෙමින් පවතින බවය.


නියම ගැටළුව උදා වූයේ 23 වැනි දින සවස් වූ පසු ඔහු හට නැවත ඇමතුමක් දුන් විටදීය. ඒ වන විටත් ඔහුගේ වාහනය ගරාජයේ බවත් එදින රෑ වන විට අළුත්වැඩියාව සම්පූර්ණ කර ගැනීමට හැකි වෙතැයි ඔහු සිතා සිටි බවත්, දැන් පවතින තත්ත්වය අනුව වාහනයේ අළුත්වැඩියාව සම්පූර්ණ කරගත නොහැකි බවත් කීවේය.

ඔහු හා කතා කරන්නට කාලය අපතේ යැවීම අපරාධයක් බව තේරුම් ගත් මා වහාම අදාළ වාහන කුළී ආයතනය වෙත ඇමතුමක් ලබා ගතිමි. චාරිකාව යාමට හැකි පහසුකම් සහිත වෙනත් වෑන් රථයක් පොරෙන්දු වූ වේලාවටම එවන බවට පොරොන්දු වූ පසුව ඇමතුම විසන්ධි කළෙමි. ප්‍රශ්නය තරමක් දුරට සමනය වූ බවක් සිතට දැණුනද කිහිප වතාවක්ම ඔවුන් හා සම්බන්ධ වී තොරතුරු ලබා ගැනීම සිදු කලේ ඔවුන් සම්බන්ධව කිසිඳු පැහැදීමක් මා සිතේ නොවූ නිසාය. ලබා දුන් ඇමතුමක් පාසා අපහට ලබා දීමට එකඟ වූ රථයේ ඇතැයි කියූ පහසුකම් එකින් එක අඩු වන බවක්ද පෙනෙන්නට විය. කළයුතු යමක් නැත. අපගේ ගමන යාම සඳහා එවීමට පොරොන්දු වූ නව රථයේ රියදුරුගේ අංකය ලබා ගැනීමට කටයුතු කළෙමි. කිහිප වතාවක් උත්සාහ කිරීමෙන් පසු ඔහු මාගේ ඇමතුමට පිළිතුරු දුන්නේය. ඒ වනවිට ඔහු දුර ගමනක් ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටින් බවත් රාත්‍රී 12:30ට පමණ බම්බලපිටියට පැමිණීමට හැකි බවත් පැවසීය.
ප්‍රශ්නය එලෙස නිමා විය. මෙලෙසින් හෝ වාහනයක් සොයා ගැනීමට හැකිවීම අප පත්ව සිටි අපහසුතාවයේ හැටියට මහත් පහසුවකි.

පොරොන්දු වූ වේලාවට ආසන්න වේලාවකදී මා හට දුරකථනයෙන් කතා කල රියදුරු මහතා ඔහුගේ රථයද රැගෙන පැමිණියේය. එය 61 අංක කාණ්ඩය දරණ තරමක් පැරණි වෑන් රථයක් විය. ලැබුන අශ්වයාගේ දත් ගණන් නොකිරීමට මා සිතා ගත්තේ වාහනය පැමිණීමටත් පෙරය. කළින් පොරොන්දු වූ පහසුකම් සම්බන්ධව කතා කිරීමෙන් දැන් පළක් නැත. මෙලෙසින් හෝ වාහනයක් ලැබීම සම්බන්ධව පමණක් මම සතුටු වීමි.

ප්‍රශ්නය අවසන්යැයි මා සිතුවද එය නව මුහුණුවරකින් නැවත පැමිණියේය. මෙම වාහනය අප වෙත එවා ඇත්තේ තාවකාලිකව බවත් අතරමගදී වෙනත් හොඳ වාහනයක් අප වෙනුවෙන් සපයන බවට වූ පොරොන්දුවක් අනුව තමන් පැමිණි බවද නව රියදුරු මහතා කියා සිටියේය. කෙසේ හෝ පැමිණි වාහනයට ගමන සඳහා මිළදීගත් යම් යම් දෑ පටවාටත් අප බම්බලපිටියේ පිහිටි නවාතැන්පළින් චාරිකාවේ මූලාරම්භය සනිටුහන් කළෙමු. අප දෙදෙනාගේ ගමන්මග යොමු වූයේ ගලා ඇතුළු මිතුරු පිරිස ලැගුම්ගෙන සිටි රත්මලානේ බෝඩිම බලාය.

ගමන් අරඹා මද වේලාවකින් අනෝරා වැස්සක් ඇද වැටෙන්නට පටන් ගත්තේය. පෙරදින යාන්තමට මෙන් වැළඳීගෙන ආ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයද මේ වන විට දැඩිලෙස වර්ධනය වී තිබුණි. රත්මලාන බෝඩිම ආසන්න වත්ම ගලා වස්සා ගෝනා ඇතුළු පිරිසට ඇමතුම් කිහිපයක් ලබා දුන්නද කිසිවකුගෙන් ප්‍රතිචාරයක් නොවීය. අපේ වසු පැටවුන් තවමත් ඇහැරී නොමැති සෙයකි. තිදෙනාගේම ඡංගම දුරකථන වලට දුන් ඇමතුම් වලට පවා ඇහැරෙන බවක් පෙනෙන්නටද නොමැත. එළියට බැස වැස්සේ තෙමෙමින් ගේට්ටුවෙන් පැනීමටද නොහැක. එම බෝඩිමේ තිබූ ගේට්ටුවෙන් වැසි නොමැති වේලාවකදී පවා පැනීම පහසු නොවීය.


සෑහෙන වේලාවක් එතැන ගතකරමින් ඔවුන් අහැරවා ගැනීමට කෝල් පිට කෝල් ලබා දීමෙන් හෙම්බත්ව සිටි මා හට ඔවුන්ගේ නොසැළකිලිමත් බව සම්බන්ධයෙන් ඇතිවූයේ අසීමිත කෝපයකි. වැස්ස මදක් තුරල් වූ මොහොතක වෑනයෙන් බැසගත් මා පාරෙන් එහා පැත්තට පැන ගත්තේ කළහැකි යමක් ඇත්දැයි සොයා බැලීමටය. ස්වල්ප වේලාවකින් නැවතත් තදින් වහින්නට පටන් ගත්තේය. නැවත වෑනයට ගොඩවීමටද නොහැක, රියදුරු මහතාගේ දුරකථනයද කි්‍රයාවිරහිත වී ඇත. අප සමග මීමුරේ යාමට නියමිත සෑම දෙනාටම පාහේ අමතා ගලා ඇතුළු පිරිස ඇහැරවීමට උත්සාහ කරන ලෙස දන්වා මා තරමක් නිහඬ වූයේ කෝපය නිවා ගැනීමටය. කඩපිළ  අයිනට වී හිටිගෙන සිටි මා හට වැස්සත් සමග පැමිණි හිරිකඩ ප්‍රවාහයකටද ගොදුරු වන්නට සිදු විය. වැස්සේ නැතිනම් සහ මා අසනීපව සිටියේ නැතිනම් ගල් ගෙඩි කිහිපයක් රැගෙන තෙවන මහළේ ඇති ගලාලාගේ බෝඩිමේ වීදුරුවක් කුඩු කිරීම කජු කනවාක් මෙන් පහසු වැඩක් වන්නට ඉඩ තිබුණි. මේ වන විට අප එහි පැමිණ පැය භාගයකට වැඩි වේලාවක් ගත වී තිබුණි. වැස්ස තුරල් වූ පසු පාර පැන වාහනයට ගොඩ වී බලන විට රියදුරු මහතා තද නින්දේ පසු විය. මෙවිටම වාගේ හනියා ඇමතුමක් දී කියා සිටියේ මෙතනට වී බලා සිටීමෙන් පළක් නැති බවත් ඔහුව රැගෙන යාමට පැමිණෙන ලෙසත්ය. ගලා ඇතුළු තිදෙනා පසුව ගන්නා අදහසින් බොරුපන පාරේ නිවසක නතරව සිටි හනී රැගෙන ඒමට පිටත් වීමූ. ඒ යන අතරමගදී නින්දෙන් අවධි වූ ගලා මා හට ඇමතුමක් ලබා දුන්නේය. වේලාවේ හැටියට හැකි පමණින් සහ දන්නා හිංගලෙන් ඌට ඇමතුවත් අධික සෙම්ප්‍රතිෂ්‍යාව නිසා හුස්ම ගත නොහැකි වූ නිසා බැනුම හිතේ හැටියට කළ නොහැකි විය.


හනියා රැගත් අප ආපසු රත්මලාන බලා පැමිණෙන විට ගලා වස්සා සහ ගෝනා යන තිදෙන බඩු මුට්ටුද රැගෙන පාර අයිනේ සිටගෙන උන්හ. මුන් දේව දරුවෝය. වස්සා සාදා දුන් සුප් එකක් එම ප්‍රමාදයට හේතුව ලෙස ඔවුන් දැක්වීය. එය හරියට කැකිල්ලේ නඩු තීන්දුව වැන්නකි. පෙර දිනයේ සාදා දුන් සුපයක් නිසා එකෙකුට බඩේ ගායක් හැදුනු බවත් තව තවත් මොනවාදෝ බේගල් තොගයක් ඇද බාමින් ප්‍රමාදයට හේතු ඉදිරිපත් තලෝය. කරුණු කෙසේ වුවත් හැකි පමණින් තිදෙනාටම අමතා ඊළඟ නැවතුම බලා පිටත් වීමු. ඒ පෙරාගේ අක්කලා කුළියට පදිංචිව සිටි දෙහිවල තිබූ ගෙදරයි. එහි ළඟා වූ අප පිරිසෙන් කිහිප දෙනෙක් නිවස තුළට ගියද ඔවුන් ඉක්මණින් පැමිණෙන බවක් දක්නට නොවීය. ඔවුන් පැමිණියේද විනාඩි 15 ක පමණ ප්‍රමාදයකින් පසුවය.


ගලා ඇතුළු පිරිසේ ප්‍රමාදය හේතුවෙන් පෙරා ඇතුළු පිරිස නැවතත් සාධාරණ ලෙස නින්දට පිවිසී ඇත. එම වරදත් ගලා වස්සා ඇතුළු පිරිස මත පටවා නිදහස් වීමට ඔවුන් උත්සාහ කළහ. ඊළඟට සජානි සහ විචිත්‍රා යන දෙදෙනා වාහනයට ගොඩ විය. උන් දෙදෙනා වාහනයට ගොඩ වීමට කළින් සිටම ප්‍රමාදයට හේතුව සහ ප්‍රමාද වන බව දන්නා නිසාත් ගලා යනු සජ් ගේ වෙන්න මහත්තයා නිසාත් වැඩි දෝස්මුරයක් වැටුනේ නැත. දැන් අප ගමනේය.


මෙම වාහනයේද යම් යම් දෝෂ ඇති බවත් වෙනත් වාහනයක් ගමන සඳහා සපයා ගත යුතු බවත් රියදුරු මහතා වරින් වර මා හට සිහිපත් කර දුන්නේය. වාහනය මාරු කරගැනීම ඔවුන්ගේ කාරියකි. වාහන මාරුව බත්තරමුල්ල ආසන්න ස්ථානයකදී සිදුකිරීම වඩා හොඳ බව පමණක් අපගේ මතය වූයේ අපගේ අවසන් සගයා වූ වන්නී කණ්ඩායමට එක් වීමට නියමිත වූයේද ඒ ආසන්න ස්ථානයකින් වූ නිසාය. අදාළ ස්ථානයේදී වන්නීද වාහනයට ගොඩ විය.


දැන් අප ගමන් ගන්නා රථයේ රියදුරු තැන කඩිමුඩියේ අනෙක් රියදුරු මහතෙකු හා කතාවේ යෙදෙයි. ඔවුන් දෙදෙනාගේ කතාවෙන් අප හට පැහැදිළි වූයේ එම රියදුරු මහතා පැමිණිය නොහැකි බවක් පවසන අයුරුය. රථයේ රියදුරු මහතා අප සමග කියමින් ඔහු වැඩ කරන ආයතනයට සහ අනෙක් රියදුරාට බැන වැදෙන්නට පටන් ගත්තේය. ඉන් පසු ඔහු අකමැත්තෙන් මෙන් ඉදිරිය බලා රථය පදවාගෙන ගියේය. ඒ වෙද්දී අප කඩුවෙල හරහා ගොස් නුවර පාරට අවතීර්ණ වූවා පමණි. චුරු චුරු හඬින් ඇදවැටෙන වැස්සේ අඩුවක් පෙනෙන්ටද නොමැත.


පොරොන්දු වූ රථය නොපැමිණි බැවින් අප ගමන්ගත් වාහනය මී මුරේ මාර්ගයේ යා හැකිද නොහැකිද යන්න ගැන කතා බහක්ද අප පිරිසේ සිටි දැනමුත්තන් අතරින් මතුවෙමින් පැවතිණි. ඔවුන් ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් වාහනයේ ෆොග් ලයිට් නොමැති බව පැවසුවේ රියදුරු තැනය. එහිදී දැඩි ලෙස අදහස් දැක්වූ පෙරා කියා සිටියේ ෆොග් ලයිට් නොමැතිව එහි යා නොහැකි බවකි. රියදුරු මහතා රථයේ වේගය මදක් බාල කරද්දීම වාගේ ෆොග් ලයිට් සම්බන්ධව මගේ සහ ගලාගේ හඬ අවධි විය. ඉන් මදක් පසුබට වූ රියදුරු මහතා එය එතරම් ගැටළුවක් නොවන බව දන්නා නිසාදෝ වේගය බාලකර තිබූ රථයේ වේගය තරමක් වැඩි කළේය. ඉන් පසුව පෙරාගේ ඊළඟ ප්‍රශ්නය වූයේ මෙහි ෆෝ වීල් තිබේද යන්නයි. රියදුරු තැනගේ පිළිතුර වූයේ එහි ෆෝ වීල්ද නොමැති බවය.


එහිදී වහාම සභාව මැදට පැනගත් පෙරා "මේ වාහනේ නම් මී මුරේ යන්න බැහැ, ෆෝ වීල් නැතුව කොහොමද මීමුරේ යන්නේ" කියා බොහෝ වැදගත් බවක් ආරූඩ කරගෙන පැවසීය. එසේ පවසා වැදගත් ලෙස පපුව හරහා අත්දෙක බැඳගෙන නිහඬ විය.


අඬන්න සිටි මිනිහාට ඇඟිල්ලෙන් අනිනවා කියන්නේ මේවාටය. රියදුරු තැනද හැකිවෙර යොදා දැඩි බ්රේක් පහරක් ගසා වෑන් රථය පාරේ අයිනකට කර නතර කලේය. එවැනි මෝඩ කතාවක් මෙවැනි මොහොතක කවුරුන් හෝ කියාවියැයි සිහිනෙකින්වත් සිතාගත නොහැකි වුවත් පෙරා නිර්ලොභීව එම ක්‍රියාව සිදු කළේය.

එසේනම් අපට වෙනත් වාහනයක් සොයාගෙන මීමුරේ බලා යන මෙන් රියදුරු තැන පවසා සිටියේය. ඔහු ඒ වනවිට වාහනයේ එන්ජිමද ක්‍රියාවිරහිත කොට තිබිණි. ෆෝ වීල් සහ ෆොග් ලයිට්  කෙසේ වෙතත් මේ මළ පාන්දර වෙනත් වාහනයක් සොයා ගැනීම පවා ප්‍රායෝගිකව කළ නොහැකි දෙයකි.

එවේලේ මට ඇති වූ කෝපය කෙසේ හෝ පාලනය කරගත් මා විසින් දැඩි සංයමයකින් යුතුව පෙරාගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියේය. ගියවර (සතියකට හෝ දෙකකට පෙර) ඔවුන් ගිය වාහනයේ ෆෝ වීල් තිබුනාද කියා මා ඇසුවෙමි. එයට පිළිතුර වූයේ "නැත" යන්නය. කළින් වර ෆෝ වීල් නැතුව ගියා නම් මෙවර අපට යාමට බැරි වීමට හේතුව කුමක්දැයි ඇසූ පසු පිළිතුර වූයේ ගියවර කිහිප වතාවක් වාහනය තල්ලූ කිරීමට සිදු වූ බව පමණි.


වානහය හදිසියේ තල්ලූ කිරීමට වුවහොත් එසේ කිරීමට කිසිම බාධාවක් නැති බව පැහැදිළිය. සියල්ලටම පෙර මීට මුල්වූ පෙරා හට සියල්ල බොහෝ අලංකාර වූ භාෂා භාවිතයකින් යුතුව සියල්ල පහදා දීම සිදුවිය. ඉන්පසුව එළඹියේ රියදුරාගේ වාරයයි. ඔහු හට බැන වැදීමට සිදු වූයේ ඔහු අයත් සමාගම එවීමට පොරොන්දු වූ වර්ගයේ රථයක් අප වෙත නොඑවීම සම්බන්ධව සහ ඔවුන්ගේ වැරදි සඳහා අප හට වන්දි ගෙවන ලෙස පැවැසීම නිසාත්ය.


අප වාහනය ඉල්ලු අවස්ථාවේ එම පහසුකම් දෙකම සහිත රථයක් ඉල්ලු බවත් ඒවා නොමැති රථයක් එවීම අපගේ ප්‍රශ්නයක් නොවන බවත් ඉතා පැහැදිළිව ඔහු හටද පහදා දීමට සිදුවිය. එමෙන්ම මේ මොහොතේ වාහන සෙවීම කළහැකි ආකාරයද ඔහුගෙන්ම විමසීමි.

බැන වැදීම් කිහිපයකින් පසුව ගමන පිටත් වීමේ මූලික කරදර සියල්ල පාහේ හමාර විය. සුළු වේලාවකින් රථය පණ ගන්වාගෙන ගමන පිටත් වීමට රියදුරු මහතා ක්‍රියා කළේය.

පසුව හෙළි වූයේ මෙම රථය අප කතා කල සමාගමට අයත් එකක් නොවන බවත් වාහන නොමැතිකම නිසා වෙනත් ආයතනයකින් කතාකොටගත් වාහනයක් බවත්ය. කෙසේ හෝ පාන්දර දෙකට පමණ වෙනත් වාහනයක් සොයා ගැනීමට සිදු වීමේ අභාග්‍යයෙන් අප මිදුණි.


ඒ වරද සම්බන්ධව නිසි පරිදි පෙරා හට බැන වැදීමටද නොහැකි වූ බව මා අදද පවසන්නේ අවංක කණගාටුවෙනි. මන්ද යත් එවැනි වේලාවක එවැනි මෝඩ කතාවක් කීම සිහි කල්පනාවක් ඇති මිනිසෙකුට කළ හැකියැයි මා විශ්වාස නොකරන නිසාත් වාහන සෙවීම බාර ගත් ඔවුන් ඒ සඳහා නිසි දායකත්වයක් නොදුන් නිසාත්ය. ඒ නැතත් තත්ත්වය නොදැන එවැනි ප්‍රකාශයක් කළද එයද වරදකි. මන්ද යත් ඒ වේලාවේ කළහැකි වෙනත් යමක් නොමැති නිසාත්ය.


මදක් දුර ගිය වාහනය තේ උගුරක් බීම සඳහා රාත්‍රී කඩයක නතර කළේය. වාහනයේ යන අතරමගදී කෑමට සැන්විච් සාදාගෙන එන මෙන් පෙරාට පැවසූවේ රාත්‍රියට ඇහැරී සිටින විට දැනෙන බඩගින්න අත්දැක ඇති නිසාය. නමුත් සුනේත්‍රා සහ සඳරේකා යන දෙදෙනා එය සම්පූර්ණයෙන් සිදු නොකළ බවක් කියු පෙරා වෙන වෙනම ගෙන ආ පාන් පෙතිත්, සැමන් සහ ළුෑනු මිශ්‍රණයක් අප වෙත දිගහැරියේය. සැන්ඩ්විච් පෙති තුන හතරක් කෑමෙන් මැදියම් රාත්‍රියේ දැනෙන බඩගින්න නිවා ගැනීමට බලා සිටි අවස්ථාව ගිළිහී ඇත. එමෙන්ම සිතේ ඇතිවූ අවුල් සහගත තත්ත්වය තවමත් පහව ගොස් නොමැත. කාගේදෝ තේ කෝප්පයකින් උගුරක් පමණ බී නැවතත් වාහනයට ගොඩ වී බලා සිටියේ මිතුරන් පැමිණෙන තෙක්ය.

දැන්ම පිටත් වීමට හැකියාවක් නොමැති බවක් කියවුනේ ඒ අතරතුරේදීය. රාත්‍රී ආහාරය ලෙස වස්සා සාදා දුන් සුප් බී සෑදුනු බඩේ අමාරුවක ප්‍රතිඵලය ගෝනා අත්විඳිමින් සිටියේය. එනිසා සිදු වූ ප්‍රමාදයකි මෙය.

නැවත ගමන් ආරම්භ කළ පසු රියදුරුගේ මුහුණේ ඇඳී ඇති නිදිමත ස්වභාවය අප සිත් තුළ බියක් ඇති කරවීය. එනිසාවෙන් ඉදිරිපස අසුනේ සිටින දෙදෙනා වෙත දැඩි වගකීමක් ඇති බවද පෙන්වා දුනිමු. ගෝනා මල්ලී කිසිදු අපහසුවකින් තොරව එම වගකීම ඉටු කළේය. ඔහු කතා මල්ලක් සේ රියදුරු සමග අනන් මනන් කියවමින් ගමන් කරයි.


කවුරුත් ගණන් නොගත් පාන් මල්ල සහ සැමන් සහිත භාජනය අප අසළම තිබීම නිසාත් බඩගින්න දරුණු වූ නිසාත් මම සහ හනී බඩගින්න අඩුවනතුරු පාන් පෙති කිහිපයක් කැවෙමු. ඒ කඩාගත් පාන් කැබලි සැමන් මිශ්‍රණයේ හොද්දක ඔබාගෙන කන ආකාරයෙන් කෑමෙනි. අනතුරුව පිටිපස සිටින පිරිසටද පාන් කෑමට අශාව ඇති විය.

උදෑසන හත පමණ වන විට හුන්නස්ගිරිය වෙත පැමිණීමට අප සමත් විය. එහිදී කොළඹින් මිළදී ගැනීමට නොහැකි වූ භාණ්ඩ වර්ග කිහිපයක් මිළදී ගත්තෙමු. රියදුරු මහතා විසින් වාහනයේ ගෙවී ගිය ටයරයක් ඉවත් කර ඔහු රැගෙන ආ වෙනත් ටයරයක් සවි කර ගැනීමට කල් ගන්නා අතරතුරේදී අප පිරිස තේ පානයකින් සහ වඩේ වැනි සුළු කෑම වේලකින් සප්පායම් වීමු. නමුත් ටික වේලාවකින් මා හට වැටහී ගිය තවත් වැදගත් කාරණයක්නම් එම රථයේ ඇත්තේ අමතර රෝදයක් නොව අමතර ටයරයක් පමණක් බවය. ඒ බව දුටුවේ මම සහ ගලා පමණකි. ඒ අප දෙදෙනා එහි වූ ඉන්ධන පිරිවුම්හලේ ඇති වැසිකිළියේ සිරි නැරඹීමට ගොස් එන අතරතුරේදීය.

අමතර රෝදයක් ඇතත් නැතත් වනගත දුෂ්කර ගමකදී විය හැකි දෑ බොහෝය. කෙසේ නමුත් මෙය අන් අයට කීමෙන් සිදු වන්නේ බියක් ඇති වීම පමණක් නිසා එය කීමෙන් වැළකී සිටීමට අප දෙදෙනා තීරණය කළෙමු.

කෙසේ හෝ මී මුරේ යන ගමනේ ඊළඟ කොටස ආරම්භ විය. කෝබට් කපොල්ල දක්වා ඇති මාර්ගයේ තැනින් තැන තාර දමා ඇතත් එය ගැළවී විනාශ වී ගොස් තිබුණි. ධාවනය ඉතාම අපහසුය. විශාල කඳු කිහිපයක් තරණය කිරීමටද සිදුවිය.
නම මතක නැත


Autumn Leaf නම් සමනළයෙක්, සොයා ගැනීමට අපහසු වර්ගයකි


කෝබට් කපොල්ලේදී ටික වේලාවක් නතර වී ඡායාරූප ගැනීමද එහා මෙහා යමින් පරිසරයේ රස විඳීමටද කාලය ගත විය. පැයකට පමණ ආසන්න කාලයකින් අනතුරුව නැවතත් ගමන් ඇරඹීමේදී භූමියේ විෂමතාව මැනවින් කැපී පෙනුනි. තාර දැමූ බවට ඉතිරි වී තිබුනේ සළකුණු කිහිපයක් පමණි. කෙසේ නමුත් කයිකාවල දක්වා ගමනේදී ඉතාම අපහසුවකින් එගොඩ විය යුතු බවට කිවහැකි ස්ථාන එතරම් නොවීය. සැබැවින්ම අපහසු බවක් පෙනෙන ස්ථාන කිහිපයකදී එතරම් අපහසුවකින් තොරව රථය එතෙර වූ අවස්ථාද විය. නමුත් නගරයේ පාරවල් වල පමණක් ධාවනයේ යෙදෙන රියදුරෙකුගෙන් බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා ඉතා වැඩි දක්ෂතාවයක් රියදුරු මහතා ප්‍රදර්ශණය කල බව අපගේ පොදු අදහස විය.


මෙලෙසින් නොයෙකුත් අපහසුතා මධ්‍යයේ කයිකාවල ආසන්නයට පැමිණි විට මාර්ගයේ ස්වභාවය තරමක් හොඳ අතට හැරී තිඛෙනු දක්නට හැකි විය. නමුත් නියම අපහසුතාවය දක්නට හැකි වූයේ ඉන් අනතුරුවය. එක් ස්ථානයක දී ගමේ ගහැණියක් අප හා පැවසූයේ එම ස්ථානයෙන්  එහාට යාමට නොහැකි බවය. අළුතෙන් දැමූ කොන්ක්‍රීටයක් අපගේ ගමනට අවහිරයක් වී ඇත. අප හට කාරණය කියූ ගැමිලියගේ නිවස එම ස්ථානයේම වූ අතර අප පැමිණි වාහනය රියදුරු සමග එහි දමා යාම හැර වෙනත් විකල්පයක් නොවීය. ඔහුගේ ආහාර වේල් කිහිපය සැපයීමද ඇයටම පැවරූ අප ඒ සඳහා යම් මුදලක් ගෙවීමටද එකඟ විය. මෙවිට වේලාව පසුවරු 1:30ට පමණ ආසන්න වී තිබුණි.


එම අවස්ථාවේදීම වාගේ ජීප් රථයක් මී මුරේ දෙසට අප පසුකරගෙන ගමන් ගත් අතර එය ගියේ කෙසේදැයි විමසීමට මම වන්නී සහ හනී යන තිදෙන ඉදිරියට ගියෙමු. ටික වේලාවකින්ම ගැහැණුන් දෙදෙනෙක් අධික කෝපයෙන් යුතුව දින දෙක තුනක් පැරණි කොන්ක්‍රිටය හරහා ගමන්ගත් ජීප් රථයේ පිරිසට බැණ වැදෙමින් අප ඉදිරියට පැමිණියෝය. එය හරහා යනවානම් මැම්බර් මහතාගෙන් අවසර ලබා ගත යුතු බවක්ද කියමින් ඔවුන් අප පසු කරගෙන ගියෝය. පෙරේදා දැමුවායැයි පැවසූ කොන්ක්‍රීටය මේ වන විට හොඳින් වියැළී ඇති බව පෙනෙන්නට විය. එය හරහා යාමට අවසර ගැනීමේ හැකියාව ජීප් රථය නිසා තවත් වැඩි විය. අප ඉදිරියට පැමිණි ගැහැණුන් දෙදෙනා නියමාකාරව අපගේ පිරිස ඉදිරිපිටදීද හැසිරී ඇති බව පසුව දැන ගන්නට ලැබුණි. වෑන් රථය නතර කල නිවස ඉදිරිපිටදීද නතර වූ ඔවුන් ජීප් රථයේ ගිය පිරිසට බැන වැදී ඇත.


මෙයින් සිදු වූයේ පයින් යාමේ අදහස අප පිරිසට ඇති වීමය. අප ආපසු පැමිණෙන විටත් බෑග් මළු සහ කුඩා ගෑස් ටැංකියද එල්ලා ගත් අප කණ්ඩායම ඉදිරියට පැමිණෙමින් සිටියහ. අප තිදෙනාද පැමිණ ඉතිරි බෑග් මළු කිහිපයත් රැගෙන ඉදිරිය බලා පිය මැන්නෙමු. එහි සිට කයිකාවල හන්දිය දක්වාද කිලෝමීටර දෙකක පමණ දුරක් ඇති බව දැනගන්නට ලැබුණි. එම දුර ගෙවා යාම පවා ඉතා වෙහෙසකර කටයුත්තක් විය. පෙරාගේ යෝජනාව අනුව කිලෝමීටර ගණනක් කැලේ මැදින් මෙම බඩු මුට්ටු තොගයම ඔසවාගෙන යාමට සිදු වූයේනම් කෙසේ වන්නට තිබුණිද. කයිකාවල බොහෝ සුන්දර ස්ථානයකි. නමුත් අප එහි පැමිණෙන විටම වාගේ තවත් වෑන් රථයක් අපට පමණක් පැනගත නොහැකි කඩුල්ලක් වූ නව කොන්ක්‍රිටය හරහා පැමිණ කයිකාවලට හන්දිය දක්වාම පැමිණියේය. කළින් පැමිණි ජීප් රථයද එහි විය.


අපහට පමණක් සාධාරණ වන්නට සිදුවීම සම්බන්ධව බොහෝ සිත් අමනාපයෙන් යුතුව දිවා ආහාරය පිසීමේ කටයුතු සූදානම් කළෙමු. ඒ අතර ඇලේ බැස දිය නෑමටද අමතක නොකළෙමු. හාල් සෝදා ලිප තබා එදින දිවා ආහාරය වශයෙන් පරිප්පු සහ කරවල බැදුමක් පිළියෙල කිරීමේ මූලික කටයුතු පිළියෙල කළෙමු. ටික වේලාවකින් මම සහ ගලා දෙදෙනා අප පැමිණි වෑන් රථයද මෙහි රැගෙන ඒමට පිටත් විය. අධික ලෙස දහඩිය වගුරවමින් වෑන් රථය වෙත පැමිණෙන විට රියදුරු මහතා හොඳ නින්දක පසු විය. ඔහු ඇහැරවාගෙන එහි සිටි කාන්තාවටද අප යන බව පවසා කයිකාවල බලා වෑනය රැගෙන යාමට අප සමත් විය.


අප ආපසු පැමිණෙන විට පරිප්පු හොද්ද ලිප මත තබා තිබුණි. පරිප්පුව වඩා හොඳ පරිප්පු ඇට වෙන්ව පෙනෙන සේ (බාගෙට අමුවෙන් මෙන්) පිසූ විට බව පැවසූ කාන්තා පාර්ශවය කෑම පිසීමේ කටයුත්තෙන් වහාම නෙරපා හැරීමට අපි කටයුතු කළෙමු. ඒ අතරවාරයේ කරවල බැදුම සෑදීම සඳහා අවැසි අඩු වැඩියද සකසා ගත්තෙමු.

ගමේ පොඩි එව්වෝ දෙන්නෙක් දිය ඇල්ල අසළ දිය නාමින්


මේ අපේ සෙට් එක, මම නැත


මේ ඉන්නේ දඟලන දළඹුවෝ රංචුවක්. උන් ගාවට ගිහිං අපි කතා කලත් උන් ගැස්සිලා වගේ නටන්න ගන්නවා

ආහාර පිසෙමින් පවතින අතරතුරේදී සියළු දෙනාම පාහේ ස්නානය කිරීමද නොකඩවා සිදු කළහ. නෑම අවසානයේ දැනෙන අධික බඩගින්නක්ද සමගින් සියල්ලෝම ගොඩ පැමිණියෝය. එම බඩගින්න නිවා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. අප රැගෙන ගොස් තිබුනේ පිඟන් හයක් පමණක් නිසා කෑම ඛෙදා ගැනීම සාමූහිකව සිදු කළයුතුය. ප්‍රශ්නයක් නැත අප බත් පිසීමට රැගෙන ගිය විශාල භාජනයේ පියන අප පස් හය දෙනෙකුගේ පොදු පළඟාන බවට පත් විය. කෙසේ හෝ සියළුම දෙනා කිහිප වර බැගින් බත් ඛෙදාගෙන කෑ අතර අන්තිමේදී අප කෑ ප්‍රමාණය ඇතිද මදිද යන්න ගැන පවා වැටහීමක් අප සතුව නොවීය.


දිවා ආහාරයෙන් අනතුරුව සවස 3:30 ට පමණ ආසන්න වේලාවකදී මී මුරේ බලා ගමන් ආරම්භ කළෙමු.


මී මුරේ ගම්මානය බලා යෑම ඉතිරි කොටසින්....

Monday, 1 December 2014

අපේ කෙළි සහ මගේ මැරකම්...

වයස අවුරුදු පහ හය වීමටත් මත්තෙන් සුන්බුන් මතින් අහුළා ගත් පරණ සෙරප්පු දෙකකින් කපා ගත් රෝද දමා සෑදු කුඩා කරත්තයක් හෝ ඉවත දැමුණු මෝටර් බයිසිකල් ටයරයක් මාගේ ප්‍රධාන ක්‍රීඩා භාණ්ඩයන් විය. මුල් කාලයේදී වතුරානේ අයියා විසින් මා හට අවැසි කරත්ත සාදා දුන් අතර පසුව මා විසින්ම ඒවා තනාගත හැකි මට්ටමකට පත්විය. සමහර දින වලදී මාරි පෙට්ටි වැනි ඝණකම වැඩි කාඩ්බෝඩ් වලින් හැඩ කපා තට්ටුව ගසා බර පටවාගෙන යා හැකි ලෙස සෑදූ ලොරි හෝ බස් රථයක සාඩම්බර හිමි කරුවකු බවටද අප පත් වේ. එම කාඩ්බෝඩ් කැබලි වල ඇති සිදුරු තුළට රබර් කිරි දමා සවිවෙන්නට ඉඩහැර ඒවා වෙරගැන්වීමේ ක්‍රමයක්ද අප සොයාගෙන තිබුණි. තවත් කලක් යද්දී ගරාජයකින් හෝ වින්කලයකින් අහුලාගත් ස්ප්‍රින් කොටස් “ෂොක් ඇබ්සෝබර” වශයෙන් යොදා සාදාගත් වාහන කිහිපයකම හිමිකරුවෙකු වීමට මා හට හැකිවිය. එවැනි එක් වාහනයක් කන්ටේනර රැගෙන යන වර්ගයේ අනුරු රථයකි. එය එහි නියම වාහනයේ පරිදිම ඉදිරිපස කොටස වෙනම පැදවිය හැකි වාහනයකි. මා සෑදු බොහෝ වාහන සුක්කානමක් යෙදු ඒවා නොවීය. ඉදිරිපස රෝද දෙක දෙපසින් යෙදු ඇණ වල ගැටගැසූ සවිමත් නුලක් මගින් ඇදගෙන යාමට හැකි මෙන්ම, රෝද හැරවිය හැකි වර්ගයේ ඒවාය.
පින්තුරය: httpwww.ucetk.orgmeet-the-children

ඊට අමතරව රණ බටනමින් අප විසින් හඳුන්වනු ලැබූ බට වර්ගයෙන් සෑදුණු බට තුවක්කුවක් අතේ දරමින් එය සැබෑ තුවක්කුවක ස්වරූපය ඇතිව හැඩ වැඩ කරවීමට දැක්වූ ආයාසයද මාගේ ඉමහත් තෘප්තියට හේතු විය. ඒවාට අප උණ්ඩ ලෙස දැමුවේ බලුදං නමින් අප හැඳින්වූ ගෙඩි වර්ගයයි. ගෙඩි පොකුරක් ලෙස හැදෙන එය වෙනත් ප්‍රදේශ වල වෙනත් නමකින් හඳුන්වනවාද යන්න නොදනී. කෙසේ වෙතත් ඉන් වදින පහරකින් තද වේදනාවක් ඇතිවේ.


පහත ලින්කුවෙන් බලුදං සම්බන්ධ වැඩි විස්තර දැනගත හැක.

මෙම සරළ සහ අප විසින්ම සාදා ගන්නා ක්‍රීඩා භාණ්ඩ මගින් අප ලද තෘප්තිය මුදල් දී ලබා ගන්නා අරුමෝසම් ක්‍රීඩා භාණ්ඩ මගින් ලබා ගත නොහැකිය යන මාගේ අදහසට බොහෝ දෙනා එකඟ නොවනවා වන්නට පුළුවන. එහෙත් අදටත් මගේ අදහස එයම වේ. ඒවා සෑදීමට සහ අමුද්‍රව්‍ය සොයා ගැනීමට අප ගත් උත්සාහයට සරිළන පරිදිම අපි ඒවාට ආදරය කළෙමු. හොඳින් රැක බලා ගත්තෙමු. ගෙවීමට පෙර පටියක් කැඩුණත් සෙරෙප්පු දෙකක් විසි කරන පුරුද්දක් එදවස මිනිසුන් අතර නොවීය. කම්බියක් ගැටගසා හෝ එය තව දුරටත් පාවිච්චියට ගැනීමට උත්සාහ කිරීම කාගේත් උත්සාහය විය. එනිසාවෙන් රෝද කැපීමට සුදුසු හොඳ මට්ටමේ රබර් සෙරෙප්පු සොයා ගැනීමට සිදුවූ වෙහෙස අපමණය.

මා හත වසරේ පමණ ඉගෙන ගනිමින් සිටියදී පැරණි චොපර් බයිසිකලයක සාඩම්බර හිමිකරුවකු වීමට මා හට අවස්ථාව ලැබුණි. කවුරුන් හෝ පාවිච්චි කර ඉවත දැමු පැරණි බයිසිකලයක් තාත්තා රැගෙන ආ ඒ දිනය මට හොඳින් මතකය. එහි යකඩ රාමුව පවා දිරාගොස් තැන් දෙකකින් කැඩී ගොස් තිබුණි. එය වෙල්ඩින් කර පැදීමට හැකිවන පරිදි ඉතිරි අළුත්වැඩියා කටයුතු සිදු කර ගත්තේ පියදාස මාමාගේ වින්කලයෙනි. එසේ කලත් බොහෝ දිනවලදී එහි කිසියම් හෝ වෙනත් දෝෂයක් ඇතිවේ. බයිසිකලයේ අළුත්වැඩියා කටයුතු කිරීම සඳහා පියදාස මාමාගේ වින්කලයට යනවාට වඩා මා වැඩි කැමැත්තක් දැක්වුයේ චුටි මාමාගේ වින්කලයට යාමටය. මේ චුටි මාමා කළින් කතාවේ සඳහන් වූ අපේ අම්මගේ මල්ලී නොව වෙනත් අයෙකි. එමෙන්ම ඔහුද අපේ නෑදෑයෙකි.

පාසල් ඇරී ගෙදර පැමිණි පසු හෝ නිවාඩු දිනවල බයිසිකලයේ අළුත්වැඩියා කටයුතු සඳහා අම්මාගෙන් රුපියල් දහයක් හෝ විස්සක් රැගෙන මා පිටත්ව යන්නෙමි. වින්කලය ඉදිරිපස තිබු බැංකුවේ බොහෝවිට එහි පැමිණි පාරිභෝගිකයෙකු හෝ අසළ ජීවත් වු අපගේ නෑදැයින් අතරේ වූ ඉහ නිකට පැසුණු වැඩිහිටි කවුරුන් හෝ පැමිණි සිටිනු දැකගත හැක. වැඩිපුරම පාහේ එහි පැමිණෙන කරුණාදාස ආතා හැමවිටම පාහේ පවසන්නේ වික්ටෝරියා රාජිණියගේ පුරාජේරුවය. වයසින් පොඩි එකෙකු වුවත් කුමන හෝ පෙර ජන්මයක පුරුද්දක් නිසාවෙන්දෝ මට මේ කාලකණ්නි පවුලේ උන් පෙන්නන්නට බැරිය. උන් දකින විටද ඇඟේ මාළු නටන බවක් දැනේ. ආතාගේ කතා අතරේ වූ පැරණි කතා ඇසීමට ආසා නිසාවෙන්ම ඔහු කියන සියල්ලක් නිහඬව අසා සිටීම මාගේ පුරුද්දක් විය. යම් කිසිවක් විස්තර ඇතිව අසා ගැනීමට ඇවැසිනම් පමණක් අපි ඔහුට බාධා කරන්නෙමු. වරක් ඔහු රැජිණගේ අහවල් හමුදාව මෙහි සිටි කාලයේ වූ කතාවක් කියන්නේය. ජපනුන් බෝම්බ දමන සමයේ පැරෂුට් එකකින් බිමට බට හමුදා භටයකුගේ පැරචුට් එකක් කෑලි වලට කපා කමිස මැසූ කතාවක්ද ඒ අතර විය. මොහු පැරණි කතා රස කරමින් කියන්නෙක් වුවද  හොඳ බේගල් කාරයෙක් බවද අප දැන් සිටියෙමු. ඔහු කියන සමහර කතා අසන චුටි මාමා, ආතා අහක බලනතුරු සිට මා දෙස බලා ඔලෙක්කුවට සිනාසෙයි. කෙසේ වෙතත් කියූ කතා අතර සත්‍ය කරුණු ස්වල්පයක් හෝ ගැබ් වන්නට ඇත.

තවත් දිනෙක ඔහු කියා සිටියේ ලංගම ට්‍රයල් ගිය අවස්ථාවේදී සිදුවීමකි. ට්‍රයලය යන අතරතුරේ හැටට හැටේ පාගා යනලෙස පවසා ඇත්තේ ඉන්ස්පෙක්ටර තැනය. එකවරම බසය ඉදිරියට මිනිසෙකු පනින ආකාරයට පඹයකු විසි කරන බවත් එහිදී ක්‍රියා කරන ආකාරය අනුව රියදුරු පදවිය ලබනවාද නැද්ද යන්න තීරණය කළ බවත්ය. බස් එක අනතුරුදායක ලෙස එහෙමෙහෙ කිරීම රැකියාව නොලැබීමට හේතුවන බවත්, පඹයා හැපුනාට තව ඉදිරියට ගොස් බ්රේක් කර බසය නතර කර ගැනීම අවුලක් නැති බවත්, පඹයා බසයේ හැප්පීමට පෙර බසය නතර කර ගැනීම හොඳටම හොඳ බවත්ය.

එමෙන්ම මාගේ බයිසිකලය සහ වින්කලයේ අළුත්වැඩියා සඳහා රඳවා ඇති අනෙකුත් බයිසිකල් පෙන්වා “මේව මොනවද, එංගලන්තේ හදපු හම්බර්, බීඑස්ඒ, රැලේ බයිසිකල්නේ බයිසිකල්” කියමින් ඔහු සුද්දන්ට ආවඩයි. මේවා මට වහකදුරු මෙනි. සුද්දන් සෑදු භාණ්ඩ වල ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්නයක් නැත. මට ඇත්තේ උන් සමග කේන්තියකි. එය අදටත් යම් පමණකට මාතුළ පවතී.
මොහුගේ කතා ඇසීම නිසා අප විඳි ලොකුම ගැටළුවක්ද විය.  කතා කරන අතරතුරේ ළඟ සිටින කෙනාට වැළමිටෙන් අනින අමණ පුරුද්දක් ඔහු සතුවිය. එය මළ කරුමයකි. ඔහුගේ කැහැටු වැළමිට ඇඟේ ඇනෙන විට කතා එපා වී තරු විසිවේ. නමුත් පරණ කතා ඇසීම නතර කිරීමටද නොහැක. මෙවැනි අපුරු සිද්ධීන් මගින් මා කුඩාකළ පෝෂණය විය.

මීට අමතරව බාල වියේදී මා අවට පරිසරයෙන් සෑහෙන දෑ උකහා ගන්නට සමත්විය. ඒ අත්දැකීම් අතර මහා ප්‍රමාණයේ මැරෑටි කියාවන් කිහිපයක් ඇත. ඒවා යළියළිත් සිහියට ඒම විටෙක වධයක් වුවත් ඒවාට මා මුහුණ දිය යුතුය. මා හට හොඳින් මතක තිබෙන අතීත කතා අතුරින් එම සිද්ධීන්ද අමතක නොවී තිබීම වරෙක අපහසුවකි. කෙසේ වුවත් ඒවාද යම් ආකාරයක අත්දැකීම්ය.

මම කුඩාකළදී වන ජීවීනට සහ අනෙකුත් නිවැසි සතුනට හිතකර නොවන බොහෝ දෑ කළ අයෙක්මි. කුරුල්ලන් විද මැරීම, ගැඩවිළුන් අල්ලා ඇද දෙකට කැඩීම, කූඩැල්ලන් අල්ලා නොපිට හැරවීම, දිය කූඩැල්ලන් අසු වූ විට බිම දමා පිහියෙන් කපා දැමීම, මාළුන් ඇල්ලීම, මදුරුවන් පණපිටින් අල්ලාගෙන එක පිහාටුවක් කැඩීම, බත්කුරන් අල්ලා නැට්ටේ නූලක් ගැටගසා යන්නට හැරීම, ගැරඬින් අහර කුක්කන් ඇස් ගුල්ලන් හැර දකින සියළුම විසකුරු බවක් පෙනෙන සර්පයින් මරා දැමීම (නයින් හැර; උන්ට මා බියක් දැක්වීය. නමුත් 2000 වසරේදී ගෙට ඇතුළුවීමට උත්සාහ දරු එකෙකු මරා දැමීමට සිදුවිය.), හොර බල්ලන් බළලුන් හට දැඩි දඬුවම් දීම වැනි නොයෙකුත් ක්‍රියාවන් ඒ අතර විය.

ඒවා එසේ තිබියදීත් මා පරිසරය දෙසට නිරතුරුවම පාහේ ඇස ගසාගෙන සිටීම මගින් මා ලද හොඳ ඇත්දැකීම්ද බොහෝය. විටෙක අප තෙල් කුහුඹින් යන මගකට කෑම කැබලි දමා උන් දෙස බලා සිටින්නෝය. උදේ පටන් ගන්නා මේ කාර්යය නතර කරන්නේ අපගේ ආහාර වේල් ලබා ගැනීමට පමණි. තෙල් කුහුඹින් අතර විශාල ප්‍රමාණයේ උන්ද ගමන් කරති. ඒ උන්ගේ නායකයින් හෝ රැජිණන් වියහැක. ඒ ගැන මා නොදනී. අප දිගු කරන කුඩා ඉරටු කැබලි වැනි දෑ වල එල්ලී ඒවා විකා දැමීමට උත්සාහ කරන බැවින් අපි සිතුවේ උන් නායකයන් වියයුතු බවය. පේලියේ ගමන් කරන විශාල කුහුඹින් “මු මගේ... මූ මගේ...” කියමින් මම හෝ මල්ලී උන්ගේ අයිතිය සතුකර ගනී. එවිට උගේ ගමන්මග නිරීක්ෂණය කිරීම අයිතිකාරයාගේ වැඩකි. රෑනේ ගමන්කර උන් නොපෙනී ගියපසු වෙන එකෙකු සොයා ගැනීම සිදුවේ. වරෙක අපි උන්ගේ මග හරස් කරමින් කුඩා ගල් කැටයක් හෝ එවැනි යමක් දමන්නෙමු. එවිට උන් මාර්ගය වෙනස් කර යාමට හෝ ඒ මතින් නැග ගමන් කරති. කුඹි පේළිය ගමන්කර හමාර වූ පසු එහි ඉතිරි වන්නේ සාපේක්ෂව ගැඹුරු කාණුවකි. උන් මෙලෙස පේළි ගැසී කොහි යනවාදැයි අපට සිතාගත හැකි නොවීය.

වයසින් වැඩෙද්දී මා අතට කැටපෝලයක් ලැබීම අවාසනාවන්ත සිදුවීමක් ලෙස මට දැන් හැඟෙන්නේය. ලැබීම කියා කීවාට මා හට ඒ කිසිවක් කවුරුවත් සාදා දුන්නේ හෝ ගෙනත් දුන්නේද නැත ඒවා මා විසින්ම සාදා ගන්නා ලද ඒවාය. කැටපෝල සෑදීමේදී මට තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ ඒවායේ පටි ගල් වලට තුවාළ වී ඉක්මනට කැඩී යාමය. කළින් වතාවක් කියූ පරිදි මා හට රත්තා නම් මිතුරා විසින් ලබා දුන් එළුසම් කැබැල්ලක් අධාරයෙන් එම ගැටළුව විසඳා ගැනීමට හැකි විය. කැටපෝලය නිසා කුඩා කුරුල්ලන් කිහිප දෙනෙකු මරු දැකීම මා අතින් සිදු වූ ලොකු වරදකි. ඒ ගැන මා කළින්ද කියා ඇත.
අනතුරුව යම් යම් අවස්ථා වලදී සතුනට හිරිහැර වන දෑ මා අතින් සිදු වූයේ එළෙස නොකරම බැරි වූ අවස්ථා වලදී පමණකි. ගෙට රිංගා ගත් හොර බළලුන් බල්ලන් සර්පයන් මීයන් වැනි සතුන් ඉන් අනතුරුව මාගේ ප්‍රහාරයට පාත්‍ර විය. නමුත් කාලයාගේ ඇවෑමෙන් එයද හීන වී ගියේ ගෙදර සිටින කාල පරාසය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යාම නිසාය.

පෙරදී සඳහන් කල සිද්ධි කිහිපය සිදු වූ කාල වකවානුව වන විටත් කුරුල්ලන් හෝ වෙනයම් සතුන් දෙස බලා උන් ගැන සොයා බැලීම කුඩා කල පටන්ම මාගේ එක් පුරුද්දක් වී තිබුණි. එමෙන්ම කාලයාගේ ඇවෑමෙන් සතුන් සහ පරිසරයේ විවිධත්වය සම්බන්ධ විවිධ දෑ ග්‍රහණය කර ගැනීමට මා තුළ තිබූ උනන්දුව වර්ධනය විය.
Tickell’s Blue Flycatcher

White Browed Fantail
මිදුලේ හෝ අඹ ගසේ අත්තක ලැග සිටිමින් පෙඳය නටවන කුරුල්ලාද (White Browed Fantail-බැමසුදු පවන්පෙන්දා),  මිහිරි නදින් ගී ගයන කුරුල්ලාද (Tickell’s Blue Flycatcher -රත්ළය නිල් මැසිමාරා) වශයෙන් ප්‍රධාන වශයෙන් අප පවුලේ උදවියගේ අවධානය දිනා ගත් විශේෂ වූ කුරුළු දෙවර්ගයකි. මොවුන් දෙදෙනාම නොයෙකුත් අයුරින් අප සැමගේ මතක පොත් සැරසීමට වග බලා ගත්හ. සෑම දිනකම පාහේ අප අවධි වන්නේ උන්ගේ නද අසමිණි. මෙම දෙවර්ගයම අප නිවස ආසන්නයේ කැදළි තනා ගත් අයවළුන් විය. එසේම හොඳ ගායකයින් වීම නිසාවෙන් ඔවුන් අපගේ සිත් ගත්තා වීමටද ඉඩ ඇත. මීට අමතරව සාමාන්‍යයෙන් දැකගත හැකි සියළුම කුරුල්ලන් ගේ දසුනින් අප නිවස අවට පෝෂණය වී තිබීම වාසනාවක් විය. පසු කාලීනව මා කල ගණනයන් අනුව අප නිවස සීමාවේදී කුරුල්ලන් වර්ග 90 කට වඩා වැඩි ප්‍රමාණයක් නැරඹිය හැකි බව සොයා ගතිමි. එයින් අදහස් කරන්නේ වසරේ ඕනෑම දිනක එම අවස්ථාව උදාවන බවක් නොවේ. එම දත්තයන් මා වසර ගණනාවකදී දුටු දෑහි සංක්ෂිප්තයයි.

කුරුල්ලන් නැරඹීමෙන් සහ ඡායාරූප ගැනීමෙන් ලද හැකි උසස් වින්දයක් මා විසින් ග්‍රහණය කරගන්නා ලද්දේ විශ්ව විද්‍යාලයට පා තැබීමෙන් අනතුරුවය. අප සගයන් කිහිප දෙනෙකුගේ උනන්දුව මත ගොඩනැගුණු පාරිසරික සංගමයේ ක්‍රියාකාරකම් මුළදී මා ඇතුළු බහුතර පිරිසගේ විහිළුවට ලක් විය. නමුත් අහම්බයකින් මෙන් ඔවුන් සමග යන්නට යෙදුනු පාරිසරික චාරිකාවකින් අනතුරුව මාද එම සංගමයේ සාමාජිකයෙක් විය. එය නිට්ටාවටම උමතුවක් බවට පරිවර්ථනය වීම ඉතාම ඉක්මනින් සිදු විය. ඊට පෙරදීද කුරුල්ලන්ගේ හැසිරීම් රටාවන් වෙත මාගේ අවධානය යොමු වූවද ඒවා යම් මට්ටමකින් ඉහළට ඔසවා තැබීමට අප විසින් පසුව යෙදුනු චාරිකාවන් සහ යම් යම් ක්‍රියාකාරකම්ද හේතු විය.

කුඩා කළ ලද අත්දැකීම් සහ පසුකාලීනව පරිසරය වෙනස් ආකාරයකට දැකීමට හැකිවූ වටපිටාවක විසීමට ලැබීම  නිසාත් මා පරිසරයට දැක්වූ ඇල්ම කෙමෙන් වැඩුනි.
එමෙන්ම සතුන්ට හානිවන දෑ කිරීම බොහෝ දුරට අඩු වී ගියේය. ඒ වෙනුවට ජයාරූප හරහා උන් වෙත ළඟාවීමට ඇතිවූ හැකියාව නිසා පැහැදිළි වෙනසක් ඇතිවිය. නමුත් වරින්වර එහි වෙනස්කම් ඇති නොවන්නේ නොවේ.
දැන් මා පරිසරයට හා සතුනට දැඩි ලෙස ආදරය කරන සියළු සතුන්ගේ ජීවිත වෙනුවෙන් ඇපකැප වුවෙකු ලෙස වරදවා වටහා නොගත යුතුය. මම පරිසරය විඳින්නෙක් පමණකි. එමෙන්ම ඒවාට අනවශ්‍ය පරිදි අත පෙවීමට පමණක් විරුද්ධ වන්නෙමි.

අපේ ගෙදර මිදුලේ ඉඳල ගත්තු ෆොටෝ එකක්.
ගිය මාසේ ගෙදර ගිහින් බලද්දී පහල ගෙදර මිනිස්සු මේ කොස් ගහ කපලා.

පරිසරය සම්බන්ධ කුතුහලයෙන් පිරුණු මාහට පහත දැක්වෙන අන්දමේ අත්දැකීම් ලබා ගැනීමට මා උපත ලද සුන්දර ගම්පියස බොහෝ උපකාරී වූ බව නොකිව මනාය.
.......................................................................
දින වකවානු පැහැදිළිව පැවසිය හැකි නොවෙන මෙම සිදුවීම වරක් දෙවරක් නොව කිහිප වරක්ම දුටු අපුරු දසුනකි.  මාගේ වයස අවුරුදු අටේ නාමයේ පමණ සිට ඉදිරියට වසර කිහිපයක් පුරා වරින් වර මෙම සිද්ධිය දුටු බවට මා මතකයේ ඇත. කුඩා අවධියේ පටන්ම කෑ ගසමින් අහසේ කැරකැවෙන උකුස්සන් අපගේ ඉමහත් තෘප්තිය වැඩවූ කුරුල්ලන් වර්ගයකි. උන්ගේ හඬ ඇසුණු සැනින් එම හඬ අනුකරණය කරමින් කෑ ගැසීම අපගේ ප්‍රධාන විනෝදාංශයක් විය. පසු කාලිනව වයස අවුරුදු හතර පහක වයසක වූ පොඩි මල්ලිද මෙවැනි කාරියකදී මා හට සහය දුන්නේය. උඩ කැරකෙන උකුස්සා අපගේ හඬ ඇසී පහතට පියඹා ඒම අපගේ පරිශ්‍රමයේ කූඨප්‍රාප්තියයි. බොහෝ උන් ඉතා ඉහළ අහසේ සිට පැමිණ අපගේ ශබ්ධය එන දිශාව සොයමින් පොල් ගස් මුදුන් දක්වා පමණ උසකට කරකැවෙමින් පහතට බසී.

තවත් සමහර දින වල උකුස්සන් පසු පස හඹා යන කපුටන් දිහා අප දෑස් දල්වා බලා සිටින්නේ එහි අවසානය ඉතා මනරම් එකක් බව දන්නා බැවිනි. රවුමට කැරකි කැරකී උණුසුම් වා ධාරා දමග ඉහළට පියඹා යන උකුස්සා සමග වෙර වීරියෙන් යුතු කපුටෙක් හෝ දෙදෙනෙකු ඉහළටම පියඹා යයි. උකුස්සන් මෙන් නොව කපුටන් ඉගිළෙන ක්‍රමය අනුව උන්ට ඉහළ අහසේ වැඩි වෙලාවක් කරක් ගැසීමට නොහැක. තරමක වේලාවකින් පසුව කපුටන් වෙහෙසට පත්වේ. කපුටන් පසුපස පැමිණියත් උකුස්සා සෑම විටම පාහේ සිටින්නේ ආරක්ෂාකාරී දුරකිනි. විඩාව සහ උඩු සුළඟට ඔරොත්තු දීගත නොහැකිව එක් වරම උත්සාහය අත හරින කපුටන්ට සිදුවන දේ  බලා ගැනීමටනම් හොඳ ඉවසීමක් තිබිය යුතුය. 
අවසානයේ පරාජිත කපුටා ගලක් පහළට වැටෙන්නාක් මෙන් පහළට වැටේ. ඉක්මනින් පහතට පැමිණීම සඳහා ඌ මුළු ශරීරයම ගුලියක් ආකාරයට පත්කර ගන්නවා වියහැක. එහෙත් පොළව ආසන්නයට වත්ම නැවතත් පියාපත් දිගහැර පියඹා යාමට ඌ සමත්වන බව මා සෑම වරකදීම දැක ඇත. ඇත්තෙන්ම එය කපුටාගේ දස්කමක් ලෙස හැඳින්වුවද වරදක් නැත. මෙය කියවන ඔබ අතරින් එම සිද්ධි දාමය දූටු අයෙකු වේනම් ඒ ඉතා කලාතුරකින් බව මාගේ අනුමානයයි. මෑත අවුරුදු පහළොවක විස්සක පමණ කාලයේදී මා එවැනි දසුනක් දුටු බවට සිහිකළ නොහැක. අප ප්‍රදේශයේ සිටි ගම් කපුටන්ගේ පැහැදිළි අඩු වීමක් පසුගිය කාලයේ සිදුවී ඇත.  එමෙන්ම මා ගෙදර යන්නේ කළාතුරකින් වීමත්, අහඹු සිදුවීමක් මා යන දිනකම සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවද සැළකිල්ලට ගතයුතුය.
.......................................................................
මේ තවත් සිදුවීමකි.
ඒ 1995 වසරේ දිනකි. මා සයිකලයක නැගී හන්දියට යන අවස්ථාවකදී එකවර පාර මැදට පැමිණි හාවෙක් සහ උකුස්සකු නිසා ගමන මදකට නවතා උන්ගේ හමුව රස විඳි අයුරු මට මතකය. එකවර පහත් වූ උකුස්සා හාවාගේ පිට මත නැගී ඌට යාමට නොහැකි වන පරිදි මස තූළට කා වදින සේ නියපොතු ගසාගෙන පියාපත් විදාගෙන සිටියේය. ඉතාමත් අපූරු දසුනක් වූ එය අතහැර දමා යාමට මාගේ කිසිදු මනාපයක් නොවීය. මා උන්ගේ ජීවිත වලට බාධා කරන්නෙක්  නොවන බැවින් උකුස්සාට කිසිදු බාධාවක් නොකළෙමි. මාගේ වාසනාවට විනාඩි කිහිපයක් යනතුරුත් කිසිවෙකු පැමිණියේ නැත. තරමක වේලාවක් ගත වෙද්දී පාරේ දෙපසින්ම පැමිණි මිනිසුන් නිසා (මාද ඇතුළුව) බියපත් උකුස්සා ගොදුරත් රැගෙන පළා යාමට තැත් කළේය.
තරමක විශාල ප්‍රමාණයෙන් යුතු වූ හාවා ඔසවා ගැනීමට ඌ අසමත් විය. ඉන් සිදු වූයේ අසරණ හාවාගේ සමෙන් භාගයක් පමණ ගැළවී යාමයි. එසේ තිබියදීත් පවනට බඳු වේගයෙන් දිව ගොස් පඳුරක් අස්සේ සැඟව ගැනීමට හාවා සමත් විය. උකුස්සා ඒ අසළම තිබු ලයිට් කණුවකට පියඹා ගියේය. එතැනින් පිටව ඒමේදී හාවා රිංගු පඳුර දෙස විමසිල්ලෙන් බලා සිටි උකුස්සා මාගේ දෑස් කොණට හසු විය. මෙවන් සිදු වීම් අදටත් සමහර දිනෙක මා අත්දකින අතර එහිදී ගොදුර හෝ ඝාතකයා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතියක් මා හට නොමැති බව මාගේ අදහසයි. ඒ ඔවුන්ගේ ජීවිතයයි. එය වෙනස් කරන්නට  සාධාරණ අයිතියක් මා සතුව නොමැත.
.......................................................................
මේ තවත් අත්දැකීමක්,
එය සිදුවුයේ 1999 වසරේදීය. උසස්පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ වකවානුවයි. පාසල් පටන් ගන්නේ උදෑසන 07:00 උවත් මා පාසල් යාමට බසයට ගොඩ වන්නේ උදේ 08:20 ටය. කලින් පෝස්ටුවක විස්තර කර ඇති පරිදි කිලෝමීටර දෙකකට මදක් වැඩි දුරක්  බයිසිකලයෙන් ගොස් මා බසයට ගොඩ වන්නේ ලත්පඳුර හන්දියෙනි.

පාසැල් යාමට සැරසී පැමිණි මා බස් රථයක් එන තුරු සිටි මොහොතකි ඒ. අඩි 10 ක් පමණ දිගින් යුතු පිඹුරකු විසින් කබරගොයකු සිර කර මරා දැමීමට කරන ලද උත්සාහයක් මාගේ දෑසින්ම දැක ගැනීමට භාග්‍යය එවේලේ මා ලදිමි. උන් දෙදෙනා පොර අල්ලමින් සෑහෙන වේලාවක් සටන් කළෝය. වැඩි වාසිය තිබුනේ පිඹුරා අතය. එසේ කීමට හේතුව කබරයාගේ ගෙළ පෙදෙස පිඹුරා විසින් තදින් වෙලාගෙන තිබීමත් කබරයා සිදුකළ පහර දීම් ඌ හට නොවදින සීමාවේ ඌ සිටි නිසාත්ය. කෙසේ නමුත් ඌ කබරයාව අල්ලා සිරකර මරන්නට යන්නේ කුමක් සඳහාද යන්න මා හට ගැටළුවක් විය. සමහර විට ඌ කබරයාව කෑමට සිතුවා විය යුතුය. මා එම දර්ශනය බලමින් සිටින විට එහි පැමිණි මෝඩ මිනිසකු මාගේ කීම සහ විරෝධතාවද නොතකා ගැසූ පොළු පහර කිහිපයකින් පිඹුරාගේ ග්‍රහණය පමණක් නොව අවසන් හුස්ම පොදද ළිහිල් වී ගිය බව මට අද මෙන්ම මතකයේ ඇත.

ඒ මිනිසාට පිඹුරාගෙන් හෝ කබරයාගෙන් ඇති වාසියක් හෝ අවාසියක් නොමැති වුවත් ඔහු ඒ අපරාධය සිදු කළේ කුමන අරමුණක් සඳහා දැයි මා හට නම් නොතේරේ.

එය උන්ගේ ලෝකයයි. අප උන්ගේ ලෝකය සම්පුර්ණයෙන්ම පාහේ ආක්‍රමණය කර ඇත. කාණුවක් පල්ලේ හෝ කුඩා කැලෑ රොදක හෝ රැඳෙමින් උන් ජීවිතය ගෙන යයි. එහිදීද අපගේ මිනිස් නරුමයන් උන් ජීවත් විය යුත්තේද අපගේ නරුම ක්‍රමවේදය අනුව බව තමාම තීරණය කර විනිශ්චය ලබා දීමට උත්සුක වෙයි. අඩු ගණනේ උන්ට හිමි වියයුතු නිදහසේ ජීවත්වීමේ අයිතියවත් උන්ට දිය යුතු බව අප තේරුම් ගන්නේ කවදාද...?